යම්සේ සුනක්ඛත්තය, ක්‍රෑර විෂ ඇති ආශීර්විෂයෙක් වේ ද, එකල්හි ජීවත්වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමැති දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ යැ, සුනක්ඛත්තය, ඒ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ‘යම්හෙයෙකින් මම මොහු විසින් දෂ්ට කරන ලද්දෙම් නම්, මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙමැ’ යි දන්නේ නම්, ඒ ඝෝරවිෂ වූ ආශීර්විෂයහට අතක් හෝ ඇඟිල්ලක් හෝ මෙහෙයන්නේ දැ?’ යි.
වහන්ස, තෙල නො වේ මැ ය.
එසෙයින් මැ සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ ෂට්ස්පර්‍ශායතනයන්හි සංවෘතකාරී වූයේ, ස්කන්‍ධොපධිය දුකට මුලැ’ යි මෙසේ දැන ක්ලේශෝපධි රහිත වූයේ, උපධික්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණයෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හෝ එළවන්නේ යැ, සිත හෝ උපදවන්නේ යැ යන තෙල කරුණ නො වන්නේ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කෙළේ යි.
පස්වැනි සුනක්ඛත්ත සූත්‍ර යි.
3. 1. 6.
ආනෙඤ්ජසප්පාය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරුදනවියෙහි වූ කල්මාෂදම්‍ය නම් කුරුරට වැසියන් ගේ නියම්ගම්හි වැඩවාස කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්‍ෂූන් බණවා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
මහණෙනි, වත්කම් කෙලෙස්කම්හු ඇතිවැ නැතිවන අටින් අනිත්‍යයහ, (නිත්‍යසාර ධ්‍රැවසාර ආත්මසාර විරහිතයෙන්) සිස්හ, නැසෙනුවහ, නැසෙනසැහැවි ඇතියව්හ. මහණෙනි, මායාවෙන් කරන ලද බාලලාපනයෙක, (බාලයන් ලවා මා ගේ යයි කියවනු යෙක). දෘෂ්ටධාර්මික වූ යම් මානුෂක පඤ්චකාමගුණ කෙනෙක් ඇද්ද, සාම්පරායික වූ යම් තදවශේෂ කාම කෙනෙකුත් ඇද්ද, දෘෂ්ටධාර්මික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, සාම්පරායික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මාරායත්තයෙක (මාරයා ගේ වශයෙහි වැටෙයි) තෙල මාරයාගේ විෂයයෙක, තෙල මාරයා ගේ නිවාපයෙක, තෙල මාරයා ගේ ගෝචරයෙක. මේ පස්කම් විෂයෙහි මෙනෙහි උපදනා අභිධ්‍යාව ද ව්‍යාපාදය ද (කරණුත්තරියකරණ ලක්‍ෂණ) සාරම්භය ද යන තෙල ලාමක අකුශල ධර්‍මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්‍ය්‍යශ්‍රාවක හට අන්තරාය පිණිස වෙත්.
මහණෙනි, එහි ලා ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් වෙත් ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥා කෙනෙකුත් යම් සාම්පරායික කාමසංඥා කෙනෙකුත් වෙත්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මරුට තැන් වෙයි, තෙලෙ මරුට විෂය වෙයි, තෙලෙ මරුගේ නිවාප යැ, තෙල මරුගේ ගෝචර යි. මේ කාමගුණ විෂයෙහි මානසික වූ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ සාරම්භ යැ යන තෙල ලාමක අකුශලධර්‍මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්‍ය්‍යශ්‍රාවක හට අන්තරාය පිණිස වෙති. මම් කාමගුණලෝකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහද්ගත වූ සිතින් යුක්ත ව වෙසෙම් නම් මැනව. යම්හෙයෙකින් කාමගුණලෝකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහත්ගත වූ සිතින් යුක්ත ව වෙසෙන මට චිත්තසම්භූත වූ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ සාරම්භ යැ යන යම් ලාමක අකුශල කෙනෙක් වෙත් නම්, ඔහු නො වන්නාහ. ඔවුන්ගේ ප්‍රහාණයෙන් මාගේ සිත (ලෝකෝත්තර විසින්) මහද්ගත ද අප්‍රමාණ ද සුභාවිත ද වන්නේය’යි. මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්‍හත්ත්‍වාදි) කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජ (චතුර්‍ත්‍ථධ්‍යාන) සමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි. යම්හෙයෙකින් ඒ භික්‍ෂූහු ගේ උපදනට නිසි විපාක විඥානය වී ද, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ පළමුවන ආනෙඤ්ජසප්පාය (චතුර්‍ත්‍ථධ්‍යානයට හිත වූ) ප්‍රතිපදාව යයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාම කෙනෙකුත් යම් සාම්පරායිකකාම කෙනෙකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් කිසි රූපයෙක් ඇද්ද, (එ හැම) සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැ’ යි (කියායි). මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්‍හත්‍වාදි) කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජසමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපදනට නිසි විපාක විඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ දෙවැනි චතුර්‍ත්‍ථධ්‍යාන සංඛ්‍යාත ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදාව යයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, තෙල (දිට්ඨධම්මික සාම්පරායික යන) දෙකම අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය තෘෂ්ණා දෘෂ්ටි විසින් අභිනන්‍දනා කරන්නට නො නිසි වෙයි. අභිමානයෙන් කියන්නට නො නිසි වෙයි, බැසැගෙන සිටින්නට නො නිසි වේ ය’ යි. මෙසේ පිළිපන් ඒ කාම-රූපප්‍රතිබාහනයෙන් එමැ පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණහු ගේ සිත අර්‍හත්‍වාදි කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. විඤ්ඤාණඤ්චායතන සංඛ්‍යාත ආනෙඤ්ජයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපතට නිසි විපාකවිඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේය. මහණෙනි, මේ තුන්වැනි ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදාව යයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් විඤ්ඤාණඤ්චායතන සංඛ්‍යාත ආනෙඤ්ජසංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනයකට පැමිණ තෙල සියලු සංඥාවෝ නිරවශේෂ කොට නිරුද්ධ වෙත් ද, යම් මේ ආකිඤ්චඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල (අඞ්ගශාන්තතායෙන් ද ආලම්බනශාන්තතායෙන් ද) ශාන්ත යැ තෙල (අතෘප්තකාර්‍ත්‍ථයෙන්) ප්‍රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපදනට නිසි විපාකවිඥානය වී නම් එය ආකිඤ්චඤ්ඤායතනකුශල ස්වභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ පළමු වන ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අරණ්‍යසෙනාසනයට ගියේ වේව’ යි වෘක්‍ෂමූලයට ගියේ වේව’යි ශුන්‍යාගාරයට ගියේ වේව’ යි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ පඤ්චස්කන්‍ධය (මම ය මාගේ ය යන) ආත්මයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශුන්‍ය වේ’ යයි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ ශුන්‍යතප්‍රතිපදාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආයතනයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවතට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපතට නිසි විපාක විඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, දෙවැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මම කිසි තැනෙක්හි ආත්මය ඇතියෙම් නො වෙමි, කිසි අනෙකක්හට පළිබෝධ ඇතියෙම් නො වෙමි, කිසි තැනෙක්හි (මෙරමාගේ ආත්මය) නො ද දක්මි, කිසි තැනෙක්හි මාගේ පළිබෝධබවෙක් නැතැ’ යි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ චතුකෝටික ශුන්‍යතාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදියි. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ ප්‍රතිසන්‍ධියට නිසි විපාකවිඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ තුන්වැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදායයි කියනු ලැබේ.
යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මිකරූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් ආනෙඤ්ජ (චතුර්‍ත්‍ථධ්‍යාන) සංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනසංඥාවකුත් ඇද්ද යම් තැනෙක්හි තෙල සියලු සංඥාවෝ නිරවශේෂ වූවාහු නිරුද්ධ වෙත් ද, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් ඇද්ද තෙල (අංගශාන්තතායෙන් ද ආලම්බන ශාන්තතායෙන් ද) ශාන්ත යැ, තෙල (අතෘප්තකාර්‍ත්‍ථයෙන්) ප්‍රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පහදියි. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ රහත්බව හෝ පසක් කෙරෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ පිළිසඳගන්නට නිසි විපාකවිඥානය වී නම් නේවසඤ්ඤානාසඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ‘තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්සැ, මෙ සස්නෙහි මහණෙක් මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් (පෙර පස්වැදෑරුම්) කම්වට රැස් නො කරන ලද නම්, මට දැන් (පස්වැදෑරුම්) විවාවට නො ද වන්නේ ය. ඉදින් මෙකල්හි කම්වට රැස් නො කරනු වන්නේ නම්, අනායෙහි මට පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටක් ඇද්ද හටගත් යම් ස්කන්‍ධපඤ්චකයක් ඇද්ද, එය දුරු කරමි’ යි මෙසේ විදර්‍ශනා උපේක්‍ෂාව ලබයි. වහන්ස, ඒ මහණ පිරිනිවෙන්නේ දෝ හෝ නොහොත් නො පිරිනිවෙන්නේ දැ යි.
‘ආනන්‍දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවෙන්නේ ද වෙයි, මෙහි ඇතැම් මහණෙක් නො පිරිනිවෙන්නේ ද වේ’ යයි.
වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් මහණෙක් පිරිනිවෙන්නෙත් වේ ද, මෙහි ඇතැම් මහණෙක් නො පිරිනිවෙන්නේත් වේ ද ඊට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ දැ’ යි.
ආනන්‍දය, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් පෙර පස්වැදෑරුම් කම්වට රැස් නො කරන ලද නම්, මෙකල්හි මට පස්වැදෑරුම් විවාවට නො ද වන්නේය. ඉදින් මෙකල්හි පස්වැදෑරුම් කම්වට අනායූහිත වන්නේ නම් , මට අනායෙහි පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටෙක් ඇද්ද, භූත වූ යම් පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය දුරු කෙරෙමි’ යි මෙසේ විදර්‍ශනාපේක්‍ෂාව ලබයි. ඒ මහණ ඒ විදර්‍ශනාපේක්‍ෂාව තෘෂ්ණාදෘෂ්ටිඅභිනන්‍දනායෙන් අභිනන්‍දනා කෙරෙයි. අභිමානයෙන් බෙණෙයි, බැසගෙන සිටී. ඒ උපේක්‍ෂාව අභිනන්‍දනා කරන අභිමානයෙන් බණන බැසගෙන සිටුනා ඔහුගේ නිකාන්තිවිඥානය ඒ විදර්‍ශනාව ඇසුරු කරන ලද වෙයි. ඒ නිකාන්තිවිඥානය ඔහුට උපාදාන වෙයි, ආනන්‍දය, උපාදාන (ග්‍රහණ) සහිත වූ මහණ නො පිරිනිවේ’ යයි.
වහන්ස, පිළිසිඳ ගන්නා ඒ මහණ කොහි වැළිත් පිළිසිඳ ගනීදැ’ යි.
ආනන්‍දය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය’ යි.
වහන්ස, ඒ මහණ පිළිසිඳ ගන්නේ ශ්‍රේෂ්ඨ වූ භවය උපාදානය කෙරෙයි (උත්තම භවයෙහි පිළිසිඳ ගනී සේ යි.)
ආනන්‍දය, පිළිසිඳ ගන්නා ඒ මහණ ශ්‍රේෂ්ඨ වූ භවය ම උපාදානය කෙරෙයි. ආනන්‍දය, යම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල ශ්‍රේෂ්ඨ වූ භවය වේ මැ යි.
ආනන්‍දය, මෙ සස්නෙහි මහණෙක් මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් පෙර පස්වැදෑරුම් කම්වට රැස් නො කරන ලද නම්, මෙ කල්හි, මට පස්වැදෑරුම් විවාවට නො ද වන්නේය. ඉදින් මෙකල්හි පස්වැදෑරුම් කම්වට ආයූහිත නො වන්නේ නම්, මට අනායෙහි පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටෙක් ඇද්ද, භූත වූ යම් පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය දුරු කෙරෙමි’ යි මෙසේ විදර්‍ශනාපේක්‍ෂාව ප්‍රතිලාභ කෙරෙයි. හේ උපේක්‍ෂාව තෘෂ්ණාදෘෂ්ටි අභිනන්‍දනායෙන් අභිනන්‍දනා නො කෙරෙයි. අභිමාන වශයෙන් නො බෙණෙයි, බැසගෙන නො සිටී. ඒ උපේක්‍ෂාව අභිනන්‍දනා නො කරන අභිමානයෙන් නො බණන නො බැසගෙන සිටුනා ඔහුගේ නිකාන්තිවිඥානය ඒ විදර්‍ශනාව ඇසුරු නො කරන ලද වෙයි. ඒ විඥානය ඔහුට උපාදාන නො වෙයි. ආනන්‍දය, උපාදාන රහිත වූ මහණ පිරිනිවේ යයි.
වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට ඒ ඒ සමවත් නිසා ඕඝතරණය වදාරන ලද. වහන්ස, යළි ආර්‍ය්‍යවිමෝක්‍ෂය කවරේදැ’ යි.
ආනන්‍දය, මෙ සස්නෙහි (ශුෂ්කවිදර්‍ශක වූ) ආර්‍ය්‍යශ්‍රාවක මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මිකරූපයෝත් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් ආනෙඤ්ජසංඥාවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනසංඥාවකුත් යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාවකුත් ඇද්ද, යම් පමණ (වට්ට සංඛ්‍යාත) සත්කායයෙක් ඇද්ද, තෙල හැම සත්කාය වෙයි. චිත්තයා ගේ යම් අනුපාදා විමෝක්‍ෂයෙක් ඇද්ද තෙල අමෘතයයි (ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.)
මෙසෙයින් ආනන්‍දය, මා විසින් ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදා දෙසන ලද, ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා දෙසන ලද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා දෙසනලද. ඒ ඒ සමවත් නිසා චතුරෝඝ නිස්තරණ දෙසන ලද, ආර්‍ය්‍යවිමෝක්‍ෂය දෙසන ලද. ආනන්‍දය, ශ්‍රාවකයනට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘහු විසින් අනුකම්පා පිණිස යමක් කටයුතු ද, එය තොපට මා විසින් කරන ලද, ආනන්‍දය, තෙල රුක්මුල් සෙනසුනැ, තෙල ශුන්‍යාගාර සෙනසුනැ, ආනන්‍දය, (තෙපි) ධ්‍යාන වඩවු, නහමක් පමා වවු, පසු වැ නහමක් විපිළිසර ඇත්තාහු වවු, මේ තොපට අප ගේ අනුසසුන් වේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ සුත දේශනා කළ සේක, සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ’ යි.
සවැනි ආනෙඤ්ජසප්පාය සූත්‍ර යි.
3. 1. 7.
ගණකමොග්ගල්ලාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වෙත පූර්‍වාරාම නම් වූ මිගාරමාතුප්‍රාසාදයෙහි වැඩවසන සේක. එකල්හි ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කී:
භවත් ගෞතමයෙනි, මේ මුවරමා පහය පිළිබඳ කොට යම් පරිදි යම් අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ ද, භවත් ගෞතමයෙනි, මේ බමුණන් ගේ ද මේ අධ්‍යයනයෙහි ද අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, මේ ධනුර්ධරයන්ගේ ද මේ ආයුධශිල්පයෙහි අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනෙයි. භවත් ගෞතමයෙනි, ගණනයෙන් ජීවිකා කරන අප ගණකයනුදු ගේ මේ ගණනායෙහි අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, අපි අතැවැස්සන් ලැබැ පළමුව ලා මෙසේ ගණනා කරම්හ. එක ඒකකය, දෙක ද්විකය, තුන ත්‍රිකය, සතර චතුෂ්කය, පස පඤ්චකය, සය ෂට්කය, සත සප්තකය, අට අෂ්ටකය, නවය නවකය, දසය දශකය’ යි. භවත් ගෞතමයෙනි, අපි සියය ද ගණනා කරවම්හ. ඉන් වැඩියකුදු ගණනා කරවම්හ. භවත් ගෞතමයෙනි, මෙ සස්නෙහි දු එපරිදි ම අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍ව ක්‍රියා අනුපූර්‍වප්‍රතිපදා පනවා ලන්නට හැක්කාව?
බමුණ, මෙ සස්නෙහි දු අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍වප්‍රතිපත් පනවන්නට හැක්ක. බමුණ, යම් පරිදි දක්‍ෂ අස්දම්සැරියෙක් භද්‍ර සෛන්‍ධවයකු ලැබ පළමු කොට ම මුවවළලුයෙහි කාරණා කෙරේ ද, නැවත මතුයෙහි කාරණා කෙරේ ද බමුණ එපරිදිම තථාගත දැමිය යුතු පුරුෂයකු ලැබැ පළමු කොට මෙසේ විනයන කෙරෙයි: ‘මහණ, තො එ, සිල්වත් ව, ප්‍රාතිමෝක්‍ෂසංවර සංවෘත ව ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි දු බිය දක්නාසුලු ව වාස කරව. සමාදන්වැ සිකපදයෙහි හික්මෙව’ යි.
බමුණ, යම් කලෙක මහණ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරසංවෘත ව ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව වාස කෙරේ ද, සමාදන් ව සිකපදයෙහි හික්මේ ද, තථාගත තුලුන් මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූප දැක නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යමක් හේතු කොටගෙන චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍යපාපකඅකුශලධර්‍මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදුව, චක්‍ෂුරින්‍ද්‍රිය රක්ව, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස් ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍ම දැන නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යමක් හේතු කොටගෙන මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදුව, මනින්‍ද්‍රිය රක්ව, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව’ යි.
බමුණ, යම් කලෙක මහණ ඉන්‍ද්‍රියයෙහි ගුප්තද්වාර වේ ද, තථාගත තෙල මහණහු මතු විනයන කෙරෙයි. ‘මහණ, තො එ, භෝජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳ කරව, දවය පිණිස නො වෙයි, මදය පිණිස නො වෙයි, මණ්ඩනය පිණිස නො වෙයි, විභූෂණය පිණිස නො වෙයි, හුදෙක් මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස යාපනය පිණිස විහිංසෝපරති පිණිස බ්‍රහ්මචරියානුග්‍රහය පිණිස ම වෙයි. මෙසේ පුරාණ වේදනා ද නස්මි, නවවේදනා ද නො උපදවමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතා ඵාසුවිහාර ද වෙතී, කියායි.
බමුණ, යම් කලෙක මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි. ‘මහණ, තො ඒ, නිදි වැරීමෙහි අනුයුක්ත ව වාස කරව, දවහල්කල චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල පෙරයම්හි චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල මැදියම පයෙහි පය හයාතබා ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව උත්‍ථානසංඥා මෙනෙහි කොටගෙන දකුණුඇළයෙන් සිංහශය්‍යා කරව, රෑකල පැසුළුයමැ හොත් අස්නෙන් නැගී සිට චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, කියායි.
බමුණ, යම් කලෙක මහණ නිදි වැරීමෙහි අනුයුක්ත වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො, එ, ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වව, ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි සම්ප්‍රඥානයෙන් කරනසුලු වව, ඉදිරිපස බැලීමෙහි අනුදික් බැලීමෙහි නුවණින් කරනසුලු වව, (පර්‍වයන්) හැකිළීමෙහි දිගුකිරීමෙහි නුවණින් කරනසුලු වව, සඟළපාසිවුරු ධැරීමෙහි නුවණින් කරනසුලු වව, භෝජනයෙහි පානයෙහි කෑමෙහි රස විඳීමෙහි නුවණින් කරනසුලු වව, සුළුවටන් මහවටන් කිරීමෙහි නුවණින් කරනසුලු වව, ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි ශයනයෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් කරනසුලු වව’ යි කියායි.
බමුණ, යම් කලෙක මහණ ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වේ ද, තථාගත තෙල මහණ මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ, ජනශුන්‍ය සෙනසුන් භජනය කරව, අරණ්‍ය ය වෘක්‍ෂමූල ය පර්‍වත ය කන්‍දර ය ගිරිගුහා ය ශ්මසාන ය වානප්‍රස්ථ ය අභ්‍යවකාශ ය පලාලපුඤ්ජය යන මේ යි. හේ අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කන්‍දර ගිරිගුහා ශ්මසාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන විවික්ත ශයනාසන භජන කෙරෙයි.
හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා තබාගෙන හිඳුනේ ය. හේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා හැරපියා පැහූ අභිධ්‍යා ඇති සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂ හැරපියා අව්‍යාපන්නචිත්ත ව සර්‍වසත්‍ව හිතානුකම්පී ව වාස කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය පියා පැහූ ස්ත්‍යානමිද්ධ ඇති ව ආලෝකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි. ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චය හා කුක්කුච්චය හැරපියා අනුද්ධත ව අධ්‍යාත්මයෙහි උපශාන්ත සිත් ඇති ව වාස කෙරෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත් පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡා පියා තරණය කළ විචිකිත්සා ඇති ව කුසල්දහම්හි කථංකථා රහිත ව වාස කෙරෙයි. විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.
ඒ මහණ චිත්තෝපක්ලේශ වන ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන්ව මැ අකුශල ධර්‍මයෙන් වෙන්ව සවිතර්‍ක සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම් කරන සිත පිළිබඳ ඒකෝදිහාව ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයාගෙන වාස කෙරෙයි. ප්‍රිතිවිරාගයෙනුදු උපේක්‍ෂක ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි, නාමකයින් සුඛය ද විඳියි. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යයි යම් තෘතීයධ්‍යානයක් ගෙන කියත් ද, ඒ තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙනුදු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැලම සෞමනස්‍ය දෞර්‍මනස්‍යයන් අස්තයට යෑමෙන් අදුඃඛ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධභාව ඇති චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරෙයි.
බමුණ, යම් මහණ කෙනෙක් ශෛක්‍ෂ ව අර්‍හත්‍වයට නො පැමිණි සිත් ඇති ව අනුත්තර යෝගක්‍ෂේමය පතමින් වාස කෙරෙත් ද, උන් කෙරෙහි මාගේ මේ මෙබඳු අනුශාසනා වෙයි: ‘අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමකළ බඹසර ඇති කළ කරණී ඇති බහාතැබූ කෙලෙස්බර ඇති ලැබූ ස්වාර්‍ත්‍ථ ඇති පරික්‍ෂීණ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් ඇද්ද, ඔවුනට මේ දහම්හු ඉහාත්ම සුඛවිහාර පිණිසත් ස්මෘති සම්ප්‍රජන්‍යය පිණිසත් වැටෙතී’ වදාළ සේක.
මෙසේ වදාළ කල ගණකමුගලන් බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘කිමෙක! භවත් ගෞතමයන්ගේ සව්වෝ භවත් ගෞතමයන් විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු හැම දෙනම අත්‍යන්ත නිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත් ද? නොහොත් නො එසේ වුව, කෙනෙක් ආරාධනා නො කෙරෙත් දැ’ යි.
බමුණ, මා විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන මාගේ ඇතැම් සව්වෝ අත්‍යන්තනිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත්, කෙනෙක් ආරාධනා නො කෙරෙත් යයි වදාළෝ.
භවත් ගෞතමයෙනි, යම්හෙයෙකින් නිවන් ඇත්තේ ම වේ ද, නිවන්මග ඇද්ද, සමාදන් කරවන භවත් ගෞතමයෝ ඇද්ද, වැලිත් භවත් ගෞතමයන් විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන භවත් ගෞතමයන්ගේ ඇතැම් සව්වෝ අත්‍යන්තනිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත් නම්, කෙනෙක් ආරාධනා නො කෙරෙත් නම් එයට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ?
බමුණ, එකරුණෙන් මෙහි ලා තා මැ පුළුවුස්මි: යම් පරිදි තට රුස්නේ නම් එපරිදි එය පවසාලව. බමුණ, ඒ කෙසේ හඟනාව, තෝ රජගහනුවර කරා යන මඟ කියන්නට දක්‍ෂයෙහි? යී වදාළෝ.
භවත්නි, එසේ යැ, මම රජගහ කරා යන මඟට දක්‍ෂයෙමි’ කී.
බමුණ, එ කෙසේ හඟිහි, පුරුෂයෙක් රජගහ යනු කැමැති ව එන්නේ ය, හේ තා කරා එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ වදනට කැමැතියෙමි, මට රජගහනුවරට මං දක්වයි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියන්නෙහි, එම්බා පුරුෂය, එ, මෙ මග රජගහ නුවරට යේ, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙ නම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. ඒ පුරුෂ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ උන්මාර්‍ගයක් ගෙන් පශ්චාත්-මුඛ ව යන්නේ ය.
නැවත රජගහ යනු කැමැති දෙවන පුරුෂයෙක් එන්නේ ය, හේ තා වෙත එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ යන්නට කැමැතියෙමි, මට රජගහනුවරට මං කියව’යි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියහි, ‘එම්බා පුරුෂය, එ, මේ මග රජගහ නුවරට යෙයි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. හේ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ සුවසේ රජගහනුවරට යන්නේ ය.
බමුණ, රජගහනුවර ඇත් මැ යැ, රජගහනුවර යන මඟ ඇත් මැ යැ, සමාදන් කරවන තොයිත් ඇත් මැ යැ, වැලි තා විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන එක් පුරුෂයෙක් උන්මාර්‍ග ගෙන පශ්චාත්මුඛ ව යන්නේ යැ. එකෙක් සුවසේ රජගහනුවර යන්නේයැ, ඊට හේතු කිම? ප්‍රත්‍ය කිමැ’ යි.
භවත් ගෞතමයෙනි, මෙහි ලා මම කුම් කෙරෙම් ද? භවත් ගෞතමයෙනි, මම මඟ කියන සුල්ලෙමි.
එසෙයින් මැ බමුණ, නිවන් ඇත් මැ යැ, නිවන් යන් මඟ ඇත් මැ යැ, සමාදන් කරවන මම් සිටිම් මැ යැ. එතෙකුදුවත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් අත්‍යන්තනිෂ්ඨා වූ නිර්‍වාණය සම්පාදනය කෙරෙති, ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. බමුණ, මෙහි ලා මම් කුම් කෙරෙම් ද? බමුණ, මම් මඟ පවසන තථාගතයෙමී.
මෙසේ වදාළ කල්හි ගණකමොග්ගල්ලාන් බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත්ගෞතමයෙනි, යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු ජීවිකාව ප්‍රයෝජන කොට ඇති ව ගිහිගෙන් නික්ම සස්නට පැමිණියාහු ශඪ වූවාහු මායා ඇත්තාහු වඤ්චක වූවාහු උඬගු වූවාහු නැඟුණු මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු විසුරුණු වචන ඇත්තාහු ඉඳුරන්හි නො පියූ දොර ඇත්තාහු භෝජනයෙහි අමාත්‍ර වූවාහු ජාගර්‍ය්‍යායෙහි නොයෙදුණාහු ශ්‍රාමණ්‍යයෙහි අපේක්‍ෂා නැත්තාහු ශික්‍ෂායෙහි ත්‍රීවගෞරව නැත්තාහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු පඤ්චනීවරණයෙහි පෙරදැරි වූවාහු ප්‍රවිවේකයෙහි හළ වීර්‍ය්‍ය ඇත්තාහු කුසීත වූවාහු හීන වීර්‍ය්‍ය ඇත්තාහු මූඪස්මෘති ඇත්තාහු සම්‍යග්ඥාන නැත්තාහු අසමාහිත වූවාහු විභ්‍රාන්ත සිත් ඇත්තාහු දුෂ්ප්‍රාඥ වූවාහු කෙළතොලු වූවාහු වෙත් ද, භවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස නො කෙරෙති.
යළි යම් කුලපුත්‍ර කෙනෙක් සැදැහැති ව ගිහිගෙන් නික්ම සස්නට පැමිණියාහු ශඪ නොවූවාහු මායාවී නො වූවාහු වඤ්චක නො වූවාහු අනුද්ධත වූවාහු උද්ගත මානනළ නැත්තාහු චපල නො වූවාහු මුඛර නො වූවාහු අවිකීර්‍ණ වචන ඇත්තාහු ඉඳුරන් හි පියූ දොර ඇත්තාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු ජාගර්‍ය්‍යායෙහි යෙදුණාහු ශ්‍රාමණ්‍යයෙහි අපේක්‍ෂා වත් වූවාහු ශික්‍ෂායෙහි ත්‍රීවගෞරව ඇත්තාහු බාහුලික නොවූවාහු සාථලික නො වූවාහු පඤ්චනීවරණයෙහි නික්‍ෂිප්තධුර ඇත්තාහු ප්‍රවිවේකයෙහි පූර්‍වඞ‍්ගම වූවාහු ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තාහු නිවනට මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යග්ඥාන ඇත්තාහු සමාහිත වූවාහු එකඟ සිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු එළමුග නො වූවාහු වෙත් ද, භවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස කෙරෙත්.
යම්සේ භවත් ගෞතමයෙනි, යම් කිසි මූලගන්‍ධ කෙනෙක් ඇද්ද, ඔවුනතුරෙන් කළුඅගිල් අග්‍ර යයි කියනු ලැබෙයි. යම් කිසි සාරගන්‍ධ කෙනෙක් ඇද්ද, ඔවුනතුරෙන් ලෝහිත චන්‍දන අග්‍ර යයි කියනු ලැබෙයි, යම් කිසි පුෂ්පගන්‍ධ කෙනෙක් ඇද්ද ඔවුනතුරෙන් දෑසමන් අග්‍රයයි කියනු ලැබෙයි. එසෙයින් ම ෂට්ශාස්තෘධර්‍මයන් කෙරෙහි භවත් ගෞතමයන් ගේ (අව) වාදය උත්තම වෙයි.
භවත් ගෞතමයෙනි, ඉතා කාන්තය, භවත් ගෞතමයෙනි, ඉතා කාන්තය, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, ප්‍රතිච්ඡන්න වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළාවූවක්හට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත් ව’ යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ හෝ වේද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් දහම් පවසන ලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද ආදි කොට දිවිහිම් ව සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව’ යි.
සත්වැනි ගණකමොග්ගල්ලාන සූත්‍ර යි.
3. 1. 8.
ගෝපකමොග්ගල්ලාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කාලයෙහි රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වාස කෙරෙති. තවද එසමයෙහි වේදේහිපුත්‍ර වූ අජාතසත්තු නම් මගධදේශයෙහි රජ ප්‍රද්‍යොත රජුට සැක කෙරෙමින් රජගහනුවර ප්‍රතිසංස්කරණ කරවයි. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල සිත් විය: ‘රජගහනුවර පිඬු සිඟා යන්නට තව ඉතා උදැසන වෙයි. මම් ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගේ කර්‍මාන්ත ස්ථානය යම් තැනෙක්හි ද ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ යම් තැනෙක්හි ද එහි එළැඹෙම් නම් මැනැවැ’ යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගේ කර්‍මාන්තස්ථානයෙහි ගෝපකමොග්ගල්ලාන බමුණු වෙත එළැඹියහ. ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දුටුයේ ය, දැක ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී:
‘භවත් ආනන්‍දයෝ පැමිණෙත්වා, භවත් ආනන්‍දයනට ස්වාගත යැ, භවත් ආනන්‍දයෝ මෙහි පැමිණීමෙන් බොහෝ කලෙකින් මේ පරියාය කළහ. භවත් ආනන්‍දයෝ වැඩ හිඳිත්වා, මේ අසුන් පනවන ලදැයි’ . ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පැනැවූ අස්නෙහි වැඩහුන්හ. ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ ද එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳගත. එකත්පස් වැ හුන් ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල කී:
‘භවත් ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍විත වූ සේක් ද, ඒ සර්‍වඥතාඥානධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙක් නමුදු ඇත් දැ’ යි.
‘බමුණ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ සේක් ද, ඒ සර්‍වඥතාඥානධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙකුදු නැත. එසේ ම ය, ඒ භාග්‍යවත්හු නූපන් මාර්‍ගය (ස්වසන්තානයෙහි) උපදවනුවහ., (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණවශයෙන්) පවසනුවහ, (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දක්නාසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් විසින් හෙළිකළ මාර්‍ගය හේතු කොටගෙන් මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙති’ යි.
තවද ගෝපකමොග්ගල්ලාන බමුණු සමග ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ මේ අතුරු කථාව නො නිමියා වෙයි. එකල්හි මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ රාජගෘහයෙහි කමාන්තයන් විමසනුයේ ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ කර්‍මාන්තස්ථානය වෙත ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළැඹියේය, එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය, සතුටුවිය සිහි කළ යුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: ‘භවත් ආනන්‍දයෙනි, දැන් කවර කථායෙකින් යුක්ත ව හුන්නු ද? තොප ගේ කවර අතුරු කථායෙක් කොට අඩාළ වී දැ’ යි.
බමුණ, මෙහි දී ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ මට මෙසේ කී: ‘භවත් ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍විත වූවාහු නම් ඒ සර්‍වඥතාඥානධර්‍මයන් ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක් භික්‍ෂූ කෙනෙකුදු ඇද්දැ’ යි. මෙසේ කී කල්හි බමුණ, මම් ගෝපකමොග්ගල්ලාන බමුණුහට මෙසේ කීමි: ‘බමුණ, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ සේක් නම් ඒ සර්‍වඥතාඥාන ධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙකුදු නැත. බමුණ, එසේ ම ය, ඒ භාග්‍යවතුන් වහන්සේ (ස්වසන්තානයෙහි) නූපන් මාර්‍ගය උපදවනුවහ, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, (විවරණවශයෙන්) ප්‍රකාශ නො කළ මාර්‍ගය පවසනුවහ, (තමන් වහන්සේ ඉපැදවූ) ආර්‍ය්‍යමාර්‍ගය (ප්‍රත්‍යවේක්‍ෂා විසින්) දතුවහ, (වෛනෙයසන්තානයෙහි දැනැවිය යුතු) මාර්‍ගය දන්නාසුල්ලහ, (බෝසත්නට පැවැසිය යුතු) මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. ඒ බුදුන් විසින් හෙළිකළ මාර්‍ගය හේතු කොට ගෙන මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වෙසෙති’ යි බමුණ, ගෝපක මොග්ගල්ලාන බමුණු සමග අපගේ මේ අතුරු කථාව අඩාළ විය, එකල්හි තෙපි පැමිණියහු යැ’ යි.
භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නාහු නම් ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම තොපට මා ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි.
බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මා ඇවෑමෙන් පිළිසරණ වන්නේයැ’ යි තබන ලද එක් භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි.
භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නාහු නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි.
බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි.
තවද භවත් ආනන්‍දයෙනි, මෙසේ අප්‍රතිසරණ ශාසනයෙහි සාමග්‍රියට හේතු කවරේ දැ’ යි.
බමුණ, ඇපි අප්‍රතිසරණයමෝ නො වම් හ, බමුණ, ඇපි සප්‍රතිසරණයම්හ, දහම් පිළිසරණ කොට ඇතියම් හ’ යි.
භවත් ආනන්‍දයෙනි, මෙකල්හි තෙපි යම් මහණක්හු අනුව යන්නවු නම් ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම මා ඇවෑමෙන් තොපට පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැතැයි කියහු. යළි භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නවු නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනකුදු ඇත්තාහු දැ’ යි පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිරභික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේ ගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැත්තාහ’ යි කීවහු ය. තවද මෙසේ මෙසේ අප්‍රතිසරණ ශාසනයෙහි භවත් ආනන්‍දයෙනි, සාමග්‍රියට හේතු කවරේ දැ’ යි පුළුවුත්හු ‘බ්‍රාහ්මණය, ඇපි අප්‍රතිසරණ නො වම්හ, බමුණ, ඇපි සප්‍රතිසරණයම්හ, ධර්‍මය පිළිසරණ කොට ඇතියම්හ’ යි කියහු. යළි භවත් ආනන්‍දයෙනි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කිසෙයින් දත යුත්තේ දැ’ යි.
බමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට සිකපද පනවන ලද්දේ පාමොක් උදෙසන ලද්දේ ඇත් මැ ය. ඒ ඇපි එදවස් පොහොයැ එක් ගම්කෙතක් ඇසුරු කොට යම් පමණ වාස කරමෝ ද එ හැමදෙනමෝ එක් තැනැ රැස්වම්හ, රැස්වැ යමක්හට එ පාමොක් පුහුණුව වැටේ නම් ඔහුට ආරාධනා කරම්හ, ඉදින් එ පාමොක් දෙසන කල්හි මහණක් හට ඇවැත් වේ නම්, ව්‍යතික්‍රම වේ නම්, ඔහු ලවා ඇපි දහම් වූ පරිදි අනුසසුන් වූ පරිදි කරවම් හ’ යි.
භවත්හු නො කරවත් ල, ධර්‍මය මැ කරවා ල යි.
භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරවු ද, ගරු කරවු ද, බුහුමන් කරවු ද, පුදවු ද, සත්කාර කොට ගරුකාර කොට ඔහු ඇසුරු කොට වාසය කරවු නම්, එබඳු එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි පිළිවිත්.
බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරමෝ නම්, ගරු කරමෝ නම්, බුහුමන් කරමෝ නම්, පුදමෝ නම්, සත්කාර කොට ගරු කොට ඔහු ඇසුරු කොට වසමෝ නම්, එබඳු එක් භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි කීහ.
භවත් ආනන්‍දයෙනි, මෙකල්හි තෙපි යම් මහණක්හු අනුව යන්නවු නම්, ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම මාගේ ඇවෑමෙන් තොපට පිළිසරණ වන්නේ ය’ යි තබනලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ ය’ යි තබනලද එක භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි කියහු. යළි ‘භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නවු නම් සංඝයා විසින් සම්මත වූ
බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ ය’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැත්තාහ’ යි කියහු. ‘භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරවු ද, බුහුමන් කරවු ද, පූජා කරවු ද, සත්කාර කොට ගරු කොට ඇසුරු කොට වාසය කරවු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරමෝ නම් ගරුකාර කරමෝ නම් බුහුමන් කරමෝ නම් පුදමෝ නම් සත්කාර කොට ගරුකාර කොට නිසා වසමෝ නම් එබඳු එක් භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි කියහු. තවද භවත් ආනන්‍දයෙනි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කිසෙයින් දතයුත්තේ දැ’ යි, කීය.
බමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දස ප්‍රසාදනීය ධර්‍ම කෙනෙක් වදාරන ලද්දාහ, යමක්හු කෙරෙහි මේ ධර්‍මයෝ විද්‍යමාන වෙත් නම්, ඇපි මෙකල්හි ඒ මහණහු සත්කාර කරම්හ, ගරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ, සත්කාර කොට ගරුකාර කොට නිසා වාසය කරම්හ, කවර දසයෙක යත්:
බමුණ, මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අල්පමාත්‍ර අකුශලයෙහි භය දක්නාසුලු වැ වෙසෙයි, සමාදන් වැ ගෙන ප්‍රඥප්තශික්‍ෂාපදයන්හි හික්මෙයි.
ශ්‍රැතයට ආධාර වූ ශ්‍රැතසන්නිචය ඇති බහුශ්‍රැතයෙක් වෙයි. ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් සර්‍වපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ ශික්‍ෂාත්‍රයසංගෘහීත ශාසනය ප්‍රකාශ කෙරෙත් ද, ඔහු විසින් එබඳු ධර්‍මයෝ ධරන ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු (අර්‍ත්‍ථ විසින් කාරණ විසින්) ප්‍රඥායෙන් සුප්‍රතිවිදිත වූවාහු වෙත්.
ඉතරීතර චීවරයෙන් පිණ්ඩපාතයෙන් සේනාසනයෙන් ගිලන්පසබෙහෙසත්පිරිකරින් සතුටුවූයේ වෙයි.
අභිචිත්තය ඇසුරු කළ ඉහාත්මසුඛවිහරණයට හේතු වූ සතර ධ්‍යානයන් රිසිරිසි කෙණෙහි ලබනසුලු වූයේ නිදුකින් ලබනසුලු වූයේ විපුල ව ලබනසුලු වූයේ වෙයි.
අනේකවිධ වූ ඍද්ධි කොටස් වළඳ කෙරෙයි: එකෙක් මැ වී බහුප්‍රකාර වෙයි, බහුප්‍රකාර වැ එකෙක් වෙයි, ආවීර්භාවය තිරොභාවය කෙරෙයි, බිතින් ඈතට පවුරින් ඈතට පව්වෙන් ඈතට අහසෙහි සෙයින් නො ගැටෙමින් යෙයි, දියෙහි සෙයින් පොළොවෙහි ද උම්මුජ්ජනිමුජ්ජන කෙරෙයි. පොළොවෙහි සෙයින් නො බිඳෙන දියෙහි දු යෙයි, පක්‍ෂි ලිහිණියක සෙයින් අහස්හි දු පලගින් සක්මන් කෙරෙයි, මෙසේ මහර්ද්ධි ඇති මෙසේ මහානුභාව ඇති මේ චන්‍ද්‍ර සුර්‍ය්‍යයනුදු අත්ලෙන් පරාමර්‍ශ පරිමාර්‍ජන කෙරෙයි. බඹලොව දක්වාත් නාමකයින් වශයෙහි පවත්වයි.
මනුෂ්‍යශ්‍රෝතය ඉක්මැ සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝතධාතුයෙන් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දුර වූ ද ළඟ වූ ද උභය ශබ්දයන් අසයි.
පරසත්ත්‍වයන් ගේ පරපුද්ගලයන් ගේ සිත තමා සිතින් පිරිසිඳ දැනගනී: රාගසහිත චිත්තය ද, සරාග සිතැ’යි දැනගනී, වීතරාග චිත්තය ද, වීතරාග සිතැ’යි දැන ගනී, සද්වේෂ චිත්තය ද, සද්වේෂ චිත්තයැ’ යි දැනගනී, වීතද්වේෂ චිත්තය ද, ‘විගතද්වේෂ චිත්ත යැ’ යි දැනගනී, සමෝහ චිත්තය ද ‘සමෝහ චිත්තයැ’ යි දැනගනී, වීතමෝහ චිත්තය ද ‘විගතමෝහ චිත්තයැ’ යි දැනගනී, හැකුළුණු සිත ද ‘හැකුළුණු සිතැ’යි දැනගනී, විසුරුණු සිත ද ‘විසුරුණු සිතැ’යි දැනගනී, මහද්ගත චිත්තය ද ‘මහද්ගත චිත්තයැ’ යි දැනගනී, අමහද්ගත චිත්තය ද, ‘අමහද්ගත චිත්තයැ’ යි දැනගනී, සඋත්තර චිත්තය ද ‘සඋත්තර චිත්තයැ’ යි දැනගනී, අනුත්තර චිත්තය ද, අනුත්තර චිත්තයැ’ යි දැනගනී. සමාහිත චිත්තය ද ‘සමාහිත චිත්තයැ’ යි දැනගනී, අසමාහිත චිත්තය ද ‘අසමාහිත චිත්තයැ’ යි දැනගනී, විමුක්ත වූ චිත්තය ද ‘විමුක්ත චිත්තයැ’ යි දැනගනී, අවිමුක්ත චිත්තය ද අවිමුක්ත චිත්තයැ’ යි දැනගනී.
අනේකවිධ වූ පූර්‍වනිවාස සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු තුන් ජාතියකුදු සතර ජාතියකුදු පස් ජාතියකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සතයකුදු ජාති සහස්‍රයකුදු ජාති සතසහස්‍රයකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍ත කල්පයනුදු අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගෝත්‍ර ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැවැ අසුවල් තැනැ උපන්මි. ඒ තැන්හිදු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගෝත්‍ර ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපන්මි, මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි.
මිනිසැස ඉක්මැ සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුතවෙමින් උපදමින් සිටි සත්ත්‍වයන් දකී, හීනප්‍රණීත වූ සුවර්‍ණදුර්‍වර්‍ණ වූ සුගතදුර්‍ගත වූ යථාකර්‍මොපගත සත්ත්‍වයන් දැනගනී.
ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරෙයි.
බමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දසවැදෑරුම් ප්‍රසාදනීය ධර්‍මයෝ වදාරන ලද්දාහ. යම් මහණක්හු කෙරෙහි මේ ධර්‍මයෝ විද්‍යමාන වෙත් ද, ඇපි මෙකල්හි ඒ මහණහු සත්කාර කරම්හ, ගරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ. සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාස කරම්හ’ යි.
මෙසේ කී කල්හි මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ උපනන්‍ද සේනාපති ඇමැතී: ‘භවත් සේනාපතිය, ඒ කිමැයි සිතයි ද, ඉදින් මේ භවත්හු මෙසේ සත්කාර කළයුත්තහු සත්කාර කෙරෙත් නම් ගරු කළ යුත්තහු ගරු කෙරෙත් නම් බුහුමන් කළයුත්තහු බුහුමන් කෙරෙත් නම් පිදියයුත්ත්හු පුදත් නම්, ඒකාන්තයෙන් මේ භවත්හු සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙති, ගරු කළයුත්තහුට ගරු කෙරෙති, බුහුමන් කළයුත්තට බුහුමන් කෙරෙති, පිදිය යුත්තහුට පූජා කෙරෙති. තවද යම් හෙයෙකින් ඒ භවත්හු මේ මහණහු සත්කාර නො කරන්නාහු නම් ගරු නො කරන්නාහු නම් බුහුමන් නො කරන්නාහු නම් නො පුදන්නාහු නම්, එකල්හි ඒ භවත්හු කවරක්හට සත්කාර කරන්නාහු ද ගරු කරන්නාහු ද බුහුමන් කරන්නාහු ද පුදන්නාහු ද, සත්කාර කොට ගරු කොට නිසා වාස කරන්නාහු දැ’ යි.
ඉක්බිති මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: ‘භවත් ආනන්‍දයෝ මෙකල්හි කොහි වෙසෙත් දැ’ යි.
බමුණ, මම මෙකල්හි වේළුවනයෙහි වාස කෙරෙමී’ කීහ.
කිමෙක භවත් ආනන්‍දයෙනි, වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්පනිර්ඝෝෂ වූයේත් ඇද්ද, ජනවාත රහිත වූයේ මිනිසුන්ගේ රාහස්‍යයට යෝග්‍ය වූ විවේකයට සුදුසු වූයේ වී දැ’ යි පිළිවිත.
බමුණ, ඒකාන්තයෙන් වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්පනිර්ඝෝෂ වූයේත් වෙයි, ජනවාත රහිත වූයේ මිනිසුන්ගේ රාහස්‍යයට යෝග්‍ය වූ විවේකයට නිසි වෙයි, තොප වැනි වූ රක්‍ෂක ගෝපකයන් විසින් (රක්නාලදුයේ) යම්සේ ද එමෙනි.
භවත් ආනන්‍දයෙනි, ඒකාන්තයෙන් වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්ප නිරඝෝෂා වූයේත් වෙයි, විජනවාත වූයේ මිනිසුන්ගේ රහස්‍යකර්‍මයනට සුදුසු වූයේ විවේකවාසයට නිසි වූයේ වෙයි. ධ්‍යානශීලි වූ පින්වතුන් විසින් යම්සේ ද එමෙනි. භවත් ධ්‍යායීහු ද ධ්‍යානශීලුහු ද වෙති.
භවත් ආනන්‍දයෙනි, එක් සමයෙක්හි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසාලා නුවර මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි වැඩවෙසෙති. භවත් ආනන්‍දයෙනි, එකල්හි මම් මහාවනයෙහි කූටාගාරශාලාව යම් තැනෙක්හි ද, ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් තැනෙක්හි ද, එතැන්හි එළැඹියෙමි. එහි වූ කලි ඒ භවත් ගෞතමයන් වහන්සේ නන් අයුරින් ධ්‍යානකථාව වදාළහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ ධ්‍යායී ද ධ්‍යානශීලී ද වූහ. යළි ඒ භවත් ගෞතමයන් වහන්සේ සියලු ධ්‍යානය වර්‍ණනා කළහ’ යි කීය.
බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්‍ණනා නො කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය නො ද වර්‍ණනා නො කළ සේකැ’ යි.