Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 3901-4000 න් 6387

කිම භාරද්වාජයෙනි, බමුණන් අතුරෙහි යමෙක් “මම තෙල කරුණ දනිමි. මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ සෙස්ස සිස් යැ”යි මෙසේ කියා නම් එබඳු කිසි එකද ආචාර්‍ය්‍යයෙක් එකද ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයෙක් සත් වැනි ප්‍රාචාර්‍ය්‍යයුගය හිම් කොට පවා ඇද්ද?
මේ නො වේ මැ යි භවත් ගොයුමාණෙනි.
කිම භාරද්වාජයෙනි, මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ බමුණන්ගේ යම් පූර්‍ව ඍෂි කෙනෙක් ඇද්ද, යම් කෙනෙකුන් විසින් හදාළ වාචනා කළ රැස් කොට තැබූ පෞරාණමන්ත්‍රපදයක් මෙකලැ බමුණෝ (ඔවුන් විසින්) ගයනලද්ද අනුව ගයත් ද ඔවුන් අනුව බෙණෙත් ද, බණනලද්ද අනුව බෙණෙත් ද, වාචනා කරන ලද්ද අනුව වාචනා කෙරෙද්ද ඔහු යි. යළි ඔහු කවරහයත්: අට්ටක යැ වාමක යැ වාමදේව යැ වෙස්සාමිත්ත යැ යමතග්ගී යැ අඞ්ගීරස යැ භාරද්වාජ යැ වාසෙට්ඨ යැ කස්සප යැ භඟු යැ යන මොහු යි. ඔහුදු ‘තෙල කරුණ අපි දනුම්හ, තෙල කරුණ අපි දකුම්හ. මේ මැ සත්‍ය යැ තදන්‍යය සිස් යැ’යි කීහු ද?
මෙ කරුණ නො වේ මැ යි භවත් ගොයුමාණෙනි.
මෙසෙයින් භාරද්වාජයෙනි, බමුණන් කෙරෙහි යමෙක් ‘මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ, අන්‍යය සිස් යැ’යි මෙසේ කියා නම් එබඳු කිසි එකද බමුණෙක් නැත් ල, බමුණන් කෙරෙහි යමෙක් ‘මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ සෙස්ස සිස් යැ’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයෙක් සත් වැනි ප්‍රාචාර්‍ය්‍යයුගය හිම් කොට නැත් ල, බමුණන්ගේ මන්ත්‍ර කර්‍තෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් ඒ පූර්‍ව ඍෂි කෙනෙකුත් ඇද්ද, යම් කෙනෙකුන් විසින් හදාළ වාචනා කළ රැස් කොට තැබූ මේ පැරැණි මන්ත්‍රපදයක් මෙකලැ බමුණෝ ඔවුන් අනුව ගයත් ද ඔවුන් අනුව බෙණෙත් ද, කියනලද්ද අනුව කියත් ද, වාචනා කරන ලද්ද අනුව වාචනා කෙරෙත් ද, ඔහු යි, වැළි ඔහු කවරහයත්: අට්ටක යැ වාමක යැ වාමදෙව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගීරස් යැ භාරද්වාජ යැ වාශිෂ්ඨ යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහුදු “අපි තෙල දනුම්හ, අපි තෙල දකුම්හ, මේ මැ සත්‍ය යැ තදන්‍ය සිස් යැ”යි මෙසේ නො කීහු.
භාරද්වාජ, යම් පරිදි පරම්පරා විසින් සංසක්ත (බැඳුණු) වූ අන්‍ධවේණියෙක් ඇද්ද, එහි පළමු අන්‍ධයා ද නො දක්නේ යැ, මධ්‍යම අන්‍ධයා ද නො දක්නේ වේ ද, පශ්චිම අන්‍ධයා ද නො දක්නේ වේ ද, භාරද්වාජය, එ පරිදි මැ බ්‍රාහ්මණයන්ගේ භාෂිතය අන්‍ධවේණුපමා මෙන් වෙයි. (පළමු කී දස බමුණන් කෙරෙහි) පුරිම බමුණුදු නො දක්නේ යැ, මධ්‍යම බමුණුදු නො දක්නේ යැ, පශ්චිම බමුණුදු නො දක්නේ යැ. භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? මෙසේ ඇති වත් මැ බමුණන් ගේ සැදැහැ අමූලික වන්නේ නො වේ ද?
භවත් ගෞතමයෙනි, මෙහි ලා බමුණෝ සැදැහැයෙන් මැ පර්‍ය්‍යුපාසනා නො කෙරෙති. මෙහි ලා අනුශ්‍රවයෙනුදු බමුණෝ පර්‍ය්‍යුපාසනා කෙරෙති.
භාරද්වාජය, පළමු මැ තෝ සැදැහැ කරා ගියෙහි. දැන් අනුශ්‍රවය කියහි. භාරද්වාජය, මේ ධර්‍මයෝ පස් දෙනෙක් දුටුදැමියෙහි මැ (භූත අභූත විසින්) දෙවැදෑරුම් විපාක ඇත්තාහ. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධා යැ, රුචි යැ, අනුශ්‍රව යැ, ආකාරපරිවිතර්‍ක යැ, දිට්ඨනිජ්ඣානඛන්ති යැ යන මොහු යි. භාරද්වාජය, මේ පඤ්ච ධර්‍මයෝ ඉහාත්මයෙහි මැ දෙවැදෑරුම් විපාක ඇත්තාහ. භාරද්වාජය, මොනොවට අදහනලද නමුදු එ ද රිත්ත වෙයි, තුච්ඡ වෙයි, මෘෂා වෙයි, නො අදහනලද නමුදු භූත වෙයි, තථ්‍ය වෙයි, අනන්‍යථා වෙයි. භාරද්වාජය, මැනැවින් රුස්නාලද නමුදු … මොනොවට අසනලද නමුදු … මොනොවට පරිවිතර්‍ක කරනාලද නමුදු … මොනොවට සිතින් බලනලද නමුදු එ ද රික්ත වෙයි, තුච්ඡ වෙයි, මෘෂා වෙයි. නො බලනලද නමුදු භූත වෙයි, තථ්‍ය වෙයි, අනන්‍යථා වෙයි, භාරද්වාජය, සත්‍යය රක්නා විඥපුරුෂයකු විසින් “මෙය මැ සත්‍ය යැ අනෙක මෝඝ යැ”යි මෙහි ලා ඒකාන්තයෙන් නිෂ්ඨාවට යනු නො නිසි යැ.
භවත් ගෞතමයෙනි, කිපමණෙකින් සත්‍යානුරක්‍ෂණ වේ ද? කිපමණෙකින් සත්‍යය රක්නේ වේ ද? අපි භවත් ගෞතමයන් සත්‍යානුරක්‍ෂණව පුළුවුසුම්හ’යි.
භාරද්වාජය, “මා ඇදැහිලි මෙසේ යැ”යි ඉදින් පුරුෂයක්හට සැදැහැ ඇති වේ නම් මෙසේ බණනුයේ සත්‍යය රක්නේ වෙයි. එසේ වුව ද එතෙකින් ඒකාන්තයෙන් නිෂ්ඨාවට නො මැ යෙයි. ‘මෙය මැ සත්‍ය යැ, අනෙක අසත්‍ය යැ’ කියා යි. භාරද්වාජය, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ වෙයි. මෙතෙකින් සත්‍යය රක්නේ යැ. අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණාව පනවම්හ. එතෙකින් සත්‍යානුබෝධය නො වන්නේ මැ යැ. භාරද්වාජය, ඉදින් රුචිය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් අනුශ්‍රවය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් පරිවිතර්‍කය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් දිට්ඨිනිජ්ඣානකඛන්තිය ද පුරුෂයක්හට වේ ද, මාගේ දිට්ඨිනිජ්ඣානකඛන්තිය මෙසේ යැ’ කියා යි. මෙසේ බණනුයේ සත්‍යය රක්නේ යැ. එතෙකින් ඒකාන්තයෙන් නිෂ්ඨාවට නො යන්නේ මැ යැ. ‘මෙය මැ සත්‍යය වෙයි. අනෙක අසත්‍යය වේ යැ’ කියා යි. භාරද්වාජය, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ වෙයි, මෙතෙකින් සත්‍යය රක්නේ යැ, අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ පනවම්හ. එතෙකින් සත්‍යානුබෝධය නො වේ මැ යැ.
භවත් ගෞතමයෙනි, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණා වෙයි, මෙතෙකින් සත්‍යය රක්නේ යැ, අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණාව දකුම්හ. භවත් ගෞතමයෙනි, කිපමණෙකින් සත්‍යානුබෝධය වේ ද? කිපමණෙකින් සත්‍යය අවබෝධ කරන්නේ වේ ද? අපි භවත් ගෞතමයන් සත්‍යානුබෝධය පුළුවුසුම්හ.
භාරද්වාජය, මෙසස්නෙහි මහණ එක්තරා ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වාස කෙරෙයි. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ තුලුන් කරා එළැඹ තුන් කරුණෙක සමන්නේසනා කෙරෙයි, ලෝභධර්‍මයෙහි යැ, ද්වේෂධර්‍මයෙහි යැ, මෝහධර්‍මයෙහි යැ යි. (කෙසේ යැ යත්:) “යම් බඳු ලෝභධර්‍මයෙකින් ගත් සිතැත්තෝ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට අහිත පිණිස දුක් පිණිස වැටේ නම් ඒ පිණිස මෙරමා හෝ සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ලෝභධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් සමන්නේසණා කරනුයේ මෙසේ දන්නේ යැ: (කෙසේ යැ යත්) “යම් බඳු ලෝභධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ ද, මෙරමා හෝ එය පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ලෝභධර්‍මයෝ නැති”යි. අලුබ්ධයක්හට යම්සේ වේ ද මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක්සමාචාර එසේ වෙයි, මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් ඒ දහම ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. ලුබ්ධයක්හු විසින් ඒ දහම සුවසේ නො දෙසියහැකි යැ.
යම් හෙයකින් ඔහු සොයා බලනුයේ ලෝභධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එහෙයින් ඔහු මතුයෙහි ද්වේෂධර්‍මයෙහි ලා පරීක්‍ෂා කෙරෙයි. (කෙසේ යැ යත්:) “යම් බඳු ද්වේෂධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ ද, මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ද්වේෂධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් මෙසේ සොයනුයේ මෙසේ දන්නේ යැ: (කෙසේ යැ යත්:) “යම් බඳු ද්වේෂධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ නම් මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ද්වේෂධර්‍මයෝ නැති”යි, ද්වේෂ රහිතයක්හට යම්සේ වේ ද, මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක් සමාචාර එසේ වෙයි. මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් එ දහම් ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. ද්වේෂ සහගතයකු විසින් එ දහම සුවසේ නො දෙසිය හැකි යැ.
යම් හෙයකින් ඔහු සොයා බලනුයේ ද්වේෂධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එහෙයින් ඔහු මතුයෙහි මෝහධර්‍මයෙහි ලා පරීක්‍ෂා කෙරෙයි. (කෙසේ යැ යත්:) “යම් බඳු මෝහධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැවේ ද, මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු මෝහධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් මෙසේ සොයනුයේ මෙසේ දක්නේ යැ: (කෙසේ යැ යත්:) “යම් බඳු මෝහධර්‍මයෙකින් මැඩගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ නම් මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු මෝහධර්‍මයෝ නැති”යි. මෝහ රහිතයක්හට යම්සේ වේ ද, මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක් සමාචාර එසේ වෙයි, මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් එ දහම ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. මෝහ සහගතයක්හු විසින් එ දහම සුවසේ නො දෙසිය හැක්ක.
යම් හෙයකින් ඔහු සොයා බලනුයේ මෝහ ධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එ සඳ ඔහු කෙරෙහි සැදැහැ පිහිටුවයි. හටගත් සැදැහැ ඇතියේ එළැඹෙයි, එළැඹෙනුයේ පර්‍ය්‍යුපාසන කෙරෙයි, පර්‍ය්‍යුපාසන කරනුයේ කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇතියේ දහම් අසයි, අසා දහම් ධරයි. ධැරූ දහම්හි අරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවහට ධර්‍මයෝ වටහති, දහම් වැටහීම (ධම්මනිජ්ඣානක්ඛන්ති) ඇති කල්හි කර්තුකම්‍යතා ඡන්‍දය උපදි, හටගත් ඡන්‍ද ඇතියේ උත්සාහ කෙරෙයි, උත්සාහ (වෑයම්) කොට තුලනය (අනිත්‍යාදි විසින් තීරණය) කෙරෙයි, තුලනය කොට ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ මැ (නාම) කයිනුදු සත්‍යය (නිවන) ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, ප්‍රඥායෙනුදු කෙලෙස් විනිවිද දකී. භාරද්වාජයෙනි, මෙතෙකින් මැ සත්‍යානුබෝධය වෙයි මෙතෙකින් සත්‍යය අනුබෝධ කෙරෙයි, මෙතෙකින් වැළිත් අපි සත්‍යානුබෝධය පනවම්හ. එපමණෙකින් සත්‍යානුප්‍රාප්ති නො වේ මැ යි.
භවත් ගෞතමයන් වහන්ස, මෙපමණෙකින් සත්‍යානුබෝධය වෙයි, මෙපමණෙකින් සත්‍යානුබෝධය කෙරෙයි, මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුබෝධය දක්මහ. භවත් ගෞතමයෙනි, කිපමණෙකින් වැළිත් සත්‍යානුප්‍රාප්ති වේ ද? කිපමණෙකින් සත්‍යයට පැමිණේ ද? අපි සත්‍යානුප්‍රාප්තිය භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.
භාරද්වාජයෙනි, එ මැ ධර්‍මයන්ගේ ආසේවනයෙන් භාවනායෙන් බහුලීකරණයෙන් සත්‍යානුප්‍රාප්තිය වෙයි. භාරද්වාජයෙනි, මෙපමණෙකින් මැ සත්‍යානුප්‍රාප්තිය වෙයි, මෙපමණෙකින් සත්‍යයට පැමිණෙයි. මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුප්‍රාප්තිය පනවම්හ’යි.
භවත් ගෞතමයෙනි, මෙපමණෙකින් සත්‍යානුප්‍රාප්තිය වෙයි, මෙපමණෙකින් සත්‍යයට පැමිණෙයි, මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුප්‍රාප්තිය දකුම්හ. භවත් ගෞතමයෙනි, වැළිත් සත්‍යානුප්‍රාප්තියට (ඵලප්‍රත්‍යක්‍ෂයට) කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? සත්‍යානුප්‍රාප්තියට බහුකාරධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
භාරද්වාජයෙනි, සත්‍යානුප්‍රාප්තියට ප්‍රධානය (මාර්‍ග ප්‍රධානය) බහුකාර වෙයි. ඉදින් තෙල මාර්‍ගප්‍රධානය නො කෙරේ නම් මේ සත්‍යයට නො පැමිණෙන්නේ යැ. යම් හෙයකින් මාර්‍ගප්‍රධානය කෙරේ ද, එහෙයින් සත්‍යයට පැමිණෙයි (සත්‍යය ලබයි). එහෙයින් සත්‍යානුප්‍රාප්තියට ප්‍රධානය බහුකාර වේ යයි.
භවත් ගෞතමයෙනි, වැළිත් මාර්‍ගප්‍රධානයට කවර දහමෙක් බහුකාර වේ ද? මාර්‍ගප්‍රධානයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
භාරද්වාජයෙනි, ප්‍රධානයට තුලනාව බහුකාර වෙයි. ඉදින් තුලනා නො කෙරේ නම් මේ ප්‍රධන් වීර්‍ය්‍යය නො කරන්නේ යැ. යම් හෙයකින් වැළිත් තුලනා කෙරේ ද, එහෙයින් මාර්‍ගප්‍රධානය කෙරෙයි. එහෙයින් ප්‍රධානයට තුලනාව බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, තුලනාවට වැළිත් කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? තුලනාවට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
භාරද්වාජයෙනි, තුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි. ඉදින් ව්‍යායාම නො කෙරේ නම් මේ තුලනාව නො කරන්නේ යැ. යම්හෙයෙකින් වැළිත් ව්‍යායාම කෙරේ ද, එහෙයින් තුලනය කෙරෙයි. එහෙයින් තුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, ව්‍යායාමයට කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? ව්‍යායාමයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
භාරද්වාජයෙනි, ව්‍යායාමයට (කර්තුකම්‍යතා) ඡන්‍දය බහුකාර වෙයි. ඉදින් ඡන්‍දය නූපදී නම් මේ ව්‍යායාමය නො කරන්නේ යැ. යම් හෙයකින් වැළිත් ඡන්‍දය උපදී ද, එහෙයින් ව්‍යායාම කෙරෙයි. එහෙයින් ව්‍යායාමයට ඡන්‍දය බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, ඡන්‍දයට කවර දහමෙක් බහුකාර වේ ද? ඡන්‍දයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
භාරද්වාජයෙනි, ඡන්‍දයට ධම්මනිජ්ඣානකඛන්තිය (දහම් වැටහීම) බහුකාර වෙයි. ඉදින් ධර්‍මයෝ බැලීම නො සහත් (නො වටහත්) නම් මේ ඡන්‍දය නූපදනේ යැ. යම් හෙයකින් වැළිත් ධර්‍මයෝ වටහත් ද, එහෙයින් ඡන්‍දය උපදී. එහෙයින් ඡන්‍දයට ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තිය බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට බහුකාර දහම අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
භාරද්වාජයෙනි, ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට අරුත් විමසීම බහුකාර වෙයි. ඉදින් අරුත් නො විමසා නම් මේ ධර්‍මයෝ නො වටහත්. යම් හෙයකින් වැළිත් අරුත් විමසා ද, එහෙයින් ධර්‍මයෝ වටහති. එහෙයින් දහම්වැටහීමට අරුත් විමසීම බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, අරුත් පිරික්සීමට කවර දහමෙක් බහුකාර වේ ද? අරුත් පිරික්සීමට බහුකාර දහම අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
භාරද්වාජයෙනි, අරුත් පිරික්සීමට වැළිත් දහම් ධැරීම බහුකාර වෙයි. ඉදින් දහම් නො ධරා නම් මේ අරුත් නො පිරික්සන්නේ යැ. යම් හෙයකින් වැළිත් දහම් ධාරණ කෙරේ ද, එහෙයින් අරුත් පිරික්සයි. එයින් අරුත් පිරික්සීමට ධර්‍මධාරණය බහුකාර වෙයි.
භවත් ගෞතමයන් වහන්ස, වැළිත් ධර්‍මධාරණයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මධාරණයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
භාරද්වාජයෙනි, ධර්‍මධාරණයට ධර්‍මශ්‍රවණය බහුකාර වෙයි. ඉදින් දහම් නො අසා නම් මේ දහම් නො ධරන්නේ යැ. යම් හෙයකින් වැළිත් දහම් අසා ද, එහෙයින් දහම් ධරයි. එයින් ධර්‍මධාරණයට ධර්‍මශ්‍රවණය බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, වැළිත් ධර්‍මශ්‍රවණයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මශ්‍රවණයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
භාරද්වාජයෙනි, ධර්‍මශ්‍රවණයට ශ්‍රෝත්‍රාවධානය (කන් නතු කිරීම) බහුකාර වෙයි. ඉදින් කන් නතු නො කෙරේ නම් මෙ දහම් නො අසන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් කන් නමා ද, එහෙයින් දහම් අසයි. එයින් ධර්‍මශ්‍රවණයට ශ්‍රෝත්‍රාවධානය බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, ශ්‍රෝත්‍රාවධානයට කවර දහමෙක් බහුකාර වේ ද? ශ්‍රෝත්‍රාවධානයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
භාරද්වාජයෙනි, ශ්‍රෝත්‍රාවධානයට පර්‍ය්‍යුපාසනය (ඇසුරු කිරීම) බහුකාර වෙයි. ඉදින් පර්‍ය්‍යුපාසන නො කෙරේ නම් මේ ශ්‍රෝත්‍රාවධාන නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් පර්‍ය්‍යුපාසන කෙරේ ද, එහෙයින් ශ්‍රෝත්‍රාවධාන කෙරෙයි. එයින් ශ්‍රෝත්‍රාවධානයට පර්‍ය්‍යුපාසනය බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, පර්‍ය්‍යුපාසනයට කවර දහමෙක් බහුකාර වේ ද? පර්‍ය්‍යුපාසනයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
භාරද්වාජයෙනි, පර්‍ය්‍යුපාසනයට එළැඹීම බහුකාර වෙයි. ඉදින් නො එළැඹේ නම් පර්‍ය්‍යුපාසනා නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් එළැඹේ ද, එහෙයින් පර්‍ය්‍යුපාසනා කෙරෙයි. එයින් පර්‍ය්‍යුපාසනයට උපසංක්‍රමණය බහුකාර වෙයි.
භවත් ගෞතමයෙනි, උපසංක්‍රමණයට කවර දහමෙක් බහුකාර වේ ද? උපසංක්‍රමණයට බහුකාර කරුණ අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
භාරද්වාජයෙනි, උපසංක්‍රමණයට ශ්‍රද්ධාව බහුකාර වෙයි, ඉදින් ශ්‍රද්ධා නූපදී නම් උපසංක්‍රමණ නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් ශ්‍රද්ධා උපදනේ ද, එහෙයින් උපසංක්‍රමණය කෙරෙයි. එකරුණින් උපසංක්‍රමණයට ශ්‍රද්ධා බහුකාර වෙයි.
අපි සත්‍යානුරක්‍ෂණය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගොයුම් ගොතුවෝ සත්‍යානුරක්‍ෂණය පැවැසූහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුබෝධය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුබෝධය ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුප්‍රාප්තිය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුප්‍රාප්තිය ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානු ප්‍රාප්තියට බහුකාර කරුණු භවත් ගෞතයයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුප්‍රාප්තියට බහුකාර කරුණු ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටු වූම්හ. අපි වැළිත් යම් යම් මැ දැයක් භවත් ගෞතමයන් අතින් විචාළමෝ ද, භවත් ගෞතමයෝ ඒ ඒ දැය මැ ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටුසිත් ඇති වූම්හ.
භවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි පෙර මෙසේ දනුම්හ: “මුණ්ඩකයෝ ශ්‍රමණකයෝ ගෘහපතිහු කෘෂ්ණයෝ බඹහුගේ පිටිපයින් උපන් දරුවෝ කවරහු ද? දහම් දන්නාහු කවරහු දැ”යි. භවත් ගෞතමයෝ ඒකාන්තයෙන් මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණගෞරවය ඉපැදවූහ. භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරත්ව’යි.
පස් වැනි චඞ්කීසූත්‍ර යි.
2. 5. 6.
ඒසුකාරී සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටාණන් ගේ අරම්හි වැඩ වාස කෙරෙත්. එසඳ ඒසුකාරී බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන්වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒසුකාරී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ පරිචර්‍ය්‍යා සතර දෙනකුන් පනවත්. බමුණුහට පරිචර්‍ය්‍යා පනවති, ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා පනවති, වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා පනවති, ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන්හට මේ පරිචර්‍ය්‍යාව පනවති, (කෙසේ යැ යත්:) බමුණෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ක්‍ෂත්‍රියයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, වෛශ්‍යයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ යි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියයාහට මේ පරිචර්‍ය්‍යා පනවති, (කෙසේ යැ යත්:) ක්‍ෂත්‍රියයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, වෛශ්‍යයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියයාහට මේ පරිචර්‍ය්‍යා පනවති. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ වෛශ්‍යයාහට මේ පරිචර්‍ය්‍යා පනවති (කෙසේ යැ යත්:) වෛශ්‍යයෙක් හෝ වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ වෛශ්‍යයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ ශුද්‍රයාහට මේ පරිචර්‍ය්‍යා පනවති: (කෙසේ යැ යත්:) ශුද්‍රයෙක් මැ ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ. අන් කවරෙක් නම් ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා කරන්නේ වේ දැ? යි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ශුද්‍රයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ මේ සතර පරිචර්‍ය්‍යාවන් පනවත්. භවත් ගෞතමයෝ මෙහි ලා කුමක් වදාරත් ද?
කිම බමුණ, සියලු ලෝකයා ‘මෙ සතර පරිචර්‍ය්‍යා පනවති’ යි බමුණනට තෙල අනුදනී දැ? යි.
භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො වේ මැ යි.
බමුණ, යම්සේ සහල් නැළියෙක ධනයකුදු නැති, තමා සතු කිසිවක් නැති දිළිඳු පුරුෂයෙක් වේ ද, ඔහු නො කැමැතියාහට ‘එම්බා පුරුෂය, මෙහි තා විසින් මස් කෑයුතු යැ (මස්) මිල ද දියයුතු යැ’යි කොටස නංවා ද, එසෙයින් මැ බමුණ, බ්‍රාහ්මණයෝ ඒ මහණ බමුණන්ගේ ප්‍රතිඥා නැති වැ එතෙකුදු වත් මෙ සතර පරිචර්‍ය්‍යාවන් පනවත්. බමුණ, මම හැම පරිචර්‍ය්‍යා කළ යුතු යයි නො කියමි, බමුණ, වැළිත් මම හැම පරිචර්‍ය්‍යා නො කළ යුතු යයි නො කියමි. බමුණ, යමක්හු පරිචර්‍ය්‍යා කරන ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වේ ද, හිතයෙක් නො වේ ද, ඔහු පරිචර්‍ය්‍යා කළයුතු යැ යි මම නො කියමි. බමුණා, යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරණ ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද, පාපයෙක් නො වන්නේ ද, ඔහු පරිචර්‍ය්‍යා කළයුතු යැ යි මම කියමි.
බමුණ, ඉදින් ක්‍ෂත්‍රියයකුදු මෙසේ පුළුවුස්නාහු නම්: (කෙසේ යැ යත්:) යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ යැ, හිතයෙක් නො වන්නේ යි. යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ යැ, පාපයෙක් නො වන්නේ යි. මෙහි දී කවරක්හු පරිචර්‍ය්‍යා කරන්නෙහි දැ?” යි. බමුණ, ක්‍ෂත්‍රිය තෙමේත් මොනොවට ප්‍රකාශ කරනුයේ මෙසේ කියන්නේ යැ: “යමක්හු පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කරන්නෙමි. යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, ඔහු මම පරිචර්‍ය්‍යා කරන්නෙමි”යි.
බමුණ, ඉදින් බ්‍රාහ්මණයකුදු ... බමුණ, ඉදින් වෛශ්‍යයකුදු ... බමුණ, ඉදින් ශුද්‍රයකුදු මෙසේ විචාරන්නාහු නම්: (කෙසේ යැ යත්:) “යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, මෙහි දී කවරක්හු පරිචර්‍ය්‍යා කරන්නෙහි දැ?” යි. බමුණ, ශුද්‍ර තෙමේත් මොනොවට ප්‍රකාශ කරනුයේ මෙසේ කියන්නේ යැ: “යමක්හු පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කරන්නෙමි. යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, ඔහු මම පරිචර්‍ය්‍යා කරන්නෙමි”යි.
බමුණ, මම ‘උසස් කුල ඇති බව ප්‍රශස්ත යැ’යි නො කියමි. බමුණ, වැළිත් මම ‘උසස්කුල ඇති බව ලාමක යැ’යි ද නො කියමි. බමුණ, මම ‘උදාරවර්‍ණ ඇති බව උතුම් යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරවර්‍ණ ඇති බව පාපක යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරභෝග ඇති බව උත්තම යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරභෝග ඇති බව පාපක යැ’යි නො කියමි.
බමුණ, උසස්කුල ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවා කරනු වෙයි, අයිනාදන් කරනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුණු තෙපුල් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් ඇති වෙයි, අභිධ්‍යා බිහිලි වෙයි, ව්‍යාපන්න සිත් ඇති වෙයි, මිසදිටු වෙයි. එහෙයින් උසස්කුල ඇති බව අතිශය ශ්‍රේෂ්ඨ යැ’යි නො කියමි. බමුණ, උසස්කුල ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවායෙන් වැළකියේ වෙයි, අයිනාදනින් වැළකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි, මුසවායෙන් වැළකියේ වෙයි, පිසුණුබසින් වැළකියේ වෙයි, පරොස්බසින් වැළකියේ වෙයි, පලපින් වැළකියේ වෙයි, අභිධ්‍යා බහුල නො වෙයි, අව්‍යාපන්න සිත් ඇති වෙයි, සම්දිටු වෙයි. එහෙයින් උසස්කුල ඇති බව අතිශය පාපක යැ’යි නො කියමි.
බමුණ උදාරවර්‍ණ ඇති වූත් ... බමුණ උදාරභෝග ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවා කරනු වෙයි ... මිසදිටු ඇති වෙයි. එහෙයින් ‘උදාරභෝග ඇති බව ශ්‍රේෂ්ඨ යැ’යි නො කියමි. බමුණ, උදාරභෝග ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවායෙන් වෙන් වූයේ වෙයි ... සම්දිටු ඇති වෙයි. එහෙයින් ‘උදාරභෝග ඇති බව පාපක යැ’යි නො කියමි.
බමුණ, මම හැම පරිචර්‍ය්‍යා කටයුතු යැ’යි නො කියමි. බමුණ, වැළිත් මම හැම පරිචර්‍ය්‍යා නො කටයුතු යැ’යි නො කියමි. බමුණ, යමක්හු පරිචර්‍ය්‍යා කරන ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් ශ්‍රද්ධාව වැඩේ ද, ශීලය වැඩේ ද, ශ්‍රැතය වැඩේ ද, ත්‍යාගය වැඩේ ද, ප්‍රඥාව වැඩේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා කටයුතු යැ යි කියමි. බමුණ යමක්හු පරිචර්‍ය්‍යා කරන ඕහට පරිචර්‍ය්‍යා හේතුයෙන් ශ්‍රද්ධාව නො වැඩේ ද, ශීලය නො වැඩේ ද, ශ්‍රැතය නො වැඩේ ද, ත්‍යාගය නො වැඩේ ද, ප්‍රඥාව නො වැඩේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කටයුතු යැ’යි කියමි’යි.
මෙසේ වදාළ කල්හි ඒසුකාරී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘භවත් ගෞතමයෙනි, බමුණෝ සතර ධන කෙනකුන් පනවති: බමුණුහට ස්වකීය ධනයක් පනවති, ක්‍ෂත්‍රියහට ස්වකීය ධනයක් පනවති, වෛශ්‍යහට ස්වකීය ධනයක් පනවති, ශුද්‍රහට ස්වකීය ධනයක් පනවති.
භවත් ගෞතමයෙනි, එහි ලා බමුණෝ බ්‍රාහ්මණහට මේ ස්වකීය ධනය පනවති. භික්‍ෂා චර්‍ය්‍යාව යි. බමුණු වැළිත් ස්වකීය ධනය වූ භික්‍ෂාචර්‍ය්‍යාව ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක් මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරන්නේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ බමුණුහට මේ ස්වකීයධනය පනවති.
භවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියහට මේ ස්වකීය ධනය පනවති: දුනුහියවුරු යි. ක්‍ෂත්‍රිය වැළිත් ස්වකීය ධනය වූ දුනුහියවුරු ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක් මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරනුයේ වෙයි.
භවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ වෛශ්‍යහට මේ ස්වකීයධනය පනවති: කෘෂිකම හා ගෝරක්‍ෂා යි. වෛශ්‍ය වැළිත් ස්වකීය ධනය වූ කෘෂිගෝරක්‍ෂා ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක්මෙහෙ නියුතුවකු සෙයින් නො කටයුතු කරනුයේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ වෛශ්‍යහට මේ ස්වධනය පනවති.
භවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ ශුද්‍රහට මේ ස්වධනය පනවති: (තණ කපන) දෑකැත්ත හා කද යි. ශුද්‍ර වැළිත් ස්වධනය වූ දෑකැත්ත හා කද ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක්මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරනුයේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ශුද්‍රහට මේ ස්වධනය පනවති. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ මේ සතර ධනයන් පනවති. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ? යි.
කිම බමුණ, ‘මෙ සතර ධනයන් පනවති’යි සියලු ලෝකයා බමුණන්ගේ තෙල පැනවීම අනුදනී දැ? යි. භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො වේ මැ යි.
බමුණ, යම්සේ සහල් නැළියෙක ධනයකුදු නැති ස්වකීය වූ කිසිවක් නැති දිළිඳු පුරුෂයෙක් වේ ද, නො කැමැති ඔහට ‘එම්බා පුරුෂය, තා විසින් මේ මස් කෑයුතු යැ, මස්මිළ ද දියයුතු යැ’යි මිළ කොටස නංවන්නාහු ද, එසෙයින් මැ බමුණ, ඒ මහණබමුණන්ගේ පිළින නැති වැ එතෙකුදු වත් මේ සතර ධනයන් පනවති.
බමුණ, මම ආර්‍ය්‍ය වූ ලෝකෝත්තර ධර්‍මය පුරුෂයාගේ ස්වධන කොට පනවමි. පැරැණි වූ මව්පිය සතු කුලවංසය සිහි කරන ඔහුගේ ආත්මභාවය යම් යම් කුලවංසයෙක මැ ඉපැත්ම වේ ද, ඒ ඒ කුලවංසයෙන් මැ ගිණීමට යෙයි. ඉදින් කැත්කුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘ක්‍ෂත්‍රියහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් බමුණුකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘බ්‍රාහ්මණයහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් වෛශ්‍යකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘වෛශ්‍යයහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් ශුද්‍රකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘ශුද්‍රයහ’යි මැ ගිණීමට යේ.
බමුණ, යම් පිරිදි යම් යම් මැ ප්‍රත්‍යයක් පිණිස ගිනි දිලේ ද, ඒ ඒ ප්‍රත්‍යයෙන් මැ ගිණීමට යෙයි. ඉදින් කාෂටය නිසා ගිනි දැල්වේ ද, ‘කාෂ්ටාග්නි’ යයි මැ ගිණීමට යෙයි. ඉදින් පතුරු නිසා ගිනි දැල්වේ ද, ‘පතුරුගිනි’ යයි මැ ගිණීමට යෙයි, ඉදින් තෘණ නිසා ගිනි දැල්වේ ද, ‘තෘණග්නි’ යයි මැ ගිණීමට යෙයි. ඉදින් ගොම නිසා ගිනි දැල්වේ ද, ‘ගොමයාග්නි’ යයි මැ ගිණීමට යෙයි. බමුණ එපරිදි මැ මම ආර්‍ය්‍ය වූ ලෝකෝත්තර ධර්‍මය පුරුෂයාගේ ස්වධන කොට පනවමි. පැරැණි වූ මව්පියන්ගෙන් පැවැත එන කුලවංසය සිහි කරන ඔහුගේ ආත්මභාවොත්පත්තිය යම් යම් කුලවංශෙයෙකැ මැ වේ ද, ඒ ඒ කුලවංශයෙහි මැ ගිණීමට යෙයි. ඉදින් ක්‍ෂත්‍රියකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘ක්‍ෂත්‍රියහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් බ්‍රාහ්මණකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘බ්‍රාහ්මණයහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් වෛශ්‍යකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘වෛශ්‍යයහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් ශුද්‍රකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘ශුද්‍රයහ’යි මැ ගිණීමට යේ.
බමුණ, ඉදින් ක්‍ෂත්‍රියකුලයෙනුදු ගිහිගෙන් නික්ම සස්නට වැදුණේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනය ලැබ පණිවායෙන් වැළකියේ වේ ද, අයිනාදනින් වැළකියේ වේ ද, අබ්‍රම්සරින් වැළකියේ වේ ද, මුසවායෙන් වැළකියේ වේ ද, පිසුණුබසින් වැළකියේ වේ ද, පරොස් බසින් වැළකියේ වේ ද, පලපින් වැළකියේ වේ ද, අභිධ්‍යා බහුල නො වේ ද, ව්‍යාපන්නසිත් නැතියේ වේ ද, සම්දිටු වේ ද, න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ, බ්‍රාහ්මණකුලයෙනුදු ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද … සම්දිටු වේ ද, (හේ) න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ ඉදින් වෛශ්‍ය කුලයෙනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද ... සම්දිටු වේ ද, හේ ද න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බ්‍රාහ්මණය, ශුද්‍රකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හේ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද ... හේ ද න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වේ.
බමුණ, ඒ කෙසේ හඟිහි? බමුණෙක් මැ මෙපෙදෙසෙහි අවෛර නිර්දුඃඛ මෛත්‍රී චිත්තය වඩන්නට පොහෝනේ වේ ද, ක්‍ෂත්‍රියයෙක් පොහෝනේ නො වේ ද, වෛශ්‍යයෙක් පොහෝනේ නො වේ ද, ශුද්‍රයෙක් පොහෝනේ නො වේ ද?
භවත් ගෞතමයෙනි, මේ නොවන්නෙකි, භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියයෙකුදු මෙ පෙදෙස්හි අවෛර නිර්දුඃඛ මෛත්‍රීචිත්තය වඩන්නට පොහෝනේ ය. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෙකුදු ... භවත් ගෞතමයෙනි, වෛශ්‍යයෙකුදු ... භවත් ගෞතමයෙනි, ශුද්‍රයෙකුදු ... භවත් ගෞතමයෙනි, හැම චතුර්වර්‍ණයෝ මැ මේ පෙදෙසෙහි අවෛර නිර්දුඃඛ මෛත්‍රීචිත්තය භවන්නට පොහෝනාහු වෙත්.
බමුණ, එ පරිදි මැ කැත්කුලිනුදු වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත දහම්විනය දැන පණිවායෙන් වැළකියේ වේ ද, ... න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි බමුණ, බමුණුකුලෙනුදු වේවයි ... බමුණ, වෛශ්‍ය කුලයෙනුදු වේවයි ... බමුණ, ශුද්‍රකුලයෙනුදු වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ
වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද, අයිනාදනින් වැළකියේ වේ ද, අබ්‍රම්සරින් වැළකියේ වේ ද, මුසවායෙන් වැළකියේ වේ ද, පිසුණුබසින් වැළකියේ වේ ද, පරොස්බසින් වැළකියේ වේ ද, පලපින් වැළකියේ වේ ද, අභිධ්‍යාබහුල නො වේ ද, අව්‍යාපන්න චිත්ත ඇති වේ ද, සම්දිටු වේ ද, හේ න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
බමුණ, ඒ කෙසේ හඟිහි? බමුණෙක් මැ නහන්නට කළ කුරුඳුවැළ ගෙන හොයට ගොස් රජස් දැලි සෝධා ලන්නට පොහෝනේ වේ ද, ක්‍ෂත්‍රියයෙක් පොහෝනේ නො වේ ද, වෛශ්‍යයෙක් පොහෝනේ නො වේ ද, ශුද්‍රයෙක් පොහෝනේ නො වේ ද?
භවත් ගෞතමයෙනි, මේ නොවන්නෙක් මැ යි. භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියයෙකුදු නහන්නට කළ කුරුඳුවැළ ගෙන හොයට වැද රජස්දැලි සෝධාලන්නට පොහෝනේ යැ. භවත් ගෞතමයෙනි, බමුණෙකුදු ... භවත් ගෞතමයෙනි, වෛශ්‍යයෙකුදු ... භවත් ගෞතමයෙනි, ශුද්‍රයෙකුදු ... භවත් ගෞතමයෙනි, හැම චතුර්වර්‍ණයෝ මැ නහන කළ කුරුඳුවැළ ගෙන හොයට වැද රජස්දැලි බහන්නට පොහෝනාහු වෙති.
බමුණ, එ පරිදි මැ කැත්කුලෙනුදු වේවායි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතයන් වහන්සේ විසින් වදහළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යායසඞ්ඛ්‍යාතකුශල ධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ බමුණුකුලෙනුදු වේවයි ... බමුණ, වෛශ්‍යකුලයෙනුදු වේවයි ... බමුණ, ශුද්‍රකුලයෙනුදු වේවයි ගිහිගෙන් බැස පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද බුදුන් වදහළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යායසඞ්ඛ්‍යාතකුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
බමුණ, ඒ කෙසේ හඟිහි? මෙලොවැ මුදුනෙහි බිසෙස් කළ කැත්රජෙක් නානා ජාතියෙහි උපන් සියක් පුරුෂයන් මුළු දෙවන්නේ යැ, භවත්හු අප කරා එත්වා, ඒ මුළුයෙහි කැත්කුල බමුණුකුල රජකුල උපන් යම් කෙනෙක් ඇද්ද, ඔහු සල්මුවා හෝ සලලමුවා හෝ සඳුන්මුවා හෝ පියුමුමුවා හෝ උතුරුරිණී ගෙන ගිනි දල්වත්වා තෙද නඟත්වා භවත්හු අප කරා එත්වා, ඒ මුළුයෙහි සැඬල්කුල වැදිකුල කුලුපොතුකුල රියකරු කුල පුප්සඬුකුල උපන් යම් කෙනෙක් ඇද්ද, බලුදෙණිමුවා හෝ හුරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණඩකාෂටමය හෝ උතුරුරිණී ගෙන ගිනි දල්වත්වා, තෙද පහල කෙරෙත්වා. බමුණ, ඒ කෙසේ හඟිහි? කැත්කුල හෝ බමුණුකුල හෝ රජකුල හෝ උපනුන් විසින් ශාකමය වූ හෝ සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමකමය වූ හෝ උතුරුරිණී ගෙන ඉපැයූ පහළ කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි මැ සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වේ ද, ඒ ගින්නෙන් ගිනිකරණී කරන්නට හැකි වේ ද, සැඬල්කුල හෝ වැදිකුල හෝ කුලුපොතුකුල හෝ රියකරුකුල හෝ පුප්සඬුකුල හෝ උපනුන් විසින් බලුදෙණිමුවා හෝ හූරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණ්ඩ කාෂටමය වූ හෝ උතුරුරිණී ගෙන ඉපැයූ පහළ කළ යම් ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි ද සිළු ඇතියේ නො වේ ද, වර්‍ණ ඇතියේ නො වේ ද, ප්‍රභාස්වර නො වේ ද, ඒ ගින්නෙන් ගිනිකරණී කරන්නට නො හැකි වේ ද?
භවත්, ගෞතමයෙනි, මේ නොවන්නෙක් මැ යි. භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියකුලයෙන් හෝ බ්‍රාහ්මණ කුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් ශාකමය වූ හෝ සාලමය වූ හෝ සලළමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමකමය වූ හෝ උතුරුරිණී ගෙන පහළ කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි, ඒ ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ. චණ්ඩාලකුලයෙන් ව්‍යාධ කුලයෙන් රථකාරකුලයෙන් පුක්කුසකුලයෙන් උපනුන් විසින් බලුදෙණිමුවා හෝ හූරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණ්ඩකාෂටමය හෝ උතුරුරිණී ගෙන උපදවනලද ප්‍රාදුර්භූත කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් ඇද්ද, ඒ ගිනි අර්චිෂ්මත් වූයේත් වර්‍ණවත් වූයේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. ඒ ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ. භවත් ගෞතමයෙනි, හැම ගිනි මැ අර්චිෂ්මත් ද වර්‍ණවත් ද ප්‍රභාස්වර ද වෙයි, හැම ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ.
බමුණ, එපරිදි මැ ක්‍ෂත්‍රියකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතයන් වහන්සේ විසින් වදාළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ, බමුණුකුලයෙනුදු ... බමුණ, වෛශ්‍යකුලයෙනුදු ... බමුණ, ශුද්‍රකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ ප්‍රාණවාධයෙන් වැළකියේ වේ ද, අදත්තාදානයෙන් වැළකියේ වේ ද, අබ්‍රහ්මචර්‍ය්‍යයෙන් වැළකියේ වේ ද, මෘෂාවාදයෙන් වැළකියේ වේ ද, පෛශුන්‍ය බසින් වැළකියේ වේ ද, පරුෂ බසින් වැළකියේ වේ ද, සම්ඵප්‍රලාපයෙන් වැළකියේ වේ ද, අභිධ්‍යාබහුල නො වේ ද, අව්‍යාපන්න සිත් ඇතියේ වේ ද, සම්‍යග්දෘෂ්ටික වේ ද, හෙ න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
මෙසේ වදාළ කලැ ඒසුකාරී බ්‍රාහ්මණ භගවත්හට තෙල කී: “භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ, භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට මා දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්වයි.
සවැනි ඒසුකාරීසූත්‍ර යි.
2. 5. 7.
ධනඤ්ජානි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වාස කරන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි මහත් බික්සඟන හා සමග සැරිසරන සේක. එසඳ එක්තරා මහණෙක් රජගහනුවර වස් විසූයේ දක්ඛිණාගිරි දනවිය කරා ගියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ මහණහට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහු:
“කිම ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක් ද? කායබල ඇති සේක් ද?”
ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක. කායබල ඇති සේකැ’යි.
“කිම ඇවැත්නි, භික්‍ෂුසඞ්ඝයා නීරෝග වේ ද? කායබල ඇති වේ ද?”
ඇවැත්නි, භික්‍ෂුසඞ්ඝයා නීරෝග වෙයි. කායබල ඇති වේ’යයි.
ඇවැත්නි, මෙහි තණඩුලපාලද්වාරයෙහි ධනඤ්ජානි නම් බමුණෙක් ඇත. කිම ඇවැත්නි, ධනඤ්ජානි නම් බමුණු නීරෝග වේ ද? කායබල ඇති වේ ද?
ඇවැත්නි, ධනඤ්ජානි බමුණුත් නීරෝග වෙයි, කායබල ඇති වේ’යයි.
“කිම ඇවැත්නි, ධනඤ්ජානි බමුණු අප්‍රමත්ත වේ ද?”
ඇවැත්නි, කොයින් නම් ධනඤ්ජානි බමුණුහට අප්‍රමාදයෙක් ඇද්ද? ඇවැත්නි, ධනඤ්ජානි බමුණු රජු අසිරි කොට බමුණුගැහැවියන් විලුම්පන කෙරෙයි. බමුණුගැහැවියන් ඇසිරි කොට රජු අසිඳගනී. උහුගේ සැදැහැතිකුලෙන් ගෙන ආ යම් සැදැහැති බිරියක් වූ ද උහුගේ ඒ බිරිය ද කලුරිය කළා. උහුට සැදැහැ නැති කුලයෙකින් සැදැහැ නැති අන්බිරියක් ගෙන එනලදු.
අපි ධනඤ්ජානි බමුණු අප්‍රමත්ත වූවහු ඇසුමෝ වේ ද, එහෙයින් ඇවැත්නි, නපුරු ඇසුමක් ඇසුමෝ මැ යැ, ඇවැත්නි, නපුරු ඇසුමක් ඇසුමෝ මැ යි. අපි කිසියම් දිනෙකැ ධනඤ්ජානි බමුණු හා සමග එකතු වන්නමෝ නම් මැනැවැ, එසඳ කිසියම් කථා සල්ලාපයෙක් වේ නම් මැනැවැ යි.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි කැමැති තාක් වාස කොට රජගහනුවර කරා චාරිකා කොට ගියහ. පිළිවෙළින් සැරිසරනුවෝ රජගහ නුවර කරා වැඩියෝ, එහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි විහරණ කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි සකසා හැඳ පාසිවුරු ගෙන රජගහාවට පිඬු පිණිස වැඩියෝ.
එකලැ ධනඤ්ජානි බමුණු පිටිනුවරෙහි ගොවුදෙකැ ගෙරින් දොවවයි. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළකියාහු ධනඤ්ජානි බමුණු කරා එළැඹියෝ. ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී මැ තමන් කරා එන්නවුන් දිට. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට තෙල කී: ‘භවත් ශාරිපුත්‍රයෙනි, මෙයින් ධාරොෂ්ණ පයස බොන්නේ මැනැව. එ විට මැ බතට කල් වේ’යයි.
“බමුණ, කම් නැත. මා විසින් අද බත් කිස කරන ලද. තෙල වෘක්‍ෂමූලයෙහි මාගේ දිවාවිහාර වෙයි. එහි එව”යි.
“භවත්නි, එසේ යැ”යි ධනඤ්ජානි බමුණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් දින, ඉක්බිති ධනඤ්ජානි බමුණු පසුබතැ වැළඳු ප්‍රාතරාස ඇති වැ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වී. තුස්නට නිසි සිහි කරන්නට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එකත්පස් වැ හුන් ධනඤ්ජානි බමුණුට තෙල කී:
“කිම ධනඤ්ජානියෙනි, අප්‍රමත්තයෙහි?”
භවත් ශාරිපුත්‍රයෙනි, අප යම් කෙනකුන් විසින් දෙමාපියෝ පෝෂණ කළයුතු වෙත් ද, පුත්‍රදාරාවෝ පෝෂණ කළයුතු වෙත් ද, දැසිකම්කරුපුරිස් පෝෂණ කළයුතු වේ ද, මිත්‍රාමාත්‍යයන්ගේ මිත්‍රාමාත්‍යකරණී කළයුතු වේ ද, නෑසාලේනෑයන්ගේ නෑසාලේනෑකරණී කළයුතු වේ ද, අතිථින්ගේ අතිථිකරණී කළයුතු වේ ද, පුර්‍වප්‍රේතයන්ගේ පුර්‍වප්‍රේතකරණී කළයුතු වේ ද, දේවතාවන්ගේ දේවතා කරණී කළයුතු වේ ද, රජුගේ රජකරණී කළයුතු වේ ද, මේ කයත් පිණවියයුතුත් වැඩියයුතුත් වේ ද, ඒ අපට කොයින් නම් අප්‍රමාදයෙක් ඇද්ද?යි කී.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් මව්පියන් නිසා අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට ඇදගන්නාහු නම් හේ “මම වනාහි මව්පියන් හේතු කොට අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ මව්පියෝත් “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබත්ද?
භවත් ශාරිපුත්‍රයෙනි, මෙය නො වන්නේ මැ යැ. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යැ.
ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට ඇදගන්නාහු නම් හේ “මම වනාහි පුත්‍රදාරා හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ පුත්‍රදාර හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබා ද?