(බ්‍රාහ්මණාදි භෙදවත්) මිනිස් සිරුරෙහි වෙන වෙන තෙල (ජාතිමය ලිඞ්ගය) නො පැනේ. මිනිසුන් කෙරෙහි නානාත්‍වය ද ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ.
මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් කෘෂිකර්‍මයෙන් දිවිරක්නේ ද, වාසෙට්ඨයෙනි, මෙසේ හේ “ගොවියෙක, බමුණු නො වේ” යයි දනුව.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් නොයෙක් ශිල්පයෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “ශිල්පියෙක, බමුණු නො වේ” යයි දනුව.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් වෙණදහමින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “වෙළෙඳෙක, බමුණු නො වේ” යයි දනුව.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් පරනට මෙහෙ කිරීමෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “මෙහෙකරුවෙක, බමුණු නො වේ” යයි දනුව.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් අයිනාදනින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “සොරෙක, බමුණු නො වේ” යයි දනුව.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් ආයුධයෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “යෝධාජීව යෙක, බමුණු නො වේ” යයි දනුව.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් පෙරෙවිකමින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “යාජකයෙක, බමුණු නො වේ” යයි දනුව.
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් ගමත් රටත් පරිභෝග කෙරේ ද, මෙසෙයින් හේ “රජෙක, බමුණු නො වේ” යයි දනුව.
මම යෝනිජමාතෘසම්භව මාත්‍රයෙන් ‘බමුණු’යයි නො කියමි. ඉදින් හේ (රාගාදි) පලිබෝධ සහිත වේ නම් ‘භො වාදී’ නම් වෙයි. (රාගාදි) පලිබෝධ නැති ආදාන නැති (ග්‍රහණ හැරපී) ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
යමෙක් ඒකාන්තයෙන් සියලු සංයෝජනයන් සිඳ තෘෂ්ණා නො කෙරේ ද, (රාගාදි) සඞ්ගයන් ඉක්ම ගිය (සතර යෝනියෙන් හා සියලු කෙලෙසුන් කෙරෙන්) වෙන් වූ ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
(බද්ධවෛර සඞ්ඛ්‍යාත) බහන ද (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) වරපට ද (දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන සඞ්ඛ්‍යාත) පාශය ද (දෘෂ්ට්‍යනුශය සඞ්ඛ්‍යාත) ගණ්ඪිය ද සිඳ නඟා හළ (අවිද්‍යා සඞ්ඛ්‍යාත) අගුළු ඇති, චතුස්සත්‍යය අවබෝධ කළ ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
යමෙක් අදුෂ්ට වැ අක්‍රෝශ හා වධ බන්‍ධ සෙහේ ද, ක්‍ෂාන්තිබල ඇති ක්‍ෂාන්ති සඞ්ඛ්‍යාත බල ඇණි ඇති, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
ක්‍රෝධ රහිත වූ ධුතාඞ්ග ඇති ධුතාඞ්ගව්‍රත ඇති, සිල්වත් වූ ගුණවත් වූ (රාගාදි) උත්සද නැති, දාන්ත වූ අන්තිමශරීරධර වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
පොකුරුපත හුන් දිය සෙයින් හිදි අග හුන් හබ සෙයින් යමෙක් කාමයෙහි නො ලැගේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක් දුඃඛය දන්නේ ද, මෙ ඇතබැව මැ තමා ගේ දුඃඛක්‍ෂය දන්නේ ද, බහා තැබූ කෙලෙසේ බර ඇති, සියලු කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
ගැඹුරු අරමුණෙහි පැවැති පැන ඇති ප්‍රකෘති ප්‍රඥායෙන් ප්‍රඥාවත් වූ මාර්‍ගාමාර්‍ග පිළිබඳ කෝවිදයකු වූ උත්තමාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණි ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
ගෙවැසියන් හා ද අනගාරිකයන් හා දැ’යි දෙපස හා නො හැනුණු පඤ්චකාමගුණයෙහි නො ඇලුණු අල්පෙච්ඡ වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
භූත තස ථාවර සත්ත්‍වයන් කෙරෙහි දඬුවම් බහා තබා යමෙක් හිංසා නො කෙරේ ද, ඝාතන නො කෙරේ ද, මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
දඬුගත් වෛරීන් කෙරෙහි අවිරුද්ධ වූ (කලේශනිර්‍වාණයෙන්) නිවුණු උපාදාන සහිතයන් කෙරෙහි අනුපාදාන වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමක්හුගේ රාගද්‍වේෂමාන හා ම්‍රක්‍ෂය ද හිදි අගින් ගිලිහුණු අබැටක් සෙයින් බහා තැබිණි ද ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යම් වචනයෙකින් කිසිවකුත් නො ඝටා ද, කැකුළු නො වූ පෙහෙසුන් නො වූ එ බඳු සත්‍ය වචන බෙණේ නම් මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක් ලෝකයෙහි වැටෙන දීර්‍ඝ වූ ත් භ්‍රස්ව වූ ත් සියුම් වූත් දළ වූ ත් ශුභාශුභ අයිනාදන් නො ගනී ද, මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක්හට මෙලොව්හි දු පරලොව්හි දු ආශාවෝ නැද්ද, තෘෂ්ණා රහිත වූ එහෙයින් මැ විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක්හට තෘෂ්ණාලයයෝ නැද්ද, දැනීම හේතු කොට කථඞ්කථා සඞ්ඛ්‍යාත සැක නැද්ද, අමා තුළට පැමිණි ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
මෙලොවැ යමෙක් පුණ්‍යපාප සඞ්ඛ්‍යාත උභය සඞ්ගය ඉක්ම ගියේ වේ ද, ශෝක රහිත වූ රජස් රහිත වූ ශුද්ධ වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
විමල පරිශුද්ධ චන්‍ද්‍රමණ්ඩලය සෙයින් විප්‍රසන්න වූ (රාගාදීන්) අනාවිල වූ ක්‍ෂය කළ තෘෂ්ණාව හා භවය ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක් විසංවාදකාර්‍ත්‍ථයෙන් පලිපථ වූ දුර්‍ග වූ සංසරණයට කාරණ වූ මෝහය ඉක්ම සිටියේ වේ ද, චතුරෝඝය තරණය කෙළේ නිර්‍වාණ පාරයට ගියේ ධ්‍යාන කරනුයේ නිෂ්තෘෂ්ණා වූයේ විමති නැතියේ උපාදාන වශයෙන් නො ගෙන පිරිනිවියේ වේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක් මෙලොවැ කාම හැර පියා ගිහිගෙයින් නික්මියේ පැවිද්දට පැමිණෙන්නේ වේ ද, ක්‍ෂය කළ කාම හා භව ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක් මෙලොවැ තෘෂ්ණාව පියා ගිහිගෙයින් නික්මියේ පැවිද්දට පැමිණෙන්නේ වේ ද, ක්‍ෂය කළ තෘෂ්ණා හා භව ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
මානුසක පස්කම්ගුණ යෝගය පියා දිව්‍ය පඤ්චකාමගුණ යෝගය ඉක්ම ගියේ වේ ද, මෙසේ සර්‍වයෝග විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
පඤ්චකාමගුණ රතිය හා කුශලභාවනායෙහි අරතිය පියා ශීතිභූත වූ උපධි රහිත වූ සියලු ලොව මැඩසිටුනා වැඩූ වැර ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුතිය දත්තේ වේ ද, සර්‍වප්‍රකාරයෙන් උප්පත්තිය ද දත්තේ වේ ද, නො ලැගුණු මනා ගති ඇති, සිව්සස් දත් ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
දෙවියන් හා ගාන්‍ධර්‍වමනුෂ්‍යයෝ යමක්හුගේ නිෂ්පත්තිය නො දනිත් ද, ක්‍ෂීණාස්‍රව වූ අර්‍හත් වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
අතීතයෙහිත් අනාගතයෙහිත් ප්‍රත්‍යුත්පන්නයෙහිත් යමක්හුගේ කිඤ්චනාඛ්‍ය කෙලෙස් නැද්ද, කිඤ්චන රහිත වූ (කෙලෙස් විසින්) ආදාන රහිත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
ශ්‍රේෂ්ඨ වූ ප්‍රවර වූ වැඩූ වැර ඇති, මහර්ෂී වූ දුනු සඞ්ග්‍රාම ඇති නිෂ්තෘෂ්ණ වූ සෝධා හළ කෙලෙස් ඇති සිව්සස් දත් ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
යමෙක් පූර්‍වනිවාසය දන්නේ ද සවර්‍ගාපාය දෙකත් දක්නේ ද, ඉක්බිති ජාතික්‍ෂයට පැමිණියේ වේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
(නෑසහලේනෑ ආදීන් විසින්) කරනලද නාමගෝත්‍රයෙක් ඇද්ද ලෝකයෙහි තෙල ව්‍යවහාර මාත්‍රයෙකි. දීර්‍ඝරාත්‍රයෙහි අනුශය වශයෙන් බැස සිටි දෘෂ්ටිගතය නො දත නෑයන් විසින් ඒ ඒ තන්හි (ජාත කාලයෙහි) කරනලද (නාමගෝත්‍රය) සමනුඥායෙන් පහළ වූයෙකි. එය නො දන්නාහු ‘ජාතියෙන් බ්‍රාහ්මණයහ’යි කියත්.
ජාතියෙන් බ්‍රාහ්මණ නො වෙයි, ජාතියෙන් අබ්‍රාහ්මණත් නො වෙයි, කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙයි, කර්‍මයෙන් අබ්‍රාහ්මණත් වෙයි.
(කෘෂිකර්‍මාදිය නිපයන චේතනා) කර්‍මයෙන් කර්‍ෂක වෙයි, කර්‍මයෙන් ශිල්පික වෙයි, කර්‍මයෙන් වාණිජ වෙයි, කර්‍මයෙන් ප්‍රෙෂ්‍යක වෙයි.
කර්‍මයෙන් චෞර වෙයි, කර්‍මයෙන් යෝධාජීව ද වෙයි, කර්‍මයෙන් යාජක (යාග කරනු) වෙයි, කර්‍මයෙන් රජත් වෙයි.
මෙසේ ප්‍රතීත්‍යසමුත්පාදය දක්නා කර්‍මවිපාකඥානයෙහි කෝවිද වූ පණ්ඩිතයෝ තෙල යථාභූත කර්‍මාර්‍ත්‍ථය දක්නාහ.
ලෝකය කර්‍මයෙන් වැටේ. ප්‍රජාව කර්‍මයෙන් වැටෙයි. යන රථයක්හුගේ අකුරග ඇණය සෙයින් සත්ත්‍වයෝ කර්‍මය නිබන්‍ධන කොට ඇත්තාහ.
ධුතාඞ්ග තපසිනුදු මෛථුන විරතියෙනුදු ශීලයෙනුදු ඉන්‍ද්‍රියදමනයෙනුදු මෙසේ මෙයින් බ්‍රාහ්මණ වේ. තෙල කර්‍මය උතුම් බ්‍රාහ්මණභාව එළවන ගුණ යි.
ත්‍රිවිද්‍යායෙන් සමෘද්ධ වූ සන්හුන් කෙලෙස් ඇති ක්‍ෂය කළ පුනර්‍භවය ඇති යමෙක් වේ ද, ඔහු වාසෙට්ඨය, මෙසේ ‘බ්‍රහ්මයහ’යි ද ‘ශක්‍රයහ’යි ද නුවණැතියන්ගේ බසින් දනුව.
මෙසේ වදාළ කළ ‘වාසෙට්ඨ’ යැ ‘භාරද්වාජ’යැ යන දෙමණෙවුහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ බඳුනක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ වේ ද, මංමුළාවූවක්හට හෝ මාර්‍ගය කියන්නේ වේ ද, “ඇස් ඇත්තෝ රූප දක්නාහ” යි අඳුරෙහි හෝ තෙල්පහනක් ධරන්නේ වේ ද, එපරිදි මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් දහම් දෙසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට අප ප්‍රාණොපේත සරණ ගිය උපාසකයන් කොට ධරත්වා.
අට වැනි වාසෙට්ඨසූත්‍ර යි.
2. 5. 9.
සුභ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි අප බුදුහු සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි තෝදෙය්‍ය බමුණුහුගේ පුත් සුභ මණෙවු කිසි කටයුත්තෙකින් සැවැත්නුවර එක්තරා ගෘහපතියක්හුගේ නිවෙස්නෙහි වෙසෙයි. එසඳ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව යම් ගැහැවියක්හුගේ නිවෙස්නෙහි වෙසේ ද, එ ගැහැවිහට තෙල කී: “ගැහැවියෙනි, සැවැත්නුවර රහතුන්ගෙන් වෙන් නොවේ” යන තෙල බස මා විසින් අසන ලද. අද කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්‍ය්‍යුපාසන කරමෝ දැ?” යි.
“ස්වාමීනි, මේ භගවත්හු සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරව” යි.
එසඳ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව ඒ ගැහැවිහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු කාලාන්තර යෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල් සැල කෙළේ:
“භවත් ගෞතමයෙනි, බමුණෝ මෙසේ කීහු: ගෘහස්ථ තෙමේ අනවද්‍ය න්‍යාය (කාරණ) ධර්‍මය පුරන්නේ වෙයි, ප්‍රව්‍රජිත තෙමේ අනවද්‍ය න්‍යාය ධර්‍මය පුරන්නේ නො වේ” යයි. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ?” යි.
මාණවකය, මම මෙහි දී විභජ්ජවාදයෙමි. මම මෙහි දී ඒකාන්තවාද නො වෙමි. මාණවකය, මම ගිහියක්හුගේ වේවයි, පැවිද්දක්හුගේ වේවයි, මිථ්‍යාප්‍රතිපත් නො වනමි. මාණවකය, ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි, වරදවා පිළිපන්නේ වරදවා පිළිපැදීම හේතු කොට ගෙන් අනවද්‍ය වූ කාරණ ධර්‍මය සපයන්නේ නො වේ. මාණවකය, මම ගිහියකුගේ වේවයි, පැවිද්දකුගේ වේවයි, මනා පිළිවෙත වනමි. මාණවකය, ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි මොනොවට පිළිපන්නේ මොනොවට පිළිපැදීම් හේතුයෙන් අනවද්‍ය වූ න්‍යායධර්‍මය සපයන්නේ වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහු: “බොහෝ වූ (මෙහෙකරුවන් විසින් හෝ උවරණ විසින්) අර්‍ත්‍ථ ඇති මහත් වූ නාමග්‍රහණාදි කිස ඇති මහත්වූ අධිකාර ඇති මහත් වූ (පීඩා සඞ්ඛ්‍යාත) සමාරම්භ ඇති මේ ගෘහාවාස කර්‍මය මහත්ඵල වෙයි. අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්ප සමාරම්භ ඇති මේ ප්‍රව්‍රජ්‍යාකර්‍මය අල්පඵල වේ ය කියා යි. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරනසේක් ද?
මාණවකය, මම මෙහි දු විභජ්ජවාදයෙමි. මම මෙහි ඒකාන්තවාද නො වෙමි. මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකාර ඇති මහාසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් වනසට යන්නේ අල්පඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ඇත. මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකාර ඇති මහාසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් සම්පාදන කරනුලබනුයේ මහත්ඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත. මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්ප කෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්පසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් වැනසෙනුයේ අල්පඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත. මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්ප කෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්පසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් මහත්ඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත.
මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් වනසට යන්නේ අල්පඵල වේ ද යත්: මාණවකය, කෘෂිකර්‍මාන්තය මහාර්‍ත්‍ථ වූයේ මහාකෘත්‍ය වූයේ මහාධිකරණ ඇත්තේ මහාසමාරම්භ ඇත්තේ වනසට යන්නේ අල්පඵල වෙයි.
මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද යත්: මාණවකය, කෘෂිකර්‍මාන්තය මැ මහාර්‍ත්‍ථ වූයේ මහාකෘත්‍ය වූයේ මහාධිකරණ ඇත්තේ මහාසමාරම්භ ඇත්තේ සමෘද්ධ වනුයේ මහත්ඵල වෙයි.
මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් වනසට යනුයේ අල්පඵල වේ ද යත්: මාණවකය, වෙණෙදහම් කර්‍මාන්තය අල්පාර්‍ත්‍ථ වූයේ අල්පකෘත්‍ය වූයේ අල්පාධිකරණ ඇතියේ අල්පසමාරම්භ ඇතියේ වනසට යන්නේ අල්පඵල වෙයි.
මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද යත්: මාණවකය, වෙණෙදහම් කර්‍මාන්තය මැ අල්පාර්‍ත්‍ථ වූයේ අල්පකෘත්‍ය වූයේ අල්පාධිකරණ ඇතියේ අල්පසමාරම්භ ඇතියේ සමෘද්ධ වන්නේ මහත්ඵල වෙයි.
මාණවකය, යම්සේ මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කෘෂිකර්‍මාන්තය වැනැසෙනුයේ අල්පඵල වේ ද, එසෙයින් මැ මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති ගෘහවාසකර්‍මය වැනැසෙනුයේ අල්පඵල වෙයි.
මාණවකය, යම්සේ මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කෘෂිකර්‍මය මැ සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද, එසෙයින් මැ මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති ගෘහවාසකර්‍මය සමෘද්ධ වන්නේ මහත්ඵල වෙයි.
මාණවකය, යම්සේ අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති වෙණෙදහම් කර්‍මස්ථානය නස්නේ අල්පඵල වේ ද, එසෙයින් මැ මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති ප්‍රව්‍රජ්‍යාකර්‍මය නස්නේ අල්පඵල වෙයි.
මාණවකය, යම්සේ අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති වෙණෙදහම් කර්‍මය මැ සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද, එසෙයින් මැ මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති ප්‍රව්‍රජ්‍යාකර්‍මය සමෘද්ධ වන්නේ මහත්ඵල වේ යයි.
භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට පස්දහමක් පනවති’යි.
මාණවකය, යම් බ්‍රාහ්මණ කෙනෙක් පින් කිරීමට කුසල් සැපයීමට පස්දහමක් පනවත් ද, ඉදින් තොපට නො බැරි වේ නම් එ පස්දහම් මෙ පිරිස්හි කියව’යි.
භවත් ගෞතමයන් වහන්ස, යම් තැනෙක භවත්හු වෙත්වයි භවතුන් බඳුහු වෙත්වයි හුන්නාහු ද, එහි මට බැරි නො වේ යයි.
එසේ වී නම් මාණවකය, කියව’යි.
භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට වාක්සත්‍ය පළමු වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට තපස දෙවන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කරනුවට කුසල් සපයනුවට බ්‍රහ්මචර්‍ය්‍ය තුන්වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට වේද හැදෑරීම සතර වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට ත්‍යාගය පස් වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට මෙපස් දහමුන් පනවති. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරනසේක් දැ? යි.
කිම මාණවකය, බමුණන් කෙරෙහි යමෙක් ‘මම මෙ පස්දහමුන් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක ප්‍රකාශ කෙරෙමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද බමුණෙක් ඇද්දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.
කිම මාණවකය, බමුණන් කෙරෙහි යමෙක් ‘මම මේ පස්දහමුන් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක ප්‍රකාශ කෙරෙමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාච්‍රාර්‍ය්‍යයෙක් සත් වැනි ආචරියමහයුගය තෙක් ඇද්දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.
කිම මාණවකය, බමුණන්ගේ මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍ර ප්‍රවකර්‍තෘ වූ යම් ඒ පූර්‍ව ඍෂි කෙනෙක් ඇද්ද, මෙ කල්හි බමුණෝ යම් කෙනකුන් විසින් හදාළ වාචනා කළ සංහිතා (පිඬු) කළ පැරැණි වේද සඞ්ඛ්‍යාත මන්ත්‍රපදය ඔවුන් අනුව ගයත් ද, ඔවුන් අනුව කියත් ද, කියූ සේ කියත් ද, වාචනා කළ සේ වාචනා කෙරෙත් ද, ඔහු කවරහ යත්: අට්ටක යැ වාමක යැ වාමදෙව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගිරස් යැ භාරද්වාජ යැ වාසිෂ්ට යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහු දු ‘අපි මෙ පස්කරුණු තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක පවසම්’යි මෙසේ කීහු ද?
භවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.
මාණවකය, මෙසෙයින් බමුණන් කෙරෙහි යමෙක් ‘මම මෙ පස්දහම් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට විපාක පවසමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද බමුණෙක් නැත් ල, බමුණන් කෙරෙහි ‘මම මෙ පස්දහම් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට විපාක පවසමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාච්‍රාර්‍ය්‍යයෙක් සත් වැනි ආචරියමහයුගය තෙක් නැත් ල, මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍රප්‍රවකර්‍තෘ වූ බමුණන් ගේ යම් පූර්‍ව ඍෂි කෙනෙක් වූහු ද, මෙ කල්හි බමුණෝ යම් කෙනෙකුන් විසින් ගයනලද, කියනලද රැස් කරනලද පැරැණි මන්ත්‍රපද ඒ අනුව ගයත් ද, අනුව කියත් ද, කියනලද්ද අනුව කියත් ද වාචනා කරනලද්ද අනුව වාචනා කෙරෙද්ද ඔහු කවරහ යත්: ‘අට්ටක යැ වාමක යැ වාමදේව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගිරස් යැ භාරද්වාජ යැ වාසිෂ්ට යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහු දු ‘අපි මෙ පස්කරුණු තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක පවසම්’යි මෙසේ කීහු ද?
භවත් ගෞතමයන් වහන්ස, තෙල නො වේ මැ යි.
මාණවකය, යම්සේ සංසක්ත වූ අන්‍ධවේණියෙක් ඇද්ද එහි ප්‍රථමයාත් නො දකී ද මධ්‍යමයාත් නො දකී ද පශ්චිමයාත් නො දකී ද, එසෙයින් මැ මාණවකය, බමුණන්ගේ ‘ප්‍රථමයාත් නො දකී ද, මධ්‍යමයාත් නො දකී ද, පශ්චිමයාත් නො දකී’ යන භාෂිතය ‘අන්‍ධවේණුපමාව සපයතී’ සිතමි.
මෙසේ වදාළ කල්හි තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ විසින් අන්‍ධවේණූපමායෙන් කියනුලබන්නේ කිපියේ නො සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේට මැ බුංසන කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේට මැ ගර්‍හා කෙරෙමින් ශ්‍රමණ ගෞතම නො දන්නා බවට පමුණුවන ලද්දේ වනැ’යි භාග්‍යවතුන් වහන්සේට මැ කියමින් භාග්‍යවතුන් වහන්සේට තෙල් කරුණ කී: ‘භවත් ගෞතමයෙනි, උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනයට ඊශ්වර වූ පොක්ඛරසාති බ්‍රාහ්මණ මෙසේ කියයි: “මෙසෙයින් මැ ඇතැම් මහණබමුණෝ මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනය පිළින කෙරෙති”. උන්ගේ මේ භාෂිතය හාස්‍ය මැ උපදවයි, ලාමක බව මැ උපදවයි, නිස්සාරභාවය මැ උපදවයි, සිස් බව මැ උපදවයි. කෙසේ නම් මනුෂ්‍ය වූයෙක් මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාව කරණයට සමත් ඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ වේ ද, තෙල කරුණ විද්‍යාමාන නො වේ’ යයි.
කිම මාණවකය, උපමඤ්ඤ ගොත් ඇති සුහගවනයට ඊශ්වර වූ පොක්ඛරසාති බමුණු හැම මහණබමුණන්ගේ මැ සිය සිතින් උන් සිත පිරිසිඳ දන්නේ වේ දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනාධිපති පොක්ඛරසාති බමුණු සිය පුණ්ණකා දැස්සගේ වුව ද සිය සිතින් ඇය සිත පිරිසිඳ නො දන්නේ යැ. කොයින් නම් හැම මහණබමුණන්ගේ මැ සිත සිය සිතින් පිරිසිඳ දන්නේ වේ දැ? යි.
මාණවකය, යම් පරිදි ජාත්‍යන්‍ධ පුරුෂයෙක් කළුසුදු රූපායතන නො දක්නේ වේ ද, නිල්වන් රූපායතන නො දක්නේ වේ ද, පීත රූපායතන නො දක්නේ වේ ද, ලෙහෙවන් රූපායතන නො දක්නේ වේ ද, මඳට වන් රූපායතන නො දක්නේ වේ ද, සමවිෂම ස්ථාන නො දක්නේ වේ ද, තාරකරූප නො දක්නේ වේ ද, සඳහිරු නො දක්නේ වේ ද, (එහෙත්) හේ මෙසේ බෙණේ ද: “සුදුකළු රූපායතන නැත, සුදුකළු රූපායතන දක්නාසුල්ලෙක් නැත, නිල්වන් රූපායතන නැත, නිල්වන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, පීතවර්‍ණ රූපායතන නැත, පීතවර්‍ණ රූපායතන දක්නාසුල්ලෙක් නැත, ලෙහෙවන් රූපායතන නැත, ලෙහෙවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, මඳටවන් රූපායතන නැත, මඳටවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත. සමවිෂම ස්ථාන නැත, සමවිෂමස්ථාන දක්නාසුල්ලෙක් නැත, සඳහිරු නැත, සඳහිරු දක්නාසුල්ලෙක් නැත. ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි බෙණේ ද, මාණවකය, මෙසේ බණන හෙතෙම මැනැවක් බණනේත් වේ ද?
භවත් ගෞතමයන් වහන්ස, මැනැවක් නො බණන්නේ මැ යැ. කෘෂ්ණශුක්ල රූපායතන ඇත, කෘෂ්ණශුක්ල රූපායතන දක්නෙක් ඇත, නීල රූපායතන ඇත, නීලරූපායතන දක්නෙක් ඇත, පීතරූපායතන ඇත, පීතරූපායතන දක්නෙක් ඇත, රක්තරූපායතන ඇත, රක්තරූපායතන දක්නෙක් ඇත, මාඤ්ජිෂ්ටරූපායතන ඇත, මාඤ්ජිෂ්ටරූපායතන දක්නෙක් ඇත, සමවිෂමඥාන ඇත, සමවිෂමඥාන දක්නෙක් ඇත, තාරකරූප ඇත, තාරකරූප දක්නෙක් ඇත, චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ ඇත, චන්‍ද්‍රසූර්‍ය්‍යයන් දක්නෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, මොනොවට බණන්නෙක් ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි නො කියන්නේ මැයි.
මාණවකය, එපරිදි මැ උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනයට ස්වාමී වූ පොක්ඛරසාති බමුණු අන්‍ධ යැ අචක්ඛුක යැ. හේ මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.
මාණවකය, ඒ කෙසේ හඟිහි? යම් ඒ කොසොල්රට වැසි බමුණුමහසල්කුලෝ ඇද්ද, ඔහු කවරහ යත්: ‘චඞ්කී බ්‍රාහ්මණ යැ, තාරුක්ඛ බ්‍රාහ්මණ යැ, පොක්ඛරසාති බ්‍රාහ්මණ යැ, තාගේ පිය වූ තෝදෙය්‍ය බ්‍රාහ්මණ හෝ යි. ඔහු සම්මුතියෙන් (ලෝකව්‍යවහාරයෙන්) යම් බසක් හෝ බෙණෙත් ද, අසම්මුතියෙන් යම් බසක් හෝ බෙණෙත් ද, උන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?’
භවත් ගෞතමයන් වහන්ස, සම්මුතියෙන් බණන බස යි.
ඔහු තුලනා කොට යම් බසක් හෝ බෙණෙත් ද, තුලනා නො කොට යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?
භවත් ගෞතමයන් වහන්ස, තුලනා කොට බණන බස යි.
ඔහු නුවණින් දැන යම් බසක් හෝ බෙණෙත් ද, නුවණින් නො දැන යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?
භවත් ගෞතමයන් වහන්ස, නුවණින් දැන බණන බස යි.
ඔහු අර්‍ත්‍ථසංහිත වූ යම් බසක් හෝ බෙණෙත් ද, අනර්‍ත්‍ථසංහිත වූ යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?
භවත් ගෞතමයන් වහන්ස, අර්‍ත්‍ථසංහිත කොට බණන බස යි.
මාණවකය, ඒ කෙසේ හඟිහි? ඉදින් මෙසේ වත් මැ උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනයට අධිපති වූ පොක්ඛරසාති බමුණු විසින් සම්මුතියෙන් බස බැණිණි ද, අසම්මුතියෙන් හෝ බැණිණි දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, අසම්මුතියෙන් බස් බැණිණ.
තුලනා කොට බස් බැණිණි ද, තුලනා නො කොට හෝ බැණිණි දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, තුලනා නො කොට බස් බැණිණ.
නුවණින් දැන බස් බැණිණි ද, නුවණින් නො දැන බස් බැණිණි දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, නුවණින් නො දැන බස් බැණිණ.
අර්‍ත්‍ථසංහිත වූ බස් බැණිණි ද, අනර්‍ත්‍ථසංහිත වූ හෝ බස් බැණිණි දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, අනර්‍ත්‍ථසංහිත බස් බැණිණ.