Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 4801-4900 න් 6387

ශාරිපුත්‍රය, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි ... ශාරිපුත්‍රය, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
“ශාරිපුත්‍රය, මම මනස්සමාචාර යත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන මනස්සමාචාර වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තර සඳහා කියන ලද.
“ශාරිපුත්‍රය, මම චිත්තෝත්පාදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන චිත්තෝත්පාද යැ” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චිත්තෝත්පාදය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චිත්තෝත්පාදය සෙවිය යුතු.
ශාරිපුත්‍රය, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි, අභිධ්‍යා සහගත සිතින් වෙසෙයි. ව්‍යාපාද ඇතියේ වෙයි, ව්‍යාපාද සහගත සිතින් වෙසෙයි. විහිංසා ඇතියේ වෙයි, විහිංසාසහගත සිතින් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු චිත්තෝත්පාදය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි, අනභිධ්‍යාසහගත සිතින් යුක්ත ව වෙසෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි අව්‍යාපාදසහගත සිතින් වෙසෙයි. අවිහිංසා ඇතියේ වෙයි. අවිහිංසාසහගත සිතින් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු චිත්තෝත්පාදය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
“ශාරිපුත්‍රය, මම චිත්තෝත්පාදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන චිත්තෝත්පාද යැ” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.
“ශාරිපුත්‍රය, මම සංඥාප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් තෙල කරුණ කියන ලද, කුමක් සඳහා තෙල බස් කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු සංඥාප්‍රතිලාභය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු සංඥාප්‍රතිලාභය සෙවිය යුතු.
ශාරිපුත්‍රය, කෙබඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි, අභිධ්‍යාසහගත සංඥායෙන් යුක්ත ව වෙසෙයි. ව්‍යාපාද ඇත්තේ වෙයි, ව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. විහිංසා ඇතියේ වෙයි. විහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි, අනභිධ්‍යාසහගත සංඥායෙන් යුක්ත ව වෙසෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි, අව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. අවිහිංසා ඇතියේ වෙයි, අවිහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
“ශාරිපුත්‍රය, මම සංඥාප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.
“ශාරිපුත්‍රය, මම දෘෂ්ටිප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් තෙල කරුණ කියන ලද. කුමක් සඳහා තෙල කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු දෘෂ්ටිප්‍රතිලාභය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවිය යුතු ය.
ශාරිපුත්‍රය, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දුන් දැය ඵල විපාක නැත, ... යම් කෙනෙක් මෙ ලොවත් පරලොවත් මොනොවට දැන ප්‍රත්‍යක්‍ෂ කොට දැනගනිත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් ලොව නැති’යි. ශාරිපුත්‍රය, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මෙබඳු දෘෂ්ටි අත්තේ වෙයි: දුන් දැය ඵල විපාක ඇත, .... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මොනොවට දැන ප්‍රත්‍යක්‍ෂ කොට දැනැගනිත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණෝ ලොව ඇතැ’ යි. ශාරිපුත්‍රය, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභ සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
“ශාරිපුත්‍රය, මම දෘෂ්ටිප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.
ශාරිපුත්‍රය, මම ආත්මභාවප්‍රතිලාභයත් දෙපරිද්දෙකින් ... මා විසින් තෙල බසෙක් කියන ලද ද, කුමක් සඳහා තෙල බස් කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු ... නො සෙවිය යුතු. තවද ශාරිපුත්‍රය, යම්බඳු ආත්මභාවප්‍රතිලාභයක් ... කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ආත්මභාවප්‍රතිලාභය සෙවිය යුතු.
ශාරිපුත්‍රය, කෙබඳු ... කුශලධර්‍මයෝ පිරිහෙත් ද, ශාරිපුත්‍රය, දුක් සහිත වූ ... කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු ... කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, නිදුක් වූ ... කුශලධර්‍මයෝ වැඩෙත්. ශාරිපුත්‍රය මම ආත්මභාවප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන ආත්මභාවප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදී.
ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් කියන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තර හෙයින් අර්‍ත්‍ථ දත යුත්තේ යි.
ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: ‘වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දනිමි’:
ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. කුමක් සඳහා තෙල බස් වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු චක්‍ෂුර්විඥේය රූපයක් සෙවුනාහට අකුශල ධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චක්‍ෂුර්විඥේය රූපය නො සෙවිය යුතු ය. තවද වහන්ස, යම්බඳු චක්‍ෂුර්විඥේය රූපයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චක්‍ෂුර්විඥේය රූපය සෙවිය යුතු ය. “ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි” යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තර සඳහා වදාරන ලදි.
ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලද. කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය සෙවිය යුතු ය. ‘ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
ශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. තෙල බස් කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
ශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. තෙල බස් කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ජිහ්වාවිඥේය රසයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ජිහ්වාවිඥේය රසය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු ජිහ්වාවිඥේය රසයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ජිහ්වාවිඥේය රසය සෙවිය යුතු. ශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
ශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලදි. තෙල කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයක්, සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලද, තෙල කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු මනෝවිඥේය ධර්‍මයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු මනෝවිඥේය ධර්‍මය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු මනෝවිඥේය ධර්‍මයක්, සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු මනෝවිඥේය ධර්‍මය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ ධර්‍මයා ගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දනිමි’ යි.
සාධු සාධු ශාරිපුත්‍රය, මැනැවැ ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් දෙසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයා ගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නාව.
ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, මෙබඳු ... නො සෙවිය යුතු ය. යළි ශාරිපුත්‍රය, යම්බඳු ... අසේවිතව්‍ය දැ’ යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදැ’ යි.
ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල පවසන ලද, තෙල කුමක් සඳහා පවසන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය නො සෙවිය යුතු ... එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය සෙවිය යුතු ... එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය නො සෙවිය යුතු ය ... එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය සෙවිය යුතු ... එබඳු ජිහ්වාවිඥේය රසය නො සෙවිය යුතු ය ... එබඳු ජිහ්වාවිඥේය රසය සෙවිය යුතු ... එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය නො සෙවිය යුතු ය ... එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය සෙවිය යුතු. ...
ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් ... එබඳු මනෝවිඥේය ධර්‍මය නො සෙවිය යුතු ය, ... එබඳු මනෝවිඥේය ධර්‍මය සෙවිය යුතු. ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් යම් බසෙක් පවසන ලද ද, මෙය තෙල විස්තරය සඳහා පවසන ලදි.
ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් පවසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කරන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දත යුත්තේ යි.
ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ග්‍රාමයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම නියම්ගමත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම නගරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ජනපදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම පුද්ගල ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: ‘වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දැනගනිමි’:
ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද, තෙල භාෂිතය කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චීවරය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චීවරය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් භාෂිතයක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ග්‍රාමයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම නියම්ගමත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම නගරයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ජනපදයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම පුද්ගලයාත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දැනගනිමි.
සාධු සාධු ශාරිපුත්‍රය, මැනැවැ ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් කියන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නාව.
ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා කියන ලදි. ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද. තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු පිණ්ඩපාතයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා කියන ලදි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි ... මෙබඳු ශයනාසනය නො සෙවිය යුතු ය ... මෙබඳු ශයනාසනය සෙවිය යුතු ය ... මෙබඳු ග්‍රාමය නො සෙවිය යුතු ය ... මෙබඳු ග්‍රාමය සෙවිය යුතු ය ... මෙබඳු නිගමය නො සෙවිය යුතු ය ... මෙබඳු නිගමය සෙවිය යුතු ය ... මෙබඳු නගරය නො සෙවිය යුතු ය ... මෙබඳු නගරය සෙවිය යුතු ය ... මෙබඳු ජනපදය නො සෙවිය යුතු ය ... මෙබඳු ජනපදය සෙවිය යුතු ය ... ‘ශාරිපුත්‍රය, මම පුද්ගලයාත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ තෙල බස් මා විසින් පවසන ලද, තෙල කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු පුද්ගලයකු සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා වදාරන ලදි.
ශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කරන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දත යුතු.
ශාරිපුත්‍රය, ඉදින් හැම ක්‍ෂත්‍රියයෝ මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නාහු නම්, හැම ක්‍ෂත්‍රියයනට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වන්නේය. ශාරිපුත්‍රය, ඉදින් හැම බ්‍රාහ්මණයෝ ... වෛශ්‍යයෝ ... ශාරිපුත්‍රය, ඉදින් හැම ශුද්‍රයෝ මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නාහු නම්, හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුවයට වන්නේය. ශාරිපුත්‍රය, ඉදින් සමාරක සබ්‍රහ්මක් සදේවක ලෝක ද, දෙව්මිනිසුන් සහිත ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නේ නම්, මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකයට ද, දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාවටද දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුවයට වන්නේය යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මේ සේවිතව්‍යාසේවිතව්‍ය ධර්‍මපර්‍ය්‍යාය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළ සේකැ’ යි.
සතරවැනි සේවිතබ්බාසේවිතබ්බ සුත්‍රයි.
3. 2. 5.
බහුධාතුක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේවඩු මහසිටුහු ගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල බහුධාතුක සුත වදාළ සේක.
මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, ගිනි ඇවිළැගත් නළ (බට) සෙවෙනිගෙයක් වේවයි තණ සෙවෙනි ගෙයක් වේවයි ඇතුළත පිටත සුණු පිරියම් කළ වැළැහු වාත ප්‍රවේශ ඇති පැහැසු දොර කවුළු ඇති පියු වාතපාන ඇති කුළුගෙවලුදු යම් සේ දවා ද, එසෙයින් මැ මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනා හු ද එ හැමබාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, මෙසේ බාල සප්‍රතිභය වෙයි, පණ්ඩිත අප්‍රතිභය වේ. බාල උපද්‍රව සහිත වෙයි, පණ්ඩිත අනුපද්‍රව වේ. බාල උපසර්‍ග සහිත වෙයි, පණ්ඩිත අනුපසර්‍ග වේ. මහණෙනි, පණ්ඩිතයා නිසා භයෙක් නැත, පණ්ඩිතයා නිසා උපද්‍රවයෙක් නැත, පණ්ඩිතයා නිසා උපසර්‍ගයෙක් නැත්. එ හෙයින් මහණෙනි, මෙහි ලා පණ්ඩිත වන්නම් හ. විමංසක වන්නම්හ,යි මෙසේ හික්මිය යුතු. මහණෙනි තොප විසින් මෙසේ ම හික්මිය යුතු යයි.
මෙසේ වදාළ කල්හි ආනන්‍දයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, කිපමණෙකින් මහණ පණ්ඩිත යැ විමංසක යැ යි කියන්නට නිසි වේදැයි.
ආනන්‍දය, මහණ යම් හෙයකින් ධාතු කුශල වේ ද, ආයතනකුශල වේ ද, ප්‍රතීත්‍යසමුත්පාද කුශල වේ ද, ස්ථානාස්ථානකුශල වේ ද, ආනන්‍දය, මෙතෙකින් මහණ පණ්ඩිත යැ විමසෙක යැ,යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, කිපමණෙකින් ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ දැ,යි.
ආනන්‍දය, මේ අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්‍ෂුර්ධාතු රූප ධාතු චක්‍ෂුර්විඥානධාතු යැ, ශ්‍රෝත්‍රධාතු ශබ්ද ධාතු ශ්‍රෝතවිඥානධාතු යැ, ඝ්‍රාණ ධාතු ගන්‍ධධාතු ඝ්‍රාණවිඥාන ධාතු යැ, ජිහ්වාධාතු රස ධාතු ජිහ්වාවිඥානධාතු යැ, කායධාතු ස්ප්‍රෂ්ටව්‍යධාතු කායවිඥාන ධාතු යැ, මනෝධාතු ධර්‍මධාතු මනෝවිඥානධාතු යි. ආනන්‍දය, යම් හෙයකින් මේ අටළොස් ධාතුන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැ,යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ’යි.
ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: පෘථුවිධාතු යැ, අබ්ධාතු යැ, තෙජොධාතු යැ, වායුධාතු යැ, ආකාශධාතු යැ, විඥානධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ්ධාතූන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැ,යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ’යි.
ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: සුඛධාතු යැ දුඃඛධාතු යැ සෞමනස්‍යධාතු යැ දෞර්‍මනස්‍යධාතු යැ උපේක්‍ෂාධාතු යැ අවිද්‍යාධාතු යයි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ්ධාතූන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතු කුශල මහණැ,යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතු කුශල මහණැ,යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ,යි.
ආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: කාමධාතු යැ නෙක්ඛම්මධාතු යැ ව්‍යාපාදධාතු යැ අව්‍යාපාදධාතු යැ විහිංසාධාතු යැ අවිහිංසාධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ් ධාතූන් දනී ද දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැ යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැ යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ යි.
වන්නේ ය ආනන්‍දය, ආනන්‍දය, මේ ධාතූහු තිදෙනෙක් වෙති: කාමධාතුයැ රූප ධාතු යැ අරූප ධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ තුන් ධාතූන් දනී ද දකී ද ආනන්‍දය මෙතෙකිනුදු ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ ය’යි.
යළි වහන්ස, යම් කරුණෙකින් ධාතු කුශල මහණැ යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුත් වන්නේ දැ යි.
වන්නේය, ආනන්‍දය, ආනන්‍දය, මේ ධාතූහු දෙදෙනෙක් වෙති: සඞ්ඛත ධාතු ද අසඞ්ඛත ධාතු දැ’යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ දෙ ධාතූන් දනී ද දකී ද, මෙතෙකිනුදු ධාතු කුශල මහණැයි කියන්නට නිසි වේ ය’යි.
යළි වහන්ස, කිපමණෙකින් ආයතනකුශල මහණැයි කියන්නට නිසි වේ දැ යි.
ආනන්‍දය, මේ අධ්‍යාත්මික බාහ්‍ය වූ ආයතනයෝ සදෙනෙක් වෙති: ඇස ද රූපයෝ ද කන ද ශබ්දයෝ ද නැහැය ද ගන්‍ධයෝ ද දිව ද රසයෝද කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද සිත ද ධර්‍මයෝ දැ යි. ආනන්‍දය, යම් කරුණකින් මේ ආධ්‍යාත්මික බාහ්‍ය වූ ෂඩායතනයන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකින් ආයතන කුශල මහණැයි කියන්නට නිසි වේ යැයි.
යළි වහන්ස, කිපමණෙකින් ප්‍රතීත්‍යසමුත්පාදකුශල මහණැ,යි කියන්නට නිසි වේ දැ’යි.
ආනන්‍දය, මෙ සස්නෙහි මහණ මෙසේ දැනගනී: මේ අවිද්‍යාදි ප්‍රත්‍යය ඇති කල්හි මේ සංස්කාරාදි ඵලය වෙයි. මේ අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ ඉපැදීමෙන් මේ සංස්කාරාදි ඵලය උපදී. මේ අවිද්‍යාදි ප්‍රත්‍යය නැති කල්හි මේ සංස්කාරාදි ඵලය නො වෙයි. මේ අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ අනුත්පාද නිරෝධයෙන් මේ සංස්කාරාදි ඵලය නිරුද්ධ වෙයි. එ කිසේ යැ යත්: අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ සම්භය වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විපාක විඥානය වෙයි. ප්‍රතිසන්‍ධිවිඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. කර්‍මභව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ හා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ සම්භව වෙත්. මෙසේ යථෝක්ත අසම්මිශ්‍ර දුඃඛසමුදායයාගේ නිර්‍වෘතිය වෙයි. යළි අවිද්‍යාවගේ මැ විරාග සංඛ්‍යාත මාර්‍ගයෙන් අශේෂ නිරෝධය හේතු කොටගෙන සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධය වෙයි. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වෙයි. විඥානනිරෝධයෙන් නාමරූපයන්ගේ නිරෝධය වෙයි. නාමරූප නිරෝධයෙන් ෂඩායතනයාගේ නිරෝධය වෙයි. ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශයාගේ නිරෝධය වෙයි. ස්පර්‍ශ නිරෝධයෙන් වේදනාවන්ගේ නිරෝධය වෙයි. වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානයන්ගේ නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ හා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ අසම්මිශ්‍ර වූ යථෝක්ත දුඃඛරාශිහුගේ අනුත්පාද නිරෝධය වේ. ආනන්‍දය, මෙතෙකින් ප්‍රතීත්‍යසමුත්පාද කුශල මහණැ යි කියන්නට නිසි වේ යයි.
යළි වහන්ස, කිපමණෙකින් ස්ථානාස්ථානකුශල මහණැ,යි කියන්නට නිසි වේ දැ’යි.
ආනන්‍දය, මේ සස්නෙහි මහණ යම් කරුණෙකින් මාර්‍ගදෘෂ්ටිසම්පන්න (ස්‍රෝතාපන්න ආර්‍ය්‍යශ්‍රාවක) පුද්ගල (චාතුර්භූමක සංස්කාරයන් කෙරෙහි) කිසි එක් සංස්කාරයකුදු නිත්‍ය වශයෙන් ගන්නේ ද තෙල හේතු රහිත යැ, ප්‍රත්‍යය රහිත යැ, තෙල කරුණ නො ලැබේ’යයි දැනගනී. යළි තෙල කරුණ ඇත: යම් හෙයකින් පෘථග්ජන කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ ද, තෙල කරුණ ඇතැ යි දැනගනී.
තෙල කරුණ අහේතුකය, අප්‍රත්‍යය: යම් හෙයකින් මාර්‍ගදෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගල (චාතුර්භූමක සංස්කාරයන් කෙරෙහි) කිසි එක ද සංස්කාරයක් සුඛ වශයෙන් ගන්නේය යන තෙල කරුණ නැතැයි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් (ත්‍රෛභූමක සංස්කාරයන් කෙරෙහි) කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල කරුණ අහේතුක ය, අප්‍රත්‍යය: යම් කරුණකින් මාර්‍ග දෘෂ්ටියෙන් සමන්‍වාගත පුද්ගල (චාතුර්භූමක ධර්‍මයන් කෙරෙහි) කිසි එක ද ධර්‍මයක් ආත්ම විසින් ගන්නේය යන තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් (ත්‍රෛභූමක ධර්‍මයන් කෙරෙහි) කිසි ධර්‍මයක් ආත්ම විසින් ගන්නේ ය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
තෙල කරුණ අහේතුක ය අප්‍රත්‍යය: යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්න (සෝවාන්) පුඟුල් මව දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණකින් පුහුදුන් පුඟුල් මව දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් සෝවාන් පුඟුල් පියා දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් පියා දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින්සෝවාන් පුඟුල් රහතක්හු දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණෙකින් පුහුදුන් පුඟුල් රහත්හු දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් කරුණෙකින් මාර්‍ගදෘෂ්ටියෙන් සමන්‍වාගත පුද්ගල (වධකචේතනායෙන්) ප්‍රදුෂ්‍ය වූ සිත් ඇති යේ තථාගතයන් වහන්සේගේ (ජීවමානක සිරුරුහි කුඩා මැස්සක බොන පමණකුදු) ලෙහෙ උපදවන්නේ ය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් ප්‍රදුෂ්‍ය වූ සිත් ඇතියේ තථාගතයන් වහන්සේගේ (දිවමන් සිරුරුහි කුඩා මැස්සක බොන පමණකුදු) ලෙහෙ උපද වන්නේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් සෝවාන් පුඟුල් (සමාන සංවාසක) සංඝයා භේද කරන්නේය යන තෙල කරුණ නැතැ’යි දැන ගනී. තෙලකරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් සංඝයා භේද කරන්නේ ය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් කරුණකින් සෝවාන් පුද්ගල අන් ශාස්තෘ වක්හු (මේ මාගේ ශාස්තෘ යයි) ගන්නේය යන මෙකරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුද්ගල අන් ශාස්තෘවක් හු (මේ මාගේ ශාස්තෘ යයී) ගන්නේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ලෝකධාතුයෙක් හි අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ දෙදෙනෙක් පෙර පසු නො වැ එක්වට උපදනාහුය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක එක් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් උපදනාහ යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක සක්විති රජවරු දෙදෙනෙක් පර පසු නො වැ එක්වට උපදනසුලුය යන තෙල නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක එක් සක්විති රජෙක් උපදනේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නීය යන තෙල කරුණ නැතැ යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ: අනවකාශ ය: යම් හෙයකින් ස්ත්‍රියක් සක්විතිරජ වන්නීය යන තෙල කරුණ නැතැයි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් සක්විති රජ වන්නේ ය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් ශක්‍රභාවය කරන්නීය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් ශක්‍රභාවය කරන්නේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් මාර බව කරන්නීය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂ මාර බව කරන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් බ්‍රහ්මත්‍වය කරන්නේය යන තෙල කරුණ නැතැ යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂ බ්‍රහ්මත්‍වය කරන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් කායදුශ්චරිතයා ගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකයෙක්උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් වාග්දුශ්චරිතයාගේ ... මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකය උපදනේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල අස්ථාන යැ අනවකාශයි: යම් හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ නැතැ’යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කාය සුචරිතයාගේ ඉෂ්ටකාන්ත මනාප විපාකය උපදනේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් වාක්සුචරිතයා ගේ ... යම් හෙයකින් මනස්සුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනස්සුචරිතයා ගේ ඉෂ්ට කාන්ත මනාප විපාකය උපදනේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් කායදුශ්චරිතසමඞ්ගී පුද්ගල ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් සුගති ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කායදුශ්චරිත සමඞ්ගී පුද්ගල එ කරුණෙක් ඒ හේතුයෙන් අපාය දුර්‍ගතිවිනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
තෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් වාග් දුශ්චරිත සමඞ්ගී ... මනෝදුශ්චරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයටපැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනෝදුශ්චරිත සමංගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
තෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් කාය සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත නිරයෙහි උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කාය සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
තෙල කරුණ අස්ථාන යැ, අනවකාශයි: යම් හෙයකින් වාක්සුචරිත සමඞ්ගී පුද්ගල ... මනෝ සුචරිත සමඞ්ගී පුද්ගල එ කරුණෙන් ඒ ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගත විනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණෙකින් මනස්සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් එ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී. ආනන්‍දය, මෙතෙකින් ඨානාඨානකුසල මහණැයි කියන්නට නිසි වේ යයි වදාළ සේක.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට තෙල සැළකළහ: ආශ්චර්‍ය්‍ය යැ වහන්ස, අද්භූත යැ වහන්ස, වහන්ස, මේ කිනම් ධර්‍මපර්‍ය්‍යා යෙක් දැ යි.
එහෙයින් ආනන්‍දය, තෙපි මේ ධර්‍මපර්‍ය්‍යාය බහුධාතුක ’ යී ද ධරව, චතුෂ්පරිවර්‍ත යී ද ධරව, ධර්‍මාදර්‍ශ යී ද ධරව, අමෘතදුන්‍දුභී යී ද ධරව, අනුත්තර සංග්‍රාමවිජය යී ද ධරව’යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මේ බහුධාතුක සුත වදාළසේක. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ’යි.
පස්වැනි බහුධාතුක සූත්‍ර යි.
3. 2. 6.
ඉසිගිලි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පව්වෙහි වැඩවසන සේක. එකල්හි එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්‍ෂූන් අඬගාවදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල ඉසිගිලි සුත වදාළ සේක:
මහණෙනි, තෙපි තෙල වෙභාර පර්‍වතය දක්නාහු නො දැ’ යි.
එසේ යැ වහන්ස,
මහණෙනි තෙල පෙනෙන වෙභාර පර්‍වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල පාණ්ඩව පර්‍වතය දක්නාහු නො දැ’ යි.
එසේ යැ වහන්ස.
මහණෙනි, තෙල පෙනෙන පාණ්ඩව පර්‍වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල වෛපුල්‍ය පර්‍වතය දක්නාහු නො දැ’ යි.
එසේ යැ වහන්ස.
මහණෙනි, තෙල පෙනෙන වෛපුල්‍ය පර්‍වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල ගෘධ්‍රකූට පර්‍වතය දක්නාහු නො දැ’ යි.