අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ, අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ, යම්හෙයෙකින් යමක් අතීත ද, එය ප්‍රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යැ. (එහෙයින් අනුගමන හා ප්‍රාර්‍ත්‍ථනා නො කරන්නේ යයි සේ යි).
යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් පඤ්චස්කන්‍ධධර්‍මයෙක් ඇද්ද,) ඒ ධර්‍මය ඒ ඒ තන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ ය.
අද ම අතාපන වීර්‍ය්‍ය කර්‍තව්‍ය යි, සෙට මරණය කවරෙක් දතහෙන්නේ ද, මහත් වූ සේනා ඇති මරහු සමග සඞ්ගරයෙක් නැත් නු!
මෙබඳු විහරණ ඇති අතාපන වීර්‍ය්‍ය ඇති දවරෑ තන්‍ද්‍රා නැති ඒ පුඟුලා ඒකාන්තයෙන් ‘භද්දේකරත්ත’ යයි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ.
මහණෙනි, භද්‍ර වූ ඒකරාත්‍ර විහරණ ඇති තොපට උද්දේසය හා විභාගය හා දෙසමි’ යි යමක් කියන ලද ද, මෙ බස් තෙල සඳහා කියන ලදි.
භාග්‍යවතුන් වහන්සේ මේ භද්දේකරත්ත සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
පළමුවැනි භද්දේකරත්ත සූත්‍ර යි.
3. 4. 2.
ආනන්‍ද භද්දේකරත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල ආනඳ තෙරණුවෝ උපස්ථානශාලායෙහි දී භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. ප්‍රහර්‍ෂ කරවති. භද්‍රඒකරාත්‍ර ඇති මහණ හට උද්දේස හා විභාග හා කියති.
එකල භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පලසමවතින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා එළැඹියහ. එළැඹ පැන්වූ අස්නෙහි වැඩහුන්හු. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූසේක. “මහණෙනි, කවරෙක් නම් උපස්ථානශාලායෙහි ලා මහණුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලී ද, සමාදන් කරවාලී ද, තෙද ගන්වාලී ද, සතුටු කරවාලී ද, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසී දැ” යි වදාළෝ.
වහන්ස, අනඳ තෙරණුවෝ උපස්ථානශාලායෙහි දී භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කැරැවූහ, තෙද ගැන්වූහ, සතුටු කැරැවූහ. භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසූහ’ යි.
එකල භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරණුවන් ඇමතූසේක. “ආනන්‍දය, තෙපි කිසෙයින් භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහු ද, සමාදන් කැරැවූහු ද, තෙද ගැන්වූහු ද, පහදවාලූහු ද, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසූහු දැ” යි.
වහන්ස, මෙසෙයින් මම භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වීමි, සමාදන් කැරැවීමි, තෙද ගැන්වීමි, සම්ප්‍රහර්‍ෂ කැරැවීමි, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසීමි.
අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටීන් අනුගමනය නො කරන්නේයැ, අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ, යම් හෙයකින් යමක් අතීත වේ ද, එය ප්‍රහීණ යැ, යමක් අනාගත වේ ද එය නො පැමිණියේ යි.
යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ පඤ්චස්කන්‍ධ ධර්‍මය ඒ ඒ තන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.
අද ම ආතාපන වීර්‍ය්‍ය කර්‍තව්‍ය වෙයි. කවරෙක් සෙට මරණය ඇති’ යි දතහෙන්නේ ද, මහත් සෙන්බල ඇති මරහු සමග සංගරයෙක් නැත් නු!
මෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ දෙක්හි හළ තන්‍ද්‍රා ඇති ඒ යොගාවචරයා භද්දේකරත්ත යයි ශාන්ත වූ බුද්ධ මුනි තෙමේ ප්‍රකාශ කෙරේ.
ඇවැත්නි, කෙසේ නම් අතීත ස්කන්‍ධධර්‍මය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය කෙරේ යැ යත්: අතීත කාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය එළවයි. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය එළවයි ... ඇවැත්නි, මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරෙයි.
ඇවැත්නි, කෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කෙරේ යැ යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි. ඇවැත්නි, මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කෙරේ.
ඇවැත්නි, කිසෙයින් අනාගත ස්කන්‍ධධර්‍මය තෘෂ්ණාදෘෂ්ටීන් විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’ යි එහි නන්‍දිය එළවයි, මෙබඳු වේදනා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංඥා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව’ යි ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’ යි එහි නන්‍දිය එළවයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
ඇවැත්නි, කිසෙයින් අනාගත ස්කන්‍ධධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණා නො පිහිටුවයි, මෙබඳු වේදනා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංඥා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව’ යි ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණා නො පිහිටුවයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි.
ඇවැත්නි, කෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍ම කෙරෙහි අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, මෙලොවැ බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත බුද්ධාදි සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මය පිළිබඳ අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම විසින් තෘෂ්ණාදෘෂ්ටීන් දකී, ආත්මය රූපවත් කොට ද, ආත්මයෙහි රූප කොට ද රූපයෙහි ආත්ම කොට ද දකී. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන ආත්ම විසින් දකී. ආත්මය විඥාන වත් කොට ද, ආත්මයෙහි විඥාන කොට ද විඥාන යෙහි ආත්ම කොට ද දකී. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි අදනා ලැබේ.
ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, මෙලොවැ ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයට දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි සුශික්‍ෂිත සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මයට දක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි සුශික්‍ෂිත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම විසින් නො දක්නේ යැ, ආත්මය රූපවත් කොට ද නො දක්නේ යැ, ආත්මයෙහි රූපය ද නො දක්නේ යැ, රූපයෙහි ආත්මය ද නො දක්නේ යැ, වේදනා ආත්ම විසින් නො දක්නේ යැ ... සංඥා ආත්ම විසින් නො දක්නේ යැ ... සංස්කාර ආත්ම විසින් නො දක්නේ යැ ... විඥාන ආත්ම විසින් නො දක්නේ යැ, ආත්මය විඥානවත් කොට ද නො දක්නේ යැ, ආත්මයෙහි ලා විඥාන ද නො දක්නේ යැ, විඥානයෙහි ලා ආත්ම ද නො දක්නේ යැ. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනා ලැබේ.
අතීත ස්කන්‍ධධර්‍ම අනුගමනය නො කරන්නේ යැ, අනාගත ස්කන්‍ධධර්‍මය නො පතන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් ශාන්ත වූ භදේදකරත්ත යයි බුද්ධ මුනි තෙමේ කියා.
වහන්ස, මෙසෙයින් මම භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වීමි, සමාදන් කරවීමි, තෙද ගැන්වීමි, සම්ප්‍රහර්‍ෂ කැරැවීමි, භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පැවැසීමි’ යි.
මැනැව මැනැව ආනන්‍දයෙනි, ආනන්‍දයෙනි, තෙපි මනා කොට භික්‍ෂූන් ට දැහැමි කථායෙන් කරුණු දැක්වූවහු යැ, සමාදන් කැරැවූහු යැ, තෙද ගන්වාලූහු යැ, සතුටු කරවා ලූහු යැ, භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ප්‍රකාශ කළහු යැ.
අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් සන්හුන් භදේදකරත්ත යයි බුද්ධ මුනි වදාරති’ යි කියා යි.
ආනන්‍දයෙනි කිසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරෙයි. ආනන්‍දයෙනි, කිසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කෙරේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කෙරෙයි. ආනන්‍දයෙනි, කිසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ යැ. ආනන්‍දයෙනි, කිසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම නො පතන්නේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම නො පතන්නේ යැ. ආනන්‍දයෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මය කෙරෙහි අදනා ලැබේ යැ යත් … ආනන්‍දයෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මය කෙරෙහි අදනා ලැබේ. ආනන්‍දයෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මය කෙරෙහි නො අදනා ලැබේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මය කෙරෙහි නො අදනා ලැබේ.
අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් සන්හුන් භදේදකරත්ත යයි බුද්ධ මුනි වදාරති’ යි කියා යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කළහ.
දෙවැනි ආනන්‍ද භද්දේකරත්ත සූත්‍ර යි.
3. 4. 3.
මහාකච්චාන භද්දේකරත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාවනයෙහි වැඩ වසන සේක. එකල සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැඟීසිට ගාත්‍රපරිෂේකයට තපෝද භ්‍රදය කරා එළැඹියහ. තපෝද භ්‍රදයෙහි ගාත්‍රපරිෂේක කොට නැඟී ශරීරාවයව වියළවමින් එක් සිවිරි වැ සිටියහ. එකල එක්තරා දෙව්දුවක් රැය ඉක්මැගිය කල්හි විශිෂ්ට ඡවිවර්‍ණ ඇත්තී මුළු තපෝද දහතලාව බබුළුවා සමිද්ධි තෙරණුවන් කරා එළැඹියා. එළැඹ එකත්පස් වැ සිටගතු. එකත් පස් වැ සිටි ඒ දෙව්දූ සමිද්ධි තෙරණුවනට තෙල කියූ:
මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරන්නාව?
ඇවත, මම භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
ඇවත, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරන්නහු?
මහණ, මමත් භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
මහණ, තෙපි භද්දෙකරත්තගාථා ධරව?
ඇවැත්නි, මම භද්දෙකරත්තගාථා ද නො ධරමි.
ඇවත, තෙපි භද්දෙකරත්තගාථා ධරහු?
මහණ, මම ද භද්දෙකරත්තගාථා නො ධරමි.
මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා උගනුව. මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවගේ ආදිභූත පූර්‍වභාගප්‍රතිපතැ.
ඒ දෙව්දූ මේ කියා එහි මැ අතුරුදහන් වූ. එසඳ සමිද්ධි තෙරණුවෝ එරැය ඇවෑමෙන් බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. වහන්ස, මම රෑ අලුයම නැඟී තපෝදදහතල කරා ගාත්‍රපරිෂේකයට එළැඹියෙමි. තපෝදයෙහි ගාත්‍රපරිෂේක කොට නැඟී ගාත්‍රයන් වියළවමින් ඒකචීවර වැ සිටියෙමි. වහන්ස, එසඳ එක්තරා දෙව්දුවක් රැය ඉකුත් කල මනා සිවිපැහැ ඇති වැ මුළු තපොදය බබුළුවා මා කරා එළැඹියා, එළැඹ එකත්පස් වැ සිටගතු, එකත්පස් වැ සිටි ඒ දෙව්දූ මට තෙල කියු:
‘මහණ, තෙපි භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා ධරව?
වහන්ස, මෙසේ කීකල මම ඒ දෙව්දුවට තෙල කීමි: ඇවත, මම භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි’ යි.
ඇවත, තෙපි භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා ධරහු?
මහණ, මම ද භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
මහණ, තෙපි භද්දේකරත්තගාථාවන් ධරව?
ඇවත, මම භද්දේකරත්තගාථාවන් නො ධරමි.
ඇවත, තෙපි භද්දේකරත්තගාථාවන් ධරහු?
මහණ, මම ද භද්දේකරත්තගාථාවන් නො ධරමි.
මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා උගනුව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරව. මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ, මාර්‍ගබ්‍රහ්මර්‍ය්‍යයට පූර්‍වභාග ප්‍රතිපතැ යි.
වහන්ස, ඒ දෙව්දූ මේ කියු යැ, මේ කියා එහි මැ අතුරුදහන් වූ, මැනැව වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා දේසනා කරන සේක්ව’යි.
එසේ නම් මහණ, අස, මොනොවට මෙනෙහි කර’ යි වදාළහ.
එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සමිද්ධි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල වදාළහ:
අතීත වූ (චක්‍ෂුරාදි ද්වාදශ) ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත වූ ආයතනධර්‍මය (තෘෂ්ණාදෘෂ්ටින්) නො පතන්නේ ය. යමක් අතීත ද එය ප්‍රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යි.
යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ ආයතනධර්‍මය අනිත්‍යාදි විසින් ඒ ඒ තැන්හි විදර්‍ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.
අද ම ආතාපන වීර්‍ය්‍යය කර්‍තව්‍ය යැ, සෙට මරණය ඇත යනු කවරෙක් දතහෙන්නේ ද, (ගිනි විෂ ආදි) මහත් සෙන්බල ඇත මරහු සමග (මිත්‍රසන්‍ථවාදි) සංගරයෙක් නැත් නු!
මෙබඳු විහරණ ඇති ආතාපන වීර්‍ය්‍ය ඇති අනලස්වූ පුඟුලා ‘භද්දේකරත්ත’ යැයි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ යයි.
බුදුහු මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟීසිට විහාරයට පිවිසිසේක.
ඉක්බිති බුදුන් වඩනා හා මැ භික්‍ෂූන්ට තෙල සිත් වී: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය වදාරා විස්තරයෙන් අර්‍ත්‍ථවිභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
අතීත වූ (චක්‍ෂුරාදි ද්වාදශ) ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත ආයතනධර්‍මය තෘෂ්ණාදෘෂ්ටියෙන් නො පතන්නේ ය ... ඒ පුඟුල්හු ඒකාන්තයෙන් භද්දේකරත්ත යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.
කවරෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරන්නේ දැ’යි.
ඉක්බිති ඒ භික්‍ෂූන්ට තෙල සිත් විය. “මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රහ්මසරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් මැනැවැ” යි.
ඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහකසයින් තෙරණුවනට තෙල සැලකළහු: ‘ඇවත කාත්‍යායනයෙනි, බුදුහු මේ උද්දේස සැකෙවින් වදාරා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හ’:
‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ඒකාන්තයෙන් භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.
ඇවැත කාත්‍යායනයෙනි, බුදුන් නික්ම වඩනා හා මැ අපට තෙල සිත් විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ උද්දේසය සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසියහ:
‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ඒකාන්තයෙන් භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.
කවරෙක් භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදනලද මේ උද්දේසයාගේ විතර විසින් අරුත් විභාග කරන්නේ දැ? යි. ඇවැත කච්චානයෙනි, ඒ අපට තෙල සිත් විය: ‘මේ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ බුදුන් විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදනලද මෙ උද්දේසයාගේ විතර විසින් අරුත් බෙදා දක්වන්නට පොහොසත් ද වෙති. ඇපි ඇවැත් මහාකච්චාන් තෙරුන් කරා එළඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහාකච්චානයන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් මැනැවැ’යි කියා යි. ඇවැත් මහකසයින් තෙරණුවෝ විභාග කෙරෙත්ව’ යි.
ඇවැත්නි, යම් පරිදි සාරයෙන් අර්‍ත්‍ථ ඇති හර සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් තර වැ පිහිටි හරවත් වූ මහත් රුකක්හුගේ මුල ඉක්මවාපියා කඳ ඉක්මවාපියා කොළඅතුයෙහි හර සෙවියයුතු කොට සිතන්නේ නම් මේ එබඳු යැ. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ හමුව සිටි කල්හි ඒ භාග්‍යවතුන් ඉක්මවාපියා තෙල කරුණ අප පිළිවිස්සයුතු කොට සිතවු. ඇවැත්නි, යම් හෙයෙකින් ඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය වූවහ, ශ්‍රේෂ්ඨ වූවහ, වක්තෘහය, ප්‍රවක්තෘහය, අර්‍ත්‍ථය නඟා දක්වනුවහ, නිවන් අමා දෙනුවහ, ධර්‍ම ස්වාමීහ, තථාගතයහ. යම් හෙයෙකින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ මැ පුළුවුස්නවු නම් තෙල කරුණට ඒ කල් විය. තොපට යම්සේ බුදුහු ප්‍රකාශ කරනසේක් නම් එය එපරිද්දෙන් දරව’යි.
ඇවැත කච්චායෙනි, ඒකාන්තයෙන් බුදුහු දතයුත්ත දන්නාහ, දැක්කයුත්ත දක්නාහ, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, බ්‍රහ්ම වැනියහ, වක්තෘයහ, ප්‍රවක්තෘහය, අර්‍ත්‍ථ එළවා දක්වනුහ, අමෘතය එළවනුවහ, ධර්මෙශ්වරයහ, තථාගතයහ. යම් හෙහෙකින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ අතින් මැ පුළුවුස්නමෝ නම්, ඊට ඒ කල් මැ විය. යම්සේ අපට බුදුහු ප්‍රකාශ කරනසේක් ද එපරිදි ඒ ධරම්හ. වැළි එකෙක් ඇත. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතය, විඥ වූ සබ්‍රම්සරුන් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභාග කරන්නට පොහෝනාහු ද වෙති, ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො බර කොට විභාග කෙරෙත්ව’යි.
ඇවැත්නි, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’යි.
‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ඇවැත් මහකසයින් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ තෙල වදාළහ.
ඇවැත්නි, බුදුහු යම් උද්දේසයක් කෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක් ද,
අතීත වූ ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ‘භද්දේකරත්ත’ නමැ යි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.
ඇවැත්නි, මම බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය මෙසේ විස්තර විසින් දැනගනිමි.
ඇවැත්නි, කිසෙයින් අතීත වූ ද්වාදශායතනධර්‍මය අනුගමනය කෙරෙයි යත්: අතීත කාලයෙහි මාගේ ඇස විය, මෙසේ රූපයෝ වූහයි ඒ අතීත චක්‍ෂුරූපයන්හි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය කෙරෙයි. අතීතයෙහි මෙසේ මාගේ ශ්‍රෝත්‍රය විය, මෙසේ ශබ්දය වී යයි එහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වෙයි ... අතීතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණය විය මෙසේ ගන්‍ධයෝ වූහ යි ... මෙසේ අතීතයෙහි මාගේ ජිහ්වායතනය විය, මෙසේ රසයෝ වූහ’ යි ... අතීතයෙහි මෙසේ මාගේ කායායතනය විය, මෙසේ මාගේ ස්ප්‍රෂ්ටව්‍යායතනය වී’ යයි ... අතීතයෙහි මෙසේ මාගේ මනායතනය විය, මෙසේ ධර්‍මයෝ වූහ’ යි එහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ වූ විඥානය වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය කෙරෙයි. ඇවැත්නි, මෙසේ අතීත ආයතන ධර්‍මය අනුගමනය කෙරෙයි.
ඇවැත්නි, කිසෙයින් අතීතය අනුගමනය නො කෙරෙයි යත්: අතීතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතනය විය මෙසේ රූපයෝ වූහ’යි ඒ අතීත චක්‍ෂුරූපයන්හි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වෙයි, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය නො කෙරෙයි. අතීත කාලයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය විය, මෙසේ මාගේ ශබ්දයෝ වූහ’ යි ... අතීතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය විය, මෙසේ ගන්‍ධයෝ වූහ’යි ... අතීතයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය විය, මෙසේ රසයෝ වූහ’යි ... අතීතයෙහි මෙසේ මාගේ කායායතනය විය, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යයෝ වූහ’යි අතීතයෙහි මෙසේ මාගේ මනායතනය විය. මෙසේ ධර්‍මයෝ වූහ’ යි එහි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අතීතය අනුගමනය නො කෙරෙයි, ඇවැත්නි, මෙසේ අතීත ආයතනධර්‍මය අනුගමනය නො කෙරෙයි.
ඇවැත්නි, කිසෙයින් අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි යත්: අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතන වන්නේ යැ, මෙසේ රූපයෝ වන්නාහ’ යි. නො ලත් ආයතනධර්‍මයාගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවාලයි. චිත්තයාගේ ප්‍රණිධානප්‍රත්‍යයෙන් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි. අනාගත කාලයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය වන්නේ යැ, මෙසේ ශබ්දයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය වන්නේ යැ, මෙසේ ගන්‍ධයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය වන්නේ ය, මෙසේ රසයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ කායායතනය වන්නේ යැ, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යායතනය වන්නේය’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ මනායතනය වන්නේ යැ, මෙසේ ධර්‍මයෝ වන්නාහ’ යි. අප්‍රතිලබ්ධ වූ ධර්‍මායතනයාගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවයි. ප්‍රණිධානප්‍රත්‍යයෙන් එය අභිනන්‍දනා කෙරෙයි. එය ප්‍රාර්‍ත්‍ථනා කරනුයේ අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි. ඇවැත්නි, මෙසේ අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
ඇවැත්නි, කිසෙයින් අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි යත්: අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතන වන්නේ යැ, මෙසේ රූපයෝ වන්නාහ’ යි. නො ලත් ආයතනධර්‍මයාගේ ප්‍රතිලාභය පිණිස සිත නො පිහිටුවයි. සිත නො පිහිටුවීම් පසයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි, එය අභිනන්‍දනා නො කරනුයේ අනාගත ආයතනධර්‍ම ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි. අනාගතයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය වන්නේ යැ, මෙසේ ශබ්දයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය වන්නේ යැ, මෙසේ ගන්‍ධයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය වන්නේ ය. මෙසේ රසයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ කායායතනය වන්නේ යැ, මෙසේ ස්පර්‍ශ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ මනායතනය වන්නේ යැ, මෙසේ ධර්‍මයෝ වන්නාහ ’ යි නො ලත් ධර්‍මායතනයාගේ ප්‍රතිලාභය පිණිස සිත නො පිහිටුවයි. සිත නො පිහිටුවීම පසයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ.
ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අදනා ලැබෙයි යත්: ඇවැත්නි, යම් චක්‍ෂුරින්‍ද්‍රියයෙකුත් යම් රූපාලම්බන කෙනෙකුත් ඇද්ද, තෙල චක්‍ෂුරූප දෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වේද, විඥානය තමා ඡන්‍දරාග ප්‍රතිබද්ධ බැවින් ඒ ප්‍රත්‍යුත්පන්නය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ ප්‍රත්‍යුත්පන්නධර්‍මයෙහි අදනාලැබෙයි. ඇවැත්නි, යම් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියයෙකුත් යම් ශබ්දාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් ඝ්‍රාණෙන්‍ද්‍රියයෙකුත් යම් ගන්‍ධාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් ජිහ්වේන්‍ද්‍රියයෙකුත් යම් රසාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් කායේන්‍ද්‍රියයෙකුත් යම් ස්ප්‍රෂ්ටව්‍යාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් මනින්‍ද්‍රියයෙකුත් යම් ධර්‍මාලම්බන කෙනෙකුත් ඇද්ද මෙදෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වේ ද, විඥානය තමා ඡන්‍දරාග ප්‍රතිබද්ධ බැවින් ඒ ප්‍රත්‍යුත්පන්නය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි අදනා ලැබෙයි. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්නධර්‍මයෙහි අදනා ලැබේ.
ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, යම් චක්‍ෂුසෙක් යම් රූප කෙනෙක් ඇද්ද මෙ දෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි මැ විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වේ ද, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වනුයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි ඒ අභිනන්‍දනා නො කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබෙයි. ඇවත, යම් ශ්‍රෝතයෙකුත් යම් ශබ්ද කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් ඝ්‍රාණයෙකුත් යම් ගන්‍ධ කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් ජිහ්වාවකුත් යම් රස කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් කයෙකුත් යම් ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් මනසකුත් යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද මෙදෙක ප්‍රත්‍යුත්පන්න යැ. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වේ ද, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වනුයේ ඒ අභිනන්‍දනා නො කෙරෙයි. ඒ අභිනන්‍දනා නො කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ.
ඇවැත්නි, අපගේ බුදුහු යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසියෝ ද,
අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ මහණහු ඒකාන්තයෙන් ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.
ඇවැත්නි, මම බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ විස්තරාර්‍ත්‍ථය මෙසේ දැනගනිමි. ආයුෂ්මත්නි, තෙපි ඉදින් කැමැත්තාහු නම් බුදුන් කරා මැ එළඹ තෙල කරුණ පුළුවුස්වූ යැ. යම්සේ බුදුහු ප්‍රකාශ කෙරෙත් ද එපරිද්දෙන් එය ධරව යි.
ඉක්බිති ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරණුවන්ගේ භාෂිත අභිනන්‍දනා කොට අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහු යැ. එළඹ භාග්‍යවතුන් වහන්සේ අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක් ද,
‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ මහණහු ‘භද්‍රෛකරාත්‍ර’ යැයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.”
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම යත් මැ අපට තෙල සිත් විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තරාර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක.
‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, නො පත් ආයතනධර්‍මය තෘෂ්ණාදෘෂ්ටීන් ප්‍රාර්‍ත්‍ථනා නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ මහණ ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තරයෙන් විභාග කරන්නේ දැ’යි. වහන්ස, අපට තෙල සිත් විය: මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනිදු සම්භාවිතයහ. ආයුෂ්මත් කච්චායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභාග කරන්නට පොහොසත් වන්නාහ. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායනයන් කරා එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායනයන් අතින් තෙල කරුණු පුළුවුස්නමෝ නම් මැනැවැයි. වහන්ස, එකල්හි ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායනයන් කරා එළැඹියම්හ. එළඹ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් අතින් පුළුවුසුම්හ. වහන්ස, ආයුෂ්මත් මහාකාත්‍යායනයන් විසින් අපට මේ අයුරින් මේ පදයෙන් මේ ව්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය විභාග කරන ලදැ’යි.
මහණෙනි, මහාකාත්‍යායනයෝ පණ්ඩිතයහ, මහණෙනි, මහාකාත්‍යායනයෝ මහාප්‍රඥයහ. මහණෙනි, ඉදින් තෙපි මයිදු අතින් තෙල කරුණ පුළුවුස්නවු නම් මම් ද එය ‘යම්සේ එය මහාකාත්‍යායනයන් විසින් ප්‍රකාශ කරන ලද ද, එපරිදි මැ ප්‍රකාශ කරන්නෙමි. තවද ඒ උද්දේසයාගේ තෙලෙ මැ අර්‍ත්‍ථ වෙයි. එපරිද්දෙන් එය ධරව’යි.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක, සතුටු සිත් ඇති ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ යි.
තුන් වැනි මහාකච්චාන භදේදකරත්ත සූත්‍ර යි.
3. 4. 4.
ලෝමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු මහසිටුගේ දෙව්රම් වෙහෙර වැඩ වාස කරන සේක. එකල ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි විහරණ කෙරෙති. එසඳ චන්‍දන දේවපුත්‍ර මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති වැ සියලු නිග්‍රෝධාරාමය බබුළුවා ලෝමසකඞ්ගිය තෙරණුවන් කරා එළැඹියේ යි. එළඹ එකත්පස් වැ සිටියේ. එකත්පස් වැ සිටි චන්‍දන දෙව්පුත් ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවනට තෙල කී.
මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරව? යි.
ඇවත, මම භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි.