Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 3601-3700 න් 6387

ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල සිත් වී: “මේ විඩූඩභ සෙන්පති පසේනදි කොසොල් රජුගේ පුත් යැ, මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්මි. පුතෙක් පුතකු හා මන්ත්‍රණ කරන්නේ යැ යන යමෙක් ඇද්ද, මේ එයට කාලය යනු යි.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විඩූඩභ සෙන්පතිහි ඇමැතූහ: සෙන්පතිය, එකරුණින් මෙහි දී තා මැ පුළුවුස්මි. යම් පරිදි තට රුස්නේ නම් එපරිදි එය පවසව. සෙන්පතිය ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජුහු ගේ විජිතය යම් තාක් වේ ද, පසේනදි කොසොල් රජ යම් විජිතයෙක ඉසුරු බව හා ආධිපත්‍යය ඇති රාජ්‍යය කෙරේ ද ඒ විජිතයෙහි දී පසේනදි කොසොල් රජ පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ ච්‍යුත කරවන්නට නංවන්නට හෝ හැකි වේ ද?
භවත්නි, පසේනදි කොසොල් රජහු ගේ විජිතය යම් තාක් වේ ද පසේනදි කොසොල් රජ යම් විජිතයෙක ඉසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය කෙරේ ද, පසේනදි කොසොල් රජ ඒ විජිතයෙහි දී පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ එතැනින් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වෙයි.
සෙන්පතිය, ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජුහුගේ විජිත නො වූ රට යම් තාක් ඇද්ද, පසේනදි කොසොල් රජ තමනට අවිෂය වූ යම් රටෙක ඉසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය නො කෙරේ ද, පසේනදි කොසොල් රජ එහි දී පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ එතැනින් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වේ ද? යි.
භවත්නි, පසේනදි කොසොල් රජහු ගේ විජිත නො වූ රට යම් තාක් ඇද්ද, පසේනදි කොසොල් රජ විෂය නො වූ යම් රටෙක අසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය නො කෙරේ ද, එහි දී පසේනදි කොසොල් රජ පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ ඒ ශ්‍රමණාදි භාවයෙන් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ නො හැකි යැ යි.
සෙන්පතිය, ඒ කෙසේ හඟිහි? තා විසින් තව්තිසා වැසි දෙවියෝ අසන ලදහු ද?
භවත්නි, එසේ යැ. මා විසින් තව්තිසා වැසි දෙවියෝ අසන ලදහ. මෙහි දී භවත් පසේනදි කොසොල් රජු විසිනුදු තව්තිසා වැසි දෙවියෝ අසනලදහ’යි.
සෙන්පතිය, ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජ තව්තිසා වැසි දෙවියන් ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වේ ද?
භවත්නි, පසේනදි කොසොල් රජ තව්තිසා වැසි දෙවියන් දක්නට ද නො හැකි වෙයි. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්නේ හෝ යි යනු කොයින් ලැබේ ද?
සෙන්පතිය, එපරිදි මැ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යැ නිර්දුඃඛ වූ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යයි ඒ දෙවැදෑරුම් දෙවියන් දක්නට ද නො හැකි යැ. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්සේ හෝ යැ යනු කොයින් ලැබේ ද?
එසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, මේ මහණ කවරෙක් නම් වේ ද?
මහරජ, ආනන්‍ද නමැ යි.
භවත්නි, එකැතින් ආනන්‍ද යැ, භවත්නි, එකැතින් ආනන්‍ද ස්වභාව යැ. වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ හේතුස්වරූපය කියති. වහන්ස, ආනන්‍ද තෙරණුවෝ සහේතුකස්වරූපය කියත්.
වහන්ස, කිම බ්‍රහ්මයෝ ඇද්ද?
“වහන්ස, කිම බ්‍රහ්ම ඇද්දැ? යි තෙපි කුමට මෙසේ අසව.
වහන්ස, ඒ බඹ මිනිසත්බවට එනසුලු හෝ වේ ද, මිනිසත් බවට නො එනසුලු හෝ වේ ද?
මහරජ, චෛතසික විසින් සදුඃඛ වූ යම් බඹෙක් ඇද්ද, ඒ බඹ මිනිසත් බවට එනසුලු යැ. නිර්දුඃඛ වූ යම් බඹෙක් ඇද්ද, ඒ බඹ මිනිසත් බවට නො එනසුලු යැ.
එසඳ එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජහට තෙල කී: “මහරජාණෙනි, ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණ ආයේ යැ”යි.
එසඳ පසේනදි කොසොල් රජ ආකාශගෝත්‍ර සඤ්ජයබ්‍රාහ්මණහට තෙල කී: “බමුණ, කවරෙක් නම් මේ කථාවස්තුව රාජාන්තඃපුරයෙහි පහළ කෙළේ දැ?යි.
‘මහරජාණෙනි, විඩූඩභ සෙන්පති යැ’යි. විඩූඩභ සෙන්පති මෙසේ කී: “මහරජාණෙනි, ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණ යැ’යි.
එසඳ එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට තෙල කී: “මහරජාණෙනි, ගමන්කල් එළැඹිණැ”යි. එසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ අතින් සර්‍වඥතා පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ සර්‍වඥතා ප්‍රකාශ කළසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු අපි සතුටුසිත් ඇතියම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ අතින් චතුර්වර්‍ණයට අයත් ශුද්ධිය පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ චාතුර්වර්‍ණ ශුද්ධිය පැවැසූසේක. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු අපි සතුටුසිත් ඇතියම්හ.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අතින් අධිදේවයන් පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ අධිදේවයන් පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. අපි එයිනුදු සතුටු වූම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් අතින් අධිබ්‍රහ්මයා පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ අධිබ්‍රහ්මයා පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු අපි සතුටු වූම්හ. වහන්ස, අපි යම් යම් මැ පැනයක් භාග්‍යවතුන් වහන්සේ අතින් පුළුවුසුමෝ ද එය මැ භාග්‍යවතුන් වහන්සේ පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු සතුටු වූම්හ. වහන්ස, එ බැවින් දැන් අපි යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’යි.
මහරජ, තෙපි එයට කල් දනැ’යි වදාළෝ.
එසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ.
දස වැනි කණ්ණකත්‍ථල සූත්‍ර යි.
සතර වැනි රාජවර්‍ගය යි.
ඒ වර්‍ගයේ උද්දානය :
ඝටීකාර සූත්‍ර යැ රට්ඨපාල සූත්‍ර යැ මඛාදේව සූත්‍ර යැ මධුර සූත්‍ර යැ බෝධිරාජකුමාර සූත්‍ර යැ අඞ්ගුලිමාල සූත්‍ර යැ බාහිතික සූත්‍ර යැ ධම්මචේතිය සූත්‍ර යැ ද වැනි කණ්ණකත්ඵල සූත්‍ර යැ යි මේ වර්‍ගයේ සූත්‍ර දසයෙකි.
5. බ්‍රාහ්මණ වර්‍ගය
2. 5. 1.
බ්‍රහ්මායු සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විදේහ දනවියෙහි පන්සියක් පමණ (ගුණ විසින්) මහත් බික්සඟුන් හා සමග සැරිසරන සේක. එකල ජරාජීර්‍ණ, වෘද්ධ, මහලු, කල් ගැලවූ, පශ්චිම වයසට පැමිණි, උපතින් එක්සිය විසිහැවිරිදි, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත, ශික්‍ෂා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පද හදාරන, ව්‍යාකරණ හදාරන, ලෞකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වූ බ්‍රහ්මායු නම් බමුණු මිථිලායෙහි වෙසෙයි. “සැහැකුලපුත් මහණ භවත් ගොයුම්හු සැහැකුලින් පැවිදි වැ පන්සියක් පමණ වූ මහත් බික්සඟුන් හා සමග විදේහජනපදයෙහි සැරිසරනසේක්ල” යනු බ්‍රහ්මායු බමුණු ඇසී. ඒ භවත් ගොයුමාණන්ගේ මෙසේ කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව හා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශ්ෂ්ටඥානයෙන් දැන පසක් කොට දන්වති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසති, කේවලපරිපූර්‍ණ පරිශුද්ඛ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති. එ බඳු රහතුන් දැක්ම මනා මැ නු”යි.
එකල උත්තර නම් මාණවකයෙක් බ්‍රහ්මායු බ්‍රාහ්මණ ගේ අතැවැසි වෙයි. නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත, ශික්‍ෂානිරුක්ති සහිත, ඉතිහාසය පස් වනු කොට ඇති, ත්‍රිවේදයන්ගේ පරතෙර දුටුයේ වෙයි. පදශාස්ත්‍ර හදාරනුයේ වෙයි, ව්‍යාකරණ හදාරනුයේ වෙයි, ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ උත්තර මාණවකයා ඇමැතී: “පුතැ උත්තරයෙනි, මේ ශාක්‍යපුත්‍රයෝ ශ්‍රමණගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ විදේහජනපදයෙහි පන්සියක් පමණ මහත් බික්සඟුන් හා සමග සැරිසරන සේක් ල, ඒ භගවත් ගෞතමයන්ගේ මෙසේ කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, ... එ බඳු රහතුන් දැක්ම වේ නම් මනා මැ නු! පුතැ උත්තරයෙනි, තෝ එව. මහණ ගොයුමන් කරා යා. ගොස් ඒ මහණ ගොයුමන් ගේ ඇති සෙයින් මැ යසගී නැඟිණි ද? ඇති සෙයින් නො නැඟිණි දැ? යි ඒ මහණ ගොයුමන් දැනගනැ”යි. “ඉදින් ඒ භවත් ගොයුමාණෝ ඒ සැටි මැ වෙත් ද නොහොත් ඒ සැටි මැ නො වෙත් දැ? යි තා ගේ වශයෙන් අපි ඒ භවත් ගොයුමාණන් හඳුනාගනුම්හ”යි. භවත්නි, කෙසේ නම් මම ඒ භවත් ගොයුමාණන් හඳුනාගන්නෙම් ද? ඒ භවත් ගොයුමාණන් ගේ ඇති සැටි මැ යසගී නැඟිණි ද, නොහොත් ඇති සැටි නො නැඟිණි ද, ඒ භවත් ගොයුමාණෝ එ බඳු මැ වෙත් ද, නොහොත් එ බඳු මැ නො වෙත් දැ? යි පිළිවිත්.
පුතැ උත්තරයෙනි, යම් ලකුණින් සමන්‍වාගත මහාපුරුෂයක්හට ගතීහු දෙදෙනෙක් මැ ඇද්ද ... අන් ගතියක් නැද්ද, එ බඳු දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෝ අපගේ වේදයෙහි ආහ. ඉදින් ගිහිගෙහි වෙසේ නම් දැහැමින් වැටෙන දැහැමින් රජ තන් පත් සතර මුහුදු හිම් කොට ඉසුරු කරන අභ්‍යන්තර බාහිර සතුරන් දිනූ දනවියෙහි ධ්‍රැවභාවය ලත් සර්‍වරත්න සමන්‍වාගත වූ සක්විති රජ වෙයි. ඔබ ගේ සප්තරත්නයෝ වෙති. ඔහු කවරහ යත්: චක්‍රරත්න යැ හස්තිරත්න යැ අශ්වරත්න යැ මණිරත්න යැ ස්ත්‍රීරත්න යැ ගෘහපතිරත්න යැ සත් වැනි පුත්‍රරත්න යැ යි. ඔබට ශූර වූ වීර්‍ය්‍යමයශරීර ඇති පරසෙන් මඩනා දහසින් වැඩි පුත්‍රයෝ ඇත. ඔබ සාගර පර්‍ය්‍යන්ත කොට ඇති මේ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් පඤ්චශීලධර්‍මයෙන් දිනා ගෙන වෙසෙති. ඉදින් ගෙන් නික්ම සසුන් වදනේ නම් ලෝකයෙහි කෙලෙස් සියන් පෙරළු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. (එ බඳු මහාපුරුෂ ලක්‍ෂණයෝ යි.) පුතැ උත්තරයෙනි, මම් කලි තට වේද දින්මි. තෝ මා ගේ මතුරු පළිගත්හි”යි.
‘භවත්නි, එසේ යැ’යි උත්තර මණෙවු බ්‍රහ්මායු බමුණුහට පිළිවදන් දී හුනස්නෙන් නැඟී බ්‍රහ්මායු බමුණු සකසා වැඳ විදේහ දනවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා චාරිකා කොට ගියේ. පිළිවෙළින් සැරිසරනුයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු සිහි කළයුතු කථා නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස් ලකුණු සමනාගන්නට වී. උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු බෙහෙවින් දිට, දෙකක් තබා යැ. මහාපුරුෂලක්‍ෂණ දෙකෙකැ පැතුම් කෙරෙයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, විමති හෙයින් නො පහදියි. කෝෂාවහිතවස්ත්‍රගුභ්‍යයෙහි යැ ප්‍රභූතජිහ්වතායෙහි යැ යි. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ උත්තර මාණවක මා ගේ දෙතිස් මහාපුරුෂලක්‍ෂණ දෙකක් තබා බෙහෙවින් දක්නේ යැ. මහාපුරුෂලක්‍ෂණ දෙකෙකැ ආකාඞ්ක්‍ෂා කෙරෙයි, විචිකිච්ඡා කෙරෙයි, අධිමුක්ති නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ. ප්‍රභූතජිහ්වතායෙහි යැ යි.
එසඳ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටී ද ඒ පරිදි ඉදුහයක් කළසේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ දිවනෙරැ දෙකන්සිදුරු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. දෙ නැහැසිදුරු දු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. හැම නළල් මඬල ද දිවින් වැසූ සේකි.
ඉක්බිති උත්තර මාණවකයාහට තෙල සිත් වී: ශ්‍රමණ ගෞතමයෝ ද්වාත්ත්‍රිංශත් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගතයහ. මම ශ්‍රමණගෞතමයන් ලුහුබඳනෙම් නම් ඔබගේ ඉරියවු දක්නෙම් නම් මනා මැ නු යි. ඉක්බිති උත්තර මාණවක සත් මසක් භාග්‍යවතුන් වහන්සේ වෙන් වැ නො යන සේයක් සෙයින් ලුහුබැඳ ගියේ. ඉක්බිති උත්තර මාණවක සත් මස් ඇවෑමෙන් විදේහ දනවියෙහි මිථිලාව කරා සැරිසරා ගියේ. පිළිවෙළින් සැරිසරමින් මිථිලාව කරා බ්‍රහ්මායු බමුණු කරා එළැඹණ. එළැඹ බ්‍රහ්මායු බමුණු සකසා වැඳ එකත්පස් වැ හින. බ්‍රහ්මායු බමුණු එකත්පස් වැ හුන් උත්තර මාණවකයාහට තෙල කී: “කිමෙක දරුව උත්තරයෙනි, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇති සැටි වූ මැ යසගී නැඟිණි ද? අන් පරිදි නො නැඟිණි ද? කිමෙක ඒ භවත් ගෞතමයෝ එ බඳු මැ වෙත් ද? අන් බඳු නො වෙත් දැ?”යි.
භවත්නි, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇති සැටි වූ මැ එසේ යසගී නැඟිණ. අන් පරිදි නො වෙයි. භවත්නි, ඒ භවත් ගොයුමාණෝ එ බඳු ද වෙති. අන් බඳු නො වෙති. ඒ භවත් ගොයුමාණෝ දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍වාගත ද වෙත්:
ඒ භවත් ගෞතමයෝ කලි සුප්‍රතිෂ්ඨිතපාද ඇතියහ, ඒ භවත් ගොයුමාණන්ගේ මෙ මහපුරිස්ලකුණ ද වෙයි.
ඒ භවත් ගෞතමයන්ගේ යට පාතෙලෙහි දහස් අර ඇති නිම්වළලු සියෝ නැබමඬුලු සියෝ, සර්‍වාකාර පරිපූර්‍ණ චක්‍රයෝ උපන්හ.
ඒ භවත් ගෞතමයෝ දික්විලුම් ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ දිගැඟිලි ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ මෘදු තරුණ හස්තපාද ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ ජාලහස්තපාද ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ (උඩ පිහිටි ගොප් ඇට ඇතියෙන්) උත්සඞ්ඛපාදයහ.
ඒ භවත් ගෞතමයෝ (එණිමෘගයන්ට බඳු ජඞ්ඝා ඇතියෙන්) එණිජඞ්ඝයහ.
ඒ භවත් ගෞතමයෝ සිටි වන සිටි සේක් මැ නො නැමෙන්නාහු දෙ අත්ලෙන් දෙ දණ පිරිමදින්නාහ.
ඒ භවත් ගෞතමයෝ (කෝෂයෙහි ගිලුණු අඞ්ගජාත ඇතියෙන්) කෝෂාවහිතවස්ත්‍රගුහ්‍ය ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ ස්වර්‍ණවර්‍ණයහ. කසුන් වන් සිවිපැහැ ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සියුම්සිවි ඇතියහ. සිවි සියුම් වන බැවින් රජස් හා දැලි කයෙහි නො ලැගෙයි.
ඒ භවත් ගෞතමයෝ ඒකෛකලෝමයහ, එක් එක් ලොමෙක් ලෝමකූපයෙහි උපන.
ඒ භවත් ගෞතමයෝ ඌර්ධ්වාග්‍රරෝම ඇතියහ. නිල්වන් අඳුන්වන් කුණ්ඩලාවර්‍ත ඇති දක්‍ෂිණාවර්‍ත වැ උපන් උඩු අක් ඇති රෝමයෝ උපන්හ.
ඒ භවත් ගෞතමයෝ බ්‍රහ්මයාට බඳු ඍජුගාත්‍ර ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සත් තැනෙක පරිපූර්‍ණ මාංශොත්සද ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සිංහයාට බඳු පූර්‍වාර්ධකාය ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ (මාංශයෙන් පරිපූර්‍ණ අන්තරාංශ ඇතියෙන්) විතාන්තරාංශයහ.
ඒ භවත් ගෞතමයෝ න්‍යග්‍රෝධපරිමණ්ඩලයහ. ඔබගේ කය යම් තාක් වේ ද, ඔබගේ ව්‍යාමය ඒ තාක් වෙයි. ඔබගේ ව්‍යාමය යම් තාක් වේ ද, ඔබගේ කය ඒ තාක් වෙයි.
ඒ භවත් ගෞතමයෝ සමවර්‍තස්කන්‍ධ ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ රාසග්‍රසාග්‍ර ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සිංහහනු ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ චත්‍වාරිංශද්දන්ත ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සමදන්ත ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ අවිවරදන්ත ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ සුශුක්ලදංෂ්ට්‍රා ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ ප්‍රභූතජිහ්වා ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ බ්‍රහ්මස්වර ඇතියහ. කුරවිකෙවිල්ලන් ස්වර වැනි ස්වර ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ අභිනීලනේත්‍ර ඇතියහ.
ඒ භවත් ගෞතමයෝ (එ මොහොත උපන් රතුවස්සන්ගේ චක්‍ෂුර්ගණ්ඩ වැනි චක්‍ෂුර්ගණ්ඩ ඇතියෙන්) ගෝපක්‍ෂ්මයහ.
ඒ භවත් ගෞතමයන් ගේ දෙ බැම අතර සුදු මොළොක් පිලින් වැනි ඌර්ණාරෝමධා උපන.
ඒ භවත් ගෞතමයෝ උෂ්ණීෂශීර්‍ෂ ඇතියහ. මෙ ද මහාපුරුෂ වූ ඒ භවත් ගෞතමයන් ගේ මහාපුරුෂලක්‍ෂණ වෙයි. ඒ භවත් ගෞතමයෝ මෙකී දෙතිස් මහපුරිස් ලකුණින් සමන්‍වාගතයහ.
තවද ඒ භවත් ගෞතමයෝ යන්නාහු දකුණුපයින් මැ පළමු කොට ගමන් අරඹති, ඔබ ඉතා නුදුරෙහි පිය නඟති, ඉතා ළඟ පිය නො තබති, ඔබ ඉතා වෙලෙවි වැ නො යෙති, ඉතා ලැසි වැ නො යෙති, නො ද දණින් දණ ගටමින් යෙති, නො ද ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් යෙති, ඔබ යන්නාහු (ගැඹුරු දියෙහි යනුවන් සෙයින්) කලවේ උඩට නො නමති, කලවේ යටට නො නමති, (තෙමුනු තැන පා තබන සෙයින්) තද කොට නො තබති, (පොතැලිරූ කෙළවන සෙයින්) ඔබ මොබ නො කෙළවති, යන්නා වූ භවත් ගෞතමයන් ගේ කලි යටිකය මැ සැලෙයි, නො ද කායබලයෙන් යෙති, භවත් ගෞතමයෝ කලි බලන්නාහු (ග්‍රීවා නො පෙරළා) හැම කයින් මැ බලති, ඔබ (නකත් ගණන සෙයින්) උඩ නො බලති, යට නො බලති, නො ද අවට බලමින් යෙති, වියදඬු පමණ (දුර) බලති, එතෙකුදු වත් එයින් මතු උන් වහන්සේ ගේ අනාවෘත ඥානදර්‍ශනය වෙයි.
ඔබ ඇතුළුගමට පිවිසෙන්නාහු කය උඩට නො නමති, කය යටට නො නමති, කාය සන්නාමන නො කෙරෙති, කය ඔබ මොබ නො නමති, ඔබ ඉතා දුර සිට ඉතා ළඟ සිට අසුනට නො පෙරළෙති, අතින් එල්බගෙන අස්නෙහි නො ද හිඳිති, අස්නෙහි කය නොද බහාලති, ඔබ ඇතුළුගමැ හුන්නාහු අත්කුකුසට නො පැමිණෙති, පාකුකුසට නො පැමිණෙති, දණින් දණ නඟාලා නො ද හිඳිති, ගොප් ඇටයෙන් ගොප්ඇටය නඟාලා නො හිඳිති, අත්ලෙන් හණුව ගෙන නො ද හිඳිති, ඔබ ඇතුළුගම හුන්නාහු බිය නො වෙති, නො ගැලෙති, නො සැලෙති, නො තැතිගනිති. ඔබ නො බන්නාහු නො ගැලෙන්නාහු නො සැලෙන්නාහු නො තැතිගන්නාහු පහවූ ලොමුදහ ඇත්තාහු වෙති. ඒ භවත් ගෞතමයෝ නිර්‍වාණාවර්‍ත සිත් ඇති වැ ඇතුළුගම හුන්නාහු වෙත්.
ඔබ පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උඩට නො නමති, පාත්‍රය යටට නො නමති, පාත්‍රය තද කොට නො ගනිති, පාත්‍රය ඔබ මොබ නො සලති. ඔබ ඉතා මඳ නො කොට ඉතා බොහෝ නො කොට පාත්‍ර දෝනා දිය පිළිගනිති, ඔබ ‘බුලු බුලු’ අනුකරණ කොට පාත්‍රය නො දොවති, පාත්‍රය පෙරළා නො දොවිති, පාත්‍රය බිමැ බහා අත් නො දොවිති, දෙ අත් දෙවූ කලැ පාත්‍රය දෝනාලද වෙයි. පාත්‍රය දෙවූ කලැ හස්තයෝ දෝනාලද වෙති, ඔබ පාදෙවූ දිය ඉතා දුර නො වැ ඉතා ළඟ නො වැ නො ද විසුරුවමින් බැහැරලති.
ඔබ බත් පිළිගන්නාහු පාත්‍රය උඩට නො නමති, යටට නො නමති, පාත්‍රය තද කොට නො ගනිති, පාත්‍රය ඔබමොබ නො සලති. ඔබ ඉතා මද නො කොට ඉතා බොහෝ නො කොට බත් පිළිගනිති, යළි ඒ භවත් ගෞතමයෝ ව්‍යඤ්ජනය ව්‍යඤ්ජන පමණින් වළඳති, ව්‍යඤ්ජනයෙන් ආලෝපය (බත්පිඬ) නො ද ඉක්මවති, ඒ භවත් ගෞතමයෝ දෙතුන් වරක් මුවෙහි ආලෝපය පෙරළා පරඟලා කෙරෙති (ගිලිති) කිසි හක්තමජ්ජාවක් අමිශ්‍ර වැ ඔබ ගේ කයට නො ද වදිති, කිසි හක්තමජ්ජාවක් ඔබ ගේ මුවෙහි නො ද ශේෂ වෙයි. ඉක්බිති අනෙක් ආලෝපයක් එළවති. තවද ඒ භවත් ගෞතමයෝ රසවිඳුමින් අහර වළඳති, රසරාගවිදුමින් නො ද වළඳති. තවද ඒ භවත් ගෞතමයෝ අෂ්ටාඞ්ග සමන්‍වාගත ආහාරය වළඳති: ‘දවයට නො වැ මදයට නො වැ මණ්ඩනයට නො වැ භූෂණයට නො වැ මෙ සිරුරෙහි සිටීමට යැපීමට වෙහෙස සන්හිඳීමට බඹසරට අනුග්‍රහයට පමණි. මෙසේ පැරැණි කුසගිනි වේදනාවත් නසමි, අළුත් හත්තසම්මද වේදනාවත් නො උපදවන්නෙමි, මා ගේ ජීවිතයාත්‍රාවන් නිරවද්‍ය භාවයත් පහසුවිහරණයත් වන්නේ යැ”යි.
ඔබ වැළැඳූ සේක් පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උඩට නො නඟති, යටට නො බහති, පාත්‍රය ලාහෙලා නො නමති, පාත්‍රය ඔබ මොබ නො නමති, ඔබ ඉතා මඳ නො කොට ඉතා බොහෝ නො කොට පාත්‍ර දෝනා දිය පිළිගනිති. ඔබ ‘බුලු බුලු’ අනුකරණ කොට පාත්‍රය නො දොවිති, පාත්‍රය පෙරළා නො දොවිති, පාත්‍රය බිමැ තබාලා දෙ අත් නො දොවිති, දෙ අත් දෙවූ කල්හි පාත්‍රය දෝනාලද වෙයි, පාත්‍රය දෙවූ කල්හි හස්තයෝ දෝනා ලද වෙති. ඔබ පාත්‍රය දෙවූ දිය නාතිදූරයෙහි හෝ නාත්‍යාසන්නයෙහි හෝ නො දමති. නො ද විසුරුවමින් දමති, ඔබ වැළඳූ සේක් නාතිදූරයෙහි හෝ නාත්‍යාසන්නයෙහිහෝ පාත්‍රය බිමැ නො තබති. පාත්‍රයෙන් අර්‍ත්‍ථ නැත්තාහු නො ද වෙති. පාත්‍රය කල් පන්වා රක්නාහු නො ද වෙති.
ඔබ වැළැඳූසේක් මොහොතක් තූෂ්ණීම්භූත වැ වැඩහිඳිති, අනුමෙවුනියට නො ද කල් ඉක්මවති, ඔබ වැළැඳූසේක් අනුමෝදනා කෙරෙති. එ බත නො ගරහති, අන් බතක් නො පතති. එකත්නෙන් දැහැමි කථායෙකින් මැ එ පිරිස කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඔබ එ පිරිස දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී නික්ම යෙති.
ඔබ ඉතා වෙලෙවි වැ නො යෙති, ඉතා ලැසි වැ නො යෙති, (පිරිසෙන්) නැඟී යනු කැමැති වැ නො ද යෙති. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි සිවුර (හනුඇටය දක්වා නඟා පොරෝනාවුන්ගේ සෙයින්) උඩට නැඟුණේ නො වෙයි, (ගොප්ඇටය දක්වා බහා පොරෝනාවුන් ගේ සෙයින්) නො බැහුණේ වෙයි. නො ද කයෙහි ඇලුණේ වෙයි, නො ද කයින් වෙන් වූයේ වෙයි. ඒ භවත් ගෞතමයන්ගේ කයින් වාතය සිවුර නො නඟයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි නො ද රජස්දැල් තැවැරෙයි.
ඔබ අරමට ගියාහු පැනවූ අස්නෙහි වැඩහිඳිති. හිඳ පාසඟුළුවන් ප්‍රක්‍ෂාලනා කෙරෙති. ඒ භවත් ගෞතමයෝ නො ද පාද මණ්ඩනයෙහි යෙදී වෙසෙති. ඔබ පාද ප්‍රක්‍ෂාලනා කොට පලක් අවුළුවා (බැඳ) කය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳිති. ඔබ තමහට දුක් පිණිස නො මැ සිතති, පරාහට දුක් පිණිස නො සිතති. තමහට ද පරාහට ද දුක් පිණිස නො සිතති. ඒ භවත් ගෞතමයෝ ආත්මහිතය ද පරහිතය ද උභයහිතය දැ යි (මෙසේ) සර්‍වලෝකහිතය මැ සිතමින් හුන්නාහු වෙති.
ඔබ අරමට ගියාහු පිරිස්හි දහම් දෙසති. එ පිරිස නො හුවති, එ පිරිස නො හෙළති, එකත්නෙන් දැහැමි කථායෙන් මැ එ පිරිස කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති සතුටු කරවති. තවද ඒ භවත් ගෞතමයන්ගේ මුවින් (ශ්ලෙෂ්මාදීන්) බාධිත නො වූ විඥේය වූ මධුර වූ ශ්‍රවණීය වූ සම්පිණ්ඩිත වූ නො විසිරෙනසුලු වූ ගැඹුරු වූ නින්නාද ඇති අෂ්ටාඞ්ගසමන්‍වාගත ඝෝෂය නික්මෙයි. ඒ භවත් ගෞතමයෝ වැළිත් පිරිස් නො ඉක්ම ස්වරයෙන් හඟවති. ඔබගේ ඝෝෂය පිරිසෙන් බැහැර නො නික්මෙයි. ඔහු ඒ භවත් ගෞතමයන් විසින් දැහැමිකථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු ප්‍රහර්‍ෂ කරවන ලද්දාහු හුනස්නෙන් නැඟී අවිජහත් ස්වභාවයෙන් අපලෝකනය කරන්නාහු මැ බැස යෙති. “භවත්නි, අපි ඒ භවත් ගෞතමයන් වඩනවුන් දකුම්හ, සිටියවුන් දකුම්හ, ඇත්ගමට වදනවුන් දකුම්හ, ඇත්ගමෙහි නිහඬ වැ හිඳිනවුන් දකුම්හ, අනුමෝදනා කරන වළඳා නිමවූවන් දකුම්හ, අරම්වදනවුන් දකුම්හ, ආරාමගත වැ නිහඬ වැ හිඳිනවුන් දකුම්හ, ආරාමගත වැ පිරිස්හි දහම් දෙසනවුන් දකුම්හ” කියායි. භවත් ආචාර්‍ය්‍යයෙනි, ඒ භවත් ගෞතමයෝ මෙබඳු මෙබඳු ගුණ ඇතියෝ යි. එයින් වැඩි ගුණ ඇතියෝ ද වෙති.
මෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ තෙවිටක් උදන් ඇනි: “ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” කියා යි. අපි කිසියම් දවසෙක ඒ භවත් ගෞතමයන් හා එක්වන්නමෝ නම් මනා මැ නු, කිසියම් කථාසල්ලාපයෙක් වේ නම් මනා මැ නු”යි.
එකල්හි බුදුහු විදේහජනපදයෙහි අනුක්‍රමයෙන් සැරිසරන්නාහු මියුලු නුවරට වැඩියහ. එහි දී බුදුහු මියුලු නුවර මුවදෙව් නම් අඹ උයන්හි වැඩවෙසෙති. මියුලුනුවර වැසි බමුණු ගැහැවියෝ තෙල බස් ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු පන්සියක් පමණ මහත් භික්‍ෂුසඞ්ඝයා හා සමග විදේහයෙහි සැරිසරනසේක් මියුලුනුවරට පැමිණියාහු මියුලුනුවර මුවදෙව් නම් අඹඋයන්හි වැඩ වෙසෙති. ඒ භවත් ගෞතමයන් ගේ මෙබඳු කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්ය, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ”, ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව හා දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට දන්වත්. ඔබ ආදි කල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසුදු බඹසර පවසත්. එබඳු රහතුන්ගේ දක්මෙක් වේ නම් මැනැවැ”යි. ඉක්බිති මියුලුනුවර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් හමුයෙහි නම්ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. කෙනෙක් තූෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හු.
බ්‍රහ්මායු බමුණු: “සැහැකුලපුත් සැහැකුලින් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මියුලු නුවරට වැඩිසේක් මියුලුනුවර මුවදෙව් අඹඋයන්හි වැඩවෙසෙති”යි ඇසුයේ මැ යි. එසඳ බ්‍රහ්මායු බමුණු බොහෝ මණෙවුවන් හා සමග මුවදෙව් අඹ උයන් කරා ගියේ. ඉක්බිති බ්‍රහ්මායු බමුණුහට අඹඋයන්නුදුරෙහි දී තෙල සිත් වී: “මම කැල මැ නො දන්වන ලදුයෙම් මහණ ගොයුමන් දක්නට එළැඹෙම් නම් තෙල මට නො නිසි යැ” යනු යි. එසඳ බ්‍රහ්මායු බමුණු එක්තරා මාණවයකු ඇමැතී: “මාණවකය තෝ එව. මහණ ගොයුමන් කරා එළැඹෙව, එළැඹ මා බසින් මහණ ගොයුමන්ගේ අතින් අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුස්ව: “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බමුණු භවත් ගෞතමයන් අතින් නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසී” කියා යි. මෙසේත් කියව: “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ ජීර්‍ණ යැ වෘද්ධ යැ මහලු යැ බොහෝ කල් ගැළවී යැ. පශ්චිම වයසට පැමිණියේ යැ, උපතින් එක්සියවිසිහැවිරිදි යැ, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර ගියේ යැ පද හදාරන්නේ යැ තදවශේෂ ව්‍යාකරණ හදාරන්නේ යැ. ලෝකායතමහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ. මියුලු නුවර යම් තාක් බමුණුගැහැවියෝ වෙසෙත් ද, ඔවුනතුරින් බ්‍රහ්මායු බ්‍රාහ්මණ භෝගයෙන් අග්‍ර ය’යි කියනු ලැබේ. ‘බ්‍රහ්මායු බ්‍රාහ්මණ ඔවුනතුරින් ආයුෂ හා යසසිනුදු අග්‍ර යැ’යි කියනු ලැබේ. හේ භවත් ගෞතමයන් වහන්සේ දක්නා කැමැත්තේ යැ”යි.
‘එසේ යැ භවත්නි’ යි ඒ මණෙවු බ්‍රහ්මායු බමුණුහට පිළිවදන් දී භාග්‍යවතුන් කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ මණෙවු භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “භවත් ගොයුමාණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණ භවත් ගෞතමයන් අතින් නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසි. භවත් ගෞතමයෙනි, බ්‍රහ්මායු බමුණු ජීර්‍ණ යැ ... ලෝකායතමහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ. මියුලු නුවර යම් තාක් බමුණුගැහැවියෝ වෙසෙත් ද, ඔවුනතුරෙහි ‘බ්‍රහ්මායු බමුණු භෝගයෙන් අග්‍ර යැ’යි කියනු ලැබේ. ඔවුනතුරින් බ්‍රහ්මායු බමුණු වෙදයෙන් අග්‍ර යැ’යි කියනු ලැබේ. බ්‍රහ්මායු බමුණු ඔවුනතුරින් ආයුෂ හා යසසිනිදු අග්‍ර යැ’යි කියනු ලැබේ. හේ භවත් ගෞතමයන් වහන්සේ දක්නා කැමැත්තේ යැ”යි.
මාණවකය, එයට දැන් බ්‍රහ්මායු බමුණු කල් දන්නේ යැ’යි.
එසඳ ඒ මණෙවු බ්‍රහ්මායු බමුණු කරා එළැඹියේ. එළැඹ බ්‍රහ්මායු බමුණුහට තෙල කී: “භවත් ශ්‍රමණ ගෞතම විසින් කළ අවකාශ ඇත්තේ යැ, එයට දැන් භවත් කල් දන්නේ යැ’යි.
එසඳ බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එ පිරිස බ්‍රහ්මායු බමුණු දුරැ දී මැ එන්නා දුටු. දැක ඉක්බිති යසස්වී ඥාතපුරුෂයකුට සෙයින් ඔහුට අවකාශ කළා. එසඳ බ්‍රහ්මායු බමුණු එ පිරිසට තෙල කී: “භවත්නි, කම් නැත, තෙපි සිය අස්නෙහි හිඳුව, මෙහි මම් මහණ ගොයුමන් වෙත හිඳිමි”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහපුරිස් ලකුණු පිරික්සී. බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන්ගේ කයෙහි දෙලකුණක් තබා දෙතිස් මහාපුරිස්ලකුණු බෙහෙවින් දිට. මහපුරිස් ලකුණු දෙකක් (දක්නට) පතයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, (නො දැක්මෙන්) නො පහදී. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යතායෙහි ද ප්‍රභූතජිහ්වතායෙහි ද යන දෙක්හි යැ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී:
“ගොයුමාණෙනි, මා විසින් යම් මහපුරිස්ලකුණු දෙතිසකැ’යි අසනලද ද ඔවුනතුරින් දෙකක් භවතුන්ගේ කයෙහි නො දක්මි.
නරෝත්තමයෙනි, කිම භවත්හුගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය ඇද්ද? කිම ස්ත්‍රීලිඞ්ගයෙන් කියයුතු භ්‍රස්ව නො වූ ජිහ්වා ඇද්ද?
කිම ප්‍රභූතජිහ්ව වෙහි ද? භවත් ඍෂිවරයිනි, අපි යම් පරිදි එය දනුමෝ නම් එ පරිදි තෙල තුනී දිව නෙරුව මැනැවැ. සැක දුරු කළ මැනැවැ.
යම් කිසිවක් පතනලද නම් එය කළ අවකාශ ඇතියමෝ ඓහලෞකිකසුඛය සඳහාත් පාරලෞකිකසුඛය සඳහා ත් පුළුවුසුම්හ.
එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ මා ගේ දෙතිස් මහපුරිස් ලකුණු බෙහෙවින් දෙකක් තබා දක්නේ යැ, මහපුරිස් ලකුණු දෙකෙක ආකාඞ්ක්‍ෂා කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, සනිටුහන් නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි හා ප්‍රභූතජිහ්වතායෙහි යි. එසඳ බුදුහු යම්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටි නම් එබඳු ඉදුහයක් කොළෝ. ඉක්බිති බුදුහු දිව නෙරැ දෙකන්සිදත් අනුමර්‍ශ පරිමර්‍ශ කළහ, දෙනැහැසිදත් අනුමර්‍ශ පරිමර්‍ශ කළහ, සියලු නළල්මඬල ද වැසූහ. ඉක්බිති බුදුහු බ්‍රහ්මායු බමුණුහට ගාථායෙන් මෙසේ වදාළහ:
“බමුණ තොප විසින් දෙතිසකැ’යි යම් මහපුරිස්ලකුණු කෙනෙක් අසනලදහු නම් එ හැම මාගේ කයෙහි වෙයි. තොපට නහමක් සැක වේවා.
බමුණ මා විසින් දතයුත්ත දන්නාලද, භාවිතව්‍යය භාවිත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහාණය කරන ලද, එහෙයින් බුද්ධ වෙමි.
ඉහාත්මයෙහි හිතයට ද පරලෙව්හි සුඛයට ද කළ අවකාශ ඇතියම්හ, යම් කිසිවක් පතනලද නම් එය පුළුවුස්ව”යි.
එසඳ බ්‍රහ්මායු බමුණුහට තෙල සිත් වී: “ශ්‍රමණ ගෞතමයන් විසින් කළ අවකාශ ඇතියෙමි. මම කුමක් මහණ ගොයුමන් අතින් පුළුවුස්නෙම් ද? ඓහලෞකික අර්‍ත්‍ථය හෝ යැ පාරලෞකික අර්‍ත්‍ථය හෝ යැ”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණුහට තෙල සිත් වී: “මම් වූකලි දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථයෙහි කුශලයෙමි, අන්‍යයෝ ද මා අතින් දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථය පුළුවුසිති. මම් මහණ ගොයුමන් අතින් සාම්පරායිකාර්‍ත්‍ථය පුළුවුස්නෙම් නම් මනා මැ නු”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් තෙල කී:
“භවත්නි, කිසෙයින් ‘බ්‍රාහ්මණ’ වේ ද, කිසෙයින් වේදගූ වේ ද, කිසෙයින් ‘ත්‍රෛවිද්‍ය’ වේ ද, කවරෙක් ‘සොත්තිය’යි කියනු ලැබේ ද? භවත්නි, කිසෙයින් අර්‍හත් වේ ද, කිසෙයින් ‘කේවලී’ (සකලගුණසම්පන්න) වේ ද, කිසෙයින් ‘මුනි’ වේ ද, කවරෙක් ‘බුද්ධ’යි කියනු ලැබේ ද?” යි.
එකල්හි බුදුහු බ්‍රහ්මායු බමුණුහට ගාථායෙන් පිළිතුරු වදාළහ:
“යමෙක් පූර්‍වනිවාසය දන්නේ ද, (දිවැසින්) ස්වර්‍ගයත් අපායත් දකී ද, යළි ජාතික්‍ෂයට පැමිණියේ ද, (අර්‍හද්ඥානයෙන්) අභිජානන කොට අවසානයට පැමිණියේ ද, (අර්‍හත්ඥාන සඞ්ඛ්‍යාත) මුනිභාවයෙන් සමන්‍වාගත වූයේ ද.
සර්‍වප්‍රකාරයෙන් රාගයෙන් මිදුණු (එහෙයින් මැ) විශුද්ධ වූ සිත දනී ද, ප්‍රහීණ වූ ජාති හා මරණ ඇත්තේ ද, සියලු සිව්මඟබඹසර ඇත්තේ ද, සියලු (ලොවිලොවුතුරු) දහමුන්ගේ පාරයට ගියේ ද, එ බඳු පුද්ගල ‘බුද්ධ’යයි කියනු ලැබේ” යයි.
මෙසේ වදාළ කල්හි බ්‍රහ්මායු බමුණු හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුයෙහි හිසින් වැඳවැටී භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් මුවිනුදු සිඹී. අතිනුදු සම්බාහන කෙරෙයි: “භවත් ගොයුමාණෙනි, මම් බ්‍රහ්මායුබ්‍රාහ්මණයෙමි, භවත් ගොයුමාණෙනි, මම් බ්‍රහ්මායු බ්‍රාහ්මණයෙමි”යි නමුදු අස්වයි. එස, එ පිරිස ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇති වූ: “භවත්නි ආශ්චර්‍ය්‍ය යැ, භවත්නි අද්භූත යි, මහණක්හුගේ මහත් ඍද්ධියක් බලව, මහත් අනුභාවයක් බලව. යම් කරුණෙක්හි ලා ප්‍රකට වූ යසස් ඇති මේ බ්‍රහ්මායු බමුණු මෙ වන් පරමනිපත්‍යාකාරයක් කෙරේ”යයි.