Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 4601-4700 න් 6387

බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වූ ධ්‍යානයක් වර්‍ණනා නො කළ සේක් ද යත්: ‘බමුණ, මෙලො වැ කිසිවෙක් කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් පෙළන ලද සිතින් යුක්ත වැ වෙසෙයි, යළි උපන් කාමරාගයාගේ නිස්සරණය තතුසේ නො දනී. හේ කාමරාගය මැ ඇතුළු කොට ගෙන සිතයි, අතිශයින් සිතයි, අනේකප්‍රකාරයෙන් සිතයි, ඉන් බැහැර වැ සිතයි. ව්‍යාපාදයෙන් මැඩුණු ව්‍යාපාදයෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය තතුසේ නො දතහෙයි, හේ ව්‍යාපාදය මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන් අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. ථීනමිද්ධයෙන් මැඩුණු ථීනමිද්ධයෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ථීනමිද්ධයාගේත් නිස්සරණය තතුසේ නො දතහෙයි. හේ ථීනමිද්ධය මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන්අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. උද්ධච්ච කුක්කුච්චයෙන් මැඩුණු උද්ධච්චකුක්කුච්චයෙන් පෙළුණුසිතින් යුක්ත වැ වෙසෙයි. උපන් උද්ධච්චකුක්කුච්චයාගේත් නිස්සරණය තතුසේ නො දතහෙයි. හේ උද්ධච්ච කුක්කුච්ච මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන්අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. විචිකිච්ඡායෙන් මැඩුණු විචිකිච්ඡායෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි, උපන් විචිකිච්ඡාවගේ ද නිස්සරණය තතුසේ නො දතහෙයි, හේ විචිකිච්ඡාව මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන් අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු වූ ධ්‍යානය වර්‍ණනා නො කළ සේක.
බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වූ ධ්‍යානයක් වර්‍ණනා කළසේක් ද යත්: ‘බමුණ, මෙ සස්නෙහි මහණ කාමරාගයෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ සවිතර්‍ක වූ සැවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. විතර්‍කවිචාරයන්ගෙන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදි භාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධිය වූ ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. ප්‍රීතියගේ ද විරාගයෙන් ද උපේක්‍ෂා ඇත්තේ ද ස්මෘති ඇති ව සම්‍යග්ඥානය ඇති ව වෙසෙයි, නාමකයින් සුඛය ද විඳී, යම් ධ්‍යානයක් හේතුකොටගෙන ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යැ’යි පවසත් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තංගමයෙන් දුක් නො වූ සුව නො වූ උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. බමුණ, ඒ භාගවතුන් වහන්සේ මෙබඳු වූ ධ්‍යානය වර්‍ණනා කළ සේකැ’යි වදාළහ.
භවත් ආනන්‍දයෙනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැරැහියැ යුතු ධ්‍යානය කලි ගැරැහූහ. පැසැසියැ යුත්ත පැසැසූහ. මැනැවැ භවත් ආනන්‍දයෙනි, මෙවිට ඇපි යම්හ, ඇපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’ යි.
බමුණ, තෙපි දැන් ඒ කටයුතු සඳහා කල් දනුව’ යි.
ඉක්බිති මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැගිට නික්මැ ගියේ ය.
ඉක්බිති ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු නික්මැ ගිය නොබෝවේලෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: ‘ඇපි භවත් ආනන්‍දයන් යමක් විචාළමෝ නම් භවත් ආනන්‍දයෝ එය ප්‍රකාශ නො කළහ’ යි.
බමුණ, තොපට කිවමෝ නො ද: ‘බමුණ, ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ යම් සර්‍වඥතාඥාන ධර්‍මයෙකින් සමන්‍වාගත සේක් නම් ඒ ධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂු කෙනෙකුදු නැත්තාහ. එසේ මැ යැ, බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ (සිය සතන්හි) නූපන් මඟ උපදවනුවහ, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය දනවනුවහ. ප්‍රකාශ නො කළ මඟ පවසනුවහ ආර්‍ය්‍යමාර්‍ග ප්‍රත්‍යවේක්‍ෂා විසින් දතුවහ, (වෛනෙයසන්තානයෙහි) දැනැවියයුතු මඟ දන්නාසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් හෙළිකළ මාර්‍ගය හේතුකොටගෙන මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වාස කෙරෙත් යයි වදාළහ.
අටවැනි ගෝපකමොග්ගල්ලාන සූත්‍ර යි.
3. 1. 9.
මහාපුණ්ණම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතෘප්‍රසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩවාස කරන සේක, තවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි මස් පිරුණු රාත්‍රියෙහි භික්‍ෂුසංඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්‍යාවකාශයෙහි වැඩහුන් සේක.
ඉක්බිති එක්තරා මහණෙක් හුනස්නෙන් නැඟීසිට සිවුර එකස්කොට පෙරෙව භාග්‍යවතුන් වහන්සේ දිසාවට දොහොත් මුදුන් තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘වහන්ස, ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ පැන විසඳනුවට අවකාස කරන සේක් නම්, මම භාග්‍යවතුන් වහන්සේ ඒකදේසමාත්‍රයක් පුළුවුස්මී’ කීය.
එසේ වී නම් මහණ තෙපි සිය අස්නෙහි හිඳ යමක් රිසියෙයි නම් පුළුවුස්ව’යි වදාළහ.
එ සඳ එ මහණ සිය අස්නෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ:
වහන්ස, පඤ්චෝපාදානස්කන්‍ධයෝ මොවුහු නො ද, ඒ මෙසේ යැ: රූපෝපාදාන ස්කන්‍ධය වේදනෝපාදානස්කන්‍ධය සංඥොපාදානස්කන්‍ධය සංස්කාරෝපාදානස්කන්‍ධය විඥානෝපාදානස්කන්‍ධ යි.
මහණ පඤ්චෝපාදානස්කන්‍ධයෝ මොහු යැ, ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධ වේදනෝපාදානස්කන්‍ධ සංඥෝපාදානස්කන්‍ධ සංස්කාරෝපාදානස්කන්‍ධ විඥානෝපාදානස්කන්‍ධ යි.
‘මැනැවැ වහන්සැ’ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ බුදුරදුන් මත්තෙහි පැන පිළිවිත්:
යළි වහන්සැ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ’යි.
මහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ තෘෂ්ණාව මුල් කොට ඇත්තාහ’යි.
වහන්ස, එ මැ උපාදාන ඒ පඤ්චස්කන්‍ධයෝ වෙත් ද, නොහොත් පඤ්චොපාදානස්කන්‍ධයෙන් වෙන් වැ උපාදාන වේ දැ’යි.
මහණ, එ මැ උපාදානය ඒ පඤ්චෝපාදානස්කන්‍ධයෝ නො වෙති, පඤ්චොපාදානස්කන්‍ධයෙන් වෙන් වැ නො ද උපාදාන වෙයි. මහණ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන යි.
වහන්ස, යළි පඤ්චෝපාදානස්කන්‍ධයන් විෂයෙහි ඡන්‍දරාගයාගේ වෙනස්බවෙක් ඇද්දැ’යි පිළිවිත්.
මහණ, ‘ඇතැ’ යි බුදුහු වදාළහ: ‘මහණ, මෙලොවැ කිසිවක්හට මෙසේ සිත් වෙයි: අනාගතකාලයෙහි මෙබඳු රූප ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙම් වන්නෙමි. මෙසේ පඤ්චෝපාදානස්කන්‍ධ විෂයෙහි ඡන්‍දරාගයාගේ විවිධත්‍වය වන්නේ ය’ යි වදාළහ.
වහන්ස, යළි කොපමණෙකින් ස්කන්‍ධයන් ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේ දැ’යි.
මහණ, අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, මේ රූපස්කන්‍ධ යැ, අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් වේදනාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් වේදනාවක් ඇද්ද, මේ වේදනාස්කන්‍ධ යැ, අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංඥාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් සංඥාවක් ඇද්ද, මේ සංඥාස්කන්‍ධ යැ. අතීතානාගතප්‍රත‍්‍යුත්‍යන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් සංස්කාර කෙනෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, මේ සංස්කාරස්කන්‍ධ යැ. අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, මේ විඥානස්කන්‍ධ යැ. මහණ, මෙතෙකින් ස්කන්‍ධයන් ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේයයි වදාළහ.
වහන්ස, රූපස්කන්‍ධයාගේ පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, වේදනා ස්කන්‍ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංඥාස්කන්‍ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංස්කාරස්කන්‍ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, විඥානස්කන්‍ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ දැ’ යි.
මහණ, රූපස්කන්‍ධය පැනැවීමට සතර මහාභූතයෝ හේතු වෙති, සතර මහාභූතයෝ ප්‍රත්‍යය වෙති. වේදනාස්කන්‍ධය පැනැවීමට ස්පර්‍ශය හේතු වෙයි, ස්පර්‍ශය ප්‍රත්‍යය වෙයි. සංඥාස්කන්‍ධය පැනැවීමට ස්පර්‍ශය හේතු වෙයි, ස්පර්‍ශය ප්‍රත්‍ය වෙයි. සංස්කාරස්කන්‍ධය පැනැවීමට ස්පර්‍ශය හේතු වෙයි, ස්පර්‍ශය ප්‍රත්‍ය වෙයි. මහණ, විඥානස්කන්‍ධය පැනැවීමට නාමරූපය හේතු වෙයි, නාමරූප ප්‍රත්‍යය වේ යයි වදාළසේක.
වහන්ස, යළි කිසෙයින් සත්කායදෘෂ්ටි වේ දැයි පිළිවිත්.
මහණ, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නුදුටුයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අකෝවිද වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ, සත් පුරුෂයන් නුදුටුයේ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම වශයෙන් දකී, රූපවත් ආත්මය හෝ ආත්මයෙහි රූපය හෝ රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මවශයෙන් දකී, වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනාවෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මවශයෙන් දකී, සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මවශයෙන් දකී, සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මවශයෙන් දකී, විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකී. මහණ, මෙසෙයින් සක්කායදෘෂ්ටි වේ යයි වදාළහ.
වහන්ස, යළි කිසෙයින් සක්කායදෘෂ්ටි නො වේ දැ’ යි පිළිවිත්.
මහණ, මෙලොවැ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යයන් දුටුයේ ආර්‍ය්‍යධර්‍මයට නිපුණ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූයේ, සත්පුරුෂයන් දුටුයේ සත්පුරුෂධර්‍මයට නිපුණ වූයේ සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත වූයේ රූපය ආත්මවශයෙන් නො දකී, රූපවත් ආත්මය හෝ ආත්මයෙහි රූපය හෝ රූපයෙහි ආත්මය හෝ නො දකී. වේදනාව ආත්මවශයෙන් නො දකී, වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනායෙහි ආත්මය හෝ නො දකී. සංඥාව ආත්මවශයෙන් නො දකී, සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ නො දකී. සංස්කාරයන් ආත්මවශයෙන් නො දකී. සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ නො දකී. විඥානය ආත්ම වශයෙන් නො දකී, විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ නො දකී. මහණ, මෙසෙයින් සක්කායදෘෂ්ටි නො වේ යයි වදාළහ.
වහන්ස, රූපයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? වේදනායෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? සංඥායෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? සංස්කාරයන්හි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? විඥානයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිමැ’ පිළිවිත්.
මහණෙනි, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යැ. යම්හෙයෙකින් රූපය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ රූපයෙහි ආදීනව යැ. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයෙහි නිස්සරණ යි. මහණ, වේදනාව නිසා යම් ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයෙහි ආස්වාද යැ, යම් හෙයෙකින් විඥානය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ විඥානයෙහි ආදීනව යැ. විඥානයෙහි යම් ඡන්‍ද රාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ විඥානයෙහි නිස්සරණැ’ යි වදාළහ.
වහන්ස, යළි කිසෙයින් දන්නාහට කිසෙයින් දක්නාහට මේ සවිඥානක කයෙහි ද මෙරමාගේ සවිඥානක කයෙහි හා අතින්‍ද්‍රියබද්ධයෙහි ද අහංකාර මාන යැ මමංකාර තෘෂ්ණා යැ යන අනුශයධර්‍මයෝ නො වෙත් දැ’යි.
මහණ, අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්‍ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, එ හැම රූපය මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැ’යි මෙසේ තෙල රූපය යථාස්වභාවයෙන් විදර්‍ශනාප්‍රඥායෙන් දකී. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද ඖදාරික වූ ද සූක්‍ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, තෙල හැම විඥානය මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යැ’යි මෙසේ තෙල විඥානය තත්වූ පරිදි විදර්‍ශනාප්‍රඥායෙන් දකී. මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඥානක කයෙහි ද බාහ්‍ය වූ සවිඥානක කයෙහි හා අතින්‍ද්‍රියබද්ධයෙහි ද අහංකාර මාන යැ මමංකාර තෘෂ්ණා යැ යන අනුශය ධර්‍මයෝ නො වෙත් යයි වදාළහ.
එකල්හි එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්‍මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් දැන භික්‍ෂූන් ඇමැතූ සේක: ‘මහණෙනි, තෙල කරුණ වැලිත් විද්‍යමාන වෙයි, යම් කරුණෙකින් මෙලොවැ ඇතැම් මෝඝපුරුෂයෙක් අවිද්වද් වූයේ අවිද්‍යාවට පැමිණියේ තෘෂ්ණාව අධිපති කොට ඇති සිතින් යුක්ත වැ ශාස්තෘශාසනය ඉක්මැයායුතු කොට සිතන්නේ ය: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්‍මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි. මහණෙනි, මා විසින් තෙපි ඒ ඒ දහම්හි (දහම්) පිණිස විනීතයහ. මහණෙනි, ඒ කිමැයි සිතවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ’යි.
‘වහන්ස, අනිත්‍ය යැ.’
‘යළි යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ’යි.
‘වහන්ස, දුක් වෙයි.’
‘යළි යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වී නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’යි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) දක්නට නිසි වේ දැ’යි.
‘වහන්ස, තෙල නො වේ මැ යි.’
‘මහණෙනි, ඒ කිමැයි සිතව් ද, වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය හෝ වේ දැ’යි.
‘වහන්ස, අනිත්‍ය වෙයි.’
‘යළි යම් විඥානයක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ’යි.
‘වහන්ස, දුක් වෙයි.’
‘යළි යම් විඥානයක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වී නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම වී යැ’යි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) දක්නට නිසි වේ දැ’යි.
‘වහන්ස, තෙල නො වේ මැ යි.’
‘එහෙයින් මහණෙනි, මෙහි ලා අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්‍ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගතප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, තෙල හැම රූපය මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැයි මෙසේ තෙල රූපය යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්‍ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් ඇද්ද දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද තෙල හැම විඥානය මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ’ යයි මෙසේ තෙල යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයන්හිදු කලකිරෙයි, විඥානයෙහි කලකිරෙයි, කලකිරෙනුයේ විරාගයට පැමිණෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි විමුක්ත යයි ප්‍රත්‍යවේක්‍ෂාඥානය වෙයි: ‘ජාතිය ක්‍ෂීණ යැ, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්‍ථම්භාවය පිණිස අන් කිසෙක් නැතැයි දැනගනී.
භාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.
තවද මේ වෙය්‍යාකරණය වදාරන කල්හි සැටක් පමණ භික්‍ෂූන්ගේ සිත් උපාදාන රහිත කොට ආශ්‍රවයන් කෙරෙන් මිදුණාහ’ යි.
නවවැනි මහාපුණ්ණම සූත්‍ර යි.
3. 1. 10.
චූළපුණ්ණම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමා පායෙහි වැඩවසන සේක. තවද, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි කලා පිරුණු මැදි පොහොයැ රාත්‍රියෙහි භික්‍ෂු සංඝයා විසින් පිරිවරනලද සේක් නිහඬව වැඩහුන් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව හුන් භික්‍ෂුසංඝයා බලා භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, අසත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේදැ’ යි.
වහන්ස, තෙල නො වේ මැ’ යි.
මැනැව මහණෙනි, යම් කරුණෙකින් අසත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ ද, මහණෙනි, තෙල අකාරණ යැ, අනවකාශ යි.
යළි මහණෙනි, අසත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේදැ’ යි.
වහන්ස, තෙල නො වේ මැ’ යි.
මැනැව මහණෙනි, යම් කරුණෙකින් අසත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේ ද, මහණෙනි, තෙල දු අකාරණ යැ, අනවකාශ යි.
මහණෙනි, අසත්පුරුෂ පාප (අසද්) ධර්‍මයෙන් යුක්ත වූයේ වෙයි, අසත්පුරුෂයන් සෙවුනේ වෙයි, අසත්පුරුෂචින්තායෙන් සිතන්නේ වෙයි, අසත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි, අසත්පුරුෂ බස් බණන්නේ වෙයි, අසත්පුරුෂකම් කරනුයේ වෙයි, අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි, අසත්පුරුෂ දන් දෙනුයේ වේ.
මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂධර්‍මසමන්‍වාගත වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ ශ්‍රද්ධා නැතියේ වෙයි, (පාපයෙහි) ලජ්ජා නැතියේ වෙයි, භය නැතියේ වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, මුළාසිහි ඇතියේ වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසද්ධර්‍මසමන්‍වාගත වේ.
මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂයන් සෙවුනේ වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ හට ශ්‍රද්ධා නැති ලජ්ජා නැති බිය නැති අල්පශ්‍රැත වූ, කුසීත වූ, මූඪස්මෘති ඇති දුෂ්ප්‍රාඥ වූ යම් මහණ බමුණු කෙනෙක් වෙද්ද, ඔවුහු මිත්‍ර වෙති, ඔවුහු සහායයෝ වෙත්. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂයන් සෙවුනේ වේ.
මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂචින්තී වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ තමහට දුක් පිණිස ද සිතයි. මෙරමාහට දුක් පිණිස ද සිතයි, තමා හා පරහට දුක් පිණිස ද සිතයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ සිතුවිලි සිතනුයේ වේ.
මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ ආත්මපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි. පරපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි, උභයපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ.
මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂබස් බණන්නේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ මුසවා ඇතියේ වෙයි, පිසුනු බස් බණන්නේ වෙයි, පරොස් බස් බණනුයේ වෙයි, සිස්බස් බණනුයේ වෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ බස් බණන්නේ වේ.
මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂකම් ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ ප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වේ.
මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදෘෂ්ටි ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි ඵල නැත, යාගයෙහි ඵල නැත, පුදන ලදුයෙහි ඵල නැත, කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, සැවැ උපදනා සත්ත්‍ව කෙනෙක් නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණු කෙනෙක් ලොව නැතැ’ යි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂදෘෂ්ටි ඇතියේ වේ.
මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදාන දෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ නො සකසා දන් දෙයි, සියතින් දන් නො දෙයි, (දෙය ධර්‍ම, පුද්ගලයන් කෙරෙහි) බුහුමන් නො කොට දන් දෙයි. බැහැරලන රිසි ඇති වැ (අපවිත්‍ර වැ) දන් දෙයි, විපාක ලැබෙයි යන දෘෂ්ටි නැති ව දන් දෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදානය දෙයි.
මහණෙනි, තෙල අසත්පුරුෂ මෙසේ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ මෙසේ අසත්පුරුෂසේවන ඇතියේ මෙසේ අසත්පුරුෂචින්තා ඇතියේ මෙසේ අසත්පුරුෂමන්ත්‍රණ ඇතියේ මෙසේ අසත්පුරුෂ බස් ඇතියේ මෙසේ අසත්පුරුෂ කම් ඇතියේ මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇතියේ මෙසේ අසත්පුරුෂ දන් දී කාබුන් මරණින් මත්තෙහි අසත්පුරුෂයන්ගේ යම් ගතියෙක් ඇද්ද, එහි උපදී. මහණෙනි, අසත්පුරුෂයන්ගේ ගති කවර යැ: නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි.
මහණෙනි, සත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේ දැ’ යි.
එසේයැ, වහන්ස,
මැනැව මහණෙනි, යම් කරුණෙකින් සත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේය යන මෙකරුණ වන්නේ යි.
යළි මහණෙනි, සත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ දැ’ යි.
එසේයැ, වහන්ස,
මැනැව මහණෙනි, යම් කරුණෙකින් සත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ යි.
මහණෙනි, සත්පුරුෂ සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සත්පුරුෂයන් සෙවුනේ වෙයි, සත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි, සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි. සත්පුරුෂ බස් ඇත්තේ වෙයි, සත්පුරුෂ ක්‍රියා ඇත්තේ වෙයි, සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වෙයි, සත්පුරුෂදාන දෙයි.
මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සද්ධර්‍මසමන්‍වාගත වෙයි යත්: මෙලොවැ සත්පුරුෂහට ශ්‍රද්ධා ඇත්තේ වෙයි, හ්‍රී ඇත්තේ වෙයි, අපත්‍රපා ඇත්තේ වෙයි, බහුශ්‍රුත වූයේ වෙයි. ආරබ්ධවීර්‍ය්‍යය වෙයි, එළැඹසිටි සිහි ඇත්තේ වෙයි, ප්‍රඥාවත් වෙයි. මෙසෙයින් මහණෙනි, සත්පුරුෂ සද්ධර්‍මසමන්‍වාගත වූයේ වේ.
මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ සෙවුනේ වෙයි යත්: මෙලොවැ සත්පුරුෂහට යම් මහණ බමුණු කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු හ්‍රී ඇත්තාහු අපත්‍රපා ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ආරබ්ධවීර්‍ය්‍යය වූවාහු එළැඹසිටි සිහි ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු වෙත්ද ඔවුහු මිත්‍ර වෙති, ඔවුහු සහායයෝ වෙත්. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂයන් සෙවුනේ වේ.
මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂචින්තා ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ආත්ම පීඩාව පිණිස නො මැ සිතයි, පරපීඩා පිණිස නො මැ සිතයි, උභයපීඩා පිණිස නො සිතයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂචින්තා ඇත්තේ වේ.
මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ආත්මපීඩා පිණිස නො මැ මන්ත්‍රණ කෙරෙයි. පරපීඩා පිණිස මන්ත්‍රණ නො කෙරෙයි, උභයපීඩා පිණිස මන්ත්‍රණ නො කෙරෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ.
මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂවචන ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස් බසින් වැළකුණේ වෙයි, සිස්බස් බිණීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ වචන ඇත්තේ වේ.
මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි, අදත්තාදානයෙන් වැළකුණේ වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වේ.
මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ දෘෂ්ටි ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත, පූජායෙහි විපාක ඇත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, (පර ලොවැ සිටියානට) මෙලොව ඇත, (මෙලොව සිටියානට) පරලොව ඇත, මවු (මාතෘ උපස්ථානයෙහි විපාක) ඇත, පියා ඇත, ඕපපාතික ව උපදනා සත්ත්‍වයෝ ඇත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වේ.
මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂදාන දෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂයා සකසා දන් දෙයි, සියතින් දන් දෙයි, සිතින් බුහුමන් කොට දන් දෙයි. විපාක ලැබෙයි යන දෘෂ්ටි ඇති ව දන් දෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂදාන දෙයි.
මහණෙනි, තෙල සත්පුරුෂ මෙසේ සද්ධර්‍මසමන්‍වාගත වූයේ මෙසේ සත්පුරුෂයන් සෙවුනේ මෙසේ සත්පුරුෂචින්තා ඇතියේ මෙසේ සත්පුරුෂමන්ත්‍රණ ඇතියේ මෙසේ සත්පුරුෂ බස් ඇතියේ මෙසේ සත්පුරුෂකර්‍මාන්ත ඇතියේ මෙසේ සත්පුරුෂදෘෂ්ටි ඇතියේ මෙසේ සත්පුරුෂදාන දී කාබුන් මරණින් මත්තෙහි සත්පුරුෂයන් ගේ යම් ගතියෙක් ඇද්ද, එහි උපදනේය. මහණෙනි, සත්පුරුෂයන්ගේ ගති කවර යත්: ෂට්කාමාවචර දේව සංඛ්‍යාත දේවමහත්‍වය හෝ මනුෂ්‍යමහත්‍වය හෝ යි.
භාග්‍යවතුන් වහන්සේ මේ සුත වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළාහ ‘යි.
දසවැනි චූළපුණ්ණම සූත්‍ර යි.
පළමුවන දෙවදහ වර්‍ගය නිමි.
දෙවදහවර්ගයේ උද්දානය:
දෙවදහ නම් ශාක්‍යනිගමය නිසා වැඩවෙසෙමින් වදාළ දේවදහ සූත්‍රය ද, සංඥා ආදී ත්‍රිකය උච්ඡෙද දෘෂ්ටධර්මනිර්‍වාණ හා පඤ්චකය ගෙන “ඉති ඉමානි පඤ්ච හුත්වා තීණී හොන්ති, තීණී හුත්වා පඤ්ච හොන්ති” යි පඤ්චත්‍රය උද්දේස කොට වදාළ පඤ්චත්තය සූත්‍රය හා “කින්ති වො භික්ඛවෙ” යනාදීන් ආරබ්ධකින්ති සූත්‍රය ද, සාමග්‍රාමයෙහි වැඩහිඳ වදාළ සාමගාම සූත්‍රය, ලිච්ඡවි පුත්‍ර සුනක්ඛත සඳහා වදාළ සුනක්ඛත ද සූත්‍රය හා චතුර්තධ්‍යානාදී ආනෙඤ්ජසමාපත්තියට උපකාර වූ ප්‍රතිපත් වදාළ අනෙඤ්ජසප්පාය සූත්‍රය ද, ශාසනයෙහි අනුපූර්‍වශික්‍ෂා වදාළ ගණකමොගල්ලාන සූත්‍රය ද, බුද්ධපරිනිර්‍වාණයට සමනන්තර වූ ආනන්‍ද තෙරුන් විසන් ගොපකමොගල්ලාන බමුණුහුගේ කර්මාන්ත ස්ථානයෙහි දී වදාළ ගොපාලකමොග්ගල්ලාන සූත්‍රය හා පුවරම් මුවරමාපායෙහි වැඩහිඳ සඳ පිරුණු මැදි පෙහොයෙහි වදාළ මහාපුණ්ණම චූළපුණ්ණම දෙ සුත ද මෙයින් සැදුණු පළමු වන දෙවදහ වග නිමියේ යි.
2. අනුපද වර්‍ගය
3. 2. 1.
අනුපද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන්වහන්සේ මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ’යි ඒ වහන්දැ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන්වහන්සේ තෙල අනුපද සුත වදාළ සේක.
මහණෙනි, ශාරිපුත්‍ර (ධාත්‍වාදි කුශලතාවෙන්) පණ්ඩිත වූයේ ය, මහණෙනි, ශාරිපුත්‍ර මහාප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (නානාස්කන්‍ධාදියෙහි ප්‍රවෘත්ත වූ) පෘථුප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (හර්‍ෂබහුල ව ශීලස්කන්‍ධාදිය පුරන) හාසුප්‍රඥා ඇත්තේය, මහණෙනි, ශාරිපුත්‍ර (රූපාදියෙහි අනිත්‍යාදි විසින් වහා දිවෙන) ජවන ප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (වහා කෙලෙස් සිඳින) තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේය. මහණෙනි, ශාරිපුත්‍ර (පෙරැ නොබුන් ලොභස්කන්‍ධාදිය ප්‍රදාරණ කරන) නිබ්බේධික ප්‍රඥා ඇත්තේය. මහණෙනි, ශාරිපුත්‍ර අඩ මසක් මුළුල්ලෙහි (සමාපත්ති විසින් හෝ ධ්‍යානාංග විසින් හෝ) අනුපිළිවෙළින් ධර්‍මවිදර්‍ශනා කෙරෙයි. මහණෙනි, ඒ අනුපද ධර්‍මවිදර්‍ශනා විෂයෙහි ශාරිපුත්‍රයන්ගේ මේ (අනුපදධර්‍ම විදර්‍ශනාව) වෙයි.
මහණෙනි, මෙ සස්නෙහි ශාරිපුත්‍ර කාමච්ඡන්‍ද නීවරණයෙන් වෙන් ව (ශේෂනීවරණ) අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. තවද ප්‍රථම ධ්‍යානයෙහි විතර්‍කය ද, විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතා ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්‍මයෝ අනු පිළිවෙළින් පිරිසිඳුනා ලද්දාහු වෙති. ඔහුට ඒ ධර්‍මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසෙයින් දැනගනී: මෙසේ මේ ධර්‍මයෝ පෙර නොවී උපදිති, ඉපිද වැනැසෙත් යයි. හේ ඒ ධර්‍මයන්, කෙරෙහි රාග වශයෙන් නො පැමිණෙනුයේ ප්‍රතිඝවශයෙන් අනපගත වූයේ තෘෂ්ණාදෘෂ්ටින් අනිශ්‍රිත වූයේ ඡන්‍දරාගයෙන් නො බැඳුණේ කාමරාගයෙන් වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි අනන්තර විසේස සංඛ්‍යාත නිස්සරණය ඇතැ’යි දැනගනී. ඒ දැනුම බහුලී කාරයෙන් ඇත් මැ යයි ඔහුට දැඩි ව සිත් වේ.
යළිදු අනෙකෙකි, මහණෙනි, ශාරිපුත්‍ර විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවෙනි දැහැනට පැමිණ වෙසෙයි. ද්වීතිය ධ්‍යානයෙහි අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඡන්‍ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, උන් විසින් ඒ ධර්‍මයෝ අනු පිළිවෙළින්, පිරිසිඳුනා ලදහු වෙති. ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: මෙසේ මේ ධර්‍මයෝ පෙර නොවී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ දහම්හි රාග විසින් නො පැමිණෙනුයේ ප්‍රතිඝ විසින් අනපගත වූයේ තෘෂ්ණා දෘෂ්ටින් අනිශ්‍රිත වූයේ ඡන්‍දරාගයෙන් නො බැඳුණේ (කාමරාගයෙන්) වෙසෙසින් මිදුණේ චතුර්යෝගයෙන් නො යෙදුණේ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණය ඇතැ යි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා ඔහුට සිත වේ.