Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 4201-4300 න් 6387

මාණවකය, මේ පඤ්චනීවරණ කෙනෙක් ඇත. කවර පසෙක යත්: කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාද නීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යි. මාණවකය, මේ පඤ්චනීවරණයෝ යි. මාණවකය, උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනෙශ්වර වූ පොක්ඛරසාති බ්‍රාහ්මණ මේ පඤ්චනීවරණයන් විසින් (ආවරණ වශයෙන්) වළඳනාලද්දේ යැ. අවුරන ලද්දේ යැ, වටාගන්නා ලද්දේ යැ, හාත්පස බඳනාලද්දේ යැ. හේ මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට පොහොසත් ඥානදර්‍ශන විශේෂය දන්නේ හෝ යැ දක්නේ හෝ යැ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.
මාණවකය, මේ කාමගුණ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රාගෝත්පත්ති කාරණ වූ චක්‍ෂුර්විඥේය රූපායතනයෝ යැ ශ්‍රෝතවිඥේය ශබ්දායතනයෝ යැ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතනයෝ යැ ... ජිහ්වාවිඥේය රසායතනයෝ යැ ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රාගෝත්පත්ති කාරණ වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ යි. මාණවකය, මේ පඤ්ච කාමගුණයෝ යි. මාණවකය, උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනෙශ්වර වූ පොක්ඛරසාති බමුණු මෙසේ මේ පඤ්චකාමගුණයන් විසින් ග්‍රථිත වැ මූර්ඡිත වැ ගැලගන්නාලදු වැ ආදීනව නො දක්නාසුලු වැ නිස්සරණප්‍රඥා රහිත වැ වළඳ කෙරෙයි. හේ මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට පොහොසත් ඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වේ මැ යි.
මාණවකය, ඒ කෙසේ හඟිහි? තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර නිසා යම් ගින්නක් හෝ දල්වන්නේ වේ ද, පහ කළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති යම් ගින්නක් හෝ දල්වන්නේ වේ ද, එහි කවර නම් ගින්නෙක් ජ්වාල ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වේ ද?
භවත් ගෞතමයන් වහන්ස, ඉදින් හළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති ගින්නක් දල්වන්නට ඒ තැනෙක් ඇද්ද, එ ගිනි ජ්වාල ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි.
මාණවකය, යම් හෙයකින් ඍද්ධිමතකු විනා (අනෙකෙන්) හළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති ගින්නක් දල්වන්නේ යැ යන තෙල කරුණ නො වනසුලු යැ වන්නට අවකාශ ද නැත. මාණවකය, යම් පරිදි තෘණකාෂ්ටොපදාන නිසා ගිනි දල්වා ද, මාණවකය, පස්කම් ගුණ නිසා උපන් යම් ඒ ප්‍රීතියෙක් ඇද්ද, මම මේ ප්‍රීතිය එ බඳු යැ යි වදාරමි. මාණවකය, යම් පරිදි හළ තෘණකාෂ්ටොපදාන නිසා ගින්නක් දල්වා ද, මාණවකය, පස්කම්ගුණ පියා අකුසල්දහම් පියා නිපන් යම් ඒ ප්‍රීතියෙක් ඇත් නම් මම මේ ප්‍රීතිය එ බඳු යැ යි කියමි.
මාණවකය, කාමයෙන් වෙන් වූ අකුසල්දහමින් වෙන් වූ ප්‍රීතිය කවර යත්: මාණවකය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානය උපදවාගෙන වාස කෙරෙයි. මාණවකය, මෙ ද කාමයෙන් වෙන් වූ මැ අකුසල්දහමින් වෙන් වූ මැ ප්‍රීතියෙක. තවද මාණවකය, මහණ තෙම විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානය උපදවා ගෙන වාස කෙරෙයි. මාණවකය, මෙ ද කාමයෙන් වෙන් වූ මැ අකුසල්දහමින් වෙන් වූ මැ ප්‍රීතියෙකි.
මාණවකය, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට යම් ඒ පඤ්චධර්‍මයක් පනවත් ද, බ්‍රාහ්මණයෝ මෙහි පුණ්‍යක්‍රියාවට කුශලසම්පාදනයට කවර දහමක් ඉතා මහත්ඵල කොට පනවත් දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියාවට කුශලපරිපූරණයට යම් පඤ්චධර්‍මයක් පනවත් ද, බ්‍රාහ්මණයෝ මෙහි පුණ්‍යක්‍රියාවට කුසලසම්පාදනයට ත්‍යාගධර්‍ම ඉතා මහත්ඵල කොට පනවති’යි.
මාණවකය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එක්තරා බමුණක්හට මහායාගයෙක් එළැඹ සිටියේ වෙයි. එසඳ බමුණෝ දෙදෙනෙක් එති: “මෙ නම් බමුණුගේ මහායාග වළඳ කරම්හ” යි. ඔවුන් කෙරෙහි එක් බමුණක්හට මෙවන් සිතෙක් වෙයි: “මම මැ භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබම් නම් මනා මැ යැ. අන් බමුණා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබා නම් මනා මැ නු”යි. මාණවකය, යම් හෙයෙකින් අන්‍ය බ්‍රාහ්මණයා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබා ද ඒ බමුණා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබා ද, තෙල කරුණ වෙයි. අන්‍ය බ්‍රාහ්මණයා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබයි. ‘මම භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබමි’යි මෙසේ හේ කිපියේ නො සතුටු සිත් ඇතියේ වෙයි. මාණවකය, මොහුට බමුණෝ කිනම් විපාකයක් පනවත් ද?
භවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණෝ මෙසේ දැන් නො දෙත්. (කෙසේ යැ?) මේ දනින් අනෙකා කුපිත වේවා, නො සතුටු සිතැති වේවා, කියා යි. වැළි මෙහි දී බමුණෝ අනුකම්පාජාතික වූ මැ දනක් දෙත්.
මාණවකය, මෙසේ වත් මැ යම් අනුකම්පාස්වභාවයෙක් ඇද්ද? බමුණන්ගේ මේ සවන පුණ්‍ය ක්‍රියාවස්තු වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, එසේ වත් මැ යම් අනුකම්පා ස්වභාවයෙක් ඇද්ද, බමුණන්ගේ මේ සවන පුණක්‍රියාවස්තු වෙයි.
මාණවකය, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියාව පිණිස කුශලයාගේ ආරාධනා පිණිස යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, තෝ මේ පඤ්චධර්‍මයන් කවුරුන් කෙරෙහි බහුල කොට නුවණින් දක්හි? ගිහියන් කෙරෙහි දක්හි හෝ? පැවිද්දන් කෙරෙහි දක්හි හෝ? යි.
භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියා පිණිස කුශලසම්පාදනය පිණිස යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම මේ පස්දහම් පැවිද්දන් කෙරෙහි බහුල වැ දක්මි, ගිහියන් කෙරෙහි අල්ප වැ දක්මි. භවත් ගෞතමයන් වහන්ස, ගෘහස්ථ තෙමේ මහාර්‍ත්‍ථ මහාකෘත්‍ය මහාධිකරණ මහාසමාරම්භ ඇත්තේ මැ යැ, නිරතුරු එක්වන් සත්‍යවාදී නො වෙයි. එතෙකුදු වත් ගෞතමයන් වහන්ස, ප්‍රව්‍රජිත තෙමේ අල්පාර්‍ත්‍ථ අල්පකෘත්‍ය අල්පාධිකරණ අල්පසමාරම්භ ඇත්තේ යැ, නිරතුරු එක්වන් සත්‍යවාදී වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ගැහැවි තෙම මහාර්‍ත්‍ථ මහාකෘත්‍ය මහාධිකරණ මහාසමාරම්භ ඇත්තේ මැ යැ, නිරතුරු එක්වන් තපස්වී නො වෙයි, බ්‍රහ්මචාරී නො වෙයි, ස්වාධ්‍යාය (හැදෑරීම්) බහුල නො වෙයි, ත්‍යාග බහුල නො වෙයි. එතෙකුදු වත් භවත් ගෞතමයන් වහන්ස, පැවිදි තෙම අල්පාර්‍ත්‍ථ අල්පකෘත්‍ය අල්පාධිකරණ අල්පසමාරම්භ ඇත්තේ යැ, නිරතුරු එක්වන් තපස්වී වෙයි, බ්‍රහ්මචාරී වෙයි, ස්වාධ්‍යාය බහුල වෙයි, ත්‍යාග බහුල වෙයි, එහෙයිනි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ පින් කිරීමට කුසල් සැපැයීමට යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම මේ පස් දහමුන් පැවිද්දන් කෙරෙහි බහුල වැ දක්මි, ගැහැවියන් කෙරෙහි අල්ප වැ දක්මි.
මාණවකය, යම් බ්‍රාහ්මණ කෙනෙක් පුණ්‍යක්‍රියා පිණිස කුශලාරාධනය පිණිස පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම තෙල ධර්‍මයන් මෛත්‍රීචිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.
මාණවකය, මෙ සස්නෙහි මහණ සත්‍යවාදී වෙයි, හේ ‘සත්‍යවාදීයෙමි’යි අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, කුශලොපසංහිත ප්‍රමෝදයෙක් ඇද්ද, ඒ කුශලධර්මොපසංහිත ප්‍රමෝදය ලබයි. මම තෙල සත්‍යවාදී බව චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් ඇද්ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.
මාණවකය, මෙ සස්නෙහි මහණ තපස්වී වෙයි ... බ්‍රහ්මචාරී වෙයි ... ස්වාධ්‍යාය බහුල වෙයි ... ත්‍යාග බහුල වෙයි. හේ ‘ත්‍යාග බහුල වෙමි’යි , අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, කුශලොපසංහිත ප්‍රමෝදයෙක් ඇද්ද, ඒ කුශලධර්මොපසංහිත ප්‍රමෝදය ලබයි, මම තෙල ත්‍යාග බහුලබව චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.
මාණවකය, යම් බමුණු කෙනෙක් පුණ්‍යක්‍රියා පිණිස, කුශලාරාධන පිණිස පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම තෙල දහමුන් චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.
මෙසේ වදාළ කල්හි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල කරුණ අසනලදී: “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මාර්‍ගය දනිති” යනුයි.
මාණවකය, ඒ කෙසේ හඟිහි? මෙයින් අසල නළකාර ගමෙක් වේ ද, මෙයින් දුරෙහි ඒ නළකාරගම නො වන්නේ වේ ද?
භවත්නි, එසේ යැ. මෙයින් නුදුරෙහි නළකාරගම ඇත. මෙයින් දුරෙහි ඒ නළකාරගම නො වන්නේ වෙයි.
මාණවකය, ඒ කෙසේ හඟිහි? මෙහි යම් පුරුෂයෙක් නළකාරගම්හි ඉපදී වැඩුණේ වේ ද, නළකාරගමින් එකෙණෙහි බැසගිය තුලුන් අතින් නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාහු යැ, මාණවකය, නළකාරගම්හි ඉපදී වැඩුණු, නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාලද ඒ පුරුෂයාහට (සැක විසින්) ලැසි බවක් හෝ සිරුරු තද වන බවක් හෝ වේ ද?
භවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, තෙල පුරුෂයා නළකාරගම්හි ඉපදී වැඩින. ඔහු විසින් නළකාරගම පිළිබඳ සියලු මාර්‍ගයෝ සුවිදිත වෙති.
මාණවකය, නළකාරගම්හි ඉපදී වැඩුණු, නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාලද ඒ පුරුෂයාහට දන්‍ධබවක් හෝ සිරුරු තද වන බවක් හෝ විය හේතුදු බඹලොව හෝ බඹලොව යන පිළිවෙත හෝ පුළුවුස්නාලද තථාගතයන් හට දන්‍ධ බවෙක් හෝ සිරුරු තද වන බවෙක් හෝ නො වේ මැ යැ. මාණවකය, මම බ්‍රහ්මයන් පිළිබඳ බඹලොව ද බඹලොව යන පිළිවෙත ද දනිමි. යම් පරිදි යම් පිළිවෙතක පිළිපන් බඹ බඹලොවට පැමිණි ද එ ද දනිමි”යි වදාළහ.
භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල කරුණ අසන ලදී: “මහණ ගොයුම්හු බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මාර්‍ගය දෙසති” යනු යි. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මට මාර්‍ගය දෙසන සේක්ව’යි යදිමි.
මාණවකය, එසේ වී නම් අසව. මොනොවට මෙනෙහි කරව. කියමි’ යි.
භවත්නි, එසේ යැ ‘යි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින.
බුදුහු මෙසේ වදාළහ: “මාණවකය, බ්‍රහ්මයන් හා සහවාසයට මාර්‍ගය කවරෙ යත්: මාණවකය, මෙ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දෙසක් අරමුණු කොට වෙසෙයි, දෙ වන දිග ද එසේ යැ, තුන්වන දිග ද එසේ යැ, සතර වන දිග ද එසේ යි. මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රීසහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. මාණවකය, මෙසේ මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලද කල්හි ප්‍රමාණකෘත (කාමාවචර වූ) යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය එහි (රූපාවචරකර්‍මයෙහි) ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී.
මාණවකය, යම්සේ බලවත් සක් පුඹුනා පුරුෂයෙක් නිදුකින් මැ සතරදිග (ස්වරයෙන්) හඟවන්නේ ද, එසෙයින් මැ මාණවකය, මෙසේ මෛත්‍රීචිත්තවිමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචර කර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, මෙ ද බ්‍රහ්මයන් හා සහවාසයට මඟෙකි.
තවද මාණවකය, මහණ කරුණාසහගත සිතින් මෘදුතාසහගත සිතින් උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. දෙ වන දිග ද එසේ යැ, තුන්වන දිග ද එසේ යැ, සතර වන දිග ද එසේ යැ. මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. මාණවකය, මෙසේ උපේක්‍ෂාචිත්ත විමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචර කර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, යම්සේ ශක්ති ඇති සක් පුඹුනා පුරුෂයෙක් නිදුකින් මැ සතරදිග (ස්වරයෙන්) හඟවා ද, මාණවකය, එපරිදි මැ මෙසේ උපේක්‍ෂාචිත්තවිමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචරකර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, මෙ ද බ්‍රහ්මයන් හා සහවාසයට මාර්‍ගයෙකි’යි.
මෙසේ වදාළ කල්හි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තයැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තයි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ ද, මුළාවුවකූට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හා සරණ කොටයෙමි. භවත් ගොයුම්ගොතුවෝ මා අද පටන් දිවිහිම් වැ සරණගිය උපාසකයකු කොට ධරත්වා. භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යම්හ. ඇපි බොහෝ කටයුතු බොහෝ කරණී ඇතියම්හ”යි.
මාණවකය, තෙපි දැන් ඊට කල් දනුව’යි.
එසඳ තෝදෙය්‍ය පුත්‍ර සුභ මාණවක, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැසගියේ.
තවද එසමයෙහි ජානුස්සෝණි බ්‍රාහ්මණ සර්‍වස්වෙත වළවාරථයෙන් දෙවෙන්දවහල්හි සැවැත්නුවරින් නික්මෙයි. ජානුස්සෝණි බ්‍රාහ්මණ තෝදෙය්‍යපුත්‍ර සුභමාණවකයා දුරින් මැ එන්නා දිට. දැක තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවකහට තෙල කී: “භවත් භාරද්වාජ දෙවෙන් දවහල්හි කොහි සිට එයි’ දැ? යි.
භවත්නි, මම මෙහි ශ්‍රමණගෞතමයන් වෙතින් එමි’යි.
ඒ කෙසේ හඟිහි? භවත් භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය හඟනේ ද, පණ්ඩිතයෙකැ’යි හඟනේ ද?
භවත්නි, මම කවරෙකිම් ද? කෙසේ නම් ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය දනිම් ද? යමෙක් ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය දන්නේ ද, හේ එතැනින් ශ්‍රමණ භවත් ගෞතමයන් වැනි මැ වෙයි.
භවත් භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන් උදාර ප්‍රශංසායෙන් පසස්නේ මැ යැ.
භවත්නි, මම කවරෙකිම් ද, කිනම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයන් පසස්නෙම් ද? ඒ භවත් ගෞතමයෝ ප්‍රශස්තගුණයෙන් මැ ප්‍රශස්තයහ. දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨයහ. භවත්නි, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියා පිණිස කුශලාරාධනය පිණිස යම් පඤ්ච ධර්‍ම කෙනකුන් පනවත් ද, ශ්‍රමණ ගෞතමයෝ ඒ පඤ්ච ධර්‍මයන් අවෛර අව්‍යාපාද යම් සිතෙක් ඇද්ද, ඒ මෛත්‍රීචිත්තයා ගේ භාවනා පිණිස චිත්තපරිෂ්කාර කොට වදාරන සේක.
මෙසේ කී කල ජාණුස්සෝණි බමුණු සව්සුදු වළහීරථයෙන් බැස උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ උදන් ඇනී: “යම් රජක්හුගේ විජිතයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ වැඩවසනසේක් ද, ඒ පසේනදී කොසොල්රජහට ලාභයෙක. කල්‍යාණ ලාභයෙකැ”යි.
නව වැනි සුභසුත්‍ර යි.
2. 5. 10.
සඞ්ගාරව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි මහබික්සඟුන් හා සමග සැරිසරනසේක. එසමයෙහි ධනඤ්ජානී නම් බැමිණි මණ්ඩලකප්ප නම් ගම්හි වෙසෙයි. බුදුන් කෙරෙහි දු දහම් කෙරෙහි දු සඟුන් කෙරෙහි දු (අවේත්‍යප්‍රසාද වශයෙන්) පහන, එකල ධනඤ්ජානී බැමිණි පය පැකිල තුන් වරක් උදන් ඇනූ: “ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාහවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” කියායි.
එසමයෙහි සඞ්ගාරව නම් මාණවක මණ්ඩලකප්ප නම් ගම්හි වාස කෙරෙයි. හේ නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත අක්‍ෂරප්‍රභේද සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර ගියේ පද ශාස්ත්‍ර හදාරනුයේ ව්‍යාකරණ හදාරනුයේ ලෞකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වූයේ වෙයි. සඞ්ගාරව මාණවක මෙසේ නමස්කාරපාඨ බණන ධනඤ්ජානී බැමිණියගේ බස් ඇසී. අසා ධනඤ්ජානී බැමිණියට තෙල කී: “බමුණන් විද්‍යමාන වැ සිටිය දී මේ ධනඤ්ජානී බැමිණි අවෘද්ධිමත් වූ යැ, විනාශප්‍රාප්ත වූ යැ. තවද ඒ මුණ්ඩක ශ්‍රමණයන් ගේ ගුණ කියා”යනු යි.
‘පුත භද්‍රමුඛය, තෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සිල් හා නුවණ නො දත්හි. පුත භද්‍රමුඛය, ඉදින් තෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිල් හා නුවණ දණහි නම්, පුත භද්‍රමුඛය, තෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ආක්‍රෝශ කළ යුත්තකු කොට පරිභාෂණ කළ යුත්තකු කොට නො හඟිහි.’
‘භවතිය, එසේ වී නම් යම් දිනෙක ශ්‍රමණ ගෞතමයෝ මණ්ඩලකප්ප ගමට පැමිණියාහු වෙත් ද, එකල මට දන්වන්නේ යැ’යි කී. ‘භද්‍රමුඛය, එසේ යැ’යි ධනඤ්ජානී බැමිණි සඞ්ගාරව මාණවකයාහට පිළිවදන් දින්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි පිළිවෙළින් සැරිසරනසේක් මණ්ඩලකල්ප ගම කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මණ්ඩලකප්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩ වාස කෙරෙති. ධනඤ්ජානී බැමිණි භාග්‍යවතුන් වහන්සේ ඒ මණ්ඩලකප්ප ගමට වැඩිසේක් මණ්ඩලකල්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩ වාස කෙරෙත් ලැ’යි ඇසූ යැ.
එසඳ ධනඤ්ජානී බැමිණි සඞ්ගාරව මාණවකයා කරා එළැඹියා. එළඹ සඞ්ගාරව මාණවකයාට තෙල කිවූ: “පුත්‍ර භද්‍රමුඛය, ඒ භාග්‍යවතුන් වහන්සේ මණ්ඩලකප්ප ගමට වැඩිසේක් මණ්ඩලකප්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩවෙසෙති. පුත, භද්‍රමුඛය, තෝ දැන් යමක් ගැන සිතෙහි නම් එයට කල් දනැ”යි කිවු.
‘භවතිය, එසේයැ’යි සඞ්ගාරව මාණවකයා ධනඤ්ජානී බැමිණියට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ, එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සඞ්ගාරව මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
“භවත් ගෞතමයන් වහන්ස, ඉහාත්මයෙහි මැ දැන ව්‍යවසිත වැ පාරමී සඞ්‍ඛ්‍යාත ‘නිර්‍වාණයට පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද එබඳු මහණ බමුණු කෙනෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, යම් මැ මහණ බමුණු කෙනෙක් ඉහාත්ම යෙහි මැ දැන ව්‍යවසිත වැ පාරමී සඞ්‍ඛ්‍යාත ‘නිවනට පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් නම් ඔවුනතුරෙන් භවත් ගෞතමයන් වහන්සේ කවරහ?
භාරද්වාජය, ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි බණන ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කරන ඔවුන්ගේ ද වෙනස කියමි. භාරද්වාජය, අනුශ්‍රවකථා ගත් කිසි මහණ බමුණු කෙනෙක් ඇත. ඔවු අනුශ්‍රව වශයෙන් ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙති. තේවිජ්ජබ්‍රහ්මණයන් සෙයිනි. භාරද්වාජය, හුදු ශ්‍රද්ධාමාත්‍ර වශයෙන් ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, එ බඳු කිසි මහණ බමුණු කෙනෙක් ඇත. තර්‍කග්‍රාහී වූ විමංසක වූ බ්‍රාහ්මණයන් සෙයිනි. භාරද්වාජ, පෙර නො ඇසූවිරූ දහම්හි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, එ බඳු කිසි මහණ බමුණු කෙනෙක් ඇත.
භාරද්වාජය, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් අනනුශ්‍රැත ධර්‍මයෙහි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, ඒ සම්බුද්ධයන් අතුරෙන් මම අන්‍යතරයෙක්මි. භාරද්වාජය, යම් පරිදි යම් ඒ මහණ බමුණු කෙනෙක් පෙර නො ඇසූවිරූ දහම්හි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, ඒ සම්බුද්ධයන් අතුරෙන් මම අන්‍යතරයෙක්මි යන ඒ මේ කරුණ මේ කාරණයෙනුදු දතයුතු යැ.
භාරද්වාජය, සම්‍යක්සම්බෝධියෙන් පෙර මැ චතුස්සත්‍යාවබෝධය නො කළ බෝධිසත්ත්‍ව වූ මැ මට තෙල සිත් වී: “ගෘහවාසය සම්බාධ යැ රාගාදිරජස් එන මහැ, පැවිද්ද අභ්‍යවකාශ යැ, ගිහිගෙහි වසනහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ ධුතසඞ්ඛ සදෘශ වූ මේ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට සුකර නො වෙයි. මම කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නට පැමිණෙම් නම් මනා මැ නු”යි. භාරද්වාජය, මම පසු කලෙකැ දහර වූයෙම් මැ මනා කළුකෙහෙ ඇත්තෙම් භද්‍රයෞවන හා ප්‍රථම වයසින් සමන්‍වාගත වූයෙම් නො කැමැති කඳුළුමුසු මුහුණු ඇති දෙමාපියන් හඬමින් සිටිය දී කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම පව්ද්දට පැමිණියෙමි. මම මෙසේ පැවිදි වැ කිඞ්කුශලගවේශී වැ අනුත්තර ශාන්තිවරපදය සොයන්නෙම් ආළාරකාලාම තවුසන් කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාම තවුස්නට තෙල කීමි: “ඇවැත කාලාමයෙනි, මම මේ තොප සතු ධර්‍මවිනයෙහි බඹසර පුරන්නට කැමැතියෙමි”යි. භාරද්වාජය, මෙසේ කී කල ආළාරකාලාම තවුස් මට තෙල කී: “ආයුෂ්මත් මෙහි වසන්නේ මැනැව. යම් දහමෙකැ විඥ පුරුෂයෙක් නොබෝ දිනෙකින් ස්වකීය ආචාර්‍ය්‍යොද්ග්‍රහණය තමා විසින් මැනැවින් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නේ වේ ද, මේ එබඳු දහමෙකැ”යි. භාරද්වාජය, මම නොබෝ කලෙකින් මැ වහා මැ ඒ දහම පුහුණු කෙළෙමි. භාරද්වාජය, මම එතෙක් තොල් පහළ පමණින් මැ බස් බිණු පමණින් මැ ඥානවාදය ද ථේරවාදය ද කියමි. “දන්මි, දත්මි”යි ද මම ද පිළින කරමි. සෙස්සෝ ද පිළින කෙරෙත්. භාරද්වාජය, මට තෙල සිත් වී: “ආළාරකාලාම තවුස් මේ දහම හුදෙක් සැදෑ පමණෙකින් තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වෙසෙමි”යි නො දන්වයි, ඒකාන්තයෙන් ආළාරකාලාම තවුස් මෙ දහම දන්මින් දක්මින් වාස කෙරේ”යනු යි.
භාරද්වාජය, ඉක්බිති මම ආළාරකාලාම තවුස් කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාම තවුස්හට තෙල කීමි: “ඇවැත, කාලාමයෙනි, කෙතෙකින් මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි’යි දන්වම් දැ? යි. භාරද්වාජය මෙසේ කී කළ ආළාරකාලාම ආකිඤ්චඤ්ඤායතනය කී. භාරද්වාජය, මට තෙල සිත් වී: “ආළාරකාලාම තවුස්හට මැ සැදැහැ ඇත්තේ නො වෙයි. මට ද සැදැහැ ඇත. ආළාරකාලාම තවුස්හට මැ වැර ඇතියේ නො වෙයි; ... සිහිය ... සමාධිය ... ප්‍රඥා ඇත්තේ නො වෙයි, මට ද ප්‍රඥා ඇත. මම, ආළාරකාලාම තවුස් යම් දහමක් තමන් විසින් ‘වෙසෙසින් දැන පසක් කොට උපයා ගෙන වාස කරමි’යි දන්වා ද, ඒ දහම පසක් කරනු පිණිස ප්‍රධන් වැර වඩම් නම් මනා මැ නු”යි. භාරද්වාජය, මම නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙළෙමි.
භාරද්වාජය, ඉක්බිති මම ආළාරකාලාම තවුස් කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාම තවුස්හට තෙල කීමි: “ඇවැත, කාලාමයෙනි, මෙතෙකින් මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන උපයාගෙන ප්‍රකාශ කෙරෙහි දැ? යි. ඇවැත, මම මෙ පමණෙකින් මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන දන්වමි’යි කී. ඇවැත්නි, මම ද මෙපමණෙකින් මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි’යි කීමි. මම යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන දන්වම් ද, තොයිත් එ දහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට වාස කෙරෙහි, තෝ යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙහි ද, මම එ දහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන දන්වමි. මෙසේ මම යම් දහමක් දන්මි නම් තොයිත් එ දහම දන්හි. තො යම් දහමක් දන්හි නම් මමත් එ දහම දන්මි. මෙසේ මම යම් බඳුයෙම් ද, තො ද එබඳුයෙහි. තෝ යම් බඳුයෙහි ද, මම එ බඳුයෙමි. (මෙසේ) අපි තා බඳු සබ්‍රම්සර අයුෂ්මතකු දක්මෝ ද, ඇවැත්නි, අපට ලාභයෙකැ, ඇවැත්නි, අපට මනා ලාභයෙකි. ඇවැත්නි, දැන් එව දෙදෙනමෝ මේ ගණයා පරිහරණ කරම්හ’යි කී. භාරද්වාජය, මෙසේ ආළාරකාලාම තවුස් මාගේ ආචාර්‍ය්‍ය වූයේ මැ තමා අතැවැසි වූ මා තමහට සමසම කොට තැබී. උදාර පූජායෙනුදු මා පිදී. භාරද්වාජය, මට තෙල සිත් වී: “මෙ දහම නිර්විදා පිණිස නො වැටෙයි. විරාග පිණිස නො වැටෙයි, නිරෝධ පිණිස නො වැටෙයි, උපයිම පිණිස නො වැටෙයි, අභිඥා පිණිස නො වැටෙයි, සම්බොධ පිණිස නො වැටෙයි, නිර්‍වාණ පිණිස නො වැටෙයි. ආකඤ්චඤ්ඤායතනූප්පත්තිය පිණිස මැ වැටෙයි” කියා යි. භාරද්වාජය, මම එ දහම පමණ නො කොට එ දහමින් කලකිරී බැසගියෙමි.
භාරද්වාජය, ඒ මම් ‘කුසල් කිමැ’යි සොයනුයෙම් අනුත්තරසන්තිවරපදය (නිවන) සොයමින් උද්දක රාමපුත්‍ර කරා එළැඹියෙමි. එළැඹ උද්දක රාමපුත්‍රහට තෙල කීමි: “ඇවැත්නි රාමපුත්‍රයෙනි, මම මෙසස්නෙහි බඹසර සරනුරිසියෙමි”යි. භාරද්වාජය, මෙසේ කී කල්හි රාමපුත් උද තවුස් මට මෙසේ කී: “ඇවැත්නි, වාස කරව. යම් දහමෙක් විඥ පුරුෂ නොබෝ කලෙකින් මැ සිය ඇදුරුසමය තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙරේ නම් මේ එ බඳු දහමෙකැ”යි. භාරද්වාජය, ම්ම් නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම පිරිවැහීමි. භාරද්වාජය, එ මම් එතෙක් තොල් පහළ පමණින් මැ වදන්පිළිවදන් මතුයෙන් මැ ඥානවාදයත් ස්ථවිරවාදයත් කියමි, ‘දන්මි දක්මි’ද මමත් පිළින කෙරෙමි, සෙසුවොත් පිළින කෙරෙති. භාරද්වාජ, ඒ මට තෙල සිත් වී: “රාම තවුස් මෙ දහම හුදෙක් ශ්‍රද්ධා පමණෙකින් තමා විසින් ‘වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කෙරෙමි නො ද පැවැසී, ඒකාන්තයෙන් රාම තවුස් මෙ දහම දන්මින් දක්මින් විසී” යයි.
එසඳ භාරද්වාජය, මම් රාමපුත් උද තවුස් කරා එළැඹියෙමි. එළැඹ රාමපුත් උද තවුස්හට තෙල බස් කීමි: “ඇවැත්නි, රාමයෙනි, කිපමණෙකින් අපට මෙදහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි, පවසවු දැ?”යි, භාරද්වාජය, මෙසේ කී කල්හි රම්පුත් උද තවුස් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ යැ. භාරද්වාජය, එ මට තෙල සිත් වී: “රාමහට මැ ශ්‍රද්ධා නො ද වූ, මටත් ශ්‍රද්ධා ඇත. රාමහට මැ වීර්‍ය්‍ය නො ද වී ... සති ... සමාධි ... රාමහට මැ ප්‍රඥා නො ද වූ, මටත් ප්‍රඥා ඇති. රම් තවුස් යම් දහමක් තමා විසින් ‘වෙසෙසින් දැන පසක් කොට එළැඹ වාස කෙරෙමි’ ප්‍රකාශ කෙළේ ද මම් එ දහම පසක් කරනුවට ප්‍රධන්වීර්‍ය්‍ය කරනෙම් නම් මනා මැ නු”යි. භාරද්වාජය, එ මම් නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාස කෙළෙමි.
එසඳ භාරද්වාජය, මම් උද්දක රාමපුත්‍ර කරා එළැඹියෙමි. එළැඹ උද්දක රාමපුත්‍රහට තෙල බස් කීමි: “ඇවැත්නි, රාමයෙනි මෙතෙකින් අපට මෙදහම, තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන පවසවු දැ”යි. “ඇවැත්නි, මෙතෙම්කින් මම මෙ දහම, තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි”යි. “ඇවැත්නි, මෙතෙකින් මමත් මෙ දහම, තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි”යි. ඇවැත්නි, අපට ලාභයෙකැ, අපට මනා ලාභයෙකි. ඇපි තොප වැනි සබ්‍රම්සර ආයුෂ්මත් කෙනකුන් දකුම්හ. මෙසෙයින් රාම යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන ප්‍රකාශ කෙළේ ද, තෙපි එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන වාස කරව. තෙපි යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කරවු ද, එ දහම රාම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන ප්‍රකාශ කෙළේ යැ. මෙසෙයින් රාම යම් දහමක් දත්තේ ද, තෙපි එ දහම දත්තහු යැ. තෙපි යම් දහමක් දත්තහු ද, එ දහම රාම දත්තේ යැ. මෙසේ රාම යම් බඳු වී නම් තෙපි එ බඳු ව. තෙපි යම් බඳු වවු නම් රාම එ බඳු වී. එව දැන් ඇවැත්නි, තෙපි මේ ගණයා පරිහරණ කරව”යි. භාරද්වාජය, මෙසෙයින් රම්පුත් උද තවුස් මාගේ සබ්‍රම්සැරි වූයේ මැ මා ඇදුරු තැන්හි තැබී. උදාර පූජායෙනුදු මා පිදී. භාරද්වාජය, ඒ මට තෙල සිත් වී: “මෙ දහම නිර්වේදයට නො වැටෙයි, නො ද විරාගයට, නො ද නිරෝධයට, නො ද කෙලෙස් සන්හිඳීමට, නො ද අභිඥාවට, නො ද සම්බෝධයට, නො ද නිර්‍වාණයට වැටෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උපත පිණිස මැ වැටේ”යයි. භාරද්වාජය, ඒ මම් එ දහම පිළිකෙව් කොට එ දහමින් කලකිරී බැස ගියෙමි.
භාරද්වාජය, ඒ මම් කිංකුශලගවේෂි වැ අනුත්තර ශාන්තිවරපදය පිරියෙස්මින් මගධ දනවියෙහි අනුක්‍රමයෙන් සැරිසරනුයෙම් උරුවේලායෙහි සේනා නම් නියම්ගමට (සේනානී නම් සිටුහුගේ ගමට) බටුයෙමි. එහි රමණී භූමිභාගය ද ප්‍රසාද එළවන වනළැහැබ ද ගලන, සුදුවැලිතලා ඇති, මනා තොට ඇති, රමණී හොය ද හාත්පසැ පිහිටි ගොදුරුගම ද දිටිමි. භාරද්වාජය, මට තෙල සිත් වී: “භූමිභාගය රමණීය මැ යැ. වන ළැහැබ ප්‍රසාද එළවන්නේ මැ යැ, සුදුවැලිතලා ඇති මනා තොට ඇති රමණී හොය ද ගලයි, හාත්පස්හි ගොදුරුගම ඇත. ප්‍රධන්වීර්‍ය්‍ය කරනු කැමැති කුලපුතක්හට මෙ තැන සමත් වේ මැ”යි. භාරද්වාජය, ඒ මම මෙ තැන ප්‍රධන් පිණිස සමර්‍ත්‍ථ වෙති ඒ බෝපලගෙහි මැ නිෂද්‍යා කෙළෙමි.
තවද, භාරද්වාජයෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන, පෙර නො ඇසූවිරූ උපමාවෝ තුන් දෙනෙක් වැටහුණහ:
“යම්සේ භාරද්වාජයෙනි, ස්නෙහ සහිත, දියෙහි බැහූ, තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරුරිණි ගෙන ගිනි නිපදවමි, තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ ස්නෙහ සහිත, දියෙහි බැහූ, තෙල තෙත් කාෂ්ටය උතුරුරිණි ගෙන් අළලන්නේ කිම ගිනි නිපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ? යි.
භවත්, ගෞතමයන් වහන්ස, මෙ කරුණ නො වන්නේ මැ යි. ඒ කවර හෙයින යත්: “භවත් ගෞතමයෙනි, තෙල තෙත් කාෂ්ටය සස්නේහ වෙයි, එ ද දියෙහි බහනලද වෙයි. තෙල පුරුෂ වැළිත් ඇළලූ තාක් ක්ලාන්තයට වෙහෙසට හිමි වන්නේ යැ” යි.
භාරද්වාජයෙනි, එපරිදිමැ යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි බමුණු කෙනෙක් වෙත්වයි කයිනුදු සිතිනුදු කාමයෙන් නො වෙන් වැ වෙසෙත් ද, ඔවුන්ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද, මොනොවට සන්හුන් නො වේ ද, ඒ භවත් මහණ බමුණහු ඉදින් ඖපක්‍රමික වූත් ත්‍රීව කටුක දුඃඛ වේදනා විඳිත් ද, ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. ඉදින් ඒ මහණ බමුණෝ ඖපක්‍රමික වූ ත්‍රීව කටුක දුඃඛවේදනා නො විඳිත් ද, ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ යි. භාරද්වාජයෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මෙ පළමු උපමා වැටහිණ.
භාරද්වාජය, මට නැවත නැවත අසිරි එළවන පෙර නො ඇසූවිරූ අනෙක් දෙවන උපමායෙක් ද වැටහිණ: භාරද්වාජය, යම් පරිදි දියෙන් බැහැර ව සිටි ගොඩබිම්හි ලූ ස්නෙහ සහිත තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරුරිණි ගෙන ‘ගිනි උපදවමි’යි ‘තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ ස්නෙහ සහිත, දියෙන් බැහැර වැ සිටි, ගොඩබිම්හි ලූ, තෙල තෙත් කාෂ්ටය උතුරුරිණි ගෙන අළලන්නේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ? යි.
භවත් ගෞතමයයෙනි, තෙල නො වේ මැ යි. ඒ කවර හෙයින යත්: “භවත් ගොයුම් ගොතුව, තෙලෙ දියෙන් බැහැර වූයේ නමුදු ගොඩබිම්හි ලූයේ නමුදු ස්නෙහ සහිත තෙත් කාෂ්ටයෙකි. ඒ පුරුෂ වැළිත් ඇළලූ තාක් ක්ලමථුවට වෙහෙසට හිමි වන්නේ යැ” යි.
එපරිදි මැ භාරද්වාජය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි කයින් කාමයෙන් වෙන් වැ වෙසෙත් ද, ඔවුන්ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද, සන්හුන් නො වේ ද, ඉදින් ඒ භවත් මහණබමුණෝ ඖපක්‍රමික වූත් ත්‍රීව කටුක දුඃඛවේදනා විඳිත් ද, ඔහු අනුත්තර සම්බෝධසඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. ඉදින් ඒ භවත් මහණබමුණෝ ඖපක්‍රමික වූත් ත්‍රීව කටුක දුඃඛවේදනා නො විඳිත් ද, ඔහු අනුත්තර සම්බෝධසඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. භාරද්වාජය, පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූවිරූ මේ දෙවන උපමාව මට වැටහිණ.
භාරද්වාජය, පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූ විරූ අනෙක් තුන් වැනි උපමායෙක් ද මට වැටහිණ; යම්සේ භාරද්වාජය, කොලපු වූ, දියෙන් බැහැර වූ, ගොඩබිම්හි ලූ වියළි කාෂ්ටයෙක් ඇද්ද, එසඳ පුරුෂයෙක් උතුරුරිණි ගෙන ‘ගිනි උපදවමි, තෙද පහළ කෙරෙමි’ එන්නේ වේ ද, භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ කොලොපුවූ, දියෙන් බැහැර වූ, ගොඩබිම්හි ලූ තෙල වියළි කාෂ්ටය උතුරුරිණි ගෙන අළලනුයේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ? යි.
එසේ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: භවත් ගොයුම්ගොතු ශුෂ්කකාෂ්ටය කොලොපු වෙයි, එ ද දියෙන් බැහැර වූයේ වෙයි, ගොඩබිම්හි බහාලන ලද වේ” යයි.
එපරිදි මැ භාරද්වාජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි බමුණු කෙනෙක් වෙත්වයි කයිනුදු සිතිනුදු කාමයෙන් වෙන් වැ වෙසෙත් ද, ඔවුන්ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි මොනොවට ප්‍රහීණ වූයේ වේ ද, සන්හුන් වේ ද, ඉදින් ඒ භවත් මහණබමුණෝ ත්‍රීව කටුක ඖපක්‍රමික දුඃඛවේදනා විඳුනාහු නමුදු ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට භව්‍ය මැ වෙති. ඉදින් ඒ භවත් මහණබමුණෝ ත්‍රීව කටුක ඖපක්‍රමික දුඃඛවේදනා නො විඳුනාහු නමුදු ඔහු අනුත්තර සම්බෝධසඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට භව්‍ය මැ වෙති. භාරද්වාජය, පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් වැනි උපමා මට වැටහිණ. භාරද්වාජය, පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් වන උපමාවෝ මට වැටහුණහ’යි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “යටිදත්හි උඩුදත තබා දිවින් තලු පැහැර (කුසල්සිතින්) අකුසල්සිත නිගන්නෙම්, පෙළන්නෙම්, තවන්නෙම් නම් මැනැවැ”යි. භාරද්වාජය, මම යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැර ගෙන සිතින් සිත නිගන්මි, පෙළමි, තපෝවීර්‍ය්‍ය කෙරෙමි. භාරද්වාජය, යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැරගෙන සිතින් සිත නිගන්නා, පෙළන, තපෝවීර්‍ය්‍ය කරන මාගේ කච්ඡයෙන් ස්වේදයෝ මිදෙත්, භාරද්වාජය, බලවත් පුරුෂයෙක් ඉතා දුබල පුරුෂයකු හිසෙහි වේවයි ස්කන්‍ධයෙහි වේවයි ගෙන් නිගන්නේ වේ ද, පෙළන්නේ වේ ද තාප කරන්නේ වේ ද, භාරද්වාජය එපරිදි මැ යටදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැරගෙන සිතින් සිත නිගන්නා, පෙළන, තවන මාගේ කැසින් ස්වේදයෝ මිදෙත්. භාරද්වාජය, මා විසින් වැර රුකුළේ වෙයි, සංලීන නො වෙයි, සිහි එළවියා වෙයි, මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධනින් මැ ප්‍රධන්වැරින් විත් කෑවා වූ මැ මාගේ කාය දරථ සතිත වෙයි, නො සන්හුන් වෙයි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “මම් අප්‍රාණක (නිරාශ්වාස) ධ්‍යාන කරනෙම් නැ මැනැව”යි. භාරද්වාජය, ඒ මම මුවිනුදු නහයෙනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැහීමි, භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු අසස්පසස් වැළැහූ කල්හි මාගේ කන්සිළින් නික්මෙන වාතයන්ගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. යම්සේ නම් කඹුරුසමක් පුඹුනා කල්හි අධිමාත්‍ර ශබ්ද යෙක් වේ ද, එසෙයින් මැ භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු ආශ්වාසප්‍රශ්වාස වැළැහූ කල්හි කන්සිදීන් නික්මෙන වාතයන් ගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. භාරද්වාජය, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි. සිහි එළඹ සිටියා, මුෂිත නො වෙයි. එතෙකුදු වත් මාගේ කය ඒ දුක්සහගිය පදහනින් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “මම නිරස්සාසක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු” යි. භාරද්වාජය, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළකීමි. භාරද්වාජය, මා විසින් මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළැහූ කල අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්. භාරද්වාජය, බලවත් පුරුෂයෙක් යම් පරිදි තියුණු කඩුසිළෙකින් මුදුන පෙළන්නේ ද, එ පරිදි මැ භාරද්වාජය, මා විසින් මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළහූ කල්හි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්, භාරද්වාජය, මා විසින් වැර රුකුළේ අසංලීන වෙයි. සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මාගේ කය එ මැ දුක්සහගිය පදහනින් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු” යි භාරද්වාජය, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාසප්‍රශ්වාස වැළැකීමි. භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළැහූ කල මාගේ ශීර්‍ෂයෙහි අධිමාත්‍ර ශිරෝවේදනාවෝ වෙති, භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෙක් දළවරබහනින් හිසෙහි හිස්වෙළුම් බඳනේ වේ ද, එසෙයින් මැ භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළැහූ කල හිසෙහි අධිමාත්‍ර ශිරොවේදනාවෝ වෙති, භාරද්වාජය, මා විසින් රුකුළු වැර සංලීන නො වෙයි, සිහි එළැඹ සිටියා, මුෂිත නො වෙයි. එතෙකුදු වත් මාගේ කය එ මැ දුක්සහගිය පදහනින් වැරින් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ දහන් වඩනෙම් නම් මනා මැ නු” යි භාරද්වාජය, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළකීමි. භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැහූ කල්හි මාගේ කුස අධිමාත්‍ර වාතයෝ සිඳිත්. භාරද්වාජය, යම්සේ දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ තිහිණි වූ, ගෙරිකපන කැත්තෙකින් කුස කපන්නේ ද, එසෙයින් මැ භාරද්වාජයෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළහූ කල්හි අධිමාත්‍ර වාතයෝ කුස කපත්. එතෙකුදු වත් භාරද්වාජය, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි, සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි, එතෙකුදු වත් මාගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු” යි. භාරද්වාජය, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැකීමි. භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැහූ කල්හි මාගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුඹුල් මිනිසක්හු වෙන් වෙන් අත්හි ගෙන අඟුරු වළෙක තවන්නාහු ද මොනොවට තවන්නාහු ද, එසෙයින් මැ භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැහූ කල්හි මාගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. එතෙකුදු වත් භාරද්වාජය, මා විසින් ආරබ්ධවීර්‍ය්‍යය සංලීන නො වෙයි. එළැඹසිටි සිහි මුෂිත නො වෙයි, එතෙකුදු වත් මාගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
තවද භාරද්වාජය, දේවතාවෝ දැක මට මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කලුරිය කළහ” යි. සමහර දේවතාවෝ මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කලුරිය නො කළහ, එතෙකුදු වත් කලුරිය කෙරෙති”යි. සමහර දේවතාවෝ මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කලුරිය නො කළහ, නො ද කලුරිය කෙරෙති, ශ්‍රමණ ගෞතමයෝ රහත්හ, රහතුන්ට තෙල මෙ බඳු විහාර ඇත්තේ මැ වේ” යයි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “මම සර්‍වාප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට පිළිපදනෙම් (බස්නෙම්) නම් මැනැවැ”යි. එකල්හි භාරද්වාජය, දෙවියෝ මා කරා අවුත් තෙල බස් කීහු: “නිදුකාණෙනි, තෙපි සර්‍වාප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට නහමක් පිළිපදුව, ඉදින් නිදුකාණෙනි, තෙපි සර්‍වාප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට බස්නහු නම් අපි තොප වහන්සේගේ රෝමකූපයෙන් දිව්‍යඕජස් ඇතුළු කරම්හ, එයින් තෙපි යැපෙන්නහු යැ”යි. භාරද්වාජය, මට තෙල සිත් වී: “මම වනාහි සර්‍වාප්‍රකාරයෙන් නො වැළඳීම පිළින කරන්නෙමි, මෙ දෙවියෝත් මාගේ රෝමකූපයෙන් දිව්‍යඕජස් බහාලන්නාහ. එයිනුදු මම යැපෙම් නම් ඒ මාගේ මෘෂා වෙයි, භාරද්වාජය, මම් ඒ දෙවියන් ප්‍රතික්‍ෂේප කෙරෙමි, ‘කම් නැතැ’යි කියමි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “මම මුංයුෂ වේවයි කොල්ලුයුෂ වේවයි කඩලයුෂ වේවයි මෑයුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගන්නෙම් නම් මැ නු” යි. භාරද්වාජය, ඒ මම මුංයුෂ වේවයි කොල්ලුයුෂ වේවයි කඩලයුෂ වේවයි මෑයුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගතිමි. භාරද්වාජය, මුංයුෂ වේවයි කොල්ලුයුෂ වේවයි කඩලයුෂ වේවයි මෑයුෂ වේවයි පතක් පතක් පමණ වූ මද මද අහර ගන්නා මාගේ කය අධිමාත්‍ර කෘශත්‍වයට පැමිණියේ වෙයි. ආසීතික වැල් පුරුක් හෝ කළුවැල් පුරුක් යම්සේ ද, එ මැ අල්පාහාරතායෙන් මාගේ අඞ්ගප්‍රත්‍යඞ්ගයෝ එ බඳු වෙති. ඔටුපිය යම්සේ ද, එ මැ අල්පාහාරතායෙන් මාගේ නිසීදනමාංශය එ බඳු වෙයි. කුරුඳුවැල යම්සේ (උස්මිටි) වේ ද, එ මැ අල්පාහාරතායෙන් මාගේ පිටකටුව (වංශාස්ථිය) එසෙයින් මැ උස්මිටි වෙයි. යම්සේ නම් දිරාගිය ශාලායෙකැ ගොනැස්හු එලුණාහු ඈත මෑත එලුණාහු වෙත් ද, එසෙයින් මැ එ මැ අල්පාහාරතායෙන් මාගේ ඉළ ඇටඑලුණාහු ඈත මෑත එලුණාහු වෙති. යම්සේ නම් ගැඹුරු දියවළෙකැ දියතරු ගැඹුරට ගියාහු යටට පිවිසියාහු දක්නා ලැබෙත් ද, එසෙයින් මැ එ මැ අල්පාහාරතායෙන් මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ගැඹුරට ගියාහු යටට පිවිසියාහු දක්නා ලැබෙති. යම්සේ නම් තිත්තලබු ඵලයක්
තරුණ කල්හි සිඳුනා ලද්දේ වා - අවුයෙන් මිලාන වැ හැකුළුණේ වේ ද, එසෙයින් මැ එ මැ අල්පාහාරතායෙන් මාගේ හිසසිවි මිලාන වැ හැකුළුණේ වෙයි. භාරද්වාජය, ඒ මම ‘කුසැසිවි පරාමර්‍ශ කෙරෙමි’යි පිටකටුව මැ (උදරසිවි හා සමග) ගනිමි. ‘පිටකටුව පිරිමසමි’යි උදරසිවි මැ (පිටකටුව හා සමග) ගනිමි. භාරද්වාජය, එ මැ අල්පාහාරතායෙන් මාගේ උදරසිවි පිටකටුව තාක් ඇලුණේ වෙයි. භාරද්වාජය, මම එ මැ අල්පාහාරතායෙන් ‘මලකිස හෝ මූකිස හෝ කෙරෙමි’යි එහි මැ මුහුණින් වැටෙමි. භාරද්වාජය, මම මෙ මැ කය අස්වසමින් අත්ලෙන් සිරුරු අවයව පිරිමදිමි, භාරද්වාජය, එ මැ අල්පාහාරතායෙන් අතින් ගාත්‍රයන් පිරිමදනා මාගේ කයින් කුණුවූ මුල් ඇති ලෝමයෝ ගිලිහෙති, තවද භාරද්වාජය, මිනිස්සු මා දැක මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කළුපැහැ ඇතියහ”යි, ඇතැම් මිනිස්සු මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කළුපැහැ නො වෙති. ශ්‍රමණ ගෞතමයෝ සම්වන්හ”යි. සමහර මිනිස්සු මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කළුපැහැ නො වෙති, නො ද සම්වන්හ, ශ්‍රමණ ගෞතම මඟුරුපැහැ ඇතියහ”යි. භාරද්වාජය, මාගේ පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිවිපැහැ එ මැ අල්පාහාරතායෙන් එතෙක් නටුයේ වෙයි.
භාරද්වාජය, මට තෙල සිත් වී: අතීතකාලයෙහි යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි ඖපක්‍රමික වූ ත්‍රීව කටුක දුඃඛවේදනා වින්දාහු නම් (එ වේදනාව) මේ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. අනාගතකාලයෙහි දු යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ඖපක්‍රමික වූ ත්‍රීව කටුක දුඃඛවේදනා විදුනාහු නම් මේ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. මෙ කල්හි දු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඖපක්‍රමික වූ ත්‍රීව කටුක දුඃඛවේදනා විඳිත් නම් මේ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. මම වැළිත් මේ කටුක වූ දුෂ්කරක්‍රියායෙන් මනුෂ්‍යධර්‍මයෙන් මතු ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් නො ලබමි. සම්බෝධයට අනෙක් මාර්‍ගයෙක් ඇද්දැ? යි.
භාරද්වාජයෙනි, මට තෙල සිත් වී: “මම වනාහි පිතෘශාක්‍යයන්ගේ කමත්හි සිහිල් දඹසෙවනෙහි හුන්නෙම් කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයා වාස කෙළෙම් දනිම් මැ යැ. තෙල සම්බෝධයට මාර්‍ග වන්නේ දැ? යි. භාරද්වාජය, මට සතානුසාරී (සිහිය අනුව යන) විඥානය පහළ විය. ‘තෙලෙ මැ සම්බෝධයට මාර්‍ග වේ යැ’යි. භාරද්වාජය, මට තෙල සිත් වී: “කිමෙක් ද මම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ යම් සුඛයෙක් වේ නම් ඒ සුඛයට බිය වෙම් දැ?”යි. භාරද්වාජය, එ මට තෙල සිත් වී: “කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ මැ යම් සුඛයෙක් වේ නම් මම ඒ සුඛයට බිය නො වෙම් මැ”යි.
භාරද්වාජය, මට තෙල සිත් වී: “මෙසේ අධිමාත්‍ර කෘශභාවයට ගිය කයින් ඒ සුඛය ලබන්නට සුකර නො වෙයි, මම ඕදනකුම්මාස සඞ්‍ඛ්‍යාත ඕළාරික අහර වළඳනෙම් නම් මනා මැ නු”යි. භාරද්වාජය, මම ඕදනකුම්මාස සඞ්‍ඛ්‍යාත ඕළාරික අහර වැළඳුයෙමි. භාරද්වාජය, එසඳ පස්වග මහණහු ‘මහණ ගොයුම්හු යම් දහමක් අධිගම කෙරෙත් ද, එ දහම අපට පවසතී’ මට උවැටන් කළාහු වෙති. භාරද්වාජය, යම් දිනෙකැ මම බත්කොමුපිඬු සඞ්‍ඛ්‍යාත ඕළාරික අහර වැළඳුයෙම් ද, එකල ඒ පස්වග මහණහු මට කළකිරී නික්ම ගියහ. “මහණ ගොයුම්හු බාහුලිකයහ, ප්‍රධනින් ගිලිහුණහ, ප්‍රත්‍යය බාහුල්‍යයට වැටුණහ” යි කියා යි.
භාරද්වාජය, ඒ මම ඕළාරික අහර වළඳා කායබල ගෙන කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යාන උපයාගෙන විසීමි, විතර්‍කවිචාරයන් ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීය ධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා ගෙන විසිමී.
මම මෙසේ සමාහිතචිත්තය පරිශුද්ධ වැ පර්‍ය්‍යවදාත වැ අනඞ්ගණ වැ විගතෝපක්ලේශ වැ මෘදු වැ කර්‍මණ්‍ය වැ ස්ථිත වැ නිශ්චලප්‍රාප්ත වැ සිටි කල්හි ඒ සිත පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස නතු කෙළෙමි. මම අනේකවිධ පූර්වේනිවාසය සිහි කරමි. ඒ කෙසේ යැ යත්: එක් ජාතියකුදු, දෙජාතියකුදු ... මෙසේ සාකාර සොද්දේශ අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙමි, භාරද්වාජය, මා විසින් රැය පළමු යම්හි මේ පළමු විද්‍යාව අධිගත යැ, අවිද්‍යා විහත වූ විද්‍යා උපන, තමස විහත විය, ආලොකය උපන, අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ කායජීවිත නිරපේක්‍ෂක වැ වසනුවක්හට යම්සේ වේ ද එසෙයිනි.
මෙසේ මම පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මෘදුභූත කර්‍මක්‍ෂම ස්ථිත නිශ්චලප්‍රාප්ත සමාධිගත චිත්තය ඇති වත් මැ එ සිත සත්ත්‍වයන්ගේ චුතූපපාතඤාණය පිණිස නතු කෙළෙමි. මම පිරිසුදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි ගිය සතුන් දන්මි ... භාරද්වාජය, මා විසින් රැය මැදුම් යමැ මේ දෙවන විද්‍යා අධිගත වූ අවිද්‍යා විහත වූ, විද්‍යා උපන, තමස විහත වී, ආලෝක උපන. අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන යෝගාවචරයක්හට යම්සේ වේ ද, එසෙයිනි.
මෙසේ මම සමාහිත සිත පිරිසුදු වැ ප්‍රභාස්වර වැ නිරඞ්ගණ වැ පහවූ උපක්ලේශ ඇති ව මොළොක් වැ කර්‍මණ්‍ය වැ ස්ථිත වැ නිසල බවට පැමිණි සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙළෙමි, මම ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දත්මි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් යැ’යි ඇති සැටියෙන් දත්මි. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දත්මි ... ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත් යැ’යි ඇති සැටියෙන් දත්මි. මෙසේ දන්නා මෙසේ දක්නා මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණ. සිත භවාස්‍රවයෙනුදු මිදිණ. සිත අවිද්‍යාස්‍රවයෙනුදු මිදිණ. මිදුත් මැ ‘මිදිණැ’යි නුවණ විය. ජාති ක්‍ෂීණ වූ, බඹසරවස් වැස නිමවන ලද, කරණී කරනලදි. මේ රහත් බවට අන්කිසෙක් නැතැ’යි දතිමි. භාරද්වාජය, මා විසින් රැය පැසුළු යමැ මේ තුන් වන විද්‍යා අධිගත යැ. අවිද්‍යා විහත වූ යැ, විද්‍යා උපන, තමස විහත වී, ආලොකය, උපන. නො පමාව කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන යෝගාවචරයක්හට යම්සේ වේ ද එසෙයිනි.
මෙසේ වදාළ කල්හි සඞ්ගාරව මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ: “භවත් ගෞතමයන් වහන්සේගේ අස්ථිත (නො සිටී) ප්‍රධානයෙක් මැ විය, භවත් ගෞතමයන් වහන්සේගේ සත්පුරුෂ ප්‍රදහනයෙක් මැ වී. අර්‍හත් සම්‍යක්සබුද්ධයක්හට යම්සේ ද එසෙයිනි”.
කිම භවත් ගොයුම්ගොතුවෙනි, දෙවියෝ ඇද්දැ? යි. භාරද්වාජය, ‘දෙවියෝ ඇද්ද, යන යමක් වේ ද, තෙල මා විසින් කරුණු විසින් දන්නා ලද’.
කිම භවත් ගෞතමයන් වහන්ස, ‘දෙවියෝ ඇද්දැ’යි පුළුවුස්නා ලද්දාහු “භාරද්වාජය, ‘දෙවියෝ ඇද්ද?’ යන යමක් වේ ද තෙල කරුණ මා විසින් කරුණු විසින් දන්නාලදැ”යි කියව, භවත් ගෞතමයෙනි, මෙසේ ඇති කල්හි සිස් මුසවා නො මැ වේ නු? යි.
භාරද්වාජය, ‘දෙවියෝ ඇද්දැ’ යි පුළුවුස්නාලද යමෙක් ‘දෙවියෝ ඇතැ’යි කියන්නේ ද, යමෙක් ‘මා විසින් කරුණු හෙයින් දන්නාලදැ’යි කියන්නේ ද, එසඳ මෙහි නුවණැති පුරුෂයක්හු විසින් ‘දෙවියෝ ඇත’ යන මෙ කරුණ ඒකාන්තයෙන් නිෂ්ඨාවට යා යුතු යැ.
කුමක් හෙයින් මට භවත් ගෞතමයෝ මුලදී මැ ප්‍රකාශ නො කළාහු දැ? යි.
භාරද්වාජය, ලෝකයෙහි ‘දෙවියෝ ඇද්ද’ යන යමක් වේ ද තෙල කරුණ උස්හඬින් සම්මත යැ’ යි.
මෙසේ වදාළ කල්හි සඞ්ගාරව මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ, භවත්ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යි. යම්සේ භවත් ගොයුම් ගොතුවෙනි, යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ ද, මං මුළා වූවක්හට මග කියන්නේ ද, ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එ පරිදි මැ භවත් ගෞතමයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසනලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි, දහම් හා සඟුන් හා සරණ කොට යෙමි, භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.
දස වැනි සඞ්ගාරවසුත්‍ර යි.
පස් වැනි බ්‍රාහ්මණවර්‍ග යි
ඒ වර්‍ගයෙහි උද්දානය:
බ්‍රහ්මායු සූත්‍ර යැ සේල සූත්‍ර යැ අස්සලායන සූත්‍ර යැ ඝෝටමුඛ සූත්‍ර යැ චඞ්කී සූත්‍ර යැ එසුකාරී සූත්‍ර යැ ධනඤ්ජානි සූත්‍ර යැ වාසෙට්ඨ සූත්‍ර යැ සුභ සූත්‍ර යැ සඞ්ගාරව සූත්‍ර යැ යි
මේ වර්‍ගයන්ගේ උද්දානය:
ගහපතිවර්‍ග යැ භික්ඛූවර්‍ග යැ පරිබ්බාජකවර්‍ග යැ රාජවර්‍ග යැ බ්‍රාහ්මණවර්‍ග යැ යි මජ්ඣිමාගමයෙහි වර්‍ග පසෙකි