වහන්ස, සදුඃඛ කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් නිස්ස්‍යන්‍ද දුඃඛවිපාක වේ ද, එය යි.
වහන්ස, නිස්ස්‍යන්‍ද දුඃඛවිපාක කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිස වැටේ ද, පරව්‍යාබාධ පිණිස වැටේ ද, උභය ව්‍යාබාධ පිණිස වැටේ ද, ඔහුට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මහරජ, මෙ බඳු කායසමාචාරය නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ (නින්‍දා) කළයුතු වෙයි.
වහන්ස, ආනන්‍දයෙනි, නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කළයුතු වාක්සමාචාර .... මනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් අකුසල් වේ ද, එය යි.
වහන්ස, අකුසල මනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් සාවද්‍ය වේ ද, එය යි.
වහන්ස, සාවද්‍යමනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් සාවද්‍යබාධ වේ ද, එය යි.
වහන්ස, සාවද්‍යබාධ මනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් දුඃඛවිපාක වේ ද, එය යි.
වහන්ස, දුඃඛවිපාක වූ මනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් පවතී ද, ... උභයව්‍යාබාධ පිණිසත් පවතී ද, ඔහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙති, මහරජ, මෙ බඳු මනඃසමාචාර නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කටයුතු වෙයි.
වහන්ස, ආනන්‍දයෙනි, කිම, ඒ භාග්‍යවත්හු හැම අකුශලධර්‍මයන් ගේ මැ ප්‍රහාණය වර්‍ණනා කෙරෙත් දැ?යි.
මහරජ, තථාගතයෝ හැම අකුසල්දහම් ප්‍රහීණ කළ කෙනෙක. කුශලධර්‍ම සමන්‍වාගත කෙනෙකැ’යි.
වහන්ස, ආනන්‍දයෙනි, වැළිත් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ නො කළයුතු කායසමාචාර කවරේ දැ?යි.
මහරජ, යම් කායසමාචාරයෙක් කුසල් වේ ද එය යි.
වහන්ස, කුශලකායසමාචාර කවරේ ද?
මහරජ, යම් කායසමාචාරයෙක් අනවද්‍ය වේ ද එය යි.
වහන්ස, අනවද්‍යකායසමාචාර කවරේ ද?
මහරජ, යම් කායසමාචාරයෙක් අව්‍යාබාධ වේ ද, එය යි.
වහන්ස, අව්‍යාබාධ කායසමාචාර කවරේ ද?
මහරජ, යම් කායසමාචාරයෙක් සුඛවිපාක ඇත්තේ ද, එය යි.
වහන්ස, සුඛවිපාක ඇති කායසමාචාර කවරේ ද?
මහරජ, යම් කායසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, පරව්‍යාබාධ පිණිසත් නො වැටේ ද උභයව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, ඔහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති. මහරජ, මෙබඳු වූ කායසමාචාරය නුවණැති මහණ බමුණන් විසින් උපාරම්භ කටයුතු නො වේ යයි.
වහන්ස, ආනන්‍දයෙනි, වැළිත් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ නො කටයුතු වාක්සමාචාර ... මනඃසමාචාර කවරේ දැ? යි.
මහරජ, යම් මනඃසමාචාරයෙක් කුසල් වේ ද, එය යි.
වහන්ස, කුශල වූ මනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් අනවද්‍ය වේ ද, එය යි.
වහන්ස, අනවද්‍ය මනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් අව්‍යාබාධ වේ ද, එය යි.
වහන්ස, අව්‍යාබාධ මනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් සුඛවිපාක ඇත්තේ ද, එය යි.
වහන්ස, සුඛවිපාක ඇති මනඃසමාචාර කවරේ ද?
මහරජ, යම් මනඃසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, පරව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, උභයව්‍යාබාධ පිණිසත් නො වැටේ ද ඔහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති. මහරජ, මෙවන් මනඃසමාචාරය නුවණැති මහණ බමුණන් විසින් උපාරම්භ කටයුතු නො වේ යයි.
කිම වහන්ස, ආනන්‍දයෙනි, ඒ බුදුහු හැම කුශලධර්‍මයන්ගේ මැ රැස් කිරීම පසසත් දැ? යි.
මහරජ, තථාගතයෝ ප්‍රහීණ කළ හැම අකුසල් දහම් ඇතියහ, කුශලධර්‍මසමන්‍වාගතයහ’යි.
වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යි, වහන්ස, ආයුෂ්මත් ආනන්‍දයන් විසින් මේ වදාළ තාක් සුභාෂිත මැ යි. වහන්ස, ඇපි ආයුෂ්මත් ආනන්‍දයන් ගේ මේ සුභාෂිතයෙනුදු සතුටුසිත් ඇතියමෝ ආරාධිතයම්හ. වහන්ස, මෙසෙයින් ආයුෂ්මත් ආනන්‍දයන් ගේ සුභාෂිතයෙන් සතුටු වැ සිත් ඇල වූ ඇපි ඉදින් වහන්ස, ආයුෂ්මත් ආනන්‍දයනට හස්ති රත්නය කැප වේ නම් ආයුෂ්මත් ආනන්‍දයනට හස්තිරත්නය ද දෙම්හ. වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍දයනට අශ්වරත්නය කැප වේ නම්, ඇපි ආයුෂ්මත් ආනන්‍දයනට අශ්ව රත්නය ද දෙම්හ. වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍දයනට ගම්වර කැප වේ නම් ඇපි ආයුෂ්මත් ආනන්‍දයනට ගම්වර ද දෙම්හ. එතෙකුදුවත් වහන්ස, තෙලෙ ආයුෂ්මත් ආනන්‍දයනට කැප නො වේ’ යන තෙල කරුණ ඇපි දු දනුම්හ. වහන්ස, මා ගේ මේ බාහිතික වස්ත්‍රය මගධේශ්වර වූ වේදේහි පුත්‍ර ආජාතසත්තු රජු විසින් වස්ත්‍රනාළියෙහි බහා එවන ලද්දේ අයමින් සොළොස්හත් විතරින් අටහත් ඇතියේ යැ, වහන්ස, එය ආයුෂ්මත් ආනන්‍දයෝ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්ව’යි.
මහරජ, කම් නැත. මට තුන්සිවුරු පරිපූර්‍ණ යැ යි.
වහන්ස, මේ අචිරවතී හොය ආයුෂ්මත් අනඳ තෙරණුවන් විසිනුදු අප විසිනුදු දක්නා ලද. යම් කලෙක පර්‍වත මස්තකයෙහි මහාමේඝයෙක් මොනොවට වටුයේ වේ ද, එකල මේ අචිරවතී හොය දෙපස ඉවුරු ගලමින් යෙයි. වහන්ස, එපරිදි මැ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ බාහිතික වස්ත්‍රයෙන් තමනට තුන් සිවුරු කරන්නාහ. ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ යම් පැරණි තුන්සිවුරෙක් වී නම් එය සබ්‍රම්සරුන් හා බෙදා ගන්නාහ. මෙසේ අප ගේ මේ දක්‍ෂිණාව ඉතිරැ යන්නාක් මෙන් යෙයි. වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බාහිතික වස්ත්‍ර පිළිගන්නා සේක්වා.
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බාහිතික වස්ත්‍ර පිළිගත්හ. එසඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආනන්‍දයෙනි, අපි දැන් යම්හ, අපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ යි, මහරජ, තෙපි දැන් එයට කල් දනුව.
ඉක්බිති පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ බස අභිනන්‍දනා කොට අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ,
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසේනදි කොසොල් රජු බැස ගිය නොබෝ කල් ඇති කල්හි භාග්‍යවතුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත් පස් වැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසේනදි කොසොල් රජු හා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද එ හැම භාග්‍යවතුන්හට සැලකළහ. එ බාහිතික වස්ත්‍රය ද භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ.
එසඳ බුදුහු භික්‍ෂූන් ඇමැතූසේක: “මහණෙනි, පසේනදි කොසොල්රජහට ලාභයෙක, මහණෙනි, පසේනදි කොසොල් රජහට මනා ලාභයෙක. යම් හෙයෙකින් පසේනදි කොසොල් රජ ආනන්‍දයන් දක්නට ලැබේ ද පර්‍ය්‍යුපාසනයට ලැබේ ද එහෙයිනැ”යි.
බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති එ මහණහු භාග්‍යවතුන් ගේ භාෂිතය අනුමෝදන් කළහ’යි.
අට වැනි බාහිතික සූත්‍ර යි.
2. 4. 9.
ධම්මචේතිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි මේදතළුම්ප නම් සැහැරජුන් ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එසමයෙහි පසේනදි කොසොල් රජ කිසි කටයුත්තෙකින් නගරක නම් ශාක්‍යනිගමයට පැමිණියේ වෙයි. එසඳ පසේනදි කොසොල් රජ දීඝකාරායන සෙනෙවි ඇමැති: “සගය කාරායනයෙනි, භද්‍ර භද්‍ර යානයන් යොදව, මනාබිම් වූ උයන්බිම දක්නට යම්හ”යි. ‘එසේ යැ දේවයිනි’යි දීඝකාරායන පසේනදි කොසොල් රජහට පිළිවදන් අස්වා භද්‍රභද්‍ර යානයන් යොදවා පසේනදි කොසොල් රජහට දැන්වී: “දේවයිනි, භද්‍රභද්‍ර යානයෝ යොදනලදහ, එයට දැන් කල් දන්නේ යැ’යි. එසඳ පසේනදි කොසොල් රජ සුන්‍දර යානයෙක නැඟී සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ මහත්වූ රාජානුභාවයෙන් නුවරින් නික්මියේ, ආරාමය කරා ගියේ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අරමට පිවිසියේ යි.
පසේනදි කොසොල් රජ ආරාමයෙහි ජඞ්ඝාවිහාරයෙහි සක්මන් කරනුයේ ඇවිදිනුයේ දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ නිර්ඝෝෂ රහිත ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුන් දිට. දැක බුදුනු මැ ඇරබ සිහි උපන: “යම් බඳු සෙනසුනෙක අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරමෝ නම් මේ එ බඳු දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුනැ”යි.
එසඳ පසේනදි කොසොල් රජ දීඝකාරායන සෙනෙවි ඇමැතී: “සගය කාරායනයෙනි, යම් බඳු සෙනසුනෙකැ අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරමෝ නම් මේ එ බඳු දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුන. සගය කාරායනයෙනි, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩ වෙසෙත් දැ? යි.
මහරජ, මේදතළුම්ප නම් ශාක්‍යයන්ගේ නිගමයෙක් ඇත. දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවත්හු එහි වැඩ වෙසෙති’යි. සගය කාරායනයෙනි, නගරක නියම්ගම්හි සිට මේදතළුම්ප නම් සැහැරජුන්ගේ නිගමය කොපමණ දුරැති වේ දැ? යි. මහරජ, දුරැ නො වෙයි. තුන් යොදුනෙකැ. දිවසාවශේෂයෙන් යන්නට හැක්කැ’යි. එසේ වී නම් සගය කාරායනයෙනි, භද්‍රභද්‍රයානයන් යොදව. ඇපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ
දක්නට යම්හ’යි. ‘එසේ යැ දේවයිනි’යි දීඝකාරායන සෙනෙවි පසේනදි කොසොල් රජහට පිළිවදන් දී භද්‍ර වූ භද්‍ර වූ යානයන් යොදවා පසේනදි කොසොල් රජහට දැන්වී: “දේවයිනි, භද්‍ර වූ භද්‍ර වූ යානයෝ යොදන ලදහ. එයට දැන් කල් දනැ”යි. එ සඳ පසේනදි කොසොල් රජ සුන්‍දර යානයෙකැ නැඟී සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ නගරක නම් නිගමයෙන් නික්ම මේදතළුම්ප නම් නියම්ගම කරා පිටත් වැ ගියේ, එ මැ දිවසාවශේෂයෙන් මේදතළුම්ප නම් සැහැරජුන්ගේ නියම්ගමට පැමිණියේ, අරම කරා ගියේ යි. යාන භූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අරමට පිවිසියේ යි.
එසමයෙහි බොහෝ මහණහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති. එසඳ පසේනදි කොසොල් රජ එ මහණුන් කරා එළැඹියේ යැ. එළැඹ එ මහණුනට තෙල බස් කී: “වහන්ස, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවත්හු කොහි යැ? අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් දක්නා රිසියම්හ”යි. මහරජ, තෙලෙ වෙහෙර පියූ දොර ඇතියේ යැ. එහෙයින් නිහඬ වැ එළැඹ වෙලෙවි නො වැ අක්දෙරියට පිවිස උකැසි හඬ කොට කවළියෙහි (කෙසි සිද වෙත) අකොළව (සෙමින් පහරව). බුදුහු තොපට දොර විවර කෙරෙති’යි. ඉක්බිති පසේනදි කොසොල් රජ කඩුවත් නළල්පටත් එහි මැ දීඝකාරායනහට දින. ඉක්බිති දීඝකාරයනහට තෙල සිත් වී: “දැන් කලි මහරජ රහස් බෙණෙයි, එයින් දැන් මා මෙහි මැ සිටියයුතු යැ”යි. එසඳ පසේනදි කොසොල්රජ පියූ දොර ඇති එ වෙහෙර කරා නිශ්ශබ්ද වැ එළැඹ නො වෙලෙවි වැ අක්දෙරියට වැද උකැසි හඬ නඟා කවුළු පහළේ යැ. බුදුහු දොර විවර කොළෝ. එසඳ පසේනදි කොසොල් රජ වෙහෙර වැද බුදුන්ගේ පාමුල හිසින් වැටී බුදුන්ගේ පාසඟළ මුවිනුදු සිඹී, දෙඅතිනුදු සම්බාහනා කෙරෙයි, නමුදු අස්වයි: “වහන්ස, මම පසේනදි කොසොල් රජමි, වහන්ස, මම පසේනදි කොසොල් රජමි”යි.
මහරජ, තෙපි කිනම් කරුණක් දක්මින් මේ සිරුරෙහි ලා මෙ බඳු පරම ගෞරවාකාර කරව. ගෞරවොපහාර දක්වව?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්‍මාන්‍වයෙක් ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය. භගවත්හුගේ සවුසඟහු සුපිළිපන්හ”යි. වහන්ස, මම මෙලොව දසවසෙක විසිවසෙක තිස්වසෙක සතලිස්වසෙකැ’යි මෙසේ අවධි සහිත කොට බඹසර පුරන ඇතැම් මහණබමුණු කෙනකුන් දක්මි. පසු කලෙක ඔහු මොනොවට සනහා සිටියාහු විලෙවුන් ගත්තාහු අන්දම් තැබූ කෙහෙමස් ඇත්තාහු පස්කම් ගුණෙන් සමර්පිත වැ සමඞ්ගීභූත වැ ඉඳුරන් පිනවත්, වහන්ස, මම මෙ සස්නෙහි දිවි ඇති තාක් ප්‍රාණපරිත්‍යාගය ඇතුළු කොට ඇති පිරිපුන් පිරිසුදු බඹසර පුරන මහණුන් දක්මි. වහන්ස, මම මෙ සස්නෙන් බැහැර මෙසේ පිරිපුන් පිරිසුදු අන් බඹසරක් නො දක්මි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
තවද වහන්ස, රජදරුවෝ ද රජදරුවන් හා විවාද කෙරෙති, කැත්කුල ඇතියෝ ද කැත්කුලැතියන් හා විවාද කෙරෙති, බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙති, ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙති, මව ද පුතු හා විවාද කෙරෙයි, පුත් ද මව හා විවාද කෙරෙයි, පියා ද පුතු හා විවාද කෙරෙයි, පුත් ද පියා හා විවාද කෙරෙයි, සොහොවුරා ද සොහොවුරු හා විවාද කෙරෙයි, බෑයා ද බුහුන හා විවාද කෙරෙයි, බුහුන ද බෑයා හා විවාද කෙරෙයි, යහළු ද යහළු හා විවාද කෙරේ. වහන්ස, මම මෙ සස්නෙහි සමග වූ සතුටු වන විවාද නො කරන කිරි-දිය සේ එක් වූ උනුන් ප්‍රිය ඇසින් දක්මින් වෙසෙන මහණුන් දක්මි. වහන්ස, මම මෙ සස්නෙන් බැහැර මෙසේ සමඟ වූ අන් පිරිසක් නො මැ දක්මි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් සිව්සස් දහම් මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
තවද වහන්ස, මම අරමින් අරමට උයනින් උයනට සක්මන් කරමි, ඇවිදුමි. එ මම් එහි කෘශ වූ රළු වූ දුර්වර්‍ණ වූ හටගත් පඬුපැහැ ඇති නහර ඉල්පුණු සිරුරු ඇති ඇතැම් මහණබමුණු කෙනකුන් පුනපුනා දක්නට ජනයාගේ නෙත් නො බඳනවුන් මෙන් දක්මි. වහන්ස, එ මට මෙසේ සිත් වෙයි: “එකැතින් මේ ආයුෂ්මත්හු අනභිරත වැ හෝ බමසර සෙරෙති. ඔවුන් විසින් පිළිසන් වැ කළ පව්කමෙක් හෝ ඇත. එසේ මැ යැ මේ ආයුෂ්මත්හු කෘශ වූවාහු රූක්‍ෂ වූවාහු දුර්වර්‍ණ වූවාහු හටගත් පඬුපැහැ සිරුරු ඇත්තාහු නහර පැතුරුණු සිරුරු ඇත්තාහු වෙති. ජනයාගේ දර්‍ශනය පිණිස ඇස් නො බඳනවුන් සෙයින් වෙති”යි. මම ඔවුන් කරා එළැඹ මෙසේ කියමි: “ආයුෂ්මත්නි, තෙපි කවර හෙයකින් කෘශ වව, රූක්‍ෂ වව, දුර්වර්‍ණ වව. හටගත් පඬුරෝ ඇතියාව. නහර ඉපිළි සිරුරු ඇතියාව, ජනයාගේ දර්‍ශනයට ඇස් නො බඳනවුන් සෙයින් වව”යි. ඔහු මෙසේ කීහු: “මහරජ අපට බන්‍ධු (පරපුරින් ආ) රෝගයෙකැ”යි. වහන්ස, මම මෙ සස්නෙහි තුටු පහටු ඔදවැඩි අභිරත රූප ඇති පිණාගිය ඉඳුරන් ඇති අල්පොත්සුක වූ (නිර්‍භය හෙයින්) හුණුලොම් ඇති පරා දුන් දැයින් වැටුම් ඇති නිරාශසිතින් වසන මහණුන් දක්මි. වහන්ස, මට මෙසේ සිත් වෙයි: “මේ ආයුෂ්මත්හු එකැතින් ඒ භගවත්හුගේ ශාසනයෙහි උදාර වූ පළමු ඉපැයූ විශේෂයෙන් වැඩි අපර විශේෂයක් දනිත් මැ යැ. එසේ මැ යි මේ ආයුෂ්මත්හු තුටු පහටු වැ ඔදවැඩි වැ අභිරතරූප ඇති වැ පිණාගිය ඉඳුරන් ඇති වැ ප්‍රත්‍යයොත්පාදයෙහි අල්පොත්සුක වැ (අත්‍රස්ත) හෙයින් පතිතලෝම වැ පරා දුන් දැයින් යැපෙත දිවිවැටුම් ඇති වැ නිරාශසිතින් වෙසෙති”යි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය මනාකොට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
තවද වහන්ස, මම මුදුනෙහි බිසෙස් කළ කැත් රජ වූයෙම් නස්නට නිසියහු නසන්නට වේවයි. නිර්ධන කරන්නට නිසියහු නිර්ධන කරන්නට වේවයි රටින් නෙරනට නිසියහු රටින් නෙරන්නට වේවයි පොහොමි, වහන්ස, අධිකරණවිනිශ්චයෙහි හිඳුනා මට අතරතුර කථා බහත්. මම “මේ භවත්හු අධිකරණයෙහි හිඳුනා මට අතරතුර කථා නහමක් බහත්වා: මේ භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය බලා සිටිත්වා” යනු නො ලබමි. වහන්ස, මට අතරතුර කථා බහත්. වහන්ස, යම් දවසෙක භාග්‍යවතුන් වහන්සේ අනේකශත
පර්‍ෂද්හි දහම් දෙසන සේක් ද, එදවස්හි භාග්‍යවතුන් වහන්සේ ගේ සව්වන් කිවිස්නා ශබ්දයෙක් වේවයි, උකැසි හඬෙක් වේවයි නැත් ද, එ බඳු මහණුන් මෙ සස්නෙහි දක්මි. වහන්ස, වූවිරී දැයක් කියමි:භාග්‍යවතුන් වහන්සේ අනේකශතපර්ෂද්හි දහම් දෙසූ සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ශ්‍රාවකයෙක් උකැසි කෙළේ. එක්තරා සබ්‍රම්සරෙක් දණින් උහු ගැටී: “ආයුෂ්මත් නිහඬ වේවා, ආයුෂ්මත් නහමක් ශබ්ද කරන්නේ යැ. අප ගේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේකැ”යි. වහන්ස, මට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ භවත්නි, අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් මෙසේ සුවිනීත පර්‍ෂද් වේ මැ යයි. වහන්ස, මෙ සස්නෙන් බැහැර මම මෙසේ සුවිනීත අන් පිරිසක් නො දක්මි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
තවද වහන්ස, මම් මෙලොව නිපුණ වූ පරා හා කළ වාදපරිචය ඇති වාලවේධී ධනුර්ධරයන් බඳු ඇතැම් ක්‍ෂත්‍රිය පණ්ඩිත කෙනෙක් ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳුනවුන් මෙන් හැසිරෙති. ඔහු ශ්‍රමණභවත් ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පිවිසෙත් ල යි අසති. ඔහු පැන සකස් කෙරෙති: “ඇපි ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹ මේ ප්‍රශ්නය පුළුවුස්මහ, අප විසින් මෙසේත් පුළුවුස්නා ලද්දාහු මෙසේ විසඳන්නාහ. මෙසෙයින් ඇපි ඔවුනට වාදාරෝපණ කරම්හ. ඉදින් අප විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු මෙසෙයින් විසඳන්නාහු නම් ඇපි මෙසේත් ඔවුනට වාදාරෝපණ කරම්හ”යි. ඔහු “මහණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වැඩිසේකැ’යි අසත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙත්. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. සමාදන් කරවන සේක, තෙද ගන්වන සේක, මොනොවට පහදවන සේක. ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලදු වැ සමාදන් කරවන ලදු වැ තෙද ගන්වන ලදු වැ සතුටු කරවන ලදු වැ භාග්‍යවතුන් වහන්සේ අතින් පැන නො පුළුවුස්නාහ. කවර හෙයින නම් වාදාරෝපණ කෙරෙත් ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ සවු වෙත්. වහන්ස, මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත යැ. සඟහු සුපිළිපන්හ”යි.
තවද වහන්ස, මම මෙලොව නිපුණ වූ පරා හා කළ වාදපරිචය ඇති වාලවේධී ධනුර්ධරයන් බඳු ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳුනවුන් මෙන් හැසිරෙන බ්‍රාහ්මණ පණ්ඩිතයනුදු .... ගෘහ පණ්ඩිතයනුදු .... ශ්‍රමණපණ්ඩිතයනුදු දක්මි. ඔහු ශ්‍රමණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වඩනාසේකැ’යි අසත්. ඔහු ප්‍රශ්න අභිසංස්කරණ කෙරෙති: “අපි මෙ පැන මහණ ගොයුම්හු කරා එළැඹ පුළුවුසුම්හ. ඉදින් අප විසින් මෙසේ පුළුවුස්නා ලදු වැ මෙසේ ප්‍රකාශ කෙරෙත් නම් අපි ඔබට මෙසේ වාදාරෝපණ කරම්හ. අප විසින් මෙසේත් පුළුවුස්නාලදු වැ මෙසේ ව්‍යාකරණ කෙරෙත් නම් අපි මෙසේත් ඔබට වාදාරෝපණ කරම්හ”යි ඔහු ශ්‍රමණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වැඩිසේකැ’යි අසත්, ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දැහැමි කථායෙන් කරුණු දක්වනසේක, සමාදන් කරවනසේක, තෙද ගන්වනසේක, සතුටු කරවනසේක. ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් කරුණු දක්වනලදු වැ සමාදන් කරවන ලදු වැ තෙද ගන්වන ලදු වැ සතුටු කරවන ලදු වැ භාග්‍යවතුන් වහන්සේ අතින් පැන නො ද පුළුවුස්නාහු මැ යැ. කවර හෙයින් වාදාරෝපණ කෙරෙත් ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අතින් මැ ගෙන් නික්ම සසුන් වදනු සඳහා අවකාශ යදිත්.
භාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කෙරෙත්. ඔහු එසේ පැවිදි වූවාහු එකලා වූවාහු වෙන් වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වැර ඇතියාහු ජීවිත නිරපේක්‍ෂක වැ වසන්නාහු නොබෝ කලෙකින් මැ කුලපුත්‍රයෝ යම් අර්‍ත්‍ථයක් සඳහා මොනොවට ගෙන් නික්ම සසුන් වදිත් ද, බ්‍රහ්මචර්‍ය්‍යාපර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තරාර්‍ත්‍ථය දුටුදැමියෙහි මැ තමන් විසින් විශ්ෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන විහරණ කෙරෙත්. ඔහු මෙසේ කීහු: “භවත්නි, මඳෙකින් නස්නමෝ මැ හැ, භවත්නි, මඳෙකින් විනස්නමෝ මැ යැ. අපි පෙර අශ්‍රමණයමෝ ‘ශ්‍රමණයම්හ’යි පිළින කළම්හ, අබ්‍රාහ්මණයමෝ ‘බ්‍රාහ්මණයම්හ’යි පිළින කළම්හ, අර්‍හත් නො වන්නමෝ මැ ‘අර්‍හත් වම්හ’යි පිළින කළම්හ. දැන් කලි ශ්‍රමණයම්හ, දැන් කලි බ්‍රාහ්මණයම්හ, දැන් කලි අර්‍හත් වම්හ”යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම් මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ’යි.
තවද වහන්ස, ඉසිදත්ත යැ පුරාණ යැ යන මේ දෙවඩුවෝ මා සතු බත් ඇතියාහු මා සතු යාන ඇතියාහු වෙති. මම උන් ගේ ජීවිත දෙන්නෙම් යසස් අරනෙම් වෙමි. එසේ වුව ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සෙයින් මා කෙරෙහි ගෞරවාකාර නො කෙරෙති. වහන්ස, පෙර වූ දැයක් කියමි: “මම සෙන් මෙහෙයන්නෙම් මේ ඉසිදත්තපුරාණ දෙවඩුවනුදු විමසන්නෙම් එක්තරා සසම්බාධ ආවස්ථයෙක වාසයට එළැඹියෙමි. වහන්ස, එසඳ මේ ඉසිදත්තපුරාණ දෙවඩුවෝ රැය බොහෝ වේලාවක් දැහැමි කථායෙන් කල් ගලවා භාග්‍යවතුන් වහන්සේ වසන දසට හිස කොට මා පාදසෙහි කොට වැදහොත්හ. වහන්ස, මට තෙල සිත්වී: “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක් මැ යැ. භවත්නි, අද්භූතයෙක් මැ යැ. මේ ඉසිදත්තපුරාණ දෙවඩුවෝ මා සතු බත් ඇතියාහු මා සතු යාන ඇතියාහු වෙති. මම උනට ජීවිතදායක වෙමි. යශස් අරනෙම් වෙමි. එතෙකුදු වුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සෙයින් මා කෙරෙහි නිපත්‍යාකාර නො කෙරෙති. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු දෙදෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි උදාර වූ කැල මැ ඉපැයූ විශේෂයට වැඩි අපර විශේෂයක් දනිත් මැ යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයහ, මම ද ක්‍ෂත්‍රියයෙමි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් දනව්වැසියහ, මම ද කොසොල්දනව් වැසියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද අසූවයස් ඇතියහ, මම ද අසූවයස් ඇතියෙමි. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයහ, මම ද ක්‍ෂත්‍රියයෙමි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් දනව්වැසියහ, මම ද කොසොල්දනව්වැසියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද අසූවයස් ඇතියහ, මම ද අසූවයස් ඇතියෙමි” යන යම් කරුණෙක් ඇත් ද වහන්ස, මම මෙ කරුණින් මැ පරමගෞරවාකාර කරන්නට ගෞරවොපහාර දක්වන්නට නිසියෙම් මැ යැ. වහන්ස, එයින් දැන් අපි යම්හ. අපි බොහෝ කිස ඇතියමෝ බොහෝ කරණී ඇතියමෝ යයි. මහරජ, තෙපි දැන් එයට කල් දැනැ’යි වදාළෝ. එසඳ පසේනදි කොසොල් රජ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නික්ම යන්නා හා මැ මහණුන් ඇමැතූසේක: “මහණෙනි, තෙල පසේනදි කොසොල්රජ ධර්‍මචෛත්‍යයන් කියා හුනස්නෙන් නැඟී නික්ම ගියේ. මහණෙනි, ධර්‍මචෛත්‍යයන් උගනුව, මහණෙනි, ධර්‍මචෛත්‍යයන් පුහුණු කරව, මහණෙනි, ධර්‍මචෛත්‍යයන් ධරව. මහණෙනි, ධර්‍මචෛත්‍යයෝ අර්‍ත්‍ථසංහිතයහ, ආදිබ්‍රහ්මචර්‍ය්‍යකයහ”යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ”යි.
නව වැනි ධම්මචේතිය සූත්‍ර යි.
2. 4. 10.
කණ්ණකත්ඵල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා රටැ කණ්ණකත්‍ථල නම් මුවළැව්හි වැඩ වසනසේක. එසමයෙහි පසේනදි කොසොල් රජ කිසි කටයුත්තෙකින් උජුකාවට පැමිණියේ වෙයි. එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: එම්බල පුරුෂය, තෝ එව. බුදුන් කරා එළැඹෙව, එළැඹ මාගේ වචනයෙන් බුදුන්ගේ පාසඟළ හිසින් වඳු. “වහන්ස, පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ පාසඟළ හිසින් වඳියි. අල්පාබාධ බව නිදුක් බව සිරුරෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසී” යයි අල්පාබාධත්‍වය නිදුක් බව ශරීරයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුස. මෙසේත් කියව: “වහන්ස, අද පසේනදි කොසොල්රජ පසුබතැ. වැළඳූ පෙරවරුබත් ඇතියේ බුදුන් දක්නා සඳහා එළැඹේ”යයි. ‘දේවයිනි, එසේ යැ’යි ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳියි. අල්පාබාධ බව නිදුක් බව සිරුරෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසි. මෙසේත් කියයි: “වහන්ස, පසේනදි කොසොල්රජ අද වැළඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නා සඳහා එළැඹේ”යයි.
සෝමා බුහුන ද සකුලා බුහුන ද “පසේනදි කොසොල් රජ අද වැළැඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නා සඳහා එළැඹෙති” ඇසූහු. එසඳ සෝමා බුහුන ද සකුලා බුහුන ද බත් වඩන තන්හි දී පසේනදි කොසොල් රජු කරා එළැඹ තෙල කීහු: “මහරජ එසේ හෙයින් අප ගේ වචනයෙනුදු භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟළ හිසින් වඳිනු මැනැව, අල්පාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසු විහරණ පිළිවිසිනු මැනැව: “සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් හිසින් වඳිති, අල්පාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසිත්” යයි.
ඉක්බිති පසේනදි කොසොල්රජ වැළැඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: “වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේ ගේ පාදයන් හිසින් වඳිති. නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසිත්. කිමෙක මහරජ සෝමා බුහුන ද සකුලා බුහුන ද අන්‍යදූතයකු නො ලද්හු දැ? යි.
වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද “අද පසේනදි කොසොල් රජ වැළැඳූ පෙරවරු බත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නට එළැඹේල”යි ඇසූහ. එසඳ වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද බත්වඩන තැන්හි මා කරා එළැඹ තෙල කීහු: එසේ වී නම් මහරජ, “වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟුළු හිසින් වඳිති, නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුස්ති”යි අපගේ ද බසින් භාග්‍යවතුන්ගේ පාසඟුළු වඳුව, අල්පාබාධ අල්පාතඞ්ක ලඝුස්ථාන කායබල ඵාසුවිහරණ පුළුවුස්ව”යි කීහු.
මහරජ, සෝමා බුහුන ද සකුලා බුහුන ද සුවපත් වෙත්ව’යි.
ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැලකෙළේ: “වහන්ස, මා විසින් තෙලෙ අසන ලද, ශ්‍රමණ ගෞතම මෙසේ කියයි: “යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එ බඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත. තෙල කරුණ විද්‍යමාන නො වේ” යයි. වහන්සේ, යම් කෙනෙක් මෙසේ කීහු නම්: “මහණ ගොයුම් මෙසේ කියයි: ‘යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. තෙල කරුණ විද්‍යමාන නො වේ” යයි කීහු නම්, කිම වහන්ස, ඔහු භාග්‍යවතුන් විසින් කියූ දැයක් කියන්නාහු ද, භාග්‍යවත්නට අභූතයෙන් නො ද අභිභවා කියත් ද, වදාළ කාරණයට අනුකාරණයක් පවසත් ද, කිසි සකාරණ වාදානුවාදයෙක් නො ද ගැරහියයුතු තැනට ඒ දැ?යි.
මහරජ, යම් කෙනෙක් මෙසේ කීහු ද: “මහණ ගොයුම් මෙසේ කියයි: ‘යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වේ”යයි කීහු නම් ඔහු මට උක්තවාදී නො වෙති, වැළිත් ඔහු මට අසත්‍යයෙන් අභූතයෙන් අභිභවා කියති”යි.
එසඳ පසේනදි කොසොල් රජ විඩූඩභ සෙන්පතිහු ඇමැතී: “සෙන්පතිය, අද කවරෙක් නම් මේ කථාවස්තුව රාජාන්තඃපුරයෙහි පහළ කොට බිණී ද? මහරජ, ආකාශගෝත්‍ර සඤ්ජයබ්‍රාහ්මණ යි.
එසඳ පසේනදි කොසොල් රජ අන්‍යතර පුරුෂයකු ඇමැතී: එම්බා පුරුෂය, තෝ ඒ, මා බසින් අහස්ගොතු සඤ්ජය බමුණු කැඳව. වහන්ස, “පසේනදි කොසොල් රජ මුබ කැඳවති”යි. ‘දේවයෙනි එසේ යැ’යි ඒ පුරුෂයා පසේනදි කොසොල් රජුට පිළිවදන් දී අහස්ගොතු සඤ්ජය බමුණු කරා එළැඹියේ, එළැඹ අහස්ගොතු සඤ්ජය බමුණුට තෙල කී: “වහන්ස, පසේනදි කොසොල් රජ මුබ කැඳවති”යි.
ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අන් කිසි දැයක් මැ සඳහා වදාළ බසෙක් ඇද්ද, ජනයා එ බස අන් සැටියෙකින් වරදවා ගන්නේ යැ’යි.
මහරජ, බසක් කීයෙම් දනිම් මැ යැ.
වහන්ස, බසක් බණන භාග්‍යවතුන් වහන්සේ කෙබඳු බසක් සිහි කරන සේක් ද?
මහරජ, බසක් බණන මම මෙසේ දනිමි: “යමෙක් එක් වර මැ හැම දන්නේ නම් හැම දක්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වේ”යයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වභාවය වදාරති, වහන්ස භාග්‍යවතුන් වහන්සේ සකාරණ ස්වභාවය වදාරති. එක් වර මැ හැම දන්නා හැම දක්නා මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වෙති’යි. වහන්ස, මේ සතර වර්‍ණ කෙනෙක් ඇත: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ ය. වෛශ්‍යයෝ යැ, ශුද්‍රයෝ යි. වහන්ස, මේ සතර වර්‍ණයන් ගේ විශේෂයෙක් ඇත නානාත්‍වයෙක් ඇත?
මහරජ, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. මහරජ, මේ සතර වර්‍ණයන් අතුරින් වර්‍ණයෝ දෙදෙනෙක් අග්‍රයහ’යි කියනු ලැබෙති. ක්‍ෂත්‍රියයන් හා බ්‍රාහ්මණයෝ යි. කෙසේ යැ යත්: අභිවාදන උත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමිචිකර්‍මයන්ගේ වශයෙනි.
වහන්ස, මම භාග්‍යවත්හු අතින් ඓහලෞකික වෙනස නො පුළුවුස්මි. වහන්ස, මම භගවත්හු අතින් පාරලෞකිකවෙනස පුළුවුස්මි. වහන්ස, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. වහන්ස, මේ සතර වර්‍ණයන්ගේ විශේෂයෙක් ඇද්ද, නානාකරණයෙක් ඇද්ද?
මහරජ, මේ ප්‍රධන්වීර්‍ය්‍යයට හිත වූ අඞ්ගයෝ පස් දෙනෙකි: කවර පස් දෙනෙක යත්: මහරජ, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි, තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය හදහයි: “මෙ කරුණිනුදු භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, සිව්සස් දත්හ, භගවත්හ”යි. අල්පාබාධ වැ අල්පාතඞ්ක වැ නාතිශීත, නාත්‍යුෂ්ණ, මධ්‍යම, ප්‍රධන්වීර්‍ය්‍යයට නිසි සම වැ පස්නා ග්‍රහණියෙන් සමන්‍වාගත වැ සිටුනේ වෙයි. අශඨ වෙයි. අමායාවී වෙයි. යථාභූත ආත්මය ශාස්තෘවරයා කෙරෙහිදු විඥ සබ්‍රහ්මචාරීන් කෙරෙහි දු හෙළි කරනු වෙයි. අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා බලවත් වැ දෘඪපරාක්‍රම ඇති වැ කුශල් දහම්හි නො හළ ධුර ඇති වැ රුකුළු වැර ඇති වැ වෙසෙයි. ආර්‍ය්‍ය වූ කෙලෙසුන් බිඳුනා මොනොවට දුක් කිය කරනුවට යන උදාවිය කරා දිවෙන ප්‍රඥායෙන් සමන්‍වාගත වැ ප්‍රඥාවත් වෙයි. මහරජ, මේ පස් පධානියඞ්ගයෝ යි. මහරජ, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහු මෙ පස් වැදෑරුම් ප්‍රධන් වැරට හිත කරුණින් සමන්‍වාගත වෙත් ද, එය ඔවුනට දීර්‍ඝරාත්‍රියෙහි හිතයට සුඛයට වැටෙයි.
වහන්ස, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහුදු මේ පඤ්චප්‍රකාර ප්‍රධන් වැරට හිත වූ කරුණින් සමන්‍වාගත වෙත් ද, මෙහිදු වහන්ස, උන්ගේ විශේෂයෙක් ඇද්ද: නානාකරණයෙක් ඇද්දැ?යි.
මහරජ, මෙහිලා උන්ගේ ප්‍රධන්හි වෙනස් බව කියමි. මහරජ, යම් පරිදි නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වැ සුවිනීත වැ ඇද්ද, නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වැ අවිනීත වැ ඇද්ද, මහරජ, ඒ කෙසේ හඟිහි? යම් ඒ නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වැ සුවිනීත වැ වැටෙත් ද, කිම ඔහු දාන්ත වූවාහු මැ දාන්තකාරණයට යෙත් ද, දාන්ත වූවාහු මැ දාන්තභූමියට පැමිණෙත් දැ? යි.
වහන්ස, එසේ යැ.
යම් ඒ නහඹු හස්තීහු දෙදෙන හෝ නහඹු අශ්වයෝ දෙදෙන හෝ නහඹු ගවයෝ දෙදෙන හෝ අදාන්ත වැ මැ යම් පරිදි මුල කී සුදාන්ත සුවිනීත ඒ නහඹු ඇතුන් දෙදෙනා සෙයින් නහඹු අසුන් දෙදෙනා සෙයින් නහඹු ගවයන් දෙදෙනා සෙයින් අදාන්තවූවාහුමැ දාන්තකාරණයට යෙත් ද? අදාන්ත වූවාහු මැ දාන්තභූමියට යෙත් දැ? යි.
වහන්ස, තෙල නො වේ මැ යි.
මහරජ, එ පරිදි මැ සැදැහැති අල්පාබාධ අශඨ, මායා බහුල නො වන, ආරබ්ධවීර්‍ය්‍ය ඇති, ප්‍රඥාසම්පන්න ශ්‍රාවකයා විසින් යම් ඒ ඵලයක් ලැබියයුතු වේ නම් සැදැහැ නැති ආබාධ බහුල වූ ශඨ වූ මායා බහුල වූ කුසීත වූ දුෂ්ප්‍රාඥ වූයේ ඒ ඵලය ඒකාන්තයෙන් ලබන්නේ යැ යන කරුණ සිදු නො වෙයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වරූපයක් වදාරති, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සකාරණස්වරූපය වදාරති. වහන්ස, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහු ද මේ පස් වැදෑරුම් ප්‍රධන් වැරට හිත කරුණින් සමන්‍වාගත වෙත් ද, ඔහු දු සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තාහු වෙත් ද, වහන්ස, මෙහිලා උන්ගේ විශේෂයෙක් ඇද්ද, නානාත්‍වයෙක් ඇද්දැ? යි.
මහරජ, මම මෙහි ලා උන්ගේ කිසි නානාත්‍වයක් නො කියමි. එනම් විමුක්තියෙන් විමුක්තිය යි, (එකක්හු ගේ ඵලවිමුක්තියෙන් අනෙකක්හුගේ ඵලවිමුක්තිය ඇරැබැ යැ.) මහරජ, යම් පරිදි පුරුෂයෙක් වියැළි ශාකකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි ශාලකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි ආම්‍රකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි උදුම්බරකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම්, මහරජ, ඒ කෙසේ හඟිහි? නන් දරින් නිපන් ඒ අග්නීන්ගේ කිසියම් වෙනසෙක් වේ ද: සිළුවෙන් සිළුවෙහි හෝ යැ, පැහැයෙන් පැහැයෙහි හෝ යැ එළියෙන් එළියෙහි හෝ යැ?
වහන්ස, තෙල නො වේ මැ යි.
මහරජ, එපරිදි මැ යම් ඒ තෙදක් වැර අරභයා පැතිර සිටුනේ ද, ඒ ප්‍රධනින් නිපණ. එහිලා මම කිසි නානාත්‍වයක් නො කියමි. එනම් විමුක්තියෙන් විමුක්තිය අරැබ යැ.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වරූපය වදාරති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සහේතුක ස්වරූපය වදාරති. වහන්ස, කිම දෙවියෝ ඇද්ද, මහරජ, “වහන්ස, කිම දෙවියෝ ඇද්ද’යි කුමට තෝ මෙසේ කියෙහි? වහන්ස, ඒ දෙවියෝ මේ මිනිසත් බවට ඉදින් එනසුලු හෝ වෙත් ද, ඉදින් මිනිසත් බවට නො එනසුලු හෝ වෙත් දැ”යි. මහරජ, යම් දෙවි කෙනෙක් නුපුහුන් චෛතසික දුක් ඇත්තාහු ද, ඒ දෙවියෝ මිනිසත් බවට (උපපත්ති වශයෙන්) එන සුලු වෙන්. යම් දෙවි කෙනෙක් පුහුන් චෛතසික දුක් ඇත්තාහු ද, ඒ දෙවියෝ මේ මිනිසත් බවට (උපපත්ති වශයෙන්) නො එන සුලු වෙත්.
මෙසේ වදාළ කල විඩූඩභ සෙන්පති භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, දුක්සහගිය මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ ද, නිදුක් වූ මිනිසත් බවට නො එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ දැ’යි ඒ දෙ වැදෑරුම් දෙවියන් ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නාහු වෙත් ද නෙරවන්නාහු හෝ වෙත් දැ? යි.