Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 3701-3800 න් 6387

එසඳ බුදුහු බ්‍රහ්මායු බමුණුහට තෙල වදාළහ: බමුණ කම් නැත, නැඟී සිටුව, තෙපි සිය අස්නෙහි හිඳුව, මා කෙරෙහි තොප ගේ සිත් පහන් හෙයිනැ”යි. එකල්හි බ්‍රහ්මායු බමුණු නැඟී සිය අස්නෙහි හින.
ඉක්බිති බුදුහු බ්‍රහ්මායු බමුණුහට අනුපූර්‍වකථා වදාළහ. ඒ කෙසේ යැ යත්: දානකථා යැ ශීලකථා යැ ස්වර්‍ගකථා යැ කාමයන් ගේ ආදීනව යැ සංක්ලේශයන්ගේ ලාමක බව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ප්‍රකාශ කළහ. යම් කලෙක බුදුහු බ්‍රහ්මායු බමුණු අරෝග සිත් ඇතියහු මෘදු සිත් ඇතියහු විගත නීවරණ සිත් ඇතියහු ඔදවැඩි සිත් ඇතියහු පහන්සිත් ඇතියහු බව දත්සේක් ද එකල්හි බුදුවරුන්ගේ යම් සාමුක්කංසික (සිව්සස්) ධර්‍මදේශනාවක් වේ ද, එ දහම ප්‍රකාශ කළහ: දුඃඛ යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ග යැ යි. යම්සේ නම් පහවැ ගිය කළුපැහැ ඇති ශුද්ධ වස්ත්‍රයක් මොනොවට රඳන් ගන්නේ ද එසෙයින් මැ බ්‍රහ්මායු බමුණුහට එ අස්නෙහි දී මැ ‘යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද, එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි පහ වැ ගිය (රාගාදි) රජස් ඇති පහ වැ ගිය (රාගාදි) මල ඇති දහම් ඇස උපන. ඉක්බිති බ්‍රහ්මායු බමුණු දක්නාලද (ලොවුතුරු) දහම් ඇති වැ පැමිණි දහම් ඇති වැ දන්නා ලද දහම් ඇති වැ බැසගත් දහම් ඇති වැ තරණය කළ විචිකිත්සා ඇති වැ පහ වැ ගිය සැක ඇති වැ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුමාණෙනි ඉතා කාන්ත යැ, භවත් ගෞතමයෙනි ඉතා කාන්ත යැ. භවත් ගොයුමාණෙනි, යම්සේ යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තාහු රූප දක්නාහ’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් ගොයුමාණන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල මම් භවත් ගෞතමයන් ද දහම් ද බික්සඟන ද සරණ කොට යෙමි. භවත් ගෞතමයෝ මා අද පටන් කොට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට ධරත්වා. භවත් ගෞතමයෝ බික්සඟන හා සමඟ සෙට මා ගේ බත ද ඉවසත්ව”යි. බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවැසූහ.
එසඳ බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට බැස ගියේ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු එ රැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍ය පිළියෙල කරවා ‘භවත් ගෞතමයන් වහන්ස, බත නිමියේ යැ, වඩනට කලැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන් වී. එසඳ බුදුහු පෙරවරු සමයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන බ්‍රහ්මායු බමුණුහුගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනැවූ අස්නෙහි බික්සඟුන්
හා සමග වැඩහුන්හ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු සතියක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟුන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී, පැවැරී. එකල බුදුහු එ සත්දවස ඇවෑමෙන් විදෙහදනවියෙහි චාරිකාවට නික්ම වැඩියහ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු බුදුන් නික්ම ගිය නොබෝ කල්හි කලුරිය කෙළේ.
එසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: වහන්ස, බ්‍රහ්මායු බමුණු කලුරිය කෙළේ. ඔහුගේ ගතිය (උපත) කවර? (හේ) පරලෙවිහි කවරෙක් වේ දැ?”යි.
මහණෙනි, බ්‍රහ්මායු බමුණු පණ්ඩිත යැ, ධර්‍ම (අර්‍හත්මාර්‍ග)යාගේ අනුධර්‍ම (යට තුන්මඟපල) යට පිළිපන්නේ යැ. ධර්‍මහේතුයෙන් මා නො ද වෙහෙසී. මහණෙනි, බ්‍රහ්මායු බමුණු පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඒ සුදවස් බඹලොවැ පිරිනිවෙනසුලු වැ එ ලොවින් පෙරළා නො එන සැහැවි ඇති වැ ඕපපාතික වේ”යයි.
බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.
පළමු වැනි බ්‍රහ්මායු සූත්‍ර යි.
2. 5. 2.
සේල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරාප නම් දනවියෙහි අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග සැරිසරන සේක් අඞ්ගුත්‍තරාපදනවු වැසියන්ගේ ආපණ නම් නියම්ගම කරා වැඩිසේක. කේණිය ජටිල තෙල යසගී ඇසී: “භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප නම් දනවියෙහි සැරිසරන සේක් ආපණ නම් නිගමයට පැමිණියහ. ඒ භවත් ගොයුමාණන්ගේ කලි මෙ වන් කලණ යසගී උස් වැ නැඟිණ: “මේ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි. ඔබ දෙව්ලෝ සහිත මරලෝ සහිත බඹලෝ සහිත මෙ ලොව ද, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර පවසති. එ වන් රහතුන්ගේ දැක්ම මනා මැ නු”යි.
එසඳ, කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු විය යුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. බුදුහු එකත්පස් වැ හුන් කේණිය ජටිලයාහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, ප්‍රහර්‍ෂ කරවූහ. ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ මොනොවට තෙද ගන්වන ලද්දේ සම්ප්‍රහර්‍ෂ කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “භවත් ගෞතමයෝ බික්සඟුන් හා සමග සෙට මා ගේ බත ඉවසන සේක්ව”යි.
මෙසේ කී කල්හි බුදුහු කේණිය ජටිලහට තෙල වදාළහ: “කේණියෙනි, බික්සඟහු මහත්හ, අඩතෙළෙස්යල්සියක් මහණහු ය, තොයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි”යි. දෙවනවට ද කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව, අඩතෙළෙස්යල්සියක් පමණ බික්සඟන මහත් වුව ද, මයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද භාග්‍යවතුන් වහන්සේ සෙට මාගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්වා, දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාහට තෙල වදාළ සේක: “කේණියෙනි, බික්සඟහු බොහෝහ, අඩතෙළෙස්යල්සියක් මහණහු ය, තොයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි”යි. තෙවනවට ද කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව, අඩතෙළෙස්යල්සියක් පමණ බික්සඟන මහත් වුව ද, මයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද භවත් ගෞතමයන් වහන්සේ සෙට මා ගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්ව”යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
එසඳ, කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනාව ලැබ හුනස්නෙන් නැගී සිය අසපුව කරා එළැඹියේ යි. එළැඹ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑයන් ඇමැතී: “භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑයෝ මබස අසත්වා! මා විසින් මහණ ගොයුම්හු සෙට බතට බික්සඟන හා සමග නිමන්ත්‍රණ කරන ලදහ. එහෙයින් මට කාය වතාවත් කරව”යි. “එසේ යැ භවත්නි”යි කේණිය ජටිලයාගේ මිත්‍රාමාත්‍යයෝ නෑසහලේ නෑයෝ කේණිය ජටිලයාහට පිළිවදන් දී ඇතැම් කෙනෙක් උදුන් කණිති, ඇතැම් කෙනෙක් දර පලති, ඇතැම් කෙනෙක් බඳුන් දොවිති, ඇතැම් කෙනෙක් දියසැළ පිහිටුවති (තබති) ඇතැම් කෙනෙක් අසුන් පනවති. කේණිය ජටිල වැළිත් තෙමේ මැ මණ්ඩලමාලය (පිළි මඩුව) පිළියෙල කරයි.
එසඳ සේල බ්‍රාහ්මණ ආපණ නම් නියම්ගම්හි වෙසෙයි: නිඝණ්ඩුකේටුහ සහිත ශික්‍ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පද හා තදන්‍ය ව්‍යාකරණ හදාරනුයේ යැ, ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ’ තුන්සියක් මාණවකයනට වේද හදාරවයි. එසඳ කේණියජටිල සේල බ්‍රාහ්මණ කෙරෙහි අභිප්‍රසන්න වෙයි. ඉක්බිති සේල බ්‍රාහ්මණ තුන්සියක් මණෙවුවන් විසින් පිරිවරනලද්දේ ජඞ්ඝාවිහාරයෙහි සක්මන් කරනුයේ ඇවිදුනේ කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹියේ යි. සේල බ්‍රාහ්මණ කේණිය ජටිලයාගේ අසපුවෙහි ඇතැම් කෙනෙකුන් උදුන් කණනුවන් ඇතැම් කෙනෙකුන් දරපලනුවන් ඇතැම් කෙනෙකුන් බඳුන් දෝනාවුන් ඇතැම් කෙනෙකුන් දියසැළ තබනුවන් ඇතැම් කෙනෙකුන් අසුන් පනවනුවන්, කේණිය ජටිල වැළිත් තමා මැ මණ්ඩලමාලය පිළියෙළ කරන්නා දුටුයේ යැ. දැක කේණියජටිලයාහට තෙල කී: “කිම? භවත් කේණියහට ආවාහයෙක් හෝ වන්නේ ද, විවාහයෙක් හෝ වන්නේ ද, මහායාගයෙක් හෝ එළැඹසිටියේ ද, මගධේශ්වර සේනියබිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ කරන ලද දැ?”යි. භවත් සේලයෙනි, මට ආවාහයෙක් නො වෙයි, විවාහයෙක් ද නො වෙයි, මගධේශ්වර සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ නො කරන ලද, එතෙකුදු වත් මට මහා යාගයෙක් එළැඹසිටියේ යැ. භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු ඇත, අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප ජනපදයෙහි සැරිසරන සේක් ආපණ නම් නියම්ගමට වැඩියහ. ඒ භාග්‍යවත් ගොයුම්ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් වැ නැඟිණි: මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිසුනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ මා විසින් සෙට බතට බික්සඟුන් හා සමග නිමන්ත්‍රණ කරන ලදහ”යි. භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි, භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි”යි.
එසඳ සෙල බ්‍රාහ්මණයාහට තෙල සිත් වී: “බුදුහු” යන තෙල ඝෝෂය පවා ලෝකයෙහි දුර්‍ලභ ය. අපගේ වේදයෙහි දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෝ ආවාහු ය. එ ලකුණෙන් සමන්‍වාගත මහපුරිස්හට ගතීහු දෙදෙනෙක් මැ වෙති. අන් ගතියෙක් නො වෙයි. ඉදින් ගිහිගෙයි වෙසේ නම් දැහැමි වූ ධර්‍මරාජන් වූ සියුසයුරු හිම් කොට ඇති පෘථිවියට ඊශ්වර වූ පසමිතුරන් දිනූ දනවු තහවුරු සේ ලත් සත්රුවනින් සමන්‍වාගත වූ සක්විති රජ වෙයි. ඔහුට මේ සප්තරත්නයෝ පහළ වෙති: ඒ කෙසේ යැ යත්: “චක්‍රරත්න යැ හස්තිරත්න යැ
අශ්වරත්න යැ මණිරත්න යැ සත්‍රීරත්න යැ සත් වනු වූ පරිනායකරත්න යි. ඔහුට ශූර වූ වීර්‍ය්‍යමය ශරීර බඳු වූ පරසෙන් මඩනා පුත්‍රයෝ දහසින් වඩා ඇත. හේ සයුරු හිම් කොට ඇති මේ පොළොව දණ්ඩ රහිත වැ ශස්ත්‍ර රහිත වැ දැහැමින් දිනා වෙසෙයි. යළි ඉදින් සසුන් වදී නම් ලෝකයෙහි පෙරළු (තෘෂ්ණා) සියන් ඇති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙයි. භවත් කේණියෙනි, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගොයුමාණෝ කොහි වෙසෙත් දැ?”යි. මෙසේ කී කල්හි කේණිය ජටිල දකුණත් පෑලා සේල බ්‍රාහ්මණයාහට තෙල කී: “භවත් සේලයෙනි, තෙල නිල්වනරොදෙහි යැ” යි. එසඳ සේල බ්‍රාහ්මණ තුන්සියක්මණෙවුවන් හා සමග භාග්‍යවතුන් කරා එළැඹියේ. ඉක්බිති සේල බ්‍රාහ්මණ ඒ මණෙවුවන් ඇමැතී: “භවත්නි, පියවර පමණෙහි පිය තබමින් නිහඬ වැ එත්වා, ඒ භගවත්හු දුරාසද වෙති. ඒකචරසිංහයන් වැන්නහ. භවත්නි යම් කලෙක මම් භවත් මහණගොයුම් ගොතුවන් හා සමග මන්ත්‍රණ කරනෙම් ද, එකල්හි භවත්හු මට අතුරතුරෙහි කථා නහමක් බහාලව. භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය බලත්ව”යි.
ඉක්බිති සේල බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවී. සතුටුවියයුතු කලතුරුහි සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහපුරිස්ලකුණු පිරික්සී. සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස්ලකුණු දෙකක් තබා බෙහෙවින් දිට. දෙමහපුරිස් ලකුණෙකැ කාඞ්ක්‍ෂා කෙරෙයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, (විමති හෙයින්) නො පහදියි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ ප්‍රභූත ජීහ්වතායෙහි යි. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ සේල බ්‍රාහ්මණ මාගේ දෙතිස් මහපුරිස්ලකුණු දෙකක් තබා බෙහෙවින් දක්නේ යැ, මහපුරිස් ලකුණු දෙකෙකැ සැක කෙරෙයි, විචිකිච්‍ඡා කෙරෙයි, අධිමුක්ති නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ ප්‍රභූත ජීහ්වතායෙහි යි. එසඳ බුදුහු යම්සේ සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටී ද එවන් ඉදුහයක් කළහ. ඉක්බිති බුදුහු දිව් නෙරු දෙකන්සිදුරු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. දෙනැහැසිදුරු දු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. හැම නළල්මඬල ද දිවින් වැසූ සේක.
එසඳ සේල බ්‍රාහ්මණයාහට තෙල සිත් වී: ශ්‍රමණ ගෞතමයෝ අපරිපූර්‍ණ නො වූ පරිපූර්‍ණ වූ ද්වාත්ත්‍රිංශද් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගතයහ. ඔබ ‘බුදුහ’යි හෝ ‘නොබුදුහ’යි හෝ නො ද දනිමි, මා විසින් වැඩිහිටි මහලු ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය බමුණන් කියනුවන්ගේ තෙල බස් අසනලද: “යම් කෙනෙක් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙත් ද, ඔහු සිය ගුණකථා කියන කල්හි තමා පහළ කෙරෙති, මම් මහණගොයුම්ගොතුවන් හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් ස්තුති කරන්නෙම් නම් මනා මැ නු!”යි. ඉක්බිති සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් ස්තුති කෙළේ:
“භාග්‍යවතුන් වහන්ස, මුබ වහන්සේ (ලක්‍ෂණ විසින්) පිරිපුන් සිරුරු ඇතියව්හ. මනා සිරුරුපැහැ ඇතියව්හ. සුජාතයහ, මනහර දර්‍ශන ඇතියව්හ, සුසුදු දත් ඇතියව්හ. වීර්‍ය්‍ය ඇතියව්හ.
සුජාත පුරුෂයක්හට යම් ලක්‍ෂණ කෙනෙක් වෙත් ද, මුබ වහන්සේගේ සිරුරෙහි එ හැම මහපුරිස් ලකුණු ඇත.
පස්පෑදිස්නා නුවන් ඇතියව්හ, සුන්‍දර වූ මුව ඇතියව්හ, (ආරෝහපරිණාහ සම්පත්තියෙන්) මහත්හ. ඍජුගාත්‍ර ඇතියව්හ, ප්‍රතාප ඇතියව්හ, මහණගණ මැද හිරුමඬල සෙයින් බබළන්නහු.
කසුන් වන් සිවි ඇති කලණ දසුන් ඇති මහණ කෙනෙක්හ. මෙවන් උතුම් වර්‍ණ ඇති මුබ වහන්සේට ශ්‍රමණභාවයෙන් කවර අර්‍ත්‍ථයෙක් ද?
උත්තමරථ ඇති සියුසයුරු හිම් කොට ඇති පොළොවට අධිපති වූ දිනූ පසමිතුරන් ඇති දඹදිවට ඊශ්වර වූ සක්විති රජ වන්නට නිසියාව.
(ජාතියෙන්) ක්‍ෂත්‍රියයෝ ද භෝගීහු ද රජදරුවෝ ද මුබ වහන්සේට අනුයුක්ත වෙත්වා. ගොයුම්ගොතුව, රාජාධිරාජ වැ මිනිසුනට පරමෙශ්වර වැ රාජ්‍ය කරව.
සේලයෙනි, මම රජ වෙමි. අනුත්තර ධර්‍මරාජයෙමි. යම් අණසකක් අනෙකක්හු විසින් ප්‍රවර්‍තන නො කළ හෙයි ද, එ අණසක දහමින් පවත්වමි.
ගොයුම් ගොතුව, අනුත්තර ධර්‍මරාජන් වූ ‘සම්බුද්ධයෙමි’යි පිළින කරව. ‘දැහැමින් අණසක් පවත්වමි’යි කියව.
භවත්හුගේ සෙන්පති කවරෙ යැ? ශාස්තෘහුගේ ධර්‍මාන්‍වය ඇති කවර ශ්‍රාවකයෙක් මුබ වහන්සේ විසින් පවත්වනලද මේ දම්සක් අනුවර්‍තන කෙරේ ද?
(‘සෙලයිනි’යි බුදුහු වදාළහ: ) මාවිසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය වූ අණසක තථාගතයනට අනුජාත වූ සැරියුත් අනුවර්‍තන කෙරෙයි.
මා විසින් අභිඥෙය (දතයුතු විද්‍යාවිමුක්ති)ය අභිඥාත (දන්නාලද) යැ. භාවිතව්‍ය (මාර්‍ගසත්‍ය) ය භාවිත යැ. ප්‍රහාතව්‍ය (සමුදයසත්‍ය) ය ප්‍රහීණ යැ. බමුණ, එහෙයින් මම බුද්ධයෙමි.
බමුණ, මා කෙරෙහි සැකය දුරු කරව, සනිටුහනට යව. සම්බුදුන්ගේ එක්වන් දැක්ම දුලබ වෙයි.
බමුණ, ලොවැ යම් කෙනෙකුන්ගේ එක්වන් පහළ වීම ඒකාන්තයෙන් දුර්‍ලභ වේ ද, මම් ඒ අනුත්තර ශල්‍යවෛද්‍ය (රාගාදි හුල් හරනා) වූ සම්බුද්ධයෙමි.
ශ්‍රේෂ්ඨ වූයෙම් නිරුපම වූයෙම් (කාමාදි මරසෙන් මඩනෙම්) සියලු පසමිතුරන් (පස් මරුන්) වශයෙහි පවත්වා කොයිනුදු බිය නැත්තෙම් සතුටු වෙමි.
භවත්නි, පසැස් ඇති බුදුහු යම්සේ වදාරත් ද, තෙපි මෙය අසව. ශල්‍යවෛද්‍ය මහාවීරයෝ වනයෙහි සිංහයකු සෙයින් නාද කෙරෙති.
ශ්‍රේෂ්ඨ වූ නිරුපම වූ මරසෙන් මඩනා බුදුන් දැක කවර නම් කෘෂ්ණාභිජාති (නීචකුල උපත්) ඇත්තෙක් පවා නො පහදනේ ද?
යමෙක් රුස්නේ ද හේ මා අනුව ඒවා. යමෙක් නුරුස්නේ හෝ වේ ද හේ යේවා. මම මෙ සස්නෙහි උත්තමප්‍රාඥ බුදුන් වෙත පැවිදි වන්නෙමි.
ඉදින් භවත්හට තෙල සම්බුදු සස්න රුස්නේ නම් උත්තමප්‍රාඥ බුදුන් වෙත අපිදු පැවිදි වම්හ.
මේ තුන්සියක් බමුණෝ මුදුනෙහි ඇඳිලි බැඳ ‘භාග්‍යවතුන් වහන්ස, මුබ වහන්සේ වෙත බඹසර සරම්හ’යි අයදිති.
(‘සේලයෙනි’යි බුදුහු වදාළහ:) “යම් බඹසර වසෙක්හි අප්‍රමත්ත වැ හික්මෙනුවහට පැවිද්ද නො සිස් වේ ද, ඒ බඹසර මොනොවට පවසන ලද. තමා විසින් (පසක් කොට) දැක්කයුතු යැ. කල් නො යවා පල දෙන්නේ යැ”යි.
සේල බ්‍රාහ්මණ පිරිස් සහිත වැ බුදුන් කෙරෙහි පැවිදි ලද. උපසපුව ලත්. ඉක්බිති කේණිය ජටිල එ රැය ඇවෑමෙන් සිය අසපුයෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙළ කරවා ‘භවත් ගොයුම්ගොතුව, වඩනට කලි බත නිමියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වී. එ සඳ බුදුහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි බික්සඟුන් හා සමග වැඩ හුන්හ. ඉක්බිති කේණිය ජටිල බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී මොනොවට පැවැරී. ඉක්බිති කේණිය ජටිල වළඳා නිමවූ, පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති, භාග්‍යවතුන් දැක එක්තරා මිටි අස්නක් ගෙන් එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් කේණිය ජටිලයාහට බුදුහු මේ ගාථායෙන් අනුමෝදනා කළහ:
“යාගයෝ අග්නිහෝම ශ්‍රේෂ්ඨ කොට ඇතියහ, වේදයට සාවිත්‍රී (පළමු හදාළ යුතු සූත්‍රය) ශ්‍රේෂ්ඨ වෙයි, රජ මිනිසුනට ශ්‍රේෂ්ඨ වෙයි, සාගරය නදීනට ශ්‍රේෂ්ඨ වෙයි.
චන්‍ද්‍රයා නක්‍ෂත්‍රයනට ශ්‍රේෂ්ඨ වෙයි, සූර්‍ය්‍යයා දිලියෙනවුනට ශ්‍රේෂ්ඨ වෙයි, පින් කැමැති යාග කරනුවනට ඒකාන්තයෙන් සඞ්ඝයා ශ්‍රේෂ්ඨ වේ”යයි.
එසඳ භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාහට මේ ගාථායෙන් අනුමෙවුනි කොට හුනස්නෙන් නැඟී වැඩියෝ. ඉක්බිති ආයුෂ්මත් සේලතෙරණුවෝ පිරිස් සහිත වැ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වසන්නාහු, යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සස්නට නොබෝ කලෙකින් මැ වදිත් ද, බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ඵලය දුටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන විසූහු. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවිණ. කරණී කරනලද මේ අර්‍හත්ත්‍වය සඳහා කළමනා අන්දැයෙක් නැති’යි වෙසෙසින් දත්හ. පර්‍ෂත් සහිත ආයුෂ්මත් සේල තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර ද වූහ.
ඉක්බිති ආයුෂ්මත් සේල තෙරණුවෝ පිරිස් සහිත වැ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ සිවුරු එකස් කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීහ:
පසැස් ඇත්තව, මෙයින් අට වැනි දින යම් ඒ සරණක් ලදුමෝ ද, භාග්‍යවතුන් වහන්ස, සත් දිනෙකින් තොප සස්නෙහි (පැවිදි වැ) දාන්ත වූම්හ.
මුනීන්‍ද්‍රයාණෙනි, තොප වහන්සේ බුද්ධයහ, තොප වහන්සේ ශාස්තෘයහ, තොප වහන්සේ මරුන් මැඩ සිටියහ. තොප වහන්සේ අනුශයන් සිඳ උත්තීර්‍ණ වූ සේක මේ ප්‍රජාව තරණය කරවන්නාව.
තොප විසින් උපධීහු සමතික්‍රාන්තයහ. තොප විසින් ආස්‍රවයෝ බිඳුණාලදහ. සිංහයකු සෙයින් උපාදාන රහිත වැ සිට පැහු භය භෛරව ඇත්තාහ.
තුන්සියක් මේ මහණහු කළ බඳැදිලි ඇති වැ සිටුනාහ. වීරයාණෙනි, දෙපා දිගු කළ මැනැව. ශ්‍රමණ නාගයෝ ශාස්තෘන් වහන්සේට වඳිත්වා.
දෙ වැනි සේල සූත්‍ර යි.
2. 5. 3.
අස්සලායන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එසමයෙහි (අඞ්‍ඝමගධාදි) නානාප්‍රකාර වෙන් වෙන් රජයෙන් පැමිණි බමුණුදනන් පිළිබඳ පන්සියක් පමණ බමුණෝ සැවැත්නුවර වෙසෙත්. (යඥොපාසනාදි) කිසියම් කරණී හෙයිනි. එසඳ ඒ බමුණනට තෙල සිත් වී: “මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණ සාධාරණ ශුද්ධි විධියක් පනවති. මේ වචනයෙහි ලා මහණ ගොයුමන් හා සමග ප්‍රතිමන්ත්‍රණය පිණිස කවරෙක් සමත් වේ ද හෝ යි.
එසමයෙහි අස්සලායන නම් මණෙවු සැවැත්හි වෙසෙයි, දහර යැ, අපහෘතකේශ ඇතියෙ යැ, උපතින් සොළොස් හවිරිද්ද, නිඝණ්ඩු කේටුභ සහිත වූ අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස් වනු කොට වැටෙන ත්‍රිවේදයන් ගේ පාරයට ගියේ යැ, පද හදාරනු වෙයි, ව්‍යාකරණ හදාරනු වෙයි, ලෞකිකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. ඒ සඳ ඒ බමුණනට තෙල සිත් වී: “මේ අස්සලායන මාණවක සැවැත්හි වෙසෙයි, තරුණ යැ, කේසාපහරණ කළේ යැ, උපතින් සොළොස් හැවිරිදි යැ, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත ශික්‍ෂා සහිත ඉතිහාසය පස්වනු කොට වැටෙන ත්‍රිවේදයන්ගේ පරතෙර දුටුයේ යැ, පද හදාරනු වෙයි, ලෞකික මහා පුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. හේ වනාහි මහණ ගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණ කරන්නට පොහෝනේ වෙයි.
ඉක්බිති ඒ බමුණු අස්සලායන මණෙවු කරා එළඹියහ. එළැඹ අස්සලායන මණෙවුහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණ සාධාරණ ශුද්ධි විධියක් පනවති. එව, භවත් අස්සලායනයෝ මහණගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණ කෙරෙත්වා”යි. මෙසේ කී කල අස්සලායන මාණවක ඒ බමුණුහට තෙල කී: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ධර්‍මවාදී වෙති. ධර්‍මවාදීහු නම් දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම වනාහි ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. දෙවනවට ද ඒ බමුණෝ අස්සලායන මාණවකහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණසාධාරණ ශුද්ධිවිධියක් පනවති. භවත් අස්සලායනයෝ මහණ ගොයුමන් හා සමග ප්‍රතිමන්ත්‍රණය කරන්නට එත්වා, භවත් අස්සලායනයන් විසින් ප්‍රව්‍රජ්‍යාවිධාන ශික්‍ෂිත වෙයි. දෙවනවට ද අස්සලාන මාණවක ඒ බමුණනට තෙල කී: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ධර්‍මවාදීහ. ධර්‍මවාදීහු වනාහි දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම වනාහි ශ්‍රමණ ගෞතමයන් හා මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. තුන් වන වට ද ඒ බමුණෝ අස්සලායන මාණවකහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණසාධාරණ ශුද්ධියක් පනවති. භවත් අස්සලායනයෝ මහණ ගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට එත්වා. භවත් අස්සලායනයන් විසින් ප්‍රව්‍රජ්‍යාවිධාන ශික්‍ෂිත වෙයි. භවත් අස්සලායනයෝ යුද නො කොට පැරදුමක් නහමක් කෙරෙත්වා.
මෙසේ කී කල්හි අස්සලායන මාණවක ඒ බමුණනට තෙල කී: “ඒකාන්තයෙන් මම භවතුන් නො ලබමි. භවත්නි, මහණ ගොයුම්හු ධර්‍මවාදීහ, ධර්‍මවාදීහු වනාහි දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. වැලිදු මම භවතුන් ගේ වචනයෙන් එමි.
ඉක්බිති අස්සලායන මාණවක මහත් බ්‍රාහ්මණ ගණයා හා සමග භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අස්සලායන මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව බ්‍රාහ්මණයෝ මෙසේ කියත්: බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යි. අන්‍යවර්‍ණ හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යි. අන්‍යවර්‍ණ කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ පිරිසුදු වෙත් තදන්‍යයෝ පිරිසුදු නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. භවත් ගෞතමයන් වහන්සේ මෙහි ලා කුමක් වදාරනසේක් ද?
අස්සලායනයෙනි, බමුණන්ගේ බැමිණියෝ ඍතුනී වූවාහු ද ගැබිනි වූවාහු ද වදන්නාහු ද කිරිපොවන්නාහු ද පැනෙත්, එ බමුණෝ ද යෝනියෙන් උපන්නාහු මැ මෙසේ කීහු: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යි, අන්‍යවර්‍ණ හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යි, අන්‍යවර්‍ණ කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ පිරිසිදු වෙත්. තදන්‍යයෝ පිරිසිදු නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි.
භවත් ගෞතමයන් වහන්සේ මෙසේ වදාරතුදු බ්‍රාහ්මණ යෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි. .... බ්‍රහ්ම දායාදයහ”යි.
අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු වර්‍ණ (කුල) දෙකෙක් මැ යැ: ස්වාමි ද දාස ද යන දෙක යි. ස්වාමි වැ දාස වෙයි, දාස වැ ස්වාමි වේ” යයි තොප විසින් අසනලද ද?
භවත්නි, මා විසින් මෙසේ අසන ලද: “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු ස්වාමි යැ දාස යැ යි වර්‍ණ දෙකෙක් මැ යැ. ස්වාමි වැ සිට දාස වෙයි, දාස වැ සිට ස්වාමි වේ”යයි. අස්සලායනයෙනි, යම් හෙයකින් මෙහි ලා බ්‍රාහ්මණයෝ මෙසේ කියත් ද: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීනවර්‍ණ යි … බ්‍රහ්මදායාදයහ”යි, මෙ කරුණෙහි ලා බමුණනට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?
භවත් ගෞතමයෝ මෙසේ වදාරතූදු බ්‍රාහ්මණයෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදයහ”යි.
අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? ප්‍රාණවධ කරන, නුදුන් දැය ගන්නා, කාමයෙහි මිසහසර ඇති, මුසා බණන පිසුණුබස් ඇති පරොස්බස් ඇති සිස්බස් බණන, අභිධ්‍යා බහුල, ව්‍යාපන්න සිත් ඇති, මිසදිටු ඇති ක්‍ෂත්‍රිය මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදනේ ද? බ්‍රාහ්මණ නූපදනේ ද? වෛශ්‍ය මැ ... ප්‍රාණවධ කරන, අයිනාදන් කරන, කාමයෙහි මිසහසර ඇති, මුසා බණන, පිසුණුබස් ඇති, පරොස්බස් ඇති, සිස්බස් තෙපලන, අභිධ්‍යා බහුල, ව්‍යාපන්න සිත් ඇති, මිසදුටු ඇති ශුද්‍ර මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරෑහි උපදනේ ද? බමුණු නූපදනේ දැ?යි.
භවත් ගොයුමාණෙනි, මෙ කරුණ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, ප්‍රාණවධ කරන අයිනාදන් කරන කාමයෙහි මිසහසර ඇති මුසා බණන පිසුණු බස් ඇති පරොස්බස් ඇති සිස්බස් තෙපලන අභිධ්‍යා බහුල ව්‍යාපන්න සිත් ඇති මිසදුටු ඇති ක්‍ෂත්‍රිය තෙමේත් කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති ඇති, විවස වැ පතිත වන නිරෑ වදනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ තෙමේත් ... භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍ය තෙමේත් … භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර තෙමේත් … භවත් ගොයුමාණන් වහන්ස, ප්‍රාණවධ කරන අයිනාදන් කරන කාමයෙහි මිසහසර ඇති මුසා බණන පිසුණුබස් ඇති පරොස්බස් ඇති සිස්බස් තෙපලන අභිධ්‍යා බහුල ව්‍යාපන්න සිත් ඇති මිසදුටුගත් හැම සතර වර්‍ණයෝ මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනාහ”යි.
අස්සලායනයෙනි, යම් හෙයෙකින් මෙ කරුණෙහි ලා “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ”යි බමුණෝ මෙසේ කීහු නම් මෙහි ලා බ්‍රාහ්මණයන්ට කවර බලයෙක් ද, කවර ආස්වාසයෙක් ද?
භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණයෝ හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ හඟිති.
අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? ප්‍රාණවධයෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ හිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති බ්‍රාහ්මණ තෙමේ මැ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනේ ද? ක්‍ෂත්‍රිය නූපදනේ ද, වෛශ්‍ය නූපදනේ ද, ශුද්‍ර නූපදනේ දැ?යි.
භවත් ගොයුම්ගොතුව, මේ නො වේ මැ යි. ප්‍රාණවධයෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ සිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති ක්‍ෂත්‍රිය තෙමේත් කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ තෙමේත් ... භවත් ගෞතමයෙනි, වෛශ්‍ය තෙමේත් ... භවත් ගොයුමාණෙනි, ශුද්‍ර තෙමේත් ... භවත් ගෞතමයන් වහන්ස, පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ සිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති හැම සතර වර්‍ණයෝ මැ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනාහ”යි.
අස්සලායනයෙනි, යම් හෙයෙකින් මෙ කරුණෙහි ලා “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීනවර්‍ණ යි ... බ්‍රහ්මදායාදයහ”යි බ්‍රාහ්මණයෝ මෙසේ කීහු නම් මෙහි ලා බමුණනට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?
භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ මේ මෙසේ හඟිති’යි.
අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? මෙ පෙදෙසැ අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට බ්‍රාහ්මණ මැ පොහෝනේ ද? ක්‍ෂත්‍රිය නො පොහෝනේ ද, වෛශ්‍ය නො පොහෝනේ ද, ශුද්‍ර නො පොහෝනේ දැ? යි.
භවත් ගොයුම්ගොතුව, මේ කරුණ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, මෙ පෙදෙස්හි අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට ක්‍ෂත්‍රිය ද පොහෝනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ ද .... භවත් ගොයුමාණෙනි, වෛශ්‍ය ද ... භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර ද ... භවත් ගොයුමාණන් වහන්ස, මෙ පෙදෙස්හි අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට හැම සතර වර්‍ණයෝ මැ පොහෝනාහ’ යි.
අස්සලායනයෙනි, යම් හෙයෙකින් ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ මෙසේ කීහු නම් මෙහි ලා බ්‍රාහ්මණයන්ට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?
භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි මේ මෙසේ මැ බ්‍රාහ්මණයෝ හඟිති’යි.
අස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? බ්‍රාහ්මණ මැ නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධාලන්නට පොහෝනේ ද? ක්‍ෂත්‍රිය නො පොහෝනේ ද? වෛශ්‍ය නො පොහෝනේ ද? ශුද්‍ර නො පොහෝනේ දැ? යි.
භවත් ගොයුම්ගොතුව, මේ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රිය ද නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධා හරනට පොහෝනේ යැ, භවත් ගොයුමාණෙනි, බ්‍රාහ්මණ ද ... භවත් ගොයුමාණන් වහන්ස, වෛශ්‍ය ද ... භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර ද ... භවත් ගෞතමයන් වහන්ස, හැම සතර වර්‍ණයෝ මැ නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධා හරනට පොහෝනාහ’යි. අස්සලායනය, මෙ තන්හි දී බමුණෝ: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදය’යි යමක් කියත් ද, මෙහි ලා ඒ බමුණනට කවර බලයෙක් වේ ද? කවර ආස්වාසයෙක් වේ ද?
භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් මෙ තන්හි දී බමුණෝ තෙල කරුණ මෙසේ සිතත්: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදය කියා යි.
අස්සලායනයෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ මුදුන්හි බිසෙස් කළ කැත්රජෙක් නන්කුල උපන් පුරුෂයන් අතුරින් පුරුෂයන් සියක් රැස් කරව’යි: ‘භවත්නි, එව, එහි කැත්කුලින් හෝ බමුණුකුලින් හෝ රජකුලින් හෝ ක්‍ෂත්‍රියකුලින් හෝ උපන් යම් කෙනෙක් ඇද්ද, ඔහු සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ ගිනිගානා උතුරුරිණි ගෙන් ගිනි දල්වත්වා, තෙද පහළ කෙරෙත්වා. භවත්නි, දෙවනුව එව. එහි චණ්ඩාලකුලයෙන් හෝ නේසාද කුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපන් යම් කෙනෙක් ඇද්ද, කුකුරුවන් පැන් බොන දෙණියෙහි දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියෙහි දැවයෙන් කළ හෝ රජකයන් අයත් දෙණියෙහි දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන ගිනි දල්වත්වා තෙද පහළ කෙරෙත්වා’යි.
අස්සලායනයෙනි, ඒ කෙසේ හඟිහි? ක්‍ෂත්‍රියකුලයෙන් හෝ බ්‍රාහ්මණකුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමමය වූ හෝ උත්තරාරණියක් ගෙන මෙසේ ගිනි දැල්වූ තෙද පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, මෙසේ ඒ ගින්න සිළු ඇතියේ වර්‍ණ ඇතියේ ප්‍රභාස්වර වූයේත් වේ ද, ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වේ ද, චණ්ඩාලකුලයෙන් හෝ නේසාදකුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපනුන් විසින් කුකුරුවන් පැන් බොන දෙණියට අයත් දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියට අයත් දැවයෙන් කළ හෝ රජකයන් සතු දෙණියට අයත් දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටමය දැවයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන ගිනි දැල්වූ තෙද පහළ කළ යම් ගින්නෙක් ඇද්ද, ඒ ගින්න ද සිළු ඇතියේ නො ද වේ ද? වර්‍ණ ඇතියේ නො ද වේ ද? ප්‍රභාස්වර නො ද වේ ද? ඒ ගින්නෙන්, ගින්නෙන් කළයුතු කරණී කරන්නට නො හැකි වේ දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, මේ වෙනස නො වේ මැ යි, භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රි යකුලයෙන් හෝ බ්‍රාහ්මණකුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමමය වූ හෝ උත්තරාරණියක් ගෙන දැල්වූ පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, ඒ ගින්න සිළු ඇතියේ ද වර්‍ණ ඇතියේ ද ප්‍රභාස්වර වූයේ ද වෙයි. ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වෙයි, චණ්ඩාලකුලයෙන් හෝ නේසාද කුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපනුන් විසින් කුකුරුවන් පැන් බොන දෙණියට අයත් දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියට අයත් දැවයෙන් කළ හෝ රජකයන් සතු දෙණියට අයත් දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටමයෙන් දැවයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන දැල්වූ පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, ඒ ගින්න ද සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වෙයි. භවත් ගෞතමයන් වහන්ස, හැම ගින්න මැ සිළු අතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. හැම ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට ද හැකි වෙයි.
අස්සලායනය, මෙහි ලා බ්‍රාහ්මණයෝ යමක් මෙසේ කියත් ද: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි, බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ අන්‍යවර්‍ණය කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති. අබ්‍රාහ්මණයෝ ශුද්ධ නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ. උරදාවෙති, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. මෙ කරුණෙහි ඒ බමුණනට කිනම් බලයෙක් ඇද්ද, කවර ආස්වාසයෙක් ඇද්ද?
භවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් මෙහි ලා බමුණෝ තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදයහ”යි.
අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ ක්‍ෂත්‍රිය කුමාරයෙක් බ්‍රාහ්මණකුමාරියක හා සමග සංවාස කරන්නේ යැ උන්ගේ සංවාසය නිසා පුතෙක් උපදනේ යැ. ක්‍ෂත්‍රිය කුමාරයකු නිසා බ්‍රාහ්මණකුමාරියකට යම් පුතෙක් උපදනේ වේ ද, හේ මවට ද සමාන යැ පියාට ද සමාන යැ. ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වේ ද? බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ දැ? යි.
භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියකුමාරයකු කරණ කොට බ්‍රාහ්මණ කන්‍යාවකට යම් පුතෙක් උපන්නේ වේ ද හේ මවට ද සමාන වෙයි. පියාට ද සමාන වෙයි. (එයින් ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වෙයි, ‘බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ යි.)
අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ බ්‍රාහ්මණකුමාරයෙක් ක්‍ෂත්‍රියකුමාරියක හා සංවාස කරන්නේ යැ. උන්ගේ සංවාසය නිසා පුතෙක් උපදනේ යැ. බ්‍රාහ්මණ කුමාරයා කරණ කොට ක්‍ෂත්‍රියකන්‍යාවට යම් පුතෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන යැ පියාට ද සමාන යැ. ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වේ ද? ‘බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ දැ? යි.
භවත් ගෞතමයන් වහන්සේ, බ්‍රාහ්මණකුමාරයකු නිසා ක්‍ෂත්‍රියකන්‍යාවකට යම් පුතෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන වෙයි, පියාට ද සමාන වෙයි, හේ ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වන්නේ යැ ‘බ්‍රාහ්මණහ’යි ද කියයුතු වන්නේ යි.
අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ වෙළඹක් ගදුබුවකු හා සමග සම්ප්‍රයෝග කරන්නාහ. උන්ගේ සම්ප්‍රයෝගය නිසා යම් අස්පොව්වෙක් උපන්නේ යැ, වෙළඹට ගදුබුවකු නිසා යැම් අස්පොව්වෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන වෙයි, පියාට ද සමාන වෙයි. ‘අශ්ව’යයි කියයුතු වේ ද? ‘ගද්‍රභ’යයි කියයුතු වේ ද?
භවත් ගෞතමයන් වහන්ස, වෙකුරඤ්ජාව (වෙළඹ) ගෙන් උපන් හේ ‘අශ්වතර’ වෙයි. භවත් ගොයුම්ගොතුව, උහුගේ මේ වෙනස දක්මි. අසෝ තැන්හි වැළිත් උන් (මාණවකයන්) ගේ කිසි වෙනසක් නො දක්මි’යි.
අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ සමාන මාතෘකුක්‍ෂි ඇති සොහොවුරු මාණවකයෝ දෙදෙනෙක් වෙත්: එකෙක් මන්ත්‍රහදාරනුයේ යැ උපනයන කරන ලද්දේයි. එකෙක් වේද නො හදාරනුයේ යැ, උපනයන නො කරන ලද්දේ යි. මෙහි බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි, යාගබත්හි වේවයි අමුතුවනට කළ බත්හි වේවයි කවරක්හු පළමු කොට වළඳවන්නාහු දැ?යි.
භවත් ගෞතමයන් වහන්ස, යම් මාණවකයෙක් වේද හදාරනුයේ ද උපනයන කරන ලද්දේ ද, එ මණෙවු මෙහි බමුණෝ මතකබත්හි වේවයි පඬුරින් අළ බත්හි වේවයි යාග බත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහ. භවත් ගොයුමාණෙනි, කිම වේද නො හදාරනුවා උපනයන නො කළහු කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වන්නේ දැ?යි.
අස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එක් කුසැ ඔත් සොහොයුරු මණෙවුවෝ දෙදෙනෙක් වෙති: එකෙක් වේද හදාරනුයේ යැ උපනීත යැ දුශ්ශීල යැ පාපධර්‍ම ඇත්තේ යි. එකෙක් වේද නො හදාරනුයේ යැ උපනීත නො වෙයි, සිල්වත, කළණදහම් ඇතියේ යි. මෙහි කවරක්හු බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි යාගබත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහු දැ?යි.
භවත් ගෞතමයන් වහන්ස, යම් මාණවකයෙක් වේද නො හදාරනුයේ උපනීත නො වූයේ සිල්වත් ද, කළණදහම් ඇතියේ ද, එ මණෙවු මෙහි බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි යාගබත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහු යැ. කිම භවත් ගෞතමයන් වහන්ස, දුශ්ශීල වූ පාපධර්‍ම ඇතියා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වන්නේ දැ?යි.
අස්සලායනයෙනි, පළමු තෙපි ජාතියට ගියාව, ජාතියට ගොස් වේදයට ගියාව, වේදයට ගොස් තපසට ගියාව තපසට ගොස් චාතුර්වර්‍ණශුද්ධියට පෙරළා අව. මම යම් චාතුර්වර්‍ණශුද්ධියක් පනවම් ද, එයට යි.
මෙසේ වදාළ කල්හි අස්සලායන මණෙවු නිහඬ වැ මකු වැ කඳට බහාගෙන යටිමුව වැ සිතිවිලිපර වැ ප්‍රතිභාන රහිත වැ හුන්නේ ය.
එසඳ බුදුහු නිහඬ වූ මකු වූ හෙළාලූ කඳට ඇති අධෝමුඛ වූ සිතිවිලිපර වූ ප්‍රතිභාන රහිත වූ අස්සලායන මාණවකහට තෙල කරුණ වදාළහ:
“අස්සලායනයෙනි, පෙර වූ දැයක් කියමි: අරණ්‍යායතනයෙහි පන්සල්හි මන්ත්‍රණ කරන බ්‍රාහ්මණර්ෂීහු සත් දෙනකුන්ට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදහ”යි. අස්සලායනයෙනි, අශිත නම් වූ දේවල ඍෂි අරනෙහි පර්ණකුටීන්හි මන්ත්‍රණ කරන බමුණුරුසියන් සත්දෙනාහට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන්නේ වේ ලැ’යි ඇසි: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණ හීන් යි ... බ්‍රහ්මදායාදයහ”යි. එසඳ අස්සලායනයෙනි, කාළදේවල ඍෂි කෙස්මස් කපා මඳටවන් පිළිහැඳ පෙරෙ වැ ගණඞ්ගණු පාහන පයැලා රන්මුවා සැරයටියක් ගෙන් බ්‍රාහ්මණර්ෂීන් සත්දෙනාගේ පන්සල්පිරිවෙන්හි පහළ වී.
එසඳ අස්සලායනයෙනි, කාළදේවල ඍෂි සත් බමුණුරුසියන්ගේ පන්සල්පිරිවෙන්හි සක්මන් කෙරෙමින් මෙසේ කී: “සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු ද, සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු දැ?”යි. එසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීන් සත් දෙනාහට තෙල සිත් වී: “මේ කවරෙක් ගම්දරුවකු සෙයින් බ්‍රාහ්මණර්ෂීන් සත්දෙනාගේ පන්සල් පිරිවෙන්හි සක්මන් කෙරෙමින් මෙසේ කියා ද: “සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු ද, සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු දැ?” යි ‘ඕහට ශාප කරමෝ නම් මැනැවැ’යි. ඉක්බිති අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීහු සත් දෙන කාළදේවල ඍෂිහට ‘වසලය භස්ම වව’යි ශාප කළහ. අස්සලායනයෙනි, බ්‍රාහ්මණ ඊෂීහු සත්දෙන කාළදේවලහට ශාප කරත් කරත් මැ කාළදේවල ඍෂි අභිරූපතර ද දර්‍ශනීයතර ද ප්‍රාසාදිකතර ද වෙයි.
එසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීන් සත් දෙනාහට තෙල සිත් වී: “ඒකාන්තයෙන් අපගේ තපස සිස් යැ, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල නැත. ඇපි වනාහි පෙර යමක්හට ‘වසලය භස්මව’යි භවමෝ නම් කිසිවෙක් හළු වේ මැ යි. මොහු වැළිත් අප භවත් භවත් මැ අතිශයින් අභිරූපත් අතිශයින් දර්‍ශනීයත් අතිශයින් ප්‍රාසාදිකත් වේ’ යයි.
භවතුන්ගේ තපස මෝඝ නො වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යාව විඵල නො වෙයි, භවත්නි මා කෙරෙයි යම් මනෝපදෝසයෙක් වේ නම් එය දුරලව’යි.
භවත්හු කෙරෙහි යම් මනෝපදෝසයෙක් වේ නම් එය දුරලම්හ. භවත් කවරෙක් වේ දැ?යි.
භවතුන් විසින් ‘කාළදේවල ඍෂි’ අසනලද දැ? යි.