දසවැනි කීටාගිරි සූත්‍ර යි.
දෙ වැනි භික්‍ෂුවර්‍ගය යි.
එහි උද්දානය:
කූඤ්ජරෝපම රාහුලෝවාද හෙවත් අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර යැ, ලෝකය ශාශ්වත යැ ආදී දෘෂ්ටි ගත මාලුඞ්ක්‍යපුත්‍ර උදෙසා වදාළ චූලමාලුඞ්ක්‍ය සූත්‍රය හා මහාමාලුඞ්ක්‍ය සූත්‍ර යැ, එසේ ම භද්දාලි සූත්‍ර යැ, ක්‍ෂුද්‍රද්විජ වූ ලටුකිකෝපම සූත්‍ර යැ, සහම්පතිහුගේ ආයාචනා එන චාතුම සූත්‍ර යැ, නළකපාන සූත්‍ර යැ, අරණ්‍යක වත් සඳහන් ගුලිස්සානී සූත්‍ර යැ, භද්‍ර වූ අනුපූර්‍ව ප්‍රතිපත්ති සඳහන් කීටාගිරි සූත්‍ර යි.
3. පරිබ්බාජක වර්‍ගය
2. 3. 1.
තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසනසේක. එසමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක තෙමේ (එක් හෙළඹ ගසක්) ඇතියෙන් ඒකපුණ්ඩරීක නම් පිරිවැජි අරම්හි වෙසෙයි. එකල්හි බුදුහු පෙරබත්හි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන විශාලා නුවරට පිඬුසිඟා වැඩිසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. විශාල නුවරැ පිඬු සිඟා යන්නට තව උදෑසන වෙයි. මම් ‘ඒකපුණ්ඩරීක’ නම් පරිව්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක යම් තැනෙක්හි ද එහි එළැඹෙම් නම් මැනැවැ යි. එකල්හි බුදුහු ඒකපුණ්ඩරීක නම් පරිව්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක යම් තැනෙක්හි ද එහි එළැඹිසේක.
වච්ඡගොත්ත පරිව්‍රාජක දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී යැ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැමිණෙනසේක්වා වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ස්වාගත යැ, වහන්ස, භාග්‍යවත්හු මෙහි පැමිණීමෙන් බොහෝ කලෙකින් මේ පරියාය (කරුණ) කළසේක. වහන්ස, බුදුහු වැඩහිඳුනා සේක්වා මේ අස්න පනවනලදැ’යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වච්ඡගොත්තපරිව්‍රාජක ද එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හුන. එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී යැ: “වහන්ස, මා විසින් තෙල අසනලද: ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සර්‍වඥයහ, සර්‍වදර්ශීහ, නිරවශේෂ වූ ඥානදර්‍ශනය පිළින කරන්නාහ: ඇවිදිනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ යැ’යි. වහන්ස, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණ ගෞතමයෝ සර්‍වඥයහ, සර්‍වදර්ශීහ, ‘ඇවිදුනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ වනැ’ යි නිරවශේෂ වූ ඥානදර්‍ශනය ප්‍රතිඥා කෙරෙති’යි කීහු ද කිම වහන්ස, ඔහු භාග්‍යවතුන් විසින් වදාළ දැය කියනසුලු වෙත් ද, නො ද භාග්‍යවතුන් අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද, සර්‍වඥතාඥාන ධර්‍මයට අනුරූප වූවක් ප්‍රකාශ කෙරෙත් ද, සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ”යි.
වච්ඡය, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණගෞතම සර්‍වඥය යැ සර්‍වදර්ශී යැ, ‘ඇවිදිනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ වනැ’ යි. නිරවශේෂ කොට ඥානදර්‍ශනය ප්‍රතිඥා කෙරේ” යයි කීහු ද, ඔහු මා විසින් කියන ලද්ද කියන්නාහු නො වෙති, වැලි ඔවුහු මට අසත්‍ය වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන ද කෙරෙත්” යයි.
වහන්ස, ඇපි කිසෙයින් ප්‍රකාශ කරන්නමෝ භාග්‍යවතුන් වහන්සේට උක්තවාදීත් වන්නමෝ ද භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නමෝ ද ධර්‍මයට අනුධර්‍ම වූවක් ප්‍රකාශ කරන්නමෝ ද සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ”යි.
වච්ඡය, ශ්‍රමණගෞතම ත්‍රිවිද්‍යා ඇත්තේ යැ යි ප්‍රකාශ කරනුයේ මා විසින් කියනලද්ද කියන්නේත් වන්නේ යැ, නො ද මා අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නේ යැ. ධර්‍මයට ද අනුධර්‍ම වූවක් ප්‍රකාශ කරන්නේ යැ. සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණෙන්නේ යැ. වච්ඡය, මම් වූකලි යම් පමණ රිසියෙම් නම් අනේකප්‍රකාර වූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරමි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාස සිහි කරමි. වච්ඡය, මම් වූකලි යම් පමණ රිසියෙම් ද, විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන් වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ ශෝභන ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දක්මි ... කම් වූ පරිදි මියැපරලොව ගිය සත්ත්‍වයන් දැනගනිමි. වච්ඡය, මම් වූකලි ආස්‍රවයන් ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමා විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙමි. වච්ඡය, ශ්‍රමණ ගෞතම ත්‍රිවිද්‍යා ඇත්තේ යයි. ප්‍රකාශ කරනුයේ මට උක්තවාදීත් වන්නේ යැ, නො ද මා අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නේ යැ. ධර්‍මයට ද අනුධර්‍ම කොට ප්‍රකාශ කරන්නේ යැ. නො ද කිසි සකාරණ වූ වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට පැමිණේ”යයි.
මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය: “භවත් ගෞතමයන් වහන්ස, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ ගිහිගේවැසියෙක් ඇද්දැ”යි. “වච්ඡය, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ගිහිගේ වැසියෙක් නැතැ”යි.
“යළි භවත් ගෞතමයන් වහන්ස, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට පැමිණි කිසිගිහිගේවැසියෙක් ඇද්දැ”යි. “වච්ඡය, යම් ගිහිගේවැසි කෙනෙක් හිගිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට පැමිණියාහු ද, ඔහු, එක් සියෙක් නො මැ වෙයි, දෙසියෙක් නො වෙයි, තුන්සියෙක් නො වෙයි, සිව්සියෙක් නො වෙයි, පන්සියෙක් නො වෙයි, වැලි බොහෝ වෙත් මැ”යි.
“භවත් ගෞතමයන් වහන්ස, කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ආජීවකයෙක් ඇද්දැ”යි. “වච්ඡය, කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ආජීවකයෙක් නැතැ”යි.
“යළි භවත් ගෞතමයන් වහන්ස, කිසි ආජීවකයෙක් කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට ගියේ ඇද්දැ”යි. “වච්ඡය, මම් යම් තැනක් සිහි කෙරෙම් ද, එ මෙයින් එක්අනූවන කල්ප යයි. (එකල් තුළ) එක් ආජීවකයක්හු තබා ස්වර්‍ගයට පැමිණි කිසි ආජීවකයකු නො දන්මි. හෙ ද කර්‍මවාදී ක්‍රියාවාදී වී යයි වදාළහ.
මෙසේ ඇති කල්හි භවත් ගෞතමයන් වහන්ස, තෙල තීර්‍ත්‍ථායතනය යටත්පිරිසෙයින් ස්වර්‍ගයට පැමිණෙනුවක්හුගෙනුදු සිස් වනැ”යි. “මෙසේ කල්හි වච්ඡය, තෙල තීර්‍ත්‍ථායතනය යටත්පිරිසෙයින් ස්වර්‍ගයට පැමිණෙනුවක්හුගෙනුදු සිස් යැ”යි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත්ඇති වත්සගෝත්‍ර පරිව්‍රාජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තේ යයි.
පළමුවැනි තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍ර යි.
2. 3. 2.
අග්ගිවච්ඡගොත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ සතුටු විය. සතුටු උපදවන සිහිකටයුතු වූ කථාව කොට නිමවා, එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය:
“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය ය, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
“කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සත්‍ය ය, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
“කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අනන්තවත් (අන්ත නැති) යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය අනන්තවත් යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘එ මැ ජීව යැ, එ මැ ශරීර යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු (උපදනේ) වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.
කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’යි. කියව. කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’යි. කියව.
කිම භවත් ගෞතමයෙනි,: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘ලෝකය අන්තවත් යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. කිම වැළිත් භවත් ගෞතමයෙනි, ‘ලෝකය අනන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් ලෝකය අනන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.
කිම භවත් ගෞතමයෙනි,: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු වච්ඡය, මම්: එ මැ ජීව යැ, එ මැ ශරීර යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. කිම, වැළිත් භවත් ගෞතමයෙනි, ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු වච්ඡය, මම්: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.
‘කිම භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු (උපදනේ) වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: සත්ත්‍ව මරණින් මතු වෙයි, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැයි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. ‘කිම වැළිත් භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු: ‘වච්ඡය, මම් සත්ත්‍ව මරණින් මතු නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.
කිම, භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ, යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. ‘කිම වැළිත් භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ, යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. භවත් ගෞතමයන් වහන්සේ කවර ආදීනවයක් දක්මින් මෙසේ සර්‍වප්‍රකාරයෙන් මේ දෘෂ්ටිගතයන්ට නො පැමිණියාහු දැ’යි.
වච්ඡය, ‘ලෝකය ශාශ්වත යැ යන තෙල දෘෂ්ටිගතයෙකි, දෘෂ්ටිගහනයෙකි, දෘෂ්ටි කාන්තාරයෙකි, දෘෂ්ටිවිසූකයෙකි, දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙකි, දෘෂ්ටිසංයෝජනයෙකි, (ක්ලේශ දුඃඛයෙන් හා විපාකදුඃඛයෙන්) දුක් සහිත යැ, (එයින් මැ) පීඩා සහිත යැ, දැඩි ආයාස සහිත යැ, පරිදාහ සහිත යැ (වට්ටයෙහි) නිර්වේදය පිණිස නො වෙයි, විරාගය පිණිස නො වෙයි, (රාගාදීන්ගේ) නිරෝධය පිණිස නො වෙයි, කෙලෙස් සන්හිඳීම පිණිස නො වෙයි, (අනිත්‍යාදි වශයෙන්) අභිඥාව පිණිස නො වෙයි, සත්‍යාවබෝධය පිණිස නො වෙයි, නිවන් පසක් කිරීම පිණිස නො පවතී. වත්සය, ‘ලෝකය අශාශ්වත යැ යන ... ලෝකය අන්තවත් යැ යන ... ලෝකය අනන්තවත් යැ යන ... එ මැ ජීව යැ එ මැ ශරීර යැ යන ... ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ යන ... සත්ත්‍ව මරණින් මතු වෙයි යන ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි යන ... සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි යන ... වත්සය, සත්ත්‍ව මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි යන තෙල දිට්ඨිගතයෙකැ දෘෂ්ටිගහනයෙකැ දෘෂ්ටිකාන්තාරයෙකැ දෘෂ්ටිවිසූකයෙකැ දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙකැ දෘෂ්ටිසංයෝජනයෙකැ (කෙලෙස් විවා දුකින්) දුක් සහිත යැ විඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ (වට්ටයෙහි) නිර්වේදයට නො වැටෙයි, විරාගයට නො වැටෙයි, නිරෝධයට නො වැටෙයි, කෙලෙස් සන්හිඳීමට නො වැටෙයි, සත්‍යාවබෝධයට නො වැටෙයි, නිර්‍වාණය පිණිස නොවැටෙයි: වත්සය, මම් මේ ආදීනව දක්නෙම් මෙසේ සර්‍වප්‍රකාරයෙන් මේ දෘෂ්ටිගතයන්ට නො පැමිණියෙම් වෙමි’යි.
වැළිත් භවත් ගෞතමයන් වහන්සේට කිසි දෘෂ්ටිගතයෙක් ඇද්දැ’යි. වත්සය, ‘දෘෂ්ටිගත’ යැ යන තෙල කරුණ තථාගතයන් විසින් බැහැර කරන ලද යැ. වත්සය, තථාගතයන් විසින් තෙල දක්නාලද මැ යැ. මෙතෙක් රූප යැ, මෙසේ රූපසමුදය වෙයි, මෙසේ රූපයාගේ අස්තඞ්ගමය වෙයි. මෙතෙක් වේදනාව වෙයි, මෙසේ වේදනාසමුදය වෙයි, මෙසේ වේදනානිරෝධය වෙයි, මෙතෙක් සංඥාව යැ, මෙසේ සංඥාසමුදය වෙයි, මෙසේ සංඥාවගේ නිරෝධය වෙයි, මෙතෙක් සංස්කාරයෝ යැ, මෙසේ සංස්කාරසමුදය වෙයි, මෙසේ සංස්කාරනිරෝධය වෙයි, මෙතෙක් විඥාන යැ, මෙසේ විඥානසමුදය වෙයි, මෙසේ විඥානනිරෝධය වේ යැ යි. එහෙයින් තථාගතයෝ සියලු දෘෂ්ටි-තෘෂ්ණා-මාන මඤ්ඤිතයන්ගේ සියලු මථිතයන්ගේ සියලු දෘෂ්ටිතෘෂ්ණාමානානුසයන්ගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරැලීමෙන් උපාදාන රහිත වැ විමුක්ත වූහ’යි කියමි.
භවත් ගෞතමයන් වහන්ස, මෙසේ විමුක්ත වූ සිත් ඇති මහණ කොහි උපදනේ වේ දැ?යි. වත්සය, ‘උපදී’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, නූපදනේ වේ දැ?යි. වත්සය, ‘නූපදී’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, උපදනේත් නො උපදනේත් වේ දැ?යි. වත්සය, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, නො මැ උපදනේ නො ද නූපදනේ වේ දැ?යි. වත්සය, ‘නො මැ උපදනේ නො ද නූපදනේ වෙයි’ යනු නො යෙදේ යයි.
භවත් ගෞතමයෙනි, මෙසේ විමුක්ත වූ සිත් ඇති මහණ කොහි උපදනේ දැ?යි. මෙසේ පුළුවුස්නා ලදහු ‘වත්සය, උපදී යනු නො යෙදේ යැ’යි කියව. එසේ නම් භවත් ගෞතමයෙනි, නූපදනේ දැ?යි මෙසේ පුළුවුස්නාලදහු ‘වත්සය, නූපදී’ යනු නො යෙදේ යැ’යි කියව. එසේ නම් භවත් ගෞතමයෙනි, ‘උපදනේත් නො උපදනේත් වේ දැ? යි මෙසේ පුළුවුස්නාලදහු වත්සය, ‘උපදනේත් නො ද උපදනේත් වෙයි යනු නො යෙදේ යැ’යි කියව, එසේ නම් භවත් ගෞතමයෙනි, නො මැ උපදනේ නො ද නූපදනේ වේ දැ? යි මෙසේ පුළුවුස්නා ලදහු වත්සය, නො මැ උපදනේ වෙයි නො ද නූපදනේ වෙයි යනු නො යෙදේ යැ’ යි කියව. භවත් ගෞතමයෙනි, මෙහි ලා මම් නො දැනීමට පැමිණියෙමි. මෙහි ලා සම්මෝහයට පැමිණියෙමි ... භවත් ගෞතමයන්ගේ පූර්‍වකථා සංලාපයෙක් මා ගේ යම් ප්‍රසාදමාත්‍රයෙක් වී නම් දැන් එ ද අතුරුදහන් වී යැ’ යි.
වත්සය, තොපගේ නො දැන්මට පමණ මැ යි. මුළාවට පමණි. වත්සය, යම් හෙයෙකින් මේ ප්‍රත්‍යයාකාරධර්‍මය ගම්භීර යැ එහෙයින් මැ දුදීර්‍ශ යැ අවබෝධ නො කළ හැක්ක. ශාන්ත යැ ප්‍රණීත යැ තර්‍කයෙන් නො පැමිණිය හැකි යැ සිලිටි යැ (සම්‍යක්ප්‍රතිපන්න) පණ්ඩිතයන් විසින් දැක්ක යුතු යැ. ඒ දහම අන්‍යදෘෂ්ටික වූ අන්‍යමතික වූ අන්‍යරුචික වූ අන් දහමෙකැ යෙදීම ඇති අන්‍ය ආචාර්‍ය්‍යයන් කෙරෙහි වසන තොප විසින් නො දතහැක්ක, එහෙයින් වත්සය මෙහි ලා තොප මැ පුළුවුස්මි. යම්සේ තොපට වැටහේ නම් එසේ එය ප්‍රකාශ කරව.
වත්සය, ඒ කිමැයි සිතව, ඉදින් තොප ඉදිරියෙහි ගින්නක් දිලියේ නම් ‘මා හමුයෙහි මේ ගින්න දිලේ යැ’යි තෙපි දන්නහු දැ’යි ඉදින් භවත් ගෞතමයෙනි, ගිනි දිලියේ නම් ‘මේ ගින්න මා හමුයෙහි දිලියේ’ යයි මම් දත හෙමි, ඉදින් වච්ඡය, තොප මෙසේ පුළුවුස්නේ නම්: ‘තොප ඉදිරියෙහි යම් ගින්නක් දිලියේ ද, මේ ගින්න කුමක් නිසා දිලියේ දැ’යි වච්ඡය මෙසේ පුළුවුස්නාලද තෙපි කුමකැ’යි ප්‍රකාශ කරන්නාහු ද? ඉදින් භවත් ගෞතමයෙනි, මා මෙසේ විචාරා නම්: ‘තොප ඉදිරියෙහි යම් ගින්නක් දිලියේ ද, ඒ ගින්න කුමක් නිසා දිලියේ දැ’යි. භවත් ගෞතමයෙනි, මම් මෙසේ විචාරන ලද්දෙම් මෙසේ ප්‍රකාශ කරන්නෙමි: ‘මා හමියෙහි යම් ගින්නක් දිලියේ ද, මේ ගින්න තෘෂ්ණකාෂ්ටොපාදානය නිසා දිලේ’යයි. මෙසේ ප්‍රකාශ කරමි. ඉදින් වත්සය, ඒ ගින්න තොප හමියෙහි නිවේ නම් මේ ගින්න මා හමුවෙහි නිවිණැ’යි දන්නහු ද? ඉදින් භවත් ගෞතමයෙනි, ඒ ගින්න මා හමුවෙහි නිවියේ නම්, මම් මේ ගින්න මා හමුවෙහි නිවිණැයි දැනගනිමි. යළි වත්සය, ඉදින් තොප පුළුවුස්නේ නම්: ‘තොප හමියෙහි යම් ගින්නක් නිවියේ නම් ඒ ගින්න මෙයින් කවර දිගකට ගියේ ද පෙරදිගට හෝ අවරදිගට හෝ උතුරුදිගට හෝ දකුණු දිගට හෝ යැ’යි. වච්ඡය මෙසේ පුළුවුස්නාලද තෙපි කිමැ යි ප්‍රකාශ කරහු දැ’යි. භවත් ගෞතමයෙනි නො යෙදෙයි. යම් හෙයෙකින් භවත් ගෞතමයෙනි, ඒ ගින්න යම් තෘෂ්ණකාෂ්ටොපාදානයක් නිසා දිලිණි ද ඒ උපාදානයාගේ ක්‍ෂය වීමෙන් ද අන්‍ය උපාදානයක්හුගේ නො එළැවීමෙන් ද, අප්‍රත්‍ය වැ නිවිණැ යි කියා මැ ගණනට යේ යැ’යි.
එසෙයින් මැ වත්සය, යම් රූපයෙකින් සත්ත්‍ව සඞ්ඛ්‍යාත තථාගත පනවනුයේ රූපී යැ යි පනවා නම් තථාගතයන්හට ඒ රූපය ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තේ යැ, තාලවස්තුවක් මෙන් කරන ලද, අනභාවය කරනලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යැ. වත්සය, රූපය නුවණින් දැන විමුක්ත වූ තථාගත ගුණ හෙයින් ගැඹුරු යැ ප්‍රමාණ කළ නො හැක්ක, නො දත හැක්ක, මහාසමුද්‍රය මෙනි, ‘උපදනේ යැ’යි නො යෙදෙයි, ‘නූපදනේ යැ’යි නො යෙදෙයි, ‘උපදනේත් වෙයි නූපදනේත් වේ යැ’යි නො යෙදෙයි. ‘නො මැ උපදී පනවානූපදනේ නො වේ යැ’යි නොයෙදෙයි. යම් වේදනායෙකින් සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම් ඒ වේදනාව තථාගතයන්හට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද මත්තෙහි නූපදනා සැහැවි ඇත්තීයැ, වත්සය, වේදනාව නුවණින් දැන විමුක්ත වූ තථාගත ගුණයෙන් ගැඹුරු යැ ප්‍රමාණ කළ නො හැක්ක, නො දත හැක්ක, මහසමුදුර වැන්න, ‘උපදී යැ’යි නො යෙදේ, ‘නූපදී යැ’යි නො යෙදෙයි, ‘උපදනේත් නො ද උපදනේත් වේ යැ’යි නො යෙදෙයි. ‘නො මැ උපදී නූපදනේ නො වේ යැ”යි නො යෙදෙයි. යම් සංඥාවකින් සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම් ඒ සංඥාව තථාගතයන්ට ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ, වත්සය, සංඥාව නුවණින් දැන විමුක්ත වූ තථාගත ගැඹුරු යැ ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර මෙනි, ‘උපදී යැ’ යනු නොයෙදෙයි, ‘නූපදී යැ’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ. යම් සංස්කාර කෙනකුන් කරණ කොට සත්ත්‍වයා පනවනුයේ පනවා නම් ඒ සංස්කාරයෝ තථාගතයන්ට ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, තාලවස්තුවක් මෙන් කරනලදහ, අනභාවය කරනලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. වත්සය, සංස්කාරයන් නුවණින් දැන විමුක්ත වූ තථාගත ගම්භීර යැ, ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර වැන්න, ‘උපදී’ යනු නො යෙදෙයි, ‘නූපදී’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ. යම් විඥානයෙකින් සත්ත්‍වයා පනවනුයේ පනවා නම් ඒ විඥානය තථාගතයන්ට ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තේ යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද. මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යැ. වත්සය, විඥානය නුවණින් දැන විමුක්ත වූ තථාගත ගැඹුරු යැ, ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර මෙනි, ‘උපදී’ යනු නො යෙදෙයි, ‘නූපදී’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ යයි.
මෙසේ වදාළ කල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ යම්සේ භවත් ගෞතමයන් වහන්ස, ගමකට හෝ නියම්ගමකට හෝ නුදුරෙහි මහසල්රුකෙක් වේ ද, අනිත්‍ය බැවින් එහි අතුකොළ නස්නේ යැ සිවිපතුරු නස්නේ යැ බොරුදු නස්නේ යැ එරුක මෑතභාගයෙහි පහ වූ අතුකොළ ඇත්තේ පහවූ සිවිපොතු ඇත්තේ පහවූ බොරුදු ඇත්තේ ශුද්ධ වූයේ හර මතුයෙහි සිටියේ වෙයි. එහෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රවචනය අපගත වූ කොළ අතු ඇතියේ අපගත වූ ත්‍වක්පපටිකා ඇතියේ අපගත වූ ඵල්ගු ඇතියේ ශුද්ධ වූයේ ලෝකෝත්තර ධර්‍ම සාරයෙහි පිහිටියේ වේ. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර යැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර යැ ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් වැ සරණ ගිය උපාසකයකු කොට මා ධරනසේක්ව’යි.
දෙවැනි අග්ගිවච්ඡගොත්ත සූත්‍ර යි.
2. 3. 3.
මහාවච්ඡගොත්ත සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනවිහාරයෙහි වැඩ වසනසේක. එකල්හි වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකළයුතු වූ කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ යැ.
මම් භවත් ගෞතමයන් වහන්සේ සමග කථා කෙළෙම් බොහෝ කල් වෙයි. භවත් ගෞතමයන් වහන්සේ මට සැකෙවින් කුසල් අකුසල් දේශනා කරන සේක්ව’යි අයදිමි.
වත්සය, මම් තොපට සැකෙවිනුදු කුසල් අකුසල් දෙසිය හෙමි. වත්සය මම් තොපට විතරිනුදු කුසල් අකුසල් දෙසිය හෙමි. එතෙකුදු වුවත් වත්සය, මෙම තොපට සැකෙවින් කුසල් අකුසල් දෙසන්නෙමි, ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි’යි.
‘එසේ යැ භවත්නි’යි වත්සගෝත්‍රපරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළසේක:
“වත්සය, ලෝභය අකුශලයෙක, අලෝභය කුශලයෙක. වත්සය, ද්වේෂය අකුශලයෙක, අද්වේෂය කුශලයෙක. වත්සය, මෝහය අකුශලයෙක, අමෝහය කුශලයෙකි. මෙසෙයින් වත්සය, මේ තුන් ධර්‍මයෝ අකුශලයෝ යැ, තුන් ධර්‍මයෝ කුශලයෝ යි. වත්සය, ප්‍රාණඝාතය අකුශලයෙක, ප්‍රාණඝාතයෙන් වෙන් වීම කුශලයෙක. වත්සය, අදත්තාදානය අකුශලයෙක, අදත්තාදානයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, කාමයෙහි මිසහසර අකුශලයෙක, කාමයෙහි මිසහසරින් වෙන්වීම කුශලයෙක. වත්සය, මෘෂාවාදය අකුශලයෙක, මෘෂාවාදයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, පිශුනවචනය අකුශලයෙක, පිශුනවචනයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, පරුෂවචනය අකුශලයෙක, පරුෂවචනයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, සම්ඵප්‍රලාපය අකුශලයෙක, සම්ඵප්‍රලාපයෙන් වෙන්වීම කුශලයෙක. වත්සය, අභිධ්‍යාව අකුශලයෙක, අනභිධ්‍යාව කුශලයෙක. වත්සය, ව්‍යාපාදය අකුශලයෙක, අව්‍යාපාදය කුශලයෙක. වත්සය, මිථ්‍යාදෘෂ්ටිය අකුශලයෙක, සම්‍යග්දෘෂ්ටිය කුශලයෙකි. මෙසෙයින් වත්සය, මේ දශධර්‍මයෝ අකුශලයෝ යැ. දශධර්‍මයෝ කුශලයෝ යි.
වත්සය, යම් තැනෙක පටන් මහණහට තෘෂ්ණා ප්‍රහීණ වී ද උසුන්මුල් ඇත්තී තාලවස්තුවක් මෙන් කරනලද්දී අනභාවය කරනලද්දී මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තී ද ඒ මහණ අර්‍හත් වූයේ ක්‍ෂය වූ ආස්‍රව ඇත්තේ වැස නිම වූ බඹසරවස් ඇත්තේ කළ සිවුමඟකිසඇතියේ බහා තැබූ ස්කන්‍ධාදි බර ඇතියේ පැමිණි අර්‍හත්ත්‍වය ඇතියේ ක්‍ෂය වූ භවසංයෝජන ඇත්තේ මොනොවට දැන අර්‍හත්ඵල විමුක්තියෙන් විමුක්ත වූයේ යයි.
භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක වූ එක් මහණෙකුදු ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමා විසින් මැ දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ද එබඳු මහණෙක් ඇද්දැ?යි.
වත්සය, එක් සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවක වූ යම් මහණ කෙනෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමන් විසින් මැ දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙත් ද එබඳු මහණහු බොහෝ වෙත් මැ යි.
භවත් ගෞතමයන් වහන්සේ සිටිත්වා. මහණහු සිටිත්වා. භවත් ගෞතමයන්ගේ ශ්‍රාවිකා වූ එක් මෙහෙණකුදු ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමා විසින් අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසේ ද එබඳු එක් මෙහෙණකුදු ඇද්දැ?යි.
වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සැවි වූ යම් මෙහෙණ කෙනෙක් ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමන් විසින් අවබෝධ කොට ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වෙසෙත් ද, එබඳු මෙහෙණහු බොහෝ වෙත් මැ යි.
භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. භවත් ගෞතමයන් වහන්සේගේ සවු වූ ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති එක් උවසුයෙක් පවා පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ ඒ ශුද්ධාවාසයෙහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එනුයේ ඇද්දැ?යි.
වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සවු වූ ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති යම් උවසු කෙනෙක් පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූවාහු එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තාහු ද එබඳු උවසුවෝ බොහෝ වෙත් මැ යි.
භවත් ගෞතමයන් වහන්සේ සිටින සේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහි වූ හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ සිටිත්වා. භවත් ගෞතමයන්ගේ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ සසුන් කරන අවවාද පිළිගෙන කරන තරණය කළ විචිකිච්ඡා ඇති පහවූ සැක ඇති, විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූ එක් උපාසකයෙක් නමුදු වෙසේ දැ?යි.
වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවක වූ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ ශාසනකර වූ අවවාද පිළිගෙන කරන තරණය කළ විචිකිත්සා ඇති පහවූ සැක ඇති විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූ යම් උපාසක කෙනෙක් වෙසෙත් ද, එබඳු උපාසකයෝ බොහෝ වෙත් මැ යි.
භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහිගේවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ සිටිත්වා. ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී උපාසකයෝ සිටිත්වා. භවත් ගෞතමයන් වහන්සේගේ සැවි වූ හෙළපිළී හඳනා බඹසර ඇති පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි පිරිනිවෙනසුලු එලොවින් නො නවත්නා සැහැවි ඇති එක් උවැසියෙකුදු ඇද්දැ?යි.
වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ සැවි වූ ගිහිගේවැසි හෙළපිළී හඳනා බඹසර ඇති පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි පිරිනිවෙනසුලු ඒ සුදවැසි බඹලොවින් පෙරළා නො එනසුලු යම් උවැසි කෙනෙක් වෙත් ද එබඳු උවැසියෝ බොහෝ වෙත් මැ යි.
භවත් ගෞතමයන් වහන්සේ සිටිනසේක්වා. මහණහු සිටිත්වා. මෙහෙණහු සිටිත්වා. ගිහිගේවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ සිටිත්වා, ගිහිගේ වැසි හෙළපිළී හඳනා කාමභෝගී වූ උවසුවෝ සිටිත්වා. ගිහිගේ වැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ සිටිත්වා, යළි භවත් ගෞතමයන් වහන්සේගේ සැවි වූ ගිහිගේ වැසි හෙළපිළී හඳනා කම්සුව විඳින සසුන්කරු වූ ඔවා පිළිගෙන කරන තරණය කළ චිකිත්සා ඇති පහ වූ සැක ඇති විශාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූ එක් උවැසියකුදු වෙසේ දැ?යි.
වත්සය, එක්සියෙක් මතු නො වෙයි, දෙසියෙක් නො වෙයි. තුන්සියෙක් නො වෙයි. සාරසියෙක් නො වෙයි. පන්සියෙක් නො වෙයි. වැළි මාගේ ශ්‍රාවිකා වූ ගිහිගේවැසි හෙළපිළී හඳනා කම්සුව විඳින සසුන්කරු වූ ඔවා පිළිගෙන කරන තරණය කළ විචිකිත්සා ඇති විගත කථඞ්කථා ඇති වෛශාරද්‍යයට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූ යම් උපාසිකා කෙනෙක් ඇද්ද, එබඳු උපාසිකාවෝ බොහෝ වෙත් මැ යි.
ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්තුරා දහම භවත් ගෞතමයන් වහන්සේ මතු සම්පාදනය කළාහු වෙත් නම් මහණහු නො ද ආරාධනය කළාහු නම් මෙසෙයින් මේ මඟ බඹසර එ අඟින් අපරිපූර්‍ණ විය. තවද යම් හෙයෙකින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොව්තුරු දහම භවත් ගෞතමයන් වහන්සේත් සම්පාදනය කළාහු මහණහු ද ආරාධනය කළාහු වෙත් ද, මෙසෙයින් මේ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ වී.
ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොව්තුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද ආරාධනය කළාහු වූහ. එතෙකුදු වත් මෙහෙණහු ආරාධනය කළාහු නො වූහු නම්, මෙසෙයින් මේ මඟබඹසර එ අඟින් අපරිපූර්‍ණ වූයේ යැ. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ විය.
ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මේ ලොවුතුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ සම්පාදක නො වූහු නම් මෙසෙයින් මෙ මඟ බඹසර එ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උපාසකයෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ විය.
ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොව්තුරුදහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බ්‍රහ්මචාරී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ සම්පාදක නො වූහු නම් මෙසෙයින් මෙ බඹසර එ අඟින් අපරිපූර්‍ණ වූයේ යැ. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසරවස් ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ බඹසර පරිපූර්‍ණ විය.
ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොවුතුරු දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ (මෙදහම) සම්පාදනය කළාහු නො වූහු නම් මෙසෙයින් මෙ බඹසර ඒ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ බඹසර එ අඟින් පරිපූර්‍ණ වී.
ඉදින් භවත් ගෞතමයන් වහන්ස, මෙ ලොවුතුරුදහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු වූහ. මහණහු ද සම්පාදනය කළාහු වූහ. මෙහෙණහු ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු වූහ. ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු වූහ. එතෙකුදු වත් ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවැසියෝ මෙදහම සම්පාදනය කළාහු නො වූහු නම් මෙ සෙයින් මෙ මඟබඹසර ඒ අඟින් අපරිපූර්‍ණ විය. යම් හෙයෙකින් වැළිත් භවත් ගෞතමයන් වහන්ස, මෙ දහම භවත් ගෞතමයන් වහන්සේ ද සම්පාදනය කළාහු මහණහු ද සම්පාදනය කළාහු මෙහෙණහු ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවසුවෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා බඹසර ඇති උවැසියෝ ද සම්පාදනය කළාහු ගිහිගෙවැසි හෙළපිළී හඳනා කාමභෝගී උවැසියෝ ද සම්පාදනය කළාහු වෙත් ද, මෙසෙයින් මෙ මඟබඹසර එ අඟින් පරිපූර්‍ණ වී.
යම්සේ භවත් ගෞතමයන් වහන්ස, ගඞ්ගානදිය මුහුදට නැමුණි මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා මුහුද පැහැර සිටී ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේගේ මේ පිරිස ගිහිපැවිද්දන් සහිත වූවා නිවනට නම්න වැ නිවනට නැඹුරු වැ නිවනට බර වැ නිවන පැහැර සිටී. ඉතා කාන්ත යැ ... ඒ මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. මම් භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැවිද්ද ලබන්නෙම් මැනැවැ, උපසපුව ලබන්නෙම් මැනැවැ’යි.
වත්සය, අන්තොටුවිරූ යමෙක් මෙසස්නෙහි පැවිද්ද කැමැති වේ ද මහලුපැවිද්ද කැමැති වේ ද, හෙ සාර මසක් පිරිවෙස් වසයි. සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති මහණහු ඔහු පැවිදි කෙරෙති, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරෙති. එතෙකුදු වත් මෙහි ලා මා විසින් පුද්ගල නානාත්‍වය දන්නාලදැ’යි.
ඉදින් වහන්ස, පෙර අන්‍යතීර්‍ත්‍ථක වූවාහු මෙ සස්නෙහි පැවිදි කැමැත්තාහු මහලුපැවිදි කැමැත්තාහු සාරමසක් පිරිවෙස් වසත් ද, සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති මහණහු ඔවුන් පැවිදි කෙරෙත් ද, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරෙත් ද, මම් සතර හවුරුද්දක් පිරිවෙස් වසමි, සතර හවුරුද්දක් ඇවෑමෙන් තුටුසිත් මහණහු (මා) පැවිදි කෙරෙත්වා, භික්‍ෂුභාවය පිණිස මහලුපැවිදි කෙරත්ව’යි.
වත්සගෝත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් කෙරෙහි පැවිදි ලද, මහලුපැවිදි ලත්. යළි උපසපන් නො බෝකල් ඇති ආයුෂ්මත් වත්සගෝත්‍ර උපසපන් අඩමස් ඇතියේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ කී: “වහන්ස, ශෛක්‍ෂඥානයෙන් ශෛක්‍ෂවිද්‍යායෙන් යම් පමණ ලදයුතු නම් මා විසින් එය ලබන ලද. මත්තෙහි (ඵලප්‍රාප්තිය පිණිස) මට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනසේක්ව”යි. එසේ වී නම් වත්සය, තෙපි මත්තෙහි ශමථය ද විදර්‍ශනාව ද යන දෙ දහම වඩව. වත්සය, තොප විසින් ශමථය ද, විදර්‍ශනාව ද යන මේ දෙදහමහු වඩනාලද්දාහු අනේකධාතු ප්‍රතිවේධය පිණිස පවතිත්. වත්සය, තෙපි යම්තාක් කැමැත්තහු නම්: “නන්වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කරන්නෙම්, එකක් වැ ද බහුප්‍රකාර වන්නෙමි, බහුප්‍රකාර වැ ද එකෙක් වන්නෙමි. ආවිර්භාවයට තිරොභාවයට යන්නෙමි, බිත්සරස පවුරුසරස පර්‍වත සරස අහස්හි මෙන් නො ගැටෙමින් යන්නෙමි, පොළොව්හිදු දියෙහි මෙන් ගැලීම නැඟීම් කරන්නෙමි, නො බිඳෙන දියෙහිදු පොළොව්හි මෙන් යන්නෙමි, අහස්හිදු පක්‍ෂීන් සෙයින් පලඟින් යන්නෙමි, මෙසේ මහත් ඍද්‍ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මෙ සඳහිරු දෙදෙන ද අතින් පිරිමසන්නෙමි, පිරිමදින්නෙමි, බඹලොව හිම් කොට කයින් වශයෙහි පවත්වන්නෙමි”යි. කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණ ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
වත්සය, තෙපි කැමැත්තහු නම්: ‘මිනිස්බව ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝතධාතුයෙන් දුරැ වූ හෝ ළඟ වූ හෝ දිව්‍ය වූත් මානුෂික වූත් උභය ශබ්දයන් ශ්‍රවණය කරන්නෙමි’යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
වත්සය, තෙපි යම්තාක් කැමැත්තහු නම්: “පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දැනගන්නෙමි, සරාග (රාග සහිත) සිත ද ‘සරාග සිතැ’යි දැනගන්නෙමි, වීතරාග (පහවූ රාග ඇති) සිත ද ‘වීතරාග සිතැ’යි දැනගන්නෙමි, සදෝස සිත ද ‘සදෝස සිතැ’යි දැනගන්නෙමි, වීතදෝස සිත ද ‘වීතදෝස සිතැ’යි දැනගන්නෙමි, සමෝහ සිත ද ‘සමෝහ සිතැ’යි දැනගන්නෙමි, ‘වීතමෝහ සිත ද ‘වීතමෝහ සිතැ’යි දැනගන්නෙමි, සංක්‍ෂිප්ත සිත ද ‘සංක්‍ෂිප්ත සිතැ’යි දැනගන්නෙමි, වික්‍ෂිප්ත සිත ද ‘වික්‍ෂිප්ත සිතැ’යි දැනගන්නෙමි, මහද්ගත සිත ද ‘මහද්ගත සිතැ’යි දැනගන්නෙමි, මහද්ගත නො වූ සිත ද ‘මහද්ගත නො වූ සිතැ’යි දැනගන්නෙමි, සඋත්තර සිත ද ‘සඋත්තර සිතැ’යි දැනගන්නෙමි, අනුත්තර සිත ද ‘අනුත්තර සිතැ’යි දැනගන්නෙමි, සමාහිත සිත ද ‘සමාහිත සිතැ’යි දැනගන්නෙමි, සමාහිත නො වූ සිත ද ‘සමාහිත නො වූ සිතැ’යි දැනගන්නෙමි, විමුක්ත සිත ද ‘විමුක්ත සිතැ’යි දැනගන්නෙමි, විමුක්ත නො වූ සිත ද ‘විමුක්ත නො වූ සිතැ’යි දැනගන්නෙමි, කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
වත්සය, තෙපි යම් තාක් කැමැත්තහු නම්: ‘නන්වැදෑරුම් වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන්නෙම්, හෙමෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සුවහසකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසුවල් තැන මෙබඳු නම් ඇති වීමි, මෙබඳු ගෝත්‍ර ඇති වීමි, මෙබඳු පැහැසටහන් ඇති වීමි, මෙබඳු ආහාර ඇති වීමි, මෙබඳු සුවදුක් විඳුනා සුලු වීමි, මෙබඳු ආයුෂ්පර්‍ය්‍යන්ත ඇති වීමි, ඒ මම් එයින් සැව අසුවල් තන්හි උපන්මි, එහිදු මෙබඳු නම් ඇති වීමි, මෙබඳු ගෝත්‍ර ඇති වීමි, මෙබඳු පැහැසටහන් ඇති වීමි, මෙබඳු ආහාර ඇති වීමි, මෙබඳු සුවදුක් විඳුනාසුලු වීමි, මෙබඳු ආයුෂ්පර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම් එයින් සැව මෙහි උපන්මි’යි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන්වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කරන්නෙමි”යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
වත්සය, තෙපි යම් තාක් මැ කැමැත්තහු නම්: “මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන්: ච්‍යුත වනුවන් උපදනුවන් හීනයන් ප්‍රණීතයන් සුවර්‍ණයන් දුර්වර්‍ණයන් සුන්‍දරගති ඇතියන් දුර්‍ගති ඇතියන් දක්නෙමි, කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන්: ‘මේ භවත් සත්ත්‍වයෝ එකත්නෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටි ඇතියහ, මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පැහැ වූ දුකට ගති වූ විශව වැ පතිත වන නිරයෙහි උපන්හ. මෙ භවත් සත්ත්‍වයෝ එකත්නෙන් කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනස්සුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යනට උපවාද නො කරනුවහ. සම්‍යග්දෘෂ්ටි ඇතියහ, සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන ඇතියහ, ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහ’යි දැනගන්නෙමි. මෙසේ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන්: ච්‍යුත වනුවන් උපදනුවන් හීනයන් ප්‍රණීතයන් සුවර්‍ණයන් දුර්වර්‍ණයන් සුන්‍දරගති ඇතියන් දුර්‍ගති ඇතියන් දක්නෙමි, කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් දැනගන්නෙමි”යි කැමැත්තහු නම් ඒ ඒ තන්හි මැ කරුණු ඇති වත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යැ.
වත්සය, තෙපි යම්තාක් මැ කැමැත්තහු නම්: ‘ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඉහාත්මයෙහි මැ තමා විසින් දැන පසක් කොට උපදවා වාසය කරන්නෙමි’යි, ඒ ඒ තන්හි මැ කරුණු ඇතිවත් මැ සාක්‍ෂ්‍ය විසින් භව්‍යතාවට පැමිණෙන්නහු යයි.
ඉක්බිති ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වැ අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ආයුෂ්මත් වත්සගෝත්‍ර එකලා වූයේ (වස්තුකාම ක්ලේශකාමයෙන්) වෙන් වූයේ අප්‍රමත්ත (කමටහන්හි සිහි එළවූයේ) වූයේ කෙලෙසුන් තවන වැර ඇතියේ (කායජීවිත නිරපේක්‍ෂතායෙන්) හළ අත්බැව් ඇති වැ වෙසෙමින් යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට මැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වෙත් ද ඒ අනුත්තර වූ බඹසරවස් කෙළවර වූ අර්‍හත්ඵලය නො බෝකලකින් මැ ඉහාත්මයෙහි මැ තමා විසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපදවා විසී. ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිමවන ලද, (සිවුමඟ) කරණී කරන ලද, මෙ බව පිණිස අනෙක් මාර්‍ගභාවනා කිසෙක් නැතැ’යි දැනගනී. තවද ආයුෂ්මත් වත්සගෝත්‍ර රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් වී.
එසමයෙහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නට යෙති. ආයුෂ්මත් වත්සගෝත්‍ර ඒ භික්‍ෂූන් යනුවන් දුරින් මැ දැක ඒ භික්‍ෂූන් කරා එළැඹියේ යැ, එළැඹ ඒ භික්‍ෂූන්ට තෙල කරුණ කී: “ආයුෂ්මත්නි, දැන් තෙපි කොහි යවු දැ”යි. ආයුෂ්මත්නි ඇපි භාග්‍යවතුන් දක්නට යම්හ’යි. එසේ වී නම් ආයුෂ්මත්නි, මාගේ වචනයෙන් භාග්‍යවතුන්ගේ පාසඟළ මුදුනින් වඳිවු: “වහන්ස, වත්සගෝත්‍ර මහණ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ මුදුනින් වඳී, මෙසේත් කියයි: ‘මා විසින් බුදුහු (පරිචර්‍ය්‍යා විසින්) සෙවුනා ලදහ, මා විසින් සුගතයන් වහන්සේ සෙවුනාලදහ”යි වඳිවු. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් වත්සගොත්‍රයනට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති ඒ මහණහු බුදුන් කරා එළැඹ වඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු භාග්‍යවතුන්ට තෙල කරුණ සැලකළහ: “වහන්ස, ආයුෂ්මත් වත්සගෝත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ මුදුනින් වඳී, මෙසේත් කියයි: ‘මා විසින් භාග්‍යවතුන් වහන්සේ සෙවුනාලදහ, මා විසින් සුගතයන් වහන්සේ සෙවුනාලදහ”යි.
මහණෙනි, මා විසින් පළමු මැ වත්සගෝත්‍ර මහණ සිතින් සිත පිරිසිඳ දන්නාලද යැ: “වත්සගෝත්‍ර මහණ ත්‍රිවිද්‍යා ඇත්තේ යැ, මහත් ඍද්ධි ඇත්තේ යැ, මහත් අනුභාව ඇත්තේ යැ”යි. දෙවියෝ ද මට තෙල කරුණ දැන්වූහ: “වහන්ස, වත්සගෝත්‍ර මහණ ත්‍රිවිද්‍යා ඇත්තේ යැ, මහත් ඍද්ධි ඇත්තේ යැ, මහත් අනුභාව ඇත්තේ යැ”යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ’යි.
තුන්වැනි මහාවච්ඡගොත්ත සූත්‍ර යි.
2. 3. 4.
දීඝනඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙන්හි වැඩ වාසය කරන සේක. එකල්හි දීඝනඛ නම් පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී:
භවත් ගෞතමයෙනි, මම් වූ කලි ‘සියල්ල (උපත්) මට නො රුස්නේයැ’ යන මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි’යි. ගිනිවෙස්න, තෙල ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන තොපගේ යම් දෘෂ්ටියක් ඇද්ද, තෙල දෘෂ්ටියත් තොපට නො රුස්නේ දැ? යි. ඉදින් භවත් ගෞතමයෙනි, තෙල දෘෂ්ටිය මට රුස්නේ වී නම් එ (දෘෂ්ට්‍යර්‍ත්‍ථය) ද එසේ මැ වන්නේ යැ, එ ද එසේ මැ වන්නේ යැ. (සර්‍වග්‍රහණයෙන් ගන්නා ලද නමුදු දෘෂ්ටිය රුචි වෙයි, එසෙයින් මැ දෘෂ්ට්‍යර්‍ත්‍ථයත් රුචි වේ යන අර්‍ත්‍ථ යි.) ගිනිවෙස්න, ලොවැ (දෘෂ්ටි හැර පියන) යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි හැරපියන) ඔවුනට වඩා (දෘෂ්ටි නො හරනා) ඔහු මැ බොහෝහ, බහුතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද නො හරිති, අන්‍යදෘෂ්ටියකුදු දැඩි වැ ගනිත්. ගිනිවෙස්න, ලොවැ දෘෂ්ටි නො හරනා යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි නො හරනා) ඔවුනට වඩා (දෘෂ්ටි හැරපියන) ඔහු මැ අල්පයහ, අල්පතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද හැරපියති, අන්‍යදෘෂ්ටියකුදු උපාදාන නො කෙරෙති.
ගිනිවෙස්න, ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත, ගිනිවෙස්න, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත. ගිනිවෙස්න, ‘ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇති.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, (තෘෂ්ණාදෘෂ්ටි) අභිනන්‍දනයට ආසන්න යැ, අධ්‍යවසානය (ගිලගැනීම) ට ආසන්න යැ. උපාදානය (දෘඪග්‍රහණ) යට ආසන්න යැ.
එහි ලා ගිනිවෙස්න, යම් මහණබමුණු කෙනෙක් “සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අනභිනන්‍දනයට ආසන්න යැ, අනධ්‍යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යැ යි.
මෙසේ වදාළ කල්හි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී: “භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය උත්කර්‍ෂ කෙරෙති භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය මැනැවින් උත්කර්‍ෂ කෙරෙති”යි.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: “ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්‍රතිසන්‍ධියක් මට නො රුස්නේ යැ” යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, යම් දෘෂ්ටියක් ඔවුනට රුස්නේ ද, ඒ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, අභිනන්‍දනාවට ආසන්න යැ, අධ්‍යවසානයට ආසන්න යැ, උපාදානයට ආසන්න යි. යම් දෘෂ්ටියක් ඔවුනට නො රුස්නේ නම් ඒ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ, අනභිනන්‍දනාවට ආසන්න යැ, අනධ්‍යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යි.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල (හැම ප්‍රතිසන්‍ධිය) මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍ය යැ අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකුගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුන් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුන් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දක්මින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍ය යැ අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකු ගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ; සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.
ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මාගේ යම් දෘෂ්ටියක් වේ ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්‍ශ කොට ගෙන අභිනිවේශ කොට ගෙන ‘මේ මැ සත්‍යයැ, අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම්, දෙදෙනකුගෙන් මට කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් වේද, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් වේ ද, මෙදෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසෙයින් කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් ඒ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසේ තෙල දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසේ තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.
තවද ගිනිවෙස්න, මෙ කය රූපවත් වූයේ සතර මහාභූතයෙන් නිපන්නේ මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් සම්භව වූයේ බතින් කොමුයෙන් වැඩුණේ අනිත්‍යසවභාව ඇතියේ ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් පියවි කොට ඇතියේ අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ (ගඩු) විසින් ශල්‍ය විසින් අඝ (දුඃඛස්වභාව) විසින් ආබාධ විසින් පර (තමා අයත් නැති) විසින් නැසෙන විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් දැක්කයුත්තේ යැ, ඔහු මෙ කය අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පර විසින් නැසෙන විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් දක්නාහට කයෙහි යම් කාය තෘෂ්ණාවක් කායස්නේහයක් කායන්‍වය (කයඅනුවයන) බවෙක් වේ ද, ඒ ප්‍රහීණ වෙයි.
ගිනිවෙස්න, මෙ තුන් වේදනායෙක් ඇත: සුඛවේදනා යැ දුඃඛවේදනා යැ උපේක්‍ෂා වේදනා යි. ගිනිවෙස්න, යම් කලෙකැ සුඛවේදනාව විඳී ද, එසමයෙහි දුඃඛවේදනාව නො මැ විඳී, උපේක්‍ෂාවේදනාව නො මැ විඳී, එසමයෙහි සුඛවේදනාව මැ විඳී. ගිනිවෙස්න, යම් කලෙකැ දුඃඛවේදනාව විඳී ද, එසමයෙහි සුඛවේදනාව නො මැ විඳී, උපේක්‍ෂාවේදනාව නො මැ විඳී, එසමයෙහි දුඃඛවේදනාව මැ විඳී. ගිනිවෙස්න, යම් කලෙකැ උපේක්‍ෂාවේදනාව විඳී ද, එසමයෙහි සුඛවේදනාව නො මැ විඳී, දුඃඛවේදනාව නො මැ විඳී, එසමයෙහි උපේක්‍ෂාවේදනාව මැ විඳී.