Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 5601-5700 න් 6387

ඇවැත්නි, තෙපි වනාහි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරවු යැ?
මහණ, මමත් භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි.
මහණ, තෙපි භද්දේකරත්ති ගාථා ධරව?
ඇවැත්නි, මම භද්දේකරත්ති ගාථා නො ධරමි.
ඇවත, තෙපි භද්දේකරත්ති ගාථා ධරවු යැ?
මහණ, මම භද්දේකරත්ති ගාථා ධරමි.
ඇවැත්නි, තෙපි කෙසෙයින් භද්දේකරත්ති ගාථා ධරන්නාව?
මහණ, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසාවැසි දෙවියන් කෙරෙහි වූ පරසතු මුල පඬුඇඹුල්සලස්නෙහි වැඩවාස කරනසේක. එකල භාග්‍යවතුන්වහන්සේ තව්තිසා වැසි දෙවියනට භදේදකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසූසේක.
අතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ, යමෙක් ඉක්මිණි ද ඒ පුහුන් වෙයි. යමෙක් නො පැමිණි ද ඒ නො එළඹියේ වෙයි.
යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ ධර්‍මය ඒ ඒ තැන අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.
අද මැ ආතාපනවීර්‍ය්‍යය කර්‍තව්‍ය වෙයි. ‘සෙට යැ මරණ ය’යි කවරෙක් දන්නේ යැ, මහසෙන් ඇති මරහු හා මිත්‍රසංස්තවාදිසංගරයෙක් (ගිවිසුමෙක්) නැත්හු!
මෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ තන්‍ද්‍රා නැති ඒ යොගාවචරයා ශාන්ත වූ ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි වදාරයි.
මහණ, මෙසෙයින් මම භද්දේකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා උගනුව. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ, භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා වාචනායෙන් ධරව. මහණ, භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයට මුඛ ද වෙයි. චන්‍දන දෙව්පුත් මෙය කී. මෙය කියා අතුරුදහන් කෙළේ.
ඉක්බිති ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ එරැය ඇවෑමෙන් සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන සැවැත්නුවර කරා චාරිකා කළෝ. චාරිකා කරන්නේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ දෙව්රම්වෙහෙර බුදුන් කරා ගියෝ, ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ:
වහන්ස, එක් කලෙක සැහැදනවියෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි මම වාස කෙරෙමි. වහන්ස, එකල අන්‍යතර දේවපුත්‍රයෙක් මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති වැ නිග්‍රෝධාරාමය හාත්පස බබුළුවා මා කරා එළැඹියේ. එළඹ එකත්පස් වැ සිටියේ. වහන්ස, එකත්පස් වැ සිටි ඒ දෙව්පුත් මට තෙල කී: ‘මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරව යි? වහන්ස, මෙසේ කී කල මම ඒ දෙව්පුත්හට තෙල කීමි: ‘ඇවත මම භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි’ යි. ‘ඇවත, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරන්නාව’යි පිලිවිත්මි. ‘මහණ මමත් භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි’ යි කී. ‘මහණ තෙපි භද්දේකරත්ත ගාථා ධරන්නාව?’ කී, (පිළිවිත්). ‘ඇවැත්නි, මම භද්දේකරත්ති ගාථා නො ධරමි’ යි (කියා), ‘ඇවත, තෙපි භද්දේකරත්ති ගාථා ධරන්නාව?’ යි (පිළිවිත්මි). ‘මහණ මම භද්දේකරත්ති ගාථා ධරමි’ යි කී. ඇවැත්නි, තෙපි කිසෙයින් භද්දේකරත්ති ගාථා ධරව! යි ඇසීමි.
මහණ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියන් කෙරෙහි වූ පරසතුමුල පඬුඇඹුල් සලස්නේහි විහාර කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියනට භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසූ සේක.
අතීතය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ‘භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.
මහණ, මෙසෙයින් මම භද්දේකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අසා උගනුව. මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථ වාචනා වශයෙන් ධරව. මහණ භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථ සංහිත යැ, ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ද වෙයි. වහන්ස, ඒ දෙව්පුත් මෙය කී, මෙය කියා එහි මැ අතුරුදහන් විහි. වහන්ස, යදිමි. භාග්‍යවතුන් වහන්සේ මට භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසන සේක්වා.
මහණ, තෝ එ දෙව්පුත් දන්නෙහි?
වහන්ස, මම එ දෙව්පුත් නො දන්මි.
මහණ, එදෙව්පුත් චන්‍දන නමි. මහණ, චන්‍දන දෙව්පුත් අර්‍ත්‍ථ කොට මෙනෙහි කොට මුළු හිතින් එළවා බැහූ කන් ඇති වැ දහම් අසයි. මහණ, එයින් අස, මනා කොට මෙනෙහිකර කියමි’ යි. වහන්ස, එසේ යයි ලෝමසකඞ්ගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
අතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ ... ඒ යොගාවචරයා එකැතින් ‘භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.
මහණෙනි, කිසෙයින් අතීතය අනුව යේ ද යත්: අතීතයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි, එහි තෘෂ්ණා එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වීමි ... මෙබඳු සංඥා ඇතියෙම් වීමි ... මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි ... අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි යි, එහි තෘෂ්ණා එළවයි. මහණ මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරෙයි.
මහණ, කෙසේ අතීත ස්කන්‍ධධර්‍ම අනුගමනය නො කෙරේ ය යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි එහි තෘෂ්ණා නො එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි ... මෙබඳු සංඥා ඇතියෙම් වීමි’යි ... මෙබඳු සංස්කාර ඇතියෙම් වී මි’යි ... අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි, එහි තෘෂ්ණා නො එළවයි. මහණ මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍ම අනුගමනය නො කරන්නේ නම් වෙයි.
මහණෙනි, කෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ යැ යත්: අනාගතයෙහි මෙබඳු රූප ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංඥා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංස්කාර ඇතියෙම් වෙම්වා ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා එළවයි. මහණ, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ වෙයි.
මහණ, කෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම නො පතන්නේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා නො එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංස්කාර ඇතියෙම් වෙම්වා ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා නො එළවයි. මහණ, මෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම නො ඉස්නේ නම් වෙයි.
මහණ, කෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි අදනා ලැබේ යැ යත්: මහණ, මෙලොව බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ බුද්ධාදි සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයට අකෝවිද වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් තෘෂ්ණාදීන් දකී. ආත්මය රූපවත් කොට ද ආත්මයෙහි රූපය ද රූපයෙහි ආත්මය ද දකී. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම වශයෙන් දකී. විඥානවත් ආත්මය ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද දකී. මහණ, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි අදනා ලැබෙයි.
මහණ, කෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනාලැබේ යැ යත්: මහණ, මෙලොව ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයට කෝවිද වූ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූ සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මයට දක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමෙ රූපය ආත්ම විසින් නො දක්නේ යැ. රූපවත් ආත්මය, ආත්මයෙහි රූපය, රූපයෙහි ආත්මය නො දක්නේ යැ. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම විසින් නො දක්නේ යැ. විඥානවත් ආත්මය ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද නො දක්නේ යැ. මහණ, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනා ලබන්නේ නම් වෙයි.
‘අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ යොගාවචරයා ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත බුද්ධමුනි තෙමේ කියයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ලෝමසකඞ්ගික තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ.
සතර වැනි ලෝමසකඞ්ගිය භදේදකරත්ත සූත්‍ර යි.
3. 4. 5.
චූළකම්මවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසනසේක. එසඳ තෝදෙය්‍ය බමුණුපුත් සුභ නම් මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තෝදෙය්‍ය බමුණුපිත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ සැල කෙළේ යැ.
භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙයි. ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙත් මැ යැ, දීර්‍ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තාහු දක්නා ලැබෙති, අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්‍ණයෝ දක්නා ලැබෙති, වර්‍ණවත් වූවාහු දක්නා ලැබෙති. අල්පයශස්කයෝ දක්නා ලැබෙති, මහායශස්කයෝ දක්නා ලැබෙති. අල්පභෝග ඇත්තාහු දක්නා ලැබෙති, මහාභෝග ඇත්තාහු දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති, උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති, ප්‍රඥාවත් වූවාහු දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙත් ද ඊට හේතු කවරේ ද ප්‍රත්‍ය කවරේ දැ? යි.
මාණවකය, සත්ත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ, කර්‍මය දායාදය කොට ඇත්තාහ, කර්‍මය කාරණා කොට ඇත්තාහ, කර්‍මය බන්‍ධු කොට ඇත්තාහ, කර්‍මය පිළිසරණ කොට ඇත්තාහ. කර්‍මය මේ හීනප්‍රණීතභාවය පිණිස සත්ත්‍වයන් විභාග කෙරේ යයි වදාළහ.
භවත් ගෞතමයන් වහන්ස, මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් ප්‍රකාශ කළ විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්‍ත්‍ථය නො දතහෙමි. භවත් ගෞතමයන් වහන්සේ යම් පරිදි මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් වදාළ විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්‍ත්‍ථය දතහෙම් ද එපරිද්දෙන් මට ධර්‍මය දේශනා කෙරෙත්වා’ යි අයදිමි’ යි.
එසේ වී නම්, මාණවකය, අසව මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළහ.
‘එසේ යැ භවත්නි’ යි තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල ‘චූළකම්මවිභඞ්ගය’ වදාළසේක.
මාණවකය, මෙලොව ඇතැම් ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි, රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇති සතුන් වැනැසීමෙහි යෙදුණේ සියලු සත්ත්‍වයන් කෙරෙහි නිෂ්කාරුණික බවට පැමිණියේ, ප්‍රාණවධ කරනසුලු වූයේ වේ ද, හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කළ ඒ කර්‍මය හේතු කොට ගෙන කාබුන් මරණින් මත්තෙහි සුවයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට ප්‍රතිසන්‍ධි විසින් පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මත්තෙහි අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් අල්පායුෂ්ක වෙයි. මාණවකය, යම් ප්‍රාණවධ කරනසුලු බවෙක් වේ ද, රෞද්‍ර වූයේ ලෙහෙ වැකුණු අත් ඇතියේ, ප්‍රාණවධයෙහි යෙදුණේ සියලු ප්‍රාණීන් කෙරෙහි නිෂ්කාරුණික වූයේ වේ ද, මේ ප්‍රතිපදාව අල්පායුෂ්කභාවය පිණිස පවත්නේ වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහාතැබූ දඬුවම් ඇතියේ බහාතැබූ ශස්ත්‍ර ඇතියේ (අකුශලයෙහි) ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වැ වෙසේ ද, හේ මෙසේ සම්පූර්‍ණ කරනලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි සෝභනගති ඇති සුවයෙන් අග්‍ර වූ ලෝකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්‍ගලෝකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් දීර්‍ඝායුෂ්ක වෙයි. මාණවකය, ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, බහා තැබූ දඬුවම් ඇති වැ බහා තැබූ ශස්ත්‍ර ඇති වැ ලජ්ජා ඇති වැ දයාවට පැමිණ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී වැ වාසය කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දීර්‍ඝායුෂ්ක බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්නට වෙහෙස කරන පියවි ඇති වේ ද, හේ මෙසේ සුපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට ඉදින් නො පැමිණේ නම්, මිනිස් බවට ඉදින් ඒ නම් යම් යම් තැනෙක උපදනේ නම්, බොහෝ ආබාධ ඇතියේ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයන් වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත්ද, තෙල ප්‍රතිපදාව බොහෝ ආබාධ බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයනට වෙහෙස නො කරන පියවි ඇත්තේ වේ ද? හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම් යම් යම් තැනෙක උපදනේ ද අල්පාබාධ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයන් නො වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත් ද, තෙල ප්‍රතිපදාව බොහෝ අල්පාබාධ බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් කිපෙන සුලු වූයේ දැඩි ආයාස බහුලකොට ඇත්තේ වේ ද, මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටේ ද කිපේ ද විරෝධයට පැමිණේ ද තද බවට පැමිණේ ද කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ ද, ඒ පුද්ගල මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ ද දුර්වර්‍ණ වූයේ වෙයි. මාණවකය, ක්‍රෝධ කරනසුලු වූයේ උපායාස බහුල කොට ඇතියේ මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුර්වර්‍ණ බවට වැටෙන්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ක්‍රෝධ නො කරනසුලු වූයේ දැඩි ආයාස බහුලකොට නැතියේ වේ ද, බොහෝ කොටත් කියන ලදුයේ ක්‍රෝධයෙන් නො ගැටෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද බවට නො පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. හේ මෙසේ පුරන ලද සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට ඒ ද යම් යම් තැනෙක උපදනේ නම්, ප්‍රසාද එළවන්නේ වෙයි. මාණවකය, ක්‍රෝධ නො කරන්නේ වෙයි, උපායාස බහුල කොට නැති වෙයි. බොහෝ කොටත් කියන ලදුයේ නො ගැටෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද බවට නො පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට වැටෙන්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ඊර්‍ෂ්‍යා සහගත සිත් ඇති වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගරුකාර මානන වන්‍දනා පූජනායෙහි ඊර්‍ෂ්‍යා කෙරෙයි, ද්වේෂ කෙරෙයි, ඊර්‍ෂ්‍යාව බඳියි. හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කොට ගත් ඒ කර්‍මය හේතු කොට ගෙන කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද අල්පේශාක්‍ය වෙයි. මාණවකය, ඊර්‍ෂ්‍යා සහගත සිත් ඇති වෙයි, පරලාභ සත්කාර ගරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යා කෙරෙයි, ද්වේෂ කෙරෙයි, ඊර්‍ෂ්‍යාව බඳියි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පේශාක්‍ය බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ඊර්‍ෂ්‍යා සහගත සිත් නැති වේ ද මෙරමාගේ ලාභ සත්කාර ගරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යා නො කෙරෙයි, ද්වේෂ නො කෙරෙයි, ඊර්‍ෂ්‍යාව නො බඳියි. හේ මෙසේ රැස් කරන ලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්‍මය හේතු කොට ගෙන කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට නො පැමිණේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද, (එකල්හි) මහේශාක්‍ය වෙයි. මාණවකය, ඊර්‍ෂ්‍යා සහගත සිත් නැති වෙයි, මෙරෙමා හට ලාභ සත්කාර ගරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යා නො කෙරෙයි, ද්වේෂ නො කෙරෙයි, ඊර්‍ෂ්‍යා නො බඳී යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව මහේශාක්‍ය බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයන වාසාගාර පහන්තෙල් නො දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස්බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ ද (එතැන්හි) අල්පභෝග වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර පහන්තෙල් නො දෙනු වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පභෝග ඇති බවට වැටෙන්නී වෙයි.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්‍ධ විලේපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට නො එළැඹේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද එකල්හි මහාභෝග ඇත්තේ වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්‍ධ විලේපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව මහාභෝග ඇති බවට වැටෙන්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ස්තබ්ධ වූයේ අධිකමාන ඇත්තේ වෙයි. අභිවාදනාර්‍හයාට අභිවාදන නො කෙරෙයි. දැක හුනස්නෙන් නැඟීසිටියයුතුවහුට දැක හුනස්නෙන් නො නැඟෙයි. අසුන් දීමට නිසි වූවහුට අසුන් නො දෙයි. මාර්‍ගර්‍හයාහට මාර්‍ගය නො දෙයි. සත්කාර කළයුත්තහුට සත්කාර නො කෙරෙයි. ගරු කළයුත්තහුට ගරු නො කෙරෙයි. බුහුමන් කළ යුත්තහුට බුහුමන් නො කෙරෙයි. පූජාර්‍හයාහට පූජා නො කෙරෙයි. හේ මෙසේ රැස් කරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්‍මය හේතු කොට කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද (එකල්හි) නීචකුල ඇත්තේ වෙයි. මාණවකය, ස්තබ්ධ වූයේ අධිකමාන ඇති වෙයි, අභිවාදනාර්‍හයාට අභිවාදනය නො කෙරෙයි, හුනස්නෙන් නැඟීසිටියයුත්තහු දැක හුනස්නෙන් නැඟී නො සිටියි, ආසනර්‍හයාහට අසුන් නො දෙයි, මාර්‍ගර්‍හයාහට මඟ නො දෙයි, සත්කාර කළයුත්තහුට සත්කාර නො කෙරෙයි, ගරු කළයුත්තහුට ගරු නො කෙරෙයි, බුහුමන් කළ යුත්තහුට බුහුමන් නො කෙරෙයි, පූජාර්‍හයාහට පූජා නො කෙරෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව නීචකුල බවට පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අස්තබ්ධ වූයේ අධිකමාන නැත්තේ වෙයි. අභිවාදනාර්‍හයාට අභිවාදන කෙරෙයි. හුනස්නෙන් නැඟීසිටියයුත්තහුට දැක හුනස්නෙන් නැඟී සිටියි. ආසනර්‍හයාහට ආසනය දෙයි. මාර්‍ගර්‍හයාහට මඟ දෙයි. සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙයි. ගරු කළයුත්තහුට ගරු කෙරෙයි. බුහුමන් කළයුතුවහුට බුහුමන් කෙරෙයි. පූජාර්‍හයාහට පූජා කෙරෙයි. හේ මෙසේ සපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මය හේතු කොට ගෙන උසස්කුල ඇත්තේ වෙයි. මාණවකය, අස්තබ්ධ වූයේ අධිකමාන නැති වෙයි, අභිවාදනාර්‍හයාට අභිවාදනය කෙරෙයි, හුනස්නෙන් නැඟීසිටියයුත්තහු දැක හුනස්නෙන් නැඟෙයි. ආසනර්‍හයාහට අසුන් දෙයි, මාර්‍ගාර්‍හයාහට මඟ දෙයි, සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙයි, ගරු කළයුත්තහුට ගරු කෙරෙයි, බුහුමන් කළයුත්තහුට බුහුමන් කෙරෙයි, පූජාර්‍හයාහට පූජා කෙරෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව උසස්කුල බව පිණිස පවත්නී වේ.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණකු හෝ බමුණකු හෝ වෙත එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සෙවියයුත්ත කිම? නො සෙවියයුත්ත කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?” යි නො පුළුවුස්නේ වෙයි. හේ මෙසේ සපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මය හේතු කොට ගෙන ... දුෂ්ප්‍රාඥ වෙයි. මාණවකය, මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?” යි නො පුළුවුස්නේ වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නී වෙයි.
තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ වෙත එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ ද, යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?”යි විචාරනුයේ වෙයි. හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මය හේතු කොට ගෙන ... මහාප්‍රාඥ වෙයි. මාණවකය, මහණකු වෙත හෝ බමුණකු වෙත හෝ එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුකට වැටේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිතයට සුවයට වැටේ දැ?යි” විචාරනුයේ වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව මහාප්‍රාඥ බව පිණිස පවත්නී වේ.
මෙසෙයින් මාණවකය, අල්පායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පායුෂ්ක බවට පමුණුවයි. දීර්‍ඝායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව දීර්‍ඝායුෂ්ක බවට පමුණුවයි. බොහෝ ආබාධ ඇති බව පිණිස පවත්නා ප්‍රතිපදාව බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි. අල්පාබාධ බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පාබාධ ඇති බවට පමුණුවයි. දුර්වර්‍ණ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුර්වර්‍ණ බවට පමුණුවයි. ප්‍රසාද එළවන බව පිණිස පවත්නා ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට පමුණුවයි. අල්පේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පේශාක්‍ය බවට පමුණුවයි. මහේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහේශාක්‍ය බවට පමුණුවයි. අල්පභෝග බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පභෝග ඇති බවට පමුණුවයි. මහාභෝග බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහාභෝග ඇති බවට පමුණුවයි. නීචකුලීන බව පිණිස පවත්නා ප්‍රතිපදාව නීචකුල ඇති බවට පමුණුවයි. උච්චකුලීන භාවය පිණිස පවත්නා ප්‍රතිපදාව උසස්කුල ඇති බවට පමුණුවයි. දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බවට පමුණුවයි. මහාප්‍රාඥ භාවය පිණිස පවත්නා ප්‍රතිපදාව මහාප්‍රාඥ භාවයට පමුණුවා.
මාණවකය, සත්ත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ, කර්‍මය දායාදය කොට ඇත්තාහ, කර්‍මය යෝනි කොට ඇත්තාහ, කර්‍මය බන්‍ධු කොට ඇත්තාහ, කර්‍මය පිළිසරණ කොට ඇත්තාහ. කර්‍මය තෙමේ සත්ත්‍වයන් හීනප්‍රණීත බවට විභාග කෙරේ යයි.
මෙසේ වදාළ කල්හි තෝදෙය්‍යපුත්‍ර ශුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වූ එකක්හට මාර්‍ගය ප්‍රකාශ කරන්නේ හෝ වේ ද, අන්‍ධකාරයෙහි ‘ඇස් ඇත්තාහු රූපයන් දක්නාහ’ යි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද එපරිද්දෙන් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් පර්‍ය්‍යායෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේ වන, තෙලෙ මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි. ධර්‍මය ද භික්‍ෂු සංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට මා ධරන සේක්ව’ යි.
පස්වැනි චූළකම්මවිභඞ්ගසූත්‍ර යි.
3. 4. 6.
මහාකම්මවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ වනකිළියෙක්හි වෙසෙති.
එකල්හි පෝතලිපුත්‍ර පරිව්‍රාජක ජඞ්ගාවිහරණයෙන් ඔබ මොබ හැසිරෙනුයේ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කළ යුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පෝතලිපුත්‍ර පරිව්‍රාජක ආයුෂ්මත් සමිද්ධි තෙරණුවනට තෙල කී: “ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෙනි, ශ්‍රමණ ගෞතමයන් හමුයෙහි මා විසින් තෙල අසනලද, හමුයෙහි පිළිගන්නා ලද: කායකර්‍ම සිස්යැ, වාක්කර්‍මය සිස් යැ, මනඃකර්‍මය මැ තථ යැ යි. තවද යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතක් ඇතැ’ යි කියා” යි.
ඇවත් පෝතලිපුත්‍රය, නහමක් මෙසේ කීය. ඇවැත් පෝතලිපුත්‍රය, නහමක් මෙසේ කිය. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නහමක් කර. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො මැ වදාරන්නාහ: ‘කායකර්‍මය තුච්ඡ යැ, වාක්කර්‍මය තුච්ඡ යැ, මනඃකර්‍මය මැ සැබැවැ’ යි. ඇවැත්නි, යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතෙක් ඇත්තේ වේ යයි.
ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, පැවිදි වැ කෙතෙක් දිගු කල් ඇද්ද?
ඇවැත්නි, බොහෝ කල් නො වෙයි. තුන් වසක් වේ යයි.
යම් කරුණෙක්හි මෙසේ නවක මහණ ශාස්තෘහු (ගර්‍හායෙන් මිදීමෙන්) රැක්කයුතු කොට සිතී නම් ස්ථවිර භික්‍ෂූන් ගෙන දැන් මෙහිලා අපි කුමක් කියමෝ ද? ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ කවර වේදානාව විඳී දැ? යි.
ඇවත් පෝතලිපුත්‍රය, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ දුඃඛවේදනා විඳී යයි.
එසඳ පෝතලිපුත්‍ර පරිව්‍රාජක ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ භාෂිතය නොමැ පිළිගත, බැහැර නො කෙළේ යැ. නො පිළිගෙන බැහැර නො කොට හුනස්නෙන් නැඟී ගියේ.
ඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ පෝතලිපුත්‍ර පරිව්‍රාජක නික්මගිය නොබෝ වේලෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් කරා එළඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී නම් එහැම ආයුෂ්මත් අනඳ තෙරණුවනට දැන්වූහ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවනට දැන්වූහ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවනට තෙල වදාළහ: “ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නට මේ කථාප්‍රාහෘතයෙක් (පඬුරෙක්) ඇත. ඇවැත්නි සමිද්ධි තෙරණුවෙනි, යම්හ. භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකරම්හ. භාග්‍යවතුන් වහන්සේ යම්සේ අපට ප්‍රකාශ කරනසේක් නම් එය එසේ ධරම්හ” යි.
‘එසේ යැ ඇවැත්නි’යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෝතලි පුත්‍ර පරිව්‍රාජකයා සමග ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ යම් පමණ කථා සල්ලාපයෙක් වී ද එහැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල වදාළහ: “ආනන්‍දය, මම පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාගේ දැක්මකුදු නො දනිමි. මෙබඳු කථාසල්ලාපයෙක් වැළිත් කොයින් වී ද. තවද ආනන්‍දය, සමිද්ධි මෝඝපුරුෂයා විසින් පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට බෙදා ප්‍රකාශ කළයුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විසඳනලදැ” යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ඉදින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් විසින් යම් කිසි වේදනාවක් ඇද්ද එය ‘දුක’ යි යන මේ සඳහා කියනලද ද?
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් ඇමතූසේක. ‘ආනන්‍දය, තෙපි මේ උදායී මෝඝපුරුෂයාගේ ප්‍රඥා-උන්මාර්‍ගය බලව. ආනන්‍දය මම් මේ උදායී මෝඝපුරුෂ මෙවිට මැ හිස නඟනුයේ නුනුවණින් හිස නඟා’ යයි දතිමි. ආනන්‍දය, පෝතලිපුත්‍ර පරිව්‍රාජකයා විසින් ආදියෙහි ම ත්‍රිවිධ වේදනාව පුළුවුස්නා ලද. ආනන්‍දය, ඉදින් මේ සමිද්ධි මෝඝපුරුෂ මෙසේ පුළුවුස්නාලදුයේ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට මෙසේ ප්‍රකාශ කෙළේ නම් ‘ඇවැත, පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන සුඛවේදනීය කර්‍මය කොට හේ සුව විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන දුඃඛවේදනීය කර්‍මය කොට හේ දුක් විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන අදුඃඛමසුඛවේදනිය කර්‍මය කොට හේ උපේක්‍ෂා වේදනාව විඳී’ යයි. ආනන්‍දය, මෙසේ විසඳන සමිද්ධි මෝඝපුරුෂ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාට මොනොවට ප්‍රකාශ කරන්නේ යැ. තවද ආනන්‍දය, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ කවරහු ද? තථාගතයන්ගේ මහාකර්‍මවිභඞ්ගය කවරහු දතහෙත් ද? ඉදින් ආනන්‍දය තෙපි මහාකර්‍මවිභඞ්ගය විභාග කරන තථාගතයන්ගේ (දේශනාධර්‍මය) අසන්නහු (නම් මැනැවැ).
භාග්‍යවතුන් වහන්ස, තෙල විභාගයට කල් වෙයි. සුගතයන් වහන්ස, තෙල විභාගයට කල් වෙයි. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මහාකර්‍මවිභඞ්ගය විභාග කරනසේක් නම් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා ධරන්නාහ’ යි.
ආනන්‍දය, එසේ වී නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල (මහාකර්‍මවිභඞ්ගය) වදාළසේක.
ආනන්‍දය, ලෝකයෙහි විද්‍යමාන වූ මේ පුද්හලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්: ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව පණිවා කරනු වෙයි, අයිනාදන් ගනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුනුබස් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් බණනු වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපන්න චිත්ත වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කායභේදයෙන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට වදියි.
ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී පණිවා කරනු වෙයි, අයිනාදන් ගනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුනුබස් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් ඇති වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපන්න සිත් වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුණේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි, මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස්බසින් වැළකුණේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළකුණේ වෙයි, අනභිධ්‍යාලු වෙයි, අව්‍යාපන්න වූ සිත් ඇති වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. හේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී පරපණ නැසීමෙන් වැළකුණේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුණේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි, මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස් බසින් වැළකුණේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළකුණේ වෙයි, අනභිධ්‍යාලු වෙයි, අව්‍යාපන්න සිත් ඇති වෙයි, සම්දිටු ඇති වෙයි. හේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ.
ආනන්‍දය, මෙලොව කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි කෙලෙස් තවන වීර්‍ය්‍යට පැමිණ ප්‍රධන්වීර්‍ය්‍යයට පැමිණ අනුයෝගයට පැමිණ අප්‍රමාදයට පැමිණ සම්‍යග්මනසිකාරයට පැමිණ යම් පරිදි සිත සමාහිත කල්හි විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව ඇසින් මෙලොව දී ප්‍රාණවධ කළා වූ අයිනාදන් ගත් කාමයෙහි මිසහසර ඇති මුසවා කියනසුලු පිසුනුබස් ඇති පරොස්බස් ඇති සම්ඵප්‍රලාප ඇති ව්‍යාපන්න සිත් ඇති මිසදිටු ගත් තෙල පුද්ගලයා දකී ද, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දකී ද, එබඳු වූ චිත්තසමාධිය ලබයි. හේ මෙසේ කියා: භවත, පාපකර්‍මයෝ ඇත. දුශ්චරිතයාගේ විපාකයෙක් ඇත. යම් හෙයෙකින් මම මෙලොව දී ප්‍රාණවධ කළ, අයිනාදන් ගත්, කාමයෙහි මිසහසර ඇති, මුසවා කියනසුලු, පිසුනුබස් ඇති, පරොස්බස් ඇති, සම්ඵප්‍රලාප ඇති, අභිධ්‍යාලු වූ, ව්‍යාපන්න සිත් ඇති, මිසදිටු ගත් තෙල පුද්ගලයා කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දක්මි. හේ මෙසේ කියයි: “භවත්නි, යමෙක් ප්‍රාණවධ කරනුයේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇත්තේ වේ ද, එ හැම කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට එළැඹෙයි, යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මැනැවින් දනිති, යම් කෙනෙක් අන් පරිදි දනිත් ද උන්ගේ ඥානය මිථ්‍යා වෙයි” කියා යි. මෙසේ හේ ඔහු විසින් තමා දන්නා ලද ද තමා දක්නාලද ද, තමා පහළ කරන ලද ද එය මැ එහි දෘෂ්ටියෙන් දැඩි සේ පරාමර්‍ශ කොට එහි වැදගෙන ‘මේ මැ සත්‍ය යැ, අන්‍යය තුච්ඡ යැ’ යි ව්‍යවහාර කෙරේ ද, එබඳු චිත්තසමාධියෙක් ස්පර්‍ශ කෙරෙයි.
ආනන්‍දය, මෙලොව කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ ප්‍රධන් වීර්‍ය්‍යයට පැමිණ අනුයෝගයට පැමිණ අප්‍රමාදයට පැමිණ සම්‍යග්මනසිකාරයට පැමිණ යම් පරිදි සිත සමාහිත කල්හි විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවඇසින් මෙලොව දී ප්‍රාණවධ කළ අයිනාදන් ගත් ... මිසදිටු ගත් තෙල පුද්ගලයා කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දකී. හේ මෙසේ කියයි: පාපකර්‍මයෝ නැත. දුශ්චරිතයාගේ විපාකයෙක් නැත. මම මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති පුද්ගලයා කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹියහු දිටිම් නො! හේ මෙසේ කියයි, යමෙක් පණිවා කරන්නේ, අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇතියේ වේ ද, එහැම දෙනේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ. යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිත්. යම් කෙනෙක් නො එසේ දනිත් ද, ඔවුන්ගේ දැනුම සිස් යැ කියා යි. මෙසේ හෙතෙම ඔහු විසින් තමා දත් තමා දුටු ස්වයංවිදිත යම් මැ දැයෙක් ඇද්ද, එහි ලා එය මැ දැඩි සේ පරාමර්‍ශ කොට අභිනිවේශ කොට ‘මෙය මැ සත්‍ය වෙයි, අනෙක අසත්‍ය යැ’ යි බෙණේ.
ආනන්‍දය, මෙලොව කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් තවන වැර නිසා ප්‍රධන් වැර නිසා අනුයෝග වීර්‍ය්‍යය නිසා අප්‍රමාදය නිසා සම්‍යග් මනස්කාර නිසා යම්සේ සමාහිත චිත්තය ඇති වත් මැ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි තෙල පුඟුලා මෙලොව පණිවායෙන් වෙන් වූවහු කාමයෙහි මිසහසරින් වෙන් වූවහු මුසවායෙන් වෙන් වූවහු පිසුනුබසින් වෙන් වූවහු පරොස් බසින් වෙන් වූවහු සම්ඵසංඛ්‍යාත ප්‍රලාපයෙන් වෙන් වූවහු අභිධ්‍යා බහුල නො වූවහු ව්‍යාපන්න චිත්ත නැතියහු සම්දිටු ඇතියහු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්නේ වේ ද. එබඳු වූ දිව්‍යචක්‍ෂුස් සමාධියක් ස්පර්‍ශ කෙරේ. හේ මෙසේ කියයි. කල්‍යාණ කර්‍මයෝ ඇත. සුචරිතයාගේ විපාක ඇත. මම් මෙලොව පණිවායෙන් වෙන් වැ ... සම්දිටු ඇති කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණි පුඟුලා දිටිම් නො! හේ මෙසේ කියයි: ‘යමෙක් පණිවායෙන් දුරු වේ ද අයිනාදනින් දුරු වේ ද ... සම්දිටු ඇද්ද එහැම දෙනේ කාබුන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ගලෝකයට පැමිණේ. යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිත්, යම් කෙනෙක් නො එසේ දනිත් ද උන්ගේ දැනුම මෝඝ වෙති’ යි කියා යි. මෙසේ හෙතෙමේ ඔහු විසින් තමා දත් තමා දිටි තමා පළට කළ යම් මැ දැන්මෙක් ඇද්ද එහි ලා එය මැ දෘෂ්ටිශක්තියෙන් දෘෂ්ටි පරාමර්‍ශ කොට අභිනිවේශ කොට තහවුරු වැ ගෙන බෙණේ: ‘මෙ මැ සත්‍ය වෙයි, අනෙක අසත්‍ය යැ’ කියා යි.
ආනන්‍දය, මෙලොව කිසි මහණෙක් හෝ ආතාපනවීර්‍ය්‍යය නිසා ප්‍රධන්වීර්‍ය්‍යය නිසා අනුයෝගවීර්‍ය්‍යය නිසා අප්‍රමාදය නිසා මනා මෙනෙහි කිරීම් නිසා එබඳු වූ දිව්‍යචක්‍ෂුස් සමාධිය ස්පර්‍ශ කෙරෙයි. යම්සේ සමාහිත සිත ඇති වත් මැ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් තෙල පුඟුලා මෙලොව පණිවායෙන් දුරු වූවහු අයිනාදනින් දුරු වූවහු ... සම්දිටු ඇතියහු කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට එළැඹියහු දක්නේ වේ ද එබඳු දිව්‍යචක්‍ෂුස් සමාධිය යි. හේ මෙසේ කියයි. කල්‍යාණකර්‍මයෝ
නැත. සුචරිතයාගේ විපාකයෙක් නැත. මම මෙලොව පණිවායෙන් දුරු වූ අයිනාදනින් දුරු වූ ... සම්දිටු ඇති, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණි පුඟුලකු දිටිම් නො ! කියා’ යි. හේ මෙසේ කියයි: ‘යමෙක් පණිවායෙන් දුරු වූයේ ... සම්දිටු ඇතියේ වේ ද, ඒ හැම දෙනේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද උන්ගේ දැන්ම මිථ්‍යා යැ’ යි කියා යි. මෙසේ හේ ඔහුගේ තමා දත් තමා දිටි තමා පළට කළ යම් මැ දැන්මෙක් ඇද්ද, එහි ලා ඒ දැන්ම මැ දෘෂ්ටිස්ථාමයෙන් පරාමර්‍ශ කොට අභිනිවේශ කොට එහි බැසගෙන බෙණේ: ‘මෙ මැ යැ සත්‍ය යැ, අනෙක මෝඝ යැ’ කියා යි.
ආනන්‍දය, එහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘පාපකර්‍මයෝ ඇත, දුශ්චරිතයාගේ විපාකයෙක් ඇතැ’ යි. ඔහුගේ මේ කියමන අනුදනිමි. හේ මෙසේයිනුත් යම් බසක් කියා ද මම මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති පුඟුලා කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණියහු දිටිම් නො ! යි, ඔහුගේ මෙබස ද අනුදනිමි. හේ මෙසෙයිනුදු යම් බසක් කියා ද පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති යමෙක් ඇද්ද, එහැම දෙනේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණේ යයි, ඔහුගේ මෙබස නො අනුදන්මි. හේ මෙසෙයිනුත් යම් බසක් කියා ද යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද ඔවුන්ගේ දැනුම මිථ්‍යා යැ’ යි ඔහුගේ මෙබස ද නො අනුදන්මි. හේ ඔහුගේ තමා දත් තමා දිටි තමා පහළ කළ යම් මැ දැයෙක් ඇද්ද එහි එය මැ දෘෂ්ටිශක්තියෙන් පරාමර්‍ශ කොට අභිනිවේශ කොට බැසගෙන බෙණේ ද ‘මේ මැ යැ සත්‍ය යැ, අනෙක සිස් යැ’ යන යමක් ඇද්ද, ඔහුගේ මෙබස ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, අන් සැටියෙකින් තථාගතයන්ගේ මහාකර්‍මවිභාගයෙහි ඥානය වේ ද එහෙයිනි.
ආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘පාපකර්‍ම නැත, දුශ්චරිතයාගේ විපාක නැතැ’ යි, ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ මෙසේ යමෙකුත් කියා ද: තව ද මම් මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටුගත් පුඟුලක්හු දිටිමි. කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් ද අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යමෙක් පණිවා කරන්නේ අයිනාදන් ගන්නේ මිසදිටු ඇත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙති’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිති, යම් කෙනෙක් අන් සැටියෙකින් දනිත් ද උන්ගේ දැනුම මිථ්‍යා’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ ඔහුගේ යම් මැ තමා දත් තමා දුටු ස්වයංවිදිතයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් බැසගෙන ‘මෙ මැ යැ සත්‍ය යැ, අන්‍යය සිස් යැ’ යි කියා ද ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාගයෙහි ඥානය අන් සැටි වන හෙයිනි.
ආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘කල්‍යාණකර්‍ම ඇත. සුචරිතයාගේ විපාක ඇතැ’යි. ඔහුගේ මෙබස් අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: තවද මම් මෙලොව පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ ... සම්දිටු ගත් පුඟුලක්හු දිටිමි. කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් ද අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: යමෙක් පණිවායෙන් වෙන් වූයේ ... සම්දිටු ගත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙති’ යි. ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද, උන්ගේ දැනුම මිථ්‍යා’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. යමෙක් ඔහුගේ තමා දත් තමා දුටු යම් මැ දැයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් වැදගෙන මෙ මැ සත්‍ය යැ, අන්‍යය මෝඝ යැ’ යි කියා ද ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාගවිඥානය අන්සැටි වන හෙයිනි.
ආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘කල්‍යාණකර්‍ම නැත, සුචරිතයාගේ විපාක නැතැ’ යි ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: තවද මම් මෙලොව පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ ... සම්දිටු ගත් පුඟුලක්හු දිටිමි, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යමෙක් පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ ... සම්දිටුගත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරෑ වදනාහ’ යි කියා ද, ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති, යම් කෙනෙක් අන් සැටි දනිත් ද උන්ගේ ඥානය මිථ්‍යා යි කියා යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි, හේ ඔහුගේ යම් මැ තමා දත් තමා දුටු ස්වයංවිදිතයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් අභිනිවේශ කොට මෙ මැ සත්‍ය යැ, අන්‍යය තුච්ඡ යැ’යි කියා ද, ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාග ඥානය අන් සැටි වන හෙයිනි.
ආනන්‍දය, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවා කරනුයේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇත්තේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණේ ද, ඔහු විසින් දුඃඛවේදනාවහ වූ ඒ පාපකර්‍මය කැලැ මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් දුඃඛවේදනාවට හිත වූ ඒ පාපකර්‍මය පසු වැ කරන ලද හෝ වෙයි. ඔහු විසින් මිථ්‍යාදෘෂ්ටිය මරණකාලයෙහි හෝ සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද වෙයි. එහෙයින් හේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත නම් වූ නිරයට එළැඹෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවා ඇතියේ වේ ද අයිනාදන් ගත්තේ වේ ද ... මිසදිටු ඇත්තේ වේ ද ඒ කර්‍මයාගේ විපාක ඉහාත්මයෙහි මැ විඳුනේ වෙයි. අනතුරු භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.
ආනන්‍දය, ඒ මහණබමුණන් කෙරෙහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවා ඇතියේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇතියේ කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ග ලෝකයට වදනේ වේ ද, ඔහු විසින් සුඛවේදනාවට හිත වූ ඒ කල්‍යාණකර්‍මය කැල මැ කරන ලද වෙයි. ඔහු විසින් සම්‍යග්දෘෂ්ටිය මරණකාලයෙහි දී සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද හෝ වෙයි. එහෙයින් හේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ග ලෝකයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවා ඇතියේ වේ ද, අයිනාදන් ගත්තේ වේ ද ... මිථ්‍යාදෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොව මැ විඳුනේ වෙයි. අනතුරු භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.
ආනන්‍දය, එහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවායෙන් දුරු වූයේ අයිනාදනින් දුරු වූයේ ... සම්දිටු ඇතියේ කායභේදයෙන් මරණින් මතු ඉෂ්ටගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණේ ද, ඔහු විසින් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍මය කැල මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් පසු වැ සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍ම කරනලද හෝ වෙයි. ඔහු විසින් මරණකාලයෙහි සම්‍යග්දෘෂ්ටිය සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද හෝ වෙයි. එකරුණින් හේ කායභේදයෙන් පසු මරණින් මතු ඉෂ්ටගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවායෙන් දුරු වූයේ වේ ද අයිනාදනින් දුරු වූයේ වේ ද ... සම්‍යග්දෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොව මැ විඳුනේ වෙයි. අනන්තර භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.
ආනන්‍දය, ඒ ශ්‍රමණබ්‍රාහ්මණයන් අතුරින් යම් පුද්ගලයෙක් පණිවායෙන් වැළකියේ අයිනාදනින් වැළකියේ ... සම්දිටු ඇතියේ ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස වැ පතිත වන නිරයට පැමිණේ ද, ඔහු විසින් දුඃඛවෙදනාවට ප්‍රත්‍යය වූ ඒ පාපකර්‍මය කැල මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් දුඃඛවෙදනාවට හේතු වූ ඒ පාපකර්‍මය පසු වැ කරන ලද හෝ වෙයි. ඔහු විසින් මරණාසන්නකාලයෙහි මිසදිටු සම්පූර්‍ණකරනලද සමාදන් කරනලද හෝ වෙයි. එකරුණින් හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ අනිෂ්ටගති ඇති විවස වැ ගෙන නිරයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවායෙන් දුරු වූයේ වේ ද අයිනාදනින් දුරු වූයේ වේ ද ... සම්‍යග්දෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොවැමැ විඳුනේ යැ, දෙවන භවයෙහි හෝ එයින් අන්‍යභවයෙක දී හෝ විඳුනේ යැ.
ආනන්‍දය, මෙසෙයින් අකුශලය මැඩලන අකුශලකර්‍මයෙක් ඇත. කුශලය මැඩලන අකුශලකර්‍මයෙක් ඇත. කුශලය මැඩලන කුශලකර්‍මයෙක් ද ඇත. අකුශලය මැඩලන කුශලකර්‍මයෙක් ඇතැ’ යි.
භාග්‍යවතුන් වහන්සේ මේ මහාකම්මවිභඞ්ග දේශනාව වදාළ සේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් වූහ.
සවැනි මහාකම්මවිභඞ්ගසුත්‍ර යි.
3. 4. 7.
සළායතනවිභඞ්ග සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාස කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළසේක:
‘මහණෙනි, තොපට ෂඩායතනවිභාගය දෙසමි. ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’ යි වදාළෝ.
‘වහන්ස, එසේ යැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.