Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 4701-4800 න් 6387

යළිදු මහණෙනි, ශාරිපුත්‍ර ප්‍රීතියගේ ද විරාගයෙන් ධ්‍යානෝපේක්‍ෂා ඇති ව වෙසෙයි. ස්මෘති ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව කයින් සුවය ද විඳී, යම් ධ්‍යානයක් හේතු කොටගෙන ආර්‍ය්‍යයෝ ඒ ධ්‍යාන සමඞ්ගී පුඟුල්හු උපේක්‍ෂා ඇත්තෙක ස්මෘතිමත් යැ සුඛ විහරණ ඇත්තෙකැ යි පවසත් ද, ඒ තුන්වැනි දැහැනට පැමිණ වෙසෙයි. තවද තෘතීය ධ්‍යානයෙහි සුඛය ද ස්මෘතිය ද සම්ප්‍රජන්‍යය ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, උන් විසින් ඒ ධර්‍මයෝ අනුපරිපාටියෙන් ව්‍යවස්ථිත වූවාහු වෙති, ඔහුට ඒ ධර්‍මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නොවී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ ධර්‍මයන්හි රාග විසින් නො පැමිණෙනුයේ ප්‍රතිඝ විසින් අනපගත වනුයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාස කෙරෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් ඇතැයි දැනගනී. ඒ දැනුම බහුලීකරණයෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර කායිකසුඛයාගේ ද ප්‍රහාණයෙන් කායික දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස්, දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් දුක් නො වූ සුව නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහි වේදනුපෙක්ඛා (සංඛ්‍යාත) නො දුක් නො සුව වේදනාව ද ප්‍රශ්‍රබද්ධ හෙයින් චිත්තයාගේ අනාභෝග යැ ස්මෘතිපාරිශුද්ධි යැ (එයින්) චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඔහු විසින් ඒ ධර්‍මයෝ අනු පිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති. ඔහුට ඒ ධර්‍මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු ය, ප්‍රකට ව නිරුද්ධ වෙත්, හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම් හු පෙර නොවී උපදිති, ඉපද වැනසෙත්’ යයි. හේ ඒ දහම්හි රාග විසින් නො ගන්නේ ප්‍රතිඝ විසින් අපගත නො වනුයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ කාමරාගයෙන් වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ සියලු කෙලෙසුන් කෙරෙහි මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් ඇතැ’යි දැනගනී. ඒ දැනුම බහුලීකාරයෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මැවීමෙන් ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්‍වසසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාසය අනන්ත යැ’යි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වෙසෙයි. ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ව ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්‍මයෝ අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි රාග විසින් අනුපගතවූයේ ප්‍රතිඝ විසින් අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්තව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්ත යයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වෙසෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥා ව ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්‍මයෝ අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර විඤ්ඤාණඤ්චායතනය ඉක්මැවීමෙන් නත්‍ථි කිඤ්චි යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය උපදවා වෙසෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥා ව ද චිත්තෛකාග්‍රතා ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ දහම්හු අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි අනුපගත වූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වෙසෙයි, හේ ඒ සමවතින් සිහි ඇති ව නැඟී සිටි, හේ ඒ සමවතින් සිහි ඇති ව නැඟී සිට යම් ධර්‍ම කෙනෙක් ඉක්මැ ගියාහු නිරුද්ධ වූවාහු විපරිණත වූවාහු ද ඒ ධර්‍මයන් විදසුන් නුවණින් දකී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙත්’ යයි, හේ ඒ දහම්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.
යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සංඥාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. යළි ඔහු විසින් මඟනුවණින් සිව්සස් දැක චතුරාස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. හේ ඒ පලසමවතින්, සිහි ඇති වැ නැඟී සිටී, හේ ඒ සමවතින් සිහි ඇති ව නැඟී සිට යම් ධර්‍ම කෙනෙක් ඉක්මැගියාහු නිරුද්ධ වූවාහු විපරිණත වූවාහු ද, ඒ (ඇතුළුසමවතැ පැවැති තිසමුට්ඨානික) රූපධර්‍මයන් (නොහොත් යට නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පැවැති ධර්‍මයන්) නුවණින් දකී. මෙසේ මේ ධර්‍මයෝ පෙර නො වී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ ධර්‍මයන්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් නැතැයි දැනගනී. ඒ දැනුම බහුලීකරණයෙන් නැතැ යි කියා මැ ඔහුට සිත් වේ.
මහණෙනි, මනා කොට කියනුයෙක් ආර්‍ය්‍යශීලයෙහි චීර්‍ණවශීබවට පැමිණියේ නිෂ්පත්තියට පැමිණියේ යැ. ආර්‍ය්‍ය සමාධියෙහි වශීප්‍රාප්ත යැ ආර්‍ය්‍ය ප්‍රඥායෙහි වශීප්‍රාප්ත යැ, පාරමී ප්‍රාප්ත යැ, ආර්‍ය්‍ය විමුක්තියෙහි වශීප්‍රාප්තයැ පාරමී ප්‍රාප්ත යැ’යි යම් බසක් කියා නම් ශාරිපුත්‍රයන් මැ ගෙන මනා කොට කියනුයෙක් ආර්‍ය්‍යශීලයෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්‍රාප්ත යැ, ආර්‍ය්‍ය සමාධියෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්‍රප්ත යැ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්‍රාප්ත යැ ආර්‍ය්‍යවිමුක්තියෙහි චීර්‍ණවශී බවට පැමිණියේ ය. නිෂ්පත්තියට පැමිණියේ යැ යන ඒ බස කියන්නේ යි.
මහණෙනි, මනා කොට කියනුයෙක් භාග්‍යවතුන් වහන්සේගේ (ළෙහි නිපන් ශබ්දය අසා ජාත නුයි) ඖරස වූ මුවින් පහළ වූ ශබ්ද අසා ජාත වූ ධර්‍මයෙන් නිර්මිත වූ ධර්‍මය දායාද්‍ය කොට ගත් ආමිෂ දායාද්‍ය කොට නො ගත් පුත්‍ර යැයි යමක් කියා නම් මනා කොට කියනුයෙක් ඖරස වූ මුඛයෙන් උපන් ධර්‍මජ වූ ධර්‍ම නිර්මිත වූ ධර්‍මය දායාද්‍ය කොට ගත් ආමිෂ දායාද්‍ය කොට නො ගත් භාග්‍යවතුන් වහන්සේ ගේ පුත්‍රයා යැ යන ඒ බස ශාරිපුත්‍රයන් මැ ගෙන කියන්නේ යි.
මහණෙනි, ශාරිපුත්‍ර තථාගතයන් විසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය මනා කොට මැ අනුප්‍රවර්‍තන කෙරේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ අනුපද සුත වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
පළමුවන අනුපද සූත්‍ර යි.
3. 2. 2.
ඡබ්බිසෝධන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් ‘ජාතිය ක්‍ෂය විය, බඹසර වසනලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස කළ යුතු අන් කිසෙක් නැති යි නුවණින් දන්මි’ කියා අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරෙයි. මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්‍දන නො කටයුතු ය, පිළිකෙව් නො කටයුතු ය. අභිනන්‍දන නො කොට පිලිකෙවේ නො කොට ප්‍රශ්නයෙක් විචාළ යුතු ය: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර වෝහාර කෙනෙක් මොනොවට වදාරන ලදහ. කවර සතර කෙනෙක යත්: දක්නා ලද්දෙහි දෘෂ්ටවාදී බව යැ. අසන ලද්දෙහි ශ්‍රැතවාදී බව යැ, ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය සඞ්‍ඛ්‍යාත මුතයෙහි මුතවාදී බව යැ, ධර්‍මාලම්බන සඞ්‍ඛ්‍යාත විඥානයෙහි විඥානවාදී බව යැ. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර වෝහාර කෙනෙක් මොනොවට වදාරන ලදහ.
කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආයුෂ්මත්හුගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද යත්: මහණෙනි, වැස නිමවූ බඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ කෙලෙස්බර ඇති පැමිණි ස්වාර්‍ත්‍ථ සඞ්‍ඛ්‍යාත රහත්ඵල ඇති පරික්‍ෂීණ වූ භවසංයෝජන ඇති මොනොවට දැන මිදුණු ක්‍ෂීණාස්‍රව මහණහට පිළිතුරු පවසනු පිණිස මේ ස්වභාවය වෙයි. ‘ඇවැත්නි, මම රූපාලම්බනයෙහි රාගවශයෙන් උපගමන නැතියෙම්, ප්‍රතිඝ වශයෙන් අපගමන නැතියෙම් තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්‍රිත වූයෙම් ඡන්‍දරාග වශයෙන් ප්‍රතිබද්ධ නො වූයෙම් කාමරාගයෙන් මිදුණෙම් කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසකරමි. ඇවැත්නි, මම ශබ්දාලම්බනයෙහි ... ඇවැත්නි, මම (ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) මුතයෙහි ... ඇවැත්නි, මම ධර්‍මාලම්බනයෙහි රාගවශයෙන් උපගමන නැතියෙම්, ප්‍රතිඝවශයෙන් අපගමන නැතියෙම්, තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්‍රිත වූයෙම් ඡන්‍දරාග වශයෙන් ප්‍රතිබද්ධ නො වූයෙම් කාමරාගයෙන් මිදුණෙම් කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසකරමි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණැ’ යි කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය ‘මැනැවැ’යි අභිනන්‍දන කළ යුතු යැ, අනුමෝදනා කළ යුතු යැ, මැනැවැ’ යි ඒ භාෂිතය අභිනන්‍දන කොට අනුමෝදන් ව මතුයෙහි ප්‍රශ්නයෙක් පිලිවිසියැ යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පස්වැදෑරුම් උපාදානස්කන්‍ධයෝ මොනොවට දෙසන ලදහ. කවර පසෙක යත්: ඒ මෙසේ යැ: රූපූපාදානසකන්‍ධ යැ, වේදනූපාදානසකන්‍ධ යැ, සඤ්ඤුපාදානස්කන්‍ධ යැ, සඞ්ඛාරූපාදානසකන්‍ධ යැ,විඤ්ඤාණූපාදානසකන්‍ධ යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්‍යක්
සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පඤේචාපාදාන ස්කන්‍ධයෝ මොනොවට දෙසන ලදහ. කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආයුෂ්මත්හුගේ සිත මේ පඤ්චෝපාදානස්කන්‍ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද: මහණෙනි, වැස නිමවූ බඹසර ඇති කළ කරණී ඇති බහාතැබූ කෙලෙස්බර ඇති පැමිණි රහත්ඵල ඇති පරික්‍ෂීණ භවසංයෝජන ඇති ක්‍ෂීණාස්‍රව මහණහුගේ ප්‍රශ්නව්‍යාකරණයට මේ ස්වභාව වෙයි: ඇවැත්නි, මම රූපය අබල ය, විරාග ය, අනස්වාසික යයි දැන රූප යෙහි යම් උපයුපාදාන කෙනෙක් ඇද්ද සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය කෙනෙක් ඇද්ද උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාගහේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම්හේතුයෙන් මාගේ සිත මිදිණැ’යි නුවණින් දනිමි. ඇවැත්නි, මම වේදනාව ... ඇවැත්නි, මම සංඥාව ... ඇවැත්නි, මම සංස්කාරයන් ... ඇවැත්නි, මම විඥානය අබල ය විරාග ය අනාස්වාසික යැ’ යි දැන විඥානයෙහි යම් උපය-උපාදාන කෙනෙක් ඇද්ද සිත පිළිබඳ අධිෂ්ඨාන අභිනිවේශ අනුශය කෙනෙක් ඇද්ද උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාගහේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් ‘මාගේ සිත මිදිණැ’යි නුවණින් දනිමි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත පඤ්චෝපාදානස්කන්‍ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණැ’ යි කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය ‘මැනැවැ’යි අභිනන්‍දන කළ යුතු යි, අනුමෝදනා කළ යුතු යි. ‘මැනැවැ’ යි ඒ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ මතුයෙහි ප්‍රශ්නයෙක් පිළිවිසිය යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ ධාතුහු සදෙනෙක් මොනොවට වදාරන ලදහ. කවර සදෙනෙක යත්: පෘථිවිධාතු යැ, අබ්ධාතු යැ, තේජෝධාතු යැ, වායෝධාතු යැ, ආකාශධාතු යැ, විඥානධාතු යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ ධාතුහු සදෙන මොනවට වදාරන ලදහ. කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආයුෂ්මත්හුගේ සිත මෙ සවැදෑරුම් ධාතුන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද: මහණෙනි, වැසැ නිමවූ බඹසර ඇති, කළ කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල ඇති, පරික්‍ෂීණ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රශ්නව්‍යාකරණය පිණිස මෙ ස්වභාවය ඇත: ඇවැත්නි, මම පෘථිවිධාතුව ආත්මවශයෙන් නො පැමිණියෙමි. පෘථිවිධාතු නිඃශ්‍රිත වූ සෙසු ධාතු ද ආත්මකොටගෙන නො පැමිණියෙමි. පෘථිවිධාතු නිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් උපය උපාදාන කෙනෙක් ඇද්ද, සිත පිළිබඳ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් “මා සිත මිදිණැ” යි නුවණින් දන්මි. ඇවැත්නි, මම අබ්ධාතු ... ඇවැත්නි, මම තේජෝධාතු ... ඇවැත්නි, මම වායෝධාතු ... ඇවැත්නි, මම ආකාශධාතු … ඇවැත්නි, මම විඥානධාතු ආත්ම වශයෙන් නො ගතිමි. ආත්මය විඥාන ධාතු නිඃශ්‍රිතකොට ද නො ගතිමි. විඥානධාතු නිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් මැ උපය උපාදාන කෙනෙක් ඇද්ද, සිත පිළිබඳ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් “මා සිත මිදිණැ” යි නුවණින් දනිමි. ඇවැත්නි, මෙසෙයින් දන්නා වූ මෙසෙයින් දක්නා වූ මාගේ සිත් මෙ සවැදෑරුම් ධාතුන් කෙරෙයි උපාදාන වශයෙන් නො ගෙන මිදිණැ යි කියායි.
මහණෙනි, ඒ මහණහුගේ වචනය ‘මැනැවැ’ යි සතුටින් පිළිගත යුතු යැ. අනුමෙවුනි කළ යුතු යැ. වචනය ‘මැනැව’ යි සතුටින් පිළිගෙන අනුමෙවුනි කොට මතුයෙහි ප්‍රශ්නයක් පිළිවිසිය යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයෝ සදෙන මොනොවට වදාරන ලදහ. කවර සදෙනෙක යත්: ඇස හා රූපයෝ යැ, කන හා ශබ්දයෝ යැ, නාසය හා ගන්‍ධයෝ යැ, දිව හා රසයෝ යැ, කය හා ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, සිත හා ධර්‍මයෝ යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ අධ්‍යාත්මික බාහිර ආයතනයෝ සදෙන මොනොවට වදාරන ලදහ. කිපරිදි දන්නා වූ කිපරිදි දක්නා වූ ආයුෂ්මත්හුගේ සිත මෙ සවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද, මහණෙනි, වැසැ නිම වූ බඹසර ඇති, කළ කරණී ඇති බැහූ කෙලෙස් බර ඇති, ලැබූ රහත් ඵල ඇති, ක්‍ෂය කළ භව සංයෝජන ඇති මොනොවට දැන මිදුණු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රශ්න ව්‍යාකරණ පිණිස මෙ ස්වභාවය ඇත: ඇවැත්නි, චක්‍ෂුස්හි රූපයෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍ය ධර්‍මයෙහි යම් තෘෂ්ණා ඡන්‍දයෙක් යම් රාගයෙක් යම් නන්‍දියක් යම් තෘෂ්ණාවක් (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් උපය උපාදාන කෙනෙක් සිත පිළිබඳ තෘෂ්ණා දෘෂ්ටි නම් වන අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් “මා සිත මිදිණැ’ යි නුවණින් දන්මි. ඇවැත්නි, මෙ පරිදි දන්නා වූ මේ පරිදි දක්නා වූ මාගේ සිත මේ සවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණ කියායි.
මහණෙනි, එමහණහුගේ තෙපුල ‘මැනැවැ’ යි සතුටින් පිළිගත යුතු යැ අනුමෝදන් කටයුතු යැ. තෙපල ‘මැනැවැ’ යි සතුටින් පිළිගෙන අනුමෝදන් කොට මතුයෙහි ප්‍රශ්නයෙක් පිළිවිසිය යුතු: කිපරිදි දක්නා ආයුෂ්මත්හු විසින් මෙ සවිඥානක කායයෙහි ද බැහැර හැම නිමිත්තෙහි ද (මාන නම් වූ, අහිංකාර තෘෂ්ණා නම් වූ) මමිංකාර මානානුසයයෝ මොනොවට නසන ලද්දාහු දැ?’ යි මහණෙනි, වැසැ නිමවූ බඹසර ඇති, කළ කරණී ඇති, බැහූ කෙලෙස්බර ඇති, ලැබූ රහත්ඵල ඇති, පරික්ෂීණ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු ක්ෂීණාස්‍රව මහණහුගේ ප්‍රශ්නව්‍යාකරණ පිණිස මෙ ස්වභාවය වෙයි. ඇවැත්නි, මම පෙරැ ගිහිවූයෙම් අඥ වීමි. මට තථාගතයන් වහන්සේ හෝ තථාගතශ්‍රාවක කෙනෙක් හෝ දහම් දෙසූහ. මම ඒ දහම් අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ලැබීමි. මම ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් යුක්ත වූයෙම් මෙසේ සැලැකීමි: ගෘහ වාසය සම්බාධ යැ, කෙලෙස් රජසුනට මඟ යැ, පැවිද්ද අභ්‍යවකාශ යැ, ගිහිගෙයි වසනහු විසින් ඒකාන්ත පරිපූර්ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ ලියූ සකක් වැනි මෙ බඹසර පුරන්නට සූකර නො වේ. මම කෙහෙමස් බහා කසටවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්මැ පැවිද්දට පැමිණෙන්නෙම් නම් මනාමැනු’ යි කියා යි.
ඇවැත්නි, මම පසු කලෙක අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරැ මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරැ අල්පවූ හෝ නෑ පිරිවට හැරැ මහත් වූ හෝ නෑ පිරිවට හැරැ කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ පැවිද්දට පැමිණියෙමි. මම මෙසේ පැවිදි වූයෙම් භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියෙම් පණිවා හැරැ පණිවායෙන් වැළැකුණෙම් වීමි. බහා තැබූ දඬු ඇත්තෙම් බහා තැබූ ශස්ත්‍ර ඇත්තෙම්. ලජ්ජා ඇත්තෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණභූත හිතානුකම්පී වූයෙම් වාස කළෙමි. අයිනාදන් හැරැ අයිනාදනින් වැළැකුණෙම් වීමි. දුන්දැය ගන්නා සුලුයෙම් දුන්දැය කැමැති වූයෙම් නොසොර වූ පවිත්‍ර වූ ආත්මයෙන් වාස කෙළෙමි. අබ්‍රහ්මචර්‍ය්‍ය හැර ග්‍රාම ධර්‍ම සංඛ්‍යාත මෛථුනයෙන් විරත වැ දුරුවූ හැසිරීම් ඇති වැ බ්‍රහ්මචාරී වීමි. මුසවා හැරැ මුසවායෙන් වැළැකුණෙම් වීමි. සත්‍යවාදී වූයෙම් සත්‍ය සන්‍ධාන ඇත්තෙම් ස්ථිරවචන ඇත්තෙම් විශ්වසනීය වචන ඇත්තෙම් ලෝකය විසංවාද නොකරන්නෙම් මුසවායෙන් වැළැකුණෙම් වීමි. පිසුණුබස් හැරැ මොබ අසා මුන්ගේ භේදය පිණිස එහි නො කියනසුලු වූයෙම් ඔබ හෝ අසා තුලුන්ගේ භේදය පිණිස මුනට නො කියනසුලු වූයෙම් මෙසේ භින්න වූවන් හෝ සන්‍ධානකරණසුල්ලෙම් සමඟ වූවන්ට හෝ අනුබල දෙනසුලු වූයෙම් සමග්‍රාරාම වූයෙම් සමග්‍රරත වූයෙම් සමගියෙහි සතුටු වූයෙම් සමග්‍රකරණ වූ තෙපුල් දෙන සුල්ලෙම් වීමි. පරොස්බස් හැරැ පරොස් බසින් වැළැකුණෙම් වීමි. යම් වචනයක් කෙළතොලු නො වී ද, කර්‍ණසුඛ වී ද, ප්‍රේමණීය වී ද, හෘදයංගම වී ද, පුරවැසි වී ද, බහුජන කාන්ත වී ද, බහුජන මනාප වී ද, එබඳු බස් කියන සුල්ලෙම් වීමි. පලප් හැරැ පලපින් වැළැකුණෙම් වීමි. කාලවාදී වූයෙම් භූතවාදී වූයෙම් අර්‍ත්‍ථවාදී වූයෙම් ධර්‍මවාදී වූයෙම් විනයවාදී වූයෙම් සුදුසු කල්හි සාපදේශ වූ පර්‍ය්‍යන්තවත් වූ අර්‍ත්‍ථසංහිත වූ ළෙහි නිධන් කළ යුතු වූ තෙපුල් කියනසුලු වූයෙම් වීමි.
මම බීජගාම භූතගාමයන්ගේ නැස්මෙන් විරත වීමි. එක්වේලෙහි බත වළඳ කරන සුලු වීමි. විකල් බොජුනෙන් වැළැකුණෙම් වීමි. නටනු ගයනු වයනු විසුළු දස්නෙන් වැළැකුණෙම් වීමි. මල්ගඳවිලෙවුන් පිළිබඳ ධාරණය, මණ්ඩන යැ, විභූෂණ යැ යන මෙයින් වැළැකුණෙම් වීමි. උසසුන් මහඅස්නෙන් වැළැකුණෙම් වීමි. රන්රිදී පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. අමුමස් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. ස්ත්‍රීකුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. දැසිදස් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. එළු තිරෙළු පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. කුකුළන් හා හූරන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. ඇත්ගව අස්වෙළඹුන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. කෙත්වත් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. දූතකම් හා මෙහෙයුම් ගමන්හි යෙදීමෙන් වැළැකුණෙම් වීමි. ක්‍රය වික්‍රය දෙකින් වැළකුනෙම් වීමි. තුලාකූට කසංකූට මානකූටයෙන් වැළකුනෙම් වීමි. උක්කෝටන-වඤ්චන-නිකති-යන කුටිලයෝගයෙන් වැළැකුණෙම් වීමි. ඡේදන යැ, වධ යැ, බන්‍ධන යැ, විපරාමොෂ යැ, වොලොගැන්ම යැ, සහසාකාර යැ යන මෙයින් වැළැකුණෙම් වීමි.
මම කායපරිහරණයට නිසි සිවුරින් කුක්‍ෂිපරිහරණයට නිසි පිඬුවායෙන් සතුටු වීමි. මම යම් යම් තැනෙකැ ගියෙම් නම්, සිවුරුආදිය රැගෙනැ මැ ගියෙමි. යම් පිරිදි ලිහිණිපක්‍ෂි යම් යම් තැනෙකැ පියා පහරා යන්නේ පත්‍රභාර සහිත වැ මැ පියඹා යේ ද එසෙයිනි. ඇවැත්නි, මෙ පරිදි මැ මම කායපරිහරණයට නිසි සිවුරින් කුක්‍ෂිපරිහරණයට නිසි පිඬුවායෙන් සතුටු වීමි. මම් යම් යම් තැනෙකැ යෙම් ද, (පිරිකර) රැගෙන මැ ගියෙමි. මම මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයෙම් සිත් තුළ අනවද්‍යසුඛය වින්දෙමි.
මම ඇසින් රූ දැකැ නිමිති නොගන්නාසුලු වූයෙම් අනුවියඳුන් නොගන්නාසුලුයෙම් වීමි. යම් හේතුයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල මා කරා ලාමක අකුශල ධර්‍ම වන අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු නම්, අවුරනුවට පිළිපන්මි. චක්‍ෂුරින්‍ද්‍රිය රැක්කෙමි. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි. ශ්‍රෝතයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයන් පැහැසැ ... මනසින් ධර්‍මයන් දැනැ නිමිති නොගන්නාසුලුයෙම් අනුවියඳුන් නොගන්නාසුලුයෙම් වීමි. යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල මා කරා අභිධ්‍යාදෞමනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ අවුරනුවට පිළිපන්මි. මනින්‍ද්‍රිය රැකියෙමි. මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි. මම මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයෙම් අධ්‍යාත්මයෙහි (කෙලෙසුන් විසින් අනාෂික්ත වූ) අව්‍යාසේක සුඛය විඳියෙමි.
මම ඉදිරි බලා ගමන්හි දු වටාලා ගමන්හි දු සම්ප්‍රඥානකාරී වීමි. ඉදිරිබැලුම් හා දිගනුදික් බැලුම්හි සම්ප්‍රඥානකාරී වීමි. අත්පා හැකුළුම හා දිගු කිරීමෙහි සම්ප්‍රඥානකාරී වීමි. සඟළපාසිවුරු දෑරුම්හි සම්ප්‍රඥානකාරී වීමි. අසිත පීත ඛායිත සායිතයෙහි සම්ප්‍රඥානකාරී වීමි. සුලුවටන්මහවටන්කම්හි සම්ප්‍රඥානකාරී වීමි. ගමනෙහි සිටුමෙහි හිඳුමෙහි නිදියෙහි නිදිවරුම්හි කථායෙහි තුෂ්ණීම්භාවයෙහි සම්ප්‍රඥානකාරී වීමි.
මම මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයෙම්, මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයෙම්, මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වූයෙම්, අරණ්‍ය යැ, වෘක්‍ෂමූල යැ, පර්‍වත යැ, කඳුරු යැ, ගිරිගුහා යැ, සොහොන යැ, වනපෙත යැ, අබවස් යැ, පිදුරුකිළි යැ යන විචික්තශයනාසන භජනය කෙළෙමි. මම පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයෙම්, පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සිහි පරිමුඛ කොට එළවාගෙන හින්දෙමි.
මම පඤ්චෝපාදානස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහවූ අභිධ්‍යා ඇති සිතින් වාස කෙළෙමි. අභිධ්‍යානන් සිත පිරිසිදු කෙළෙමි. ව්‍යාපාද සංඛ්‍යාත ප්‍රද්වේෂය දුරු කොට ව්‍යාපාදයෙන් තොරවූ සිතැත්තෙම් සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වාස කෙළෙමි. ව්‍යාපාදප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙළෙමි. ස්ත්‍යානමිද්ධය දුරු කොට පහ වූ ස්ත්‍යානමිද්ධ ඇතියෙම්, (විගතනීවරණයෙන්) අලෝකසංඥා ඇතියෙම්, ස්මෘති ඇතියෙම්, සම්‍යක්ප්‍රඥා ඇතියෙම්, වාස කෙළෙමි. ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙළෙමි. ඖද්ධත්‍යය හා කෞකෘත්‍යය දුරු කොට උද්ධතභාව නැතියෙම්, අධ්‍යාත්මයෙහි මොනොවට සන්හුන් සිත් ඇතියෙම් වාස කෙළෙමි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙළෙමි. විචිකිත්සා දුරු කොට තරණය කළ විචිකිත්සා ඇතියෙම්, කුශලධර්‍මයෙහි කථංකථිභාව නැතියෙම් වාස කෙළෙමි. විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙළෙමි.
මම චිත්තයාගේ උපක්ලේශ වූ ප්‍රඥාවගේ දුර්‍වල කරණ වූ මේ පඤ්චනීවරණයන් දුරු කොට කාමයෙන් වෙන් වැ මැ අකුසල දහමින් වෙන් වැ සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙළෙමි. විතර්‍කවිචාර සන්හිඳීමෙන් තමා තුළ සම්ප්‍රසාදන කරන චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙළෙමි. ප්‍රීතිවිරාගයෙනුදු උපේක්‍ෂක වැ වාස කෙළෙමි. ස්මෘතිමත් වූයෙම්, සම්ප්‍රඥාන ඇතියෙම්, නාමකයින් සුඛය ද වින්දෙමි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් ‘උපෙක්‍ෂකයැ, ස්මෘතිමත් යැ, සුඛවිහාරී යැ’ යි (වෙන් කොට) කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපයා වාස කෙළෙමි. සුඛප්‍රහාණයෙනුදු දුඃඛප්‍රහාණයෙනුදු සොම්නස්දොම්නස් කැලැ මැ අස්තංගම්යෙනුදු අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙළෙමි.
මම මෙසෙයින් සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වත් මැ අංගණ රහිත වත් මැ උපක්ලේශවිගත වත් මැ මෘදු වත් මැ කර්‍මණ්‍ය වත් මැ ස්ථිත වත් මැ නොසැලෙනබවට පත් වත් මැ ආස්‍රවක්‍ෂයඥානය සඳහා සිත නතු කෙළෙමි. මම ‘මේ දුකැ’යි යථාභූතය දත්මි, ‘මේ දුඃඛසමුදය’ යැයි යථාභූතය දත්මි. ‘මේ දුඃඛනිරෝධ යැ’ යි යථාභූතය දත්මි, ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූතය දත්මි. ‘මුහු ආස්‍රවයහ’ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවසමුදය’ යැ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවනිරෝධ යැ’ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූතය දත්මි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණ, භවාස්‍රවයෙනුදු සිත මිදිණ, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදිණ. විමුක්ත කල්හි ‘විමුක්ත යැ’ යන ඥානය වී. ‘ජාතිය ක්‍ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වසන ලදී. සිවුමඟකරණී කරනලදී.’ ‘මේ රහත්ඵලය සඳහා’ කළයුතු අන් කිසෙක් නැතියි දත්මි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මා විසින් මේ සවිඥානක කයෙහි දු බැහැර හැම නිමිත්හි දු අහිංකාර මමිංකාරමානානුසයෝ නස්නා ලදහයි කියා යි.
මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය මැනැවැ’ යි සතුටින් පිළිගතයුතු යැ. අනුමෙවුනි කළ යුතු යැ, ‘මැනැවැ’ යි ඒ භාෂිතය අභිමුඛ වැ පිළිගෙන අනුමෝදන් වැ මෙසේ කියයුතු වෙයි. ‘යම් අපි එබඳු බ්‍රහ්මචාරියකු වන ආයුෂ්මතුන් දක්නමෝ ද, ඇවැත්නි, ඒ අපට ලාභයෙකැ, ඇවැත්නි, ඒ අපට මනාලැබීමෙකැයි.’
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
දෙවැනි ඡබ්බිසෝධන සුත්‍රයි.
3. 2. 3.
සප්පුරිස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූන් ‘වහන්සැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල සත්පුරුෂ සූත්‍රය වදාළ සේක:
මහණෙනි, තොපට සත්පුරුෂධර්‍මය හා අසත්පුරුෂධර්‍මය හා දෙසමි. එය අසව. මනා කොට මෙනෙහි කරව, කියමි’ යි.
වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙලවදාළ සේක:
මහණෙනි, අසත්පුරුෂධර්‍ම නම් කවරෙ යත්: මහණෙනි, මෙලොවැ පාපපුරුෂ (කැත් බමුණු) උසස් කුලයෙන් පැවිදි වූයේ වෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි උසස් කුලෙන් නික්ම පැවිදි වූයෙමි. මේ තෙසු භික්‍ෂූහු උසස් කුලෙන් පැවිදි නො වූහ’ කියා යි, හේ ඒ උසස් කුල ඇති බැවින් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්‍මයෙක. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘උච්චාකුලීන භාවයෙන් ලෝභ ධර්‍මයෝ හෝ පරික්‍ෂයට නොයෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නොයෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නොයෙති. ඉදින් උසස් කුලයෙන් පැවිදි නොවූයේ නමුදු හේ ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වී නම්, සාමීචිප්‍රතිපන්න වී නම්, අනුධර්‍මයෙහි හැසිරෙන සුලු වී නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි කියා’ යි. හේ ප්‍රතිපදාව ම අභ්‍යන්තර කොට තබා ඒ උච්චා කුලීනතාහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මහණෙනි, මේ සත්පුරුෂධර්‍මයි.
තවද මහණෙනි, අසත්පුරුෂ (කැත් බමුණු ගැහැවි යන) මහාකුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි ... මහාභෝග ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි ... උදාරභෝගකුල සංඛ්‍යාත සතරකුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි උදාර භොග ඇති කුලයෙන් නික්ම පැවිදි වූයෙම් වෙමි. මේ සෙසු භික්‍ෂූහු උදාරභෝග කුලයෙන් නික්ම පැවිදි වූවාහු නො වෙති කියා’ යි. හෙ ඒ උදාරභෝගතායෙන් තමාහුවන්නේ වෙයි. මෙරමා හෙළාදක්නේ වෙයි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘උදාරභෝගතායෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. උදාර භොග ඇති කුලයෙන් නික්ම පැවිදි නො වූයේ නමුදු හේ ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වේ ද, සාමීචිධර්‍මයෙහි පිළිපන්නේ වේ ද, අනුධර්‍මය පුරනසුලු වේ ද, හේ ඒ භික්‍ෂූන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හේ ඒ භික්‍ෂූන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි කියා’ යි. හේ පිළිවෙත ම අභ්‍යන්තර කොට තබා ඒ උදාරභෝගතාහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මෙ ද මහණෙනි, සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ ප්‍රසිද්ධ වූයේ පරිවාර සම්පන්න වූයේ වෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂණ කෙරෙයි: ‘මම වනාහි ප්‍රසිද්ධ වූයෙම් වෙමි, පරිවාරසම්පන්න වූයෙම් වෙමි. මේ සෙසු භික්‍ෂූහු වනාහි අප්‍රසිද්ධයහ, අල්පපරිවාර ඇතියහ කියා’ යි. හේ ඒ ඥාතභාවහේතුයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂණ කෙරෙයි: ‘ඥාතභාවහේතුයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. ප්‍රසිද්ධ නො වූයේ නමුදු පරිවාරසම්පන්න නො වූයේ නමුදු හේ ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වේ ද, සාමීචිධර්‍මයෙහි පිළිපන්නේ වේ ද, අනුධර්‍මය පුරනසුලු වේ ද, හේ ඒ භික්‍ෂූන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හේ ඒ භික්‍ෂූන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි කියා’ යි. හේ පිළිවෙත ම අභ්‍යන්තර කොට තබා ඒ ඥාතභාවහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මහණෙනි මෙ ද සත්පුරුෂ ධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර ලබන සුලු වෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර ලබනසුලුයෙම් වෙමි. මේ සෙසු භික්‍ෂූහු සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර නොලබනසුලු වෙති කියා’ යි. හේ ඒ ලාභහේතුයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘ලාභ හේතුයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නොයෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නොයෙති. සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර නොලබනසුලු වුව ද, හේ ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වේ නම්, සාමීචිධර්‍මයෙහි පිළිපන්නේ වේ නම්, අනුධර්‍මය පුරනසුලු වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි කියා’ යි. හේ පිළිවෙත මැ අභ්‍යන්තර කොට ගෙන ඒ ලාභහේතුයෙන් තමා හුවාගන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ හෝ නො වෙයි. මහණෙනි මෙ ද සත්පුරුෂ ධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ බහුශ්‍රුත වෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි බහුශ්‍රැතයෙමි. මෙ සෙසු භික්‍ෂූහු බහුශ්‍රැතයෝ නො වෙති’ කියායි. හේ ඒ බහුශ්‍රැතභාවයෙන් තමා හුවාදකී, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘බහුශ්‍රැතභාවයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. බහුශ්‍රුත නො වුව ද, හේ ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ නම්, සාමීචිධර්‍මයෙහිත් පිළිපන්නේ වේ නම්, අනුධර්‍මය පුරන සුලු වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි’ කියා යි. හේ ප්‍රතිපත් ම කරුණු කොට ගෙන ඒ බහුශ්‍රැතභාවයෙන් තමා නොහුවන්නේ යැ, මෙරමා නො හෙළාදක්නේ යැ. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍මයි.
තවද මහණෙනි, අසත්පුරුෂ විනයධර වෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂණ කෙරෙයි: ‘මම වනාහි විනයධර වෙමි. මෙ සෙසු භික්‍ෂූහු විනයධර නො වෙති’ කියායි. හේ ඒ විනයධරභාවයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂණ කෙරෙයි: ‘විනයධරභාවයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. විනයධර නො වුව ද, හේ ධර්‍මානුධර්‍මයට පැමිණියේ වේ නම්, සාමීචිධර්‍මයට පැමිණියේ වේ නම්, අනුධර්‍මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ විනයධරභාවයෙන් තමා නො හුවයි. මෙරමා නොහෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍මයි.
තවද මහණෙනි, අසත්පුරුෂ ධර්‍මකථික වෙයි. හේ මෙසේ සිතයි: ‘මම ධර්‍මකථිකයෙමි. මෙ සෙසු භික්‍ෂූහු ධර්‍මකථිකයෝ නො වෙති’ කියායි. හේ ඒ ධර්‍මකථිකභාවයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂ ධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සිතයි: ‘ධර්‍මකථිකභාවයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. ධර්‍මකථික නො වුව ද, හේ ධර්‍මානුධර්‍මය පිළිපදනේ වේ නම්, සාමීචිධර්‍මය පිළිපදනේ වේ නම්, අනුධර්‍මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ ධර්‍මකථිකභාවයෙන් තමා නො හුවයි. මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍මයි.
තවද මහණෙනි, අසත්පුරුෂ ආරණ්‍යක වෙයි. හේ මෙසේ සලකයි: ‘මම ආරණ්‍යක යෙමි. මේ සෙසු භික්‍ෂූහු ආරණ්‍යක නො වෙති’ කියායි. හේ ඒ ආරණ්‍යක භාවයෙන් තමා හුවාගනී. පරා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘ආරණ්‍යකභාවයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. ආරණ්‍යක නො වුව ද, හේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වේ නම්, සාමීචිධර්‍ම ප්‍රතිපන්න වේ නම්, අනුධර්‍මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හෙ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ ආරණ්‍යක භාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍මයි.
තවද මහණෙනි, අසත්පුරුෂ පංසුකූලික වෙයි. හේ මෙසේ සලකයි: ‘මම පංසකුලිකයෙමි. මේ සෙසු භික්‍ෂූහු පංසුකූලික නො වෙති’ කියායි. හේ ඒ පංසුකූලික භාවයෙන් තමා හුවාගනී. පරා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ ද වනාහි මෙසේ සිතයි: ‘පංසුකූලික භාවයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙත්. පංසුකූලික නො වුවද, හේ ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වේ නම්, සාමීචිධර්‍මප්‍රතිපන්න වේ නම්, අනුධර්‍මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි’ කියා යි. හෙ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ පසුකුලික භාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ පිණ්ඩපාතික වෙයි. හේ මෙසේ සිතයි: ‘මම වනාහි පිණ්ඩපාතිකයෙමි. මේ සෙසු භික්‍ෂූහු පිණ්ඩපාතිකයෝ නො වෙති’ කියායි. හේ ඒ පිණ්ඩපාතික භාවයෙන් තමා හුවයි. පරා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂ ධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සිතයි: ‘පිණ්ඩපාතිකභාවයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. පිණ්ඩපාතික නො වුව ද ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වේ නම්, සාමීචිධර්‍මප්‍රතිපන්න වේ නම්, අනුධර්‍මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ පිණ්ඩපාතිකභාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍මයි.
තවද මහණෙනි, අසත්පුරුෂ රුක්ඛමූලික වෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂණ කෙරෙයි: ‘මම වනාහි රුක්ඛමූලිකයෙමි. මේ සෙසු භික්‍ෂූහු රුක්ඛමූලිකයෝ නො වෙති’ කියායි. හේ ඒ රුක්ඛමූලිකභාවයෙන් තමා හුවයි. පරා හෙළාදකී. මහණෙනි, මේද අසත්පුරුෂ ධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂණ කෙරෙයි: ‘රුක්ඛමූලිකභාවයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. රුක්ඛමූලික නො වුව ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වේ නම්, සාමීචිප්‍රතිපන්න වේ නම්, අනුධර්‍මචාරී වේ නම්, හේ ඒ භික්‍ෂූන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හෙ ඒ භික්‍ෂූන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ රුක්ඛමූලිකභාවයෙන් තමා නො හුවන්නේ වෙයි. පරා නො හෙළාදක්නේ යැ. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍මයි.
තවද මහණෙනි, අසත්පුරුෂ සෝසානික වෙයි, .... අබ්භෝකාසික වෙයි, ... නෙසජ්ජික වෙයි, ... යථාසන්‍ථතික වෙයි, ... ඒකාසනික වෙයි, හේ මෙසේ සලකයි: ‘මම ඒකාසනික වෙමි. මේ සෙසු භික්‍ෂූහු ඒකාසනික නො වෙති’ කියා යි. හේ ඒ ඒකාසනිකභාවයෙන් තමා හුවයි. මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘ඒකාසනික භාවයෙන් ලෝභධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති, මෝහධර්‍මයෝ හෝ පරික්‍ෂයට නො යෙති. ඒකාසනික නො වුව ද ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වෙ යි, සාමීචිප්‍රතිපන්න වෙයි, අනුධර්‍මචාරී වෙයි, හේ ඒ භික්‍ෂූන් කෙරෙහි පූජාර්‍හ වෙයි, හේ ඒ භික්‍ෂූන් කෙරෙහි ප්‍රශංසාර්‍හ වෙයි. හේ ප්‍රතිපදාව ම කරුණු කොටගෙන ඒ ඒකාසනිකභාවයෙන් තමා නො හුවයි. මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි ප්‍රථමධ්‍යානසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්‍ෂූහු ප්‍රථමධ්‍යානසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ප්‍රථමධ්‍යාන සමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මේ ද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථමධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිතබව වදාරන ලදි. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එහෙයින් එය අන් පරිද්දෙකින් වෙයි කියා යි. හේ තෘෂ්ණා රහිතබව මැ කරුණු කොට ගෙන් ඒ ප්‍රථමධ්‍යානසමාපත්තියෙන් තමා නො මැ හුවයි, මෙරමා නො හෙළා දකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ විතර්‍ක විචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බව ඇති විතර්‍ක රහිත විචාර රහිත ප්‍රීති සුඛ ඇති ද්වීතිය ධ්‍යානය ... තෘතීය ධ්‍යානය ... චතුර්‍ත්‍ථ ධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්‍ෂූහු චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ චතුර්‍ත්‍ථ ධ්‍යානසමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව වදාරන ලදි. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, ඒ හේතුයෙන් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ තෘෂ්ණා රහිතබව ම කරුණු කොට ගෙන ඒ චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතන සමවතට පැමිණ වෙසෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි ආකාසානඤ්චායතනසමාපත්ති ලාභී වෙමි, මේ සෙසු භික්‍ෂූහු ආකාසානඤ්චායතනසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ආකාසානඤ්චායතනසමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකියි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකාසානඤ්චායතනසමාපත්තියෙනුදු නිස්තෘෂ්ණා වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, ඒ හේතුයෙන් අන් පරිදි වෙයි කියා යි. හේ නිස්තෘෂ්ණා බව මැ කරුණු කොට ගෙන ඒ ආකාසානඤ්චායතනසමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ විඥානය අනන්ත යයි විඤ්ඤාණඤ්චායතන සමවතට පැමිණ විහරණ කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්‍ෂූහු විඤ්ඤාණඤ්චායතන සමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන්වහන්සේ විසින් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණතාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ නිස්තෘෂ්ණාව ම කරුණු කොට ගෙන ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රමණය කොට ‘කිසිදු නැති’යි ගෙනැ ආකිඤ්චඤ්ඤායතන සමවතට සම වැද විහාර කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්‍ෂූහු ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් තමා හුවයි, පරා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්‍මයි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි කියා යි. හේ නිස්තෘෂ්ණතාව මැ කරුණු කොට ගෙන ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් තමා නො මැ හුවයි. පරා නො හෙළයි. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, අසත්පුරුෂ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත උපයාගෙන විහාර කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්‍ෂූහු නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභයෙන් තමා හුවයි, පරා හෙළාදකියි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්‍ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණතාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ නිස්තෘෂ්ණතාව මැ කරුණු කොට ගෙන ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් තමා නො මැ හුවයි. පරා නො හෙළයි. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්‍ම යි.
තවද මහණෙනි, සත්පුරුෂ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රම කොට සඤ්ඤාවේදයිතනිරෝධය උපයාගෙන විහරණ කෙරෙයි. ප්‍රඥායෙන් දැකීම් හේතු කොට ගෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙති. මහණෙනි, මේ මහණ වනාහි කිසිදු පුඟුලකු ත්‍රිවිධ මඤ්ඤනායෙන් නො හඟනේ යැ. කිසිදු අවකාශයෙක ලා නො හඟනේ යැ. කිසිදු වස්තුයෙකිනුදු නො හඟනේ යැ යි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. ප්‍රීතිසෞමනස්‍ය විසින් ගන්නා ලද සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේ ගේ දේශනා අභිනන්‍දයෙන් පිළිගත්හු.
තුන්වැනි සප්පුරිස සූත්‍ර යි.
3. 2. 4.
සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා මහණුන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සුත වදාළ සේක.
මහණෙනි, තොපට සේවිතව්‍ය අසේවිතව්‍ය වූ ධර්‍මපර්‍ය්‍යාය දේශනා කරමි. ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’ යි. ‘වහන්ස, එසේ’ යයි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැයි. එ ද එකිනෙක වෙනස් කායසමාචාර යි. මහණෙනි, මම වචීසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් වාක්සමාචාර යි, මහණෙනි, මම මනස්සමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් මනස්සමාචාර යි. මහණෙනි, මම චිත්තෝත්පාදය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් චිත්තෝත්පාද යි. මහණෙනි, මම සංඥාප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් සංඥාප්‍රතිලාභ යි. මහණෙනි, මම දෘෂ්ටිප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් දෘෂ්ටිප්‍රතිලාභ යි. මහණෙනි, මම ආත්මභාවප්‍රතිලාභ ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද එකිනෙක වෙනස් ආත්මභාවප්‍රතිලාභ වේ යයි.
මෙසේ වදාළ කල ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ විස්තර විසින් මෙසේ අවබෝධ කොට දනිමි.
“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන සිටි කායසමාචාරය’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස කුමක් පිණිස වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු කායසමාචාරයෙක් සෙවුනහට අකුශලධර්‍මයෝ වෙසෙසා වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු කායසමාචාර නො සෙවිය යුතු ය. වහන්ස, යම් බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වෙසෙසා වැඩෙත් ද, මෙබඳු කායසමාචාර සෙවිය යුතු යැයි.
වහන්ස, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, වහන්ස, මෙලොවැ කිසිවෙක් රෞද්‍ර ලෙහෙ වැකුණු අත් ඇති පරප්‍රහාරයෙහි පරවධයෙහි නියුක්ත ප්‍රාණීන් කෙරෙයි අදයාපන්න පණිවා ඇතියෙක් වේ ද, අයිනාදන් ගන්නේ වේ ද, මෙරමා සතු පරා අයත් සතුටු එළවන පිරිකර බඩු ඇද්ද ග්‍රාමගත වේවයි, අරණ්‍යගත වේවයි. ඒ නුදුන් දැය සොරසිතින් ගන්නේ වේ ද, යළි කාමයෙහි මිසහසර ඇතියේ වේ ද, මවු විසින් රක්නා ලද පියා විසින් රක්නා ලද දෙමාපියන් විෂින් රක්නා ලද බෑයා විසින් රක්නා ලද බුහුන විසින් රක්නා ලද නෑයන් විසින් රක්නා ලද ගෝත්‍රය විසින් රක්නා ලද ධර්‍මය විසින් රක්නා ලද සස්වාමික සපරි දණ්ඩ වූ යටතින් මාලාගුණමාත්‍රයෙනුදු පරික්‍ෂිප්ත වූ යම් කුලකුමරිකාවෝ ඇද්ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි මිථ්‍යාචාර වශයෙන් ව්‍යතික්‍රම කරන්නේ වේ ද. වහන්ස, මෙබඳු කාය සමාචාරය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙති කියා යි.
වහන්ස, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ කිසිවෙක් පණිවා හැරපියා පණිවායෙන් දුරුවූයේ වේ ද, බහාතැබූ දඬු ඇති ව බහාතැබූ ශස්ත්‍ර ඇති ව ලජ්ජාවට පැමිණ දයාපන්න ව සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී වාස කෙරේ ද, අයිනාදන් හැරපියා අයිනාදනින් විරත වේ ද, මෙරමා සතු පරා අයත් තෘෂ්ටිජනක යම් උපකරණ ඇද්ද, ග්‍රාමගත වේවයි අරණ්‍යගත වේවයි එ හැම අයිනාදන් සොරසිතින් නො ගන්නේ වේ ද. කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වැළැකුණේ වේ ද, මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සස්සාමිකා ය, සපරිදණ්ඩා ය යන මොවුන් හා යටතින් මල්දමින් වටලා වෙන්කළා වූවා දැ’ යි යම් කුලකුමාරිකාවෝ ඇද්ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි ව්‍යතික්‍රම නො කරන්නේ වේ ද, වහන්ස, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති කියා යි.
“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන කායසමාචාර වෙතී’ භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරන ලද ද, මෙය තෙල පිණිස වදාරන ලදි.
“මහණෙනි, මම වාක්සමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන වාක්සමාචාර වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද්දේ ද යත්: වහන්ස, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු වාක්සමාචාරය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු වාක්සමාචාරය සෙවිය යුතු ය.
වහන්ස, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනහුට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, වහන්ස, මෙලොවැ එකෙක් මුසවා කියනසුලු වෙයි. සභායෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑ මුළුයෙහි සිටියේ වේවයි, සෙනීන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද සිටියේ වේවයි, ඉදිරියට පමුණුවන ලදු ව ‘එම්බා පුරුෂය, එ යමක් දන්හි නම් ඒ කියා’ යි සාක්‍ෂ්‍ය කොට පුළුවුස්නා ලදු ව හේ නො දන්මින් හෝ ‘දන්මි’ කියයි. දන්මින් හෝ ‘නො දන්මි’ කියයි. නො දක්මින් හෝ ‘දක්මී’ යි කියයි. දක්මින් හෝ ‘නො දක්මී’ යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් හෝ පරහේතුයෙන් හෝ අල්පමාත්‍ර අත්ලස් හේතුයෙන් හෝ දැන දැන මුසවා කියනු වෙයි. යළි මෙහි දී අසා එතැන දී මුන්ගේ බිඳුමට ඇසුවා කියනු වෙයි, එතැන දී හෝ අසා උන්ගේ බිඳුමට මුනට ඇසුවා කියනු වේ යයි මෙසේ පිසුනුබස් ඇතියේ වෙයි. මෙසේ සමග වූවන් හෝ බිඳිනුයේ බුන් ඇත්තනට හෝ අනුබල දෙනු වෙයි. වර්‍ගාරාම ව වර්‍ගරත ව වර්‍ගනන්‍දි ව වර්‍ග කරන බස් බණනු වෙයි. යළි පරොස් බස් බණනු වෙයි: යම් බසෙක් සදොස් වී ද, කැකුළු වේ ද, පරොස් වේ ද, පරාහට මනෝපදෝස ඇති කෙරේ ද, මෙරමා ගටනු වේ ද, ක්‍රෝධාසන්න වේ ද, සමාධිසංවත්තනික නො වේ ද, එබඳු වාග් බණනු වෙයි. යළි පලප් ඇතියේ වෙයි: අකාලවාදී ව අභූතවාදී ව අධර්‍මවාදී ව අවිනයවාදී ව අකාලයෙහි සූත්‍රාපදෙස නැති පර්‍ය්‍යන්ත රහිත අනර්‍ත්‍ථසංහිත ළෙහි නිදහනට නො නිසි බස් බණනු වෙයි. වහන්ස, මෙබඳු වාක්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙති.
වහන්ස, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි. සභාගත ව වේවයි, පර්‍ෂද්ගත ව වේවයි, ඥාතිමධ්‍යගත ව වේවයි, පූගමධ්‍යගත ව වේවයි, රාජකුලමධ්‍යගත ව වේවයි, ඉදිරියට පමුණුවන ලදුයේ ‘භවත් පුරුෂය, ඒ, යමක් දන්හි නම් ඒ කියව’ යි සාක්‍ෂ්‍ය විසින් පුළුවුස්නා ලදු ව හේ නො දන්මින් හෝ ‘නො දන්මි’ කියයි. දන්මින් හෝ ‘දන්මි’ කියයි. නො දක්මින් හෝ ‘නො දක්මි’ යි කියයි. දක්මින් හෝ ‘දක්මි’ යි කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි පරහේතුයෙන් වේවයි ඇලුප් අල්ලස් හේතුයෙන් වේවයි දැන දැන මුසවා නො කියනු වෙයි. පෙහෙසුන් හැරැපියා පෙහෙසුන් බසින් වැළැකියේ වෙයි. මෙහි අසා මුන් බිඳිනු පිණිස එහි ලා නො කියනු වෙයි. එහි අසා හෝ උන් බිඳුනු පිණිස මුනට නො කියනු වේ යයි. මෙසේ භෙදගතයන් සන්‍ධාන කරනුයේ හෝ සන්‍ධාන වූවනට අනුබල දෙනුයේ හෝ සමග්‍රාරාම ව සමග්‍රරත ව සමග්‍රනන්‍දි ව සමඟ කරන බස් කියනු වෙයි. පරොස් බස් හැරැපියා පරොස් බසින් වැළැකියේ වෙයි. යම් බසෙක් නිර්දෝෂ වේ ද, කනට සුව එළවා ද, ප්‍රේමනීය වේ ද, හෘදයඞ්ගම වේ ද, පුරවැසි වේ ද, බොහෝ දෙනාට කන්කලු වේ ද, බොහෝ දෙනා මන්වඩනු වේ ද, එබඳු බස් බණනු වෙයි. පලප් හැරැපියා පලප්බසින් වැළැකියේ වෙයි. කාලවාදී ව භූතවාදී ව අර්‍ත්‍ථවාදී ව ධර්‍මවාදී ව විනයවාදී ව සූත්‍රාපදෙස සහිත පර්‍ය්‍යන්ත ඇති අර්‍ත්‍ථ සංහිත ළෙහි නිදහනට යන බස් කියනු වෙයි. වහන්ස, මෙබඳු වාක්සමාචාර සෙවුනහුට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති.
“මහණෙනි, මම වාක්සමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන වාක්සමාචාර වෙතී’ භාග්‍යවතුන් වහන්සේ යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තර පිණිස වදාරන ලදි.
“මහණෙනි, මම මනඃසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන මනඃසමාචාර වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද්දේ යැ යත්: වහන්ස, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු මනස්සමාචාරය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු මනස්සමාචාරය සෙවිය යුතු ය.
වහන්ස, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යා බහුල වෙයි, මෙරමාගේ යම් පරගත තුෂ්ටිජනක උපකරණ ඇද්ද, ‘පරා අයත් යමෙක් වේ ද, ඒ මා සතු වේ නම් මැනැවැ’ යි මෙසේ එය අභිධ්‍යායෙන් බලනු වෙයි. විපත් සිත් ඇතියේ ‘මේ සත්ත්‍වයෝ නැසෙත්වා, වධයට වැටෙත්වා, සිඳෙත්වා, වැනැසෙත්වා, නො වෙත්වා’ යි මෙසේ ද්වේෂයෙන් දුෂ්ට මනස්සංකල්ප ඇතියේ වෙයි. වහන්ස, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙති.
වහන්ස, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යා බහුල නො වෙයි, මෙරමා අයත් යම් පරායත්ත තුෂ්ටිජනක උපකරණ ඇද්ද, ‘පරා අයත් යමක් ඇද්ද, ඒ මා සතු වේව’ යි මෙසේ එය අභිධ්‍යායෙන් නො බලනු වෙයි. අව්‍යාපන්න සිත් ඇතියේ ‘මේ සත්ත්‍වයෝ අවෛර වූවාහු නිදුක් වූවාහු ව්‍යසන නැත්තාහු සුඛිත වූවාහු තමන් පරිහරණ කෙරෙත්ව’යි මෙසේ අප්‍රදුෂ්ට මනස්සංකල්ප ඇත්තේ වෙයි. වහන්ස, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති.
“මහණෙනි, මම මනස්සමාචාර ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන මනස්සමාචාර වෙතී’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තර පිණිස වදාරන ලදි.
“මහණෙනි, මම චිත්තෝත්පාදය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන චිත්තෝත්පාද වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස් කුමක් පිණිස වදාරන ලද්දේ යැ යත්: වහන්ස, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු චිත්තෝත්පාදය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු චිත්තෝත්පාදය සෙවිය යුතු ය.
වහන්ස, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යා බහුල වෙයි, අභිධ්‍යා සහගත සිතින් වාස කෙරෙයි. ව්‍යාපාද ඇතියේ වෙයි ව්‍යාපාදසහගත සිතින් වාස කෙරෙයි. විහිංසා ඇතියේ වෙයි. විහිංසාසහගත සිතින් වාස කෙරෙයි. වහන්ස, මෙබඳු චිත්තෝත්පාදය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙති.
වහන්ස, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යා බහුල නො වෙයි, අනභිධ්‍යාසහගත සිතින් වාස කෙරෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි, අව්‍යාපාද සහගත සිතින් වාස කෙරෙයි. අවිහිංසා ඇතියේ වෙයි. අවිහිංසාසහගත සිතින් වාස කෙරෙයි. වහන්ස, මෙබඳු චිත්තෝත්පාද සෙවුනහුට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති.
“මහණෙනි, මම චිත්තෝත්පාදයත් දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන චිත්තෝත්පාද වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙ බස තෙල විස්තරය පිණිස වදාරන ලදි.
“මහණෙනි, මම සංඥාප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. හෙ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ යැ’ යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු සංඥාප්‍රතිලාභය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවිය යුතු ය.
වහන්ස, කෙබඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි, අභිධ්‍යාසහගත සංඥායෙන් වෙසෙයි. ව්‍යාපාද ඇතියේ වෙයි, ව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. විහිංසා ඇතියේ වෙයි. විහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. වහන්ස, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. වහන්ස, කෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් අනභිධ්‍යාලු වෙයි, අනභිධ්‍යාසහගත සංඥායෙන් වෙසෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි, අව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. අවිහිංසා ඇතියේ වෙයි. අවිහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. වහන්ස, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
“මහණෙනි, මම සංඥාප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ වෙති”. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.
“මහණෙනි, මම දෘෂ්ටිප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති’ යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස් කුමක් පිණිස වදාරන ලද්දේ ය යත්: වහන්ස, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවිය යුතු ය.
වහන්ස, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් එවංදෘෂ්ටික වෙයි: දුන් දැයැ විපාක නැත. යාග විපාක නැත. ප්‍රාඝුණසත්කාර විපාක නැත. සුකෘතදුෂ්කෘත කර්‍ම ඵල විපාක නැත. (පරලොවැ සිටුනාහට) මෙලොව නැත. (මෙලොවැ සිටුනා හට) පරලොව නැත. මවු නැත, පියා නැත, ච්‍යුත වැ උපදනා සත්ත්‍වයෝ නැත. යම් මහණ බමුණු කෙනෙක් මෙලොව හා පරලොව හා තුමූ විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද, එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් නැති’යි කියා යි. වහන්ස, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙත්. වහන්ස, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, මෙලොවැ එකෙක් එවංදෘෂ්ටික වෙයි: දාන විපාක ඇත. යාග විපාක ඇත. ප්‍රාඝුණසත්කාර විපාක ඇත. සුකෘතදුෂ්කෘතකර්‍ම ඵල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත, පියා ඇත, ච්‍යුත වැ උපදනා සත්ත්‍වයෝ ඇත. යම් මහණ බමුණු කෙනෙක් මෙලොව හා පරලොව හා තුමූ විශිෂ්ටප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද, සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් ඇතැ’ යි කියා යි. වහන්ස, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභ සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති කුශලධර්‍මයෝ වැඩෙත්.
“මහණෙනි, මම දෘෂ්ටිප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.
“මහණෙනි, මම ආත්මභාවප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන ආත්මප්‍රතිලාභ වෙති’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල බස් කුමක් පිණිස වදාරන ලද්දේ යැ යත්: වහන්ස, යම්බඳු ආත්මප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු ආත්මභාවප්‍රතිලාභය නො සෙවිය යුතු ය. වහන්ස, යම්බඳු ආත්මභාවප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු ආත්මභාවප්‍රතිලාභය සෙවිය යුතු ය.
වහන්ස, කෙබඳු ආත්මභාවප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: වහන්ස, සදුඃඛආත්මභාවප්‍රතිලාභය නිපදවනුහට භවයන්ගේ අපරිනිෂ්ඨිතභාවය පිණිස අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙත්. වහන්ස, කෙබඳු ආත්මභාවප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: වහන්ස, අදුඃඛආත්මභාවප්‍රතිලාභය නිපයනුවහට භවයන්ගේ පරිනිෂ්ඨිතභාවය පිණිස අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
“මහණෙනි, මම ආත්මභාවප්‍රතිලාභය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි. එ ද වෙන වෙන ආත්මභාවප්‍රතිලාභ වෙති’ යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ මෙසේ විස්තර විසින් අවබෝධ කොට ගනිමි.
ශාරිපුත්‍රය, මැනැව, මැනැව, ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් වදාළ විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නො කළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ මනාකොට අවබෝධ කරන්නාව.
“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි එ ද වෙන වෙන කායසමාචාර’ වෙති’ යි මෙසේ මා විසින් තෙල බසෙක් කියන ලද ද, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ශාරිපුත්‍රය, යම්බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු කායසමාචාර නො සෙවිය යුතු ය. ශාරිපුත්‍රය, යම් බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු කායසමාචාර සෙවිය යුතු ය.
ශාරිපුත්‍රය, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් පණිවා කරනු වෙයි ... ශාරිපුත්‍රය, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් පණිවා හැරපියා ... ශාරිපුත්‍රය, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්. “ශාරිපුත්‍රය, මම කායසමාචාර ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි, එ ද වෙන වෙන කායසමාචාර වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.
“ශාරිපුත්‍රය, මම වාක්සමාචාරය ද, සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙ පරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන වාක්සමාචාර වෙති” යි, මෙසේ මා විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද්දේ ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු වාක්සමාචාරය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු වාක්සමාචාරය සෙවිය යුතු ය.
ශාරිපුත්‍රය, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මුසවා ඇත්තේ වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු වාක්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මුසවා හැරැපියා මුසවායෙන් වැළැකුණේ වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු වාක්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
“ශාරිපුත්‍රය,මම වාක්සමාචාරය ත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන වාක්සමාචාර යැ” යි මෙසේ මා විසින් යමක් කියන ලද ද, මෙය තෙල විස්තර සඳහා පවසන ලද්දේ ය.
“ශාරිපුත්‍රය, මම මනස්සමාචාරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන මනස්සමාචාර යැ” යි මෙසේ මා විසින් තෙල (සැකෙවින්) කියන ලද. තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනා හට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු මනස්සමාචාරය නො සෙවිය යුතු ය. තව ද ශාරිපුත්‍රය, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු මනස්සමාචාරය සෙවිය යුතු ය.
ශාරිපුත්‍රය, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්.