Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 3801-3900 න් 6387

එසේ යැ භවත්නි,
හේ මම් වෙමි’යි.
එසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීහු සත් දෙන කාළදේවල ඍෂීන් වඳිනට එළැඹියෝ.
ඉක්බිති අස්සලායනයෙනි, කාළදේවල ඍෂි බමුණු රුසියන් සත්දෙනාහට තෙල කී: “භවත්නි, මා විසින් තෙල කරුණ අසනලද: අරණ්‍යායතනයෙහි පන්සල්හි වසන බ්‍රාහ්මණර්ෂින් සත්දෙනාට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන් ලැ’යි. කවර දෘෂ්ටියක යත්: ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ; අන්‍යවර්‍ණය හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ, අන්‍යවර්‍ණය කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ ශුද්ධ වෙති, අබ්‍රාහ්මණයෝ නො වෙත්, බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, උරදාවෙති, මුඛයෙන් උපනුවහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදහ”යි.
එසේ යැ භවත්නි.
භවත්හු තොප වැදූ යම් මවක් ඇද්ද, හෝ බ්‍රාහ්මණයකු මැ කරා ගියා යැ අබ්‍රාහ්මණයකු කරා නො ගියා යැ’යි දනිත් දැ?යි.
නො දනුම්හ භවත්නි.
භවත්හු, යම් වැදූ මවගේ මවක් සත් වැනි මුත්නීයුගය තෙක් ‘බමුණකු වෙත මැ ගියා යැ නොබමුණකු වෙත නො ගියා යැ’යි දනිත් ද?
නො දනුම්හ භවත්නි.
භවත්හු තොපගේ ජනක පියෙක් වී ද හේ බ්‍රාහ්මණියක වෙත මැ ගියේ යැ, අබ්‍රාහ්මණියක වෙත නො ගියේ යැ’යි දනිත් ද?
නො දනුම්හ භවත්නි.
භවත්හු, යම් ජනක පියාගේ පියේ සත් වැනි මුත්නායුගය තෙක් බැමිණියක වෙත මැ ගියේ යැ, නො බැමිණියක වෙත නො ගියේ යැ’යි දනිත් ද?
නො දනුම්හ භවත්නි.
භවත්හු ගර්‍භාවක්‍රාන්ති වන සේ දනිත් ද?
භවත්නි ඇපි ගර්‍භාවක්‍රාන්ති වන සේ දනුම්හ. මෙහි මාපිය දෙදෙන සඞ්ගම වූවාහු වෙති. මව ද ඍතුනී වෙයි, ගන්‍ධර්‍ව ද එළැඹසිටියේ වෙයි. මෙසෙයින් තුන් දෙනකුන් එක් වීමෙන් ගර්‍භාවක්‍රාන්ති වේ”යයි.
භවත්හු ඒ ගන්‍ධර්‍ව ක්‍ෂත්‍රියයෙක හෝ යැ බ්‍රාහ්මණයෙක හෝ යැ වෛශ්‍යයෙක හෝ යැ ශුද්‍රයෙක හෝ යි ඒකාන්තයෙන් දනිත් ද?
භවත්නි, ඇපි ඒකාන්තයෙන් ඒ ගන්‍ධර්‍ව ක්‍ෂත්‍රියයෙක හෝ යැ බ්‍රාහ්මණයෙක හෝ යැ වෛශ්‍යයෙක හෝ යැ ශුද්‍රයෙක හෝ යි නො දනුම්හ’යි.
භවත්නි, මෙසේ ඇති කල්හි තෙපි කවරහු වව’යි දනිවු දැ? යි
භවත්නි, මෙසේ ඇති කල්හි ඇපි කවරහු වමෝ දැ’යි ඇපි නො දනුම්හ’යි.
අස්සලායනයෙනි, ඒ සප්ත බ්‍රාහ්මණර්ෂීහු නමුදු කාළදේවල ඍෂිහු විසින් ස්වකීය ජාතිවාදයෙහි අනුයෝග කරනුලබන්නාහු කරුණු පුළුවුස්නා ලබන්නාහු ලබ්ධි පිහිටුවනු ලබන්නාහු සපයා කියන්නට නො හැකි වෙති. කිම තෙපි වැළිත් දැන් මා විසින් ස්වකීය ජාතිවාදයෙහි අනුයෝග කරනු ලබන්නහු කරුණු පුළුවුස්නා ලබන්නහු ලබ්ධි පිහිටුවනු ලබන්නහු සපයා කියහෙව? සාචාර්‍ය්‍යක් වූ තෙපි යම් සප්තර්ෂි කෙනකුන්ගේ යාග සැන්ද ගන්නා පූර්‍ණ ද නො වව! යි.
මෙසේ වදාළ කල්හි අස්සලායන මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “ඉතා මැනැව භවත් ගෞතමයන් වහන්ස, … භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිම් වැ සරණගිය උපාසකයකු කොට ධරත්ව’යි.
තුන් වැනි අස්සලායනසුත්‍ර යි.
2. 5. 4.
ඝෝටමුඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ බරණැස් නුවර සමීපයෙහි ඛේමිය නම් අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි ඝෝටමුඛ බ්‍රාහ්මණ කිසි කටයුත්තෙකින් බරණැස් නුවරට පැමිණියේ යි. එසඳ ඝෝටමුඛ බමුණු ජඞ්ඝාවිහාර පිණිස සක්මන් කරනුයේ ඇවිදුනේ ඛේමිය අඹඋයන් කරා එළැඹිය. ඒ සමයෙහි ආයුෂ්මත් උදේන තෙරණුවෝ අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති.
ඉක්බිති ඒ ඝෝටමුඛ බමුණු උදේන තෙරුන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් උදේන තෙරුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු සාරාණීය කථාකොට නිමවා සක්මන් කරන ආයුෂ්මත් උදේන තෙරුන් අනුව සක්මන් කෙරෙමින් මෙසේ කී: “එම්බා මහණ දැහැමි පැවිදි නැති, මට මෙහි ලා මෙසේ සිත් වෙයි, එ ද භවත්හු වැනියන් හෝ නො දැක්මෙන, මෙහි යම් දහම් ඇද්ද, එය හෝ නො දැක්මෙනි”යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැනැවූ අස්නෙහි වැඩහුන්හ. ඝෝටමුඛ බමුණු ද සක්මනින් බැස වෙහෙරට පිවිස එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි ඝෝටමුඛ බ්‍රාහ්මණහට ආයුෂ්මත් උදේන තෙරණුවෝ තෙල කීහ: ‘බමුණ, අසුන් ඇත, කැමැත්තෙහි නම් හිඳුව’යි.
ඇපි භවත් උදේන තෙරුන්ගේ තෙල බස මැ අපේක්‍ෂා කරමෝ නො හිඳුම්හ. කෙසේ නම් මා බඳුයෙක් පෙර නිමන්ත්‍රණ නො කරනලද්දේ අසුනෙහි හින්දයුතු කොට සිතා දැ? යි. ඉක්බිති ඝෝටමුඛ බ්‍රාහ්මණ එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “එම්බා මහණ, දැහැමි පැවිදි නැති, මෙහි ලා මට මෙසේ සිත් වෙයි, එ ද භවත්හු වැනියන් නො දැක්මෙන, මෙහි යම් දහම් ඇද්ද, එය හෝ නො දැක්මෙනි”යි.
බමුණ, ඉදින් තෝ අනුදතයුතු මබස අනුදන්හි නම්, පිළිකෙව් කළයුතු මබස පිළිකෙව් කරන්නෙහි නම් මා බණන යම් බසක්හුගේ අරුත් නො දන්හි ද “භවත් උදයනයෙනි, තෙල කෙසේ යැ? තෙල බස්හුගේ අරුත් කෙසේ යැ?”යි. එහි ලා මා මැ මතු පුළුවුස්නෙහි නම් මෙසේ තොට අපගේ මෙහි ලා කථා සල්ලාප වන්නේ යැ”යි.
මම භවත් උදයනයන්ගේ අනුදතයුතු බස් අනුදන්මි. පිළිකෙව් කළයුතු බස් පිළිකෙව් කරන්නෙමි. මම භවත් උදයනයන්ගේ යම් බසක්හුගේ අරුත් නො දන්මි ද, “භවත් උදයනයෙනි’ තෙල කෙසේ යැ? තෙල භාෂිතයාගේ අරුත් කෙසේ යැ?” යි. එහි ලා භවත් උදයනයන් මැ මතු පුළුවුස්මි. මෙසේ කොට මෙ කරුණෙහි අපගේ කථාසල්ලාපය වේවා.
බමුණ, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ ද වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ ද වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු ‘අත්තන්තප’ ද නො මැ වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු ‘පරන්තප’ ද නො මැ වෙයි. හේ ‘අත්තන්තප’ නො වූයේ ‘පරන්තප’ ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි. බමුණ, මේ සතර පුඟුලන් අතුරින් කවර පුඟුලෙක් තාගේ සිත් ගන්නේ වේ ද?
භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තපයෙක්’ වේ ද, මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් , පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තපයෙක්’ වේ ද, මේ පුද්ගල ද මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තපයෙකුත් වේ ද, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තපයෙකුත්’ වේ ද, මේ පුද්ගල ද මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයෙකුත් නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප නො වූයේ පරන්තප ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ ශීතිභූත වැ සුව විඳුනාසුලු වැ මෙසේ ශ්‍රේෂ්ඨ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ ද, මේ පුද්ගල මාගේ සිත් ගන්නේ යැ” යි.
බමුණ, කවර හෙයෙකින් මේ තුන් පුද්ගලයෝ තා සිත් නො ගනිත් ද? භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තපයෙක් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති ආත්මයා ආතාපන පරිතාපන කෙරෙයි. මේ කරුණින් මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තපයෙක් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති මෙරමා ආතාපනපරිතාපන කෙරෙයි. මේ කරුණින් ඒ පුද්ගල මා සිත් නො ගන්නේ යි. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තපයෙකුත් වේ ද, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තපයෙකුත් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති තමා හා මෙරමා ආතාපනපරිතාපන කෙරෙයි. මේ කරුණින් මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකු හා පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප නො වූයේ පරන්තප ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති තමා හා මෙරමා ආතාපනපරිතාපන නො මැ කෙරෙයි. මෙ කරුණින් මේ පුද්ගල මා සිත් ගන්නේ යැ.
බමුණ, මේ පිරිස්හු දෙදෙනෙකි, කවර දෙදෙනෙක යත්: බමුණ, මෙලො වැ කිසි පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ පුත්‍රභාර්‍ය්‍යා පිරියොස්නේ යැ, දැසිදස් පිරියොස්නේ යැ, කෙත්වත් පිරියොස්නේ යැ, රන්රිදී පිරියොස්නේ යි. බමුණ, මෙලොවැ කිසි පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ සිට පුත්‍රදාරාවන් හැර දැසිදස් හැර කෙත්වත් හැර රන්රිදී හැර ගෙන් නික්ම සසුන් වැදුණේ වෙයි, බමුණ, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකුත් නො මැ වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො මැ වේ ද, හේ අත්තන්තප ද නො වී පරන්තප ද නො වී ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරේ ද, බ්‍රාහ්මණය, තෝ මේ පුද්ගලයා කවර පිරිසෙක්හි ලා බහුල කොට නුවණින් දක්හි? යම් මේ පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ සිට අඹුදරු පිරියොස්නේ වේ ද, දැසිදස් පිරියොස්නේ වේ ද, කෙත්වත් පිරියොස්නේ වේ ද, රන්රිදී පිරියොස්නේ වේ ද, යම් මේ පිරිසෙක් මිණිකොඬොලෙහි අසංරක්ත වැ සිට අඹුදරු හැරපියා දැසිදස් හැරපියා කෙත්වත් හැරපියා රන්රිදී හැරපියා ගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, (මෙ පිරිස් අතුරෙහි) දක්හි?
භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකුත් නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප ද නො වී පරන්තප ද නො වී ඉහාත්මයෙහි මැ තෘෂ්ණා නැති වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ ද, මම මේ මිණිකොඬොලෙහි අසංරක්ත වැ අඹුදරුවන් හැරපියා දැසිදස් පියා කෙත්වත් පියා රන්රිදී පියා ගෙන් නික්ම සස්නට වැදුණු යම් පිරිසෙක් ඇද්ද, මෙ පිරිස්හි ලා නුවණින් දක්මි.
බමුණ, දැන් මෙ වේලෙහි මැ තා විසින් “අපි මෙසේ දැන සිටුම්හ. ශ්‍රමණයෙනි, දැහැමි පැවිදි නැත. මෙහි ලා මට මෙ බඳු සිත් වෙයි. එ සිතුදු භවද්‍රූපයන් නො දැක්මෙනුදු හෝ මෙහි යම් ස්වභාවයෙක් හෝ වේ ද, ඒ නො දැක්මෙනුදු හෝ” යයි, පැවැසිණ.
භවත් උදයනයෙනි, මට ඒකාන්තයෙන් සෝපකාරක වූ තෙල බස පැවැසිණ, දැහැමි පැවිදි ඇත, මෙහි ලා මට මෙ බඳු සිත් වෙයි. භවත් උදයනයෝ මෙසෙයින් මා ධරත්වා. භවත් උදයනයන් විසින් යම් මේ පුද්ගලයෝ සතර දෙනෙක් සැකෙවින් කියන ලදු වැ විස්තර විසින් විභාග නො කරන ලද්දාහු ද, යදිමි, භවත් උදයනයෝ මට මේ සතර පුද්ගලයන් අනුකම්පා පිණිස විස්තර විසින් බෙදා පවසත්වා.
‘බ්‍රාහ්මණය, එහෙයින් අසව, මනා කොට මෙනෙහි කරව, කියමි’යි.
භවත්නි, එසේ යැ’යි ඝෝටමුඛ බමුණු ආයුෂ්මත් උදයනයන්හට පිළිවදන් අස්වී. ආයුෂ්මත් උදයනයෝ තෙල කීහු:
බ්‍රාහ්මණය, ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තප පුද්ගල කවරේ යැ: බ්‍රාහ්මණය මෙලොවැ කිසි පුද්ගලයෙක් සෙලු වෙයි, හළ ආචාර ඇති වෙයි, පිඬු නිමි කල අත ලෝනේ වෙයි, ‘එව වහන්සැ’යි කී කල නො එනු සිල් කොට ඇතියේ වෙයි, ‘සිටුව වහන්සැ’යි කී කල නො සිටුනාසුලු වෙයි, පළමු එළවූ අහර නො පිළිගන්නේ වෙයි, උදෙසා කළ අහර නො පිළිගන්නේ වෙයි, නිමන්ත්‍රණය නො පිළිගන්නේ වෙයි, හේ කළමුවින් නඟා දුන් අහර නො පිළිගන්නේ වෙයි, සැළමුවින් නඟා දුන් අහර නො පිළිගන්නේ වෙයි, එළිපත අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, දඬු අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, මොහොල අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැඟී දෙන අහර නො පිළිගන්නේ වෙයි, ගැබිනිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, කිරිපොවන්නිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, පිරිම්නීන් අතරට ගිය ස්ත්‍රිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, සමාදන් කොට පිසූයෙහි අහර නො පිළිගන්නේ වෙයි, සුනඛයකු එළැඹසිටි තැන දෙන අහර නො පිළිගන්නේ වෙයි, මැසිමුළු ගළගළ වැ හැසිරෙන තන්හි දෙන අහර නො පිළිගන්නේ වෙයි, මත්ස්‍යමාංස නො පිළිගන්නේ වෙයි, රහ නො බොයි, මෙර නො බොයි, සෝවීරකය නො බොයි, හේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි, දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි, … සත් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි, එක් දත්තියෙකිනුදු (කුඩා තලියෙනුදු) යැපෙයි, දෙ දත්තියෙකිනුදු යැපෙයි ... සත් දත්තියෙකිනුදු යැපෙයි. එක් දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි, දෙ දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි ... සත් දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙ බඳු අඩමසක් දවසක් අතුරු කොට ගන්නා අහර දැ’යි වාරභක්තභෝජනානුයුක්ත වැ වෙසෙයි. හේ පළා වළඳනුයේ හෝ වෙයි, බඩහමු වළඳනුයේ හෝ වෙයි, හුරුහැල් වළඳනුයේ හෝ වෙයි, සම්කසට වළඳනුයේ හෝ වෙයි, ලහටු වළඳනුයේ හෝ වෙයි, කුඩු වළඳනුයේ හෝ වෙයි, දමු බත් වළඳනුයේ හෝ වෙයි, මුරුවට වළඳනුයේ හෝ වෙයි, තෘණ වළඳනුයේ හෝ වෙයි, ගොම වළඳනුයේ හෝ වෙයි, වැටුණු ඵල වළඳනුයේ වනමුල්පල අහර ඇතිව යැපෙයි. හේ හණ වැහැරි ද දරයි, මුසුහණවැහැරි ද දරයි, මිනියෙන් හළ පිළී ද දරයි, පහුල් ද දරයි, රුක්සුඹුලු ද දරයි, අඳුන්මුවසම් ද දරයි, කුර සහිත අඳුන්දිවිසම් ද දරයි, කුසවැහැරි ද දරයි, වාකවීර ද දරයි, ඵලකවීර ද දරයි, කේශකම්බල ද දරයි, වාලකම්බල ද දරයි, මහමුහුණු පියාපතින් කළ හඳනා ද දරයි, කෙහෙරවුළු උදුරාලීමෙහි යෙදුනේ කෙහෙරවුළු උදුරනුයේ ද වෙයි, අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරු වැ සිටුනේ ද වෙයි, උළුලුවැර වැඩුමෙහි යෙදුනේ උළුලුයෙන් සිටුනේ ද වෙයි, කටු ඇතිරිය ඇක්මෙනුයේ ද වෙයි, කටු ඇතිරියෙහි ශයනය ද කෙරෙයි, සසවස තුන් වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි. මෙසේ මෙ බඳු අනේකවිධ වූ කය පිළිබඳ ආතාපනපරිතාපනානුයෝගයෙහි යෙදී වෙසෙයි. බමුණ මේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ යයි කියනු ලැබේ.
බමුණ, මෙරමා තවන යෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල කවරෙ යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් එළුවැදි වෙයි, හූරුවැදි වෙයි, ළිහිණිවැදි වෙයි, මුවවැදි වෙයි, දරුණු වූයේ මස්වැදි (කෙවුළු) වෙයි, සොර වෙයි, චෝරඝාතක වෙයි, බන්‍ධනාගාර ගොපක වෙයි, යළි අන්‍ය වූත් යම්කිසි දරුණුකම් ඇද්ද, එයින් දිවි රක්නේ වෙයි, බමුණ, මේ පුද්ගල මෙරමා තවන යෝගයෙහි යෙදුණු ‘පරන්තප’ යයි කියනු ලැබේ.
බමුණ, කවර පුද්ගලයෙක් තමා තවන යෝගයෙහි යෙදුණේ ‘අත්තන්තප’ ද මෙරමා තවන යෝගයෙහි යෙදුණේ ‘පරන්තප’ ද වෙයි යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මුදුනෙහි බිසෙස් කළ ක්‍ෂත්‍රිය රජ හෝ වෙයි, බමුණු මහසල් හෝ වෙයි, හේ නුවරට පැදුන්දිග නව යාගහලක් කරවා කෙස්මස් බහා කුර සහිත අඳුන්දිවිසමක් හැඳ ගීයෙන් හා තෙලින් සිරුරු තවරා මුවහඟින් පිට කසමින් මෙහෙසිය ද පෙරෙවිබමුණු ද සමග යාගශාලාවට පිවිසෙයි. හේ එහි නො අතුළ ගොමපිරිබඩගත් බිමැ ශයනය කෙරෙයි. සමාන වස්සකු ඇති එක් දෙනකගේ එක් තනයෙකැ යම් කිරෙක් වේ ද, එයින් රජ යැපෙයි. දෙ වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් මෙහෙසිය යැපෙයි. තුන් වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයි පෙරෙවිබමුණු යැපෙයි. සතර වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් ගිනි පුදති. අවශේෂයෙන් වස්සා යැපෙයි. හේ මෙසේ කියයි: “යාගයට මෙතෙක් වෘෂභයෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් නහඹුවස්සෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් නැහැඹීවස්සෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් තිරෙළුවෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් එළුවෝ මරනුලැබෙත්වා, යාගස්ථම්භයට මෙතෙක් වෘක්‍ෂයෝ සිඳිනුලැබෙත්වා, පිරිකෙව් කරනු පිණිසත් යාගභූමියෙහි අතුරනු පිණිසත් මෙතෙක් කුසතණ කපනුලැබෙත්වා” යි. ඕහට යම් දස් කෙනෙක් හෝ මෙහෙකරු කෙනෙක් හෝ කම්කරු කෙනෙක් හෝ ඇද්ද, ඔහු දු දඬින් තෙදන ලද්දාහු භයින් තර්‍ජන කරනලද්දාහු කඳුළුගලනමුහුණු ඇතියාහු හඬමින් පිරියම් කෙරෙති. බමුණ, මේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තප ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප ද වේ යැ යි කියනුලැබේ.
බමුණ, තමා තවන යෝගයෙහි නො යෙදුණේ අත්තන්තප නො වූ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ පරන්තප නො වූ පුද්ගල කවරෙ යත්: හේ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරෙයි. බමුණ මෙ ලොවැ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත් වූ ලෝකවිද් වූ අනුත්තර පුරුෂදම්‍ය සාරථි වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත උපදි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති. එ දහම ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ අසයි. හෙ ඒ දහම අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. හෙ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “ගෘහ වාසය සම්බාධයෙක, (රාගාදි) රජසට මාර්‍ගයෙක, පැවිද්ද අභ්‍යවකාශයෙක, ගිහිගෙයි වසනුවහු විසින් ඒකාන්තපරිපුණී වූ ඒකාන්තපරිශුද්ධ වූ ධෝතසඞ්ඛසදෘශ මෙ බඹසර පුරන්නට සුකර නො වෙයි. මම් කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මනා මැ නු” යි. හේ මෑත භාගයෙහි අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා අල්ප වූ හෝ නෑපිරිවට හැරපියා මහත් වූ හෝ නෑපිරිවට හැරපියා කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදී.
හෙ මෙසෙයින් පැවිදි වූයේ මැ භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ ප්‍රාණවධ හැරපියා පණිවායෙන් වෙන් වූයේ වෙයි, බගා තබනලද දඬු ඇති වැ බහා තබනලද ආයුධ ඇති වැ ලජ්ජා ඇති වැ මෙත්සිතට පැමිණ හැම සත්නට හිතානුකම්පා ඇති වැ වාස කෙරෙයි. නුදුන් අන් සතු දැය හැරපියා අයිනාදනින් වෙන් වූයේ වෙයි, දුන් දැය ගනුයේ දුන් දැය කැමැති වනුයේ නො සොර වූ පිරිසුදු වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරෙයි. අබ්‍රම්සර හැරපියා බඹසර (ශ්‍රේෂ්ඨ ආචාර) ඇතියේ වෙයි, අබ්‍රම්සරින් දුරු වූ ආචාර ඇතියේ ග්‍රාම්‍යධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයේ වෙයි. මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි, සත්‍යය කියනුයේ සත්‍ය ගළපනුයේ ස්ථිරකථා ඇතිය හැදැහියයුතු කථා ඇතියේ ලෝකයා විසංවාද නො කරනුයේ වෙයි. පිසුණුබස් හැරපියා පිසුණුබසින් වෙන් වූයේ වෙයි, මෙතැනින් අසා මුන් බිඳුනට එ තැන නො කියන්නේ යැ, එ තැන හෝ අසා උන් බිඳුනට මුන්ට නො කියන්නේ යැ, මෙසෙයින් බිඳුණවුන් හෝ ගළපනුයේ සමගවූවන් දැඩි කරනුයේ සමග වූවන් කෙරෙහි සිත් අළවනුයේ සමගයන් කෙරෙහි ඇලුණේ සමගයනට තුටු වූයේ සමග කරන බස් බණනුයේ වෙයි. පරොස්බස් හැරපියා පරොස්බසින් වෙන් වූයේ වෙයි, යම් බසෙක් කෙලතොලු නො වේ ද, කන්ට සුව එළවනුයේ ද, ප්‍රේමනීය ද, හෘදයඞ්ගම ද, නාගරික ද, බොහෝදෙනාට කාන්ත ද, බොහෝදෙනාගේ මන වඩනුයේ ද, එ බඳු බස් බණනුයේ වෙයි. සිස්බස් හැරපියා සිස්බසින් වෙන් වූයේ වෙයි, නිසි කල්හි කියනුයේ තථ්‍යය කියනුයේ අර්‍ත්‍ථසංහිතය කියනුයේ ධර්‍මනිඃශ්‍රිතය කියනුයේ (සංවර ප්‍රහාණ) විනයනිඃශ්‍රිතය කියනුයේ නිසි කල්හි සකාරණ වූ පිරිසිඳුම් ඇති අර්‍ත්‍ථසංහිත (හදවත්හි) නිධන් කළයුතු බස් බණනුයේ යි.
හේ බීජගාමභූතගාම විකෝපනයෙන් වෙන් වූයේ වෙයි, රාත්‍රිභෝජනයෙන් වැළකියේ විකල්බොජුනෙන් වැළකියේ ඒකභක්තික වෙයි. නටනු ගයනු වයනු විසුළුදස්නෙන් දුරු වෙයි. මල් ගඳ විලෙවුන් දැරීම හා මණ්ඩන විභූෂණ යන කරුණින් වැළකියේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළකියේ වෙයි, රන්රිදී පිළිගැන්මෙන් වැළකියේ වෙයි, (සත්වැදෑරුම්) ආමකධ්‍යාන පිළිගැන්මෙන් වැළකියේ වෙයි, අමුමස් පිළිගැන්මෙන් වැළකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, දැසිදසුන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, එළුතිරෙළුවන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, කුකුළුහූරන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, ඇත් - ගව - අස් - වෙළඹ පිළිගැන්මෙන් වැළකියේ වෙයි, කෙත්වතු පිළිගැන්මෙන් වැළකියේ වෙයි, දූතකර්‍ම යැ පහිණගමන ය යන මෙහි යෙදීමෙන් වැළකියේ වෙයි, ගනුදෙනුයෙන් වැළකියේ වෙයි, තුලාකූට කංසකූට මානකූට යන මෙයින් වැළකියේ වෙයි, අල්ලස් ගැනීම යැ නුළු කිරීම යැ මායා යැ යන සාචියෝග (රැවැටිලි)යෙන් වැළකියේ වෙයි, (අත්පා ආදිය) සිඳීම යැ මැරීම යැ බන්‍ධන යැ සැහැවි සිට සර්‍වස්වාපහරණ යැ ගම් වොලොගැන්ම යැ සැහැසිකම් යැ යන මෙයින් වැළකියේ වෙයි. හේ කය පරිහරණයට පමණ වූ සිවුරින් කුස පරිහරණයට පමණ වූ පිඬුවායෙන් සතුටු වූයේ වෙයි. හේ යම් මැ තැනෙක යේ ද, මහණ පිරිකර් (කායපටිබද්ධ කොට) ගෙන මැ යෙයි. යම්සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් තැනෙක ඉගිල යේ නම් සිය පියාපත්බර ඇති වැ මැ ඉගිල යෙයි. එසෙයින් මැ මහණ කායපරිහාරික සිවුරින් කුච්ඡිපරිහාරික පිණ්‍ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් මැ තැනෙකැ යේ ද, මහණ පිරිකර ගෙන මැ යෙයි. හේ මේ ආර්‍ය්‍ය වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍යසුඛය විඳියි.
හේ ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ නො වෙයි, අනුබ්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරිනද්‍රියය අසංවෘත වැ වාස කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ චක්‍ෂුරිනද්‍රියය සංවරයට පැමිණෙයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ නො වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත වැ වාස කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වැ අධ්‍යාත්මයෙහි ක්ලේශාභිෂේක රහිත සුවය විඳී.
හේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, ඉදිරිය බැලීමෙහි අවට බැලීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, අත්පා හැකිළීමෙහි දිගු කිරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, සඟළපාසිවුරු දැරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, බිඳීමෙහි පීමෙහි කෑමෙහි ලෙවීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, මලමූ පහ කිරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි සිනාසීමෙහි තුෂ්ණීම්භාවයෙහි නුවණින් දැන කරනුයේ වෙයි.
හේ මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙනුදු සමන්‍වාගත වැ මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙනුදු සමන්‍වාගත වැ මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වැ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුකර යැ ගිරිගුහාව යැ සොහොන යැ වනයෙහි දුර සෙනසුන යැ අභ්‍යාවකාශ යැ පලාල (පිදුරු) පුඤ්ජයැ යන විවික්ත සෙනසුන භජනය කෙරෙයි. හේ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ පලක් අවුළුවා කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හිඳියි. හේ (කායාදී) ලෝකයෙහි අභිධ්‍යාව හැරපියා පහවූ අභිධ්‍යා ඇති සිතින් යුතු වැ වාස කෙරෙයි, අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදදෝෂය හැරපියා අව්‍යාපන්න සිත් ඇති වැ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි අනුකම්පා ඇති වැ වාස කෙරෙයි, ව්‍යාපාදදොෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැරපියා පහවූ ථීනමිද්ධයෙන් යුතු වැ ආලෝක සංඥා ඇති වැ සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ වාස කෙරෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැරපියා අනුද්ධත වැ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාස කෙරෙයි, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසුදු කෙරෙයි, විචිකිත්සා හැරපියා තරණය කළ විචිකිත්සා ඇති වැ කුසල්දහම්හි කථඞ්කථා (සැක) නැති වැ වාස කෙරෙයි, විචිකිත්සායෙන් සිත පිරිසුදු කෙරෙයි.
හේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා අකුසල් දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදයැ ඇති චිත්තයාගේ එකඟ බව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇති වැ ද වාස කෙරෙයි. යළි සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ කයින් සුව ද විඳියි, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් සඳහා උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුඛවිහාර ඇත්තේ යැ’යි කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ප්‍රහාණයෙන් කැල මැ සොම්නස්දොම්නසුන් ගේ අස්තඞ්ගමයෙන් දුක් නැති සුව ඇති උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා ගෙන වාස කෙරෙයි.
හේ මෙසේ සිත සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි තහවුරු බවට පත් කල්හි පූර්වේනිවාසානුස්මෘතිඥානයට සිත නමයි. හේ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි, හේ කෙසේ යැ යත්: “එක් ජාතියකුදු දෙ ජාතියකුදු තුන් ජාතියකුදු ... නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසෝ තැන්හි මේ නම් ඇති වීමි, මෙවන් ගෝත්‍ර මෙවන් පැහැසටහන් මෙබඳු ආහාර ඇතිවීමි. මෙබඳු සුවදුක් විඳුනෙම් වීමි. මෙබඳු ආයුෂපර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මි”යි මෙසේ ආකාර සහිත කොට උද්දේස සහිත කොට නන් වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කෙරේ.
හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නොසැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋපප්‍රාප්ති ඥානයට සිත නමයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකියි, කර්‍මානුරූප වැ යන සත්ත්‍වයන් දැනගනියි: “මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ ... මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියහ. යළි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් සමන්‍වාගතයහ .... සම්‍යග් දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් මියන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුගත සත්ත්‍වයන් දකී. යථාකර්‍මොපගත සත්ත්‍වයන් දැනගනී.
හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මාහ වැ සිටි කල්හි අකම්ප්‍යභාවයට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානයට සිත නමයි. හෙ ‘මෙ (පඤ්‍චස්කන්‍ධය) දුකැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ (තෘෂ්ණාසමුදය) දුක් උපදනා කාරණයැ’ යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ දුක් නැති කිරීම යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ ආස්‍රවසමුදය’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මේ ආස්‍රවනිරෝධ යැ’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණ කල්හි ‘මිදිණැ’යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවන ලදී, කරණී කරනලද, මේ බවට (කළයුතු) අන් කිසෙක් නැතැ’යි දැනගනී. බමුණ, මේ පුද්ගල නො මැ තමා තවනුයේ තමා තවන යෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ යයි කියනුලැබේ. හේ තමා නො තවනුයේ පරා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ”යයි.
මෙසේ කී කල්හි ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “භවත් උදේනයෙනි, ඉතා කාන්ත යැ, භවත් උදේනයෙනි, ඉතා කාන්ත යි. භවත් උදේනයෙනි, යම්සේ යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් උදේනයන් විසින් නොයෙක් අයුරින් දහම් පැවැසිණ. තෙල මම් භවත් උදේනයන් දහම් හා බික්සඟන හා සරණ කොට යෙමි, භවත් උදේනයෝ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.
බමුණ, තෙපි මා නහමක් සරණ යව, මම් යම් කෙනකුන් සරණ ගියෙම් ද, තෙපි එ මැ භාග්‍යවතුන් වහන්සේ සරණ යව’යි.
භවත් උදේනයෙනි, වැළිත් ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භවත් ගොයුම් ගොතුවෝ දැන් කොහි වැඩවෙසෙත් දැ? යි.
බමුණ, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ මෙ කල්හි පිරිනිවියහ’යි.
භවත් උදේනයෙනි, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ දසයොදනෙක්හි අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට දසයොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඉදින් ඇපි ඒ භවත් ගෞතමයන් විසියොදනෙක්හි ... තිස්යොදනෙක්හි ... සතලිස්යොදනෙක්හි .... පනස්යොදනෙක්හි අසන්නමෝ නම්, අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට පනස්යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඇපි යොදුන් සියයෙක්හිදු ඒ භවත් ගෞතමයන් අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට සියක් යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි යම් දවසෙක ඒ භවත් ගෞතමයන් වහන්සේ පිරිනිවිසේක් ද, අපි පිරිනිවියා වූ ද ඒ භවත් ගෞතමයන් ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හා සරණ යම්හ, භවත් උදේනයෝ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්වා. භවත් උදේනයෙනි, මට දවස් පතා නිත්‍යභික්‍ෂා දෙන අඞ්ගරජ ඇත. මම භවත් උදේනහට එයින් එක් නිත්‍යභික්ශාවක් දෙමි’යි.
බමුණ තොපට අඟුරජ දිනපතා කිනම් නිත්‍ය භික්‍ෂාවක් දේ ද? භවත් උදයනයෙනි, පන්සියක් කහවණු යැ. බමුණ අපට රන්රිදී පිළිගන්නට කැප නො වෙයි.
ඉදින් භවත් උදයනයන්හට ඒ රන්රිදී නොකැප වේ නම් භවත් උදයනයන්හට වෙහෙරක් කරවමි’යි.
බමුණ, ඉදින් තෙපි මට වෙහෙරක් කරවනු කැමැත්තහු නම් පැළලුප්නුවර සඟනට උපස්ථානශාලාවක් කරව’යි.
මම මෙයිනුදු භවත් උදයනයන්හට බෙහෙවින් සතුටු වීමි. සිත් ඇලවීමි. භවත් උදයනයෝ යම් හෙයෙකින් මා සඟුන් විෂයෙහි දෙන දන්හි සමාදන් කරවත් ද, එහෙයිනි. භවත් උදයනයෙනි, තෙල මම තෙල නිත්‍යභික්‍ෂායෙකිනුදු අපර නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථානශාලාවක් කරවමි’යී.
ඉක්බිති ඝෝටමුඛ බමුණු තෙල නිත්‍යභික්‍ෂායෙකිනුදු අන්‍ය නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථාන ශාලාවක් කරවී. ඒ ශාලාව දැන් ‘ඝෝටමුඛ’ යයි කියනු ලැබේ.
සතර වැනි ඝෝටමුඛ සූත්‍ර යි.
2. 5. 5.
චඞ්කී සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ බික්සඟන හා සමග කොසොල් දනවියෙහි සැරිසරා වඩනාසේක් ඕපසාද නම් කොසොල් දනවුවැසි බ්‍රාහ්මණයන්ගේ ගම කරා වැඩිසේකි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඕපසාද බමුණුගම්හි ඕපසාදයට උතුරුදිග දේවවන නම් සල්වෙනෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි චඞ්කී බ්‍රාහ්මණ බහුජනාකීර්‍ණ වූ තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට පසේනදි කොසොල්රජු විසින් දෙන ලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ ඕපසාද නම් ගමෙහි ඊශ්වර වැ වෙසෙයි.
ඕපසාද ගම්වැසි බමුණුගැහැවියෝ: “භවත්නි, සැහැකුලපුත් මහණ ගොයුම්ගොතුවෝ සැහැකුලින් නික්ම පැවිදිවැ මහත් වූ බික්සඟුන් හා සමග කොසොල් දනවියෙහි සැරිසරා වඩනාසේක් ඕපසාදයට පැමිණියාහු ඕපසාදබමුණු ගම්හි ඕපසාදයට උතුරුදිගැ දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති” යි ඇසූහ.
ඒ භවත් ගොයුම්ගොතුවන්ගේ වූ කලි මෙබඳු කලණ යසගීහඬෙක් උස් වැ නැඟිණ: “ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍ය සාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති, ඔබ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ දහම අර්‍ත්‍ථ සහිත වැ ව්‍යඤ්ජන සහිත වැ දෙසති, කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති. එ බඳු රහතුන්ගේ දැක්ම මනා මැ නු” යි.
එසඳ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගොස් ගණ වැ උතුරු දිගට මුහුණලා දේවවන නම් සල්උයන් කරා යෙති. එසමයෙහි චඞ්කී බ්‍රාහ්මණ මතු මහල්හි දිවාශය්‍යාවට එළැඹියේ වෙයි. චඞ්කී බ්‍රාහ්මණ වැළිත් ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගොස් ගණ වැ උතුරුදස බලා දේවවන නම් සල්උයන් කරා යනුවන් දිට. දැක කතු (ඛත්ත) මහඇමැති ඇමැතී: “භවත් ඛත්තයෙනි, ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගණබැඳී උතුරුදිග බලා දේවවන නම් සල්වනයට කුමට යෙත් දැ?”යි.
භවත් චඞ්කියෙනි, සැහැකුලපුත් සැහැකුලෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්ගොතුවෝ ඇත. ඔබ මහත් වූ බික්සඟුන් හා සමග කොසොල් දනවියෙහි සැරිසරනසේක් ඕපසාද නම් බමුණුගමට පැමිණියාහු ඕපසාද බමුණුගම්හි ඕපසාදයට උතුරුදිගැ දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙවන් කලණ යසගීහඬෙක් උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. තුලුහු ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙති” යි.
එසේ වී නම් භවත් කතුවෙනි, ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියන් කරා එළැඹෙව, එළැඹැ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියනට මෙසේ කියව: “භවත්නි, චඞ්කීබ්‍රාහ්මණ මෙසේ කියයි: භවත්හු මොහොතක් බලත්වා, චඞ්කීබ්‍රාහ්මණ ද මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නේ ල” යි. ‘එසේ යැ භවත්නි’ යි ඒ කතු මහඇමැති චඞ්කීබ්‍රාහ්මණහට පිළිවදන් දී ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියන් කරා එළැඹියේ. එළැඹැ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියනට තෙල කී: “භවත්නි, චඞ්කීබ්‍රාහ්මණ මෙසේ කියයි: භවත්හු මොහොතක් බලත්වා, චඞ්කීබ්‍රාහ්මණ ද මහණ ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙත් ල” යි.
එසමයෙහි වනාහි නොයෙක් වෙන් වෙන් රාජ්‍ය සම්බන්‍ධී බමුණන් අතුරෙහි පන්සියක් පමණ බමුණෝ ඕපසාද බමුණුගම්හි කිසි කටයුත්තෙකින් වෙසෙති, ඒ බමුණෝ “චඞ්කී බ්‍රාහ්මණ ශ්‍රමණ ගෞතමයන් දක්නට එළැඹෙන්නේ ල” යි ඇසූහු. එ සඳ එ බමුණෝ චඞ්කී බ්‍රාහ්මණ කරා එළැඹියහ. එළැඹැ චඞ්කීබ්‍රාහ්මණහට තෙල කීහු: “සැබැවෙක් ද, භවත් චඞ්කීබ්‍රාහ්මණ මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නේ ල?” යි.
භවත්නි, මට මෙසේ සිත් වෙයි: “මම ද මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නෙමි” යි.
භවත් චඞ්කී මහණ ගොයුමන් දක්නට නහමක් එළැඹෙව. භවත් චඞ්කී මහණ ගොයුමන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. මහණ ගොයුමෝ මැ භවත් චඞ්කී දක්නට එළැඹෙන්නට නිසියහ. භවත් චඞ්කී මවුපසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාත මැ යැ, සත් වැනි මුත්නායුගය තෙක් පිරිසුදු මව්කුස් ඇතියෙ යැ, ජාතිවාදයෙන් උපක්‍රෝශ නො කරන ලද්දේ යැ, බැහැර නො ලන ලද්දේ යැ. යම් හෙයකින් භවත් චඞ්කී මවුපසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාත වේ ද, සත් වැනි මුත්නායුගය තෙක් සංශුද්ධග්‍රහණී ඇතියේ ද, ජාතිවාදයෙන් උපක්‍රෝශ නො කරන ලද්දේ ද, බැහැර නො ලන ලද්දේ ද, මෙ කරුණිනුදු භවත් චඞ්කී මහණගොයුමන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. මහණ ගොයුම්හු මැ භවත් චඞ්කී දක්නට එළැඹෙන්නට නිසියහ. භවත් චඞ්කී ආඪ්‍ය යැ, මහත් ධන ඇතියේ යැ, මහත් භෝග ඇතියෙ යැ … භවත් චඞ්කී නිඝණ්ඩු කේටුභ සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පද හදාරනුයෙ යැ, ව්‍යාකරණ හදාරනුයෙ යැ ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ … භවත් චඞ්කී විශිෂ්ට රූප ඇතියේ යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවනුයේ යැ පරම වූ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත යැ. ශ්‍රේෂ්ඨවර්‍ණ (රන්වන්) ඇතියේ යැ මහබඹුගේ සිරුරුපැහැ ඇතියේ යැ (භවත්හුගේ සිරුර) දක්නා අවකාශය කුඩා නො වෙයි ... භවත් චඞ්කී සිල්වත් යැ වැඩුණුසිල් ඇතියේ යැ වෘද්ධශීලයෙන් සමන්‍වාගත යැ … භවත් චඞ්කී සුන්‍දරවචන ඇතියේ යැ මධුරවාක්කරණ ඇතියේ යැ පලිබෝධ රහිත වූ කෙළතොලු නො වූ අරුත් හැඟවීමෙහි නිසි පෞරවචනයෙන් සමන්‍වාගත යැ … භවත් චඞ්කී බොහෝ දෙනාට ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වෙයි. තුන් සියක් මාණවකයනට මන්ත්‍රහදාරවයි … භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් සත්කෘත යැ ගරුකෘත යැ මානිත යැ පූජිත යැ අපචායන කරන ලද … භවත් චඞ්කී පොක්ඛරසාති බමුණු විසින් සත්කාර ගරුකාර මානන පූජා අපචායන කරන ලද ... භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට දෙනලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ බහුජනාකීර්‍ණ ඕපසාද බමුණුගම්හි වෙසෙයි. යම් හෙයෙකින් භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට දෙන ලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ බහුජනාකීර්‍ණ ඕපසාද බමුණුගම්හි වෙසේ ද, මෙ කරුණිනුදු භවත් චඞ්කී ශ්‍රමණගෞතමයන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. ශ්‍රමණ ගෞතමයෝ මැ භවත් චඞ්කීහු දක්නට එළැඹෙන්නට නිසියහ” යි.
මෙසේ කී කල්හි චඞ්කීබ්‍රාහ්මණ ඒ බමුණනට තෙල කී ‘එසේ වී නම් භවත්නි, යම් සේ අපි ම ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙන්නට නිසියමෝ ද, ඒ භවත් ගොයුම්ගොතුවෝ අප දක්නට එළැඹෙන්නට නො නිසි වෙත් ද එසේ වූ මබසුදු අසව’.
භවත්නි, මහණ ගොයුම්හු වූකලි මව්පසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාතයහ, සත් වැනි මුත්නායුගය තෙක් සංශුද්ධමාතෘකුක්‍ෂි ඇතියහ, ජාතිවාදයෙන් බැහැර නො ලනලද උපක්‍රෝශ නො කරන ලද. මෙ කරුණිනුදු ඒ භවත් ගෞතමයෝ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ, වැළිත් අපි මැ ඒ භවත් ගෝතමයන් දක්නට එළැඹෙන්නට නිසියම්හ.
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි භූමිගත වූත් ආකාශගත වූත් බොහෝ වූ හිරණ්‍යසුවර්‍ණ හැරපියා පැවිදි වූහ …
භවත්නි, මහණ ගොයුම්හු වූකලි තරුණ වූවාහු මැ මනා කළුකෙහෙ ඇතියාහු භද්‍රයෞවනයෙන් සමන්‍වාගත වූවාහු පළමු වයස්හි ගිහිගෙන් නික්ම සසුන් වන්හ ...
භවත්නි, මහණ ගොයුම්හු වූ කලි නො කැමැති මව්පියන් කඳුළු වගුළමුහුණු ඇති වැ හඬද්දී කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන් වන්හ ...
භවත්නි, මහණ ගොයුම්හු වූකලි විශිෂ්ට රූප ඇතියහ, දර්‍ශනීයහ ප්‍රසාද එළවනුවහ, පරම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගතයහ, රන්වන්හ, මහබඹහු බඳු සිරුරු ඇතියහ, කුඩා නො වූ දර්‍ශනාවකාශ ඇතියහ ...
භවත්නි, මහණ ගොයුම්හු වූකලි සිල්වත්හ, ආර්‍ය්‍යශීල ඇතියහ, කුශල (නිරවද්‍ය) ශීල ඇතියහ, කුශලශීලයෙන් සමන්‍වාගතයහ. ...
භවත්නි, මහණ ගොයුම්හු වූකලි කලණබස් ඇතියහ, මධුර වාක්කරණ (උසුරුවිම්ගොස) ඇතියහ, පරිබාධ රහිත වූ කෙළතොලු නො වූ අරුත් හඟවනු සමත් පෞරජනයන්ගේ වචනයට බඳු වචනයෙන් සමන්‍වාගතයහ ...
භවත්නි, මහණ ගොයුම්හු වූකලි බොහෝ දෙනාහට ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයහ ...
භවත්නි, මහණ ගොයුම්හු ක්‍ෂය කළ කාමරාග ඇතියහ පහවූ චපල බව ඇතියහ ....
භවත්නි, මහණ ගොයුම්හු වූකලි කර්‍මවාදීයහ, ක්‍රියාවාදීයහ නවලොවුතුරු දහම් පෙරටු කොට ඇතියහ, බ්‍රාහ්මණ්‍යප්‍රජාව පෙරටු කොට ඇතියහ ....
භවත්නි, මහණ ගොයුම්හු වූකලි අමිශ්‍ර ක්‍ෂත්‍රියකුල සඞ්ඛ්‍යාත උසස්කුලෙන් නික්ම පැවිදි වූවහ ....
භවත්නි, මහණ ගොයුම්හු වූකලි මහද්ධන ඇති මහද්භෝග ඇති ආඪ්‍යකුලයෙන් නික්ම පැවිදි වූවහ ....
භවත්නි, මහණ ගොයුමන් වූකලි (පැන) පුළුවුස්නට පරරටින් පරදනවියෙන් (ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි පණ්ඩිතයෝ) එති ....
භවත්නි, මහණ ගොයුමන් වූකලි නොයෙක් දහස් ගණන් දෙවියෝ දිවිහිමියෙන් සරණ ගියහ ....
භවත්නි, මහණ ගොයුම්ගොතුවන්ගේ වූකලි මෙ බඳු කලණ යසගී උස් වැ නැගිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිසුනට ශාස්තෘවහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි ....
භවත්නි, මහණ ගොයුම්හු වූකලි දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍වාගතයහ ....
භවත්නි, මහණ ගොයුමන් මගධේශ්වර සේනිය බිම්බිසාර රජ පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිම් වැ සරණ ගියේ යි ...
භවත්නි, මහණ ගොයුමන් වූකලි පසේනදි කොසොල් රජ පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිම් කොට සරණ ගියේ යි ...
භවත්නි, මහණ ගොයුමන් වූකලි පොක්ඛරසාති බමුණු පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිමියෙන් සරණ ගියේ යි ...
භවත්නි, මහණ ගොයුම්ගොතුවෝ ඕපසාද බමුණුගමට පැමිණියාහු ඕපසාදයෙහි ඕපසාදයට උතුරුදික්හි දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති. යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි අපගේ ගම්කෙතට එත් ද, ඔහු අපට ආගන්තුක වෙති, ආගන්තුකයෝ වැළිත් අප විසින් සත්කාර ගරුකාර මානන පූජා කළයුත්තාහ. භවත්නි, යම් හෙයෙකින් මහණ ගොයුම්ගොතුවෝ ඕපසාද බමුණුගමට වැඩියාහු ඕපසාද බමුණුගමැ ඕපසාදයට උතුරුදස දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙත් ද, එහෙයින් මහණ ගොයුම්හු අපට අමුතුවහ. අමුතුවෝ වැළිත් අප විසින් සත්කාර ගරුකාර මානන පූජා කළයුත්තාහ. මෙ කරුණිනුදු ඒ භවත් ගෞතමයන් වහන්සේ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ. අපි මැ වැළිත් ඒ භවත් ගෞතමයන් දක්නට එළැඹෙන්නට නිසියම්හ. භවත්නි, මම් ඒ භවත් ගෞතමයන්ගේ මෙතෙක් මැ ගුණ දනිමි. ඒ භවත් ගොයුම්ගොතුවෝ මෙතෙක් මැ ගුණ ඇතියාහු නො ද වෙති. ඒ භවත් ගොයුමාණෝ අපමණ ගුණ ඇතියාහු මැ යි. භවත්නි, එකෙකි අභිනුදු සමන්‍වාගත වූ ඒ භවත් ගොයුම්ගොතුවෝ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ. අපි මැ වැළිත් ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙන්නට නිසියම්හ, එසේ වී නම් භවත්නි, අපි හැමදෙනමෝ මහණ ගොයුමන් දක්නට එළැඹෙම්හ” යි.
එසඳ චඞ්කී බ්‍රාහ්මණ මහත් වූ බමුණුගණයා හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහලු මහලු බමුණන් හා සමග කිසි කිසි සාරාණීයකථා කොට නිමවා වැඩහුන්නාහු වෙති.
එසමයෙහි තරුණ වූ බහාලූ කෙහෙ ඇති උපතින් සොළොස්වස් පමණ ඇති, නිඝණ්ඩු කේටුභ සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගිය පද හදාරන ව්‍යාකරණ හදාරන ලෝකායතමහාපුරුෂලක්‍ෂණයෙහි අනූන වූ කාපටික නම් මාණව එ පිරිස්හි හුන්නේ වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේ හා සමග මන්ත්‍රණ කරන මහලු බමුණනට අතුරතුරෙහි කථා බහාලයි. එසඳ බුදුහු “ආයුෂ්මත් භාරද්වාජ මන්ත්‍රණ කරන මහලු බමුණනට අතුරතුරෙහි නහමක් කථා බහාලව. ආයුෂ්මත් භාරද්වාජ කථා පර්‍ය්‍යවසානය බලව” යි කාපටික මණෙවු බැහැර කළහ. මෙසේ වදාළ කල්හි චඞ්කී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ: “භවත් ගෞතමයන් වහන්සේ කාපටික මාණව නහමක් බැහැර ලන සේක්වා. කාපටික මාණව කුලපුත්‍ර ද වෙයි, කාපටික මාණව බහුශ්‍රුත ද වෙයි, කාපටික මාණව කල්‍යාණවාක්කරණ ද වෙයි, කාපටික මාණව පණ්ඩිත ද වෙයි, කාපටික මාණව මේ වචනයෙහි භවත් ගොයුම්ගොතුවන් හා සමග ප්‍රතිමන්ත්‍රණ කරන්නට පොහෝනේ යැ” යි.
එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “ඒකාන්තයෙන් මැ කාපටික මාණව ත්‍රිවේද සඞ්ඛ්‍යාත ප්‍රවචනය හදාළේ වන. එසේ මැ යි බ්‍රාහ්මණයෝ ඔහු පෙරටු කොට හැසිරෙති” යි. එසඳ කාපටික මාණවහට තෙල සිත් වී: “යම් කලෙක ශ්‍රමණ ගෞතම ඔබගේ ඇසින් මාගේ ඇස බලා ද එකල්හි මම් ශ්‍රමණ ගෞතමයන් අතින් පැන පුළුවුස්මි” යි. ඉක්බිති බුදුහු තමන් සිතින් කාපටික මාණවගේ චිත්තපරිවිතර්‍කය දැන කාපටික මාණව කරා දෙනුවන් එළැවූහ. එසඳ කාපටික මාණවහට තෙල සිත් වී: “මහණ ගොයුම්හු මා මෙනෙහි කෙරෙති, මම් මහණ ගොයුම් ගොතුවන් අතින් පැන පුළුවුස්නෙම් නම් මනා මැ නු” යි. ඉක්බිති කාපටික මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගෞතමයන් වහන්ස, පැරැණි බමුණන්ගේ පරම්පරායෙහි පිටකසම්ප්‍රදායයෙහි ‘මෙසේ මෙසේ වී යැ’යි යම් මන්ත්‍රපදයෙක් වේ ද, එහිදු බ්‍රාහ්මණයෝ ‘මේ මැ සත්‍ය යැ, තදන්‍යය සිස් යැ’යි ඒකාන්තයෙන් නිෂ්ඨාවට යෙති. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ?”යි.
කිම භාරද්වාජයෙනි, බමුණන් අතුරෙහි යමෙක් “මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ අන්‍යය සිස් යැ”යි මෙසේ කියා නම් එබඳු කිසි එකද බමුණෙක් ඇද්ද?
මේ නො වේ මැ යි භවත් ගෞතමයෙනි.