Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 5101-5200 න් 6387

ආනන්‍දය, අතීත කාලයෙහි යම් මැ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ නිරුපක්ලේශ පරමානුත්තර ශුන්‍යතාඵලසමාපත්තියට පැමිණ විසූහු ද, ඒ හැම මහණ බමුණෝ පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවට ම පැමිණ විසූහු. ආනන්‍දය, අනාගත කාලයෙහි යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් වෙත් ද, ඔහු පරමානුත්තර පරිශුද්ධ ශුන්‍යතාව උපයා වාස කෙරෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාව ම උපයා ගෙන වෙසෙත්. ආනන්‍දය, දැන් යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාවට පැමිණ වෙසෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවට මැ පැමිණ වෙසෙති. ආනන්‍දය, එහෙයින් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව උපයාගෙන වසම්හ’ යි ආනන්‍දය, මෙසේ තොප හික්මෙන්නේ ය.
භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බුදුවදන් සතුටින් පිළිගත්හ.
පළමුවැනි චූළසුඤ්ඤත සූත්‍ර යි.
3. 3. 2.
මහාසුඤ්ඤත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැහැජනවියෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩි සේක. කිඹුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැකි සේක් කාළඛේමක සැහැරජහුගේ විහාරය කරා දිවා විහරණය පිණිස වැඩියෝ. එසමයෙහි කාළඛේමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. භාග්‍යවතුන් වහන්සේ කාළඛේමක සැහැරජහුගේ වෙහෙරෙහි පනවන ලද බොහෝ සෙනසුන් දුටු සේක. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. කාළඛේමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. මෙ වෙහෙර භික්‍ෂූහු සම්බහුල වශයෙන් වෙසෙත් ද හෝ යි.
එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් හා සමග ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරයෙහි චීවරකර්‍ම කෙරෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලණින් නැඟී සිටි සේක් ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරය කරා වැඩි සේක. වැඩැ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක. “ආනන්‍දය, කාළඛේමක ශාක්‍යයන්ගේ විහාරයෙහි සම්බහුල සේනාසනයෝ පනවන ලද්දාහු වෙති. කිම් මෙහි සම්බහුල භික්‍ෂූහු වාස කෙරෙත් ද හෝ” යි, පුළුවුත්හ.
වහන්ස, කාළඛේමක ශාක්‍යයන්ගේ විහාරයෙහි පැන්වූ බොහෝ සෙනසුන් ඇත. මෙහි බොහෝ භික්‍ෂූහු වාස කෙරෙති. වහන්ස, අපගේ චීවරකාර සමය පවත්නේ යයි පිළිවදන් දුන්හු.
ආනන්‍දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි යෙදුණු ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා හා සම්මුදිත වූ මහණ නො හොබනේ ය. ආනන්‍දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි අනුයුක්ත වූ ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා කෙරෙහි සම්මුදිත වූ ඒ මහණ යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බෝධසුඛයෙක් ඇද්ද, ඒ සුඛය ඒකාන්තයෙන් කැමැති සේ ලබනුයේ නිදුක් ව ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි යන තෙල කරුණ නො වේ. ආනන්‍දය, යම් මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ වාස කෙරේ ද, ඒ මහණහට තෙල කැමැති විය යුතු ය: “යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක්, ප්‍රවිවේකසුඛයෙක්, උපශමසුඛයෙක්, සම්බොධ සුඛයෙක් ඇද්ද, ඒ සුඛය කැමැති සේ ලබන්නේ නිදුක් ව ලබන්නේ විපුල ව ලබන්නේ වෙයි” යන තෙල කරුණ ඇත.
ආනන්‍දය, එකැතින් ඒ මහණ ස්වකීය පර්‍ෂත්සමෝධානයෙහි නියැලියේ සිය පිරිස් හා එක්වීමෙහි ඇලුණේ සංගණීකාරාමතායෙහි යෙදුණේ ගණයා කෙරෙහි නියැලියේ ගණයා කෙරෙහි ඇලුණේ ගණයා හා සම්මුදිත වූයේ මනාප වූ රූපාරූපාවචර චිත්ත විමුක්තිය හෝ කෙලෙසුන් විසින් අකෝප්‍ය වූ අසාමයික හෙවත් ලෝකෝත්තර අත්‍යන්ත විමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ නො වේ. ආනන්‍දය, යම් ඒ මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් ව්‍යපකර්‍ෂ වූයේ වෙසේ ද, ඒ මහණ හට තෙල කැමැති විය යුතු ය. කිමෙක් යත්: කාන්ත වූ සාමයික චේතෝවිමුක්තිය හෝ අකෝප්‍ය වූ අසාමයික චේතෝවිමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ වෙයි.
ආනන්‍දය, යම් රූපයෙක රාග වශයෙන් ඇලුණක් හට යම් රූපයෙක අභිරක්ත වූවක්හට ඒ රූපයාගේ විපරිණාම අන්‍යථා භාව හේතුයෙන් ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ නූපදිත් නම්, මම එබඳු එක ද රූපයක් නුවණැසින් නො දක්මි.
ආනන්‍දය, තථාගතයන් විසින් මේ විහාරය මොනොවට අවබෝධ කරන ලද, කුමක් පිණිස යැ යත්: රූපාදි හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් විෂය අධ්‍යාත්මයෙහි ශුන්‍යත ඵලසමාපත්තිය සපයා වාස කිරීම පිණිස යි. ආනන්‍දය, ඉදින් මේ විහරණයෙන් වාස කරන ඒ තථාගතයන් කරා මහණ මෙහෙණ උවසු උවැසි රජ රජමහමැති තොටු තොටුසව්වෝ එළඹෙන්නාහු වෙත් ද, ආනන්‍දය, එ පිරිස්හි තථාගත විවෙක ප්‍රවණ වූ විවෙක ප්‍රාග්භාර වූ ව්‍යපකර්‍ෂ වූ නිෂ්කාමාභිරත වූ සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවයනට හේතුභූත ධර්‍මයන් කෙරෙන් විසංයුක්ත වූ නිවනට නැඹුරු වූ මැ සිතින් එකැතින් යන්නට මෙහෙයන කථායෙන් යුක්ත කථාවක් ම කරනු වෙයි. ආනන්‍දය, එහෙයින් ඉදින් මහණ ද ගෝචරාධ්‍යාත්මයෙහි ශුන්‍යතාව උපයාගෙන වාසය කරන්නේ නම් මැනැවැ’යි කැමැති වන්නේ ද ආනන්‍දය, ඒ මහණ විසින් අධ්‍යාත්මයෙහි සිත මොනොවට පිහිටු වියැ යුතු යි, හිඳුවියැ යුතු යි, එකඟ කළ යුතු යි, සමාධාන කළ යුතු යි.
ආනන්‍දය, කෙසේ නම් මහණ අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවන්නේ මොනොවට හිඳුවන්නේ එකඟ කරන්නේ සමාධාන කරන්නේ වේ ද යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල දහමින් වෙන් ව සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති පළමු දැහැන් උපයා වාස කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශම හේතුයෙන් සිත්හි පැහැදීම් කරන සිත පිළිබඳ එකඟ බව ඇති අවිතර්‍ක අවිචාර සමාධිජ ප්‍රීතිසුඛ ඇති දෙවන දැහැන් ... තෙවන දැහැන් ... සිව්වන දැහැන් උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙසේ මහණ අධ්‍යාත්මයෙහි සිත මොනවට පිහිටුවයි, මොනොවට හිඳුවයි, එකඟ කෙරෙයි, සමාධාන කෙරෙයි. හේ සිය පස්කඳෙහි උපන් ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුට ශුන්‍යතායෙහි සිත නො බසී, නො පහදී, මොනොවට නො පිහිටයි, නො මිදේ. ආනන්‍දය, මහණ මෙසේ වූ තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාවට සිත නොබස්නේ ය, නො පහදනේ ය, නො පිහිටන්නේ ය, නො මිදේ ය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. හේ පරපඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. ... හේ ස්ව පර උභය පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. ... හේ ආනෙඤ්ජ අරූපසමාපත්ති මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්ති මෙනෙහි කරන ඔහුට ආනෙඤ්ජ අරූප සමාපත්තියට සිත නො බසී, නො පහ දී, මොනොවට නො පිහිටයි. නො මිදේ. ආනන්‍දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල සිත මෙසේ නුවණින් දැනගනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මට ආනෙඤ්ජය පිණිස සිත නො බස්නේ ය. නො පහදන්නේ ය. මොනොවට නො පිහිටන්නේ ය. නො බිඳෙන්නේ ය කියා යි. මෙ සේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්‍දය, ඒ මහණ විසින් එ මැ පූර්‍වසමාධිනිමිත්තයෙහි අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවිය යුතු යැ, මොනොවට හිදුවියැ යුතු යැ, එකඟ කළ යුතු යැ, සමාධාන කළ කළ යුතු යි. හේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්‍දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී,
පහදියි, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ඒ මහණ පර පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි ... හේ ස්ව පර උභය පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. ආනෙඤ්ජය මෙනෙහි කරන ඔහුගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්‍දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මාගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ ය යි කියා යි.
ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සක්මන පිණිස සිත නැමේ නම් හේ සක්මන් කෙරෙයි. මෙසේ සක්මන් කරන මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහු නො බඳනාහ යි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සිටිනු පිණිස සිත නැමේ නම් හේ සිටී. මෙසේ සිටුනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හිඳිනු පිණිස සිත නැමේ නම් හේ හිඳියි. මෙසේ හිඳුනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හෝනා පිණිස සිත නැමේ නම් හේ හෝනේ වෙයි. ‘මෙසේ හෝනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට භාෂ්‍යකථා පිණිස සිත නැමේ නම්, හේ යම් කථායෙක් හීන ග්‍රාම්‍ය පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථ සංහිත වේ ද, නිර්වේදය පිණිස නො වැටේ ද, විරාග ය පිණිස නො වැටේ ද, නිරෝධය පිණිස නො වැටේ ද, උපශමය පිණිස නො වැටේ ද, අභිඥා පිණිස නො වැටේ ද, සම්බෝධය පිණිස නො වැටේ ද, නිර්‍වාණය පිණිස නො වැටේ ද, ඒ කෙබඳු කථා යැ යත්: රාජකථා, චෞරකථා, මහාමාත්‍රකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, සුරාකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්‍වප්‍රේතකථා, නානාත්‍වකථා, ලෝකායතකථා, සාමුද්‍රිකකථා, ඉතිභාවභවකථා යයි මෙසේ හෝ මෙසේ මෙබඳු වූ හෝ කථා නො කියමි’ කියා මෙසෙයින් එහි සමප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, යම් කථායෙක් ක්ලේශයෙන්ගේ තුනුබව කරන්නේ චිත්තයාගේ විනීවරණයට සත්ප්‍රාය වූයේ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස වැටේ ද, කෙබඳු කථා යැ යත්: අල්පේච්ඡකථා, සන්තුෂ්ඪිකථා, ප්‍රවිවෙකකථා, අසංසර්‍ගකථා, වීර්‍ය්‍යාරම්භකථා, ශීලකථා, සමාධිකථා, ප්‍රඥාකථා, විමුක්තිකථා, විමුක්ති ඥානදර්‍ශනකථා යයි’ මෙසේ මෙබඳු කථා කියමි’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට විතර්‍කය පිණිස සිත නැමේ නම්, ඒ මහණ යම් ඒ විතර්‍ක කෙනෙක් හීන වූවාහු ග්‍රාම්‍ය වූවාහු පුහුදුනන් කෙරෙහි පවත්නාහු අනාර්‍ය්‍ය වූවාහු අනර්‍ත්‍ථසංහිත වූවාහු නිර්වේදයට නො වැටෙන්නාහු විරාගයට නො වැටෙන්නාහු නිරෝධයට නො වැටෙන්නාහු උපශමයට නො වැටෙන්නාහු අභිඥාවට නො වැටෙන්නාහු සම්බෝධියට නො වැටෙන්නාහු නිවනට නො වැටෙන්නාහු වෙත් ද, කෙබඳු විතර්‍කයෝ යැ යත්: ‘කාමවිතර්‍ක යැ, ව්‍යාපාද විතර්‍ක යැ, විහිංසාවිතර්‍ක යි. මෙසේ මෙබඳු විතර්‍කයන් විතර්‍කණය නො කෙරෙමි’ යි කියා මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, යම් විතර්‍ක කෙනෙක් ආර්‍ය්‍ය වූවාහු නෛර්‍ය්‍යාණික වූවාහු ඒ විතර්‍කණ කරනුවන් මොනොවට දුක් කෙළවර කරනු පිණිස පමුණුවත් ද, කෙබඳු විතර්‍කයෝ යැ යත්: ‘නිෂ්කාමවිතර්‍ක යැ, අව්‍යාපාදවිතර්‍ක යැ, අවිහිංසාවිතර්‍ක යි. මෙසේ මෙබඳු විතර්‍කයන් විතර්‍කණ කෙරෙමි’ යි කියා මෙසෙයින් මෙහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්‍දය, මේ කාමගුණයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්ක යුතු රූපයෝ යැ ... ශ්‍රෝතවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් වින්දයුතු රසයෝ යැ ... ඉෂ්ටාලම්බන වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දත යුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. යම් කාමගුණයෙක මහණහු විසින් ‘මේ පස්කම් ගුණයෙහි යම් යම් කාමගුණයෙක උපදනා චිත්තසමුදාවාරයෙක් ඇද්දෝ’යි නිතර තම සිත ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ ද, ආනන්‍දය, මේ ඒ පස්කම්ගුණයෝ යි. ආනන්‍දය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම්ගුණයෙහි අන්‍යතර අන්‍යතර ගුණයෙක මාගේ චිත්තසමුදාවාරයෙක් උපදනේ ඇද්ද කියා යි. ආනන්‍දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ යැ. කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම් මට ඒ ප්‍රහීණ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇත වෙයි. ආනන්‍දය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි අන්‍යතර අන්‍යතර ආයතනයෙක් මාගේ චිත්තසමුදාවාරයෙක් නැත’ කියා යි. ආනන්‍දය, ඒ මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ ය: මේ පඤ්චකාමගුණයන් කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම්, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
ආනන්‍දය, මහණ යම් උපාදාන ස්කන්‍ධයෙක උදයව්‍යය නුවණින් දක්නාහු විසින් විසිය යුතු වේ ද, එබඳු මේ උපාදාන ස්කන්‍ධයෝ පස්දෙනෙකි. රූපය මෙසේ යැ, රූපසමුදය මෙසේ යැ, රූපයාගේ අස්තඞ්‍ගමය මෙසේ යැ, වේදනා මෙසේ යැ, වේදනා සමුදය මෙසේ යැ, වේදනාවගේ අස්තඞ්‍ගමය මෙසේ යැ, සංඥා මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥාන මෙසේ යැ, විඥානසමුදය මෙසේ යැ, විඥානයාගේ අස්තංගමය මෙසේ යැ’ යි කියා යි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදයව්‍යය නුවණින් දක්මින් වාස කරන ඒ මහණහට පඤ්චෝපාදාන ස්කන්‍ධයෙහි යම් අස්මිමානයෙක් ඇද්ද, ඒ පහ වෙයි. ආනන්‍දය, මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ ඒ මහණ මෙසේ නුවණින් දනී: මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි යම් අස්මිමානයෙක් වී ද, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඒකාන්ත කුශලයෙන් පැමිණි නිකෙලෙස් වූ ලෝකයෙහි විශිෂ්ට වූ මරහු විසින් නො ඇක්මුණු ඒ දම්හු නම් මොහු ය:
ආනන්‍දය, ඒ කෙසේ හඟනෙහි ද ශ්‍රාවකයා කිනම් අර්‍ත්‍ථයක් දක්මින් නෙරතුදු ශාස්තෘන් නුහුබඳනට නිසි වේ ද?
වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත. වහන්ස තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ නුබ වහන්සේට මැ වැටහේ නම් මනාමැනු, භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරති’යි සැල කළෝ.
ආනන්‍දය, ශ්‍රාවකයා සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය යන ඒ හේතු කොට ශාස්තෘන් වහන්සේ නුහුබඳනට නිසි වෙයි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, පැවිදි ව බොහෝ කල් ඇත්තහු විසින් පර්‍ය්‍යාප්තිධර්‍මයෝ අසන ලදහ, ධරන ලදහ, බසින් පුරුදු කරන ලදහ, සිතින් දක්නා ලදහ, ප්‍රඥායෙන් අවබෝධ කරන ලදහ. ආනන්‍දය, යම් ක්ලේශයන්ගේ තුනුබව කරන්නාහු චේතෝවිනීවරණයට සත්ප්‍රාය වූවාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශම පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත් ද, ඔහු කවරහ යත්: අල්පේච්ඡකථා යැ, සන්තුෂ්ටිකථා යැ, ප්‍රවිවෙකකථා යැ, අසංසර්‍ගකථා යැ, වීර්‍ය්‍යාරම්භකථා යැ, ශීලකථා යැ, සමාධිකථා යැ, ප්‍රඥාකථා යැ, විමුක්තිකථා යැ, විමුක්තිඥානදර්‍ශනකථා යැ යන මොහු යි. ආනන්‍දය, ශ්‍රාවකයා නෙරතුදු මෙවන් කථාහෙතුයෙන් ශාස්තෘන් වහන්සේ නුහුබැඳ යන්නට නිසි වෙයි.
ආනන්‍දය, මෙසේ ආචාර්‍ය්‍යෝපද්‍රව වෙයි, මෙසේ වත් ම අන්තේවාසිකෝපද්‍රව වෙයි. මෙසේ වත් ම බ්‍රහ්මචාරූපද්‍රව වේ.
ආනන්‍දය, කෙසේ ආචාර්‍ය්‍යෝපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, මෙලො වැ ඇතැම් ශාස්තෘවරයෙක් අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, ශ්මසාන ය, වන ප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන ඇසුරු කෙරෙයි. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙත්. හේ බමුණු ගැහැවියනුදු නියම්ගම්වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙන කල තෘෂ්ණායෙන් මූර්ඡිත වෙයි නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, ප්‍රත්‍යයබාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ ආචාර්‍ය්‍යෝපද්‍රව යයි කියනු ලැබේ. ආචාර්‍ය්‍යෝපද්‍රව හේතුයෙන් සංක්ලේශයට හිත වූ පුනර්‍භවය පිණිස පවත්නා දරථ සහිත දුඃඛවිපාක ඇති මතුයෙහි ජාතිජරාමරණයට හිත වූ පාපක අකුශලධර්‍මයෝ ඒ ආචාර්‍ය්‍යවරයා ගුණ මරණයෙන් මැරූහ. ආනන්‍දය, මෙසේ ආචාර්‍ය්‍යයාහට උපද්‍රව වෙයි.
ආනන්‍දය, කිසෙයින් අන්තේවාසිකෝපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, ඒ ශාස්තෘහුගේ මැ සව්වෙක් ඒ ශාස්තෘහුගේ විවේකය අනුව වඩනුයේ අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිලෙන, සොහොන, වනපෙත, අභ්‍යවකාශ ය, පිදුරුකිළිය යන සෙනසුන් ඇසුරු සෙවෙයි. එසෙයින් එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙති. හේ බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙත් ම තෘෂ්ණාමුච්ඡායෙන් මුසපත් වෙයි, නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ අන්තේවාසිකෝපද්‍රව යයි කියනු ලැබේ. අන්තේවාසිකෝපද්‍රව හේතුයෙන් කෙලෙසන පුනර්‍භවය කරන දරථ සහිත දුඃඛවිපාක දෙන මතුයෙහි ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසලදහම්හු ඒ අතවැස්සා ගුණමරණයෙන් මැරූහ. ආනන්‍දය, මෙසේ අන්තේවාසිකෝපද්‍රව වෙයි.
ආනන්‍දය, කෙසේ බ්‍රහ්මචාරී උපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, මෙලොවැ අර්‍හත්, සම්‍යක්සම්බුද්ධ, විද්‍යාචරණසම්පන්න, සුගත වූ, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබෝධ කළ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනා සේක. ඔබ අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කන්‍දර ය, ගහ්වර ය, ශ්මසාන ය, වනප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන සෙවුති. එසේ එකලා ව වාස කරන ඔබ වෙත බමුණුගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද පැමිණෙති. ඔබ බමුණු ගැහැවියනුදු නියම්ගම් වැසියනුදු දනව්වැසියනුදු පැමිණෙන කල මූර්ච්ඡිත නො වෙති, නිකාම නො කෙරෙති, ගේධයට නො පැමිණෙති, බාහුල්‍යයට නො වැටෙත්. ආනන්‍දය, ඒ තථාගත ශාස්තෘන්ගේ මැ සව්වෙක් ඒ ශාස්තෘන්ගේ විවේකය වඩන්නේ අරණ, රුක්මුල, පව්, කඳුරු, ලෙන, සොහොන, වනපෙත, එළිමහන, පිදුරුකිළි යයි ජනසුන් සෙනසුන් සෙවී. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බ්‍රාහ්මණ ගෘහපතියෝ ද නිගමවාසීහු ද ජනපදවාසීහු ද පැමිණෙති. හේ බ්‍රාහ්මණ ගෘහපතියනුදු නිගමවාසීනුදු ජනපදවාසීනුදු පැමිණෙත් ම තෘෂ්ණාමුච්ඡායෙන් මූර්ච්ඡිත වෙයි, නිකාම කෙරෙයි, ගේධයට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ බ්‍රහ්මචාරීඋපද්‍රව යයි කියනු ලැබේ. බ්‍රහ්මචාරී උපද්‍රව හේතුයෙන් සංක්ලේශයට හිත වූ පුනර්‍භවයට වැටෙන සදර වූ දුඃඛවිපාක වූ මතු ජාතිජරාමරණයට කරුණු වූ ලමු අකුසලදහම්හු ඒ බ්‍රම්සරහු ගුණමරණයෙන් මැරූහ.
ආනන්‍දය, එහි යම් ආචාර්‍ය්‍යෝපද්‍රවයෙක් ඇද්ද, යම් අන්තෙවාසිකොපද්‍රවයෙක් ඇද්ද, ඒ උපද්‍රවයනට වඩා මේ බ්‍රහ්මචාරීඋපද්‍රවය දුඃඛවිපාකතර වෙයි. කටුකවිපාකතර ද වෙයි. තවද විනිපාතයට වැටෙයි.
ආනන්‍දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වෙයි.
ආනන්‍දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්‍දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිතපිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා යි. සව්වෝ ඔබගේ වචනය නො අසනු කැමැති වෙති, කන් නො නතු කෙරෙති, දැනගනුවට සිත නො එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් වැ වැටෙත්. ආනන්‍දය, මෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති. මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්.
ආනන්‍දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්‍දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පක ව හිතෛෂී ව අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිත පිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා’ යි. සව්වෝ ඔබගේ වචනය අසනු කැමැති වෙති, කන් නතු කෙරෙති, දැනගන්නට සිත එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් ව නො ද වැටෙත්.
ආනන්‍දය, මෙසෙයින් සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්. ආනන්‍දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වෙයි. ආනන්‍දය, යම් පරිදි කුම්භකාරයෙක් අපක්ව වූ අමු මැටිබඳුනෙහි ක්‍රියා කෙරේ ද, මම එපරිදි නො පිළිපදිමි. ආනන්‍දය, මම පුනපුනා නිග්‍රහ කොට කියමි. ආනන්‍දය, දොස් පුනපුනා නෙර කියමි. යම් සාරයෙක් ඇද්ද, ඒ සිටුනේය කියා යි.
භාග්‍යවතුන් වහන්සේ මේ මහාසුඤ්ඤත සුත වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
දෙවැනි මහාසුඤ්ඤතසූත්‍ර යි.
3. 3. 3.
අච්ඡරියබ්භුත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ අරම්හි වැඩවසන සේක. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණු උවටන්හල්හි එක්රැස්ව වැඩහුන් බොහෝ භික්‍ෂූන් ගේ මේ අතුරුකථායෙක් පහළ වී: යම් තථාගතයන් වහන්සේ කෙනෙක් තෘෂ්ණාමානදෘෂ්ටි සුන් කළ කම්වට සුන් කළ ගෙවාලූ කම්වට ඇති හැම විවාදුක් ඉක්මැ සිටි පිරිනිවි අතීත බුදුවරයන් දත්සේක් ද, ඇවත, තථාගතයන් වහන්සේ ගේ මහත්-ඍද්ධි ඇති බව මහත්-අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, ඇවත, අද්භූත යැ. කිසේ යැ යත්: ඒ භාග්‍යවත්හු මෙබඳු ගොත් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු නම් ඇති වූහ’ යි කියා ද ඒ භාග්‍යවත්හු මෙබඳු ගොත් ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු සිල් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු දහම් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු ප්‍රඥා ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු විහරණ ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙසේ විමුක්ත වූහ’ යි කියා ද, දත්හ’ යි.
මෙසේ කී කල්හි, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඒ භික්‍ෂූන් හට මෙසේ කීහ: ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය ද වෙති, ආශ්චර්‍ය්‍යධර්‍ම සමන්‍වාගත ද වෙති. ඇවැත්නි, තථාගතවරයෝ අද්භූත ද වෙති, අද්භූතධර්‍ම සමන්‍වාගත ද වෙත් යයි.
ඒ භික්‍ෂූන් ගේ මේ අතුරු කථාව කොට අඩාළ වෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ පිළිසලනින් නැගීසිටි සේක් උවටන්හල කරා වැඩි සේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ සඟුන් ඇමතූ සේක:
මහණෙනි, දැන් මා එන්නට පළමු ව කිනම් කථායෙකින් යුක්ත ව රැස්ව හුන්නහු ද? තොප ගේ කිනම් අතුරු කථාවක් කොට අඩාළ වී දැ’ යි, පුළුවුත් සේක.
වහන්ස, මෙහි පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණු උවටන්හලැ රැස්වැ හුන් අප ගේ මේ අතුරු කථාව උපන: ‘ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යැ… ඒ භාග්‍යවත්හු මෙසේ විමුක්ත වූහ’යි කියා යි. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අපට තෙල කීහ: ‘ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය වූවාහු ද ආශ්චර්‍ය්‍යධර්‍මසමන්‍වාගත වූවාහු ද වෙති. ඇවැත්නි, තථාගතවරයෝ අද්භූත වූවාහු ද අද්භූතධර්‍මසමන්‍වාගත වූවාහු ද වෙත් ’ යයි. වහන්ස, මේ අප ගේ කොට අඩාළ වූ අතුරු කථාව වී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුප්‍රාප්ත සේකැ ’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය එහෙයින් තථාගතයන් ගේ ආශ්චර්‍ය්‍යය අද්භූතධර්‍මයෝ තොපට අධිමාත්‍ර ව වැටැහෙත්ව” යි, වදාළහ.
වහන්ස, මා විසින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්මුඛයෙහි අසන ලද, සම්මුඛයෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්‍යග්ඥාන ඇති ව තුසීකයට එළඹුණහ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයට එළඹුණහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද, “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙහි සිටියහ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙහි සිටියහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ආයු ඇති තාක් තුසීකයෙහි සිටියහ” යි. වහන්ස, ‘බෝසත්හු ආයු ඇති තාක් තුසීකයෙහි සිටියහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්හ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්හ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්තේ වේ ද, එකල මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන ම අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් පහළ වෙතී”. “නිත්‍යවිවෘත වූ අසංවෘත වූ අන්‍ධකාර වූ ඝනාන්‍ධකාර ඇති යම් ලෝකන්තරික නිරය කෙනෙක් ඇද්ද, යම් නිරයෙක මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනා පවා සිය එළියෙන් වළඳ නො කෙරෙත් ද, එබඳු ඒ ලෝකන්තරිකයෙහි දු දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන ම නො පමණ උදාර එළියෙක් ලෝකයෙහි පහළ වෙයි’. ඒ නිරෑහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඒ සත්හු දු ඒ එළියෙන් ‘මෙහි උපන් අන්‍ය සත්ත්‍වයෝත් ඇති’ යි උනුන් හඳුනාගනිත්. මේ දශසහශ්‍රී ලෝකධාතුව ද කම්පිත වෙයි, ප්‍රකර්‍ෂයෙන් කම්පිත වෙයි, වෙසෙසින් වෙවුලයි. දෙවියන් ගේ දේවානුභාව ඉක්මැ ගෙන ම අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙතී” ඇසිණ. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගන්නේ වේ ද, එකල මිනිසෙක් වේවයි, නො මිනිසෙක් වේව’ යි, කිසිවෙක් ඒ බෝසත් හෝ බෝසත්මව හෝ නහමක් පෙළාව’ යි, සතරවරම් දෙව්පුත්හු සිවුදිග ආරක්‍ෂා පිණිස ඔහු කරා පැමිණෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගනී ද, එකල බෝසත් මව පියවින් සිල්වත් වෙයි, පණිවායෙන් දුරු වෙයි, අයිනාදනින් දුරු වෙයි, කාමයෙහි මිසහසරින් දුරු වෙයි, මුසවායෙන් දුරු වෙයි, මද්‍යප්‍රමාදස්ථාන වූ රහමෙරින් දුරු වෙතී.” වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මවුකුස පිලිසඳ ගනී ද, එකල බෝසත් මව ගේ කාමගුණෝපසංහිත සිතෙක් පුරුෂයන් කෙරෙහි නූපදනේ ය, රාගයෙන් රත් සිතැති යම් මැ පුරුෂයකු විසින් බෝසත්මව අනතික්‍රමණීය ද වෙතී.” වහන්ස, මම … භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ දනී ද, එකල බෝසත්මව පස්කම්ගුණ ලබනසුලු වෙයි. ඕ පස්කම්ගුණයෙන් සමර්පිත ව සමන්‍විත ව ඉඳුරන් පිනවතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ සනී ද, එකල බෝසත්මවට කිසිදු ආබාධයෙක් නූපදනේ ය. බෝසත්මව නො කලකුළු කය ඇති ව සුඛිනී වෙයි, බෝසත්මව බෝසතු ද කුසතුළ සිටියහු හැම අඟපසඟ ඇතියහු නුහුනු ඉඳුරන් ඇතියහු දක්නී ය. ආනන්‍දය, යම්පරිදි ශුභ වූ ජාතිමත් වූ අෂ්ටාංශ වූ මොනොවට පිරියම් කළ වෙරළුමිණෙක් වේ ද, එහි නිල් වූ හෝ කසාවන් වූ හෝ ලේවන් වූ හෝ සුදු වූ හෝ පඬුවන් වූ හෝ හුයෙක් අවුණන ලද ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල හුය අතෙහි ලා බලා නම් මේ වෙරළුමිණ ශුභ යැ, ජාතිමත් යැ, අෂ්ටාංශ යැ, සුපරිකර්‍මකෘත ද වෙයි. එහි නිල්වන් හෝ කසාවන් හෝ ලෙහෙවන් හෝ සුදු වූ හෝ පඬුවන් හෝ මේ හුයෙක් අවුණන ලදැ යි දක්නේ වේ ද, ආනන්‍දය, එපරිදි මැ යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගනී ද, එකල බෝසත්මවට කිසිදු අබාධයෙක් නූපදනේ ය. බෝසත්මව ක්ලාන්ත නො වූ කය ඇති ව සුඛිත ව සිටුනී ය. බෝසත්මව බෝසතු ද කුසතුළ සිටියහු අඟපසඟ ඇතියහු නුහුනු ඉඳුරන් ඇතියහු දක්නී” යයි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසතුන් උපන් සත්වනදා බෝසත්මව කලුරිය කෙරෙයි, තුසීකයට එළෙඹෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම්සේ අන්‍ය ස්ත්‍රීහු නවමසක් හෝ දසමසක් හෝ දරුගබ් කුසින් ධරාසිට ප්‍රසව කෙරෙත් ද, එසේ බෝසත්මව බෝසතුන් ප්‍රසව නො කෙරේ, බෝසත්මව දසමසක් ම බෝසතුන් කුසින් ධරාසිට ප්‍රසව කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම්සේ සෙසු ස්ත්‍රීහු හුන්නාහු හෝ හොත්තාහු හෝ ප්‍රසව කෙරෙත් ද, එසේ බෝසත්මව බෝසතුන් ප්‍රසව නො කෙරෙයි. බෝසත් මව සිටියා මැ බෝසතුන් ප්‍රසව කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් දිනෙක බෝසත් මව්කුසින් නික්මේ ද, එකල දෙවියෝ පළමු ඔහු පිළිගනිති, පසුව මිනිස්සු පිළිගනිතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එ බෝසත් පොළොවට නො පැමිණියේ මැ වෙයි, සිව්දෙව්පුත්හු ඔහු පිළිගෙන මව පෙරට තබති. දේවිය, සතොස්වා, මහේශාක්‍ය පිතෙක් තිට උපනැ” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් දිනෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල විශද ව මැ විහි වෙයි. දියෙන් නො වැකුණේ සෙමෙන් නො වැකුණේ ලෙහෙයෙන් නො වැකුණේ කිසිදු අසුචියෙකින් නො වැකුණේ ශුද්ධ ව විශද ව බිහිවෙයි. ආනන්‍දය, යම් පරිදි කසීවතෙක බහාලූ මිණිරුවනෙක් වේ ද, ඒ මිණිරුවන කසීවත් නො මකා ද, කසීවත් ද මිණිරුවන නො මකා ද, එ කවර හෙයින යත්: දෙදෙනා ශුද්ධ හෙයින. ආනන්‍දය, එපරිදි මැ යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, විශද ව මැ නික්මෙයි, දියෙන් නො වැකුණේ සෙමෙන් නො වැකුණේ ලෙහෙයෙන් නො වැකුණේ කිසිදු අසුචියෙකින් නො වැකුණේ ශුද්ධ ව විශද ව බිහි වෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල දෙ දියදහර කෙනෙක් අහසින් පහළ වෙති. ශීත එකෙක, උෂ්ණ එකෙකැ යි. එයින් බෝසත් හට ද, බෝසත්මවට ද දියකිස කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි. සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි. අභීත බස් බෙණෙයි. ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන මැ අප්‍රමාණ උදාර වූ අවභාසයෙක් පහළ වෙයි. මෙසේ මහත් ඉදුහ ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරුහු ද එළිය නො කළ හෙන විවෘත වූ අසංවෘත වූ අඳුරු වූ ගනඅඳුරින් වැසුණු යම් ලෝකන්තරික නිරය කෙනෙක් ඇද්ද, එහි දු දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන මැ අප්‍රමාණ උදාර අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ එළියෙන් උනුන් හැඳින අන්‍ය සත්ත්‍වයෝත් මෙහි උපන්හ යි දනිති. මේ දශසහශ්‍රී ලෝකධාතුව ද කම්පිත වෙයි, වෙසෙසින් කම්පිත වෙයි, වෙසෙසින් වෙවුලයි. දෙවියන් ගේ දේවානුභාව ඉක්මැ ගෙන මැ අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
ආනන්‍දය, එහෙයින් තෙපි තථාගතයන් ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරව: ආනන්‍දය, තථාගතයන් වහන්සේට ප්‍රකට වූවාහු වේදනා උපදිති. විදිත ව වටහති, විදිත ව අස්තයට යෙති, විදිත ව සංඥාවෝ උපදිති, … විදිත ව විතර්‍කයෝ උපදිති, විදිත ව අස්තයට යෙත්. ආනන්‍දය, තෙපි තථාගතයන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරව.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේට විදිත ව වේදනාවෝ උපදිත් ද, විදිත ව වටහත් ද, විදිත ව අස්තයට යෙත් ද, විදිත ව සංඥාවෝ … විදිත ව විතර්‍කයෝ උපදිත් ද, විදිත ව වටහත් ද, විදිත ව අස්තයට යෙත් ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි යි සැලකළෝ.
ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ මෙය සැලකළහ: ශාස්තෲන් වහන්සේ වහන්සේ අනුදත් සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ගේ භාෂිතය අභිමුඛ ව පිළිගත්හු ය.
තුන් වැනි අච්ඡරියබ්භුත සූත්‍ර යි.
3. 3. 4.
බක්කුල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එසඳ අචේලකස්සප නුවට ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේගේ පැරණි ගිහි යහළුවකු වූයේ ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේ කරා එළැඹිණ. එළැඹැ ආයුෂ්මත් බක්කුල තෙරණුවන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහිකරනට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අසෙලකසුබු නුවට ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ට තෙල කී:
ඇවැත්නි, බක්කුලයෙනි, පැවිදි වැ කොතෙක් දිගුකල් ඇතියාව?
ඇවැත්නි, පැවිදි වන් මට අසූහවුරුද්දෙක.
ඇවැත්නි, බක්කුලයෙනි, තොප විසින් මේ අසූවසින් කෙතෙක් වර මෙවුන්දම් සෙවුනා ලද ද?
ඇවත කස්බ, ‘ඇවැත්නි, බක්කුලයෙනි, තොප විසින් මේ අසූවසින් කොතෙක් වර මෙවුන්දම් සෙවුනා ලද දැ’ යි මෙසේ මා නො පුළුවුස්නේ යැ. ඇවත කස්බ, “ඇවැත්නි බක්කුලයෙනි, මේ අසූවසින් කොතෙක් වර කාමසංඥා උපන් විරූ දැ”යි මෙසේ මා පුළුවුස්නේ ය.
“ඇවැත්නි බක්කුලයෙනි, මේ අසූවසින් කොතෙක් වර තොපට කාමසංඥා උපන්විරූ ඇද්දැ” යි.
ඇවත කස්බ, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ කාමසංඥා සිහි කොට නො දන්මි.
ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් උපන්විරූ කාමසංඥා සිහි කොට නො දනිති’යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ ව්‍යාපාදසංඥා ... විහිංසාසංඥා නො දන්මි.
ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් උපන්විරූ විහිංසාසංඥා නො දනිතී’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ කාමවිතර්‍ක නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ ව්‍යාපාදවිතර්‍ක ... විහිංසාවිතර්‍ක නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ගැහැවි සිවුරු ඉවසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. ශස්ත්‍රයෙන් සිවුරුපිළි සිඳැලුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. හිදින් සිවුරු මැසුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. රඳනින් සිවුරු රැඳුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. කඨිනයෙහි ලා සිවුරු මැසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. සබ්‍රම්සරහු සිවුරුකම් මෙහෙයුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. නිමන්ත්‍රණ ඉවසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. යමෙක් මා නිමන්ත්‍රණ කළේ නම් මැනැවැ’ යි මෙබඳු සිතක් උපන්විරූ නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. අන්තරඝරයෙහි හුන්නෙම් නො දන්මි. ‘ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අන්තරඝරයෙහි හුන්නාහු නො දනිති’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. අන්තරඝරයෙහි වැළඳුයෙම් නො දන්මි, ‘ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් අන්තරඝරයෙහි වැළඳුවාහු නො දනිති’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. අනුව්‍යඤ්ජන වශයෙන් මාගමකගේ නිමිති ගත්තෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. මාගමකට යටතින් සිව්පැදි ගයක් පමණකුදු දහමක් දෙසුයෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි ... අසූවසෙක. මෙහෙණවරකට ගියෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. මෙහෙණකට දෙසුයෙම් නො දන්මි ... සික්ඛමානාවකට දහම් දෙසුයෙම් නො දන්මි ... හෙරැණියකට දහම් දෙසුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ හෙරැණියකට දහම් දෙසුවාහු නො දනිති’ යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. පැවිදි කරවූයෙම් නො දන්මි, ... උපසපන් කරවූයෙම් නො දන්මි ... නිස දුන්නේම් නො දන්මි, ... හෙරණකු ලවා උවටන් කරවූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ගිනිහල්ගෙහි ස්නානය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. (කොසඹආදි) සුණුයෙන් ස්නානය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. සබ්‍රම්සරුන් සිරුරුපිරියම්හි යෙදවූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. යටත්පිරිසෙයින් දෙනක තනයෙන් කිරිපිහිරක් දෝනා කල්මතු දු ආබාධයක් උපන්විරූ නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
ඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. යටත් පිරිසෙයින් අරළුකඩකුදු බෙහෙදක් පරිහරණය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.