මජ්ඣිමපණ්ණාසකය සමාප්ත යි.
සූත්‍රාන්තපිටකයෙහි
මැදුම් සඟිය
උපරිපණ්ණාසකය
1. දේවදහ වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
3. 1. 1.
දේවදහ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි සැහැකුල රජදරුවන්ගේ දෙව්දහ නම් නියම්ගම ඇසිරි කොටගෙන (ලුම්බිනී උයන්හි) වැඩවාස කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යී මහණුන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති කිසි මහණබමුණු කෙනෙක් ඇත. “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද එ හැම පෙරැ කළ කම්පසින් වෙයි. මෙසෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්තභාව කිරීමෙන්, නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි අනවස්‍රව (කර්‍මායූහන නො වනු) වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීමෙන් කර්‍මක්‍ෂය (කර්‍ම ගෙවීයනු) වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වන්නේය”යි. මහණෙනි, නුවටහු මෙවන් වාද ඇතියහ.
මහණෙනි, මෙසේ වාද ඇති නුවටුන් කරා එළැඹ මෙසේ කියමි: “ඇවැත්නි නිගණ්ඨයෙනි, මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නො දුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද, එ හැම පෙරැ කළ කම්පසින් වෙයි. මෙසෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්තභාව කිරීමෙන් නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි අනවස්‍රව වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීමෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වන්නේ, ය”යි. තෙපි මෙවන් වාද ඇතියහු ල, මෙවන් දෘෂ්ටි ඇතියහු ල, යනු සැබෑ වේ දැ? යි පුළුවුස්මි.
මහණෙනි, ඉදින් මා විසින් මෙසෙයින් පුළුවුස්නාලද ඒ නුවටහු ‘එසේ යැ’යි පිළින කෙරෙද්ද, මම උනට මෙසේ කියමි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිම තෙපි ‘ඇපි පෙරැ වූමෝ මැ යැ, නොවූමෝ නො වම්හ”යි දන්නාව?
අවැත්නි, මෙය නො දනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “ඇපි පෙරැ පාපකර්‍ම කළමෝ මැ යැ, නොකළමෝ නො වම්හ”යි දන්නාව?
අවැත්නි, මෙය නො දනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “මෙවන් මෙවන් හෝ පාපකර්‍ම කළම්හ”යි දන්නාව?
ඇවැත්නි, මෙය නොදනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “මෙතෙක් දුක් දිරිණ හෝ මෙතෙක් දුක් දිරැවිය යුතු යැ හෝ මෙතෙක් දුක් දිරුණු කලැ හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” හෝ දන්නාව?
අවැත්නි, මෙය නො දනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “දුටුදැමියෙහි මැ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණ හා කුශලධර්‍මයන් ගේ උපසම්පත් (රැස් කිරීම්) වෙති”යි දන්නාව?
අවැත්නි, මෙය නො දනුම්හ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, මෙසේ වත් මැ තෙපි “ඇපි පෙරැ වූමෝ මැ යැ නොවූමෝ නො වම්හ” යනුදු නො දන්නහු යැ. “ඇපි පෙරැ පාපකර්‍ම කළමෝ මැ යැ නො කළමෝ නො වම්හ” යනුදු නො දන්නහු යැ. “මෙවන් මෙවන් හෝ පාපකර්‍ම කළම්හ” යනුදු නො දන්නහු යැ, මෙතෙක් හෝ දුක් දිරිණ මෙතෙක් හෝ දුක් දිරැවියැ යුතු වැ ඇත. මෙතෙක් හෝ දුක් දිරුණු කලැ හැම දුක් නිර්ජිර්‍ණ වෙති”යි මෙ ද නො දන්නහු යැ. “ඉහාත්මයෙහි මැ අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණ හා කුශලධර්‍මයන් ගේ උපසම්පත් වෙති”යි මෙ ද නො දන්නහු යැ. මෙසේ මෙතෙක් කරුණු නො දන්නා කලැ ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳිනේ වේ ද, එ හැම පෙරැ කළ කර්‍මප්‍රත්‍යයෙන් වෙයි. මෙසේ වන හෙයින් පුරාණ කර්‍මයන් තපසින් විගතාන්ත කිරීමෙන්, නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි කර්‍ම රැස්කිරීමෙක් නො වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීම් හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” ප්‍රකාශ කරන්නට යුතු නො වේ.
ඇවැත් නිගණ්ඨයෙනි, ඉදින් තෙපි “පෙර ඇපි වූමෝ මැ’යැ, නොවූමෝ නො වම්හ” යි දන්නවු නම්, ‘ඇපි පෙර පව් කම් කළමෝ මැ යැ, නො කළමෝ නොවම්හ’යි දන්නවු නම් මෙවන් මෙවන් හෝ පව්කම් කළම්හ’යි දන්නවු නම්: මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරැවියැ යුතු වැ ඇත, මෙතෙක් හෝ දුක් දිරුණු කල හැම දුක් නිර්ජිර්‍ණ වෙතී’ දන්නවු නම්, ඉහාත්මයෙහි මැ අකුශල ධර්‍මයන් ගේ ප්‍රහාණය හා කුශල ධර්‍මයන්ගේ උපසම්පත් දන්නවු නම්, මෙසේ වත් මැ ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂ පුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද, එ හැම පෙරැ කළ කර්‍මප්‍රත්‍යයෙනැ, මෙසේ වන හෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙනුදු නවකර්‍මයන් නො කිරීමෙනුදු මතුයෙහි කර්‍ම රැස් නො කරනු වෙයි, මතුයෙහි අනවස්‍රවයෙන් (කර්‍ම රැස් නො කිරීමෙන්) කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” පවසන්නට යුතු වන්නේ ය.
ඇවැත්නි, නිගණ්ඨයෙන්, යම් පරිදි පුරුෂයෙක් විෂසහිත ගාඪොපලේපන (පුනපුනා විෂ ගැල්වීම්) ඇති ශල්‍යයෙන් විදුනා ලද වේ ද, හේ ශල්‍යවේදනාහේතුයෙනුදු දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳුනේ වේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේනෑයෝ ශල්‍යවෛද්‍යවරයකු එළවන්නාහු ද, ඒ ශල්‍යවෛද්‍යයා ශස්ත්‍රයෙන් ඔහුගේ ව්‍රණමුඛ සිඳුනේ වේ ද, හේ ශස්ත්‍රයෙන් ව්‍රණමුඛ ඡෙදනහෙතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳුනේ වේ ද, ඒ ශල්‍යවෛද්‍යවරයා ඔහුගේ ශල්‍යය ඒෂණියෙන් (විමසුම් සලාකායේන්) සොයන්නේ වේ ද, හේ ඒෂණියෙන් ශල්‍යෛෂණ හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳුනේ වේ ද, ඒ ශල්‍යවෛද්‍යවරයා ඔහුගේ ශල්‍යය උදුරන්නේ වේ ද, හේ ශල්‍යොද්ධරණ හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳිනේ වේ ද, ඒ ශල්‍යවෛද්‍යවරයා ඔහුගේ ව්‍රණමුඛයෙහි අගදාඞ්ගාර (දැවූ අරළු හෝ ඇඹුල හෝ සුනු) බහාලන්නේ වේ ද, හේ ව්‍රණමුඛයෙහි අගදඞ්ගාර බහාලන හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳුනේ වේ ද, හේ පසු කලෙක රූඪව්‍රණයෙන් යුක්ත වැ නැඟුණු සිවි ඇති වැ අරෝග වූයේ සුඛිත ස්වෛරී ස්වයංවශී වූයේ රිසි තැන රිසිසේ යනුයෙක් වේ ද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම් පෙරැ සවිෂ ගාඪොප ලේපන ඇති විත් කෑයෙම් වෙමි. එ මම් ශල්‍යවේදනා හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. ඒ මාගේ මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේනෑයෝ ශල්‍යවෛද්‍යවරයකු එළවාදුන්හ. ඒ ශල්‍යවෛද්‍යවරයා ශස්ත්‍රයෙන් මාගේ ව්‍රණමුඛ සිඳපී යැ, එ මම් ශස්ත්‍රයෙනුදු ව්‍රණමුඛ සිඳීම් හේතුයෙන් දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. ඒ ශල්‍යවෛද්‍යවරයා ඒෂණියෙන් මාගේ ශල්‍යය සෙවීයැ, එ මම් ඒෂණියෙන් ශල්‍ය ඒෂණහේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. ඒ ශල්‍යවෛද්‍යවරයා මාගේ ශල්‍යය උපුළාපී යැ, එ මම් ශල්‍යොද්ධරණ හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. ඒ ශල්‍යවෛද්‍යවරයා මාගේ ව්‍රණමුඛයෙහි අගදාඞ්ගාර බහාලී යැ, එ මම් ව්‍රණමුඛයෙහි අගදාඞ්ගාර බහාලනු හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. දැන් එ මම රූඪව්‍රණ ඇති වැ, වැඩුණු සිවියෙන් යුතු වැ, අරෝග වූයෙම් සුඛිත ස්වෛරී ස්වයංවශී වූයෙම් රිසි තැනැ රිසිසේ යනුයෙම් වෙමි” සිතයි.
ඇවැත් නිගණ්ඨයෙනි, එපරිදි මැ තෙපි ඉදින් (මෙසේ) දන්නවු නම්: “ඇපි පෙරැ වූම්හු මැ යැ, නො වූමෝ නො වම්හ’යි. ‘ඇපි පෙරැ පව්කම් කළමෝ මැ යැ, නො කළමෝ නොවම්හ’යි දන්නවු නම්, ‘මෙවන් හෝ මෙවන් හෝ පව්කම් කළම්හ’යි දන්නවු නම්, ‘මෙතෙක් දුක් දිරිණැ හෝ, මෙතෙක් දුක් දිරැවියැ යුතු වැ ඇතැ හෝ, මෙතෙක් දුක් දිරුණු කල හැම දුක් නිර්ජිර්‍ණ වෙතී හෝ දන්නවු නම්. ඉහාත්මයෙහි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණ හා කුශල ධර්‍මයන්ගේ උපසම්පත් හා වෙතී” දන්නවු නම්, මෙසේ කරුණු දන්නා කල ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද, එ හැම පෙරැ කළ කර්‍මප්‍රත්‍යයෙනැ, මෙසේ පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙනුදු, නව කර්‍මයන් රැස් නො කිරීමෙනුදු, මතුයෙහි කර්‍ම රැස්කරනු නො වෙයි, මතුයෙහි කර්‍ම රැස්නොකිරීමෙන් කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” පවසන්නට නිසි වෙයි.
තවද ඇවැත් නිගණ්ඨයෙනි, යම් හෙයකින් තෙපි “පෙරැ ඇපි වූමෝ මැ යැ, නොවූමේ නො වම්හ’යි නො දන්නවු ද, පෙරැ ඇපි පව්කම් කළමෝ මැ යැ, නො කළමෝ නො වම්හ’යි නො දන්නවු ද, මෙවන් හෝ මෙවන් හෝ පව්කම් කළම්හ’යි නො දන්නවු ද, මෙතෙක් දුක් දිරිණැ හෝ, මෙතෙක් දුක් දිරැ වියැ යුතු වැ ඇතැ හෝ, මෙතෙක් දුක් නිර්ජිර්‍ණ කල්හි හැම දුක් නිර්ජිර්‍ණ වෙතී, හෝ නො දන්නවු ද, ඉහාත්මයෙහි මැ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණ හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා නො දන්නවු ද, එහෙයින් ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂපුද්ගල සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වෙදයිතයක් විඳී ද එ හැම පූර්‍වකෘත කර්‍මප්‍රත්‍යයෙන් වේ යයි ද මෙසේ පුරාණකර්‍මයන්ගේ තැවීමෙන් විගාන්තභාවයෙනුදු නවකර්‍මයන්ගේ රැස් නො කිරීමෙනුදු මතුයෙහි කර්‍මයන් ගේ රැස් වීමෙක් නො වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො වීමෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙති’යි ප්‍රකාශ කිරීමට නො නිසි වේ යයි.
මහණෙනි, මෙසේ කී කල්හි ඒ නිගණ්ඨයෝ මට තෙල කීහු: “ඇවැත්නි, නිගණ්ඨනාතපුත්‍ර සර්‍වඥ යැ සර්‍වදර්ශී යැ නිරවශේෂ කොට ඥානදර්‍ශනය ප්‍රතිඥා කෙරෙයි: ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට නිරතුරු ඥානදර්‍ශනය එළැඹසිටියේ වනැ”යි. හෙ මෙසේ කියයි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, තොප විසින් පෙරැ මැ කරන ලද පව්කම් ඇත් මැ යැ. එය මේ කටුක වූ දුෂ්කරක්‍රියා හේතුයෙන්, නිර්ජිර්‍ණ කරවු. තවද දැන් මෙහි යම් හෙයෙකින් කයින් සංවෘත වූවාහු වචනයෙන් සංවෘත වූවාහු මනසින් සංවෘත වූවාහු ද එය මතුයෙහි පාපකර්‍මයාගේ නො කිරීම වෙයි. මෙසේ පුරාණකර්‍මයන් තැවීමෙන් විගතාන්තභාවයෙනුදු නවකර්‍මයන්ගේ මතුයෙහි රැස් නො කිරීම වෙයි. මතුයෙහි රැස් නො කිරීම් හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙති”යි. එ ද වැළිත් අපට රුස්නේත් සහනේත් වෙයි. එයින් සතුටුසිත් ඇතියම්හ’යි.
මෙසේ කී කල්හි මහණෙනි, මම් ඒ නුවටුනට තෙල කීමි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, ඉහාත්මයෙහි මැ දෙපරිද්දෙකින් විපාක දෙන මේ පඤ්චධර්‍ම කෙනෙක් වෙති: කවර පසෙක් යත්: ශ්‍රද්ධා යැ රුචි හැ අනුස්‍රව යැ කාරණ පරිවිතර්‍ක යැ රුචි කොට ගත් දෘෂ්ටි යැ යි. ඇවැත්නි, නිගණ්ඨයෙනි, මේ පඤ්චධර්‍මයෝ ඉහාත්මයෙහි මැ දෙපරිදි විපාක ඇත්තාහු යැ. ඒ පඤ්චධර්‍මයන් කෙරෙහි ආයුෂ්මත් නිගණ්ඨයනට අතීතාංශවාදී ශාස්තෘහු කෙරෙහි ශ්‍රද්ධා කවර යැ? රුචිය කවර යැ? අනුස්‍රවය කවරෙ යැ? ආකාර පරිවිතර්‍කය කවරෙ යැ? රුචි කොට ගත් දෘෂ්ටිය කවර හැ?”යි. මහණෙනි, මෙසේ කියන මම් නුවටුන් කෙරෙහි සකාරණ වූ වාදප්‍රතිහාරයක් නො දක්මි.
යළිදු මහණෙනි, මම් ඒ නුවටුන්ට මෙසේ කියමි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, ඒ කිමෙකැයි සිතවු ද? යම් කලෙකැ තොපගේ තියුණු වූ උපක්‍රමය තියුණු වූ වීර්‍ය්‍යය වේ ද, එකල්හි තීව්‍ර වූ උපක්‍රම ඇති දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳින්නවු ද, යළි යම් කලෙකැ තොපගේ තීව්‍ර උපක්‍රම නො වේ ද, තීව්‍ර වීර්‍ය්‍යය නො වේද, එකල්හි තීව්‍ර නො වූ ඖපක්‍රමික වූ දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳින්නවු දැ”යි.
ඇවැත්නි, ගෞතමයෙනි, යම් කලෙකැ අපගේ තීව්‍ර උපක්‍රම තීව්‍ර වීර්‍ය්‍යය වේ ද, එකල්හි තීව්‍ර උපක්‍රම ඇති දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳිම්හ. යළි යම් කලෙකැ අපගේ උපක්‍රම නො වේ ද, තීව්‍ර වීර්‍ය්‍යය නො වේ ද, එකල්හි තීව්‍ර වූ උපක්‍රම ඇති දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා නො විඳුම්හ”යි.
මෙසේ නම් ඇවැත්නි නිගණ්ඨයෙනි, යම් කලෙකැ තොපගේ තියුණු උපක්‍රම තියුණු වීර්‍ය්‍යය වේ ද, එ සමයෙහි තියුණු වූ උපක්‍රමයෙන් හටගත් දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳින්නවු ය. තවද යම් කලෙකැ තොපගේ තියුණු වූ උපක්‍රමය නො වේ ද, තියුණු වූ වීර්‍ය්‍යය නො වේ ද, එ සමයෙහි තියුණු වූ උපක්‍රමයෙන් හටගත් දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා නො විඳින්නවු ය. මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයනට: “මේ පුරුෂ පුද්ගල සුව වේවයි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වේදනාවක් විඳුනේ වේ ද, එ හැම පෙර කළ කර්‍ම හෙයිනැ, මෙසේ පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙන් නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි කර්‍මායූහණයෙක් නො වෙයි. මතුයෙහි අනාහූහනයෙන් කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිඃශේෂයෙන් ජීර්‍ණ වෙතී ප්‍රකාශ කිරීමට යුතු නො වේ.
ඉදින් ඇවැත්නි නිගණ්ඨයෙනි, යම් කලෙකැ තොපට තීව්‍ර උපක්‍රම වේ ද, තීව්‍ර ප්‍රධන් වීර්‍ය්‍ය වේ ද, එ කල තීව්‍ර ඖපක්‍රමික වූ දුඃඛ වූ තීව්‍ර කටුක වේදනා විඳින්නහු නම්, තවද යම් කලෙක තොපට තීව්‍ර උපක්‍රම නො වේ ද, තීව්‍ර ප්‍රධන් වීර්‍ය්‍යය නො වේ ද එ කල තීව්‍ර ඖපක්‍රමික වූ දුක් වූ තියුණු වූ කටුක වේදනා විඳින්නහු ය. මෙසේ වත් මැ ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂ පුද්ගල සුව වේවයි, දුක් වේව යි, නො දුක් නොසුව වේව යි, යම් මැ වෙදයිතයක් විඳිනේ වේ ද එ හැම පෙර කළ කර්‍ම හෙයිනැ, මෙසේ පුරාණ කර්‍මයන් ... හැම දුක් නිඃශේෂයෙන් ජීර්‍ණ වෙති’යි කියන්නට නිසි වෙයි.
තවද ඇවැත්නි නිගණ්ඨයෙනි, යම්හෙයෙකින් තොපට යම් කලෙක තීව්‍ර උපක්‍රම වේ ද, තීව්‍ර ප්‍රධන් වීර්‍ය්‍ය වේ ද, එ කල තීව්‍ර උපක්‍රම සම්භූත වූ දුක් වූ තියුණු වූ කටුක වේදනා විඳින්නහු ය. තොපට යම් කලෙකැ තීව්‍ර උපක්‍රම නො වේ ද, තීව්‍ර ප්‍රධන් වීර්‍ය්‍ය නො වේ ද, එ කලැ තීව්‍ර උපක්‍රම සම්භූත වූ දුක් වූ තියුණු වූ කටුක වේදනා නො විඳින්නහු ය. එ තෙපි තුමූ මැ උපක්‍රම සම්භූත වූ දුක් වූ තියුණු වූ කටුක වේදනා විදුනාහු අවිද්‍යායෙන් අඥානයෙන් සම්මෝහයෙන් “මේ පුරුෂ පුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විදුනේ වේ ද, එ හැම පෙර කළ කර්‍ම හෙයිනැ, මෙසේ පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙන් නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි කර්‍මායූහන නො වෙයි, මතුයෙහි අනායූහනයෙන් කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිඃශේෂයෙන් ජීර්‍ණ වෙතී” වෙසෙසින් පිළිගන්නහු ය. මෙබඳු වාද ඇත්තාහු නමුදු මහණෙනි, මම නුවටුන් කෙරෙහි සකාරණ වූ කිසි වාදපරිහාරයක් නො දක්මි.
යළිදු අනෙකක් කියමි: “මහණෙනි, මම ඒ නුවටුනට මෙසේ කියමි: ඇවැත්නි නිගණ්ඨයෙනි ඒ කෙසේ හඟිවු ද? ඉහාත්මයෙහි විඳුනට නිසි යම් මේ කර්‍මයෙක් ඇද්ද එය උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ පරලොව විඳුනට නිසි වේවා” යනු තෙල ලැබියැ හේ ද?
ඇවැත්නි, තෙල නො වේ මැ යැ.
යම් මේ කර්‍මයෙක් පරලොවැ විඳුනට නිසි වේ ද, එය උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ ඉහාත්මයෙහි විඳුනට නිසි වේවා’ යන තෙල ලැබියැ හේ දැ? යි.
ඇවැත්නි, මෙය නො වේ මැ යැ.
ඇවැත්නි නිගණ්ඨයෙනි, එ කිමැයි සිතවු ද? සුඛ වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් වේව’යි ප්‍රධන් වීර්‍ය්‍යයෙන් වේව’යි දුඃඛ වේදනීයවේවා’ යන තෙල ලැබියැ හේ දැ? යි.
ඇවැත්නි, මෙය නො වේ මැ යැ.
තවද දුඃඛවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ ඒ කර්‍මය ‘සුඛවේදනීය වේවා’ යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
ඇවැත්නි, මෙය නො වේ මැ යැ.
ඇවැත් නිගණ්ඨයෙනි, ඒ කිමැයි සිතවු ද? ඉහාත්මයෙහි විපාකවින්‍දනයට නිසි වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් වේවයි ප්‍රධන්වීර්‍ය්‍යයෙන් වේවයි “සම්පරාය වේදනීය කර්‍මයෙක් වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
ඇවැත්නි, මෙය නො වේ මැ යැ.
තවද, යම් කර්‍මයක් අපරිපක්ව ආත්මභාවයෙහි හෙවත් සම්පරායෙහි වේදනීය වේ ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් වේවයි ප්‍රධන්වීර්‍ය්‍යයෙන් වේවයි “පරිපක්වවදෙනීය වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
ඇවැත්නි, මෙය නො වේ මැ යැ.
ඇවැත්නි, නිගණ්ඨයෙනි, එ කිමැ’යි සිතවු ද? බහුවේදනීය හෙවත් සංඥාභාවයට පමුණුවන යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ “අල්පවෙදනීය හෙවත් අසංඥාභාවයට පමුණුවන්නක් වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
ඇවැත්නි, මේ නො වේ මැ යැ.
තවද අල්පවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ “බහුවේදනීය වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
ඇවැත්නි, මේ නො වේ මැ යැ.
ඇවැත්නි, නිගණ්ඨයෙනි, එ කිමැ’යි සිතවු ද? වේදනීය හෙවත් සවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අවෙදනීය හෙවත් විපාක රහිත කර්‍මයෙක් වේවා” යන තෙල කරුණ වේ දැ? යි.
ඇවැත්නි, මේ නො වේ මැ යැ.
තවද අවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “වේදනීය (සවිපාක) වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
ඇවැත්නි, මේ නොවේ මැ යැ.
ඇවැත්නි, නිගණ්ඨයෙනි, මෙසේ නම් ඉහාත්මයෙහි විවා විඳුමට නිසි වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සම්පරායවේදනීය වේවා” යන තෙල නො ලැබියැ හෙයි. සම්පරාය වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “ඉහාත්මයෙහි විවා විඳුමට නිසි වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. යම් කර්‍මයෙක් සුඛවේදනීය වේ ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “දුඃඛවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. දුඃඛවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සුඛවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. පරිපක්ව වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අපරිපක්ව වේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබිය හෙයි. අපරිපක්වවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “පරිපක්වවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. බහුවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අල්පවෙදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. අල්පවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “බහුවේදනීය වේවා” යන මෙ කරුණ නො ලැබියැ හෙයි. සවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අවිපාක වේවා” යන තෙල නො ලැබියැ හෙයි. අවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සවිපාක වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. මෙසේ වත් මැ ආයුෂ්මත් නුවටුන්ගේ උපක්‍රමය නිෂ්ඵල වෙයි. ප්‍රධන්වීර්‍ය්‍යය නිෂ්ඵල වෙයි. මහණෙනි, නිගණ්ඨයෝ මෙ බඳු වාද ඇත්තාහු යැ. මහණෙනි, මෙ බඳු වාද ඇති නුවටුන්ගේ දසවාදානුවාදයෝ සකාරණ වැ විඥයන් විසින් ගැරුහියැයුතු තැනට පැමිණෙත්.
මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ පූර්‍වකෘතහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ පෙර දුෂ්කෘතකර්‍ම කළාහුවෙති. යම් හෙයෙකින් මෙ කල්හි මෙ බඳු දුක් වූ තියුණු වූ කටුක වේදනා විඳිත් ද එහෙයිනි. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ පාපී ඊශ්වරයකු විසින් නිර්‍මාණය කරන ලදහ. යම් හෙයෙකින් මේ කල්හි මෙ බඳු දුක් වූ තියුණු වූ කටුක වේදනා විඳිත් ද එහෙයිනි. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ නියති භාවහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ පාපනියති ඇත්තාහු වෙති. යම් හෙයෙකින් මෙකල්හි මෙ බඳු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳිත් ද එහෙයිනි. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ අභිජාතිහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ පාප අභිජාති ඇත්තාහු වෙති. යම් හෙයෙකින් මෙ කල්හි මෙ බඳු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳිත් ද එහෙයින්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඉහාත්මයෙහි උපක්‍රමහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ ලාමක වූ දෘෂ්ටධර්‍ම උපක්‍රම ඇත්තාහු වෙති. යම් හෙයෙකින් මෙකල්හි මෙ බඳු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳිත් ද එහෙයිනි.
මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කම් හෙයින් සුවදුක් විඳිත් නම් නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කම් හෙයින් සුවදුක් නො විඳිත් නම්, නිගණ්ඨයෝ ගැරැහියැ යුතුවහ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණහේතුවින් සුවදුක් විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණ හේතුවින් සුවදුක් නො විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ නියතිභාවහේතුවින් සුවදුක් විඳිත් ද, නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ නියතිභාවහේතුවින් සුවදුක් නො විඳිත් ද, නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ අභිජාතිහේතුවන් සුවදුක් විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ අභිජාතිහේතුවින් සුවදුක් නො විඳිත් ද, නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ දෘෂ්ටධර්‍මඋපක්‍රමහේතුවින් සුවදුක් විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ දෘෂ්ටධර්‍මඋපක්‍රමහේතුවන් සුවදුක් නො විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. මහණෙනි, නිගණ්ඨයෝ මෙ බඳු වාද ඇතියහ. මහණෙනි, මෙ බඳු වාද ඇති නුවටුනට මේ දසවාදානුවාදයෝ සකාරණ වැ ගැරහියැයුතු තැනට එති. මහණෙනි, මෙසෙයින් උපක්‍රම ඵල රහිත වෙයි. වීර්‍ය්‍යය ඵල රහිත වේ.
මහණෙනි, කිසෙයින් උපක්‍රම සඵල වේ ද, වීර්‍ය්‍ය සඵල වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ (දුකින්) නො මැඩුණු ආත්මය දුකින් නො මැඩලයි. (සඟින් හෝ ගෙණෙන් උපන්) දැහැමි (සිවුපස) සුවයත් නො හරියි. එ සුවයෙහි දු (තෘෂ්ණායෙන්) මුසපත් නො වූයේ වෙයි. හෙ මෙසේ දැනගනියි: “සප්‍රයෝග වැ වීර්‍ය්‍යය කරන මාගේ සප්‍රයෝගවීර්‍ය්‍යහේතුවින් මේ දුඃඛනිදාන (පඤ්චස්කන්‍ධමූල) සඞ්ඛ්‍යාත තෘෂ්ණාවගේ විරාගය වෙයි. (සප්‍රයෝගවීර්‍ය්‍යයෙහි) උපේක්‍ෂා කරන, උපේක්‍ෂාව වඩන මාගේ මේ දුඃඛනිදානයා (තෘෂ්ණාව) ගේ විරාගය වේ” යයි. ඒ පුද්ගල සප්‍රයෝග වැ වීර්‍ය්‍ය කරන ඔහුගේ සප්‍රයෝගවීර්‍ය්‍යහේතුවින් යම් දුඃඛනිදානයක්හුගේ විරාගය වේ ද, එහි සප්‍රයෝග වැ මැ වීර්‍ය්‍ය කෙරෙයි. සප්‍රයෝග වීර්‍ය්‍යයෙහි උපේක්‍ෂා කරන උපේක්‍ෂාව වඩන ඔහට වැළිත් යම් දුඃඛනිදානයක්හුගේ විරාගය වේ ද එහි උපකේෂාව වඩයි. සප්‍රයෝග වැ වීර්‍ය්‍ය කරන ඒ පුඟුල්හට සප්‍රයෝගවීර්‍ය්‍යහේතුවින් ඒ දුඃඛනිදානයාගේ විරාගය වෙයි. මෙසේත් ඔහට එ දුක් නිර්ජිර්‍ණ වෙයි. සඞ්ඛාරප්පධානයෙහි උපේක්‍ෂා කරන උපකේෂාව වඩන ඒ පුඟුල්හට ඒ දුඃඛනිදානයා ගේ විරාගය වෙයි. මෙසේත් ඔහට එ දුක නිර්ජිර්‍ණ වෙයි.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් ස්ත්‍රියක කෙරෙහි ඇලුණේ (ඡන්‍දරාගයෙන්) පිළිබැදි සිතැතියේ බහල වූ ඡන්‍ද ඇතියේ බහල වූ ප්‍රාර්‍ත්‍ථනා ඇතියේ වේ ද, හේ ඒ ස්ත්‍රිය අන් පිරිම්නියක්හු සමග එක් වැ සිටින්නිය බණන්නිය සිනා මහසිනා සෙන්නිය දක්නේ නම්, මහණෙනි, එ කිමැයි සිතවු ද, ඒ පුරුෂ හට අන් පිරිම්නියක්හු සමග එක්වැ සිටින සල්ලාප කරන මහසිනායෙන් සේන සෙනහ කරන එ ස්ත්‍රිය දැක ශෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදනාහු නො වෙත් දැ’යි.
එසේ යැ වහන්ස, එ කවර හෙයින? වහන්සැ, ඒ පුරුෂ යම්හෙයෙකින් එ ස්ත්‍රිය කෙරෙහි ඇලුණේ (ඡන්‍දරාගයෙන්) පිළිබැදි සිත් ඇතියේ බහලච්ඡන්‍ද ඇතියේ බහල වූ ප්‍රාර්‍ත්‍ථනා ඇතියේ වේ ද, එහෙයින් අන් පුරුෂයක්හු සමග එක්වැ සිටින සල්ලාප කරන සිනා මහසිනා සේන එ ස්ත්‍රිය දැක ශෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදනාහ’යි.
ඉක්බිත්තෙන් මහණෙනි, එ පුරුෂ හට මෙබඳු සිතෙක් වෙයි: මම් කලි අසු ස්ත්‍රිය කෙරෙහි ඇලුණෙම් පිළිබැදි සිත් ඇත්තෙම් බහලච්ඡන්‍ද ඇතියෙම් බහල ප්‍රාර්‍ත්‍ථනා ඇතියෙම් වෙමි. එ මට අන් පිරිම්නියක්හු සමග එක්වැ සිටින සල්ලාප කරන මහසිනා මදසිනා සේන ඒ ස්ත්‍රිය දැක සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ උපදනාහ. මම් එ ස්ත්‍රිය කෙරෙහි මාගේ යම් ඡන්‍දරාගයෙක් ඇද්ද එය හැරපියම් නම් යෙහෙකැ’යි. හේ අසු ස්ත්‍රිය කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද එය හැරපියන්නේය, හේ පසු කලෙක අන් පිරිම්නියක්හු සමග එක්වැ සිටින සල්ලාපකරන සිනා මහසිනා සේන ඒ ස්ත්‍රිය දක්නේ නම්, මහණෙනි, එ කිමැයි සිතවු ද? අන් පුරුෂයක්හු සමග එක්වැ සිටින සල්ලාප කරන සිනා මහසිනා සේන අසු ස්ත්‍රිය දැක ඒ පුරුෂ හට සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ කිම උපදනාහු දැ’යි.
වහන්සැ, තෙල නො වේ මැය, ඒ කවර හෙයින? වහන්සැ, යම් හෙයෙකින් එ පුරුෂ අසු ස්ත්‍රිය කෙරෙහි විගත වූ කාමරාග ඇත්තේ ද, එහෙයින් අන්‍ය පුරුෂයක්හු සමග එක්වැ සිටින කථා කරන සිනා මහසිනා සේන ඒ ස්ත්‍රිය දැක සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ නූපදනාහ’යි.
එසෙයින් මැ මහණෙනි, මහණ (දුකින්) නො මැඩුණු ආත්මභාවය නො මැ දුකින් මැඩලයි. දැහැමි (සිව්පස) සුවයත් නො හැරපියයි. එ සුවයෙහිදු (තෘෂ්ණායෙන්) මුසපත් නො වූයේ වෙයි. හෙ මෙසේ දැනගනී: “සප්‍රයෝග ව වීර්‍ය්‍ය වඩන මාගේ සප්‍රයෝග වීර්‍ය්‍යහේතුයෙන් මේ ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධ දුඃඛමූලයාගේ (තෘෂ්ණාවගේ) විරාගය වෙයි. යළි (සප්‍රයෝග වීර්‍ය්‍යයෙහි) උපේක්‍ෂා කරන උපේක්‍ෂාව වඩන මාගේ මේ පඤ්චස්කන්‍ධදුඃඛමූලයාගේ (තෘෂ්ණාව ගේ) විරාගය වේ” යයි. හේ සප්‍රයෝග ව වීර්‍ය්‍ය වඩන ඔහුගේ සප්‍රයෝග වීර්‍ය්‍යහේතුවින් යම් දුඃඛමූලයක්හුගේ විරාගය වේ ද, සප්‍රයෝග ව එහි වීර්‍ය්‍ය කෙරෙයි. යළි සප්‍රයෝග වීර්‍ය්‍යයෙහි උපේක්‍ෂා කරන උපේක්‍ෂා වඩන ඔහට යම් දුඃඛනිදානයක් හුගේ විරාගය වේ ද, එහි (මාර්‍ගභාවනායෙන්) උපේක්‍ෂාව වඩයි. සප්‍රයෝග ව වීර්‍ය්‍ය වඩන ඔහට සප්‍රයෝග වීර්‍ය්‍ය හේතුයෙන් ඒ දුඃඛනිදානයාගේ විරාගය වේ. මෙසේත් ඔහට එ දුක නිර්ජිර්‍ණ වෙයි. සප්‍රයෝග වීර්‍ය්‍යයෙහි උපේක්‍ෂා කරන උපේක්‍ෂා වඩන ඔහට ඒ දුඃඛනිදානයාගේ විරාගය වෙයි. මෙසේත් ඔහට ඒ දුක නිර්ජිර්‍ණ වේ. මහණෙනි, මෙසේත් උපක්‍රම සඵල වෙයි. වීර්‍ය්‍ය සඵල වේ.
යළිදු මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: සුවසේ වෙසෙන මට අකුශල ධර්‍මයෝ වැඩෙති, කුශල ධර්‍මයෝ පිරිහෙත්, යළි දුකට ආත්මය මෙහෙයන මට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශල ධර්‍මයෝ වැඩෙත්. මම් දුකට ආත්මය මෙහෙයම් නම් යෙහෙකැ’යි හේ දුකට ආත්මය මෙහෙයයි, දුකට ආත්මය මෙහෙයන ඔහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශල ධර්‍මයෝ වැඩෙත්, හේ පසු කලෙක දුකට ආත්මය නො මෙහෙයයි. එ කවර හෙයින යත්: යම් හෙයකින් මහණෙනි, එ මහණ යම් කරුණක් සඳහා දුකට ආත්මය මෙහෙයා නම්, ඔහුට ඒ අර්‍ත්‍ථය අභිනිෂ්පන්න වේ ද, එහෙයින් පසු කාලයෙහි දුකට ආත්මය නො මෙහෙයා.
මහණෙනි, යම් පරිදි හීවඩුවෙක් හීතලයක් දෙ පෙනෙහෙල්ලෙක ලා තවා ද, හාත්පසින් තවා ද, ඍජු කර්‍මක්‍ෂම කෙරේ ද, යම් කලෙක මහණෙනි, හීවඩුවාගේ හීදඬ දෙ පෙනෙහෙල්ලෙහි ලා තැවුණේ වේ ද, හාත්පසින් තැවුණේ වේ ද, ඍජු කර්‍මක්‍ෂම කරනලද වේ ද, පසු කාලයෙහි ඒ හීවඩු ඒ හීදඬ දෙ පෙනෙහෙල්ලෙහි ලා නො තවයි, හාත්පසින් නො තවයි, ඍජු කර්‍මක්‍ෂම නො කෙරෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් මහණෙනි, ඒ හීවඩු යම් කරුණක් සඳහා හීදඬ දෙ පෙනෙහෙල්ලෙක ලා තවා නම් හාත්පසින් තවා නම් ඍජු කර්‍මක්‍ෂම කෙරේ නම් ඔහට ඒ අර්‍ත්‍ථය අභිනිෂ්පන්න වේ ද, එහෙයින් හීවඩු පසු කාලයෙහි හීදඬ දෙ පෙනෙහෙල්ලෙහි ලා නො තවයි, හාත්පසින් නො තවයි, ඍජු කර්‍මක්‍ෂම නො කෙරේ.
එසෙයින් මැ මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: සුවසේ වෙසෙන මට අකුශල ධර්‍මයෝ වැඩෙති, කුශල ධර්‍මයෝ පිරිහෙති, යළි දුකට ආත්මය මෙහෙයන මට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්. මම් දුකට ආත්මය මෙහෙයම් නම් යෙහෙකැ’යි හේ දුකට ආත්මය මෙහෙයයි. දුකට ආත්මය මෙහෙයන ඔහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශල ධර්‍මයෝ වැඩෙත්. හේ පසු කාලයෙහි දුකට ආත්මය නො මෙහෙයයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් එ මහණ යම් කරුණක් සඳහා දුකට ආත්මය මෙහෙයා නම්, ඔහට ඒ අර්‍ත්‍ථය අභිනිෂ්පන්න වේ ද, එහෙයින් පසු කාලයෙහි දුකට ආත්මය නො මෙහෙයයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වූයේ වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
යළිදු මහණෙනි, මෙ ලොවැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිද් අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් තථාගතයෝ උපදනාහ. ඒ තථාගතයෝ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති මේ ලෝකය තුමූ විශිෂ්ටඥානයෙක් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඒ තථාගතයෝ ආදියෙහි කලණ වූ මැද කලණ වූ අවසනැ කලණ වූ සාර්‍ත්‍ථසව්‍යඤ්ජන වූ සියල්ලෙන් පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙති. ගැහැවියෙන් හෝ ගැහැවිපුතෙක් හෝ අන්‍යතර කුලයෙක උපන්නෙක් හෝ එ දහම් අසයි. හේ එදහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාප්‍රතිලාභය කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් සමන්‍විත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. “ගෘහවාසය සම්බාධ යැ. කෙලෙස් රජ උපදින තැනෙක, පැවිද්ද අභ්‍යවකාශ යැ. ගිහිගෙයි වසනුවහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ දෙවූ සකක් බඳු මේ බඹසර හැසිරෙන්නට සුකර නො වෙයි. මම් කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙම් නම් යෙහෙකැ”යි. හෙ පසු කලෙක අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා අල්ප වූ හෝ නෑපිරිස් හැරපියා මහත් වූ හෝ නෑපිරිස් හැරපියා කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි.
හෙ මෙසේ පැවිදි වූයේ භික්‍ෂූන්ගේ ශික්‍ෂා සංඛ්‍යාත සාජීවයට පැමිණියේ ප්‍රාණවධ හැරපියා ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි. බහාතැබූ දඬු ඇතියේ බහාතැබූ අවි ඇතියේ පාපයෙහි ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතයෙන් අනුකම්පා ඇතියේ වෙසෙයි. අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකුණේ වෙයි. දුන් දැය මැ ගන්නේ දුන්දැය මැ කැමැති වනුයේ නො සොර වූ පිවිතුරු වූ සිත් ඇති වැ වෙසෙයි. අබ්‍රම්සර හැරපියා අබ්‍රම්සරින් දුරු වූයේ මෛථුන සංඛ්‍යාත ග්‍රාම්‍යධර්‍මයෙන් වෙන් වූයේ බඹසර සෙරෙයි. මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි. සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගළපනුයේ ස්ථිරකථා ඇතියේ හැදැහියයුතු වචන ඇතියේ ලොවට විසංවාද නො වූයේ (ලොව නො රවටනුයේ) වෙයි. පිසුනු බස් හැරපියා පිසුනු බසින් වෙන් වූයේ වෙයි. මෙතැන අසා මුන් බිඳුමට එතැන නො කියනුයේ එතැන හෝ අසා උන් බිඳුමට මුනට නො කියනුයේ වෙයි. මෙසේ බිඳුණාවුන් හෝ ගළපනුයේ සහිතයන් හෝ දැඩි කරනුයේ සමගියෙහි සිත් අලවනුයේ සමග බැව්හි ඇලුණේ සමග බැව්හි සතුටු වූයේ සමගි කරණී බස් බණනුයේ වෙයි. පරොස්බස් හැරපියා පරොස්බසින් වෙන් වූයේ වෙයි. යම් වචනයක් නිර්දෝෂ, කර්‍ණසුඛ, ප්‍රේමණීය, හෘදයංගම, පෞර, බහුජනකාන්ත, බහුජනමානප වේ ද, එබඳු බස් බණනුයේ වෙයි. හිස්බස් හැරපියා හිස්බසින් වෙන් වූයේ වෙයි. නිසි කල්හි කියනුයේ තථ්‍ය දැයක් මැ කියනුයේ අර්‍ත්‍ථසන්නිශ්‍රිතය මැ කියනුයේ ධර්‍මනිඃශ්‍රිතය මැ කියනුයේ (සංවරාදි) විනය නිශ්‍රිතය මැ කියනුයේ හදවත්හි නිධන් කොට තැබියයුතු, පරිච්ඡේද ඇති අර්‍ත්‍ථසංහිත වූ වචනය නිසිකල්හි කරුණු සහිත කොට කියනුයේ වෙයි.
හේ බීජගාමභූතගාමවිකෝපනයෙන් වෙන් වූයේ වෙයි. රාත්‍රිභෝජනයෙන් වැළකුණේ විකල්බොජුනෙන් වෙන් වූයේ එක්වේලේ වළඳනුයේ වෙයි. නටනු ගයනු වයනු විසුළු දස්නෙන් වෙන් වූයේ වෙයි. මණ්ඩන විභූෂණයට කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරීමෙන් වෙන් වූයේ වෙයි. උසසුන් මහඅස්නෙන් වෙන්වූයේ වෙයි. රන් රිදී පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. ස්ත්‍රීන් කුමරියන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. දස් දැස්සන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. එළු තිරෙළුවන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. ඇත් ගව අස් වෙළඹුන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. කෙත් වත් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. දූතකර්‍මයෙහි ප්‍රභෙණකගමනෙහි යෙදීමෙන් වැළැකුණේ වෙයි. ක්‍රය වික්‍රයයෙන් වෙන් වූයේ වෙයි. තුලාකූට කංසකූට මානකූටයෙන් වැළැකුණේ වෙයි. උක්කෝටන (අල්ලස් ගැනීම) යැ වඤ්චන (උපායෙන් රැවැටීම) යැ නිකති (ප්‍රතිරූපයෙන් රැවැටීම) යැ යන සාචි (කුටිල) යෝගයෙන් වැළැකුණේ වෙයි. (හස්තාදි) ඡේදන යැ වධ යැ (රජ්ජු ආදියෙන්) බන්‍ධන යැ සැඟැවි සිට පැහැරගැන්ම යැ වොලොගැන්ම යැ සැහැසිකම් යැ යන මෙයින් වැළැකුණේ වේ.
හේ කය පරිහරණයට නිසි වූ සිවුරින් කුස පරිහරණයට නිසි වූ පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. හේ යම් යම් තැනෙක්හි මැ යේ ද, අටපිරිකර මතු මැ ගෙන යෙයි. යම්සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් තැනෙක්හි මැ පියාසර කෙරේ නම් පත්බර සහිතව මැ පියාසර කෙරේ ද, එසෙයින් මැ මහණ කය පරිහරණයට නිසි වූ සිවුරින් කුස පරිහරණයට නිසි වූ පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. හේ යම් යම් තැනෙක්හි මැ යේ ද, අටපිරිකර මතු මැ ගෙන යෙයි. හෙතෙම මේ ආර්‍ය්‍ය (නිර්දෝෂ) වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ සිය අත්බැව්හි අනවද්‍යසුඛය විඳී.
හේ චක්‍ෂුර්විඥානයෙන් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) ස්ත්‍රීපුරුෂාදි නිමිති නො ගනී. (හස්තපාදාදීන්ගේ) ආකාර නො ගනී, යම් අසංවරයක් හේතු කොට ගෙන චක්‍ෂුරින්‍ද්‍රිය අසංවර වැ වෙසෙන තෙල පුඟුල් අභිධ්‍යාදෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රිය රකි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝතවිඥානයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණ විඥානයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... ජිහ්වාවිඥානයෙන් රසයක් විඳ, කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්‍ශ කොට ... මනෝවිඥානයෙන් ධර්‍මාලම්බනය දැන නිමිත්ත ග්‍රහණය නො කෙරෙයි. අනුව්‍යඤ්ජන වශයෙන් නො ගනී. යම් අසංවරයක් හේතු කොට ගෙන මනින්‍ද්‍රිය අසංවර ව වෙසෙන තෙල පුඟුල්හු අභිධ්‍යාදෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරයට පිළිපදී. මනින්‍ද්‍රියය රකි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්‍යාෂෙක (කෙලෙසුන් විසින් නො තෙත්) වූ සුවය විඳී.
හේ ඉදිරියට යෑමෙහි පෙරළා නැවැත්මෙහි සම්‍යග්ඥානයෙන් සියලු කිස කෙරෙයි. ඉදිරිය බැලීමෙහි අවට බැලීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. (අත්පා) හැකිළීමෙහි දිගහැරීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. සඟළපාසිවුරු දැරීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. පිණ්ඩපාත භෝජනයෙහි (කැඳආදිය) පීමෙහි (පිටිකැවුම් ආදිය) කෑමෙහි (මීපැණි ආදිය) රසවිඳීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. මලමූ කිසෙහි නුවණින් දැන කරන්නේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි සයනයෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. ඒ මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ මේ ආර්‍ය්‍ය සන්තොෂයෙන් ද සමන්‍විත වූයේ මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද සමන්‍විත වූයේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ ශ්මසාන යැ වානප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාල පුඤ්ජ යැ යන විවෙක සෙනස්න භජනය කෙරෙයි.
හේ පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවතුණේ පලක් බැඳ කය ඍජු කොට තබා කමටහනට අභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ පඤ්ස්කන්‍ධලෝකයෙහි රාගය දුරු කොට (විෂ්කම්භණ විසින්) ප්‍රහීණ කළ රාග ඇති සිතින් යුතු වැ වෙසෙයි. අභිධ්‍යාසංඛ්‍යාත රාගයෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රදෝෂය දුරු කොට ව්‍යාපාද රහිත වූ සිත් ඇතියේ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතයෙන් අනුකම්පා කරනසුලු වූයේ වාසය කෙරෙයි. ව්‍යාපාද සංඛ්‍යාත ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය දුරු කොට පහවූ ථීනමිද්ධ ඇතියේ ආලෝකසංඥා ඇති වැ ස්මෘතියෙන් හා ඥානයෙන් යුක්ත වැ වෙසෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උද්ධත නො වූයේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වෙසෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව දුරු කොට විචිකිච්ඡාව ඉක්මවූයේ කුශලධර්‍මයන්හි කථඞ්කථා රහිත වූයේ වෙසෙයි. විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි.
හේ සිතට උපක්ලේශ වූ ලොවිලොවුතුරා ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් දුරු කොට කාමච්ඡන්‍දයෙන් වෙන් වැ (ශේෂනීවරණ සංඛ්‍යාත) අකුශලධර්‍මයෙන් වෙන් වැ සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වූයේ වෙයි. වීර්‍ය්‍යය සඵල වේ.
යළිදු මහණෙනි, මහණ, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදන ශ්‍රද්ධා ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධිජ ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
යළිදු මහණෙනි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇතියේ ස්මෘති ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ වෙසෙයි. නාමකයින් සුවය ද විඳී. යම් ධ්‍යානයක් හේතුකොට ගෙන (තෘතීයධ්‍යාන සමඞ්ගී පුද්ගල) ‘උපේක්‍ෂා ඇත්තේ යැ, ස්මෘති ඇත්තේ යැ, සුඛවිහාර ඇත්තේ යැ’ යි බුද්ධාදි ආර්‍ය්‍යයෝ පවසත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි. වීර්‍ය්‍යය සඵල වේ.
යළිදු මහණෙනි, මහණ කායික සුවය ද, කායික දුක ද දුරු කිරීමෙන් පෙර මැ සොම්නස් දොම්නසුන් ප්‍රහීණ කිරීමෙන් නොදුක් නොසුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
හේ මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානසමාධීන් සමාහිත කල්හි පරිශුද්ධ කල්හි (පිරිසිදු හෙයින් මැ) ප්‍රභාස්වර කල්හි අනඞ්ගණ (නිකෙලෙස්) කල්හි (අනඞ්ගණ හෙයින්) විගත උපක්ලේශ ඇති කල්හි (සුභාවිත හෙයින්) මෘදු වූ කල්හි (මෘදු හෙයින් ම) කර්‍මක්‍ෂම කල්හි (පරිශුද්ධභාවාදියෙහි) සිටි කල්හි (එහෙයින් ම) නිසල බවට පත් කල්හි පූර්‍වනිවාස ස්මෘතිඥාන පිණිස සිත එළවයි. හේ අනේකවිධ වූ පෙර විසූ ස්කන්‍ධසන්තානය සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු දෙ ජාතියකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් නැසෙන කල්පයනුදු නොයෙක් වැඩෙන කල්පයනුදු නොයෙක් නැසෙන වැඩෙන කල්පයනුදු අසුවල් තැනැ මෙ නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු වර්‍ණ ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙසේ සුවදුක් වින්දෙම් මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. ඒ මම් එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැනැ උපන්මි. ඒ තැන්හිදු මෙ නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු වර්‍ණ ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙසේ සුවදුක් වින්දෙම් මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. ඒ මම් එ තැනින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පෙර විසූ ස්කන්‍ධසන්තතිය සිහි කෙරෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි. වීර්‍ය්‍යය සඵල වේ.
හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ ප්‍රභාස්වර අනඞ්ගණ කල්හි විගත උපක්ලේශ ඇති කල්හි මෘදු ව කර්‍මක්‍ෂම ව සිටි කල්හි නිසල බවට පත් කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උත්පත්තිඥානය පිණිස සිත යොමු කෙරෙයි. හේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්‍වණ වූ සුගතිගත වූ දුර්‍ගතිගත වූ සත්ත්‍වයන් බලයි. කම්වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දැනගනී: ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහ, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහ, මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහ, බුද්ධාදි ආර්‍ය්‍යයනට උපවාද කළාහ, විපරීත දෘෂ්ටි ඇතියව්හ, මිථ්‍යාදෘෂ්ටි වශයෙන් ගන්නා ලද නානාවිධ කර්‍ම ඇතියව්හ. ඔහු කාබුන් මරණින් මතුයෙහි අපාය වූ දුකට ගති වූ විවස ව පතිත වන (ආස්වාද සංඛ්‍යාත අය රහිත වූ) නිරයට පැමිණියාහ. යළි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහ, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහ, මනස්සුචරිතයෙන් යුක්ත වූවාහ, ආර්‍ය්‍යෝපවාද නො කළාහ, සම්‍යග්දෘෂ්ටි ඇතියව්හ, සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදාන කළාහ. ඔහු කාබුන් මරණින් මතුයෙහි සුන්‍දර ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියාහ’යි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිවැසින් සැවයන උපදනා හීනප්‍රණීත වූ සුවර්‍ණදුර්‍වර්‍ණ වූ සුගතිගත දුගතිගත වූ සත්ත්‍වයන් බලයි. කම්වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දැනගනී. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත කල්හි අනඞ්ගණ කල්හි අපගත උපක්ලේශ ඇති කල්හි මෘදු ව කර්‍මක්‍ෂම ව සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමුකෙරෙයි. හේ ‘මේ දුකැ’ යි තතුසෙයින් දැනගනී, ‘මේ දුක්ඛ සමුදය’ යි තතු සෙයින් දැනගනී, ‘මේ දුක්ඛනිරෝධ යැ’ යි තතුසෙයින් දැනගනී, ‘මේ දුක්ඛනිරෝධ ගාමිනීපටිපදා’ යි තතුසෙයින් දැනගනී. ‘මොහු ආස්‍රවයෝ’ යි තතුසෙයින් දැනගනී. ‘මේ ආස්‍රවසමුදය’ යි තතුසෙයින් දැනගනී. ‘මේ ආස්‍රවනිරෝධයැ’ යි තතුසෙයින් දැනගනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා’ යයි තතුසෙයින් දැනගනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, භවාස්‍රවයෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්ත කල්හි (සිත) මිදිණැයි පස්විකුම් නුවණ වෙයි: ‘ජාති ක්‍ෂය වූ යැ, බඹසර වෙසෙන ලද, කරණී කරන ලද, ඉත්‍ථම්භාවය පිණිස අනෙක් (මාර්‍ග භාවනා) කිසයෙක් නැතැ’ යි දැනගනී. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
මහණෙනි, තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ, මහණෙනි, මෙබඳු වාද ඇති තථාගතයන් කරා සකාරණ වූ දසවැදෑරුම් ප්‍රශස්‍ය කාරණ කෙනෙක් පැමිණෙති: ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ පූර්‍වකෘත කර්‍මහේතුවින් සුවදුක් විඳිනාහු නම්, මහණෙනි, එකැතින් තථාගතයෝ පෙර සුකෘතකර්‍මකාරීහ. යම්හෙයෙකින් මෙ කල්හි මෙවන් අනාස්‍රව සුඛවේදනා විඳිනාහු ද එහෙයිනි. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණ හේතුවින් සුවදුක් විඳුනාහු නම්, මහණෙනි, එකැතින් තථාගතයෝ සොඳුරු ඉසුරක්හු විසින් මවන ලදහ. යම් හෙයෙකින් මෙකල්හි මෙබඳු වූ අනාස්‍රව වූ සුඛවේදනා විඳුනාහු ද එහෙයිනි. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ නියතිස්වභාව හේතුවින් සුවදුක් විඳිනාහු නම්, එකැතින් මහණෙනි, තථාගතයෝ කල්‍යාණ වූ නියතිස්වභාව ඇතියව්හ. යම්හෙයෙකින් මෙකල්හි මෙවන් අනාස්‍රව වූ සුඛවේදනා විඳුනාහු ද එහෙයිනි, ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ අභිජාති හේතුවින් සුවදුක් විඳිනාහු නම්, එකැතින් මහණෙනි, තථාගතයෝ කල්‍යාණ වූ අභිජාති ඇතියහ. යම්හෙයෙකින් මෙකල්හි මෙවන් අනාස්‍රව වූ සුඛවේදනා විඳුනාහු ද එහෙයිනි. ඉදින් මහණෙනි සත්ත්‍වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවින් සුවදුක් විඳිනාහු නම්, එකැතින් මහණෙනි, තථාගතයෝ කල්‍යාණ වූ දෘෂ්ටධර්මොපක්‍රම ඇතියව්හ. යම් හෙයෙකින් මෙකල්හි මෙවන් අනාස්‍රව සුඛවේදනා විඳුනාහු ද එහෙයිනි.
ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ පූර්‍වකෘතකර්‍ම හේතුවින් සුවදුක් විඳුනාහු නම්, තථාගතයෝ පැසැස්ස යුත්තාහ. ඉදින් සත්ත්‍වයෝ පූර්‍වකෘතකර්‍ම හේතුවින් සුවදුක් නොවිඳුනාහු ද, තථාගතයෝ පැසැස්ස යුත්තාහ. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණ හේතුවින් සුවදුක් විඳුනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණ හේතුවින් සුවදුක් නො විඳුනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ නියතිස්වභාව හේතුවින් සුවදුක් විඳුනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් සත්ත්‍වයෝ නියති ස්වභාව හේතුවින් සුවදුක් නො විඳිනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ අභිජාති හේතුවින් සුවදුක් විඳිනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් සත්ත්‍වයෝ අභිජාති හේතුවින් සුවදුක් නොවිඳිනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ දෘෂ්ටධර්මොපක්‍රම හේතුවින් සුවදුක් විඳිනාහු නම්, තථාගතයෝ පැසැසිය යුත්තාහ, ඉදින් සත්ත්‍වයෝ දුෂ්ටධර්මොපක්‍රම හේතුවින් සුවදුක් නො විඳුනාහු නම් තථාගතයෝ පැසැසිය යුත්තාහ. මහණෙනි, තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ. මහණෙනි, මෙබඳු වාද ඇති තථාගතයන් කරා සකාරණ වූ මේ දස ප්‍රශස්‍යකාරණයෝ පැමිණෙන්නාහ’යි.
භාග්‍යවත්හු මේ වදාළහ. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටුව පිළිගත්තාහු යයි.
පළමුවැනි දේවදහ සූත්‍ර යි.
3. 1. 2.
පඤ්චත්තය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ගොදුරුගම් කොට අනේවඩු මහසිටුහුගේ දෙව්රම් නම් අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, (අපරාන්ත සංඛ්‍යාත අනාගත ස්කන්‍ධභාග විකල්පනා කොට ගනුයෙන්) අපරාන්තකල්පික වූ (අපරාන්තානුගත දෘෂ්ටි ඇතියෙන්) අපරාන්තානුදෘෂ්ටික වූ අපරාන්තය අරභයා අනේකප්‍රකාර වූ (යථාර්‍ත්‍ථය නො ගෙන වැටෙනුයෙන් අධිවෘත්ති යයි කියන ලද) දෘෂ්ටිදීපක වචනයන් මතු කොට පවසත් ද, එබඳු වූ (ලෝකයා විසින්) ශ්‍රමණයහ’යි ද බ්‍රාහ්මණයහ’යි ද සම්මත වූ කිසි වාදී කෙනෙක් ඇත. ‘ආත්මය සංඥා සමන්‍විත වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය සංඥා සමන්‍විත නො වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය නෛවසංඥ නාසංඥ වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති, විද්‍යමාන වූ මැ සත්ත්‍වයාගේ උපච්ඡේදය අදර්‍ශනය භවවිගමය පනවති. කිසි වාදී කෙනෙක් (මෙ ලොව්හි ම දුඃඛව්‍යපශම වෙතී ගත්) දෘෂ්ටධර්‍මනිර්‍වාණය පවසත්. මෙසේ (සංඥී ආදී විසින් තුන් අයුරෙකින්) විද්‍යමාන වූ ආත්මයක් මරණින් මතු නිත්‍ය කොට පනවත්. විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උපච්ඡේද අදර්‍ශන භවවිගම පනවත්. කිසි කෙනෙක් දෘෂ්ට ධර්‍මනිර්‍වාණ හෝ පවසත්. මෙසේ මොහු පසක් ව තිදෙනෙක් වෙති. තුනක් ව පස් දෙනෙක් වෙති. මේ පඤ්චත්‍රිකයා ගේ උද්දේස යි.
මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන් හෝ) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (අරූපසමාපත්තිනිමිත්ත වූ හෝ සංඥාස්කන්‍ධය තබා සෙසු අරූපධර්‍ම සංඛ්‍යාත වූ හෝ) අරූපී වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නො මැ රූපී වූ අරූපී නො වූ සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ ඒකත්‍වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නානාත්‍වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කිසුණුපිරියම් විසින්) අල්පමාත්‍ර සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍ය වූ (විපුල කසිණ විසින්) අප්‍රමාණ සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. යළි තෙල සංඥාසප්තකය (කිසිවෙක් අෂ්ටකය) හෝ ඉක්මවා ගිය කිසි කෙනෙකුන් අතුරෙන් ඇතැම් කෙනෙක් විඥානකසිණය අප්‍රමාණ ය අචල යයි කියති. මහණෙනි, තථාගතයෝ ඒ (දිට්ඨිගත දිට්ඨිපච්චය දිට්ඨාරම්මණ) ද විශිෂ්ටඥානයෙන් දන්නාහ.
යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥා ඇති ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන්) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ ඒකත්‍වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍ය වූ නානාත්‍වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අල්පමාත්‍ර සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අප්‍රමාණ සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. යළි මෙසේ කියන ලද තෙල සංඥාවන් අතුරෙන් යම් සංඥාවක් පරිශුද්ධ (නිරුපක්ලේශ) යැ උත්තම යැ අග්‍ර යැ අසදෘශ යැයි කියනු ලැබේ ද, ඉදින් රූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් අරූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් ඒකත්‍වසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් නානාත්‍වසංඥාවන් කෙරෙන් වේව’යි ඇතැම් කෙනෙක් කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය අප්‍රමාණ යැ අචල යැයි කියති. එහැම (සංඥාගතය) ප්‍රත්‍යයසමවායෙන් කරන ලද, ඖදාරික යැ, තෙල (සංඛත යයි කියන ලද) සංස්කාරයන් ගේ නිරෝධය ඇත් මැ ය. ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූවාහ.
මහණෙනි, එහි (ඒ අටවැදෑරුම් අසංඥවාදයන් කෙරෙහි) යම් මහණ බමුණුකෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන් ගේ දෘෂ්ටිය ප්‍රතිබාහන කෙරෙත්. ඒ කුමක් හෙයින යත්: සංඥාව (ආබාධ අටින්) රෝගයෙකැ, සංඥාව (සදෝෂ අටින්) ගණ්ඩයෙකැ, සංඥාව (ඇතුළතැ පිවිසෙන අටින්) ශල්‍යයෙකැ, යම් සංඥාඅභාවයෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ එහෙයින්. මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.
යම් ඒ භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී ආත්මය පනවති. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මෙසේ කියා නම් මම රූපය හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර විඥානයාගේ ප්‍රතිසන්‍ධිය හෝ ගතිය හෝ ච්‍යුතිය හෝ උපප්‍රාප්තිය හෝ වෘද්ධිය හෝ විරූඪ බව හෝ විපුල බව හෝ පනවන්නෙමි’යි. තෙල කරුණ නො වෙයි. ඒ හැම සංඥාගත යැ, ප්‍රත්‍යයන් විසින් සකස් කරනලද, එහෙයින් මැ ඖදාරික වෙයි. යළි සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ එ සංඛතය ඉක්මවූහ.
මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ රූපී වූ හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ අරූපී වූ හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ රූපී වූත් අරූපී වූත් හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥී වූ අසංඥී නො වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ ආත්මය පනවති. මහණෙනි, ඒ අටවැදැරූම් නේවසංඤ්ඤීනාසඤ්ඤීවාදයන් අතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මත්තෙහි නිත්‍ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඔවුන්ගේ ලබ්ධිය ඇතැම් කෙනෙක් ප්‍රතිබාහන කෙරෙත්. යම් භවත් මහණබමුණු කෙනෙකුන් මරණින් මතු නිත්‍ය වූ අසංඥී ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ ලබ්ධිය පිළිකෙව් කෙරෙති. ඒ කවර හෙයින යත්: සංඥාව රෝගයෙකැ, සංඥාව ගණ්ඩයෙකැ, සංඥාව ශල්‍යයෙකැ, අසංඥ භාවය සම්මෝහයට කරුණු යැ, යම් නෛවසංඥා නාසංඥ බවෙක් ඇද්ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ, එහෙයින්, මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ට ඥානයෙන් දන්නාහ.
යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍යවූ නෛවසංඥී වූ නාසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ නො මැ සංඥා ඇති අසංඥ නො වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ හෝ නො මැ සංඥී වූ අසංඥී නො වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් හෝ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දිට්ඨ (රූප) සුත (ශබ්ද) මුත (ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) සංඥාමාත්‍ර (පඤ්චද්වාරික සංඥා) ඇති තෙල නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ඖදාරිකසංස්කාරප්‍රවෘත්තියෙන් ප්‍රතිලාභය පනවත් ද, මහණෙනි, තෙල ආයතනයාගේ ප්‍රතිලාභයට මෙය ව්‍යසනයෙකැ’යි කියනු ලැබේ. මහණෙනි, තෙල ආයතනය ඖදාරික සංස්කාර සහිත වූ සමාපත්තියෙන් පැමිණිය යුතු යයි නො මැ කියනු ලැබෙයි. මහණෙනි, තෙල ආයතනය (භාවනා විසින් සුඛුම බවට පමුණුවන ලද බැවින්) අවශේෂසංස්කාරයන්ගේ ප්‍රවෘත්තියෙන් පැමිණිය යුතු යයි කියනු ලැබේ. ඒ (සියුම් වූ ද) සංඛතය (ප්‍රත්‍යයෝත්පන්න වන බැවින්) ඖදාරික වෙයි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. තෙල නිරෝධය ඇතැ’යි මෙසේ දැන ඒ සංඛතයාගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූහ.
මහණෙනි, ඒ සත්වැදැරුම් උච්ඡේදවාදයන් කෙරෙහි යම් මහණබමුණු කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ සිඳීම නො දැක්ම භවවිගමය පනවත් ද, මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතිබාහන කෙරෙති. යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතිෂේධ කෙරෙති. යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතික්‍ෂේප කෙරෙති. ඊට කරුණු කිම යත්: මෙ හැම භවත් මහණබමුණෝ උද්ධංසර (අනාගතයෙහි සංසාරයෙන් ශුද්ධිය වේ යයි) වාද ඇත්තාහු ‘පරලොවැ මෙසේ වම්හ’ ‘පරලොව මෙසේ වම්හ’යි ඇලීම මැ ප්‍රකාශ කෙරෙති. යම් පරිදි වෙණෙඳහම් සඳහා යන වෙණෙඳහුට මෙබඳු සිතෙක් වේ ද: තිලින් මට මේ ලාභය වෙයි. මෙයින් මෙ වත් ලබමි’යි. එසෙයින් මැ මේ භවත් මහණබමුණෝ ‘මෙසේ පරලොවැ (ක්‍ෂත්‍රිය) වෙමි. මෙසේ පරලොවැ (බමුණු) වෙමි’යි වෙළෙඳුන් මෙන් වූවාහු (මට) වටහති. මහණෙනි, ඒ උච්ඡේද දෘෂ්ටිය තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.
යම් භවත් මහණබමුණු කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය භවවිගමය පනවත් ද, ඔහු (ත්‍රෛභූමකධර්‍ම සංඛ්‍යාත) සත්කායට බියෙන් සත්කාය ජුගුප්සා කිරීමෙන් සත්කාය මැ අනුධාවනය කෙරෙති. අනුපරිවර්‍තන කෙරෙති. යම්සේ බලුබැඳුමෙන් බැඳුණු ශුනකයෙක් දැඩි වූ ටැඹෙක හෝ කණුවෙක හෝ බඳනා ලදුයේ එ මැ ටැඹ හෝ කණුව හෝ අනුපරිධාවන අනුපරිවර්‍තන කෙරේ ද, එසෙයින් මැ මේ භවත් බමණබමුණෝ සත්කායභීතිය හේතු කොට ගෙන සත්කාය ජුගුප්සාව හේතු කොට ගෙන සත්කාය මැ අනුධාවන අනුපරිවර්‍තන කෙරෙත්. එ සත්කාය ප්‍රත්‍යයොත්පන්නයෙක. (එහෙයින් මැ) ඖදාරික යැ. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. තෙල ‘නිරෝධය ඇතැ’යි මෙසේ දැන ඒ සංඛතයාගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූහ.
මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි අපරාන්තය විකල්පනා කොට ගත් අපරාන්තදෘෂ්ටි ඇත්තාහු අපරාන්තය අරභයා අනේකප්‍රකාර වූ දෘෂ්ටිදීපකවචනයන් ප්‍රකාශ කෙරෙත් ද, ඔහු සියල්ලෝ මේ පඤ්චකාරණයන් මැ ප්‍රකාශ කෙරෙති. මොවුනතුරෙන් අන්‍යතරයක් හෝ ප්‍රකාශ කෙරෙත්.
මහණෙනි, ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු පූර්‍වාන්තය විකල්පන කොට ගත්තාහු පූර්‍වාන්තදෘෂ්ටි ඇතියාහු පූර්‍වාන්තය අරභයා අනේකවිධ දෘෂ්ටිදීපකවචනයන් ප්‍රකාශ කෙරෙත්: ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත්, ලෝකයත් අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ නො ද අශාශ්වත වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ නො වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේත් අන්ත නැත්තේත් වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නො මැ අන්තවත් වූයේ අනන්තවත් නො වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් එකත්‍වසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නානාත්‍වසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් පරිත්ත (අල්ප) සංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්තසුඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’, යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුංඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් සුඛදුඃඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නොදුක් නොසුව ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙත්.
මහණෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය සිස් යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනට ඒකාන්තයෙන් ශ්‍රද්ධාව මිස රුචිය මිස අනුශ්‍රවය මිස ආකාරපරිවිතර්‍කය මිස දෘෂ්ටියෙන් සිතා රුස්වාගැනීම මිස ‘පරිශුද්ධ (නිරුපක්ලේශ) පර්‍ය්‍යවදාත (ප්‍රභාස්වර) ප්‍රත්‍යක්‍ෂඥානයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි. මහණෙනි, වැලිත් ‘පරිශුද්ධ පර්‍ය්‍යවදාත ප්‍රත්‍යක්‍ෂඥානය නැති කල්හි ඒ භවත් මහණබමුණෝ එහි යම් මැ ඥානභාගයක් පිරිසිදු කෙරෙත් ද, එ ද ඒ භවත් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ (දෘෂ්ටි) උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ දෘෂ්ටිගතය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික වෙයි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’ යි මෙසේ දැක ඒ සඞ්ඛතයාගේ නිස්සරණය (නිවන) දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.
මහණෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ‘ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි ... ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත යැ, අශාශ්වත නො වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අන්තවත් යැ’ ... ‘ආත්මයත් ලෝකයත් අනන්තවත් වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අන්තවත් ද අනන්තවත් ද වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නො මැ අන්තවත් යැ, අනන්තවත් නො වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකත්‍වසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නානාත්‍වසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් පරිත්තසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකාන්තසුඛ ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුක් ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් සුවදුක් ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නොදුක්නොසුව ඇති වෙයි’ මේ මැ සැබව, තදන්‍යය තුච්ඡ යැ’ යි ඔවුනට ඒකාන්තයෙන් ශ්‍රද්ධාව තබා රුචිය තබා අනුශ්‍රවය තබා ආකාරපරිවිතර්‍කය තබා දෘෂ්ටියෙන් සිතා රුස්වාගැනීම තබා ‘පරිශුද්ධ ප්‍රභාස්වර ප්‍රත්‍යක්‍ෂඥානයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, මහණෙනි, වැලිත් පරිශුද්ධ ප්‍රභාස්වර ප්‍රත්‍යක්‍ෂඥානය නැති කල්හි ඒ භවත් මහණබමුණෝ එහි යම් මැ ඥානභාගයකට බැසගනිත් ද, එ ද ඒ භවත් මහණබමුණන්ගේ (දෘෂ්ටි) ‘උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ දෘෂ්ටිගතය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික වෙයි, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ දෘෂ්ටිය ඉක්මවූහ.
මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන්ගේ දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන්ගේද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් පඤ්චකාමගුණික සංයෝජනයන්ගේ බැහැර කිරීමෙන් (සප්‍රීතිකධ්‍යානද්වය, සඞ්ඛ්‍යාත) ප්‍රවිවේකප්‍රීතියට පැමිණ වෙසෙයි. යම් ප්‍රවිවේක ප්‍රීතියකට පැමිණ වෙසෙම් ද ‘තෙල ප්‍රීතිය ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුගේ ඒ ප්‍රවිවේක ප්‍රීතිය (ධ්‍යාන නිරෝධයෙන්) නිරුද්ධ වෙයි. ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස්හුගේ නිරෝධයෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. මහණෙනි, යම්සේ සෙවණ යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි. ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි. එසෙයින් මැ මහණෙනි, ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස නිරුද්ධ වීමෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. මහණෙනි ඒ ධ්‍යානද්වය ප්‍රීතිය තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ: “මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන්