මහරජ, මම (මෙසේ) යම් ධර්‍මනිර්දේශ කෙනෙකුන් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ ධර්‍මනිර්දේශයෝ සතර දෙන වදාරන ලදහ.
භවත් රට්ඨපාලයෝ “ලෝකයා ජරාමරණයන් කරා යෙයි (එයින් මැ) අධ්‍රැව”යයි කියත්, භවත් රට්ඨපාලයෙනි, මෙහි දී තෙල භාෂිතයා ගේ අර්‍ත්‍ථ කෙසේ දැක්කයුතු ද? මහරජ, ඒ කෙසේ හඟිහි? තෝ විසිවස් ඇතියෙහිත් විහි ද? පස්විසිවස් ඇතියෙහිත් විහි ද? හස්තිශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි අශ්වශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි රථශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ධනුශ්ශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ඛඞ්ගශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ඌරුබල ඇතියෙහි බාහුබල ඇතියෙහි සමත් අත්බව ඇතියෙහි සඞ්ග්‍රාමාවචර වූයෙහි විහි ද?
භවත් රට්ඨපාලයෙනි, මම විසිවස් ඇතියෙම් ද පස්විසිවස් ඇතියෙම් ද වීමි. හස්තිශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් අශ්වශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් රථශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ධනුශ්ශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ඛඞ්ගශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ඌරුබල ඇතියෙම් බාහුබල ඇතියෙම් සමත් අත්බව ඇතියෙම් සඞ්ග්‍රාමාවචර වූයෙම් වීමි. භවත් රට්ඨපාලයෙනි, මම කිසි දිනෙක ඍද්ධි ඇතියෙකිමි සිතමි. සියබලය හා සමසමයකු නො දක්මි.
මහරජ, ඒ කෙසේ හඟිහි? එපිරිදි මැ තෝ දැන් ඌරුබල ඇතියෙහි බාහුබල ඇතියෙහි සමත් බව ඇතියෙහි සඞ්ග්‍රාමාවචරයෙහි ද?
භවත් රට්ඨපාලයෙනි, එසේ නො වෙමි. දැන් දිරාගියෙම් වෘද්ධ වූයෙම් මහලු වූයෙම් කල් ගැලවූයෙම් පශ්චිම වයසට පැමිණියෙම් වෙමි. මා ගේ අසූවන විය වෙයි. භවත් රට්ඨපාලයෙනි, මම කිසි දිනෙක මෙහි පා තබමියි අන් තැනෙකැ පා තබමි’ කී යැ.
මහරජ, භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ කරුණ සඳහා “ලෝකයා ජරාමරණය කරා යෙයි, අධ්‍රැව යැ’යි වදාරන ලදී. මම යම් ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගිහිගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද මේ එයට හේතු යි.
ආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ භවත් රට්ඨපාලයෙනි, ඒ භාග්‍යවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්‍යක් සම්බුද්ධයන් විසින් “ලෝකයා ජරාමරණ කරා යෙයි, අධ්‍රැව යැ” යි වදාළ මෙය සුභාශිතයෙක් මැ යැ. භවත් රට්ඨපාලයෙනි, ලෝකයා ජරාමරණ කරා යේ මැ යැ අධ්‍රැව යි.
භවත් රට්ඨපාලයෙනි, යම් සියුරඟ සෙන්හු අප ගේ විපත්හි දී උවදුරු මැඩගෙන වැටෙත් ද, එ බඳු වූ හස්තිසමූහයෝද අශ්වසමූහයෝද රථසමූහයෝ ද පදාති සමූහයෝ ද මේ රජකුලයෙහි ඇත් මැ යැ. භවත් රට්ඨපාලයෝ “ලෝකයා ත්‍රාණ රහිතයැ, වෙත පැමිණ අස්වසන්නට නිසියෙක් නැත්තේ යැ”යි කියති. භවත් රට්ඨපාලයෙනි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කෙසේ දතයුතු වේ ද?
මහරජ, ඒ කෙසේ හඟිහි? තට කිසියම් සිරුරෙහි නිධාන ගත වැ වැටෙන ආබාධයෙක් ඇද්ද?
භවත් රට්ඨපාලයෙනි, මට අනුසයිත වාතාබාධයෙක් ඇත. භවත් රට්ඨපාලයෙනි කිසි දිනෙකැ සගයහළුවෝ ද නෑසහලේ නෑයෝ ද මා වට කොට ගෙන සිටියාහු වෙති, ‘දැන් කෝරව්‍යරජ කලුරිය කෙරෙයි, දැන් කෝරව්‍ය රජ කලුරිය කෙරෙයි” කියා යි.
මහරජ, ඒ කෙසේ හඟිහි? “භවත් මිත්‍රාමාත්‍යයෝ ද නෑ සහලේ නෑයෝ ද එත්වා, මම යම් පරිදි ලඝුතර වේදනාවක් විඳින්නෙම් නම් එපරිද්දෙන් හැමදෙන මේ වේදනාව බෙදාගනුව”යි. ඒ සගයහළුවන් හා නෑසාලේ නෑයන් ලබාගන්නෙහි ද? නොහොත් තෙපි මැ ඒ වේදනාව විඳුනහු දැ?යි.
භවත් රට්ඨපාලයෙනි, මාගේ භවත් මිත්‍රාමාත්‍යයෝ ද නෑසාලේ නෑයෝ ද එත්වා, “යම් පරිදි මම ලඝුතර වේදනාවක් විඳුනෙම් නම් එපරිදි හැම දෙන මේ වේදනා බෙදාගනුව”යි ඒ සගයහළුවන් හා නෑසාලේ නෑයන් ලබා නො ගන්නෙමි, වැළිත් මම මැ ඒ වේදනාව විඳගනිමි’යි කී.
මහරජ, “ලෝකයා ත්‍රාණ රහිත යැ. අනභිස්සර යැ’යි භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් ඒ සම්‍යක් සම්බුද්ධයන්වහන්සේ විසින් මේ කරුණ සඳහා වදාරන ලදී. මම යම් ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම්ද මේ එයට හේතු යි.
භවත් රට්ඨපාලයෙනි, ආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ “ලෝකයා ත්‍රාණ රහිත යැ, අනභිස්සර යැ”යි භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙය මොනොවට වදාරන ලද්දේ මැ යැ.
භවත් රට්ඨපාලයෙනි, මේ රාජ කුලයෙහි භූමිගත වූත් ආකාශගත වූත් ප්‍රභූත හිරණ්‍යසවර්‍ණ ඇත. “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ, හැම හැරපියා යායුතු යැ” යි. භවත් රට්ඨපාලයෝ කියත්. භවත් රට්ඨපාලයෙනි, වැළිත් මේ භාෂිතයා ගේ අර්‍ත්‍ථය කෙසේ දත යුතු වේ දැ? යි.
මහරජ, ඒ කිමැ යි හඟනෙහි ද? යම්සේ තෙපි දැන් පස්කම් ගුණයෙන් යුක්තවැ සමන්‍වාගත වැ ඉඳුරන් පිනවවු ද, මම පරලෙව්හිදු “මෙසෙයින් මැ මම් මේ මැ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්‍වාගත වැ ඉඳුරන් පිනවමි” ලබවු ද? නොහොත් අන්‍යයෝ මේ භෝගය පිළිපදනාහු ද, තෙපි වැළිත් කර්‍මානුරූප වැ යන්නාහු ද? යි.
භවත් රට්ඨපාලයෙනි, යම්සේ මම් දැන් පස්කම් ගුණයෙන් යුක්තවැ සමන්‍වාගත වැ ඉඳුරන් පිනවම් ද, මම පරලෙව්හිදු “මෙසෙයින් මැ මෙ මැ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්‍වාගත වැ ඉඳුරන් පිනවමි” නො ලැබෙමි, වැළිත් අන්හු මේ භොග ලබන්නාහ. මම වැළිත් කම්සේ යන්නෙමි” යි.
මහරජ, ඒ භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සඳහා “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ. සියල්ල හැරපියා යායුතු වන්නේ යැ”යි වදාරන ලද. මම යම් දහමක් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සසුන වන්නෙම් නම් මේ එය යි.
ආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ භවත් රට්ඨපාලයෙනි, ඒ භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් විසින් “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ, සියල්ල හැරපියා යායුතු වන්නේ යැ”යි වදාළ මේ සුභාෂිත මැ යි. භවත් රට්ඨපාලයෙනි, ‘ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ මැ යැ, සියල්ල හැරපියා යායුතු මැ වන්නේ’ යි.
“ලෝකයා ඌනයැ, අතෘප්ත යැ, තෘෂ්ණාවට දාස යැ”යි භවත් රට්ඨපාලයෝ කියති. භවත් රට්ඨපාලයෙනි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කෙසේ දත යුතු වේ දැ?යි.
මහරජ, ඒ කිමැ යි හඟිහි ද? සමෘද්ධ වූ කුරු ජනපදයෙහි ඉසුරු වැ වෙසේ දැ? යි.
එසේ යැ භවත් රට්ඨපාලයෙනි, සමෘද්ධ වූ කුරු ජනපදයෙහි වෙසෙමි’යි.
මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙහි තොප ගේ හැදැහිය හැකි වචන ඇති උපාදේයවචන ඇති පුරුෂයෙක් පෙරදිගින් එන්නේ යැ. හේ තොප කරා එළැඹ මෙසේ කියන්නේ යැ: මහාරාජයෙනි, දන්නේ මැනැවි. මම පෙරදිගින් එන්නෙමි. එහි සමෘද්ධ වූ ත් ඉතා සමෘද්ධ වූ ත් බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් මහත් ජනපදයක් දිටිමි. එහි හස්තිකායයෝ බොහෝහ. අශ්වකායයෝ බොහෝහ. රථකායයෝ බොහෝහ. පදාතිකායයෝ බොහෝහ. එහි ධන ධාන්‍යබොහෝ යැ. එහි කළ නො කළ හිරණ්‍යසවර්‍ණ බොහෝ යැ. එහි ස්ත්‍රීපරිග්‍රහ බොහෝ යැ. තාවන්මාත්‍රබලයෙකින් දනන්නට හැකියැ. මහරජ දිනාගනුව”යි. කිම, ඒ කෙරෙහි දැ?යි.
‘භවත් රට්ඨපාලයෙනි, අපි එ ද දිනාගෙන වසම්හ’යි.
මහරජ, ඒ කෙසේ හඟිහි? මෙහි ශ්‍රාද්ධෙය වචන ඇති විශ්වාසභුමි වූ තොප ගේ පුරුෂයෙක් පැළදිගිනුදු එයි ... උතුරුදිගිනුදු එයි ... දකුණුදිගිනුදු එයි ... පරසමුද්‍රයෙනුදු එයි. හේ තොප කරා එළැඹ මෙසේ බෙණෙයි: දේවයන් වහන්ස, දන්නාව? මම පරසමුද්‍රයෙන් එමි. එහි සමෘද්ධිමත් වූ ද වෘද්ධිමත් වූ ද බොහෝ දෙනා ඇති මනුෂ්‍යගණාකීර්‍ණ මහත් ජනපදයක් දිටිමි. එහි හස්තිසමූහයෝ බොහෝහ. අශ්වසමූහයෝ බොහෝහ. රථසමූහයෝ බොහෝහ. පදාතිසමූහයෝ බොහෝහ. එහි ධනධාන්‍ය බොහෝ යැ. එහි කළ නො කළ හිරණ්‍යසවර්‍ණ බොහෝ යැ. එහි ස්ත්‍රීපරිග්‍රහ බොහෝ යැ. තාවන්මාත්‍රබලයෙකින් දනන්නට හැකියැ. දේවයිනි, දිනාගනුව”යි. කිම, එය කරන්නාව?යි.
‘භවත් රට්ඨපාලයෙනි, අපි එ ද දිනාගෙන වසම්හ’යි.
මහරජ, භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෙන් වහන්සේ විසින් “ලෝකයා ඌන යැ, තෘප්ති රහිත යැ, තෘෂ්ණාදාස යැ” යන මෙ බස මෙ කරුණ සඳහා වදාරන ලද්දේ යැ. මම යම් ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගිහිගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද මේ එයට හේතු යි.
භවත් රට්ඨපාලයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ. භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් “ලෝකයා ඌනයැ, අතෘප්ත යැ, තෘෂ්ණාවට දාස යැ” යන මෙ බස මොනොවට වදාරන ලද්දේ මැ යැ. භවත් රට්ඨපාලයෙනි, ලෝකයා ඌන මැ යැ, තෘප්ත රහිත මැ යැ, තෘෂ්ණාවට දාස මැ යි.
ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ මේ ධර්‍මනිර්දේශ කීහ. මේ කියා නැවැත තදන්‍යතෙල ගාපෙල ද කීහු:
“ලෝකයෙහි ධනසම්පන්න මිනිසුන් දකිමි. ධන ලැබ මෝහ හේතුයෙන් නො දෙති. ලෝභාභිභූත වූවාහු ධනය රැස්කෙරෙති. පුනපුනා කාම සම්පත් බෙහෙවින් පතත්.
රජ සතුරුමුළු මැඩගෙන සාගරාන්ත සහිත පොළෝ දිනා පොළොව පසස්නේ සමුද්‍රයා ගේ මෙතෙර සියරට ඇත ද (එයින්) අතෘප්තරූප වැ සමුද්‍රයාගේ පරතෙර (ද්විපාන්තරය) පතන්නේ යැ.
රජු හා තදන්‍ය බොහෝ මනුෂ්‍යයෝ ද අවිගතතෘෂ්ණ වැ මරණයට යෙත්. අපරිපූර්‍ණ මනෝරථ ඇති වැ මැ දේහය පියත්. මෙලොවැ වස්තුකාමයෙහි තෘප්තියෙක් නම් නැත.
ඥාතීහු කෙහෙ විසුරුවාගෙන ඔහු ආහ්වාන කෙරෙති. අහෝ අපගේ නෑයෝ ඒකාන්තයෙන් නො මැරෙන්නාහු වෙත්ව’යි ද කියති. වස්ත්‍රයෙකින් පොරෝනාලද ඔහු ගෙන් බැහැර කොට චිතකයට නගා ඉක්බිති දවත්.
හේ භෝගයන් හැරපියා එක් මැ වස්ත්‍රයෙකින් යුතු වැ හුලින් පෙළනුලැබෙමින් දැවෙයි. මියනුවහට මෙලොවැ ඥාතීහු මිත්‍රයෝ නොහොත් යහළුවෝ ත්‍රාණ නො වෙත්.
ඔහුගේ ධනය දායාදයෝ ගෙන යති. සත්ත්‍ව වැළිත් කර්‍මානුරූප වැ යෙයි. කිසි ධනයක් මිය යනුවහු පසුපස නො එයි. පුත්‍රයෝ ද භාර්‍ය්‍යාවෝ ද ධනය ද රට ද නො එත්.
ධන හේතුයෙන් යම් දීර්‍ඝායුෂ ලබා ද ඒ ධනයෙන් ජරාව නො ද නස්නේයැ. බුද්ධාදී ධීරයෝ අල්ප වූ තෙල ජීවිතය පෙරළෙන සැහැවි ඇති (එහෙයින් මැ) අශාශ්වතයක් කොට වදාරත්.
ආඪ්‍යයෝ ද දරිද්‍රයෝ ද අනිෂ්ට මරණසපර්‍ශයට පැමිණෙත්. බාලයා ද ධීරයා ද එසෙයින් මැ පහළේ වෙයි. (වෙසෙස කිමෙක යත්:) බාලයා වනාහි බාලභාවයෙන් හිංසිත වැ හෝනේ යැ. අනිෂ්ටසපර්‍ශයෙන් ස්පර්‍ශ කරන ලද ධීරයා වනාහි නොසැලෙන්නේ යි.
මෙලොව යම් ප්‍රඥායෙකින් ලෝකාන්ත සඞ්ඛ්‍යාත නිර්‍වාණය ලබාද එහෙයින් ධනයට වඩා ප්‍රඥාව මැ උතුම් වෙයි. අව්‍යවසිත (අරහත්‍වප්‍රාප්තියෙන් සසර අවසන් නො කළ) බැවින් මෝහ හේතුයෙන් කුදුමහත් භවයෙහි පව්කම් කෙරෙත්.
හේ පුනපුනා සසරට පැමිණ මාතෘගර්‍භය කරා ද පරලොව කරා ද එළැඹෙයි. ඔහු ගේ ක්‍රියා හදහන මඳනුවණැත්තේ මාතෘගර්‍භය කරා ද පරලොව කරා ද එළැඹෙයි.
(සන්‍ධිච්ඡේද සඞ්ඛ්‍යාත) පාපධර්‍ම ඇති සොර තෙම යම්සේ සන්‍ධිමුඛයෙහි දී ගන්නා ලද්දේ ස්වකීය කර්‍ම හේතුයෙන් පෙළනු ලැබේ ද, එසෙයින් මැ පාපස්වභාව ඇති ප්‍රජාව මියැ පරලෙව්හිදී සියකම් හෙයින් පෙළනු ලැබෙයි.
යම් හෙයකින් වස්තුකාමයෙන් විසිතුරු වූවාහු මධුර වූවාහු (පුහුදුනට) මනරම් වූවාහු විවිධස්වරූපයෙන් සිත අළලත් ද, එහෙයින් මහරජ මම කාමගුණයෙහි ආදීනව දැක පැවිදි වූයෙමි.
තරුණ වූ ද වෘද්ධ වූ ද සත්ත්‍වයෝ ශරීරභේදයෙන් වෘක්‍ෂයන් ගේ ඵල සෙයින් (දිවියෙන්) ගිළිහෙති. මහරජ, මෙසේත් දැක පැවිදි වීමි. නෛර්‍ය්‍යාණික වූ ශ්‍රමණභාවය මැ උත්තරීතර වේ” යයි.
දෙ වැනි රට්ඨපාල සූත්‍ර යි.
2. 4. 3.
මඛාදේව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මියුලුනුවර නිසා මඛාදේව නම් අඹඋයන්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා පියෙසෙක්හි සිනා පහළ කළ සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල සිත් වී: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? නො කරුණෙහි තථාගතයෝ සිනා පහළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සිවුරු එකස් කොට පෙරවැබුදුන් දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවත්නට තෙල බස් සැල කොළෝ: “භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අකාරණයෙහි තථාගතයෝ සිනා පාළ නො කෙරෙති”යි.
ආනන්‍දය, පෙර වූ දැයක් කියමි: මෙ මැ මිථිලායෙහි ධාර්මික වූ ධර්‍මරාජන් වූ මඛාදේව නම් රජ කෙනෙක් වූහ. (දශකුශල කර්‍මපථ) ධර්‍මයෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවස් ද එළැඹෙයි.
එකල්හි ආනන්‍දය, මඛාදේව රජ බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී ය: “සගය කපුව, යම් දිනෙකැ මා හිස නර උපදනේ වේ ද, එසඳ මට සැල කරව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපු “දේවයෙනි, එසේ යැ”යි මඛාදේව රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපු වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේව රජුගේ හිසැ උපන් නර දිටී. දැක මඛාදේව රජුට තෙල කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති”යි. “සගය කපුව, එ කරුණින් ඒ නර මොනොවට හඬුයෙන් උදුරා මා ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි, එසේ යැ”යි. මඛාදේව රජුට පිළිවදන් දී ඒ පලිතයන් මොනොවට අඬුයෙන් උදුරා මඛාදේව රජු ගේ ඇඳිලියෙහි තැබී.
ආනන්‍දය, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් නර පැනෙයි, මා විසින් මානුෂකාමයෝ වළඳනලදහ, දිව්‍යකාම සොයන්නට කල් වෙයි. පුතැ කුමරුවෙනි, තෙපි එව, මේ රජය පිළිපදුව, මම වනාහි කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙමි.
පුතැ කුමරුවෙනි, ඒ කරුණින් මැ තෙපි දු යම් දිනෙකැ හිසෙහි උපන් නර දක්නහු ද, එසඳ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි ලා සමනුශාසනා කොට කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙව, මා විසින් මේ කලණ වැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව. තෙපි මා ගේ අන්තිම පුරුෂ නො වව. පුතැ කුමරුවෙනි, යම් පුරුෂයුගයක් ඇති විට මෙ බඳු කලණ වට සිඳී යේ ද, හේ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. පුතැ කුමරුවෙනි, එහෙයින් මම තොපට මෙසේ කියමි: මා විසින් මේ කලණවැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව”යි.
ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු රජයෙහි ලා සමනුශාසනා කොට මේ මුවදෙව් අඹවෙනෙහි මැ කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම පැවිද්දට වන. හෙ මෙත්සඟිය සිතින් එක් දිගක් පතුරුවා ගෙන විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී.
ආනන්‍දයෙනි, මඛාදේව රජ සූවාසුදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු මේ මඛාදේව අඹවෙනෙහි මැ ගෙන් නික්ම ඍෂි ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේ බඹසර පිරී. හෙ සතර බඹවෙහෙර හවා කාබුන් මරණින් මතුයෙහි බඹලෝ කරා ගියේ වී.
ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් දිනෙකැ මා හිසෙහි පලිතයෝ උපදිත් ද, එසඳ මට කියව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි එසේ යැ”යි මඛාදේවපුත්‍ර රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපුවා බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේවපුත්‍ර රජුගේ හිසෙහි පහළ වූ නරකෙස් දිටී. දැක මඛාදේවපුත්‍ර රාජයාහට තෙල බස් කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි හටගත් පලිතයෝ පැනෙති”යි කී. “සගය කපුව, එහෙයින් ඒ පලිත මනාකොට අඬුවෙන් උදුරා මා ගේ කරපුටයෙහි තබව”යි. ආනන්‍දයෙනි, ‘දේවයෙනි, එසේ යැ’යි කපුවා මඛාදේවපුත්‍ර රාජයාහට පිළිවදන් දී ඒ නර මනාකොට අඬුවෙන් උදුරා මඛාදේවපුත්‍ර රජුගේ කරපුටයෙහි තැබී.
ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් කපුවාට ගම්වරයක් දී දෙටුපුත්කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති, මා විසින් වනාහි මානුෂකාමයෝ වළඳන ලදහ. දිව්‍යකාම සොයන්නට කලි. එව දරුව කුමාරයෙනි, තෙපි මේ රජය පිළිගනුව. මම වැළිත් කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස් පැවිද්දට වදනෙමි. එසේ වී නම් පුතැ කුමරුවෙනි, යම් කලෙකැ තෙපි දු හිසෙහි පලිතයෝ දක්නවු ද, එකල්හි කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිද්දට වදුව. මා විසින් තබන ලද මේ කලණවැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව. දරුව කුමාරයෙනි, යම් පුරුෂ යුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ ඔවුන් ගේ අන්තිමපුරුෂ වෙයි. එහෙයින් පුතැ කුමරුවෙනි, තොපට මම මෙසේ කියමි: “මා විසින් තබන ලද මේ කලණ වැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව”යි.
ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු ගේ පුත්‍ර කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රාජ්‍යයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන. හෙ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා විසී. එසේ දෙවන දිග යැ එසේ තුන්වන දිග යැ එසේ සතර වන දිග යැ’යි මෙසෙයින් උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග යැ එසේ තුන්වන දිග යැ එසේ සතර වන දිග යැ යි මෙසෙයින් උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් ස්පර්‍ශ කොට විසී. ආනන්‍දයෙනි, වැළිත් මුවදෙව් රජු පුත් සූවාසුදහසක් හවුරුදු කුමරකෙළි කෙළියේ යැ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු මෙ මැ මුවදෙව් අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වන්නේ බඹසර සැරි. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියේ යි.
තවද ආනන්‍දයෙනි, ඒ මඛාදේව රජු ගේ දරුමුනුබුරු පරපුරෙහි සූවාසුදහසක් ක්‍ෂිත්‍රියයෝ මෙ මැ මඛාදේව අඹවනයෙහි කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන්හ. ඔහු මෙත් සහගිය සිතින් එක් දිගක් අරමුණු කොට විසූහ. එසේ දෙවන දිග යැ එසේ තුන් වන දිග යැ එසේ සතර වන දිග යැ’යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් අරමුණු කොට විසූහ. කරුණාසහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසූහ. එසේ
දෙ වන දිග යැ එසේ තුන් වන දිග යැ එසේ සතරවන දිග යැ’යි මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට විසූහ. ඔහු සූවාසුදහසක් හවුරුදු කුමාරකෙළි කෙළියහ, සූවාසුදහසක් හවුරුදු යුවරජය කළහ. සූවාසුදහසක් හවුරුදු මහරජය කළහ. සූවාසුදහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු බඹසර සැරූහ. ඔහු සියුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියහ.
ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමි එ රජුන්ගේ පැසුළුරජ වී. දහමෙහි සිටි මහරජ බමුණු ගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසු දු වෙසෙයි.
ආනන්‍දයෙනි, භූතපූර්‍වයක් කියමි: සුදම්සබයෙහි රැස් වැ හුන් තව්තිසාවැසි දෙවියන් කෙරෙහි මේ අතුරු කථාව උපන: “භවත්නි, විදේහයනට ඒකාන්ත ලාභයෙක, භවත්නි, විදේහයනට ඒකාන්ත මනා ලාභයෙක. යම් කෙනකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ විදේහයනට ඒකාන්ත ලාභයෙකැ”යි.
ඉක්බිති ආනන්‍දයෙනි, සක්දෙවිඳු තව්තිසැවැසි දෙවියන් ඇමැති: “නිදුකාණෙනි තෙපි අප ගේ නිමිරජු දක්නට කැමැතියවු දැ”යි. එසමයෙහි වනාහි නිමිරජ එ පණුරැසි පොහෝ දවස්හි හිස් සෝධා නහා පෙහෙවස් සමාදන් වැ මතුමහල්තලයට වැද හුන්නේ වෙයි. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේ ද, දික් කළ අතක් හෝ වක් කරන්නේ ද, එසෙයින් මැ තව්තිසාදෙවියන් කෙරෙහි අතුරුදහන් වූයේ නිමිරජ පෙරට පහළ වී. ඉක්බිති ආනන්‍දයෙනි, සක්දෙවිඳු නිමිරජහට තෙල බස් කී: “මහරජ, තොපට ලාභයෙක, මහරජ, තොපට මනා ලාභයෙකි මහරජ, තව්තිසැවැසි දෙවියෝ සුදම්සබයෙහි තොප ගේ ගුණකීර්‍තනය කෙරෙමින් හුන්හ: “භවත්නි, විදේහයනට ඒකාන්ත ලාභයෙක, විදේහයනට ඒකාන්ත මනා ලාභයෙක, යම් කෙනෙකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනව්වැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ වේදේහයනට ඒකාන්ත ලාභයෙකැ’යි ගුණ කීර්‍තනය කෙරෙමින් හුන්හ. මහරජ, තව්තිසාවැසි දෙවියෝ තොප දක්නා කැමැතියහ. මහරජ, තොපට මම දහසක් අසුන් යෙදූ ආජන්‍ය රථයක් එවන්නෙමි. මහරජ, නො බා දිව්‍යයානයට නැගෙව”යි කී.
ආනන්‍දයෙනි, නිමිරජ තුෂ්ණීම්භාවයෙන් ඉවසී. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු නිමිරජු ගේ අධිවාසන දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේ ද දික් කළ අතක් හෝ වක් කරන්නේ ද, එසෙයින් මැ නිමිරජු හමුයෙහි අතුරුදහන් වූයේ තව්තිසැ දෙවියන් කෙරෙහි පහළ වී.
එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු මාතලී රියැදුරු ඇමැතී: “සගය මාතලී, එව තෙපි දහසක් අසුන් යෙදූ ආජන්‍ය රථයක් සදා ගෙන නිමිරජු කරා එළැඹ මෙසේ කියව: “මහරජ, මේ දහසක් අසුන් යෙදූ ආජන්‍යරථය තොපට සක් දෙවිඳු විසින් එවන ලද. මහරජ, නො බා දිව්‍යයානයට නැඟෙව”යි. ආනන්‍දයෙනි, මාතලී සඞ්ග්‍රාහක ‘තොපට යහපතෙකි දේවයෙනි’යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා දහසක් අසුන් යෙදූ ආජන්‍යරථයක් සාදාගෙන නිමිරජු කරා එළැඹ තෙල බස් කී: “මහරජ, මේ දහසක් අසුන් යෙදූ ආජන්‍යරථය ශක්‍රදේවේන්‍ද්‍ර විසින් තොපට එවන ලද, මහරජ, නො බා දිව්‍යයානයට නැඟෙව. තවද මහරජ, “යම් මඟෙක්හි හෝ පාපකර්‍ම ඇත්තාහු පාපකර්‍මයන් ගේ විපාක විඳිත් ද, යම් මඟෙක්හි හෝ කල්‍යාණකර්‍ම ඇත්තාහු කල්‍යාණකර්‍මයන් ගේ විපාක විඳිත් ද, ඒ කවර මඟෙකින් තොප ගෙන යෙම් දැ”යි ‘මාතලිය, මා දෙමඟින් මැ ගෙන යව’යි. ආනන්‍දයෙනි, මාතලී රියැදුරු නිමිරජු සුදම්සබයට පැමිණවී. ආනන්‍දයෙනි, සක් දෙවිඳු නිමිරජු දුරින් මැ එන්නා දිටී. දැක නිමිරජුට තෙල බස් කී:”
“එන්නේ යැ මහරජ, ස්වාගත යැ මහරජ, මහරජ තව්තිසා වැසි දෙවියෝ තොප ගේ ගුණ කීර්‍තනය කෙරෙමින් හුන්හ: “භවත්නි විදේහරටවැසියනට ඒකාන්ත ලාභයෙක, භවත්නි, විදේහරටවැසියනට ඒකාන්ත මනා ලාභයෙක, යම් කෙනෙකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනව්වැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ විදේහරටවැසියනට ඒකාන්ත ලාභයෙකැ”යි. මහරජ, තව්තිසා වැසි දෙවියෝ තොප දක්නා කැමැතියහ. මහරජ දෙවියන් කෙරෙහි දේවානුභාවයෙන් සිත් අලව”යි. කම් නැත නිදුකාණෙනි, එහි මියුලුනුවරට මැ මා පෙරළා පමුණුවාවා. එහි මම් බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙන්නෙමි. තුදුස්වක්හි හා පසළොස්වක්හි හා අටවක්හි හා පෙහෙවසුදු වෙසෙමි”යි. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු මාතලී රියැදුරු ඇමැතී: “සගය මාතලී එව. තෙපි අසුන්දහසක් යෙදූ ආජන්‍යරථයක් සදාගෙන නිමිරජු එ මිනිස්ලොව්හි මියුලුනුවරට මැ ඇරලව”යි. ආනන්‍දයෙනි, මාතලී සඞ්ග්‍රාහක ‘යහපතෙකි තොපට දේවයෙනි’යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා අසුන් දහසක් යෙදූ ආජන්‍යරථයක් යොදාගෙන නිමිරජු එ මිනිස්ලොව මියුලු නුවරට මැ ඇරැලී.
ආනන්‍දයෙනි, එහි වූකලි නිමිරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැස්සන් කෙරෙහි දු දනවුවැස්සන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි හා පසළොස්වක්හි හා අටවක්හි හා පෙහෙවසදු වෙසෙයි. එසඳ ආනන්‍දයෙනි, නිමිරජ බොහෝ වර්‍ෂයන් බොහෝ වර්‍ෂශතයන් බොහෝ වර්‍ෂසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් කලෙකැ මා ගේ හිසෙහි උපන් පලිතයෝ දක්නෙහි ද, එකල්හි මට සැල කරව”යි, ආනන්‍දයෙනි, කපු ‘එසේ යැ දේවයෙනි’යි නිමිරජහට පිළිවදන් ඇස්වී. ආනන්‍දයෙනි, කපුවා බොහෝ වර්‍ෂයන් බොහෝ වර්‍ෂශතයන් බොහෝ වර්‍ෂසහස්‍රයන් ඇවෑමෙන් නිමිරජු ගේ සිරසෙහි උපන් පාලිතයන් දිටි, දැක නිමිරජහට තෙල බස් කී: “දේවයන්ට දේවදූතයෝ පහළ වූහ, සිරසෙහි උපන් පලිතයෝ පැනෙති”යි, එසේ වී නම් සගය කපුව,
ඒ පලිතයන් මොනොවට හඬුයෙන් උදුරා මා ගේ ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, කපු ‘එසේ යැ දේවයෙනි’ යි නිමි රජුට පිළිවදන් අස්වා ඒ පලිතයන් මනාකොට හඬුයෙන් උදුරාගෙන නිමිරජු ගේ කරපුටයෙහි තැබී. එසඳ ආනන්‍දයෙනි, නිමිරජ කපුවාට ගම්වර දී දෙටුපුත්කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති, මා විසින් මානුෂකාමයෝ වළඳන ලදහ. දැන් දිව්‍යකාම පිරියෙස්නට කලි. දරුව කුමාරයෙනි, එව තෙපි මේ රජය පිළිගනුව, මම වැළිත් කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම අනාගර තවුස්පැවිදි වදනෙමි. එසේ වී නම් පුතැ කුමරුවෙනි, යම් දවසෙකැ තෙපි දු සිරසෙහි පලිතයන් දක්නවු නම් එසඳ කපුහට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වදුව. මා විසින් තබනලද මේ කලණවැට පවත්වව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව. පුතැ කුමාරුවෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ උන් ගේ අන්තිම පුරුෂ වෙයි, එහෙයින් පුතැ කුමරුවෙනි, මම තොපට මෙසේ කියමි: “මා විසින් තබන ලද මේ කලණවැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව”යි.
ඉක්බිති ආනන්‍දයෙනි, නිමිරජ කපුහට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙහෙරැවුළු බහා කහවත් හැඳපෙරෙව ගෙන් නික්ම තවුස් පැවිදි වී. හෙ මෙත් සහගිය සිතින් එක් දසක් අරමුණු කොට විසී. එසේ දෙවන දස යැ, එසේ තුන්වන දස යැ, එසේ සතරවන දස යැ යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතා සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දසක් අරමුණු කොට විසී. එසේ දෙ වන දස යැ එසේ තුන් වන දස යැ එසේ සතර වන දස යැ යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙළේ යි.
ආනන්‍දයෙනි, නිමිරජ වූකලි සුවාසූදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ යැ. සුවාසූදහසක් හවුරුදු යුවරජය කෙළේය. සුවාසූදහසක් හවුරුදු මහරජය කෙළේය. සුවාසූ දහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වැ බඹසර සැරී. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලෝ කරා ගියේ යි.
තවද ආනන්‍දයෙනි, නිමිරජහට කලාරජනක නම් පුතෙක් වී. හේ ගිහිගෙන් නික්ම තවුස්පැවිදි නො වී, හෙ එ කලණවැට සින්දේ යැ, හෙ උන් ගේ අන්තිම පුරුෂ වී. ආනන්‍දයෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙයි:
“එසමයෙහි යමෙක් එ කලණවැට තැබී ද, එ මඛාදේව රජ අනෙකෙක් වී යැ”යි. ආනන්‍දයෙනි, තෙල මෙසේ නො දැක්කැ යුතු යැ. මම එසමයෙහි මඛාදේව රජ වීමි. මම් එ කලණවැට තැබීමි. මා විසින් තබන ලද එ කලණවැට පශ්චිම ජනතාව පැවැත්වී. ආනන්‍දයෙනි, එ කලණවැට වනාහි නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස නො පවතී, බඹලොව උපත පිණිස පමණක් මැ පවති.
ආනන්‍දයෙනි, මෙ කල මා විසින් තබන ලද මේ කලණවැට ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. ආනන්‍දයෙනි, මෙකලැ මා විසින් තබන ලද කවර නම් කලණවැටෙක් ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී ද යත්: මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. එ කිසේ යැ යත්: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග් ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. ආනන්‍දයෙනි, මෙකල්හි මා විසින් තබන ලද මෙ කලණවැට ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. එහෙයින් මැ ආනන්‍දයෙනි, මම් මෙසේ කියමි: “මා විසින් තැබූ මේ කලණ වැට පවත්වවු, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂයෝ වව. ආනන්‍දයෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. එහෙයින් ආනන්‍දයෙනි, මම තොපට මෙසේ කියමි: “මා විසින් තබන ලද මෙ කලණවැට පවත්වවු, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂයෝ වව”යි.
බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනඳ තෙරණුවෝ භාග්‍යවතුන්ගේ භාෂිතය අභිනන්‍දනය කළහ’යි.
තුන් වැනි මඛාදේව සූත්‍ර යි.
2. 4. 4.
මධුර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ මධුරා පුර ගුන්‍දාවනයෙහි වැඩ වෙසෙති. අවන්තිපුත්‍ර මධුරා පුර වැසි රජ මෙසේ ඇසී: “භවත්නි, ශ්‍රමණ කෘත්‍යායන තෙරණුවෝ මධුරා පුර ගුන්‍දාවනයෙහි වැඩ වෙසෙති. ඒ භවත් කාත්‍යායන තෙරණුවන් ගේ මෙවන් කල්‍යාණකීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ යැ: (කාත්‍යායන තෙරණුවෝ) පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැතියහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථිහ, කලණපිළිබහන් ඇතියහ, වෘද්ධ ද අර්‍හත් ද වෙති. එබඳු රහතුන් ගේ දර්‍ශනය මනා මැ නු”යි ඇසී යැ, ඉක්බිති අවන්තිපුත්‍ර, මධුරා පුර වැසි රජ භද්‍ර වූ භද්‍ර වූ යානයන් යොදවා භද්‍රයානයකට නැඟී භද්‍ර වූ භද්‍ර වූ යානයෙන් යුතු වැ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් දක්නට මහත් වූ රාජානුභාවයෙන් යුතු වැ මධුර පුරයෙන් නික්ම ගියේ යැ. යානභුමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් හා සමග සතුටු වී. සම්මෝදයට නිසි කාලාන්තරයෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අවන්තිපුත්‍ර මධුරා පුර වැසි රජ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන්ට තෙල බස් කී: භවත් කාත්‍යායනයෙනි, බමුණෝ මෙසේ කීහු: “බමුණු මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ, බමුණු මැ ශුක්ලවර්‍ණ යැ, තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යැ, බමුණුහු මැ ශුද්ධ වෙති, නො බමුණුහු ශුද්ධ නො වෙති, බමුණුහු මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එයින් මැ) බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. මෙහි ලා භවත් කාත්‍යායනයෝ කුමක් කියති හො’යි? මහරජ, බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ, බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ, තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යැ, බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති, අබ්‍රාහ්මණයෝ ශුද්ධ නො වෙති, බ්‍රාහ්මණයෝ මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එයින් මැ) බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ” යනු ලෝකයෙහි තෙලෙ ඝොෂමාත්‍රයෙක් මැ යැ. මහරජ, “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ.” යන තෙල බස් ලෝකයෙහි යම් පරිදි ව්‍යවහාරමාත්‍රයෙක් මැ වේ ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු වේ.
මහරජ, ඒ කෙසේ හඟිහි? කැත්කුල උපන් රජක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදියෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඓශ්චර්‍ය්‍යසම්පන්නයාහට ක්‍ෂත්‍රියයා ද කැලැ මැ නැඟී සිටිනසුලු වූයේ පසු වැ හෝනාසුලු වූයේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වේ ද? ඒ ඓශ්චර්‍ය්‍ය සම්පන්නයාහට බමුණු ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඓශ්චර්‍ය්‍යසම්පන්නයාහට වෛශ්‍යයා ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඓශ්චර්‍ය්‍යසම්පන්නයාහට ශුද්‍රයා ද කැල මැ නැඟී සිටිනසුලු වූයේ පැසුළු හෝනාසුලු වූයේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මනවඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද?
භවත් කාත්‍යායනයෙනි, ක්‍ෂත්‍රියයක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මනවඩන සේ හැසිරෙනුයේ පිය බස් බණනුයේ වෙයි. ඒ ඉසුරුමත්හට බ්‍රාහ්මණයා ද ... පිය බස් බණනුයේ වෙයි. ඒ ඉසුරුමත්හට වෛශ්‍යයා ද ... පිය බස් බණනුයේ වෙයි, ඒ ඉසුරුමත්හට ශුද්‍රයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ’යි පිළිවිස කී සේ අසා කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වෙයි.
මහරජ, ඒ කෙසේ හඟිහි? බමුණක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඉසුරුමත්හට බමුණුත් පළමු මැ නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වේ ද? ඒ ඉසුරුමත්හට වෛශ්‍යයා ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඉසුරුමත්හට ශුද්‍රයා ද ... ප්‍රිය වාදී වේ ද? ඒ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද පළමු මැ නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද?
භවත් කාත්‍යායනයෙනි, ඉදින් බමුණක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදීයෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් එ ඉසුරුමත්හට බමුණු ත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වෙයි. එ ඉසුරුමත්හට වෛශ්‍ය ද ... එ ඉසුරුමත් හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ ප්‍රියබස් බණනුයේ වෙයි.
මහරජ, ඒ කෙසේ හඟිහි ද? වෛශ්‍යක්හට ද ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම්, එ ඉසුරුමත්හට වෛශ්‍යයාත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද? ඒ ඉසුරුමත්හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණ ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ පියබස් බණනුයේ වේ ද?
භවත් කාත්‍යායනයෙනි, වෛශ්‍යයක්හට ත් ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදියෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඓශ්චර්‍ය්‍යවත්හට වෛශ්‍යයා ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ ප්‍රිය බස් බණනුයේ වෙයි. එ ඉසුරුමත්හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රිය ද ... එ ඉසුරුමත්හට බමුණු ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ යි.
මහරජ, ඒ කෙසේ හඟිහි ද? ශුද්‍රහටත් ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධ වේ නම්, එ ඉසුරුමත්හට ශුද්‍රයාත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වෙයි, එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයාත් ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණයාත් ... එ ඉසුරුමත්හට වෛශ්‍යයා ත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වේ ද?
භවත් කාත්‍යායනයෙනි, ඉදින් ශුද්‍රහටත් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධ වේ නම්, එ ඉසුරුමත්හට ශුද්‍රයා ත් පළමු නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වෙයි. එ ඉසුරුමත් හට ක්‍ෂත්‍රියයා ත් ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණයා ත් ... එ ඉසුරුමත්හට වෛශ්‍යයාත් පළමු නැඟී සිටිනුයේ පැසුළු හෝනේ ‘කුම් කෙරෙම්’ දැයි පිළිවිස අසා කී සේ කරනුයේ යි.
මහරජ, ඒ කිමැ’යි හඟිහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, හෝ නො වෙති හෝ යැ? තොපට මෙසේ කෙසේ හෝ වේ දැ?යි.
‘භවත් කාත්‍යායනයෙනි, එකත්නෙන් මැ මෙසේ වත් මෙ සතර වර්‍ණයෝ සමසම වෙති. මෙහි ලා මොවුන්ගේ කිසි වෙනසක් නො දක්මි’යි.
මහරජ, “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ” යන තෙල බස් ලෝකයෙහි යම් පරිදි ව්‍යවහාරමාත්‍රයක් මැ වේ ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු.
මහරජ, ඒ කිමැ’යි හඟී ද? මෙලොවැ ක්‍ෂත්‍රියයෙක් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ කාමයෙහි මිසහසර ඇතියේ මුසවා බණනුයේ පිසුණුබස් ඇතියේ පරොස්බස් ඇතියේ හිස්බස් තෙපලනුයේ අභිධ්‍යා බහුල වූයේ මෙරමා නසන සිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, හෙ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරෑහි උපදනේ හෝ නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ හැඟෙනු වේ දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රිය තෙමේත් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ කාමයෙහි මිසහසර ඇතියේ මුසා බණනුයේ පිසුණුබස් ඇතියේ පරොස්බස් ඇතියේ සිස්බස් ඇතියේ අභිධ්‍යා බහුල වූයේ ව්‍යාපාදසිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනේ යැ මට මෙහි ලා මෙසේ හැඟෙනුයේ වෙයි. තවද තෙල කරුණ මා විසින් මෙසේ රහතුන් වෙත ද අසන ලදැ’යි.
සාධු සාධු මහරජ, මහරජාණෙනි, තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තෙල කරුණ තොප විසින් රහතුන් වෙත අසන ලද්දේ ද මැනැවැ. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ බමුණෙක් ... මෙලොවැ වෛශ්‍යයෙක් මෙලොවැ ශුද්‍රයෙක් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ ... මිසදිටු ඇතියේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදනේ හෝ වේ ද? නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ හැඟෙනුයේ වේ දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ශුද්‍ර තෙමේ ත් පණිවා කරනුයේ පරද්‍රව්‍ය ගන්නේ ... මිථ්‍යාදෘෂ්ටි ඇතියේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට වදනේ යැ. මට මෙහි ලා මෙසේ සිත් වෙයි, තවද මා විසින් මෙසේ තෙල කරුණ රහතුන් හමුයෙහි ද අසන ලදැ’යි.
සාධු සාධු ! මහරජ, මහරජ, තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තෙල කරුණ තොප විසින් රහතුන් වෙත අසන ලද්දේ ත් මනා මැ යැ. මහරජ, එය කිමැයි හඟනෙහි ද? මෙසේ ඇති කල්හි මෙ සතර වර්‍ණයෝ සමසම වෙත් ද? නො වෙතී හො’යි? මෙහි ලා තොපට කෙසේ හෝ වේ දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති. මෙහි මොවුන් ගේ කිසි නානාකරණයක් (වෙනසක්) නො දක්මි’යි.
මහරජ, ‘බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨ වර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ’ යනු ලෝකයෙහි ඝෝෂාමාත්‍රයෙක් මැ යැ යන මෙ කරුණ මේ පර්‍ය්‍යායෙනුදු දතයුතු.
මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ ක්‍ෂත්‍රියයෙක් ප්‍රාණවධයෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ කාමයෙහි මිසහසරින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ පිසුණුබසින් වෙන් වූයේ පරොස්බසින් වෙන් වූයේ සිස්බසින් වෙන් වූයේ අභිධ්‍යා බහුල නො වූයේ අව්‍යාපාද සිත් ඇතියේ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනේ වේ ද? නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ වේ දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රිය තෙමේත් ප්‍රාණවධයෙන් වෙන් වූයේ පරද්‍රව්‍ය ගැන්මෙන් වෙන් වූයේ කාමමිථ්‍යාචාරයෙන් වෙන් වූයේ මෘෂාවාදයෙන් වෙන් වූයේ පිශුනවචනයෙන් වෙන් වූයේ පරුෂවචනයෙන් වෙන් වූයේ සම්ඵප්‍රලාපයෙන් වෙන් වූයේ අභිධ්‍යාබහුල නො වූයේ ව්‍යාපාද සිත් නැත්තේ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වේ ද, හේ කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ යැ. මට මෙසේ සිත් වෙයි. මා විසින් වැළිත් රහතුන් කෙරෙහි දු මෙසේ අසන ලදැ’යි.
සාධු සාධු මහරජ, මහරජ තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තොප විසින් වැළිත් රහතුන් කෙරෙහි තෙල කරුණ අසන ලද්දේත් මනා මැ යි. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ බ්‍රාහ්මණයෙක් ... මෙලොවැ වෛශ්‍යයෙක් ... මෙලොවැ ශුද්‍රයෙක් ප්‍රාණවධයෙන් වෙන් වූයේ අදත්තාදානයෙන් වෙන් වූයේ … සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට වදනේ ද? නො වදනේ හෝ වේ ද? තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ශුද්‍ර තෙමේත් පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ ... සම්‍යග්දෘෂ්ටි ඇති වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදනේ යැ, මෙහි මට මෙසේ සිත් වෙයි. මා විසින් වැළිත් රහතුන් කෙරෙහි දු තෙල කරුණ මෙසේ අසන ලදැ’යි.
සාධු සාධු මහරජ, මහරජ තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තොප විසින් වැළිත් රහතුන් කෙරෙහි තෙල කරුණ අසන ලද්දේත් මනා මැ යි. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හෝ යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.
භවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි මේ සතර වර්‍ණයන් ගේ කිසි වෙනසක් නො දක්මි යි.
මහරජ බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ යනු ලෝකයෙහි ඝෝෂාමාත්‍රයෙක් මැ යැ යන තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු.