Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 201-300 න් 6387

ඒ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට ප්‍රතිසන්‍ධි වශයෙන් පැමිණියාහු ය. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන උපදින හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගතිගත වූ දුගතිගත වූ සත්ත්‍වයන් දකින්නෙම්වා, කම් වූ පරිදි මිය පරලොව ගිය සත්ත්‍වයන් දැනගන්නෙම්වා” යි කැමැති වන්නේ නම් ශීලයෙහි ම සම්පූර්‍ණකාරී වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
18. මහණෙනි, මහණෙක් “ආස්‍රවක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්ත සමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත් ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව) ඉහාත්මයෙහි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නෙම්වා”යි කැමැති වන්නේ නම් ශීලයෙහි ම සම්පූර්‍ණකාරී වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
19. “මහණෙනි, පිරිපුන් සිල් ඇතිව ප්‍රාතිමෝක්‍ෂ සම්පන්නව වසවු. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගෝචරයෙන් සමෘද්ධ ව වසවු. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු ව සමාදන් ව ශික්‍ෂාපදයන්හි හික්මෙවු”යි මෙසේ යම් ඒ වචනයෙක් කියන ලද ද, එය මේ සඳහා කියන ලදී.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
ආකඞ්ඛෙය්‍ය සූත්‍රය සවැනි යි.
1. 1. 7.
වත්‍ථුපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක.
2. මහණෙනි, කිලිටි වූ මල ගත් වස්ත්‍රයෙක් වේ ද, ඒ වස්ත්‍රය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන් පැහැය පිණිස හෝ මදටිය (මදරත්) පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය නො මනා ව රැඳූ පැහැ ඇත්තක් ම වන්නේ ය. අපිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්‍රය අපිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත කිලිටි වූ කල්හි දුගතිය කැමැති විය යුතු යි.
3. මහණෙනි, පිරිසුදු පබසර වතක් වේ ද, එය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන්පැහැය පිණිස හෝ මදටිය පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය මනා පැහැ ඇත්තක් ම වන්නේ ය. පිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්‍රය පිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත නො කිලිටි වූ කල්හි සුගතිය ම කැමැති විය යුතු යි.
4. මහණෙනි, චිත්තෝපක්ලේශයෝ (සිත කෙලෙසන ධර්‍මයෝ) කවරහු ද? අභිධ්‍යා (ස්වකීය වස්තුවෙහි ඡන්‍දරාගය) විෂමලෝභය (-මෙරමා අයත් වස්තුවෙහි ඡන්‍දරාගය) සිත කෙලෙසන්නෙකි. ව්‍යාපාදය සිත කෙලෙසන්නෙකි. ක්‍රෝධය සිත කෙලෙසන්නෙකි. උපනාහය (බද්ධවෛරය) සිත කෙලෙසන්නෙකි. මක්ඛය (ගුණ මකු බව) සිත කෙලෙසන්නෙකි. පළාසය (යුගග්‍රාහය) සිත කෙලෙසන්නෙකි. ඊර්‍ෂ්‍යාව සිත කෙලෙසන්නෙකි. මසුරුබව සිත කෙලෙසන්නෙකි. මායාව සිත කෙලෙසන්නෙකි. කපටිබව සිත කෙලෙසන්නෙකි. ථම්භය (තදබව) සිත කෙලෙසන්නෙකි. සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම) සිත කෙලෙසන්නෙකි. මානය සිත කෙලෙසන්නෙකි. අතිමානය සිත කෙලෙසන්නෙකි. මදය සිත කෙලෙසන්නෙකි. ප්‍රමාදය සිත කෙලෙසන්නෙකි.
5. මහණෙනි, ඒ භික්‍ෂු තෙමේ අභිධ්‍යාවිෂමලෝභය සිත පිළිබඳ උපක්ලේශයෙකැයි මෙසේ දැන සිත පිළිබඳ උපක්ලේශ වූ අභිධ්‍යා විෂමලෝභය දුරු කරයි. ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රෝධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ක්‍රෝධය දුරු කරයි. උපනාහය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන උපනාහය දුරු කරයි. මක්ඛය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මක්ඛය දුරු කරයි. පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන පළාසය දුරු කරයි. ඊර්‍ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ඊර්‍ෂ්‍යාව දුරු කරයි. මසුරුබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මසුරුබව දුරු කරයි. මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මායාව දුරු කරයි. කපටිබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන කපටිබව දුරු කරයි. ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ථම්භය දුරු කරයි. සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන සාරම්භය දුරු කරයි. මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මානය දුරු කරයි. අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන අතිමානය දුරු කරයි. මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මදය දුරු කරයි. ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ප්‍රමාදය දුරු කරයි.
6. මහණෙනි, යම් කලෙක මහණකුගේ අභිධ්‍යාවිෂමලෝභය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අභිධ්‍යාවිෂමලෝභය ප්‍රහීණ වූයේ වේ ද, ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ව්‍යාපාදය ප්‍රහීණ වූයේ වේ ද, ක්‍රෝධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ක්‍රෝධය ප්‍රහීණ වූයේ වේ ද, බද්ධවෛරය (උපනාහය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ බද්ධවෛරය ප්‍රහීණ වූයේ වේ ද, ගුණමකුකම (මක්ඛය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ගුණමකුකම ප්‍රහීණ වූයේ වේ ද, පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ පළාසය ප්‍රහීණ වූයේ වේ ද, ඊර්‍ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ඊර්‍ෂ්‍යාව ප්‍රහීණ වූයේ වේ ද, මසුරුකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මසුරුකම ප්‍රහීණ වූයේ වේ ද, මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මායාව ප්‍රහීණ වූයේ වේ ද, කපටිකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ කපටිකම ප්‍රහීණ වූයේ වේ ද, ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ථම්භය ප්‍රහීණ වූයේ වේ ද, සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ සාරම්භය ප්‍රහීණ වූයේ වේ ද, මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මානය ප්‍රහීණ වූයේ වේ ද, අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අතිමානය ප්‍රහීණ වූයේ වේ ද, මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මදය ප්‍රහීණ වූයේ වේ ද, ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ප්‍රමාදය ප්‍රහීණ වූයේ වේ ද,
7. හෙතෙම බුදුරජානන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණධර්‍මයන්ගෙන් යුක්තයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරිසදම්මසාරථියහ, දෙවිමිනිසුන්ගේ ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ,” කියා යි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. සන්‍දිට්ඨික ය (තමා විසින් දැක්ක යුතු ඵල ඇත්තේ ය) අකාලික (කල් නො යවා විපාක දෙන්නේ) ය. ඒහිපස්සික (‘එව, මෙය බලව’ යි දැක්වීමට සුදුසු) ය. ඕපනයික (සිත්හි එළවිය යුතු) ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු ය” කියා යි. සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා උජුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා ඤායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සාමීචිපටිපන්න ය. යම් මේ සෝතාපන්නාදි පුරිස යුගල සතරෙක් වේ ද, (සොතාපත්තිමග්ගට්ඨ, සෝතාපත්තිඵලට්ඨ ආදි) පුරිස පුග්ගලයෝ අට දෙනෙක් වෙත් ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ දුර සිට ගෙනා සිවුපසය ලැබීමට සුදුසු ය. ආගන්තුකසත්කාරය ලැබීමට සුදුසු ය. දක්‍ෂිණාවට සුදුසු ය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය. ලෝකයාට උතුම් පින්කෙත ය” කියා යි.
8. යම් හෙයකින් එ මහණහු විසින් උපක්ලේශ දුරු කරන ලද්දේ ද, වමනය (නැවත නො ගන්නා සේ බැහැර කරණ ලද්දේ ද), මුදන ලද්දේ ද, ප්‍රහීණ කරණ ලද්දේ ද, දුරු කරණ ලද්දේ ද, හෙ තෙමේ ‘මම බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය (බුද්ධාදීන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් ඇති වන සොම්නස) ලබයි. ධර්‍මවේදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘ධර්‍මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය ලබයි. ධර්‍මවේදය ලබයි. සොම්නසින් හා ඤාණයෙක් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය (ගුණ දැන පැහැදීම නිසා ඇති වන සොම්නස) ලබයි. ධර්‍මවේදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීති ඇති වෙයි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘යම් හෙයකින් මා විසින් උපක්ලේශ ත්‍යක්තය, වමිත ය, ප්‍රහීණ ය, ප්‍රතිනිස්සෘෂ්ටය ය’ යි සිතන්නේ අර්‍ත්‍ථවේදය ලබයි. ධර්‍මවේදය ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙයි. සන්සිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි.
9. මහණෙනි, මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති ඒ අනගැමි මහණ තෙම බැහැර කළ කළු සහල් ඇති නොයෙක් සූපව්‍යඤ්ජන ඇති ඇල්සාලේ බත වළඳයි ද, ඔහුට එය මාර්‍ගඵලාන්තරාය පිණිස නො වෙයි. මහණෙනි, යම්සේ කිලුටු වූ මල ගත් වස්ත්‍රයක් පිරිසුදු ජලයට පැමිණ පිරිසුදු වූයේත් පබසර වූයේත් වේ ද, උදුන්මුවට පැමිණ රන් පිරිසිදු වූයේත් බබළන්නේත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති භික්‍ෂු තෙම බැහැර කළ කළු සහල් ඇති නොයෙක් සූපව්‍යඤ්ජන ඇති ඇල්සහලේ බත වළඳන්නේ නමුත් එය ඔහුට මාර්‍ගඵලාන්තරාය පිණිස නො වෙයි.
10. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තෙවෙනි දිශාව ද, එසේ ම සිවුවැනි දිශාව ද, එසේ ම උඩ යට සරස ද සියලු තන්හි සියල්ලන් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සතුන් ඇති ලොව විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අවෛරයෙන් අව්‍යාපාදයෙන් (මෛත්‍රියෙන්) පතුරුවා වාසය කෙරෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, එසේ ම සිවුවැනි දිශාව ද, එසේ ම උඩ යට සරස ද සියලු තන්හි සියල්ලන් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සත්ත්‍වයන්ගෙන් යුක්ත වූ ලෝකය විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් පතිරුවා වාසය කරයි.
11. හෙතෙම ‘මේ දුඃඛසත්‍යය ඇත. හීන වූ සමුදය සත්‍යය ඇත. උතුම් වූ මාර්‍ගසත්‍යය ඇත. මේ බ්‍රහ්මවිහාර සංඥාවට වඩා උතුම් නිවනෙක් ඇතැ’යි දැන ගනියි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි. භවාස්‍රවයෙන් ද සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල මිදුණේ ය යි ඤාණය ඇති වෙයි. ජාතිය ක්‍ෂීණ වී ය. බ්‍රහ්මචරියය වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ භික්‍ෂු තෙම ඇතුළත නෑමෙන් ස්නානය කෙළේ යයි කියනු ලැබේ.
12. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හුන්නේ වෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ බාහුකා නදියට නෑම පිණිස යේ දැ”යි මෙය කීය.
13. “බමුණ, බාහුකා නදියෙන් කවර ප්‍රයෝජනයෙක් ද? බාහුකානදිය කුමක් කරන්නී ද? “භවත් ගෞතමයෙනි, බාහුකානදිය ‘විශුද්ධභාවය දෙතැයි නොහොත් ශ්‍රේෂ්ඨලෝකයට පමුණුවතැ’යි බොහෝ දෙනා විසින් සම්මත ය. භවත් ගෞතමයෙනි, බාහුකා නදිය බොහෝ දෙනා විසින් පවිත්‍ර ය (පුණ්‍යතීර්‍ත්‍ථයෙකැ) යි සම්මත ය. බාහුකානදියෙහි බොහෝ දෙනා පව්කම් පා කර හරිත් ය යි කී ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණයාට ගාථායෙන් වදාළහ:
බාහුකානදියට ද අධිකක්ක නම් තීර්‍ත්‍ථයට ද ගයාතීර්‍ත්‍ථයට ද සුන්‍දරිකා නදියට ද සරස්වතිනදියට ද ප්‍රයාගතීර්‍ත්‍ථයට ද යළි බාහුමතී නදියට ද,
කළපව් ඇති අඥජන තෙමේ නිතර පිවිසියේ නමුත් කෘෂ්ණ (අකුශල) කර්‍ම ඇති හෙතෙමේ පිරිසිදු නො වෙයි. සුන්‍දරිකානදිය කුමක් කරන්නී ද? ප්‍රයාගතීර්‍ත්‍ථය කිම? බාහුකානදිය කිම? (බාහුකානදී ආදීහු) වෛර ඇත්තා වූ කළ රළුකම් ඇත්තා වූ පාපකර්‍මයෙන් යුක්ත වූ ඒ නුවණ නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.
පිරිසිදු වූවහුට (කෙලෙස් නැත්තහුට) හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ. පිරිසිදු වූ පරිශුද්ධ කර්‍ම ඇත්තහුගේ ව්‍රතය හැම කල්හි සමෘද්ධ වේ. බ්‍රාහ්මණය, මෙහි ම ස්නානය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කරව.
බොරු නො කියහි නම්, සතුන්ට හිංසා නො කෙරෙහි නම්, නොදුන් දෙය නො ගනිහි නම්, ශ්‍රද්ධා ඇත්තෙහි මසුරු නොවෙහි නම්, ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද? තාගේ ලිඳ වුව ද ගයාව වේ.
14. මෙසේ කීකල සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ “භාග්‍යවතුන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේ ද, වැසුණු දෙයක් වැහුම් හරින්නේ යම්සේ ද, මං මුළා වූවහුට මග කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තාහු රූප දක්නාහු ය යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් දල්වන්නේ යම්සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මදේශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේත් ධර්‍මයත් සඞ්ඝයාත් සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්වා, උපසම්පදාව ලබන්නෙම්වා”යි කී ය.
15. සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබී ය. උපසම්පදාව ලැබී ය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ උපසම්පන්න වී නොබෝකල් ඇත්තේ එකලා වූයේ වෙන් වූයේ එළඹ සිටි සිහි ඇත්තේ කෙලෙස් තවන වැර ඇත්තේ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇත්තේ නොබෝ කලකින් ම යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මනා ව ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි අවසානය වූ ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේ දී ම තෙමේ දැන ගෙන ඊට පැමිණ වාසය කෙළේ ය. ජාතිය ක්‍ෂීණ වි ය. බඹසර වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ රහත්බව පිණිස කළ යුතු අන් කටයුත්තෙක් නැතැයි දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
වත්‍ථූපමසූත්‍රය සත්වැනි යි.
1. 1. 8.
සල්ලේඛ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් මහාචුන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
2. ස්වාමීනි, (විසිවැදෑරුම්) ආත්මවාදයෙන් යුක්ත වූත් (අටවැදෑරුම්) ලෝකවාදයෙන් යුක්තවූත් යම් මේ නොයෙක් ආකාර මිථ්‍යාදෘෂ්ටීහු ලෝකයෙහි උපදිත් ද, ස්වාමීනි, පළමු කොට ම හෙවත් විදර්‍ශනාමිශ්‍ර ප්‍රථම (භාවනා) මනස්කාරය මෙනෙහි කරන්නා වූ ම මහණහට මෙසේ ඒ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේ ද? මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ ද?
චුන්‍දය, ආත්මවාදයෙන් යුක්ත වූත් ලෝකවාදයෙන් යුක්ත වූත් යම් මේ නොයෙක් ආකාර දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත් ද, යම් පඤ්චස්කන්‍ධයෙක්හි දෘෂ්ටිහු උපදිත් ද, යම් පඤ්චස්කන්‍ධයෙක්හි මේ දෘෂ්ටීහු ලැග සිටිත් ද, යම් තැනෙක මේ දෘෂ්ටීහු හැසිරෙද්ද, ඒ පඤ්චස්කන්‍ධය “තෙල මා නොගැත්තේ ය. මම තෙල පඤ්චස්කන්‍ධයෙම නො වෙමි. මාගේ ඉසුරු පඤ්චස්කන්‍ධයෙහි නො පවත්නේය යි මෙසේ මෙය තත් වූ පරිදි විවසුන් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුර ලීම වෙයි.
3. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඕහට ‘සල්ලේඛයෙන් (කෙලෙස් සිඳීමෙන්) යුක්ත ව වාසය කරමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යශාසනයෙහි ඉහාත්මභාවසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
4. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් විතර්‍කවිචාරයන් සන්සිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති හිතේ උතුම් එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි යන යමක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘සල්ලේඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ යයි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයයෙහි දෘෂ්ටධර්‍ම සුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
5. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ප්‍රීතිය ද හැරපීමෙන් උපේක්‍ෂක ව සිහි ඇති ව මනා නුවණින් යුක්ත ව වාසය කෙරෙයි ද, කයින් සැප විඳියි ද, යම් ධ්‍යාන හේතුවකින් තෘතීයධ්‍යානයෙන් යුක්ත වූවහුට උපේක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුවසේ වසනසුලු යි බුද්ධාදි ආර්‍ය්‍යයෝ පසසත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් යුක්ත ව වසමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය විනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයයෙහි දෘෂ්ටධර්‍මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
6. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් (පළමුකොට ම) සැපය ද නැති කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂායෙන් වූ ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යශාසනයේ දෘෂ්ටධර්‍මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
7. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව (රූපාදිනානාගෝචරයන්හි පවත්නා) සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට “මම සල්ලේඛයෙන් වසමි”යි අධිමානයෙක් වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
8. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානයෙක් වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
9. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි (මෙනෙහි කරන්නේ) ආකිඤ්චඤ්ඤායතනධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට මම සල්ලේඛයෙන් වසමි’යි, අධිමානය වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්ත විහරණයෝ ය යි කියනු ලැබෙත්.
10. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානය වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
[1. සල්ලේඛ පර්‍ය්‍යාය:]
1. චුන්‍දය, මේ විහිංසාදි සුසාළිස් වස්තූන්හි තොප විසින් සල්ලේඛය කට යුතු යි. ‘අන්‍යයෝ සතුන්ට හිංසා කරන්නෝ වන්නාහු ය අපි මෙහි (සතුන්ට) හිංසා නො කරන්නමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
2. ‘අන්‍යයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. අපි මෙහි සතුන් මැරීමෙන් වැලකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
3. ‘අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝ වන්නාහු ය. අපි මෙහි නුදුන් දෙය ගැන්මෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
4. ‘අන්‍යයෝ අබ්‍රහ්මචාරී වන්නාහු ය. අපි මෙහි බ්‍රහ්මචාරී වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
5. ‘අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහු ය. අපි මෙහි බොරු කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
6. ‘අන්‍යයෝ පිසුණු බස් කියන්නෝ වන්නාහු ය. අපි පිසුණු බස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
7. ‘අන්‍යයෝ රළුබස් කියන්නෝ වන්නාහු ය. මෙහි දී අපි රළුබස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
8. ‘අන්‍යයෝ ප්‍රලාප කියන්නේ වන්නාහු ය. මෙහි දී අපි ප්‍රලාප කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
9. ‘අන්‍යයෝ අභිධ්‍යා බහුල කොට ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි අභිධ්‍යා බහුල කොට නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
10. ‘අන්‍යයෝ ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ව්‍යාපන්න සිත් නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
11. ‘අන්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්දෘෂ්ටිකයෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
12. ‘අන්‍යයෝ මිථ්‍යාසඞ්කල්ප ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සඞ්කල්ප ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
13. ‘අන්‍යයෝ මිථ්‍යාවචන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්වචන ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
14. ‘අන්‍යයෝ මිථ්‍යාකර්‍මාන්ත ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්කර්‍මාන්ත ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
15. ‘අන්‍යයෝ මිථ්‍යාආජීව ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යගාජීවය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
16. ‘අන්‍යයෝ මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්ව්‍යායාම ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
17. ‘අන්‍යයෝ මිථ්‍යාස්මෘතිය ඇත්තෝ වන්නාහුය. මෙහි දී අපි සම්‍යක්ස්මෘතිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
18. ‘අන්‍යයෝ මිථ්‍යාසමාධිය ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සමාධිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
19. ‘අන්‍යයෝ මිථ්‍යාඥාන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්ඥාන ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
20. ‘අන්‍යයෝ මිථ්‍යාවිමුක්ති ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්විමුක්ති ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
21. ‘අන්‍යයෝ ථීනමිද්ධයෙන් මඩනා ලද්දෝ වන්නාහු ය. මෙහි දී අපි පහ වූ ථීනමිද්ධ ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
22. ‘අන්‍යයෝ උද්ධතයෝ වන්නාහු ය. මෙහි දී අපි අනුද්ධතයමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
23. ‘අන්‍යයෝ විචිකිච්ඡා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තරණය කළ විචිකිච්ඡා ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
24. ‘අන්‍යයෝ කිපෙනසුල්ලෝ වන්නාහු ය. මෙහි දී අපි නොකිපෙනසුල්ලමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
25. ‘අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි බද්ධවෛර නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
26. ‘අන්‍යයෝ ගුණමකුවෝ වන්නාහු ය. මෙහි දී අපි ගුණමකුවමෝ නොවන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
27. ‘අන්‍යයෝ යුගග්‍රාහ ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි යුගග්‍රාහ නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
28. ‘අන්‍යයෝ ඊර්‍ෂ්‍යා කරන්නෝ වන්නාහු ය. මෙහි දී අපි ඊර්‍ෂ්‍යා නො කරන්නමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
29. ‘අන්‍යයෝ මසුරෝ වන්නාහු ය. මෙහි දී අපි මසුරමෝ නො වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
30. ‘අන්‍යයෝ කෛරාටිකයෝ වන්නාහු ය. මෙහි දී අපි කෛරාටිකයමෝ නො වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
31. ‘අන්‍යයෝ මායා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි මායා නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
32. ‘අන්‍යයෝ තදබැව් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තදබැව් නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
33. ‘අන්‍යයෝ අධිකමාන ඇත්තෝ වන්නාහු ය, මෙහි දී අපි අධිකමාන නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
34. ‘අන්‍යයෝ දුර්‍වචයෝ වන්නාහු ය. මෙහි දී අපි සුවචයමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
35. ‘අන්‍යයෝ පාපමිත්‍රයන් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි කල්‍යාණමිත්‍රයන් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
36. ‘අන්‍යයෝ ප්‍රමත්තයෝ වන්නාහු ය. මෙහි දී අපි අප්‍රමත්ත වූවමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
37. ‘අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ශ්‍රද්ධා ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
38. ‘අන්‍යයෝ අහිරිකයෝ වන්නාහු ය. මෙහි දී අපි විළිසිත් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
39. ‘අන්‍යයෝ පවට බිය නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි පවට බිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
40. ‘අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ඇසූ පිරූ තැන් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
41. ‘අන්‍යයෝ කුසීතයෝ වන්නාහු ය. මෙහි දී අපි ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
42. ‘අන්‍යයෝ සිහි මුළා වූවෝ වන්නාහු ය. මෙහි දී අපි එළඹ සිටි සිහි ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
43. ‘අන්‍යයෝ දුෂ්ප්‍රාඥ වන්නාහු ය. මෙහි දී අපි නුවණැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
44. ‘අන්‍යයෝ තමන්ගේ දෘෂ්ටිය පරාමර්‍ශනය කළාහු, දැඩි කොට ගත්තාහු, අත් නො හරින්නෝ වන්නාහු ය. මෙහි දී අපි ස්වදෘෂ්ටිය ම පරාමර්‍ශනය නො කරන්නමෝ, දැඩි කොට නො ගන්නමෝ, සුවසේ බැහැර කළ හැක්කමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
[2. චිත්තුප්පාද පර්‍ය්‍යාය:]
1. චුන්‍දය, මම කුශලධර්‍මයන්හි සිත් ඉපදවීම ද බොහෝ උපකාර ය යි කියමි. කයින් හා වචනයෙන් කිරීම් කරවීම්හි (අනුසස්) කියනු ම කවරේ ද?
2. චුන්‍දය, එහෙයින් මෙහි ලා ‘අන්‍යයෝ හිංසා කරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි අහිංසකයමෝ වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය. ‘අන්‍යයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි සතුන් මැරීමෙන් වෙන් වූවමෝ වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය..... ‘අන්‍යයෝ ස්වදෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නාහු දැඩි කොට ගන්නාහු. සුව සේ බැහැර නො කළ නො න්නාහු වන්නාහු ය. මෙහි ලා අපි ස්වදෘෂ්ටිය ම පරාමර්‍ශනය නො කරන්නමෝ දැඩි කොට නො ගන්නමෝ සුව සේ හළ හෙන්නමෝ නො වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය. (44)
[3. පරික්කමන පර්‍ය්‍යාය:]
1. චුන්‍දය, යම් සේ විෂමමාර්‍ගයෙක් වේ ද, එය හැරපියා යෑමට අන්‍ය වූ සමමාර්‍ගයෙකුත් වේ ද, චුන්‍දය, යම් සේ විෂම තොටෙක් වේ ද, එය හැරපියා යෑමට අන්‍ය වූ සම තොටෙකුත් වේ ද,
2. චුන්‍දය, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාට එයින් දුරුවීම පිණිස අහිංසාව වෙයි. ප්‍රාණඝාත කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. නුදුන් දැය ගන්නා පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අදත්තාදාන විරමණය වෙයි. අබ්‍රහ්මචාරී පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබ්‍රහ්මචර්‍ය්‍ය විරමණය වෙයි. මුසවා කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පිසුණවාචාවිරමණය වෙයි. පරොස්බස් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පරුෂවාචාවිරමණය වෙයි. නිෂ්ඵල වචන කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්ඵප්පලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල කොට ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපන්න වූ සිත් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අව්‍යාපාදය වෙයි. (1-10)
3. මිථ්‍යාදෘෂ්ටිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්දෘෂ්ටිය වෙයි. මිථ්‍යාසංකල්පය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්සංකල්පය වෙයි. මිථ්‍යාවචන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්වචන වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්කර්‍මාන්තය වෙයි. මිථ්‍යාජීවය ඇති පුද්ගලයාට එයින් දුරුවීම පිණිස සම්‍යගාජීවය වෙයි. මිථ්‍යාව්‍යායාම ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්ව්‍යායාමය වෙයි. මිථ්‍යාස්මෘතිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්ස්මෘතිය වෙයි. මිථ්‍යාසමාධිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්සමාධිය වෙයි. මිථ්‍යාඥානය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්ඥානය වෙයි. මිථ්‍යාවිමුක්තිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්විමුක්තිය වෙයි. (11-20)
4. ථීනමිද්ධයෙන් මැඩුණු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස විගත ථීනමිද්ධභාවය වෙයි. උද්ධතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනෞද්ධත්‍යය වෙයි. විචිකිච්ඡාව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස තිණ්ණවිචිකිච්ඡතාව වෙයි. කිපෙනසුලු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අක්‍රෝධය වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබද්ධවෛරය වෙයි. ගුණමකු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමක්‍ඛය වෙයි. යුගග්‍රාහය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස යුගග්‍රාහාභාවය වෙයි. ඊර්‍ෂ්‍යා කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනීර්‍ෂ්‍යාව වෙයි. මසුරු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො මසුරු බව වෙයි. ශඨ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අශඨභාවය වෙයි. මායාවී පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො තද බව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනතිමානය වෙයි. දුර්වච පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සුවචභාවය වෙයි. පාපමිත්‍රයන් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස කල්‍යාණමිත්‍රතාව වෙයි. ප්‍රමත්ත පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අප්‍රමාදය වෙයි. අශ්‍රද්ධපුද්ගලයාට එයින් දුරු වීම පිණිස ශ්‍රද්ධාව වෙයි. අහ්‍රිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස හ්‍රිය වෙයි. අනපත්‍රපපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අපත්‍රපතාව වෙයි. අල්පශ්‍රෑතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස බහුශ්‍රැතතාව වෙයි. කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්‍ය්‍යාරම්භය වෙයි. මුළා සිහි ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස එළඹ සිටි සිහිඇති බව වෙයි. නුවණ නැති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රඥාසම්පදාව වෙයි. සියදිටු පැහැසීම දැඩිව ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො සියදිටු පැහැසීම නො දැඩි ගැනීම හරනට පහසු බව වෙයි. (21-44)
[4. උපරිභාවපර්‍ය්‍යාය:]
1. චුන්‍දය, යම්සේ වනාහි යම් කිසි අකුශලධර්‍ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ලෝ (නොමිහිරිවිපාක ඇති බැවින්) පහත්බවට කරුණු වෙති. යම් කිසි කුශලධර්‍ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ලෝ මිහිරිවිපාක ඇති බැවින්) උසස් බවට කරුණු වෙති.
2. චුන්‍දය, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ උසස්බව පිණිස අවිහිංසාව වෙයි. සතුන් මරන පුද්ගලයාගේ උසස්බව පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. සොරකම් කරන ... සියදිටු පැහැසීම දැඩිව ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාගේ උසස්බව පිණිස නො සියදිටු පැහැසීම නො දැඩි ගැනීම හරනට පහසුබව වෙයි. (44)
[5. පරිනිබ්බානපර්‍ය්‍යාය:]
1. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ මඩෙහි එරුණේ ද හෙතෙමේ මඩෙහි එරුණු අනෙකක්හු නඟාලන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන නො වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ මඩෙහි නො එරුණේ ද, හෙතෙමේ මඩෙහි එරුණු අනෙකක්හු නඟාලන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ නො දැමුණේ නො හික්මුණේ නො පිරිනිවුණේ වේ ද, හෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේ ය, හික්මවන්නේය, පිරිනිවීමට පමුණුවන්නේයැ යන මෙකරුණ විද්‍යමාන නො වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ දැමුණේ හික්මුණේ පිරිනිවුණේ වේ ද, හෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේය හික්මවන්නේය පිරිනිවීමට පමුණුවන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන වෙයි.
2. චුන්‍දය, මෙපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අවිහිංසාව වෙයි. ප්‍රාණඝාතක පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. නො දුන් දෙය ගන්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අදත්තාදානවිරමණය වෙයි. බඹසර නො රක්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබ්‍රහ්මචර්‍ය්‍යවිරමණය වෙයි. බොරු කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස පිසුණවාචාවිරමණය වෙයි. රළුබස් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ඵරුසවාචාවිරමණය වෙයි. සම්ඵප්පලාප කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්ඵප්පලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල කොට ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපන්න සිත් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අව්‍යාපාදය වෙයි. (1-10)