ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. අපශ්‍රයණයෙක් පිට එළවූයම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ශ්‍රයනය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ග්‍රාමාන්ත සෙනස්නෙහි වස් එළැඹියෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් ග්‍රාමාන්තශයනාසනයෙක්හි වස් එළැඹියාහු නො දනිති’ යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඇවැත්නි, මම සතියක් මතු සක්ලේශ වැ රට වැසියා දුන් පිණ්ඩපාතය වැළඳුයෙමි. යළි අටවන දවස් අර්‍හත්‍වය උපන. “ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ සතියක් මතු සක්ලේශ ව රටවැසියා දුන් පිණ්ඩපාතය වැළඳු සේක. යළි අටවන දවස් රහත්බව උපන” යන මේ කරුණෙක් ඇද්ද, මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
“ඇවැත්නි, බක්කුලයෙනි, මම මේ ශාසනයෙහි පැවිද්ද ලබම්වා, උපසපුව ලබම්ව” යි කීය.
අචේල කසුබු මෙ සස්නෙහි පැවිදි ලද, උපසපු ලද. යළි ආයුෂ්මත් කසුබු උපසපන් නොබෝකල් ඇතියේ එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිතැති ව වසනුයේ නො බෝකලෙකින් ම යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්මැ පැවිදි වෙත් ද, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍ය අවසන් කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ඵලය දිටුදැමියෙහි මැ තමා විසින් මැ ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කළේ ය. ජාති ක්‍ෂය වූ යැ. මඟබඹසර වැසනිමවන ලද. සිව්මඟ කරණී කොට නිමවන ලද. ඉත්‍ථම්භාවය පිණිස කටයුතු අනෙකෙක් නැතැයි මොනොවට දැනගති. ආයුෂ්මත් කසුබු තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර කෙනෙක් වූහ.
ඉක්බිති ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ මෑත භාගයෙහි කෙසි යතුරු ගෙන විහාරයෙන් විහාරයට එළැඹ මෙසේ කීහ: “ආයුෂ්මත්නි, නික්මෙව, ආයුෂ්මත්නි, නික්මෙව, අද මාගේ පිරිනිවන වන්නේ ය” යි.
ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ කෙසි යතුරු ගෙන විහාරයෙන් විහාරයට එළැඹ මෙසේ කීහ: “නික්මෙව, ආයුෂ්මත්නි, නික්මෙව, ආයුෂ්මත්නි, අද මාගේ පිරිනිවන වන්නේ ය” යන මේ කරුණෙක් ඇද්ද, මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඉක්බිති ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ භික්‍ෂුසංඝයා වහන්සේ මැද හුන්නාහු මැ පිරිනිවි සේක.
ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ භික්‍ෂුසංඝයා වහන්සේ මැද වැඩහුන්නාහු මැ පිරිනිවි සේක යන යමක් ඇද්ද, මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම් හ’යි.
සතරවැනි බක්කුල සූත්‍ර යි.
3. 3. 5.
දන්තභූමි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. තව ද එසමයෙහි අචිරවත සමණුද්දෙස අරණ්‍යකුටිකායෙක්හි වෙසෙයි. එකල්හි ජයසේන රාජකුමාර ජංඝාවිහරණයෙන් ඔබැ මොබැ හැසිරෙනුයේ අචිරවත සමණුද්දෙස යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියේ ය. එළැඹ අචිරවත සමණුද්දේසයන් සමග සතුටු විය, සතුටුවිය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ජයසේන රාජකුමාර අචිරවත සමණුද්දේසනට තෙල කී: “භවත ගිනිවෙස්න, මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍ය ඇති වැ ප්‍රහිතාත්ම වැ වසනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ ය යන මෙ කරුණ මා විසින් අසන ලදැ” යි.
රාජ කුමාරය, තෙල එ සේ මැය, රාජ කුමාරය, තෙල එසේ මැ ය. මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ යයි ඇසූ සේකි.
භවත් ගිනිවෙස්න, ඇසූ පරිදි පුහුණු කළ පරිදි මට දහම් දෙසාවයි අයැද සිටිමි.
රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නට නො හැකියෙමි. රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නෙම් නම් තෙපි ද මබස අරුත් අවබෝධ නො කරන්නහු නම් ඒ මට කායක්ලමථුයෙක් වෙයි, ඒ මට විහිංසායෙක් වෙයි.
භවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා. මම භවත් අග්ගිවෙස්සනයන්ගේ කී අරුත් නුවණින් දන්නෙම් නම් මනා මැ නු.
රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසමි. ඉදින් තෙපි මබස අරුත් නුවණින් දැනගන්නහු නම් තෙල් මැනැව, ඉදින් තෙපි මබස අරුත් දැන නො ගන්නහු නම් තමා නො දන්නා තන්හි මැ සිටුහු නම්, එහි ලා මතුයෙහි මා නුපුළුවුස්නා බව යයි.
භවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් දන්නෙම් නම්, මෙසේ මේ මැනව, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් නො දන්නෙම් නම් තමන් සතු නො දන්නා තන්හි මැ සිටීම් නම් එහි දී භවත් අග්ගිවෙස්සනයන් මතුයෙහි නො පුළුවුස්මි’ යි.
එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරහට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසී. මෙසේ දෙසූ කළ ජයසේන රජකුමර අචිරවත හෙරණහට තෙල කී: “භවත් ගිනිවෙස්න, මහණ නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසනුයේ චිත්තෛකාග්‍රතා ලබා යන යමෙක් ඇද්ද, තෙල නො වන්නෙකි. වන්නට අවකාශ ද නැති. එ සඳ ජයසේන රජකුමර අචිරවත හෙරණ හට අස්ථානතා ද අනවකාසතා ද පවසා හුනස්නෙනේ නැගී ගියේ.
එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරු නැඟී යන්නා හා මැ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හින. එකත් පස් වැ හුන් එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරු හා යම් පමණ කථා සංලාපයෙක් වී ද, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේ.
මෙසේ සැල කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අචිරවත හෙරණ හට තෙල වදාළ සේක: “ගිනිවෙස්න, යම් දහමෙක් කාමයෙන් නික්මැ යෑමෙන් දත යුතු වේ ද, නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක්කළ යුතු වේ ද, ඒ දහම මෙහි ලා කොයින් ලැබේ ද? ජයසේන රජකුමර දෙවැදෑරුම් කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාම විතර්‍කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ වේව’යි දක්නේ වෙව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වූවාහු සුවිනීත වූවාහු ඇද්ද, හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ගිනිවෙස්න, ඒ කෙසේ හඟිහි, සුදාන්ත වූ සුවිනීත වූ යම් හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ ඇද්ද, ඔහු දැමුණාහු මැ දාන්තකාරණයට යන්නා හු නො වේ ද? දැමුණාහු මැ දාන්ත කාරණයට දාන්තභූමියට යන්නාහු නො වේ ද?
වහන්ස, එසේ යැ.
යම් ඒ හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ඔහු අදාන්ත වැ මැ සිට සුදාන්ත සුවිනීත වූ ඒ හස්තිදම්‍යයන් දෙදෙනා සෙයින් අශ්වදම්‍යයන් දෙදෙනා සෙයින් ගෝදම්‍යයන් දෙදෙනා සෙයින් දාන්ත කාරණයට යන්නාහු වේ ද, අදාන්ත වැ මැ සිට දාන්ත කාරණයට යන්නාහු වේ ද,
වහන්ස, තෙල නො වන්නේ මැ යි.
ගිනිවෙස්න, එපරිදි මැ යම් දහමෙක් නික්මීමෙන් දත යුතු ව ද නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක් කළ යුතු වේ ද, ජයසේන රජ කුමර කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාමවිතර්‍කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ එකැතින් ඒ දහම් දන්නේ වේව’යි දක්නේ වේව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වේ.
ගිනිවෙස්න, යම් පරිදි ගමකට හෝ නිගමයකට හෝ නුදුරෙහි මහාපර්‍වතයෙක් වේ ද, යහළුවෝ දෙදෙනෙක් ඒ ගමින් හෝ නියම් ගමින් හෝ නික්මැ අතිනත් ගෙන් ඒ පර්‍වතය යම් තැනෙක් හි ද එහි එළැඹෙන්නාහු ය. එළැඹ එක් යහළුවෙක් යට පවුපාත්හි සිටිනේ ය. එක් යහළුවෙක් පර්‍වත මස්තකයට නඟින්නේ ය. යට පවුපාත්හි සිටි යහළු පර්‍වත මස්තකයෙහි සිටි යහළුහට මෙසේ කියන්නේ ය: ‘යහළුව, තෙපි ගල් මුදුන්හි සිටියහු කුමක් දක්නා ව’යි. හේ මෙසේ කියන්නේ ය:
‘යහළුව මම් ගල් මුදුන්හි සිටියෙම් රමණී අරම් රමණී වන රමණී බිම් පෙදෙස් රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, යම් හෙයෙකින් තෙපි උපරි පර්‍වතයෙහි සිටියහු රමණී අරම් රමණී වන රමණී බිම්පෙදෙස් රමණී පොකුණු දක්නහු නම් තෙල අස්ථාන යැ අනවකාශ ය’යි. එසඳ පර්‍වත මස්තකයෙහි සිටි යහළු යට පවුපාතට බැස ඒ යහළුවා අත ගෙන් උපරි පර්‍වතයට නඟා මොහොතක් අස්වසා මෙසේ කියන්නේ ය: ‘යහළු, තෙපි උපරි පර්‍වතයෙහි සිටියහු කුමක් දක්නාව’ යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, මම් උපරි පර්‍වතයෙහි සිටියෙම් රමණී අරම් රමණී වන රමණී බිම් පෙදෙස් රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, මෙවිටැ මැ තොප විසින් කියන ලද: ‘ඇපි මෙසේ දනුම් හ: යහළු යම් හෙයෙකින් උපරි පර්‍වතයෙහි සිටියහු රමණී අරම් ... රමණී පොකුණු දක්නහු ද, තෙල අස්ථාන යැ, අනවකාශ ය’ යි. තව ද යළි මෙවිට මැ තොප විසින් කියන ලද: ඇපි මෙසේ දනුම් හ: යහළු මම් ගල්මුදුන්හි සිටියෙම් රමණී අරම් ... රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ඒ එසේ මැ යැ. යහළු, මම් මේ මහා පර්‍වතයෙන් අවුරන ලදුයෙම් දැක්ක යුතු දෑ නො දිටි මි’යි.
එසෙයින් ම ගිනිවෙස්න, තෙල මහාපර්‍වතයට වඩා ඉතා මහත් වූ අවිද්‍යාස්කන්‍ධයෙන් ජයසේන රජකුමර අවුරන ලද වළහන ලද වෙළන ලද හාත්පසින් බඳනා ලදි. හේ ඒකාන්තයෙන් කාමයෙන් නික් මැ යෑමෙන් දත යුතු නික්මීමෙන් දැක්ක යුතු නික්මීමෙන් පැමිණිය යුතු නික්මීමෙන් පසක්කළ යුතු යම් චිත්තෛකාග්‍රතා ධර්‍මයෙක් ඇද්ද, ජයසේන රජකුමර වත්කම් කෙලෙස්කම් මැද වසනුයේ කාමයන් වළඳනුයේ කාමවිතර්‍කයන් විසින්, කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ යැ හෝ දක්නේ යැ හෝ පසක් කරන්නේ යැ හෝ යන තෙල කරුණ නො වන්නේ ය. ඉදින් ගිනිවෙස්න, ජයසේන රජකුමර හට මේ උපමාවෝ දෙදෙන තා ලකුණු කොට හෙළි වෙත් නම් තොපට ජයසේන රජකුමර පහදින්නේ ය යනුදු ප්‍රසන්න ව තොපට සත්කාර කරන්නේ ය යනුදු අසිරි නො වේ.
වහන්ස, භාග්‍යවතුන්වහන්සේ ලකුණු කොට හෙළි වන්නා සෙයින් කෙසේ නම් මා ලකුණු කොට ජයසේන රජකුමරහට පුනපුනා අසිරියට නිසි වූ පෙර නො ඇසූවිරූ මේ උභය උපමාවෝ හෙළි වෙත් ද.
ගිනිවෙස්න, යම් පරිදි මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ නාගවනික හස්තිගෝපයක්හු අමතාද “සගය, නාගවනිකය, තෝ එ රජුගේ ඇතු නැඟී නාගවනයට වැද අරන්වැසි නාගයකු සොයා බලා රජු සතු නාගයාගේ ගෙලෙහි ලා බඳනේ යයි. ගිනිවෙස්න, නාගවනිකයා මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ හට එසේ යැ දේවයෙනි, පිළිවදන් දී රජුගේ ඇතු නැඟී නාග වනයට වැද අරන්වැසි නාගයකු සොයා බලා රාජනාගයාගේ ගෙලෙහි බඳනේ ය. රාජනාගයා තෙල ඇතු එලියට නෙරනේ වෙයි. ගිනිවෙස්න, මෙතෙකිනුදු ආරණ්‍යක නාගයා අභ්‍යවකාශ ගත වූයේ වෙයි. ගිනිවෙස්න, යම් නාගවනයෙක් ඇද්ද, ආරණ්‍යක නාගයෝ එහ පැවැති ගේධ ඇත්තා හු ම ය. නාගවනිකයා මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ හට දේවයිනි, ආරණ්‍යක නාගයා එලියට අළැයි සැල කරන්නේ ය.
එසඳ ගිනිවෙස්න, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ හස්තිදමකයකු ඇමතී: සගය හස්තිදමකය, තෝ ඒ ආරණ්‍යක වූ මැ සැහැවි සන්හිඳුවීම සඳහා අරණ්‍යක වූ මැ ස්වරසංකල්ප සන්හිඳුවනු සඳහා ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහයන් සන්හිඳුවනු සඳහා ග්‍රාමාන්තයෙහි සිත් අලවාලනු සඳහා මිනිසුනට කල් වූ සැහැවියෙහි පිහිටුවාලනු සඳහා ආරණ්‍යක නාගයා දමනය කරව’යි. ගිනිවෙස්න, දේවයෙනි, එසේ යැයි හස්තිදමක මුදුනෙහි බිසෙස් කළ කැත් රජහට පිළිවදන් දී, මහත් ටැඹක් පොළොවෙහි පිහිටුවා ආරණ්‍යක නාගයාගේ ගල ඊමත බඳී. ආරණ්‍යක වූ මැ සැහැවි සන්හිඳුවනු සඳහා ආරණ්‍යක් වූ මැ ස්වර සංකල්ප සන්හිඳුවනු සඳහා ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහයන් සන්හිඳුවනු සඳහා, ග්‍රාමාන්තයෙහි සිත් අලවාලනු සඳහා, මිනිස්නට කල් වූ සැහැවියෙහි පිහිටුවාලනු සඳහා වෙයි. හස්තිදමක නිර්දෝෂ වූ කර්‍ණ සුඛ වූ ප්‍රේමණීය වූ හෘදයංගම වූ පුරවැසි වූ බහුජනකාන්ත වූ බහුජන මනාප වූ යම් වචන කෙනෙක් ඇද්ද, එබඳු වචනයෙන් බෙණෙයි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යක නාගයා හස්තිදමකයාගේ නිදොස් වූ කන්කලු වූ පෙම් කළ යුතු ළගන්නා වූ පුරවැසි වූ බහුජන කාන්ත වූ බහුජන මනාප වූ යම් බස්හු ඇද්ද, එවන් බසින් බණනු ලබනුයේ අසනු කැමැති වේ ද, කන් නතු කෙරේ ද, දැනගන්නට සිත් එළවා ද, උහුට හස්තිදමක මත්තෙහි තණ කබල හා දිය එළවයි.
ගිනිවෙස්න, යම් තැනෙක පටන් ආරණ්‍යක නාග හස්තිදමකයාගේ තණ කබල හා දිය පිළිගනීද, එහිදී හස්තිදමකහට මෙ සිත් වෙයි: ආරණ්‍යකනාග දැන් ජීවත් වන්නේය’යි. ඔහුට හස්තිදමක මත්තෙහි කර්‍මකාරණ කෙරෙයි: නඟාගන භවත, බහාතබ භවත යි. ගිනිවෙස්න, යම් තැනෙක පටන් ආරණ්‍යකනාග හස්තිදමකයාගේ නඟා ගැනුම් බහා තැබුම් හි වචනකරු වූයේ අවවාද පිළිගෙන කරනුයේ වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි කර්‍මකාරණ කෙරෙයි: ‘භවත, ඉදිරියටම යා, වටාලා ඒ’යි කියා යි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යකනාගයා හස්තිදමකයාගේ අභික්‍රම ප්‍රතික්‍රම වචනකරු වේ ද, අවවාද පිළිගෙන කරන්නේ වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි දු කාරණ කෙරෙයි: ‘භවත, නැඟී සිටුව, භවත හිඳුව’යි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යකනාගයා හස්තිදමකයාගේ උත්‍ථාන නිෂද්‍යාවිධානයෙහි වචනකරු වේ ද, අවවාද ප්‍රතිකර වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි අනිඤ්ජන කාරණ කෙරෙයි: ඔහුගේ සොඬෙහි මහත් ඵලකයක් බඳියි, තෙබගත් අත් ඇති පුරුෂයෙක් ග්‍රීවාමතුයෙහි හිඳුනේ වෙයි. තෙබගත් අත් ඇති පුරුෂයෝ වටාගෙන පිරිවරා සිටිත්: හස්තිදමක ද දිගු තෙබයටත් ගෙන පෙරට සිටියේ වෙයි. උයිත් අනිඤ්ජන කාරණ කැරනුයේ ඉදිරි පා නොසලයි. පසු පා නො සලයි, පෙරට කය නො සලයි, පසු කය නො සලයි,
හිස නො සලයි, කන් නොසලයි, දත් නො සලයි, නඟුට නො සලයි, සොඬ නො සලයි. ඒ ආරණ්‍යකනාග සිරිපහර කඩුපහර හීපහර පරශස්ත්‍රප්‍රහාර බෙර පණා බෙර වස්දඬු සක් දෙණ්ඩිම හඬ සහනු වෙයි. හළ සර්‍වවක්‍රදෝෂ ඇතියේ හළ කසට ඇතියේ රාජාර්‍හ වූයේ රාජාවයවයෙක යන පරිගණනාවට යෙයි.
ගිනිවෙස්න, එපරිදි මැ මෙලො වැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ විද්‍යාචරණයෙන් යුත් සුගත වූ ලෝකය දන්නා වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙවිමිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වෙති. ඔබ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදි කල්‍යාණ කොට, මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට, අර්‍ත්‍ථ සහිත කොට, බ්‍යඤ්ජන සහිත කොට, කේවල පරිපූර්‍ණ කොට, දහම් දෙසති. පරිශුද්ධ කොට බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති.
ඒ ධර්‍මය ගැහැවියෙක් හෝ ගැහැවි පුතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. හේ ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්ත වූයේ මෙසේ සිතයි: “ගෘහවාසය සම්බාධ ය, රාගාදි රජසුන්ට මාර්‍ගයෙකි, පැවිද්ද එලිමහණක් වැන්න, ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ ඒකාන්තයෙන් පරිශුද්ධ වූ මේ සංඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට ගිහිගෙයි වසන්නහු විසින් පහසු නො වේ. මම කෙහෙ රවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්මැ අනගාර්‍ය්‍ය සංඛ්‍යාත පැවිද්දට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ”යි. හෙතෙම පසු කාලයෙක ස්වල්පවූ හෝ භෝගරාශිය හැර මහත් වූ හෝ භෝගරාශිය හැර ස්වල්ප වූ හෝ නෑ පිරිවර හැර මහත් වූ හෝ නෑ පිරිවර හැර කෙස් රැවුළු බහා කහවත් හැඳ පෙරෙව, ගිහිගෙන් නික් මැ අනගාර්‍ය්‍ය සංඛ්‍යාත පැවිද්දට පැමිණෙයි.
ගිනිවෙස්න, මෙතෙකින් ආර්‍ය්‍යශ්‍රාවක අභ්‍යවකාශගත වූයේ වෙයි. ගිනිවෙස්න, දෙවිමිනිස්හු පඤ්චකාම ගුණයෙහි ගේධ වෙති. තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ තෝ එම සිල්වත් ව, ප්‍රාතිමෝක්‍ෂ සංවර සංවෘත ව වාස කර ආචාර ගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු ව සිකපද සමාදන් ව හික්මෙව”යි.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවර සංවෘත ව වාස කෙරේ ද, ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව සිකපද සමාදන් ව හික්මේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති. “මහණ, තෝ එම ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණ අභිධ්‍යාදෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳගනිත් ද, එහි සංවරය පිණිස පිළිපදුව, චක්‍ෂුරින්‍ද්‍රිය රක්ව, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස ... මනසින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යම් හෙයෙකින් මනින්‍ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳගනිත් ද, එහි සංවරය පිණිස පිළිපදුව, මනින්‍ද්‍රිය රක්ව, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව” යි.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, භෝජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වළඳ කරව, (කිසේ යැ යත්) දවයට නො මැ වෙයි, මද වඩන්නට නො වෙයි, උනුතැන් පුරවන්නට නො වෙයි, විභුෂණයට නො වෙයි. මේ කය සිටිනු පිණිස යැපෙනු පිණිස මැ වෙයි. විහිංසා සන්හිඳුවනු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස මැ වෙයි. මෙසේ පැරණි වේදනා නස්මි, නව වේදනා නූපදවමි, මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අනවද්‍යතා ඵාසුවිහාර හා වෙතී” කියා යි.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ තෝ ඒ, නිදි වැරීමෙහි යෙදී වාස කර, දහවලැ සක්මනිනුදු හිඳුමිනුදු ආවරණීය දහමින් සිත පිරිසිදු කර, රැයැ පළමුයමැ චඞ්ක්‍රමනයෙනුදු නිෂද්‍යායෙනුදු ආවරණීය දහමින් සිත පිරිසුදු කර, රැයැ මැදුම්යමැ දකුණු ඇලයෙන් ගෙන පය මත පය මඳක් හයාතබා, ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති වැ ‘නැඟීගන්මි’ යන සන් මෙනෙහි කොට සිංහශය්‍යා කර, රැයැ පැසුළුයමැ නැඟීසිට චඞ්ක්‍රමනයෙනුදු නිෂද්‍යායෙනුදු ආවරණීය දහමින් සිත පිරිසුදු කර” යි.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක නිදි වැරීමෙහි යෙදුණේ වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, සතිසම්පජඤ්ඤයෙන් සමන්‍වාගත වව, ඉදිරිගමන්හි දු පෙරළාඊම්හි දු සම්පජානකාරී වව, අලෝකන විලෝකන යෙහි සම්පජානකාරී වව, සමිඤ්ජන ප්‍රසාරණයෙහි සම්පජානකාරී වව, සඞ්ඝාටි පාත්‍රචීවර ධාරණයෙහි සම්පජානකාරී වව, ඛාද්‍යභෝජ්‍යලෙයපෙය සඞ්ඛ්‍යාත සියුඅහරෙහි සම්පජානකාරී වව, අස්පස්කිසෙහි සම්පජානකාරී වව, ගමන-ස්ථාන-නිෂිදන-ස්වප්න-ජාගර්‍ය්‍යා-භාෂණ-තුෂ්ණීම්භාව යන් මෙහි සම්පජානකාරී වව”යි.
ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සතිසම්පජඤ්ඤයෙන් සමන්‍වාගත වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, ජනශුන්‍ය සෙනසුන් ඇසුරු කර, අරණැ, රුක්මුලැ, පවි යැ, කඳුරැ, ගිරිලෙනැ, සොහොනැ, වන පෙතැ, අබවස, පිදුරුකිළියැ” යි. හේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ ශ්මශාන යැ වනප්‍රස්ත යැ, අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන ජනශුන්‍ය ශයනාසන භජන කෙරෙයි. හේ පසුබත්හි පිඬුවායෙන් වැළැකුණේ පලක් අවුළුවා උඩුකය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දැහැ විගතාභිධ්‍ය සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පරිශෝධන කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දැහැ අව්‍යාපන්නචිත්ත වැ සර්‍වප්‍රාණහිතානුකම්පීව වැ වාස කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂයෙන් සිත පරිශෝධන කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දැහැ ආලෝකසංඥා ඇති වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ පැහූ ථිනමිද්ධ ඇති වැ වාස කෙරෙයි. ථිනමිද්ධයෙන් සිත පරිශෝධන කෙරෙයි. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත පරිශෝධන කෙරෙයි. විචිකිත්සා දැහැ කුසල් දහම්හි කථඞ්කථා රහිත වැ තුනු විසිකිස් ඇති වැ වාස කෙරෙයි. විමතියෙන් සිත පිරිසිදු කෙරෙයි.
ඒ ආර්‍ය්‍යශ්‍රාවක චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුබල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කෙලෙස් තවන වැර ඇති ව නුවණින් දන්නේ සිහි ඇති වැ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය හැරපියා කයෙහි කය නුවණින් දක්නාසුලු ව වාස කෙරෙයි. වේදනායෙහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇතිව නුවණින් දන්නේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය හැරපියා ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු ව වාස කෙරෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදමක මහත් ටැඹක් පොළොවෙහි සිටුවා ආරණ්‍යකනාගයාගේ ගෙලෙහි බඳනේ වේ ද, ආරණ්‍යක ස්වභාවයන් මඩනු පිණිස ය, ආරණ්‍යක වාක්සඞ්කල්ප මඩනු පිණිස ය, ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහ මඩනු පිණිස යැ, ග්‍රාමාන්තයෙහි අලවනු පිණිස යැ, මිනිස්නට කල් වූ සැහැවියෙහි සමාදන් කරවනු පිණිස යි. ගිනිවෙස්න, එපරිදි මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට මේ සතර සීවටන්හු චිත්තෝපනිබන්‍ධන වෙති. ගෘහශ්‍රිත වූ මැ සැහැවි මඩනු පිණිස යැ, ගෘහශ්‍රිත වූ මැ ස්වරසඞ්කල්ප මඩනු පිණිස යැ, ගෘහශ්‍රිත වූ මැ පීඩා ක්ලමථු පරිදාහ මඩනු පිණිස යැ, න්‍යායධර්‍මයාගේ අධිගමය පිණිස යැ, නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස යි.
තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, කයෙහි කය නුවණින් දක්නාසුලු ව වාස කර, කාමෝපසංහිත විතර්‍ක නහමක් විතර්‍කණ කර, වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු ව වාස කර, කාමූපසංහිත විතර්‍ක නහමක් විතර්‍කණ කර”යි, හේ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ලකුණු කොට ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි.
ඒ මහණ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්‍මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි පූර්‍වනිවාසනුස්මෘති ඥානඥාන පිණිස සිත නතු කෙරෙයි, හේ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. කිසේ යැ යත්: එක් ජාතියකුදු දෙ ජාතියකුදු ... මෙසේ සාකාර සොද්දේශ අනේකප්‍රකාර පූර්‍වනිවාසය සිහි කරයි.
ඒ මහණ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්‍මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි සත්ත්‍වයන්ගේ චුතූපපාත ඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකී. කම් වූ පරිදි පරලොව ගිය සතුන් දනී. මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගත යහ ... මෙසේ යථාකර්මෝපග සත්ත්‍වයන් නුවණින් දනී.
හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්‍මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුමේ දුකැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛසමුදයැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛනිරෝධ යැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ’යි සමුදය යැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවනිරෝධ යැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූත ව නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මුත් සඳ විමුක්ත යයි ප්‍රත්‍යවේක්‍ෂාඥානය වෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද. මේ රහත්බවට අන් කිසෙක් නැති’ යි නුවණින් දනී.
ඒ මහණ ශීත ය උෂ්ණ ය බඩසය පවස මැසි මදුරු අව් සුළං දික්දෑපහස යන මේ සහනුයේ දුරුක්ත දුරාගත වචනපථ හා උපන් දුඃඛ ත්‍රීව ඛර කටුක අසාත අමනාප ප්‍රාණහර ශාරීරික වේදනා හා සහනසැහැවි ඇති වෙයි. පැහූ සියලු රාගද්වේෂමෝහ ඇතියේ නෙරැලූ කසට ඇතියේ වෙයි. දෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට අර්‍හ වෙයි. ප්‍රාඝුණ සඞ්ඛ්‍යාත ආගන්තුකසත්කාරයට නිසි වෙයි. දක්‍ෂිණාවට නිසි වෙයි. ඇඳිලි කළයුතු වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රත් වේ.
ගිනිවෙස්න, රාජනාගයා මහලුවත් අදාන්ත වැ අවිනීත ව කලුරියකෙරේ, රාජනාගයා මහලු වුව අදාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, රාජනාගයා මධ්‍යමවයස්කවත් ... ගිනිවෙස්න, රාජනාගයා දහරවත් අදාන්ත ව අවිනීත ව කාලක්‍රියා කෙරේ නම්, රාජනාගයා දහර ව අදාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, එපරිදි ම මහණ ස්ථවිර ව සිට ද ක්‍ෂීණාස්‍රව නො වූයේ කාලක්‍රියා කෙරේ ද, මහණ ස්ථවිර ව සිට අදාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි සඞ්ඛ්‍යානයට යෙයි. ගිනිවෙස්න, මහණ මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, මහණ නවක ව සිටත් ක්‍ෂීණාස්‍රව නො වූයේ කලුරිය කෙරේ ද නවක මහණ අදාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි සඞ්ඛ්‍යානයට යෙයි.
ගිනිවෙස්න, රාජනාගයා මහලුව සිටත් සුදාන්ත ව සුවිනීත ව කලුරිය කෙරේ ද, රාජනාගයා මහලු ව දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, රාජනාගයා මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, රාජනාගයා දහර ව සිටත් සුදාන්ත ව සුවිනීත ව කාලක්‍රියා කෙරේ ද, රාජනාගයා දහර ව සිට දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, එපරිදි ම ස්ථවිර ව සිටත් ක්‍ෂීණාස්‍රව ව කාලක්‍රියා කෙරේ ද, මහණ ස්ථවිර ව සිට දාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි පරිගණනාවට යෙයි. ගිනිවෙස්න, මහණ මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, මහණ නවක ව සිටත් ක්‍ෂීණාස්‍රව ව කලුරිය කෙරේ ද, මහණ නවක ව සිටත් දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි පරිගණනාවට යෙයි.
භාග්‍යවතුන් වහන්සේ මේ දන්තභූමි සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති අචිරවත හෙරණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළේ යි.
පස්වැනි දන්තභුමි සූත්‍ර යි.
3. 3. 6.
භූමිජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ජයසේන රාජකුමරහුගේ නිවෙස්න යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ පැන්වූ අස්නෙහි වැඩහුන්හ.
එසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් කරා එළැඹ, ආයුෂ්මත් භූමිජ තෙරණුවන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් ව හුන් ජයසේන රජකුමර ආයුෂ්මත් භූමිජ තෙරණුවන්ට තෙල කී: “භවත් භූමිජයෙනි, මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ: “ඉදින් ආශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, අනාශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, කලෙක ආශා කොටත් කලෙක අනාශා කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභාව්‍යයෝ යැ, නො මැ ආශා කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ වෙති” යි. මෙහි ලා භවත් භූමිජ තෙරුන්ගේ ශාස්තෘන් වහන්සේ කුමන වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.
රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කරුණ ඇත. “ආශා කොටත් නුනුවණින් බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුවණින් බඹසර හැසිරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ” යන තෙල කරුණ යි. රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කී කරුණ විය හෙයි.
ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරන සේක් නම්, මෙසේ බණන සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණ බමුණන්ගේ මුදුන් පැහැර සිටුනා සේක් වැන්න. එසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් තමන් සතු වූ මැ මුළුබතින් පිරිවිසි.
ඉක්බිති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජයසේන රජකුමරුන් නිවෙසට ගියෙමි. ගොස් පැනවූ අස්නෙහි හිනිමි. වහන්ස, එසඳ ජයසේන රජකුමර මා කරා එළැඹියේය, එළැඹ මා සමග සතුටු වී. සම්මෝදනයට නිසි කලාතුරුහි සිහි කළයුතු කථාව කොට නිමවා, එකත්පස් ව හින. වහන්ස, එකත්පස් ව හුන් ජයසේන රජකුමර මට තෙල සැලකෙළේ: “භවත් භූමිජයෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. ‘ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් බඹසර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ” යි. මෙහි ලා භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ කෙබඳු වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.
වහන්ස, මෙසේ කී කල මම ජයසේන රජකුමරහට තෙල කීමි: “රාජකුමාරය, තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, ‘බුදුහු මෙසේ වදාරති’ යන් තෙල කරුණ ඇත: ‘ආශා කොට ද නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුනුවණින් බඹසර පුරත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ” යි. රජකුමර, මෙසේ තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද. ‘බුදුහු මෙසේ වදාරති’ යන තෙල කරුණ ඇතැ’ යි කීමි. ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙබඳු වාද ඇති සේක් නම්, මෙබඳු දෘෂ්ටි ඇති සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණබමුණන්ගේ මුදුන් පැහැරගෙන සිටුනාක් වැන්නහ” යි, හේ කී.
වහන්ස, කිම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පිළිතුරු විසින් පවසන්නෙම්, භගවත් හට උක්තවාදී වෙම් දෝ, භාග්‍යවතුන් වහන්සේ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙම් දෝ, ධර්‍මානුධර්‍මය ප්‍රකාශකෙරෙම් දෝ, කිසියම් සකාරණ වාදානුවාදයෙක් ගර්‍හණීය තැනට නොද ඒ දෝ හෝ’ යි, (දන්නට රිසියෙමි).
භූමිජය, ඒකාන්තයෙන් තෙපි මෙසේ විචාරන ලදුවහු මෙසේ ප්‍රකාශ කරන්නහු මා පිළිබඳ ව උක්තවාදී වව, මට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නහු වව, ධර්‍මයට අනුධර්‍මය ද ප්‍රකාශ කරන්නහු වව, කිසි යම් සහේතුක වාදානුවාදයෙක් ගර්‍හණීයස්ථානයට ද නො එයි.
භූමිජය, මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යාසංකල්ප ඇති මිථ්‍යාවාක් ඇති මිථ්‍යාකර්‍මාන්ත ඇති මිථ්‍යාආජීව ඇති මිථ්‍යාව්‍යායාම ඇති මිථ්‍යාස්මෘති ඇති මිථ්‍යාසමාධි ඇති යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඇද්ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින් යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද එහෙයිනි.
යම්සේ භූමිජය, තෙල් කැමැති තෙල් සොයන තෙල් සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් පැසෙහි වැලි එව දිය ඉස ඉස පෙළන්නේ නම්, ආශා කොට නමුදු පැසෙහි වැලි එව දිය ඉස ඉස මිරිකනුයේ නමුදු තෙල් ලැබීමට අභව්‍ය ය. ආශා නො කොටපියාත් පැසෙහි වැලි එව දිය ඉස ඉස පෙළා නමුදු තෙල් ලැබීමට අභව්‍ය ය, ආශා කොටත් අනාශා කොටත් පැසෙහි වැලි එව ඉස ඉස පෙළා නමුදු තෙල් ලැබීමට අභාව්‍ය ය, නො මැ ආශා කොට ද අනාශා නො කොට ද පැසෙහි වැලි එව දියෙන් තෙම තෙමා පෙළන්නේ නමුදු තෙල් ලබාගැනීමට අභව්‍ය ය. එ කවර හෙයින යත්: භූමිජය, තෙල් මිරිකා ගැනීමට ඒ අකාරණ හෙයිනි. එසෙයින් ම භූමිජය, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාසංකල්ප ඇත්තාහු මිථ්‍යාවචන ඇත්තාහු මිථ්‍යාකර්‍මාන්ත ඇත්තාහු මිථ්‍යාආජීව ඇත්තාහු මිථ්‍යාව්‍යායාම ඇත්තාහු මිථ්‍යාස්මෘති ඇත්තාහු මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා හා අනාශා හා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වෙයි, එහෙයිනි.
භූමිජය, යම් පරිදි කිරැටි වූ කිරි සොයන ක්‍ෂීරපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් තුරුණු වසුපැටකු ඇති දෙනක් ගෙන අඟ අදනේ වේ ද, ආශා කොටත් තරුණ වසුපැටකු ඇති දෙන අඟ අදනේ වේ ද, කිරිලබන්නට අභව්‍ය වෙයි, අනාශා කොටත් ... ආශාත් අනාශාත් කොටත් ... ආශා ද නො කොට අනාශා ද නො කොටත් තුරුණු වසුපැටකු ඇති දෙන ගෙන අඟ අදනේ වේ ද, කිරි ලබන්නට නො නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, කිරි ලබන්නට තෙල අනුපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් මැ මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ, අනාශා කොට ද ... ආශා හා අනාශා හා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද, එහෙයිනි.
භූමිජය, යම් පරිදි වෙඬරු කැමැති වෙඬරු ඉලියන වෙඬරු පිරියෙස්ලි කරන පුරුෂයෙක් දියත්තක් ගෙන කලසයෙකැ එවැ මථනදඬියෙන් කලබන්නේ වේ ද, ආශා කොට ද කෙළෙහි දිය එව මන්‍ථනදණ්ඩකින් කලබන්නේ වේ ද, වෙඬරු ලබන්නට නො නිස්ස. අනාශා කොට ද ... ආශා හා අනාශා හා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද දිය කළයෙක්හි එව මන්‍ථනයෙන් කලබන්නේ වේ ද, වෙඬරු ලබන්නට නො නිස්ස, භූමිජය, වෙඬරුවට තෙල අනුපාය වේ ද, එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් කිසිමහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොට ද ... බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද, එහෙයිනි.
භූමිජය, යම් පරිදි ගිනි කැමැති ගිනි සොයන අග්නිපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් සස්නේහ වූ තෙත් දඬුකඩක් ගෙන උතුරුරිණි ගෙන මථනය කරන්නේ වේ ද, ආශා කොට ද, සස්නේහ තෙත් දඬුකඩ ගිනිගානා උතුරු දඬු ගෙන මඩනේ වේ ද, ගිනි ලබන්නට නො නිස්ස. අනාශා කොට ද ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොට ද අනාශා නො කොට ද සස්නේහ ආර්ද්‍ර කාෂ්ටය ගිනිගානා උතුරුදඬු ගෙන මඩනේ වේ ද, ගිනි ලබන්නට නො නිස්සය. ඒ කවර හෙයින යත්: භූමිජය, ගිනි ලබන්නට තෙල අනුපාය වේ ද, එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් මැ මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍ය වෙති, අනාශා කොට ද ... ආශාත් අනාශාත් කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍ය වෙති. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වෙයි, එහෙයිනි.
භූමිජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්සංකල්ප ඇත්තාහු සම්‍යග්වචන ඇත්තාහු සම්‍යක්කර්‍මාන්ත ඇත්තාහු සම්‍යග්ආජීව ඇත්තාහු සම්‍යග්ව්‍යායාම ඇත්තාහු සම්‍යක්ස්මෘති ඇත්තාහු සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බ්‍රහ්මචර්‍ය්‍ය පුරත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද බ්‍රහ්මචර්‍ය්‍ය කෙරෙත් නම්, ඵලාධිගමයට යෝග්‍යයහ. ආශා ද අනාශා ද කොටත් බ්‍රහ්මචර්‍ය්‍ය කෙරෙත් නම්, ඵලාධිගමයට යුතුවහ. ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට සුදුසුයහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
යම්සේ භූමිජය, තෙල් කැමැති තෙල් සොයන තෛලපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් තලපිටි පැසෙහි එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, ආශා කොටත් තලපිටි පැස එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, තෙල් ලබන්නට නිස්ස, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් තලපිටි පැස එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, තෙල් ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, තෙල් ලබන්නට තෙල උපාය වේ ද එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම්, ඵලාධිගමයට නිසි වෙති, ආශා නො කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර වෙසෙත් නම් ඵලාධිගමයට භව්‍ය වෙති. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වේ ද, එහෙයිනි.
භූමිජය, යම් පරිදි කිරි කැමැති කිරි සොයන ක්‍ෂීරපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් තුරුණු වස්සකු ඇති දෙනක් තන ගෙන අදනේ වේ ද, ආශා කොටත් තුරුණු වසු ඇති දෙන තෙනෙහි ගෙන අදනේ වේ ද, කිරි ලබන්නට නිස්ස. ආශා නො කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් තුරුණු වසු ඇති දෙන තන ගෙන අදනේ වේ ද, කිරි ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, කිරි ලබන්නට තෙල උපාය වේ ද එහෙයිනි. එසෙයින් ම භූමිජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් ... බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට යුතුවහ, ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ. ඒ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
භූමිජය, යම් පරිදි වෙඬරු කැමැති වෙඬරු ඉලියන වෙඬරු පිරියෙස්ලි කරන පුරුෂයෙක් කළයෙහි දිහි එවගෙන මතින් කලබන්නේ වේ ද, ආශා කොටත් කළයෙහි දිහි එවගෙන මතින් අලළන්නේ වේ ද, වෙඬරු ලබන්නට නිස්ස. ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් කළයෙහි දිහි එවගෙන මතින් අලළන්නේ වේ ද, වෙඬරු ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, වෙඬරු ලබන්නට තෙල උපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට භව්‍ය වෙති. ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට භව්‍ය වෙති, ඒ කවර හෙයින යත්: භූමිජය, තෙල ඵලාධිගමයට උපාය වෙයි, එහෙයිනි.
භූමිජය, යම් පරිදි ගිනි කැමැති ගිනි සොයන අග්නිපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් කොළපු වූ ශුෂ්කකාෂ්ටයක් ගෙන උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා කොටත් ... ආනාශා කොටත් කොළපු වූ වියළි දඬක් ගෙන ගිනිගානා උතුරු දඬු ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා ද අනාශා ද කොටත් කොළපු වූ වියළි කට ගෙන උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා නො කොටත් අනාශා නො කොටත් වියළි කට හා උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, ගිනි ලබන්නට තෙල උපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්දිටු ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට නිස්සහ. ආනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ආශා ද අනාශා ද කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ඒ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
භූමිජය, ඉදින් ජයසෙන් කුමර හට මේ සතර උපමාවෝ වැටහුණාහු නම්, “ජයසෙන් කුමර තොපට පහදනේ ය” යනු අසිරි නො වෙයි. “පහන් ව තොපට පහන් අයුරු කරන්නේ ය” යනුත් අසිරි නො වෙයි.
වහන්ස, ජයසෙන් කුමරහු පිළිබඳ කොට මේ සතර උපමාවෝ මා ලකුණු කොට එළිවෙත් ද ඔහු නැවත නැවත අසිරියට නිසියහ. පූර්‍වයෙහි නො ඇසූ විරූහ. භාග්‍යවතුන් වහන්සේට එළිදරව් වූවා සෙයිනැ’යි.
භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව සතුටින් පිළිගත්හ.
සවැනි භූමිජ සූත්‍ර යි.
3. 3. 7.
අනුරුද්ධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටුවාණෝ එක්තරා පුරුෂයකු ඇමතූහ: “එම්බා පුරුෂය, තෙපි එව, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹ මාගේ බසින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳුව, ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳීයයි. මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට දින බත තමා සතරවනු ව ඉවසන සේක්වා, වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක, වහන්ස, එයින් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනා සේක්වා” යි.
‘එසේ යැ වහන්සැ’ යි එපුරිස් පඤ්චකඞ්ග ථපති හට පිළිවදන් දී, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹියේය. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් එපුරිස් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පා හිසින් වඳී, මෙසේත් සැලකෙරෙයි: ‘වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට බත ආත්මචතුර්‍ත්‍ථ ව ඉවසන සේක්වා. වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක. වහන්ස, එයින් ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනේ මැනැව”යි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහු. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන පඤ්චකඞ්ග ථපතිහුගේ නිවෙස්න කරා වැඩියෝ, වැඩැ පැන්වූ අස්නෙහි හුන්හු. එසඳ පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැපී. මොනොවට පැවරී. ඉක්බිති පඤ්චකඞ්ග ථපති වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත් අන්‍යතර නිවාසනයක් ගෙන එකත්පස් වැ හින, එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකළේ.
“වහන්ස, ස්ථවිර භික්‍ෂූහු මා කරා එළැඹ මෙසේ කීහ: ‘ගැහැවියෙනි, අප්‍රමාණ චේතෝවිමුක්ති වඩව’ යි. කිසි තෙර කෙනෙක් මෙසේ කීහ: ‘ගැහැවිය, මහද්ගත චේතෝවිමුක්ති වඩව’ යි. වහන්ස, අප්‍රමාණ චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් මහද්ගතචේතෝවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාර්‍ත්‍ථත් වෙත් ද, නානාව්‍යඤ්ජනත් වෙත් ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වෙත් ද, ව්‍යඤ්ජනමාත්‍රය මැ වෙනස් වේ දැ”යි.
ගැහැවිය, එකරුණෙන් මෙහි ලා තොපට මැ වැටහේවා, මෙයින් තොපට අවිරාධිත බවෙක් වෙයි.
වහන්ස, මට මෙසේ සිත් වෙයි: යම් අප්‍රමාණචේතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු ඒකාර්‍ත්‍ථයහ ව්‍යඤ්ජනමාත්‍රය මැ වෙන වෙන යැ කියා යි.
ගැහැවිය, යම් අප්‍රමාණචේතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානාව්‍යඤ්ජන ද වෙත්. යම් පරිදි මේ දහම්හු නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් වෙත් ද, ගැහැවිය, මේ ක්‍රමයෙනුදු තෙල දන්නේ මැනැව.
ගැහැවිය, යම් අප්‍රමාණචේතෝවිමුක්ති නම් කවර: ගැහැවිය, මේ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වාස කෙරෙයි. දෙවන දිග එපරිදි ම ය, තෙවන දිග එපරිදි මය, සතරවන දිග එපරිදි මැ යි. මෙ සැටියෙන් උඩ ය, යට යැ, සරස යැ, යි හැම තැන සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලෝකය විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ ... වාස කෙරෙයි. ගැහැවිය, මේ අප්‍රමාණචෙතොවිමුක්ති වෙයි.
ගැහැවිය, මහද්ගතචේතෝවිමුක්ති කවර: ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් රුක් මුලක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් ගම්කෙතක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් මහාරාජ්‍යයක් පමණ තැන් මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ මහාරාජ්‍ය දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ සමුද්‍ර පර්‍ය්‍යන්ත පෘථුවිය පමණ තැන් මහත්ගත යයි අරමුණු කොට නිශ්චය කොට ගෙන වාසය කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, යම් පරිදි මේ දහම්හු නානාර්‍ත්‍ථත් වෙත් ද නානාව්‍යඤ්ජනත් වෙත් ද, තෙල මෙ කරුණිනුදු දතයුතු වේ.
ගැහැවිය, මේ භවෝත්පත්තීහු සතරදෙනෙකි: කවර සතරදෙනෙක යත්: ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිත්තාභ’ යයි අරමුණු කොට, නිශ්චය කොට වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘අප්පමාණාභ’ යයි අරමුණු කොට, අධිමෝක්‍ෂ කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘සංකිලිට්ඨාභ’ යයි අරමුණු කොට, අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි සංකිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිසුද්ධාභ’ යයි අරමුණු කොට, අධිමෝක්‍ෂ වශයෙන් නිශ්චය කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මේ සතර භවෝත්පත්තීහු යි.
ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එක්රැස් වෙත් ද, එබඳු කලෙක් වෙයි. එක්රැස් වූ ඒ දෙවියන්ගේ වර්‍ණනානාත්‍වය මැ පැනෙයි, අලෝකනානාත්‍වයෙක් නො ද පැනෙයි. යම්සේ ගැහැවිය, පුරුෂයෙක් බොහෝ තෙල්පහන් එක් ගෙයකට ප්‍රවේශ කරන්නේ නම්, ඒ එක් ගෙයකට ප්‍රවේශ කළ ප්‍රදීපයන්ගේ ගිනිසිළු වෙනස මැ පැනෙයි, අලෝකනානාත්‍වයෙක් නො ද පැනෙයි. එසෙයින් මැ ගැහැවිය, ඒ දෙවියෝ යම් කලෙක එක්රැස් වෙත් ද, එබඳු කලෙක් වෙයි. එක්රැස් වූ ඒ දෙවියන්ගේ වර්‍ණනානාත්‍වය මැ පැනෙයි, අලෝකනානාත්‍වයෙක් නො ද පැනේ. ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එතැනින් නික්මයෙත් ද, එබඳු කලෙක් වෙයි. එයින් නික්මයන ඒ දෙවියන්ගේ ශරීරවර්‍ණයාගේ නානාත්‍වය ද ආලෝකයෙහි නානාත්‍වය ද පැනෙයි. යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ඒ බොහෝ වූ තෙල් පහන් එ ගෙයින් බැහැර කරන්නේ නම්, එයින් බැහැර කරන ඒ ප්‍රදීපයන්ගේ සිළුනානාත්‍වයක් ආලෝකයෙහි නානාත්‍වයත් පැනෙයි. එපරිදි ම ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එතැනින් නික්මයෙත් ද, එබඳු කලෙක් වෙයි. ඉන් නික්මයන ඒ දෙවියන්ගේ ශරීරවර්‍ණනානාත්‍වය ද ආලෝකයෙහි නානාත්‍වය ද පැනේ. ගැහැවිය, ඒ දෙවියනට මෙබඳු සිතෙක් නො මැ වෙයි: ‘මේ අපට නිත්‍ය යැයි හෝ ධ්‍රැව යැයි හෝ ශාශ්වත හෝ වේ යැ’යි කියා යි. තවද ඒ දෙවියෝ උයන් විමන් කප්රුක් ඈ යම් යම් තැනෙක්හි මැ වෙසෙත් ද, ඒ ඒ තැන්හි ඒ දෙවියෝ රමණය කෙරෙත්. ගැහැවිය, යම් පරිදි කදෙකින් හෝ පැසෙකින් හෝ ගෙනයනු ලබන මැස්සනට, “මේ අපගේ නිත්‍ය ස්ථාන යයි හෝ ධ්‍රැවස්ථාන යයි හෝ ශාශ්වතස්ථාන” යයි හෝ මෙබඳු සිත් නො වන්නේ වේ ද, වැලිත් යම් යම් තැනෙක ඒ මැස්සෝ වැදගනිත් ද, ඒ ඒ තැන්හි මැ ඒ මැස්සෝ රමණය කෙරෙත් ද, ගැහැවිය, එපරිදි ම ඒ දෙවියනට “මේ අප ගේ නිත්‍යස්ථාන යයි හෝ ධ්‍රැවස්ථාන යයි හෝ ශාශ්වතස්ථාන” යයි හෝ මෙබඳු සිත් නො වේ. වැලිත් යම් යම් තැනෙක්හි මැ ඒ දෙවියෝ වෙසෙත් ද, ඒ ඒ තැන්හි මැ ඒ දෙවියෝ රමණය කෙරෙත්.
මෙසේ කී කල ආයුෂ්මත් සභිය කච්චායන තෙර ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: “වහන්ස, අනුරුද්ධයෙනි, මැනැව, මෙහි ලා මා විසින් මතුයෙහි පිළිවිසියැ යුතු දැයෙක් ඇත්තේ ද වෙයි. වහන්ස, යම් ආභ දෙවි කෙනෙක් ඇද්ද, එ හැම දෙවියෝ පරිත්තාභ වෙත් ද, නොහොත් අප්පමාණභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද?
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ භාවොප්පත්ති කාරණයෙන් මෙහි පරිත්තාභ වූ කිසි දෙවි කෙනෙක් ඇත. මෙහි අප්පමාණාභ වූ කිසි දෙවි කෙනෙක් ද ඇත.
වහන්ස, අනුරුද්ධයෙනි, යම් හෙයකින් එක් මැ දේවනිකායට වැදගෙන සිටුනා ඒ දෙවියන් අතුරින් මෙහි ලා පරිත්තාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, මෙහි ලා අප්පමාණාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, එයට කවර හේතු යැ? කවර ප්‍රත්‍යය යැ?
ඇවැත් කාත්‍යායනයෙනි, එකරුණින් මෙහි ලා තොප ම පුළුවුස්මි: යම් පරිදි තොපට රුස්නේ නම් එපරිදි එය ප්‍රකාශ කරව, ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් එක් රුක්මුලක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොටගෙන අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වෙසේ ද, යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ වශයෙන් නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභය චිත්තභාවනා අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ ද?
වහන්ස, යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වාස කෙරේ නම්, මේ භාවනාව මේ උභය චිත්තභාවනාවන් අතුරෙන් මහද්ගතතර වේ යයි.
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වෙසෙත් ද, තවද යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට ගෙන වෙසෙත් ද, මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
වහන්ස, යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ භාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් මහද්ගතතර වේ යයි.
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට දැනගෙන වෙසේ ද, තවද යම් මහණෙක් ගම්කෙත් දෙකක් තුනක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට දැනගෙන වෙසේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
වහන්ස, යම් මහණෙක් ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.
ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
වහන්ස, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වෙසේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.