වහන්ස, මේ සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යවතුන් දක්නා පිණිස චාතුමාවට පැමිණියාහ. ඒ අමුතු මහණහු නේවාසික භික්‍ෂූන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ’යි. යව මහණෙනි, තොප පණාමන(බැහැර) කෙරෙමි. තොප මා වෙත නො විසියයුතු’ යයි. වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අසුනින් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට සෙනසුන ගෝපනය කොට පාසිවුරු ගෙන නික්ම ගියහ.
එසමයෙහි චාතුම වැසි ශාක්‍යයෝ කිසි කටයුත්තෙකින් සන්‍ථාගාරයෙහි රැස්වූවාහු වෙති, චාතුමාවැසි ශාක්‍යයෝ දුරින් මැ යන ඒ භික්‍ෂූන් දුටුවාහු ය. දැක ඒ භික්‍ෂූන් කරා එළඹියාහු ය. එළඹ, ඒ භික්‍ෂූන්ට මෙපවත් කීහ: “සොඳය, ආයුෂ්මත්නි තෙපි (දැන්ම අවුත්) කොහි යැවූ දැ” යි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂුසඞ්ඝයා පණාමන කරන ලදැයි කීහ. එසේ නම් ඇවැත්නි මොහොතක් හුන මැනැව, අපි භාග්‍යවතුන් වහන්සේ පහදවාලන්නව හැකි වන්නමෝ නම් යෙහෙකැ’ යි කීහු. ‘එසේ යැ ඇවැත්නි, ඒ භික්‍ෂූහු චාතුමාවැසි සැහැරජුන්ට පිළිවදන් ඇස්වූහු.
ඉක්බිති චාතුමාවැසි සැහැරජහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහු ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චාතුමාවැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා (ඊම රුස්මින් තුටු වෙත්වා) වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා, වහන්ස භාග්‍යවතුන් විසින් යම්සේ පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද නම් එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරන සේක්වා. වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන්ට දක්නට නො ලැබෙන ඔවුනට ප්‍රසාද අන්‍යථාත්‍වය වන්නේ ය. විපරිණාමාන්‍යථාත්‍වය වන්නේ ය. වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ (මලානයෙන්) අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ විපරිණාමය වන්නේ යැ.
වහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්‍යථාත්‍වය වන්නේ ද. විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. භාග්‍යවතුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ. විපරිණාමය වන්නේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරන ලද ද, එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්ව” යි කීහ.
එකල්හි සභම්පතීබ්‍රහ්ම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් කරන්නේ හෝ වේ ද දික් කල අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මැ බඹලොව්හි අතුරුදහන් වූයේ බුදුන් හමුයෙහි පාළ වී. එක්බිති සභම්පතීබ්‍රහ්ම උතුරුසඟ එකස් කොට පෙරෙවැ බුදුන් දෙසට ඇඳිලි බැඳ මෙපවත් කී: “වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දනය කෙරෙත්වා, වහන්ස භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද ද, එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්වා. වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති, මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.
වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.
වහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්‍යථාත්‍වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්‍ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්‍වය වන්නේ යැ විපරිණාමය වන්නේ යි. වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා අභිනන්‍දන කෙරෙත්වා වහන්ස, භාග්‍යවත්හු භික්‍ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද ද එසෙයින් මැ බුදුහු දැන් භික්‍ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්ව” යි කී.
චාතුමවැසි ශාක්‍යයෝ ද ස්භම්පතිබ්‍රහ්ම ද බීජෝපමායෙන් හා තරුණෝපමායෙන් හා භාග්‍යවතුන් පහදවන්නට හැකි වූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ: “ඇවැත්නි නැඟෙව, පාසිවුරු ගනුව, චාතුමවැසි ශාක්‍යයන් විසිනුදු සභම්පතිබ්‍රහ්ම විසිනුදු බීජෝපමායෙන් හා තරුණෝපමායෙන් හා භාග්‍යවත්හු පහදවන ලදහ” යි. ‘එසේ යැ ඇවැත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දී හුනස්නෙන් නැගී පාසිවුරු ගෙන බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට බුදුහු මෙය වදාළහ: “ශාරිපුත්‍රයෙනි, මා විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන(බැහැර) කළ කල්හි තොපට කෙබඳු සිතෙක් වී දැ” යි. වහන්ස, මට මෙබඳු සිතෙක් වී: “බුදුහු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වෙසෙති, ඇපිදු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වසම්හ” යි නවතුව තෙපි ශාරිපුත්‍රයෙනි, නවතුව තෙපි ශාරිපුත්‍රයෙනි. ශාරිපුත්‍රයෙනි, තොප විසින් වටාලා මෙබඳු සිතෙක් නො ඉපැදවියයුතු” යයි. වදාළහ.
ඉක්බිති බුදුහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් ඇමතූසේක: “මොග්ගල්ලානයෙනි, මා විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන කළ කල්හි තොපට කෙබඳු සිතෙක් වී දැ” යි. වහන්ස, භාග්‍යවතුන් විසින් භික්‍ෂුසඞ්ඝයා පණමන කළ කල්හි මට මෙබඳු සිතෙක් වී: “බුදුහු දැන් අල්පොත්සුක වැ ඵලසමවත්සුව විහරණයෙහි යෙදී වෙසෙති, දැන් මම ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද භික්‍ෂුසඞ්ඝයා පරිහරණ කරම්හ” යි කීහ. සාධු සාධු මෞදගල්‍යානයෙනි, මම හෝ මෞදගල්‍යානයෙනි, භික්‍ෂුසඞ්ඝයා පරිහරණ කරන්නෙමි. සැරියුත් මුගලන් දෙදෙන හෝ පරිහරණ කරන්නාහ’යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, දියට බස්නා පුඟුල්හු කෙරෙහි මේ සතර බිය කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර සතරෙක යත්: ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යයි. මහණෙනි, මෙසතර භය දියට බස්නා පුඟුල්හු කෙරෙහි කැමැති වියයුත්තාහ. එසෙයින් මැ මහණෙනි, ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ මෙසස්නෙහි පැවිදි වූ ඇතැම් පුඟුලක්හු කෙරෙහි මෙසතර බිය කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර සතරෙක යත්: ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යන මොහු යි.
මහණෙනි, ඌමිභය කවරෙ යත්: මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. ජාතිදුකින් ජරායෙන් හා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායිකදුකින් චෛතසික දුකින් උපායාසයෙන් දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මෙහැම දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ’යි කියා යි. එසේ පැවිදි වූ ඔහුට සබ්‍රහ්මචාරීහු: “තොප විසින් මෙසේ ඉදිරියට යායුතු යැ තොප විසින් මෙසේ පෙරළා ඉයයුතු යැ තොප විසින් මෙසේ ඉදිරිය බැලියයුතු යැ තොප විසින් මෙසේ අත්පා හැකිළිය යුතු යැ තොප විසින් මෙසේ අත්පා දිගුකළයුතු යැ, තොප විසින් මෙසේ සඟළ පාසිවුරු දැරියයුතු යයි අවවාද කෙරෙති අනුශාසනා කෙරෙත්. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ඇපි පෙර ගිහිගෙයි
වැසි වූවමෝ අන්හට අවවාදත් කරම්හ, අනුශාසනාත් කරම්හ. මොහු වැලිත් අපගේ පුතුන් වැන්නහ. මුනුබුරන් වැන්නහ. අප අවවාද කටයුතු කොට අනුශාසනා කටයුතු කොට සිතන්නාහ’යි හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම ඌමි බියෙන් බියපත් වූයේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහි බවට වැටුණේ යයි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු කෝධුපායාසයට තෙල නමෙකි.
මහණෙනි, කුම්භීලභය කවරෙ යත්: මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායිකදුකින් දොම්නසින් උපායාසයෙන් දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීම පැනේ නම් ඉතා යෙහෙකැ’යි
එසේ පැවිදි වූ ඔහුට සබ්‍රම්සරහු: “තොප විසින් මේ නො කෑයුතු යැ මේ තොප විසින් බිදියයුතු යැ මේ තොප විසින් නො බිදියයුතු යැ මේ තොප විසින් ආස්වාද කටයුතු යැ මේ තොප විසින් ආස්වාද නො කටයුතු යැ මේ තොප විසින් පියයුතු යැ මේ තොප විසින් නො පියයුතු යැ කැප දැය තොප විසින් කෑයුතු යැ නො කැප දැය තොප විසින් නො කෑයුතු යැ කැප දැය තොප විසින් බිදියයුතු යැ නො කැප දැය තොප විසින් නො බිදියයුතු යැ කැප දැය තොප විසින් ආස්වාද කටයුතු යැ නො කැප දැය තොප විසින් ආස්වාද නො කටයුතු යැ කැප දැය තොප විසින් පියයුතු යැ නො කැප දැය තොප විසින් නො පියයුතු යැ කාලයෙහි තොප විසින් කෑයුතු යැ විකාලයෙහි තොප විසින් නො කෑයුතු යැ කාලයෙහි තොප විසින් බිදියයුතු යැ විකාලයෙහි තොප විසින් නො බිදියයුතු යැ කාලයෙහි තොප විසින් ආස්වාද කටයුතු යැ විකාලයෙහි තොප විසින් ආස්වාද නො කටයුතු යැ. කාලයෙහි තොප විසින් පියයුතු යැ විකාලයෙහි තොප විසින් නො පියයුතු” යයි අවවාද කෙරෙති අනුශාසනා කෙරෙති. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඇපි පෙර ගිහිගෙයි වසන්නමෝ යමක් කැමැතියමෝ නම් එය කම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය නො කම්හ, යමක් කැමැත්තමෝ නම් එය බුදිම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය නො බුදිම්හ, යමක් කැමැත්තමෝ නම් එය ආස්වාද කරම්හ, යමක් නොකැමැත්තමෝ නම් එය ආස්වාද නො කරම්හ, යමක් කැමැත්තමෝ නම් එය පානය කරම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය පානය නො කරම්හ. කැප දැය ද කම්හ, අකැප දැය ද කම්හ, කැප දැය ද බුදිම්හ, අකැප දැය ද බුදිම්හ, කැප දැය ද ආස්වාද කරම්හ, අකැප දැය ද ආස්වාද කරම්හ, කැප දැය ද පානය කරම්හ, අකැප දැය ද පානය කරම්හ, කාලයෙහි ද කම්හ, විකාලයෙහි ද කම්හ, කාලයෙහි ද බුදිම්හ, විකාලයෙහි ද බුදිම්හ, කාලයෙහි ද ආස්වාද කරම්හ. විකාලයෙහි ද ආස්වාද කරම්හ, කාලයෙහි ද පානය කරම්හ, විකාලයෙහි ද පානය කරම්හ, සැදැහැති ගැහැවියෝ දහවල් විකාලයෙහි යම් ප්‍රණීත ඛාද්‍යයක් භෝජ්‍යයක් අපට දෙත්ද, එහිදු මොවුන් මුඛාවරණය කරන්නවුන් මෙනැ” යි. හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට වැටෙයි. මහණෙනි, මේ තෙම කුම්භීලභීතියෙන් (කිම්බුල්බියෙන්) බියපත් වූයේ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට පැමිණියේ යයි කියනු ලැබේ. මහණෙනි, ‘කුම්භීලභය’ යි ඖදරික බවට තෙල නමෙකි.
මහණෙනි, ‘ආවට්ටභය’ කවරෙ යත්; “මහණෙනි මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනාලදුයෙමි. දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ අසම්මිශ්‍ර වූ දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මැනැවැ” යි කියායි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ගමකට හෝ නිගමයකට හෝ නො රක්නාලද කය ඇති වැ නො රක්නාලද වචන ඇති වැ නො එළවූ කාගියාසී ඇති වැ සංවර නො කළ ඉඳුරන් ඇති වැ පිඬුසිඟා පිවිසෙයි. හේ එහි දී පස්කම්ගුණයෙන් යුක්ත වූ සමන්‍විත වූ ඉඳුරන් පිණවන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දකියි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඇපි වනාහි පෙර ගිහිගෙයි වසන්නමෝ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්‍විත වැ ඉඳුරන් පිණවූම්හ. කුලයෙහි භෝගයෝ ඇත් මැ යැ. භෝගයන් පරිභෝග කරන්නට ද පින් කරන්නට ද හැක්කැ” යි. හේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම, ‘ආවට්ට (දියසුළි) භයින් බියපත් වූයේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටිණැ’ යි කියනු ලැබේ. මහණෙනි, ‘ආවට්ටභය’යි තෙල පස්කම් ගුණයනට නමෙකි.
මහණෙනි, ‘සුසුකාභය’ කවරෙ යත්: “මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි: “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනාලදුයෙමි. දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මැනැවැ” යි කියා යි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ගමකට හෝ නිගමයකට හෝ නො රක්නාලද කය ඇති වැ නො රක්නාලද වචන ඇති වැ නො එළවූ කාගියාසී ඇති වැ සංවර නො කළ ඉඳුරන් ඇති වැ පිඬුසිඟා පිවිසෙයි. හේ එහි දී මාගමක නපුරු කොට හැඳියා හෝ නපුරු කොට පෙරෙවියා දකියි. මාගම් නපුරු කොට හැදියා හෝ නපුරු කොට පෙරෙවියා දැක රාගය ඔහුගේ සිත ක්ලාන්ත කෙරෙයි. හේ රාගයෙන් කලකුළුසිතින් යුතු වැ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම සුසුකා (සැඬමසු) භයෙන් භීත වැ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටුණේ” යයි කියනු ලැබේ. මහණෙනි, තෙල ‘සුසුකාභය’ යනු මාගමට නමෙකි.
මහණෙනි, මොහු මෙලොවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය වූ මෙ සස්නෙහි පැවිදි වූ ඇතැම් පුඟුලන් කෙරෙහි කැමති වියයුතු සතර බිය වෙත් යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහයි.
සත් වැනි චාතුමසූත්‍ර යි.
2. 2. 8.
නළකපාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි නළකපාන ගමැ කෑලවෙනෙහි වැඩවසනසේක. එසමයෙහි ඉතා ප්‍රසිද්ධ වූ බොහෝ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙති. ආයුෂ්මත් අනුරුද්ධ යැ ආයුෂ්මත් භද්දිය යැ ආයුෂ්මත් කිම්බිල යැ ආයුෂ්මත් භගු යැ ආයුෂ්මත් කුණ්ඩධාන යැ ආයුෂ්මත් රේවත යැ ආයුෂ්මත් ආනන්‍ද යැ අන්‍ය වූ ද ඉතා ප්‍රසිද්ධ වූ කුලපුත්‍රයෝ යි.
තවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්‍යවකාශයෙහි වැඩහුන්සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ කුලපුත්‍රයන් අරභයා භික්‍ෂූන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙත් ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි අභිරත වූවාහු දැ යි විචාළසේක. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නො බැණ හුන්හු. දෙවෙනවටදු ... නො බැණ හුන්හු. තෙවනවටදු බුදුහු ඒ කුලපුත්‍රයන් අරභයා මහණුන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූවාහු ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි ඇලුම් ඇත්තාහු දැ’යි වදාළහ. තෙවනවටදු ඒ මහණහු නො බැණ හුන්හු.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත උපන: ‘මම් එ මැ කුලපුත්‍රයන් පුළුවුස්නෙම් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇමැතූසේක. ‘කිමෙක, අනුරුද්ධයෙනි, තෙපි බඹසරවස්හි අභිරත වූහු දැ’යි. වහන්ස, ඒකාන්තයෙන් ඇපි බඹසරවස්හි ඇලුණම්හ’යි කී. සාධු සාධු අනුරුද්ධයෙනි, යම් හෙයෙකින් තෙපි බඹසරවස්හි සිත අලවවු ද අනුරුද්ධයෙනි, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූ කුලපුත්‍ර වූ තොපට තෙල නිසි වෙයි. අනුරුද්ධයෙනි, තෙපි යම් භද්‍ර යෞවනයෙකින් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්‍වාගත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු කාමයන් පරිභෝග කරවු ද, අනුරුද්ධයෙනි, තෙපි ඒ භද්‍රයෞවනයෙන් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්‍විත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු ය. අනුරුද්ධයෙනි, ඒ තෙපි රජුන් විසින් අභිනීත වූවහු (අනභිමුඛ කොට කැඳවන ලදුවහු) ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො මැ පැවිදි වූවහු යැ. සොරුන් විසින් අභිනීත වූවහු නො පැවිදි වූවහු යැ. ණයින් මඬනාලදු වැ ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො පැවිදි වූවහු යැ. රාජාදි භයින් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. ජීවිකා හේතුයෙන් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. වැලිදු “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඬනාලදුයෙම් වෙමි දුකට බටුයෙම් දුකින් මඬනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ”යි අනුරුද්ධයෙනි, තෙපි මෙසේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු නො දැ’යි. එසේ යැ වහන්ස. තවද අනුරුද්ධයෙනි,
මෙසේ පැවිදි වූ කුලපුත්හු විසින් කුමක් කටයුතු වේ ද යත්: අනුරුද්ධයෙනි, වස්තුකාම ක්ලේශකාම (කාමච්ඡන්‍දනීවරණ)යෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ (ප්‍රථමද්විතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) ප්‍රීතිය හා සුඛය නො ලබා ද ඊට වඩා ඉතා ශාන්ත වූ තෘතීයධ්‍යානාදි සුවය හෝ නො ලබා ද, ඔහු ගේ සිත අභිධ්‍යාව ද මැඩගෙන සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චය ද සිත මැඩගෙන සිටී, විචිකිච්‍ඡාව ද සිත මැඩගෙන සිටී, අධිකුශලධර්‍මයෙහි උකටලී බව (අරතිය) ද සිත මැඩගෙන සිටී, ආලස්‍යය (තන්‍දිය) ද සිත මැඩගෙන සිටී. අනුරුද්ධයෙනි, කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය නො ලබයි. ඊට වඩා ශාන්තතර වූ සුඛයක් හෝ නො ලබයි. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය ලබා ද ඊට වඩා ශාන්තර වූ සුවයක් හෝ ලබා ද අභිධ්‍යාව ද ඔහුගේ සිත මැඩගෙන නො සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන නො සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන නො සිටී, උද්ධච්චකුක්කුච්චය ද සිත මැඩගෙන නො සිටී, විචිකිච්‍ඡාව ද සිත මැඩගෙන නො සිටී, අරතිය ද සිත මැඩගෙන නො සිටී, ආලස්‍ය ද සිත මැඩගෙන නො සිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුවය ලබයි, ඊට වඩා ශාන්තතර වූ අන් සුවයක් හෝ ලබයි.
අනුරුද්ධයෙනි, තොපට මා කෙරෙහි කෙබඳු සිතෙක් වේ ද “සාංක්ලේශික වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඔහු තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන ඉවසන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන දුරු කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන බැහැර කරන්නාහ”යි. සිතේ ද?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් නො වෙයි: “සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද, ඒ ආස්‍රවයෝ තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන පරිවර්‍ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන විනෝදන කරන්නාහ”යි මෙබඳු සිතෙක් නො වෙයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් වෙයි: “සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඒ ආස්‍රවයෝ තථාගතයන්ට ප්‍රහීණයෝ යැ. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්‍ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැන විනෝදනය කරන්නාහ”යි. සාධු සාධු අනුරුද්ධයෙනි. අනුරුද්ධයෙනි, සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු මුදුනසුන් තාලයක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, යම්සේ අනුරුද්ධයෙනි. මුදුන සුන් තල්රුක නැවත වැඩීමට අභව්‍ය වේ ද එසෙයින් මැ අනුරුද්ධයෙනි, තථාගතයන්හට සාංක්ලේශික වූ පුනර්‍භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරා මරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු ද ඒ ආස්‍රවයෝ උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා සැහැවි ඇත්තාහු වෙති. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ. ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්‍ජන කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන විනෝදනය කරන්නාහ’යි.
අනුරුද්ධයෙනි, ඒ කිමෙකැ’යි සිතවු ද? කවර කරුණක් දක්නා වූ තථාගතයෝ ‘අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉක්මගිය කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කෙරෙත් දැ?යි.
වහන්ස අපට මේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, ඒකාන්තයෙන් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට මැ වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අසා භික්‍ෂූහු ධරන්නාහ’යි.
අනුරුද්ධයෙනි, තථාගතයෝ ජනයා විස්මය කරනු සඳහා නො වැ ජනයා නැළැවීම පිණිස නො වැ ලාභසත්කාර ප්‍රශංසා අනුසස් පිණිස නො වැ ‘මෙසේ මහජනයා මා දනීව’යි නො වැ “අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉක්මගිය කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කරන්නාහ. තවද අනුරුද්ධයෙනි, සැදැහැති මහත් වූ සතුටු ඇති මහත් වූ ප්‍රමෝදය ඇති කුලපුත්‍රයෝ වෙති. ඔහු එදහම් අසා එබඳු උපප්‍රාප්තිය පිණිස සිත එළවති. අනුරුද්ධයෙනි, ඔවුනට ඒ චිත්තෝපසංහාරය බොහෝ කලක් හිතයට සුවයට වේ.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක් “මෙනම් මහණ කලුරිය කෙළේ යැ හේ භාග්‍යවතුන් විසින් අර්‍හත්ත්‍වයෙහි පිහිටියේ ප්‍රකාශ කරන ලදැයි අසයි. ඒ පිරිනිවී ආයුෂ්මත් මේ ආයුෂ්මත්හු විසින් තමා දක්නාලද හෝ වෙයි. අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද එ ආයුෂ්මත් මෙබඳු (සමාධි පක්‍ෂයෙහි) දහම් ඇති වී යයි එ ආයුෂ්මත් මෙබඳු ප්‍රඥා ඇති වී යයි ද එ ආයුෂ්මත් මෙබඳු සමාපත්තිවිහාර ඇති වී යැයි ද එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ශීලය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බව පිණිස සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක්: “මෙ නම් මහණ කලුරිය කෙළේ යැ හෙ පස් ඕරම්භාගිය සංයෝජනයන් ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (අනගැමි) ආයුෂ්මත් මෙ මහණ විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇත්තේ වී යයි ද මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහාර ඇතියේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් තථාත්‍වයට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක්: “මෙනම් මහණ කලුරිය කෙළේ යැ. හේ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූයේ එක් වරක් මැ මෙලොවට ඇවිත් දුක් කෙළවර කරන්නේ යැ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (සෙදගැමි) ආයුෂ්මත් මෙ මහණ විසින් තමා මැ දක්නා ලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහරණ ඇතියේ ... ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙ සස්නෙහි මහණෙක්: “මෙ නම් මහණ කලුරිය කෙළේ යැ. හේ තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූයේ විනිපාතධර්‍ම (සතරඅවාදුකට වැටෙනසැහැවි) නැතියේ (සම්මත්තනියාමයෙන්) නියත වූයේ (උපරිමාර්‍ගත්‍රයසඞ්ඛ්‍යාත) සම්බෝධිය පිහිට කොට ඇත්තේ යැ’ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (සෝවාන්) ආයුෂ්මත් මෙ මහණු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහරණ ඇතියේ ... ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා යැ, හො අර්‍හත්ත්‍වයෙහි පිහිටියා යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරනලදැ”යි. ඒ (රහත්) මෙහෙණ වැළිත් මෙ මෙහෙණ විසින් තමා මැ දක්නා ලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි. “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, එ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද හො බුනැණි මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණෙක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා හො ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූවා එහි පිරිනිවෙන්නී එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. එ (අනගැමි) බූන වැළිත් මෙ මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “එ බූන මෙබඳු සිල් ඇති වු යයි ද මෙ බඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමිනි වූවා එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (සෙදගැමි) බූන මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල්ඇති වූ යයි ද’ මෙබඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් ඒ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙ සස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූවා විනිපාතධර්‍ම නැත්තී (සම්මත්තනියාමයෙන්) නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී යැ’ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (සෝවාන්) බූන වැළිත් එ මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, මෙ බඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් … සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (අනගැමි) උවසු වැළිත් එ උවසුහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු දහම් ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු ප්‍රඥා ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු විහරණ ඇති වී යයි ද, ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූයේ එක් වරක් මැ මෙලොවට ඇවිත් දුක් කෙළවර කරන්නේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ ආයුෂ්මත් වැළිත් මොහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි: “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇත්තේ ... මෙබඳු ප්‍රඥා ඇත්තේ ... මෙබඳු විහරණ ඇත්තේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් … ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූයේ විනිපාතධර්‍ම නැත්තේ නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. එ ආයුෂ්මත් වැළිත් මොහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි, “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇත්තේ ... මෙබඳු ප්‍රඥා ඇත්තේ ... මෙබඳු විහරණ ඇත්තේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් … ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි කලුරිය කළා, හේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඕපපාතික වූවා එහි පිරිනිවෙනසුලු වූවා එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (අනගැමි) බුහුන වැලිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද, ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හෝ ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි, කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමෝහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූවා එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ බුහුන වැළිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, මෙබඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වෙයි.
අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි, කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූවා විනිපාතධර්‍ම නැත්තී නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී යැ’යි. භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ බුහුන වැළිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද, ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වේ.
මෙසෙයින් අනුරුද්ධයෙනි, තථාගතයෝ ‘ජනයා විස්මය කරනු පිණිස නො වැ ජනයා නළවනු පිණිස නො වැ ලාභ සත්කාර ප්‍රශංසා අනුසස් පිණිස නො වැ මෙසෙයින් මා මහජනයා මා දනීව’යි කියා නො වැ’ අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉකුත් වූ කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කෙරෙති. අනුරුද්ධයෙනි, සැදැහැති මහත් වූ තුෂ්ටි ඇති මහත් වූ ප්‍රාමෝද්‍ය ඇති කුල පුත්‍රයෝ ඇත. ඔහු එය අසා එබවට සිත එළවති. අනුරුද්ධයෙනි, ඔවුනට ඒ දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ යයි.
බුදුහු මේ සූත්‍රාන්තය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහ’යි.
අට වැනි නළකපාන සූත්‍ර යි.
2. 2. 9.
ගුලිස්සානි සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසනසේක. එසමයෙහි ආරණ්‍යක වූ ඖදාරික ආචාර ඇති ‘ගුලිස්සානි’ නම් මහණ කිසියම් කටයුත්තෙකින් සඟමැදට පැමිණියේ වෙයි. එහි දී ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි මහණහු අරභයා භික්‍ෂූන් ඇමැතූසේක:
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව සහිත වූවකු ප්‍රතිෂ්ඨා සහිත වූවකු වියයුතු යි. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ සබ්‍රම්සරුන් කෙරෙහි අගෞරව ඇතියේ යටත් පැවැතුම් රහිත වූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට වෙනෙහි එකලා වැ සෛවරීවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් සබ්‍රම්සරුන් කෙරෙහි නො ගරු වූයේ යටත් පැවැතුම් නැතියේ වේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි සගරු වූවකු යටත් පැවැතුම් ඇතියකු වියයුතු යි.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින්: “මෙසේ ස්ථවිර භික්‍ෂූන් ද නො ගටා හිඳින්නෙමි, නවකභික්‍ෂූන් ද ආසනයෙන් නො නෙරනෙමි”යි ආසනකුසල වූවකු වියයුතු යි. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණක මහණ ආසනකුසල නො වූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට එකලා වැ වෙනෙහි සෛවරීවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් ආභිසමාචාරික වත පවා නො දනී” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් ආසනකුසලයකු විය යුතු යි.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු ඉතා උදැසන ගම් නො වැදියයුතු යැ. ඉතා දහවල් වැ ගමින් නො නික්මියයුතු යැ. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ ඉතා උදැසන ගම් වදී ද, ඉතා දහවල් වැ පෙරළා යේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මෙ ආයුෂ්මත්හට එකලා වැ වනසෙනසුන්හි සෛවරීවිහරණයෙන් කිම? මෙ ආයුෂ්මත් ඉතා උදැසන ගම් වදී. ඉතා දහවල් වැ පෙරළා යේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු ඉතා උදැසන ගම් නො වැදියයුතු යැ. ඉතා දහවල් වැ පෙරළා නො යායුතු.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් පෙරබත්හි හෝ පසුබත්හි හෝ (නො පැවරූ) කුලයන්හි හැසිරීමට නො පැමිණියයුතු යැ. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ පෙරබත්හි හෝ පසුබත්හි හෝ නො පැවරූ කුලයන්හි සැරිසරා නම් ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හු එකලා වැ වෙනෙහි ස්වච්ඡන්‍ද විහාරයෙන් වාසය කරන්නහු විසින් ඒකාන්තයෙන් මේ විකාලචර්‍ය්‍යාව බහුලකරනලද, සඟමැදට ගියා වූ ද තුලුන් (එ විකාල චර්‍ය්‍යාව) මැඩගෙන සිටී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට ගියා වූ සඟමැද වාසය කරන ආරණ්‍යක මහණහු විසින් පෙරබත්හිදු පසුබත්හිදු කුලයන්හි හැසිරීමට නො පැමිණියයුතු යැ.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැදවසන ආරණ්‍යක මහණහු විසින් උඩඟු නො වූවකු චපල නො වූවකු වියයුතු යැ. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සඟමැදට පැමිණියේ සඟමැද වාසය කරනුයේ උද්ධත වූයේ චපල වූයේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හු එකලා වැ අරණ්‍යයෙහි ස්වෙච්ඡාවිහරණයෙන් වාසය කරන්නහු විසින් ඒකාන්තයෙන් මේ උඩඟු බව චපල බව බහුල කරනලද. සඟමැදට ගියා වූ ද තුලුන් (ඒ උඩඟු බව චපල බව) මැඩගෙන සිටී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු අනුද්ධත වූවකු අචපල වූවකු වියයුතු යැ.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු දොඩමලු නො වූවකු නො විසිරුණු වචන ඇතියකු විය යුතු ය, ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ දොඩමලු වූයේ විසිරුණු වචන ඇතියේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හුගේ එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍ද විහරණයෙන් කිම? මේ ආයුෂ්මත් මුඛරයෙක විකිර්‍ණවචන ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් දොඩමලු නො වූවකු නො විසිරුණු වචන ඇත්තකු විය යුතු යැ.
ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සුවච වූවකු කලණමිතුරන් ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සඟමැදට ගියේ සඟමැද වසනුයේ දුර්වච වූයේ පාපමිත්‍රයන් ඇත්තේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් දුර්‍වචයෙක පාපමිත්‍රයන් ඇත්තෙකැ’යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු සඟමැදට ගියහු සඟමැද වසන්නහු සුවච වූවකු කලණමිතුරන් ඇතියකු වියයුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු ඉඳුරන්හි පියූ දොර ඇතියකු වියයුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ ඉඳුරන්හි නො පියූ දොර ඇතියේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක වූවහුට එකලා වැ වෙනෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් ඉඳුරන්හි නො පියූ දොර ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු ඉඳුරන්හි පියූ දොර ඇතියකු වියයුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු භෝජනයෙහි පමණ දන්නකු වියයුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ භෝජනයෙහි මාත්‍රඥ නොවූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් භෝජනයෙහි මාත්‍රඥ නොවූයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් භෝජනයෙහි මාත්‍රඥ වූවකු විය යුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් නිදි දුරුකිරීමෙහි යෙදුණකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ නිදි දුරුකිරීමෙහි නො යෙදුණේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් නිදි දුරුකිරීමෙහි නො යෙදුණෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් මහණ නිදි වැරීමෙහි යෙදුණකු විය යුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් ආරබ්ධවීර්‍ය්‍ය ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ කුසීතයෙක් වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම, මේ කුසීතයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් ආරබ්ධවීර්‍ය්‍ය ඇතියකු විය යුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු එළැඹසිටි සිහි ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ මුළා සිහි ඇතියේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක හට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම, මේ ආයුෂ්මත් මුලාසිහි ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු එළැඹසිටි සිහි ඇතියකු විය යුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු එකඟ කළ සිත් ඇත්තකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සමාධි රහිත වූයේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලාවැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අසමාහිතයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු එකඟ කළ සිත් ඇතියකු විය යුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු කටයුත්තෙහි උපායප්‍රඥායෙන් යුක්ත වූවකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ දුෂ්ප්‍රාඥ වේ ද එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු උපායප්‍රාඥ ඇත්තකු විය යුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් අභිධර්‍මපිටකයෙහි ද විනයපිටකයෙහි ද පෙළ විසින් අටුවා විසින් යෝග කටයුතු ය. ඇවැත්නි, ආරණ්‍යක මහණහු අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහෙයි ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කිය හේ” යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් අභිධර්‍මයෙහි අභිවිනයෙහි යෝග කටයුත්තේ යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, එහි යෝග කටයුතු යැ. ඇවැත්නි, රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, එහිලා ආරණ්‍යක මහණහු පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ රූපසමාපත්තීන් ඉක්මසිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, එහිලා පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියා හේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක මහණහට එකලා වැ අරණ්‍යයෙහි ස්වෛරීවිහරණයෙන් කිම? රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, මේ ආයුෂ්මත් එහි ලා පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, එහි යෝග කටයුතු යැ.
ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් උතුරුමිනිස්දම්හි යෝග කටයුතු යැ. ඇවැත්නි, ආරණ්‍යක මහණහු උතුරුමිනිස්දම්හි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ උතුරුමිනිස්දම්හි පැන පුළුවුස්නාලදුයේ සම්පාදනය කොට නො කියහේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “අරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට එකලා වැ අරණ්‍යයෙහි ස්වෙච්ඡාවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් යම් උතුරුමිනිස්දහමක් සඳහා පැවිදි වූයේ ද, ඒ අර්‍ත්‍ථය නොදනී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් උතුරුමිනිස්දම්හි යෝග කටයුතු යයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මහාමෞද්ගගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ආරණ්‍යක මහණහු විසින් මැ මේ දහම්හු සමාදන් වැ ගෙන පැවැත්ත යුත්තාහු ද, නොහොත් ග්‍රාමාන්ත සෙනසුන්හි වසන මහණහු විසිනුදු සමාදන් වැ ගෙන වැටිය යුත්තාහු දැ”යි. ඇවැත්නි මෞද්ගගල්‍යායනයෙනි, ආරණ්‍යක මහණහුදු විසින් මේ දහම්හු සමාදන් වැ ගෙන වැටිය යුත්තාහ. ග්‍රාමාන්තවිහාරී මහණහු විසින් කියනු කිමැ”යි.
නව වැනි ගුලිස්සානි සූත්‍ර යි.
2. 2. 10.
කීටාගිරි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් පිරිවරා කාසිජනපදයෙහි සැරි සරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූසේක: “මහණෙනි, මම් වූකලි රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳමි. මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන මම නීරෝග බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව, තෙපිදු මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳවු. මහණෙනි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දැනගන්නවු යැ. ඒ මහණහු ‘එසේ යැ වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් කසී දනවුවෙහි සැරිසරනසේක් කීටාගිරි නම් වූ කසී දනවු වැසියන්ගේ නියම්ගමට පිළිපන්සේක. භාග්‍යවතුන් වහන්සේ කසීරටවැසියන්ගේ කීටාගිරි නම් වූ නියම්ගම්හි වාසය කරනසේක.
එසමයෙහි අස්සජි යැ පුනබ්බසුක යැ යන නම් ඇති මහණහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් වෙත එළඹියාහු යැ. එළඹ අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට තෙල පවත් දැන්වූහ: “ඇවැත්නි, බුදුහු රාත්‍රිභෝජන හැරපියා මැ වළඳති, භික්‍ෂූසඞ්‍ඝ තෙමේ ද රාත්‍රිභෝජනය හැරපියා වළඳයි. ඇවැත්නි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක්බව ද සැහැල්ලු පැවැත්ම ද සුවවිහරණය ද දැනගන්නාහ. එව, ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳවු. රාත්‍රිභෝජනය හැරපියා වළඳන තෙපිදු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුවවිහරණය ද දැනගන්නවු යැ. මෙසේ කී කල්හි අස්සජිපුනබ්බසුක මහණහු ඒ භික්‍ෂූන්ට තෙල වදන් කීහු: “ඇවැත්නි, ඇපි සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳම්හ. ඒ සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳන ඇපි නිරාබාධ බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දනුම්හ. අපි සාංදෘෂ්ටික වූ අනුසස් හැරපියා මතුලැබිය යුතු අනුසසට කුමක් හෙයින් දුවමෝ ද ඇපි සවස්හිදු උදෑසනදු දහවල් විකාලයෙහිදු වළඳම්හ”යි. යම් හෙයෙකින් ඒ භික්‍ෂූහු අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවාහු ද එකල්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස් වැ හුන්නාහු තෙල පවත් දැන්වූහ.
“වහන්ස, අපි මේ කීටාගිරියෙහි අස්සජිපුනබ්බසුක භික්‍ෂූන් වෙත එළඹ අස්සජිපුනබ්බසුක භික්‍ෂූන්ට තෙල පවත් දැන්වූම්හ: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි භෝජනය හැරපියා මැ වළඳන සේක ... සුවවිහරණය ද දන්නාසේකැ’යි. වහන්ස, මෙසේ කීකල්හි අස්සජිපුනබ්බසුක මහණහු අපට තෙල පවත් කීහ: “ඇවැත්නි, ඇපි වූකලි ... දහවල්හිදු විකාලයෙහි වළඳම්හ’යි. වහන්ස, යම් හෙයකින් අපි අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවමෝ ද, එකල්හි ඇපි තෙල පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකරම්හ’යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු ඇමැතූසේක: “එව මහණ, තෙපි මාගේ බසින් ‘ශාස්තෘහු ආයුෂ්මත් කැඳවාලතී’ අස්සජිපුනබ්බසුක මහණුන් කැඳවාලව”යි වදාළසේක. ‘එසේ යැ වහන්සැ’යි එ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී අස්සජිපුනබ්බසුක මහණුන් කරා එළඹ අස්සජිපුනබ්බසුක මහණුන්ට ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ’යි මෙ පවත් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි අස්සජිපුනබ්බසුක භික්‍ෂූහු එ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් අස්සජිපුනබ්බසුක මහණුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
සැබෑද මහණෙනි, බොහෝ භික්‍ෂූහු තොප කරා එළඹ තෙල කීවාහු ඇපි ද: “ඇවැත්නි, භාග්‍යවත්හු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳති, භික්‍ෂූසඞ්‍ඝයා ද රාත්‍රිභෝජනය හැරපියා වළඳයි. තවද ඇවැත්නි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දන්නාහ. එව ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳව. ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය වළඳන්නාහු නීරෝග බව ද, නිදුක් බව ද, සැහැල්ලු පැවැතුම් ද, කායබලය ද, සුවවිහරණය ද දනිවු” යයි. මෙසේ කී කල්හි මහණෙනි, තෙපි ඒ භික්‍ෂූන්ට ඇවැත්නි, අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ. ඇපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳන්නමෝ නිරාබාධ බව ද නිරාතඞ්ක බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුඛවිහරණය ද දනුම්හ. අපි කුමක් හෙයින් සාන්දෘෂ්ටික වූ සුවය හැරපියා කාලික වූ සුවය අනුධාවනය කරමෝ ද අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ’යි මෙසේ කීවහු දැ”යි, එසේ යැ වහන්ස.
කිම මහණෙනි, තෙපි මෙසේ දහම් දෙසනලද විරූ දන්නවු ද? “මේ පුරුෂපුද්ගල යම්කිසි සුවයක් හෝ දුකක් හෝ නො දුක් නො සුවයක් හෝ විඳී ද, ඔහුට අකුසල් දහම්හු පිරිහෙති, කුසල්දහම්හු වැඩෙති”යයි. වහන්ස, තෙල නැත් මැ යැ. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසනලද විරූ දන්නහු නො ද? මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති. කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති. කුසලදහම්හු වැඩෙත්”යයි. එසේ යැ වහන්ස.
මැනැවැ මහණෙනි. මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසිනු දු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නාවූ මම මෙබඳු වූ සුඛ වේදනාව හැරපියව’යි කියම් නම්, මහණෙනි, තෙල මට කිම් අනුරූප වන්නේ දැ’යි? වහන්ස, තෙල නො වේ මැ යැ. මහණෙනි, යම් හෙයෙකින් “මෙලොවැ මෙබඳු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරන ලද දක්නා ලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ සුඛ වේදනාව හැරපියව’යි කියමි.
මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසිනුදු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම් මෙබඳු වූ සුඛවේදනාව උපදවා වාස කරව”යි කියම් නම් මහණෙනි, තෙල මට කිම අනුරූප වන්නේ දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ සුඛවේදනාව උපදවා වාස කරව’යි කියමි.
තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති. කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ දුඃඛවේදනාව හැරපියව’යි කියම් නම්, කීම මහණෙනි, තෙල මට නිසිවන්නේ දැ’යි? වහන්ස, නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු දුක්ඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ දුඃඛවේදනාව හැරපියව’යි කියමි.
තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසිනුදු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම්, මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ දුඃඛවේදනාව උපදවා වාස කරව”යි කියම් නම්, මහණෙනි, කිම තෙල මට නිසි වන්නේ දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන මේ කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ දුඃඛවේදනාව උපදවා වාස කරව’යි කියමි.
තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නාවූ මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව හැරපියව’යි කියම් නම්, කීම මහණෙනි, තෙල මට නිසි වේ දැ’යි? වහන්ස, නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුවවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන මේ කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව හැරපියව’යි කියමි.
තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව උපදවා වාස කරව’යි කියම් නම්, කිම මහණෙනි, තෙල මට නිසි වන්නේ දැ’යි? වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන මෙ තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව උපදවා වාසය කරව’යි කියමි.
මහණෙනි, මම් හැම මහණුන් විසින් මැ අප්‍රමාදයෙන් කෘත්‍යය කටයුතු යැයි නො කියමි. එතෙකුදුවත් මහණෙනි, මම හැම මහණුන් විසින් මැ අප්‍රමාදයෙන් නො කටයුතු යැ යි නො කියමි. මහණෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ මඟබඹසර ඇති සිවුමඟින් කළ කිස ඇති බහා තැබූ ස්කන්‍ධාදි බර ඇති රහත් බවට පැමිණි ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් වෙත් ද මහණෙනි, මම් එබඳු මහණුන්ට අප්‍රමාදයෙන් කටයුතු යැ යි නො කියමි. ඒ කවරහෙයින යත්: ඔවුන් විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරනලද. ඔහු පමා වන්නට නො නිස්සහ.
තවද මහණෙනි, ශෛක්‍ෂ වූ අර්‍හත්‍වයට නො පැමිණි සිත් ඇති යම් මහණ කෙනෙක් අනුත්තර වූ යෝගක්‍ෂේමය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් වාසය කෙරෙත් ද, මහණෙනි, මම එබඳු මහණුන් විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැයි කියමි. ඒ කවරහෙයින යත්: “මේ ආයුෂ්මත්හු අනුලොම් වූ සෙනසුන් සේවනය කරන්නාහු කල්‍යාණමිත්‍රයන් භජනය කරන්නාහු ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් යමක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම පැවිදි වෙත් ද ඒ අනුත්තර වූ බඹසරවස් කෙළවර ආර්‍ය්‍යඵලය ඉහාත්මයෙහි මැ උත්තමප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරන්නාහු නම් මැනැවැ” යි. මහණෙනි, මම මේ මහණුන්ට මේ අප්‍රමාදඵලය දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
මහණෙනි, මේ ලෝකයෙහි විද්‍යමාන වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් ඇත. කවර සත් දෙනෙක යත්: උභාතොභාග විමුක්ත යැ ප්‍රඥාවිමුක්ත යැ කායසාක්‍ෂි යැ දෘෂ්ටිප්‍රාප්ත යැ ශ්‍රද්ධාවිමුක්ත යැ ධර්‍මානුසාරී යැ ශ්‍රද්ධානුසාරී යැ යන සත් දෙනා යි.
මහණෙනි, උභතෝභාගවිමුක්තපුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ විමෝක්‍ෂයන් නාමකයින් ස්පර්‍ශ කොට වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු ආර්‍ය්‍යසත්‍යයන් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද වෙති. මහණෙනි, මේ පුද්ගල උභාතොභාගවිමුක්ත යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට මම අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි නො කියමි. ඒ කවර හෙයින යත්: ඔහු විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරන ලද, හේ පමා වන්නට නො නිස්ස.
මහණෙනි, ප්‍රඥාවිමුක්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇත් ද ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට නො වෙසෙයි. එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් ආර්‍ය්‍යසත්‍යයන් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද වෙති. මහණෙනි, මේ පුද්ගල ප්‍රඥාවිමුක්ත යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි නො කියමි. ඒ කවරහෙයින යත්: ඔහු විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරනලද, හේ පමදින්නට නො අභව්‍ය යි.
මහණෙනි, කායසාක්‍ෂි පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකායයෙන් ස්පර්‍ශ කොට වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු ආර්‍ය්‍යසත්‍යයන් දැක ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරනලද වෙති. මහණෙනි, මේ පුද්ගල කායසාක්‍ෂි යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාදයෙන් කටයුතු කළයුතු යයි කියමි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ශ්‍රද්ධාදිඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ උත්තම ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැ’යි . මහණෙනි, මම මේ මහණහට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
මහණෙනි, දෘෂ්ටිප්‍රාප්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට නො වෙසෙයි. එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් ආර්‍ය්‍යසත්‍යයන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරනලද වෙති. ඔහු විසින් තථාගතප්පවේදිත ධර්‍මයෝ ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද මොනොවට සරනලද වෙති. මහණෙනි, මේ පුද්ගල දෘෂ්ටිප්‍රාප්ත යැ යි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කල්‍යාණමිත්‍රයන් භජනය කෙරෙමින් ඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැ’යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාදඵලය දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
මහණෙනි, ශ්‍රද්ධාවිමුක්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට වාසය නො කෙරෙයි. ඔහු විසින් ප්‍රඥායෙන් ද සිව්සස් දැක ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරනලද වෙති. තථාගතයන් කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව ද බැසගත්තී හටගත්මුල් ඇති වැ පිහිටියා වෙයි. මහණෙනි, මේ පුද්ගල ශ්‍රද්ධාවිමුක්ත යැ යි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින්
කලණමිතුරන් භජනය කෙරෙමින් ඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ මඟබඹසර කෙළෙවර වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තම ප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි කියමි.
මහණෙනි, ධර්‍මානුසාරී පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට වාසය නො කෙරෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු සිව්සස් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු නො වෙති. තථාගතප්‍රවිදිත වූ ධර්‍මයෝ ද ප්‍රඥායෙන් අවධි වශයෙන් වටහත්. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙති. හෙ මෙසේ යැ: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධින්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මේ පුද්ගල ධර්‍මානුසාරී යැ යි කියනු ලැබේ. මහණෙනි, මම මේ මහණහු විසිනුදු අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවන කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉන්‍ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි කියමි.
මහණෙනි, ශ්‍රද්ධානුසාරී පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් අරමුණු කොට නො වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු සිව්සස් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු නො වෙති. තථාගතයන් කෙරෙහිදු ඔහු ගේ ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙති. හේ මෙසේ යැ: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධින්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මේ පුද්ගල ශ්‍රද්ධානුසාරී යැ යි කියනු ලැබේ. මහණෙනි, මම මේ මහණහු විසිනුදු අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මේ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉඳුරන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බඹසර කෙළවර වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.
මහණෙනි, මම පළමු කොට මැ රහත් බැව්හි පිහිටීම නො කියමි. එතෙකුදු වත් අනුපූර්‍වශික්‍ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්‍හත්ත්‍වයෙහි පිහිටීම වෙයි.
කිසෙයින් මහණෙනි, අනුපූර්‍වශික්‍ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්‍හත්ත්‍වයෙහි පිහිටීම වෙයි යත්: මහණෙනි, මෙලොව්හි උපන් සැදැහැ ඇත්තේ ගුරුන් කරා එළඹෙයි, ගුරුන් කරා එළඹෙනුයේ උපාසන කෙරෙයි, (සමීපයෙහි හිඳියි.) උපාසන කරනුයේ ඇසීමට කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇත්තේ දහම් අසයි, අසා දහම් ප්‍රගුණ කොට ධරයි, ධැරූ ධර්‍මයන් ගේ අර්‍ත්‍ථය නුවණින් විමසයි, අරුත් විමසන්නාහට ධර්‍මයෝ වටහත්, ධර්‍මයන්ගේ වැටහීම ඇති කල්හි කත්තුකම්‍යකුසලච්‍ඡන්‍ද උපදී, උපන් කුසලච්‍ඡන්‍ද ඇත්තේ වැර වඩයි, වැර වඩා (අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැ යි) තුලනය කෙරෙයි, (තීරණප්‍රඥායෙන්) තුලනය කරනුයේ ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ නාමකයිනුදු පරමසත්‍ය ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, (නාමකායසම්ප්‍රයුක්ත වූ) මාර්‍ගප්‍රඥායෙනුදු එ නිවන ප්‍රතිවේධ කොට දකී.
මහණෙනි, (තොපට) ඒ ශ්‍රද්ධා නමුදු නො වී. මහණෙනි, ඒ එළැඹීම නුමුදු නො වී. මහණෙනි, ඒ පර්‍ය්‍යුපාසන නුමුදු නො වී. මහණෙනි, ඒ කන් නතු කිරීම නුමුදු නො වී. මහණෙනි, ඒ ධර්‍මශ්‍රවණ නුමුදු නො වී. මහණෙනි, ඒ දහම් ධැරීම නුමුදු නො වී. මහණෙනි, ඒ අර්‍ත්‍ථ විමසීම නුමුදු නො වී. මහණෙනි, ඒ දහම් වැටහීම නුමුදු නො වී. මහණෙනි, ඒ කුසලච්‍ඡන්‍ද නුමුදු නො වී. මහණෙනි, ඒ උත්සාහය නුමුදු නො වී. මහණෙනි, ඒ (අනිත්‍යාදි විසින්) තුලනය නුමුදු නො වී. මහණෙනි, ඒ ප්‍රධන්වීර්‍ය්‍ය නුමුදු නො වී. මහණෙනි, (තෙපි) විප්‍රතිපන්න වවු යැ. මහණෙනි, (තෙපි) මිථ්‍යා ප්‍රතිපන්න වවු යැ. මහණෙනි, මේ මෝඝපුරුෂයෝ මෙ සස්නෙන් කෙතෙක් දුර ඉක්ම ගියාහු ද?
මහණෙනි, විඥ වූ පුරුෂ උදෙසනලද යම් වෙය්‍යාකරණයක්හුගේ අර්‍ත්‍ථය මඳ කලෙකින් මැ ප්‍රඥායෙන් දැන ගන්නේ ද, එබඳු වූ චතුස්සත්‍ය ව්‍යාකරණයෙක් ඇත. මහණෙනි, තොපට එය උදෙසෙන්නෙමි. මාගේ තෙල වෙය්‍යාකරණය දැනගනිවු දැ?යි. වහන්ස, ඇපි කවරයම්හ, දහම් අවබෝධ කරන්නාහු කවරහු දැ’යි. මහණෙනි, යම් ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ ආමිෂය දායාද කොට ඇත්තේ ආමිෂය හා හැනී වෙසේ ද, ඔහුට ද මෙ බඳු වූ අගය වැඩි අඩු කිරීමෙක් නො පැමිණේ. ‘අපට මෙසේ වන්නේ නම් එය කරම්හ. අපට මෙසේ නො ද වන්නේ නම් එය නො කරම්හ’යි . කිම මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ සර්‍වප්‍රකාරයෙන් ආමිෂයෙන් විසංසෘෂ්ට වැ වාස කෙරෙත්ද එකල්හි මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: බුදුහු ශාස්තෘහ. මම ශ්‍රාවකයෙමි. බුදුහු දන්නාසේක. මම නො දනිමි’යි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන වැටෙන සැදැහැති ශ්‍රාවකයක්හට ශාස්තෘශාසනය ස්නේහවත් වැ වැඩෙනුයේ වෙයි, මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: ‘ඒකාන්තයෙන් සම ද නහර ද ඇට ද ශේෂ වේවයි සිරුරෙහි මස්ලේ වියළේවයි යම් උත්තමාර්‍ත්‍ථයක් පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබියයුතු ද, ඊට නො පැමිණ වීර්‍ය්‍යයාගේ තැබීමෙක් නො වන්නේ යයි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයන්හට දෙ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති වියයුතු යැ. ඉහාත්මයෙහි අර්‍හත්ත්‍වය හෝ උපාදිහෝ උපාදිශේෂය ඇති කල්හි අනාගාමිත්‍වය හෝ යි.
බුදුහු මෙය වදාළසේක. සතුටුසිත් ඇති මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ යි.