ඇවැත් කාත්‍යායනයෙනි, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, යම් මහණෙක් මහරජයන් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභය චිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි..
වහන්ස, යම් මහණෙක් මහරජ දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වෙසේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් මහරජ දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වෙසේ ද, යම් මහණෙක් සමුද්‍රපර්‍ය්‍යන්ත පෘථිවිය පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
වහන්ස, යම් මහණෙක් සමුද්‍රපර්‍ය්‍යන්ත පෘථිවිය පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, යම් කරුණෙකින් එක් දේවනිකායකට පැමිණි ඒ දෙවියන් අතුරින් මෙහි කිසි පරිත්තාභ දෙවි කෙනෙක් ඇද්ද, මෙහි අප්පමාණභ කිසි දෙවිකෙනෙක් ඇද්ද, මේ එයට හේතු යැ, මේ එයට ප්‍රත්‍යයැ’යි.
වහන්ස, අනුරුද්ධයෙනි, මනා මැ ය, මෙහි දී මා විසින් මතුයෙහි ඇසියයුතු පැනයෙක් ද ඇත. වහන්ස, යම් පමණ ආභ දෙවියෝ ඇද්ද, එ හැම දෙවියෝ සඞ්කිලිට්ඨාභ වෙත් ද, නොහොත් මෙහි කිසි දෙවිකෙනෙක් පරිසුද්ධාභ වූවාහු ඇද්ද?
ඇවැත් කාත්‍යායනයෙනි, තදඞ්ගවශයෙන් මෙහි සඞ්කිලිට්ඨාභ කිසි දෙවි කෙනෙක් ඇත, මෙහි පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ද ඇත.
වහන්ස, අනුරුද්ධයෙනි, යම් කරුණෙකින් එක් දේවනිකායකට පැමිණි ඒ දෙවියන් අතර සඞ්කිලිට්ඨාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, ඊට හේතු කවරේ ය? ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි.
ඇවැත් කාත්‍යායනයෙනි, එකරුණින් තොපට උපමාවක් කරමි: මෙ ලො වැ කිසි විඥපුරුෂ කෙනෙක් උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය අවබෝධ කොට දනිත්. ඇවැත් කාත්‍යායනයෙනි, යම් පරිදි දැල්වෙන තෙල්පහනක්හුගේ තෙලුදු නො පිරිසිදු වේ නම්, වැටිදු නො පිරිසිදු වේ නම්, ඒ පහන තෙල් නො පිරිසිදු හෙයිනුදු වැටි නො පිරිසිදු හෙයිනුදු අතිශයින් අඳුරු වූවක් සෙයින් දිලෙයි. ඇවැත් කාත්‍යායනයෙනි, එපරිදි ම මේ සස්නෙහි කිසි මහණෙක් සංකිලිට්ඨාභ යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, ඔහුගේ දෝෂනිශ්ශ්‍රිත කයත් නොසන්හිඳුණේ වේ ද, ථිනමිද්ධයත් නොනැසුණේ වේ ද, උද්ධචච් කුක්කුච්චයත් මොනොවට විනීත නො වේ ද, හේ කායදුට්ඨුල්ලය නො සන්හුන් බැවිනුදු ථිනමිද්ධ නො නට බැවිනුදු උද්ධචච්කුක්කුච්චය අවිනීත බැවිනුදු වැඩිපමණ අඳුරු වූවාක් සෙයින් දිලෙයි. හේ කාබුන් මරණින් මතු සඞ්කිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ඇවැත් කාත්‍යායනයෙනි, යම් පරිදි දැල්වෙන තෙල්පහනක්හුගේ තෙලත් පිරිසිදු වේ ද, වැටිත් පිරිසිදු වේ ද, ඒ පහන තෙලත් පිරිසිදු හෙයිනුදු වැටිත් පිරිසිදු හෙයිනුදු වැඩිපමණ අඳුරු වූවාක් සෙයින් නො දිලේ ද, ඇවැත් කාත්‍යායනයෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් පරිසුද්ධාභ යයි අරමුණු කොට නිශ්චය කොට වෙසේ ද, ඔහුගේ කායදුට්ඨුල්ලයත් සන්හුන් වේ ද, ථිනමිද්ධයත් නටුයේ වේ ද, උද්ධචච්කුක්කුච්චයත් විනීත වේ ද, ඒ මහණ කායදුට්ඨුල්ලයත් සන්හුන් හෙයින් ථිනමිද්ධයත් නටහෙයින් උද්ධචච්කුක්කුච්චයත් විනීත හෙයින් අතිශයින් අඳුරු වූවාක් සෙයින් නො දිලෙයි. හේ කාබුන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, එක් දේවනිකායකට පැමිණි ඒ දෙවියන් අතර සඞ්කිලිට්ඨාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, මේ ඊට හේතු යැ, මේ ඊට ප්‍රත්‍යය යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් සභිය කාත්‍යායන ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල කී: “වහන්ස, අනුරුද්ධයෙනි, මැනැව. වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මෙසේ නො කියති. කිසේ යැ යත්: ‘මා විසින් මෙසේ අසන ලදැ’ යි කියා හෝ ‘මෙසේ වන්නට නිස්සැ’ යි කියා හෝ” යි.
තවද වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ “ඒ දෙවියෝ මෙසේත් වෙති, ඒ දෙවියෝ මේ අයුරු වෙති” යි කියා ම කියති. වහන්ස, මට මෙබඳු සිතෙක් වෙයි: එකැතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඒ දෙවියන් හා එක්ව විසූවිරූහ, සල්ලාප කළ විරූහ, සාකච්ඡා කළවිරූහ, කියා යි.
ඇවැත් කාත්‍යායනයෙනි, තොප විසින් ඝටා නිගා එළවා බස් පැවැසිණ, වැලිත් මම තොපට කියමි: ‘ඇවැත් කාත්‍යායනයෙනි, මා දීර්‍ඝරාත්‍රයෙහි ඒ දෙවියන් හා විසූවිරූ ඇත, සල්ලාප කළවිරූ ඇත, සාකච්ඡා කළවිරූ ඇතැ’ යි.
මෙසේ කී කල ආයුෂ්මත් සභිය කාත්‍යායන පඤ්චකඞ්ග ථපති හට තෙල කී: ‘ගැහැවිය, තොපට ලාභයෙක, ගැහැවිය, තොපට සුලද්ධයෙකි, යම් හෙයකින් තෙපිදු ඒ සැක දහම හැරපියව් ද, අපිත් මේ ධර්‍මපර්‍ය්‍යාය අසන්නට ලදුමෝ ද එහෙයිනි.’
සත්වැනි අනුරුද්ධ සූත්‍ර යි.
3. 3. 8.
උපක්කිලේස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. ඉක්බිති අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේය. එකත්පස් වැ සිටි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, මේ කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණ, උනුන් මුවසැතින් පෙළමින් වෙසෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා අනුකම්පා පිණිස වඩනේ මැනැව’යි ඇයැද සිටිමි” යි, භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් අධිවාසනා කළෝ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා එළැඹි සේක. එළඹ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, නහමක් භණ්ඩන කරව, නහමක් කලහ කරව, නහමක් විග්‍රහකරව, නහමක් විරුද්ධවාද කරව” යි.
මෙසේ වදාළ කල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ බලන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සුක ව දෘෂ්ටධර්‍මසුඛවිහරණයෙහි අනුයුක්ත ව වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්‍රහ විවාදයෙන් පැනෙම්හ” යි.
දෙවනුවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරව, කලහ නො කරව, විග්‍රහ නො කරව, විවාද නො කරව” යි.
දෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සාහ ව ඉහාත්මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වසන සේක්වා. තෙල භණ්ඩනයෙන් කලහයෙන් විරුද්ධග්‍රහණයෙන් විරුද්ධවාදයෙන් අපි පැනෙම්හ” යි.
තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරන්නේ මැනැව, කලහ නො කරන්නේ මැනැව, විග්‍රහ නො කරන්නේ මැනැව, විවාද නො කරන්නේ මැනැව” යි.
තෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, නවත්නේ මැනැව, වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ නිරුත්සුක ව මෙලො වැ සුඛ විහරණයෙහි යෙදුණාහු වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්‍රහ විවාදයෙන් පැනෙම්හ” යි.
එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පාසිවුරු ගෙන කොසඹෑනුවර පිඬු පිණිස වැඩිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණාහු සෙනසුන් සඟවාතබා, පාසිවුරු ගෙන සිටිවන සිටිසේක් ම මේ ගාථා වදාළ සේක:
සමානස්වරූප වූ මේ භණ්ඩනකාරක ජන තෙමේ මහාශබ්ද ඇතියේ යැ, කිසිවෙක් ‘මම බාලයෙමි’ නො සිතී, සංඝයා බිඳෙන කල්හි වැඩි පමණ වූ (මා නිසා සහසු බිඳෙති යන) අන් කරුණ නො සිතී.
යම් කලහයෙකින් මේ නිර්ලජ්ජභාවයට එළවන ලද්දාහු (මෙසේ මේ ආදීනව සහිතය යන) එ කරුණ නො දනිත් ද, ඔහු මුළාවූ සිහි ඇතියාහු පණ්ඩිතාභාස ඇතියාහු වාග්ගෝචර කොට ඇත්තාහු යම් තාක් මුව ඇයුම් කැමැති වෙත් ද, එතෙක් බණනාහු වෙති.
මට ආක්‍රෝශ කෙළේය, මා පෙළී ය, මා දිනී ය, මා අයත් වස්තු පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ වෛරය සිතැ බඳිත් ද, උන්ගේ වෛරය නො සන්හිඳෙයි.
මට ආක්‍රෝශ කෙළේය, මා පහළේ ය, මා දිනී ය, මා සතු දෑ පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ අයුරු වෛරය සිතැ නො බඳිත් ද, උන්ගේ වෛරය සන්හිඳේ.
මෙ ලොවැ කිසිදු කලෙක වෛරයෝ වෛරයෙන් නොසන්හිඳෙති. අවෛරයෙන් ම සන්හිඳෙත්, මෙය පුරාතන වූ (බුදු පසේබුදු මහරහතන් විසින් පුරුදු කළ) ධර්‍මයෙකි.
මේ කලහයෙහි දී ‘අපි නැසෙම්හ’ යි (කලහකාර) අන්‍යජනයෝ නො දන්නාහ. යම් කෙනෙක් ඒ කලහයෙහි දී (ඇපි නැසෙම්හ’ යි) දනිත් ද, ඒ හේතුයෙන් කලහයෝ සන්හිඳෙත්.
ඇට බිඳුනා පණ නස්නා ගෙරි අස් ධන පැහැරගන්නා යම් කෙනෙක් ඇත් ද, රට වොලොගන්නා ඔවුනුදුගේ සඞ්ගති වෙයි. තොපගේ සඞ්ගති කවර හෙයින් නො වේ ද?
ඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු ලබන්නේ නම්, (ප්‍රකට වූත් අප්‍රකට වූත්) හැම උවදුරු තාක් මැඩ ඔහු හා සතුටු සිත් ඇති ව ස්මෘතිමත් ව හැසිරෙන්නේ ය.
ඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු නො ලබන්නේ නම්, දිනන ලද රට හැරපියා එකලා වූ (මහාජනක) රජු සෙයින් ද, රක්‍ෂිතවනයෙහි එකලා වූ මාතඞ්ග නාගයා මෙන් ද එකලා වැ වසන්නේ ය.
එකලා වූවහුගේ හැසිරීම ශ්‍රේෂ්ඨ වෙයි. බාලයා කෙරෙහි සහායභාවයෙක් නැත. අල්පොත්සුක වූ අරණ්‍යයෙහි වාසයට පැමිණි ශ්‍රේෂ්ඨ මාතඞ්ගයා සෙයින් එකලා වැ හැසිරෙන්නේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිටිසේක් ම මේ ගාථා වදාරා (උපාලි ගැහැවිහුගේ භෝගග්‍රාම වූ) බාලකලෝණකාර ග්‍රාමයට වැඩිසේක. එකල ආයුෂ්මත් භගු තෙරණුවෝ බාලකලෝණකාර ගම්හි වෙසෙති. ආයුෂ්මත් භගු තෙරණුවෝ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී මැ දුටහ, දැක අසුන් පැන්වී, පා දෝනා දිය ද එළැවී. භාග්‍යවතුන් වහන්සේ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් භගු තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
“මහණ, කිම සිහියැ හැකි ද? කිම් යැපියැ හේ ද? කිම පිඬුවායෙන් ක්ලාන්ත නො වන්නෙහි ද?”
භාග්‍යවතුන් වහන්ස, සිහියැ හැකි යැ, භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි යැ, වහන්ස, මම පිඬුවායෙන් ක්ලාන්ත නො වෙමි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු තෙරණුවනට දැහැමිකථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහදවා හුනස්නෙන් නැඟී පාචීනවංසදාය කරා වැඩි සේක.
එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද පාචීනවංසදායයෙහි වෙසෙති. උයන්පලු වඩනා බුදුරදුන් දුරදී මැ දිට, දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “මහමහණ, තෙල වනයට නො වදු, මෙහි තමන් කැමැති සේ වැඩවසන කුලපුත්‍රයෝ තුන් දෙනෙක් ඇත. ඔවුනට නහමක් නො පහසු කරව” යි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ බුදුන් හා මන්ත්‍රණ කරන දායපාලයාගේ බස් ඇසූහ. අසා දායපාලයාට තෙල කී:
“ඇවැත දායපාලයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො වළහව, අපගේ ශාස්තෘ වූ බුදුහු වැඩියහ” යි.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් නන්‍දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිල තෙරණුවන් කරා ගියහ. ගොස් ආයුෂ්මත් නන්‍දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිල තෙරණුවනට තෙල කී: ‘ආයුෂ්මත්නි, වහා එව, ආයුෂ්මත්නි වහා එව. අපගේ ශාස්තෘ වූ බුදුහු වැඩියහ” යි. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද බුදුන්ට පෙර ගමන් කොට, එක් නමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගති, එක් නමෙක් අසුන් පැන්වී, එක් නමෙක් පා දෝනා දිය එළැවී. බුදුහු පැන්වූ අස්නෙහි වැඩහුන්හ. හිඳ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු දු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළෝ:
“කිම අනුරුද්ධයෙනි, තොප විසින් සිහියැ හැකි ද? කිමැ යැපියැ හේ ද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු දැ” යි.
භාග්‍යවතුන් වහන්ස, සිහියැ හැකි ය, භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි ය, වහන්ස, අපි පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වම්හ’ යි.
කිම අනුරුද්ධයෙනි, තෙපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්නහු වාස කරවු ද?
වහන්ස, ඒකාන්තයෙන් අපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්නමෝ වසම්හ’ යි.
අනුරුද්ධයෙනි, කෙසේ නම් තෙපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්මින් වාස කරව් ද?
වහන්ස, මෙහි වසන මට මෙබඳු සිත් වෙයි: “මම මෙබඳු සබ්‍රම්සරුන් සමග වාස කෙරෙම් ද, මට ඒකාන්තයෙන් ලාභයෙක, මට ඒකාන්තයෙන් මනා ලැබීමෙක, වහන්ස, මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් මෛත්‍රීසහගත කායකර්‍ම එළැඹ සිටියේ ය, මෛත්‍රීසහගත වාක්කර්‍ම ... හමුයෙහිත් නො හමුයෙහිත් මෛත්‍රීසහගත මනඃකර්‍ම එළැඹ සිටියේ ය. වහන්ස, ‘මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ චිත්ත වශයෙන් වැටෙම් නම් මැනැව’ යි මට මෙබඳු සිත් විය. වහන්ස, මම සිය සිත් පියා මේ ආයුෂ්මතුන්ගේ සිත් විසින් වැටෙමි. වහන්ස, අපගේ ශරීරයෝ වෙන වෙන වෙති, සිත එකක් මෙනි.
ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ... ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මට ද මෙබඳු සිත් වෙයි: ඒකාන්තයෙන් මට ලාභයෙක, ඒකාන්තයෙන් මට මනා ලාභයෙක, මම ... සිත එක්බඳු වෙතී.
වහන්ස, මෙසේ අපි සමගිව සතුටු ව විවාද නො කරනු ව කිරි හා දිය වැනි ව උනුන් පියඇසින් දක්නමෝ වසම්හ’ යි.
මැනැව මැනැව අනුරුද්ධයෙනි, කිමෙක අනුරුද්ධයෙනි, තෙපි නො පමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරව් ද?
‘වහන්ස, අපි ඒකාන්තයෙන් අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍යය ඇතිව ප්‍රහිතාත්ම ව වසම්හ’ යි.
අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් නොපමා ව කෙලෙස් තැවුලි වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරව් ද?
වහන්ස, මේ වන වසන අප අතුරින් යමෙක් පළමු ව ගමින් පිඬු පිණිස හැසිර වටාලා එන්නේද, හේ අසුන් පන්වයි, පියයුතු පැන් පරිභෝග කළයුතු පැන් එළවයි. අවකරතලිය එළවාතබයි. යමෙක් පසුව ගමින් පිඬු සිඟා වටාලා ඒ ද, ඉදින් වළඳා ඉතිරි අහරෙක් වේ නම්, ඉදින් රිසි වී නම්, වළඳ කෙරෙයි. ඉදින් නො රිසි වී නම්, නිල් තණ රහිත බිමෙකැ හෝ දමයි, (එයින් නැසෙන) ප්‍රාණීන් නැති දියෙක හෝ බහාලයි. හේ අසුන් සඟවා තබයි, පානීය පරිභෝජනීය දිය සඟවා තබයි, අවකර තලි සෝදා සඟවයි, භක්තග්‍රය හමදී. යමෙක් පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ හිස් වූවා දක්නේ ද, හේ එ ද එළවාතබයි. ඉදින් ඔහුට නො සැහියැ හැකි වී නම්, හස්තවිකාරයෙන් දෙවැන්නා අමතා අතිනත් ගැනීමෙන් වටම්හ. වහන්ස, අපි ඒ හේතුයෙන් වාග්භේදයක් නො කරම්හ. වහන්ස, අපි පස්දවසකට වරක් කොට මුළු රැය දැහැමි කථායෙන් මුළු දී හිඳුම්හ. වහන්ස, මෙසේ අපි නො පමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරම්හ’ යි.
මැනැව මැනැව අනුරුද්ධයෙනි, යළි අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමත්ත ව ආතාප ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන තොපට මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයෙක් අධිගත ව ඵාසුවිහාර ව ඇද්ද?
වහන්ස, අපි මේ වෙනෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත නිරපේක්‍ෂක ව වසන්නමෝ අවභාසය හා (දිවැසින්) රූපදර්‍ශනය හඳුනම්හ, අපගේ ඒ අවභාසය හා රූපදර්‍ශනය නො බෝකල්හි මැ අන්තර්හිත වෙයි. ඒ කරුණ ද නො පිළිවිදුම්හ’ යි.
අනුරුද්ධයෙනි, තොප විසින් ඒ කරුණ පිළිවිදිය යුතු ය. අනුරුද්ධයෙනි, මම ද සම්බෝධියෙන් පෙර මැ අනභිසම්බුද්ධ බෝධිසත්ත්‍ව වූයෙම් මැ පරිකර්‍මාවභාසය හා රූපදර්‍ශන හැඳිනීමි. මාගේ ඒ පරිකර්‍මාවභාසය ද දිවැසින් කළ රූපදර්‍ශනය ද නො නො බෝකල්හි මැ අන්තර්හිත වී, අනුරුද්ධයෙනි මට තෙල සිත් වී: ‘යම් හෙයෙකින් මාගේ අවභාසයත් රූපදර්‍ශනත් අන්තර්හිත වේද, ඊට හේතු කවරේ යැ, ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි. අනුරුද්ධයෙනි, එසඳ මට තෙල සිත් වී මට විචිකිච්ඡා උපන.
විචිකිච්ඡා හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ. සමාධි ගිලිහුණු කල්හි අවභාසයත් රූපදර්‍ශනත් අන්තර්හිත වී, යම්පරිදි මට විචිකිච්ඡා නූපදනේ ද, මම එසේ කරමි, කියා යි. අනුරුද්ධයෙනි, මම නො පමා ව වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන්නෙම් අවභාසයත් රූපදර්‍ශනයත් හැඳිනීමි. මාගේ ඒ අවභාසය හා රූපදර්‍ශන නො බෝ කල්හි මැ අන්තර්හිත වී, අනුරුද්ධයෙනි, මට මෙ සිත් වී: ‘යම් හෙයෙකින් මගේ අවභාසය හා රූපදර්‍ශන අන්තර් හිත වී ද, එයට හේතු කවරෙ යැ, ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි, අනුරුද්ධයෙනි මට මෙ සිත් වී: ‘මට අමනසිකාරය උපන, අමනසිකාර හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාස හා රූපදර්‍ශන අන්තර්හිත වී. යම්පරිදි මට යළි විචිකිච්ඡා නූපදනේ ද, අමනසිකාර නූපදනේ ද, මම එසේ කරමි’ යි කියා යි.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට ථීනමිද්ධය උපන, ථීනමිද්ධ හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද, අමනසිකාර නූපදනේ ද, ථිනමිද්ධ නූපදනේ ද, මම එසේ කරමි’ යි කියා යි.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට තැතිගැනුම් උපන, තැතිගැනුම් හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. අනුරුද්ධයෙනි, යම් පරිදි අදන්මගට පිළිපන් පුරුෂයෙක් ඇද්ද, ඔහු දෙපස වධකයෝ නැඟීසිටිත් ද, ඔහුට ඒ හේතුවෙන් තැතිගැනුම් උපදනේ වේ ද, අනුරුද්ධයෙනි, එපරිදි ම තැතිගැනුම් උපන. තැතිගැනුම් හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට විචිකිච්ඡා, අමනසිකාර ථීනමිද්ධ තැතිගැනුම් නූපදනේ වේ ද, එසේ කරමි’ යි කියා යි.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට ඉපිලීම් උපන, ඉපිලීම් හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වී. අනුරුද්ධයෙනි, යම් පරිදි පුරුෂයෙක් එක් නිධිමුඛයක් සොයනුයේ එක්වරම නිධිමුඛ පසක් ලබා ද, ඔහුට ඒ හේතුයෙන් ඉල්පීම් උපදනේ වේ ද, අනුරුද්ධයෙනි එපරිදි ම මට ඉල්පීම් උපන. ඉල්පීම් හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ වේ ද, අමනසිකාර නූපදනේ වේ ද, ථීනමිද්ධ නූපදනේ වේ ද, තැතිගැනුම් නූපදනේ වේ ද, ඉල්පීම් නූපදනේ වේ ද, මම එසේ කරමි’ යි කියා යි.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට කායදරථ උපන, කායදරථ හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ වේ ද, අමනසිකාර නූපදනේ වේ ද, ථීනමිද්ධ නූපදනේ වේ ද, තැතිගැනුම් නූපදනේ වේ ද, ඉල්පීම් නූපදනේ වේ ද, කායදරථ නූපදනේ වේ ද, මම එසේ කරමි’ යි කියා යි.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට මෙ සිත් විය: මට අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය උපන. යළි අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල්හි අවභාසය ද රූපදර්‍ශනය ද අන්තර්හිත වෙයි. යම් පරිදි අනුරුද්ධයෙනි, පුරුෂයෙක් දෑතින් වටුවකු දැඩි කොට ගන්නේ ද, ඌ එහි මරුමුවට පැමිණේ ද, එපරිදි මැ අනුරුද්ධයෙනි, මට අත්‍යාරබ්ධවීර්‍ය්‍ය උපන. අත්‍යාරබ්ධවීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්‍ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද අමනසිකාර නූපදනේ ද ථීනමිද්ධ නූපදනේ ද තැතිගැනුම් නූපදනේ ද ඉල්පීම් නූපදනේ ද කායදරථ නූපදනේ ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදනේ ද මම එපරිදි කරමි.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට මෙ සිත් විය: මට අතිලීනවීර්‍ය්‍ය උපන. අතිලීන වීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්‍ශනය අන්තර්හිත වී. අනුරුද්ධයෙනි, යම්පරිදි පුරුෂයෙක් වටුවකු ලිහිල් කොට ගන්නේ වේ ද, එ වටු ඔහු අතින් පිය හඹා නඟී ද, අනුරුද්ධයෙනි, එපරිදි ම මට අතිලීන වීර්‍ය්‍ය උපන. අතිලීන වීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්‍ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද මම එසේ කරමි.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට තෘෂ්ණා උපන. තෘෂ්ණා හේතුයෙනුදු ... රූපදර්‍ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද තෘෂ්ණා නූපදී ද මම එසේ කරමි.
අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට නානත්තසඤ්ඤා උපන. නානත්තසඤ්ඤා හේතුයෙනුදු ... රූපදර්‍ශන අන්තර්හිත වී. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද තෘෂ්ණා නූපදී ද නානත්තසඤ්ඤා නූපදී ද, මම එසේ කරමි.
අනුරුද්ධයෙනි, මම නොපමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරන්නෙම් ඕභාසය ද හා රූපදර්‍ශනය ද හඳුනමි. මාගේ ඒ ඕභාසය හා රූපදර්‍ශනය නොබෝ වේලෙහි අතුරුදහන් කෙරෙයි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී. යම් හේතුයෙකින් මාගේ ඕභාසය හා රූපදර්‍ශන අතුරුදහන් කෙරේ ද, ඊට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට රූපයන් පිළිබඳ අධික නිජ්ඣායනා ඇති බව උපන. මාගේ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනා ඇති බව හේතු කොටගෙන සමාධි බුන. සමාධිය බුන් කල ඕභාස හා රූපදර්‍ශන අතුරුදහන් කැරෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද අමනසිකාර නූපදනේ ද ථීනමිද්ධ නූපදනේ ද තැතිගැනුම් නූපදනේ ද ඉල්පීම් නූපදනේ ද කායදරථ නූපදනේ ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදනේ ද අතිලීනවීර්‍ය්‍ය නූපදනේ ද තෘෂ්ණා නූපදනේ ද නානත්තසඤ්ඤා නූපදනේ ද රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනා නූපදනේ ද මම එසේ කරමි.
අනුරුද්ධයෙනි, මම විචිකිච්ඡාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ විචිකිච්ඡාව හළෙමි. අමනසිකාරය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අමනසිකාරය හළෙමි. ථීනමිද්ධය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ථීනමිද්ධය හළෙමි. තැතිගැනුම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තැතිගැනුම හළෙමි. ඉල්පීම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ඉල්පීම හළෙමි. කායදරථය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ කායදරථය හළෙමි. අත්‍යාරබ්ධවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අත්‍යාරබ්ධවීර්‍ය්‍යය හළෙමි. අතිලීනවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අතිලීනවීර්‍ය්‍යය හළෙමි. තෘෂ්ණාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තෘෂ්ණාව හළෙමි. නානත්තසඤ්ඤාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ නානත්තසඤ්ඤාව හළෙමි. රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව හළෙමි.
අනුරුද්ධයෙනි, මම අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන්නෙම් මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙක ද ඕභාසය දනිමි. රූප නො දක්මි. රූප දක්මි, එතෙකුදු ඕභාස නො දනිමි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙක ද ඕභාසය දනිම් ද රූප නො දකිම් ද, එසමයෙහි රූප දකිම් ද ඕභාස නො ද දනිම් ද, ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ යි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙකම දැයි මෙසේ යම් සමයෙක මම රූප නිමිති මෙනෙහි නො කොට ඕභාසය නිමිති මෙනෙහි කෙරෙම් ද, එ සමයෙහි ඕභාස දනිමි. රූප නො දක්මි. යම් කලෙක මම ඕභාසය නිමිති මෙනෙහි නො කොට රූපනිමිති මෙනෙහි කෙරෙම් ද, එ සමයෙහි රූප දක්මි, ඕභාස නො ද දනිමි.
අනුරුද්ධයෙනි, මම අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ව වසනුයෙම් මුළුරැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද පරිත්ත වූ කර්‍මස්ථානයෙහි ඕභාසයක් දැනගනිමි, පරිත්ත වූ කර්‍මස්ථානයෙහි රූපයනුදු දක්මි. අප්‍රමාණ කර්‍මස්ථානයෙහි ඕභාසයත් දැනගනිමි, අප්‍රමාණ කර්‍මස්ථානයෙහි රූප ද දක්මි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: ‘මුළු රැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද මම පරිත්ත ඕභාස හඳුනමි, පරිත්ත රූප දක්මි. අප්‍රමාණොභාස හඳුනමි, අප්‍රමාණ රූප දක්මි. ඊට හේතු කවරෙ යැ, ඊට ප්‍රත්‍යය කවරෙ යැ’ යි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: ‘යම් කලෙක පරිත්ත පරිකර්මෝභාස වේ ද, ඒ සමයෙහි මට පරිත්ත වූ දිවැස් වෙයි, මම පරිත්ත වූ දිවැසින් පරිත්ත වූ ඕභාස හඳුනමි, පරිත්තරූප දක්මි. යම් කලෙක මට අප්‍රමාණ සමාධි වේ ද, එසමයෙහි මට අප්‍රමාණ වූ දිවැස වෙයි, මම අප්‍රමාණ වූ දිවැසින් අප්‍රමාණ වූ ඕභාස හඳුනමි, අප්‍රමාණ වූ රූප ද දක්මි. මුළු රැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද ගෙනය කියා යි.
අනුරුද්ධයෙනි, යම් කලෙක විචිකිච්ඡාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ විචිකිච්ඡාව ප්‍රහීණ වී ද, අමනසිකාරය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අමනසිකාරය ප්‍රහීණ වී ද, ථීනමිද්ධය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ථිනමිද්ධය ප්‍රහීණ වී ද, තැතිගැන්ම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තැතිගැන්ම ප්‍රහීණ වී ද, ඉල්පීම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ඉල්පීම ප්‍රහීණ වී ද, කායදරථ චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ කායදරථය ප්‍රහීණ වී ද, අත්‍යාරබ්ධවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අත්‍යාරබ්ධවීර්‍ය්‍යය ප්‍රහීණ වී ද, අතිලීනවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අතිලීනවීර්‍ය්‍යය ප්‍රහීණ වී ද, තෘෂ්ණාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තෘෂ්ණාව ප්‍රහීණ වී ද, නානාත්‍වසංඥාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ නානාත්‍වසංඥාව ප්‍රහීණ වී ද, රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව ප්‍රහීණ වී ද, අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: මාගේ යම් චිත්තෝපක්ලේශයෝ ඇද්ද, ඔහු මට ප්‍රහීණයහ, එයින් දැන් මම තුන් අයුරෙකින් සමාධිය වඩමි. අනුරුද්ධයෙනි, මම සවිතර්‍ක වූ ද සවිචාර වූ ද සමාධිය වැඩුවෙමි, අවිතර්‍ක වූ ද විචාරමාත්‍ර වූ ද සමාධිය වැඩීමි. අවිතර්‍ක වූ ද අවිචාරසමාධිය වැඩීමි, සප්‍රීතික සමාධිය වැඩීමි, නිෂ්ප්‍රීතික වූ ද සමාධිය වැඩීමි, සුඛසහගත වූ ද සමාධිය වැඩීමි, උපේක්‍ෂා සහගත වූ ද සමාධිය වැඩීමි. අනුරුද්ධයෙනි, යම් කලෙක මා විසින් සවිතර්‍ක වූ ද සවිචාර වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, අවිතර්‍ක වූ ද විචාරමාත්‍ර සමාධිය වඩන ලදුයේ වී ද අවිතර්‍ක වූ ද අවිචාර සමාධිය වඩන ලදුයේ වී ද, සප්‍රීතික වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, නිෂ්ප්‍රීතික වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, සුඛසහගත වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, උපේක්‍ෂා සහගත වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, (එකල්හි) මට සියල්ල දක්නා සර්‍වඥතාඥානය ද උපන: ‘මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මේ අන්තිම ජාතිය යි, මෙවිට පුනර්‍භවයෙක් නැතැ’ යි.
භාග්‍යවතුන් වහන්සේ මේ උපක්ලේශ සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.
අටවැනි උපක්කිලේස සූත්‍ර යි.
3. 3. 9.
බාලපණ්ඩිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහු ගේ ජේතවන අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල බාලපණ්ඩිත සුත වදාළ සේක.
මහණෙනි, බාලයා පිළිබඳ බාලයා දැනගන්නා ලක්‍ෂණයේ බාලයා දැනගන්නා කාරණයෝ බාලචරිතාපදානයෝ මොහු තුන්දෙනෙක. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොවැ බාල තෙමේ අභිජ්ඣා ආදි නපුරු සිතිවිලි සිතනසුලු වෙයි. මුසවා ආදි නපුරු බස් බණනසුලු ද වෙයි. පණිවා ආදි නපුරුකම් කරනසුලු ද වෙයි. ඉදින් මහණෙනි, බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ය, නපුරු බස් බණනසුලු ද වේ ය, නපුරු කම් කරනසුලු ද වේ ය යන තෙල නො වී නම් කවර අයුරෙකින් පණ්ඩිත ජනයෝ “මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ද, නපුරු බස් බණනසුලු වේ ද, නපුරු කම් කරනසුලු වේ ද, එහෙයින් පණ්ඩිත ජනයෝ ‘මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිති.
මහණෙනි. ඒ බාල ඉහාත්මයෙහි ම තුන්වැදෑරුම් දුක්දොම්නසක් විදුනේ ය. ඉදින් මහණෙනි, බාල සභායෙක වේව’යි හුන්නේ වේ ද, වීථියෙක වේව’යි හුන්නේ වේ ද, සතරමංසන්‍ධියෙක වේව’යි හුන්නේ වේ ද, එහිදු ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරෙයි. මහණෙනි, ඉදින් බාල පණිවා කරනසුලු වේ ද, අයිනාදන් ගන්නාසුලු වේ ද, කාමයෙහි මිසහසර ඇති වේ ද, මුසවා බණනසුලු වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනසුලු වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: “ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ දුසිරිත් දහම්හු මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි ලා දැක්වෙමි”. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ පළමුවන දුක්දොම්නස විඳුනේ වෙයි.
තවද මහණෙනි, බාල තෙමේ රජදරුවෝ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටුලු කෙරෙත් ද, කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් අඩදඬියෙනුදු තළනුවන් අත ද සිඳනුවන් පය ද සිඳිනුවන් අත්පා ද සිඳිනුවන් කනුදු සිඳිනුවන් නැහැදු සිඳිනුවන් කන් නැහැදු සිඳිනුවන් බිලඞ්ගථාලික නම් වධ ද කරනුවන් ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරනුවන් රාහුමුඛ නම් වධ ද කරනුවන් ජෝතිමාලික නම් වධ ද කරනුවන් හත්‍ථපජ්ජෝතික නම් වධ ද කරනුවන් එරකවත්තික නම් වධ ද කරනුවන් චීරකවාසික නම් වධ ද කරනුවන් එණෙය්‍යක නම් වධ ද කරනුවන් බලිසමංසික නම් වධ ද කරනුවන් කහාපණක නම් වධ ද කරනුවන් ඛාරාපතච්ඡික නම් වධ ද කරනුවන් පලිඝපරිවත්තික නම් වධ ද කරනුවන් පලාලපීඨක නම් වධ ද කරනුවන් රත්තෙලිනුදු ඉස්නවුන් ශුනකයන් ලවා කවනුවන් දිවස්හුල හිඳුවනවන් කඩුවෙනුදු හිස සිඳනුවන් දක්නේ වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: යම්බඳු පාපකර්‍ම හේතු කොටගෙන රජදරුවෝ අපරාධකාරී
සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙත් ද, කසයෙනුදු තළත් ද, වේවැලිනුදු තලත් ද අඩදඬියෙනුදු තළත් ද, අතද සිඳිත් ද, පය ද සිඳිත් ද, අත්පාත් සිඳිත් ද, කන ද සිඳිත් ද, නැහැය ද සිඳිත් ද, කන්නැහැ ද සිඳිත් ද, බිලඞ්ගථාලිකවධ ද කෙරෙත් ද, ශඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත් ද, රාහුමුඛවධ ද කෙරෙත් ද, ජෝතිමාලිකවධ ද කෙරෙත් ද, හත්‍ථපජ්ජෝතික වධ ද කෙරෙත් ද, එරකවත්තිකවධ ද කෙරෙත් ද, චීරකවාසිකවධ ද කෙරෙත් ද, එණෙය්‍යකවධ ද කෙරෙත් ද, බලිසමංසිකවධ ද කෙරෙත් ද, කහාපණකවධ ද කෙරෙත් ද, ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත් ද, පලිඝපරිවත්තිකවධ ද කෙරෙත් ද, පලාලපිට්ඨිකවධ ද කෙරෙත් ද, රත්තෙලිනුදු ඉසිත් ද, ශුනකයන් ලවා කවත් ද, දිවස්හුලෙහි හිඳුවත් ද, කඩුවෙනුදු හිස සිඳිත් ද, එබඳු පාපධර්‍මයෝ මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි දැක්වෙමි. රජදරුවෝ මයිත් දැනගන්නාහු නම් රජදරුවෝ මයිදු ගෙන විවිධ කම්කටොලු කරන්නාහු ය. කසයෙනුදු තළන්නාහු ය, වේවැලිනුදු තළන්නාහු ය, අඩදඬියෙනුදු තළන්නාහු ය, අත ද සිඳින්නාහු ය, පය ද සිඳින්නාහු ය, අත්පා ද සිඳින්නාහු ය, කන ද සිඳින්නාහු ය, නැහැය ද සිඳින්නාහු ය, කන්නැහැ ද සිඳින්නාහු ය, බිලඞ්ගථාලික නම් වධ ද කරන්නාහු ය, ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරන්නාහු ය, රාහුමුඛ නම් වධ ද කරන්නාහු ය, ජෝතිමාලික නම් වධ ද කරන්නාහු ය, හත්‍ථපජ්ජෝතික නම් වධ ද කරන්නාහු ය, එරකවත්තික නම් වධ ද කරන්නාහු ය, චීරකවාසික නම් වධ ද කරන්නාහු ය, එණෙය්‍යක නම් වධ ද කරන්නාහු ය, බලිසමංසික නම් වධ ද කරන්නාහු ය, කහාපණක නම් වධ ද කරන්නාහු ය, බාරාපතච්ඡික නම් වධ ද කරන්නාහු ය, පලිඝපරිවත්තික නම් වධ ද කරන්නාහු ය, රත්වූ තෙලිනුදු ඉස්නාහු ය, ශුනකයන් ලවා ද කවන්නාහු ය, දිවමනුහු දු හුලැ හිඳුවන්නාහු ය, කඩුවෙනුදු හිස සිඳින්නාහු යයි කියා යි. මහණෙනි. බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ දෙවන දුක්දොම්නස විඳුනේ වෙයි.
යළිදු මහණෙයි, බාලයා පීඨයෙහි නැඟී හුන්නහුට වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහුට වේ ව’යි බිමැ හෝනහුට වේව’යි ඔහු විසින් පෙර කරන ලද කායදුශ්චරිත වූ වාග්දුශ්චරිත වූ මනෝදුශ්චරිත වූ යම් ලාමක කර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ එළැඹ සිටිති, (අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්.) මහණෙනි, යම් පරිදි සවස් කාලයෙහි මහත් පර්‍වතකූටයන් ගේ සෙවණැලි පොළොවෙහි පැතිරේ ද, එපරිදි මැ මහණෙනි, පීඨයෙහි නැඟී හුන්නහු වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහු වේව’යි බිමැ හෝනහු වේව’යි බාල හට ඔහු විසින් කළ කායදුශ්චරිත වූ හෝ වාග්දුශ්චරිත වූ හෝ මනෝදුශ්චරිත වූ හෝ යම් පූර්‍ව පාපකර්‍ම කෙනෙක් ඇද්ද එකල්හි එ කර්‍මයෝ එළැබ සිටිත්. මහණෙනි, ඒ වැටැහීම් ආපාතගත කල්හි බාලයා හට මෙසේ සිත් වෙයි: ‘මා විසින් කල්‍යණයෙක් නො කරන ලද මැ ය, කුශලයෙක් නො කරන ලද මැ ය, බියට පිහිටෙක් නො කරන ලද මැ ය, පව් කරන ලද, කැකුළුකම් කරන ලද, කිලුටු කම් කරන ලද, කලණ කම් නොකළ කුසල් නො කළ බියට පිහිට නො කළ පව් කළ කැකුළුකම් කළ කිලුටුකම් කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ එ ගතියට යෙමි’යි කියා යි. හේ ශෝක කෙරෙයි, හේ ක්ලාන්ත වෙයි, පරිදේවනා කෙරෙයි, ළෙහි අත් පැහැර හඬයි, සම්මෝහයට පැමිණෙයි. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ තුන්වන දුක්දොම්නස ද විඳුනේ වෙයි.
මහණෙනි, ඒ බාල කයින් දුශ්චරිත කොට බසින් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට එළැබෙයි, මහණෙනි, මොනොවට බණනුයෙක් ඒකාන්ත අනිෂ්ට යයි ඒකාන්ත අකාන්ත යයි ඒකාන්ත අමනාප යයි යමක් ගෙන බෙණේ නම් මොනොවට බණනුයේ ඒකාන්ත අනිෂ්ට යයි ඒකාන්ත අමනාප යයි තෙල නිරය මැ ගෙන බණන්නේ ය, මහණෙනි, නිරයයෝ අතිශය දුක් ඇතියහ’යි දක්වන්නට උපමාවකුදු සුකර නො වේ යයි වදාළෝ.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘වහන්ස, උපමාවක් කරන්නට හැකි දැ’යි.
භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, හැක්කැ’යි වදාළ සේක: “මහණ, යම් පරිදි ‘දේවයෙනි, මේ අපරාධකාරී සොරෙක, මුහුට යම් දඬුවමක් කැමැත්තහු නම් ඒ දඬුවම එළවාලව’යි පාපකාරී සොරකු ගෙන රජුට දක්වත් ද, රජ ඔහුට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, මේ පුරුෂයා පෙරවරුයෙහි සියක් සිරිපහරින් හිංසා කරව’යි. පෙරවරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කෙරෙයි. ඉක්බිති රජ මධ්‍යාහ්නයෙහි මෙසේ කියන්නේ ය: ‘එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දේවයන් වහන්ස, එසේ ම ජීවත් වේ ය’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා මධ්‍යාහ්න සමයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි. මධ්‍යාහ්න සමයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කරන්නාහු ය. ඉක්බිති රජ සවස්වරුයෙහි මෙසේ කියන්නේ ය: එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දේවයෙනි, එසේ ම ජීවත් වේ යැ’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා සවස්වරුයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි, සවස්වරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් නස්නාහුය. මහණෙනි, කෙසේ හඟව, ඒ පුරුෂ සියක් සිරියෙන් නැස්නේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳුනේ වේ දැ”යි.
වහන්ස, එක් සිරිපහරකිනුදු හන්‍යමාන පුරුෂ ඒ හේතුයෙන් දුක්දොම්නස් විඳුනේ ය. තුන්සියක් සිරියෙන් නැස්නේ කවර කථා යැ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇතුළුමිටැ සිටුනා කුඩා කැටක් ගෙන මහණුන් ඇමැතූ සේක: ‘මහණෙනි, ඒ කිසේ හඟව, මා විසින් ඇතුළුමිටැ සිටුනා පමණ ඇලුප් කැටෙක් ගන්නා ලද ද, යම් හිමාලය පර්‍වතරාජයෙක් ඇද්ද, මුන් කෙරෙහි කිමෙක් මහත්තර වේ ද?
වහන්ස, මුබ වහන්සේ විසින් යම් ඇතුළුමිටැ සිටුනා පමණ අල්ප පාෂාණයෙක් ගන්නා ලද ද, මෙය හිමවත් පර්‍වතරාජයා පිණිස අල්පමාත්‍ර වෙයි, ගණනාවට ද නො යෙයි. කලභාගයට ද නො යෙයි, වෙතැ තැබීමට ද නො යෙයි.
එසෙයින් මැ මහණෙනි, ඒ පුරුෂ තුන් අඩයටි සියෙන් පෙළනු ලබනුයේ ඒ හේතුයෙන් යම් දුකක් දොම්නසක් විඳි ද, එය නිරයදුක සඳහා ගණනාවට ද නො යෙයි, කලභාගයට ද නො යෙයි, වෙතැ තැබීමට ද නො යෙයි.
මහණෙනි, ඔහුට නිරයපාලයෝ පඤ්චවිධබන්‍ධන නම් වධයක් කෙරෙති: රත්වූ යහුලක් දකුණතෙහි ගසති, රත් යහුලක් දෙවැනි අතෙහි ගසති, රත් යහුලක් දකුණු පයෙහි ගසති, රත් යහුලක් දෙවැනි පයෙහි ගසති, රත් යහුලක් ළමැද ගසති, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී, යම් තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
මහණෙනි, නිරයපාලයෝ ඔහු යපොළො වැ හොවා කෙටේරියෙන් සසිති, හේ එහි දුඃඛ ත්‍රව්‍ර වේදනා විඳී. යම් තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශීර්‍ෂ කොට ගෙන වෑයෙන් සසති. හේ එහි ... යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
මහණෙනි, නිරයපාලයෝ ඔහු සම්ප්‍රජ්වලිත වූ රථයෙහි යොදා ප්‍රදීප්ත වූ හාත්පසින් ප්‍රජ්වලිත වූ සප්‍රභ වූ අයෝමය පෘථිවියෙහි සාරණය ද ප්‍රත්‍යාසාරණය ද කරවත්. (ඔබ මොබැ ඇවිදුවත්.) හේ එහි ... යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
මහණෙනි, නිරයපාලයේ ඔහු ගෙන ප්‍රදීප්ත වූ හාත්පසින් ප්‍රජ්වලිත වූ ඇවිළගත් ගිනි ඇති මහත් අඞ්ගාරපර්‍වතයකට නැංවීම ද බැස්වීම ද කෙරෙති. හේ එහි තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී, යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
මහණෙනි, නිරයපාලයෝ ඔහු උඩුපා කොට හිස් යටිහුරු කොට ගෙන ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනි ඇවිළගත් ප්‍රතප්ත ලොහොකුඹුනිරයෙහි බහාලති, හේ එහි පෙණ පිඬක් බඳු දේහ ඇති ව පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති ව පස්නේ එක්වට උඩ නැඟෙ යි: එක්වට යටට බස්සි, එක්වට සරස ඇවිදී, හේ එහි තීව්‍ර වූ කටුක වූ දුඃඛ වේදනා විඳී. යම් තාක් ඒ පාපක්‍රියා නො ගෙ වේ ද, ඒ තාක් කලුරිය නො කෙරේ.
මහණෙනි, නිරයපාලයෝ ඔහු ගෙන මහානිරයෙහි බහාලති. මහණෙනි, ඒ මහානිරය නම්:
(ඒ මහානිරය) චතුෂ්කර්‍ණ යැ, චතුර්ද්වාර යැ, වෙන වෙන ම කොටස් වශයෙන් බෙදන ලද, අයස්ප්‍රාකාරයෙන් පරික්‍ෂිප්ත යැ, යපියනින් පිළිසොයන ලද.
ඒ නරකයා ගේ අයෞමය වූ භූමියැ, එ ද ජ්වලිත යැ, ගිනිදල සහිත යැ, හැමදාම අවට සියක් යොදුන් තන්හි පැතිරැ සිටුනේ යි.
මහණෙනි, මම නන් අයුරින් නිරයකථා කියමි, මහණෙනි, නිරයයෝ මෙතෙක් දුක් ඇතියහ’යි කීමෙකින් මස්තකප්‍රාප්ත කොට කියන්නට සුකර නො වේ මැයි.
මහණෙනි, තණපතක් බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත. ඔහු තෙත් වූත් වියැළි වූත් තණ දතින් සිඳිමින් කති. මහණෙනි, තණ බුදිනා තිරිසන්ගිය සත්හු කවරහ යත්: අශ්වයෝ යැ, ගොන්නු හැ, ගද්‍රභයෝ යැ, එළුවෝ යැ, මෘගයෝ යි, තෘණභක්‍ෂ්‍ය වූ මෙයින් අන්‍ය තිරිසන්ගිය කිසි ප්‍රාණි කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස බුදිනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු තණ බුදිනා සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.
මහණෙනි, අසුචි බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත, ඔහු දුරින් මැ අසුචිගඳ අසා “මෙහි දී කම්හ, මෙහි දී කම්හ”යි දිවෙති. යම් සේ බමුණෝ “මෙහි දී වළඳම්හ, මෙහි දී වළඳම්හ”යි යාගගන්‍ධයෙන් දිවෙත් ද, මහණෙනි, එපරිදි මැ අසුචි කන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත, ඔහු දුරින් මැ ගූථගන්‍ධය අසා මෙහි කම්හ, මෙහි කම්හ’යි දිවෙත්. මහණෙනි, අසුචි කන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කුකුළෝ යැ, ඌරෝ යැ, බල්ලෝ යැ, සිවල්හු යි, අසුචි බුදිනා මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු ඇද්ද, මහණෙනි, ඒ බාල මෙලොවැ පෙර ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කායභේදයෙන් මරණින් මතු අසුචි බුදිනා යම් සත්ත්‍ව කෙනෙක් වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.