Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 2801-2900 න් 6387

ගිනිවෙස්න, සුඛවේදනා ද අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ, ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත ව්‍යයස්වභාව ඇත, විරාගස්වභාව ඇත, නිරෝධස්වභාව ඇත. ගිනිවෙස්න, දුඃඛවේදනා ද අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත, ව්‍යයස්වභාව ඇත, විරාගස්වභාව ඇත, නිරෝධස්වභාව ඇත. උපේක්‍ෂාවේදනා ද ගිනිවෙස්න, අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ, ප්‍රත්‍යයන් නිසා උපන, ක්‍ෂයස්වභාව ඇත. ව්‍යයස්වභාව ඇත. විරාගස්වභාව ඇත. නිරෝධස්වභාව ඇත.
ගිනිවෙස්න, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සුඛවේදනායෙහි දු කලකිරෙයි, දුඃඛවේදනායෙහි දු කලකිරෙයි, උපේක්‍ෂාවේදනායෙහි දු කලකිරෙයි. කලකිරුණේ විරක්ත (නො ඇලුණේ) වෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි ‘විමුක්තයෙමි’ යන ඥානය වෙයි, ජාතිය ගෙවිණ, මඟබඹසර වැස නිමවන ලද, (සිවුමඟ) කරණී කරනලද, මෙබව පිණිස අනි කිසෙක් නැතැ’යි දැනගනී. මෙසෙයින් ගිනිවෙස්න, විමුක්තසිත් ඇති මහණ කිසිවකු සමග සංවාද නො කෙරෙයි, කිසිවකු සමග විවාද නො කෙරෙයි, ලොවැ යමක් කියන ලද නම් පරාමර්‍ශ නැති වැ එයින් මැ ව්‍යවහාර කෙරෙයි.
එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් පිටිපසැ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියාහු වෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙසිත විය: “භාග්‍යවතුන් වහන්සේ අපට ඒ ඒ ධර්‍මයන් ප්‍රඥායෙන් දැන ප්‍රහාණය වදාළහ, සුගතයන් වහන්සේ අපට ඒ ඒ ධර්‍මයන් නුවණින් දැන දුරැලීම වදාළහ”යි. මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේගේ සිත උපාදාන රහිත කොට ආශ්‍රවයන් කෙරෙන් මිදිණ. දීඝනඛපරිව්‍රාජකයන්ට කෙලෙස් රජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස උපන: “යම් කිසි ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෙක් ඇද්ද, එහැම නිරුද්ධ වන පියවි ඇතැ”යි.
ඉක්බිති දීඝනඛ පරිව්‍රාජක දුටු දහම් ඇතියේ පත් දහම් ඇතියේ පිළිවිදි දහම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහ වූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:
“ඉතා මැනැව භවත් ගෞතමයෙනි, ඉතා මැනැව භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවක්හට මඟ පවසන්නේ හෝ වේ ද, ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දල්වන්නේ ද, එසෙයින් භවත් ගෞතමයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසනලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.
සිව් වැනි දීඝනඛ සූත්‍ර යි.
2. 3. 5.
මාගන්‍දිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්‍ය නම් වූ කුරුරටවැසියන්ගේ නියම්ගම්හි භාරද්වාජගෝත්‍ර බමුණුගේ අග්නි හෝත්‍රශාලායෙහි තණඇතිරියෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන කල්මාෂදම්‍යනිගමයට පිඬු පිණිස පිවිසියහ. කල්මාෂදම්‍යයෙහි පිඬුසිඟා පසුබත් වේලෙහි පිඬුවායෙන් නැවැතිසේක් එක්තරා වනළැහැබක් කරා දිවාවිහාර පිණිස එළැඹියහ. එ වනළැහැබට වැද එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙන් වැඩහුන් සේක.
එකල්හි මාගන්‍දිය පරිව්‍රාජක ජඞ්ඝාවිහරණයෙහිලා සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජගෝත්‍රයෙහි වූ බමුණුහුගේ ගිනිදෙවොල කරා එළැඹියේ යැ. මාගන්‍දිය පරිව්‍රාජක භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි පනවනලද තණඇතිරියක් දුටුයේ යැ. දැක භාරද්වාජගෝත්‍ර බමුණුහට තෙල කී යැ: භවත් භාරද්වාජයන්ගේ ගිනිදෙවොලෙහි මේ තණඇතිරිය කවරක්හට පනවනලද ද? ‘ශ්‍රමණයක්හට අනුරූප වූ ශයනයෙකැ’යි සිතමි.
භවත් මාගන්‍දිය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවැදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත. ඒ භාග්‍යවතුන් ගෞතමයන්ගේ මෙබඳු කල්‍යාණ වූ කීර්තිශබ්දය උස් වැ පැනනැංගේ යැ: “ඒ භාග්‍යවත්හු මෙකරුණෙන් අර්‍හත් වූහ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යා චරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදුහ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිසුනට ශාස්තෘ වූහ, බුද්ධයහ, භගවත් වූහ” යි ඒ භවත් ගෞතමයන්ට තෙල යහන පනවනලදැ’යි. භවත් භාරද්වාජය, ඇපි හතවෘද්ධි ඇති ඒ භවත් ගෞතමයන්ගේ යහන දුටුවමෝ ද, ඒකාන්තයෙන් නො නිසි දැක්මක් දුටුවම්හ’යි. මාගන්‍දිය, තෙල වචනය රකුව, මාගන්‍දිය තෙල වචනය රකුව. ඒ භවත් ගෞතමයන්හට බොහෝ වූ මැ ක්‍ෂත්‍රියපණ්ඩිතයෝ ද බ්‍රාහ්මණපණ්ඩිතයෝ ද ගෘහපතිපණ්ඩිතයෝ ද ශ්‍රමණපණ්ඩිතයෝ ද අතිශයින් ප්‍රසන්න වූහ. පරිශුද්ධ වූ අනවද්‍ය වූ හේතුධර්‍මයහි විනීතයහ’යි. භවත් භාරද්වාජය, ඇපි ඒ භවත් ගෞතමයන් හමුයෙහි නමුදු දක්නමෝ නම් හමුයෙහි දු ඔවුන්ට (මෙසේ) කියම්හ: “ශ්‍රමණ ගෞතමයෝ හතවෘද්ධි ඇත්තාහ”යි. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එන්නේ ද එහෙයිනි. ඉදින් භවත් මාගන්‍දියහට එය බරෙක් නො වේ නම් ශ්‍රමණගෞතමයන්හට තෙල සැල කරන්නෙමි’යි. (මා රක්නට) අනුත්සුක වැ භවත් භාරද්වාජ මා විසින් කියනලදුයේ මැ කියාව’යි.
බුදුහු විශුද්ධ වූ ඉක්මගිය මිනිස්බව ඇති දිවසෝධයින් මාගන්‍දිය පරිව්‍රාජක සමග (කරනලද) භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ මේ කථාසල්ලාපය ඇසූසේක. ඉක්බිති බුදුහු සවස්කාලයෙහි ඵලසමවතින් නැඟී සිටි සේක් භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොල කරා එළැඹි සේක. එළැඹ පනවනලද්දාවූ තණඇතිරියෙහි වැඩ හුන් සේක. ඉක්බිති භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙකැ හින. බුදුහු එකත්පස් වැ හුන් භාරද්වාජගෝත්‍ර බමුණුහට මේ වදාළහ. භාරද්වාජය, මාගන්‍දිය පරිව්‍රාජක සමග මේ තණඇතිරිය මැ අරභයා තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ? යි වදාළහ. මෙසේ වදාළ කල්හි භාරද්වාජ බ්‍රාහ්මණ (ප්‍රීතිසංවේගයෙන්) කම්පිත වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් කි යැ: “ඇපි මෙය මැ භවත් ගෞතමයන් වහන්සේට සැලකරන රිසියම්හ. එතෙකුදු වත් ගෞතමයන් වහන්සේ නො කියන ලද්ද මැ කීහ’යි. භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයා සමග භාග්‍යවතුන් වහන්සේ මේ අතුරු කථාව කොට අඩාළ විය. එකල්හි මාගන්‍දිය පරිව්‍රාජක ජඞ්ගාවිහරණයෙහි සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස්වැ හුන් මාගන්‍දිය පරිව්‍රාජකයන්හට බුදුහු තෙල වදාළසේක.
“මාගන්‍දිය, ඇස වැළිත් රූපය ආරාම කොට ඇත. රූපයෙහි ඇලුණේ යැ. රූපයෙන් පිනවනලද. ඒ චක්‍ෂුස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නාලද, සංවර කරනලද වෙයි. ඒ චක්‍ෂුස සංවරය පිණිස දහම් දෙසන සේක. මාගන්‍දිය තොප විසින් මේ සඳහා තෙල ‘ශ්‍රමණ ගෞතම වෘද්ධිනාශකයෙකැ’යි කියන ලදදැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ ‘ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තේ කැ’යි කියනලද. ඊට හේතු කවරැ යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.
මාගන්‍දිය, ශ්‍රෝත්‍රය වැළිත් ශබ්දය ආරාම කොට ඇත ... මාගන්‍දිය, ඝ්‍රාණය වූකලි ගන්‍ධය ආරාම කොට ඇත … මාගන්‍දිය, ජිව්හාව වූකලී රසය ආරාම කොට ඇත. රසයෙහි ඇලුණී යැ, රසයෙන් පිනවනලද, ඒ ජිව්හාව තථාගතයන් විසින් දාන්ත යැ ගුප්ත යැ සංවෘත යැ. ඒ ජිව්හා සංවරයට දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් තෙල “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තේ කැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.
“මාගන්‍දිය, කය වැළිත් ස්ප්‍රෂ්ටව්‍ය ආරාම කොට ඇත ... මාගන්‍දිය, මනස වැළිත් ධර්‍මය ආරාම කොට ඇත, ධර්‍මයෙහි ඇලුණේ යැ, ධර්‍මයෙන් පිනවනලද, ඒ මනස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරනලද, රක්නාලද, සංවර කරනලද. එ මනස සංවරයට දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් තෙල “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්සේ මා විසින් මේ සඳහා මැ “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. එ කවර හෙයින යත්: අපගේ සූත්‍රයෙහි මෙසේ එන හෙයිනැ’යි.
මාගන්‍දිය, ඒ කිමැ’යි සිතයි ද? මෙලොවැ කිසිවෙක් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කරුණු වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන්ගෙන් සිත් අලවා විසූවිරූ වෙයි. හේ මෑතකාලයෙහි රූපයන්ගේ මැ සමුදය ද අත්‍ථඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත් වූ පරිද්දෙන් දැන රූපතෘෂ්ණාව හැරපියා රූපය අරභයා උපන් පරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාසය කරන්නේ නම්, මාගන්‍දිය තොප විසින් මොහුට කුමක් කියයුතු වන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, කිසි කියයුත්තෙක් නැත.
මාගන්‍දිය, ඒ කිමැ’යි සිතයි ද? මෙලොවැ කිසිවෙක් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති, කාමයන් අරමුණු කොට ඇති, රාගෝත්පත්තියට කරුණු වූ කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් අභිරමණය කළ විරූ විය. හේ මෑතභාගයෙහි ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත් වූ පරිදි දැන ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව හැරපියා ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා උපදනා පරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාසය කෙරේ නම්, මාගන්‍දිය තොප විසින් ක්‍ෂීණාස්‍රවයන්හට කුමක් කියයුතු වන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, කියයුතු කිසිවක් නැත.
මාගන්‍දිය, මම් වූකලි පෙර ගිහිගේවැසි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් අලවා විසීමි. චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ රූපයෙන් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් …. කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් සිත් අලවා විසීමි. මාගන්‍දිය, ඒ මට තුන් පහයෙක් විය. එකෙක් වැසිකලට නිසි වෙයි. එකෙක් හිමත්කලට නිසි වෙයි. එකෙක් ගිමන්කලට නිසි වේ. මාගන්‍දිය, ඒ මම වැසිකලට නිසි වූ පහයෙහි වැසි සාරමස පුරුෂයන් රහිත වූ තූර්‍ය්‍යයෙන් සතුටු වෙමින් යට පහයට නො බස්මි. ඒ මම මෑතභාගයෙහි කාමයන්ගේ මැ සමුදය ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද තත් වූ පරිදි දැන කාමතෘෂ්ණාව හැරපියා පහවූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇතියෙම් වාසය කෙරෙමි. ඒ මම කාමයන්ගේ අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කරනුලබන කාමපරිදාහයෙන් දවනුලබන කාමයන් සේවනය කරන අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඔවුනට නො රිසියෙමි, එහි නො ඇලෙමි, ඒ කවර හෙයින යත්: මාගන්‍දිය, යම් හෙයකින් යම් මේ සමාපත්ති රතියක් වේ ද, එය කාමයන්ගෙන් වෙන් වූයේ මැ යැ, අකුශලධර්‍මයන්ගෙන් වෙන් වූයේ මැ යැ, දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී, ඒ චතුර්‍ත්‍ථධ්‍යානික ඵලසමාපත්තිරතියෙන් සිත් අලවා වසනුයෙම් හීන වූ පඤ්චකාමසුවයට නො සතුටු වෙමි. එහි සිත් අලවා නො වෙසෙමි.
යම්සේ මාගන්‍දිය, ආඪ්‍ය වූ මහත් ධන ඇති මහාභෝග ඇති ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්‍විත වූයේ සිත් අලවා වාසය කරන්නේ යැ, චක්‍ෂුර්විඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ රූපයෙන් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙන් … ජිහ්වාවිඥේය වූ රසයෙන් … කායවිඥේය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට රාගෝත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් (සිත් අලවා වාසය කරන්නේ යැ.) හේ කයින් සුචරිතය කොට වචනයෙන් සුචරිතය කොටක මනසින් සුචරිතය කොට කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට, තව්තිසාවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නේ යැ.
හේ ඒ නන්‍දනවනයෙහි දෙවසරන් සමූහයා විසින් පිරිවරනලදු වැ දිව්‍යමය පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවන්නේ යැ. පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවන ගෘහපතියකු හෝ ගෘහපතිපුත්‍රයකු හෝ දක්නේ යැ. මාගන්‍දිය, ඒ කිමැ’යි සිතහි? කිම ඒ දිව්‍යපුත්‍ර නන්‍දනවනයෙහි දෙවසරන් සමූහයා විසින් පිරිවරන ලදු වැ දිව්‍යපඤ්චකාමගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවනුයේ තෙල ගෘහපතිහුගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ මානුෂපඤ්චකාමගුණයට රුස්නේ ද? මානුෂකාමයන් හේතු කොටගෙන පෙරළා එන්නේ දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මෙය නො වේ මැය. ඒ කුමක් හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, මිනිසුන් පිළිබඳ කාමයනට වඩා දිව්‍යකාමයෝ අතිශයින් සුන්‍දර වූවාහු ද අතිශයින් ප්‍රණීත වූවාහු ද එහෙයිනි.
මාගන්‍දිය, එසෙයින් මම පෙර ගිහි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් අලවා විසීමි: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන් ගෙන් … ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයන්ගෙන් ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයන්ගෙන් … ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයන්ගෙන් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් (සිත් අලවා විසීමි.) එ මම පසු කාලයෙහි කාමයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුපරිදි දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇත්තෙම් වෙසෙමි. ඒ මම කාමයන්හි අවීතරාග වූ කාමතෘෂ්ණායෙන් පෙළනු ලබන කාමපරිදාහයෙන් දවනු ලබන කාමයන් සෙවුනා අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඒ කාමයන් නො පතමි, එහි නො ඇලෙමි. එ කවර හෙයින යත්: මාගන්‍දිය, යම්හෙයෙකින් කාමයන්ගෙන් වෙන් වූ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වූ මේ (චතුර්‍ත්‍ථධ්‍යානිකඵලසමාපත්ති) රතිය දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී ද එහෙයින් ඒ සමාපත්තිරතියෙන් සිත් අලවා වසනුයෙම් හීන වූ කාමය නො පතමි, එහි නො ඇලෙමි.
යම්සේ මාගන්‍දිය, කුෂ්ඨ ඇති වණසිරුරු ඇති පැසුණු සිරුරු ඇති පුරුෂයෙක් කෘමීන් විසින් කනුලබන්නේ නියෙන් වණමුව කසමින් අඟුරුකබලෙකින් කය තවන්නේ ද, ඔහුගේ සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍ය වෛද්‍යයකු එළවන්නාහ. ඔහුට ඒ ශල්‍ය වෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ ඒ බෙහෙත් ලැබ කුෂ්ඨයෙන් මිදෙන්නේ යැ, ආරෝග වූයේ සුවපත් වූයේ සෛවරී වූයේ තමහට වසඟ වූයේ කැමැති තැනෙක යනසුලු වන්නේ යැ. හේ වණසිරුරු ඇති, පැසුණුසිරුරු ඇති, කෘමීන් විසින් කනුලබන, නියෙන් වණමුව කසන, අඟුරුකබලින් කය තවන අනෙක් කුෂ්ඨ පුරුෂයකු දක්නේ යැ. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟනෙහි ද? ඒ පුරුෂ තෙම තෙල කුෂ්ඨිපුරුෂහට රුස්නේ ද? අඟරුකබලට හෝ බෙහෙත් සෙවුමට හෝ රුස්නේ දැ? යි. මේ නො වේ මැ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: ‘භවත් ගෞතමයෙනි, රෝගය ඇති කල්හි මැ බෙහෙදින් කටයුතු වෙයි. රෝගය නැති කල්හි බෙහෙදින් කටයුතු නො වේ යයි. එසෙයින් මැ මාගන්‍දිය, මම් පෙර ගිහිගෙවැසි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්‍විත වූයෙම් සිත් ඇලවීමි. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කරුණ වූ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයන්ගෙන් … ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයන්ගෙන් ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයන්ගෙන් … ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයන්ගෙන්, .... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ කායවිඥානයෙන් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් (සිත් ඇලවීමි.) ඒ මම මෑතභාගයෙහි කාමයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතු සේ දැන
කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහ වූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්හුන්සිත් ඇති වැ වෙසෙමි. එ මම කාමයන්හි අවීතරාග වූ, කාමතෘෂ්ණා විසින් කනුලබන, කාමපරිදාහයෙන් දැවෙන, කාමයන් සෙවුනා අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඔවුන් නො පතමි. එහි නො ඇලෙමි. ඒ කවර හෙයින යත්: මාගන්‍දිය, යම් හෙයෙකින් කාමයෙන් වෙන් වූ අකුශලධර්‍මයෙන් වෙන් වූ මේ (චතුත්‍ථජ්ඣානික ඵලසමාපත්ති ) රතිය දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී ද, එහෙයින් ඒ සමාපත්තිරතියෙහි සිත් අලවා වසනුයෙම් හීන වූ කාමය නො පතමි. එහි නො ඇලෙමි.
යම්සේ මාගන්‍දිය ඇති වණසිරුරු ඇති පැසුණුසිරුරු ඇති කුෂ්ඨිපුරුෂයෙක් කෘමීන් විසින් කනුලබන්නේ නියෙන් වණමුව කසමින් අඟුරුකබලින් කය තවන්නේ ද, ඔහුට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ, ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ එ බෙහෙත් ලැබ කුෂ්ඨයෙන් මිදෙන්නේ යැ, ආරෝග වූයේ සුවපත් වූයේ සෛවරී වැ තමහට වසඟ වැ කැමැති තැනෙකැ යනසුලු වන්නේ යැ. ඒ මොහු බලැති පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්හි ගෙන අඟුරු කබලක් වෙත අදනාහ. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟිහි ද? ඒ පුරුෂ ඔබට මොබට කය නමා දැ? යි. එසේ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයෙනි, තෙල ගින්න දුක්පහස් ඇත්තේ ද මහ තැවුලි ඇත්තේ ද මහත් පරිදාහ ඇත්තේ ද වෙයි. එහෙයිනැ’යි. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟිහි ද? දැන් පමණක් ඒ ගින්න දුක්පහස් ඇත්තේත් මහතැවුලි ඇත්තේත් මහත් පරිදාහ ඇත්තේත් වේ ද, නොහොත් පෙරත් ඒ ගින්න දුක්පහස් ඇත්තේත් මහතැවුලි ඇත්තේත් මහත්පරිදාහ ඇත්තේත් වී දැ? යි. දැනුදු භවත් ගෞතමයෙනි, ඒ ගින්න දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වෙයි. පෙරදු එ ගිනි දුක් පහස් ද මහ තැවුලි ද මහත් පරිදාහ ද ඇති වී. එතෙකුදුවත් භවත් ගෞතමයෙනි, තෙල කුෂ්ඨි පුරුෂ වණසිරුරු ඇත්තේ පැසුණුසිරුරු ඇත්තේ කෘමීන්විසින් කනුලබනුයේ නියෙන් වණමුව කසනුයේ නට කායප්‍රසාද ඇතියේ දුක්පහස් මැ ඇති ගින්නෙහි ‘සුව’ යයි විපරීතසංඥා ලැබී’යයි. එසෙයින් මැ මාගන්‍දිය, අතීතකාලයෙහිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වූහ. අනාගතකාලයෙහිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වන්නාහ. මෙ වත්මන්කල්හිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇත්තාහ. මාගන්‍දිය, මෙසත්හු වැළිත් කාමයෙහි අවීතරාග වූවාහු කාම තෘෂ්ණා විසින් කනු ලබන්නාහු කාමපරිදාහයෙන් දැවෙන්නාහු නට ඉඳුරන් ඇත්තාහු දුක්පහස් මැ ඇති කාමයෙහි ‘සුඛ’ යන විපරීතසංඥා ලදුහ.
යම්සේ මාගන්‍දිය, වණසිරුරු ඇති පැසුණුසිරුරු ඇති, කෘමීන් විසින් කනුලබන, නියෙන් වණමුව කසන කුෂ්ඨි පුරුෂ අඟුරු කබලින් කය තවා ද, යම් යම් සෙයෙකින් තෙල කුෂ්ඨි පුරුෂ වණසිරුරු ඇත්තේ පැසුණු සිරුරු ඇත්තේ කෘමීන් විසින් කනු ලබන්නේ නියෙන් වණමුව කසනුයේ අඟුරුකබලින් කය තවා ද, ඒ ඒ පරිද්දෙන් ඔහුගේ ඒ වණමුව ඉතා අපිරිසිදු ද දුර්‍ගන්‍ධතර ද පූති (කුණු) තර ද වෙයි. වණමුව කැසීම් හෙයින් කිසි මිහිරිමතුයෙකුත් ආස්වාදමාත්‍රයෙකුත් වෙයි. එසෙයින් මැ මාගන්‍දිය, කාමයෙහි අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කනුලබන කාමපරිදාහයෙන් දැවෙන සත්ත්‍වයෝ කාම සේවනය කෙරෙති. මාගන්‍දිය, කාමයෙහි අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කනුලබන කාමපරිදාහයෙන් දැවෙන සත්ත්‍වයෝ යම් යම් සෙයෙකින් කාම සේවනය කෙරෙත් ද, ඒ ඒ පරිද්දෙන් ඒ සත්‍වයන්ගේ කාමතෘෂ්ණාවත් වැඩෙයි. (ඔහු) කාමපරිදාහයෙන් දැවෙනු ද වෙති. පස්කම්ගුණ නිසා යම්තම් මිහිරෙකුත් ආස්වාද මාත්‍රයෙකුත් වෙයි.
ඒ කිමැ’යි හඟිහි ද මාගන්‍දිය, පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවා වෙසෙන රජෙක් හෝ රජමහ ඇමැත්තෙක් හෝ කාමතෘෂ්ණාව නො හැරපියා කාමපරිදාහය දුරු නො කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇති වැ වාසය කෙළේ යැ හෝ වාසය කෙරෙයි හෝ වාසය කරන්නේ යැ හෝ’යි තොප විසින් දුටුයේ හෝඇසුයේ ඇද්දැ? යි. මේ නො වේ මැ යැ භවත් ගෞතමයෙනි, මැනැව මාගන්‍දිය, මා විසිනුදු මාගන්‍දිය, පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ සිත් අලවා වෙසෙන රජෙක් හෝ රජමහඇමැත්තෙක් හෝ කාමතෘෂ්ණාව නො හැරපියා කාමපරිදාහය දුරු නො කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇති වැ විසී යැ හෝ වෙසෙයි හෝ වසන්නේ යැ හෝ’යි. එ තෙල කරුණ නො මැ දක්නා ලද යැ, නො අසනලදී. මාගන්‍දිය, වැළිත් යම්කිසි මහණ කෙනෙක් වේවයි බමුණු කෙනෙක් වේවයි පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වුසූහු නම් හෝ වෙසෙත් නම් හෝ වසන්නාහු නම් හෝ එ හැම දෙන කාමයන්ගේ මැ සමුදයත් විනාශයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන්සිත් ඇති වැ වාසය කළාහු හෝ වාසය කරන්නාහු හෝ මත්තෙහි වාසය කරන්නාහු හෝ වෙති’යි.
ඉක්බිති බුදුහු එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළහ:
“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ, නිවනට යන මාර්‍ගයන් අතුරෙනුදු අෂ්ටාඞ්ගිකමාර්‍ගය ක්‍ෂේම වේ”යයි.
මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැල කෙළේ යැ: “ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, අද්භූත යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින්:
“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ ඇතැ”යි. මේ වදාළතාක් සුභාෂිත වෙයි.
මා විසිනුදු භවත් ගෞතමයෙනි, ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වූ ‘පූර්‍වපරිව්‍රාජකයන් කියනුවන් ගේ තෙල:
“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ’ යන-බස් අසන ලද.
භවත් ගෞතමයෙනි, ඒ මේ වචනය සම වේ’ යයි.
මාගන්‍දිය, තා විසින් ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වූ පූර්‍වපරිව්‍රාජකයන් කියනුවන් ගේ තෙල:
“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ”යන-යම් වචනයක් අසනලද ද,
ඒ ආරෝග්‍යය කවරෙ යැ? ඒ නිවන කවරෙ යැ? යි. මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක තමාගේ මැ සිරුරු අවයවයන් අත්ලෙන් පිරිමදී: “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිවන යි. භවත් ගෞතමයෙනි, මම් වූ කලී දැන් ආරෝගයෙමි, සුවපත්මි. කිසිවක් (රොවෙක්) මා නොපෙළා” යයි.
යම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කෘෂ්ණශුක්ල රූපයන් නො දක්නේ යැ: නිල්වන් රූ නො දක්නේ යැ , කසාවන් රූ නො දක්නේ යැ , ලේවන් රූ නො දක්නේ යැ , මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ, තාරකරූපයන් නො දක්නේ යැ , සඳහිරු නො දක්නේ යි. හේ “සුදුවත ප්‍රසන්න යැ අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි ඇස් ඇති පුරුෂයකු කියනුවා අසන්නේ යැ, හේ ශ්වේත වස්ත්‍රය පර්‍ය්‍යෙෂණය කරන්නේ යැ. ඒ මොහු එක්තරා පුරුෂයෙක් තෙල්දැලි තැවැරුණු දළ කළු එළුලොම් සිවුරින් නුළු කරන්නේ යැ (රවටයි.): “එම්බා පුරුෂය, තොප ගේ මේ ශ්වේතවස්ත්‍රය අභිරූප යැ, නිර්‍මල යැ, පිරිසිදු යැ”යි. හේ එය පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ, පෙරෙවැ තුටුසිත් ඇත්තේ සතුටුවදන් පවසන්නේ යැ: “භවත්නි, ශ්වේතවස්ත්‍රය ඒකාන්තයෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟී ද, ඒ දෑඅඳ පුරිස් දනිමින් දක්මින් තෙල තෙල්දැලි වැකුණු දළ එළුලොම් සිවුර පිළිගන්නේ ද, පිළිගෙන පොරෝනේ ද, පෙරෙවැ සතුටුසිත් ඇත්තේ “භවත්නි ශ්වේත වස්ත්‍රය ඒකාන්තයෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි සතුටුවදන් පවසන්නේ ද, නොහොත් ඇස් ඇතියාගේ බස්හි සැදැහැයෙන් පවසන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, තෙල දෑඅඳ පුරිස් නො දන්නේ මැ නො දක්නේ මැ තෙල තෙල්දැලි වැකුණු දළ එළුලොම් සිවුර පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ, පෙරෙව සතුටුසිත් ඇති වැ “භවත්නි, සුදුවත එකත්නෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ, නිර්‍මල යැ පිරිසිදු යැ”යි. තුටුවදන් පවසන්නේ යැ, ඇස් ඇතියාගේ වදන්හි සැදැහැයෙන් පවසන්නේ යැ’යි. එසෙයින් මැ මාගන්‍දිය අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ අඳ වූවාහු ඇස් ඇති නැතියාහු ආරෝග්‍යය නො දන්නාහු නිර්‍වාණය නො දක්නාහු එතෙකුදු වත් -
“ආරෝග්‍යපරමා ලාභා නිබ්බානං පරමංසුඛං” යි
මේ ගාථාව කියති. මාගන්‍දිය; පෙර විසූ අර්‍හත් සම්‍යක් සම්බුදුන් විසින් තෙල:
“ආරෝග්‍යපරමා ලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨඞ්ගිකො ච මග්ගානං ඛේමං අමතගාමිනං” යන ගාථාව භාෂිත යැ.
ඒ දැන් අනුක්‍රමයෙන් පෘථග්ජනගත වී. මාගන්‍දිය මෙය වූකලී රෝගයක් වැනි වූයේ ගණ්ඩයක් වැනි වූයේ ශල්‍යයක් වැනි වූයේ අඝ (දුඃඛ) යක් වැනි වූයේ ආබාධයක් වැනි වූයේ වෙයි. තෙපි රොවක් වැනි වූ ගඩක් වැනි වූ හුලක් වැනි වූ දුකක් වැනි වූ ආබාධයක් වැනි වූ මෙ කය (ගෙන): “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි කියෙහි. මාගන්‍දිය, තෙපි යම් ආර්‍ය්‍ය වූ ඇසෙකින් ආරෝග්‍යය දන්නෙහි නම් නිර්‍වාණය දක්නෙහි නම් තොපට ඒ ආර්‍ය්‍යචක්‍ෂුස නැතැ”යි වදාළහ.
මෙසෙයින් මම් භවත් ගෞතමයනට ප්‍රසන්නයෙමි. යම්සේ මම් ආරෝග්‍යය දන්නෙම් නම් නිර්‍වාණය දක්නෙම් නම් මට එසේ දහම් දෙසන්නට ගෞතමන් වහන්සේ පෙහොනාසේකැ’යි.
යම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කළුසුදු රූ නො දක්නේ යැ, නිල්වන් රූ නො දක්නේ යැ, කසාවන් රූ නො දක්නේ යැ, ලෙහෙවන් රූ නො දක්නේ යැ, මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ, තාරකරූපයන් නො දක්නේ යැ, සඳහිරු නො දක්නේ යි. ඔහට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ. ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ ඒ බෙහෙත් ලැබ ඇස් නූපදවා නම් ඇස් විශුද්ධ නො කෙරේ නම්, මාගන්‍දිය, ඒ කිමැ’යි හඟී ද? ඒ වෙද තෙම ඒතාක් පීඩාවට වෙහෙසට හිමි වන්නේ නො වේ දැ? යි. එසේ යැ භවත් ගෞතමයන් වහන්ස, එසෙයින් මැ මාගන්‍දිය, මමත් තොපට: “මේ ආරෝග්‍ය යැ, මේ නිර්‍වාණ යැ”යි දහම් දෙසන්නෙමි. තෙපි ආරෝග්‍යය නො දන්නහු නිර්‍වාණය නො දක්නහු නම්, ඒ මට පීඩා වන්නේ යැ, ඒ මට වෙහෙස වන්නේ යැ’යි.
මෙසෙයින් මම් භවත් ගෞතමයනට පහන්මි: ‘යම්සේ මම් ආරෝග්‍ය දන්නෙම් නම් නිර්‍වාණය දක්නෙම් නම් එසේ මට දහම් දෙසන්නට ගෞතමන් වහන්සේ පෙහොනා සේකැ’යි.
යම්සේ මාගන්‍දිය ජාත්‍යන්‍ධ පුරුෂයෙක් වේ ද, හේ කෘෂ්ණශුක්ල රූපයන් නො දක්නේ යැ, නිල්වන් රූ නො දක්නේ යැ , කසාවන් රූ නො දක්නේ යැ , ලෙහෙවන් රූ නො දක්නේ යැ , මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ , තාරකරූපයන් නො දක්නේ යැ, සඳහිරු නො දක්නේ යි. හේ “භවත්නි, අවදාතවස්ත්‍රය පහන් යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි ඇස් ඇතියකු කියනුවා අසන්නේ යැ. හේ අවදාතවස්ත්‍ර පර්‍ය්‍යෙෂණය කරන්නේ යැ. ඒ මොහු එක්තරා පුරුෂයෙක් තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරෙකින් නළවන්නේ යැ: “එම්බා පුරුෂය, මේ තොපගේ අවදාතවස්ත්‍රය පහන් යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි. හේ එය පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ. ඔහට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ. ඔහට ඒ ශල්‍යවෛද්‍ය තෙමෙ බෙහෙත් කරන්නේ යැ: ඌර්ධ්වවිරේචන අධොවිරෙචන අඤ්ජන ප්‍රත්‍යඤ්ජන නශ්‍යකර්‍ම කරන්නේ යැ: හේ ඒ බෙහෙත් ලැබ ඇස් උපදවන්නේ යැ විශුද්ධ කරන්නේ යැ ඔහට චක්‍ෂුරුත්පාදය හා සමග තෙල තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරෙහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, ඒ පහ වන්නේ යැ, ඒ ඡන්‍දරාගයත් ඒ පුරුෂයාත් අමිත්‍ර වශයෙනුදු තබන්නේ යැ. ශ්‍රත්‍රැ වශයෙනුදු තබන්නේ යැ, තවද (ඔහු) දිවි ගැළවිය යුතු කොට හඟනේ යැ: “භවත, එකත්නෙන් මම් බොහෝ කලක් මෙ පුරිස් විසින් “එම්බා පුරුෂය, මේ තොපගේ හෙළපිළිය ප්‍රසන්න යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරින් රවටනලදුයෙම් වඤ්චිතයෙම් පොළොඹන ලදුයෙමි’යි. එසෙයින් මැ මාගන්‍දිය, මමත් තොපට ‘මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි දහම් දෙසන්නෙමි, තෙපි ආරෝග්‍ය දැනගන්නා වූ යැ නිර්‍වාණය දක්නවු යැ. ඒ තොපට ඇස් පහළවීම හා සමග පඤ්චෝපාදානස්කන්‍ධයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ඒ පහවන්නේ යැ. තවද තොපට මෙබඳු සිතෙක් වන්නේ යැ: “භවත, එකත්නෙන් මම් දිගුකලක් මෙ සිත විසින් රවටනලදුයෙම් වඤ්චිතයෙම් පොළොඹනලදුයෙමි. මම් වූකලී දැඩි කොට ගනුයෙම් රූපය මැ දැඩි කොට ගතිමි.
දැඩි කොට ගනුයෙම් වේදනාව මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් සංඥාව මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් සංස්කාරයන් මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් විඥානය මැ දැඩි කොට ගතිමි. ඒ මට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍යය උපායාසයෝ වෙති. මෙසෙයින් තෙල සකල දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ” යයි.
මෙසෙයින් මම් භවත් ගෞතමයනට ප්‍රසන්නයෙමි: “යම්සේ මම මෙ අස්නෙන් නො අඳ වැ නැඟෙන්නෙම් නම් භවත් ගෞතමයන් වහන්සේ මට එසේ දහම් දෙසන්නට පෙහොනා සේකැ”යි.
එසේ වී නම් මාගන්‍දිය, තෙපි සත්පුරුෂයන් භජනය කරව. යම් කලෙකැ පටන් මාගන්‍දිය, තෙපි සත්පුරුෂයන් භජනය කරන්නහු ද, එ දවස පටන් මාගන්‍දිය, තෙපි සදහම් අසන්නාහු යැ. යම් කලෙකැ පටන් මාගන්‍දිය තෙපි සදහම් අසන්නහු ද, එදවස පටන් මාගන්‍දිය තෙපි ධර්‍මානුධර්‍මයට (නිසි පිළිවෙතට) බස්නහු යැ. යම් කලෙකැ පටන් මාගන්‍දිය, තෙපි ධර්‍මානුධර්‍මයට බස්නහු ද, එ දවස පටන් මාගන්‍දිය තෙපි “මොහු රෝගයෝ යැ ගණ්ඩයෝ යැ ශල්‍යයෝ යැ, මෙහි (නිවනෙහි) රෝගයෝ ගණ්ඩයෝ ශල්‍යයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ඒ මට උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරොධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් මේ සියලු දුඃඛරාශිහුගේ නිරෝධය වේ” යයි තුමූ ම දන්නහු යැ තුමූ මැ දක්නහු යැ.
මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැල කළේ යැ: “ඉතා මැනැව භවත් ගෞතමයෙනි, ඉතා මැනැව භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, ප්‍රතිච්ඡන්න වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි හෝ තෙල්පහනක් දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් විසින් නන් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරනලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි. ධර්‍මයත් භික්‍ෂුසඞ්ඝයාත් සරණ කොට යෙමි. මම් භවත් ගෞතමයන් වහන්සේ වෙත පැවිදි ලබන්නෙම් මහලුපැවිදි ලබන්නෙම් මැනැවැ”යි.
“මාගන්‍දිය, අන්තොටුවිරූ යමෙක් මෙසස්නෙහි ප්‍රව්‍රජ්‍යා කැමැති වේ ද, උපසම්පත් කැමැති වේ ද, හේ සාරමසක් පිරිවසයි, සාරමසෙකැ ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු (ඔහු) පැවිදි කරවති, භික්‍ෂුභාවයට උපසපන් කරවත්, එතෙකුදුවත් මෙහිලා මා විසින් පුද්ගලනානාත්‍වය දන්නාලදැ’යි.
“ඉදින් වහන්ස, අන්තොටුවිරූහු මෙසස්නෙහි ප්‍රව්‍රජ්‍යා කැමැත්තාහු උපසම්පත් කැමැත්තාහු සාරමසක් පරිවාස කෙරෙත් ද, සාරමසක් ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු භික්‍ෂූභාවයට පැවිදි කරවත් ද, උපසපන් කරවත් ද, මම සතර හවුරුද්දක් පිරිවසන්නෙමි, සතර හවුරුද්දෙකැ ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු (මා) පැවිදි කරවත්වා, භික්‍ෂුභාවයට උපසපන් කරවත්ව”යි.
මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රව්‍රජ්‍යා ලද, උපසපම්පත් ලද. උපසපන් නොබෝකල් ඇති ආයුෂ්මත් මාගන්‍දිය එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට අළ සිත් ඇති වැ වසනුයේ: කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, ඒ අනුත්තර වූ, බ්‍රහ්මචර්‍ය්‍යාවසාන සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය නොබෝ කලෙකින් මැ ඉහාත්මයෙහි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙළේ යැ. ‘ජාතිය ක්‍ෂය වූ මඟබඹසර වැස නිමවන ලදි, සතරමඟ කිස කරන ලද, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දැනගත්තේ යැ. ආයුෂ්මත් මාගන්‍දිය තෙරණුවෝ වැළිත් රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ’යි.
පස් වැනි වූ මාගන්‍දිය සූත්‍ර යි.
2. 3. 6.
සන්‍දක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර නිසා ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සන්‍දක පරිව්‍රාජක පන්සියයක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග පුලිල ගුහායෙහි වෙසෙයි. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ‘ ඇවැත්නි, දේවකටැසොබ්හ (වැසිදියෙන් වළහුන් හෙබ) යම් තැනෙක් ද එහි ගුහාදර්‍ශනයට යම්හ’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග දේවකටසොබ්හය කරා එළඹිසේක. එසමයෙහි සන්‍දක පිරිවැජි තෙම උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනේකප්‍රකාර තිරශ්චීන කථා කරන මහත් පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා භය කථා යැ යුද්ධ කථා යැ ආහාර කථා යැ පාන කථා යැ වස්ත්‍ර කථා යැ ශයන කථා යැ මාලා කථා යැ ගන්‍ධ කථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්‍රාම කථා යැ නිගම කථා යැ නගර කථා යැ ජනපද කථා යැ ස්ත්‍රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ (කුම්භදාසීන් පිළිබඳ හෝ කථා යු ) පූර්‍වප්‍රේතකථා යැ නන් වැදෑරුම් නිරර්‍ත්‍ථකකථා යැ ලෝකායත කථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ (ශාස්වත උච්ඡේදාදී සවැදෑරුම්) භවාභවකථා යැ යන මේ යි.
සන්‍දක පිරිවැජි තෙමේ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී ය, “භවත්නි, නිශ්ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරවු, මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක වූ මේ ශ්‍රමණ ආනන්‍දයෝ පැමිණෙති, කොසඹෑනුවර ශ්‍රමණගෞතමයන්ගේ යම් පමණ ශ්‍රාවකයෝ වෙසෙත් ද, මේ ශ්‍රමණ ආනන්‍දයෝ ඔවුනතර එක්තරා කෙනෙක, ඒ ආයුෂ්මත්හු වැළිත් නිහඬ බව කැමැත්තා හ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ. නිහඬ තැන්හි ගුණ කියන්නාහ, නිහඬපිරිස දැන එළැඹියයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්‍රාජකයෝ නිහඬ වූහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ සන්‍දක පරිව්‍රාජක වෙත එළැඹියැහ. ඉක්බිති සන්‍දක පරිව්‍රාජක ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: “භවත් ආනන්‍දයෝ පැමිණෙන සේක්වා, භවත් ආනන්‍දයනට ස්වාගත යැ, භවත් ආනන්‍දයෝ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය (කරුණ) කළහ,
භවත් ආනන්‍දයෝ වැඩහිඳුනා සේක්වා, මේ අස්න පනවනලදැ”යි. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්හ. සන්‍දක පරිව්‍රාජක එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සන්‍දක පරිව්‍රාජකහට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙලවදන් කීහ: “සන්‍දකයෙනි, දැන් කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද, තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?” යි. භවත් ආනන්‍දයෙනි, තෙල කථා තිබේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ හුන්නමෝ නම් තෙල කථාව භවත් ආනන්‍දයනට පසු වත් ඇසීමට දුලබ නො වෙයි. භවත් ආනන්‍දයනට මැ ස්වකීය ආචාර්‍ය්‍යවංශයෙහි දැහැමි කථා වැටහේව’යි ආරාධනා කරමි. “එසේ වී නම් සන්‍දකයෙනි, අසව, මොනොවට මෙනෙහි කරව, කියමි”යි . “එසේ යැ භවත්නි”යි සන්‍දක පරිව්‍රාජක ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිවදන් ඇස්වී. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ තෙල කරුණ වදාළහ:
“සන්‍දකයෙනි, සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා වූ ඥේයධර්‍මයන් දක්නා වූ ප්‍රත්‍යයාදීන්ට නිසි හෙයින් අර්‍හත් වූ සත්‍යාවබෝධය කළ හෙයින් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු විසින් සතර අබ්‍රම්සරවස් කෙනෙක් වදාරනලද්දාහ, අස්වැසිලි රහිත වූ සතර බ්‍රම්සරවස් කෙනෙක් ද වදාරනලද්දාහ: “යම් බ්‍රහ්මචරිය වාසයෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ය, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ”යි.
භවත් ආනන්‍දයෙනි, නුවණින් දන්නා වූ ඇසින් දක්නා වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් කවර සතර අබ්‍රහ්මචරියවාස කෙනෙක් වදාරනලද්දාහු ද, “යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ දැ”යි.
සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: “දුන් දෙය ඵල නැත, පූජායෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, සම්‍යග්ගත වූ සම්‍යක් ප්‍රතිපන්න වූ මහණබමුණු කෙනෙක් නැත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් නම් ඔහු යි. මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන. යම් කලෙක කලුරිය කෙරේ ද එකල පෘථිවිධාතුව බාහිර පෘථිවිධාතුවට එක් වෙයි, අනුව යෙයි, අධ්‍යාත්මික අබ්ධාතුව බාහිර අබ්ධාතුවට එක් වෙයි, අධ්‍යාත්මික තේජෝධාතුව බාහිර තේජෝධාතුවට එක්වෙයි, අධ්‍යාත්මික වායෝධාතුව බාහිර වායෝධාතුවට එක් වෙයි, ඉන්‍දියයෝ ආකාශධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ සිව් දෙනෙක් මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, යම් දීමෙක් වේ ද එය බාලයන් විසින් පනවනලද්දෙක, යම් කෙනෙක් ආස්තිකවාද පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡේදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. සන්‍දකය, විඥ වූ පුරුෂ එහිලා මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: දෙනලද්දෙහි ඵල නැත, පුදන ලද්දෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්‍රත්‍යක්‍ෂ කොට පවසත් ද එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණු කෙනෙක් නැත, මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන, යම් කලෙක කලුරිය කෙරේ ද, එකල පෘථිවිධාතුව පෘථිවිධාතුවට පැමිණෙයි, අබ්ධාතුව ධාතුව අබ්ධාතුවට ධාතුවට පැමිණෙයි, තේජෝ ධාතුව ධාතුව තේජෝධාතුවට ධාතුවට පැමිණෙයි,
වායෝධාතුව වායෝධාතුවට පැමිණෙයි, ඉන්‍දියයෝ ආකාශ ධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, දානය බාලයන් විසින් පනවන ලද, යම් කෙනෙක් ආස්තිකවාදය පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡේදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් නම් මොහුගේ ශාසනයෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, මොහුගේ ශාසනයෙහි බඹසරවස් නො විසූ මා විසින් බඹසරවස් වසන ලද, මේ ශ්‍රමණධර්‍මයෙහි හි ඇපි දෙදෙන මැ සමසම වූම්හ, සමාන බවට පැමිණියම්හ, මම වූ කලී ඇපි දෙදෙන මැ කය බිඳීමෙන්උච්ඡේදයට පැමිණෙම්හ, වැනැසෙම්හ, මරණින්මතු නො වම්හ’ යි නො කියමි. යළි මේ භවත් ශාස්තෘහු ගේ නග්න බව මුඩු බව උළුලුපහදන, කෙස්රවුළු සිඳීම අතිරේකයකි, මම් පුත්‍රසම්බාධශයනයෙහි වසන්නෙමි කසීසඳුන් වළඳනුයෙම් මල්ගඳ විලෙවුන් දරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් පරලොව දී මේ භවත් ශාස්තෘහු හා සමානගති ඇති වන්නෙමි, ඒ මම කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් දැ? යි. හේ ‘මේ අබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙකැ’යි මෙසේ දැන ඒ අබ්‍රහ්මචර්‍ය්‍යයෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, දන්නා වූ දක්නා වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ පළමු වන අබ්‍රහ්මචර්‍ය්‍යවාසය වදාරන ලද්දේ යැ, යම් බඹසරෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය යූ අනවද්‍යධර්‍මය ආරාධනය නො කරන්නේ යි.
තවද සන්‍දකයෙනි, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙති: “(සියතින් ) කරන්නාහට (අණින් ) කරවන්නාහට සිඳින්නාට සිඳුවන්නාට (දඬින්) පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට කරවන්නාහට ක්ලාන්තය කරන්නාට කරවන්නාහට ඵන්‍දනය කරන්නාහට කරවන්නාහට ප්‍රාණවධ කරන්නාහට නුදුන්දැය ගන්නාහට ගෘහසන්‍ධි සිඳින්නාහට ගම් පහරනුවහට එක් ගෙයක් පැහැර ගන්නාහට මංපහරවනුවහට පරඹුවන් කරා යන්නහුට මුසවා කියනුවහුට (පව් කෙරෙමි හැඟ) කරන්නාහට ද පව් නැති. යමෙක් ක්‍ෂුරධාරා නිම්වළලු කොට ඇති චක්‍රෙයන් මෙ පොළොවෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංශපුඤ්ජයක් කරන්නෙම් නම් එ හේතුවෙන් පව් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත, නසමින් නස්වමින් සිඳමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ඉදින් ගඞ්ගානදියෙහි දකුණු ඉවුරට යන්නේ නමුදු එ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත. දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් ඉදින් ගඞ්ගානදියෙහි උතුරු ඉවුරට යන්නේ නමුදු එ හේතුවෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැත, දානයෙන් ඉන්‍දිය දමනයෙන් කායවාක් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැතැ“යි.
සන්‍දකය, එහිලා නුවණැති පුරුෂ මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙවන් වාද ඇත්තෙක, මෙවන් දෘෂ්ටි ඇත්තෙක: “කරන්නාහට කරවන්නාහට සිඳින්නාහට සිඳුවන්නාහට වෙහෙසෙන්නාහට වෙහෙසවන්නාහට ශෝක කරවන්නාහට ක්ලාන්ත කරවන්නාහට සලන්නාහට සලවන්නාහට ප්‍රාණවධ කරන්නාහට නුදුන් දෑ ගන්නාහට ගෘහසන්‍ධි සිඳින්නාහට ගම් පහරන්නාහට එක් ගෙයක් පැහැර ගන්නාහට මං පහරන්නාහට පරඹුන් කරා යන්නාහට මුසවා බණන්නහුට දැන දැන පව් කරන්නාහට පාපයෙක් නැති. ඉදින් යමෙක් ක්‍ෂුරපර්‍ය්‍යන්ත චක්‍රෙයෙන් මේ පොළොවෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංශපුඤ්ජයක් කරන්නේ නමුදු ඒ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත, ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගානදියෙහි දකුණු ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කෙරෙමින් කරවමින් ගඞ්ගානදියෙහි උතුරු ඉවුරට යේ නමුදු එ හේතුවෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැත, දානයෙන් ඉන්‍දිය දමනයෙන් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත, පින් පැමිණීමෙක් නැතැ”යි.
ඉදින් මේ භවත් ශාස්තෘහුගේ වචනය සැබැවෙක් වේ නම් මෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, මෙහි බඹසරවස් නො විසූ මා විසින් වසන ලද, තෙල මහණදම්හි ඇපි දෙදෙන මැ ගුණයෙන් සමසම වම්හ, සමබවට පැමිණියම්හ, මම් වූකලී ‘පව් කරන දෙදෙනාහට පාපය නො කැරේ’යයි නො කියමි. මේ භවත් ශාස්තෘහු ගේ වැළිත් නග්න බව මුඩු බව උළුලුපහදන කෙහෙරවුළු සිඳීම අතිරේකයෙකි. මම් පුත්‍රසම්බාධශයනයෙහි වාසය කරන්නෙම් කසීසඳුන් වළඳනෙම් මල්ගඳවිලෙවුන් දරන්නෙම් රන්රිදී ඉවසන්නෙම් මේ භවත් ශාස්තෘහු හා සමග පරලොව දී සමානගති ඇත්තෙකිම් වෙමි. ඒ මම් කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් ද? හෙ තෙම මේ අබ්‍රහ්මචරියවාසයෙකැ’යි මෙසේ දැන ඒ බ්‍රහ්මචරියෙන් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ දෙ වැනි අබ්‍රහ්මචරියවාසය වදාරන ලද්දේ යැ. යම් තැනෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය යූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ.
තවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙති: “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂශක්තියෙක් නැත, පුරුෂපරාක්‍රමයෙක් නැති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ වසඟ නො වූවාහු බල රහිත වූවාහු වීර්‍ය්‍යය රහිත වූවාහු නියතිසඞ්ගති ස්‍වභාවයෙන් පරිණත වූවාහු අභිජාති සයෙකැ මැ සිට සුවදුක් විඳිත්”යයි.
සන්‍දකය, එහි විඥ පුරුෂ මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද දෘෂ්ටි ඇත්තේ වෙයි: “සත්ත්‍වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ අවශයහ, අබලය, අවීර්‍ය්‍යයහ. නියතිසඞ්ගතිස්‍වභාවයෙන් පරිණත වූවාහු අභිජාති සයෙක්හි මැ සුවදුක් විඳුති. ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් වී නම්, මොහුගේ ශාසනයෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, බඹසරවස් නො විසූ මා විසින් වසන ලද. මේ ශ්‍රමණධර්‍මෙයහි ඇපි දෙදෙන මැ සමසම වූම්හ, සමාන බවට පැමිණියම්හ. මම් වූකලී ඇපි දෙදෙන මැ අහේතු අප්‍රත්‍යයෙන් විශුද්ධ වම්හ’යි නො කියමි. මේ භවත් ශාස්තෘහුගේ වැළිත් නග්න බව මුඩු බව උළුලුපදහන, කෙස්රවුළු සිඳීම අතිරේකයෙකි. ඒ මම් පුත්‍රසම්බාධ ශයනයෙහි වසනෙම් කසීසඳුන් වළඳනෙම් මල්ගඳවිලෙවුන් ධරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් මේ භවත් ශාස්තෘහු හා සමග පරලොව්හි සමසම ගති ඇත්තෙම් වෙමි. ඒ මම් කවර ගුණයක් දන්නෙම් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වසනෙම් ද? හෙතෙම මේ ‘අබ්‍රහ්මචරියවාසයෙකැ’යි දැන ඒ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මේ තුන් වැනි අබ්‍රහ්මචරිය වාසය වදාරන ලද්දේ යැ. යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
තවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති: (කිසිවකු විසින්) නො කරන ලද නො කළ විධාන ඇති (ඍද්ධියෙනුදු) නො මවන ලද නො මවවන ලද වඳ වූ ගිරිකුළු මෙන් සිටියා වූ ඒෂිකාස්තම්භයක් මෙන් සිටි මේ සත් කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, පියවි නො හරිති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙති. කවර සත් දෙනෙක යත්: පඨවිකාය යැ ආපෝකාය යැ තේජෝකාය යැ වායෝකාය යැ සුබ යැ දුක්ඛ යැ ජීව යැ යන මේ සත යි. මේ සප්තකායෝ ආකෘතයහ, අකෘතවිධානයහ, අනිර්මිතයහ, අනිර්‍මාතෘයහ, අවන්‍ධ්‍යයහ, කූටස්ථයහ, ඒෂිකාස්ථායීස්ථිතයහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙත්. ඒ සප්තකායයන් අතුරෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැති. යමෙක් තියුණු සැතින් හිස සිඳී නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කෙරෙයි. වැළි සත් වැදෑරුම් කායයන් අතුරෙන් මැ ශස්ත්‍රය විවරයට පිවිසෙයි.
තවද මේ උත්තමයෝනීහු තුදුස්සියදහසක් ද සදහසක් ද සසියයක් ද වෙති. කර්‍ම පන්සියයක් ද, කර්‍ම පසක් ද, කර්‍ම තුනක් ද කර්‍මයක් ද අධිකර්‍මයක් ද වෙයි. දෙසැට ප්‍රතිපදායෙක. දෙසැට අන්තරකල්පයෙක. ෂට් අභිජාතියෙක. අෂ්ට පුරුෂභූමියෙක. එකුන්පස් ආජීවවෘත්තිශතයෝයැ, එකුනුපනස් පැරිවැජිපැවිදිසියයෝයැ, එකුන්පස් නාමඬුලු සියයෙක, විසි ඉඳුරන්සියයෙක, තිස් නිරෑසියයෙක, සතිස් රජස්ධාතුහු ය, (ඔටු ආදී සත් වැදෑරුම්) සංඥිගර්‍භයෝ ය, (හැල් ආදී) සත් අසංඥී ගර්‍භයෝ ය, උගු ආදී සත් නිගණ්ඨි ගර්‍භයෝ යැ, සත් දෙවියෝ යැ, සත් මිනිස්හු ය, සත් පිශාචයෝ ය, සත් මහවිල්හු ය, සත් ගන්ඨිකයෝ ය, මහාප්‍රපාත සතෙක, කුඩා ප්‍රපාත සත්සියයෙක, මහා සිහින සතෙක, කුඩා සිහින සත්සියයෙක, යම් කල්ප කෙනෙක් බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරන්නාහු ද ඒ මහාකල්පයෝ සුවාසූසියදහසෙකි. එහි මම් මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තපසින් වේවයි බ්‍රහ්මචර්‍ය්‍යෙයන් වේවයි නො මුහු කළ කර්‍මය හෝ මුහුකුරු වන්නෙමියි නැත. මුහුකළ කර්‍මය හෝ පැහැස පැහැස කෙළවර කරන්නෙමි’යි මෙසේ නැත් මැ යි. සුවදුක් ද්‍රෝණයෙන් මනනලද වැන්න, (කි පමණ කලෙකින්) සසර පිරියත් කරනලද යැ, වෘද්ධිහානි නැති, යම්සේ හූවට (ගලක් හෝ ගසක් උඩ සිට) දමනලදුයේ (හූ පමණින්) වෙළුම් හරිමින් මැ යේ ද එසෙයින් මැ බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවන සංසරණ කොට දුකු කෙළවර කරන්නාහ’ යි.
සන්‍දකය, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තෙක, මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: නො කළ, නො කළ විධාන ඇති, නො මැවූ, නො මවනලද, වඳ වූ, ගිරිකුළු මෙන් සිටියා වූ, ඒෂිකාස්තම්භයක් මෙන් සිටි, මේ සත් කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, පියවි නො හරිති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙති. කවර සත් දෙනෙක යත්: පඨවිකාය යැ ආපෝකාය යැ තේජෝකාය යැ වායෝකාය යැ සුබ යැ දුක්ඛ යැ ජීව යැ යන මේ සත යි. මේ සප්තකායෝ ආකෘතයහ, අකෘත විධානයහ, අනිර්මිතයහ, අනිර්‍මාතෘයහ, වන්‍ධ්‍යයහ, කූටස්ථයහ, ඒෂිකාස්ථායීස්ථිතයහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙත්. ඒ සප්තකායයන් අතුරෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැති. යමෙක් තිහිණි සැතින් හිස සිඳී නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කෙරෙයි. වැළි සත් වැදෑරුම් කායයන් අතුරෙන් මැ ශස්ත්‍රය විවරයට පිවිසෙයි.
තවද මේ උත්තමයෝනීහු තුදුස්සියදහසක් ද සදහසක් ද සසියයක් ද වෙති. කර්‍ම පන්සියයක් ද, කර්‍ම පසක් ද, කර්‍ම තුනක් ද කර්‍මයක් ද අධිකර්‍මයක් ද වෙයි. දෙසැට ප්‍රතිපදායෙක දෙසැට අන්තරකල්පයෙක ෂට් අභිජාතියෙක අෂ්ට පුරුෂභූමියෙක, එකුන්පස් ආජීව වෘත්තිශතයෝයැ එකුනුපනස් පරිව්‍රාජකශතයෝයැ එකුන්පනස් නාමඬුලුසියයෝ යැ විංශත් ඉන්‍දියශතයෝ යැ ත්‍රිංශත් නිරයශතයෝ යැ ෂට්ත්‍රිංශත් රජස්ධාතුහු යැ සත් වැදෑරුම් සංඥිගර්‍භයෝ ය සත් අසංඥී ගර්‍භයෝ ය සත් නිර්ග්‍රන්‍ථිගර්‍භයෝ යැ සත් දෙවියෝ යැ සත් මිනිස්හු යැ සත් පිශාචයෝ යැ සත් මහවිල්හු යැ සත් ගණ්ඨිකයෝ යැ මහාප්‍රපාත සතෙක, කුඩා ප්‍රපාත සත්සියයෙක, මහා සිහින සතෙක, කුඩා සිහින සත්සියයෙක, යම් කල්ප කෙනෙක් බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කෙරෙත් ද ඒ මහා කල්පයෝ සුවාසූසියදහසෙක,
එහි මම් මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තපසින් වේවයි බ්‍රහ්මචර්‍ය්‍යයෙන් වේවයි නො මුහුකළ කර්‍මය හෝ මුහුකුරු වන්නෙමි’යි නැත, මුහුකළ කර්‍මය හෝ පැහැස පැහැස කෙළවර කරන්නෙමි’යි මෙසේ නැති. සුවදුක් ද්‍රෝණයෙන් මනනලද වැන්න. (කී පමණ කලෙකින්) සසර පිරියත් කරනලද යැ අඩුවැඩි නැත, උත්කර්‍ෂාවකර්‍ම නැති. යම් සේ හූවටෙක් (ගලක් හෝ ගසක් මතුයෙහි සිට) දමන ලදුයේ වෙළුම් හරිමින් මැ යේ ද එසෙයින් මැ බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරන්නාහ”යි.
ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් වී නම්, “ඇපි දෙදෙන සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරම්හ”යි මම් නො කියමි, නමුදු තෙල සස්නෙහි මහණුවම් නො කළ මා විසින් මහණුවම් කරන ලද, තුලුන්ගේ සස්නෙයි බඹසරවස් නො විසූ මා විසින් බඹසර වසන ලද, මෙහි ලා ඇපි දෙදෙන මැ සමසමයම්හ, සම බවට පැමිණියෙම්හ. මේ භවත් ශාස්තෘහු ගේ අතිරේකය වැළිත් නග්න බව මුඩු බව උළුලුපහදන කෙහෙරවුළු සිඳීම යි. මම් අඹුදරුවන් විසින් සම්බාධ වූ ශයනයෙහි වසනුයෙම් කසීසඳුන් වළඳනුයෙම් මල්ගඳවිලෙවුන් ධරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් පරලොව දී මේ භවත් ශාස්තෘහු සමග සමසමගති ඇති වන්නෙම් ද ඒ මම් කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් ද? හෙතෙම මේ ‘අබ්‍රහ්මචරියවාසයෙකැ’යි මෙසේ දැන ඒ සස්නෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ සතර වැනි අබ්‍රහ්මචරියවාසය වදාරනලද්දේ යැ. යම් අබ්‍රහ්මචරියයෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වෙසේ ද වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය නො සපයන්නේ ද එය යි. සන්‍දය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් විසින් මේ සතර අබ්‍රහ්මචරියවාසයෝ වදාරනලද්දාහු යැ, මේ සස්නෙහි විඥවූ පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
භවත් ආනන්‍දයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් ආනන්‍දයෙනි, අද්භූත යැ, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් යම් තැනෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ද, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය ආරාධනය නො කරන්නේ ද (එබඳු වූ) අස්වැසිලි රහිත වූ මැ සිව් වැදෑරුම් අබ්‍රහ්මචරිය වාසයෝ වදාරනලද්දාහු යැ.
භවත් ආනන්‍දයෙනි, සියල්ල දක්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් යම් තැනෙකැ විඥ වූ පුරුෂ බ්‍රම්සරවස් නො වසන්නේ ද වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ එබඳු අස්වැසිලි රහිත වූ කවර සතර බඹසරවස් කෙනෙක් වදාරනලද්දාහු දැ? යි.
සන්‍දකය, මෙලොවැ සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ ඇතැම් ශාස්තෘවරයෙක් “ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට නිරතුරු ඥානදර්‍ශනය එළැඹ සිටියේ යැ”යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙයි. හේ ශූන්‍යාගාරයට ද පිවියෙසි, පිඬුවා ද නො ලබයි, ශූනක ද ඔහු ඩහයි, සැඬ ඇතකු හා ද එක්වෙයි, සැඬ අසකු හා ද එක් වෙයි, සැඬ ගොනෙකු හා ද එක් වෙයි, ස්ත්‍රියක ගේත් පුරුෂයකුගේත් නමුදු ගොතුදු විචරෙයි, ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාරයි, හේ ‘මේ කිමෙකැ’යි විචාරන ලද්දේ මැ: “මා විසින් ශූන්‍යාගාරයකට පිවිසියයුතු විය, එයින් පිවිසියෙමි; මා විසින් පිඬුවා ද නො ලදයුතු විය, එයින් නො ලත්මි; ශුනකයා විසින් ඩැහියයුතු විය, එයින් ඩහගනලදුයෙමි; සැඬ ඇතකු හා එක්වියයුතු විය, එයින් එක්වීමි; සැඬඅසකු හා ද එක්වියයුතු විය, එයින් එක්වීමි; සැඬ ගොනෙකු හා එක්වියයුතු විය, එයින් එක්වීමි; ස්ත්‍රියක ගේ ද පුරුෂයකුගේ ද නමුදු ගොතුදු විචාළයුතු විය, එයින් විචාළෙමි, ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාළයුතු විය, එයින් විචාළෙමි” යි. එහි ලා සන්‍දකය, නුවණැති පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම සර්‍වඥ යැ සර්‍වදර්ශී යැ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙයි … ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාළයුතු විය, එයින් විචාළෙමි” යි යෙයි. හේ “මේ බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන ඒ බඹසරෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද පළමු වැනි අනස්සාසික බ්‍රහ්මචරිය වෙයි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසනුයේ නමුදු න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
තවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් ශ්‍රැතය ඇසිරි කෙළේ වෙයි, ශ්‍රැතිය සත්‍යය කොට ඇත්තේ වෙයි. හේ අනුශ්‍රවයෙන් මෙසේ මෙසේ යයි පරම්පරායෙන් පිටකසම්පත්තීන් දහම් දෙසයි. සන්‍දකය, අනුශ්‍රවය ඇසිරි කළ ඇසූ දැය සත්‍ය කොට ගත් ශාස්තෘහට මනාකොට අසනලද්ද ද වෙයි, නො මනාකොට අසනලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. එහි ලා සන්‍දකය, නුවණැති පුරුෂ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ භවත් ශාස්තෘ තෙම අනුශ්‍රවික ය, අනුශ්‍රවය සත්‍ය කොට ගත්තේ ය, හේ ශ්‍රැතියෙන් මෙසේ මෙසේ යයි පරම්පරායෙන් පිටකසම්පදායෙන් දහම් දෙසයි, ශ්‍රැතය ඇසිරි කළ ශ්‍රැතිය සත්‍යය කොට ගත් ශාස්තෘහට මනා කොට අසන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. හේ “බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන එ බඹසරින් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද දෙ වැනි වූ අනස්සාසිකබ්‍රහ්මචරිය වෙයි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසන්නේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.
තවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් තර්‍කයෙන් ගන්නේ වීමංසායෙන් ගන්නේ වෙයි. හේ තර්‍කයෙන් ගන්නාලද වීමංසාව අනුවගිය සිය වැටහීම වූ දහම් දෙසයි. සන්‍දකය, තර්‍කයෙන් ගන්නා වීමංසායෙන් ගන්නා ශාස්තෘහට වැළිත් මොනොවට තර්‍ක කරනලද්ද ද වෙයි. නො මනා කොට තර්‍ක කරන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. එහි ලා සන්‍දකය, විඥ වූ පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ වූකලී තර්‍කයෙන් ගන්වේ වෙයි, වීමංසායෙන් ගන්නේ වෙයි, හේ තර්‍කයෙන් ගන්නා ලද වීමංසාව අනුව ගිය ස්වයම් ප්‍රතිභානය වූ දහම් දෙසයි. තර්‍කයෙන් ගන්නා වීමංසායෙන් ගන්නා ශාස්තෘහට මොනොවට තර්‍ක කරනලද්ද ද වෙයි, නො මනා කොට තර්‍ක කරන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. හේ “මෙ බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන එ බඹසරින් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, යම් සස්නෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසා නම් වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කෙරේ නම් මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද තුන් වැනි වූ අනස්සාසික බ්‍රහ්මචරිය යි.
තවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් මඳ නුවණැත්තේ වෙයි, අතිමූඪ වෙයි. හේ මඳනුවණැති බැවින් අතිමූඪ බැවින් ඒ ඒ ප්‍රකාරයෙන් පැන පුළුවුස්නා ලද්දේ “මෙසේත් මට (ලබ්ධි) නැති, එසේත් මට නැති, අන්සේත් මට නැති, ‘නැතැ’යි දු මට නැති, ‘නො නැතැ’යි දු මට (ලබ්ධි) නැතැ”යි වචනයෙන් වික්‍ෂේපයට අපර්‍ය්‍යන්ත වික්‍ෂේපයට පැමිණෙයි. එහි ලා සන්‍දකය, නුවණැති පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ වූ කලී මඳ නුවණැත්තේ යැ, ඉතා මූඪ යැ. හේ මඳ නුවණැති බැවින් ඉතා මූඪ බැවින් ඒ ඒ ප්‍රකාරයෙන් පැන පුළුවුස්නා ලද්දේ “මෙසේත් මට (ලබ්ධි) නැති, එසේත් මට නැති, අන්සෙයිනුත් මට නැති, ‘නැතැ’යිදු මට නැති, ‘නො නැතැ’යිදු මට නැතැ”යි වාචාවික්‍ෂේපයට, අමරාවික්‍ෂේපයට පැමිණෙයි. හේ ‘මෙ බඹසර අස්වැසිලි නැතැ’යි මෙසේ දැන එ බඹසරින් නිර්වේදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, යම් සස්නෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසා නම් වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කෙරේ නම් මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍මාසම්බුදුන් විසින් වදාරනලද සතර වැනි වූ අනස්සාසික බ්‍රහ්මචරිය යි.
සන්‍දකය, මොහු වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් සම්‍මාසම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද සතර අනස්සාසික බ්‍රහ්මචරියයෝ යි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කරන්නේ යයි.
ආශ්චර්‍ය්‍යයැ භවත් ආනන්‍දයෙනි, ආශ්චර්‍ය්‍යයැ භවත් ආනන්‍දයෙනි, යම් පමණ ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්‍හත් ස්‍යමක්සම්බුද්ධයන් වහන්සේ විසින් අනස්සාසික වූ මැ සතර බ්‍රහ්මචරිය කෙනෙක් ‘අනස්සාසික බ්‍රහ්මචරියයෝ’ යයි වදාරන ලද්දාහු ද, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යි. භවත් ආනන්‍දයෙනි, යම් සසුනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසා නම්, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය කෙරේ නම් ඒ ශාස්තෘ කිබඳු වාද ඇත්තේ ද, කුමක් කියන්නේ දැ? යි.
සන්‍දකය, තථාගත වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මෙයන් යුකුත වූ සුන්‍දරගමන් ඇති ලෝක දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිසුනට ශාස්තෘ වූ භාග්‍යවත් බුදුහු මෙලොවැ උපදිති. උන්වහන්සේ මේ සදේවක ලෝකය … තුමූ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති ... මධ්‍යකල්‍යාණ වූ … බ්‍රහ්මචර්‍ය්‍ය පවසති. එ දහම ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ අසයි, ... හෙතෙම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන්ව මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක තෙම මෙබඳු උදාර විශේෂයක් ලබා නම් ඒ සස්නෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය කරන්නේ යි.
තවද සන්‍දකය, මහණ තෙම විතර්‍කවිචාරයන් ගේ සන්සිඳීමෙන් … ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක තෙම මෙබඳු විශේෂයක් ලබා නම්, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය කරන්නේ යි.
තවද සන්‍දකය, මහණ තෙම ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂක වැ ද වෙසෙයි, ... තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙබඳු උදාර විශේෂයක් ලබා නම් එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය කරන්නේ යි.
තවද සන්‍දකය, මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි මෙබඳු උදාර විශේෂයක් ලබා නම් එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය කරන්නේ යි.
හෙතෙම මෙසෙයින් (විදර්‍ශනාපාදක චතුර්‍ත්‍ථධ්‍යාන) සිත පිරිසු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි අඞ්ගණ (කෙලෙස්) රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්‍වනිවාසානුස්මෘතියට සිත එළවයි. හෙතෙම අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි, හෙමෙසේ යි: එක් ජාතියෙකුදු දෙ ජාතියෙකුදු … මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි මෙබඳු උදාර විශේෂයක් ලබා නම් ඒ ශාස්තෘන්ගේ ශාසනයෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය කරන්නේ යි.
හෙ මෙසේ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි අනඞ්ගන කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන් ගේ ච්‍යුතිඋප්පත්ති දන්නා පිණිස සිත එළවයි. හෙ මිනිසැස ඉක්මැසිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති මනා ගති ඇති නො මනා ගති ඇති සත්ත්‍වයන් දකියි. කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් දැනගනියි. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙබඳු උදාර විශේෂයක් ලබා ද, එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය කරන්නේ යි.
හේ මෙසේ සිත පිරිසිදු කල්හි පර්‍ය්‍යවදාත කල්හි ක්ලේශාඞ්ගණ රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙනබවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානයට (විදර්‍ශනා) සිත එළවයි. හෙ ‘මෙ දුකැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛසමුදය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛනිරෝය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මොහු ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවසමුදය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවනිරෝධය යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මෙ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු විමුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි. විමුක්ත කල්හි (ඵලක්‍ෂණයෙහි) ‘විමුක්ත යැ’ යන (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය වෙයි. ජාතිය ක්‍ෂය වූ යැ මඟබඹසර වැස නිමවන ලද, සිවුමඟින් කටයුතු කරනලද. මෙ බව පිණිස අනෙක් මාර්‍ගභාවනායෙක් නැතැ’යි දැනගනී. සන්‍දකය, යම් ශාස්තෘ කෙනෙකුන් කෙරෙහි ශ්‍රාවක මෙවන් උදාර විශේෂයක් ලබා නම් ඒ ශාස්තෘන්ගේ සස්නෙහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය කරන්නේ යි.
භවත් ආනන්‍දෙයනි, ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ (ස්කන්‍ධ ක්ලේශ අභිසංස්කාර) බර ඇති පැමිණි රහත් බව ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන (කෙලෙසුන්ගෙන්) විමුක්ත වූ යම් රහත් මහණෙක් ඇද්ද, හේ කාමයන් වළඳ දැ?යි.
සන්‍දකය, ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ යම් රහත් මහණෙක් ඇද්ද, හේ කරුණු පසක් කරන්නට නො නිස්ස. රහත් මහණ දැන දැන ප්‍රාණියකු දිවියෙන් ගලවන්නට නො නිස්ස, රහත් මහණ ස්තෙය සඞ්ඛ්‍යාත වූ නුදුන් දැය ගන්නට නො නිස්ස, රහත් මහණ මෛථුනධර්‍ම සේවනය කරන්නට නො නිස්ස, රහත් මහණ දැන දැන මුසවා කියන්නට නො නිස්ස, රහත් මහණ පෙර ගිහි වූ සෙයින් වස්තුකාමයෙන් සන්නිධිකොට වළඳන්නට නො නිස්ස. සන්‍දකය, ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසර ඇති සියුමඟින් කළ නිස ඇති බහා තැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, හේ මෙ පස් කරුණු කරන්නට නො නිසි වේ.
භවත් ආනන්‍දෙයනි, ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි මිණි රහත් බව ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනැවින් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහට ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ’යි හැමදා හැම කල්හි ඥානදර්‍ශන එළැඹසිටියේ දැ? යි.
එසේ වී නම් සන්‍දකය, තොපා උපමාවක් කරන්නෙමි. මොලොවැ ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු කියනලද්දෙහි අර්‍ත්‍ථ දැනගනිති. යම්සේ සන්‍දකය, පුරුෂයකු ගේ අත්පා සිඳිනලද ද ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහුගේ හස්තපාදයෝ හැම කල්හි හැම විට සිඳුනාලද්දාහු මැ වෙති. එතෙකුදුවත් එය ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මාගේ හස්තපාදයෝ සුන්හ’යි දැනගනී. එසෙයින් මැ සන්‍දකය, ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ මඟබඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි රහත් බව ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනැවින් දැන කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූ යම් රහත් මහණෙක් වේ ද, ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද ඔහට හැම කල්හි ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු මැ යි. එතෙකුදුවත් එය ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ’යි දැනගනී.
භවත් ආනන්‍දෙයනි, මෙසස්නෙහි නිර්‍ය්‍යාතහු ( සසරින් නික්මගියාහු) කිපමණ බොහෝ වෙත් දැ? යි. සන්‍දකය, එක් මැ සියක් නො වෙයි, දෙසියක් නො වෙයි, තුන්සියක් නො වෙයි, සාරසියක් නො වෙයි, පන්සියක් නො වෙයි, වැළිත් මෙ සස්නෙහි නිර්‍ය්‍යාතහු බොහෝ මැ යි. ආශ්චර්‍ය්‍ය යැ භවත් ආනන්‍දෙයනි, අද්භූත යැ භවත් ආනන්‍දෙයනි, තමාගේ ලබ්ධිය නඟා තැබීමෙක් නම් නො ද වන්නේ යැ මෙරමා ලබ්ධි හෙළා තැබීමෙක් නො වන්නේ යැ, කාරණයෙහි මැ ධර්‍මදේශනා වෙයි, එපමණ බොහෝ නිර්‍ය්‍යාතහු ද පැනෙති. මේ ආජීවකයෝ වැළිත් පුතුන් මළ මවගේ පුත්‍රයෝ යි. (ඔහු) තමා මැ උත්කර්‍ෂ කෙරෙති, මෙරමා ද ගරහති, නිර්‍ය්‍යාතෘන් තිදෙනකුන් මැ පනවති. හේ මෙසේ යැ: ‘නන්‍දවච්ඡ යැ කිසසඞ්කිච්ච යැ මක්ඛලිගෝසාල යැයි.
එකල්හි සන්‍දක පරිව්‍රාජක සියපිරිස් ඇමතී යැ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බඹසරවස් වසව, දැන් අප විසින් ලාභසත්කාරශ්ලෝක හැරපියන්නට පහසු නො වේ” යයි. මෙසේ සන්‍දක පරිව්‍රාජක සිය පිරිස් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචරිය වාසයෙහි උද්‍යෝග කරවී යයි.
සවැනි සන්‍දක සූත්‍ර යි.
2. 3. 7.
මහා සකුලුදායී සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසනසේක. එසමයෙහි බොහෝ වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝ මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමයෙහි වෙසෙති. හේ මෙසේයැ: “අන්නභාර ද වරධර ද සකුලුදායී පරිව්‍රාජක ද අන්‍යවූ ද ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝ දැ” යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රජගහනුවර පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් විය: “රජගහනුවර පිඬු පිණිස සරනට තව ඉතා අලුයම. මම් මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමයෙහි සකුලුදායී පරිව්‍රාජක කරා එළැඹෙන්නෙම් නම් යෙහෙකැ” යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමය වෙත එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනේකප්‍රකාර තිරශ්චීනකථා කරන මහපිරිවැජිපිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාරකථා යැ පානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ පූර්‍වප්‍රේත(අතීතඥාති) කථා යැ නන් වැදෑරුම් නිරර්‍ත්‍ථකකථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ (ශාස්වත උච්ඡේදාදී) භවාභවකථා යැ යන මේ කථා යි.
සකුලුදායී පිරිවැජි දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සියපිරිස් සන්සුන් කරවී: “භවත්නි, නිහඬ වෙත්වා, භවත්හු නහමක් හඬනගවු, මේ ශ්‍රමණ ගෞතමයෝ එති, ඒ ආයුෂ්මත්හු වූ කලී නිහඬ බව කැමැතියහ, නිහඬබැව්හි ගුණකියනුවහ. නිහඬ පිරිස දැන එළැඹියැයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පිරිවැජියෝ නිහඬ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සකුලුදායී පිරිවැජි කරා එළැඹියහ. එකල්හි සකුලුදායී පිරිවැජි භාග්‍යවතුන්ට තෙල වදන් කී: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක්වා, ස්වාමීනි භාග්‍යවතුන්ට ස්වාගත යැ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය කළහ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හිඳුනාසේක්වා මේ අස්න පනවනලදැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන්සේක. සකුලුදායී පිරිවැජි එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස්වැ හින. එකත්පස් වැ හුන් සකුලුදායී පිරිවැජිහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ: