Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 5401-5500 න් 6387

මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන් ගිය ප්‍රාණීහු ඇත. මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කීටයෝ යැ, පණුවෝ යැ, ගඩවිල්හු යි. අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන යම් සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.
මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණීහු ඇත, මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මස් හ, කසුබුවෝ යැ, කිඹුල්හු යි. දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි ප්‍රාණී කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව් කම් කොට කාබුන් මරණින් මතු දියෙහි දනන දියෙහි දිරන දියෙහි මියන යම් සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.
මහණෙනි, අසුචියෙහි උපදනා අසුචියෙහි දිරන අසුචියෙහි මියන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත. මහණෙනි, අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් කුණුමසෙයි හෝ උපදිත් ද, කුණුමසෙහි හෝ දිරත් ද, කුණුමසෙහි හෝ මියත් ද, පූතිකුණපයෙහි හෝ ... කුණු කොමුයෙහි හෝ ... මොහොළෙහි හෝ ... ගවරවළැ හෝ උපදනා ... සත්ත්‍වයෝ ඇද්ද .... මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතුයෙහි අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන යම් සත්ත්‍ව කෙනෙක් ඇද්ද, ඒ සතුන් ගේ සහ වාසයට එළැබෙයි.
මහණෙනි, මම නන්අයුරින් තිරශ්චීනයෝනිකථා කියමි. මහණෙනි, තිරශ්චීනයෝනිය ඉමහත් දුකැ’යි වචනයෙන් කියා නිමහම් පැමිණෙන්නට සුකර නොවෙයි.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් එක් සිදුරැති වියදඬක් මහමුහුදෙහි බහාලන්නේ වේ ද, තෙල වියදඬ පෙරදිගින් හමන සුළඟ පැසුළු කරා ගෙන යන්නේ වේ ද, පැසුළු දිගින් හමන සුළඟ පෙරදිග කරා ගෙනයන්නේ වේ ද, උතුරුදිගින් හමන සුළඟ දකුණුදික්හි ගෙනයන්නේ වේ ද, දකුණුදිගින් හමන සුළඟ උතුරුදිග්හි ගෙනයන්නේ වේ ද, ඒ මුහුදෙහි කණකැස්බෙක් ඇද්ද, ඒ කසුබු වර්‍ෂශතයක් වර්‍ෂශතයක් ඇවෑමෙන් වරක් ඉල්පෙන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ හඟිව් ද, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ගෙල බහන්නේ වේ දැ’යි.
වහන්ස, දීර්‍ඝකාලයක් ඇවෑමෙන් යම් මැ දිනෙක වියැහෙන්නේ යැ’යි.
මහණෙනි, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ඉතා ශීඝ්‍ර ව ගෙල බහන්නේය. මහණෙනි, මම වරක් විනිපාතගත බාලයා විසින් මනුෂ්‍යත්‍වය එයට වඩා දුර්‍ලභතර යයි කියමි. එ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා, කුශලක්‍රියා පුණ්‍යක්‍රියා නැත් ම ය, මහණෙනි, මෙහි උනුන් කෑම දුර්‍වලයන් කෑම ඇත.
මහණෙනි, ඒ බාල ඉදින් කිසි කලෙක දීර්‍ඝකාලයක්හු ගේ ඇවෑමෙන් සැඬල්කුලය වේව’යි වැදිකුලය වේව’යි කුලුපොතු කුලය වේව’යි රියකරු කුලය වේව’යි පුප්සඬුකුලය වේව’යි යම් නීචකුල කෙනෙක් ඇද්ද, යම් කුලයෙක්හි දුකසේ බත් වත් ලැබේ ද, දිළිඳු වූ අල්ප ආහාරපාන භෝජන ඇති දුකසේ දිවිවැටුම් ඇති එබඳු කුලයෙහි උපදනේය. හේ වැලිත් දුර්වර්‍ණ වූයේ බිය එළවන දැකුම් ඇතියේ ලකුණුටක (අඟුටුමිටි) වූයේ බොහෝ ආබාධ ඇතියේ වෙයි, කණ හෝ කොර හෝ කුදු හෝ පිළු හෝ වෙයි, ආහාර පැන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් ශයන අගාර හා පහන්තෙල් දුකසේ ලබනසුලු වෙයි. හේ කයින් දුසිරිත් කෙරෙයි, බසින් දුසිරිත් කෙරෙයි, සිතින් දුසිරිත් කෙරෙයි, හේ කයින් දුසිරිත් පුරා බසින් දුසිරිත් පුරා සිතින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු සැපයෙන් පහවැගිය දුර්‍ගති ඇති විවස ව පතිත වන නිරයට එළැඹෙයි.
මහණෙනි, යම් පිරිදි අක්‍ෂධූර්‍ත තෙමේ පළමු පරාජයෙන් ම පුතුගෙනුදු පිරිහෙන්නේ යැ, අඹුවන්ගෙනුදු පිරිහෙන්නේ යැ, හැම වස්තුවෙනුදු පිරිහෙන්නේ යැ, මතුයෙහි දු බන්‍ධනයට පැමිණෙන්නේ යැ. මහණෙනි, යම් හෙයකින් ඒ අක්‍ෂධූර්‍ත පළමු පරාජයෙන් මැ පුතුගෙනුදු පිරිහේ ද, අඹුවන්ගෙනුදු පිරිහේ ද, සියලු වස්තුවෙනුදු පිරිහේ ද, මතුයෙහිත් බන්‍ධනයට පැමිණේ ද, ඒ පරාජය අල්පමාත්‍ර වූයෙක, වැළි යම් හෙයකින් ඒ බාල කයින් දුසිරිත් කොට බසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ ද මෙය මැ ඊට වඩා ඉතා මහත් පරාජයෙකි. මෙ ද මහණෙනි, සර්‍වපරිපූර්‍ණ වූ බාලභූමි වේ” යයි.
මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිතලක්‍ෂණයෝ පණ්ඩිත නිමිති හා පණ්ඩිත අපදානයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙකැ යත්: මහණෙනි, මෙලොව පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේ ද වෙයි, මනා බස් බණනුයේ ද වෙයි, මනා ක්‍රියා කරනුයේ ද වෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් නොවී නම් මනා බස් බණනු නො වී නම්, සුකෘත කර්‍ම නො කරනු වී නම් මේ භවත් පුරුෂ පණ්ඩිතයෙකැ යි පණ්ඩිතයෝ කවර ලකුණෙකින් ඔහු හඳුනත් ද, යම් හෙයකින් මහණෙනි, පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් වේ ද, සුභාෂිත බණනුයේත් වේ ද, සුකෘතකර්‍ම කරනුයේත් වේ ද, එහෙයින් පණ්ඩිතයෝ ‘මේ භවත් සත්පුරුෂ පණ්ඩිතයෙකැ’යි ඔහු දැන ගනිති.
මහණෙනි, මේ පණ්ඩිතපුරුෂ ඉහාත්මයෙහි මැ තුන් වැදෑරුම් සුවසොම්නස් විඳුනේ යැ. මහණෙනි, ඉදින් මේ පණ්ඩිත තෙමේ සභායෙකැ හුන්නේ හෝ වේ ද, වීථියෙකැ හුන්නේ හෝ වේ ද, සතර මංසන්‍ධියෙකැ හුන්නේ හෝ වේ ද, එහිලා ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරේ. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙමේ පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසාවායෙන් දුරු වූයේ වේ ද, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, මහණෙනි, එහි දී ඒ පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි: ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ පණ්ඩිතධර්‍මයෝ මා වෙත ඇත. මම ද ඒ පණ්ඩිතධර්‍මයෙහි මොනොවට පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහි මැ මේ පළමු වන සුඛ සෞමනස්‍ය විඳුනේ යැ.
යළිදු මහණෙනි, පණ්ඩිත තෙමේ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කරන රජුන් දකී. කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් ... කඩුයෙනුදු හිස සිඳුනුවන් දකී. මහණෙනි, එහි දී පණ්ඩිත පුරුෂහට මෙ සිත වෙයි. ‘යම්බඳු ලාමක අකුශල කර්‍මයන් හේතුකොටගෙන අපරාධකාරී සොරු ගෙන රජදරුවෝ විවිධ කම්කටොලු කරද්ද: කසයෙනුදු තළද්ද, වේවැලිනුදු තළද්ද ... කඩුයෙනුදු හිස සිඳිද්ද, ඒ අකුශල ධර්‍මයෝ මා කෙරෙහි විද්‍යමාන නො වෙති, මම ද ඒ අකුශලධර්‍මයන්හි නො පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙම ඉහාත්මයෙහි මේ දෙවැනි සුවසොම්නස වි ඳී.
යළිදු මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟී සිටියහුට වේවයි මඤ්චයෙහි නැගී සිටියහුට වේවයි බිම හෝනහුට වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනඃසුචරිත වූ යම් කුශල කර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කුශලකර්‍මයෝ එළැඹසිටිති අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්, යම්පරිදි මහණෙනි, මහත් වූ පර්‍වත කූටයන්ගේ සෙවණැළි සවස් කාලයෙහි පොළොවෙහි අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් පැතිරෙත් ද එපරිදි ම මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහු වේවයි මඤ්චයෙහි නැඟීසිටියහු වේවයි බිමැ හෝනහු වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනස්සුචරිත වූ යම් කුශලකර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් එළැඹ සිටිත්. මහණෙනි, එහි දී පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි, ‘ඒකාන්තයෙන් මා විසින් පව් නො කරනලද, රෞද්‍රකර්‍ම නො කරනලද, කිල්විෂ නො කරනලද, කල්‍යාණය කරනලද, කුශලය කරනලද, භයපරිත්‍රාණය කරනලද, නො කළ පව් ඇති නො කළ රෞද්‍රකර්‍ම ඇති නො කළ කිල්විෂ ඇති කළ කල්‍යාණ ඇති, කළ කුසල් ඇති කළ භයපරිත්‍රාණ ඇති සත්නට යම්බඳු ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොවැ යෙමි’යි හේ ශෝක නො කෙරෙයි, වෙහෙස නො වෙයි, පරිදේවනා නො කෙරෙයි, ළෙහි අත් පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහි මැ මේ තුන්වැනි සුවසොම්නස විඳී.
මහණෙනි, ඒ පණ්ඩිත තෙමේ කයින් සුචරිතය කොට බසින් සුචරිතය කොට සිතින් සුචරිතය කොට කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, මනාකොට කියනුයෙක් යම්ගතියක් සඳහා ඒකාන්තයෙන් ඉෂ්ට යැ ඒකාන්තයෙන් කාන්ත යැ ඒකාන්තයෙන් මනාප යැයි කියා නම් මනාකොට කියනුයෙක් ඒ ස්වර්‍ගය මැ ඒකාන්තයෙන් ඉෂ්ට යැ ඒකාන්තයෙන් කාන්ත යැ ඒකාන්තයෙන් මනාප යැ’යි කියන්නේ යැ. මහණෙනි, ඒ ස්වර්‍ගයෝ අතිශය සුව ඇත්තාහ’යි දක්වන්නට උපමාවකුදු සුකර නො වේ’යයි වදාළහ.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, උපමාවක් එළවන්ට හැකි දැ? යි.
භාග්‍යවතුන් වහන්සේ මහණ, හැකි යයි වදාළසේක. ‘මහණ, යම්සේ සප්තරත්නයෙන් ද චතුර්විධ ඍද්ධියෙන් ද සමන්‍වාගත වූ සක්විති රජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳී. කවර සතෙකින් ද යත්:
මහණ මෙලොවැ මූර්‍ධාභිෂික්ත වූ එදවස් පණුරැසි පොහොයෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල්තලයට නැඟී සිටි කැත්රජුහට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වෙයි. මූර්‍ධාභිෂික්ත වූ ඒ ක්‍ෂත්‍රියරජුට එදැක මෙසිත වෙයි: ‘මා විසින් තෙල අසන ලද, මූර්‍ධාභිෂික්ත වූ එදවස් පෙහොයැ පණුරැසියෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල් තලයට පැමිණි කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වේ ද, ඒ රජ සක්විති වෙයි. මම් සක්විති රජ වීම් දෝ හො’යි.
මහණෙනි, ඉක්බිති මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජ හුනස්නෙන් නැගී වමතින් කෙණ්ඩිය ගෙන දකුණතින් චක්‍රරත්නයට පැන් වඩයි. භවත් චක්‍රරත්නය ප්‍රවර්‍තන කෙරේවා, භවත් චක්‍රරත්නය දිනාව’යි කියා යි. එසඳ මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිගට ප්‍රවර්‍තන කෙරෙයි. තදනු කොට සක්විති රජ ද සිවුරඟ සෙනඟ සමග ප්‍රවර්‍තන කෙරෙයි. මහණෙනි, යම් පෙදෙසකැ චක්‍රරත්නය පිහිටා ද එහි සක්විති රජ සිවුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි.
මහණෙනි, පෙරදිග යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද ඔහු සක්විති රජු කරා එළැඹ මෙසේ කියති: ‘එව මහරජ, මහරජ ස්වාගත යැ, මහරජ තොප අයති යැ, මහරජ අනුශාසනා කරව’යි.
සක්විතිරජ මෙසේ කියා: ප්‍රාණවධ නො කටයුතු යැ, අයිනාදන් නො ගතයුතු යැ, කාමයෙහි මිසහසර නො කටයුතු යැ, මෘෂා නො බිණියයුතු යැ, මද්‍ය නො පියයුතු යැ වැළඳූ පරිදි මැ වළඳව’යි කියා යි. යළි මහණෙනි, පූර්‍වදිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් වෙද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පූර්‍ව සාගරයට වැදගෙන නැඟී දකුණුදිගට ප්‍රවර්‍තන කෙරෙයි. ... දක්‍ෂිණ සාගරයට බැසගෙන නැඟී පශ්චිමදිශාවට ප්‍රවර්‍තන කෙරෙයි. ... පශ්චිමසාගරයට බැසගෙන නැඟී උතුරුදිගට ප්‍රවර්‍තන කෙරෙයි. සක්විතිරජ සියුරඟ සෙනඟ සමග අනුප්‍රවර්‍තන කෙරෙයි.
තවද මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටා ද එහි සක්විතිරජ සියුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි. තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජු කරා එළඹ මෙසේ කියති: එව මහරජ, ස්වාගත යැ මහරජ, මහරජ තොපගේ අයතියැ වෙයි, අනුශාසනා කරව මහරජ’යි.
සක්විතිරජ මෙසේ කියයි: ප්‍රාණවධ නො කටයුතු යැ, අයිනාදන් නො ගතයුතු යැ, කාමයෙහි මිසහසර නො කටයුතු යැ, මෘෂා නො බිණියයුතු යැ, මද්‍ය නො පියයුතු යැ, වැළඳූ පරිදි මැ වළඳව’යි, තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති.
ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය සමුද්‍රපර්‍ය්‍යන්ත කොට ඇති පෘථිවිය දිනා ඒ රාජධානියට ම පෙරළා අවුත් සක්විති රජුගේ අන්තඃපුරද්වාරය හොබවමින් අකුරැ ගැසූ කලක් මෙන් සිටී. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ චක්‍රරත්නය පහළ වෙයි:
තවද මහණෙනි, සක්විති රජුට හස්තිරත්නය පහළ වෙයි. සව්සුදු සතඟින් පොළොව පහස්නා ඉදුහ ඇති අහසැ යන උපෝසථකුලයෙහි ඇත්රජෙකි. එ දැක සක්විති රජුගේ සිත පහදී. ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් ඒකාන්තයෙන් භද්‍ර වූ හස්තියානයෙකැ, යි. ඉක්බිති මහණෙනි, ඒ හස්තිරත්නය දීර්‍ඝරාත්‍රයෙහි මොනොවට දමනය කළ භද්‍ර වූ ආජානීය හස්තියකු යම්සේ නම් එපරිදි මැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ හස්තිරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එ මැ රාජධානියට පෙරළා අවුත් පෙරබත්කිස කෙළේ යැ. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ හස්තිරත්නය පහළ වෙයි.
තවද මහණෙනි, සක්විතිරජුට අශ්වරත්නය පහළ වෙයි. සව්සුදු කළුවන්හිස් ඇති මුදුතණ බඳු කෙස් ඇති ඉදුහ ඇති අහසැ යන වලාහක කුලයෙහි අස්රජෙකි. එ දැක සක්විතිරජුගේ සිත පහදී: ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් එකැතින් භද්‍ර වූ අශ්වයානයෙකැ’යි. ඉක්බිති මහණෙනි, ඒ අශ්වරත්නය දීර්‍ඝරාත්‍රයෙහි මොනොවට දැමූ භද්‍ර වූ ආජානීය අශ්වයෙක් යම්සේ නම්, එපරිදි මැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ අශ්වරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එමැ රාජධානියට පෙරළා අවුත් පාතරාසය කෙළේ යැ. මහණෙනි, සක්විති රජුට මෙ බඳු වූ අශ්වරත්නය පහළ වෙයි.
තවද මහණෙනි, සක්විති රජුට මණිරත්නය පහළ වෙයි. හේ ශෝභන වූ ජාතිමත් වූ අටැස් වූ මොනවට පිරියම් කළ වෙරළුමිණෙක් වෙයි. මහණෙනි, ඒ මාණික්‍යරත්නයාගේ වැළිත් ආලොකය හාත්පසැ යොදුනක් පැතිරැ සිටියේ වෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විතිරජ එ මැ මිණිරුවන විමසනුයේ සියුරඟ සෙනඟ සන්නද්ධ කොට මිණිරුවන ධ්වජාග්‍රයට නඟා රැය ගනඅඳුරෙහි නික්ම ගියේ යැ. මහණෙනි, හාත්පසැ යම් ගම්වැසි කෙනෙක් වූවාහු ද ඔහු ඒ ආලොකයෙන් ‘දහවලැ’යි සිතමින් කර්‍මාන්තයන් කළහ. මහණෙනි, සක්විති රජුට මෙ බඳු මිණිරුවන පහළ වෙයි.
තවද මහණෙනි, සක්විති රජුට ස්ත්‍රීරත්නය පහළ වෙයි. විශිෂ්ට රූප ඇත්තී යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවන්නී යැ උතුම් වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත යැ. ඉතා නො උස් යැ ඉතා නො මිටි යැ ඉතා සිඟු නො වූ යැ ඉතා මහත් නො යූ යැ, ඉතා කැළි නො වූ යැ ඉතා සුදු නො වූ යැ මිනිස් පැහැ ඉක්ම සිටියේ යැ දිව්‍යවර්‍ණයට නො පැමිණියා වෙයි. මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ මෙ බඳු කායසංස්පර්‍ශයෙක් වෙයි. හිඹුල්පුළුන් හෝ කපු පුළුන් හෝ යම්සේ නම් එමෙනි. යළි මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ ගාත්‍රයෝ සිහිලෙහි උණුසුම් වෙති, උණුසුමෙහි සිහිලුවූ ගාත්‍රයෝ වෙත්, මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ වැළිත් සිරිරින් සඳුන්සුවඳ හමයි, මුවින් උපුල්සුවඳ හමයි. තවද මහණෙනි, ඒ ස්ත්‍රීරත්නය සක්විති රජුට පළමු නැඟීසිටින්නී පසුව නිදන්නී ‘කුම් කෙරෙම් දැ’ යි (උපස්ථායිකා වශයෙන්) පිළිවිස කරන්නී මනවඩනා දෑ කරන්නී ප්‍රිය තෙපුල් බණන්නී වෙයි. ඒ ස්ත්‍රීරත්නය වැළිත් සක්විතිරජු සිතිනුදු නො ඉක්මවයි, කයින් ඉක්මවයි යනු කිම? මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ ස්ත්‍රීරත්නය පහළ වෙයි.
තවද මහණෙනි, සක්විති රජුට ගෘහපති රත්නයෙක් පහළ වෙයි. ඔහුට කර්‍මවිපාකජ වූ දිව ඇස පහළ වෙයි. යම් ඇසෙකින් සස්වාමික වූ ද අස්වාමික වූ ද නිධාන දකී ද එ බඳු ඇසෙකි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දේවයන් වහන්ස, තෙපි අල්පොත්සුක වා. මම් තොපට ධනයෙන් ධනකරණී කෙරෙමි’යි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ ගෘහපතිරත්නය විමසනුයේ නැවකට නැඟී ගංඟානදී මැද ශ්‍රෝතසට වැද ගෘහපතිරත්නයට තෙල කී: ‘ගෘහපතිය, මට හිරණ්‍යස්වරණයෙන් ප්‍රයෝජන ඇතැ’යි. ‘මහරජ, එසේ වී නම් නැව එක් ඉවුරකට පැමිණෙව’යි. ‘ගෘහපතිය, මට මෙහි දී ම, හිරණ්‍යස්වර්‍ණයෙන් ප්‍රයෝජන ඇතැ’යි. ඉක්බිති මහණෙනි, ඒ ගෘහපතිරත්නය දෑතින් දිය ස්පර්‍ශ කොට රත්රන් අමුරනු පිරූ කළයක් නඟාගෙන සක්විති රජුට මෙසේ කී: ‘මහරජ මෙතෙකින් පමණ, මහරජ මෙතෙකින් කළකිස ඇත. මහරජ මෙතෙකින් පුදනලදැ’යි. සක්විතිරජ මෙසේ කී: ගෘහපතිය මෙතෙකින් පමණ. ගැහැවිය මෙතෙකින් කළකිස ඇත. ගැහැවිය මෙතෙකින් පුදනලදැ’යි. මහණෙනි, සක්විතිරජුට මෙ බඳු වූ ගෘහපතිරත්නය පහළ වෙයි.
තවද මහණෙනි, සක්විති රජුට පරිනායක රත්නය පහළ වෙයි. හේ පණ්ඩිත යැ ව්‍යක්ත යැ විශිෂ්ටබුද්ධි ඇත්තේ යැ සක්විතිරජු කරා එළවියයුත්තහු එළවාලන්නට ද නෙරවා ලියයුත්තහු නෙරවාලන්නට ද ප්‍රතිබල වෙයි, තනතුරෙහි තැබියයුත්තහු තනතුරෙහි තබන්නට ද ප්‍රතිබල වෙයි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දේවයන් වහන්ස, තෙපි අල්පොත්සුක වා. මම අනුශාසනා කෙරෙමි’යි. මහණෙනි, සක්විති රජහට මෙබඳු පුත්‍රරත්නය පහළ වෙයි.
මහණෙනි, සක්විතිරජ මේ සප්තරත්නයෙන් සමන්‍වාගත වෙයි.
කවර සතර ඍද්ධියකින් සමන්‍විත වේ ද යත්:
මහණෙනි, මොලොව සක්විතිරජ අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාද එළවනු වූයේ වෙයි. අන් මිනිසුන්ට වඩා උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් අතිශයින් සමන්‍වාගත වෙයි. මහණෙනි, සක්විතිරජ මේ පළමු වන ඍද්ධියෙන් සමන්‍විත වෙයි.
තවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අතිශයින් දීර්‍ඝායුෂ්ක වූයේ චිරස්ථායී වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ දෙවන ඍද්ධියෙන් සමන්‍විත වෙයි.
තවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ ඉතා සිහිල් නො වූ ඉතා උණුසුම් නො වූ සමව පැසෙන ග්‍රහණියෙන් සමන්‍විත වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ තුන්වැනි ඍද්ධියෙන් සමන්‍විත වෙයි.
තවද මහණෙනි, සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වෙයි. මහණෙනි, යම්සේ පිය තෙම පුතුනට ප්‍රිය මනාප වේ ද, මහණෙනි, එපරිදි මැ සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වේ. මහණෙනි, බමුණුගැහැවියෝ සක්විතිරජුට ද ප්‍රිය මනාප වෙති. මහණෙනි, යම්සේ පුත්‍රයෝ පියාට ප්‍රියමනාප වෙත් ද, මහණෙනි, එපරිදි මැ බමුණුගැහැවියෝ සක්විතිරජුට ද ප්‍රිය මනාප වෙත්. මහණෙනි, පෙර සක්විතිරජ සියුරඟ සෙනඟ සමග උයන්බිමට නික්මිණ. මහණෙනි, එකල්හි බමුණුගැහැවියෝ සක්විතිරජු කරා එළඹ මෙසේ කීහ: ‘දේවයෙනි, යම්සේ ඇපි තොප බොහෝ වෙලාවක් දක්නමෝ ද එසෙයින් ලැසි වැ ගියමැනැවැ’යි, මහණෙනි, සක්විතිරජ ද රියැදුරා ඇමැතී: ‘සාරථිය, යම් පරිදි බමුණුගැහැවියෝ මා බොහෝ වේලාවක් දක්නාහු නම් එපරිදි ලැසි වැ (අසුන්) මෙහෙයාලව’යි. මහණෙනි, සක්විතිරජ මේ සතර වැනි ඍද්ධියෙන් සමන්‍වාගත වෙයි.
මහණෙනි, සක්විතිරජ මේ සතර ඍද්ධියෙන් සමන්‍වාගත වේ.
මහණෙනි, ඒ කිමායි සිතවු ද, මේ සප්තරත්නයෙන් ද මේ චතුර්විධ ඍද්ධියෙන් ද සමන්‍වාගත වූ සක්විතිරජ කිම ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේ දැ?යි.
වහන්ස, ඒ එකෙකි රත්නයෙකිනුදු සමන්‍වාගත සක්විතිරජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේ යැ, සත්රුවනින් ද සතර ඉදුහයෙන් ද යුක්ත වූයේ කියනු කිමැ’යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිට පමණ වූ පුරුතු පහණක් ගෙන භික්‍ෂූන් ඇමැතූ සේක. මහණෙනි, ඒ කිමැයි සිතවු ද? මා විසින් ගන්නාලද අතුල් පමණ වූ යම් පුරුතු පහණෙක් ඇද්ද, යම් හිමවත් පර්‍වතරාජයෙකුත් ඇද්ද, මෙයින් කවරෙක් අතිශයින් මහත් වේ දැ? යි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අල්ප වූ පාණිමාත්‍ර වූ ගන්නාලද මේ පාෂාණය අල්පමාත්‍ර යැ හිමවත් පර්‍වතරාජයා නිසා සඞ්ඛ්‍යාවට ද නො පැමිණෙයි. කලභාගයට ද නො පැමිණෙයි. උපනික්‍ෂේපයට ද නො පැමිණෙයි.
එපරිදි මැ මහණෙනි, සක්විතිරජ සත්රුවනින් ද සතර ඉදුහයෙන් ද සමන්‍වාගත වූයේ එකරුණෙන් යම් සුවයක් සොම්නසක් විඳී ද එය දිව්‍ය සුඛය නිසා සඞ්ඛ්‍යාවට ද නො පැමිණෙයි, කාලභාගයට ද නො පැමිණෙයි, උපනික්‍ෂේපයට ද නො පැමිණෙයි.
මහණෙනි, ඒ පණ්ඩිත ඉදින් කිසි කලෙක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේ ද කැත්මහසල්කුල වේවයි බමුණු මහසල් කුල වේවයි ගැහැවිමහසල්කුල වේවයි යම් ඒ කුල කෙනෙක් ඇද්ද, ආඪ්‍ය වූ මහත්ධන ඇති මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ පරිභෝග උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති එබඳු කුලයෙහි උපදනේ වෙයි. හෙ ද අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාද එළවනුයේ උතුම් වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් වාසාගාර හා පහන්තෙල් ලබනසුලු වෙයි. හේ කයින් සුචරිතය පුරයි. බසින් සුචරිතය පුරයි, සිතින් සුචරිතය පුරයි. හේ කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, යම් පරිදි අක්‍ෂධූර්‍තයෙක් පළමු වන ජයග්‍රහණයෙන් මැ මහත් වූ භෝගස්කන්‍ධය ලබා ද මහණෙනි, යම් හෙයෙකින් ඒ අක්‍ෂධූර්‍ත පළමු වන ජයග්‍රහණයෙන් මැ මහත් වූ භොග ස්කන්‍ධය ලබා නම් ඒ ජයග්‍රහණය අල්පමාත්‍ර යැ. වැළි යම් හෙයෙකින් ඒ පණ්ඩිත කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්‍ගලෝකයට පැමිණේ ද මේ ජයග්‍රහණය මැ ඊට වඩා අතිශයින් මහත් වෙයි. මහණෙනි, මේ සර්‍වපරිපූර්‍ණ වූ පණ්ඩිතභූමි වේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ බාලපණ්ඩිත සුත වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යි.
නව වැනි බාලපණ්ඩිත සූත්‍ර යි.
3. 3. 10.
දේවදූත සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් අමතාවදාළහ. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දේවදූත සූත්‍රය වදාළ සේක:
මහණෙනි, දොර සහිත වූ ගෘහ දෙකක් යම්සේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට පිවිසෙන්නා වූ ද ගෙන් නික්මෙන්නා වූ ද ගෙහි ඇවිදිනා වූ ද ඔබමොබ හැසිරෙන්නා වූ ද මිනිසුන් යම්සේ දකී ද, එපරිදි මැ මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීනප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි මියගිය සත්ත්‍වයන් දැනගනිමි.
මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු මිනිසුන් කෙරෙහි උපන්නාහු යැ.
මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ප්‍රේත විෂයට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු තිරශ්චීනයෝනියට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාක්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහු යයි.
මහණෙනි, නිරයපාලයෝ ඒ සත්ත්‍වයා වෙන වෙන අත් ගෙන යමරජුට දක්වති. ‘දේවයිනි, මේ පුරුෂ මෑණියන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, පියාණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, මහණුන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, ක්‍ෂීණාස්‍රව බමුණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, කුලදෙටුවන් කෙරෙහි අපචායන නො කළ කෙනෙක, දේවයන් වහන්සේ මොහුට දඬුවම් පණවත්ව’ යි.
මහණෙනි, යමරජ තුලුන් අතින් පළමු වන දේවදූතයා අනුයෝග වතට නංවා ප්‍රශ්න කරයි. ලබ්ධි පිහිටුවා ප්‍රශ්න කරයි. කරුණු විචාරයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි ප්‍රථම දේවදූතයා පහළවූවාහු නුදුටුයෙහි? හෙ මෙසේ කියයි: වහන්ස, නුදුටුමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි මන්‍ද වූ උඩුහුරු වැ හෝනා සිය මලමූයෙහි ගැලුණු එහි හෝනා ළදරු කුමරුවකු නුදුටුයෙහි? හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු? ‘මයිත් ජාතිස්වභාව ඇතියෙමි, ජාතිය නො ඉක්ම ගියෙමි, එබැවින් මම කයින් වචසින් මනසින් පින් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නො හැකි වීමි, වහන්ස, පමාවීමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා වූ බැවින් කයින් වචසින් මනසින් පින් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එයින් පමාවුවක්හට කරන්නාක් සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාප කර්‍මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරනලද, බුහුන විසින් නො කරනලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද මහණබමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරන ලද, තා විසින් මැ තෙල පාප කර්‍මය කරන ලද, තො මැ තෙල පාප කර්‍මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.
මහණෙනි, යමරජ ඔහුට පළමු වන දේවදූතයා අනුයෝග වශයෙන් ප්‍රශ්න කොට ලබ්ධි පිහිටුවා ප්‍රශ්න කොට කරුණු විචාරා දෙවන දේවදූතයා අනුයෝගවතට නඟා විචාරයි, ලබ්ධි පිහිටුවා විචාරයි, කරුණු විචාරයි. එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ දෙවැනි දේවදූතයා නුදුටුයෙහි? යි ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: එම්බා පුරුෂය, මිනිසුන් කෙරෙහි උපතින් අසූවයස් වූ හෝ අනූ වයස් වූ හෝ සියක් වසක් වූ හෝ ජාතියෙන් දිරූ ගොනැස්සක් සෙයින් වක් වූ බිඳුණු සිරුරු ඇති සැරයටිය පිහිට කොට ඇති වෙවුළමින් යන ආතුර වූ ගිය යොවුන්බව් ඇති කඬදත් ඇති පැසුණු කෙසේ ඇති ගිලිහුණු කෙස් ඇති මටතල වූ රැලිහුන් තලකැලැල් හුන් සිරුරු ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නුදුටුයෙහි දැ? යි. හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ මහලු වියපත් තට තෙල සිත නො වී නු? ‘මම් වූ කලි ජරාසැහැවියෙමි, ජරාව නො ඉක්ම වූයෙමි, මම් එබැවින් කයින් වචසින් මනසින් කුසල් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, ප්‍රමාදවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි? එම්බා පුරුෂය, ඒකාන්තයෙන් තට ප්‍රමාද වූවකුට යම් සේ ද එපරිද්දෙන් කරන්නාහ. තාගේ තෙල පාපකර්‍මය මව විසින් නො මැ කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරනලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්‍මය කරනලද, තො මැ තෙල කර්‍මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.
මහණෙනි, යමරජ තුලුනු අතින් දෙවන දේවදූතයා අනුයෝග වශයෙන් පිළිවිස ලබ්ධි වශයෙන් පිහිටුවා කරුණු අසා කරුණු බැණ තුන්වන දේවදූතයා අනුයෝග වතට නංවා අසයි, ලබ්ධි පිහිටුවයි. සමනුභාෂණ කම් කෙරෙයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි තුන්වන දේවදූතයා පහළ වූවහු නො දුටුහි? හේ මෙසේ කියයි: ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි හැටි ආබාධ ඇති හටගත් දුක් ඇති දැඩි ගිලන් වූ සිය මලමූයෙහි පිළිපන් එහි හෝනා මෙරමා විසින් නඟාසිටුවන ලබන මෙරමා විසින් හොවනු ලබන මාගමක හෝ පිරිමිනියකු හෝ නුදුටිහි? ‘හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙලසිත් නො වී නු ! මම ද ව්‍යාධි ධර්‍මයෙමි, ව්‍යාධිය අනතීතයෙමි, එයින් මම කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමාවීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමා ඇති වූ බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් පමා වූවහුට දඬුවම් කරන්නා සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාපකර්‍මය මව විසින් නො කරන ලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නොකරනලද, බුහුන විසින් නො කරනලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසාලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ කරනලද තො මැ තෙල පාප කර්‍මයාගේ විපාකය විඳුනෙහි” යයි.
මහණෙනි, යමරජ තුලුනු අතින් තුන් වන දේවදූතයා අනුයෝගවතට නඟා ලබ්ධි ගන්වා සමනුභාෂණ කම් කොට සතර වන දේවදූතයා අනුයෝග වතට නංවයි, ලබ්ධි පිහිටුවයි. කරුණු විචාරයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ සතර වන දේවදූතයා නොදුටුහි? හේ මෙසේ කියයි: ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ රජදරුවෝ මිනිසුන් කෙරෙහි අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙද්ද කසවැලිනුදු තළද්ද වේවැලිනුදු තළත් ද, අඩදඬියෙනුදු තළත් ද, අත ද සිඳිත් ද පා ද සිඳිත් ද අත්පාත් සිඳිත් ද, කනුදු සිඳිත් ද, නාසිකාත් සිඳිත් ද, කන්නැහැත් සිඳිත් ද බීලඞ්ගථාලිකවධත් කෙරෙත් ද සංඛමුණ්ඩික වධත් කෙරෙත් ද රාහුමුඛවධත් කෙරෙත් ද ජෝතිමාලිකවධත් කෙරෙත් ද හත්‍ථපජ්ජෝතික වධත් කෙරෙත් ද ඒරකවත්තකවධත් කෙරෙත් ද චීරකවාසිකවධත් කෙරෙත් ද එණෙය්‍යකවධත් කෙරෙත් ද බලිසමංසිකවධත් කෙරෙත් ද කහාපණකවධත් කෙරෙත් ද ඛාරාපතච්ඡිකවධත් කෙරෙත් ද පලිඝපරිවත්තිකවධත් කෙරෙත් ද පලාලපීඨකවධත් කෙරෙත් ද තප්තතෛලයෙනුත් ඉසිත් ද නහවුන් ලවා කවත් ද ජීවත්වන්නහු හුල හිඳුවත් ද කඩුයෙනුදු හිස සිඳිත් ද තෙල අපරාධකාරීහු නුදුටිහි? හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’, මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙලසිත් නො වී නු ! යම් කෙනෙක් පාපකර්‍ම කෙරෙත් ද ඔහු ඉහාත්මයෙහි මැ මෙබඳු විවිධ කම්කටොලු කරනු ලබති. පරලොව කියනු කිම? එබැවින් මම කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි, වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා ඇති බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් තට පමා වූවහුට යම්සේ ද එසෙයින් දඬුවම් කෙරෙති. තාගේ තෙල පාපකර්‍මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරන ලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසාලේ නෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්‍මය කරන ලදි’ යි. තෝ මැ තෙල පාප කර්‍මයාගේ විපාකය විඳුව’ යි.
මහණෙනි, යමරජ තුලුනු අතින් සතර වන දේවදූතයා ගෙන අනුයෝග විසින් පිළිවිස ලබ්ධි විසින් ගන්වා සමනුභාෂණකර්‍ම කොට පස් වන දේවදූතයා ගෙන අනුයෝග වතට නංවයි, ලබ්ධි විසින් ගන්වයි, කරුණු පිළිවිසී. ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පස් වන දේවදූතයා පහළ වූවහු නො දිටිහි? හේ මෙසේ කියයි: ‘නො දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: තෝ මිනිසුන් කෙරෙහි මළ එක් දින වූ හෝ මළ දෙදින වූ හෝ මළ තුන් දින වූ හෝ ඉදිමීගිය නිල්වන් වූ හටගත් පූයා ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නොදුටිහි? හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු ! මම ද මරණධර්‍මයෙමි, අනතීත මරණ ඇතියෙමි, එහෙයින් කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමා ඇති වූ බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් තට පමා වූවකුට යම්සේ ද එසෙයින් කෙරෙති. තාගේ තෙල පව්කම මව විසින් නො කරන ලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසාලේ නෑයන් විසින් නො කරනලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පව්කම කරන ලදි. තෝ මැ තෙල කර්‍මයාගේ විපාක විඳුනෙහි’ යයි.
මහණෙනි, යමරජ තුලුන් පස් වන දේවදූතයා ගෙන අනුයෝග කොට ලබ්ධි පිහිටුවා කරුණු පිළිවිය තුෂ්ණීම්භූත වෙයි.
මහණෙනි, නිරයපාලයෝ තුලුනට පඤ්චවිධබන්‍ධන නම් කම්කටොලු කෙරෙත්: තප්ත වූ යහුලක් එක් අතෙකැ ගසත්, තප්ත වූ යහුලක් දෙවන අතෙහි ගසත්, තප්ත වූ යහුලක් පළමු පයැ ගසත්, තප්ත වූ යහුලක් දෙවන පයැ ගසත්, තප්ත වූ යහුලක් ළමැඩියෙහි ගසත්. හේ එහි දුඃඛ වූ ත්‍රීව වූ කටුක වූ වේදනාවන් විඳි. ඒ පාපකර්‍මය ක්‍ෂය නො වූ තාක් කාලක්‍රියා නො කෙරේ. මහණෙනි, නිරයපාලයෝ ඔහු හොවා කූඨාරියෙන් සසති. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශිරස්ක කොට ගෙන් වෑයෙන් සසිත්. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු රථ යෙහි යොදා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ හටගත් ගිනි ඇති පොළොවෙහි ඇවිදුවති. පෙරළාත් ඇවිදුවති. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ හටගත් ගිනි ඇති අඟුරුපවියට නංවත්, බස්වත්. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට හිස් බිම්බල්වාලීම් කොට ගෙන රත් වූ ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනිගෙන දිලෙන ඇවිලගත් ගිනි සහිත ලොහොකුඹු නිරයෙහි බහත්, හේ එහි පෙනබඳු කොට පැසෙත්. හේ එහි පෙන බඳු කොට පස්නේ වරක් උඩ එයි, වරක් යට බස්සී, වරක් සරස යෙයි. හේ එහි දුඃඛ වූ කටුක වූ ත්‍රීව වූ වේදනාවන් විඳී. යම් තාක් ඒ පව්කම් ක්‍ෂය නො වේ ද ඒ තාක් කලුරිය නො කෙරේ.
මහණෙනි, නිරයපාලයෝ ඔහු මහනිරෑහි බහත්. මහණෙනි, ඒ මහනිරය වනාහි:
චතුස්කර්‍ණ යැ, චතුර්ද්වාරය, කොටස් විසින් බෙදන ලද, යපවුරින් වටකරන ලද, යදැලින් පිළිසොයන ලද,
ඒ මහානිරයයා ගේ අයෝමය භූමිය ඇවිළැගත් ගිනිදැලින් යුක්ත ය, හැමදා හාත්පස සියක්යොදුන් තැන් පැතිරැසිටී.
මහණෙනි, ඒ මහානිරයයා ගේ පෙරදිග බිතින් ගිනිසිළි නැඟී පැසුළු බිතෙහි හැනෙයි, පැසුළු බිතින් ගිනිසිළි නැඟී පෙරදිග බිතෙහි හැනෙයි, උතුරු බිතින් ගිනිසිළි නැඟී දකුණු බිතෙහි හැනෙයි, දකුණු බිතින් ගිනිසිළි නැඟී උතුරු බිතෙහි හැනෙයි, යට ගිනිසිළි නැඟී උඩුතල හැනෙයි, උඩතින් ගිනිසිළි නැඟී යට හැනේ. හේ එහි දුඃඛ වූ කටුක වූ ත්‍රීව වේදනා විඳි. යම්තාක් පාපකර්‍මය ක්‍ෂය නො වේ ද ඒ තාක් නො මියෙයි.
මහණෙනි, යම් හෙයෙකින් කිසිකලෙක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයා ගේ පූර්‍වද්වාරය විවෘත වේ ද එබඳු කලෙක් වෙයි. ඒ නිරිසත් එහි ශීඝ්‍ර වූ නහර ද දැවෙයි, ජවයෙන් දුවයි. ශීඝ්‍රජවයෙන් දුවන ඔහුගේ සිවිය ද දැවෙයි, සම ද දැවෙයි, මස් ද දැවෙයි, ඇට දු දුමයි, නඟනලදුයේ එබඳු මැ වෙයි. මහණෙනි, යම් කලෙක හෙතෙම බොහෝ වර්‍ෂසහස්‍රයෙන් සමීපයට පැමිණියේ වේ ද එකල්හි ඒ ද්වාරය වැසෙයි. හේ එහි දුඃඛ වූ ත්‍රීව වූ කටුක වේදනා විඳියි. යම් තාක් පාපකර්‍මය නො ගෙවේ ද ඒ තාක් කල් නො මියෙයි.
මහණෙනි, යම් හෙයෙකින් කිසිවිටක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයා ගේ පශ්චිමද්වාරය විවෘත වේ ද එබඳු කාලයෙක් වෙයි. ... උතුරු දොර විවර වේ ද ... දකුණු දොර විවර වේ ද එබඳු කාලයෙක් වෙයි. හේ එහි ශීඝ්‍රජවයෙන් දිවෙයි. ශීඝ්‍ රජවයෙන් දුවන ඔහුගේ සිවි ද දැවෙයි, සම් ද දැවෙයි, මස් ද දැවෙයි, නහර ද දැවෙයි, ඇටදු දුමයි, නඟනලදුයේ එබඳු මැ වෙයි. මහණෙනි, හෙතෙම යම් කලෙක බොහෝ වර්‍ෂ සහස්‍රයෙන් සමීපයට පැමිණියේ වේ ද එකල්හි ඒ දොර වැසෙයි. හේ එහි දුඃඛ ත්‍රීව කටුක වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො මියෙයි.
මහණෙනි, යම් හෙයෙකින් කිසිවිටක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයාගේ පූර්‍වද්වාරය විවෘත වේ ද එබඳු කලෙක් වෙයි. හේ එහි ශීඝ්‍රජවයෙන් දුවයි, ශීඝ්‍රජවයෙන් දුවන ඔහුගේ සිවිදු දැවෙයි, සමුදු දැවෙයි, මසුදු දැවෙයි, නහරදු දැවෙයි, ඇටදු දුමයි, නැඟූ පිය එබඳු මැ වෙයි. හේ ඒ දොරින් නික්මයෙයි.
තවද මහණෙනි, ඒ මහානිරයට සමනන්තර වැ ඝටිත වැ මැ මහත් වූ ගූථනිරය වෙයි. හේ එහි වැටෙයි. මහණෙනි, ඒ ගූථනිරයෙහි ගැලෙයි. මහණෙනි, ඒ ගූථනිරයෙහි වැළිත් හිදි බඳු තුඩ ඇති පණුවෝ සිවිය සිඳිති, සිවිය සිඳ සම් සිඳිති, සම් සිඳ මස් සිඳිති, මස් සිඳ නහර සිඳිති, නහර සිඳ ඇට සිඳිති, ඇට සිඳ ඇටමිදුළු කත්. හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තවද මහණෙනි, ඒ ගූථනරකයට සමනන්තර වැ එක්ව මැ මහත් වූ උණු අළු නිරය වෙයි. හේ එහි වැටෙයි, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තවද මහණෙනි, ඒ කුක්කුල නිරයට සමනන්තර වැ එක් වැ මැ සියක්යොදුන් උස නැඟුණු සොළොසඟුල් කටු ඇති ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනිදැල් සහිත වූ මහත් හිඹුල්වනය වෙයි. (ඔහු) එහි නංවති, බස්වති. හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ,ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තවද මහණෙනි, ඒ හිඹුල්වනයට අනතුරු වැ එක් වැ මැ මහත් වූ අසිපත්‍රවනය වෙයි. හේ එහි පිවිසෙයි, වාතයෙන් සැලී වැටුණු පත්‍රයෝ ඔහුගේ අත ද සිඳුති පය ද සිඳුති අත්පා ද සිඳුති කන ද සිඳුති නැහැය ද සිඳුති. කන්නාසා ද සිඳුති හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
තවද මහණෙනි, ඒ අසිපත්‍රවනයට සමනන්තර වැ එක් වැ මැ මහත් වූ වේතරණී නම් ක්‍ෂාරෝදකනදිය වෙයි. හේ එහි වැටෙයි, හේ එහි අනුශ්‍රොතසට ද ගෙනයෙයි, ප්‍රතිශ්‍රෝතසට ද ගෙනයෙයි, අනුශ්‍රෝතප්‍රතිශ්‍රෝතසට ද ගෙනයෙයි, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලියෙන් නඟා ස්ථලයෙහි හොවා මෙසේ කියති: ‘එම්බා පුරුෂය, කුමක් රිසියෙයි දැ? යි. හේ මෙසේ කියා: ‘සාමි’ වහන්සැ’ යි. මහණෙනි, යමපල්හු ඔහු ගෙන ගිනිගෙන දිලියෙන යහඬුවෙන් මුව විවෘත කොට ගිනි ගෙන දිලියෙන ලොහොගුලා මුඛයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්. ඒ ලොහොගුලා ඔහුගේ දෙතොල ද දවයි, මුව ද දවයි, උගුර ද දවයි, උදරය ද දවයි, අතුණුදු අතුණුබහනුදු ගෙන අධෝභාගයෙන් නික්මයේ. හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාප කර්‍මය ක්‍ෂය නො වේ ද ඒ තාක් නො ද මියෙයි.
මහණෙනි, යමපල්හු ඔහුට මෙසේ කියති: ‘එම්බා පුරුෂය, කුමක් රුස්වහි?’ හේ මෙසේ කියා: ‘පිපාසිතයෙමි, වහන්සැ’ යි. මහණෙනි, යමපල්හු ඔහු ගෙන ගිනිගෙන දිලියෙන යහඬුවෙන් මුව විවෘත කොට ගිනිගෙන දිලියෙන ලොහොදිය මුඛයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්, ඒ ලොහොදිය ඔහුගේ තොල් ද දවයි, මුව ද දවයි, උගුර ද දවයි, ළය ද දවයි, අතුණුදු අතුණුබහනුදු ගෙන අධෝභාගයෙන් නික්මෙයි. හේ එහි තීව්‍ර කටුක දුඃඛ වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය ක්‍ෂය නො වේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
මහණෙනි, යමපල්හු නැවත ඔහු මහානිරයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්.
මහණෙනි, පෙර යමරජුට තෙල සිත් වී. ‘ලොවැ යම් කෙනෙක් ලමු අකුශලකර්‍ම කෙරෙත් ද ඔහු මෙබඳු විවිධ කම්කටොලු කරනු ලැබෙති. මම් මිනිසත්බව ලබම් නම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝත් ලොවැ උපදනාහු නම් මම් ඒ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනය කෙරෙම් නම් ඒ භාග්‍යවත්හු මට දහම් දෙසනසේක් නම් මම් ඒ භාග්‍යවත්හුගේ ධර්‍මය අවබෝධ කෙරෙම් නම් ඉතා මැනැවැ’ යි.
තවද මහණෙනි, මම එකරුණ අන් ශ්‍රමණයක්හුගේ වේවයි බ්‍රාහ්මණයක්හුගේ වේවයි සමීපයෙන් අසා නො කියමි. වැළි යමක් මැ මා විසින් තමා මැ දන්නාලද තමා මැ දක්නාලද තමා මැ ප්‍රකට කොට දක්නාලද ද මම් එය මැ කියමි’යි.
භාග්‍යවතුන් වහන්සේ මේ දේවදූතසුත වදාළහ. මේ වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යළි අනෙකුදු තෙල ගාථා වදාළසේක:
“යම් මිනිස් කෙනෙක් දෙවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහු ප්‍රමාද වෙත්” ද, හීන වූ නරකයට පැමිණි ඒ නරයෝ දීර්‍ඝකාලයක් ශෝක කෙරෙත්.
මෙලොවැ දෙවදූතයන් විසින් චෝදිත වූ යම් සාධුපුරුෂ කෙනෙක් කිසිකලෙක ආර්‍ය්‍ය ධර්‍මයෙහි ප්‍රමාද නො වෙත් ද,
ජාතිමරණ දෙකට කාරණ වූ තෘෂ්ණාදෘෂ්ටි සංඛ්‍යාත උපාදානයෙහි බිය දැක ජාතිමරණ සඞ්ඛය සංඛ්‍යාත නිර්‍වාණයෙහි චතුරුපාදානයෙන් උපාදාන නො කොට විමුක්ත වෙත් ද,
ඒ සත්ත්‍වයෝ ක්‍ෂේමයට පැමිණියාහු සුඛිත වූවාහු දෘෂ්ටධර්‍ම සංඛ්‍යාත ඉහාත්මයෙහි ක්ලේශපරිනිර්‍වාණයෙන් නිවුණාහු සියලු වෛරභය ඉක්මවූවාහු සියලු සසරදුක් ඉක්මැගියාහු යයි.
දස වැනි දේවදුතසුත්‍ර යි.
තුන් වැනි ශූන්‍යත වර්‍ග යි.
ඒ වර්‍ගයාගේ උද්දානය:
චූළසුඤ්ඤතමහාසුඤ්ඤත සූත්‍ර දෙක යැ, අච්ඡරියධම්ම සූත්‍ර යැ, බක්කුල සූත්‍ර යැ, දන්තභූමි සූත්‍ර යැ, භූමිජ සූත්‍ර යැ, අනුරුද්ධ සූත්‍ර යැ, උපක්කිසෙල සූත්‍ර යැ, බාලපණ්ඩිත සූත්‍ර යැ, දේවදූත සූත්‍ර යැ යි දශ සූත්‍රයෝ වෙති.
4. විභඞ්ග වර්‍ගය
3. 4. 1.
භද්දේකරත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එහි දී භාග්‍යවත්හු ‘මහණෙනි’ යි භික්‍ෂූන් අඬගාවදාළහ. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල භද්දේකරත්ත සූත්‍රය වදාළසේක.
‘මහණෙනි, (විදර්‍ශනානුයෝග සමන්‍වාගත හෙයින්) භද්‍ර වූ එක් රැයක්හුගේ මාතෘකාව ද විස්තරවිභාගය ද දෙසමි. ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියමි’ යි වදාළසේක.
‘එසේ යැ වහන්ස’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළෝ:
‘අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ. අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ. යම් හෙයකින් යමක් අතීත ද එය ප්‍රහීණ යැ. යමක් අනාගත ද එය නො පැමිණියේ යැ.
යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්‍මයෙක් ඇද්ද) ඒ ධර්‍මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ ය.
අද මැ ආතාපනවීර්‍ය්‍ය කර්‍තව්‍ය යි, සෙට මරණය කවරෙක් දතහෙන්නේ ද මහත් වූ (ගිනි විෂ ආදි) සේනා ඇති මරහු සමග (මිත්‍රසන්‍ථවාදි) සංගරයෙක් නැත් නු!
මෙ බඳු විහරණ ඇති ආතාපනවීර්‍ය්‍ය ඇති රෑදෙවෙහි අනලස් වූ ඒ පුඟුලා ‘භද්දේකරත්ත යැ’ යි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ’ යයි.
මහණෙනි, කිසෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය කෙරෙයි යත්: ‘අතීත කාලයෙහි මෙ බඳු රූ ඇතියෙම් වීමි’ යි ඒ අතීත රූපයෙහි තෘෂ්ණාව පිහිටුවයි. ‘අතීතයෙහි මෙ බඳු වේදනා ඇතියෙම් වීමි’ යි ඒ අතීත වේදනායෙහි තෘෂ්ණා එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංඥා ඇතියෙම් වීමි’ යි ඒ අතීත සංඥායෙහි තෘෂ්ණාව එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංස්කාර ඇතියෙම් වීමි’ යි ඒ අතීත සංස්කාරයෙහි තෘෂ්ණාව එළවයි. ‘අතීතයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි ඒ අතීත විඥානයෙහි තෘෂ්ණාව එළවයි. මහණෙනි, මෙසෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය කෙරෙයි.
මහණෙනි, කිසෙයින් අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් අනුගමනය නො කෙරෙයි යත්: ‘අතීතයෙහි මෙ බඳු වූ රූ ඇති වීමි’ යි ඒ අතීත රූපයෙහි තෘෂ්ණාදෘෂ්ටි විසින් අනුගමනය නො කෙරෙයි. ‘අතීතයෙහි මෙ බඳු වේදනා ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංඥා ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංස්කාර ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු විඥාන ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. මහණෙනි, මෙ සෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය නො කෙරෙයි.
මහණෙනි, කිසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි යත්: ‘අනාගත කාලයෙහි මෙ බඳු රූ ඇති වෙම්ව’ යි ඒ අනාගත රූපයෙහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු වේදනා ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු සංඥා ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු සංස්කාර ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු විඥාන ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. මහණෙනි, මෙසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
මහණෙනි, කිසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි යත්: ‘අනාගත කාලයෙහි මෙ බඳු රූ ඇති වෙම්ව’ යි ඒ අනාගත රූපයෙහි තෘෂ්ණාව නො එළවයි. ‘මෙ බඳු වේදනා ඇති වෙම්ව’ යි … ‘මෙ බඳු සංඥා ඇති වෙම්ව’ යි … ‘මෙ බඳු සංස්කාර ඇති වෙම්ව’ යි … ‘අනාගතයෙහි මෙ බඳු විඥාන ඇති වෙම්ව’ යි ඒ අනාගත විඥානයෙහි තෘෂ්ණාව නො එළවයි. මහණෙනි, මෙසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ.
මහණෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන්හි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අදනා ලැබෙයි යත්: ‘මහණෙනි, මෙ ලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්මහෙයින් තෘෂ්ණා දෘෂ්ටි විසින් දකී. ආත්මය රූපවත් කොට හෝ දකී. ආත්මයෙහි රූපය ඇතැ’ යි හෝ දකී. රූපයෙහි ආත්මය ඇතැ’ යි හෝ දකී. වේදනාව ආත්ම හෙයින් දකී. වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්ම හෙයින් තෘෂ්ණාදෘෂ්ටි විසින් දකී. සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්ම හෙයින් දකී. සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්ම හෙයින් දකී. විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකී. මහණෙනි, මෙ සෙයින් ප්‍රත්‍යුත්පන්නධර්‍මයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් අදනා ලැබෙයි.
මහණෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධධර්‍මයෙහි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො අදනා ලැබේ යැ යත්: මහණෙනි, මෙලොවැ බුද්ධාදී ආර්‍ය්‍යන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූ බුද්ධාදි සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි කෝවිද වූ සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්මවශයෙන් නො දක්නේ යැ, ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි ලා රූපය හෝ රූපයෙහි ලා ආත්මය හෝ නො දක්නේ ය. වේදනා ආත්මවශයෙන් නො දක්නේ යැ … සංඥා ආත්මවශයෙන් නො දක්නේ යැ … සංස්කාර ආත්මවශයෙන් නො දක්නේ යැ … විඥාන ආත්මවශයෙන් නො දක්නේ යැ. ආත්මය විඥානවත් කොට හෝ ආත්මයෙහි ලා විඥානය හෝ විඥානයෙහි ලා ආත්මය හෝ නො දක්නේ යැ. මහණෙනි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධධර්‍මයෙහි (විදර්‍ශනා ඇතියෙන්) තෘෂ්ණාදෘෂ්ටීන් නො අදනා ලැබේ.