Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 3001-3100 න් 6387

වහන්ස, ඒකාන්තයෙන් මැ මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ මැ යි.
එසෙයින් මැ උදායී තෙපි: “වහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරීතර හෝ ප්‍රණීතතර හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ යැ යි කියව, ඒ වර්‍ණය ද නො පනව” යි.
වහන්ස, යම්සේ සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්‍ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග වේ යයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, රාත්‍රි බහලාන්‍ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
වහන්ස, රැය බොල්අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මේ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි කදෝපැණි කෘමියෙක් වේ ද, රැය බොල්අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
වහන්ස, රැය බොල්අඳුරෙහි යම් තෙල් පහනෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල්අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතර ත් ප්‍රණීතතර ත් වේ දැ? යි.
වහන්ස, රැය බොල්අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
වහන්ස, රැය අලුයම වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය අලුයම වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
වහන්ස, ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, වර්‍ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
වහන්ස, වර්‍ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරත්කාලයෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතිකාන්තතරත් ප්‍රණීතතරත් වේ යයි.
උදායී, යම් කෙනෙක් මේ සඳහිරු දෙදෙනාගේ අවභාසය නො විඳිත් ද ඒ දෙවියෝ සඳහිරු දෙදෙනාගේ අවභාසය විඳිනවුනට වඩා බොහෝ යැ, බහුතරයහ. මම් ඔවුන් දනිමි. එතෙකුදු වත් මම “යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන්‍ය වර්‍ණයෙක් නැතැ”යි නො කියමි. එතෙකුදු වත් උදායී, තෙපි කදෝපැණි කිමියකුටත් වඩා හීනතර වූ ලාමකතර වූ යම් වර්‍ණයෙක් වේ ද, ඒ පරම වර්‍ණ යයි කියව, එ වර්‍ණය ද නො පනව’ යි.
“බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි.
උදායී, තෙපි “බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි මෙසේ කුමට කියව?
වහන්ස, අපට සිය ඇදුරොල්හි මේ පරමවර්‍ණ යැ, මේ පරමවර්‍ණ යැ’ යි මෙසේ වෙයි. වහන්ස, ඒ ඇපි භාග්‍යවතුන් විසින් ස්වකීය ආචාර්‍ය්‍යසමයෙහි අනුයෝග වතට නගනු ලබන්නමෝ කරුණු ගන්වනු ලබන්නමෝ කරුණු විචාරනු ලබන්නමෝ සිස් වූම්හ, තුච්ඡ් වූම්හ, වැරදුණම්හ’ යි.
කිමෙක් ද උදායී, ඒකාන්තසුඛ ඇති ලෝකයෙක් ඇද්දැ?යි. ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදායෙක් ඇද්දැ?යි.
වහන්ස, සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇත, ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදායෙක් ඇතැ”යි.
උදායී, ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වූ ඒ ආකාරවත් ප්‍රතිපදා කවරැ? යි.
වහන්ස, මෙලොව කිසිවෙක් පණිවා හැරපියා පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදන් හැරපියා අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි, එක්තරා තපෝගුණයක් හෝ සමාදන් වැ වැටෙයි. වහන්ස, මේ වූකලි ඒකාන්තසුඛ ඇති ලෝකය සාක්‍ෂාත් කිරීම පිණිස වූ ඒ ආකාරවත් ප්‍රතිපදා වේ යයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ පණිවා හැරපියා පණිවායෙන් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් මුසු වූයේ හෝ වේ දැ? යි.
වහන්ස, සුවදුක් මුසු වූයේ වෙයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ අයිනාදන් හැරපියා අයිනාදනින් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වේ ද, එසමයෙහි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ එක්තරා තපෝගුණයක් සමාදන් වැ වැටේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද, සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
උදායී, ඒ කිමැයි හඟිවු ද? මුසු වූ සුවදුක් ඇති පිළිවෙතකට පැමිණ ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වේ යැ නු? යි.
“බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි.
උදායී, තෙපි “බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි මෙසේ කුමට කියව?
වහන්ස, අපට සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇත, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇතැ”යි. වහන්ස, එ අපි භාග්‍යවතුන් විසින් සිය ඇදුරොල්හි අනුයෝග වතට නගනු ලබන්නමෝ කරුණු ගන්නවනු ලබන්නමෝ කරුණු විචාරනු ලබන්නමෝ සිස් වූම්හ, තුච්ඡ් වූම්හ, වැරදුණම්හ’ යි.
කිම වහන්ස, ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇද්ද, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇද්දැ? යි.
“උදායී, ඒකාන්තසුඛ ලෝකයෙක් ඇත, ඒකාන්ත සුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇතැ”යි.
වහන්ස, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට යම් ආකාරවත් ප්‍රතිපදායෙක් ඇත් නම් ඒ ප්‍රතිපදා කවරැ? යි.
උදායී, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, උදායී, මේ වූකලි ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට ඒ කාරණවත් ප්‍රතිපදා යි.
“වහන්ස, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා මතු නො වෙයි, ඔහු විසින් මෙතෙකින් ඒකාන්තසුඛ ලෝකය සාක්‍ෂාත් කරනලද මැ වේ” යයි.
උදායී, මෙතෙකින් ඒකාන්තසුඛ ලෝකය සාක්‍ෂාත් කරනලද නො වෙයි. ඒ ඒකාන්තසුඛ ලෝකය සාක්‍ෂාත් කාරණවත් ප්‍රතිපදා මැ වේ යයි.
මෙසේ වදාළ කල්හි සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස උද්ගතනාද ඇති උස්හඬ මහහඬ ඇති විය: “මෙ කරුණෙහි ලා ඇපි ඇදුරන් සහිත වැ නැසෙම්හ. මෙ කරුණෙහි ලා අපි ඇදුරන් සහිත වැ වැනැසෙම්හ. අපි මෙයින් වැඩියක් නො දනුම්හ” යි.
ඉක්බිති සකුලුදායී පරිව්‍රාජක ඒ පරිව්‍රාජකයන් නිහඬ කොට භාග්‍යවතුන්වහන්සේට මෙ පවත් කී: “වහන්ස, වැළිත් කිපමණෙකින් ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කරනලද වේ දැ?”යි.
උදායී, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, යම් පමණ දෙවියෝ ඒකාන්තසුඛ ලෝකයට පැමිණියාහු නම්, ඒ දෙවියන් හා සමග එක්වැ සිටී ද, සල්ලාප කෙරේ ද, සාකච්ඡාවට පැමිණේ ද, මෙපමණෙකින් උදායී, ඔහු විසින් ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන ලද වේ” යයි.
‘වහන්ස, තෙල ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු භාග්‍යවතුන් කෙරෙහි බඹසර වසන්නාහු වනැ’යි.
උදායී, තෙල ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර නො වෙසෙති. උදායී, යම් ධර්‍ම කෙනකුන් ප්‍රත්‍යක්‍ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් නම්, එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූ ත් අන්‍යධර්‍මයෝ ඇතැ’යි.
වහන්ස, යම් ධර්‍ම කෙනකුන් ප්‍රත්‍යක්‍ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු භාග්‍යවතුන් කෙරෙහි බඹසර වෙසෙත් නම්, උත්තරීතර වූ ත් ප්‍රණීතතර වූ ත් ඒ ධර්‍මයෝ කවරහ? යි.
උදායී, මෙලොවැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණ ධර්‍මයෙන් යුක්ත වූ සුගත වූ ලෝකය දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ (චතුස්සත්‍යාවබෝධයෙන්) බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගත උපදි ... හෙ චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්‍චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. උදායී, යම් ධර්‍මයක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර සරත් නම් මෙ ද උත්තරීතර වූ ත් ප්‍රණීතතර වූ ත් ධර්‍මයෙකි.
තවද උදායී, මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, උදායී, යම් ධර්‍මයක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙද්ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් ධර්‍මයෙකි.
හේ මෙසේ සිත සමාහිත (එකඟ) කල්හි පිරිසුදු කල්හි හාත්පසින් පිරිසුදු කල්හි ක්ලේශාඞ්ගණ රහිත කල්හි පහ වැ ගිය උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්වේනිවාසානුස්මෘතිඥානයට සිත නමයි. හේ අනේකවිධ පූර්වේනිවාස සිහි කෙරෙයි, හෙ මෙසේ යැ: එක් දැයකුදු දෙ දැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වේනිවාස සිහි කෙරෙයි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර සෙරෙත් ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි.
හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පත් කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති ඥානයට සිත නමයි. හේ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් ච්‍යුතවන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නොමනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දකි. ... කර්‍මානුකූල වැ ගිය සත්ත්‍වයන් දනි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි.
හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පත් කල්හි ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානයට සිත නමයි. හෙ මේ (පස්කඳ) දුකැ’ යි ඇති සැටියෙන් දැනගනි. මෙ (තෘෂ්ණාසමුදය) දුක් උපදනා හේතුව යයි ඇති සැටියෙන් දැනගනි, ... මෙ ‘දුක්ඛනිරෝධ’ යයි ... මෙ ‘දුක් නැති කරන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනි. මොහු ‘ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනි. මේ ‘ආස්‍රවසමුදය’ යි ... මේ ‘ආස්‍රවනිරෝධය’ යි ... මේ ‘ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා’ යයි ඇති සැටියෙන් දැනගනි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු විමුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි. විමුක්ත කල්හි විමුක්ත ය යන ඥානය වෙයි. ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලදි. කරණී කරනලද, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දැනගනි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතුයෙන් භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද, මෙ වූ කලි එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි. උදායී, යම් ධර්‍මකෙනකුන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතුයෙන් භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද නම් මොහු එ උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් ධර්‍මයෝ යයි.
මෙසේ වදාළ කල්හි සකුලුදායී පරිව්‍රාජක් භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: ඉතා මැනැව වහන්ස, ඉතා මැනැවැ වහන්ස. වහන්ස, යම්සේ යටිහුරු කරන ලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, අඳුරෙහි හෝ ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’ යි තෙල්පහනක් දරන්නේ ද, එසෙයින් මැ භාග්‍යවතුන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. වහන්ස, තෙල මම් බුදුනුද දහමුදු සඟුනුදු සරණ කොට යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වෙත පැවිදි ලබන්නෙම් නම් මැනැව, උපසපුව ලබන්නෙම් මැනැවැ’යි.
මෙසේ කී කල්හි සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස සකුලුදායී පරිව්‍රාජකහට තෙල වදන් කී: භවත් උදායී, ශ්‍රමණ ගෞතම කෙරෙහි නහමක් බඹසර වසව, භවත් උදායී ආචාර්‍ය්‍ය වැ (සිට) අතැවැසිවස් නො වසව, යම්සේ නම් දියසැළක් වැ සිට ළුවක් වන්නේ ද තෙල භවත් උදායීහට මෙබඳු උපමා සම්පත් වන්නේ යැ. භවත් උදායී, ශ්‍රමණ ගෞතම කෙරෙහි නහමක් බඹසර වසව, භවත් උදායී, ආචාර්‍ය්‍ය වැ සිට අතැවැසි වාස නො කරව’ යි. මෙසේ සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස සකුලුදායී පරිව්‍රාජක හට භාග්‍යවතුන් කෙරෙහි බඹසරවස්හි අන්තරාය කළා.
නව වැනි චූළ සකුලුදායී සූත්‍ර යි.
2. 3. 10.
වෙඛනස්ස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු කාලාන්තරයෙහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පරම (උත්තම) වර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි උදානයක් කෙළේ යැ.
කාත්‍යායනයෙහි, තෙපි ‘මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි මෙසේ කුමට කියව කාත්‍යායනයෙනි, ඒ පරමවර්‍ණ කවරේ දැ?යි.
භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, හේ පරමවර්‍ණ යැ’යි.
කච්චානයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැත් නම් ඒ වර්‍ණය කවරේ දැ?යි.
භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ යැ’යි.
භවත් කාත්‍යායනයෙනි, (තෙපි) “භවත් ගෞතමයෙනි යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනවව, තොප ගේ තෙල කථාව දික් වැ යන්නේ යැ. යම්සේ කාත්‍යායනයෙනි, පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: “මට මෙ දනවියෙහි යම් දනව්කලණක් ඇත් නම් ඇය රුස්නෙමි, ඇය කැමැත්තෙමි”යි. ඒ මොහුට කිසි කෙනෙක් මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ ක්‍ෂත්‍රියාවක හෝ බ්‍රාහ්මණියක හෝ වෛශ්‍යාවක හෝ ශුද්‍රියක හෝ’යි දනිවු දැ?යි. මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමී කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ මෙ නම් ඇත, මෙවන් ගෝත්‍ර ඇතැ යි හෝ ... දික් යැ හෝ මිටි යැ හෝ මැදුම් යැ හෝ කැළි යැ හෝ සම්වනැ හෝ මඟුරුසිවි ඇත්තී යැ හො’යි, අසුවල් ගම්හි යැ හෝ නියම්ගම්හි යැ හෝ නුවරෙහි යැ හො’යි දනිවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමි කියන්නේ යැ. මොහුට මෙසේ කියන්නාහ: එම්බා පුරුෂය, තෙපි යම් තැනැත්තියක නො දන්නවු නම් නො දක්නවු නම් ඇය තෙපි රුස්නවු ද, කැමැත්තවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ එසේ යැ’යි කියන්නේ යැ. කාත්‍යායනයෙහි ඒ කිමැ’යි හඟිවු ද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයා ගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ නො වේ දැ?යි,
භවත් ගෞතමයෙනි, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් මැ ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ මැ යි.
එසෙයින් මැ කාත්‍යානයෙනි, තෙපි “භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැත් ද ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනවව’යි.
යම්සේ භවත් ගෞතමයෙනි, සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනැවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ (රත් පලසෙකැ) බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්‍ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග වේ යයි.
කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ යම් වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් හෝ වේ ද, රාත්‍රි බහලාන්‍ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධී (පහන්) තාරකාවක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, ඒ පණුරැසිපොහෝ දවස්හි පහවැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, ඒ පණුරැසිපොහෝ දවස්හි පහවැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රියෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? ඒ පණුරැසි පොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, වර්‍ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්නසමයෙහි යම් සූර්‍ය්‍යයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
භවත් ගෞතමයෙනි, වර්‍ෂා ඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් වේ ද, මේ තෙමේ මේ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
කාත්‍යානයෙනි, යම් කෙනෙක් මේ සඳහිරු දෙදෙනාගේ අවභාසය නො විඳිත් ද ඒ දෙවියෝ සඳහිරු දෙදෙනාගේ අවභාසය විඳිනවුනට වඩා බොහෝ යැ බහුතරයහ. මම් ඔවුන් දනිමි. එතෙකුදු වත් මම් “යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන්‍ය වර්‍ණයෙක් නැතැ”යි නො කියමි. එතෙකුදු වත් කාත්‍යානයෙනි, තෙපි කදෝපැණි කෘමියෙකුටත් වඩා හීනතර වූ ලාමකතර වූ යම් වර්‍ණයෙක් වේ ද, ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනව’යි.
කාත්‍යානයෙනි, මේ කාමගුණ පසෙක් වෙයි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ඇසින් දතයුතු රූපවූ ඇසින් දතයුතු රූපයෝ යැ .... කනින් දතයුතු ශබ්දයෝ යැ, .... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ .... දිවින් දතයුතු රසයෝ යැ .... කයින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. කාත්‍යානයෙනි, මොහු පස්කම්ගුණයෝ යි. මේ පස්කම්ගුණ නිසා සුව සොම්නස් උපදි, මේ කාමසුඛ යැ යි කියනු ලැබේ. මෙසේ කාමයෙන් කාමසුඛය වෙයි. එහි කාමසුඛයට වඩා කාමග්ගසුඛය (නිවන) අග්‍ර යයි කියනු ලැබේ.
මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, අද්භූත යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින් ‘කාමයෙන් කාමසුඛය වෙයි, එහි කාමසුඛයට වඩා කාමග්ග සුඛය අග්‍ර යයි කියනු ලැබේ යන මේ සුභාෂිත මැ වේ යි.
කාත්‍යායනයෙනි, අන්‍යදෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ අන්‍යප්‍රතිපත් ඇති අන්‍යතීර්‍ත්‍ථායතනයෙකැ ආචාර්‍ය්‍ය වූ තොප විසින් ‘කාමයෝ වෙත්වයි කාමසුඛය වේවයි කාමාග්‍රසුඛය වේවයි’ තෙල කරුණු නො දත හැක්ක කාත්‍යායනයෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමවූ බඹසරවස් ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි සර්‍වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් ඇද්ද, ඔහු මැ කාමයෝ හෝ කාමසුඛය හෝ කාමාග්‍රසුඛය හෝ තෙල් කරුණ දන්නාහ’යි.
මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක කිපියේ නො සතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් මැ ගටමින් භාග්‍යවතුන්ට මැ පරිභව බෙණෙමින් භාග්‍යවතුන්ට මැ කියනුයේ: ශ්‍රමණ ගෞතම ද නො දන්නාබවට පමුණුවනලද වනැ’යි භාග්‍යවතුන්ට තෙල වදන් කී: මෙසෙයින් මැ මෙලොවැ ඇතැම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තය නො දන්නාහු අපරාන්තය නො දක්නාහු, එතෙකුදු වත් ජාතිය ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවනලද, කරණී කරනලද, මෙබවට කළයුතු අන් කිසෙක් නැතැ’යි දනුම්හ’යි පිළින කෙරෙත්. ඔවුන් ගේ මේ භාෂිතය හාස්‍යයක් මැ උපදවයි, ලාමකබවක් මැ උපදවයි, අර්‍ත්‍ථශුන්‍ය බවක් මැ උපදවයි, සිස් බවක් මැ උපදවා යයි.
කාත්‍යායනයෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තය නො දන්නාහු අපරාන්තය නො දක්නාහු, ‘ජාතිය ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවනලද, කරණී කරන ලද, මෙබවට අන් කිසෙක් නැතැ’යි දනුම්හ’යි පිළින කෙරෙත් ද, ඔවුනට එ මැ සකාරණ නිග්‍රහ වෙයි. එතෙකුදු වත් කාත්‍යායනයෙනි, පූර්‍වාන්තය සිටීවා, අපරාන්තය සිටීවා, ශඨ නො වූ මායා නැති ඍජුස්වභාව ඇති නුවණැති පුරුෂ ඒවා, මම් අනුශාසනා කෙරෙමි, මම් දහම් දෙසමි, අනුශාසනා කළ සේ පිළිපදනේ නොබෝ කලෙකින් මැ ‘මේ අවිද්‍යාබන්‍ධනයෙන් මෙසේ මොනොවට මිදෙන්නේ වේ ල’යි තෙමේ මැ දන්නේ යැ තෙමේ දක්නේ යැ. යම්සේ කාත්‍යායනයෙනි, බොළඳ වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරෙක් හූබඳනෙන් කණ්ඨය පස්වනු කොට ඇති බැඳුමින් බඳනා ලද වේ ද, වෘද්ධියට පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ ඔහුගේ ඒ බන්‍ධනයෝ මිදෙන්නාහු ද, හේ මිදුණෙමි’යි දන්නේ ද, බන්‍ධනය නො දන්නේ ද, එසෙයින් මැ කාත්‍යායනයෙනි, සළ නො වූ මායා නැති ඉදු සැහැවි ඇති නුවණැති පුරුෂ ඒවා, මම් අනුසස්මි, මම් දහම් දෙසමි, අනුශාසිත සේ පිළිපදනේ නොබෝ කලෙකින් මැ ‘මෙසේ මේ අවිද්‍යාබන්‍ධන සඞ්ඛ්‍යාත බන්‍ධනයෙන් මොනොවට මිදෙන්නේ වේ ල’යි තෙමේ මැ දන්නේ යැ තෙමේ දක්නේ යැ’යි.
මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: ‘භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, ... භවත් ගෞතමයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උවසුවකු කොට ධරත්ව’යි.
දස වැනි වෙඛනස්ස සූත්‍ර යි.
තුන් වැනි පරිව්‍රාජක වර්‍ගය යි.
එහි උද්දානය:
පුණ්ඩරීක (තේවිජ්ජවච්ඡගොත්ත) සූත්‍ර යැ අග්ගිවච්ඡගොත්ත සූත්‍ර යැ සහකර්‍ත්‍ථ (මහා වච්ඡගොත්ත) සූත්‍ර යැ දීඝනඛ සූත්‍ර යැ භාරද්වාජගොත්ත (මාගන්‍දිය) සූත්‍ර යැ සන්‍දක සූත්‍ර යැ උදායී (මහාසකුලුදායි) සූත්‍ර යැ මණ්ඩිකාපුත්ත (සමණමණ්ඩිකා) සූත්‍ර යැ මණික (චූළ සකුලුදායි) සූත්‍ර යැ කච්චාන (වෙඛනස්ස) සූත්‍ර යි.
4. රාජ වර්‍ගය
2. 4. 1.
ඝටීකාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් හා සමග කොසොල් දනවුයෙහි සැරි සරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැර ව එක්තරා පියෙසෙක්හි දී සිනා පහළ කළ සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙවන් සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ උතුරුසඟ එකස් කොට බුදුන් දසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පහළ නො කෙරෙත් නු?”යි.
ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වේහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞ්ග නිගමය නිසා වැඩවිසූහ. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙතැන්හි වැඩහිඳ බික්සඟනට ඔවා දෙන සේකැ’යි.
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සඟළ සිවුර සියුගුණ කොට පනවා භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳුනා සේක්වා, මෙසෙයින් මෙ බිම්පෙදෙස අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දෙදෙනකුන් විසින් පරිභෝග කරනලද වන්නේ යැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූසේක:
ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වේහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ ඉතා සමෘද්ධ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවැසීගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞ්ග නිගමය නිසා විසූසේක. ආනන්‍දය, මෙතැන්හි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුනට අරාමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙහි වැඩහිඳ බික්සඟනට ඔවා දෙති.
ආනන්‍දය, වේහලිඞ්ග නම් නිගම ග්‍රාමයෙහි ඝටීකාර නම් කුම්භකාර අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට උපස්ථායක වී, එ ද අග්‍රෝපස්ථායක යි. ආනන්‍දය, ඝටීකාර කුම්භකාරයාහට ජෝතිපාල නම් මණෙවු යහළු වී, එ ද ප්‍රියසහාය යි. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජෝතිපාල මණෙවු ඇමැතී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ.
අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි. ආනන්‍දයෙනි, මෙසේ කී කල ජෝතිපාල මාණවක ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර ජෝතිපාල මාණවකහට තෙල බස් කී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් දැක්ම මා විසින් සාධුසම්මත වේ”යයි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මණෙවු ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. යහළු ජෝතිපාලයෙනි, ඉදින් එසේ වී නම් නහනුවස් කළ කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට යම්හ. ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක ‘යහළුව එසේ මැනැවැ’යි ඝටීකාර කුම්භකාරහට පිළිවදන් ඇස්වී. ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර ද ජෝතිපාල මාණවක ද නාහන කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට ගියෝ.