ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු ඇමැතී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හුගේ මේ අරම නුදුරෙහි ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි.
ආනන්‍දයෙනි, මෙසේ කී කල්හි ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙලබස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කිනම් වැඩ වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු හට තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ගේ මේ අරම අසල ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නා සඳහා එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කවර වැඩ වේ දැ?”යි.
ඒ සඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ හිඟ ඉණකඩ අත්ලා ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම අසලෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් දක්නට එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.
ඉක්බිති ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක තෙමේ හිඟ ඉණකඩ මුදාගෙන ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩුමහණහු විසින් කිමැ”යි.
ඉක්බිත්තෙන් ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ ඉස් සෝදා නහා සිටි ජෝතිපාල මාණවක කෙහෙයෙහි ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම නුදුරෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් දක්නට එළැඹෙම්හ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.
එකල්හි ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවකහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ, භවත්නි, අද්භූත මැ යි. යම් හෙයෙකින් මේ ඝටීකාර කුම්භකාර ලාමකජාති ඇත්තේ මැ ඉස් සෝදා නහා සිටි අපගේ කෙස්වැටිය ගතයුතු කොට සිතා ද, ඒකාන්තයෙන් මේ අපගේ ගමන ලාමක නො වනසේ”යයි ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, (මෙතෙක් දෑ කෙළේ) තෙල ගමන් සඳහා මැ වේ දැ”යි. “යහළු ජෝතිපාලයෙනි, තෙල ගමන් සඳහා මැ වෙයි. එසේ මැ යැ ඒ අර්‍හත් සම්‍යක් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි කී. යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් කෙහෙ ගැනුම් පියව, යම්හ’යි.
එසඳ ආනන්‍දයෙනි, ඝටීකාරකුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් කරා එළැඹියහ. එළැඹ ඝටීකාර කුම්භකාර තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. ජෝතිපාල මාණවක වනාහි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් හා සමග සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට තෙල සැල කෙළේ: වහන්ස, මේ ජෝතිපාල මාණවක තෙමේ මාගේ යහළු යැ, ප්‍රිය යහළු යැ, භාග්‍යවතුන් වහන්සේ මුහුට දහම් දෙසන සේක්වා’යි. එසඳ ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවකහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු පහටු කරවන ලද්දාහු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සකසා වැඳ පැදකුණු කොට ගියෝ.
එසඳ ආනන්‍දය, ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, තෙපි මේ දහම් අසන්නහු නො ද? එතෙකුදු වත් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නො වව”යි.
යහළු ජෝතිපාලයෙනි, තෙපි මා “අඳ වූ මහලු මාපියන් පුස්නෙමි”යි දන්නහු නො ද?
“යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙමි”යි.
එසඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැල කෙළේ: “වහන්ස, මේ ජෝතිපාල මාණවක මා ගේ යහළු යැ ප්‍රිය යහළු යැ. භාග්‍යවතුන් වහන්සේ මුහු පැවිදි කෙරෙත්ව’යි. ආනන්‍දය, ජෝතිපාල මාණවක අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වෙත පැවිද්ද ලද, උපසම්පත් ලද.
ඉක්බිති ආනන්‍දය, අර්‍හත්සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ජෝතිපාල මාණවක උපසපන් නොබෝ කල් වූ උපසපන් අඩමසක් ඇති කල්හි වේහලිඞ්ගයෙහි කැමැති තාක් වාසය කොට බරණැස් නුවර කරා චාරිකායෙහි වාදියෝ, අනුක්‍රමයෙන් සැරිසරන සේක් බරණැස්නුවරට බටහ.
ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු එ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙති. ආනන්‍දය, කිකී නම් කසීරජ “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුහු බරණැස් නුවරට වැඩියාහු බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙත් ල”යි ඇසී. එසඳ ආනන්‍දය, කිකී කසීරජ සුන්‍දර සුන්‍දර යානයන් යොදවා ගෙන සුන්‍දර යානයෙකැ නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නට සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ මහත් වූ රාජානුභාවයෙන් නික්ම ගියේ යැ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් කරා එළැඹ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් වැඳ එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් කිකී කසීරජහට අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහටු කරවන ලද්දේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට භික්‍ෂුසඞ්ඝයා හා සමග මා ගේ බත ඉවසන සේක්ව”යි. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එසඳ ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන්ගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ එ රැය පහන් වූ කල්හි සිය නිවෙස්නෙහි තෙවැසි සුවඳ රත්හැල්හි කුඩු නැති සහල් ගෙන නොයෙක් සූප ව්‍යඤ්ජන ඇති ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට “වහන්ස, වඩනට කලි, බත්කිස නිම වන ලදැ”යි කල් දැන්වී.
එකල්හි ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කිකී කසීරජහු ගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි භික්‍ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතැප්වී, පැවරී.
ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැළඳුවන් පාත්‍රයෙන් බැහැර කළ අත් ඇතියන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. ආනන්‍දයෙනි, එකත්පස් වැ හුන් කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්විසීම ඉවසන ලදැ”යි. දෙවනවට දු ආනන්‍දය, ... තුන්වනවට දු ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්සාවාස ඉවසන ලදැ”යි. එසඳ ආනන්‍දය, කිකී කසීරජහට: “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මා ගේ බරණැස් නුවර වස්විසීම නො ඉවසතී” විපරීතසිත් වී, දොම්නස් වී. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට: “වහන්ස, මට වඩා උපස්ථායකතර වූ අන් කිසිවෙක් මුබ වහන්සේට ඇද්දැ?යි මෙවදන් කී.
මහරජ, වේහලිඞ්ග නම් නියම්ගමෙක් ඇත. එහි ඝටීකාර නම් කුම්භකාරයෙක් ඇති. හෙ තෙම මාගේ උපස්ථායක යැ අග්‍රෝපස්ථායක යි. මහරජ, තොපට වැළිත් “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු මා ගේ බරණැස් නුවර වස්සාවාස නො ඉවසතී” විපරීත සිතෙක් ඇත, දොම්නසෙක් ඇති. ඒ මෙ දොම්නස ඝටීකාර කුම්භකාර කෙරෙහි නැත, නො ද වන්නේ යි.
මහරජ, ඝටීකාර කුම්භකාර වූකලි බුදුන් සරණ කොට ගියේ යැ, දහම් සරණ කොට ගියේ යැ, සඟුන් සරණ කොට ගියේ යි.
මහරජ, ඝටීකාර කුම්භකාර පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවායෙන් වෙන් වූයේ වෙයි, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වෙන් වූයේ වෙයි.
මහරජ, ඝටීකාර කුම්භකාර බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි.
මහරජ, ඝටීකාර කුම්භකාර දුඃඛසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරෝධ ගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වූයේ වෙයි.
මහරජ, ඝටීකාර කුම්භකාර ඒකභත්තික වැ බ්‍රම්සර ඇති වැ සිල්වත් වැ කලණදහම් ඇති වැ සිටින සුලු වෙයි.
මහරජ, ඝටීකාර කුම්භකාර හැරපී මණි ස්‍වර්‍ණ ඇතියේ හැරපී රන්රිදී ඇතියේ වේ.
මහරජ, ඝටීකාර කුම්භකාර බහාතැබූ මොහොල් ඇතියේ සියතින් පොළෝ නො කණියි. ඉවුරෙන් ගිලිහුණු යම් මැ මැටියෙක් වේවයි මීයන් නැඟූ යම් මැ මැටියෙක් වේවයි ඇද්ද, එය කඩින් ගෙනවුත් බඳුන් තනා මෙසේ කියයි: “යමෙක් කැමැති වේ නම් සහල්පිහිවා වේවයි, මුංපිහවා වේවයි කඩලපිහිවා වේවයි මෙහි බහා යම් බඳුනක් කැමැති වේ නම් එය ගෙන යේව”යි.
මහරජ, ඝටීකාර කුම්භකාර අඳමහලු මවුපියන් පුස්නේ යැ.
මහරජ, ඝටීකාර කුම්භකාර පඤ්චඕරම්භාගීය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වැ එ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ එහි මැ පිරිනිවන් පානාසුලු වෙයි.
මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි වාස කරමි. ඉක්බිති මහරජ මම් පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්‍ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී බැස ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙලබස් කී: “සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වැසි වූහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත්දිනක් නො හළේ යැ.
මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එක්බිති මහරජ, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්‍ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී
නික්ම ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල බස් කී: “සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි.
මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එසමයෙහි ගඳකිළිය තෙමෙයි. ඉක්බිති මහරජ, මම භික්‍ෂූන් ඇමැතීමි: “මහණෙනි, යව, ඝටීකාර කුම්භකාරයාගේ නිවෙස්නෙහි තණ ගෙනෙව”යි. මහරජ, මෙසේ වදාළ කළ මහණහු මට තෙල සැල කොළෝ, “වහන්ස, ඝටීකාර කුම්භකාරයා ගේ නිවෙස්නෙහි තෘණ නැත, ඔහු ගේ නවසියන් ඇති ශිල්පශාලායෙක් ඇත”යි. “මහණෙනි යව, ඝටීකාර කුම්භකාරයාගේ ශිල්පශාලාව නිස්තෘණ කරව”යි. මහරජ, එසඳ මහණහු ඝටීකාර කුම්භකාරයාගේ සිප්හල නිස්තෘණ කළහ. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරයාගේ මාපියෝ මහණනුට තෙල කීහු: “කවරහු සිප්හල නිස්තෘණ කෙරෙද්දැ”යි. මහණහු “බුහුනැණියෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භගවත්හු ගේ ගන්‍ධකුටිය තෙම්යි”. වහන්ස, ගෙන යව, භද්‍රමුඛයෙනි, ගෙන යව”යි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මවුපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල් කී: “කවරහු සිප්හල නිස්තෘණ කොළෝ දැ”යි. දරුව, මහණහු යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ ගඳකිළිය තෙමේ ලැ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මාහට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. ඉක්බිති මහරජ, ප්‍රීතිසුඛය ඝටීකාර කුම්භකාරයා අඩමසක් නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි. ඉක්බිති මහරජ, ඒ සිප්හල මුළු තෙමස අහස්සෙවෙනි ඇති වැ සිටගත, නො තෙමිණ. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබන්දෙකැ”යි.
වහන්ස, යමක්හට භගවත්හු මෙසේ ඉතා විස්වස් ඇති වූහු ද, ඒ ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක, ඒ ඝටීකාර කුම්භකාරයාහට සුලබ්ධ ලාභයෙකැ’යි.
ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ කලප් කොට වියළු රත්හැල් පිළිබඳ සහල්ගැල් පන්සියක් පමණ යැවී, එයට නිසි සූපාර්හ දැය ද යැවී. ඉක්බිති ආනන්‍දය, ඒ රාජපුරුෂයෝ ඝටීකාර කුම්භකාරයා කරා එළැඹ තෙල කීහු: “වහන්ස, කිකී කසීරජු විසින් කලප් කොට වියළු රත්හැල් පිළිබඳ මේ පන්සියක් පමණ සහල්ගැල් එවනලද, එයට නිසි සූපාර්හ දැය ද එවන ලදැ’යි. වහන්ස, ඒ දැය පිළිගන්නේ යැ’යි. රජ වනාහි බොහෝ කිස ඇත්තෙක, බොහෝ කරණී ඇත්තෙක, මට කම් නැත, රජුට මැ වේව’යි.
ආනන්‍දය, තට මෙබඳු සිතෙක් විය හෙයි: “එසමයෙහි ජෝතිපාල මාණවක අනෙකෙක් වී යැ” කියා යි. ආනන්‍දය, තෙල මෙසේ නො දැක්කයුතු යැ, මම එසමයෙහි ජෝතිපාල මාණවක වීමි”යි.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
පළමු වැනි ඝටීකාරසුත්‍ර යි.
2. 4. 2.
රට්ඨපාල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි සැරි සරන සේක් මහත් වූ භික්‍ෂුසඞ්ඝයා හා සමග යම් තැනෙක්හි ථුල්ලකොට්ඨිත නම් කුරුජනපද වැසියන් ගේ නියම්ගමෙක් වී ද, එයට වැඩියහ. ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ මෙ බස් ඇසූහ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ශාක්‍යපුත්‍ර වූ සේක් ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ කුරුජනපදයෙහි සැරිසරන සේක් මහත් වූ භික්‍ෂු සඞ්ඝයා සමග ථුල්ලකොට්ඨිත නියම්ගමට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස් වැ නැගිණ: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණිනුදු අර්‍හත් වන සේක. සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නය, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. උන් වහන්සේ මේ මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකය මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. උන් වහන්සේ ආදිකල්‍යාණ වූ මාධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර ප්‍රකාශ කෙරෙති. එබඳු රහතුන් ගේ දර්‍ශනය මනා වේ” යයි ඇසූහ.
ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් දෙසට ඇඳිලි බැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හමුයෙහි නම් (තමන්ගේ) නම් ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. බුදුහු එකත්පස් වැ හුන් ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, සම්ප්‍රහර්‍ෂ කළහ.
එසමයෙහි එ මැ ථුල්ලකොට්ඨිත නියම්ගම්හි කුලදෙටුපුත් වූ රට්ඨපාල නම් කුලපුත්‍රයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි. එකල්හි රට්ඨපාල කුලපුත්‍රහට මෙවන් සිතෙක් වී: “බුදුහු යම් යම් සෙයෙකින් දහම් දෙසත් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත (ලියූ සකස් වැනි නොහොත් ශඞ්ඛ ලිඛිත දෙදෙනා පිළිබඳ වූ) බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් මැනැවැ” යි. ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු කරුණු ගන්වන ලද්දාහු තියුණු කරන ලද්දාහු සම්ප්‍රහර්‍ෂවත් කරන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට සතුටු වැ අනුමෝදන් වැ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට පිටත් වැ ගියහ. ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර ථුල්ලකොට්ඨිතක
බමුණුගැහැවියන් නික්ම ගිය නොබෝ කල්හි භාග්‍යවතුන් කරා එළඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වා හුන් රට්ඨපාල කුලපුත්‍ර භාග්‍යවතුන්ට තෙල බස් කී: “වහන්ස, මම් භාග්‍යවතුන් විසින් යම් යම් සෙයෙකින් දෙසූ දහම් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි පැවිද්ද ලැබෙම්වා, උපසපුව ලැබෙම්ව”යි.
‘රට්ඨපාලයෙනි, තෙපි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් අනුදත්තහු දැ?’ යි.
‘වහන්ස, මම් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් නො අනුදත්මි’යි.
‘රට්ඨපාලයෙනි, තථාගතයෝ මාපියන් විසින් නො අනුදත්තහු පැවිදි නො කෙරෙති’යි.
‘වහන්ස, යම්සේ ගිහිගෙන් නික්ම පැවිද්දට මාපියෝ අනුදනිත් නම් ඒ මම එසේ කරමි’යි.
ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට මාපියන් කරා එළැඹියේ යැ. එළැඹ මාපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් යම් සෙයෙකින් මම් භාග්‍යවතුන් විසින් දෙසූ දහම් දන්නෙම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. මා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වනු පිණිස අනුදත මැනැවැ”යි.
මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍රයන් ගේ මාපියෝ රට්ඨපාල කුලපුත්‍රහට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෙපි අපහට ප්‍රිය වූ මනවඩන සුවසේ පෝෂණය කල එක් මැ පුත් වව, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසි දුකක් නො දන්නාහු යැ. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි කව බොව සිත් අලව. කමින් බොමින් සිත් අලවමින් කාමපරිභෝග කෙරෙමින් රමණය කරව (සිත් අලව). ඇපි තොපට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට නො අනුදනුම්හ. තොප ගේ මරණයෙනුදු ඇපි නො කැමැත්තමෝ වෙන් වම්හ. කිම ඇපි තොප ජීවත් වන්නවුන් ගිහිගෙන් නික්ම සස්නට පිවිසෙනු පිණිස අනුදනුමෝ දැ?” යි.
දෙවනවට ද ... තුන්වනවට ද රට්ඨපාල කුලපුත් මවුපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් මැ සැටියෙකින් භගවත්හු විසින් දෙසූ දහම් දැන සිටින්නෙම් වේ ද, ගිහිගෙයි වසනහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ ලිඛිත සඞ්ඛයක් වැනි වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නට නො හැක්ක මම කෙහෙමස් බහා කසාවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සස්නට වදන පිණිස කැමැතියෙමි. ගිහිගෙන් නික්ම සස්නට වදිනු සඳහා මා අනුදන්නේ මැනැවැ”යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත්හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කල, අපගේ ප්‍රිය මනාප එක් මැ පුත් වෙහි, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දන්නෙහි, දරුව රට්ඨපාලයෙනි, තෝ එව වළඳව, බොව ඉඳුරන් පිනව, වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් විඳුමින් පින් කරමින් සිත් අලවා වාස කරව. අපි ගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, අපි තාගේ මරණයෙනුදු නො කැමැත්තමෝ වියෝගයට පැමිණෙම්හ. කිම, අපි ජීවත්වන තා ගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝ දැ?” යි.
ඉක්බිති රට්ඨපාල කුලපුත් මවුපියන් කෙරෙහි සසුන් වදනු නො ලබනුයේ එහි මැ අතිරි නො අතුළ බිමෙහි වැදහොත්තේ යැ. “මෙහි මැ මා ගේ මරණ වන්නේ හෝ පැවිදි වන්නේ හෝ” යි.
එසඳ රට්ඨපාල කුලපුත්හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “පුතැ රට්ඨපාලයෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ, අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් ව. පුතැ රට්ඨපාලයෙනි, තෝ කිසිදු දුකක් නො දන්නා ව. පුතැ රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳව බොව, ඉඳුරන් පිනවව. වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. අපිගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, තා ගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ වියෝ වම්හ. කීම, අපි ජීවත්ව සිටුනා තාගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝ දැ?” යි.
මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත් නිහඬ වී. දෙවනවට ද ... තුන්වනවට ද රට්ඨපාල කුලපුත්හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “පුතැ රටපලු සිරෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු සුවසේ පෝෂිත වූ අපගේ ප්‍රිය මනාප එක් මැ පුත් වෙහි. පුතැ රටපලු සිරෙනි, තෝ කිසිදු දුකක් නො දනිහි. පුතැ රටපලු සිරෙනි, නැගී සිටු, වළඳ කර, බෝ, ඉඳුරන් පිනවව, වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම්සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කර, අපිගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, තාගේ මරණයෙනුදු අපි නො කැමැතියමෝ වියෝග වම්හ. කීම, අපි ජීවත්ව සිටුනා තා ගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝදැ”යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත් නිහඬ වී.
ඉක්බිති රට්ඨපාල කුලපුත්හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හුගේ යහළුවන් කරා එළැඹියහ. එළඹ රට්ඨපාල කුලපුත්හු ගේ යහළුවනට තෙල බස් කීහු: “දරුවෙනි, තෙල රට්ඨපාල කුලපුත් ඇතිරි නො අතුළ බිම්හි වැදහොත්තේ යැ: ‘මෙහි මැ මාගේ මරණය වන්නේ හෝ පැවිද්ද වන්නේ හෝ’ යි. එව දරුවෙනි, රට්ඨපාල කුලපුතු කරා එළැඹෙව, එළැඹ රට්ඨපාල කුලපුත්‍හට මෙසේ කියව: ‘යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව, යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දන්නහු යැ. යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳ කරව, බොව, ඉඳුරන් පිනවව. වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව වළඳ කෙරෙමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව, ගෙන් නික්ම සස්නට වදිනු පිණිස මාපියෝ තා නො අනුදනිති’ යි. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වියෝග වන්නාහ. කිම, ඔහු තොප ජීවත් වන්නවුන් ගෙන් නික්ම සස්නට වදනා පිණිස අනුදනිත් දැ?” යි.
ඉක්බිති රට්ඨපාල කුලපුත්හු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුත්හු ගේ මාපියනට පිළින දී රට්ඨපාල කුලපුතු කරා එළැඹියහ. එළැඹ රට්ඨපාල කුලපුතුට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව, යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව, යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, කව බොව ඉඳුරන් පිනවව, කමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. ගෙන් නික්ම සස්නට වදනා පිණිස මාපියෝ තා නො අනුදනිති යි. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වෙන් වන්නාහ. කිම, තොප ජීවත්වන්නවුන් ගෙන් නික්ම සසුන් වදනට අනුදනිත් දැ?” යි.
මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍ර නිහඬ වී, දෙවනවට ද ... තුන්වෙනවට ද රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුතුට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව. යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව. යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, කව බොව ඉඳුරන් පිනවව, කමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. ගෙන් නික්ම සසුන් වදනට මාපියෝ තා නො අනුදනිති. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වියෝග වන්නාහ. කිම, ඔහු තොප ජීවත් වන්නවුන් ගෙන් නික්ම සසුන් වදනට අනුදනිත් දැ?” යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත් නිහඬ වී.
ඉක්බිති රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුතු ගේ මවුපියන් කරා එළඹියහ. එළැඹ රට්ඨපාල කුලපුතුගේ මවුපියනට තෙල බස් කීහු: දෙමාපියෙනි, “තෙල රට්ඨපාල කුලපුත් එහි මැ ඇතිරි නො අතුළ බිමැ ‘මෙහි මැ මාගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේ යැ’යි වැදහොත්තේ යැ.
ඉදින් තෙපි ගෙන් නික්ම සසුන් වදනා පිණිස රට්ඨපාල කුලපුතු නො අනුදනිවු නම් පැවිදි වූවහු ද නො දක්නාහු යැ. ඉදින් රට්ඨපාල කුලපුත් ගෙන් නික්ම සසුන පැවිද්දට සිත නො අලවා නම් ඕහට අන් කවර ගතියක් වේ ද, මෙහි මැ වටාලා එන්නේ යැ. රට්ඨපාල කුලපුතු ගෙන් නික්ම සසුන වදනට අනුදත මැනැවැ” යි.
“දරුවෙනි, රට්ඨපාල කුලපුතු ගෙන් නික්ම සසුන් වදනට අනුදනුම්හ. වැළිත්, පැවිදි වූවහු විසිනුදු මව්පියෝ මතු මත්තෙහි දැක්විය යුත්තාහ”යි.
ඉක්බිති රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුත් යම තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පුස්නාලද, එක් මැ පුත් වව. යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව, යහළුව රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳ කරව, බොව, ඉඳුරන් පිනවව, වළඳ කෙරෙමින්බොමින් ඉඳුරන් පිනවමින් කම්සුව විඳුමින් පින් කෙරෙමින් සිත අලවා වාස කර. මාපියන් විසින් ගෙන් නික්ම සසුන් වදනට අනුදන්නා ලද්දහු යැ. වැළි එකෙක් ඇත, තොප පැවිදි වූවහු විසින් තොපගේ මව්පියෝ මතු මත්තෙහි දැක්විය යුත්තාහ”යි.
ඉක්බිති රට්ඨපාල කුලපුත් නැගීසිට කායබල ගන්වා ගෙන භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් රට්ඨපාල කුලපුත් භාග්‍යවතුන් වහන්සේටතෙල බස් සැල කෙළේ යැ: “වහන්ස, මම් ගෙන් නික්ම සසුන් වදනට මව්පියන් විසින් අනුදන්නාලද්දෙමි. භාග්‍යවත්හු මා පැවිදි කෙරෙත්ව”යි. රට්ඨපාල කුලපුත් බුදුන් කෙරෙහි පැවිදි ලද, උපසම්පත් ලදි.
ඉක්බිති බුදුහු ආයුෂ්මත් රට්ඨපාල උපසපන් නොබෝ කල් ඇති කල්හි, උපසපන් අඩමස් ඇති කල්හි, ථුල්ලකොට්ඨිත නියම්ගම්හි අභිරති සේ වැස සැවැත්නුවර කරා චාරිකායෙහි වැඩියහ. අනුක්‍රමයෙන් සැරිසරන සේක් සැවැත්නුවරට පිවිසියහ. එහි දී භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ එකලා වැ කාය චිත්ත විවෙක ඇති වැ (කමටහන් නො හළ) සිහි ඇති වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාසය කරන සේක් යමක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සසුන් වදිත් ද, ඒ අනුත්තර වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයා ගේ කෙළවර වූ රහත් ඵලය නොබෝ කලෙකින් මැ මේ අත්බැව්හි මැ තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කළහ. ‘ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ බව පිණිස අන් කිසෙක් නැතැ’යි වෙසෙසා දත්හ. ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන් කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන්හට තෙල බස් කීහු: “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම මවුපියන් දක්නට කැමැත්තෙමි”යි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ තමන් සිතින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ චිත්ත පරිවිතර්‍කය මෙනෙහි කළ සේක. යම කලෙකැ භාග්‍යවතුන් වහන්සේ දැනගත්සේක් නම් “රට්ඨපාල කුලපුත් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙන්නට අභව්‍ය යැ”යි, එකල්හි බුදුහු ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට තෙල බස් වදාළහ: “රට්ඨපාලයෙනි, තෙපි එයට කල් දනුව”යි.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට සෙනස්න සඟවා තබා පාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගම කරා චාරිකායෙහි පිටත්ව ගියහ. අනුක්‍රමයෙන් සැරිසරන්නාහු ථුල්ලකොට්ඨිත නියම්ගම යම තැනෙක්හි ද එයට වන්හ. එහි දී ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ථුල්ලකොට්ඨිතයෙහි කෝරව්‍ය රජු ගේ ‘මිගාචීර’ නම උයන්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැපාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගමට පිඬු පිණිස පිවිසියහ. ථුල්ලකොට්ඨිතයෙහි ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩනාහු සිය පියාගේ නිවෙස්න කරා එළඹියහ. එසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ මධ්‍යම ද්වාරශාලායෙහි (කපුවා ලවා) කෙහෙ පණාගස්වයි. ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් දුරින් මැ එනුවන් දිට, දැක තෙල බස් කී: “මේ මුඩු මහණුන් විසින් අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් පැවිදි කරවන ලදැ”යි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ සිය පියනිවෙස්නෙහි දන් නො මැ ලද, ප්‍රත්‍යාඛ්‍යාන නො ලද, ඒකාන්තයෙන් ආක්‍රෝශ මැ ලත්.
එසමයෙහි වනාහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඥාතිදාසියක් රැයක් ගෙයි ලැගි යව කොමු බැහැර ලනු කැමැති වෙයි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ඒ ඥාති දාසියට තෙල බස් කීහු: “ඉදින් නැගැණියෙනි, ඒ බැහැර ලන දැය මෙහි මාගේ පාත්‍රයෙහි ඕව”යි.
එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඥාතිදාසි ඒ ආහිදෝසික කුම්මාසය ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පාත්‍රයෙහි ඔවන්නී හස්තපාදයන් ගේ ද සවරයා ගේ ද නිමිත් ගතු. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ ඥාතිදාසි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මව කරා එළැඹියා යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මවට තෙල බස් කියූ, “ආර්‍ය්‍යාවෙනි, දන්නවාද? ආර්‍ය්‍ය පුත්‍ර රට්ඨපාල පැමිණේ යැ”යි.
“ඉදින් කොල සැබෑවක් කියෙහි නම් නොදැසි වෙහි”යයි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ මව් තොමෝ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියා වෙත එළැඹියා. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියහට තෙල බස් කියු: “ගැහැවියෙනි, දනිවු ද? රට්ඨපාල කුලපුත් පැමිණියේ ල”යි.
එසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ඒ රැයක් ලැගි යව කොමු (ආසනශාලායෙකැ) එක්තරා බිතක් නිසා වළඳ කෙරෙති. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පියා තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට තෙල බස් කී: “පුත රට්ඨපාලයෙනි, රෑ ලැගි යව කොමු වළඳවු ද? (තොප සතන්හි සස්න නිසා ලත් ගුණවෙසෙසෙක්) ඇද්ද? පුත රට්ඨපාලයෙනි, සිය ගෙට යායුතු නො දැ?”යි.
“ගැහැවිය, ගෙන් නික්ම සසුන වන් අපට ගෙයක් කොයින් වේ ද? ගැහැවිය, අපි ගෙ නැතියම්හ. ගැහැවිය, තොපගේ ගෙට ගියම්හ. එහි දී දන් නො ලදුම්හ. ප්‍රත්‍යාඛ්‍යාන ද නො ලදුම්හ. වැළිත් ආක්‍රෝශ මතු ලදුම්හ”යි.
“පුත රට්ඨපාලයෙනි, එව, ගෙට යම්හ”යි.
“ගැහැවිය, කම් නැත, මා විසින් අද බත් කිස කරන ලදැ”යි.
“පුත රට්ඨපාලයෙනි, එසේ වී නම් සෙට බත ඉවසව”යි.
ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ. එසඳ ආයුෂ්මත් රට්ඨපාල තෙරුනුවණ්ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඉවසීම දැන සිය නිවෙස්න කරා එළැඹියේ යැ. එළැඹ මහත් රන්සුවන් රැසක් කරවා කලාලින් සොයවා (වස්වා) ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පුරාණ දුතියිකාවන් ඇමැති: “එව වධුනි, තෙපි යම අලඞ්කාරයෙකින් සැරසුණාහූ පෙර රට්ඨපාල කුලපුත්හට ප්‍රිය මනාප වවු ද, එ අලඞ්කාරයෙන් සැරසෙව” යි.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය තෙම එරැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ට කල් දැන්වී: “දරුව රට්ඨපාල තෙරුණුවනි, බත නිමියේ යැ”යි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ පෙරවරු වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන සිය පියනිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය තෙම රන්සුවන් රැස විවෘත කරවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවනට තෙල බස් කී: “දරුව රට්ඨපාලයෙනි, මේ තොප ගේ මව සතු ධනය වෙයි, අනෙක පියා සතු යැ. අනෙක මුත්තා සතු වෙයි. දරුව රට්ඨපාලයෙනි, භොග ද වළඳ කරන්නට හැකි යැ. පින් ද කළ හැක්ක. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට පෙරැළී භොග ද වළඳ කරව, පින් ද කරව” යි.
ගැහැවියෙනි, ඉදින් තෙපි මබස් කරවු නම් මේ හිරණ්‍යස්වර්‍ණ රාශිය ගැලෙහි නංවා බැහැර කරවා ගඟ මැද හෝ දිය වැළෙහි හෝ ගිල්වාලව. ඒ කවර හෙයින යත්: ගැහැවියෙනි, තොපට ඒ හිරණ්‍යාදි හේතුවෙන් ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ උපදිති’යි.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පුරාණ භාර්‍ය්‍යාවෝ වෙන වෙන පා ගෙන ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවනට තෙල බස කීහු: “හිමියා පුතණුවෙනි, තෙපි යම් අප්සරහුන් පිණිස බ්‍රම්සරවස් වැස්වූ නම් ඒ අප්සරස්හු කෙබඳු වෙත් දැ?”යි.
බුහුනැණියෙනි, අපි අප්සරාවන් හේතු කොට බ්‍රම්සර නො පුරම්හ.
“හිමියාපුත් රට්ඨපාලයෝ බුහුනැණි බසින් අප බෙණෙති” යි එහි මැ මුසපත් වැ හුණුහු.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ පිය මහසිටාණන්ට තෙල බස් කීහු: “ගැහැවියෙනි, ඉදින් බොදුන දියයුතු නම් දෙව නහමක් අප පෙළව”යි.
“පුත රට්ඨපාලයෙනි, වළඳන්නේ මැනැව, බත නිමියේ ය”යි. එසඳ ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය මහසිටාණෝ ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපාලූහ , මොනවට පවරා ලූහ. ඉක්බිති වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ සිටිවන සිටියාහු මැ මේ ගාථා කීහ:
“යම් ආත්මභාවයක්හු ගේ නිත්‍යස්ථිතියෙක් නැද්ද, ව්‍රණකාය ඇති ඇට නහර මසින් පුරවාලූ නිත්‍යාතුර වූ (ප්‍රාර්‍ත්‍ථනා සංකල්ප වශයෙන්) බහු සංකල්ප ඇති විසිතුරු කළ මේ ආත්මභාවය බලව.
මිණියෙනුදු කොඬොලිනුදු සැරසූ විසිතුරු කළ මේ රූපයබලව. ඇට නහරින් වළඳනා ලදුයේ වස්ත්‍රයන් සහිත වැ මැ බබළයි.
පාදයෝ ලතුයෙන් රඳනාලදහ. මුහුණු සුණුබඬින් ගල්වන ලදී. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවහට පමණ නො වෙයි.
කේශයෝ අෂ්ටපදයෙන් රචනා කරනලදහ. නේත්‍රයෝ අඳුනින් ගල්වන ලදහ. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවට පමණ නො වෙයි.
විසිතුරැ කළ අභිනව අඳුන්නළ සෙයින් කුණුකය සරසන ලදී. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවහට පමණ නො වෙයි.
මුවවැදි වරදැල තැබී යැ. මුවා වරදැල නො ගැටී යැ. මුවන් බඳනුවා හඬමින් සිටිය දී ගොදුරු වළඳා යම්හ”යි.
ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ සිටිවන සිටියාහු මැ මේ ගාථා කියා කෝරව්‍ය රජුගේ මිගාචීර උයන කරා වැඩියෝ. වැඩ එක්තරා රුකක් මුල දිවා විහාර සඳහා හුන්හු.
එසඳ කෝරව්‍ය රජ මිගව නම උයන්පල්ලා ඇමැතී යැ: “සගය මිගවයෙනි, මිගාචීර උයන්බිම ශුද්ධ කරව. එ මනා බිම දක්නට යම්හ”යි. මිගව උයන්පලු “දේවයිනි, එසේ යැ”යි කෝරව්‍ය රජුට පිළිවදන් දී මිගාචීර උයන ශුද්ධ කරන්නේ එක්තරා රුකක් මුල දිවාවිහාර පිණිස හුන් රට්ඨපාල තෙරණුවන් දිටී. දැක කෝරව්‍ය රජු කරා එළැඹියේ යැ. එළැඹ කෝරව්‍ය රජුට තෙල කී: “දේවයිනි, මිගාචීර උයන පාරිශුද්ධ යැ, නුඹ වහන්සේ යම කුල්පුතක්හු ගේ ගුණ නිතර කීර්‍තනය කරන්නාහු ද, මේ ථුල්ලකොට්ඨිත ගම්හි මැ අග්‍රකුලිකයක්හු ගේ පුත්‍ර වූ රට්ඨපාල නම කුලපුත්‍රයා එහි ඇත. හේ එක්තරා රුකක් මුල දිවාවිහාර සඳහා හිනැ”යි. සගය මිගවයිනි, එසේ වී නම් දැන් අද උයන් බිමින් කම් නැත. අපි දැන් ඒ භවත් රට්ඨාපලයන් මැ උපාසනා කරම්හ” යි.
ඉක්බිති කෝරව්‍ය රජ එහි යම් ඛාද්‍යභෝජ්‍ය පිළියෙල කරන ලද ද, එහැම නෙරවයි කියා භද්‍ර භද්‍ර යානයන් යොදවා භාද්‍රයානයකට නැගී මහත් රාජානුභාවයෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් දක්නට භද්‍ර භාද්‍රයානයෙන් ථුල්ලකොට්ඨිත නියම්ගමට නික්මගියේ. යම්තාක් යානභුමි වේ ද, ඒතාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇති වැ මැ පතළ පතළ පිරිසෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් හා සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක සිටියේ යැ. එකත්පස් වැ සිටි කෝරව්‍ය රජ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවනට තෙල බස කී:
“භවත් රට්ඨාපාලයෙනි, මෙහි ඇත් ඇතිරියෙහි හින්දිනේ මැනැවැ”යි.
“කම් නැත මහරජ, තෙපි හිඳුවා, මම් සිය අස්නෙහි හුන්මි”යි.
කෝරව්‍ය රජ පැනවූ අස්නෙහි හුන්නේ යැ. හිඳ කෝරව්‍ය රජ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවනට තල බස් කී: “භවත් රට්ඨාපාලයෙනි, යම් පිරිහිනෙකින් සමන්‍වාගත වූ ඇතැම් කෙනෙක් කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදිත් ද, එබඳු පිරිහීම් සතරෙක් වෙයි. කවර සතරෙක යත්: ජරායෙන් පිරිහීම යැ ව්‍යාධියෙන් පිරිහීම යැ භෝගයෙන් පිරිහීම යැ ඥාතීන්ගෙන් පිරිහීම යි.
භවත් රට්ඨපාලයෙනි, ජරායෙන් පිරිහීම යනු කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් ජරපත් වූයේ වෘද්ධ වූයේ ජාතියෙන් මහලු වූයේ ආයුඃකල්පය ඉක්ම ගියේ පශ්චිම වයසට පැමිණියේ වෙයි. හේ මෙසේ නුවණින් සලකයි: “මම දැන් දිරාගියෙමි, වෘද්ධයෙමි, මහලුයෙමි, ආයුඃකල්පය ඉක්ම සිටියෙමි, පැසුළුවියට පැමිණියෙමි, මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලබන ලද භෝග වඩන්නට හෝ සුකර නො වෙයි. මම් කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ ජරා පිරිහිනෙන් සමන්‍වාගත වූයේ කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදී. භවත් රට්ඨපාලයෙනි, මේ වූකලි ජරායෙන් පිරිහීම යයි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි දැන් තරුණ යැ, යෞවනයෙන් සමන්‍වාගත යැ, මනා කළුකෙහෙ ඇතියේ ය, භද්‍රයෞවනයෙන් සමන්‍වාගත යැ, ප්‍රථම වයසින් සමන්‍වාගත යැ, භවත් රට්ඨපාලයනට ඒ ජරා පිරිහින නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
භවත් රට්ඨපාලයෙනි, ව්‍යාධියෙන් පිරිහීම යනු කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි ගිලන් වූයේ වෙයි. හේ මෙසේ නුවණින් සලකයි: “මම් වූකලි දැන් ආබාධ ඇත්තෙමි, දුකට පැමිණියෙමි, දැඩි ගිලන්මි. මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලත් භෝග තර කරන්නට හෝ සුකර නො වෙයි. මම් කෙහෙරවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන වදනෙම් නම් යෙහෙකැ”යි. හේ ඒ ව්‍යාධි පිරිහිනෙන් සමන්‍වාගත වූයේ කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදී. භවත් රට්ඨපාලයෙනි, මේ වූකලි ‘ව්‍යාධි පිරිහිනැ’යි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි දැන් නීරෝග යැ, නිදුක් යැ, ඉතා උෂ්ණ නො වූ ඉතා ශීත නො වූ සම වැ (අහර) පැසෙනසුලු ග්‍රහණියෙන් සමන්‍වාගත වූයේ යි. භවත් රට්ඨපාලහට ඒ ව්‍යාධි පරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
භවත් රට්ඨපාලයෙනි, වැළිත් භෝගක්‍ෂය කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් ආඪ්‍ය (ඊශ්වර) වූයේ මහත් ධන ඇතියේ (පස්කම්ගුණ විසින් එළැඹ සිටි) මහත් භෝග ඇත්තේ වෙයි. ඔහු ගේ ඒ භෝගයෝ අනුක්‍රමයෙන් ක්‍ෂය බවට යෙති. හේ මෙසේ නුවණින් සලකයි: “මම් වනාහි පෙර ආඪ්‍ය වීමී, මහත් ධන ඇති වීමී, මහත් භෝග ඇති වීමී. ඒ මා ගේ ඒ භෝගයෝ අනුක්‍රමයෙන් ක්‍ෂයභාවයට ගියහ. මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලත් භෝග වඩන්නට හෝ සුකර නො වෙයි. මම් කෙස් මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ භෝග පරිහාණියෙන් සමන්‍වාගත වූයේ කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදී. භවත් රට්ඨපාලයෙනි, මේ ‘භෝගක්‍ෂය’යයි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි මේ මැ ථුල්ලකොට්ඨිත නියම්ගම්හි අග්‍රකුල ඇතියාගේ පුත්‍ර වෙයි. භවත් රට්ඨපාලහට ඒ භොග පරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
භවත් රට්ඨපාලයෙනි, ඥාතිපරිහාණි කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැම් කෙනෙකුන්ට මිත්‍රාමාත්‍යයෝ ද නෑ සහලේ නෑයෝ ද බොහෝ වෙති. ඔහුගේ ඒ නෑයෝ ක්‍රමයෙන් පරික්‍ෂයට යෙත්. හේ මෙසේ සලකයි: “මට වනාහි පෙර සගයහළුවෝ ද නෑසාලේනෑයෝද බොහෝ වූහ. මාගේ ඒ නෑයෝ ක්‍රමයෙන් ක්‍ෂය වූහ. මා විසින් නො ලත් භෝග ලබන්නට වේවයි ලත් භෝග දියුණු කරන්නට වේවයි සුකර නො වෙයි. මම කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ ඥාතිපරිහාණියෙන් සමන්‍වාගත වැ කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වදනේ යැ. භවත් රට්ඨපාලයෙනි, මේ වනාහි ඥාතිපරිහාණි නමු. භවත් රට්ඨපාලයන් හට මේ ථුල්ලකොට්ඨිත ගම්හි මැ සහයහළුවෝත් නෑසහලේනෑයෝත් බොහෝ ඇත. භවත් රට්ඨපාලයන්හට ඒ ඥාතිපරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සස්නට පැමිණියාහු ද?
භවත් රට්ඨපාලයෙනි, මෙලොව යම් පරිහණියෙකින් සමන්‍වාගත වූ කිසි කෙනෙක් කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වදිත් ද (එයට හේතු වූ) මේ සතර පරිහාණීහු යි. භවත් රට්ඨපාලයන්හට ඔහු නැත. භවත් රට්ඨපාලයෝ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගේ පියා සස්නට පැමිණියාහු ද?
මහරජ, මම යම් ධර්‍මනිර්දේශ කෙනකුන් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම් වේ ද භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් දක්වා වදාළ ධර්‍මනිර්දේශයෝ සතර දෙනෙක් ඇත. කවර සතර දෙනෙක යත්:
මහරජ, මම යම් ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ජරාමරණයන් කරා යෙයි (එයින් මැ) ‘අධ්‍රැව’ය”යි. පළමුවන ධර්‍මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
මහරජ, මම යම් (දෙවන) ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ත්‍රාණ රහිත යැ වෙත පැමිණ අස්වස් දෙන්නට නිසියෙක් නැති”යි. දෙවන ධර්‍මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
මහරජ, මම යම් (තෙවන) ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා තමා අයත් දෙය නැත්තේ යැ, හැම හැරපියා යායුතු” යයි. තුන්වන ධර්‍මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
මහරජ, මම යම් (සිවුවන) ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ඌන යැ තෘප්තිරහිත යැ තෘෂ්ණාවට දාසය” යි. සතරවන ධර්‍මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.