Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 4901-5000 න් 6387

එසේ යැ වහන්ස.
මහණෙනි, තෙල පෙනෙන ගෘධ්‍රකූට පර්‍වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි මේ ඉසිගිලි පර්‍වතය දක්නාහු නො දැ’ යි.
එසේ යැ වහන්ස.
මහණෙනි, මේ ඉසිගිලි පර්‍වතයට තෙල සංඥාව මැ විය, තෙල ප්‍රඥප්තිය වී.
මහණෙනි, භූත පූර්‍වයෙකි: මේ ඉසිගිලි පර්‍වතයෙහි පන්සියක් පසේබුදුහු බොහෝ කලක් වාසය කළාහුය. ඔහු මේ පර්‍වතයට පිවිසෙන්නාහු දක්නා ලැබෙති, පිවිසියාහු නො දක්නා ලැබෙත්. එ දැක මනුෂ්‍යයෝ මෙසේ කීහු: ‘මේ පර්‍වත මේ ප්‍රත්‍යෙක බුද්ධ ඍෂීන් ගිලගනී’ යයි. එහෙයින් ‘ඉසිගිලි ඉසිගිලි’ යි කියා මැ නම් උපන. මහණෙනි, පසේබුදුවරුන්ගේ නම් පවසන්නෙමි. මහණෙනි, පසේ බුදුවරුන්ගේ නම් කීර්‍තනය, කරන්නෙමි. මහණෙනි, පසේ බුදුවරයන්ගේ නම් දෙසන්නෙමි. ඒ අසව්, මොනොවට මෙනෙහි කරව්, කියන්නෙමි’ යි.
එසේ යැ වහන්සැයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
මහණෙනි, අරිට්ඨ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, උපරිට්ඨ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තගරසිඛී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, යසස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුදස්සන නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පියදස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, ගන්‍ධාර නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පිණ්ඩෝල නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, උපාසභ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, නීත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තථ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුතවන්තු නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, භාවිතත්ත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ’යි.
සත්ත්‍වයන් කෙරෙහි සාර වූ හෙවත් උත්තම සත්ත්‍ව වූ නිදුක් වූ නිස්තෘෂ්ණ වූ යම් පසේබුදු කෙනෙක් වෙන වෙන මැ සතර මාර්‍ගඥාන බෝධිය අවබෝධ කළාහු ද විගත වූ රාගාදී ශල්‍ය ඇති ඒ නරෝත්තමයන් ගේ නාමයන් කීර්‍තනය කරන්නාවූ මාගේ බසින් අසව්.
අරිට්ඨ යැ, උපරිට්ඨ යැ, තගරසිඛී යැ, යසස්සී යැ, සුදස්සන යැ, පියදස්සී බුද්ධ යැ, ගන්‍ධාර යැ, පිණ්ඩෝල යැ, උපාසභ යැ, නීත යැ, තථ යැ, සුතවන්තු යැ, භාවිතත්ත යැ, යන පසේබුදුහු ද,
සුම්භ යැ, සුභ යැ, මෙථුල යැ, අට්ඨම යැ, යළි සුමේඝ යැ, අනීඝ යැ, සුදාඨ යැ, හිඞ්ග යැ, යන මහත් අනුභාව ඇති භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණා ක්‍ෂය කළ පසේ බුදුහු යැ-
චුල්ලජාලී මහාජාලී යැයි ජාලී නම් ඇති දෙ මුනිහු යැ, අරිට්ඨක බුදුහු යැ. නැවත කෝසල බුද්ධ යැ. යළි සුබාහු යැ, උපනෙමිස යැ, නෙමිස යැ, සන්ත චිත්ත යැ, සච්ච යැ, තථ යැ, විරජ යැ, පණ්ඩිත යැ, යන පසේබුදුහු ද-
කාල උපකාල යන දෙ බුදුහු යැ, විජිත යැ, ජිත යැ, අඞ්ග යැ, පඞ්ග යැ, ගුතිජ්ජිත යැ, පස්සී නම් ඒ පසේබුදුහු ස්කන්‍ධ දුඃඛයට මුල වූ උපධි හළය. අපරාජිත නම් පසේබුදුහු මාරබල දිනූය.
සත්‍ථු, පවත්තු, සරභඞ්ග, ලෝමහංස, උච්චඞ්ගමාය, යන නම් ඇති පස් පසේබුදුහු යැ, අසිත, අනාසව, මනෝමය, යන තුන් පසේබුදුහු යැ, නවවිධ මාන පසුන් කළ බන්‍ධුමන්තු නම් පසේබුදුහු යැ, තදාධිමුත්ත යැ, විමල යැ, කේතුමන්තු යැ, යන පසේ බුදුහු ද-
කෙතුම්බරාග යැ, මාතඞ්ග යැ, අරිය යැ, යන තුන් පසේ බුදුහු යැ, යළි අච්චුත යැ, අච්චුතගාමබ්‍යාමක යැ, යන පසේබුදුහු දෙදෙන යැ, සුමංගල, දබ්බිල, සුප්පතිට්ඨිත, අසය්හ යන පසේබුදුහු යැ, ඛේමාභීරත යැ, සොරත යැ, යන පසේ බුදුහු දෙදෙන ද-
දුරන්නය, සඞ්ඝ, යන පසේ බුදුහු යැ, යළිදු උච්ච යැ, අලාමක වීර්‍ය්‍ය ඇති සය්හ නම් අන්‍යත් පසේබුදු මුනිවරයෙකැ, ආනන්‍ද, නන්‍ද, උපනන්‍ද, සියු දෙනකුන් බැගින් දොළොස් පසේබුදු කෙනෙකැ, අන්තිම ශරීරය ධරන භාරද්වාජ නම් පසේ බුදුහු ද-
බෝධි, මහානාම යන පසේ බුහු යැ, යළිදු උත්තර, කේසී, සිඛී, සුන්‍දර, භාරද්වාජ යන පස් පසේබුදුහු යැ. බවබැඳුම් පසුන් කළ තිස්ස, උපතිස්ස යන පසේබුදුහු දෙදෙන යැ, උපසීදරී නම් පසේබුදුහු යැ, තෘෂ්ණා පසුන් කළ සීදරී නම් පසේබුදුහු ද-
වීතරාග වූ මංගල පසේබුදුහු ද වූහ. උසභ නම් පසේබුදුහු පස්කඳදුකට මුල් වූ තෘෂ්ණාජාලිනිය සුන් කළය. උපනීත නම් පසේබුදුහු ශාන්ත නිර්‍වාණපදය අධිගම කළය. උපෝසථ සුන්‍දර සච්චනාම යන තුන් පසේ බුදුහු ද-
ජේත ජයන්ත, පදුම, උප්පල, යන සියු පසේබුදුහු ද, පදුමුත්තර, රක්ඛිත, පබ්බත, යන තුන් පසේබුදුහු ද, මානත්‍ථද්ධ, සෝභිත, වීතරාග, යන පසේබුදුහු ද, මොනොවට කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති කණ්හ නම් පසේබුදුහු ද යන-
නාම විසින් පෙළ ආ තෙල පසේබුදුහු ද, ගුණු භාවතෘෂ්ණා ඇති මහත් අනුභාව ඇති (පසේ බුදුන් පන්සියක් කෙරෙහිපෙළ නො ආ) අන්‍ය වූත් යම් පසේබුදු කෙනෙක් ඇද්ද, සියලු ක්ලේශසඞ්ගයන් ඉක්මවා ගිය ස්කන්‍ධ පරිනිර්‍වාණයෙන් පිරිනිවන් වන් ගුණ විසින් අප්‍රමේය වූ ඒ ප්‍රත්‍යෙකබුද්ධ මහර්ෂින්හට නමස්කාර කරව’යි.
සවැනි ඉසිගිලි සූත්‍ර යි.
3. 2. 7.
මහාචත්තාරීසක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, කියා භික්‍ෂූන් අඬගා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ වහන්දැ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල මහාචත්තාරීසක සුත වදාළ සේක.
මහණෙනි, තොපට නිර්දෝෂ වූ මාර්‍ගසමාධිය සප්‍රත්‍ය කොට සපරිවාර කොට දෙසන්නෙමි. ඒ අසව්, මොනොවට මෙනෙහි කරව් ප්‍රකාශ කරන්නෙමි’යි වදාළ සේක.
එසේය වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
මහණෙනි, ප්‍රත්‍ය සහිත වූ සපරිවාර වූ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය කවරෙ යැ යත්: ඒ මෙසේ යැ: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති යන මේ සතඟින් චිත්තයාගේ යම් ඒකාග්‍ර බවක් පරිවාර බවක් වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය සප්‍රත්‍ය යි ද සපරිවාර යි ද කියනු ලැබේ.
මහණෙනි, එහි ලා (විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි යන ද්විවිධ) සම්‍යක්දෘෂ්ටිය පූර්‍වඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය පූර්‍වඞ්ගම වෙයි යත්: මිථ්‍යාදෘෂ්ටිය ‘මිථ්‍යාදෘෂ්ටි’ යයි ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ලා ආරම්මණ වශයෙන් දැනගනී. සම්‍යග්දෘෂ්ටිය (කෘත්‍යවශයෙන් අසම්මූඪ හෙයින්) දැනගනී. මෙසේ ඒ දැනුම ඔහුට සම්මාදිට්ඨි නම් වෙයි.
මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන් දැය විපාක නැත, යජන ලදුයෙහි විපාක නැත. පුදන ලදුයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත. (පරලොවැ සිටියහුට) මේ ලොව නැත, (මෙලොවැ සිටියහුට) පරලොව නැත, මවු නැත, පියා නැත, (සැවැ උපදනා) ඕපපාතික සත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මේ ලොවත් පර ලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැතැ’යි. මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටි නම් වෙයි.
මහණෙනි, සම්‍යක්දෘෂ්ටි කවර යත්: මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටිත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇති.
මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය කවර යත්: දුන් දැය විපාක ඇත. යජන ලදුයෙහි විපාක ඇත. පුදන ලදුයෙහි විපාක ඇත. සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත. පියා ඇත. උපදනා ඕපපාතික සත්‍වයෝ ඇත. ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැ’යි. මහණෙනි, මේ සාස්‍රව පුණ්‍යභාගී වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මාදිට්ඨි නම් වෙයි.
මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්මාදිට්ඨි කවර යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුවහු හේ යම් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියෙක් ප්‍රඥාබලයෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් මාර්‍ගාඞ්ගයෙක් ඇද්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්මාදිට්ඨි යයි කියනු ලැබේ. ඒ මහණ මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණය පිණිස සම්‍යග්දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතියෙන් සමන්‍වාගත ව මිථ්‍යාදෘෂ්ටිය දුරු කෙරෙයි. ස්මෘතිමත් ව සම්‍යග්දෘෂ්ටිය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ ඔහුට මේ තුන් ධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය අනුපරිධාවන කෙරෙති. (සහජාත ද පුරේජාත ද වී) පරිවාර වෙත්. ඒ කවර තුන් දහම්හ යත්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මොහු යි.
මහණෙනි, එහි ලා සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කි සෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාසඞ්කල්පය ‘මිථ්‍යාසඞ්කල්ප’ යයි (ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ලා අරමුණු විසින්) දැනගනී. සම්‍යක්සඞ්කල්පය ‘සම්‍යක්සඞ්කල්ප’ යයි දැනගනී. ඔහුට ඒ දැනුම සම්මාදිට්ඨි නම් වෙයි.
මහණෙනි, මිථ්‍යාසඞ්කල්ප කවරෙ යත්: කාමසඞ්කල්ප, ව්‍යාපාදසඞ්කල්ප, විහිංසාසඞ්කල්ප යි. මහණෙනි, මේ මිථ්‍යාසඞ්කල්ප නමි.
මහණෙනි, සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: මහණෙනි, මම සම්‍යක්සඞ්කල්පයත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යක්සඞ්කල්පයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්සඞ්කල්පයක් ඇති.
මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසඞ්කල්ප, අව්‍යාපාදසඞ්කල්ප, අවිහිංසාසඞ්කල්ප යි. මහණෙනි, මේ සම්‍යක්සඞ්කල්ප සාස්‍රව යැ පුණ්‍යභාගිය යැ උපධිවිපාක දෙන්නේ යි.
මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුවහුගේ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් සිත අරමුණෙහි පිහිටුවීමෙක් වෙසෙසින් පිහිටුවීමෙක් සිත අරමුණට නැංවීමෙක් වාක්‍සංස්කාරයෙක් වේ ද, මහණෙනි, මේ සම්‍යක්සඞ්කල්පය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාසඞ්කල්පයාගේ ප්‍රහාණයට වෑයම් කරයි. සම්‍යක්සඞ්කල්පයාගේ ප්‍රතිලාභයට වෑයම් කරයි. ඒ ව්‍යායාමය ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත් වූයේ මිථ්‍යාසඞ්කල්පය දුරලයි. ස්මෘතිමත් වූයේ සම්‍යක්සඞ්කල්පය උපදවා වෙසෙයි. ඔහුට ඒ ස්මෘතිය සම්මාසති වෙයි. මෙසේ මේ තුන් ධර්‍මයෝ (සහජාත ද පුරේජාත ද වී) සම්‍යක්සඞ්කල්පය අනුව යෙති. අනුව වැටෙත්, ඒ කවර තුන් දහම්හ යත්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මොහු යි.
මහණෙනි, ඒ (ආර්‍ය්‍ය සම්‍යක් සමාධියෙහි) ලා සම්‍යක්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි. කිසෙයින්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාවචනය ‘මිථ්‍යාවචන’ යයි දැනගනී. සම්‍යග්වචනය ‘සම්‍යග්වචන’ යයි දැනගනී. ඒ දැනුම ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි.
මහණෙනි, මිථ්‍යාවාක් කවර යත්: මෘෂාවාද, පිශුනවාක්, පරුෂවාක්, ප්‍රලාප යැ. මහණෙනි, මේ මිථ්‍යාවාක් නමි.
මහණෙනි, සම්‍යග්වචන කවරෙ යත්: මහණෙනි, මම සම්‍යග්වචන ද දෙපරිදි කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍ය කොටසෙහි වූ උපධිවිපාක දෙන සම්‍යග්වචනයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යග්වචනයෙක් ඇති.
මහණෙනි, සාස්‍රව පුණ්‍ය කොටසෙහි වූ උපධිවිපාකය දෙන සම්‍යග්වචන කවරෙ යත්: මුසවායෙන් වෙන්වීම යැ, පිසුනුබසින් වෙන්වීම යැ, පරොස්බසින් වෙන්වීම යැ, ප්‍රලාපයෙන් වෙන්වීම යි. මහණෙනි, මේ සම්‍යග්වචනය සාස්‍රව යැ, පුණ්‍යභාගයෙහි වූයෙ යැ උපධිවිපාක දෙනුයේ යි.
මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යග්වචන කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍ය මාර්‍ගය වඩනුවහුගේ සිව්වැදෑරුම් වාග්දුශ්චරිතයෙන් ම යම් දුරු වීමෙක් වෙන්වීමෙක්, නැවැත්මෙක්, විරමණයෙක් ඇද්ද, මහණෙනි, මේ සම්‍යග්වචනය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාවචනයාගේ ප්‍රහාණයට, සම්‍යග්වචනයාගේ ප්‍රතිලාභයට වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත් වූයේ මිථ්‍යාවාක් දුරලයි. ස්මෘතිමත් වූයේ සම්‍යග්වචනය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යග්වචනය අනුව යෙති, අනුව වැටෙත්, __ඒ කවර තුන් දහම්හ යත්:__ සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යග්ස්මෘති යන මොහු යි.
මහණෙනි, ඒ සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කිසෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාකර්‍මාන්තය මිථ්‍යාකර්‍මාන්ත යැයි දැනගනී. සම්‍යක්කර්‍මාන්තය සම්‍යක්කර්‍මාන්ත යැ යි දැනගනී. ඒ දැනුම ඔහුට සම්මාදිට්ඨි වෙයි.
මහණෙනි, මිථ්‍යා කර්‍මාන්ත කවර යත්: පරපණ නැසුම යැ, අයිනාදන් ගැනුම යැ, කාමයෙහි මිසහසර යි. මහණෙනි, මේ මිථ්‍යා කර්‍මාන්ත යි.
මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත කවරෙ යත්: මහණෙනි, මම සම්‍යක්කර්‍මාන්තයත් දෙපරිදි කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගයෙහි වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්තයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්කර්‍මාන්තයෙක් ඇති.
මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්ත කවරෙ යත්: පරපණ නැසීමෙන් වැළකීම යැ, අයිනාදනින් වැළකීම යැ, කාමයෙහි මිසහසරින් වැළැකීම යැ. මහණෙනි, මේ ආස්‍රව සහිත පුණ්‍යභාගයෙහි වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්ත යි.
මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්කර්‍මාන්තය කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍ය මාර්‍ගය වඩනුවහුගේ තුන් කායදුශ්චරිතයෙන් ම යම් දුරුවීමෙක් වෙන්වීමෙක් නැවැත්මෙක් විරමණයෙක් ඇද්ද, මහණෙනි, මේ සම්‍යක්කර්‍මාන්තය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාකර්‍මාන්තයාගේ ප්‍රහාණය පිණිස සම්‍යක්කර්‍මාන්තයාගේ ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත්‍ව මිථ්‍යාකර්‍මාන්තය දුරලයි. ස්මෘතිමත් ව සම්‍යක්කර්‍මාන්තය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යක්කර්‍මාන්තය අනුව යෙති, අනුව වැටෙත්, ඔහු කවරහ යත්: සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති යන මොහු යි.
මහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක් සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කිසෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාආජීවය මිථ්‍යාආජීවය යි දැනගනී. සම්‍යග්ආජීවය සම්‍යගාජීවය යි දැනගනී. ඔහුට ඒ දැනුම සම්මාදිට්ඨි වෙයි.
මහණෙනි, මිථ්‍යා ආජීව කවර යත්: ත්‍රිවිධ කුහනවස්තුයෙන් ලොව විස්මයපත් කිරීම යැ, ලාභ සත්කාරාශයෙන් බිණීම යැ, නිමිත්ත ශීලී බව යැ, නිෂ්පෙසික බව යැ, ලාභයෙන් ලාභ සොයන බව යැ යන මේ මහණෙනි මිථ්‍යාජීව නම් වෙයි.
මහණෙනි, සම්‍යගාජීව කවරෙ යත්: මහණෙනි, මම සම්‍යගාජීවයත් දෙවැදෑරුම් කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක උපදවන සම්‍යගාජීවයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යගාජීවයෙක් ඇති
මහණෙනි, සාස්‍රව පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යගාජීවය කවරෙ යත්: මහණෙනි මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මිථ්‍යාආජීවය හැරපියා සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි. . මහණෙනි, මේ සම්‍යගාජීවය සාස්‍රව යැ, පුණ්‍යභාගිය යැ, උපධිවිපාක දෙනුයේ යි.
මහණෙනි, ආර්‍ය්‍ය අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යගාජීවය කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුවහුගේ මිථ්‍යාආජීවයෙන් යම් දුරු වීමෙක්, වෙන්වීමෙක්, නැවැත්මෙක්, විරමණයෙක් වේද, මහණෙනි, මේ සම්‍යගාජීවය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාආජීවයාගේ ප්‍රහාණයට සම්‍යගාජීවයාගේ ප්‍රතිලාභය වෑයම් කෙරෙයි. ඔහුගේ ඒ වෑයම සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත්‍ව මිථ්‍යාජීවය දුරු කෙරෙයි. ස්මෘතිමත් ව සම්‍යගාජීවයට පැමිණ වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යගාජීවය අනුව යෙති, අනුව වැටෙත්, ඔහු කවරහ යත්: සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති යන මොහු යි.
මහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්‍වාඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මහණෙනි, මාර්‍ගසම්‍යග් දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මාර්‍ගසම්‍යක්සඞ්කල්පය පොහෝනේ වෙයි. සම්‍යක්සඞ්කල්පයෙහි සිටියහුට සම්‍යග්වාචා පොහෝනේ වෙයි. සම්‍යග්වචනයෙහි සිටියහුට සම්‍යක්කර්‍මාන්තය පොහොයි. සම්‍යක්කර්‍මාන්තයෙහි සිටියහුට සම්‍යගාජීවය පොහොයි. සම්‍යගාජීවයෙහි සිටියහුට සම්‍යග්ව්‍යායාමය පොහෝනේ වෙයි. සම්‍යග්ව්‍යායාමයෙහි සිටියහුට සම්‍යක්සතිය පොහෝනේ වෙයි. සම්‍යක්සතියෙහි සිටියහුට සම්‍යක්සමාධිය පොහෝනේ වෙයි. සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට ප්‍රත්‍යවේක්‍ෂණ සංඛ්‍යාත සම්‍යක්ඥානය පොහොයි. ප්‍රත්‍යවේක්‍ෂණ සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට සම්‍යග්විමුක්තිය පොහෝනේ වෙයි. මහණෙනි, මෙසෙයින් ශෛක්‍ෂ අෂ්ටාඞ්ග සමන්‍වාගත වෙයි. රහත්හු දශාඞ්ග සමන්‍වාගත වෙත්.
මහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කෙසෙයින් සම්‍යග්දෘෂ්ටිය පූර්‍වාඞ්ගම වෙයි යත්: මහණෙනි සම්‍යග්දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාදෘෂ්ටි නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් යම් ලාමක වූ අනේක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණ වෙත්. යලි සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යක්සඞ්කල්පයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාසඞ්කල්පය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසඞ්කල්ප හේතුයෙන් නොයෙක් ලාමක වූ අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණවෙත්. සම්‍යක්සඞ්කල්ප හේතුයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යග්වචනයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාවාක්‍ නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාවාක්‍ හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණවෙත්. යලි සම්‍යග්වාචා හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ වැඩීමෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යක්කර්‍මාන්තයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාකර්‍මාන්තය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාකර්‍මාන්තප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණවෙත්. යලි සම්‍යක්කර්‍මාන්තප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යගාජීවයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාජීවය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාජීවප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණ වූවාහු වෙත්. සම්‍යගාජීවප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යග්ව්‍යායාමයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාව්‍යායාමය නිර්ජිර්‍ණ වූයේ වෙයි. මිථ්‍යාව්‍යායාමප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශලධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණ වූවාහු වෙත්. යලි සම්‍යග්ව්‍යායාමප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යක්ස්මෘතියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාස්මෘතිය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාස්මෘතිප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශලධර්‍මයෝ සම්භව වෙත් ද, ඒ අකුශලයෝ ද ඔහුට නිර්ජිර්‍ණ වූවාහු වෙත්. යලි සම්‍යක්ස්මෘතිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාසමාධිය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසමාධි හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජිර්‍ණ වූවාහු වෙත්. යලි සම්‍යක්සමාධි හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාඥානය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාඥානප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජිර්‍ණවෙත්. යලි සම්‍යග්ඥාන හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, සම්‍යග්විමුක්තියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාවිමුක්තිය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාවිමුක්ති හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජිර්‍ණ වූවාහු වෙත්. යලි සම්‍යග්විමුක්ති හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
මහණෙනි, මෙපරිද්දෙන් (සම්මාදිට්ඨි ආදි දස යැ, යළි සම්මාදිට්ඨි ප්‍රත්‍යයෙන් අනේක කුශලධර්‍මයෝ වෙති’ යි ආදීන් වදාළ දස යැයි) කුශලපක්‍ෂයෙහි වූ විසි ධර්‍මයෝ යැ, (‘මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති’ යනාදීන් වදාළ මිච්ඡාදිට්ඨි ආදි දස යැ, ‘මිච්ඡාදිට්ඨි පපච්චයා අනෙකෙ’ යනාදීන් වදාළ දස යැයි) අකුශලපක්‍ෂයෙහි වූ විසි ධර්‍මයෝ යැ යන ශ්‍රමණයක්හු විසින් හෝ බ්‍රාහ්මණයක්හු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවක්හු විසින් හෝ නො පවත්වාලිය හැකි මහාචත්තාරීසක ධර්‍මපර්‍ය්‍යාය පවත්වන ලද්දේ යි.
මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මේ මහාචත්තාරීසක ධර්‍මපර්‍ය්‍යාය ගැරහිය යුතු යැ, බැහැර කළ යුතු යයි සිතන්නේ නම්, දිටුදැමියෙහි මැ (පරා විසින් කී කරුණෙන්) සකාරණ ව ඔහුගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට පැමිණෙත්. ඉදින් භවත් සම්‍යග්දෘෂ්ටිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති. ඉදින් භවත් සම්‍යක්සඞ්කල්ප ගරහා නම්, මිථ්‍යාසඞ්කල්ප ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්වචන ගරහා නම්, මිථ්‍යාවචන ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්කර්‍මාන්ත ගරහා නම්, මිථ්‍යාකර්‍මාන්ත ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යගාජීව ගරහා නම් මිථ්‍යාජීව ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්ව්‍යායාම ගරහා නම්, මිථ්‍යාව්‍යායාම ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍යයෝ වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්ස්මෘති ගරහා නම්, මිථ්‍යාස්මෘති ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්සමාධි ගරහා නම්, මිථ්‍යාසමාධි ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්ඥානය ගරහා නම්, මිථ්‍යාඥාන ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්විමුක්ති ගරහා නම්, මිථ්‍යාවිමුක්ති ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්.
මහණෙනි, යම කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මේ මහාචත්තාරීසක ධර්‍ම ක්‍රමය ගැරැහියැ යුතු කොට, පිළිකෙව් කළ යුතු කොට හඟනේ නම්, මෙලොව්හි මැ ඔහුගේ මේ දස වාදානුවාදයෝ සකාරණ ව ගැරහිය යුතු තැනට එත්.
මහණෙනි, උක්කල දනව්වැසි අහේතුකවාද, අක්‍රියවාද, නාස්තිකවාද ඇති වස්සභඤ්ඤ නම් වාදී කෙනෙක් වූහු ද, ඔහුදු මහාචත්තාරීසක ධර්‍මපරියාය නොගැරහියැ යුතු සේ පිළිකෙව් නො කළයුතු සේ සිතූහු. ඒ කවර හෙයින යත්? තමහට නින්‍දාභය හා ගැටුම් බිය හා පරිභාෂණ බියෙනැ’ යි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මේ මහාචත්තාරීසක සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞම්නස්‍යන් විසින් ගත් සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව පිළිගත්හු.
සත්වැනි මහාචත්තාරීසක සූත්‍ර යි.
3. 2. 8.
ආනාපානසති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද නොහොත් මා ඇසූ හැටි මෙසේ යැ: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම් නම් මුවරමාපායෙහි හැම තැනැ ශීලාදී ගුණයෙන් පළට වූ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග වැඩවසන සේක. ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් මහකසයින් තෙරුන් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් ද, ආයුෂ්මත් මහාකප්පින තෙරුන් ද, ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන් ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද, ආයුෂ්මත් රේවත තෙරුන් ද, ආයුෂ්මත් අනඳ තෙරුන් ද, අන්‍ය වූ මහත් ගුණයෙන් ප්‍රකට වූ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූන් ද සමග පුවරම් මුවරමාපායෙහි වැඩවසන සේක.
තව ද එසමයෙහි ස්ථවිර භික්‍ෂූහු නවක පැවිද්දනට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්‍ෂූහු පැවිද්දන් දසදෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්‍ෂූහු පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්‍ෂූහු පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්‍ෂූහු පැවිද්දන් හතලිස් දෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. තෙර මහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්‍ෂූහු ශීලපරිපූරණාදී පුර්‍වවිශේෂයෙන් වැඩි උදාරතර අපර කෘත්ස්න පරිකර්‍මාදි විශේෂ දනිත්.
එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පොහොයැ පණුරැසියෙහි පවුරුණු ඇති සඳ පිරුණු මැදිපොහෝරැය භික්‍ෂුසංඝපරිවෘත ව අභ්‍යවකාශයෙහි වැඩහුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් මහණුන් බලා ඒ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, මේ ප්‍රතිපදායෙන් (මම්) ආරාධිතයෙමි. මහණෙනි, මේ ප්‍රතිපදායෙන් මම ඇරැයු සිතැතියෙමි. එහෙයින් මහණෙනි, නො පත් අර්‍හත්ඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගත ඵලයා ගේ අධිගමය පිණිස නො පසක් කළ නිවන පසක් කරණු පිණිස වෙසෙසින් වීර්‍ය්‍යාරම්භ කරවු. මම මේ සැවතෙහි මැ පිපි කුමුදු ඇති චාතුමාසිනිය හෙවත් පශ්චිමකාර්තික පූර්ණිමාව දක්වා බලමි’යි වදාළහ.
“භාග්‍යවතුන් වහන්සේ එ සැවැත්හි මැ කුමුදු ඇති ඉල්පොහොය දක්වා බලන සේක් ලැ” යි දනව්වැසි සඟහු ඇසූහු මැ ය. ඒ දනව්වැසි භික්‍ෂූහු බුදුන් දක්නට පැමිණෙත්. ඒ තෙර මහණහු වැඩි පමණින් නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් දසදෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් සතලිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙත්. තෙරමහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්‍ෂූහු පූර්‍ව විශේෂයට වඩා අපර වූ ශ්‍රෝතාපත්ති ආදි උදාර විශේෂය වෙසෙසින් දනිත්.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදින පොහොලත් පණුරැස කුමුදු පිපි ඉල් පුණු පොහෝදා රැය බික්සඟන විසින් පිරිවරන ලදු ව අබවස හුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් බික්සඟන දැක ඒ සඟුන් ඇමතූ සේක. “මහණෙනි, මේ භික්‍ෂුපර්‍ෂත් නො සිස් යැ. මහණෙනි, මේ භික්‍ෂූ පර්‍ෂත් නිෂ්ප්‍රලාප යැ, ශුද්ධ යැ, අධිගමසාරයෙහි පිහිටි යැ. සම්බුදු පිරිසෙක් ආහුනෙය්‍ය වේ ද, පාහුනෙය්‍ය වේ ද, දක්ඛිණෙය්‍ය වේ ද, අඤ්ජලිකරණීය වේ ද, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ද, මහණෙනි මේ භික්‍ෂු සංඝ තෙමේ එබඳු යැ. මහණෙනි, මේ පිරිස එබඳු යැ යම්බඳු පිරිසක් කෙරෙහි දුන් ඇලුප් දනෙක් බොහෝ වේ ද, දුන් බොහෝ දනෙක් ඉබොහෝ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූ සඞ්ඝ එබඳු යැ, මහණෙනි, මේ පිරිස එබඳු යැ. යම්බඳු පිරිසෙක් ලෝකයා ගේ දර්‍ශනයට දුර්‍ලභ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූසංඝ එබඳු යැ. මහණෙනි, මේ පර්‍ෂත් එබඳු යැ. යම්බඳු පිරිසක් දක්නට යොදුන් දහසකුදු වුව මාර්ගෝපකරණ ගෙනත් යන්නට නිසි වේ ද, මහණෙනි, මේ බික්සඟහු එබන්දහ, මේ පර්‍ෂත් එබඳු වෙතී’ වදාළෝ.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ වුසූ මඟබඹසර ඇති කළ කරණී ඇති තැබූ කෙලෙස්බර ඇති පැමිණි සදර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ මහණහු ඇත. මෙබඳු රහත් මහණහු ද බික්සඟුන් කෙරෙහි ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චෝරම්භාගිය සංයෝජන යන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි මැ පිරිනිවෙනසුලු ඒ ශුද්ධාවාසලෝකයෙන් පෙරළා නො එන සැහැවි ඇති භික්‍ෂූහු වෙති. මහණෙනි, බික්සඟුන් කෙරෙහි මෙබඳු වූ අනාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයෝජනයන් ගේ පරික්‍ෂය හේතුයෙන් රාග ද්වේෂ මෝහයන් ගේ තානවයෙන් සකෘදාගාමී ව වරෙක මැ මෙලොවට අවුත් දුක් කෙළෙවර කරන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සකෘදාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයෝජනයන් ගේ පරික්‍ෂය හේතුයෙන් ශ්‍රෝතාපන්න ව අවිනිපාත ස්වභාව ඇති ව නියත ව සම්බෝධිපරායණ වූ සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ශ්‍රෝතාපන්න භික්‍ෂූහු ද ඇත්තාහ.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සීවටන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සතිපට්ඨාන භාවනානු යොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සම්‍යක් ප්‍රධානවීර්‍ය්‍ය පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මහණහු දු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර ඍද්ධිපාදයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඍද්ධිපාද භාවනානුයෝගී මහණහු දු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර ඉන්‍ද්‍රියභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඉන්‍ද්‍රිය භාවනානුයෝගී මහණහුද වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර බලභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බලභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සප්තබෝධ්‍යංග භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බෝධ්‍යඞගභාවනානුයෝගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අරිඅටඟිමඟ පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මාර්‍ගභාවනානුයොගී මහණහුදු වෙත්.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙත්තාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මෙත්තාභාවනානුයොගී මහණහු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි කරුණාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් කරුණානුභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මුදිතාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මුදිතාභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි උපේක්‍ෂා භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් උපේක්‍ෂාභාවනානු යොගී මහණහුදු වෙත්. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අනිත්‍යසංඥා භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අනිත්‍යභාවනානු යොගී මහණහුදු වෙත්.
මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ආනාපන්සී භාවනානුයෝගයෙහි යෙදී වසන මහණහු ඇත. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී භාවනා මහත්ඵල මහානිශංස වෙයි. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් සපුරාලයි. භාවිත බහුලීකෘත සතර සීවටන්හු සප්තබෝධ්‍යඞ්යන් සපුරාලති. භාවිත බහුලීකෘත සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති සපුරලත්.
මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත අනාපන්සී මහත්ඵල මහානිශංස වේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි වෘක්‍ෂමූලගත වේවයි ශුන්‍යාගාරගත වේවයි පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කමටහන් අභිමුඛ කොට එළවා හිඳී. හේ සිහි ඇති ව ම ආශ්වාස කෙරෙයි, සිහි ඇති ව ප්‍රාශ්වාස කෙරෙයි.
දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරනුයේ ‘දීර්‍ඝ කොට අසස් කරමී’ නුවණින් දනී. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ ‘දීර්‍ඝ කොට පසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කරනුයේ හ්‍රස්ව කොට අසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව කොට පසස් කරමී’ නුවණින් දනී. සර්‍වකායප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. සර්‍වකායප්‍රතිසංවේදී ව පසස් කරමී’ හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි.
ප්‍රීති ප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී හික්මෙයි. ප්‍රීති ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී හික්මෙයි. සුඛ ප්‍රතිසංවේදී ව අසස් කරමී’ හික්මෙයි. සුඛ ප්‍රතිසංවේදී ව පසස් කරමී, හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව පසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවේදී ව පසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමෝද කරමින් අසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමෝද කරමින් පසස් කරමී හික්මෙයි. චිත්තය සමාධාන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය සමාධාන කරමින් කරමින් පසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් පසස් කරමී’ හික්මෙයි.
අනිත්‍ය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. අනිත්‍ය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් අසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත වූ ආනාපන්සී භාවනාව මහත් ඵල මහානිශංස වෙයි.
තවද මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් පරිපූර්‍ණ කෙරෙයි යත්: මහණෙනි, යම් කලෙක මහණ දීර්‍ඝ කොට හෝ අසස් කරනුයේ ‘දීර්‍ඝ කොට අසස් කරමී’ දැනගනීද, දීර්‍ඝ කොට හෝ පසස් කරනුයේ ‘දීර්‍ඝ කොට පසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ අසස් කරනුයේ ‘හ්‍රස්ව කොට අසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ පසස් කරනුයේ ‘හ්‍රස්ව කොට පසස් කරමී’ දැනගනීද, ‘සර්‍වකාය ප්‍රතිසංවේදී ව ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සර්‍වකාය ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍යය දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් ආශ්වාස ප්‍රාශ්වාස කෙනෙක් ඇද්ද, එය පෘථිව්‍යාදී චතුර්විධ කායයන් කෙරෙහි කායාන්‍යතරයක් කොට මම මෙසේ කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව ආතාපී ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍යය දුරු කොට වාසය කෙරෙයි.
මහණෙනි, යම් කලෙක මහණ ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මෙයි. ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමී’ හික්මේ ද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්‍ධ සංඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරෙයි. යම් ආශ්වාස ප්‍රාශ්වාසයන් පිළිබඳ සුන්‍දර මනසිකාරයෙක් වේ ද, මම මෙසේ වේදනාවන් කෙරෙහි එය අන්‍යතරයෙකි’යි කියමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාස කරන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ ‘චිත්තප්‍රතිසංවේදී ව ආශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමෝද කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමෝද කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය පහා වාස කෙරෙයි. මහණෙනි, මම මුෂිත ස්මෘති ඇති සම්ප්‍රඥාන නැතියහුට අනාපන්සී භවුන් නො වදාරමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ ආතාප ඇති වැ සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති වැ ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය පහා වාස කරන්නේ වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ අනිත්‍යානුදර්ශී වූයේ ආශ්වාස කෙරෙමී හික්මේද, අනිත්‍යානුදර්ශී වූයේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නෙම් ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය පහා වාස කෙරෙයි. හේ අභිධ්‍යා දෞර්‍මනස්‍යයන් පිළිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ ද, ඒ ප්‍රඥායෙන් දැක මනා කොට එහි ආලම්බනඅධ්‍යූපේක්‍ෂායෙන් උපෙක්‍ෂණ කරනුයේ වෙයි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ ධර්‍මයෙහි ධර්‍මය අනුව නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාස කරනුයේ නම් වෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත අනාපන්සී සතර සීවටන් සපුරනු වේ.
මහණෙනි, කෙසේ භාවිත වූ කෙසේ බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බෝධ්‍යඞ්ගයන් සපුරාලත් ද යත්: මහණෙනි, යම් කලෙක මහණ කයෙහි කය නුවණින් දක්නේ ආතාප ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුට ස්මෘතිය එළඹ සිටියා වෙයි, මුෂිත නො වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, එසමයෙහි මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
ඒ මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් (අනිත්‍යාදි වශයෙන්) විචින්වන කෙරෙයි, ප්‍රවිචය කෙරෙයි, ප්‍රකර්‍ෂ මීමාංසාවට එළඹෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් විචින්වන කෙරේද, ප්‍රවිචය කෙරේද, මීමාංසාවට එළඹේ ද, එසමයෙහි ඒ මහණහට ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන කරන ප්‍රවිචය කරන පරිවිමාංසාවට පැමිණෙන ඒ මහණ හට අසංලීන වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන ප්‍රවිචය කරන විමසීමට පැමිණෙන ඒ මහණහට අසංලීන වීර්‍ය්‍යය ආරබ්ධ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය පටන්ගන්නා ලද වෙයි. එසමයෙහි ඒ මහණ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී. මහණෙනි, යම් කලෙක රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බෝධ්‍යඞ්ග ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රීති සම්බෝධ්‍යඞ්ග වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
ප්‍රීති සිත් ඇති ඒ මහණහු ගේ නාමකය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති ඒ මහණහුගේ නාමකයත් සන්හිඳේද, සිතත් සන්හිඳේද, එසමයෙහි ඒ මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
සන්හුන් නාමකය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කාය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වේ ද, එසමයෙහි ඒ මහණහට සමාධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ සමාධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
හේ එසේ සමාධිගත චිත්තය මනා කොට (ආලම්බනඅධ්‍යුපේක්‍ෂායෙන්) අධ්‍යුපේක්‍ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක ඒ මහණ සමාධිගත චිත්තය මනාකොට අධ්‍යුපේක්‍ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහට උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
මහණෙනි, යම් කලෙක මහණ වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ධර්‍මය දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුගේ සිහිය එළැඹ සිටියා වෙයි, නුමුළා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළැඹ සිටියා වේ ද, නුමුළා වේ ද එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි මහණහු ගේ ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණ භාවයට යෙයි.
හේ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයයි, වෙසෙසින් සොයයි, විමසීමට පැමිණෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයාද, වෙසෙසින් සොයාද, හැමසේ විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහට ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
ඒ දහම ප්‍රඥායෙන් සොයන වෙසෙසින් සොයන හැමසේ විමසීමට පැමිණි ඒ මහණ විසින් වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි. වැර අසංලීන වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් සොයන ප්‍රවිචය කරන මීමාංසාවට පැමිණෙන ඒ මහණහට වීර්‍ය්‍යය ආරබ්ධ වේ ද, ඒ වැර වැර අසංලීන වේද, එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
ආරබ්ධ වීර්‍ය්‍ය ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලෙක ආරබ්ධ වීර්‍ය්‍ය ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් වැඩීමට යෙයි.
ප්‍රීති සිත් ඇත්තහුගේ කය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සන් හිඳේ ද, සිතත් සන් හිඳේ ද, මහණෙනි, එසමයෙහි මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණ භාවයට යෙයි.
සන්හුන් කය ඇති එහෙයින්ම සුඛිත වූවහු ගේ සිත සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කය ඇති සුඛිත වූ මහණහු ගේ සිත එකඟ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් සමාධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට සමාධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.