භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යැ.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් දැසිකම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි දැසිකම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ දැසිකම්කරුපුරිස් හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබා ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් නෑසාලේනෑ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි නෑසාලේනෑ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ නෑසාලේනෑයෝ හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් අතිථින් (ආගන්තුකයන්) ගේ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි අතිථින්ගේ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ අතිථිහු හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ පූර්‍වප්‍රේතයෝ හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ දෙවියෝ හෝ “තෙලෙ අපහේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් රජු හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන්‍ද නිරයට අදනාහු නම් හේ “මම වනාහි රජු නිසා අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලැබේ ද? ඔහුගේ රජ හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබේ ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. එතෙකුදුවත් වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරැපල්හු නිරයෙහි බහත්.
ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එකෙක් කය පිනවීම වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් තුලුහු නිරයට අදනාහු නම් හේ “මම වනාහි කය පිනවීම වැඩීම හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? පරහු හෝ “තෙලෙ වනාහි කය පිනවීම වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නෙකි. වැළිත් නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? යමෙක් මව්පියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ මව්පියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, කුමක් ශ්‍රේෂ්ඨ වේ ද?
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මව්පියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වේ. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මව්පියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් මව්පියන් පුස්නට හැකි වේ ද, පව්කම්කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ පුත්‍රදාර හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි පුත්‍රදාර හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් පුත්‍රදාරයන් පුස්නට හැකි වේ ද, පව්කම්කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, අන්‍ය එ බඳු සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් හෝ දස්කම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ දස්කම්කරුපුරිස් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් දස්කම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි දස්කම්කරුපුරිස් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
ධනඤ්ජානියෙනි, දස්කම්කරුපුරිස් පුස්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, අන්‍ය එ බඳු සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් හෝ මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ මිත්‍රාමාත්‍ය හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි මිත්‍රාමාත්‍ය හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි ඒ මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් මිත්‍රාමාත්‍යයන්ගේත් මිත්‍රාමාත්‍ය කරණී කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූත් සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වේ ද, යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් නෑසාලේනෑයන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, එය මැ මෙහි ශ්‍රේෂ්ඨ වෙයි, භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් නෑසාලේනෑයන් ගේ නෑසාලේනෑකරණී කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූ ත් සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? අතිථින් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වේ ද, යමෙක් අතිථින් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී හෝ වේ ද, එහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් අතිථින් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් අතිථින් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් අතිථින්ගේ අතිථිකරණීත් කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො ද හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වන්නේ යැ, යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වන්නේ යැ, කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වන හෙයිනි.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් පූර්‍වප්‍රේතයන්ගේ පූර්‍වප්‍රේතකරණී ත් කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍ය ප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් දෙවියන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වන්නේ යැ, යමෙක් දෙවියන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වන්නේ යැ, කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් දෙවියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් දෙවියන්ගේ දේවකරණී කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් රජු හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වන්නේ යැ, යමෙක් රජු හේතු කොට ධර්‍මචාරී සමචාරී හෝ වන්නේ යැ. කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් රජු හේතු කොට අධර්‍මචාරී විෂමචාරී හෝ වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් රජු හේතු කොට ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් රජුගේ රාජකරණී කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වන්නේ යැ, යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී හෝ වන්නේ යැ. කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.
ධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් කය පිනවන්නට වඩන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත.
එසඳ ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී බැස ගියේ.
ඉක්බිති ධනඤ්ජානි බමුණු මෑත භාගයෙහි ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් ඇති වී. එසඳ ධනඤ්ජානි බ්‍රාහ්මණ එක්තරා පුරුෂයකු ඇමැතී: “එම්බා පුරුෂය, එව තෙපි භාග්‍යවතුන් කරා එළඹෙව. එළඹ මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟළ සිරසින් වඳුව, ‘වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ භාග්‍යවතුන්ගේ පාසඟළ සිරසින් වඳී’යයි වඳුව. ‘වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ දෙපා සිරසින් වඳී’යයි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ ද පසඟුළු සිරසින් වඳුව. මෙසේත් කියව: ‘වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා අනුකම්පා පිණිස එළඹෙනසේක්ව”යි.
‘එසේ යැ වහන්සැ’ යි එ පුරිස් ධනඤ්ජානි බමුණුහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් එ පුරිස් භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟුළුවන් සිරසින් වඳී” යයි. ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා ද එළැඹියේ, එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස් වැ හින්. එකත්පස් වැ හුන් එ පුරිස් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල් කී: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ගේ පසඟුළු සිරසින් වඳී, මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා එළැඹෙන සේක්ව”යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවැසූහ.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ හැඳපෙරෙවැ පාසිවුරු ගෙන ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන්හු. වැඩහිඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණුහට තෙල කී: “ධනඤ්ජානියෙනි, කිම තොපට සහනු හැකි ද? කිම යැපෙනු හැකි ද? කිම දුක් වේදනාවෝ බැස යෙත් ද? නො වැඩෙත් ද? වැඩීම නො වැ සන්හිඳීම පැනේ දැ?”යි.
භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මාගේ දැඩි දුඃඛවේදනාවෝ වැඩී යෙත්, බැස නො යෙත්. වැඩුම පැනෙයි, බැසයනු නො පැනෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් තියුණු සිරියෙකින් මුදුන අළලන්නේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ අධිමාත්‍ර වාතවේදනාවෝ මාගේ මුදුන පහරත්. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක, නො යැපිය හැක්ක. මා ගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟීයෙත්, නො ගිලිහෙත්. නැඟීයනු පැනේ, බැසයනු නො පැනේ.
භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් දළ වරබහනින් හිසෙහි හිස්වෙළුම් බඳනේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ හිසෙහි අධිමාත්‍ර ශිරෝවේදනාවෝ වෙති. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක, නො යැපිය හැක්ක. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟීයෙත්, නො සන්හිඳෙත්, නැඟයනු පැනේ, බැසයනු නො පැනේ.
භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතවැසියෙක් හෝ තියුණු වූ ගෙරි කපන කැත්තෙන් කුස විවර කොට කපන්නේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ අධිමාත්‍ර වාතවේදනාවෝ මා කුස සිඳිත්, භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මාගේ දෘඪ දුඃඛවේදනාවෝ නැඟීයෙත්, බැස නො යෙත්, නැඟයනු පැනේ, ගැලයනු නො පැනේ.
භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වලතර පුරුෂයකු දෙඅත් ගෙන අඞ්ගාරකර්ෂියෙහි තවන්නාහු ද මොනොවට තවන්නාහු ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ මාගේ කයෙහි අතිමාත්‍ර දාහය වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මා ගේ දෘඪ දුඃඛවේදනාවෝ නැඟයෙත්, බැස නො යෙත්, නැඟයනු පැනේ, බැසයනු නො පැනේ.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? නිරය හෝ තිරිසන් යෝනි හෝ කුමක් ශ්‍රේෂ්ඨ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, නිරයට වඩා තිරිසන්යෝනිය ශ්‍රේෂ්ඨ වෙයි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? තිරිසන් යෝනි හෝ ප්‍රේතවිෂය හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, තිරිසන්යෝනට වඩා ප්‍රේතවිෂය ශ්‍රේෂ්ඨ වෙයි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? ප්‍රේතවිෂය හෝ මිනිස්බව හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, ප්‍රේතවිෂයට වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මිනිස්සු හෝ සියමහරදවැසි දෙවියෝ හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, මිනිසුනට වඩා සියමහරදවැසි දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, චතුර්‍මමහාරාඡික දෙවියෝ හෝ තාවතිංස දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, චාතුම්මහාරාජික දෙවියනට වඩා තාවතිංස දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද? තාවතිංස දෙවියෝ හෝ යාම දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, තාවතිංස දෙවියනට වඩා යාම දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, යාම දෙවියෝ හෝ තුෂිත දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, යාම දෙවියනට වඩා තුෂිත දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, තුෂිත දෙවියෝ හෝ නිම්මානරති දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, තුෂිත දෙවියනට වඩා නිම්මානරති දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, නිර්‍මාණරතී දෙවියෝ හෝ පරනිම්මිතවසවත්ති දෙවියෝ හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍රයෙනි, නිර්‍මාණරති දෙවියනට වඩා පරනිර්මිතවශවර්ති දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, පරනිර්මිතවශවර්ති දෙවියෝ හෝ බ්‍රහ්මලෝකය හෝ දැ? යි.
භවත් ශාරිපුත්‍ර තෙමේ බ්‍රහ්මලෝකය යි කියයි, භවත් ශාරිපුත්‍ර තෙමේ බ්‍රහ්මලෝකය යි කියයි.
එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්හට තෙල සිත්වී: “මේ බමුණෝ නම් බ්‍රහ්මලෝකාධිමුක්තයහ, මම ධනඤ්ජානි බමුණුහට බ්‍රහ්මයන් හා එක්ව විසීම සඳහා මඟ දෙසම් නම් මනා මැ නු”යි. ධනඤ්ජානියෙනි, තොපට බ්‍රහ්මයා හා එක්ව විසීම සඳහා මඟ දෙසමි. ඒ අසව. මොනොවට මෙනෙහි කරව. කියමි යි. ‘භවත්නි, එසේ යැ’යි ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්හට පිළිවදන් දුන්.
ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල් කීහු: “ධනඤ්ජානියෙනි, බ්‍රහ්මයන් හා සහවාසය කවරේ යැ? ධනඤ්ජානියෙනි, මෙ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ. තුන්වන දිග ද එසේ යැ, සතරවන දිග ද එසේ යැ. මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කෙරෙයි. ධනඤ්ජානියෙනි, මේ ද බ්‍රහ්මයන්ගේ සහභාවය සඳහා මාර්‍ග යි.
තවද ධනඤ්ජානියෙනි, අන් මඟක් කියමි, මහණ කුළුණු සහගිය සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිහින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ, තෙවන දිග ද එසේ යැ, සිව්වන දිග ද එසේ යැ. මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් පැහැසගෙන වාස කෙරෙයි. ධනඤ්ජානියෙනි, මේ ද බ්‍රහ්මයන් හා සහභාවය සඳහා මාර්‍ග යි.
භවත් ශාරිපුත්‍රයෙනි, එහෙයින් මා බසින් භගවත්හුගේ පාදයන් හිසින් වඳුව: “වහන්ස, ධනඤ්ජානි බමුණු අබාධිත යැ දුඃඛිත යැ දැඩිගිලන. හේ භගවත්හුගේ පසන්ගුළුවන් හිසින් වඳී” යයි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හින බ්‍රහ්මලෝකයෙහි පිහිටුවා හුනස්නෙන් නැඟී වැඩියෝ
එසඳ ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වැඩි නොබෝ වේලෙහි කලුරිය කෙළේ. බඹලෝ ගියේ ද වී.
එසඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූ සේක: “මහණෙනි, තෙල සැරියුත් ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හුනු බඹලොව පිහිටුවා හුනස්නෙන් නැඟී ගියේ යැ”යි වදාළෝ.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධික යැ දුඃඛිත යැ දැඩිගිලන. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළු හිසින් වඳී” යයි.
ශාරිපුත්‍රය, තෝ ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හුනු බඹලොව පිහිටුවා හුනස්නෙන් නැඟී කිම බැස ගියෙහි?
වහන්ස, මට මෙ සිත් වී: “මේ බමුණෝ නම් බ්‍රහ්මලෝකාධිමුක්තයහ, මම ධනඤ්ජානි බමුණුට බ්‍රහ්මයන්ගේ සහභාවය සඳහා මඟ කියම් නම් මනා මැ නු” යනු යි.
“ශාරිපුත්‍රය, ධනඤ්ජානි බමුණු කලුරිය කෙළේ යැ. බඹලොව ගියේ ද වී” යයි වදාළෝ.
සත් වැනි ධනඤ්ජානිසුත්‍ර යි.
2. 5. 8.
වාසෙට්ඨ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගම්හි ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි වැඩවසනසේක. එසමයෙහි බොහෝ වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ බමුණුමහසල්හු ඉච්ඡානඞ්ගලගම්හි වෙසෙති, ඔහු කවරහ යත්: චඞ්කීබ්‍රාහ්මණ යැ තාරුක්ඛබ්‍රාහ්මණ යැ පොක්ඛරසාතිබ්‍රාහ්මණ යැ ජානුස්සෝණීබ්‍රාහ්මණ යැ තෝදෙය්‍ය බ්‍රාහ්මණ යැ අන්‍ය වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රහ්මණමහාසාරයෝ යි.
එසඳ ජඞ්‍ඝාවිහරණ කොට ඔබ මොබ ඇවිදුනා වාසෙට්ඨභාරද්වාජ දෙමාණවකයන්ගේ මේ අතුරුකථා උපන: “භවත්නි, කෙසේ බමුණු නම් වේ දැ?”යි. භාරද්වාජ මාණවක මෙසේ කී: “භවත, යම් හෙයෙකින් ‘මව්පස හා පියපසිනැ’යි දෙපසින් සුජාත වේ ද, සත්වන පිතාමහයුගය දක්වා පිරිසුදු කුක්‍ෂි ඇති වේ ද, ජාතිවාදයෙන් නො නෙරනලදු වැ උපක්‍රෝශ නො කරනලදුයේ වේ ද, භවත් මෙතෙකින් බ්‍රාහ්මණ නම් වෙයි” කියායි. වාසෙට්ඨ මාණව මෙසේ කී: “භවත යම් හෙයෙකින් සිල්වත් වේ ද, ආචාරසම්පන්න වේ ද, මෙතෙකින් බ්‍රාහ්මණ නම් වේ යැ” කියායි. භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයා හඟවන්නට නො මැ හැකි වී. වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා හඟවන්නට ද නො හැකි වී.
ඉක්බිති වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා ඇමැතී: “භවත් භාරද්වාජයෙනි, සැහැකුලපුත් වූ සැහැකුලින් නික්ම පැවිදි වූ මේ මහණ ගොයුම්හු ඉච්ඡානඞ්ගලගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි විහරණ කෙරෙති. ඒ භගවත් ගෞතමයන් වහන්සේ ගේ කලණ යසගී මෙසේ උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ සම්‍යක් සම්බුද්ධයහ විද්‍යාචරණ සම්පන්නයහ සුගතයහ ලෝකවිද්හ අනුත්තර පුරුෂදම්‍ය සාරථියහ දෙවිමිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ භගවත්හ” කියා යි. යම්හ භවත් භාරද්වාජයෙනි, මහණ ගොයුමන් කරා එළැඹෙම්හ. එළඹ මහණ ගොයුමන් තෙල කරුණ පුළුවුසුම්හ. යම් පරිදි මහණ ගොයුම්හු පවසත් ද, එසේ එය ධරම්හ”යි. ‘භවත්නි, එසේ යැ’ යි කියා භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයාහට පිළිවදන් දින.
ඉක්බිති වාසෙට්ඨභාරද්වාජ මාණවකයෝ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් වාසෙට්ඨ මාණවක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේ:
“භවත් ගෞතමයෙනි, අපි (තොප ශික්‍ෂිතයහ”යි) ඇදුරන් විසින් අනුඥාත වැ (‘එසේ යැ ශික්‍ෂිතයම්හ’යි තමන් විසින්) ප්‍රතිඥාත වූ ත්‍රිවිද්‍යා පාරගත බ්‍රාහ්මණයම්හ. මම පොක්ඛරසාති බමුණුගේ ශිෂ්‍යයෙමි. මේ මණෙවු තාරුක්ඛ බමුණුහුගේ ශිෂ්‍යයෙක.
ත්‍රිවේද පාරගත බමුණන් විසින් යමක් අර්‍ත්‍ථ ව්‍යඤ්ජන විසින් පැවැසිණි ද, එහි ලා (එහැම දැන නිෂ්ඨාගත වූ) කේවලී වම්හ. පදශාස්ත්‍ර හදාරන්නම්හ, ව්‍යාකරණ හදාරන්නම්හ. ජල්පයෙහි ලා ස්වීය ආචාර්‍ය්‍යයන් වැනියම්හ.
ගෞතමයන් වහන්ස, ඒ අප අතර ජාතිවාදයෙහි ලා විවාදයෙක් ඇත. භාරද්වාජ මාණවක ‘ජාතියෙන් බ්‍රාහ්මණ වේ’ යයි කියයි. මම වනාහි ‘කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ’ යයි කියමි, පසැස් ඇත්තව, (තෙල විවාදය) මෙසේ දනුමැනැවැ.
ඒ අපි දෙදෙනමෝ උනුන් හඟවන්නට නො හැක්කම්හ. ලෝවැසි දෙවියෝ බදැඳිලි වූවාහු වෙත එළඹ පරිපූර්‍ණ චන්‍ද්‍රමණ්ඩලය වඳනා සෙයින් මෙසේ ගෞතමයන් වහන්සේ පසසමින් නමදිත් ද, මෙසේ විශ්‍රැත වූ ලෝකයෙහි පහළ ඇසක් වැනි වූ භගවත් සම්බුද්ධ ගෞතමයන් වහන්සේ පුළුවුස්නට අවුදු අපි පුළුවුසුම්හ:
ජාතියෙන් බ්‍රාහ්මණ වේ ද, නොහොත් කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ දැ? යි බ්‍රාහ්මණ විනිශ්චය යම් පරිදි දනුමෝ ද, එපරිදි, නො දන්නා අපට වදාළ මැනැවි.
(‘වාසෙට්ඨයෙනි’යි බුදුහු ඇමැතූසේක.) මම ඒ තොපට ප්‍රාණයන්ගේ ජාති විභාගය (ජාතිවිස්තරය) ඇති සැටි අනුපූර්‍ව කොට විවරණ කරමි. ජාතීහු අන්‍යෝන්‍යයහ. (නානාප්‍රකාරයහ).
(‘අපි තෘණයම්හ’ ‘අපි වෘක්‍ෂයම්හ’යි) යම් තෘණ වෘක්‍ෂ කෙනෙක් වෙන වෙන නො දනිත් ද, ඒ තෘණ වෘක්‍ෂයනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
ඉන් මතු (උපදින්නකයන් කෙරෙහි) කුරුකුහුඹුවන් තෙක් පණුවනුදු පළඟැටියනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
(ලෙහෙනුන් ආදී) කුඩාසතුනුදු (බළලුන් ආදී) මහසතුනුදු මෙසේ චතුෂ්පදජාතීනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
දික් පිටු ඇති උරින් යන විෂධරයනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
ඉක්බිති දියෙහි උපන් ජලය ගෝචර කොට ඇති මසුනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
ඉක්බිති පියාපත් යාන කොට ඇති අහසැ ඇවිදුනා ලිහිණිනුදු දනුව, උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
යම් පරිදි තෙල ජාතියෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග ඇත්ද, එපරිදි මිනිසුන් කෙරෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග නැත.
(ලිඞ්ගභේදයෙක්) කේශයෙන් නැත, හිසින් නැත, කනින් නැත, ඇසින් නැත, මුවින් නැත, නැහැයෙන් නැත, තොලින් නැත, බැමිනුදු නැත.
ග්‍රීවායෙන් නැත, අංශයෙන් නැත, උදරයෙන් නැත, පිටින් නැත, ශ්‍රෝණියෙන් නැත, උරයෙන් නැත, සම්බාධයෙහි නැත, මෛථුනයෙහි නැත.
අතින් නැත, පයින් නැත, ඇඟිල්ලෙන් නැත, නියෙන් නැත, දඟින් නැත, කලවෙයින් නැත, පැහැයෙන් නැත, ස්වරයෙන් අන්‍යජාතීන්හි සෙයින් ජාතිමය ලිඞ්ග නැත් මැ යි.