හේ එසේ සමාහිත චිත්තය මනා කොට අධ්‍යුපේක්‍ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ සමාධිගත වූ චිත්තය අධ්‍යුපේක්‍ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වූයේ වෙයි. එසමයෙහි මහණ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
මහණෙනි, මෙපරිද්දෙන් වඩන ලද මෙපරිද්දෙන් බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බෝධ්‍යඞ්ගයන් පරිපූර්‍ණ කෙරෙත්.
තවද මහණෙනි, කිසෙයින් වඩන ලද කිසෙයින් බහුලීකෘත සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්‍ණ කෙරෙති යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු ස්මෘති සම්බෝධ්‍යඞ්ගය වඩයි....... ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය වඩයි....... වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය වඩයි....... ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය වඩයි....... විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය වඩයි.
මහණෙනි, මෙසේ භාවිත වූ බහුලීකෘත වූ සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්‍ණ කෙරෙත්.
භාග්‍යවතුන් වහන්සේ මේ ආනාපානසති සුත වදාළ සේක. ආත්තමනසක් වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යයි.
අටවැනි ආනාපානසති සූත්‍ර යි.
3. 2. 9.
කායගතාසති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එකල්හි පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණු උපස්ථානශාලායෙහි රැස්ව හුන් බොහෝ භික්‍ෂූන් අතර මේ අතුරු කථාව පැන නැඟිණ. “ඇවැත්නි, අසිරි යැ, ඇවැත්නි අද්භූත යැ, භගවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් භාවිත බහුලීකෘත වූ කායගතස්මෘති භාවනා මහත්ඵල මහානෘශංස යයි” වදාරන ලද මැ යැ. ඒ මහණුනතර මේ අතුරු කථාව අඩහළ විය.
එ සඳ භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පිළිසලනින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා එළැඹි සේක. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ මහණුන් ඇමැතූ සේක: මහණෙනි, දැන් කවර කථායෙකින් රැස්ව හුන්නහු වව, තොප ගේ කිනම් අතුරු කථායෙක් කොට අඩාළ වී දැයි වදාළෝ.
වහන්ස, පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළැකී මේ උපස්ථාන ශාලායෙහි රැස්ව හුන් අප අතර මේ අතුරු කථාව පහළ වී: “ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යැ, ඇවැත්නි, අද්භූත යැ, සියල්ල දන්නා සියල්ල දක්නා භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් භාවිත බහුලීකෘත කායගතස්මෘති භාවනා මහත්ඵල මහානෘශංස යයි” වදාරන ලදු. වහන්ස, අපගේ මේ අතුරු කථා අඩහළ වූ, එසඳ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි.
මහණෙනි, කිසෙයින් භාවිත වූ කිසෙයින් බහුලීකෘත වූ කාගියාසී මහත්ඵල මහානෘශංස වේ යැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි වෘක්‍ෂමූලගත වේවයි ශුන්‍යාගාරගත වේවයි පලක් බැඳ උඩුකය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ සිහි ඇති ව මැ ආශ්වාස කෙරෙයි, සිහි ඇතිව ප්‍රශ්වාස කෙරෙයි, දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරනුයේ දීර්‍ඝ කොට ආශ්වාස කරමි’ නුවණින් දනී. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරමී දනී. භ්‍රස්ව කොට හෝ ආශ්වාස කරනුයේ භ්‍රස්ව කොට ආශ්වාස කරමී දනී, භ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරනුයේ භ්‍රස්ව කොට ප්‍රශ්වාස කරමී දනී. සර්‍වකායප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී හික්මෙයි. සර්‍වකායප්‍රතිසංවේදී ව ප්‍රශ්වාස කරමි හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරමී හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරමි හික්මෙයි. මෙසේ ස්මෘතිවිප්‍රවාස නැතිව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන ඒ මහණහු ගේ පඤ්චකාමගුණ නිඃශ්‍රිත වූ යම් දිවෙන සංකල්පනාවෝ ඇද්ද ඔහු පහව යෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී. පිහිටා හිඳී, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කාගියාසී භවයි.
යළිදු මහණෙනි, මහණ යන්නේ හෝ ‘යෙමි’ නුවණින් දනී, සිටියේ හෝ ‘සිටියෙමි’ නුවණින් දනී, හුන්නේ හෝ ‘හුන්නෙමි’ නුවණින් දැනගනී, හෝනේ හෝ ‘හෝනෙමි’ නුවණින් දැනගනී, යළි යම් යම් පරිද්දෙකින් හෝ ඔහුගේ කය පිහිටුවන ලදුයේ වේ ද, ඒ ඒ පරිද්දෙන් එය නුවණින් දැනගනී, මෙසේ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වර ඇති නිවනට මෙහෙයූ සිතැතිව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත දිවෙන් සංකල්පයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචර සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගතස්මෘති වඩයි.
තවද මහණෙනි, මහණ ඉදිරි ගමන්හි දු පෙරළා ගමන්හි දු සම්පජානකාරී වෙයි. ඉදිරි බැලීමෙහි දු අවට බැලීමෙහි දු සම්පජානකාරී වෙයි, අත් පා දිගු කිරීමෙහි දු හැකිළීමෙහි දු සම්පජානකාරී වෙයි. සඟළ පාසිවුරු ධැරීමෙහි දු සම්පජානකාරී වෙයි. අසන පාන ඛාදන ආස්වාදන ක්‍රියායෙහි දු සම්පජානකාරී වෙයි. අස්පස්කිසෙහි දු සම්පජානකාරී වෙයි, ගමන ස්ථාන නිෂීදන ශයන ජාගරණ භාෂණ තුෂ්ණිම්භාවක්‍රියායෙහි දු සම්පජානකාරී වෙයි. මෙසේ අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත දිවෙන සංකල්පනයෝ ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෞරව සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි ම සිත වැදගෙන සිටී, සන්හුන්වෙයි, එකඟ වෙයි, සමාධිගත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගත ස්මෘති වඩයි.
තවද මහණෙනි, මහණ පාදතලයෙන් උඩ කෙස් මතුයෙන් යට ත්චක්පර්‍ය්‍යන්ත වූ නානාප්‍රකාර අසුචි පිරුණු මේ කරජකය ම ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ කයෙහි කෙස් යැ, ලෝමැ නිය යැ දතැ සමැ මසැ නහර යැ ඇට යැ ඇටමිදුළු යැ වකුගඩු යැ හෘදය යැ අක්මා යැ දලබු යැ බඩදිව යැ පපුමසැ අතුණු යැ අතුණුබහනැ නො පැසුණු අහර යැ මල යැ පිතැ සෙමැ පූයා යැ ලෙහෙ යැ සෝදිය යැ මේදස යැ කඳුළු යැ වුරුණුතෙලැ කෙළ යැ මුකුණු යැ සඳමිදුලු යැ මුත්‍ර යැ යන මේ ඇතැයි කියා යි.
මහණෙනි, යම් සේ නානාවිධ ධාන්‍ය පිරුණු දෙපස මුව ඇති මල්ලෙක් වේ ද, එ කෙබඳු ධාන්‍ය යැ යත්: හැල් වී මුං මෑ තල සහල් යන් මේ ධාන්‍යයන්ගේ යැ. ඇස් ඇති පුරුෂයෙක් තෙල මල්ල මුදා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ යැ: මොහු හැල්හ, මොහු වීහ, මොහු මුඟුහ, මොහු මාසහ, මොහු තිලයහ, මොහු තණ්ඩුලයහ යි කියා යි, මහණෙනි, එපරිදි ම මහණ පාතෙලෙන් උඩ කෙහෙමතුයෙන් යට සම පිරිවරා සිටින නානාවිධ අසුචි පිරුණු මේ කරජකය මැ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු ළය අක්මා දලබු බඩදිව් පපුමස් අතුණු අතුණුබහන් නො පැසුණු අහර මල පිත් සෙම් පූයා ලෙහෙ සෝදිය මේදස කඳුළු වුරුණුතෙල් කෙළ මුකුණු සඳමිදුලු යන මේ ඇතැයි කියා යි. මෙසෙයින් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන ඒ මහණහු ගේ ගෘහාශ්‍රිතවූ යම් මැ දිවෙන් සංකල්පයෝ ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචර සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගතස්මෘති භවයි.
තවද මහණෙනි, මහණ සිටි පරිදි තුබූ පරිදි මැ මේ කය ම ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි පෘථිවිධාතු අබ්ධාතු තෙජොධාතු වායෝධාතු ඇත කියා’යි.
මහණෙනි, යම් පරිදි දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ දෙනක මරා සිව්මංසන්‍ධියෙහි කොටස් විසින් බෙදා තබා හුන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ යථාස්ථිත වූ මේ කය ම ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි පෘථිවිධාතු අබ්ධාතු තෙජොධාතු වායෝධාතු ඇතැ’යි කියා යි. මෙසේ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත සරසංකල්පකෙනෙක් ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටුවා සිටී. සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාහිත වේ. මෙසේත් මහණෙනි, මහණ කාගියාසී වඩයි.
තවද මහණෙනි, මහණ මළ එක් දවසක් ඇති වේවයි මළ දෙදවසක් ඇති වේවයි මළ තුන්දවසක් ඇති වේවයි ඉදිමැගිය තැන තැන කුත්සිත නීලවර්‍ණ ඇති හටගත් පූයා ඇති සොහොනෙහි බහාලන ලද සිරුරක් යම් සේ දක්නේ ද හේ (තමා ගේ) මේ කයට එළවා බලයි: මේ කය ද මෙබඳු ස්වාභාව ඇත්තේ යැ, මෙසේ වනසුලු යැ, තෙල ස්වභාව නො ඉක්මවන ලදැ යි. මෙසේ අප්‍රමත්ත ව ආතාපන වැර ඇති ව ප්‍රහිතාත්ම ව වෙසෙන ඔහුගේ යම් ගෘහශ්‍රිත යම් සරසංකල්ප කෙනෙක් වෙත් ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාධි ගත වෙයි. මෙසේත් මහණෙනි, මහණ කාගියාසී භවයි.
තවද මහණෙනි, මහණ සොහොනෙහි දමන ලද කවුඩන් විසින් හෝ කනු ලබන උකුස්සන් විසින් හෝ කනු ලබන ගිජුලිහිණියන් විසින් හෝ කනු ලබන ශුනකයන් විසින් හෝ කනු ලබන සිවලුන් විසින් හෝ කනු ලබන විවිධ ක්‍ෂුද්‍රප්‍රාණිජාතීන් විසින් හෝ කනු ලබන සිරුරක් යම්සේ දක්නේ ද, හේ (තමා ගේ) මේ කය මැ එළවා බලයි: මේ කය ද මෙබඳු ස්වභාව ඇත්තේ යැ, මෙසේ වනසුලු යැ තෙල ස්වභාව නො ඉක්මවන ලදැයි. මෙසේ අප්‍රමත්තව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ව වෙසෙන ඔහු ගේ යම් ගෘහශ්‍රිත සරසංකල්ප කෙනෙක් ඇත් ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටි, සන්හුන් වෙයි. ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසේත් මහණෙනි, මහණ කාගියාසී වඩයි.
තවද මහණෙනි, මහණ සොහොනෙහි දමන ලද මස් ලෙ සහිත වූ නහරවලින් බැඳුණු ඇටසැකිලි වූ සිරුරක් යම් සේ දක්නේ ද ... මස් රහිත ලෙයින් වැකුණු නහරවැලින් බැඳුණු ඇටසැකිලි වූ සිරුර ... අපගත මස්ලෙහෙ ඇති නහර වැලින් බැඳුණු ඇටසැකිලි වූ සිරුර ... අපගත සම්බන්‍ධ ඇති දිසාවිදිසායෙහි විසුරුණු ඇට ඇති අන් තැනෙක් ඇති ඇටය අන් තැනෙක පාඇටය අන් තැනෙක කෙණ්ඩාඇටය අන් තැනෙක් කලවාඇටය අන් තැනෙක පිටකටුවය අන් තැනෙක් හිස්කබලය යන මේ ඇති සිරුරක් යම් සේ දක්නේ ද, ඒ මහණ මේ කාය මැ එළවා බලයි: මේ කය ද මෙබඳු ස්වභාව ඇත්තේ යැ, මෙසේ වනසුලු යැ, තෙල ස්වභාව නො ඉක්මවන ලදැ යි. මෙසේ අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ඇතිව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත සරසංකල්ප කෙනෙක් ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන් ගේ ප්‍රහාණයෙන් අධ්‍යාත්මයෙහි සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කාගියාසී වඩයි.
තවද මහණෙනි, මහණ සොහොනෙහි දමන ලද සක්වන් පැහැති සුදු ඇට ... එකතු වූ හවුරුදු පැන ගිය ඇට ... සුණු ව සිටි කුණු වූ ඇට යම්සේ දක්නේ ද ඒ මහණ මේ කය ද මෙ බඳු ස්වභාව ඇත්තේ යැ. මෙසේ වන්නේ යැ, තෙල සැහැවි නො ඉක්මවන ලදැ යි. මෙසේ නො පමා ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ඇතිව වාස කරන ඒ මහණහුගේ ගෘහශ්‍රිත යම් ම ධාවන සංකල්ප කෙනෙක් ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසේත් මහණෙනි, මහණ කාගියාසී භවයි.
තවද මහණෙනි, මහණ කාමයෙන් වෙන් ව මැ අකුශල දහමින් වෙන් ව සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. හේ මේ කය මැ විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි. හාත්පසින් පුරයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. මොහුගේ හැම කය පිළිබඳ කිසිදු තැනෙක් විවේකජ ප්‍රීතිසුඛයෙන් ස්පර්‍ශ නො කරන ලද්දේ නො වෙයි. මහණෙනි, යම් පරිදි දක්‍ෂ වූ නහවනුයෙක් හෝ නහවනු අතැවැසියෙක් හෝ කස්ලෝතලියෙහි නහනුසුණු විසුරුවා පුන පුනා දිය ඉසැ පිඬු කෙරේ ද, ඒ නහනුපිඬු අනුගත උදකස්නේහ ඇති ව පරිගත උදක ස්නේහ ඇති ව දියෙන් ඇතුළත හා බැහැර පහස්නා ලද වේ ද නො ද වැගිරේ ද මහණෙනි, එපරිදි ම මහණ මේ කය මැ විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි. හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. හැම කය පිළිබඳ කිසිදු තැනෙක් විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වෙයි. මෙසේ අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ව වසන ඔහු ගේ ගෘහශ්‍රිත වූ යම් මැ ධාවන සංකල්ප කෙනෙක් ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි මැ සිත පිහිටාසිටී. සන්හුන් වෙයි, ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කාගියාසී වඩයි.
තවද මහණෙනි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් තමා තුළ පැහැදීම ඇති චිත්තෛකාග්‍රභාවය ඇති අවිතර්‍ක අවිචාර සමාධිජ ප්‍රීති සුඛ ඇති ද්විතීය ධ්‍යානය උපදවා වෙසෙයි. හේ මෙ කය මැ සමාධිජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත් පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. හැම කය පිළිබඳ කිසිදු තැනෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් ස්පර්‍ශ නො පහළේ නො වෙයි. මහණෙනි, යම් පරිදි ගැඹුරු නැඟෙන දිය ඇති, උදකභ්‍රදයෙක් වේ ද එයට පෙරදික්හි දු දිය එන මඟෙක් නැද්ද පැසිම් දික්හි දු දිය එන මඟෙක් නැද්ද, උතුරු දික්හි දු දිය එන මඟෙක් නැද්ද, දකුණු දික්හි දු දිය එන මඟෙක් නැද්ද මේඝයත් කලින් කල සම්‍යග්ධාරා නො වස්වා ද එසඳ ඒ භ්‍රදයෙන් ශීතවාරිධාරාව පොළොවින් නැඟී ඒ භ්‍රදය මැ ශීතජලයෙන් තෙමා ද හාත්පසින් තෙමා ද, පුරවා ද හාත්පසින් ස්පර්‍ශ කෙරේ ද, හැම භ්‍රදය පිළිබඳ කිසිදු තැනෙක් ශීතජලයෙන් නොපහළේ නො වේ ද මහණෙනි, එපරිදි මැ මහණ මේ කය මැ සමාධිජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පස පුරවයි, ස්පර්‍ශ කෙරෙයි. හැම කය පිළිබඳ කිසිදු තැනෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වෙයි. මෙසෙයින් නො පමා වූ කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත ඇති ව වෙසෙන ඔහුගේ යම් කාමනිශ්‍රිත ධාවන සංකල්ප කෙනෙක් ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. උන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී. සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කායගතස්මෘති වඩන්නේ ය.
තව ද මහණෙනි, මහණ ප්‍රීතිවිරාගයෙනු දු උපේක්‍ෂක ව ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව ද වාස කෙරෙයි. නාමකයින් සුඛය විඳී. බුද්ධාදි ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් ගෙන උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යැයි බෙණෙත් ද, ඒ තෘතීයධ්‍යාන උපයාගෙන වාස කෙරෙයි. හේ මේ කය මැ නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරවයි, ස්පර්‍ශ කෙරෙයි. හැම කය පිළිබඳව කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, යම් පරිදි උපුල් විලෙක වේවයි හෙළපියුම් විලෙක වේවයි රත්පියුම් විලෙක වේවයි ඇතැම් උපුල්හු හෝ හෙළපියුම්හු හෝ රත්පියුම්හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැංගාහු දියතුළ ගැලී වැඩෙන්නාහු වෙත් ද, ඔහු අග දක්වාත් මුල දක්වාත් සිහිල් දියණ තෙමුණාහු හාත්පසින් තෙමුණාහු පිරුණාහු පහළාහු වෙත් ද, උපුල් වේවයි හෙළපියුම් වේවයි රත්පියුම් වේවයි හැම පද්මයන්ගේ කිසිදු තැනෙක් සිහිල් දියෙන් නො පහළේ නො වේ ද, මහණෙනි, එපරිදි මැ මහණ මෙ කය මැ නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරවයි, ස්පර්‍ශ කෙරෙයි, සියලු කය පිළිබඳ කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වෙ යි. මෙසෙයින් අප්‍රමාදවිහාරී වැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන ඔහුගේ ගෘහශ්‍රිතවූ යම් මැ ධාවනසංකල්ප කෙනෙක් ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. උන්ගේ ප්‍රහාණයෙන් අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී. සන්හුන් වෙයි, ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කාගියාසී වඩයි.
තව ද මහණෙනි, මහණ සුඛයාගේ ප්‍රහාණයෙනු දු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැලම සොම්නස් දොම්නසුන් ගේ අස්තංගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි චතුර්‍ත්‍ථධ්‍යාන උපයාගෙන වාස කෙරෙයි. හේ මෙ කය මැ නිරුපක්ලේශ වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැර හුන්නේ වෙයි. ඔහු ගේ හැම කය පිළිබඳව කිසිදු තැනෙක් පරිශුද්ධ පර්‍ය්‍යාවදාත වූ සිතින් නො පහළේ නො වෙයි. මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් අවදාත වස්ත්‍රයෙකින් හිස වටා පෙරව හුන්නේ වේ ද, ඔහුගේ හැම කය පිළිබඳ කිසිදු තැනෙක් අවදාත වස්ත්‍රයෙන් නො පහළේ නො වේ ද, එපරිදි මැ මහණෙනි, මහණ මෙ කය මැ පරිශුද්ධ පර්‍ය්‍යවදාත වූ සිතින් පැහැරගෙන හුන්නේ වෙයි. ඔහුගේ හැම කය පිළිබඳ කිසිදු තැනෙක් පිරිසිදු පර්‍ය්‍යවදාත වූ සිතින් නො පහරන ලද නො වෙයි. මෙසේ අප්‍රමාද විහරණ ඇති ව ආතාපන වීර්‍ය්‍ය ඇති වැ කායජීවිත නිරපේක්‍ෂක ව වාසය කරන ඔහුගේ යම් කාමනිඃශ්‍රිත දිවෙන සංකල්ප කෙනෙක් ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. උන් ගේ ප්‍රහාණ යෙන් අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී. සන්හුන් වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කාගියාසී වඩයි.
මහණෙනි, යම් කිසි මහණහු විසින් කාගියාසී භාවිත වේ ද බිහිලි කරන ලද වේ ද, විද්‍යා භාගයට අයත් යම් කිසි ධර්‍මකෙනෙක් ඇත් නම් ඒ කුශලධර්‍මයෝ ඔහුට අන්තොගධ වෙති. මහණෙනි, යම් පරිදි යමක්හු විසින් මහමුහුද සිතින් පහස්නා ලද ද මුහුද කරා යන හැම කුන්නදීහු ඇද්ද එයට ඇතුළත් වෙති. මහණෙනි, එපරිදි මැ යම්කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත වේ ද බහුලීකෘත වේ ද, විද්‍යාභාගයෙහි වූ යම් මැ කුශලධර්‍ම කෙනෙක් ඇද්ද ඔහු එයට ඇතුළත් වෙති.
මහණෙනි, යම්කිසි මහණක්හු විසින් කාගියාසී අභාවිත වේ ද අබහුලීකෘත වේ ද, ඔහුට මාරයා අවතරණ ලබයි. ඔහුට මාරයා ආලම්බන ලබයි.
මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් බර වූ ශිලාගුලයක් එක් මැටිපිඬෙක බහාලන්නේ වේ ද, මහණෙනි එ කිමැයි හඟනවු ද ඒ බර වූ ගල් කැට තෙත් මැටි පිඬෙහි ගිලීම් ලබා ද,
වහන්ස, එසේ යැ.
මහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කාගියාසී අභාවිත අබහුලීකෘත වේ ද, ඒ මහණහු පිළිබඳ ව මාරයා අවතරණ ලබයි. මාරයා ඔහු පිළිබඳ අරමුණු ලබයි.
මහණෙනි, යම් පරිදි වියළි කොළපු වූ කාෂ්ටයෙක් ඇත් ද, එසඳ කිසි පුරුෂයෙක් ‘ගිනි නිපදවමි තෙජොධාතු පහළ කරමී’ උතුරුරිණි (ගිනිගානාදඬු) ගෙන එන්නේ වේ ද, මහණෙනි ඒ කෙසේ හඟනහු: ඒ පුරුෂ වියළි කොළපු වූ මේ කාෂ්ටය උතුරුරිණි ගෙන් මඩනේ ගිනි නිපද වන්නේ වේ ද? තෙජොධාතු පහළ කරන්නේ වේ ද?
වහන්ස, එසේ යැ.
මහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කායගත ස්මෘතිය අභාවිත වේ ද, අබහුලීකෘත වේ ද, ඒ මහණහු පිළිබඳ ව මාරයා අවතරණ ලබයි. ඔහු පිළිබඳව මාරයා අරමුණු ලබයි.
මහණෙනි, යම් පරිදි ආධාරයෙක තැබූ හිස් වූ මහදිය සැළියෙක් ඇද්ද, එසඳ පුරුෂයෙක් දිය බරක් ගෙන එන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ හඟනාව ; ඒ පුරුෂ දිය බහාලීම් ලබන්නේ වේ ද?
වහන්ස, එසේ යැ.
මහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු, විසින් කාගියාසී අභාවිත අබහුලීකෘත වේ ද, ඒ මහණහු පිළිබඳව මාරයා අවතරණ ලබයි. ඔහු පිළිබඳව මාරයා අරමුණු ලබයි.
මහණෙනි, යම් කිසි මහණක්හු විසින් කායගතාසතිය භාවිත බහුලීකෘත වේ ද, ඔහු පිළිබඳව මාරයා අවතරණ නොලබයි, ඔහු පිළිබඳව මාරයා අරමුණු නොලබයි. මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් සැහැල්ලු වූ හුගුළක් හැම හරමුවා කවුළුපුවරුයෙක්හි බහා ලන්නේද මහණෙනි ඒ කිමැයි හඟනවු ද: ඒ පුරුෂ ඒ සැහැල්ලු වූ හුගුළ හැම හරමුවා කවුළු පුවරුයෙහි අවතරණය ලබන්නේ ද?
වහන්ස, තෙල නොවේ මැ ය.
මහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කායගතාසති භාවිත බහුලීකෘත වේ ද, ඔහු පිළිබඳ ව මාරයා අවකාශ නො ලබයි. ඔහු පිළිබඳ ව මාරයා අරමුණු නො ලබයි.
මහණෙනි, යම් සේ කිරි සහිත අමු දිඹුල් කැටෙක් වේ ද, එසඳ පුරුෂයෙක් උතුරුරිණි ගෙන ගිනි නිපදවමි තෙද පහළ කෙරෙමි එන්නේ වේ ද, මහණෙනි ඒ කෙසේ හඟනාව: කිම ඒ පුරුෂ දිය සහිත වූ තෙත් මේ උදුම්බර කාෂ්ඨය උතුරු ගිනිගානා දඬු ගෙන මඩනේ ගිනි නිපදවා ද, තෙද පහළ කෙරේ ද?
වහන්ස, තෙල නො වේ මැ ය.
මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත බහුලීකෘත වේ ද, මාරයා ඔහුට අවතරණ නො ලබයි. මාරයා ඔහුට අරමුණු නො ලබයි.
මහණෙනි, යම් සේ මුව විට සමව සිටි කවුඩන් විසින් පියැගෙන ආධාරයෙක තැබූ දිය පිරුණු දිය සැළෙක් වේ ද, එසඳ පුරුෂයෙක් දිය නෙරනා බඳුනක් ගෙන එන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ හඟනාව? කිම ඒ පුරුෂ උදක නික්‍ෂේපයක් ලබා ද?
වහන්ස, තෙල නො වේ මැ ය.
මහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත බහුලීකෘත වේ ද, මරු ඔහු පිළිබඳ අවතරණ නො ලබයි. මරු ඔහු පිළිබඳව ආලම්බන නො ලබයි.
මහණෙනි, යම් කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත බහුලීකෘත වේ ද, හේ අභිඥායෙන් පසක් කළ යුතු යම් යම් දහමක් පිළිබඳව අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස සිත නතු කෙරේ ද කාරණ ඇතිවත් ම ඒ ඒ දහමෙහි ප්‍රත්‍යක්‍ෂ භාවයට පැමිණෙයි.
මහණෙනි, යම් පරිදි සමතිත්තික ව සිටි කාකපෙය ව සිටි ආධාරයෙහි ස්ථාපිත දිය පිරුණු මහදිය සැළෙක් වේ ද, බලවත් පුරුෂයෙක් තෙල දිය සැළ “යම් යම් පසෙකින් නමන්නේ නම් (ඒ ඒ පසින්) දිය එන්නේ වේ දැ”යි.
වහන්ස, එසේ යැ.
මහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කායගතස්මෘති භාවිත බහුලීකෘත වේ ද, හේ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළ යුතු යම් යම් දහමකට අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස සිත නතු කෙරේ ද, අභිඥා කාරණ ඇති වන්නේ මැ ප්‍රත්‍යක්‍ෂ භාවයට පැමිණෙයි.
මහණෙනි, යම් පරිදි සම භූමිභාගයෙක්හි බැඳී මියර ඇති සම තිත්තික ව කාකපෙය වැ දිය පිරුණු සිව්රැස් පොකුණෙක් වේ ද, බලවත් පුරුෂයෙක් යම් යම් පසෙකින් තෙල පොකුණ මියර බිඳුණේ නම් දිය වහනය වේ ද?
වහන්ස, එසේ යැ.
මහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කායගතස්මෘති භාවිත බහුලීකෘත වේ ද, හේ අභිඥායෙන් පසක් කළ යුතු යම් මැ දහමකට අභිඥායෙන් පසක් කරනු පිණිස සිත නතු කෙරේ නම් අභිඥා කාරණ ඇති වත් මැ සාක්‍ෂ්‍ය භව්‍යතාවයට පැමිණෙයි.
මහණෙනි, යම් පරිදි මනා බිමෙක සිව්මං සන්‍ධියෙක්හි ගත හැකි සේ තබන ලද කෙවිටි ඇති ව සිටි යුක්ත කළ ආජන්‍ය රථයෙක් වේ ද, දක්‍ෂ අශ්වාචාර්‍ය්‍ය වූ අස්දම් සැරියෙක් තෙල් රිය නැඟී වමතින් රැහැන් ගෙන දකුණතින් කැහිටි ගෙන් කැමැති සේ කැමැති දිගෙක පද වන්නේත් පෙරළා පදවන්නේත් වේ ද, මහණෙනි, එපරිදි ම යම් කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත බහුලීකෘත වේ ද, හේ අභිඥායෙන් පසක් කළ යුතු යම් මැ දහමකට අභිඥායෙන් පසක් කරනු පිණිස සිත් නතු කෙරේ ද, ඒ ඒ දහමෙහි අභිඥාකාරණ ඇති ඇති විට ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.
මහණෙනි, කායගතාසතිය ආසේවිත කල්හි භාවිත කල්හි බහුලීකෘත කල්හි යුක්ත යානයක් සේ කළ කල්හි ප්‍රතිෂ්ඨා කළ කල්හි නැවත නැවත පැවැත් වූ කල්හි පරිචය කළ කල්හි සම්ප්‍රග්‍රහ කළ කල්හි මේ දස අනුසස් කෙනෙක් කැමැති විය යුත්තාහ. කවර දස අනුසස් යැ යත්:
අධිකුශලයෙහි නො ඇලීම හා පඤ්චකාමගුණිකරතිය සිහියැ හැකි වෙයි. අරතිය ඔහු නො සහයි. උපන් අරතිය පුනපුනා මැඩ වෙසෙයි. භයභෛරව සිහිය හැකි වෙයි. භය හා භෛරවාලම්බන ඔහු නො සෙහෙයි. උපන් භය භෛරවාලම්බන මැඩ මැඩ වෙසෙයි. ශීත උෂ්ණ සාපවස් මැසිමදුරුවාඅව් සපුන්ගේ පහස් සහනු වෙයි. දුරුක්ත දුරාගත වචනපථ හා දුඃඛ තීව‍්‍ර බර කටුක අමධුර අමනාපකර ප්‍රාණහර වූ උපන් ශාරීරික වේදනාවන් ඉවසන සැහැවි ඇති වෙයි. අභිචිත්තය ඇසුරු කළ ඉහාත්මසුඛප්‍රතිලාභයට හේතු වූ සිව් දැහැන් කැමැතිසේ ලබනසුලු වෙයි, නිදුකින් ලබනසුලු වෙයි, විපුල කොට ලබනසුලු වෙයි.
හේ අනේක ප්‍රකාර ඍද්ධිභේද වළඳ කෙරෙයි. එකෙක් වැ සිට බහුප්‍රකාර වෙයි. බහු ප්‍රකාර වැ සිට එකෙක් වෙයි. ආවිර්භාවයට තිරොභාවයට භිත්තියගේ පාරයට ප්‍රාකාරයාගේ පාරයට පර්‍වතයාගේ පාරයට අහසෙහි සෙයින් නො පැහැර ආකාශයෙහි යනුවන් සෙයින් යෙයි. පොළොවෙහි ද දියෙහි සෙයින් උන්මජ්ජන කෙරෙයි. දියෙහි ද පොළොවෙයි සෙයින් අභිද්‍යමාන වැ යෙයි. අහස්හිදු පක්‍ෂශකුනීන් සෙයින් පලගින් යෙයි. මෙබඳු මහත් ඍද්ධි ඇත මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද කර තලෙයෙන් පරාමර්‍ශ පරිමාර්‍ජන කෙරෙයි. යාවද්බ්‍රහ්මලෝකය දක්වා ස්වශරීරයෙන් සිය විසිය පවත්වයි.
මිනිස් කන ඉක්මැ වූ විශුද්ධ දිව්‍යශ්‍රෝතධාතුයෙන් දුරස්ථ වූත් සමීපස්ථ වූත් දිව්‍යමානුෂ උභය ශබ්දයන් අසයි. සිය සිතින් පර සත්ත්‍වයන්ගේ පර පුද්ගලයන්ගේ සිත පිරිසිඳ දනී, සරාග සිත හෝ සරාග සිතැයි දැනගනී. වීතරාග සිත හෝ වීතරාග සිතැ යි දැනගනී. සදෝෂ සිත හෝ සදෝෂ සිතැයි දැනගනී. වීතදෝෂ සිත වීතදෝෂ සිතැයි දැනගනී. සමෝහ සිත හෝ සමෝහ සිතැයි දැනගනී. වීතමෝහ සිත වීතමෝහ සිතැයි දැනගනී. සංක්‍ෂිප්ත සිත හෝ සංක්‍ෂිප්ත සිතැයි දැනගනී. වික්‍ෂිප්ත සිත හෝ වික්‍ෂිප්ත සිතැ යි දැනගනී. මහද්ගත සිත හෝ මහද්ගත සිතැ යි දැනගනී, අමහද්ගත සිත හෝ අමහද්ගත සිතැයි දැනගනී. සඋත්තර සිත හෝ සඋත්තර සිතැයි දැනගනී. අනුත්තර සිත හෝ අනුත්තර සිතැයි දැනගනී, සමාහිත සිත හෝ සමාහිත සිතැයි දැනගනී. අසමාහිත සිත හෝ අසමාහිත සිතැයි දැනගනී. විමුක්ත සිත හෝ විමුක්ත සිතැයි දැන ගනී. අවිමුක්ත සිත හෝ අවිමුක්ත සිතැයි දැනගනී.
හේ අනේක ප්‍රකාර පූර්‍වනිවාස අනුස්මරණ කෙරෙයි. කිසේ යැ යත්: එක් ජාතියකුදු ජාති දෙකකකුදු ... මෙසේ සාකාර සඋද්දේස අනේකප්‍රකාර පූර්‍වනිවාස අනුස්මරණ කෙරෙයි. මිනිසැස ඉක් මැ සිටි විශුද්ධ දිව්‍ය චක්‍ෂුසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සත්ත්‍වයන් දකී. මෙසේ යථාකර්‍මොපගත සත්ත්‍වයන් ප්‍රඥායෙන් දැනගනී. ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි මැ තෙමේ විශිෂ්ට ඥානයෙන් පසක් කොට උපයා වාස කෙරෙයි.
මහණෙනි, ආසෙවිත භාවිත බහුලීකෘත යුක්තයානයක් සේ කළ ප්‍රතිෂ්ඨා කළ අනුස්ථිත පරිචිත සුසමාරබ්ධ කායගතස්මෘතිය ගේ මේ දශ ප්‍රකාර අනුසස්හු කැමැති විය යුත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මේ කායගතාසති සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයෙන් ගත් සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ භාෂිතය අභිනන්‍දනයෙන් පිළිගත්හු.
නවවැනි කායගතාසති සූත්‍ර යි.
3. 2. 10.
සංඛාරුප්පත්ති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සංඛාරුප්පත්ති සූත්‍රය වදාළෝ.
මහණෙනි, තොපට සංස්කාරොත්පත්තිය දෙසමි. ඒ අසව, මනා කොට මෙනෙහි කරව. කියමි’ යි වදාළ කල වහන්ස, එසේ යැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහුට මෙසේ සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි කැත් මහසල්කුලන්ගේ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් භවයි. මෙසේ භාවිත මෙසේ බහුලීකෘත ඔහුගේ ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්‍ගය මේ ප්‍රතිපත් ඒ උපත පිණිස පවතී.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල් කුලන්ගේ හෝ … ගැහැවිමහසල් කුලන්ගේ හෝ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් භවයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහරණයෝ මෙසේ භාවිත වූවාහු මෙසේ බහුලීකෘත වූවාහු එහි උපත පිණිස වැටෙත්. මහණෙනි, මේ පිළිවෙත එහි උපතට වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අසන ලද වෙයි. ‘සියුමහරජයෙහි වූ දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි කියා යි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි සිව්මහරජයෙහි දෙවියන්ගේ හෝ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එසිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහරණයෝ මෙසේ භාවිත ව මෙසේ බහුලීකෘත ව සිට ඒ දෙව්ලොව උපත් පිණිස පවතිත්. මහණෙනි, මේ ප්‍රතිපත් එහි උපතට වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි: ‘තව්තිසා වැසි දෙවියෝ ... යාමවැසි දෙවියෝ ... තුසීපුර වැසි දෙවියෝ ... නිර්‍මාණරතියෙහි වැසි දෙවියෝ ... පරිනිර්මිත වශවර්තියෙහි වැසි දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණ ඇතියහ, බහුල සුඛ ඇතියහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි පරනිර්මිතවශවර්තියෙහි වැසි දෙවියන්ගේ හෝ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මෙසේ භාවිත වූවෝ බහුලීකෘත වූවෝ එහි උපත පිණිස පවතිත්. මහණෙනි, මේ මග මේ පිළිවෙත් එහි උපතට වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘සහස්‍රබ්‍රහ්ම දිගා ඇතියෙ යැ, වර්‍ණ ඇතියෙ යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, සහස්‍රබ්‍රහ්ම සහස්‍රී ලෝකධාතු පැතිරැගෙන බැසගෙන වාස කෙරෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, උනුදු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් එක් ඇඹුලක් අතෙහි කොට ගෙන ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, මහණෙනි, එපරිදි මැ සහස්‍රබ්‍රහ්ම සහස්‍රීලෝකධාතු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද උනුදු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. ඒ මහණහට මෙබඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු සහස්‍රබ්‍රහ්මයාගේ සහභාවයට එළැඹෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ භාවිත වූ මෙසේ බහුලීකෘත වූ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපත් සඳහා වැටෙත්. මහණෙනි, මේ මග මේ පිළිවෙත එහි උපත් පිණිස පවතී.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. ‘ද්විසහස්‍රබ්‍රහ්ම ... ත්‍රිසහස්‍රබ්‍රහ්ම ... චතුස්සහස්‍රබ්‍රහ්ම ... පඤ්චසහස්‍රබ්‍රහ්ම දිගා ඇතියේය, වර්‍ණ ඇතියේය, සුවබිහිලි යයි. මහණෙනි, පඤ්චසහස්‍ර බ්‍රහ්ම ද, පඤ්චසහස්‍රී ලෝකධාතුව පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් ඇඹුලුපක් පසක් අතෙහි කොට ගෙන ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, මහණෙනි, එපරිදි මැ පඤ්චසහස්‍රබ්‍රහ්ම පඤ්චසහස්‍රී ලෝකධාතු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. එහි යම් ම සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. ඒ මහණහට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතු පඤ්චසහස්‍ර බ්‍රහ්මයාගේ සහභාවයට එළැඹෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ භාවිත මෙසේ බහුලීකෘත වූ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපත් සඳහා වැටෙත්. මහණෙනි, මේ මාර්‍ග මේ ප්‍රතිපදා එහි උපත් සඳහා වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘දශසහස්‍රබ්‍රහ්ම දීර්‍ඝායුෂ්ක යැ, වර්‍ණවත් යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, දශසහස්‍ර බ්‍රහ්ම දශසහස්‍රීලෝකධාතුව පැතිරැගෙන ආවිෂ්ට කොට ගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍වකෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි සුන්‍දර ආකාරසම්පන්න වූ මොනොවට පිරියම් කළ රක්තකම්බලයෙක්හි තැබූ අටැස් වෙරළුමිණ බබළා ද දිලියේ ද වෙසෙසින් දිලියේ ද, මහණෙනි, එපරිදි මැ දශසහස්‍ර බ්‍රහ්ම දශසහස්‍රී ලෝකධාතු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කායභේදයෙන් මරණින් මතු දශසහස්‍ර බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ වැඩූ මෙසේ බිහිලි කළ ඒ මහණහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපතට සංවර්‍තන කෙරෙත්. මහණෙනි, මේ මාර්‍ග මේ ප්‍රතිපත් එහි උපතට වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘ශතසහස්‍ර බ්‍රහ්ම දීර්‍ඝජීවීයැ, වර්‍ණසම්පන්න යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, ශතසහස්‍ර බ්‍රහ්ම ශතසහස්‍රී ලෝකධාතුව පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ජම්බුනදියෙහි උපන් පස්හුණෙකින් කළ පළඳනා දක්‍ෂ ලෝහකාර පුත්‍රකු විසින් කඹුරු උදුනෙහි ලා සුධෞත වූයේ පාණ්ඩුකම්බලයෙහි නික්‍ෂිප්ත වූයේ බබළා ද, දිලියේ ද, වෙසෙසින් දිලියේ ද, මහණෙනි, එපරිදි මැ ශතසහස්‍රබ්‍රහ්ම ශතසහස්‍රී ලෝකධාතු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කායභේදයෙන් මරණින් මතු ශතසහස්‍ර බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එසිත් වඩයි. මෙසේ වැඩූ මෙසේ බිහිලි කළ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ එහි උපත් පිණිස සංවර්‍තන කෙරෙත්. මහණෙනි, මේ මාර්‍ග මේ ප්‍රතිපත් එහි උපත් පිණිස සංවර්‍තන කෙරේ.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘ආභ දෙවියෝ ... පරිත්තාභ දෙවියෝ ... අප්පමාණභ දෙවියෝ .... ආභස්සර දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුල’ යි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි ආභස්සර දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ මෙසේ භාවිත වූ බහුලීකෘත වූ ඒ සංස්කාරයන් හා විහාරයෝ එහි උපතට වැටෙත්. මහණෙනි, මේ මාර්‍ග මේ ප්‍රතිපත් එහි උපතට වැටේ.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘පරිත්තසුභ දෙවියෝ ... අප්පමාණසුභ දෙවියෝ ... සුභකිණණකදෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ... වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි: ‘වෙහප්ඵල දෙවියෝ ... අවිහ දෙවියෝ ... අතප්ප දෙවියෝ ... සුදස්ස දෙවියෝ ... සුදස්සී දෙවියෝ ... අකණිට්ඨකදෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම කාබුන් මරණින් මතු අකණිට්ඨකදෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම්, මනා මැ නු” යි. හේ එ සිත් තබයි ... වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘ආකාසානඤ්චායතනූපග දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, චිරස්ථිතිකයහ, සුඛබහුලයහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ... වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අසන ලද: ‘විඤ්ඤාණඤ්චායතනූපග දෙවියෝ ...
තවද මහණෙනි, ... ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියෝ ...
තවද මහණෙනි, ... නෙවසඤ්ඤානාඤ්ඤායතනූපග දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, චිරස්ථිතිකයහ, සුඛබහුලයහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: ... වැටෙයි.
තවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ආස්‍රවක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි මැ තමා විශිෂ්ටඥානයෙන් පසක් කොට උපයා වාස කෙරෙම් නම් මනා මැ නු”යි. හේ ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි මැ තමා අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට උපසම්පාදන කොට වාස කෙරෙයි. මහණෙනි, මේ මහණ කිසිදු තැනෙක නො පැමිණෙයි, කිසිදු තැනෙක ප්‍රතිසන්‍ධි විසින් නො උපදනේ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙ සුත් වදාළෝ සියමන ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ සංඛාරුප්පත්ති සූත්‍ර දේශනාව අභිනන්‍දනායෙන් පිළිගත්හු.
දසවැනි සංඛාරුප්පත්ති සූත්‍ර යි.
දෙවෙනි අනුපද වර්‍ග යි
ඒ වර්ගයාගේ උද්දානය:
අනුපද සූත්‍රය, ජබ්බිසෝධන සූත්‍රය, සප්පුරිස සූත්‍රය, සෙවිතබ්බාතබ්බා සූත්‍රය, බහුධාතුක සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, මහාචත්තාරීසක සූත්‍රය, ආනාපානසති සූත්‍රය, කායගතාසති සූත්‍රය, සංඛාරුප්පත්ති සූත්‍ර යි.
3. සුඤ්ඤත වර්‍ගය
3. 3. 1.
චූළසුඤ්ඤත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පුවරම් වෙහෙර මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනින් නැඟීසිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම් ගම්හි වැඩ වසන සේක. වහන්ස, එහි දී මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දී “ආනන්‍දය, මම දැන් ශුන්‍යතාවිහාරයෙන් බහුල කොට වෙසෙමි” අසන ලදි. හමුයෙහි දී පිළිගන්නා ලදි. ‘වහන්ස, කිම, මාගේ ඒ ඇසීම සුශ්‍රැත වේ ද? සුගෘහිත වේ ද? මනා කොට මෙනෙහි කරන ලද වේ ද? මොනොවට කළ විමසීමෙක් වේ ද?
ආනන්‍දය, ඒකාන්තයෙන් තොපගේ තෙල ඇසීම සුශ්‍රැත වෙයි, සුගෘහිත වෙයි, මනා කොට මෙනෙහි කරන ලද වෙයි, මොනොවට විමසන ලද වෙයි. ආනන්‍දය, මම පළමුවත් දැනුත් ශුන්‍යතවිහරණයෙන් බහුල කොට වෙසෙමි. ආනන්‍දය, යම් පරිදි මේ මුවරමා පැහැය ඇත් ගව අස් වෙළඹුන් ගෙන් ශුන්‍ය වේ ද, රන්රිදියෙන් ශුන්‍ය වේ ද, ස්ත්‍රීපුරුෂ සන්නිපාතයෙන් ශුන්‍ය වේ ද, (එතෙකුදු වුව) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: බික්සඟුන් නිසා වන ඒකත්‍වය යි. ආනන්‍දය, එපරිදි ම මහණ ග්‍රාමසංඥා මෙනෙහි නො කොට මනුෂ්‍යසංඥා මෙනෙහි නො කොට අරණ්‍යසංඥා පිණිස ඒකත්‍වයක් මෙනෙහි කෙරේ ද, ඒ මහණහුගේ අරණ්‍යසංඥායෙහි සිත දිවෙයි, පහදියි, මොනොවට සිටී, බැස ගනී. ඒ මහණ මෙසේ නුවණින් දන්නේ ය. ග්‍රාමසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එතෙකුදු වුව) මේ දරථමාත්‍රයෙක් ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන ඒකත්‍වය යි. ඒ මහණ ග්‍රාමසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. මනුෂ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. (එතෙකුදු වුව) අශුන්‍යතායෙක් ද ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන ඒකත්‍වය යි (කියා ද දන්නේ ය). මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි මොනොවට නුවණින් දනී. යමෙක් එහි ඉතිරි වේ ද, විද්‍යමාන වන එය ඒ මේ අශුන්‍යතාව ඇතැ’ යි නුවණින් දන්නේ ය. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට තෙල යථාභූතවූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ ශුන්‍යතාවක්‍රාන්තියෙක් වෙයි.
තවද ආනන්‍දය, මහණ මනුෂ්‍යසංඥා සිත්හි නො කොට, අරණ්‍යසංඥා සිත්හි නො කොට, පෘථිවිසංඥා පිණිස ඒකත්‍වය සිත්හි කෙරෙයි. ඔහුට පෘථිවිසංඥායෙහි සිත අවතරණ කෙරෙයි. පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට බැසගනී. ආනන්‍දය, යම් පරිදි ගෙරි සමෙක් සියක්තුලින් මොනවට හිදුවන ලද්දේ පහවගිය රැළි ඇත්තේ වේ ද, ආනන්‍දය, එපරිදි ම මහණ මේ පොළොවෙහි යම් උස්පහත් තැන් ඇද්ද, නදීන් හා දුර්‍ගමස්ථාන ඇද්ද, කණුකටු තැන් ඇද්ද, පර්‍වතයෙන් විෂම වූ තැන් ඇද්ද, එ හැම සිත්හි නො කොට පෘථිවිසංඥා නිසා ඒකත්‍වය මෙනෙහි කෙරේ ද, ඔහුට පෘථිවිසංඥායෙහි සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී. ඒ මහණ මෙසේ නුවණින් දනී: මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන ඒකත්‍වයයි කියා යි. හේ මනුෂ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී, අරණ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී, (එහෙත්) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන ඒකත්‍වයයි කියාත් දනී. මෙසේ එහි යමෙක් නැද්ද එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇතැ’ යි නුවණින් දනී. මෙසෙයිනුදු ආනන්‍දය, ඔහුට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්‍දය, මහණ අරණසංඥා මෙනෙහි නො කොට, පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. ආකාසානඤ්චායතනසංඥා පිණිස ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී, හේ මෙසේ නුවණින් දනී: අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එහෙත්) මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්‍වය කියායි. හේ අරණසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. පෘථිවිසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. එහෙත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්‍වය කියාද දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්‍දය, මහණ පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. ආකාසානඤ්චායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන යම් ඒකීභාවයෙක් වේ ද, මේ දරථ මාත්‍රා මතුයෙක් ඇත කියා යි. හේ පෘථිවිසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකාසානඤ්චායතනසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා එකඟභාවයෙක් වේ ද, මේ අශුන්‍යතා ඇති’ යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්‍දය, මහණ ආකාසානඤ්චායතනසංඥා සිත්හි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා සිත්හි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥායෙහි බසී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘ආකාසානඤ්චායතන සංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. එහෙත් මේ දරථ මාත්‍රායෙක් ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකභාවය යි කියා යි. හේ ආකාසානඤ්චායතනසංඥා පිළිබඳ ශුන්‍ය යයි නුවණින් දනී. විඤ්ඤාණඤ්චායතනසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. (එතෙකුදු වුව) මේ අසුඤ්ඤතායෙක් ද ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකත්‍වය වෙතී නුවණින් දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එය ශුන්‍ය යයි නුවණින් දකී, යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්‍දය, මහණ විඤ්ඤාණඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා නිසා ඒකත්‍වය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘විඤ්ඤාණඤ්චායතන සංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. ආකිඤ්චඤ්ඤායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථ මාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා වන ඒකත්‍වය වෙති’ යි දනී, හේ විඤ්ඤාණඤ්චායතන සංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකිඤ්චඤ්ඤායතනසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යත්‍වයෙක් ද ඇත, කිමෙක යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනය පිළිබඳ ඒකත්‍වය වෙති’යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
තවද ආනන්‍දය, මහණ ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචේතෝසමාධිය (විදර්‍ශනාචිත්ත ස්මධිය) නිසා ඒකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචේතෝසමාධියයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: ‘මේ කය ම නිසා යම් ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතයට ප්‍රත්‍යය වූ ප්‍රවෘත්ත දරථමාත්‍රයෙක් ඇති’ යි දනී. හේ ආකිඤ්චඤ්ඤායතනසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා පිළිබඳ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: මේ කය ම නිසා වූ ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය දරථමාත්‍රායෙක් ඇති’ යි දනී. මෙසේ යමෙක් එහි නැද්ද, එයින් එය ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්ති වෙයි.
තවද ආනන්‍දය, මහණ ආකිඤ්චඤ්ඤායතසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචේතෝසමාධිය සඳහා ඒකත්‍වයක් මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචේතොසමාධියයෙහි බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘අනිමිත්තචේතෝසමාධිය ද අභිසංස්කෘත ය, ආභිසංචේතසික ය, යම් කිසිවක් අභිසංස්කෘතත්, ආභිසංචේතසිකත් වේ නම් ඒ අනිත්‍ය ය, නිරොධස්භාව ඇති’ යි නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයන් කෙරෙනුදු වෙසෙසින් මිදෙයි, භවාස්‍රවයෙන් කෙරෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයන් කෙරෙනුදු සිත මිදෙයි. විමුක්ත වත් මැ විමුක්ත යැ යන ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ ය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, කරණී කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස මතුයෙහි කිසිදු නැති’ යි නුවණින් දනී. හේ මෙසේ නුවණින් දනී: කාමාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. භවාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. අවිද්‍යාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ද ඇති. කිමෙක යත්: මේ කය ම නිසා ෂඩායතනසම්ප්‍රයුක්ත ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර යයි දනී. හේ කාමාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. භවාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. අවිද්‍යාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇති. කිමෙක යත්: ‘මේ කය ම නිසා ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර සංඛ්‍යාත අශුන්‍යතා යයි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි දනී. ආනන්‍දය, මෙසේ ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ නිරුපක්ලේශ වූ තෙල පරමානුත්තර ශුන්‍යතාවක්‍රාන්ති වේ.