Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 4401-4500 න් 6387

‘යම් ප්‍රවිවේක ප්‍රීතියකට පැමිණ වෙසෙම් නම් තෙල ප්‍රීතිය ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි ප්‍රවිවේක ප්‍රීතියට පැමිණ වෙසෙයි.” ඔහුගේ ඒ ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වෙයි. ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස නිරුද්ධ වීමෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. ඒ ධ්‍යානද්වය ප්‍රීතිය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික යැ, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, තෙල ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයා ගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.
තවද මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් (තෘතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) නිරාමිෂසුඛයට පැමිණ වෙසෙයි: ‘යම් නිරාමිෂසුඛයකට පැමිණ වෙසෙම් නම් තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුගේ ඒ නිරාමිෂසුඛය නිරුද්ධ වෙයි, නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂසුඛය උපදී. මහණෙනි, යම්සේ සෙවණ යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි, ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි, එසෙයින් මැ මහණෙනි, නිරාමිෂ සුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂ සුඛය උපදී. මහණෙනි, තථාගතයෝ එකරුණ විශිෂ්ටඥානයෙන් දන්නාහ: ‘මේ භවත් ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් යම් නිරාමිෂසුඛයකට පැමිණ වෙසෙම් නම් ‘තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි නිරාමිෂ (තෘතීයධ්‍යාන) සුඛයට පැමිණ වෙසෙයි. ඔහුගේ ඒ නිරාමිෂසුඛය නිරුද්ධ වෙයි. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂසුඛය උපදී. ඒ සුඛය ප්‍රත්‍යයෝත්පන්න යැ (එහෙයින් මැ) ඖදාරික යි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මසිටියහ.
මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මැවීමෙන් නිරාමිෂසුඛය ඉක්මැවීමෙන් නොදුක්නොසුව වේදනා උපයා වෙසෙයි: ‘යම් මේ නොදුක්නොසුව වේදනාවක් උපයා වෙසෙම් නම් තෙල චතුර්‍ත්‍ථධ්‍යාන වේදනා ශාන්ත යැ තෙල ප්‍රණීත යැ කියා යි. ඔහුගේ ඒ නොදුක් නොසුව වේදනා නිරුද්ධ වෙයි. නොදුක්නොසුව වේදනා නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් නොදුක්නොසුව වේදනා උපදී. මහණෙනි, යම්සේ ඡායාව යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි. ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි. එසෙයින් මැ මහණෙනි, අදුක්ඛමසුඛවේදනාවගේ නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් අදුක්ඛමසුඛ වේදනාව උපදී. මහණෙනි, ඒ මේ චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව තථාගතයෝ දනිති: මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මැවීමෙන් නිරාමිෂසුඛය ඉක්මැවීමෙන් ‘යම් මේ අදුක්ඛමසුඛවේදනාවක් උපයා වෙසෙම් ද, තෙල චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’ යි අදුක්ඛමසුඛවේදනාව උපයා වෙසෙයි. ඔහුගේ ඒ අදුක්ඛමසුඛවේදනාව නිරුද්ධ වෙයි. අදුක්ඛමසුඛවේදනාවගේ නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් අදුක්ඛමසුඛවේදනාව උපදී. ඒ මේ චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික යි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මසිටියහ.
මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිෂසුඛය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛ වේදනාව ඉක්මවීමෙන් ‘මම ශාන්තයෙමි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමි’ නුවණින් දකී. මහණෙනි, මෙය තථාගතයෝ දනිති: “මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිෂසුඛය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛවේදනාව ඉක්මවීමෙන් ‘මම ශාන්තයෙමි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමී’ නුවණින් දකී, ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් නිවනට සත්ප්‍රාය වූ මැ ප්‍රතිපදාව කියයි, එතෙකුදු වත් මේ භවත් මහණ හෝ බමුණු හෝ දැඩි කොට ගන්නේ පූර්‍වාන්තානුදෘෂ්ටිය හෝ දැඩි කොට ගනියි. දැඩි කොට ගන්නේ අපරාන්තානුදෘෂ්ටිය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ කාමසංයෝජනය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ ප්‍රවිවේකප්‍රීතිය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ නිරාමිෂසුඛය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ අදුක්ඛමසුඛවේදනාව හෝ දැඩි කොට ගනියි, මෙ ආයුෂ්මත් යමක් ගෙන ‘මම සන්හුන්මි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමි’ සමනුපස්සනා කෙරේ ද, එ ද මෙ භවත් මහණහුගේ බමුණුගේ ‘උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ මෙය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ,) ඖදාරික යි, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.
මහණෙනි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුසේ දැන යම් අනුපාදාවිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලසමාප්තියෙක් ඇද්ද, තථාගතයන් විසින් අනුත්තර වූ මේ ශාන්ත වූ උත්තමපදය අවබෝධ කරන ලද්දේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රදේශනාව වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවත්හු ගේ භාෂිතය අභිනන්‍දන කළාහ’යි.
දෙවැනි පඤ්චත්‍රය සූත්‍ර යි.
3. 1. 3.
කින්ති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නම් ජනවියෙහි (භූතයනට බිලි එළවනුයෙන්) බලිහරණ නම් වනළැව්හි වැඩ වසනසේක. එතන්හි දී භාග්‍යවත්හු ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙ සුත වදාළහ.
මහණෙනි, තොපට මා කෙරෙහි කුමන සිතෙක් වේ ද: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාත හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සේනාසන හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ (දේශනාමය පින්කිරියවත් නිසා) ඒ ඒ භවයෙහි ‘සුව විඳිමි ’ යන හේතුයෙන් හෝ දහම් දෙසති’ යි කියා යි.
වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙවන් සිතෙක් නො වෙයි: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාත හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සේනාසන හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ ‘ඒ ඒ භවයෙහි සුව විඳිමි’ යන හේතුයෙන් හෝ දහම් දෙසතී’ කියා යි.
මහණෙනි, තොපට මා කෙරෙහි මෙවන් සිතෙක් නො වේ ල: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාතහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සේනාසනහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ ‘ඒ ඒ භවයෙහි සුව විඳිමි ’ යන හේතුයෙන් හෝ දහම් දෙසති’ යි, සිතෙක් නො වේ ල. එසේ වී නම් මහණෙනි, තොපට මා කෙරෙහි කිනම් සිතෙක් වේ දැ? යි.
වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු සිතෙක් වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා ඇතියහ, හිතෛෂීහ, අනුකම්පා පිණිස දහම් දෙසනසේකැ’ යි.
මහණෙනි, තොපට මා කෙරෙහි මෙබඳු සිතෙක් වේ නම්: ‘බුදුහු අනුකම්පා ඇතියහ, හිතෛෂීහ, අනුකම්පා පිණිස දහම් දෙසති’ යි. එහෙයින් මහණෙනි, මෙහිලා තොපට මා විසින් යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කොට දෙසනලද්දාහු ද, ඒ මෙසේ යැ: ‘සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යි. ඒ සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයන්හි සියල්ලන් විසින් මැ සමග්‍රවූවන් සතුටු වූවන් විවාද නො කරනුවන් විසින් හික්මියයුතු යැ.
තවද මහණෙනි, සමග්‍ර ව සතුටු වෙමින් විවාද නො කෙරෙමින් හික්මෙන එ තොප අතුරෙන් භික්‍ෂූහු දෙදෙනෙක් ඒ (සත්තිස් බොධිපාක්‍ෂිකධර්‍ම සඞ්ඛ්‍යාත) අභිධර්‍මයෙහි නානාවාද ඇත්තාහු වෙති. ඉදින් තොපට එහි ලා ‘මේ ආයුෂ්මතුන් ගේ (වාදයෙහි) අර්‍ත්‍ථ හෙයින් ද නානාත්‍වය ඇත. ව්‍යඤ්ජන හෙයින් ද නානාත්‍වය ඇතැ’යි මෙබඳු සිතෙක් වී නම්, ඔවුනතුරෙහි යම් මහණක්හු ඉතා සුවච යයි හඟනවු ද, (ඔහු කරා) එළැඹ හේ මෙසේ කියැයුතු වන්නේ ය: ‘ආයුෂ්මතුන් ගේ (වාදය) අර්‍ත්‍ථ හෙයින් ද විවිධ යැ, ව්‍යඤ්ජන හෙයින් ද විවිධ යැ, යම් පරිදි අර්‍ත්‍ථ හෙයිනුදු නානාත්‍වය ඇද්ද ව්‍යඤ්ජන හෙයිනුදු නානාත්‍වය ඇද්ද, මෙ කරුණෙනුදු ආයුෂ්මත්හු තෙල දැනගන්නහුය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙව’ යි. යළි සමාන පක්‍ෂ ඇති අන්‍ය භික්‍ෂූන් අතුරෙන් යම් මහණකු ‘ඉතා සුවච’ යයි හඟනවු ද, (ඔහු වෙත) එළඹ හේ මෙසේ කියයුතු වන්නේ ය: ආයුෂ්මතුන්ගේ වාදය අර්‍ත්‍ථ හෙයිනුදු වෙනසි, ව්‍යඤ්ජන හෙයිනුදු වෙනසි, යම් පරිදි අර්‍ත්‍ථ හෙයිනුදු නානාත්‍වය ඇද්ද, ව්‍යඤ්ජන හෙයිනුදු නානාත්‍වය ඇද්ද, මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි තෙල දැනගන්නහු ය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්ව’ යි. මෙසේ නපුරු කොට ගන්නා ලද්ද නපුරු කොට ගන්නා ලද හෙයින් ධැරියයුතු ය. මනාකොට ගන්නාලද්ද මනාකොට ගන්නාලද හෙයින් ධැරියයුතු ය. දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධරා සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධරා යම් ධර්‍මයෙක් යම් විනයෙක් වේ ද, ඒ (ධර්‍මවිනය) කියයුත්තේ යි.
ඉදින් තොපට එහි ලා මෙබඳු සිතෙක් වේ නම්: මේ ආයුෂ්මතුන් ගේ වැලිත් අර්‍ත්‍ථ හෙයින් ම නානාත්‍වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වේ ය’ යි. ඔවුනතුරෙහි යම් මහණක්හු සුවචතර යයි හඟනවු නම්, (ඔහු) කරා එළඹැ එ මහණ මෙසේ කියයුතු වන්නේ ය. ආයුෂ්මතුන් ගේ (වාදයෙහි) අර්‍ත්‍ථ හෙයින් මැ නානාත්‍වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වෙයි. යම් පරිදි අර්‍ත්‍ථ හෙයින් මැ නානාත්‍වය ඇද්ද, ව්‍යඤ්ජන හෙයින් සම වේ ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි තෙල දැනැගන්නහු යැ. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්ව යි. යලි සමාන පක්‍ෂ ඇති අන්‍ය භික්‍ෂූන් අතුරෙන් යම් මහණක්හු සුවචතර යයි හඟනවු ද, (ඔහු කරා) එළැබ හේ මෙසේ කිය යුතු වන්නේය: ආයුෂ්මතුන් ගේ (වාදය) අර්‍ත්‍ථ හෙයින් ම නානාත්‍වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වෙයි. යම් පරිදි අර්‍ත්‍ථ හෙයින් ම නානාත්‍වය ඇද්ද ව්‍යඤ්ජන හෙයින් සම වේ ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත් වූ තෙපි තෙල දැනගන්නහු ය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්වයි, මෙසෙයින් දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධැරිය යුතු යැ. සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධැරිය යුතු යැ. දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධරා සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධරා යම් ධර්‍මයෙක් යම් විනයෙක් වේ ද, ඒ (ධර්‍මවිනය) කියයුත්තේ යි.
ඉදින් තොපට එහි ලා මෙබඳු සිතෙක් වේ නම්: මේ ආයුෂ්මතුන් ගේ (වාදය) වැලිත් අර්‍ත්‍ථ හෙයින් ම සම සම වෙයි. ව්‍යඤ්ජන හෙයින් නානාත්‍වය ඇතැ’ යි. ඔවුනතුරෙහි යම් මහණකු ඉතා සුවච යයි හඟනවු නම්, (ඔහු කරා) එළැඹ හේ මෙසේ කියැයුතු වන්නේ ය: ආයුෂ්මතුන් ගේ (වාදය) වැලිත් අර්‍ත්‍ථ හෙයින් මැ සම වෙයි. ව්‍යඤ්ජන හෙයින් නානාත්‍වය ඇත. යම් පරිදි අර්‍ත්‍ථ හෙයින් මැ සම වේ ද, ව්‍යඤ්ජන හෙයින් නානාත්‍වය ඇද්ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි දැනගන්නහු ය: ‘යම් මේ ව්‍යඤ්ජනයෙක් ඇද්ද, තෙල අල්පමාත්‍ර මැ ය. ආයුෂ්මත්හු අල්පමාත්‍ර කරුණෙහි නහමක් විවාදයට පැමිණෙත්ව’ යි. ඉක්බිති සපක්‍ෂ වූ අන්‍ය භික්‍ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ හේ මෙසේ කියැයුතු වෙයි: ආයුෂ්මතුන් ගේ වාදය වැලිත් අර්‍ත්‍ථ හෙයින් සම වෙයි. බ්‍යඤ්ජන හෙයින් භින්න වෙයි. යම් පරිදි අර්‍ත්‍ථ හෙයින් සම වේ ද බ්‍යඤ්ජන හෙයින් භින්න වේ ද තෙල බ්‍යඤ්ජනය අල්පමාත්‍ර වෙයි. ආයුෂ්මත් වූ තෙපි අල්පමාත්‍ර බ්‍යඤ්ජනයෙහි විවාදයට නහමක් වදුව යන තෙල කරුණ ආයුෂ්මත් වූ තෙපි මෙයිනුදු දන්නේ මැනැව. මෙසෙයින් මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධැරිය යුතු ය. වරදවා ගත් දැය වරදවා ගත් සෙයින් ධැරිය යුතු ය. මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධරා, වරදවා ගත් දැය වරදවා ගත් සෙයින් ධරා, යම් ධර්‍මයෙක් යම් විනයෙක් ඇද්ද ඒ දෙසිය යුතු ය.
ඉදින් එහි ලා තොපට මෙබඳු සිතෙක් වේ නම්: ‘මේ ආයුෂ්මතුන් ගේ වාදය අර්‍ත්‍ථ විසිනුදු සම වෙයි, බ්‍යඤ්ජන විසිනුදු සම වෙති’ යි කියායි. එහි ලා යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත පැමිණ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ආයුෂ්මතුන් ගේ (වාදය) අර්‍ත්‍ථ විසිනුදු සම වෙයි, බ්‍යඤ්ජන විසිනුදු සම වෙයි, ‘යම් පරිදි අර්‍ත්‍ථ විසිනුදු සම වේ ද, බ්‍යඤ්ජන විසිනුදු සම වේ ද තෙල කරුණ මෙසෙයිනුදු ආයුෂ්මතුන් දන්නේ මැනැව, එහෙයින් ආයුෂ්මත්හු විවාදයට නහමක් වදුව’ යි. යළි සපක්‍ෂ වූ අන්‍ය භික්‍ෂූන් අතුරෙන් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ‘ආයුෂ්මතුන් ගේ වාදය අර්‍ත්‍ථ විසිනුදු සම වෙයි. බ්‍යඤ්ජන විසිනුදු සම වෙයි. යම් පරිදි අර්‍ත්‍ථ විසිනුදු සම වේ ද, බ්‍යඤ්ජන විසිනුදු සම වේ ද, තෙල කරුණ ආයුෂ්මත්නි, තෙපි මෙයිනුදු දනුව, ආයුෂ්මත්නි, විවාදයට නහමක් වදුව’ යි. මෙසේ මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධැරිය යුතු, මොනොවට ගත් දැය මොනොවට ධරා ගෙන යම් ධර්‍මයෙක් යම් විනයයෙක් ඇද්ද එය දෙසිය යුතු.
මහණෙනි, සමඟ වූ සමඟ සතුටුවන විවාද නො කරන (ශික්‍ෂාශාසනයෙහි) හික්මෙන තොප අතුරෙන් අන්‍යතර මහණක් හට ඇවතෙක් වෙයි. අධ්‍යාචාරයෙක් වෙයි, චෝදනා පිණිස නො යා යුතු ය. සාපත්තික පුද්ගලයා පරීක්‍ෂා කළ යුතු ය. (කිසේ යැ යත්:) මෙසේ පරීක්‍ෂා කරත් ම මට ද වෙහෙස නො වෙයි, මෙරමා හට ද උපඝාත නො වෙයි, යම් හෙයෙකින් අනෙක් පුඟුලා නො කිපෙනසුලු බද්ධවෛර නැති තර කොට ගත් දෘෂ්ටි නැති සුවසේ ඇවතින් මුදාලියහෙනසුලුයෙක් වේ ද, මම වැලිත් තෙල පුඟුලා අකුසලින් නංවා කුසල්හි පිහිටුවාලන්නට හැකියෙම් දැ’ යි කියායි. ඉදින් මහණෙනි, මෙසේ වේ නම්, (චෝදනා නඟා) කියන්නට නිසි වෙයි.
ඉදින් මහණෙනි, මෙබඳු සිත් වේ නම්: ‘මට වැලිත් වෙහෙසෙක් නො වෙයි, පරපුඟුල්හට දුක් උපදනේ වෙයි, අනෙක් පුඟුලා කිපෙනසුලු බද්ධවෛර ඇති තර කොට නො ගත් දෘෂ්ටි ඇති වහා ඇවතින් නඟාලියැහෙන්නෙක් වේ ද, තවද මම තෙල පුඟුලා ඇවතින් නඟා නිරාපත්තියෙහි පිහිටුවාලන්නට හැකියෙමි. පරපුඟුලාහට දුකෙක් වේ ය යන තෙල කරුණ අල්පමාත්‍ර වෙයි. වැලිත් (මම තෙල පුඟුලා ඇවතින් නඟා නිරාපත්තියෙහි පිහිටුවාලන්නට හැක්කෙමි ’ යන) තෙල කරුණ ම බහුතර වෙයි කියා යි. ඉදින් මහණෙනි, මෙසේ වේ නම් චෝදනා නඟා බණන්නට නිසි වෙයි.
ඉදින් මහණෙනි, මෙබඳු සිත් වේ නම්: ‘මට වැලිත් වෙහෙස වෙයි, පරපුඟුල්හට දුක් නො වෙයි, පරපුඟුල් නො කිපෙනසුලු උපනාහ නැති තර කොට ගත් දෘෂ්ටි නැති දුක සේ ඇවැතින් මුදාලියහෙනුයෙක් වෙයි. මම තෙල පුඟුල් ඇවතින් නඟා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි, මට වෙහෙසක් වෙයි යන තෙල කරුණ අල්පමාත්‍ර ය, මම තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි යන තෙල කරුණ ම වැඩිතරම් වෙයි කියා යි. මහණෙනි, ඉදින් මෙසේ සිත් වේ නම්, චෝදනා නඟා බණන්නට නිසි වෙයි.
ඉදින් මහණෙනි, මෙබඳු සිතෙක් වේ නම්: ‘මට ද වෙහෙසෙක් වෙයි, පරපුඟුල්හට ද දුකෙක් වෙයි, පරපුඟුල් කිපෙනසුලු උපනාහ ඇති තර කොට ගත් දිටු නැති ඇවතින් දුකසේ නඟාලියැ හෙනුයෙක් වෙයි. මම් වැලිත් තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි, ‘මට වෙහෙසෙක් වෙයි, පරපුඟුල්හට දුකෙක් වෙයි යන තෙල අල්පමාත්‍ර කාරණයෙකි, වැලිත් ‘මම තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තිකභාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි යන තෙල ම බහුතර කාරණ වෙයි’ කියා යි. මහණෙනි, ඉදින් මෙබඳු සිත් වේ නම්, චෝදනා නඟා බණන්නට නිසි වෙයි.
ඉදින් මහණෙනි, මෙසේ සිත් වේ නම්, ‘මට ද වෙහෙසෙක් වෙයි, අනෙකාහට ද දුකෙක් වෙයි, අනෙක් පුඟුල් කෝපනසීලී වූ උපනාහී වූ තර කොටගත් දෘෂ්ටිගති ඇති ඇවතින් දුකසේ මුදාලියැ හෙනුයෙක් වෙයි, මම වැලිත් තුලුන් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට නො හැකියෙමි’ කියා යි. මහණෙනි, මෙබඳු පුඟුල් කෙරෙහි මධ්‍යස්ථතා කළ යුතු.
මහණෙනි, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්‍ෂාශාසනයෙහි හික්මෙන තොප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්‍ය්‍යාස වූ චිත්තාඝාත වූ සිතට නො සතුටු වූ සිත් නො අලවන වචනයෙක් උපදනේ ද, එහි දී සපක්‍ෂ භික්‍ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනහු ද, වෙත පැමිණ හේ මෙසේ කියැයුතු වෙයි: ‘ඇවත, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන අප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්‍ය්‍යාස වූ චිත්තාඝාත වූ නො සතුටට කරුණු වූ සිත් නො අලවන බසෙක් උපන. එය දනිමින් ගර්‍හා කරන්නේ යයි’ කියා යි. මහණෙනි, මොනොවට පවසන මහණ මෙසේ පවසන්නේ ය: (කෙසේ යැ:) ‘ඇවත, සමඟි වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්‍ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්‍ය්‍යාස වූ චිත්තාඝාත වූ නො සතුටට කරුණු වූ ව්‍යාපාද ජනක වූ යම් බසෙක් උපන් ද, එබස දන්මින් බුදුහු ගරහිති, ඇවත, තෙල කලහ භණ්ඩනධර්‍මය නො පියා නිවන් පසක් නො කරන්නේ ය’ කියා යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: (කෙසේ යැ:) ‘ඇවත, තෙල කලහ භණ්ඩනධර්‍මය නො පියා නිර්‍වාණධර්‍මය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේ ය’ යි.
ඉක්බිති සපක්‍ෂ වූ අන්‍ය භික්‍ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ‘ඇවත, සමඟි වූ සමඟ සතුටු වූ උනුන් විවාද නො කරන ශික්‍ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ උනුනට යම් හෙයෙකින් දෘෂ්ටි ප්‍රදාස වූ චෙතාඝාත වූ අප්‍රත්‍යය වූ ව්‍යාපාදජනක වචනයෙක් උපන් ද, එය දන්මින් ගරහතී’ යි. මහණෙනි, මොනොවට පවසන මහණ මෙසේ පවසන්නේ ය: (කිසේ යැ:) ‘ඇවත, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්‍ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ අන්‍යෝන්‍යයනට දෘෂ්ටිප්‍රදාස වූ චෙතාඝාත වූ අප්‍රත්‍යය වූ ව්‍යාපාදකර වූ වාක්සංස්කාරයෙක් යම් හෙයකින් උපන් ද, එය දන්මින් ශාස්තෲන් වහන්සේ ගර්‍හා කරති. ‘ඇවත, තෙල කලහ භණ්ඩනධර්‍මය හැරපියා මුත් නිවන් පසක් නො කළහෙන්නේ ය’යි කියා යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: (කිසේ ය යත්) ‘ඇවත, තෙල දහම නො පියා නිවන පසක් නො කළහෙන්නේ ය’ යි.
මහණෙනි, ඉදින් අන්‍යයෝ ඒ මහණ මෙසේ පුළුවුස්නාහු නම්: ආයුෂ්මතුන් විසින් තෙල භික්‍ෂූහු ඇවතින් මුදා කුසල්හි පිහිටුවන ලද්දාහු නො වේ දැ’ යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: ‘ඇවත, මම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියෙමි, භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසූසේක. මම ඒ දහම අසා එ මහණුනට කීමි, ඒ මහණහු එ දහම අසා අකුසලින් නැඟීසිටියහ, මහණෙනි, මෙසේ බණන ඒ මහණ ආත්මොත්කර්‍ෂ නො ද කරන්නේ ය, පරිපරිභවත් නො කරන්නේ ය, ධර්‍මානුධර්‍මත් පවසන්නේ ය, සහේතුක වූ කිසිත් වාදානුවාදයෙක් ගර්‍හනීය තැනට නො ද එන්නේ ය’ යි.
භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටුවූහු.
තුන්වැනි කින්ති සූත්‍ර යි.
3. 1. 4.
සාමගාම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ සාමග්‍රාමයෙහි වැඩවාස කරන සේක. එකල්හි නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර කලුරිය කළ නොබෝකල් ඇති වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු ද්වීභාග වූවාහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. කෙසේ යැ: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්හි, මම මේ දහම්විනය පිළිපැද දන්මි, කිම තෝ මේ දහම්විනය දන්හි ද, තෝ වරදවා පිළිපන්හි, මම මොනොවට පිළිපන්මි, ම බස අර්‍ත්‍ථ සංහිත ය, තා බස අර්‍ත්‍ථසංහිත නො වෙයි. කැලම කියැයුත්ත පසුවලා කීයෙහි, පසුවලා කියැයුත්ත කැලම කීයෙහි, (චිරකාලාසේවන වශයෙන්) ආචීර්‍ණ වූ තාගේ වාදය පෙරැළිණ, තට වාදාරෝපණ කරන ලද, නිගන්නා ලද්දෙහි, වාදප්‍රමොක්‍ෂයට (උත්තර සපයමින්) ඇවිදුව, ඉදින් හැක්කෙහි නම්, නිරවුල් හෝ කරවයි’ කියා යි. නාතපුත්‍රයා සිසු නුවටුන් කෙරෙහි වධයක් සෙයින් වැටෙයි.
නිගණ්ඨනාතපුත්‍රයාගේ සුදු පිළීහඳනා යම් ගිහිසව් කෙනෙක් ඇද්ද ඔහුත් වරදවා කී වරදවා දන්වාලු අනෛර්‍ය්‍යාණික වූ ක්ලේශව්‍යුපශම පිණිස නො වැටෙන සම්‍යක් සම්බුද්ධ නො වන්නකු විසින් කියන ලද බුන් පිහිට ඇති පිළිසරණ රහිත ධර්‍මවිනයෙක යම්සේ කලකිරෙත් ද, එසේ නාතපුත්‍ර අතැවැසි වූ නුවටුන් කෙරෙහි උකැටිසැහැවි ඇත්තාහු නො ඇලුණාහු සත්කෘත්‍යක්‍රියායෙන් වැළැකුණාහු වෙති.
එසඳ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ පාවානුවර වස්විසුවාහු සාමග්‍රාමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සකසාවැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල කීහු: ‘ වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර දී කලුරියකළ නොබෝකල් ඇත්තේ ය, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වූවාහු හටගත් භණ්ඩන ඇතියාහු හටගත් කලහ ඇතියාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙති ’ … බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්‍මවිනයෙක යම්සේ කලකිරෙත් ද එසෙයින් ... කලකිරෙති.)
මෙසේ කී කල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ චුන්‍දසමණුද්දෙස තෙරණුවනට තෙල කීහු: ‘ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා මේ කථාවස්තු පඬුරෙක් ඇත, යම්හ, ඇවත චුන්‍දයෙනි, භාග්‍යවතුන් කරා එළැඹෙම්හ, එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කථාර්‍ත්‍ථය සැලකරම්හ’ යි. ‘වහන්ස, එසේ යැ’ යි චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පිළිවදන් දුන්හු.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මේ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ මෙසේ කියති: (කිසේ යැ:) ‘වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර මෙසඳ කලුරිය කළේ යැ, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වැ භණ්ඩනජාත වැ කලහජාත වැ විවාදාපන්න වැ උනුන් මුවසැතින් විදුමින් වාස කෙරෙති, ... බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්‍මවිනයෙක කලකිරෙනුවන් සෙයින් උන්ගේ ගිහිසව්වෝ ද උන් කෙරෙහි කලකිරුණහ.) වහන්ස, මට මෙවන් සිතෙක් පහළ වෙයි: භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සඟුන් කෙරෙහි නහමක් විවාද උපදීවා, (කරව හෙයින?) ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට නොසුව පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ ද එහෙයිනි.
ආනන්‍දය, ඒ කෙසේ හඟිහි, මා විසින් තොපට යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කොට දෙසල ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටනුහු යැ, සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මොහු යි. ආනන්‍දය, තෙපි මේ ධර්‍මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු දක්නාව? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කොට දෙසන ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටන් හු යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මොහු යි. මම මේ ධර්‍මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු නො දක්මි. වහන්ස, යම් මැ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නාහු වාස කෙරෙත් ද, ඔහුද භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ආජීවනිමිත්තෙහි හෝ (තදන්‍ය) ප්‍රාතිමෝක්‍ෂ නිමිත්තෙහි හෝ සඞ්ඝයා කෙරෙහි විවාද දනවන්නාහු නම් ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙතී’ සැලකළෝ.
ආනන්‍දය, ආජීවනිමිත්තෙහි වේවයි, අධිප්‍රාතිමෝක්‍ෂනිමිත්තෙහි වේවයි යම් මැ විවාදයෙක් ඇත්නම් ඒ විවාද අල්පමාත්‍ර විවාදයෙකි, ආනන්‍දය, මාර්‍ගය නිමිති කොට හෝ ප්‍රතිපත් නිමිති කොට හෝ උපදනාවිවාදයෙක් වේ නම් ඒ විවාදය බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙයි.
ආනන්‍දය, මේ විවාදමූලයෝ සදෙනෙකි, කවර සදෙනෙක යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ ද, ආනන්‍දය, යම් ඒ මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ නම්, ඒ මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහිදු අගෞරව ව යටත් පැවැතුම් නැති ව වාස කෙරෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව නැති ව අප්‍රතිශ්‍රය ව වාස කෙරෙයි, ශික්‍ෂායෙහි දු පරිපූරකාරී නො වෙයි. ආනන්‍දය, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ධර්‍මය කෙරෙහි … ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ශික්‍ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවා ද, ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටේ. ඉදින් ආනන්‍දය, තෙපි මෙවන් විවාදමූලයක් තමා තුළ හෝ බැහැර හෝ දක්නහු නම්, ආනන්‍දය, එහි ලා තෙපි ඒ පාපක වූ විවාදමූලයාගේ මැ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව, ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්‍දය, එහි ලා තෙපි පාපක වූ ඒ විවාදමූලයාගේ මැ මතු නූපදනා පිණිස පිළිපදුව. මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ තෙල විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි.
තවද ආනන්‍දය, මහණ ගුණමකු වෙයි, යුගග්‍රාහලක්‍ෂණ ප්‍රදාස ඇති වෙයි, ... ඊර්‍ෂ්‍යා ඇති වෙයි, මසුරු ඇති වෙයි, ... ශඨ වෙයි, මායාවී වෙයි, ... පාපේච්ඡ වෙයි, මිත්‍ථ්‍යා දෘෂ්ටික වෙයි ... යුගග්‍රාහ ඇතියේ මුදවාලියැ නො හෙනුයේ සිය දිටු පරාමර්‍ශ කරනසුලු වෙයි, ආනන්‍දය, යම් ඒ මහණෙක් ආධානගාහී වැ දුප්පටිනිස්සග්ගී වැ සිය දෘෂ්ටිය ම පරාමර්‍ශ කරනසුලු වේ නම් හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි දු ගෞරව රහිත වැ ප්‍රතිශය රහිත වැ වාස කෙරෙයි, ධර්‍මය කෙරෙහිදු අගෞරව වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව රහිත වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරෙයි. ශික්‍ෂාශාසනයෙහිදු පරිපූරකාරී නො වෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... (ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරේ ද) ශික්‍ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවයි, ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වෙයි. ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නුවණින් දක්නහු නම්, ආනන්‍දය, තෙපි ඒ පාපක විවාදමූලයාගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කරව. ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාද මූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්‍දය, තෙපි එහි ලා ඒ පාපක විවාද මූලයාගේ මැ මතු නො ඉපැද්ම පිණිස පිළිපදව, මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්‍රහාණ වෙයි, මෙසේ තෙල පාපක විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි. ආනන්‍දය, මොහු සවැදෑරුම් විවාදමූලයෝ යි.
ආනන්‍දය, මේ අධිකරණයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යි. ආනන්‍දය, මොහු සතර අධිකරණයෝ යි.
යළි ආනන්‍දය, මේ අධිකරණසමථයෝ සත්දෙනෙක් වෙති: ‘උපනුපන් අධිකරණයන්ගේ ශමථය පිණිස ව්‍යුපශමය පිණිස (චතුර්විධ සම්මුඛතායෙන්) සම්මුඛාවිනය දිය යුතු ය. (රහත් මහණහට චෝදනා නො කරනු සඳහා) සතිවිනය දියයුතු යැ (උමතු ව සිටි මහණහට චෝදනා නො කරනු සඳහා) අමූළ්හවිනය දියයුතු යැ, (ඇවත පිළිගන්නහුට) ප්‍රතිඥායෙන් කටයුතු යැ, (ධර්‍මවාදීන්ගේ බාහුල්‍යයෙන් කරන) යේභුය්‍යසිකා යැ, (පාපොත්සද පුද්ගල හට කරන) තස්සපාපිය්‍යසිකා යැ, තිණ්වත්‍ථාරකකර්‍ම යැ යන මොහු යි.
ආනන්‍දය, කිසෙයින් සම්මුඛාවිනය වෙයි යත්: ආනන්‍දය, මෙහි භික්‍ෂු කෙනෙක් ධර්‍ම යැ කියා හෝ අධර්‍ම යැ කියා හෝ විනය යැ කියා හෝ අවිනය යැ කියා හෝ විවාද කෙරෙති. ආනන්‍දය, සමඟ වූ එ හැම භික්‍ෂූහු රැස්විය යුතු වෙති. රැස් වැ ධර්‍මනීතිය විමසියැ යුත්තී යැ, ධර්‍මනීතිය විමසා ඒ ධර්‍මන්‍යායයෙහි යම්සේ සම වේ ද, එසෙයින් ඒ අධිකරණය සන්හිඳුවිය යුතු. ආනන්‍දය, මෙසේ සම්මුඛාවිනය වෙයි. යම් අධිකරණයෙක් යම් සම්මුඛාවිනයෙකින් සන්හිඳේ ද, මෙසෙයිනුදු මෙහි ඇතැම් විවාදාධිකරණයන්ගේ සන්හිඳීම වේ.
කිසෙයින් ආනන්‍දය යේභුය්‍යසිකා වෙයි යත්: ඉදින් ආනන්‍දය, ඒ භික්‍ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි (හිඳ) සන්හිඳුවාලන්නට නො හැකි වෙත් ද, ආනන්‍දය, ඒ භික්‍ෂූන් විසින් යම් ආවාසයෙක බහුතර භික්‍ෂූහු වෙසෙත් ද, ඒ ආවාසය ගන්තව්‍ය වෙයි. (ඒ ආවාසයට යායුතුයි) එහි සමඟ වූ හැම භික්‍ෂූහු මැ රැස්විය යුත්තාහ. රැස්වැ ධර්‍මන්‍යාය විමසියැ යුතු ය. ධර්‍මන්‍යාය විමසා එහි යම්සේ සම් වේ ද, එසෙයින් ඒ අධිකරණය සන්හිඳුවිය යුතු. ආනන්‍දය, මෙසේ යේභුය්‍යසිකා වෙයි. යම් අධිකරණයෙක් යම් යේභුය්‍යසිකායේකින් සන්හිඳේ ද, මෙසෙයිනුදු මේ ශාසනයෙහි කිසි අධිකරණ කෙනකුන් ගේ ව්‍යුපශම වෙයි.
ආනන්‍දය, කිසෙයින් සතිවිනය වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ මෙබඳු ගරුකාපත්තියෙකින් මහණක්හු සොයයි: පරාජිකයෙන් වේවයි ඇවත් අවන් ආයුෂ්මත් පරිජි හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි කෙරේදැයි. ඒ මහණ මෙසේ කියයි: ‘ඇවත, ඇවත් අවන් මම පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි නො කරමි’, ආනන්‍දය, ඒ මහණහට සතිවිනය දියයුතු. ආනන්‍දය මෙසේ සතිවිනය වෙයි. සතිවිනයෙන් යම් අධිකරණයෙක් ව්‍යුපශම වේ ද, ආනන්‍දය, මෙසෙයිනුදු මෙ සස්නෙහි කිසි අනුවාදාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
ආනන්‍දය, කිසෙයින් අමූළ්හවිනය වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ පාරාජිකයෙන් වේවයි පාරාජිකසාමන්තයෙන් වේවයි මෙබඳු ගරුකාපත්තියකින් මහණකු සොයයි: ‘ඇවැත් අවන් ආයුෂ්මත් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි කෙරේ දැ’ යි. හේ මෙසේ කියයි: ‘ඇවත, ඇවැත් අවන් මම පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි නො කරමි, ඒ චෝදක මහණ ඇවැත්වෙළුම් හරන තෙල චුදික මහණහු තර කොට ඇවතින් වෙළයි: ‘ඇවැත් අවන් ආයුෂ්මත් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් ඉදින් සිහි කරහි නම්, එයින් ආයුෂ්මත් මනාකොට මැ දනුව’ යි. (එසඳ) ඒ චුදිත මහණ මෙසේ කියයි: ‘ඇවත මම් වූ කලි චිත්තවිපර්‍ය්‍යාස වූ උන්මාදයට පැමිණියෙමි, උමතු වූ මා විසින් බසින් බිණු කයින් කළ බොහෝ නො සරුප් දැ ආචාර බිඳ කරන ලද. මම් ඒ නො සිහි කරමි, සමුමූඪ වූ මා විසින් තෙල කැරුණේ ය’ යි. ආනන්‍දය, ඒ මහණ හට අමූළ්හවිනය දියයුතු. ආනන්‍දය, මෙසේ අමූළ්හවිනය වෙයි. යම් අධිකරණයෙක් යම් අමූළ්හවිනයෙකින් සන්හිඳේ ද, මෙසෙයින් මෙ සස්නෙහි කිසි අනුවාදාධිකරණ කෙනකුන්ගේ සන්හිඳීම වෙයි.
කිසෙයින් ආනන්‍දය, පටිඤ්ඤාතරකණ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ චෝදිත වූයේ හෝ අචෝදිත වූයේ හෝ ඇවැත් සිහි කෙරෙයි, විවර කෙරෙයි, පාළ කෙරෙයි. ආනන්‍දය, ඒ මහණහු විසින් වෘද්ධතර මහණ වෙත එළැඹ සිවුරු එකස් කොට පාසඟුළුවන් වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වෙයි: ‘වහන්ස, මම් මෙනම් ඇවැත් අවන්මි, එ ඇවැත් දෙසමී’, හේ මෙසේ කියයි: ‘දක්නෙහි දැ’ යි, ‘දක්මී’. ‘මතුයෙහි සංවරයට පැමිණෙහි’ යයි. ‘සංවරයට පැමිණෙමි’යි. ආනන්‍දයෙනි, මෙසේ පටිඤ්ඤාතකරණ වෙයි. යම් අධිකරණයෙක් යම් පටිඤ්ඤාතකරණ නම් සමථයෙකින් සන්හිඳේ ද, මෙසේත් මෙ සස්නෙහි ඇතැම් ආපත්තාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
ආනන්‍දය, කිසෙයින් ‘තස්සපාපිය්‍යසිකා’ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ මහණක්හට පරිජි ඇවතින් වේවයි පාරාජිකසාමන්තයෙකින් වේවයි ‘ආයුෂ්මත් පරිජි හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවතකට පැමිණියේ සිහි කෙරේව’ යි. මෙ බඳු ගරු ඇවැතෙකින් චෝදනා කෙරෙයි. හේ මෙසේ කියයි:
‘ඇවැත්නි, මම් පරිජි හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට නොපැමිණයෙම් නො මැ සිහි කෙරෙමි’ යි. ඒ චෝදක මහණ නිර්‍වෙෂ්ඨන කරන (තමා මුදන) තෙල චුදිතයා අතිවෙඨන කෙරෙයි: ‘ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙහි සිහි කෙරෙහි නම් ආයුෂ්මත් ඒකාන්තයෙන් මනාකොට මැ දනුව’ යි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් නො මැ සිහි කෙරෙමි. ඇවැත්නි, මම් මෙ බඳු වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණියෙම් සිහි කෙරෙමි’ යි. ඒ චෝදක මහණ නිර්‍වෙෂ්ඨන කරන තෙල චුදිත මහණහු අතිවෙඨන කෙරෙයි: ‘ඒකාන්තයෙන් ආයුෂ්මත් මනාකොට මැ දන්හි. ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙහි සිහි කරව’ යි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් යම් හෙයෙකින් මේ අල්පමාත්‍ර වූ ඇවැතකට පැමිණ නො පුළුවුස්නා ලදුයෙම් ප්‍රතිඥා කෙරෙම් නම් කිමෙක් ද මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණ පුළුවුස්නාලදුයෙම් පිළින නො කෙරෙම් දැ’ යි. ඒ චෝදක මහණ මෙසේ කියයි: ‘ඇවැත්නි, යම් හෙයෙකින් තෝ මේ අල්පමාත්‍ර වූ ඇවැතකට පැමිණ නො පුළුවුස්නා ලද්දෙහි ප්‍රතිඥා නො කරව. කිමෙක තෝ පාරාජික හෝ පාරාජිකසාමන්ත හේ මෙ බඳු ගරු ඇවැතකට පැමිණ පුළුවුස්නා ලදුයෙහි ප්‍රතිඥා කරන්නෙහි ද? ඒකාන්තයෙන් ආයුෂ්මත් මනාකොට මැ දන්හි. ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියහු සිහි කරව’ යි. ඒ චුදිත මහණ කියයි. ඇවැත්නි, මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් සිහි කෙරෙම් මැ යැ. ‘මා විසින් සැහැසි වැ මෙසේ කියන ලද. මා විසින් අනෙකක් කියනු කැමැති වැ මෙසේ කියන ලද. මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් එය නො සිහි කෙරෙමි’ යි. ආනන්‍දය, මෙසේ ‘තස්සපාපිය්‍යසිකා’ වෙයි. මෙ සස්නෙහි ‘තස්සපාපිය්‍යසිකා’ නම් සමථයෙකින් යම් අධිකරණයෙක් සන්හිඳේ ද, මෙසේත් මෙ සස්නෙහි ඇතැම් ආපත්තාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
ආනන්‍දය, කිසෙයින් ‘තිණවත්‍ථාරක’ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණ වෙසෙන භික්‍ෂූන් විසින් බසින් කී කයින් වෑයම් කොට කළ බොහෝ නොසරුප් දැ කරන ලද වෙයි. ආනන්‍දය, ඒ භික්‍ෂූන් හැම සමඟ වූවන් රැස්විය යුතු, රැස්වැ සපක්‍ෂ භික්‍ෂූන් අතුරෙන් ව්‍යක්තතර මහණක්හු විසින් හුනස්නෙන් නැඟීසිට සිවුර එකස් කොට පෙරෙව ඇඳිලි බැඳ සඞ්ඝයා මෙසේ දැන්විය යුතු:
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදාපන්න වැ වෙසෙන අප විසින් බසින් කී කයින් කළ මේ බොහෝ නො සරුප් දැ කරන ලද, ඉදින් සඟනට පැමිණි කල් වී නම්, මේ ආයුෂ්මතුන්ගේ යම් මැ ඇවැතකුත් වේ ද, තමාගේ යම් ඇවැතකුත් වේ ද, (එය) මේ ආයුෂ්මතුන් සඳහාත් තමා සඳහාත් ස්ථුලවද්‍ය (පරිජි සඟවෙසෙස්) ඇවැත් තබා ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් තබා, සඟමැද තිණ්වත්‍ථාරකයෙන් දෙසන්නෙමැ’ යි.
ඉක්බිති සපක්‍ෂ වූ අන්‍ය භික්‍ෂූන් අතුරෙන් ව්‍යක්තර මහණක්හු විසින් හුනස්නෙන් නැඟීසිට සිවුරු එකස් කොට පෙරෙව ඇඳිලි බැඳ සඞ්ඝ තෙමේ ඥාතව්‍ය වෙයි:
‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදාපන්න වැ වෙසෙන අප විසින් බසින් කී කයින් කළ මේ බොහෝ නො සරුප් දැ වෙයි, ඉදින් සඟනට පැමිණි කල් වී නම්, මම මේ ආයුෂ්මතුන්ගේ යම් මැ ඇවැතකුත් ඇද්ද තමාගේ යම් ඇවැතකුත් ඇද්ද, (එය) මේ ආයුෂ්මතුන් සඳහාත් තමා සඳහාත් (පරිජි සඟවෙසෙස් යන) ස්ථුලවද්‍ය ඇවැත් තබා ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් තබා, සඟමැද තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමැ’ යි.
ආනන්‍දය, මෙසේ තිණවත්‍ථාරක සමථ වෙයි. මෙසේ වැලිත් සස්නෙහි යම් ‘තිණවත්‍ථාරක’ නම් ශමථයෙක් ඇද්ද එයින් ඇතැම් අපත්තාධිකරණ කෙනකුන්ගේ සන්හිඳීම වෙයි.
ආනන්‍දය, සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන සබ්‍රම්සරුන් ගරු කරන මේ ධර්‍මයෝ සදෙනෙක් සබ්‍රම්සරුන් විසින් සංග්‍රහ කළයුතු බවට අවිවාදයට සමඟ බවට ඒකීභාවයට වැටෙති. කවර සදෙනෙක යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහි ද පරාම්මුඛයෙහි ද මෛත්‍රී කායකර්‍මය එළඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ ධර්‍මය ද සබ්‍රම්සරුන් විසින් සඞ්ග්‍රහ පිණිස (ඔවුන් හා) අවිවාද පිණිස සාමග්‍රිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
යළිදු ආනන්‍දය, මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි මෛත්‍රී වාක්කර්‍මය හමුයෙහි දු නො හමුයෙහි දු එළැඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සාමග්‍රිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
යළිදු ආනන්‍දය, මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි මෛත්‍රීමනඃකර්‍මය හමුයෙහි දු නො හමුයෙහි දු එළැඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සමගියට එකඟ බවට වැටෙයි.
යළිදු ආනන්‍දය, දැහැමි වූ දැහැමින් ලද යම් ලාභ කෙනෙක් වෙත් ද, යටත්පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍රයෙකුදු වේ නම් එබඳු ලාභයෙන් සිල්වත් සබ්‍රම්සරුන් සමග (ආමිෂය හෝ පුද්ගලයා) වෙන් කොට නො වළඳනුයේ සාධාරණභෝගී වෙයි. සිහි කටයුතු වූ ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සමගියට එකඟ බවට වැටෙයි.
යළිදු ආනන්‍දය, නො කඩ වූ නො සිදුරු වූ නො සබල වූ කල්මාෂ නො වූ නිදස් වූ නුවණැත්තන් විසින් පසස්නාලද (තෘෂ්ණාදෘෂ්ටියෙන්) නො පහස්නාලද, සමාධි පිණිස පවත්නා වූ යම් ශීල කෙනෙක් වෙත් ද, එබඳු ශීලයෙහි හමුයෙහි දු නො හමුයෙහි දු සබ්‍රම්සරුන් සමග ශීලයෙන් සමාන බවට පැමිණ වෙසෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මෙ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙයි.
යළිදු ආනන්‍දය, මහණ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියක් එලෙසින් කරනුවහට මැනැවින් දුක් කෙළවර කිරීමට පැමිණේ ද, එබඳු වූ දෘෂ්ටියෙන් හමුයෙහි දු නො හමුයෙහි දු සබ්‍රම්සරුන් සමග දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියේ වෙසෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මෙ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙයි.
ආනන්‍දය, සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ ධර්‍මයෝ සදෙන සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙත්.
ආනන්‍දය, ඉදින් තෙපි සිහි කටයුතු වූ මේ ධර්‍මයන් සදෙන මොනොවට ගෙන වැටෙන්නහු නම්, ආනන්‍දය, තෙපි අල්පසාවද්‍ය හෝ මහාසාවද්‍ය හෝ යම් වචනපථයක් නො ඉවසන්නහු ද එ වචනපථය තෙපි දක්නහු ද?
වහන්ස, තෙල නො වේ මැ යැ.
එහෙයින් ආනන්‍දය, මෙ කරුණෙහි ලා මේ ෂට්සාරාණීයධර්‍මයන් මොනොවට ගෙන වැටෙවු. එය තොපට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තාහ’ යි.
සිව් වැනි සාමගාම සූත්‍ර යි.
3. 1. 5.
සුනක්ඛත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වාස කරනසේක. එසමයෙහි බොහෝ මහණුන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාති ක්‍ෂය කරනලද, මඟ බඹසරවස් වැස නිමවන ලද, කරණී කරනලද, මේ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ” යි අර්‍හත්‍වය ප්‍රකාශ කරන ලද වෙයි. සුනක්‍ඛත්ත ලිච්ඡවිපුත්‍ර “බොහෝ මහණුන් විසින් භාග්‍යවතුන් සමීපයෙහි දී ‘ජාති ක්‍ෂය කරනලද, මඟබඹසරවස් වැස නිමවනලද, කරණී කරනලද, මෙ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ’ යි අර්‍හත්‍වය පවසන ලද වේ” යයි ඇසී.
එසඳ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් කරා එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
“වහන්ස, මා විසින් තෙල අසන ලද: ‘බොහෝ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අර්‍හත්‍වය ප්‍රකාශ කරන ලද, ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්‍ථම්භාවය (කෙලෙසුන් නැසීම) පිණිස මඟබවුන් කිසයෙක් නැතැ’ යි දනුම්හ” යි. කිමෙක වහන්ස, ඒ භික්‍ෂූහු මැනැවින් ම අර්‍හත්‍වය පැවැසූහු ද, නොහොත් ඔවුන් කෙරෙහි ඇතැම් භික්‍ෂූහු අධිමානයෙන් අර්‍හත්‍වය පැවසූහු ඇත් දැ’ යි.
සුනක්ඛත්තය, යම් භික්‍ෂු කෙනෙක් මා සමීපයෙහි ‘ජාති ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්‍ථම්භාවය පිණිස අන් කිසයෙක් නැතැ’ යි දනුම්හ’ යි රහත්බව පැවැසූහු ද, ඔවුන් කෙරෙහි ඇතැම් භික්‍ෂූහු මැනැවින් ම අර්‍හත්‍වය ප්‍රකාශ කළාහු ඇත. යලි ඇතැම් භික්‍ෂූහු අධිගතමානයෙනුදු අර්‍හත්‍වය ප්‍රකාශ කළාහු ඇත. සුනක්ඛත්තය, ඔවුන් කෙරෙහි යම් භික්‍ෂු කෙනෙක් මැනැවින් මැ අර්‍හත්‍වය ප්‍රකාශ කළාහු ද, ඔවුන්ගේ ඒ ව්‍යාකරණය එසෙයින් මැ වෙයි. යලි යම් භික්‍ෂු කෙනෙක් අධිගතමානයෙන් අර්‍හත්‍වය ප්‍රකාශ කළාහු ද, එහි ලා සුනක්ඛත්තය, තථාගතයනට මෙසේ සිත් වෙයි: ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි. සුනක්ඛත්තය, ඒ භික්‍ෂූන්ගේ අඤ්ඤව්‍යාකරණයෙහි ලා ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේත් සිත් වෙයි. එතෙකුදු වත් මෙ සස්නෙහි ඇතැම් මෝඝපුරුෂයෝ පැන පුනපුනා සකසා තථාගතයන් කරා එළැඹ පුළුවුස්ති. එහි ලා සුනක්ඛත්තය, යම් කරුණෙකින් ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේ සිත් වෙයි, ඒ චිත්තයාගේ ද අන්‍යථාත්‍වය වේ යයි.
‘යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක් ද, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කලැ, සුගතයන් වහන්ස, මේ ඊට කලැ, භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙසුම් අසා ධරන්නාහ’ යි. සුනක්ඛත්තය, එසේ වී නම් අස, මනා කොට මෙනෙහි කර, දෙසන්නෙමි’ යි.
එසේ යැ වහන්සැ’ යි සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී, භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
සුනක්ඛත්තය, මේ කාමගුණයෝ පස්දෙනෙක, කවර පස්දෙනෙක යත්: චක්‍ෂුර් විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ (අරමුණු කොට උපදනා) කාමයෙන් යුත් රාග ඉපදීමට කරුණු වූ රූපයෝ යැ, ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයෝ යැ ... කායවිඥානයෙන් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ කාමොත්පාදක වූ රාගයට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, සුනක්ඛත්තය, මොහු පඤ්චකාමගුණයෝ යි.
තවද සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක් යම්හෙයෙකින් (වට්ට-කාම-ලෝකාමිසසංඛ්‍යාත) පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්, සුනක්ඛත්තය, ඒකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී, ඊට අනුරූප ධර්‍ම වූ විතර්‍කය ද විතර්‍ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද බෙජෙයි, ඔහු ගෙන් නො ද සතුටට පැමිණෙයි.
යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ බොහෝ කල් වෙන් වැ වසන්නේ ද, හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි නො බෝකල් ඇති අන්‍යතර පුරුෂයකු දක්නේ නම්, හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ ක්‍ෂේම බව ද සුභික්‍ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය, ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්‍ෂේම බව ද සුභික්‍ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය. සුනක්ඛත්ත, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේ නො ද, ඇසීමට කන නමන්නේ නො ද, දැනුමට සිත එළවන්නේ නො ද, ඒ පුරුෂයාත් සෙවුනේ නො ද, ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.
එසේ යැ වහන්ස,
එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක් (වට්ට-කාම-ලෝකාමිෂ සංඛ්‍යාත) පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද, සුනක්ඛත්තය, ලෝකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවති, ඊට අනුරූප වූ ධර්‍මය මැ විතර්‍ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, එයින් සතුටට නො ද පැමිණෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය. ආනෙඤ්ජ සමාපත්තිසංයෝජනයෙන් යුක්ත නො වූ පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.
සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද, සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්‍මය විතර්‍කවිචාර ද කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද ඇසුරු කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටු වෙයි.
යම්සේ සුනක්ඛත්තය, නටුයෙන් ගිලිහුණු පඬුවන් වූ පත්‍රයෙක් හරිද්වර්‍ණය පිණිස අභව්‍ය වේ ද, එසෙයින් මැ සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල හට යම් ලෝකාමිෂසංයෝජනයෙක් ඇද්ද, එය ගිලිහුණේ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය: ලෝකමිෂසංයෝජනයෙන් විසංයුක්ත වූ ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ත ඇති පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.
තවද සුනක්ඛත්තය, මෙකරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇත්තේ වේ ද, සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූ වූ මැ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්‍මය ද විතර්‍ක විචාර කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි ආනෙඤ්ජසමාපත්තිපටිසංයුක්ත කථාව කරනු ලබන කල්හි නො අසනුකැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
යම්සේ සුනක්ඛත්තය, මහගලක් දෙකඩ වැ බිඳුණේ ප්‍රතිසන්‍ධානයට නො නිසි වේ ද, එසෙයින් මැ සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගලහට යම් ආනෙඤ්ජසමාපත්තිසංයෝජනයෙක් ඇද්ද, එය බිඳුණේ’ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ යැ: “ආනෙඤ්ජසමාපත්තිසංයොජනයෙන් විසංයුක්ත වූ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ත වූ පුරුෂපුද්ගලයෙකැ” යි කියා යි.
තවද සුනක්ඛත්තය, මෙ කරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇත්තේ වේද සුනක්ඛත්තය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ත වූ පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවතී, ඊට අනුරූප වූ මැ ධර්‍මය ද විතර්‍කවිචාර කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ප්‍රතිසංයුක්ත කථාව කරනුලබන කල්හි නො අසනුකැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, එ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් බත්කිස නිමවූයේ මනෝඥ භෝජනය බැහැර ලන්නේ යැ. සුනක්ඛත්තය, ඒ කෙසේ හඟිහි? කිමෙක් ද ඒ පුරුෂයාහට එ බත වටාලා බුදිනුකැමැත්තක් වන්නේ දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල බත පිළිකුලැ’ යි සම්මත හෙයිනි.
එසෙයින් මැ සුනක්ඛත්තය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමවත්හි ඇලුණු පුරුෂපුද්ගලහට යම් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති සංයෝජනයෙක් ඇද්ද, එය ඔහු විසින් වමාළේ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති සංයෝජනයෙන් විසංයුක්ත වූයේ මැ යැ කියා යි.
සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: යම්හෙයෙකින් මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මනාකොට නිර්‍වාණයෙහි අධිමුක්ති ඇත්තේ වේ ද, සුනක්ඛත්තය, මනාකොට නිර්‍වාණයෙහි අධිමුක්ත වූ ඊට අනුරූප වූ මැ කථාව පවතී, ඊට අනුගත වූ ධර්‍මය ද විතර්‍ක විචාර කෙරෙයි, ඒ පුරුෂයා සේවනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ප්‍රතිසංයුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
යම්සේ සුනක්ඛත්තය, මුදුන සුන් තලෙක් යලි වැඩීමට නො නිසි වේද, එසෙයින් ම සුනක්ඛත්තය, මනාකොට නිර්‍වාණාධිමුක්ත වූ පුරුෂපුද්ගලහට යම් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිසංයෝජනයෙක් ඇද්ද, එය උසුන් මුල් ඇතියේ තාලවස්තුවක් සෙයින් කරන ලදුයේ අනුඅභාවය කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. හේ මෙසේ දතයුත්තේ වන්නේ ය: මනාකොට නිර්‍වාණාධිමුක්ත වූ පුරුෂපුද්ගල නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිසංයෝජනයෙන් විසංයුක්ත වූයේ මැ යැ කියා යි.
තවද සුනක්ඛත්තය, මෙ කරුණ විද්‍යමාන වෙයි. කිමෙක යත්: මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැ’ යි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මට ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම මනාකොට නිර්‍වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි’ යි. (අධිගත) මාන ඇතියේ වෙයි. ඔහුගේ මානය අතථ්‍ය (හිස්) වෙයි. හේ මනාකොට නිර්‍වාණයෙහි බැසගත් සිත් ඇත්තහුට අහිත වූ යම් අරමුණු කෙනෙක් ඇද්ද, එහි යෙදෙන්නේ ය, ඇසින් අහිත වූ රූ දැක්මෙහි යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්දයෙහි යෙදෙන්නේ ය, නැහැයෙන් අහිත වූ ගන්‍ධයෙහි යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රසයෙහි යෙදෙන්නේ ය, කයින් අහිත වූ පැහැසියයුත්තෙහි යෙදෙන්නේ ය, සිතින් අහිත වූ දහම්හි යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූදැක්මෙහි යෙදුණු, කනින් අහිත වූ ශබ්දයෙහි යෙදුණු, නැහැයෙන් අහිත වූ ගන්‍ධයෙහි යෙදුණු, දිවින් අහිත වූ රසයෙහි යෙදුණු, කයින් අහිත වූ පැහැසියයුත්තෙහි යෙදුණු, සිතින් අහිත වූ දහම්හි යෙදුණු ඔහුගේ සිත රාගය විසුරුවාලන්නේ ය. හේ රාගයෙන් මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය.
සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් විෂ සහිත වූ පුනපුනා විෂ පෙවූ හීයෙකින් විදුනා ලද්දේ වන්නේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේනෑයෝ සැත්කම් කරන වෙදකු එළවන්නාහු ය, ඒ සැත්කම් කරන වෛද්‍ය සැතින් ඔහුගේ ව්‍රණමුඛය සිඳින්නේ ය, සැතින් ව්‍රණමුඛය සිඳ ඒෂණිසලාකායෙන් ශල්‍යය සොයන්නේ ය, ඒෂණියෙන් ශල්‍යය සොයා ශල්‍යය උදුරන්නේ ය ග්‍රහණශේෂ සහිත කොට විෂදෝෂය බැහැර කරන්නේ ය. ග්‍රහණ ශේෂ සහිත යයි හඟනා වූ හෙතෙම මෙසේ කියන්නේ ය: “එම්බා පුරුෂය, තාගේ ශල්‍යය
උදුරන ලද මැ ය, ග්‍රහණශේෂ සහිත වූ විෂදෝෂය බැහැර කරන ලද, එතෙකුදු වත් තට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථ ය. පථ්‍ය වූ භෝජන ම වළඳන්නෙහි ය, අහිත බොදුන් වළඳන තාගේ ව්‍රණය නහමක් පූයා වැහෙනසුලු වේවා, කලින් කල ව්‍රණය ධොවනය කරන්නෙහි, කලින් කල ව්‍රණමුඛය ආලිම්පන කරන්නෙහි, කලින් කල ව්‍රණය ධොවනය නො කරන කලින් කල ව්‍රණමුඛය ආලිම්පනය නො කරන තාගේ ව්‍රණමුඛය නහමක් ලේසැරව බඳීවා, අව්සුළංහි හැසිරීමෙහි ද නහමක් යෙදෙව, අව්සුළංහි හැසිරීමෙහි යෙදුණු තාගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු නහමක් පෙළාවා, එම්බා පුරුෂය, ව්‍රණය රක්නාසුලුව ව්‍රණ රෝපණය කරනසුලුව වාසය කරන්නෙහි යයි.” එ පුරුෂහට මෙබඳු සිතෙක් වන්නේ ය: ‘ඒකාන්තයෙන් මාගේ ශල්‍යය උදුරන ලද, විෂදෝෂය බැහැර කරන ලද, ග්‍රහණශේෂ රහිත යැ, මට අන්තරාය පිණිස ද අසමර්‍ත්‍ථ වේ ය’ යි. හේ අපථ්‍ය වූ භෝජන ද වළඳන්නේ ය, අපථ්‍යභෝජනයන් වළඳකරන ඔහුගේ ව්‍රණය පූයා වැහෙනසුලු වන්නේ ය, කලින් කල වණය නො ද ධොවනය කරන්නේ ය, කලින් කල වණමුඛය නො ද ආලේපනය කරන්නේ ය, ඔහු කලින් කල වණය නො දොවුනා හට කලින් කල වණමුඛය ආලේපන නො කරනු වහුට ලේසැරව වණමුඛය අවටින් බඳනේය, අව්සුළංහි හැසිරීමෙහිදු යෙදෙන්නේය, අව්සුළංහි හැසිරීමෙහි යෙදුණු ඔහුගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු පෙළන්නේ ය, වණය රක්නාසුලු ව ව්‍රණරෝපණය කරනසුලු ව නො ද වෙසෙන්නේ ය. ඔහුගේ මේ අපථ්‍ය ක්‍රියාහේතුයෙනුදු ඒ බැහැර කළ විෂදෝෂයත් ග්‍රහණශේෂ සහිත විය, එ දෙකින් වණය මහත් බවට යන්නේ ය, හේ මහත් බවට ගිය වණයෙන් මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ යි.
එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි. කිමෙක යත්: “මේ සස්නෙහි මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූ මැ ඇතැම් මහණක් හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැ’ යි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂ්‍ය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මා විසින් ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි” යි. (අධිගත) මාන ඇතියේ වෙයි. ඔහුගේ මානය අතථ්‍ය (සිස්) වෙයි. හේ මැනවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූවහුට අහිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයන්හි යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූපදර්‍ශනයෙහි යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි යෙදෙන්නේ ය, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රස විඳුමෙහි යෙදෙන්නේ ය, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි යෙදෙන්නේ ය, සිතින් අහිත වූ ධර්‍මයෙහි යෙදෙන්නේ ය, ඇසින් අපථ්‍ය වූ රූපදර්‍ශනයෙහි යෙදුණු, කනින් අහිත වූ ශබ්දශ්‍රවණයෙහි යෙදුණු, නැහැයෙන් අපථ්‍ය වූ ගඳගැන්මෙහි යෙදුණු, දිවින් අපථ්‍ය වූ රසාස්වාදනයෙහි යෙදුණු, කයින් අපථ්‍ය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි යෙදුණු, සිතින් අපථ්‍ය වූ ධර්‍මයෙහි යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ වියළන්නේ ය, හේ රාගයෙන් අනුධ්වස්ත වූ සිතින් මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය. සුනක්ඛත්තය, යමෙක් ශික්‍ෂාව හැරැපියා ලාමක වූ ගිහිබවට වැටේ ද, තෙල ආර්‍ය්‍යවිනයෙහි (සස්නෙහි) මරණය මැ වෙයි. සුනක්ඛත්තය, යමෙක් සංක්ලිෂ්ට වූ අන්‍යතර ආපත්තියකට පැමිණේ ද, තෙල මරණමාත්‍ර වූ මැ දුක වේ.
යලි සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි, කිමෙක යත්: මෙ සස්නෙහි මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූ මැ ඇතැම් මහණක්හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මට ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්තයෙම් වෙමි’ යි. හේ මැනවින් නිර්‍වාණාධිමුක්ති ඇත්තකුට අහිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයන්හි නො යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූපදර්‍ශනයෙහි නො යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදෙන්නේ යැ, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි නො යෙදෙන්නේ යැ, දිවින් අහිත වූ රස විඳීමෙහි නො යෙදෙන්නේ යැ, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදෙන්නේ යැ, සිතින් අහිත වූ දහම්හි නො යෙදෙන්නේ යැ, ඇසින් අහිත වූ රූපදර්‍ශනයෙහි නො යෙදුණු, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදුණු, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි නො යෙදුණු, දිවෙන් අහිත වූ රස විඳීමෙහි නො යෙදුණු, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදුණු, සිතින් අහිත වූ දහම්හි නො යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ නො වියළන්නේ ය, (නොමැඩපියන්නේ ය.) හෙතෙම රාගය විසින් නො මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ නො මැ පැමිණෙන්නේ ය, මරණමාත්‍ර දුකට හෝ නො පැමිණෙන්නේ යි.
යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් විෂ සහිත වූ පුනපුනා විෂ පෙවූ හීයෙකින් විදුනා ලද්දේ වේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑසහලේනෑයෝ සැත්කම් කරන වෙදකු එළවන්නාහු ය, ඒ ශල්‍යවෛද්‍යයා සැතින් ඔහුගේ ව්‍රණමුඛය සිඳින්නේ ය, සැතින් ව්‍රණමුඛය සිඳපියා ඒෂණියෙන් ශල්‍යය සොයන්නේය, ඒෂණියෙන් ශල්‍යය සොයා ශල්‍යය උදුරන්නේ ය, ග්‍රහණශේෂ රහිත කොට විෂදෝෂය බැහැර කරන්නේ ය, ග්‍රහණශේෂ රහිත වී යයි දන්නා ඒ විෂවෛද්‍ය මෙසේ කියන්නේ ය: “එම්බා පුරුෂය, තොපගේ ශල්‍යය උදුරන ලද්දේ මැ ය, විෂදෝෂය බැහැර කරන ලද, ග්‍රහණශේෂ රහිත විය, තොපට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථ ද වෙයි. යළි පථ්‍ය වූ භෝජනයන් වළඳනනෙහි ය, අපථ්‍ය වූ භෝජන වළඳකරන්නා වූ තාගේ වණය නහමක් ලේසැරව ගලනසුලු වන්නේ ය, යළි කලින් කල වණය ධොවනය කරන්නෙහි ය. කලින් කල ව්‍රණමුඛය ආලේප කරන්නෙහි, කලින් කල වණය නො දොවුනා, කලින් කල වණමුඛය අලෙව් නො දෙන තාගේ වණ මුඛය නහමක් ලේසැරව බැඳේවා, අව්සුළංහි හැසිරෙන බැව්හි නහමක් යෙදෙව, අව් සුළංහි හැසිරීමෙහි යෙදෙන තාගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු නහමක් පෙළාවා, එම්බා පුරුෂය, වණය රක්නෙහි ව්‍රණරෝපණය කරන සුල්ලෙහි වාසය කරන්නෙහි ය” යි. ඔහුට මෙවන් සිතෙක් වෙයි: ‘මාගේ ශල්‍යය උදුරන ලද්දේ මැ යැ විෂදෝෂ බැහැර කරන ලදුයේ ග්‍රහණශේෂ රහිත යැ, මට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථ ද වේ ය’ යි. හේ පථ්‍ය වූ බොදුනුදු බුදින්නේ ය, පථ්‍ය වූ බොදුන් වළඳ කරන ඔහුගේ වණය ලේපූයා වැහෙන සුලු නො වෙයි, යළි කලින් කල වණය දෝනේ ය, කලින් කල වණය අලෙව් දෙන්නේ ය, කලින් කල වණය දෝනා කලින් කල වණමුඛය අලෙව්දෙන ඔහුගේ වණමුඛය ලේසැරව හාත්පසින් නො බඳනේ ය, අව්සුළංහි හැසිරීමෙහි නො ද යෙදෙන්නේ ය. අව්සුළංහි හැසිරීමෙහි නො යෙදුණු ඔහුගේ වණමුඛය රජස් හා නණ්ඩු නො පෙළන්නේ ය, යළි වණය රක්නාසුලු වූයේ ව්‍රණරෝපණය කරනසුලු වූයේ වෙසෙන්නේ ය, ඔහුගේ මේ පථ්‍යක්‍රියාහේතුයෙනුදු, ඒ විෂදෝෂයත් බැහැර කරන ලදුයේ ග්‍රහණශේෂ රහිත විය. එ දෙකින් වණය (මස්) වැඩෙන්නේ ය. හේ වැඩුණු වණයෙන් හටගත් සිවියෙන් යුක්ත ව මරණයට හෝ නො පැමිණෙන්නේ ය, මරණමාත්‍ර දුකට හෝ නො පැමිණෙන්නේ යි.
එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි, කිමෙක යත්: මෙ සස්නෙහි මැනැවින් නිර්‍වාණාධිමුක්ත වූ මැ ඇතැම් මහණක් හට මෙවන් සිතෙක් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මා විසින් ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ කරන ලද, අවිද්‍යාවිෂදොෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි’ යි. හේ මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූවහුට අහිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ ධර්‍මයන්හි නො යෙදෙන්නේ ය, ඇසින් අහිත වූ රූපදර්‍ශනයෙහි නො යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්දශ්‍රවණයෙහි නො යෙදෙන්නේ ය, ඝ්‍රාණයෙන් අහිත වූ ගන්‍ධාඝ්‍රාණයෙහි නො යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රසාස්වාදනයෙහි නො යෙදෙන්නේ ය, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදෙන්නේ ය, සිතින් අහිත වූ දහම් දැනුමෙහි නො යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූ දැක්මෙහි නො යෙදුණු, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදුණු, නැහැයෙන් අහිත වු ගඳ ගැන්මෙහි නො යෙදුණු, දිවින් අහිත වූ රස විඳීමෙහි නො යෙදුණු, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදුණු, සිතින් අහිත වූ දහම්හි නො යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ නො මඩනේ ය. හේ රාගය විසින් නො මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ නො මැ පැමිණෙන්නේ ය, මරණමාත්‍ර වූ දුකට හෝ නො පැමිණෙන්නේ යි.
සුනක්ඛත්තය, මා විසින් තොපට අරුත් හඟවනු සඳහා මේ උපමා කරන ලදු. තෙල උපමායෙහි මෙ මැ අර්‍ත්‍ථ වෙයි: ‘වණ’යී සුනක්ඛත්තය, සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයට තෙල නමෙක, ‘විසදෝස’ යී සුනක්ඛත්තය, අවිද්‍යාවට තෙල නමෙක, ‘සල්ල’ යී සුනක්ඛත්තය, තෘෂ්ණාවට තෙල නමෙක, ‘එසණී’ යී සුනක්ඛත්තය, ස්මෘතියට තෙල නමෙක, ‘සත්‍ථ’ යී සුනක්ඛත්තය, ආර්‍ය්‍යප්‍රඥාවට තෙල නමෙක, ‘හිස්සක සල්ලකත්ත’ යී සුනක්ඛත්තය, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයනට තෙල නමෙකි. සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ සවැදෑරුම් ස්පර්‍ශායතනයෙහි සංවෘතකාරී වෙයි. පඤ්චස්කන්‍ධොපධිය දුකට මුලැයි මෙසේ දැන (ක්ලේශෝපධීන්) උපධි රහිත වූයේ, උපධිසංඛ්‍යය සංඛ්‍යාත නිවනෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හෝ එළවන්නේ ය, සිත හෝ උපදවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
සුනක්ඛත්තය, යම්සේ වර්‍ණසම්පන්න වූ ගන්‍ධසම්පන්න වූ රසසම්පන්න වූ මිහිරි පැන් පිරූ කස්තලියෙක් වේ ද, හෙ ද වනාහි හලාහලවිෂයෙන් මුසු කරන ලදුයේ වෙයි, එකල්හි ජීවත්වනු කැමැති සුව කැමැති නො මැරෙනු කැමැති දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ යැ, සුනක්ඛත්තය, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ යම්හෙයෙකින් ‘මම් මෙය පානය කොට මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙමැ’ යි දන්නේ නම්, ඒ මිහිරි පැන් පිරූ කස්තලිය පානය කරන්නේ දැ?’ යි.
වහන්සැ, තෙල නො වේ මැ ය.
එසෙයින් මැ සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ ෂට් ස්පර්‍ශායතනයන්හි සංවෘතකාරී වූයේ (පස්වැදෑරුම්) ස්කන්‍ධොපධිය දුකට මුලැ’ යි මෙසේ දැන උපධි රහිත වූයේ, උපධික්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණයෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හේ එළවන්නේ යැ, සිත හෝ උපදවන්නේ යැ යන තෙල කරුණ නො වන්නේ යි.