මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙනුවරැ ක්‍ෂත්‍රියයෙක් ගෘහසන්‍ධි හෝ සිඳුනේ යැ ගම් හෝ පහරනේ යැ, එක් ගෙයක් හෝ වොලොගන්නේ යැ, මං හෝ පහරනේ යැ, පරඹුන් කරා හෝ යන්නේ යැ, උහු දු තෙල පුරුෂයෝ අල්වාගෙන “දේවයිනි, මෙ සොර තොපට අපරාධකාරී යැ. මුහුට යමක් කැමැත්තවු නම් එ දඬුවම කරව”යි දක්වන්නාහු නම්, උහුට කුමක් කෙරෙයි දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, ප්‍රාණවධ හෝ කරවම්හ, ධනහානි හෝ කරවම්හ, රටින් හෝ නෙරවම්හ, ප්‍රත්‍යය වූ සේ හෝ කරම්හ. ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ක්‍ෂත්‍රිය’ යි නමෙක් වී නම් උහු ගේ එ නම අතුරුදහන් වී ද, ‘සොර’ යැ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනි.
මහරජ, එය කිමැයි හඟනෙහි ද? මෙනුවරැ බ්‍රාහ්මණයෙක් ... මෙනුවරැ වෛශ්‍යයෙක් ... මෙනුවරැ ශුද්‍රයෙක් ගෘහසන්‍ධි හෝ සිඳුනේ යැ ගමක් හෝ වොලොගන්නේ යැ, එක් ගෙයක් හෝ වොලොගන්නේ යැ, කඩපළාසොරකම් හෝ කරන්නේ යැ, පරඹුන් කරා හෝ යන්නේ යැ. උහු දු තෙල පුරුෂයෝ අල්වාගෙන “දේවයිනි, මෙ සොර තොප වහන්සේට අපරාධකාරී යැ. මුහුට යමක් කැමැත්තවු නම් එ දඬ පණව”යි දක්වන්නාහු නම්, උහුට කුමක් කෙරෙයි දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, ප්‍රාණවධ හෝ කරවම්හ, ධනහානි හෝ කරවම්හ, දේශත්‍යාග හෝ කරවම්හ. ප්‍රත්‍යය වූ සේ හෝ කරම්හ. ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ශුද්‍ර’යි නමෙක් වී නම් උහු ගේ එ නම අතුරුදහන් වී ද, ‘සොර’ යැ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ’යි.
මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හො’යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි මෙ සතර වර්‍ණයන් ගේ කිසි වෙනසක් නො දක්මි’යි.
මහරජ, මෙකරුණිනුදු “බමුණු මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ යන තෙල කරුණ ලෝකයෙහි ඝොෂාමාත්‍රයෙකැ’යි දතයුතු.
මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙ නුවරැ ක්‍ෂත්‍රියයෙක් කෙහෙරැවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වන්නේ පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ එක් වේලේ වළඳනුයේ බඹසර ඇතියේ සිල්වත් වූයේ කලණදහම් ඇති වන්නේ යැ. උහුට කුමක් කරනෙහි දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ නිමන්ත්‍රණ කරම්හ, උහු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් හෝ එළවා නිමන්ත්‍රණ කරම්හ, ඔහට ධාර්මික රක්‍ෂාවරණගෝපන සංවිධාන හෝ කරවම්හ, ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ක්‍ෂත්‍රිය’ යන නමෙක් වී නම් එ නම ඔහට අතුරුදහන් වී ද, ‘ශ්‍රමණ’ යන යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ’යි.
මහරජ, එය කිමැ’යි හඟී ද? මෙ නුවරැ බ්‍රාහ්මණයෙක් ... මෙනුවරැ වෛශ්‍යයෙක් ... මෙනුවරැ ශුද්‍රයෙක් කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සස්නට වන්නේ පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ එක් වේලේ වළඳනුයේ බඹසර ඇතියේ සිල්වත් වූයේ කලණ දහම් ඇති වන්නේ යැ, ඔහට කුමක් කෙරෙහි ද?යි.
භවත් කාත්‍යායනයෙනි, අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ නිමන්ත්‍රණ කරම්හ, උහු චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍ය පරිෂ්කාරයන් හෝ එළවා නිමන්ත්‍රණ කරම්හ, උහුට ධාර්මික රක්‍ෂාවරණගෝපන සංවිධාන හෝ කරවම්හ, ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ශුද්‍රය’ යන යම් සංඥාවක් වූ ද, ඔහුට ඒ සංඥාව අතුරුදහන් වූ ද, ‘ශ්‍රමණ’ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ යි.’
මහරජ, එය කිමැ’යි හඟිහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හො?යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි ලා මොවුන් ගේ කිසි වෙනසක් නො දක්මි’යි.
මහරජ, මෙ කරුණිනුදු “බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යි, බ්‍රාහ්මණ මැ ශුක්ලවර්‍ණ යැ තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යි, බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති. අබ්‍රාහ්මණයෝ නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බඹහු ගේ ඖරසපුත්‍ර යැ, මුවින් උපනුවහ, බ්‍රහ්මජයහ, බඹහු විසින් මවනලදහ, බ්‍රහ්මදායාදයහ” යන මෙ කරුණ ලෝකයෙහි ‘ඝොෂාමාත්‍රයෙකැ’යි දතයුතු.
මෙසේ කී කල්හි අවන්තිපුත්‍ර වූ මධුර පුරාධීශ රජ තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන්ට තෙල බස් කී: “භවත් කාත්‍යායනයෙනි, ඉතා කාන්ත යැ, භවත් කාත්‍යායනයෙනි, ඉතා කාන්ත යැ, භවත් කාත්‍යායනයෙනි, යම්සේ යටිහුරු වූවක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් කාත්‍යායනයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද, තෙල මම් භවත් කාත්‍යායනයන් ද, දහම ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි, භවත් කාත්‍යායනයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උපාසකයකු කොට ධරත්ව’යි.
මහරජ, ‘තෙපි මා නහමක් සරණ යව, මම් යමක්හු සරණ කොට ගියෙම් නම් තෙපි එ මැ භාග්‍යවතුන් සරණ යව’යි.
භවත් කාත්‍යායනයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු දැන් කොහි වෙසෙත් දැ?යි.
මහරජ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු මෙකලැ පිරිනිවියහ’යි.
භවත් කාත්‍යායනයෙනි, ඉදින් ඇපි දස යොදනෙක්හි ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා දස යොදන මැ යම්හ. ඉදින් භවත් කාත්‍යායනයෙනි, ඇපි විසි යොදනෙක්හි, තිස්යොදනෙක්හි, සතලිස්යොදනෙක්හි, පනස්යොදනෙක්හි ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා පනස් යොදන මැ යම්හ. ඉදින් භවත් කාත්‍යායනයෙනි, ඇපි යොදුන් සියයෙකැ ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා යොදුන් සියය මැ යම්හ. භවත් කාත්‍යායනයෙනි, ඒ බුදුහු යම් දවසෙක පිරිනිවීසේක් ද, ඇපි පිරිනිවියා වූ ද ඒ බුදුන් දහම් හා සඟුන් හා සරණ කොට යෙමි. භවත් කාත්‍යායනයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයකු කොට ධරත්ව’යි.
සතර වැනි මධුරසූත්‍ර යි.
2. 4. 5.
බෝධිරාජකුමාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර නිසා භේසකලාවන නම් මුවළැව් වැඩ වසනසේක. එසමයෙහි වනාහි බෝධිරාජකුමාරයාගේ ‘කොකනද’ නම් පහය අළුතැ කරවන ලදුයේ මහණක්හු විසින් වේවයි බමුණක්හු විසින් වේවයි මිනිස් වූ කිසිවක්හු විසින් වේවයි නො වසන ලද වෙයි. එකල්හි බෝධිරාජ කුමාර තෙම සඤ්ජිකාපුත්‍ර මාණවයා ඇමැතී: “එව යහළු සඤ්ජිකාපුත්‍රයෙනි, තෙපි බුදුන් කරා එළැඹෙව. එළැඹ මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟල සිරසින් වඳුව, අරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුලුවුස්ව. ‘වහන්ස, බෝධිරාජකුමාර බුදුන්ගේ පාසඟළ සිරසින් වඳියි, අරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසී” යයි. මෙසේත් කියව: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත භික්‍ෂුසඞ්ඝයා හා සමග ඉවසන සේක්ව”යි. ‘එසේ යැ භවත්නි’යි සඤ්ජිකාපුත්‍ර මාණව බෝධිරාජකුමාරහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සඤ්ජිකාපුත්‍ර මාණව භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “භවත් ගෞතමයන් වහන්ස, බෝධිරාජකුමාර භවත් ගෞතමයන්ගේ පාසඟුළුවන් මුදුනින් වඳියි. ආරෝග්‍යය නිදුක්බව කයෙහි සැහැල්ලුබව කායබල ඵාසුවිහරණ පුළුවුස්සි. මෙසේත් කියයි: “භවත් ගෞතමයන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත භික්‍ෂුසඞ්ඝයා හා සමග ඉවසන සේක්ව” යි. බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
එසඳ සඤ්ජිකාපුත්‍ර මාණව භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී බෝධිරාජකුමරු වෙත එළැඹියේ ය. එළැඹ බෝධිරාජ කුමරුට තෙල බස් කී: “ඇපි භවතුන් ගේ වචනයෙන් ඒ භවත් ගෞතමයන්ට සැලකළම්හ: “භවත් ගෞතමයන් වහන්ස, බෝධිරාජකුමාර භවත් ගෞතමයන්ගේ පාසඟළ සිරසින් වඳියි, ආරෝග්‍යය නිදුක්බව කායලඝුත්‍වය කායබලය පහසුවිහරණ විචාරයි. මෙසේත් කියයි: “භවත් ගෞතමයන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්ව” යි. වැළිත් ශ්‍රමණ ගෞතමයන් විසින් ඉවසන ලද ද වේ යයි.
එසඳ බෝධිරාජකුමාර එරැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙළ කරවා කොකනද පහයත් හිණග (හිණිපාමුල) දක්වා හෙළ පිළී අතුරුවා සඤ්ජිකාපුත්‍ර මාණවයා ඇමැතී: “එව යහළු සඤ්ජිකාපුත්‍රයෙනි, තෙපි භාග්‍යවතුන් කරා එළඹෙව, එළඹ ‘වහන්ස, වඩනට කලි, බත නිමියේ යැ’යි භාග්‍යවත්නට කල් දන්ව”යි. ‘එසේ යැ භවත්නි’යි සඤ්ජිකාපුත්‍ර මාණව බෝධිරාජකුමරහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ ‘වහන්ස, වඩනට කලි, බත නිමියේ යැ’යි භාග්‍යවත්නට කල් දැන්වී.
එසඳ බුදුහු පෙරවරු වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන බොධිරාජකුමරා ගේ නිවෙස්න කරා එළැඹියහ. එ වේලෙහි බෝධිරාජකුමාර බිහිදොරකොටුවෙහි භාග්‍යවතුන් එනු බලමින් සිටියේ වෙයි. බෝධිරාජකුමාර වඩනා භාග්‍යවතුන් දුරදී මැ දිට, දැක පෙරගමන් කොට භාග්‍යවතුන් වැඳ පෙරටු කොට කොකනද පහය කරා එළැඹියේ යැ.
එසඳ බුදුහු හිණිපාමුල නිසා වැඩසිටියහ. ඉක්බිති බොධිරාජකුමර භාග්‍යවත්නට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිල්ලට නැඟෙනසේක්වා, සුගතයන් වහන්සේ පියවිල්ලට නැඟෙනසේක්වා, යම් හෙයෙකින් එය මට දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ ද, එහෙයිනැ”යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහ. දෙවනවට ද බොධිරාජකුමර භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිලියට නැඟෙනසේක්වා, සුගතයන් වහන්සේ පියවිලියට නැඟෙනසේක්වා, එය මට දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ” යයි. දෙවනවට ද බුදුහු නිහඬ වූහ. තුන් වනවට ද බෝධිරාජකුමර භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිලියට නැඟෙත්වා, සුගත්හු පියවිලියට නැඟෙත්වා, එය මට දිගුකලක් හිත සුව පිණිස වේ” යයි.
එසඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් බැලූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බෝධිරාජකුමරහට තෙල බස් සැලකළහ: “රජකුමරුවෙනි, පියවිලි හකුළාලව බුදුහු පියවිලි නො ඇක්මෙති, තථාගතයෝ පශ්චිම ජනතාව බලති”යි. එසඳ බෝධිරාජකුමාර පියවිලි හකුළුවා කොකනද පහාහි මතුමහල්හි අසුන් පැනවී. ඉක්බිති බුදුහු කොකනද පහයට නැඟී පැනවූ අස්නෙහි භික්‍ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති බොධිරාජකුමර බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්වී, මොනොවට පැවැරී. ඉක්බිති බෝධිරාජකුමාර වළඳා නිමවූ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් බෝරජකුමර භාග්‍යවත්නට තෙල බස් සැලකළේ: “වහන්ස, මට මෙසේ සිත් වෙයි, ‘සුවයෙන් සුවය නො ලද හැක්ක. දුකින් මැ සුවය ලද හැක්කැ”යි.
රජකුමර, සම්බෝධියෙන් පෙර මැ ප්‍රතිවේධ නො කළ සිව්සස් ඇති බෝසත් වූ මැ මට ද තෙල සිත් වී: “සුඛයෙන් සුඛය නො ලද හැක්ක, දුඃඛයෙන් මැ සුඛය ලද හැක්කැ”යි. රජකුමර, ඒ මම් මෑතභාගයෙහි තරුණ මැ වූයෙම් මනා කළුකෙහෙ ඇතියෙම් භද්‍රයෞවනයෙන් සමන්‍වාගත වූයෙම් ප්‍රථම වයසින් සමන්‍වාගතයෙම් නො කැමැති මාපියන් කඳුළු මුසු මුහුණු ඇති වැ හඬනුවනට අනදර කොට කෙහෙරැවුළු බහාලා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වන්මි. ඒ මම් මෙසේ පැවිදි වූයෙම් කිංකුශලගවේෂී වැ උත්තම ශාන්ති සඞ්ඛ්‍යාත වරපදය (නිවන) සොයනුයෙම් ආළාරකාලාම (තවුස්) කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි, කාලාමයෙනි, මම් මෙ සස්නෙහි බඹසර සරනට කැමැත්තෙමි”යි. රජකුමරුවෙනි, මෙසේ කී කල්හි ආළාරකාලාම මට තෙල බස් කී: “ඇවැත්නි, වසව, යම් දහමෙකැ නුවණැති පුරිස් නොබෝකලකින් මැ සිය අදුරුසමය තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වසන්නේ නම් මෙ දහම එබඳු යැ”යි. රජකුමර, ඒ මම් නොබෝකලෙකින් මැ වහා මැ එ දහම අසා උගත්මි. රජකුමර, එ මම් එතෙක් මැ තොල් පහළ පමණින් වදන් පිළිවදන් පමණින් ඥානවාදයත් ස්ථවිරවාදයත් කියමි. ‘දනිමි දක්මි’යි ද මමත් පිළින කෙරෙමි. සෙස්සෝත් (කියති.) රජකුමර, ඒ මට තෙල සිත් වී: “ආළාර කාලාම මෙ දහම හුදෙක් සැදැහැමතුයෙන් තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’ නො මැ පවසයි. ඒකාන්තයෙන් ආළාර කාලාම මෙ දහම දනිමින් දක්මින් වාස කෙරේ”යයි.
රජකුමරුවෙනි, එසඳ මම් ආළාරකාලාම කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි කාලාමයෙනි, කිපමණෙකින් අපට මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙමි’ ප්‍රකාශ කරවූ දැ”යි. රාජකුමාරය, මෙසේ කී කල්හි ආළාරකාලාම ආකිඤ්චඤ්ඤායතනය පැවැසී. රජකුමර, ඒ මට තෙල සිත් වී: “ආළාරකාලාමහට මැ ශ්‍රද්ධා නො ද ඇති, මාහට ද ශ්‍රද්ධා ඇති. ආළාරකාලාමහට මැ වීර්‍ය්‍ය නො ද ඇති, මාහට ද වීර්‍ය්‍ය ඇති. ආළාරකාලාමහට මැ නො ද සිහි ඇති, මාහට ද සිහි ඇති, ආළාරකාලාමහට මැ සමාධි නො ද ඇති, මාහට ද සමාධි ඇති. ආළාරකාලාමහට මැ ප්‍රඥා නො ද ඇති, මාහට ද ප්‍රඥා ඇති. ආළාරකාලාමහට යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කෙරෙමී’ පවසා ද මම් එ දහම් පසක් කරනුවට වීර්‍ය්‍ය කෙරෙම් නම් මැනැව”යි. රජකුමර, ඒ මම් නොබෝ කලෙකින් මැ වෙලෙවි වැ මැ එ දහම තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙළෙමි.
රජකුමර, ඉක්බිති ම්ම් ආළාරකාලාම කරා එළැඹියෙමි, එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි කාලාමයෙනි, මෙතෙකින් අපට මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙරෙමී’ පවසවු දැ?”යි. “ඇවැත්නි, මෙතෙකින් මම් මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’යි පවසමි” යි. ‘ඇවැත්නි, මමත් මෙතෙකින් මේ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’යි, ඇවැත්නි, අපට ලාභයෙක, ඇවැත්නි, අපට මනා ලාභයෙකි. ඇපි තොප වැනි සබ්‍රම්සර ආයුෂ්මත් කෙනකුන් දක්මහ, මෙසෙයින් මම්
යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා පවසම් ද, තෙපි එ දහම තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරව. තෙපි යම් දහමක් තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරවු ද, මම් එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙරෙමි. මෙසෙයින් මම් යම් දහමක් දනිම් ද, තෙපි එ දහම දනිවු. තෙපි යම් දහමක් දනිවු ද, මම් එ දහම දනිමි. මෙසෙයින් මම් යම් බඳුයෙම් ද, තෙපි එ බඳු වව. තෙපි යම් බඳුවවු ද, මම් එ බඳු වෙමි. එව දැන් ඇවැත්නි, දෙදෙනමෝ මෙ ගණය පරිහරණ කරම්හ”යි. රජකුමර, මෙසෙයින් වනාහි ආළාරකාලාම මා ගේ ආචාර්‍ය්‍ය වූයේ මැ අතැවැසි වූ මා තමා හා සමසම කොට තැබී. උදාර පූජායෙනුදු මා පිදී යැ. රජකුමර, ඒ මට තෙල සිත් වී: “මෙ දහම් නිර්වේදයට නො වැටෙයි, විරාගයට නිරෝධයට ව්‍යුපශමයට අභිඥාවට සම්බෝධයට නිර්‍වාණයට නො වැටෙයි. ආකිඤ්චඤ්ඤායතනෝත්පත්තිය පිණිස මැ පවතී” යයි. රජකුමර, එ ම්ම් එ දහම පිළිකෙව් කොට එ දහමින් කලකිරී බැහැර ගියෙමි.
රජකුමර, එ මම් ‘කුසල් කිමැ’යි සොයනු යෙම් අනුත්තර සන්තිවරපදය (නිවන) පිරියෙස්මින් උද්දක රාමපුත්‍ර කරා එළැඹියෙමි. එළැඹ උද්දක රාමපුත්‍රහට තෙල බස් කිමී: “ඇවැත්නි, රාමයෙනි, මම මෙ සස්නෙහි බඹසර සරනු රිසියෙමි”යි. රජකුමර, මෙසේ කී කල්හි රාම පුත් උද තවුස් මට මෙසේ කී: “ඇවැත්නි, වසව. යම් දහමෙක විඥපුරුෂ නොබෝ කලෙකින් මැ සිය අදුරුසමය තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙරේ නම් මේ එබඳු දහමෙකි”යි. රජකුමර, එ මම් නොබෝ කලෙකින් මැ වෙලෙවි වැ මැ එ දහම පිරිවැහීමි. රජකුමර, එ මම් එතෙක් තොල් පහළ පමණින් මැ වදන් පිළිවදන් මතුයෙන් මැ ඥානවාදයත් ස්ථවිරවාදයත් කියමි. ‘දනිමි දක්මි’ ද මමත් පිළින කෙරෙමි. තෙසුවෝත් පිළින කෙරෙති. රජකුමර, ඒ මට තෙල සිත් වී: “රාම තවුස් මෙ දහම හුදෙක් ශ්‍රද්ධා පමණෙකින් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’ නො ද පැවැසී. ඒකාන්තයෙන් රාම මෙ දහම දනිමින් දක්මින් විසී” යයි.
එසඳ රාජකුමාරය, මම් රාමපුත් උද තවුස් කරා එළැඹියෙමි. එළැඹ රාම පුත් උද තවුස්හට තෙල බස් කීමි: “ඇවැත්නි රාමයෙනි, කිපමණෙකින් අපට මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාස කෙරෙමි’ පවසවු දැ”යි, රජකුමර, මෙසේ කී කල්හි රම්පුත් උද තවුස් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ යැ. රජකුමර, ඒ මට තෙල සිත් වී: “රාමහට මැ ශ්‍රද්ධා නො ද වූ, මට දු ශ්‍රද්ධා ඇත. රාමහට මැ වීර්‍ය්‍ය නො ද වී, මට දු වීර්‍ය්‍ය ඇත. රාමහට මැ ස්මෘති නො ද වූ, මට දු ස්මෘති ඇත. රාමහට මැ සමාධි නො ද වූ, මට දු සමාධි ඇත. රාමහට මැ ප්‍රඥා නො ද වූ, මට දු ප්‍රඥා ඇති. රම් තවුස් යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙරෙමී ප්‍රකාශ කෙළේ ද, මම එ දහම් පසක් කරනුවට ප්‍රධන් වීර්‍ය්‍ය කරනෙම් නම් ඉතා මැනැවැ”යි. රජකුමර, ඒ මම් නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම තමා විසින් තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාස කෙළෙමි.
එසඳ රාජකුමාරයෙනි, මම් රම්පුත් උද තවුස් කරා එළැඹියෙමි. එළැඹ රම්පුත් උද තවුස්හට තෙල බස්කීමි: “ඇවැත්නි, රාමයෙනි, මෙතෙකින් අපට මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා ප්‍රකාශ කෙරෙහි දැ”යි. ඇවැත්නි, මෙතෙකින් මම් මෙ දහම තමා විසින් වෙසෙසා දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙරෙමි”යි. “ඇවැත්නි, මෙතෙකින් මමත් මෙ දහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙමි”යි. ඇවැත්නි, අපට ලාභයෙක, ඇවැත්නි, අපට මනා ලාභයෙකි. ඇපි තොප වැනි සබ්‍රම්සර ආයුෂ්මත් කෙනෙකුන් දැකුම්හ. මෙසෙයින් රාම යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද, තෙපි එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරව. තෙපි යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරවු ද, එ දහම රාම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ යැ. මෙසෙයින් රාම යම් දහමක් දත්තේ ද, තෙපි එ දහම දන්නහු යැ. තෙපි යම් දහමක් දන්නහු ද, එ දහම රාම දන්නේ යැ. මෙසේ රාම යම් බඳු වී නම් තෙපි එ බඳුව. තෙපි යම් බඳු වවු නම් රාම එ බඳු වී. එව දැන් ඇවැත්නි, තෙපි මෙ ගණය පරිහරණ කරව”යි. රජකුමරුවෙනි, මෙසෙයින් රාමපුත්‍ර උද්දක මා ගේ සබ්‍රම්සැරි වූයේ මැ මා ඇදුරු තන්හි තැබී. උදාර පූජායෙනුදු මා පිදී. රාජකුමාරය, ඒ මට තෙල සිත් වී: “මෙ දහම නිර්වේදයට නො වැටෙයි. නො ද විරාගයට නො ද නිරෝධයට නො ද කෙලෙස් සන්හිඳීමට නො ද අභිඥාවට නො ද සම්බෝධයට නො ද නිර්‍වාණයට වැටෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උපත පිණිස මැ වැටේ”යයි. රජකුමර, ඒ මම් එ දහම ප්‍රතික්‍ෂේප කොට එ දහමින් කලකිරී ඉවත් ව ගියෙමි.
රජකුමර, ඒ මම් ‘කිංකුශලගවේෂී වැ අනුත්තර ශාන්තිවරපදය සොයනුයෙම් මගධ දනවියෙහි පිළිවෙළින් සැරිසරනුයෙම් උරුවේලායෙහි සේනා නම් නියම්ගමට (සේනානී නම් සිටුහුගේ ගමට) බටුයෙමි. එහි රමණී භූමිභාගය ද ප්‍රසාද එළවන වන ළැහැබ ද සුදු වැලිතලා ඇති මනා තොට ඇති ගලන රමණී හොය ද හාත්පසැ පිහිටි ගොදුරුගම ද දිටිමි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “භුමිභාගය රමණී මැ යැ වනළැහැබ ප්‍රසාද එළවන්නේ මැ යැ. සුදුවැලිතලා ඇති මනා තොට ඇති රමණී හොය ද ගලයි. හාත්පසැ ගොදුරුගම් ද වෙයි. ප්‍රධන් වීර්‍ය්‍යය කරනු කැමැති කුලපුතක්හට ප්‍රධන් පිණිස මෙ තැන සමර්‍ත්‍ථ මැ යැ”යි. රජකුමරුවෙනි, මම “මෙතැන ප්‍රධන් පිණිස සමර්‍ත්‍ථ වෙති”යි ඒ බෝපලගෙහි මැ නිෂද්‍යා කෙළෙමි.
තවද රජකුමරුවෙනි, මට පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූවිරූ උපමාවෝ තුන්දෙනෙක් වැටහුණහ: “රජකුමරුවෙනි, ස්නෙහ සහිත දියෙහි බැහූ තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි නිපදවමි, තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ සනා සහගිය දියෙහි බැහූ තෙල තෙත් කාෂ්ටය උතුරු රිණි ගෙන ගිනි නිපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ?යි. වනහ්ස, මෙ කරුණ නො වනසුලු මැ යැ, ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල තෙත් කාෂ්ටය සස්නේහ වෙයි. එ ද දියෙහි බැහුණේ වෙයි. ඒ පුරුෂ ක්ලමථුවට වෙහෙසට හිමි වන්නේ මැ යැ’යි. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි මහණහු වෙත්වයි බමුණහු වෙත්වයි කයිනුදු සිතිනුදු කාමයෙන් නො වෙන් වූවාහු වෙසෙත් ද ඔවුන් ගේ කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද,
සන්හුන් නො වේ ද, ඒ භවත් මහණ බමුණහු තීව්‍ර කටුක ඖපක්‍රමික වූ ද දුඃඛවේදනා විඳිති. ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය ද වෙති. ඉදින් ඒ භවත් මහණ බමුණහු තීව්‍රැ කටුක දුඃඛවේදනා නො විඳුනාහු නම් වූහු ද, වැළිත් ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මෙ පළමු උපමා වැටහිණ.
රජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ අනෙක් දෙවන උපමායෙක් ද වැටහිණ. රජකුමරුවෙනි, යම් පරිදි දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ ස්නේහ සහිත තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි නිපදවමි’යි, තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ ස්නේහ සහිත දියෙන් බැහැර වැ සිටි ගොඩබිමැ ලූ තෙත් කාෂ්ටය උතුරු රිණි ගෙන අළලන්නේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ’යි. වහන්ස මෙ කරුණ නො වනසුලු යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙලෙ දියෙන් බැහැර වැ සිටියේ නමුදු ගොඩබිමෙහි ලූයේ නමුදු සස්නේහ වූ තෙත් කාෂ්ටයෙකි. ඒ පුරුෂ ක්ලමථුවට වෙහෙසට හිමි වන්නේ මැ යැ. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි, කාමයෙන් කයින් වෙන් වූවාහු වෙසෙත් ද, ඔවුන් ගේ කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද, සන්හුන් නො වේ ද, ඒ භවත් මහණ බමුණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික වූ ත් දුඃඛවේදනාවන් විඳිති. ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. ඉදින් ඒ භවත් මහණබමණහු තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛවේදනා නො විඳුනාහු නමුදු, ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. රජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ දෙවන උපමා ද වැටහිණ.
රජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ අනෙකුත් තුන්වන උපමායෙක් ද වැටහිණ. රජකුමරුවෙනි, යම් පරිදි කොලොපු වූ දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ වියළි කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි උපදවමි’යි, තෙද පහළ කෙරෙමි’ එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂයා කොලොපු වූ දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ තෙල ශුෂ්කකාෂ්ටය උතුරු රිණි ගෙන මඩනුයේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ?යි. වහන්ස, එසේ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙලෙ ශුෂ්කකාෂ්ටය කොලොපු වෙයි, එ ද දියෙන් බැහැර වැ සිටියේ වෙයි. ගොඩබිම්හි ලූයේ වෙයි. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ව’යි කයිනුදු සිතිනුදු කාමයෙන් වෙන් වැ වෙසෙත් ද, ඔවුන් ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාම පිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ වූයේ වේ ද, සන්හුන් වේ ද, ඉදින් ඒ භවත් මහණබමුණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛ වේදනා විඳුනාහු නමුදු ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට මැ භව්‍ය වෙති. ඉදින් ඒ භවත් මහණබමුණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛවේදනාවන් නො විඳුනාහු නමුදු, ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට මැ භව්‍ය වෙති. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් උපමා වැටහිණ. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් උපමාවෝ වැටහුණහ’යි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “යටිදත්හි උඩුදත තබා දිවින් තල්ල පැහැර (කුසල්සිතින්) අකුසල්සිත නිගන්නෙම් පෙළෙන්නෙම් තවන්නෙම් නම් මැනැවැ”යි. රජකුමරුවෙනි, මම යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැර ගෙන සිතින් සිත නිගන්මි, පෙළමි, තපෝවීර්‍ය්‍ය කෙරෙමි. රජකුමරුවෙනි, යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැර ගෙන් සිතින් සිත නිගන්නා පෙළන තපෝවීර්‍ය්‍ය කරන මාගේ කච්ඡයෙන් ස්වේදයෝ මිදෙත්. රජකුමරුවෙනි, බලවත් පුරුෂයෙක් ඉතා දුබල පුරුෂයකු හිසෙහි වේවයි ස්කන්‍ධයෙහි වේවයි ගෙන නිගන්නේ වේ ද, පෙළන්නේ වේ ද, තාප කරන්නේ වේ ද, රජකුමරුවෙනි, එපරිදි මැ යට දතෙහි උඩුදත තබා දිවින් තලු පැහැරගෙන සිතින් සිත නිගන්නා පෙළන තවන මාගේ කැසින් ස්වේදයෝ මිදෙත්, රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ වෙයි, සංලීන නො වෙයි, සිහි එළවියා වෙයි, මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධනින් මැ ප්‍රධන් වැරින් විත් කෑවාවූ මැ මාගේ කය දරථ සහිත වෙයි, නො සන්හුන් වෙයි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම් අප්‍රාණක (නිරාශ්වාස) ධ්‍යාන කරනෙම් නම් මැනැවැ”යි. රජකුමරුවෙනි, ඒ මම් මුවිනුදු නැහැයෙනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළහීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු අසස්පස් වැළහූ කල්හි මා ගේ කන්සිළින් නික්මෙන වායුහුගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. යම්සේ නම් කඹුරුසම පුඹුනා කල්හි අධිමාත්‍ර ශබ්දයෙක් වේ ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු ආශ්වාසප්‍රශ්වාස වැළහු කල්හි කන්සිඳින් නික්මෙන වායුහුගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි, සිහි එළඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම නිරස්සාසක වූ මැ ධ්‍යාන වඩම් නම් මන මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළහූ කල අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්. රජකුමරුවෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් තියුණු කඩුසිළෙකින් මුදුන පෙළන්නේ ද, එපරිදි මැ රජකුමරුවෙනි, මා ගේ මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළහු කල්හි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්. රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ අසංලීන වෙයි, සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළහූ කල්හි මා ගේ ශීර්‍ෂයෙහි අධිමාත්‍ර ශීර්‍ෂවේදනාවෝ වෙති. රජකුමරුවෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වූ වරබහනින් හිසෙහි හිස්වෙළුම් බඳනේ ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළහු කල්හි ශීර්‍ෂයෙහි අධිමාත්‍ර ශීර්‍ෂවේදනාවෝ වෙති. රජකුමරුවෙනි, මා විසින් රුකුළු වැර සංලීන නො වෙයි. සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ දැහැන වඩනෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාසප්‍රශ්වාස වැළහූ කල්හි මා ගේ කුස අධිමාත්‍ර වාතයෝ සිඳිත්. රජකුමරුවෙනි, යම්සේ දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ තිහිණි වූ ගෙරිකපන කැත්තෙකින් කුස කපන්නේ ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාසප්‍රශ්වාස වැළකූ කල්හි අධිමාත්‍ර වාතයෝ කුස කපත්. එතෙකුදු වත් රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි. සිහි එළඹ සිටියා මුෂිත නො වෙයි, එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළහූ කල්හි මා ගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. රජකුමරුවෙනි, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුඹුල් මිනිසක්හු වෙන් වෙන් අත්හි ගෙන අඟුරු වළෙක තවන්නාහු ද මොනොවට තවන්නාහු ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාසප්‍රශ්වාස වැළහු කල්හි අධිමාත්‍ර දාහය වෙයි. එතෙකුදු වත් රජකුමරුවෙනි, මා විසින් ආරබ්ධවීර්‍ය්‍ය සංලීන නො වෙයි. සිහි එළඹ සිටි සිහි මුෂිත නො වෙයි. එතෙකුදු වත් මාගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
තවද රජකුමරුවෙනි, දේවතාවෝ දැක මට මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කලුරිය කළහ”යි. සමහර දේවතාවෝ මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කලුරිය නො කළහ, එතෙකුදු වත් කලුරිය කෙරෙති”යි. සමහර දේවතාවෝ මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කලුරිය නො කළහ, නො ද කලුරිය කෙරෙති, ශ්‍රමණ ගෞතමයෝ රහත්හ, රහතුන්ට තෙල මෙබඳු විහාර ඇත්තේ මැ වේ”යයි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම සර්‍වප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට පිළිපදනෙම් (බස්නෙම්) නම් මනා මැ නු”යි. එකල්හි රජකුමරුවෙනි, දෙවියෝ මා කරා අවුත් තෙල බස්කීහ: “නිදුකාණෙනි, තෙපි සර්‍වප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට නහමක් පිළිපදුව, ඉදින් නිදුකාණෙනි, තෙපි සර්‍වප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට බස්නහු නම් ඇපි තොපගේ රෝමකූපයෙන් දිව්‍යඕජස් ඇතුළු කරම්හ, එයින් තෙපි යැපෙන්නහු යැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම වනාහි සර්‍වප්‍රකාරයෙන් නො වැළඳීම පිළින කරන්නෙමි, මෙ දෙවියෝත් මාගේ රෝමකූපයෙන් දිව්‍ය ඕජස් බහලන්නාහ, එයිනිදු මම් යපෙම් නම් ඒ මාගේ මෘෂා වේ”ය යි. රජකුමරුවෙනි, මම ඒ දෙවියන් ප්‍රතික්‍ෂේප කෙරෙමි, ‘කම් නැතැ’යි කියමි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම මුං යුෂ වේවයි කොල්ලු යුෂ වේවයි කඩල යුෂ වේවයි මෑ යුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගන්නෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, ඒ මම මුං යුෂ වේවයි කොල්ලු යුෂ වේවයි කඩල යුෂ වේවයි මෑ යුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගතිමි. රජකුමරුවෙනි, ඒ මම මුං යුෂ වේවයි කොල්ලු යුෂ වේවයි කඩල යුෂ වේවයි මෑ යුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගන්නා මා ගේ කය අධිමාත්‍ර කෘශත්‍වයට පැමිණියේ වෙයි. ආසීතික වැල් පුරුක් හෝ කළුවැල් පුරුක් යම්සේ ද එ මැ අල්පාහාරතායෙන් මා ගේ අඞ්ගප්‍රත්‍යඞ්ගයෝ එබඳු වෙති. ඔටුපිය යම්සේ ද, එ මැ අල්පාහාරතායෙන් මා ගේ නිසීදනමාංසය එබඳු වෙයි. කුරුඳුවැළ යම්සේ (උස්මිටි) වේ ද, එ මැ අල්පාහාරතායෙන් මා ගේ පිටකටුව (වංශාස්ථිය) එසෙයින් මැ උස්මිටි වෙයි. යම්සේ නම් දිරාගිය ශාලායෙකැ ගොනැස්හු එලුණාහු ඈත මෑත එලුණාහු වෙත් ද, එසෙයින් මැ අල්පාහාරතායෙන් මාගේ ඉළඇට එලුණාහු ඈත මෑත එලුණාහු වෙත්. යම්සේ නම් ගැඹුරු දියවළෙකැ දියතරු ගැඹුරට ගියාහු යටට පිවිසියාහු දක්නා ලැබෙත් ද, එසෙයින් මැ අල්පාහාරතායෙන් මා ගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ගැඹුරට ගියාහු යටට පිවිසියාහු දක්නා ලැබෙත්. යම්සේ තිත්ත ලබුපලයක් තරුණ කල්හි සිඳුනා ලද්දේ වා-අවුයෙන් මිලාන වැ හැකුළුණේ වේ ද, එසෙයින් මැ අල්පාහාරතායෙන් මා ගේ හිසසිවි මිලාන වැ හැකුළුණේ වෙයි. රජකුමරුවෙනි, ඒ මම “කුසැසිවි පරාමර්‍ෂ කෙරෙමි”යි පිටකටුව මැ (උදරසිවි හා සමග) ගනිමි. “පිටකටුව පිරිමසමි”යි උදරසිවි මැ (පිටකටුව හා සමග) ගනිමි. රජකුමරුවෙනි, එ මැ අල්පාහාරතායෙන් මැ මා ගේ උදරසිවි පිටකටුව තාක් ඇලුණේ වෙයි. රජකුමරුවෙනි, මම එ මැ අල්පාහාරතායෙන් මල කිස හෝ මූ කිස හෝ කෙරෙමි’යි එහි මැ මුහුණින් වැටෙමි. රජකුමරුවෙනි, මම මෙ මැ කය අස්වසමින් අත්ලෙන් සිරුරු අවයව පිරිමදිමි. රජකුමරුවෙනි, එ මැ අල්පාහාරතායෙන් අතින් ගාත්‍රයන් පිරිමදිනා මාගේ කයින් කුණු වූ මුල් ඇති ලෝමයෝ ගිලිහෙති. තවද රජකුමරුවෙනි, මිනිස්සු මා දැක මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කළුපැහැ ඇතියහ”යි. ඇතැම් මිනිස්සු මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කළුපැහැ නො වෙති, ශ්‍රමණ ගෞතම සම්වන්හ”යි. සමහර මිනිස්සු මෙසේ කීහ: “ශ්‍රමණගෞතමයෝ කළුපැහැ නො වෙති, නො ද සම්වන්හ, ශ්‍රමණ ගෞතම මඟුරුපැහැ ඇතියහ”යි. රජකුමරුවෙනි, මා ගේ පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිවිපැහැ එ මැ අල්පාහාරතායෙන් එතෙක් නටුයේ වෙයි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “අතීතකාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි ඖපක්‍රමික වූ තීව්‍ර කටුක දුඃඛවේදනා වින්දාහු නම්, (ඒ වේදනාව) මෙ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. අනාගත කාලයෙහිදු යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඖපක්‍රමික වූ තීව්‍ර කටුක දුඃඛවේදනා විඳින්නාහු නම්, මෙ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. මෙ කල්හිදු යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඖපක්‍රමික වූ තීව්‍ර කටුක දුඃඛවේදනා විඳිත් නම්, මේ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. මම් වැළිත් මේ කටුක වූ දුෂ්කර ක්‍රියායෙන් මනුෂ්‍ය ධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් නො ලබමි. සම්බෝධයට අනෙක් මාර්‍ගයෙක් ඇද්දැ’යි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම වනාහි පිතෘශාක්‍යයන්ගේ කමත්හි සිහිල් දඹසෙවණෙහි හුන්නෙම් කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාස කෙළෙම් දනිම් මැ යැ, තෙලෙ සම්බෝධයට මාර්‍ග වන්නේ දැ?යි. රජකුමරුවෙනි, මට සතානුසාරි (සිහිය අනුව යන) විඥානය පහළ විය: තෙලෙ මැ සම්බෝධයට මාර්‍ග වේ යැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “කිමෙක් ද මම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ යම් සුඛයෙක් වේ නම් මම ඒ සුඛයට බිය වෙම්දැ”යි. රජකුමරුවෙනි, ඒ මට තෙල සිත් වී: “කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ යම් සුඛයෙක් වේ නම් මම ඒ සුඛයට බිය නො වෙම් මැ”යි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මෙසේ අධිමාත්‍ර කෘශභාවයට ගිය කයින් ඒ සුඛය ලබන්නට සුකර නො වෙයි. මම ඕදනකුල්මාෂ ඕළාරික අහර වළඳන්නෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම හක්තකුල්මාෂ සඞ්ඛ්‍යාත ඕළාරික අහර වැළඳූයෙමි. රජකුමරුවෙනි, එසමයෙහි පස්වග මහණහු ‘මහණ ගොයුම්හු යම් දහමක් අධිගම කෙරෙත් ද එ දහම් අපට පවසති’යි මට උවටැන් කළාහු වෙති. රජකුමරුවෙනි, යම් දිනෙකැ මම හක්තකුල්මාෂ සඞ්ඛ්‍යාත ඕළාරික අහර වැළඳූයෙම් ද එකල ඒ පස්වග මහණහු මට කලකිරී නික්ම ගියහ. “මහණ ගොයුම්හු බාහුලිකයහ; ප්‍රධනින් ගිලිහුණහ, ප්‍රත්‍යබාහුල්‍යයට වැටුණහ”යි කියා යි.
රජකුමරුවෙනි, මම ඕළාරික අහර වළඳා කායබලය ගෙන කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යාන උපයා විසීමි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා ගෙන විසීමි. මම මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වැ පර්‍ය්‍යවදාත වැ අනඞ්ගණ වැ විගතෝපක්ලේශ වැ මෘදුභූත වැ කර්‍මණ්‍ය වැ ස්ථිත වැ නිශ්චලප්‍රාප්ත වැ සිටි කල්හි ඒ සිත පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස නතු කෙළෙමි. මම අනේකවිධ පූර්වේනිවාසය සිහි කරමි. ඒ කෙසේ යැ යත්: එක් ජාතියකුදු දෙජාතියකුදු ... මෙසේ සාකාර සොද්දේශ අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙමි. රජකුමරුවෙනි, මා විසින් රැය පළමු යම්හි මේ පළමු විද්‍යාව අධිගත යැ, අවිද්‍යා විහත විය, විද්‍යා උපන, තමස විහත විය, ආලොකය උපන, අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ කායජීවිත නිරපේක්‍ෂක වැ වසන්නක්හට යම්සේ වේ ද එසෙයිනි.
මම මෙසේ පරිශුද්ධ, පර්‍ය්‍යවදාත, අනඞ්ගණ, විගතෝපක්ලේශ, මෘදුභූත, කර්‍මක්‍ෂම, ස්ථිත නිශ්චලප්‍රාප්ත සමාධිගත චිත්තය ඇති වත් මැ එ සිත සත්ත්‍වයන් ගේ චුතූපපාත ඤාණය පිණිස නතු කෙළෙමි. මම පිරිසුදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි ගිය සතුන් දන්මි ... රජකුමරුවෙනි, මා විසින් රැය මැදුම් යමැ මේ දෙවන විද්‍යා අධිගත විය, අවිද්‍යා විහත විය, විද්‍යා උපන, තමස විහත විය, ආලොකය උපන. අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍යය ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන යෝගාවචරයක්හට යම්සේ වේ ද එසෙයිනි.
මෙසේ මම සමාධිගත සිත පිරිසුදු වැ ප්‍රභාස්වර වැ නිරඞ්ගණ වැ පහ වූ උපක්ලේශ ඇති වැ මොළොක් වැ කර්‍මාර්‍හ වැ ස්ථිත වැ නිසල බවට පැමිණ සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙළෙමි. මම ‘මෙ දුක යැ’යි යථාභූතය දත්මි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් යැ’යි යථාභූතය දත්මි. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූතය දත්මි … ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත් යැ’යි යථාභූතය දත්මි. මෙසේ දන්නා මෙසේ දක්නා මා ගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණි. සිත භවාස්‍රවයෙනුදු මිදිණි. සිත අවිද්‍යාස්‍රවයෙනුදු මිදිණි. මිදුත් මැ ‘මිදිණැ’යි නුවණ විය. ජාති ක්‍ෂීණ විය. බඹසරවස් වැසිණ, කරණී කරන ලදී. මේ රහත් බවට කටයුතු අන් කිසෙක් නැතැ’යි දනිමි. රජකුමරුවෙනි, මා විසින් රැය පැසුළු යමැ මේ තෙවන විද්‍යා අධිගත වූ යැ. අවිද්‍යා විහත වූ යැ, විද්‍යා උපන, තමස විහත වී, ආලොකය උපන. නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන යෝගාවචරයක්හට යම්සේ වේ ද එසෙයිනි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මා විසින් ගැඹුරු වූ එයින් මැ දුර්දර්‍ශ වූ දුකින් අවබෝධ කළයුතු වූ ශාන්ත වූ ප්‍රණීත වූ තර්‍කාවචර නො වූ සියුම් වූ පණ්ඩිතයන් විසින් දතයුතු වූ මේ චතුස්සත්‍ය ධර්‍මය අවබෝධය කරන ලදී. මේ සත්ත්‍වාඛ්‍ය ප්‍රජාව (අෂ්ටශත තෘෂ්ණාවිචරිත සඞ්ඛ්‍යාත) ආලයෙන් රමණය කෙරෙති, ආලයෙහි ඇලුණහ, ආලයෙහි ප්‍රමුදිතයහ. ආලයෙන් රමණය කරන, ආලයෙහි ඇලුණු, ආලයෙහි ප්‍රමුදිත ප්‍රජාව විසින් මෙ කරුණ ද නො දැක්ක හැකි යැ: යම් ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුපාදයෙක් ඇද්ද එය යි. තෙල කරුණ ද නො දැක්ක හැකි යැ: යම් සර්‍වසංස්කාරයන් සංහිඳුවන සියලු උපධි නෙරන සියලු තෘෂ්ණා ක්‍ෂය කරන සියලු ක්ලේශරාගයෙන් මිදී සිටින හැම දුක් නිරුද්ධ කරන සැහැවි ඇති නිවනෙක් ඇද්ද එය යි. මම ද දහම් දෙසම් නම් පරහු එ දහම් නො දැන ගන්නාහු නම් ඒ මට කාය ක්ලමථු වෙයි. ඒ මට වෙහෙසක් වේ? යැ කියා යි. තවද රජකුමරුවෙනි, මට පුනපුනා අසිරියට කරුණු වූ පෙර නො ඇසූවිරූ මේ ගාථාවෝ වැටහුණහ:
“මා විසින් දුකසේ අධිගත චතුස්සත්‍ය ධර්‍මය දැන් පවසනුවට කම් නැත. රාදොස් දෙකින් පහළවුන් විසින් මේ සිව්සස් දහම් මොනොවට අවබෝධ නො කළ හැක්ක. නිත්‍යාදීන්ට පිළිලොම් මඟ යන සියුම් ගැඹුරු නො දැක්ක හෙන අණුතර වූ මෙ දහම මොහඳුරුකඳින් ආවෘත වූ කාමරාගාදීන් රක්ත ජනයෝ නො දක්නාහ”යි.
රජකුමරුවෙනි, මෙසේ සලකන මාගේ සිත නිරීහ බවට නැමෙයි, දහම් දෙසනුවට නො නැමෙයි.
එසඳ රජකුමරුවෙනි, සහම්පතී මහබඹහට ඔහු සිතින් මා ගේ චිත්තපරිවිතර්‍කය දැන තෙල සිත් පහළ වී: “භවත්නි, ලෝකය නස්නේ මැ යැ. භවත්නි, ලෝකය වෙසෙසින් නස්නේ මැ යැ. යම් ලොවෙකැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ ගේ සිත නිරීහ බවට නැමේ ද, දහම් දෙසනුවට නො නැමේ ද, එහෙයිනි”යි. එසඳ රජකුමරුවෙනි, සහම්පතී බඹ යම් පරිදි බලවත් පුරුෂයෙක් වක්කළ අත් දිගු කරන්නේ වේ ද, දිගු කළ අත් හෝ වක් කරන්නේ වේ ද, එ පරිදි මැ බඹලොව අතුරුදහන් කොට මා හමුයෙහි පහළ වී. එසඳ රජකුමරුවෙනි, සහම්පතී බඹ උතුරුසඟ එකස් කොට මා වෙත ඇඳිලි බැඳ මට තෙල බස් කී: “වහන්ස, භගවත්හු දහම් දෙසත්වා, සුගතයෝ දහම් දෙසත්වා, අල්පරජස්ක සැහැවි ඇති සත්ත්‍වයෝ ඇත. දහම් නො අසන බැවින් පිරිහෙති. දහම් දත හෙන්නාහු ඇතැ”යි. රජකුමරුවෙනි, සහම්පතී බඹ මෙ බස් කී. මෙ බස් කියා වැළි තෙල අන් ගයකුදු කී යැ:
“පෙර මගධ දනව්වැසියන් කෙරෙහි සමල ෂට්ශාස්තෲන් සිතූ අශුද්ධ වූ මිථ්‍යාදෘෂ්ටිධර්‍මයෙක් පහළ වී. එහෙයින් අමෘතද්වාර වූ තෙල ආර්‍ය්‍යයමාර්‍ගය විවර කළ මැනැව. විමල සම්‍යක් සම්බුද්ධයන් විසින් නුවණින් අවබෝධ කළ චතුස්සත්‍යධර්‍මය අසත්වා.
ශෛලමය ඒකඝන පර්‍වතශිඛරයෙක්හි සිටියෙක් යථාස්ථිත වූ පව්ව වට සිටි ජනතාව යම්සේ දක්නේ වේ ද, ප්‍රශස්තබුද්ධි ඇති සමතැස් මුනිඳුනි, ශෛලපර්‍වතෝපම වූ ධර්‍මසඞ්ඛ්‍යාත ප්‍රාසාදයට නැඟී විගතශෝක වූ මොබ ශෝකාවතීර්ණ වූ ජාතිජරාභිභූත වූත් ජනතාව බලන සේක්වා.
මහාවීරායාණෙනි, දුනු මාරසඞ්ග්‍රාම ඇතියාණෙනි, සාර්‍ත්‍ථවාහකයාණෙනි, කාමච්ඡන්‍දඍණ රහිතයාණෙනි, නැඟී සිටිනු මැනැව, ලෝකයෙහි සැරිසරනු මැනැව, භගවත් ගොයුම්ගොතුව, දහම් දෙසන සේක්වා; දහම් දැනගන්නාහු ඇතැ”යි.
ඉක්බිති රජකුමරුවෙනි, මම මහබඹහු ගේ අධෙෂණය පිළිගෙන සතුන් කෙරෙහිදු කරුණාව පිණිස බුදු ඇසින් ලොව බැලූයෙමි. රජකුමරුවෙනි, මම බුදු ඇසින් ලොව බලනුයෙම් අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රාගාදි රජස් ඇති තියුණු වූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මෘදු වූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති සුන්‍දර වූ ශ්‍රද්ධාදි ආකාර ඇති සුවසේ අවබෝධ කරවාලිය හෙන පරලොව හා වරද භය විසින් දක්නාසුලු වැ වසන කිසි සත්ත්‍ව කෙනකුන් දිටිමි. යම් පරිදි උපුල් වෙනෙහි වේවයි පියුම් වෙනෙහි වේවයි හෙළපියුම් වෙනෙහි වේවයි ඇතැම් උපුලන් හා පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි සඤ්ජාත වැ දියෙහි සංවර්ධිත වැ දියෙන් නො නැංගාහු දිය තුළ ගැලී පුස්නාහු ඇද්ද, ඇතැම් උපුලන් හා පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි සඤ්ජාත වැ දියෙහි සංවර්ධිත වැ සමෝදක වැ සිටියාහු ඇද්ද, ඇතැම් උපුලන් හා පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි සඤ්ජාත වැ දියෙහි සංවර්ධිත වැ දියතෙලෙන් පැන නැඟී දියෙන් අනුපලිප්ත වැ සිටිනාහු ඇද්ද, එ පරිදි මැ රජකුමරුවෙනි,
මම බුදු ඇසින් ලොව බලනුයෙම් අල්පරජස්ක වූත් මහාරජස්ක වූත් තීක්‍ෂෙණන්‍ද්‍රිය වූත් මෘද්වින්‍ද්‍රිය වූත් ස්වාකාර වූත් සුවිඥාපය වූත් පරලෝක හා වද්‍ය භය විසින් දක්නාසුලු වැ වසනා වූත් කිසි සත්ත්‍ව කෙනකුන් දිටිමි. ඉක්බිති රජකුමරුවෙනි, මම සහම්පතී බඹහට ගාථායෙන් පිළිවදන් විසින් කීමි:
“බ්‍රහ්මයෙනි, ඒ අල්පරජස්කාදි සත්ත්‍වයනට අමෘතද්වාර වූ ආර්‍ය්‍යයමාර්‍ගයෝ විවෘතයහ, යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ඔහු සැදැහැ මුදත්වා, කායවාක් ක්ලමථු සංඥා ඇති වැ සියුම් වූත් තෙල උතුම් දහම මිනිසුන් කෙරෙහි නො කීමි”යි.
ඉක්බිති රජකුමරුවෙනි, සහම්පති මහබඹ ‘භගවත්හු විසින් ධර්‍මදේශනා පිණිස කළ අවකාශ ඇතියෙම් වෙමි’යි මා සකසා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ’යි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “කවරක්හට මම් පළමු වැ දහම් දෙසම් ද, කවරෙක් මෙ දහම වෙලෙවි වැ දැනගන්නේ දැ?”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: මේ ආළාර කාලාම තවුස් පණ්ඩිත යැ, ව්‍යක්ත යැ, නුවණැත්තේ යැ, දිගුකලක් අල්පරජස්ක සැහැවි ඇතියේ යි. මම ආළාරකලම්හට පළමු වැ දහම් දෙසන්නෙම් නම් මැනැව, හෙ දහම වෙලෙවි වැ දැනගන්නේ යැ”යි. දෙවියෙක් මා කරා එළැඹ තෙල බස් කී: “වහන්ස, ආළාරකාලාම කලුරිය කළ සත්දවස් ඇතියේ යැ”යි. මට වැළිත් “ආළාරකාලාම කලුරිය කළ සත්දවස් ඇතියේ යැ”යි. ඥානදර්‍ශනය ද උපන. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “ආළාරකාලාම මහත් හානි ඇතියේ යැ, ඉදින් හේ මෙ දහම අසා නම් වහා මැ දැනගන්නේ යැ”යි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම පළමු මැ කවරක්හට දහම් දෙසම් ද, කවරෙක් මෙ දහම වහා මැ දැනගන්නේ වේ දැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “රාමපුත්‍ර වූ උද්දක තවුස් පාණ්ඩිත්‍යයෙන් සමන්‍වාගත යැ, ව්‍යක්තභාවයෙන් සමන්‍වාගත යැ, ස්ථානෝත්පත්තික ප්‍රඥායෙන් සමන්‍වාගත යැ, නිෂ්ක්ලේශප්‍රකාර ඇත්තේ යැ, මම රාමපුත්‍ර උද්දක තවුස් හට පළමු කොට දහම් දෙසම් නම් මැනැව. හේ මෙ දහම වහාම දැනගන්නේ යැ”යි. රජකුමරුවෙනි, එසඳ මා කරා දෙවියෙක් පැමිණ තෙල කී: “වහන්ස, උද්දකරාමපුත්‍ර තවුස් අර්‍ධරාත්‍රියෙහි කලුරිය කළැ”යි. මට ද සර්‍වඥතාඥානය පහළ විය: “උද්දකරාමපුත්‍ර තවුස් මැදිරැය කලුරිය කළැ”යි කියා යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “උද්දකරාමපුත්‍ර තවුස් මහපිරිහිණක් ඇතියෙක, ඉදින් හේ මෙ දහම අසා නම් වහා මැ දැනගන්නේ යැ”යි.
රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම කවරක්හට පළමු කොට දහම් දෙසම් ද, කවරෙක් මෙ දහම වහා මැ දැනගන්නේ දැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “ප්‍රධන් පිණිස මෙහෙයූ සිත් ඇති මට උවැටන් කළ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇතියහ, මම පස්වග ම්හණුනට පළමු කොට දහම් දෙසම් නම් මනා මැ නු”යි, රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “පස්වග මහණහු මෙ සඳ කොහි වෙසෙත් ද කියා” යි. රජකුමරුවෙනි, මම පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවැසින් පස්වග මහණුන් බරණැස ඉසිපතන නම් මුවළැව්හි වසනුවන් දිටිමි. රජකුමරුවෙනි, ඉක්බිති මම උරුවෙල් දනවුයෙහි කැමැතිතාක් වාස කොට බරණැස කරා චාරිකාවට නික්මිණිමි.
රජකුමරුවෙනි, උපක නම් ආජීවක ගයාව හා බෝධිය හා අතර දී අදන් මඟට පිළිපන් මා දිටී. දැක මට තෙල කී: “ඇවැත්නි, තොප ගේ ඉඳුරෝ විප්‍රසන්නයහ. ඡවිවර්‍ණය පරිශුද්ධ යැ පර්‍ය්‍යවදාත යැ. ඇවැත්නි, තෙපි කවර ශාස්තෘවක්හු උදෙසා පැවිදි ව? තොපගේ ශාස්තෘ හෝ කවරැ? තෙපි කවරක්හුගේ හෝ දහම් රැස්ව? යි. රජකුමරුවෙනි, මෙසේ කී කලැ උපක ආජීවකහට ගාථායෙන් කීමි:
“මම හැම ත්‍රෛභූමක ධර්‍මය මැඩගෙන සිටියෙමි, හැම චාතුර්භූමක දහම් දත්මි. හැම ත්‍රෛභූමක ධර්‍මයෙහි ක්ලේශලේපනයෙන් උපලිප්ත නො වෙමි, හැම ත්‍රෛභූමක ධර්‍ම හැරපියා සිටිමි. තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි අරමුණු විසින් විමුක්තයෙමි, මෙසේ තමා විසින් මැ හැම චාතුර්භූමක ධර්‍ම දැනගෙන අන් කවරක්හු නම් ගෙන (‘මේ මා ආචාර්‍ය්‍යහ’යි) උදෙසම් ද?”
(ලෝකෝත්තර ධර්‍මයෙහි ලා) මට ඇදුරෙක් නම් නැත, මට සමයෙක් නම් නැත, සදේවකලෝකයෙහි මට සදෘශ පුද්ගලයෙක් ද නැත.
මම වනාහි ලෝකයෙහි අර්‍හත්මි, මම අනුත්තර ශාස්තෘයෙමි, එකලා වැ සිටි සම්‍යක් සම්බුද්ධයෙමි, (සර්‍වක්ලේශාග්නි නිර්‍වාපණ හේතුයෙන්) ශීතිභූතයෙමි, (එයින් මැ) නිර්‍වෘතයෙමි.
දම්සක් පවත්වනුවට කසීපුර යෙමි. අන්‍ධභූත ලෝකයෙහි අමා බෙර වයන්නෙමි”යි.
ඇවැත්නි, තෙපි යම්සේ පිළින කරවු ද, එසෙයින් අනන්තජින වන්නට නිස්සෙහි”යි.
“යම් කෙනෙක් ආස්‍රවක්‍ෂයට පැමිණියාහු ද, මා බඳු ඔහු ඒකාන්තයෙන් ‘ජින’ වෙති, මා විසින් පාපධර්‍මයෝ දිනන ලදහ, එහෙයින් උපකයෙනි, මම ‘ජින’ වෙමි”යි.
රජකුමරුවෙනි, මෙසේ කී කල්හි උපක ආජීවක ‘ඇවැත්නි, එසේත් වියැහෙති” යී කියා හිස සලා සරස්මඟක් ගෙන නික්ම ගියේ යි.
එසඳ රජකුමරුවෙනි, මම අනුක්‍රමයෙන් සැරිසරා යන්නෙම් බරණැස ඉසිපතන නම් මුවළැව්හි පස්වග මහණුන් කරා එළැඹියෙමි. රජකුමරුවෙනි, පස්වග මහණහු දුර දී මැ එන මා දුටහ, දැක අන්‍යෝන්‍ය කතිකාවක් කළහ: “ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතම ප්‍රත්‍යය බාහුල්‍යයට පැමිණියේ ප්‍රධනින් පිරිහුණේ ප්‍රත්‍යය බාහුල්‍යයට පෙරැළුණේ එයි. හේ අභිවාදන නො කටයුත්තේ යැ, දැක හුනස්නෙන් නො නැංගයුත්තේ යැ, ඔවුන් ගේ පාසිවුරු නො පිළිගතයුත්තේ යැ, එතෙකුදු වත් අස්නක් තැබියයුත්තේ යි. ඉදින් රුස්නේ නම් හිඳුනේ යැ”යි. රජකුමරුවෙනි, යම් යම් සෙයෙකින් මම් එළැඹෙම් ද, ඒ ඒ සෙයින් පස්වග මහණහු සිය කතිකායෙහි තර වැ සිටින්නට නො හැකි වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාසිවුරු පිළිගත්හ. ඇතැම් කෙනෙක් අස්නක් පැනවූහ, ඇතැම් කෙනෙක් පා දෝනා දිය එළවා තැබූහ. එතෙකුදු වත් මා නමිනුදු ආවුසො වාදයෙනුදු අමතත්. මෙසේ කී කල්හි රජකුමරුවෙනි, මම පස්වග මහණුන්ට තෙල බස් කීමි: “මහණෙනි, තථාගතයන් නමිනුදු ආවුසෝවාදයෙනුදු නහමක් අමතව. මහණෙනි, තථාගතයෝ රහත්හ, සම්‍යක්සම්බුද්ධයහ. මහණෙනි, කන් නමව, (මා විසින්) අමෘතය ලබන ලද, මම අනුසස්මි, මම දහම් දෙසමි, යම්සේ අනුශාසනා කරනලද නම් එසේ පිළිපදනාහු නොබෝ කලෙකින් මැ යම් අර්‍ත්‍ථයකට කුල පුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සසුන් වඳිත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසාන සඞ්ඛ්‍යාත රහත් බව මෙ අත්බැව්හි මැ තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරව”යි.
රජකුමරුවෙනි, මෙසේ කී කල්හි පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි එවන් (දුෂ්කර) ඊර්‍ය්‍යාපථයෙනුදු එවන් ප්‍රතිපදායෙනුදු එවන් දුෂ්කර ක්‍රියායෙනුදු මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශන විශේෂයකට නො පැමිණියාව, කිම තෙපි දැන් බාහුලික වැ පදහනින් ගිලිහුණහු බාහුල්‍යාවර්‍ත වැ මනුෂ්‍ය ධර්‍මයෙන් මතු ආර්‍ය්‍යභාවයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් අධිගම කරහු දැ”යි. මෙසේ කී කල්හි රජකුමරුවෙනි, මම පස්වග මහණුන්ට තෙල බස් කීමි: “මහණෙනි, තථාගතයෝ බාහුලික නො වෙති, නො ද ප්‍රධානවිභ්‍රාන්තයහ, නො ද බාහුල්‍යාවර්‍තයහ. මහණෙනි, තථාගතයෝ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයහ. මහණෙනි, කන් යොමව, අමෘතය අධිගත යැ, මම අනුශාසන කෙරෙමි, මම් දහම් දෙසමි, යථානුශිෂ්ටය එසේ පිළිපදනාහු නො බෝ කෙලෙකින් මැ යමකට කුල පුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සසුන් වදිත් ද, ඒ අනුත්තර වූ රහත් බව දෘෂ්ටධර්‍මයෙහි මැ තමා විසින් වෙසෙසි දැන පසක් කොට, උපයා වාස කරව”යි. දෙවෙනවට ද රජකුමරුවෙනි, පස්වග මහණහු මට තෙල බස් කීහ: “ඇවැත්නි, තෙපි එවන් ඉරියවුවෙනුදු, එවන් පිළිවෙතිනුදු එවන් දුෂ්කරක්‍රියා යෙනුදු මිනිස්දහමින් මතු අරී බවට සමත් ලොවුතුරුදහමක් අධිගම නො කළහු යැ. කිම් තෙපි දැන් බාහුලික වැ ප්‍රධානවිභ්‍රාන්ත වැ බාහුල්‍යාවර්‍ත වැ මිනිස්දහමින් මතු අරි බවට සමත් ලොවුතුරුදහමක් අධිගම කරවු දැ”යි. දෙවනවට ද රජකුමරුවෙනි, මම පස්වග මහණුන්ට තෙල බස් කීමි: “මහණෙනි, තථාගතයෝ බාහුලික නො වෙති, නො ද ප්‍රධාන විභ්‍රාන්තයහ, නො ද බාහුල්‍යාවර්‍තයහ. මහණෙනි, තථාගතයෝ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයහ, මහණෙනි, කන් නතු කරව, අමෘතය ලබන ලද. මම අනුසස්මි. මම් දහම් දෙසමි, කුලපුත්‍රයෝ යම් අර්‍හත්‍වයක් සඳහා නොබෝ කෙලෙකින් මැ මනා කොට ගෙන් නික්ම සස්නට පැමිණෙත් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය කෙළවර කොට ඇති, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාගේ පර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත් ඵලය අනුශාසනා කළ සැටියෙන් පිළිපදනා තෙපි ඉහාත්මයෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙන එයට පැමිණ වාස කරව”යි. රජකුමරුවෙනි, තුන් වන වට ද පස්වග මහණහු මට තෙල කීහු: “ඇවැත්නි, තෙපි ඒ දුෂ්කර ඊර්‍ය්‍යාපථයෙනුදු ඒ දුෂ්කර ප්‍රතිපදායෙනුදු ඒ දුෂ්කර ක්‍රියාවෙනුදු මනුෂ්‍ය ධර්‍මයෙන් මතුයෙහි වූ ආර්‍ය්‍යභාවයට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයක් නො ලද්දාව. කිම තෙපි දැන් පරිෂ්කාර බාහුල්‍යයට පිළිපන්නාහු ප්‍රධන් වැරෙන් ගිලිහුණාහු ප්‍රත්‍යය බාහුල්‍ය සඳහා වටාලා වැටුණහු මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි වූ ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂය ලබන්නහු දැ”යි. රජකුමරුවෙනි, මෙසේ බුණු කල්හි මම පස්වග මහණුනට තෙල කීමි: “මහණෙනි, තෙපි මෙයින් පෙර මෙබඳු තෙල වාක්‍යභේදය දන්නහු ද. (කළ සේ දන්නහු ද)? මහණෙනි, තථාගතයන් වහන්සේ බාහුලික නො වෙති, ප්‍රධන් වැරින් ගිලිහුණාහු නො වෙති, ප්‍රත්‍යයබාහුල්‍යයට වටාලා වැටුණාහු නො වෙති. මහණෙනි, තථාගතයන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, මහණෙනි, කන් නතු කරව. නිවන් අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනා කළ සේ පිළිපදනා තෙපි නොබෝ කලෙකින් මැ යම් අර්‍හත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත්ද බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත් ඵලය ඉහාත්මයෙහි මැ තමන් විසින් මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරව”යි.
රජකුමරුවෙනි, මම පස්වග මහණුන් හඟවන්නට හැකි වීමි, රජකුමරුවෙනි, මහණුන් දෙදෙනකුට අවවාද කරමි. මහණහු තුන් දෙනෙක් පිඬු පිණිස හැසිරෙත්. මහණහු තුන් දෙනා පිඬු පිණිස හැසිර යම් අහරක් ගෙන එත් ද, එයින් සවග ඇපි යැපෙම්හ. රජකුමරුවෙනි, මහණුන් තුන් දෙනකුට අවවාද කරමි. මහණහු දෙදෙනෙක් පිඬු පිණිස හැසිර යම් අහරක් ගෙන එත් ද, එයින් සවග අපි යැපෙම්හ. එසඳ රජකුමරුවෙනි, පස්වග මහණහු මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු නොබෝ කලෙකින් මැ යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සස්නට වඳිත් ද බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයා වාස කළාහු යැ”යි.
මෙසේ කී කල්හි බෝරජකුමර භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “වහන්ස විනායක වූ තථාගත කෙනකුන් ලබන මහණ කිපමණ කලෙකින් යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කරන්නේ දැ?”යි.
රජකුමරුවෙනි, එහෙයින්ම මෙ කරුණෙහි ලා තා මැ පුළුවුස්මි. යම්සේ තට රුස්නේ වේ ද, එසේ එය පවසව. රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? තෝ හස්ත්‍යාරෝහය නිමිති කොට ඇති අකුසුගැනුම් ශිල්පයෙහි දක්‍ෂයෙමි. රජකුමරුවෙනි ඒ කෙසේ හඟිහි? මෙහි පුරුෂයෙක් එන්නේ යැ: “බෝධිරාජ කුමර හස්ත්‍යාරෝහය වූ අකුසු ගැනුම් ශිල්පය දන්නේ යැ, මම ඔහු හමුයෙහි හස්ත්‍යාරෝහ වූ අකුසුගැනුම් සිප්සතර හික්මෙමි.” කියා යි. හෙ ද සැදැහැ නැති වෙයි, සැදැහැතියහු විසින් යම් පමණ සිප් ලැබියයුතු වේ ද, ඒ නො ලබන්නේ යැ. හෙ ද බහ්වාබාධ වෙයි, අල්පාබාධයක්හු විසින් යම් පමණ සිප් ලැබියයුතු වේ ද, එ ද නො ලබන්නේ යැ. හෙ ද ශඨ මායාවී වෙයි, අශඨ අමායාවීහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ ද නො ලබන්නේ යැ. හෙ ද කුසීත වෙයි, රුකුළු වැර ඇතියහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ ද නො ලබන්නේ යැ. හෙ ද දුෂ්ප්‍රාඥ වෙයි, පැනැතියහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ ද නො ලබන්නේ යැ. රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ තා හමුයෙහි හස්ත්‍යාරෝහ වූ අකුසු ගැනුම් සිප්සතර හික්මෙන්නේ දැ”යි. වහන්ස, එක එක අඟෙකිනුදු සමන්‍වාගත ඒ පුරුෂ මා හමුයෙහි හස්ත්‍යාරෝහය පිණිස වූ අකුසු ගැනුම් සිප්සතර නො හික්මෙන්නේ යැ. පඤ්චාඞ්ගයෙකින් සමන්‍වාගත වූයේ නම් කවර කථා යැ?
රජකුමරුවෙනි ඒ කෙසේ හඟිහි? මෙහි පුරුෂයෙක් එන්නේ යැ: “බෝධිරාජකුමාර හස්ත්‍යාරෝහය පිණිස වූ අකුසු ගැනුම් සිප් දන්නේ යැ, මම ඔහු හමුයෙහි හස්ත්‍යාරෝහය පිණිස වූ අකුසු ගැනුම් සිප් උගන්මි”යි. හෙ ද සැදැහැති වෙයි, සැදැහැතියහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. හෙ ද අල්පාබාධ වෙයි, අල්පාබාධයක්හු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. හෙ ද අසඨ අමායාවී වෙයි, අමායාවී විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. හෙ ද ආරබ්ධවීර්‍ය්‍ය වෙයි, ආරබ්ධර්‍ය්‍යා විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. හෙ ද පැනැති වෙයි, පැනැතියහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. රජකුමරුවෙනි ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ තා හමුයෙහි හස්ත්‍යාරෝහය වූ අකුසු ගන්නා සිප්සතර උගන්නේ වේ දැ?යි. වහන්ස, එක එක අඟෙකිනුදු සමන්‍වාගත ඒ පුරුෂ මා හමුයෙහි හස්ත්‍යාරෝහය පිණිස වූ අකුසු ගැනුම් සිප්සතර උගන්නේ යැ. පසෙඟකින් යුක්ත වූයේ නම් කවර වාදයෙක් ද?
එසෙයින් මැ රජකුමරුවෙනි, ප්‍රධන් වැර ඇති මහණහට අඞ්ග පසෙක් වෙයි. කවර පසෙක යත්: රජකුමරුවෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ මාර්‍ගඥානය හදහයි: “ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණ ධර්‍මයෙන් සමන්‍වාගතයහ, සුන්‍දරගති ඇතියහ, ලෝක දතුවහ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, සිව්සස් අවබෝධ කළහ, භාග්‍යවත්හ”යි. නිදුක් අරෝග වෙයි, ඉතා සිහිල් නො වූ ඉතා උණු නො වූ මධ්‍යස්ථ වූ ප්‍රධන් වැරට සමර්‍ත්‍ථ වූ සම වැ පැසෙන කර්‍මජතේජෝ ධාතුයෙන් සමන්‍වාගත වෙති. යථාභූත ආත්මය බුදුන් කෙරෙහි හෝ විඥ සබ්‍රම්සරුන් කෙරෙහි හෝ පහළ කරන අශඨ අමායාවී වෙයි. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන් ගේ උත්පාදය පිණිස රුකුළු වැර ඇති වෙයි. උදයව්‍යය පිරිසිඳුනට සමත් පිරිසිදු ලොභස්කන්‍ධාදීන් බිඳුනට සමත් මොනොවට දුඃඛක්‍ෂය කරා යන නුවණින් නුවණැති වෙයි. රජකුමරුවෙනි, ප්‍රධන් වැර වඩන මහණහුගේ මේ පඤ්චාඞ්ගයෙන් සමන්‍වාගත මහණ විනායක වූ තථාගතයන් වහන්සේ ලබමින් යම් අර්‍ත්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තමන් විසින් සත්වසෙකින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාස කරන්නේ යැ.
රජකුමරුවෙනි, සප්තවර්‍ෂයෝ තිබෙත්වා, මේ පඤ්ච පධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ ... සවසෙකින් ... පස් වසෙකින් ... සතර වසෙකින් ... තුන් වසෙකින් ... දෙ වසෙකින් ... එක් වසෙකින් ... විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාස කරන්නේ යැ. රජකුමරුවෙනි, එක් වස තිබේවා, මේ පඤ්ච පධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ සත් මසෙකින් ... වාස කරන්නේ යැ. රජකුමරුවෙනි, සප්ත මාසයෝ තිබෙත්වා, මේ පඤ්ච පධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ සමසෙකින් ... පස් මසෙකින් ... සාර මසෙකින් ... තුන් මසෙකින් ... දෙමසෙකින් ... එක් මසෙකින් ... අඩ මසෙකින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාස කරන්නේ යැ.
රජකුමරුවෙනි, අඩමස තිබේවා, මේ පඤ්චපධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ විනායක වූ තථාගතයන් වහන්සේ ලැබෙමින් යම් අර්‍ත්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ මනා කොට ගෙන් නික්ම සස්නට වදිත් ද බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ සත් දවරැයෙකින් තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාස කරන්නේ යි.
රජකුමරුවෙනි, සත් රෑදාවල්හු තිබෙත්වා, මේ පඤ්චපධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ විනායක වූ තථාගතයන් වහන්සේ ලැබෙමින් යම් අර්‍ත්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත් ඵලය දවරෑ සයෙකින් තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාස කරන්නේ යැ, දවරෑ පසෙකින් ... දවරෑ සතරෙකින් ... දවරෑ තුනෙකින් ... දවරෑ දෙකෙකින් ... එක් දවරැයෙකින් තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාස කරන්නේ යි.
රජකුමරුවෙනි, එක් දවරැය තිබේවා, මේ පඤ්චපධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ විනායක වූ තථාගතයන් වහන්සේ ලැබෙමින් සවස අනුශිෂ්ට වැ උදය විශේෂාධිගමය කරන්නේ යැ, උදය අනුසස්නා ලදු වැ සවස විශේෂාධිගමය කරන්නේ යි.
මෙසේ වදාළ කල්හි බෝධිරාජ කුමර භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භගවත්හු ආශ්චර්‍ය්‍යහ, ධර්‍මය ආශ්චර්‍ය්‍ය යැ, ධර්‍මයාගේ ස්වාඛ්‍යාතභාවය ආශ්චර්‍ය්‍ය යි. විශ්මයෙකි. සවස අනුසස්නාලදු වැ උදය විශේෂාධිගම කෙරෙයි, උදය අනුසස්නාලදු වැ සවස විශේෂාධිගම කෙරේ”යයි.
මෙසේ කී කල්හි සඤ්ජිකාපුත් මාණවක බෝධිරාජ කුමරහට තෙල කී: මෙසෙයින් මැ මේ භවත් බෝධිරාජකුමාර තෙමේ “බුදුහු ආශ්චර්‍ය්‍යයහ, ධර්‍මය ආශ්චර්‍ය්‍යයැ, ධර්‍මයාගේ ස්වාඛ්‍යාතභාවය ආශ්චර්‍ය්‍ය යැ”යි. කියයි. වැළි ඒ භවත් ගොයුමාණන් හා ධර්‍මයද බික්සඟන ද සරණ කොට නො යෙති”යි.
සගය සඤ්ජිකාපුත්‍රයෙනි, මෙසේ නහමක් කියව, සගය සඤ්ජිකාපුත්‍රයෙනි, මෙසේ නහමක් කියව. සගය සඤ්ජිකාපුත්‍රයෙනි, මෑණියන් හමුයෙහි දී තෙල අසනලදි. සගය සඤ්ජිකාපුත්‍රයෙනි, එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වාස කෙරෙති. එසඳ ගැබිලි වැ සිටි මා ගේ මව භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන. එකත්පස්වැ හුන් මා ගේ මව භගවත්හට තෙල කිවූ: “වහන්ස, මාගේ කුක්‍ෂිගත යම් කුමරෙක් හෝ කුමරියක් හෝ ඇද්ද, හේ බුදුන් සරණ කොට යෙයි, දහම් සරණ කොට යෙයි, බික්සඟන සරණ කොට යෙයි. භගවත්හු ඔහු අද පටන් කොට ප්‍රාණොපේත සරණගිය, උපාසකයකු කොට ධරත්ව”යි.
සගය සඤ්ජිකාපුත්‍රයෙනි, එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ මේ භග්ගජනපදයෙහි මැ සුංසුමාරගිර නුවර භෙසකලාවන නම් මුවළැව්හි වාස කෙරෙති. එසඳ කිරිමව මා ඇකයෙන් වඩාගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටගතු. එකත්පස් වැ සිටගත් මාගේ උපමාතාව භාග්‍යවතුන් වහන්සේ ට තෙල කිවු යැ: “වහන්ස, මේ බෝධිරාජකුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යෙයි, ධර්‍මය ද සරණ කොට යෙයි, බික්සඟන ද සරණ කොට යෙයි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් ගෙන ඔහු ප්‍රාණෝපේතසරණය ගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.
සගය සඤ්ජිකාපුත්‍රයෙනි, තෙල මම තුන් වන වට ද භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යෙමි, ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් කොට මා දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.
පස් වැනි බෝධිරාජකුමාර සූත්‍ර යි.
2. 4. 6.
අඞ්ගුලිමාල සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල පසේනදි කොසොල් රජහුගේ විජිතයෙහි අඟුල්මල් නම් සොරෙක් ඇත. (හේ) දරුණුය. ලෙහෙ වැකුණු අත් ඇතියේ ය. මෙරමා පැහැරීම්හි හා මැරීම්හි බැස සිටියේය. සතුන් කෙරෙහි කරුණා නැත්තේ ය. උහු විසින් ගමුදු නොගම් කරන ලද. නියම්ගමුදු නො නියම්ගම් කරන ලද. දනවු දු නො දනවු කරන ලදි. හේ මිනිසුන් මර මරා අඟුල්මල් ධරයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස වැඩිසේක. සැවැතෙහි පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැළකිසේක් සෙනසුන් සඟවා තබා අඟුල්මල් සොරු බලා අදන්මඟට පිළිපන් සේක.
ගවයන් රක්නාහු සියුපාවුන් රක්නාහු සීසහන්නාහු ගමන් යන්නාහු අඟුල්මල් සොර සිටුනා අදන්මඟට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ ඒ මඟට නො යා, මහණ එමඟ අඟුල්මල් නම් සොරෙක, කැකුළු ය. ලෙහෙ මුසු අත් ඇත්තේ ය. පැහැරීම් මැරීම් දෙක්හි බැස සිටියේ ය. සතුන් කෙරෙහි කුළුණු නැතියේ ය. උහු විසින් ගම්හු දු නො ගම් කරන ලදහ, නියම්ගම්හුදු නො නියම්ගම් කරන ලදහ, දනවුහුදු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. මහණ, තෙල මගට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ යෙති. ඔහුදු අඟුල්මල් සොරහුගේ අතැ නස්ති”යි. මෙසේ කී කල්හි බුදුහු නො බැණ නැඟී වැඩියෝ.
දෙ වන වට ද ගෙරින් රක්නාහු සියුපාවුන් රක්නාහු සීසහන්නාහු ගමන් යන්නාහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ, තෙල මඟට නො යා. මහණ, තෙල මඟ … අත්හි නසිති” යි. දෙ වන වට ද භාග්‍යවතුන් වහන්සේ නො බැණ නැඟී වැඩියෝ.
තුන් වන වට ද ගොන් රක්නාහු සියුපාවුන් රක්නාහු සහන්නාහු ගමන් යන්නාහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ, තෙල මඟට නො යා. මහණ තෙල මඟෙහි අඟුල්මල් නම් සොරෙක. කැකුළු ය, ලෙහෙ මුසු අත් ඇත්තේ ය, පැහැරීම් මැරීම්හි බැස සිටියේ ය, සතුන් කෙරෙහි දයා නැත්තේ ය. උහු විසින් ගම්හු නො ගම් කරන ලද හ, නියම්ගම්හු නො නියම්ගම් කරන ලදහ, දනවුහු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විදගෙන මාලා කොට ධරයි, මහණ, තෙල මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ යෙති. ඔහු දු අඟුල්මල් සොර අතැ නසිති”යි.