Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 2401-2500 න් 6387

ගැහැවියෙනි, පරපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප පුද්ගල’ කවරෙ යත්: ගැහැවියෙනි, මෙලොවැ කිසි පුද්ගලයෙක් එළුවන් නසා ජීවත් වනුයේ හූරන් නසා ජීවත් වනුයේ ... මෙයින් අන්‍ය වූත් යම්කිසි කැකුළු කම් ඇත්තාහු වෙත්. ගැහැවියෙනි, මෙ පරපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප පුද්ගල’ යයි කියනු ලැබේ.
ගැහැවියෙනි, ආත්ම පරිතාපානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ වූ ද පරපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ වූ ද පුද්ගල කවරෙ යත්: ගැහැවියෙනි, මෙලොවැ මුදුන අභිෂික්ත වූ කැත් රජෙක් හෝ වෙයි ... ඔහුදු දඬුවමින් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළු මුසු මුහුණු ඇත්තාහු හඬමින් පරිකර්‍ම කෙරෙති. ගැහැවියෙනි, මෙ ආත්මපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ වූ ද පරපරිතාපානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ වූ ද පුද්ගල යයි කියනු ලැබේ.
ගැහැවියෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු නො මැ අත්තන්තප වූ ද පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු පරන්තප නො වූ ද පුද්ගල කවරෙ යත්: හේ ‘අත්තන්තප’ නොවූයේ ‘පරන්තප’ නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ කෙලෙස් පිරිනිවනින් නිවියේ එහෙයින් මැ සිහිල් වූයේ මඟපල නිවන්සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි. ගැහැවියෙනි, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ... තථාගතයන් වහන්සේ මෙලොව උපදනාහ ... හේ සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය ... ද්විතීය ධ්‍යානය … තෘතීය ධ්‍යානය ... චතුර්‍ත්‍ථ ධ්‍යානය උපයා ගෙන වාස කෙරෙයි.
හේ මෙසෙයින් සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වත් මැ අංගණ රහිත වත් මැ පහවූ උපක්ලේශ ඇති වත් මැ මෘදු වත් මැ කර්‍මණ්‍ය වත් මැ ස්ථිත වත් මැ නො සැලෙන බවට පත් වත් මැ පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ අනේක ප්‍රකාර පූර්‍වනිවාසය සිහි කෙරෙයි. ඒ මෙසේයැ: එක් ජාතියක, ජාති දෙකක ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්‍වනිවාසය නුවණින් සිහි කෙරෙයි.
හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි පර්‍ය්‍යවදාත කල්හි අඞ්ගණ රහිත කල්හි පහවගිය උපක්ලේශ ඇති කල්හි මෘදු වැ සිටි කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි ස්ථිත කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති දන්නා ඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා සත්ත්‍වයන් දකියි. හීන ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් නුවණින් දැන ගනී.
හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වත් මැ පර්‍ය්‍යවදාත වත් මැ නිරඞ්ගණ වත් මැ මෘදු වත් මැ කර්‍මාර්‍හ වත් මැ තර වැ සිටුත් මැ නිසල බවට පත් බවට වත් මැ ආස්‍රවයන්ගේ ක්‍ෂය ඥානය සඳහා සිත නතු කෙරෙයි. හේ ‘මේ දුකැ’ යි ඇති සැටියෙන් දැනගනී ... ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තියයි ඇති සැටියෙන් දැනගනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, භවාස්‍රවයෙනුදු මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි. (සිත) මිදුණු කල්හි ‘විමුක්ත යැ’යි නුවණ වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මඟ බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. මේ අර්‍හත්ත්‍වය සඳහා කළමනා අන් කිසෙක් නැති’යි නුවණින් දැනගනී.
ගැහැවියෙනි, මෙ පුද්ගල ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ‘අත්තන්තප’ නො වූ පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ‘පරන්තප’ නො වූ පුද්ගල යයි කියනු ලැබේ. හේ ‘අත්තන්තප’ නො වූයේ ‘පරන්තප’ නො වූයේ මේ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳුනා සුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් විහරණ කෙරේ යයි.
මෙසේ වදාළ කල්හි ‘සාලා’ ගම්වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළහ: ඉතා මැනැවැ භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලදුවක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවෘත කරන්නේ ද, මංමුළා වැ ගිය එකකුට හෝ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූ දකිත්ව’ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ. ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයන් කොට අප ධරනසේක් ව’යි.
දස වැනි අපණ්ණක සූත්‍රය යි.
2. භික්ඛු වර්‍ගය
2. 2. 1.
අම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසනලද. එක්කලෙකැ බුදුහු රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ අම්බලට්ඨිකා නම් පහයෙහි වාසය කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැඟී සිටිසේක් අම්බලට්ඨිකායෙහි ආයුෂ්මත් රාහුලයන් වෙත එළැඹිසේක. රාහුලායුෂ්මත්හු දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක අසුන් පනවා පාදෝනා පිණිස දිය ද එළැවූහ. බුදුහු පැනවූ අස්නෙහි වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඳ වූ ඉතිරි දිය දියබඳුනෙහි තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූසේක: “රාහුලයෙනි, තෙපි දියබඳුනෙහි තුබූ මේ අල්ප වූ උදකශේෂය දක්නවු දැ” යි. එසේ යැ වහන්සැ’යි. රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද, ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය අල්ප වෙයි.
ඉක්බිති බුදුහු ඒ අල්ප වූ උදකශේෂය බැහැර කොට ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි, තෙපි බැහැර කළ අල්ප වූ උදකශේෂය දක්නවු දැ” යි. එසේ යැ වහන්සැයි. රාහුලයෙනි යම් කෙනකුන්ට දැන දැන මුසාවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය බැහැර කරනලද වෙයි.
ඉක්බිති බුදුහු ඒ දියබඳුන යටිහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි, තෙපි යටිහුරු කළ මේ දියබඳුන දක්නවූ දැ” යි. වදාළහ. එසේ යැ වහන්ස, රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය යටිහුරු කරනලද වෙයි.
ඉක්බිති බුදුහු එදියබඳුන උඩුහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: “රාහුලයෙනි තෙපි වැගුරුණු සිස් වූ මෙ දියබඳුන දක්නවු දැ” යි වදාළහ. එසේ යැ වහන්සැ’යි. එසෙයින් රාහුලයෙනි යම් කෙනකුනට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද ඔවුන් ගේ ශ‍්‍රමණධර්‍මය රික්ත යැ තුච්ඡ වේ යයි.
යම්සේ රාහුලයෙනි, රජහට රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ යුද බිමට බටවිරු ඇත්රජෙක් වේ ද, හේ යුදබිමට බටුයේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, පෙර කයිනුදු කම් කෙරෙයි, පසුකයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ. එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: “රජුගේ මෙඇත්රජ රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණු සිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ යුදට ගියවිරූ වූයේ යුදබිමට ගියේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ ඇතුගේ ජීවිතය රජුට නො හරනාලදැ” යි.
රාහුලයෙනි, රජුගේ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ.... නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: “රජුගේ මෙ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ යුදබිමට ගියේ .. නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, ඇතුගේ ජීවිතය රජහට පරිත්‍යාග කරන ලදැයැ. මෙවිට ඇතු විසින් රජහට කිසි කටයුත්තෙක් නැතැ” යි. එසෙයින් මැ රාහුලයෙනි, යම් කිසිවකුට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔහු විසින් කිසි පවක් නො කටහැකි යයි මම නො කියමි. එහෙයින් මෙහි ලා රාහුලයෙනි, කෙළි පිණිස ද මුසවා නො බෙණෙමී, මෙසේ රාහුලයෙනි, තොප විසින් හික්මියයුතු.
රාහුලයෙනි, ඒ කිමැයි සිතවු ද? කැටපත කුමක් ප්‍රයෝජන කොට ඇත්ද?යි. වහන්ස පිරික්සා බැලීම ප්‍රයෝජන කොට ඇතැ’යි. එසෙයින් මැ රාහුලයෙනි, පිරික්ස පිරික්සා කයින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා බසින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා මනසින් කම් කළයුතු යැ.
රාහුලයෙනි, තෙපි යම් මැ කමක් කරනුකැමැතිවුවහු ද තොප විසින් එ මැ කායකර්‍මය පිරික්සියයුතු යැ: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්‍මය අකුසල යැ දුක් වඩනේ යැ දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු ද: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්‍මය එකත්නෙන් නො කටයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු නම්: “මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කාය කර්‍මය නො මැ තමහට දුක් පිණිස පවත්නේ යැ, පරහට දුක් පිණිස නොපවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස නො පවත්නේ යැ. මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්‍මය කළයුතු.
රාහුලයෙනි, තොප කයින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ කායකර්‍මය ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: “මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද, මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු මෙසේ දන්නහු නම්: මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්‍ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්‍ම කරව.
රාහුලයෙනි, තෙපි කයින් කර්‍මය කොට ද තොපගේ එ මැ කායකර්‍මය පිරික්සියයුතු යැ: “මම් යම් කර්‍මයක් කයින් කෙළෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් කයින් යම් කර්‍මයක් කෙළෙම් නම් මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි රාහුලයෙනි, තොප විසින් මෙබඳු කාය කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙළි කළ යුතු යැ, දේශනා කොට විවරණය කොට හෙළි කොට ආයතිසංවරයට පැමිණිය යුතු, තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම කයින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති. පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති. මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් කුසල්දම්හි දවරැය හික්මෙමින් වෙසෙන්නහු යැ.
රාහුලයෙනි, තෙපි බසින් යම් මැ කර්‍මයක් කරනු කැමැත්තහු ද, තොප විසින් එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය ..... දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම එකත්නෙන් නො කළයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: “මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවත්නේ යැ, පරහට දුක් පිණිස ද නො පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම කටයුතු.
රාහුලයෙනි, තොප බසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දනිවු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවතී. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍මය නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ. සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍ම කරව.
රාහුලයෙනි, තොප විසින් බසින් කර්‍මය කොට ද තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මෙබඳු වාක්කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙළිකළ යුතු යැ, දේශනා කොට විවරණය කොට හෙළි කොට ආයතිසංවරයට පැමිණියයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.
රාහුලයෙනි, තෙපි මනසින් යම් මැ කර්‍මයක් කරනු කැමැති වවු ද, තොප විසින් එ මැ මනඃකර්‍මය පිරික්සියයුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃ කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මනසින් මෙබඳු කර්‍ම ඒකාන්තයෙන් නො කටයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මනසින් මෙබඳු කර්‍ම කටයුතු.
රාහුලයෙනි, තොප මනසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ මනඃකර්‍මය පිරික්සියයුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු
මනඃකර්‍ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි මෙබඳු මනඃකර්‍ම කරව.
රාහුලයෙනි, තොප විසින් මනසින් කර්‍මය කොට ද තොපගේ එ මැ මනඃකර්‍මය පිරික්සිය යුතු යැ: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද, මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තොප විසින් මෙසේ මනඃකර්‍මයෙහි පීඩිත වියයුතු යැ, ලජ්ජා වියයුතු යැ, ජුගුප්සා ඉපැදවියයුතු යැ. පීඩිත වැ ලජ්ජිත වැ ජුගුප්සා කොට ආයතිසංවරයට පැමිණියයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ” යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.
රාහුලයෙනි, අතීතකාලයෙහි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍ම පිරිසුදු කළාහු නම් වාක්කර්‍මය පිරිසුදු කළාහු නම් මනඃකර්‍මය පිරිසුදු කළාහු නම් එහැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කළාහු යැ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කළාහු යැ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කළාහු යැ.
රාහුලයෙනි, අනාගතකාලයෙහි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍මය පිරිසුදු කරන්නාහු නම් වාක්කර්‍මය පිරිසුදු කරන්නාහු නම් මනඃකර්‍මය පිරිසුදු කරන්නාහු නම් එහැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කරන්නාහු යැ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කරන්නාහු යැ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කරන්නාහු යි.
රාහුලයෙනි, මෙකල්හි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍මය පිරිසුදු කෙරෙත් ද වාක්කර්‍මය පිරිසුදු කෙරෙත් ද මනඃකර්‍මය පිරිසුදු කෙරෙත් ද එ හැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කෙරෙති, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කෙරෙති, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කෙරෙත්.
එහෙයින් රාහුලයෙනි, මෙහි පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කරම්හ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කරම්හ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කරම්හ’යි රාහුලයෙනි, තොප විසින් මෙසේ මැ හික්මියයුතු.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති රාහුලායුෂ්මත්හු භාග්‍යවතුන් ගේ භාෂිතයට සතුටු වූහ’යි.
පළමු වැනි අම්බලට්ඨිකරාහුලෝවාදසූත‍්‍රය යි.
2. 2. 2.
මහාරාහුලෝවාද සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස නුහුබන්හ. එකල්හි බුදුහු පෙරළා බලා ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ:
“රාහුලය, ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි, යම් කිසි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ රූපයෙක් ඇද්ද, දුරැ වූ හෝ ළඟැ වූ හෝ යම් රූපයෙක් ඇද්ද ඒ හැම රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ තත් වූ පරිදි සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යයි වදාළහ. ‘රූපය මැ ද භාග්‍යවතුන් වහන්ස, රූපය මැ ද භාග්‍යවතුන් වහන්සැ’යි. රාහුලය, රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයෝත් විඥානයත් දැක්ක යුතු යැ’යි.
එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ කවරෙක් අද භාග්‍යවතුන් වහන්සේ විසින් හමුයෙහි අවවාදයෙන් අවවාද කරන ලද්දේ ගමට පිඬු පිණිස පිවිසියේ ඇද්ද’යි එයින් මැ නැවැතී එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයන් දුටහ. දැක ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ: “රාහුලයෙනි, ආනාපානසති භාවනාව වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි, මහත් අනුසස් වේ”යයි.
ඉක්බිති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ සවස් වේලෙහි සමවතින් නැගී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, කිසෙයින් වඩනලද, කිසෙයින් බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද, මහත් අනුසස් වේ දැ?”යි.
රාහුලයෙනි, තමා පිළිබඳ වූ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙක් වේ ද ඒ මෙසේ යැ: කෙස් ලොම් නිය දත් සිව් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදමස් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන් නො පැසුණු අහර පැසුණු අහර යන මේ ද, තවද අන්‍ය වූ ත් තමා පිළිබඳ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙකුත් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවක් ඇද්ද, යම් බාහිර වූ පෘථිවිධාතුවකුත් ඇද්ද, තෙල පෘථිවිධාතු මැ යි. ඒ පෘථිවිධාතුව “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නොවේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක පෘථිවිධාතුයෙහි උකටලී වෙයි, පෘථිවිධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලය, ආපෝධාතු කවර යත් “ආපෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලය, ආධ්‍යාත්මික ආපෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් ආපයෙක් ආපෝගතයෙක් උපාදින්න වූ යුෂභාවලක්‍ෂණයෙක් ඇද්ද, ඒ කෙසේ යැ යත්: පිත, සෙම, පූයා යැ ලෙහෙ යැ සෝදිය යැ මේදතෙල ,කඳුළු යැ වුරුණුතෙල, කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ මූ යැ යන මේ යි. තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් කිසි අන්‍ය වූත් ආපයෙක් ආපෝගතයෙක් උපාදින්න වූ යුෂභාව ලක්‍ෂණයෙක් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික ආපෝධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික ආපෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර ආපෝධාතුයෙකුත් ඇද්ද, තෙලෙ ආපෝධාතු මැ යි. ඒ ආපෝධාතුව “තෙලෙ මාගේ නො වෙයි තෙලෙ මම් නොවෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැන ආපෝධාතුයෙහි උකටලි වෙයි. ආපෝධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලයෙනි, තේජෝධාතු කවර යත්: තේජෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලයෙනි, ආධ්‍යාත්මික තේජෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ තේජසෙක් වේ ද, ඒ මෙසේ යැ: (කිපුණු) යම් තේජෝගතයෙකින් මෙ කය තැවේ ද, යම් තේජසෙකින් මෙ කය දිරා ද, යම් තේජසෙකින් මෙ කය දැවේ ද, යමෙකින් බුදිනලද පානය කරනලද, කනලද රසවිඳිනලද ආහාරය (රස රක්තාදි විසින්) පරිණාමයට යේ ද, (එ ද), තවද අන්‍ය වූත් තමා පිළිබඳ වූ තමා අයත් තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ යම් තේජසෙක් වේ ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික තේජෝධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික තේජෝධාතුවක් වේ ද, යම් බාහිර තේජෝධාතුවකුත් වේ ද, මේ තේජෝධාතු මැ යි. ඒ තේජෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ’. යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක තේජෝ ධාතුයෙහි උකටලි වෙයි. තේජෝධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලයෙනි, වායෝධාතු කවර යත්; වායෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික වායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වූ වායුවෙක් වේ ද, ඒ කෙසේ යැ යත්: උඩට නැඟෙන වාත යැ, යටට බස්නා වාත යැ, අතුණින් බැහැර පවත්නා වාත යැ, අතුණු තුළ පවත්නා වාත යැ, අඟපසඟ සරනා වාත යැ, ආශ්වාස යැ, ප්‍රශ්වාස යැ යන මොහු යි. යළි අන්‍ය වූත් කිසි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වායුවෙක් ඇද්ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික වායෝධාතු යයි කියනුලැබේ. තවද යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝධාතුවකුත් වේ ද, තෙල වායෝධාතු මැ යැ, ඒ වායෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නොවෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ යයි තෙල මෙසේ ඇති සැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක වායෝධාතුයෙහි උකටලි වෙයි, වායෝධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලයෙනි, ආකාශධාතු කවර යත්: ආකාශධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික ආකාශධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්න වූ ආකාශයෙක් වේ ද, ඒ මෙසේ යැ: කන්සිද යැ නැහැසිද යැ මුවදොර යැ යමෙකින් අසිතපීත ඛායිතසායිතය ඇතුළත ප්‍රවේශ කෙරේ ද, යම් අවකාශයෙකැ අසිතපීතඛායිතසායිතය පිහිටාසිටි ද යමක් කරණ කොට අසිතපීතඛායිත සායිතය අධෝභාගයෙන් නික්මේ ද (එතැන් ද,) යළි අන්‍ය වූත් යම් කිසි ආධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්නයෙක් වේ ද,
රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික ආකාශධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික ආකාශ ධාතුවක් වේ ද, යම් බාහිර ආකාශධාතුවකුත් වේ ද, තෙල ආකාශධාතු මැ යැ. ඒ ආකාශ ධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ’යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ. තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක ආකාශධාතුයෙහි උකටලි වෙයි. ආකාශධාතුයෙහි සිත් නො අලවයි.
රාහුලයෙනි, පෘථිවිය හා සම කොට බවුන් වඩව. රාහුලයෙනි, පෘථිවිය සම් කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ සිත හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ පෘථිවියෙහි පවිත්‍ර දැයත් බහාලත් ද, අපවිත්‍ර දැයත් බහාලත් ද, ගුථයත් බහාලත් ද, මූත්‍රයත් බහාලත් ද, කෙළත් බහාලත් ද, පූයාත් බහාලත් ද ලෝහිතයත් බහාලත් ද එයින් පෘථිවිය නො ද පෙළෙයි නො ද ලජ්ජිත වෙයි නො ද පිළිකුල් කෙරෙයි. එසෙයින් මැ රාහුලයෙනි, තෙපි පෘථිවිය සම කොට බවුන් වඩව, රාහුලයෙනි, යම් හෙයකින් පෘථිවි සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටිත් ද (එහෙයිනි).
රාහුලයෙනි, ආපය සම කොට බවුන් වඩව. රාහුලයෙනි, ආපය සම කොට බවුන් වඩන තොප ගෙ සිත උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ ආපයෙහි පවිත්‍රයත් අපවිත්‍රයත් දොවිත් ද ගුථයත් දොවිත් ද මූත්‍රයත් දොවිත් ද කෙළත් දොවිත් ද පූයාත් දොවිත් ද ලෙයත් දොවිත් ද එයින් ආපය නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද එසෙයින් මැ රාහුලයෙනි, තෙපි ආපය සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
රාහුලයෙනි, තේජස් සම කොට බවුන් වඩව. තේජස් සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් මනාප වූ ද අමනාප වූ ද ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ තේජස පවිත්‍රයත් දවා ද අපවිත්‍රයත් දවා ද ගුථයත් දවා ද මූත්‍රයත් දවා ද කෙළත් දවා ද පූයාත් දවා ද ලෙයත් දවා ද එයින් තේජස නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද එසෙයින් මැ රාහුලයෙනි, තෙපි තේජස් සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
රාහුලයෙනි, වායු සම කොට බවුන් වඩව, රාහුලයෙනි, වායෝධාතු සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. යම්සේ වායුව පවිත්‍රය කරාත් හමා ද අපවිත්‍රය කරාත් හමා ද ගුථය කරාත් හමා ද මූත්‍රය කරාත් හමා ද ඛෙළය කරාත් හමා ද පූයා කරාත් හමා ද ලෙහෙය කරාත් හමා ද එයින් වායුව නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි වායු සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).
රාහුලයෙනි, ආකාශය සම කොට බවුන් වඩව. ආකාශය සම කොට බවුන් වඩන තොප සිත උපන් මනාප වූ ද අමනාප වූ ද ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ අහස කිසි තැනෙක නො පිහිටියේ වේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි අහස සම කොට බවුන් වඩව. අහස සම කොට බවුන් වඩන තොප සිත උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටිත්.
රාහුලයෙනි, මෛත්‍රිභාවනා වඩව. රාහුලයෙනි, මෛත්‍රිභාවනා වඩන තොප ගේ යම් ව්‍යාපාදයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, කරුණාභාවනා වඩව. රාහුලයෙනි, කරුණාභාවනා වඩන තොප ගේ යම් විහිංසාවක් වේ ද, එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, මුදිතාභාවනා වඩව. රාහුලයෙනි, මුදිතාභාවනා වඩන තොප ගේ යම් (ප්‍රාන්තසේනාසනයන්හි හා අධිකුශල ධර්‍මයන්හි) උකටලිබවෙක් වේ ද, එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, උපේක්‍ෂාභාවනා වඩව. රාහුලයෙනි, උපේක්‍ෂාභාවනා වඩන තොපට යම් ප්‍රතිඝයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ.
රාහුලයෙනි, අශුභභාවනා වඩව. රාහුලයෙනි, අශුභභාවනා වඩන තොපට යම් රාගයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, අනිත්‍යසංඥා වඩව. රාහුලයෙනි, අනිත්‍යසංඥා වඩන තොපට යම් අස්මිමානයෙක් වේ නම්, එය ප්‍රහීණ වන්නේ යැ.
රාහුලයෙනි, ආනාපානසති භාවනා වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇති වෙයි. රාහුලයෙනි, කිසෙයින් වඩනලද බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද මහත් අනුසස් ඇති වේ ද? රාහුලයෙනි, මේ සස්නෙහි මහණ වනසෙනසුනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානාභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇති වැ ආශ්වාස කෙරෙයි, සිහි ඇති වැ ප්‍රශ්වාස කෙරෙයි, දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරන්නේ ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’ දනියි. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’ දනියි. භ්‍රස්ව කොට හෝ ආශ්වාස කරන්නේ ‘භ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි’ දනියි. භ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ‘භ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’ දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාස කය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාස කය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සුඛය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සුඛය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. ධ්‍යාන චිත්තය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ධ්‍යානචිත්තය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සිත ප්‍රමුදිත කෙරෙමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. සිත ප්‍රමුදිත කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. සිත මොනොවට පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි.
සිත මොනොවට පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. කෙලෙසුන් කෙරෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. කෙලෙසුන් කෙරෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. අනිත්‍ය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. අනිත්‍ය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. විරාගය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. විරාගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ක්ලේශනිරෝධය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ක්ලේශනිරෝධය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රතිනිස්සර්‍ගය (විදර්‍ශනාව හා මාර්‍ගය) අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රතිනිස්සර්‍ගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. රාහුලයෙනි, මෙසේ වඩනලද මෙසේ පුනපුනා වඩනලද ආනාපානසතිය මහත් ඵල වෙයි, මහත් අනුසස් ඇති වෙයි. රාහුලයෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි යම් පශ්චිම ආශ්වාස ප්‍රශ්වාස කෙනෙක් ඇද්ද, ඔහු ද ප්‍රකට වූවාහු මැ නිරුද්ධ වෙති, අප්‍රකට වූවාහු නිරුද්ධ නො වෙත්.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.
දෙ වැනි මහාරාහුලෝවාදසූත්‍ර යි.
2. 2. 3.
චූළමාලුඞ්ක්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද. එක්කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් චූළමාලුඞ්ක්‍ය තෙරුන්ට මෙසේ සිතට විතර්‍කයෙක් උපන. භාග්‍යවතුන් විසින්: “ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ලෝකය අන්තවත් යයි ද ලෝකය අනන්තවත් යයි ද එ මැ ජීව යැ එ මැ ශරීර යයි ද ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි ද සත්ත්‍ව තෙම මරණින් මතු වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වේ යයි ද සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි. නො වන්නේ නො වේ යයි දැ” යි යම් දෘෂ්ටිගත කෙනෙක් ප්‍රකාශ නො කරන ලද්දහු ද තබනලද්දාහු ද ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙති. යම් දෘෂ්ටිගත කෙනෙකුන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙත් නම් එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙ කරුණ පුළුවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ මැ ජීව යැ එ මැ ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නොවෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වෙයි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වන්නේත් නො ද නො වන්නේත් වෙයි හෝ ප්‍රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම් ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි”.
ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යප්‍රත්‍ර, සවස් වේලෙහි විවේකයෙන් නැගීසිටියේ බුදුන් කරා එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යප්‍රත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී යැ:
“වහන්ස, මෙහි එකලා වැ විවේනයෙන් හුන් මාගේ සිතට මෙබඳු විතර්‍කයක් උපන. ‘ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි ද යම් දෘෂ්ටිගත කෙනෙක් භාග්‍යවතුන් විසින් ප්‍රකාශ නො කරන ලද්දාහු ද තබන ලද්දාහු ද ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙති. බුදුහු යම් දෘෂ්ටිගත කෙනෙක් මට ප්‍රකාශ නො කෙරෙත් ද එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙකරුණ පුළුවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නොවේ යයි හෝ ප්‍රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම ශික්‍ෂාප්‍රත්‍යඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි”යි.
ඉදින් බුදුහු ‘ලෝකය ශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය ශාශ්වත යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය අශාශ්වත යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අන්තවත් යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අනන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අනන්තවත් යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
ඉදින් බුදුහු: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි දනිත් නම් බුදුහු මට ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දනිත් නම් බුදුහු මට: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘එමැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’ යැයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’ යයි බුදුහු ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ’යි හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’ යන තෙල වදන් මැ ඍජු වෙයි.
ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි දනිත් නම් ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වෙයි’ හෝ ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ නො ද දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.
මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, කිම තට මම මෙසේ කීයෙම් ද: “එව මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, තෙපි මා කෙරෙහි බඹසර වෙසෙව මම තොපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙවෙයි’ හෝ ප්‍රකාශ කෙරෙමි” යයි. වහන්ස, තෙල නො වේ මැ යැ. තවද තෙපි හෝ මට මෙසේ කිවහූ ද: “වහන්ස මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ ප්‍රකාශ කරන්නේ”යයි. වහන්ස, තෙල නො වේ මැ යැ.
මෙසේ මාලුඞ්ක්‍යපුත්‍රය මම තොපට නො මැ කීයෙම් නම්: “එව තෙපි මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, මා කෙරෙහි බඹසර වෙසෙව, මම තෙපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වේ යැ’යි හෝ ප්‍රකාශ කෙරෙමි යයි. තො ද මට නො කීයෙම් නම්: “වහන්ස, මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි, බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යැ’යි හෝ ප්‍රකාශ කරන්නේ යැ”යි. මෙසේ ඇති කල්හි තුච්ඡපුරුෂය, (යාචිතක හෝ යාචක) කවරෙක් වූයෙහි (යාචිතක හෝ යාචක වූ) කවරක්හට ප්‍රකාශ කරන්නෙහි ද.
මාලුඞ්ක්‍යපුත්‍රය, යමෙක් මෙසේ කියා නම්: “යම් තාක් බුදුහු මට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වේ’ යැයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් ඒතාක් මම බුදුන් කෙරෙහි බඹසර නො වෙසෙමි” කියා නම් මාලුඞ්ක්‍යපුත්‍රය එය තථාගතයන් විසින් ප්‍රකාශ නො කරනලද මැ වන්නේ යැ. එකල්හි ඒ පුද්ගල කලුරිය කරන්නේ යැ යම්සේ මාලුඞ්ක්‍යපුත්‍රය, පුරුෂයෙක් බොල් කොට තැවැරැ විෂසහිත හීයෙකින් විදුනාලද්දේ වන්නේ ද ඔහුගේ සගයහළුවෝ නැසහලේනැයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහු නම් හේ මෙසේ කියන්නේ යැ: ‘ක්‍ෂත්‍රිය වේවයි බ්‍රාහ්මණ වේවයි වෛශ්‍ය වේවයි ශුද්‍ර වේවයි යමක්හු විසින් මම් විදුනාලදුයෙම් ද යම්තාක් ඒ පුරුෂයා නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි’යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ මෙබඳු නම් ඇත්තේ යැ මෙබඳු ගෝත්‍ර ඇත්තේ යැ’යි යම් තාක් මම ඒ පුරුෂයා නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ දීර්‍ඝ යැ හෝ භ්‍රස්ව යැ හෝ මධ්‍යම යැ හෝ යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ කඵ යැ හෝ සමවන් යැ හෝ කබරසිවි ඇත්තේ යැ හො’යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ අසුවල්ගම්හි හෝ යැ නියම්ගම්හි හෝ යැ හෝ නුවරෙහි හෝ’යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් චාපයෙක් වේවයි ඉදින් කොදණ්ඩයෙක් වේවයි යම්තාක් මම ඒ දුන්න නො දනිම් ද ඒතාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් වරාහුයින් කරනලද වේවයි ඉදින් හුණුරැහැනින් කරනලද වේවයි ඉදින් නහරින් කරනලද වේවයි ඉදින් මරුවා (ඝණ) වැහැරින් කරනලද වේවයි ඉදින් කිරුපනින් කරනලද වේවයි යම් තාක් ඒ දුනුදිය නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් කැසෙහි උපන් වේවයි රෝපණය කොට වඩනලද වේවයි යම්තාක් ඒ හීය නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ගිජුලිහිණියකු ගේ වේවයි ඉදින් ලොහොතුඩුවකුගේ වේවයි ඉදින් උකුසකුගේ වේවයි මොනරකුගේ වේවයි ඉදින් සිථිලභනු ලිහිණියකුගේ වේවයි යමක්හුගේ පතින් වෙග දනවන ලද ද ඒ හීය යම් තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ගවයකුගේ වේවයි ඉදින් මිහිවකුගේ වේවයි ඉදින් වලසකුගේ වේවයි ඉදින් වඳුරෙකු ගේ වේවයි යමෙකුගේ නහරින් වෙළන ලද නම් ඒ හීය යම් තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි“යි.
හේ මෙසේ කියන්නේ යැ: “යමකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ශල්‍ය වේවයි ඉදින් බුරප්ප වේවයි ඉදින් වෙකණ්ඩ වේවයි ඉදින් නාරාව වේවයි ඉදින් වච්ඡදන්ත වේවයි ඉදින් කරවිරපත්‍ර වේවයි ඒ ශල්‍ය්‍ය යම්තාක් නෙ දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි කියන්නේ නම්, මාලුඞ්ක්‍යපුත්‍රය, ඒ පුරුෂයා විසින් තෙලෙ නො දන්නාලද මැ වන්නේ ද ඉක්බිති එපුරිස් කලුරිය කරන්නේ යැ.
එසෙයින් මැ මාලුඞ්ක්‍යපුත්‍රය, යමෙක් මෙසේ කියා නම්: “යම්තාක් බුදුහු මට ‘ලෝකය ශාශ්වත යැ’ හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වෙයි’ හෝ ප්‍රකාශ නො කෙරෙත් ද ඒ තාක් මම බුදුන් කෙරෙහි බඹසර නො වෙසෙමි”යි. මාලුඞ්ක්‍යපුත්‍රය, තථාගතයන් විසින් ඒ ප්‍රකාශ නො කරනලද මැ වෙයි. ඉක්බිති ඒ පුද්ගල තෙම කලුරිය කරන්නේ යැ.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අශාශ්වත යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘ලෝකය අශාශ්වත යැ’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍මකෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් ද ඒ ජාතිය ඇත් මැ යැ. ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ. සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අන්තවත් යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අනන්තවත් යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ. ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ, සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘එ මැ ජීවයැ එ මැ ශරීර යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘එ මැ ජීවයැ එ මැ ශරීර යැ’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’ යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ, සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යයි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි’ හෝ දෘෂ්ටිය ඇති කල්හි මම් යම් ධර්‍ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ, ජරාව ඇත් මැ යැ, මරණය ඇත් මැ යැ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යී.
මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නො වෙයි. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු නෙ මැ වෙයි නො ද නො වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි, එසේත් නො වෙයි. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි හෝ ‘සත්ත්‍ව තෙම නො මැ වෙයි නො ද නො වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි හෝ මම් යම් කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් ද ඒ ජාතිය ඇත් මැ යැ ජරාව ඇත් මැ යැ මරණය ඇත් මැ යැ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි.
එහෙයින් මාලුඞ්ක්‍යපුත්‍රය, මෙහි මා විසින් ප්‍රකාශ නො කරනලද්ද ද ප්‍රකාශ නො කරනලද හෙයින් දරන්නේ යැ. මා විසින් ප්‍රකාශ කරනලද්ද ද ප්‍රකාශ කරනලද හෙයින් දරන්නේ යැ. මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, වැළිත් මා විසින් කුමක් අව්‍යාකෘත ද? මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අශාශ්වත යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අනන්තවත් යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අනන්තවත් යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේ යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වන්නේ යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ ය’යි මැ විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි මා විසින් අව්‍යාකෘත යැ. මාලුඞ්ක්‍යපුත්‍රය, කුමක් හෙයින් තෙලෙ මා විසින් නොපනවන ලද යත්: මාලුඞ්ක්‍යපුත්‍රය, තෙල අර්‍ත්‍ථසංහිත නො වෙයි. මඟබඹසරට ආදි වූ ශීලමාත්‍ර ද නො වෙයි. මෙසෙයින් ඒ නිර්වේදය පිණිස නො වෙයි. විරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. ව්‍යුපශම පිණිස නො වෙයි. අභිඥා පිණිස නො වෙයි. සම්බෝධිය පිණිස නො වෙයි. නිර්‍වාණය පිණිස නො පවතී, එහෙයින් මා විසින් ඒ අව්‍යාකෘත වේ.
මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් වැළිත් කිමෙක් ව්‍යාකෘත ද යත්: මාලුඞ්ක්‍යපූත්‍රය, ‘මේ දුකැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛසමුදය යැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛනිරෝධයැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛනිරෝධ ගාමිනීප්‍රතිපදා යැ’යි මා විසින් ව්‍යාකෘත යැ. මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් වැළිත් කුමක් හෙයින් තෙලෙ ව්‍යාකෘත ද යත්: මාලුඞ්ක්‍යපුත්‍රය යම් හෙයකින් තෙලෙ අර්‍ත්‍ථසංහිත ද තෙලෙ මඟබඹසරට ආදිවු ශීලමාත්‍ර වේ ද මෙසෙයින් ඒ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යුපම පිණිස, අභිඥා පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස පවතී ද එහෙයින් ඒ මා විසින් ව්‍යාකෘත යැ. එහෙයින් මාලුඞ්ක්‍යපුත්‍රය, මෙහි මා විසින් අව්‍යාකෘතය ද අව්‍යාකෘත හෙයින් දරන්නේ යැ. මා විසින් ව්‍යාකෘතය ද ව්‍යාකෘත හෙයින් දරන්නේ යයි.
බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර භාග්‍යවතුන්ගේ භාෂිතයට සතුටු වී යයි.
තුන් වැනි චූළමාලුඞ්ක්‍ය සූත්‍ර යි.
2. 2. 4.
මහාමාලුඞ්ක්‍ය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද. එක් කලෙක බුදුහු සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, තෙපි මා විසින් දෙසූ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් ධරවු දැ?”යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම භාග්‍යවතුන් වදාළ පඤ්චෝරම්භාගිය සංයෝජන දරමි”යි. “මාලුඞ්ක්‍යපුත්‍රය, කිසෙයින් තෙපි මා කී පඤ්චෝරම්භාගිය සංයෝජන ධරවු දැ?”යි. “වහන්ස, මම ‘සක්කායදිට්ඨිය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස මම ‘විචිකිච්ඡාව’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘සීලබ්බතපරාමාස’ය බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘කාමච්ඡන්‍දය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘ව්‍යාපාදය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම මෙසෙයින් බුදුන් වදාළ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් දරමි’යි කීහ.
මාලුඞ්ක්‍යපුත්‍රය, තෙපි මා විසින් මෙසේ පඤ්චෝරම්භාගිය සංයෝජනයන් කවරක්හට දෙසනලදැ’යි ධරවු ද? මාලුඞ්ක්‍යපුත්‍රය, අන්තොටු පිරිවැජියෝ මේ තරුණොපමා උපාරම්භ (නින්‍දාපූර්‍වකදෝෂාරෝපණ) යෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් ද? “මාලුඞ්ක්‍යපුත්‍රය, උඩුහුරු වැ හෝනා වූ මුග්ධ වූ ළදරු කුමරුහට ‘සක්කාය’ යයි ද දැනුමෙක් නො වෙයි. ඕහට වැළිත් සත්කායදෘෂ්ටියෙක් කොයින් උපදනේ ද ඔහුට සත්කාය දෘෂ්ටි අනුශය වේ මැ යි.
මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ධර්‍මය’ යන සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ධර්‍මයෙහි විචිකිත්සායෙක් කොයින් උපදනේ ද? ඕහට විචිකිත්සානුශය තෙමේ අනුශය වේ මැ යි.
මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ශීල’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ශීලයෙහි ශීලව්‍රතපරාමර්‍ශයෙක් කොයින් උපදනේ ද? ඕහට ශීලව්‍රතපරාමර්‍ශය තෙමේ අනුශය වේ මැ යැ.
මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘කාම’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් කාමයෙහි කාමච්‍ඡන්‍දය කොයින් උපදනේ ද? ඕහට කාමරාගානුශය තෙමේ අනුශය වේ මැ යැ.