අඟුල්මල් සොර වඩනා බුදුන් දුරදී මැ දුට, දැක උහුට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක් මැ ය, භවත්නි, අද්භූතයෙක් මැ ය. මේ මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ වදිත්. ඔහු දු මා අතැ නස්නාහ. වැළිත් මේ මහණ එකලා වැ අද්විතීය වැ අභිභවමින් මෙන් එයි. මම මේ මහණ දිවියෙන් තොර කෙරෙම් නම් මැනැවැ”යි.
එසඳ අඟුල්මල් සොර කඩුපළහ ගෙන දුනුහියවුරු බැඳ බුදුන් පස් පස් ලුහුබැඳ ගියේ. එසඳ භාග්‍යවතුන් වහන්සේ යම්සේ අඟුල්මල් සොර පියවි ගමනින් වඩනා බුදුන් බල පමණින් දිවෙනුයේ හඹා නො ගත හේ ද, එබඳු අධිෂ්ඨානයක් කළෝ. එසඳ අඟුල්මල් සොරහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ, භවත්නි, අද්භූත මැ යි. මම පෙර දිවෙන ඇතු දු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන අසුදු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන රථ දු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන මුව දු ලුහුබැඳ ගනිම් මැ ය. එතෙකුදු වත් මේ මහණහු පියවිගමනින් යන්නහු බල පමණින් දිවෙනුයෙම් හඹා නො ගත හෙමි”යි සිටියේ භාග්‍යවතුන් වහන්සේ ට තෙල කී: “සිට මහණ, සිට මහණැ”යි. අඟුල්මල, මම සිටියෙමි, තො ද සිට’යි වදාළහ.
එසඳ අඟුල්මල් සොරහට තෙල සිත් වී: “මේ සැහැපුත් මහණහු සත්‍යවාදීහ. සත්‍යප්‍රතිඥා ඇතියහ. වැළිත් මේ මහණ යනුයේ මැ ‘අඟුල්මල, මම සිටියෙමි, තො ද සිටැ’යි යෙයි, මම මේ මහණ පුළුවුස්නෙම් නම් මනා මැ නු යි. එ සඳ අඟුල්මල් සොර භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී:
“මහණ, යෙමින් සිටියෙමි’යි කියෙහි, සිටියා වූ මට ද නො සිටියෙහි”යි කියව. මහණ තෙල කරුණ තොප පුළුවුස්මි, තෙපි කෙසේ සිටියහු ද? මම් නො සිටියෙම් දැ?යි.
අඟුල්මල, මම හැමදා හැම සතුන් කෙරෙහි දඬු බැහැර තබා සිටියෙම් වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි අසංයතයෙහි, එයින් මම සිටියෙම් වෙමි. තෝ නො සිටියෙහි යි.
දෙව්මිනිසුන් විසින් පූජිත මෙ මහර්ෂී මහණ බොහෝ කල් ඇවෑමෙන් මට වැඩ සඳහා මහවනයට වැඩියේ ය. මම තොප ගේ ධර්‍ම යුක්ත ගාථා අසා කල් ඇවෑමෙනුදු පව් හරනෙමි.
මෙසේ කියා මැ අඟුලුමල් සොර ඛඞ්ග හා තදන්‍ය ආයුධ අවට බුන් හෙබෙහි එක් පස බුන් ප්‍රපාතයෙහි පැළිගිය බිමෙහි හෙළාපී. (වෙනෙහි බැහී) සොර සුගතයන් වහන්සේ ගේ පා වැන්දේ යැ. එහි දී මැ උන් වහන්සේ අතින් පැවිදි යැදී.
කාරුණික වූ සදේවලෝකයාගේ ශාස්තෘ වූ මහර්ෂි වූ බුදුහු දු එසඳ ‘මහණ එ’යි උහුට වදාළහ. තෙල බස් මැ උහුට භික්‍ෂුභාව වී.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගාහක පසුමහණකු වූ ආයුෂ්මත් අඟුල්මල් තෙරුන් හා සැවැත්නුවර කරා චාරිකා කොට වැඩියෝ. පිළිවෙළින් සැරිසරමින් සැවැත් නුවර වැඩියෝ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති, එකල පසේනදි කොසොල් රජහුගේ ගෙවත්දොර මහජනයෝ රැස් වැ “දේවයන් වහන්ස, තොප ගේ රට අඟුල්මල් නම් සොරෙක, කැකුළු ය, ලෙහෙ මුසු අත් ඇත්තේය. පැහැරීම් මැරීම්හි බැස සිටියේ ය. සතුන් කෙරෙහි කුළුණු නැත්තේ ය. උහු විසින් ගම්හුදු නො ගම් කරන ලදහ, නියම්ගම්හුදු නො නියම්ගම් කරන ලදහ. දනවුහු දු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. දේවයන් වහන්සේ ඒ සොර වළකාලන සේක්ව”යි උස්හඬ මහහඬ ඇති වැ ගුගුළෝ.
එසඳ පසේනදි කොසොල් රජ පන්සියක් මත් අසුන් සදාගෙන සැවැත් නුවරින් නික්මියේ යැ. දෙවෙන්දවාලෙහි දෙව්රම කරා ගියේ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ බුදුන් කරා එළැඹියේ යැ. එළැඹ බුදුන් වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල්රජහට බුදුහු තෙල කරුණ වදාළහ: “කිමෙක් ද මහරජ, තොපට මගධේශ්වර වූ සේනා බල ඇති බිම්සර මහරජ කිපියේ ද? විසල්පුර ලිච්ඡවීහු හෝ කිපියාහු ද? තදන්‍ය වූ හෝ විරුදු රජ කෙනෙක් හෝ කිපියාහු දැ?”යි. වහන්ස, මට මගධේශ්වර වූ සේනිය බිම්බිසාර මහරජ කිපියේ නො වෙයි, විසල්පුර ලිච්ඡවීහු ද නො ද කිපියාහු යැ. තදන්‍ය විරුදු රජ කෙනෙක් නො ද කිපියහ. වහන්ස, මාගේ විජිතයෙහි අඟුල්මල් නම් සොරෙක, දරුණු යැ, ලෙහෙමුසු අත් ඇත්තේ යැ, පැහැරීම් මැරීම් දෙක්හි බැසගත්තේ යැ, සතුන් කෙරෙහි කුළුණු නැතියේ යි. උහු විසින් ගමුදු නො ගම් කරන ලද. නියම්ගමුදු නො නියම්ගම් කරනලද. දනවුදු නො දනවු කරන ලද. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. වහන්ස, මම් උහු වළකාලමි”යි.
“මහරජ, ඉදින් තෙපි අඟුල්මල්සොර කෙහෙරවුළු බහා කසාවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන් වැද පණිවායෙන් වෙන් වැ අයිනාදනින් වෙන් වැ මුසායෙන් වෙන් වැ එක්වේලේ වළඳනු වැ බඹසර ඇති වැ සිල්වත් වැ කලණදහම් ඇති වැ සිටියහු දක්නහු නම් ඔහට කුමක් කරන්නහු දැ?”යි. “වහන්ස, අපි අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ පවරම්හ, ඔහු සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකරිනුදු නිමන්ත්‍රණ කරම්හ, ඔහට ධාර්මික රක්‍ෂාවරණගෝපන ද සංවිධාන කරම්හ. වහන්ස, මේ දුසිල් පවිටුසැහැවි ඇතියහුට මෙබඳු ශීලසංයමයෙක් කොයින් වන්නේ දැ?”යි. එසමයෙහි වනාහි ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට නුදුරෙහි හුන්නාහු වෙති. එසඳ බුදුහු දකුණත නඟාගෙන පසේනදි කොසොල් රජහට තෙල බස් වදාළහ: “මහරජ තෙලෙ අඞ්ගුලිමාල යැ”යි.
එසඳ පසේනදි කොසොල් රජහට බියෙක් වූ යේ මැ යැ තැතිගැන්මෙක් වී. ලොමුදහ වී මැ යි. එසඳ බුදුහු බියපත් තැතිගත් ලොමුදහගත් පසේනදි කොසොල් රජහු දැන පසේනදි කොසොල් රජහට තෙල වදාළහ: “මහරජ, නහමක් බියව, තොපට උහුගෙන් බියෙක් නැතැ”යි. ඉක්බිති පසේනදි කොසොල් රජහට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ වී නම් ඒ සන්හින. ඉක්බිති පසේනදි කොසොල් රජ අඟුල්මල් තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවන්ට තෙල බස් කී: “වහන්ස, අපගේ ආර්‍ය්‍ය වූ අඞ්ගුලිමාල තෙරණුවෝ දැ?”යි. ‘එසේ යැ මහරජැ’යි. වහන්ස, ආර්‍ය්‍යන්ගේ පිය තෙම කෙබඳු ගෝත්‍ර ඇත්තේ ද? මව කෙබඳු ගෝත්‍ර ඇත්තී දැ?යි. ‘මහරජ, පියා ගර්‍ග නම, මව මන්තානී නමු’යි. වහන්ස, මන්තානී පුත්‍ර ආර්‍ය්‍යගර්ගයෝ සස්නෙහි අභිරමණ කෙරෙත්වා, මම මන්තානීපුත්‍ර ආර්‍ය්‍යගර්ගයනට සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකරින් උත්සුක කරන්නෙමි’යි.
එසමයෙහි ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ ආරණ්‍යකාඞ්ග ඇත්තාහු පිණ්ඩපාතිකාඞ්ග ඇත්තාහු පාංශුකූලිකාඞ්ග ඇත්තාහු තෙචීචරිකඞ්ග ඇත්තාහු වෙති. එසඳ අඟුල්මල් තෙරණුවෝ පසේනදී කොසොල්රජහට තෙල බස් කීහ: “කම්නැත මහරජ, මට තුන්සිවුරු පරිපූර්‍ණ යැ”යි.
එසඳ පසේනදි කොසොල් රජ බුදුන් කරා එළඹියේ යැ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැල කෙළේ: “වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අදාන්තයන් දමනය කරන සේක් මැ යැ, අශාන්තයන් ශමනය කරන සේක් මැ යැ, නො පිරිනිවියන් පිරිනිවන සේක් මැ යි. වහන්ස, අපි යමක්හු දඬිනුදු සැතිනුදු දමනය කරන්නට නො හැකි වූමෝ ද, හේ භාග්‍යවතුන් වහන්සේ විසින් දඬ නැති වැ මැ සැත් නැති වැ මැ දමනය කරනලද. වහන්ස, දැන් අපි යම්හ, අපි බහුකෘත්‍ය බහු කරණී ඇතියම්හ’යි. ‘මහරජ, තෙපි එයට කල් දැනැ’යි. එසඳ පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැඟී බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යි.
එසඳ ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬු සිඟා වැඩියහ. ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනාහු මූඪගර්‍භ වැ නො වැදිය හෙන එක්තරා මාගමක දුටහ. දැක උන් වහන්සේට තෙල සිත් උපන: “භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති, භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ සැවැත්නුවර පිඬු සිඟා වැඩ පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ, එකත්පස් වැ හුන් ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැල කොළෝ: “වහන්ස, මම් පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟා යන්නෙම් මූඪගර්‍භ වැ නො වැදියහෙන එක්තරා මාගමක දිටිමි. දැක මට තෙල සිත් උපන: “භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති, භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති”යි.
අඟුල්මල, එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව, එළැඹ ඒ මාගමහට මෙසේ කියව: “නැඟැණියෙනි, මම් උපන් තැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි, එසසින් තිට සෙත්වේවා, ගබට සෙත් වේවා”යි. වහන්ස, හේ මට සම්පජාන මුසවා වෙයි, වහන්ස, මා විසින් බොහෝ සත්හු දැනැදැනැ දිවියෙන් ගළවනලදහ”යි.
අඟුල්මල, එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව, එළැඹ ඒ මාගමහට මෙසේ කියව: නැඟැණියෙනි, මම් යම් දවසෙකැ ආර්‍ය්‍යජාතියෙහි උපනෙම් ද එතැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි. එ සසින් තිට සෙත් වේවා ගබට සෙත් වේව”යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මාගම කරා එළැඹියහ. එළැඹ ඒ මාගමහට තෙල බස් කීහු: “නැඟණියෙනි, යම් දවසෙක මම් ආර්‍ය්‍යජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි, එ සසින් තිට සෙත් වේවා ගබට සෙත් වේව”යි. එසඳ මාගමහට සෙත් විය, ගබට සෙත් වී.
එසඳ ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ එකලා වැ (වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් කයිනුදු සිතිනුදු) වෙන් වැ (කමටහන්හි) සිහි එළවා කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නාහු නොබෝ කලෙකින් මැ යම් අර්‍හත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, එ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසාන සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කළහ, ‘ජාතිය ක්‍ෂය වූ යැ මහබඹසර වැස නිමවන ලද. කරණී කරන ලද, මෙ රහත් බවට අන් කිසෙක් නැතැ’යි දතුවහ. ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ ද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහු.
ඉක්බිති ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවර පිඬු සිඟා වැඩියහ. තවද එසමයෙහි අන් දෙසෙක්හිදු ලූ කැටපහණ ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ වෙරැ හෙයි. අන් දෙසෙක්හිදු ලූ දඬු ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ සිරුරෙහි හෙයි. අන් දෙසෙක්හිදු ලූ හකුරු (ගල්කැට) ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ කයෙහි හෙයි. එසඳ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ බුන් හිසින්, ගලන ලෙහෙයෙන්, භග්න පාත්‍රයෙන්, හිරුණු සඟලසිවුරින් යුතු වැ බුදුන් කරා එළැඹියහ. බුදුහු දුරින් මැ එන ආයුෂ්මත් අඟුල්මල් තෙරුන් දුටහ, දැක ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ට තෙල බස් වදාළහ: “බ්‍රාහ්මණය, තෙපි අධිවාසනා කරව, (ඉවසව) බ්‍රාහ්මණය, තෙපි අධිවාසනා කරව. තෙපි යම් කර්‍මයක්හුගේ විපාකයෙන් නො එක් වර්‍ෂයන් නො එක් වර්‍ෂශතයන් නො එක් වර්‍ෂසහස්‍රයන් නිරෑහි පැසෙන්නහු ද, බ්‍රාහ්මණය තෙපි ඒ කර්‍මයාගේ විපාක මෙ අත්බැව්හි මැ විඳුනහු යැ”යි. එසඳ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ රහෝගත වැ විවික්ත වැ වැඩහිඳුනාහු ඵලසමවත් සුව විඳුමින් (එයින් නැඟී) එ වේලෙහි මේ උදන් හැනූ:
“යමෙක් පළමු පමා වැ සිට පසු වැ හේ නො පමා වේ ද, හෙතෙමේ අභ්‍ර හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේයි.
යමක්හු විසින් කළ පව්කම් මාර්‍ගකුශලයෙන් වසාලනු ලැබේ ද, හේ අභ්‍ර (වලා) හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේ යි.
යම් දහර මහණෙක් බුද්ධශාසනයෙහි ඒකාන්තයෙන් තුන්දොරින් යුක්තප්‍රයුක්ත වැ වාස කෙරේ ද, හේ අභ්‍ර හිමාදියෙන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේ යි.
මා ගේ සතුරෝ චතුස්සත්‍යධර්‍මකථා අසත්වා, මා ගේ සතුරෝ බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වෙත්වා, මාගේ සතුරෝ යම් සත්පුරුෂ කෙනෙක් දහම් මැ සමාදන් කරවත් ද, ඒ මනුෂ්‍යයන් භජනය කෙරෙත්වා.
මා ගේ සතුරෝ ක්‍ෂාන්තිවාද ඇති මෙත්ගුණ පසස්නා බුදුන්ගේ ක්‍ෂාන්තිමෛත්‍රිධර්‍මය ක්‍ෂණ ක්‍ෂණ සඞ්ඛ්‍යාත කාලයෙහි අසත්වා. ඒ දහම (අනුක්‍රියා විසින්) පුරත්වා.
මා ගේ ඒ සතුරා ඒකාන්තයෙන් මැ මට හිංසා නො කෙරේවා, අන් සතක්හට ද හිංසා නො කෙරේවා, පරමශාන්ති සඞ්ඛ්‍යාත නිවනට පැමිණ සතෘෂ්ණ නිස්තෘෂ්ණ සත්ත්‍වයන් රකීවා.
දියාළුවෝ දිය නිසි තැනට ගෙන යත්, ඊවඩුවෝ ඊ කැමැති සේ නමා ඍජු කෙරෙත්, වඩුවෝ දැව අභිමත සේ නමත්, පණ්ඩිතයෝ ආත්මය දමනය කෙරෙත්.
සමහර කෙනෙක් දඬිනුදු අකුස්සෙනුදු කසයෙනුදු දමනය කෙරෙති. මම දඬු නැති සැත් නැති තාදී වූ බුදුන් විසින් දමනය කරන ලදුයෙමි.
පෙර හිංසක වූ මට ‘අහිංසක’යි නම් වී. දැන් මම සත්‍ය වූ (අහිංසක) නම් ඇතියෙමි. ඒ කිසිවක්හු නො පෙළමි.
පෙර මම් ‘අඞ්ගුලිමාල’යි ප්‍රසිද්ධ වූ සොර වීමි. අවිදු මහවතුරින් උසුලාගෙනයනු ලබනුයෙම් බුදුන් සරණ කොට පැමිණියෙමි.
පෙර මම් ‘අඟුල්මලැ’යි පසිඳු ලෙහෙ වැකි අත් ඇතියෙම් වීමි. සරණාගමනඵල බලව, (මා විසින්) භවරජ්ජුව (සසරරැහැන්) නස්නා ලද.
දුගතියට යනසුලු එබඳු බොහෝ පව්කම් කොට (කම් පස්නා හෙයින්) කර්‍මවිපාක සඞ්ඛ්‍යාත මාර්‍ගචේතනා විසින් පහස්නා ලදුයෙම් කෙලෙස් ණය නැති වැ බොජුන් වළඳමි.
තීරණප්‍රඥා නැති බාලජනයෝ ප්‍රමාදයෙහි අනුයුක්ත වෙති, එතෙකුදු වත් නුවණැති පුරුෂ අප්‍රමාදය ශ්‍රේෂ්ඨධනයක් සෙයින් රකී.
නහමක් ප්‍රමාදයෙහි යෙදෙව, නහමක් කාමරතිසන්‍ථව කරව, යම් හෙයකින් අප්‍රමත්ත වැ ධ්‍යාන කරන්නේ විපුල සුව ලබා ද, එහෙයිනි.
මා ගේ මේ සස්නට ඊම ස්වාගත (මනා ඊමෙක්) වෙයි. නො මනා ඊමෙක් නො වෙයි. (‘පැවිදිවෙමි’යි) නපුරු කොට සිතනලද නො වෙයි. (ලොව උපන්) සංවිභක්ත (විභාග කළ) දහම්හි යම් ශ්‍රේෂ්ඨ නර්‍මාණයෙක් ඇද්ද, එය ලදිමි.
මා ගේ මේ ඊම ස්වාගත යැ, අපගත නො වෙයි. මා විසින් (පැවිදි වෙමි’යි) නො මනා කොට සිතනලද නො වෙයි. මා විසින් ත්‍රිවිද්‍යා ලබනලද. බුදුසසුන් (සසුන්හි කළයුතු කිස) කරන ලදි.
සවැනි අඞ්ගුලිමාල සූත්‍ර යි.
2. 4. 7.
පියජාතික සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල එක්තරා ගැහැවියක්හුගේ ප්‍රියමනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් කර්‍මාන්තයෝ නො මැ වටහත්. බත ද නො රුස්නේ යැ. හේ සොහොනට පුනපුනා ගොස් හඬයි: “හා එක් මැ පුතැ කොහි යැ, හා එක් මැ පුතැ කොහි යැ”යි. ඉක්බිති ඒ ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් ඒ ගැහැවිහට තෙල වදාළහ: “ගැහැවිය, ස්වකීයචිත්තයෙහි සිටුනා තාගේ ඉඳුරෝ ඇත්තාහු නො වෙති, තාගේ ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙකි”යි.
වහන්ස, මා ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙක් කිම නො වේද? වහන්ස, මාගේ ප්‍රියමනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ යැ. ඔයුගේ කාලක්‍රියායෙන් කර්‍මාන්තයෝ නො මැ වටහත්, බත නොරුස්නේ යැ, මම සොහොනට පුනපුනා ගොස් හඬමි: “කොහි යැ හා! එක් මැ පුතැ, කොහි යැ හා!! එක් මැ පුතැ”යි.
ගැහැවිය, එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ.
වහන්ස, කුමට තෙල මෙසේ වේ ද? ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ කුමට ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද? කුමට ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද? වහන්ස, ආනන්‍ද-සෞමනස්‍යයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ”යි. ඉක්බිති ඒ ගැහැවි භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා නො කොට පිළිකෙව් කොට බැස ගියේ.
එසමයෙහි බොහෝ දූකෙළින්නෝ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පසැටින් කෙළිත්. ඉක්බිති ඒ ගැහැවි ඒ අක්‍ෂධූර්‍තයන් කරා එළැඹියේ. එළැඹ ඒ අක්‍ෂධූර්‍තයනට තෙල කී: “භවත්නි, මම මෙහි දී මහණ ගොයුම්හු කරා එළැඹියෙමි. එළැඹ මහණ ගොයුමන් සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. භවත්නි, එකත්පස් ව හුන් මට මහණ ගොයුම් තෙල කී: ‘ගැහැවිය, ස්වකීය චිත්තයෙහි සිටුනා තාගේ ඉඳුරෝ ඇත්තාහු නො වෙති. තා ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙකැ’යි. භවත්නි, මම මෙසේ කී කල මහණ ගොයුම්හට තෙල කීමි: ‘වහන්ස, මා ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙක් කිම නො වේ ද? වහන්ස, මාගේ ප්‍රිය මනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ. ඔහුගේ කාලක්‍රියායෙන් කර්‍මාන්තයෝ නො වටහත්, බත නුරුස්නේ යැ. මම සොහොනට පුනපුනා වැද හඬමි: “කොහි යැ හා! එක් මැ පුතැ, කොහි යැ හා!! එක් මැ පුතැ’යි. ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. වහන්ස, තෙල
මෙසේ කුමට නම් වේ ද? ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ කුමට ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද? කුමට ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද? වහන්ස, ආනන්‍ද-සෞර්‍මනස්‍යයෝ නම් ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. භවත්නි, එසඳ මම මහණ ගොයුම්හු ගේ භාෂිතය අභිනන්‍දන නො කොට පිළිකෙව් කොට හුනස්නෙන් නැගී බැස ගියෙමි.
‘ගැහැවිය, තෙල එසේ මැ යැ, ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, ආනන්‍ද-සෞමනස්‍යයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. ඉක්බිති ඒ ගැහැවි මා අදහස් අක්‍ෂධූර්‍තයන් හා එකතු වෙති’ය නික්ම ගියේ. එසඳ මේ කථාවස්තුව ක්‍රමයෙන් රාජාන්තඃපුරය කරා ගියේ.
ඉක්බිති පසේනදි කොසොල්රජ මල්ලිකා දේවිය ඇමැතී: “මල්ලිකාවෙනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් මෙ බස් පැවැසිණ: ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ”යි.
මහරජ, ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය වදාරන ලද නම් තෙල එසේ මැ යැ යි.
මෙසේ මැ මේ මල්ලිකා දේවි මහණ ගොයුම්හු යම් මැ දැයක් කියත් නම් එය මැ අනුමෝදන් වෙයි: “ඉදින් මහරජ, ඒ භාග්‍යවතුන් විසින් වදාරන ලද නම් තෙල එසේ මැ යැ”යි. යම්සේ ආචාර්‍ය්‍ය කෙනෙක් අතැවැසියක්හට යම් මැ දැයක් කියද්ද, අතැවැසි තෙල එසේ මැ යැ ආචාර්‍ය්‍යයෙනි, තෙල එසේ මැ යැ ආචාර්‍ය්‍යයෙනි”යි එය මැ අනුමෝදන් වේ ද, එසෙයින් මැ මල්ලිකාවෙනි, තෙපි මහණ ගොයුම්හු යම් මැ දැයක් කියද්ද, ‘ඉදින් මහරජ, භාග්‍යවතුන් විසින් ඒ වදාරන ලද නම් තෙල එසේ මැ යැ’යි එය මැ අනුමෝදන් වව. මල්ලිකා, නො පැනී පහව යා”යි.
එසඳ මල්ලිකා දේවි නාළිජඞ්ඝ නම් බමුණු ඇමැතූ: “බමුණ, එව තෙපි භාග්‍යවතුන් කරා එළැඹෙව, එළැඹ මා ගේ බසින් භාග්‍යවතුන්ගේ පාසඟළ මුදුනින් වඳුව, ආරෝග්‍යය නිදුක් බව සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුස්ව: “වහන්ස, මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ පාසඟළ මුදුනින් වඳියි, අරෝගබව නිදුක්බව සිරුරෙහි සැහැල්ලුබව කායබලය පහසුවිහරණ පුළුවුසී”යයි. මෙසේත් කියව: “වහන්ස, භාග්‍යවතුන් විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රියදැයින් උපදනාහ, ප්‍රියදැයින් උපදනා සැහැවි ඇතියහ, යන තෙල බස් වදාරනලද දැ?”යි. බුදුහු යම්සේ තොපට පවසත් ද, එය එසේ මනාකොට උගෙන මට දන්ව, තථාගතයෝ මුසා නො මැ බෙණෙති”යි. ‘එසේ යැ භවත්නි’යි නාළිජඞ්ඝ බමුණු මල්ලිකාදේවියට පිළිවදන් අස්වා භාග්‍යවතුන් කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය, සතුටු විය යුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පස් වැ හුන් නාළිජඞ්ඝ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළ කෙළේ: භවත් ගෞතමයන් වහන්ස, මල්ලිකාදේවි භවත් ගෞතමයන්ගේ පාසඟළ සිරසින් වඳියි. ආරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසි. මෙසේත් කියයි: “වහන්ස, භාග්‍යවතුන් විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනාහ, ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ’ යන තෙල බස් වදාරන ලද දැ?”යි.
‘බමුණ, තෙල එසේ යැ, බමුණ, තෙල එසේ යි. බමුණ, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනාහ, ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ’යි.
බමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් මැ උපදනාහ, ප්‍රිය දැයින් මැ උපදනා සැහැවි ඇතියහ, යන තෙල කාරණය මෙ කරුණිනුදු දත යුතු: ‘බමුණ, පෙර මෙ මැ සැවැත්නුවර එක්තරා මාගමක්හුගේ මව කලුරිය කළා. හෝ ඇයගේ කලුරිය කිරීමෙන් උමතු වූවා වික්‍ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ: “මාගේ මව දුටුහු ද, මා ගේ මව දුටුහු දැ?”යි මෙසේ කියයි.
බමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් මැ උපදනාහ, ප්‍රිය දැයින් මැ උපදනා සැහැවි ඇතියහ’ යන තෙල කාරණය මෙ කරුණිනුදු දතයුතු. “බමුණ, පෙර මෙ මැ සැවැත්නුවර එක්තරා මාගමක ගේ පියා කලුරිය කෙළේ ... බෑයා කලුරිය කෙළේ … බූනැණියෝ කලුරිය කළ .... පුත් කලුරිය කෙළේ ... දූ කලුරිය කළා ... හිමි කලුරිය කෙළේ. හෝ ඔහු කලුරිය කිරීමෙන් උමතු වූවා වික්‍ෂිප්ත වූවා වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ ‘මා හිමියා දුටුහු ද, මා හිමියා දුටුහු දැ?’යි මෙසේ කියයි.
බමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ පිය දැයින් උපදනාසේ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති සේ මෙ කරුණිනුදු දතයුතු: බමුණ පෙර මෙ මැ සැවැත්නුවර අන්‍යතර පුරුෂයෙක්හුගේ මව කලුරිය කළා. හේ ඇයගේ කලුරිය කිරීමෙන් උමතු වූයේ වික්‍ෂිප්ත සිත් ඇත්තේ වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ මෙසේ කියයි: “මා ගේ මව දුටුහු ද, මා ගේ මව දුටුහු දැ?”යි.
බමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ යම් පරිදි, ප්‍රිය දැයින් උපදනා, සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළවන සැහැවි ඇති වෙද්ද’ තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු යැ. බමුණ පෙර වූ දැයක් කියමි: මෙ සැවැත්හි මැ එක්තරා පුරුෂයක්හු ගේ පියේ කලුරිය කෙළේ යි ... සෙහොවුරු කලුරිය කෙළේ ... බුහුන කලුරිය කළා .... පුත් කලුරිය කෙළේ ... දුව කලුරිය කළා ... බිරිය කලුරිය කළා. හේ ඇය කලුරිය කිරීමෙන් උමතු වැ වික්‍ෂිප්තචිත්ත වැ වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළැඹ මෙසේ කී: ‘කිම, මා බිරිය දක්නාව? කිම, මා බිරිය දක්නාව’යි?
බමුණ, ‘යම් පරිදි ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළවන සැහැවි ඇති වෙද්ද’ තෙල මෙ කරුණිනුදු දතයුතු යැ. බමුණ, වූ විරි දැයෙකි: මෙ සැවැත්නුවර මැ අන්‍යතර ස්ත්‍රියක් නෑකුලන් කරා ගියා. ඇයගේ ඒ නෑයෝ හිමියා කෙරෙන් පැහැර ගෙන අනෙකක්හට දෙනු කැමැති වූහු, ඔ ද එය නුරුස්නී වෙයි. ඉක්බිති ඒ ස්ත්‍රී හිමියාට තෙල කිවු: හිමියාපුත, මේ නෑයෝ තොප කෙරෙන් මා බැහැර කොට අනෙකක්හට දෙනු කැමැතියහ,
මම ද එය නුරුස්නමු. ඉක්බිති ඒ පුරුෂයා ඒ ස්ත්‍රිය දෙකඩ කොට සිඳ තමා (කඩුවෙන් පළා) හෙළි. දෙදෙනමෝ පරලොව එක්වම්හ’යි. බමුණ, යම් පරිදි ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු ය.
ඉක්බිති නාළිජඞ්ඝ බමුණු භාග්‍යවතුන් වහන්සේගේ බස සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී මල්ලිකාදේවිය කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග යම් තාක් කථාසල්ලාප වී ද එ හැම මල්ලිකාදේවියට කී: එසඳ මල්ලිකාදේවි පසේනදි කොසොල්රජු කරා එළැඹියා. එළැඹ පසේනදි කොසොල් රජුට තෙල බස් කිවු:
“මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට වජිරී කුමරි ප්‍රිය වේ දැ? යි.
මල්ලිකාවෙනි, එසේ යැ, වජිරී කුමරිය මට ප්‍රිය වෙයි.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ වජිරී කුමරියගේ (මරණයෙන්) වන විපරිණාමය හා (පැනයෑම වන) අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද?
මල්ලිකාවෙනි, මා ගේ වජිරීකුමරියගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
මහරජ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලදී.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට වාසභා නම් කැතදුව ප්‍රිය වේ ද?
මල්ලිකාවෙනි, එසේ යැ. මට වාසභා කැතදුව ප්‍රිය යැ.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ වාසභා කැතදුව පිළිබඳ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද,
මල්ලිකාවෙනි, මා ගේ වාසභා කැතදුව පිළිබඳ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරන ලදි.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට විඩූඩභ සෙන්පති ප්‍රිය වේ ද?
මල්ලිකාවෙනි, එසේ යැ. මට විඩූඩභ සෙන්පති ප්‍රිය වෙයි.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ විඩූඩභ සෙන්පතිහු ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද?
මල්ලිකාවෙනි, මා ගේ විඩූඩභ සෙන්පතිහු ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි)
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලද.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට මා ප්‍රිය වේ ද?
මල්ලිකාවෙනි, එසේ යැ. තෝ මට ප්‍රියහු යැ.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොප සතු මා ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද?
මල්ලිකාවෙනි, මා සතු තොප ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයා ගේ ත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලදි.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට කසීකොසොල් දනව්වැස්සෝ ප්‍රිය වෙත් ද?
මල්ලිකාවෙනි, එසේ යැ. මට කසීකොසොල් දනව්වැස්සෝ ප්‍රිය වෙති. මල්ලිකාවෙනි, කසීකොසොල් වැසියන් ගේ අනුභාවයෙක් කසීකොසොල් කාශිකවන්‍දන වළඳ කරම්හ, මල්ගඳ විලෙවුන් ධරම්හ’යි.
මහරජ, ඒ කෙසේ හඟිහි? තොප සතු කාශිකෝශලයන් ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද?
මල්ලිකාවෙනි, මා සතු කාශිකෝශලයන් ගේ විපරිණාමයෙන් හා අන්‍යථාභාවයෙන් ජීවිතයා ගේ ත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
මහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලදි.
මල්ලිකාවෙනි, අසිරි යැ, මල්ලිකාවෙනි, අද්භූත යැ. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥායෙන් විනිවිදගත් සෙයින් දක්නාසේක් මැ යැ. මල්ලිකාව, එව, (මුව) දෝනා දිය දෙව’යි.
එසඳ පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැඟී උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ තෙවිටක් උදන් ඇනී: ‘ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා!! ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා!!!’යි.
සත් වැනි පියජාතිකසූත්‍ර යි.
2. 4. 8.
බාහිතික සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවතෙහි පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකියාහු පුවරම් නම් මුවරමාපහය කරා දිවාවිහාර සඳහා සඳහා එළැඹියහ.
එසමයෙහි පසේනදි කොසොල් රජ ‘ඒකපුණ්ඩරීක’ නම් ඇතු නැඟී දෙවෙන් දාවලැ සැවැතින් නික්මිණ. පසේනදි කොසොල්රජ වඩනා ආයුෂ්මත් අනඳ තෙරණුවන් දුරදී මැ දිට. ‘සිරිවඩු’ මහමැති ඇමැතී: “සගය සිරිවඩුවෙනි, තෙල ආයුෂ්මත් අනඳ තෙර වේ දැ” යි. “මහරජ, එසේ යැ. තෙල ආයුෂ්මත් අනඳ තෙර” යයි, එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: “එම්බා පුරුෂය, තෝ එව. ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹෙව, එළැඹ මා ගේ වචනයෙන් ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා සිරසින් වඳුව: “වහන්ස, පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා හිසින් වඳිති කියව.” මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවනට ඉදින් ලාහෙළා කළමනා කරණී නැත් නම් වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනුකම්පා පිණිස මොහොතක් බලන සේක්ව’යි. දේවයන් වහන්ස, එසේ යැ’යි කියා ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට පිළිවදන් දී ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ යි, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි ඒ පුරුෂ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා හිසින් වඳියි මෙසේත් කියයි: වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවනට ඉදින් ආත්‍යායික කරණී නැත් නම් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනුකම්පා පිණිස මොහොතක් බලත්ව”යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
ඉක්බිති පසේනදි කොසොල් රජ නාගයා (ඇත්හු) යාහෙන භූමිය යම්තාක් ද එතෙක් නාගවාහනයෙන් ගොස් නාගවාහනයෙන් බැස පාගමන් ඇතියේ මැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ඉදින් ආයුෂ්මත් අනඳ තෙරණුවනට කිසි ආත්‍යායික කරණී නැත් නම්, වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදීතීරය කරා අනුකම්පා පිණිස වඩනා සේක් නම් මැනැවැ”යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදීතීරය කරා එළැඹියහ. එළැඹ එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි වැඩ හුන්හ. ඉක්බිති පසේනදි කොසොල් රජ හස්තියානය යාහෙන භූමිය යම් තාක් ද එතෙක් හස්තියානයෙන් ගොස් හස්තියානයෙන් බැස පාගමන් ඇතියේ මැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ යි. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ ඇත්පලසෙහි හිඳුනා සේක්ව”යි. මහරජ, කම් නැත, තෙපි හිඳුව. මම සිය අස්නෙහි හුන්මි. පසේනදි කොසොල්රජ පැන්වූ අස්නෙහි හින. හිඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී:
“වහන්ස, ආනන්‍දයෙනි, කිමෙක ඒ භාග්‍යවතුන් වහන්සේ යම් කායසමාචාරයෙක් මහණබමුණන් විසින් පරිභාෂණ කළයුතු වේ නම්, එබඳු කායසමාචාරයක් කරන සේක් ද? මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ යම් කායසමාචාරයෙක් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කළ යුතු වේ නම් එබඳු කායසමාචාරයක් නො කරන සේක් මැ යැ.
වහන්ස, ආනන්‍දයෙනි, කිමෙක ඒ භාග්‍යවතුන් වහන්සේ යම් වාක්සමාචාරයෙක් ... යම් මනඃසමාචාරයෙක් මහණබමුණන් විසින් නිග්‍රහ කළයුතු වේ නම් එබඳු මනඃසමාචාරයක් කරන සේක් ද? මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ යම් මනඃසමාචාරයෙක් නුවණැති මහණබමුණන් විසින් නින්‍දා කළයුතු වේ නම් එබඳු මනඃසමාචාරයක් නො කරන සේක් මැ යැ.
වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ, වහන්ස, අපි මුල කී යම් කරුණක් ප්‍රශ්න කිරීමෙන් සපුරාලන්නට නො හැකි වූමෝ ද, වහන්ස, මුල කී එ කරුණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රශ්නව්‍යාකරණයෙන් පුරාලන ලද. වහන්ස, යම් බාල අව්‍යක්ත කෙනෙක් නුවණින් නො විමසා නුවණින් බැස නො ගෙන මෙරමා ගේ ගුණ හෝ අගුණ හෝ බෙණෙත් ද, අපි එය සාර විසින් නො පිළිගනුම්හ. වහන්ස, යම් ඒ පණ්ඩිත ව්‍යක්ත ප්‍රශස්තබුද්ධි ඇති කෙනෙක් නුවණින් දැන නුවණින් බැසගෙන පරාගේ ගුණ හෝ අගුණ හෝ බෙණෙත් ද, අපි එය සාර විසින් පිළිගනුම්හ.
වහන්ස, ආනන්‍දයෙනි, නුවණැති මහණබමුණන් විසින් නිග්‍රහ කළයුතු කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් අකුසල් වේ ද, එය යි.
වහන්ස, අකුශල කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් සාවද්‍ය වේ ද, එය යි.
වහන්ස, සාවද්‍ය කායසමාචාර නම් කවරේ යැ?
මහරජ, යම් කායසමාචාරයෙක් සදුඃඛ වේ ද, එය යි.