ඉක්බිති නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවට පිරිස් හා සමග උපාලි ගැහැවිහුගේ නිවෙස්න කරා ගියෙ යැ. දොරටුගොවු නිගණ්ඨනාථපුත්‍රයා එන්නහු දුර දී මැ දිටි. දැක නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, සිටුව. නො වදුව. අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ වෙයි. නුවට-නුවටුනට දොර ඇවිරිණි. බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො ඇවිරිණි. වහන්ස, ඉදින් තොපට බතින් වැඩ ඇත් නම් මෙහි මැ සිටුව. මෙහි ලා මැ තොපට ගෙන එති’යි. සගය, දෝවාරිකය, එහෙයින් උපාලි ගැහැවිහු කරා එළැඹෙව. එළැඹැ උපාලි ගැහැවිහට මෙසේ කියව: ‘වහන්ස, නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවටපිරිස් හා සමඟ බිහි දොරකොටුයෙහි සිටියෙ යැ. හෙ තොප දක්නා කැමැතියේ යැ’යි. ‘වහන්ස, එසේ යැ’යි දෝවාරික නුවටනතපුත්තහට පිළිවදන් දී උපාලි ගැහැවිහු කරා එළැඹියෙ යැ. එළැඹ උපාලි ගැහැවිහට තෙල කී:
‘වහන්ස, නුවටනතපුත් මහත් නුවටපිරිස් හා සමග බිහි දොරකොටුයෙහි සිටියෙ යැ. හෙ තොප දක්නා කැමැත්තැ’යි. සගය දෝවාරිකය, එහෙයින් මධ්‍යම ද්වාරශාලායෙහි අසුන් පනවාලව යි. ‘වහන්ස, එසේ යැ’යි දෝවාරිකයා උපාලි ගැහැවිහට පිළිවදන් දී මධ්‍යම ද්වාරශාලායෙහි අසුන් පනවා උපාලි ගැහැවිහු කරා ඔළැඹියෙ යැ. එළැඹ උපාලි ගැහැවිහට තෙල කී: ‘ වහන්ස, මධ්‍යම ද්වාරශාලායෙහි තොපට අසුන් පනවනලද. දැන් එයට කල් දනුව’යි කී.
ඉක්බිති උපාලි ගැහැවිහු මධ්‍යම ද්වාරශාලාව කරා එළැඹියෙ යැ. එළැඹ එහි අග්‍ර වූත් ශ්‍රේෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණීත වූත් යම් අස්නෙක් වී ද එහි හිඳ දෝවාරිකයා කැඳවී. සගය, දෝවාරිකය, එහෙයින් නිගණ්ඨනාථපුත්‍රයා කරා එළැඹෙව. එළැඹ නිගණ්ඨනාථපුත්‍රයාට මෙසේ කියව: ‘වහන්ස, උපාලි ගැහැවි මෙසේ කියයි’: ‘වහන්ස, ඉදින් කැමැත්තෙහි නම් වදුව’යි. ‘වහන්ස, එසේ යැ’යි දෝවාරිකයා උපාලි ගැහැවිට පිළිවදන් දී නිගණ්ඨනාථපුත්‍රයා කරා එළැඹියෙ යැ. එළැඹ නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මෙසේ කියයි’: ‘වහන්ස, ඉදින් කැමැත්තෙහි නම් වදුව’යි. එකල්හි නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවටපිරිස් හා සමග මධ්‍යම ද්වාරශාලාව කරා එළැඹියේ යැ. ඉක්බිති උපාලි ගැහැවි යම් තැනෙකැ සිට පෙර යම් නිගණ්ඨනාථපුත්‍රයකු එන්නාහු දුරදීම දැක එතැන සිට පෙරගමන් කොට එහි අග්‍ර වූත් ශ්‍රේෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණීත වූත් යම් අස්නෙක් වී නම් එය උත්තරාසඞ්ගයෙන් පිස පරිග්‍රහ කොට බලා හිඳුවාලයි. හෙ දැන් එහි අග්‍ර වූත් ශ්‍රේෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණීත වූත් යම් අස්නෙක් වී ද එහි තෙමේ හිඳ නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, අසුන් ඇත. ඉදින් කැමැත්තහු නම් හිඳුව’යි. මෙසේ කී කලැ නුවට නතපුත් උපාලි ගැහැවිහට තෙල කී: ගැහැවිය, තෙපි ඇළල ගියහු? ගැහැවිය තෙපි ජඩ වැ ගියහු? ‘වහන්ස, මම යමි. මහණ ගොයුම්හට වාදාරෝපණ කෙරෙමි යි ගොස් මහත් වාදබන්‍ධනයෙන් තිර වැ ආව? ගැහැවිය, යම් පරිදි පුරුෂයෙක් අණ්ඩහාරක වැ ගොස් උපුටා හළ අණ්ඩයෙන් යුතු වැ එන්නේ වේ ද, ගැහැවිය, යම් සේ පුරුෂයෙක් අක්ඛිහාරකවැ ගොස් උපුටාහළ ඇසින් යුතු වැ එන්නේ වේ ද, ගැහැවිය, එසේ මැ තෙපි ‘වහන්ස, මම යමි. මහණ ගොයුම්හට වාදාරෝපණ කෙරෙමි’යි ගොස් මහත් වාදබන්‍ධනයෙන් ප්‍රතිමුක්ත වැ ආව. ගැහැවිය, තෙපි මහණ ගොයුම්හු විසින් ආවර්‍තනී මායායෙන් ආවර්තිත ව? යි.
වහන්ස, ආවර්‍තනී මායා භද්‍ර යැ. වහන්ස, ආවර්‍තනී මායා කල්‍යාණි යැ. වහන්ස, මාගේ ප්‍රිය නෑසාලේ නෑයෝ මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වෙද්ද මාගේ ප්‍රිය වූ නෑසාලේ නෑයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, හැම ක්‍ෂත්‍රියයෝ ද මේ ආවර්‍තනීමායායෙන් ආවර්තිත වෙද්ද, හැම ක්‍ෂත්‍රියයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, හැම බමුණෝ ද … හැම වෛශ්‍යෙයෝ ද ... හැම ශුද්‍රෙයෝ ද මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වෙද්ද එ හැම ශුද්‍රයනට ද බොහෝ කල් හිතයට සුඛයට
වැටෙයි. වහන්ස, මරුන් සියො බඹුන් සියො සදේවක ලෝකයා ද මහණබමුණන් සියො දෙව් මිනිසුන් සියො ප්‍රජාව ද මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වේ ද, මරුන් සියො බඹුන් සියො සදේවක ලෝකයාහට ද මහණබමුණන් සියො දෙව්මිනිසුන් සියො ප්‍රජාවට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, එ කරුණින් තොපට උපමාවක් කරමි. කිසි විඥපුරුෂ කෙනෙක්, උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය නුවණ එළවා දනිත්.
වහන්ස, වූවිරි දැයෙකි. ජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ එක්තරා බමුණක්හට ළදරු මෙණෙවියක් භාර්‍ය්‍යා වූ යැ. ගැබ් ඇත්තී වදන වර ළං වැ ඇත්තී වූ යැ. වහන්ස, ඉක්බිති එ මෙණෙවි එ බම්ණුට තෙල කිවු: ‘බමුණ, තෙපි යව. යම් වඳුරු පැටෙක් මාගේ කුමරහට කෙළි බඩු වේ ද, එ බඳු වඳුරු පැටකු අවුණුදොරින්, මිල දී ගෙන එව’යි. වහන්ස, මෙසේ කී කලැ එ බමුණු එ මෙණෙවියට තෙල කී: ‘සොඳුර, වදන තාක් බලව. සොඳුර ඉදින් තෙපි කුමරකු වදන්නවු නම් තොපට මම අවුණුදොරින් තොපගේ එ කුමරුට කෙළි බඩු වන වඳුරු පැටකු මිල දී ගෙන එමි. ඉදින් තෙපි කුමරියක වදන්නවු නම් තොපගේ එ කුමරියට කෙළි බඩු වන වඳුරු පැටියක අවුණුදොරින්ගෙන එමි. වහන්ස, දෙවනවට ද … තෙවනවට ද වහන්ස, එ මෙණෙවි එ බමුණුහට තෙල කිවු: බමුණ, තෙපි යව. යම් වඳුරුපැටෙක් මාගේ කුමරහට කෙළිබඩු වේ ද, එ බඳු වඳුරු පැටකු මිල දී ගෙන එව’යි. වහන්ස, ඉක්බිත් එ බමුණු එ මෙණෙවිය කෙරෙහි ඇලුණේ, පිළිබඳ සිත් ඇතියේ අවුණුදොරින් වඳුරුපැටකු මිල දී ගෙනවුත් එ මෙණෙවියට තෙල කී: ‘භවතිය, තොපට වඳුරුපැටකු මිල දී ගෙන එන ලද. එ තොපගේ කුමරහට කෙළෙනට නිසි වන්නේ’ යයි. වහන්ස, මෙසේ කී කල්හි එ මෙණෙවි එ බමුණුහට තෙල කිවු ය: බමුණ තෙපි මෙ වඳුරුපැටහු ගෙන රඟ පොවන රදාදරු කරා එළඹ රඟ පොවන රදාදරුහට මෙසේ කියව. ‘යහළු රක්තපාණීය, මම මේ වඳුරු පැටහු රන්වන් රඳනින් රඳනලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’ යි වහන්ස, එසඳ එ බමුණු එ මෙණෙවිය කෙරෙහි ඇලුණේ පිළිබඳසිත් ඇත්තේ එ වඳුරුපැටහු ගෙන රක්තපාණී රදාදරු කරා එළැඹියෙ. එළැඹ රක්තපාණී රදාදරුහට තෙල කී: ‘යහළු රක්තපාණීය, මම මේ වඳුරු පැටහු රන්වන් රඳනින් රඳනලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’යි. වහන්ස, මෙසේ කී කල්හි රක්තපාණී රදාදරු එ බමුණුහට තෙල කී: හිමි, තොපගේ මෙ වඳුරුපොවු රඞ්ගක්‍ෂම මැ වෙයි. ආකෝටනක්‍ෂම නො වෙයි, විමාර්‍ජනක්‍ෂම නො ද වේ යයි. වහන්ස, ඉක්බිති එසෙයින් මැ බාල නුවටුන්ගේ වාද පණ්ඩිතයනට නො වැ බාලයනට රඞ්ගක්‍ෂම මැ වෙයි. අනුයෝගක්‍ෂම නො වෙයි, විමාර්‍ජනක්‍ෂම නො ද වෙයි. වහන්ස, එසෙයින් මැ බාල නුවටුන්ගේ වාද පණ්ඩිතයනට නො වැ බාලයනට රඞ්ගක්‍ෂම මැ වෙයි. අනුයෝගක්‍ෂම නො වෙයි, විමාර්‍ජනක්‍ෂම නො ද වෙයි. වහන්ස, ඉක්බිති එ බමුණු මෑතභාගයෙහි අළුත් පිළිසඟලක් ගෙන රක්තපාණී රදාදරු කරා එළැඹියෙ. එළැඹ රක්තපාණී රදාදරුහට තෙල කී: යහළු රක්තපාණීය, මම මේ අළුත් පිළීසඟල රන්වන් රඳනින් රඳනා ලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’යි. වහන්ස, මෙසේ කී කල්හි රක්තපාණී රජකපුත්‍ර එ බමුණුහට තෙල කී: හිමි, තොපගේ මෙ අළුත් පිළීසඟල රඞ්ගක්‍ෂම ද ආකෝටනක්‍ෂම ද විමාර්‍ජනක්‍ෂම ද වේ යයි. වහන්ස එහෙයින් මැ එ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ කථා බාලයනට නො ව පණ්ඩිතයනට රඞ්ගක්‍ෂම ද අනුයෝගක්‍ෂම ද විමාර්‍ජනක්‍ෂම ද වේ යයි.
ගැහැවිය, සරාජිකපර්‍ෂද් තොප මෙසේ දනි: ‘උපාලි ගැහැවි නිගණ්ඨනාථපුත්‍රයාගේ ශ්‍රාවක යැ’ කියා යි. ගැහැවිය, තොප කවරක්හුගේ ශ්‍රාවක කොට ධරම්හ? යි. මෙසේ කී කල්හි උපාලි ගැහැවි හුනස්නෙන් නැගී උතුරුසළු එකස් කොට බුදුන් වසන දසට ඇඳිලි පනවා නිගණ්ඨනාථපුත්‍රයාහට තෙල කී: ‘ වහන්ස, එසේ වී නම් මම් යම් කෙනෙකුගේ ශ්‍රාවකයෙම් ද උන් වහන්සේගේ ගුණ අසව:
(1) ධීර වු හෙවත් පාණ්ඩිත්‍යයෙන් සමන්‍වාගත වූ, විගත වූ මෝහ ඇති, බිඳුනා ලද පඤ්චචේතෝඛිල ඇති, දිනන ලද මෘත්‍යුමාරාදි මාරවිජය ඇති, ක්ලේශදුඃඛයෙන් හා විපාකදුඃඛයෙන් නිදුක් වූ, දෙව්මිනිසුන් කෙරෙහි මොනොවට සමමෙත් ඇති, වැඩූ ආචාර ශීල ඇති, සුන්‍දරප්‍රඥා ඇති, රාගාදි විෂමය තැරැසිටි, විගතවූ රාගාදි මල ඇති, ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි. (‘ඔබ මාගේ ශ්‍රාස්තෘ වූහ’යි යූ සේ යි.)
(2) අකථංකථී වූ, තුටුසිත් ඇති, වමාළ කාමගුණ ඇති, මුදිතාවිහාරවශයෙන් සතුටු වූ, කරනලද මහණදම් ඇති, මනුජ වූ අන්තිමදේහධාරී වු, උත්තම නර වූ අනූපගම වූ, විගත කෙලෙස්රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(3) ශංසය රහිත වූ නිපුණ වූ සත්‍වයන් විනයනය කරනු වූ උත්තම සාරථි වූ අනුත්තර වූ පවිත්‍රධර්‍ම ඇති නිශ්ශඞ්ක වූ ඕභාසකර වූ සිඳින ලද මාන ඇති වීර වූ ඒ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(4) අප්‍රතිසමාර්‍ත්‍ථයෙන් නිසභ වූ අප්‍රමේය වූ ගම්භීර වූ මෝන සඞ්ඛ්‍යාත ඥානයට පැමිණි ක්‍ෂේමකර වූ වේද සඞ්ඛ්‍යාත ඥානයෙන් සමන්‍වාගත වූ ධර්‍මයෙහි පිහිටා සිටි සංවෘත වූ සිත් ඇති ක්ලේශසඞ්ගයන් ඉක්මැ සිටි වීර වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(5) සියුකරුණෙන් නාග වූ ප්‍රාන්තශයනාසන ඇති ක්‍ෂීණ වූ සංයෝජන ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥායෙන් සමන්‍වාගත වූ ධොන සඞ්ඛ්‍යාත ඥානයෙන් සමන්‍වාගත වූ පතිත මානධ්වජ ඇති වීතරාග වූ නිර්විශෙවන වූ ක්ලේශ ප්‍රපඤ්ච රහිත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(6) සප්තමර්ෂී වූ කුහන නො වූ ත්‍රිවිද්‍යා ඇති ශ්‍රේෂ්ඨස්ථානයට පැමැණි දෙවූ කෙලෙස් ඇති ගාථාපද කරණයෙහි කුශල වූ සන්හුන් කායචිත්ත ඇති විදිත වූ ඥාන ඇති හැමට පළමු කොට ධර්‍මදාන දායක වූ ශක්‍ය වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(7) ආර්‍ය්‍ය වූ වැඩූ සිත් ඇති පැමැණියයුතු ගුණයට පැමිණි විස්තර කොට අර්‍ත්‍ථ දක්වන ස්මෘතිමත් වූ විදර්‍ශක වූ අර්‍හත් වූ අදුෂ්ට වූ තෘෂ්ණා රහිත වූ වශීප්‍රාප්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(8) සම්‍යග්ගත වූ ධ්‍යායී වූ කෙලෙසුන් විසින් අනුගත නො වූ සිත් ඇති ශුද්ධ වූ අබද්ධ වූ අප්‍රහීන වූ ප්‍රවිවේක ඇති අග්‍රප්‍රාප්ත වූ තරණය කළ චතුරෝඝ ඇති අනුන් තරණය කරවන ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(9) ශාන්ත වූ, පොළොව සෙයින් පතළ ප්‍රඥා ඇති මහාප්‍රඥායෙන් යුක්ත වූ පහ කළ ලෝභ ඇති තථාගත වූ අප්‍රතිපුද්ගල වූ අසම වූ විශාරද වූ නිපුණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
(10) බිඳලූ තෘෂ්ණා ඇති චතුස්සත්‍යාවබෝධ කළ පහ කළ කෙලෙස්දුම් ඇති කෙලෙසුන් විසින් උපලිප්ත නො වූ ආහුති පිළිගන්නට නිසි (අනුභාව වශයෙන්) යක්‍ෂ වූ උත්තම පුද්ගල වූ අතුල වූ මහත් වූ අගපත් යශස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.
ගැහැවිය, මහණ ගොයුම්හුගේ මේ ගුණයෝ තොප විසින් කවර කලෙක එක්රැස් කරනලද්දාහු ද? වහන්ස, යම් පරිදි නානා පුෂ්පයන් පිළිබඳ පුෂ්පරාශියෙක් ඇද්ද තෙල මල්රැස දක්‍ෂ මාලාකාරයෙක් වේවයි මල්කරු අතැවැසියෙක් වේවයි විසිතුරු මල්දමක් ගොතන්නේ වේ ද, වහන්ස, එපරිදි භාග්‍යවතුන් වහන්සේ අනේකවර්‍ණයහ, අනේකශත වර්‍ණයහ. වහන්ස, කවරෙක් නම් වර්‍ණාභියාගේ ගුණවැනුම් නො කරන්නේ වේ ද?
එසඳ බුදුනට සත්කාර නො සහන නුවටනතපුත්හට එ අසුන්හි දී මැ හුණුලේ මුවින් නැඟිණි.
සවැනි උපාලිසූත්‍ර යි.
2. 1. 7.
කුක්කුරවතිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි හලිද්දවසන නම් කෝලිය නියම්ගම්හි වැඩවසනසේක. එකල ගෝව්‍රත සමාදාන කළ කෝලිය පුත්‍ර පුණ්ණ හා ශුනකව්‍රත සමාදාන කළ සේනිය නම් නුවට හා දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ගෝව්‍රත ගත් කෝලියපුත් පුණ්ණ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. බලුතව ගත් සේනිය නුවට බුදුන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි කලතුරුහි සිහි කළයුතු කථා කොට නිමවා කුකුරකු සෙයින් හැකිළීගෙන එකත්පසෙක හින. එකත්පසෙක පසෙක හුන් ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්‍රියා කරන්නෙක. බිමලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්‍ඝරාත්‍රයෙහි පිරිපුන් කොට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලොව උපත් කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල පැන තිබියේවා. තෙල පැන මා නො පුළුවුස යි. දෙවන වට ද … තුන්වනවට ද ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළ: ‘වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්‍රියා කරන්නෙක, බිම ලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්‍ඝරාත්‍රියෙහි පිරිපුන් කොට සමාදන් කරන ලදි. ඔහු ගේ ගති කවර? පරලොව කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල තිබියේවා. තෙල පැන මා අතින් නො පුළුවුස’ යි, (කිව ද) පුණ්ණය, මම තොප බස් එකැතින් නො ලැබෙමි. වැළිත් තොපට මම ප්‍රකාශ කරමි.
පුණ්ණය, මෙලොව එකෙක් බලුතව අනූන කොට නිරතුරු කොට වඩයි. බලුසිල් අනූන කොට නරතුරු කොට වඩයි. බලුසිත් අනූන කොට නරතුරු කොට වඩයි. බලු වෙස් අනූන කොට නරතුරු කොට වඩයි. හේ බලුතව අනූන කොට නරතුරු කොට වඩා බලුසිල් අනූන කොට නරතුරු කොට වඩා බලුසිත් අනූන කොට නරතුරු කොට වඩා ශුනකාකල්ප අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින්මතු ශුනකයන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් ඔහුට මෙවන් දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රම්සරින් හො දෙවි හෝ වෙම්වා අන්‍යතර දෙවියෙකිම් හෝ වෙම්වා’ යි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිසදිටු වෙයි. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. එනම්: ‘නිරෑ හෝ තිරිසන් යොන හෝ’ යි. පුණ්ණය, මෙසේ (දෘෂ්ටියෙන් අසම්මිශ්‍ර වැ) සැපයෙන බලුතව බල්ලන්ගේ සහභාවයට එළවයි. වරදවාගත් දිටු නිරෑ එළවතී වදාළෝ.
මෙසේ වදාළ කල බලුතව ගත් සේනිය නුවට හැඬී. කඳුළු හෙළී. එසඳ භාග්‍යවතුන් වහන්සේ ගෝව්‍රත ගත් කෝලිය පුත් පුණ්නහට තෙල වදාළෝ: ‘පුණ්ණය, කම් නැත. තෙල පැන තිබියේවා, මා අතින් තෙල පැන නො පුළුවුස’ යි යන තෙල පුණ්ණය, මම නො ලත්මි. භාග්‍යවතුන් වහන්සේ යම් ව්‍යාකරණයක් මා ගෙන මෙසේ වදාළසේක් ද: වහන්ස, මම තෙල ව්‍යාකරණයට නො හඬමි. වහන්ස, වැළිත් මා විසින් මේ බලුතව අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. වහන්ස, ගෝව්‍රත සමාදාන කළ කෝලියපුතු මේ පුණ්ණ වේ ද ඔහු විසින් ඒ ගෝව්‍රතය දීර්‍ඝරාත්‍රියෙහි අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. ඔහු ගේ ගති කවර? පරලෝ කවරෙ? සේනිය කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ යි. දෙවන වට ද … තුන්වන වට ද බලුතව ගත් සේනිය නුවට භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: ‘වහන්ස, කෝලියපුත් මේ පුණ්ණ ගෝව්‍රත ඇත්තෙක. ඔහු විසින් ඒ ගෝව්‍රතය දීර්‍ඝරාත්‍රියෙහි අනූන කොට මොනොවට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලෝ කවරෙ? යි. ‘සේනිය, කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ (කිව ද) යනු සේනිය මම තොප බස් ඒකාන්තයෙන් නො ලබමි. වැළිත් මම තොපට ප්‍රකාශ කරමි.
සේනිය, මෙලොව කිසිවෙක් ගෝව්‍රතය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩයි. ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩයි. හේ ගෝව්‍රතය අනූන කොට නරතුරු කොට වඩා ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩා ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩා ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින් මතු ගෙරින්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහි ඕහට මෙබඳු දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ආචාරයෙන් හෝ ව්‍රත සමාදානයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යෙයන් හෝ දෙව් හෝ වෙමි, දෙවාන්‍යතර හෝ වෙමි’ යි. ඒ දෘෂ්ටි ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. සේනිය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට නිරයගතිය හෝ තිරිසන් යෝනිය හෝ දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. සේනිය, මෙසේ සම්පජ්ජමාන ගෝව්‍රතය ගවයන්ගේ සහභාවයට එළවයි. විපද්‍යමාන ගෝව්‍රතය නිරයට එළවයි.
මෙසේ වදාළ කල ගෝව්‍රත සමාදාන කළ කෝලියපුත් පුණ්ණ හැඬී. කඳුළු හෙළී, එසඳ බුදුහු බලුතව ගත් සේනිය අචේලකයාහට තෙල වදාළහ: ‘සේනිය, කම් නැත. තෙල තිබියේවා, තෙල කරුණ මා නො පුළුවුස්ව’ යි සේනිය, මම තෙල කරුණ තා අතින් නො ලත්මි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යම් කරුණක් මෙසේ වදාළ සේක් ද , මම තෙල ව්‍යාකරණයට නො හඬමි. වැළිත් වහන්ස, මේ ගෝව්‍රතය මා විසින් දීර්‍ඝරාත්‍රියෙහි මොනොවට ගන්නා ලදි, මොනොවට සමාදාන කරන ලදි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්නයෙමි. යම් පරිදි මමත් මේ ගෝව්‍රතය හරනෙම් ද, කුකුරුවත ගත් මේ සේනිය අචෙළකත් ඒ කුකුරවත හරනේ වේ ද, එසේ දහම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හ’ යි. පුණ්ණය, එ කරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියමි යි. ‘වහන්ස, එසේ යැ’ යි ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
‘පුණ්ණය, මෙ සතර කර්‍ම කෙනෙක් මා විසින් තමා මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රවිදිත වැ ඇත. කවර සතර කෙනෙක යත්: පුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක වූ කර්‍මයෙක් ඇත. පුණ්ණය, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත. පුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍මයෙක් ඇත. පුණ්ණය, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණ අශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂයට වැටෙන කර්‍මයෙක් ද ඇති’ යි.
පුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් සදුඃඛ වූ කායසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූ වාක් සංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූ මනඃසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. හෙ සදුඃඛ වූ කායසංස්කාර රැස් කොට සදුඃඛ වූ වාක් සංස්කාර රැස් කොට සදුඃඛ වූ මනඃසංස්කාර රැස් කොට සදුඃඛ ලෝකයට එළැඹෙයි. සදුඃඛ ලෝකයට එළැඹි තුලුහු සදුඃඛ විපාක ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත්. හෙ සදුඃඛ විපාක ස්පර්‍ශයෙන් පහස්නාලද්දේ ඒකාන්ත දුඃඛ වූ සදුඃඛ වේදනා විඳී. නිරෑ උපන් සත්ත්‍වයන් සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උපප්‍රාප්තිය වෙයි. යමක් කෙරේ ද එයින් පරලොව එළැඹෙයි. එළැඹි තුලුහු ස්පර්‍ශයෝ පැහැසැගනිති’යි. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’යි කියමි. පුණ්ණය, මෙය ‘කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක ඇති කර්‍මයැ’යි කියනු ලැබේ.
පුණ්ණය, ‘ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍ම ඇති කර්‍මය’ කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් නිදුක් වූ කායසංස්කාර රැස් කෙරෙයි, නිදුක් වූ වාක් සංස්කාර රැස් කෙරෙයි, නිදුක් වූ මනඃසංස්කාර රැස් කෙරෙයි. හේ නිදුක් වූ කායසංස්කාර රැස් කොට නිදුක් වූ වාක් සංස්කාර රැස් කොට නිදුක් වූ මනඃසංස්කාර රැස්කොට නිදුක් ලොවට එළැඹෙයි. නිදුක් ලොවට එළැඹියා වූ තුලුහු නිදුක් විපාක ඇති ස්පර්‍ශයෝ පැහැසැගනිත්. හේ නිදුක් විපාක ඇති පහසින් පහස්නා ලද්දේ මැ ඒකාන්ත සුඛ වූ නිදුක් වේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උප්පත්ති වෙයි. යමක් කෙරේ ද එ කර්‍ම හේතුයෙන් පරලොව එළැඹීම වෙයි. එළැඹුණු තුලුහු ස්පර්‍ශයෝ පැහැසැගනිත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’ යි කියමි. පුණ්ණය, මෙය ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයැ’ යි කියනු ලැබේ.
පුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර රැස් කෙරෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර රැස් කෙරෙයි, සදුඃඛ වූත් අදුඃඛ වූත් මනඃසංස්කාර රැස් කෙරෙයි. හෙ සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර රැස් කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර රැස් කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් මනඃසංස්කාර රැස්කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් ලෝකයට එළැඹෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් ලෝකයට එළැඹියා වූ තුලුහු සදුඃඛ වූත් අදුඃඛ වූත් ස්පර්‍ශයෝ පැහැසැගනිත්. හෙ සදුඃඛ වූත් අදුඃඛ වූත් පහසින් පුස්නාලද්දේ මැ සුඛදුඃඛ මිශ්‍ර වූ සදුඃඛ වූත් අදුඃඛ වූත් වේදනා විඳී. මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියනුදු සෙයිනි. ඇතැම් විනිපාතිකයනුදු සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්‍ම හේතුයෙන් සත්ත්‍වයාගේ උපපත්ති වෙයි. යමක් කෙරේ ද ඒ කර්‍ම හේතුයෙන් උපපත්ති වෙයි. උපපන්න වූ තුලුහු පහස්හු පැහැසැගනිත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මය දායාද කොට ඇතියහ’ යි කියමි. පුණ්ණය, මෙය ‘කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍ම යැ’ යි කියනු ලැබේ.
පුණ්ණය, කෘෂ්ණශුක්ල නො වූ අකෘෂ්ණශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස වැටෙන කර්‍ම කවරෙ යැ යත්: පුණ්ණය, එ ත්‍රිවිධ කර්‍මයන් කෙරෙහි කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති යම් කර්‍මයෙක් ඇද්ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙක් ඇද්ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති යම් කර්‍මයෙක්
ඇද්ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්‍ගචේතනායෙක් වී නම්, පුණ්ණය, මෙය ‘කෘෂ්ණශුක්ල නො වූ අකෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍මක්‍ෂය පිණිස වැටෙන කර්‍ම යැ’යි කියනු ලැබේ. පුණ්ණය, මේ සතර කර්‍මයෝ තමා විසින් මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට මා විසින් සුවිදිතයහ’යි වදාළෝ.
මෙසේ වදාළ කලැ ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, ඉමැනැවි, වහන්ස, ඉමැනැවි. වහන්ස, යම්සේ … භාග්‍යවතුන් වහන්සේ අද පටන් ඉදිරියෙහි දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට මා ධරණ සේක්වා. බලුතව ගත් සේනිය අචේලක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: ‘වහන්ස, ඉතා මැනැවැ වහන්ස, ඉතා මැනැවැ, වහන්ස, යම් පරිදි … දෙසනලද ද. වහන්ස, තෙල මම භාග්‍යවතුන්වහන්සේ සරණ යෙමි. ධර්‍මය හා බික්සඟුනුදු සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබෙම්වා. උපසම්පත් ලැබෙම්ව’යි කී.
සේනිය, අන්‍යතීර්‍ත්‍ථක වූ යමෙක් මෙ සස්නෙහි පැවිදි උපසම්පත් රුස්නේ නම් හෙ සාරමසක් මුළුල්ලෙහි පිරිවෙස් පුරයි. සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති භික්‍ෂූහු (ඔහු) භික්‍ෂුභාවයට පැවැදි උපසපන් කෙරෙති. එතෙකුදු වත් මෙහි ලා මා විසින් පුද්ගලනානාත්‍වය දන්නා ලදැ’යි. වහන්ස, ඉදින් අන්‍යතීර්‍ත්‍ථක වූවාහු මෙ සස්නෙහි පැවිදි උපසම්පත් කැමැති වැ සාරමසක් කල් පිරිවෙස් පුරත් ද, සාරමසක්හුගේ ඇවෑමෙන් සිත්ගත් භික්‍ෂූහු (ඔහු) භික්‍ෂුභාව පිණිස පැවිදි උපසපන් කෙරෙත් ද, මම සතර හවුරුද්දක් පිරිවෙස් පුරන්නෙමි. සතර හවුරුද්දක් ඇවෑමෙන් සිත්ගත් භික්‍ෂූහු (මා) භික්‍ෂුභාවය පිණිස පැවිදි උපසපන් කෙරෙත් වා’යි. කුක්කුරවතික සේනිය නුවට භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ලද, උපසම්පත් ලදි. උපසම්පත් ලද නොබෝකල් ඇති ආයුෂ්මත් සේනිය එකලා වූයේ (වස්තු කාම ක්ලේශකාමයෙන් ) වෙන් වූයේ (කමටහන්හි සිහි එළවමින්) අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇති වැ (කායජීවිත නිරපේක්‍ෂ වැ) හරනලද ආත්මභාව ඇති වැ වාස කෙරෙමින් නොබෝකලෙකින් මැ යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සසුන් වදිත් ද, එ අනුත්තර වූ, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තෙමේ අභිඥායෙන් සාක්‍ෂාත් කොට උපයා වාස කෙළේ යි. ජාතිය ක්‍ෂය වූ, බඹසර වැස නිමවන ලදි, කරණී කරන ලද, මෙ අර්‍හත්ඵලය පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’යි දත්තේ ය. ආයුෂ්මත් සේනිය වැළිත් රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් වී.
සත්වැනි කුක්කුරවතිය සූත්‍ර යි.
2. 1. 8.
අභයරාජ කුමාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි (බිම්බිසාර මහරජහු පිත්) අභය රාජකුමාර නිගණ්ඨ නාතපුත්‍රයා කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අභය රාජකුමාරයාහට නිගණ්ඨ නාතපුත්‍ර තෙල කී: “එව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණය කරව, අභය රජකුමරහු විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණ කරන ලදැ’යි මෙසේ තොප ගේ කල්‍යාණ වූ යසගොස උස් ව නැඟේ” යයි. වහන්ස, මම මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට කිසෙයින් වාදාරෝපණය කෙරෙම් දැ’යි.
එව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයා කරා එළැඹ ශ්‍රමණ ගෞතමයන්හට මෙසේ කියව. “වහන්ස, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහු දැ”යි , ඉදින් තොප විසින් ශ්‍රමණ ගෞතම මෙසේ පුළුවුස්නා ලදුයේ ‘රාජකුමාරය, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහ’යි මෙසේ ප්‍රකාශ කෙරේ නම් තෙපි ඔහුට මෙසේ කියව, ‘වහන්ස, එකල්හි පුහුදුන් පුඟුල්හු හා තොප ගේ නානාකරණය කිමෙක් ද? පුහුදුන් පුඟුල් ද යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, ඒ වචනය කියන්නේ යැ’යි යළි ඉදින් ශ්‍රමණ ගෞතම තොප විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද, රාජ කුමාරය, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ නම්, තථාගතයෝ ඒ වචනය නො කියන්නාහ’යි. තෙපි ඔහුට මෙසේ කියව: “වහන්ස, එකල්හි තොප විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (බුදුදහසුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැයි කුමක් හෙයින් දේවදත්ත පවසනලදුයේ ද? තවද තොප ගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේවී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්නය පුළුවුස්නා ලදුයේ වමාරනට හෝ ගළනට හෝ නො මැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු යසඟළුවෙක් යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට හෝ නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි. ගළනට නො මැ හැකි වෙයි.
වහන්ස, එසේ යැ’යි අභයරාජකුමාර නුවට නතපුත්හට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නුවට නතපුත්හු සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් අභය රාජකුමාරහට හිරු බලා තෙල සිත් වී: අද භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණ පිණිස කල් නො වෙයි. දැන් මම සෙට සිය නිවෙසෙහි දී භාග්‍යවතුන් වහන්සේට වාදාරෝපණ කෙරෙමි’යි. භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ, වහන්ස, භාග්‍යවතුන්
වහන්සේ සෙට තමා සිවු වැනි වැ මාගේ බත ඉවසන සේක්වා’යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේගේ ඉවසුම් දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එරැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙන අභයරාජකුමාරයාගේ නිවෙස්න කරා වැඩියහ. වැඩ, පැන්වූ අස්නෙහි හුන්හ. එසඳ අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතපාලී යැ. මොනොවට පවරාලී යැ. එසඳ අභයරාජකුමාර වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙතැ එක්තරා මිටිඅස් නක් ගෙන එකත්පසෙක හින. එකත්පසෙක හුන් අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ.
වහන්ස, තථාගතයන් වහන්සේ යම් බඳු වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ, නම් ඒ වචන වදාරනසේක් ද? රාජකුමාරය, මෙ කරුණෙහි ලා ඒකාන්තයෙන් විසඳුම් නැති. වහන්ස, මෙ කරුණෙහි ලා නුවටහු නටහ යි. රාජ කුමාරය, කවර හෙයෙකින් තෝ මෙසේ කියහි? ‘වහන්ස, නුවටහු මෙහි දී නටහ’යි. වහන්ස, මම නුවට නතපුත් කරා එළැඹියෙමි. එළැඹ නුවට නතපුත්හු සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. වහන්ස, එකත්පසෙකැ හුන් මට නුවට නතපුත් තෙල කී: රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම් හට වාදාරෝපණ කරව. එසේ කළ කල ‘අභයරාජකුමාරයා විසින් මෙ බඳු මහ ඉදුහ ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට වාදාරෝපණ කරන ලදැ’යි තාගේ කල්‍යාණ කීර්තිඝෝෂා උස් වැ නැඟී යයි. වහන්ස, මෙසේ කී කලැ මම නුවට නතපුත්හට තෙල කීමි: ‘වහන්ස, මම මෙ බඳු මහත් ඍද්ධි ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කිසෙයින් නම් වාදාරෝපණ කෙරෙම් දැ?’යි රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම්හු කරා එළැඹෙව. එළැඹ මෙසේ කියව: ‘වහන්ස, තථාගතයන් වහන්සේ මෙරමාහට අප්‍රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන වදාරන දෑ දැ’යි. ඉදින් තා විසින් මහණ ගොයුම් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද: රාජකුමාරය, මෙරමාහට අප්‍රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන තථාගතයන් වහන්සේ වදාරන දෑ යයි. ප්‍රකාශ කෙරේ ද, තෝ එ මහණගොයුම්හට මෙසේ කියන්නෙහි: ‘වහන්ස, එසේ වී නම් පෘතග්ජනයා හා තොප වහන්සේගේ නානාත්‍ව කිම? යම් හෙයෙකින් පෘථග්ජන තෙමේත් යම් වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ නම්, ඒ වචන කියන්නේ ද’ එහෙයිනැයි. ඉදින් වැළිත් මහණ ගොයුම් තා විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද: ‘රාජකුමාරය, යම් වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ නම් තථාගතයන් වහන්සේ ඒ වචන නො වදාරන දෑ යැ’යි. එ මහණ ගොයුම්හට තෝ මෙසේ කියනෙහි: “වහන්ස, එසේ වී නම් තොප වහන්සේ විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (දහසක් බුදුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැ’යි කුමක් හෙයින් දේවදත්ත පවසන ලදුයේ ද? තවද තොප වහන්සේගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේ වී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්නය පුළුවුස්නා ලදුයේ වමාරන්නට හෝ ගළනට හෝ නො වැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු අයොසිඞ‍්ඝාටකයෙක් (යසඟළුවෙක්) යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි, ගළනට නො මැ හැකි වේ” යයි.
එසමයෙහි උඩුහුරු වැ හෝනා ළදරු කුමරෙක් අභය රාජකුමාරයාගේ ඇකයෙහි හුන්නේ වෙයි. එසඳ බුදුහු අභය රාජකුමාරහට තෙල වදාළහ: “රාජකුමාරයෙනි, ඒ කිමැයි හඟනාව. ඉදින් මෙ කුමර තොපගේ හෝ ප්‍රමාදය නිසා කිරිමවගේ හෝ ප්‍රමාදය නිසා කාෂ්ටයක් හෝ කැබිලිත්තක් හෝ මුවෙහි තබන්නේ නම් ඕහට කුමක් කරන්නෙහි දැ? යි. වහන්ස, ඔහුගේ එය බැහැර ලන්නෙමි. ඉදින් වහන්ස, මම පළමු පියොවින් මැ බැහැර ලන්නට නො හැකි වීම් නම් වමතින් හිස දැඩි කොට ගෙන දකුණතින් ඇඟිලි වක් කොටගෙන ලෙහෙ සහිත වැ ද බැහැර ලන්නෙමි. ඒ කවර හෙයින යත්: වහන්ස, මට කුමරු කෙරෙහි අනුකම්පයෙක් ඇත. එහෙයිනැ’යි. එසෙයින් මැ රාජකුමාරයෙනි, තථාගතයෝ යම් වචනයක් ‘අභූත’ යැ ‘අතථ්‍ය,’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය නො කියති. තථාගතයෝ යම් වචනයකුත් ‘භූත,’ යැ ‘තථ්‍ය,’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය ද නො කියති. තථාගතයෝ වැළිත් යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අර්‍ත්‍ථ සංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද එහිලා තථාගතයෝ ඒ වදන් විවරණ කරන්නට කල්දන්නාහු වෙති. තථාගතයෝ යම් වචනයක් ‘අභූත’ යැ ‘අතථ්‍ය’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද තථාගතයෝ ඒ වචනය නො වදාරති. තථාගතයෝ යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අනර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද, තථාගතයෝ ඒ වචනය ද නො කියති. තවද තථාගතයෝ යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අර්‍ත්‍ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද එහි ලා තථාගතයෝ ඒ වචනය විවරණකරන්නට කල් දන්නාහු වෙති. ඒ කවර හෙයින යත්: රාජකුමාරය, තථාගතයනට සත්ත්‍වයන් කෙරෙහි අනුකම්පා ඇති හෙයිනි.
වහන්ස, යම් ක්‍ෂත්‍රිය පණ්ඩිත කෙනෙක් ද බ්‍රාහ්මණ පණ්ඩිත කෙනෙක් ද ගෘහපති පණ්ඩිත කෙනෙක් ද ශ්‍රමණ පණ්ඩිත කෙනෙක් ද ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් කරා එළඹ පුළුවුස්නාහු ද, වහන්ස, යම් කෙනෙක් මා කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් ඔවුනට මම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ විසඳන්නෙමි’යි භාග්‍යවතුන් විසින් පෙර මැ තෙල කරුණ සිතින් සලකන ලද්දේ වේ ද නොහොත් තැනට උපන් නුවණින් තෙල තථාගතයනට වටහා දැ? යි: රාජකුමාරය, එසේ වී නම් මෙහි ලා තොප මැ පුළුවුස්මි. තොපට යම්සේ හැඟේ නම් ඒ පරිද්දෙන් එය පවසව. රාජකුමාරය, එ කිමැ’යි හඟනාව. තෙපි රථයාගේ අවයවයන් පිළිබඳ වැ නිපුණ වූවහු නො? යි. එසේ යැ වහන්ස, මම් රථයාගේ අවයව පිළිබඳ වැ නිපුණයෙමි යි. රාජකුමාරය, එ කිමැ’යි හඟනාව. යම් කෙනෙක් තොප කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් මේ රථයාගේ කිනම් අවයවයෙක් දැ? යි. යම් කෙනෙක් මා කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් ඔවුනට මම් මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පවසන්නෙමි’යි තොප විසින් තෙල පෙර මැ සිතින් විමසන ලද වන්නේ ද, නොහොත් තෙල තැනට උපන් නුවණින් මැ එය තොපට වැටහෙන්නේ දැ? යි. වහන්ස, මම් වනාහි ‘රථිකයෙකැ’ යි ප්‍රකටයෙමි. රථයාගේ අංගප්‍රත්‍යංග පිළිබඳ වැ නිපුණයෙමි. මා විසින් රථයාගේ සියලු අවයව මොනොවට දන්නා ලද. තැනට උපන් නුවණින් මැ තෙල මට වැටහෙන්නේ යයි.
රාජකුමාරය, එසෙයින් මැ යම් ක්‍ෂිත්‍රිය පණ්ඩිතයෝ ද බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද ගෘහපති පණ්ඩිතයෝ ද ශ්‍රමණ පණ්ඩිතයෝ ද ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් කරා එළඹ පුළුවුස්නාහු නම් තෙල ස්ථානෝත්පත්තිඥානයෙන් මැ තථාගතයනට වටහයි. එ කවර හෙයින යත්: රාජකුමාරය, යම් ධර්‍ම ධාතුවක් මොනොවට ප්‍රතිවේධ කළ හෙයින් තෙල එක් ස්ථානෝත්පත්තිඥානයෙන් මැ තථාගතයනට වටහා ද තථාගතයන් විසින් ඒ ධර්‍මස්වභාවය මොනොවට ප්‍රතිවේධ කරන ලදැ යි.
මෙසේ වදාළ කල්හි අභය රාජකුමාර භාග්‍යවතුන් වහන්සේ ට තෙල කී: ‘වහන්ස, ඉතා මැනැවැ ! ‘වහන්ස, ඉතා මැනැවැ ... අද පටන් කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට මා ධරනසේක් ව’ යි.
අට වැනි අභයරාජකුමාර සූත්‍රය යි.
2. 1. 9.
බහුවේදනීය සූත්‍රය
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටු ආයුෂ්මත් (පණ්ඩිත) උදායි තෙරුන් කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ආයුෂ්මත් උදායි තෙරුන්ට තෙල සැලකළේ:
ආයුෂ්මත් උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් වේදනා වදාරනලද්දාහු දැ’යි. ථපතිය, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරන ලද්දාහ: සුඛවේදනා යැ, දුඃඛවේදනා යැ, අදුක්ඛමසුඛවෙදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනා වදාරන ලදැ යි. වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරනලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලද. සුඛවේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛවේදනාවක් ඇද්ද, තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛයෙහි ලා වදාරන ලද්දී යැ.
දෙවනවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහට තෙල කීහ: ථපතිය, භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් නො වදාරන ලද, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරන ලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යැ, අදුක්ඛමසුඛවෙදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනාවෝ වදාරනලදහ යි. දෙවනවට ද පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට තෙල කී: ‘වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරනලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛ වේදනාවක් ඇද්ද, තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛයෙහි ලා වදාරන ලද්දී යි.
තෙවනවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ‍්චකංග ථපතිහට තෙල කීහ: ථපතිය, භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් නො වදාරන ලදයැ, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරනලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යැ, අදුක්ඛමසුඛ වේදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනාවෝ වදාරන ලදහ යි. තෙවනවට ද පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට තෙල කී: වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරන ලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලදහ: සුඛ වේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛවේදනාවක් ඇද්ද තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛවේදනායෙහි ලා වදාරන ලද්දී යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ‍්චකංග ථපතිහට හඟවාලන්නට නො හැකි වූහ. යළි පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට හඟවාලන්නට නොහැකි වී.
ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පඤ‍්චකංග ථපති සමග ආයුෂ්මත් උදායි තෙරුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පඤ‍්චකංග ථපති සමග ආයුෂ්මත් උදායි තෙරුන්ගේ යම් පමණ කථාසල්ලාපයෙක් වීද ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. මෙසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල වදාළහ.
ආනන්‍දය, පඤ‍්චකංග ථපති උදායි මහණහුගේ විද්‍යමාන වූ මැ පර්‍ය්‍යායදේශනාව සතුටින් නො පිළිගත්තේ යැ. උදායි මහණ පඤ‍්චකංග ථපතිහුගේ විද්‍යමාන වූ මැ පර්‍ය්‍යායදේශනාව සතුටින් නො පිළිගති. ආනන්‍දය, මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ දෙදෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ තුන් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ පස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ සදෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ අටළොස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ සතිස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ එක්සිය අට දෙනෙක් ද දෙසන ලදහ. ආනන්‍දය, මෙසේ මා විසින් ධර්‍මය පර්‍ය්‍යාය දේශිත වෙයි. ආනන්‍දය, මා විසින් ධර්‍මය මෙසේ පර්‍ය්‍යාය දේශිත කල්හි යම් කෙනෙක් උනුන්ගේ සුභාෂිතය මනා වචනය නොඅනුදනිත් ද, මොනොවට නො හඟිත් ද අනුමෙවෙනි නො කෙරෙත් ද ඔවුනට තෙල කැමැති වියැයුතු ‘හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ හටගත් විවාද ඇති වැ උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙතී’ කියා යි. ආනන්‍දය, මා විසින් මෙසේ ධර්‍මය මෙසේ පර්‍ය්‍යායදේශිත වෙයි. ආනන්‍දය, මා විසින් ධර්‍මය මෙසේ පර්‍ය්‍යායදේශිත කල්හි යම් කෙනෙක් උනුන්ගේ සුභාෂිතය උනුන්ගේ මනා වචනය මොනොවට අනුදනිත් ද, මොනොවට හඟිත් ද මොනොවට අනුමෙවෙනි කෙරෙත් ද ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘සමඟ වැ සම්මොදමාන වැ විවාද රහිත වැ ක්‍ෂීරෝදක වැනි වැ උනුන් ප්‍රිය ඇසින් මොනොවට බලන්නාහු වාස කෙරෙතී’ කියා යි.
ආනන්‍දය, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවියයුතු වූ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ ... ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥේය ... වූ රසයෝ යැ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවියයුතු වූ කායවිඥේය ස්පර්‍ශයෝ යි. ආනන්‍දය, මේ පඤ්චකාමගුණයෝ යි. ආනන්‍දය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් සෞමනස්‍යයෙක් උපදනේ වේ ද මේ ‘කාමසුඛ’ යැ යි කියනු ලැබේ.
ආනන්‍දය, යමෙක් ‘සත්ත්‍වයෝ තෙල පරම කොට සිටුනා සුඛ සෞමනස්‍යය විඳිති’යි මෙසේ බෙණේ ද ඔහුගේ මේ වචනය නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරේ. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද ඒ අන්‍ය සුඛය නම් මේ යැ.
ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ‘සත්ත්‍වයෝ තෙල පරම කොට සිටුනා සුඛ සෞමනස්‍යය විඳිති’යි. ඔහුගේ මෙ බස නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිත පිළිබඳ එකඟ බව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ වනාහි තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ ප්‍රීති විරාගයෙනුදු උපේක්‍ෂක වැ ද සිහි ඇති වැ ද සම්ප්‍රඥාන ඇති වැ ද වාස කෙරෙයි. නාම කයින් සුඛය ද විඳි. ආර්‍ය්‍යයෝ යම් ඒ සුඛයක් ගෙන ‘උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛ විහරණ ඇතියෙකැ’ යි කියත් ද ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වේ.
ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ප්‍රහාණයෙනුදු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැල මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ‍්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත සිහි පිරිසුදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා සමතික්‍රම හේතුවින් ප්‍රතිඝසංඥා අස්තඞ‍්ගම හේතුවින් නානාත්‍වසංඥා අමනසිකාර හේතුවින් ‘ආකාශය අනන්තය යැ’ යි ආකාසානඤ්‍චායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්‍චායතනය සමතික්‍රමණය කොට ‘විඥානය අනන්තය යැ’ යි විඤ්ඤාණඤ්‍චායතනය උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්‍චායතනය සමතික්‍රමණය කොට ‘කිසිත් නැති’ යි ආකිඤ්‍චඤ්ඤායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්‍දය, මෙ සස්නෙහි මහණ ආකිඤ්‍චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤා නාසඤ්ඤායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් සුඛය වෙයි.
ආනන්‍දය, යමෙක් මෙසේ බෙණේ ද ‘සත්ත්‍වයෝ තෙල නේවසඤ්ඤානාසඤ්ඤායතනය සුඛ පරම කොට සුඛසෞමනස්‍ය විඳිති’යි ඔහුගේ මෙ බස නො අනුදන්මි. ඒකවර හෙයින? ආනන්‍දය, තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛයෙක් ඇත. ආනන්‍දය, තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රමණය කොට සඤ්ඤාවේදයිත නිරෝධය උපයා වාස කෙරෙයි. ආනන්‍දය, මේ සුඛය වනාහි තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.
ආනන්‍දය, තෙල කරුණෙක් ඇත. යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ මෙසේ බෙණෙත් ද: ‘මහණ ගොයුම් සඤ්ඤාවේදයිත නිරෝධය කියයි. එ ද සුඛයෙහි ලා පනවයි. ඒ මේ කරුණ කිම වේ ද? ඒ මේ කරුණ කෙසේ වේ දැ? යි. ආනන්‍දය, මෙසේ බණන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියැයුතු වෙති: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුඛවේදනාවන් සඳහා සුඛයෙහි ලා නො පනවත්. ඇවැත්නි, වැළිත් යම් යම් තැනෙක සුඛය ලැබේ ද යම් යම් තැනෙක ඒ ඒ සුඛය වේ ද ඒ ඒ සුඛය තථාගතයන් වහන්සේ නිදුක් සුඛයෙහි ලා පනවති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
නව වැනි බහුවෙදනිය සූත්‍රයැ යි.
2. 1. 10.
අපණ්ණක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි (අතුරිත චාරිකාවෙන්) සැරිසරන සේක. මහත් බික්සඟුන් සමග කොසොල් දනවු වැසියන්ගේ සාලා නම් බමුණුගම කරා වැඩිසේක. සාලා ගම් වැසි බමුණු ගැහැවියෝ (මෙසේ) ඇසුහූ මැ යැ: භවත්නි සැහැකුලයෙන් පැවිදි වූ සැහැකුල පුත් මහණ ගොයුම්හු කොසොල් දනවියෙහි සැරිසරන සේක් මහත් බික් සඟුන් සමග සාලා බමුණුගමට පැමිණියහ. ඒ භගවත් මහණ ගොයුම්හුගේ මෙසේ කල්‍යාණ වූ කීර්තිශබ්දයෙක් උස් වැ නැඟිණ; (කෙසේ යැ:) මේ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථී දෑ යැ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’යි. ඒ මහණ ගොයුම්හු දෙවියන් සියො මරුන් සියො බඹුන් සියො මෙලොව තදන්‍ය දෙවිමිනිසුන් සියො ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට දනිත්. ඔබ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්‍ණ වූ චතුස්සත්‍ය ධර්‍මය දෙසත්. පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති’යි කියායි. එබඳු රහතුන්ගේ දර්‍ශනය මැනැවැ’යි.
එසඳ සාලා ගම්වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සම්මෝදනයට නිසි කාලාන්තරයෙහි සිහි කරනට නිසි කථාව කොට නිමවා එකත්පසෙකැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා එකත්පසෙකැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි නම්ගොත් අස්වා එකත් පසෙක හුන්හ. කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත් පසෙකැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙකැ හුන් සාලා ගම්වැසි බමුණුගැහැවියනට තෙල වදාළසේක: ගැහැවියෙනි, යම් ශාස්තෘවක්හු කෙරෙහි තොප විසින් ආකාරවත්, (සහේතුක) ශ්‍රද්ධා ලබන ලද ද එබඳු මනාප වූ යම් මැ ශාස්තෘ කෙනෙක් ඇද්දැ’යි. වහන්ස, යම් ශාස්තෘවක්හු කෙරෙහි අප විසින් ආකාරවත් ශ්‍රද්ධා ලබන ලද ද එබඳු මනවඩන යම් මැ ශාස්තෘ කෙනෙක් අපට නැතැ’යි. ගැහැවියෙනි, මනවඩන ශාස්තෘ කෙනකුන් නො ලබන තොප විසින් මේ අපණ්ණක ධර්‍මය මොනොවට ගන්නා ලද්දේ මොනොවට සමාදන් කරන ලද්දේ වේ ද, හේ තොපට දීර්‍ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වේ යයි.
ගැහැවියෙනි, අපණ්ණක දහම කවරේ යැ යත්: ගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත: ‘දුන් දැයෙහි විපාක නැත. යාග විපාක නැත. හෝමයෙහි විපාක නැත. සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොවෙක් නැත, පරලොවෙක් නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න එබඳු මහණ-බමුණු කෙනෙක් නැත කියා යි. ගැහැවියෙනි,
ඒ මහණ-බමුණන් අතුරෙන් ඇතැම් මහණ-බමුණු කෙනෙක් ඍජු විරුද්ධවාද ඇත්තාහු ද ඔහු මෙසේ කියත්: දානවිපාක ඇත, යාග විපාක ඇත, හෝමවිපාක ඇත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙලෝ පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්‍වයෝ ඇත, මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න මහණ-බමුණෝ ඇත’ කියායි. ගහවියෙනි, ඒ කෙසේ හඟනාව? මේ මහණ-බමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? වහන්ස එසේ යැ.
ගැහැවියෙනි, එහිලා මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ-බමුණු කෙනෙක් ඇද්ද (කෙබඳු වාද යැ යත්:) දානවිපාක නැත, යාග විපාක නැත, හෝම විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, මෙලොව හා පරලොව තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ-බමුණෝ නැත යන වාද යි. උනට තෙල කැමැති වියයුතු යි: යම් මේ කාය සුචරිතයෙක්, වාක් සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුසල් දහම් හැරපියා යම් මේ කාය දුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනඃදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුසල් දහම් සමාදාන වශයෙන් ගෙන පවත්නාහ, යනු යි. ඒ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනව ලමු බව කෙලෙසීම නො දක්නාහ කුශලධර්‍මයන්ගේ ද අකුශලයෙන් නික්මීමෙහි අනුසස් ද එහි ව්‍යවදාන පක්‍ෂය ද නො දක්නාහ. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි ඔහුට දෘෂ්ටියෙක් වෙයි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ මිථ්‍යා සංකල්පයෙක. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි බෙණෙයි. ඒ ඔහුගේ මිථ්‍යාවාචා යැ. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි කියා ද (එහෙයින්) පරලොව දන්නා යම් රහත් කෙනෙක් ඇද්ද උනට මෙ තෙම විරුද්ධවාද කෙරෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි මෙරමා හඟවා ද, එහෙයින් ඒ මොහුගේ අභූතධර්‍මසංඥාප්ති වෙයි. ඒ අභූත ධර්‍මසංඥාපනයෙන් තමා ඔසවයි, මෙරමා හෙලා දකී. මෙසේ කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වෙයි, දුශ්ශීලභාවය තුළම සිටියේ වෙයි. මෙ මිථ්‍යාදෘෂ්ටි ද මිථ්‍යාසංකල්ප මිථ්‍යාවාචා ආර්‍ය්‍යයනට ප්‍රත්‍යනීක හා අභූතධර්‍ම සංඥාපන ආත්මොත්කර්‍ෂණ පරවම්භන දැ යි මෙසේ මොහුට මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් මේ අනේක පාපක අකුශලධර්‍මයෝ පහළ වෙත්.
ගැහැවියෙනි, එහිලා විඥ පුරුෂ තෙමේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. ඉදින් පරලොව නැත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කායභේදයෙන් මතු තමා ස්වස්ති කෙරෙයි. ඉදින් පරලොව ඇත් නම් මෙසේ මේ පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි. පරලෝ වේවයි කීහු නම් ඒ භවත් මහණ බමුණන්ගේ වචන සබා වෙයි. වැළිත් මේ භවත් පුරුෂ පුද්ගල ඉහාත්මයෙහි මැ ගර්‍හණීය වෙයි. පුරුෂ පුද්ගල දුශ්ශීල යැ මිථ්‍යාදෘෂ්ටික යැ නාස්තිකවාද ඇතියෙක කියා යි. ඉදින් පරලෝ ඇත්තේ මැ නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලහට දෙලොව මැ පරාජයග්‍රාහ වෙයි: යම් හෙයෙකින් ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගර්‍හණීය වේ ද, යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ ද එහෙයිනි. මෙසේ ඔහු විසින් මේ අපණ්ණක ධර්‍මය වරදවා ගන්නා ලද්දේ නපුරු කොට ගන්නා ලද්දේ සමාදින්න වූයේ එක් කොටසක් සිය වාදය බැසගෙන සිටී. කුසල් කරුණ හැරපිය යි.
ගැහැවියෙනි, ඒ දෘෂ්ටි අතර යම් මැ මහණ-බමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු නම්: ‘දානයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත. හෝම විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, මැරී උපදින සත්ත්‍වයෝ ඇත, මෙලෝ පරලෝ තමන් විසින් මොනොවට දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න මහණ-බමුණෝ ඇතැ’යි. ඔවුන් විසින් තෙලෙ කැමැති වියැයුතු: ‘යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද මේ තුන් අකුසල් දහම් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මේ තුන් කුසල් දහම් සමාදාන වශයෙන් ගෙන වැටෙති’ කියා යි. ඒ කවර හෙයින යත්: ඒ භවත් මහණ බමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනවය ලාමක භාවය සංක්ලේශය, කුශලධර්‍මයන්ගේ අකුශලයෙන් නික්මීමෙහි අනිසංසය ව්‍යවදානපක්‍ෂය දකිත් මැ යි, විද්‍යමාන වූ මැ පරලොව ගෙන පරලෝ ඇති’යි ඕහට දෘෂ්ටි වෙයි. ඒ දෘෂ්ටිය ඕහට සම්‍යග්දෘෂ්ටි වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි සංකල්පනා කෙරෙයි. ඒ ඕහට සම්‍යක් සංකල්පනා වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි බස් බෙණෙ ද ඒ බස ඕහට සම්‍යග් වාචා වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි කියා ද පරලොව දන්නා යම් රහත් කෙනෙක් ඇත් නම් ඔවුනට මෙ තෙම විරුද්ධවාද නො කෙරෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන මෙරමා හඟවා ද ඒ සංඥප්තිය ඕහට භූතධර්‍ම සංඥාපනා වෙයි. ඒ භූතධර්‍මසංඥාපනායෙන් තමා මැ හුවයි. මෙරමා නො හෙළයි. මෙසේ කැලැ මැ ඔහුගේ දුශ්ශීලභාවය ප්‍රහීණ වෙයි. සුශීලභාවය එළැඹ සිටියේ වෙයි. මේ සම්‍යග්දෘෂ්ටිය සම්‍යක් සංකල්පය සම්‍යග් වචනය ආර්‍ය්‍යයන්ගේ අප්ච්චනීකතා සංඛ්‍යාත භූතධර්‍ම සංඥප්ති වෙයි. ආත්මොත්කර්‍ෂණා නො වෙයි. පරවම්භනා නො වෙයි. මෙසේ ඕහට සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් මේ අනේක කුශල ධර්‍මයෝ පහළ වෙත්.
ගැහැවියෙනි, ඒ ලබ්ධීන් අතුරෙහි ලා විඥ පුරුෂ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. ඉදින් පරලෝ ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගල කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළැඹෙයි, පරලොව වේවායි කියත් නම් ඒ භවත් මහණ බමුණන්ගේ වචන සබා වෙයි. තවද මේ භවත් පුරුෂ පුද්ගල විඥයන් විසින් පැසැසියයුතු වෙයි: සිල්වත් පුරුෂ පුද්ගලයෙක, සම්‍යග් දෘෂ්ටිකයෙක, ඉදින් පරලෝ ඇත්තේ මැ වේ නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයාහට දෙලොව මැ ජයග්‍රාහ වෙයි. යම් හෙයෙකින් මෙලොව මැ විඥයන් විසින් පැසැසියයුතු වේ ද, යම් හෙයෙකින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ ද එහෙයිනි. මෙසේ ඔහු විසින් මේ අවිරුද්ධ ධර්‍මය මොනොවට ගන්නා ලද්දේ මොනොවට සමාදන් කෙළේ (සකවාද පරවාද සංඛ්‍යාත) උභයාන්ත බැසගෙන සිටුනේ යැ අකුශල ස්ථානය හරනේ යි.
ගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත: “(සියතින්) කරන්නාහට මෙරමා ලවා කරවන්නාහට මෙරමාගේ අත්පා ආදිය සිඳින්නාහට සිඳුවන්නාහට දඬින් පෙළන්නාහට පෙළවන්නාහට ශෝක කරන්නාහට ශෝක කරවන්නාහට ක්ලාන්ත කරන්නාහට ක්ලාන්ත කරවන්නාහට කම්පන කරන්නාහට කම්පන කරවන්නාහට ප්‍රාණවධ කරන්නාහට කරවන්නාහට අයිනාදන් කරන්නාහට ගෘහසන්‍ධි සිඳුනාහට මහාවිලෝප කරන්නාහට ඒකාගාරික (එක් ගෙයක් වොලොගන්නා) කම් කරන්නාහට කඩපලා සොරකම් කරන්නාහට වීරඹුසොරකම් කරන්නාහට මුසවා
බණනුවහට පාපයෙක් නැත. ‘පව් කරමි’ යන සංඥා ඇති වැ කරන්නාහට ද පව් නො කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නමුදු එ හේතුවින් පාපයෙක් නැත. පාපයාගේ ඊමෙක් නැත. ඉදින් මරමින් මරවමින් අත්පාආදිය සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පාපයෙක් නැත. පාපයාගේ ඊමෙක් නැත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පුණ්‍යයෙක් නැත පුණ්‍යයාගේ ඊමෙක් නැත. දානයෙන් ඉන්‍ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පුණ්‍යයෙක් නැත. පුණ්‍යයාගේ ඊමෙක් නැත. ගැහැවියෙනි, ඒ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණ බමුණු කෙනෙක් ඍජුවිරුද්ධවාද ඇත්තාහ. ඔහු මෙසේ කීහ: කරන්නාහට කරවන්නාහට අත්පා ආදිය සිඳින්නාට සිඳුවන්නාට සිඳුවන්නාහට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාට කම්පන කරන්නාට කම්පන කරවන්නාට ප්‍රාණවධ කරන්නාට අයිනාදන් කරන්නාට ගෘහසන්‍ධි සිඳින්නාට මහාවිලෝප කරන්නාට ඒකාගාරිකකම් කරන්නාට කඬපලාසොරකම් සිටුනාහට වීරඹුසොරකම් කරන්නාට මුසවා කියන්නාට පව් ඇත. කරන්නාට පව් කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නම් එ හේතුවින් පව් ඇත. පාපයාගේ ඊමෙක් ඇත. ඉදින් ප්‍රාණීන් නසමින් නස්වමින් අත්පා ආදිය සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පව් ඇත. පාපයාගේ ඊමෙක් ඇත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පින් ඇත. පුණ්‍යාගම ඇත. දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් ඇත. පුණ්‍යාගම ඇතැ’යි. ගැහැවියෙනි, ඒ කිමැ’යි හඟනාව? මෙ මහණබමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? යි. එසේ යැ වහන්ස.
ගැහැවියෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “කරන්නාට කරවන්නාට (අත්පා ආදිය) සිඳින්නාට සිඳුවන්නාට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාහට කම්පන කරන්නාට කම්පන කරවන්නාහට ප්‍රාණවධ කරන්නාට කරවන්නාහට අයිනාදන් කරන්නාට කරවන්නාහට ගෘහසන්‍ධි සිඳින්නාට මහාවිලෝප කරන්නාට ඒකාගාරික කම් කරන්නාට කඬපලාසොරකම්හි සිටුනාහට පරඹුවන් කරා යන්නාට මුසවා බණන්නාට පව් නැත. කරන්නාට පව් නො කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නමුදු එ හේතුවින් පව් නැත. පාපගමයෙක් නැත. ඉදින් ප්‍රාණ වධ කරමින් කරවමින් අත්පා සිඳිමින් සිඳුවමින් (දඬින්) පෙළෙමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යන්නේ නමුදු ඒ හේතුවින් පව් නැත. පාපගම නැත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් එ ගඞ්ගායෙහි උතුරුතෙරට යන්නේ නමුදු ඒ හේතුවින් පින් නැත පුණ්‍යාගම නැත. දානයෙන් ඉන්‍ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් නැත. පුණ්‍යාගම නැතැ’යි. ඔවුන් විසින් තෙල කැමැති වියැයුතු: “යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද, මෙ තුන් කුශලධර්‍මයන් තබා යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝ
දුශ්චරිතයෙක් ඇද්ද, මෙ තුන් අකුශලධර්‍මයන් සමාදාන වශයෙන් ගෙන වැටෙති’යි කියා යි. කවර හෙයින යත්: භවත් මහණබමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනවය ලමු බව කෙලෙසීම නො දක්නාහ. කුශල ධර්‍මයන්ගේ අනුසස්ද අකුශලයෙන් නිෂ්ක්‍රමණයෙහි අනුසස් ද ව්‍යවදාන පක්‍ෂය ද, නො දක්නාහ. එහෙයිනි. ඇත්තා වූ ම ක්‍රියාව ‘ක්‍රියා නැති’ යි ඔහුට දෘෂ්ටි වෙයි. ඔහුගේ එ දෘෂ්ටිය ඔහුට මිථ්‍යාදෘෂ්ටි වෙයි. ඇත්තා වූ මැ ක්‍රියා ‘ක්‍රියා නැති’යි සංකල්පනා කෙරෙයි. හේ ඔහුට මිථ්‍යාසංකල්ප වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුට මිථ්‍යාවාචා වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි කියයි. යම් රහත් කෙනෙක් ක්‍රියාවාද ඇති වෙත් ද ඔවුනට මෙ තෙම විරුද්ධකම් කෙරෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි මෙරමා ලවා හඟවයි. හේ, මොහුගේ අසද්ධර්‍මසංඥප්ති වෙයි. එ අසද්ධර්‍මසංඥප්තියෙන් තමා හුවයි. මෙරමා හෙළයි. මෙසේ කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වෙයි. දුශ්ශීලභාවය එළඹසිටියේ වෙයි. මේ මිථ්‍යාදෘෂ්ටිය ද මිථ්‍යාසංකල්පය ද මිථ්‍යාවාචා ද ආර්‍ය්‍යයනට ප්‍රත්‍යනීක බව ද අසද්ධර්‍මසංඥප්ති ය ද ආත්මොත්කර්‍ෂණය ද පරවම්භනාව දැ යි මේ අනේක පාපධර්‍මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙති.
ගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් ක්‍රියා නැත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු තමා ස්වස්ථ කෙරෙයි. ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති නිරයට පැමිණෙයි. ක්‍රියාව නො වූයේ නමුදු එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය හෝ වේවා වැළිත් මේ භවත් පුරුෂ පුද්ගල ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගැරැහියැයුතු වෙයි. ‘පුරුෂ පුද්ගල දුශ්ශීල යැ මිථ්‍යාදෘෂ්ටික යැ අක්‍රියවාද ඇතියෙකැ’ යි කියා යි. ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගලයාහට මෙලෝ පරලෝ දෙක්හි මැ පරාජයග්‍රාහය වෙයි. යම් හෙයෙකින් ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගැරැහියැ යුතු වේ ද යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියේ ද, එහෙයිනි. මෙසේ මොහු විසින් මෙ අපණ්ණක ධර්‍මය වරදවා ගන්නා ලද්දේ සමාදාන වශයෙන් ගන්නා ලද්දේ එක් කොටසක් පැතිරැ ගෙන සිටී. කුශලය හැර පියයි.
ගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු ද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “(ප්‍රාණඝාතදිය) කරන්නාට කරවන්නාට (අත්පා ආදිය) සිඳින්නාට සිඳුවන්නාට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාට කම්පන කරන්නාට කම්පන කරවන්නාට ප්‍රාණවධ කරන්නාට කරවන්නාට අයිනාදන් කරන්නාට කරවන්නාට ගෘහසන්‍ධි සිඳින්නාට සිඳුවන්නාට මහාවිලෝප කරන්නාට කරවන්නාට ඒකාගාරික කම් කරන්නාට කරවන්නාහට කඬපලාසොරකම්හි සිටුනාහට පරඹුවන් කරා යන්නාට මුසවා බණන්නාට පව් ඇත. කරන්නාට පව් කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස් රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නම් එ හේතුවින් පව් ඇත. පාපාගම ඇත. ඉදින් මරමින් මරවමින් (අත්පා ආදිය) සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පව් ඇත. පාපාගම ඇත. ඉදින් (දන්) දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පින් ඇත. පුණ්‍යාගම ඇත. දානයෙන් ඉන්‍ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් ඇත. පුණ්‍යාගම ඇතැ” යි. ඔවුනට
තෙල කැමැති වියැයුතු: යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුශලධර්‍මයන් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃ සුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුශලධර්‍මයන් සමාදන් වැ වැටෙති’යි කියා යි. එ කවර හෙයින යත්: එ භවත් මහණබමුණෝ අකුශලධර්‍මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම දක්නාහ. කුශලධර්‍මයන්ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදාන (විශුද්ධි) පක්‍ෂය ද දක්නාහ. එහෙයිනි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’යි ඔහුට දෘෂ්ටි වෙයි. එ ඔහුගේ සම්‍යග් දෘෂ්ටි වෙයි, ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’ යි සංකල්පනා කෙරෙයි. එ ඔහුගේ සම්‍යක්සංකල්ප වෙයි. ඇත්තා වූ මැ ‘ක්‍රියා ඇති’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුගේ සම්‍යග්වචන වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’යි කියයි. යම් රහත් කෙනෙක් ක්‍රියාවා ද ඇති වෙත් ද ඔවුනට මෙ පුද්ගල විරුද්ධ කම් නො කෙරෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’ යි මෙරමා ලවා හඟවයි ඒ ඔහුගේ සද්ධර්‍මසංඥප්ති වෙයි. ඒ සද්ධර්‍මසංඥප්තියෙනුදු තමා නො හුවයි. මෙරමා නො හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ දුසිල්බව ප්‍රහීණ වෙයි. සුසිල් බව එළඹසිටියේ වෙයි. මෙ සම්‍යග්දෘෂ්ටි ද සම්‍යක්සංකල්ප ද සම්‍යග්වචන ද ආර්‍ය්‍යයනට අවිරුද්ධභාවය ද සද්ධර්‍මසංඥප්ති ද ආත්මොත්කර්‍ෂණ රහිත බව ද පරවම්භනා රහිත බව දැ යි මෙසේ මේ අනේක කුශල ධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙත්.
ගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට උපපත්ති විසින් පැමිණෙන්නේ යැ. එකත්නෙන් ක්‍රියා නො වේවා. ඒ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේවා. එතෙකුදු වත් මෙ භවත් පුරුෂපුද්ගල මෙ අත්බැව්හි මැ සිල්වත් පුරුෂපුද්ගලයෙකැ සම්‍යග්දෘෂ්ටි ඇතියෙකැ ක්‍රියාවාද ඇතියෙකැ’ යි නුවණැතියන් ගේ පැසැසුමට නිසි වෙයි. ඉදින් ක්‍රියා ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලහට දෙලොව්හි මැ ජයග්‍රාහ වෙයි: ‘මෙලෙව්හි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ යැ’ යන යමෙකුත් ඇද්ද ඒ දෙකයි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණකධර්‍මය ගන්නා ලද්දේ සමාදන් කරන ලද්දේ (සකවාද යැ පරවාද යැ යන) උභයාන්තය පැතිරැගෙන සිටියි. අකුශල කාරණ හැරපියයි.
ගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත: “සත්ත්‍වයන්ගේ සංක්ලේශයට (කෙලෙසීමට) හේතු නැත, ප්‍රත්‍ය නැත. අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතු නැත. ප්‍රත්‍ය නැත, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්‍වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂථාමයෙක් නැත පුරුෂපරාක්‍රමයෙක් නැත, හැම සත්හු හැම (ඒකින්‍ද්‍රියාදි) ප්‍රාණීහු හැම (අන්ඩකෝෂ වස්තිකෝෂගත) භූතයෝ හැම ජීවයෝ අවස වූවාහු අබල වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු නියතියෙන් සඞ්ගතියෙන් ස්වභාවයෙන් පරිණාමයට පැමිණියාහු අභිජාති සයෙකැ මැ සිට සුවදුක් විඳුති” යි. ගැහැවියෙනි, එ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණබමුණෝ ඍජු විරුද්ධවාද ඇත්තාහ. ඔහු මෙසේ කීහු: “සත්ත්‍වයන්ගේ සංක්ලේශයට හේතු ඇත, ප්‍රත්‍යය ඇත. හේතු ප්‍රත්‍යය ඇති වැ සත්ත්‍වයෝ කෙලෙසෙති. සත්ත්‍වයන්ගේ විශුද්ධියට හේතු ඇත, ප්‍රත්‍ය ඇත, හේතු ප්‍රත්‍ය ඇති වැ සත්ත්‍වයෝ විශුද්ධ වෙති. බල ඇත, වීර්‍ය්‍යය ඇත, පුරුෂ ස්ථාම ඇත, පුරුෂපරාක්‍රම ඇති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ අවස වූවාහු අබල වූවාහු වීර්‍ය්‍ය නැතියාහු නියතියෙන් සඞ්ගතියෙන් ස්වභාවයෙන් පරිණාමයට පැමිණියාහු අභිජාති සයෙකැ මැ සුවදුක් විඳුනාහු නො වෙති යි. ගැහැවියෙනි, ඒ කිමැයි හඟනාව: මෙ මහණ බමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? යි. එසේ යැ වහන්ස.
ගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණ බමුණු කෙනෙක් මෙබඳු වාද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “(සත්ත්‍වයන්ගේ කෙලෙසීමට) හේතු නැත, ප්‍රත්‍ය නැත ... සුවදුක් විඳුති” යි. ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුශලධර්‍මයන් හැරපියා යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුශලධර්‍මයන් සමාදන් වැ ගෙන වැටෙති’ යි. එ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශල ධර්‍මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම කුශලධර්‍මයන් ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදාන පක්‍ෂය ද නො දක්නාහ. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි ඔහුට දෘෂ්ටිවෙයි. ඒ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ මිථ්‍යාසංකල්ප වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුගේ මිථ්‍යාවචන වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි කියයි. යම් රහත් කෙනෙක් හේතුවාද ඇති වෙත් ද ඔවුනට මේ පුද්ගල විරුද්ධ කම් කෙරෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හේතු නැතැ’ යි මෙරමා හඟවයි. එ ඔහුගේ අසද්ධර්‍ම සංඥප්ති වෙයි. ඒ අසද්ධර්‍ම සංඥප්තියෙනුදු තමා හුවයි, මෙරමා හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වූයේ වෙයි. දුශ්ශීලභාවය එළැඹැ සිටියේ වෙයි. මෙ මිථ්‍යාදෘෂ්ටි ද මිථ්‍යාසංකල්ප ද මිථ්‍යාවචන ද ආර්‍ය්‍යයනට විරුද්ධභාවය ද අසද්ධර්‍මසංඥප්ති ද ආත්මොත්කර්‍ෂණ ද පරවම්භන දැ යි මෙසේ මෙ නොයෙක් අකුශලධර්‍මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙත්.
ගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් හේතු නැත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කායභේදයෙන් මතු තමා ස්වස්ථ කෙරෙයි. ඉදින් හේතු ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂපුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණෙයි. වැළිත් එකත්නෙන් හේතු නො වේවා. එ භවත් මහණබමුණන්ගේ වචන සත්‍ය වේවා, එතෙකුදු වත් මේ භවත් පුරුෂපුද්ගල ඉහාත්මයෙහි මැ නුවණැතියන් විසින් ගර්‍හාකළයුතුබවට නිසි වෙයි: ‘දුශ්ශීල පුරුෂපුද්ගලයෙක, මිථ්‍යාදෘෂ්ටි ඇතියෙක අහේතුවාද ඇතියෙක’ කියා යි. ඉදින් හේතු ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගලයාහට දෙලොව්හි මැ පරාජයග්‍රාහ වෙයි. ‘ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ ගර්‍හාවට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, ‘කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි’ යන යමෙකුත් ඇද්ද, එ දෙකයි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණකධර්‍මය වරදවා ගන්නා ලද්දේ සමාදන් කරනලද්දේ එක් දෙසක් පැතිරැගෙන් සිටියි. කුශල කාරණ හැරපියයි.
ගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණ බමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද: “හේතු ඇත, ප්‍රත්‍ය ඇත ... සුවදුක් විඳිති” යි. ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද, මෙ තුන් අකුශලධර්‍මයන් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද, මෙ තුන් කුශලධර්‍මයන් සමාදන් කොට ගෙන වැටෙති ‘ යි. එ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශල ධර්‍මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම දක්නාහ. කුශලධර්‍මයන් ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදානපක්‍ෂය ද දක්නාහ. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි ඔහුට දෘෂ්ටිවෙයි. ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි
වෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ සම්‍යක්සංකල්ප වෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුට සම්‍යග් වචන වෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි කියයි. යම් රහත් කෙනෙක් හේතුවාද ඇත්තාහු ද ඔවුනට මේ පුද්ගල විරුද්ධ කම් නො කෙරෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි මෙරමා හඟවයි. එ ඔහුට සද්ධර්‍මසංඥප්ති වෙයි. ඒ සද්ධර්‍ම සංඥප්තියෙනුදු තමා නො මැ හුවයි, මෙරමා නො හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ දුසිල් බව ප්‍රහීණ වූයේ වෙයි. සුසිල්බව එළැඹැ සිටියේ වෙයි. මෙ සම්‍යග්දෘෂ්ටි ද සම්‍යක් සංකල්ප ද සම්‍යග් වචන ද ආර්‍ය්‍යයනට අවිරුද්ධභාවය ද සද්ධර්‍මසංඥප්තිය ද ආත්මොත්කර්‍ෂණ රහිත බව ද පරවම්භන රහිත බව දැ යි මෙසේ ඔහුට මෙ නොයෙක් කුශලධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් පහළ වෙත්.
ගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් හේතු ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ යැ. වැළිත් එකත්නෙන් හේතු නො වේවා. එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේවා, එතෙකුදු වත් මෙ භවත් පුරුෂපුද්ගල ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි: ‘සිල්වත් පුරුෂපුද්ගලයෙක, සම්‍යග් දෘෂ්ටි ඇතියෙක, හේතුවාද ඇතියෙක’ කියා යි. ඉදින් හේතු ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගලහට දෙලොව්හි මැ ජයග්‍රාහ වෙයි. ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගයට පැමිණෙන්නේ යැ යන යමෙකුත් ඇද්ද, එ දෙක යි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණක ධර්‍මය මොනොවට ගන්නා ලද්දේ සමාදන් කරන ලද්දේ උභයාන්ත පැතිරැ ගෙන සිටියි. අකුශලකාරණ හැරපියයි.
ගැහැවියෙනි, ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් නැතැ’යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත. ගැහැවියෙනි, ඒ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණ බමුණෝ ඍජු විරුද්ධවාද ඇත්තාහු වෙති. ඔහු මෙසේ කීහු: ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් ඇත’ කියා යි. ගැහැවියෙනි, ඒ කිමැ යි හඟනාව. මේ මහණබමුණෝ උනුනට ඍජු විරුද්ධ වාද ඇත්තාහු නො? යි. එසේ ය වහන්ස.
ගැහැවියෙනි, එහි ලා නුවණැති පුරුෂ මෙසේ සලකයි: යම් ඒ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් නැතැ’යි මෙසේ කියන්නාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද මෙ කරුණ මා විසින් නො දක්නා ලද. යම් ඒ භවත් මහණ බමුණු කෙනෙකුන් ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් ඇතැ’යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, මෙ කරුණ ද මා විසින් නො දන්නා ලද. වැළිත් මම් වූ කලි නො දන්නෙම් නො දක්නෙම් ‘මේ මැ සත්‍ය යැ අන්‍ය තුච්ඡ යැ’යි ඒකාන්ත කොටගෙන ව්‍යවහාර කරන්නෙමි. තෙල මට නො නිස්ස. යම් ඒ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් නැතැ’යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඉදින් එ භවත් මහණ බමුණන්ගේ වචන සබා වේ නම් තෙල කරුණ විද්‍යමාන වෙයි.: රූපී වූ මනෝමය වූ යම් ඒ දෙවි කෙනෙක් ඇද්ද මාගේ එහි ඉපැත්ම නො සිස් වෙයි. යම් එ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්‍වප්‍රකාරයෙන් ඇතැ’යි මේ බඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද ඉදින් එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේ නම් තෙල කරුණ විද්‍යමාන වෙයි: අරූපී වූ සංඥාමය වූ යම් එ දෙවි කෙනෙක් ඇද්ද, මාගේ එහි ඉපැත්ම නො සිස් වෙයි. රූපය හේතු කොට දඬු ගැනුම යැ සැත් ගැනුම යැ කලහ යැ විග්‍රහ යැ විවාද යැ ‘තෝ තෝ’ යැ යි බිණුම යැ පිසුනු බස යැ මුසවා යැ යන මොහු දක්නා ලැබෙත් මැ යැ. සර්‍වප්‍රකාරයෙන් අරූපභවයෙහි තෙල නැත් මැ යයි. හෙ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට රූපයන්ගේ මැ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
ගැහැවියෙනි, ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ගැහැවියෙනි, එ මහණ බමුණන්ට මැ ඍජු විරුද්ධවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මෙසේ කීහු: ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි. ගැහැවියෙනි, එ කිමැ යි හඟනාව. මේ මහණ බමුණෝ ඔවුනොවුනට ඍජුවිරුද්ධවාද ඇත්තාහු නො වෙත් දැ? යි. එසේ යැ වහන්ස.
ගැහැවියෙනි, එහි ලා නුවණැති පුරුෂ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද මා විසින් මෙ නොදක්නා ලද, ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, මෙ මා විසින් නො දක්නා ලද, මම වැළිත් මෙය මැ සැබව, අන්‍යය තුච්ඡ යැ යි නො දන් නම් නො දක්නෙම් ඒකාන්තයෙන් ගෙන ව්‍යවහාර කෙරෙම් නම් තෙල මට නො නිසි වෙයි. ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඉදින් එ භවත් මහණ බමුණන්ගේ බස සබා වී නම් තෙල කරුණ වන්නේ යැ. අරූපී වූ (අරූපධ්‍යාන සංඥායෙන්) සංඥාමය වූ යම් දෙවි කෙනෙක් ඇද්ද මාගේ එහි උපත අවිරුද්ධ වන්නේ යැ. වැළි ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණබමුණු කෙනෙක් ඇද්ද ඉදින් භවත් මහණ බමුණන්ගේ බස සැබෑ වී නම්, ‘ඉහාත්මයෙහි මැ පිරිනිවෙන්නෙමි’ යන යමක් ඇද්ද තෙල කරුණ වන්නේ යැ. ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ ලබ්ධි ඇති යම් භවත් මහණබමුණු කෙනෙක් ඇද්ද ඔවුන්ගේ මෙ දෘෂ්ටිය රාග වශයෙන් සසරැ ඇලීමට ළං වෙයි. සංයෝජනයට සමීප වෙයි. (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අභිනන්‍දනයට සමීප වෙයි. බැසගැනීමට සමීප වෙයි. දෘඪග්‍රහණයට සමීප වෙයි, යළි ‘සර්‍ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද ඔවුන්ගේ මෙ දෘෂ්ටිය සසරැ නො ඇලීමට සමීප වෙයි. අසංයෝජනයට සමීප වෙයි. අනභිනන්‍දනයට සමීප වෙයි, අනුපාදානයට සමීප වේ යයි” හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට භවයන්ගේ මැ නිර්වේද පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නේ වේ.
ගැහැවියෙනි, ලොවැ මේ පුද්ගලයෝ සතර දෙනෙක් ඇත්තාහු (විද්‍යමාන) වෙති. කවර සතර දෙනෙක යත්: ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මය තවනුයේ ආත්මය තවන යෝගයෙහි යෙදුණේ වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මෙරමා තවනුයේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේ වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් තමා තවනුයේ තමා තවන යෝගයෙහි යෙදුණේත් මෙරමා තවනුයේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේත් වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් තමා නොමැ තවනුයේ තමා තවන යෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ වෙයි. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනසුලු වූයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි.
ගැහැවියෙනි, තමා තවන තමා තවන යෝගයෙහි යෙදුණු පුද්ගල කවරෙ යත්: ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් සෙලු වෙයි, හළ ආචාර ඇති වෙයි, අත ලෝනේ වෙයි ... මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය තවන හාත්පසින් තවන යෝගයෙහි යෙදුණේ වෙසෙයි. ගැහැවියෙනි, මෙතෙම ආත්ම පරිතාපානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප පුද්ගල’ යයි කියනු ලැබේ.