Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 2201-2300 න් 6387

තවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘අහස අනන්තයැ’යි ආකාසානඤ්චායතනය උපදවා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ ආකාසානඤ්චායතන සමාපත්තිය ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයෙක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
තවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තයැ’යි විඤ්ඤාණඤ්චායතනය උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයෙක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
තවද, ගැහැවිය, මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා පියා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපයා වෙසෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ද හේතුයෙන් කරන ලද වෙයි. සිතින් සිතන ලද වෙයි. වැලි යම් මැ දැයෙක් අභිසඞ්ඛත අභිසඤ්චේතයිත වේ නම්, එය අනිත්‍ය වෙයි, නිරුද්ධ වන සැහැවි ඇතැ’යි දැනගනී. හේ ඒ ශමථවිදර්‍ශනාධර්‍මයෙහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම්, ඒ මැ ශමථ විදර්‍ශනා ධර්‍ම රාගයෙන් ඒ ධර්‍මනන්‍දියෙන් පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, (ඒ ඒ සත්ත්‍වයන්ගේ ආශයානුශය) දන්නා වූ (හැම ඥේයධර්‍මය) දක්නා වූ අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් විසින් යම් අරමුණෙක අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන භික්‍ෂුහු ගේ අවිමුක්ත චිත්තයත් මිදේ ද, අපරික්‍ෂීණ ආස්‍රවයෝ ක්‍ෂයවීමට යෙත් ද, අනනුප්‍රාප්ත අනුත්තර යෝගක්ක්‍ෂේම යත් ප්‍රතිලාභ කෙරේ ද එබඳු වූ මේ ඒකධර්‍මය වදාරන ලද්දේ යයි.
මෙසේ වදාළ කල්හි අට්ඨකනගර වැසි දශම ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල සැල කළේ: “වහන්ස, ආනන්‍දයෙනි, එක නිධානයක් සොයන පුරුෂයෙක් එක් මැ පියොවින් එකොළොස් නිධාන කෙනකුන් යම්සේ ලබා ද, එසෙයින් මැ වහන්ස, මම එක් අමාදොරක් සොයනුයෙම් එක් මැ පියොවින් එකොළොස් අමෘතද්වාර කෙනකුන් අසන්නට ලත්මි. වහන්ස, යම් පරිදි මිනිසක්හට එකොළොස් දොරක් ඇති ගෙයක් වේ ද, ඒ ගෙය ඇවිළැගත් සඳ එක් එක් මැ දොරෙකින් තමහට සුව කරන්නට හැකි වේ ද, එසෙයින් මැ වහන්ස, මම් මේ එකොළොස් අමාදොර අතුරෙන් එක් එක් මැ අමාදොරෙකින් තමහට සුව කරන්නට හැකිවන්නෙමි. වහන්ස, යම්හෙයෙකින් මේ අන්‍යතීර්‍ත්‍ථකයෝ ආචාර්‍ය්‍ය හට ආචාර්‍ය්‍යධනය සොයත් නම්, වැලි කුමක්හෙයින් මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පූජාවක් නො කෙරෙම් දැ”යි.
ඉක්බිති අට්ඨක නගර වැසි දශම ගෘහපති පැළලුප් නුවර වූ ද විසාලා නුවර වූ ද භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සන්තර්‍පණ සම්ප්‍රවාරණ කැරැවී. යළි එකෙකි භික්‍ෂුවට එකෙකි වස්ත්‍ර යුග්මයක් දුන්නේ ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තුන්සිවුරු දුන්නේ ය. තවද ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පඤ්චසතික විහාරයක් කැරැවී යයි.
දෙවැනි අට්ඨකනාගර සූත්‍රය යි.
2. 1. 3.
සේඛ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කරනසේක. එසමයෙහි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයන් විසින් අභිනව සන්‍ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි යම් මැ මිනිසකු විසින් නො වසනලද වෙයි. එසඳ කිඹුල්වත් වැසි සැහැකුල වැසියෝ බුදුන් කරා එළැඹියහ. එළැඹ සකසා බුදුන් වැඳ පසෙක හුන්හු. එකත්පසෙක හුන් කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ බුදුන්ට තෙල සැල කොළෝ: ‘වහන්ස, කිඹුල්වත් වැසි සැහැකුල වැසියන් විසින් අභිනව සන්‍ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි මනුෂ්‍ය වූ යම් මැ කෙනකුන් විසින් වාස නො කරනලදි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහහල පළමු වැ ලා වළඳ කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු වැ ලා වළඳ කළ හල පසු වැ ලා කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ වළඳ කෙරෙති. එය කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවනට හිතසුව පිණිස වැටේ’යයි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූසේක.
ඉක්බිති කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ගේ අධිවාසනා දැන හුනස්නෙන් නැඟී බුදුන් සකසා වැඳ පැදැකුණු කොට සන්‍ථාගාරශාලාව කරා එළැඹියහ. එළැඹැ සන්‍ථාගාරය හැම තැන් ඇතිරි ලීමෙන් අතුරා අසුන් පන්වා දියසැළ තබා තෙල්පහන් නඟා බුදුන් කරා එළැඹියහ. එළැඹැ බුදුන් සකසා වැඳ එකත්පස් වැ සිටියෝ. එකත්පස් වැ සිටි කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ට තෙල සැලකොළෝ: ‘වහන්ස සන්‍ථාගාරය සර්‍වසංස්තරණ කොට අතුරන ලද. ආසනයෝ පනවන ලදහ. දියසැළ එළවා තබන ලදි. තෙල් පහන් නැංවී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එයට දැන් කල් දන්නාසේක්ව’යි. එසඳ භාග්‍යවතුන් වහන්සේ සංවිධානයෙන් හැඳ පා සිවුරු ගෙන බික්සඟුන් සමග වැඩවදාළහ. වැඩ වදාරා පා දෙව සන්‍ථාගාරයට පිවිස මැඳුම්ටැඹ ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා වැඩහුන්හු. බික්සඟහු ද සන්‍ථාගාරයට වැද පැසිම්බිත් ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා බුදුන් මැ පෙරටු කොටගෙන හුන්හු. කිඹුල්වත් වැසි සැහැරජදරුවෝ ද පා දොවා සන්‍ථාගාරයට වැද පෙරදිගබිත් ඇසිරි කොට පැළදික් ලූ මුහුණු ඇති වැ බුදුන් මැ පෙරටු කොට හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් වැසි සැහැරජුන් රෑ බොහෝ වේලෙහි දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ‘ආනන්‍දය, කිඹුල්වත් වැසි සැහැ රජුනට පිළිපන් සේඛ මහණ (ගැන දෙසන්නට) තොපට වටහාව’යි. මාගේ පිට මඳක් ගිලන් වෙයි. මම් ඒ මඳක් සන්හිඳුවමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එසඳ බුදුහු සඟළ සිවුගුණ කොට පනවා දකුණු පයෙහි වම්පය හයා තබා සිහි ඇති වැ සම්ප්‍රඥාන ඇති වැ උත්‍ථාන සංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්‍යා කළහ.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘මහානාම’ සැහැරජු ඇමතූහ: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක පිරිපුන් සිල් ඇතියේ වෙයි. ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි, බොජුනෙහි පමණ දන්නේ වෙයි. නිදි වැරීමෙහි යෙදුණේ වෙයි, (ශ්‍රද්ධාදි) සප්ත සද්ධර්‍ම යෙන් සමන්‍වාගත වූයේ වෙයි, අධිචිත්තය ඇසිරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයෙන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර දෙකින් යුකුත වූයේ අණුමාත්‍ර වද්‍යයෙහි බිය දක්නාසුලු ව වෙසෙයි, ශික්‍ෂා කොටසෙහි ඒ ඒ ශික්‍ෂාපදය දැඩි ව ගෙන හික්මෙයි, මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වූයේ වේ.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුර්විඥානයෙන් රූප දැක නිමිත්ත විසින් නො ගන්නේ අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු වෙද් ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියා ගේ සංවරය පිණිස පිළිපන්නේ වෙයි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙ යි. ශ්‍රෝත විඥානයෙන් ශබ්ද අසා … ඝ්‍රාණවිඥාන යෙන් ගඳ ආඝ්‍රාණය කොට ... ජිහ්වාවිඥානයෙන් රස විඳ … කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට … මනෝවිඥානයෙන් ධර්‍මාලම්බන දැන නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්ජනග්‍රාහී නො වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරණ තුලුහු ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු ද ඒ මනින්‍ද්‍රියාගේ සංවරයට පිළිපන්නේ වෙයි, මනින්‍ද්‍රියය රකී, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මෙහෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක ඉඳුරන්හි පියූ දොර ඇත්තේ වෙයි.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වෙයි යත්: මහානාමය, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය ආභරණ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි, මද පිණිස නො වෙයි, සැරසුම් පිණිස නො වෙයි, විභූෂණ පිණිස නො වෙයි. මේ කය සිටීම පිණිස යැපීම පිණිස වෙහෙස සන්සිඳීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මතුයෙක් මැ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි. අලුත් වේදනා නූපදවමි. මා ගේ ජීවිතයාත්‍රා ද අනවද්‍යභාවය ද පහසු විහරණ ද වන්නේ යැ යි. මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වූයේ වෙයි.
මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක කිසෙයින් නිදිවැරීමෙහි යෙදුණේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක දවස සක්මනින් නිෂද්‍යායෙන් යෙදී නීවරණධර්‍මයන් ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින් නිෂද්‍යායෙන් යෙදී ආවරණීය ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණුපයෙහි වම්පය මඳක් ඇඳ තබා සිහි නුවණ ඇති ව උත්‍ථානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහ ශය්‍යා කෙරෙයි. රාත්‍රියෙහි පශ්චිම යාමය නැගී සිට සක්මනින් නිෂද්‍යායෙන් යෙදී ආවරණීය ධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රද්ධා ඇතියේ වෙයි. ඒ භාග්‍යවත්හු මෙ කරුණෙන් අර්‍හත් වූහ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යායෙන් පසළොස් චරණ ධර්‍මයෙන් සමන්‍වාගතයහ. සුගත වූහ, ලෝකවිද් වූහ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූහ, බුද්ධ වූහ, භගවත් වූහ යි තථාගතයන් වහන්සේ ගේ බුද්ධත්‍වය හදහයි. පාපයෙහි ජුගුප්සා ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජා ඇති වෙයි. ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් ලජ්ජා ඇති වෙයි. අපත්‍රපා ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් බියපත් වෙයි. ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් බියපත් වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතය ධරනුයේ ශ්‍රැත සන්නිචය වූයේ වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත් ද එ බඳු වූ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු වෙති. ධරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් මොනවට පිළිවිදිනා ලද්දාහු වෙති. අකුසල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස දැඩි වැ ගත් වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. කුශල ධර්‍මයන්හි වීර්‍ය්‍යස්ථාමයෙන් යුක්ත වූයේ ස්ථිර පරාක්‍රම ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වෙයි. ස්මෘතිමත් වූයේ උතුම් වූ ස්මෘතියෙන් හා ප්‍රඥායෙන් හා සමන්‍වාගත වෙයි. පෙර කළ දෑ ද පෙර කියූ දෑ ද සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. උදයව්‍යය ප්‍රතිවේධ කිරීමට සමර්‍ත්‍ථ ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ආර්‍ය්‍ය වූ නිර්වේධක වූ මොනවට දුක් කෙළවර කිරීම පිණිස පවත්නා ප්‍රඥායෙන් ප්‍රඥා ඇතියේ වෙයි. මහානාමය, මෙසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ වෙයි.
මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ආභිචේතසික වූ ඉහාත්ම සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශල ධර්‍මයන් ගෙන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්‍ක සහිත වූ විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය … චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වෙසෙයි. මහානාමය, මෙසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක අභිචිත්තයෙහි උපන් ඉහාත්ම සුඛ විහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වෙයි.
මහානාමය, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ශීල සම්පන්න වේද, මෙසේ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර වේ ද, මෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙසේ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙසේ අභිචිත්තය ඇසිරු කළ ඉහාත්ම සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද, මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක ශෛක්‍ෂ්‍ය ප්‍රතිපත් ඇත්තේ යැ, කුණු නො වූ බිජුවට ඇති බවට පිළිපන්නේ ය. ඥානප්‍රභේදයට භව්‍ය යැ ආර්‍ය්‍යමාර්‍ගයට භව්‍ය යැ අර්‍හත්ත්‍වප්‍රාප්තියට භව්‍ය යැ යි කියනු ලැබේ.
යම්සේ මහානාමය, කිකිළියගේ බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දෙළොසෙක් හෝ වේ ද, එ බිජුවටහු, කිකිළිය විසින් (අධිශයනයෙන්) මොනොවට රක්නා ලද්දාහු, මොනොවට හුණු ගන්වන ලද්දාහු, මොනොවට පරිභාවනා කරන ලද්දාහු වෙත් ද, එතෙකුදු වත් එ කිකිළියට මෙවන් ඉච්ඡායෙක් නූපදනේ යැ: ‘මේ කුකුළු පොව්වෝ පානියඅගින් හෝ මුවතුඬින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නාහු නම් මැනැවැ’යි ඉච්ඡායෙක් නූපදනේ යැ. වැළිත් එ කුකුළුපොව්වෝ පානියඅගින් හෝ මුවතුඬින් හෝ බිජුවට පළාගෙන සුවසේ බැහැරට නික්මෙන්නට භව්‍ය මැ වෙති. එසෙයින් මැ මහානාමය, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සිල්සපන් වේ ද, මෙසේ ඉඳුරන්හි පියූ දොර ඇති වේ ද, මෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙසේ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙසේ අභිචිත්තය ඇසිරු කළ ඉහාත්මසුඛවිහරණ ඇති චතුර්‍ත්‍ථධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද, මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක ශෛක්‍ෂ්‍යප්‍රතිපදා ඇත්තේ යැ, අපූත්‍යණ්ඩ භාවයට පැමිණියේ යැ, ඥානප්‍රභේදයට භව්‍ය යැ, ආර්‍ය්‍යමාර්‍ගාවබෝධයට භව්‍ය යැ, අනුත්තර යෝගක්‍ෂේමයා ගේ අධිගමයට භව්‍ය යි කියනු ලැබේ.
මහානාමය, තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධියට පැමිණ අනේකප්‍රකාර වූ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු දෙජාතියකුදු … මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර පූර්‍වනිවාසය සිහි කෙරෙයි. අණ්ඩකොෂයෙන් කුකුළුපැටවා ගේ මෙන් මේ ඔහුගේ පළමුවන ඥාන ප්‍රභේදය වෙයි.
මහානාමය, තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධියට පැමිණ විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිව්‍ය චක්‍ෂුසින් ව්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත සත්ත්‍වයන් දකී, … කම් වූ පරිදි පැමිණි සත්ත්‍වයන් දැනගනී. අණ්ඩකෝෂයෙන් කුකුළුපැටවක්හුගේ සෙයින් මේ ඔහුගේ දෙවැනි ඥානප්‍රභේදය වෙයි.
මහානාමය, ඒ තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධියට පැමිණ ආස්‍රරවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියට ඵලප්‍රඥාව ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. අණ්ඩකෝෂයෙන් කුකුළු පැටවක්හුගේ (නික්මීම) සෙයින් මේ ඔහුගේ තුන්වන ඥානප්‍රභේදය වෙයි.
මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ චතුර්‍ත්‍ථධ්‍යානයන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද මෙ ද ඔහුට චරණ නම් වේ.
මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහි කෙරේ ද ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු … මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේක විධ පූර්‍වනිවාසය නුවණින් සිහි කෙරෙයි. මෙ ද ඔහුට විද්‍යා වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක විශුද්ධ වූ මිනිසැස ඉකමැසිටි දිවැසින් ව්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත වූ ද සත්ත්‍වයන් දක්නේ වේ ද, කම් වූ පරිදි මියගිය සත්ත්‍වයන් දන්නේ වේ ද, මෙ ද ඔහුට විද්‍යා වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥා විමුක්ති ඉහාත්මයෙහි මැ තෙමේ මැ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා විහරණ කෙරේ ද, මෙ ද ඔහුට විද්‍යා වේ. මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක විද්‍යා සම්පන්න යයි ද කියනු ලැබේ. මහානාමය, සනත්කුමාර මහබඹු විසින් තෙල ගාථා කියන ලදු:
“යම් ජන කෙනෙක් (ජනිත) ප්‍රජායෙහි (කසුබු ආදී) ගොත් සිහිකරනසුලු වෙත් ද, ඔවුන් කෙරෙහි ක්‍ෂත්‍රිය ශ්‍රේෂ්ඨ වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ යමෙක් ඇද්ද, දේවමනුෂ්‍යයන් කෙරෙහි හේ ශ්‍රේෂ්ඨ වේ.
මහානාමය, සනත්කුමාර මහබඹු විසින් තෙල ගාථාව මොනවට ගයන ලදු, දුර්ගීත නො වෙයි. සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නොවෙයි, අර්‍ත්‍ථ සංහිත වෙයි, අනර්‍ත්‍ථ සංහිත නොවෙයි, භගවත්හු විසිනුදු අනුමත යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇමතූ සේක: ආනන්‍දය. මැනැව මැනැව. ආනන්‍දය, තෙපි කපිලවාස්තු වාසත්‍ව්‍ය වූ සැහැකුලනට ශෛක්‍ෂ ප්‍රතිපදා කීවහු යයි.
ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මෙ සුත් දෙසූ හ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. (ප්‍රීතිසෞමනස්‍යයන් විසින්) ගත් සිත් ඇති කිඔුල්වත් වාසි සැහැකුලයෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දනය කළහ.
තෙවැනි සේඛ සූත්‍ර යි.
2. 1. 4.
පෝතලිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරාප ජනපදයෙහි ආපණ නම් අඞ්ගුත්තරාප නිගමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු සිඟා වැඩ පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණාහු දිවා විහරණය සඳහා එක්තරා වන ලැහැබක් කරා එළැඹි සේක. ඒ වන ළැහැබට ඇතුළු වැ අන්‍යතර වෘක්‍ෂ මූලයෙක්හි දිවාවිහරණයට වැඩහුන්සේක.
පෝතලිය නම් ගැහැවි ද පිරිපුන් සඳහා පෙරොනා ඇතියේ සතක් ගෙන වහන් නැඟී ජඞ්ඝාවිහරණයෙහි ඔබිනොබැ හැසිරෙනුයේ සක්මන් කරනුයේ ඒ වනළැහැබ කරා එළැඹියේ යැ. ඒ වන ළැහැබට ඇතුළු වැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියැයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත්පස් වැ සිටි පෝතලිය ගැහැවි හට බුදුහු තෙල වදාළහ: ‘ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’ යි මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ‘ශ්‍රමණ ගෞතමයෝ මට ‘ගහපති’ යන බසින් වහරතී’ කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. දෙවනවට දු භාග්‍යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: “ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව” යි දෙවනවට දු පෝතිලය ගැහැවි ශ්‍රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරතී’ යි කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. තෙවනවට දු භාග්‍යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: ‘ගැහැවිය’ අසුන් ඇත. ඉදින් කැමැත හිඳුව’ යි. මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ශ්‍රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරතී’ යි කිපියේ නො සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තෙපි මට ‘ගහපති’ යන බසින් ව්‍යවහාර කරහු ද, එ බස් නො නිස්ස. එ බස් නො සරුප්යැ’යි.
ගැහැවිය, තොපගේ ඒ ආකාරයෝ ඒ ලිඞ්ගයෝ ඒ නිමිත්තයෝ ගැහැවියක්හු ගේ යම් සේ ද එමෙනි. එසේ වතුදු භවත් ගෞතමයෙනි, මා විසින් හැම කර්‍මාන්තයෝ බහා තබන ලදහ. හැම ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි. ගැහැවිය, තොප විසින් කවරපරිද්දෙකින් සියලු කර්‍මාන්තයෝ ප්‍රතික්‍ෂිප්ත වූවාහු සියලු ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූවාහ දැ’යි. ‘භවත් ගෞතමයෙනි, මෙහි මට යම් ධනයෙක් හෝ ධාන්‍යයෙක් හෝ රජතයෙක් හෝ ජාත රූපයෙක් හෝ වී ද, ඒ හැම පුතුනට දායාද්‍ය කොට දෙනලද, එහි මම් අවවාද නො කරනුයෙම් උපවාද නො කරනුයෙම් අසන වසන (කෑම් හැඳීම්) මතුවක් පරම කොට ඇතියෙම් වෙසෙමි. භවත් ගෞතමයෙනි, මෙසේ මා විසින් සියලු කර්‍මාන්තයෝ ප්‍රතික්‍ෂිප්තයහ. සියලු ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි.
‘ගැහැවිය, තෙපි අන් පරිද්දෙකින් ව්‍යවහාර සමුච්ඡේදය කියහු, එතෙකුදු වත් ආර්‍ය්‍ය විනයෙහි අන් පරිද්දෙකින් ව්‍යවහාර සමුච්ඡේදය වේ යැ’යි. ‘වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි කිසෙයින් ව්‍යවහාර සමුච්ඡේදය වේ ද? මැනැව වහන්ස, යම්පරිදි ආර්‍ය්‍ය විනයෙහි කිසෙයින් ව්‍යවහාරසමුච්ඡේදය වේ නම්, මට භාග්‍යවත්හු එපරිදි දහම් දෙසනසේක්ව’යි. එහෙයින් ගැහැවිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි. ‘එසේ යැ, වහන්සැ’යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවත්හු තෙල වදාළසේක.
ගැහැවිය, මේ අට දහම් කෙනෙක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදය පිණිස පවත්නාහ. කවර අටදෙනෙකෙ යත්: ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු යැ, දුන් දෑ ගැනීම නිසා අයිනාදන් හළයුතු යැ, සබසව නිසා මුසාව හළයුතු යැ, නො පිසිනුබස් නිසා පිසුනු බස් හළයුතු යැ, අගිද්ධිලෝභය නිසා ගේධසංඛ්‍යාතලෝභය හළයුතු යැ, අනින්‍දාරොසය නිසා නින්‍දා ගැටීම හළයුතු යැ, අකෝධූපායාසය නිසා ක්‍රෝධ උපායාස හළයුතු යැ, අනතිමානය නිසා අතිමානය හළයුතු යැ, ගැහැවිය, (මා විසින්) සැකෙවින් කියන ලද විස්තර විසින් විභාග නො කළ මේ අටදහම්හු ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරසමුච්ඡේදය පිණිස පවත්නාහ.
වහන්ස, භගවත්හු විසින් සැකෙවින් වදාරනලද විස්තරයෙන් විභාග නො කළ යම් අෂ්ටධර්‍ම කෙනෙක් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාරසමුච්ඡේදය පිණිස පවත්නාහු ද, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ අෂ්ට ධර්‍ම විස්තර විසින් අනුකම්පා පිණිස විභාග කරනසේක්වා’යි. ගැහැවිය, එසේ වී නම් අසව, මොනවට මෙනෙහි කරව. කියන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
‘ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. මේ කුමක් පිණිස කියනලද ද යත්: ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘පාණාතිපාතී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් පාණාතිපාතතී වෙම් නම් තෙමේත් මට ප්‍රාණවධ හේතුයෙන් නුගුණ කියන්නේ යැ. නුවණැත්තාහු දැන ප්‍රාණවධ හේතුයෙන් නිගා කරන්නාහු යැ. ප්‍රාණවධ හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් ප්‍රාණවධයෙක් වේ ද මෙය මැ සංයෝජන යැ. මෙය නීවරණ යි. ප්‍රාණඝාත ප්‍රත්‍යයෙන් දුඃඛපරිදාහ ඇති යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් ප්‍රාණඝාතයෙන් වෙන් වූනහුට මෙසේ ඒ විඝාතපරිදාහ වූ ආස්‍රවයෝ නොවෙති. ‘ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල සඳහා කියනලදි.
‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘අදින්නාදායී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් අදින්නාදායී වෙම් නම් අදින්නාදාන
ප්‍රත්‍යයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. නුවණැත්තාහු දැන අදින්නාදාන ප්‍රත්‍යයෙන් නිගා කරන්නාහ. අදින්නාදාන ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් අදින්නාදානයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. අදින්නාදාන ප්‍රත්‍යයෙන් දුක්තැවුලි උපදවන යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් අදින්නාදානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ දුක්තැවුලි උපදවන ඒ ආස්‍රවයෝ නො වෙත්, ‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ යමක් කියනලද ද මේ තෙල සඳහා කියනලදි.
‘සබසව නිසා මුසාව හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය’ මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘මුසාවාදී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් මුසාවාදී වෙම් නම් මුසවා හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. මුසවා හේතුයෙන් විඥයෝ දැන නිගා කරන්නාහ. මුසවා හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් මුසවායෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. මුසාවාද ප්‍රත්‍යයෙන් විඝාත පරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් මුසාවාදයෙන් වෙන් වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘සබසව නිසා මුසවා හළයුතු’ යයි මෙසේ යම් කරුණක් කියනලද ද මේ තෙල සඳහා කියනලදි.
‘නො පිසිනුබස් නිසා පිසුනුබස් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට පිසුනුබස් ඇතියෙම් වීම් ද මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළිදු මම පිසුනුබස් ඇතියෙම් නම් පිසුනුබස් හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. විඥයෝ දැන පිසුනුබස් හේතුයෙන් ගරහන්නාහු යැ. පිසුනුබස් හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. යළි යම්, පිසුනුබසෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙය මැ නීවරණ යි. පිසුනුබස් හේතුයෙන් විඝාතපරිළාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් පිසුනුබසින් වැළකුණහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘නො පිසිනුබස් නිසා පිසුනු බස්හළයුතු’ යයි යම් කරුණක් කියනලද නම් මේ තෙල කරුණු සඳහා කියනලදි.
‘අගිද්ධිලෝභය නිසා ගේධ සඞ්ඛ්‍යාත ලෝභය හළයුතු’ යයි, මෙසේ තෙල කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ගේධ සඞ්ඛ්‍යාත ලෝභ ඇති වීම් නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළි මම ගේධ ලෝභ ඇති වීම් නම් ගිද්ධිලෝභ හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. විඥයෝ දැන ගිද්ධිලෝභ හේතුයෙන් ගරහන්නාහු යැ. කාබුන් මරණින් මතුයෙහි ගිද්ධිලෝභ හේතුයෙන් දුර්‍ගති කැමැති වියයුත්තී යැ. තවද යම්, ගිද්ධිලෝභයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. ගිද්ධිලෝභ හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් ගිද්ධිලෝභ රහිත වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘ගිද්ධිලෝභය නිසා ගේධසඞ්ඛ්‍යාත ලෝභය හළයුතු’ යයි යමක් කියනලද ද, මේ තෙල කරුණ පිණිස කියනලදි.
අනින්‍දාරෝෂය නිසා නින්‍දාගැටුම හළයුතු යයි මෙසේ තෙල කියනලද ද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට නින්‍දාරෝෂ ඇති වීම් නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. යළිදු මම නින්‍දාරෝෂ ඇති වීම් නම් තෙමේත් මට නින්‍දාරෝෂ ප්‍රත්‍යෙයන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන නින්‍දාරෝෂ හේතුයෙන් ගරහන්නාහු යැ. නින්‍දාරෝෂ හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. යළි යම් නින්‍දාරෝෂයෙක් ඇද්ද, මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. නින්‍දාරෝෂ හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද නින්‍දාරෝෂ නැත්තහුට මෙසේ ඒ විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ නො වෙත්. ‘අනින්‍දාරෝෂය නිසා නින්‍දාරෝෂය හළයුතු යයි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල කරුණ සඳහා කියන ලද.
‘අකෝධූපායාසය නිසා කෝධූපායාසය හළයුතු යයි මෙසේ තෙල කරුණ කියනලද. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට කෝධූපායාසය ඇති වීම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම් වැළිත් කෝධූපායාස ඇති වීම් නම් තෙමේත් මට කෝධූපායාස හේතුයෙන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන කෝධූපායාස හේතුයෙන් නිගා කරන්නාහු යැ. කෝධූපායාසය හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. වැළිදු යම් කෝධූපායාසයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ මෙ නීවරණ යි. ‘කෝධූපායාසය හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද කෝධූපායාසය රහිත වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ නො වෙත්. අකෝධූපායාසය නිසා කෝධූපායාසය හළයුතු’ යයි මෙසේ යමක් කියනලද ද, මෙ කරුණ තෙල සඳහා කියන ලදි.
‘අනතිමානය නිසා අතිමානය හළයුතු යයි යමක් මෙසේ කියන ලද ද. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට අතිමාන ඇති වීම් නම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡේදය පිණිස පිළිපන්මි. මම වැළිත් අතිමාන ඇති වීම් නම් තෙමේත් මට අතිමාන හේතුයෙන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන අතිමානය හේතුයෙන් ගරහන්නාහු, යැ. අතිමානය හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්‍ගති කැමැති වියයුත්තී යැ. වැළිදු යම් අතිමානයයෙක් ඇද්ද, මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. අතිමාන හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද අතිමාන නැත්තහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. අනතිමානය නිසා අතිමානය හළයුතු යයි මෙසේ යමක් කියනලද ද, මෙ කරුණ තෙල සඳහා කියන ලදි.
ගැහැවිය, ආර්‍ය්‍ය විනයෙහි යම් ධර්‍ම කෙනෙක් ව්‍යවහාර සමුච්ඡේදය පිණිස පවත්නාහු ද මේ අෂ්ට ධර්‍මයෝ සැකෙවින් කියන ලද්දහු විස්තරයෙන් විභක්ත වූවාහු වෙති. එතෙකුදු වත් ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල ව්‍යවහාරසමුච්ඡේදය නො මැ වේ යයි. වහන්ස, ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල කවර පරිද්දෙකින් ව්‍යවහාරසමුච්ඡේදය වේ ද: මැනැව වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි ආර්‍ය්‍ය විනයෙහි සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල ව්‍යවහාරසමුච්ඡේදය වේ ද එ පරිද්දෙන් දහම් දෙසනසේක්වා යි, එසේ නම් ගැහැවිය, අසව මොනවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේ යැ වහන්සැ’ යි පෝතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්‍යවත්හු තෙල වදාළ සේක.
යම් පරිදි ගැහැවිය, බඩසා දුබල බැවින් පෙළුණු සුනඛයෙක් ගවයන් නසන වධස්ථායට පැමිණියේ වෙයි. ඔහුට දක්‍ෂ වූ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතවැසියෙක් හෝ මොනවට මස් ලියන ලද, මස් රහිත වූ ලෙහෙයෙන් වැකුණු ඇටසැකිල්ලක් දමන්නේ යැ. ගැහැවිය, ඒ කිමැයි සිතව. ඒ කුක්කුරයා මොනවට ලියන ලද මස් රහිත වූ ලෙහෙයෙන් වැකුණු ඇටසැකිල්ල ලෙවකන්නේ බඩසා දුබල බැව් නසන්නේදැ යි, වහන්ස, තෙල නො වේ මැ යි. එ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයකින් තෙල ඇටසැකිල්ල මොනවට මස් ලියන ලද මස් රහිත වූ යේ ද ලෙහෙයෙන් වැකුණේ ද එහෙයිනි. යළි ඒ කුක්කුරයා ක්ලමථයට මැ වෙහෙසට මැ හිමි වන්නේ යයි. එසෙයින් මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි ආයාස ඇත්තාහ. මෙහි බොහෝ ආදීනව ඇතැ’යි වදාරන ලද. මෙසේ තෙල කාමය යථාභූත වැ සම්‍යග්ඥානයෙන් දැක යම් මේ උපේක්‍ෂාවක් නානා ස්වභාව වූ ද නානා අරමුණු ඇසුරු කළා ද ඒ උපේක්‍ෂාව දුරු කොට යම් චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාවක් ඒකස්වභාව වූ ද එක් අරමුණක් ඇසුරුකොට ඇත්තී ද, යම් ධ්‍යානෝපෙක්‍ෂායෙක සර්‍වප්‍රකාරයෙන් පඤ්චකාමගුණාමිසයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
යම් පරිදි ගැහැවිය, ගිජුළිහිණියෙක් වේවයි ලොහොතුඩුවෙක් වේවයි උකුසෙක් වේවයි මස්වැදැල්ලක් ගෙන අහසට පියාඹා යන්නේ ද, ඔහු ගිජුළිහිණියෝ ද ලොහොතුඩුවෝ ද උකුස්සෝ ද ලුහුබඳිමින් කොටන්නාහු ද ( මස් වැදැල්ල) හෙළන්නා හු ද, ගැහැවිය, ඒ කුමැ යි සිතව. ඉදින් ඒ ගිජුළිහිණියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස්වැදැල්ල වහා මැ නො හරන්නේ නම් හේ එ කරුණින් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙන්නේ යයි. එසේ යැ වහන්ස, එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලද, මෙසේ තෙල ඇතිසැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක යම් උපේක්‍ෂාවක් නානාස්වභාව ඇද්ද නානාලම්බන ඇසුරු කළා ද ඒ කාමගුණාලම්බන උපේක්‍ෂාව හැරපියා යම් ධ්‍යානෝපේක්‍ෂායෙක්හි සර්‍වප්‍රකාරයෙන් ලෝකාමිෂ සඞ්ඛ්‍යාත පඤ්චකාමගුණෝපාදානයෝ, අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ඇවිළැගත් තණහුලක් ගෙන ප්‍රතිවාතයට යන්නේ යැ. ගැහැවි, ඒ කිමැ යි සිතහි? ඉදින් ඒ පුරුෂ ඒ ඇවිළගත් තණහුල වහා මැ නො හරන්නේ නම් ඒ ඇවිළගත් තණහුල ඔහුගේ අත හෝ දවන්නේ යැ. බාහුව හෝ දවන්නේ යැ. අන්‍යතර අඟපසඟ හෝ දවන්නේ යැ. ඒ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙන්නේ යැ යි. එසේ යැ වහන්ස, එපරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලද’ යි. තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් යථාභූත කොට දැක ... ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
යම් පරිදි ගැහැවිය, පුරුෂ ප්‍රමාණයෙන් අධික වූ සිළු රහිත දුම් රහිත අඟුරු පිරැණු අඞ්ගාරකර්ෂූයෙක් වෙයි. එකලැ ජීවත් වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමුති දුකට ප්‍රතිකූල වූ පුරුෂයෙක් එන්නේ යැ. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත් ගෙන තෙල පුඟුල්හු අඞ්ගාරකර්ෂූවට අදනාහු යැ. ගැහැවිය, ඒ කිමැ යි සිතහි? ඒ පුරුෂ ඔබ මොබ කය නමන්නේ නො වේ ද? එසේ යැ වහන්ස, එ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයකින් එ පුරුෂයා විසින් ‘ඉදින් මම් මේ අඞ්ගාරකර්ෂූවට වැටෙම් නම් එ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙමි’යි දන්නා ලද ද, එහෙයිනි. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ අඞ්ගාරකර්ෂූපම වූහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... ඒ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ආරාමයෙන් රමණී වූ වනයෙන් රමණී වූ භූමි විසින් රමණී වූ පුෂ්කරණින් රමණී වූ සිහින දක්නේ යැ. හේ පිබිදියේ කිසිවක් නො දකී. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ ස්වප්නයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... එ මැ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව වඩා.
යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් පුරුෂයනට නිසි වූ යානයක් හෝ උතුම් මිණිකොඬොල් හෝ පිරුළු කොටගත් භෝගයක් අයැද ගෙන හේ එ පිරුළු කොටගත් භෝගයෙන් පෙරටු කොට ඇතියේ පිරිවරන ලදුයේ අතුරු අවුණට පිළිපදනේ යැ. තෙල පුරුෂයා දැක ජනයා මෙසේ කියන්නේ යැ, භවත, භෝග ඇති පුරුෂයෙක් මැ යැ. භෝග ඇත්තාහු මෙසේ භෝගයන් වළඳ කෙරෙති යි. ස්වාමීහු තෙල පුරුෂයා යම් යම් තැනෙක්හි මැ දක්නාහු ද එ එ තැන්හි දී මැ තමන්ගේ භාණ්ඩයන් හැරගන්නාහු යැ. ගැහැවි, එ කිමැ? යි හඟිහි. එ පුරුෂයාගේ අන්‍යථාත්‍වයට නිසි වූයේ නු? යි. එසේ යැ වහන්ස, එ කුමක් හෙයින යත්: වහන්ස, යම් හෙයකින් ස්වාමීහු ස්වකීය භාණ්ඩයන් හැරගනිත් ද එහෙයිනි. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ පිරුළුගත් භාණ්ඩයකට උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... එ මැ චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
යම් පරිදි ගැහැවිය, ගමට හෝ නිගමයට හෝ නුදුරෙහි ගහන වූ වනලැහැබෙක් වෙයි. එහි මධුර ඵල ඇති බොහෝ ඵල ඇති රුකෙක් වන්නේ යැ. බිම වැටුණු කිසි ඵල කෙනෙක් නො ද වූවාහ. එකල්හි ඵල අර්‍ත්‍ථ කොට ඇති ඵල සොයන ඵල සෙවීමට හැසිරෙන පුරුෂයෙක් එන්නේ යැ. හෙ එ වනළැහැබට පිවිස මධුර වූ ඵල ඇති බොහෝ හටගත් ඵල ඇති එ රුක් දක්නේ යැ. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මෙ රුක මධුර ඵල ඇත්තේ ද බොහෝ ඵල ඇත්තේ ද වෙයි. බිමැ වැටුණු කිසි ඵලයෙක් නැත. මම් රුකට නඟින්නට දනිමි. මම් මෙ රුකට නැඟී යැපෙන පමණ කන්නෙම් නම් හිඟැ පුරාලන්නෙම් නම් මැනැවැ යි. හෙ එ රුකට නැඟී යැපෙන පමණ කන්නේ යැ. හිඟ ද
පුරාලන්නේ යැ. ඉක්බිති ඵලාර්ත්‍ථී වූ ඵල ගවේෂණය කරන ඵල පර්‍ය්‍යෙෂණයෙහි හැසිරෙන දෙවැනි පුරුෂයෙක් තිහිණි කෙටේරියක් ගෙන එන්නේ යැ. හෙ එ වනළැහැබට පිවිස මධුර වූ ඵල ඇත්තා වූ ද බොහෝ ඵල ඇත්තා වූ ද එ රුක දක්නේ යැ. ඔහුට මෙ සිත වෙයි. මෙ රුක මධුර ඵල ඇත්තේ ද බොහෝ ඵල ඇත්තේ ද වෙයි. බිමැ වැටුණු කිසි ඵලයෙක් නැත්තේ ද වෙයි. මම් වැළිත් රුකට නැඟින්නට නො දනිමි. මම් මේ රුක මුලින් සිඳ යැපෙන පමණ කන්නෙම් නම් හිඟ ද පුරාලන්නෙම් නම් මැනැවැ’ යි. හෙ එ රුකමුලින් සිඳිනේ යැ. ගැහැවිය, එ කිමැ යි හඟිහි? පළමු රුකට නැඟුණු ඒ පුරුෂයෙක් වේ ද, ඉදින් හෙතෙම වහා මැ නො බස්නේ නම් වැටෙන එ රුක ඔහුගේ අත හෝ බිඳින්නේ යැ. පය හෝ බිඳින්නේ යැ. අන්‍යතර අඞ්ග ප්‍රත්‍යඬගයක් හෝ බිඳින්නේ යැ. හේ ඒ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණේ යයි? එසේ යැ වහන්ස. එසෙයින්ම ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ වෘක‍්ෂඵලෝපම වූහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි පීඩා ඇත්තාහ’යි වදාරන ලද. මෙහි ආදීනව බොහෝ යයි මෙසෙයින් කරුණ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක නානා ස්වභාව වූ නානාලම්බන ඇසුරු කළ යම් පඤ්චකාමගුණ උපේක්‍ෂායෙක් ඇද්ද එය දුරු කොට එක ස්වභාව වූ ඒකාලම්බන වූ යම් චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂායෙක් ඇද්ද, යම් උපේක්‍ෂායෙක්හි සර්‍වප්‍රකාර ලෝකාමිස සඞ්ඛ්‍යාත වූ පඤ්චකාම ගුණෝපාදානයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද, ඒ ධ්‍යානෝපේක්‍ෂාව මැ වඩයි.
ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක නිරුත්තර වූ මෙ මැ උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධියට නන් වැදෑරුම් වූ පූර්‍වනිවාසය සිහි කරයි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු .. .මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කරයි.
ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධියට පැමිණ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත සත්‍වයන් දකියි. කම් වූ පරිදි මියැ පරලොව ගිය සත්ත්‍වයන් දකියි. කම් වූ පරිදි මියැ පරලොව ගිය සත්ත්‍වයන් දැනගනියි.
ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධියට පැමිණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කෙරෙයි.
ගැහැවිය, මෙතෙකින් ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය වෙයි. ගැහැවිය, ඒ කිමැයි සිතහි? යම් පරිදි ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය වේ ද, කිම තෙපි මෙබඳු වූ ව්‍යවහාර සමුච්ඡේදය තමා කෙරෙහි ලා දක්නාව? යි. වහන්ස, මම කවරෙකිම් ද? ආර්‍ය්‍ය විනයෙහි සර්‍වථායෙන් ව්‍යවහාර සමුච්ඡේදය කවරේ ද? වහන්ස, මම සර්‍වථායෙන් ආර්‍ය්‍ය විනයෙහි ව්‍යවහාර සමුච්ඡේදයෙන් (අහසට පොළොව මෙන්) දුරු වෙමි. වහන්ස, අපි පෙර අන්තොටු පිරිවැජියන් (ගිහි ව්‍යවහාර සමුච්ඡෙදයට කාරණා) නො දන්නවුන් ‘දන්නාහ’ යි සිතුම්හ. නො දන්නවුනට මැ කරුණු දන්නවුන් විසින් වැළැඳියයුතු භෝජනය වැළඳවූම්හ. කාරණ නො දන්නාවුන් මැ කාරණ දන්නවුන්ගේ තන්හි තැබුම්හ. තවද වහන්ස, අපි භික්‍ෂූන් (ව්‍යවහාර සමුච්ඡේද) කාරණ දන්නාවුන් මැ ‘නොදන්නාහ’යි සිතුම්හ. කාරණ දන්නාවුන් මැ කාරණ නො දනුවනට නිසි භෝජනය වැළඳ වූම්හ.
කාරණ දන්නාවුන් මැ අනාජානීය ස්ථානයෙහි තැබූම්හ. දැන් වූකලී වහන්ස, අපි අන්තොටු පිරිවැජියන් කාරණා නො දන්නවුන් මැ ‘නො දන්නාහ’යි දනුම්හ. නො දන්නවුන් මැ නො දන්නාවුනට නිසි භෝජනය වළඳවම්හ. අනාජානීය වූවන් මැ අනාජානීය ස්ථානයෙහි තබම්හ. යළි වහන්ස, අපි භික්‍ෂූන් කාරණ දන්නාවුන් මැ ‘අජානීය වූහ’යි දනුම්හ. අජානීය වූවන් මැ අජානීයනට නිසි භෝජනය වළඳවම්හ. අජානීය වූවන් මැ අජානීය ස්ථානයෙහි තබම්හ. වහන්ස, බුදුහු ඒකාන්තයෙන් මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය දැනවූසේක. ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය දැනවූ සේක.
වහන්ස, ඉතා මැනව. වහන්ස, ඉතා කාන්ත යි. වහන්ස, යම් පරිදි යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, පිළිසන් වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවකුට මග පවසන්නේ හෝ වේ ද, අඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දක්නාහ’යි තෙල් පහනක් ධරන්නේ හෝ වේද, එසෙයින් මැ භාග්‍යවතුන් විසින් දහම් පවසන ලද්දේ යැ. වහන්ස, තෙල මම් භාග්‍යවත්හු ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද ආදී කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරණ සේක්ව යි.
සතර වැනි පෝතලිය සූත්‍ර යි.
2. 1. 5.
ජීවක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කෞමාරභෘත්‍ය ජීවකයන්ගේ අඹවන උයන්හි ව වැඩවසනසේක. එකල්හි කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පස්වැ හින. එකත්පස්වැ හුන් කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළෙ:
වහන්ස, මා විසින් තෙල අසන ලද, ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවධ කෙරෙති. ශ්‍රමණ ගෞතමයෝ දැන දැන උදෙසා කරනලද තමන් පිණිස කරණලද මාංසය වළඳන්නාහ’ යි. වහන්ස, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවධ කෙරෙති. ශ්‍රමණ ගෞතමයෝ උදෙසා කරනලද තමන් පිණිස කරනලද ඒ මාංසය දැන දැන වළඳන්නාහ’ යි. කිමෙක වහන්ස, ඔවුහු භාග්‍යවතුන් විසින් වදාළ දැය කියන්නාහු ද? භාග්‍යවතුන්, අභූතයෙන්, නො ද අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද? භාග්‍යවතුන් වදාළ කාරණයට අනුව ප්‍රකාශ කෙරෙත් ද? සකාරණ වූ (නුඹ වහන්සේගේ) කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ? යි.
ජීවකය, යම් කෙනෙක් මෙසේ කීහු නම්: ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණඝාත කෙරෙති. ශ්‍රමණ ගෞතමයන් උදෙසා කරනලද තමන් පිණිස කරණ ලද ඒ මාංසය දැන දැන වළඳන්නාහ’යි. ඔහු මා විසින් කියන ලද්ද කියන්නාහු නො වෙති. යළි ඔහු මට අසත්‍ය වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙති. ජීවකය, මම කරුණු තුනෙකින් මාංසය පරිභෝගාර්‍ග නො වේ යයි කියමි. දක්නාලද්දේ යැ අසනාලද්දේ යැ සැක කරනලද්දේ යැ යනුයි. ජීවකය, මම මේ කරුණු තුනින් මාංසය පරිභෝග නො කටයුතු යයි කියමි. ජීවකය, මම කරුණු තුනෙකින් (පරිශුද්ධ වූ) මාංසය වැළඳියයුතු යයි කියමි: නො දක්නාලද්දෙ යැ නො අසන ලද්දේ යැ සැක නො කරන ලද්දේ යැ යනු යි. ජීවකය, මම මෙ කරුණු තුනින් (පරිශුද්ධ වූ) මාංසය වැළඳියයුතු යයි කියමි.
ජීවකය, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරෙයි. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැහැස විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවන දිග ද එසෙයින් මැ හතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෙත් සහගිය සිතින් පැහැසැගෙන විහාර කෙරෙයි. තුලුන් කරා ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැත්තේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවියාගේ හෝ ගැහැවි දරුවාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවියා හෝ ගැහැවිදරුවා හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. උහුට මෙවන් සිතෙක් නො වෙයි: ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ.’ ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙවන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. මෙ බඳු
සිතෙකුදු නො වෙයි. හේ ඒ පිණ්ඩපාතය ග්‍රථිත නො වී මූර්ඡිත නො වී නො ගිජු වී ආදීනව දක්නාසුලු වැ නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආත්මව්‍යාබාධය පිණිස හෝ සිතන්නේවේ ද? පරව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? (මෙසේ ) උභයව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ජීවකය, මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො1 වහන්ස, එසේ යැ. වහන්ස, බ්‍රහ්ම තෙම මෛත්‍රීවිහාර ඇතියෙකැ’යි තෙල මා විසින් අසනලදි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මා විසින් භාග්‍යවතුන් වහන්සේ සාක්‍ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රීවිහරණ ඇතිසේක. ජීවකය, යම් රාගයෙකින් යම් ද්වේෂයකින් යම් මෝහයෙකින් ව්‍යාපාද ඇතියෙක් වේ ද එ රාගය එ ද්වේෂය එ මෝහය තථාගතයන්හට පුහුන් වේ, උසුන්මුල් වේ, මුදුන්සුන් තලක් සෙයින් අවස්තුක කරන ලද වේ. කළ අභාව ඇති වේ. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදනිමි’යි. වහන්ස, තෙල සඳහා මැ මා විසින් කියනලදැ’යි.
ජීවකය, මෙ සස්නෙහි මහණෙක් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරේ ද, හේ එ කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පැහැසැගෙන විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවන දිග ද එසෙයින් මැ සතරවන දිග දැ’යි මෙසේ උඩ යට සරස හැමතැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් පැහැසැගෙන විහරණය කෙරෙයි. ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ තුලුන් කරා එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැතියේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවිහුගේ හෝ ගැහැවිදරුහුගේ ගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවි හෝ ගැහැවිදරු හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. එ මහණහට මෙ බඳු සිතෙක් නො වෙයි. ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ’ කියායි. ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙ බඳු ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. උහුට මෙ බඳු සිතෙක් ද නො වෙයි. හෙ එ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්‍රථිත නො වී තෘෂ්ණාමූර්ඡායෙන් මූර්ඡිත නො වී (එකවට ගලනු කැමැතියක්හු සෙයින්) නො ගිජු වී දෝෂ දක්නාසුලු වී (මේ සඳහා යැ ආහාරපරිභෝගය යි ප්‍රඥායෙන් පිරිසිඳීමෙන්) නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආතමව්‍යාබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද, පරව්‍යාබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද, උභයව්‍යබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද’යි. වහන්ස, තෙල නො වේ මැ යි. ජීවකය, එ මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො? වහන්ස, එසේ යැ. වහන්ස, තෙල මා විසින් අසනලද: ‘බ්‍රහ්ම උපෙක්‍ෂාවිහරණ ඇතියෙකැ’යි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මාවිසින් භාග්‍යවතුන් වහන්සේ සාක්‍ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි උපෙක්‍ෂාවිහරණ ඇති සේකැ’යි ජීවකය, යම් රාගයෙකින් යම් ද්වේෂයකින් යම් මොහයෙකින් විහෙස ඇති හෝ වේ ද, අරති ඇති හෝ වේ ද, ප්‍රතිඝ ඇති හෝ වේ ද එ රාගය එ ද්වේෂය එ මෝහය තථාගතයන්හට ප්‍රහීණ වෙයි. උසුන්මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක භාව ඇති වෙයි. කළ අභාව ඇති වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදන්මි’යි. වහන්ස, මා විසින් තෙල සඳහා මැ කියනලදි.
ජීවකය, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ උදෙසා පණ නසා ද හේ කරුණු පසෙකින් බොහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයකින් හේ මෙසේ බෙණේ ද: ‘යව. අසෝ නම් ප්‍රාණියා ගෙනෙව’යි. මේ (ආණත්ති සඞ්ඛ්‍යාත) පළමුවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයකින් එ ප්‍රාණියා වෙවුළන ගෙලෙන් ගෙනඑනු ලබනුයේ දුක්දොම්නස් විඳුනේ වේ ද, මෙ දෙවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් හේ මෙසේ බෙණේ ද: යව ‘මේ ප්‍රාණියා නසව’යි. මෙ තුන්වන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් ඒ ප්‍රාණියා මරනුලබනුයේ දුක්දොම්නස් විඳුනේ වේ ද, මෙ සතරවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් හෙ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ නො කැප මසින් ඝටා බෙණේ ද මෙ පස්වන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. ජීවකය, යමෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු උදෙසා පණ නසා ද හේ මෙ පස් කරුණින් බෙහෝ පව් රැස් කෙරෙ යයි.
මෙසේ වදාළ කල්හි කෝමාරභච්ච ජීවක තෙල සැල කෙළෙ: වහන්ස, අසිරි යැ. වහන්ස, අද්භූත යැ. වහන්ස, භික්‍ෂූහු ඒකාන්තයෙන් කැප අහර වළඳ කෙරෙති. වහන්ස, භික්‍ෂූහු ඒකාන්තයෙන් අනවද්‍ය අහර වළඳ කෙරෙති. වහන්ස, ඉතා මැනැවැ … භාග්‍යවතුන් වහන්ස, මා අද පටන් කොට දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.
පස්වැනි ජීවක සූත්‍ර යි.
2. 1. 6.
උපාලි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දායෙහි පාවාරික නම් සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර මහත් නුවට පිරිස් සමග නාලන්‍දායෙහි වෙසෙයි. එකල දීර්‍ඝතපස්වී නුවට නාලන්‍දායෙහි පිඬු පිණිස හැසිර සවස්වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පාවාරික අඹ වෙනෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යි. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු කථා කොට නිමවා එක් පසෙක සිටියේ යැ. එක් පසෙක හුන් දීර්‍ඝතපස්වී නුවටුහට තෙල වදාළහ. ‘තපස්විය, අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’යි. මෙසේ වදාළ කල්හි දීර්‍ඝතපස්වී නුවට එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හින. එක් පසෙක හුන් දීර්‍ඝතපස්වී නුවටුහට බුදුහු තෙල වදාළහ.
තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍ම පනවා ද? යි. ඇවැත්නි ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘කර්‍ම යැ කර්‍ම යැ’යි දක්වනු අනාචිර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘දණ්ඩ යැ දණ්ඩ යැ’යි දක්වනු ආචීර්‍ණ යැ යි. තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩ දක්වා දැ? යි. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාතපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට තුන් දණ්ඩයක් දක්වයි. ඒ මෙසේ යැ: කායදණ්ඩ යැ වාග්දණ්ඩ යැ මනෝදණ්ඩ යි. කිමෙක තපස්විය, කායදණ්ඩය අනෙකෙකැ වාග්දණ්ඩය අනෙකෙකැ මනෝදණ්ඩය අනෙකෙකැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායදණ්ඩ අනෙකෙකැ වාග්දණ්ඩ අනෙකෙකැ මනෝදණ්ඩ අනෙකෙකැ’යි.
තවද තපස්විය, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කවර දණ්ඩයක් මහාසාවද්‍යතර කොට පනවා ද? කායදණ්ඩ හෝ යැ වචීදණ්ඩ හෝ යැ මනෝදණ්ඩ හෝ යැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදන ලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කායදණ්ඩය මහාසාවද්‍යතර කොට පනවයි. වචීදණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ යයි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩ යයි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. මෙසේ භාග්‍යවත්හු දීර්‍ඝතපස්වී නුවටු මේ කථාවස්තුයෙහි තුන් වර දක්වා පිහිටි වූහ.
මෙසේ වදාළ කලිහි දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවවු දැ? යි. තපස්විය, තථාගතයනට දණ්ඩ යැ දණ්ඩ යැ යි දක්වනු අනාචීර්‍ණ යැ. තපස්විය, තථාගතයනට කර්‍මය යැ කර්‍මය යැ යි දක්වනු ආචීර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍මයන් දක්වවු දැ? යි. තපස්විය, මම පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කර්‍ම තුනක් දක්වමි. ඒ මෙසේ යැ: කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායකර්‍ම අනෙකෙක් ද? වාක්කර්‍ම අනෙනෙක් ද? මනඃකර්‍ම අනෙකෙකැ’යි.
තවද ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසනලද මේ තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කවර කර්‍මයක් මහාසාවද්‍යතර කොට පනවවු ද? කායකර්‍ම හෝ යැ වාක්කර්‍ම හෝ යැ මනඃකර්‍ම හෝ යැ යි. තපස්විය, මම මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට මනඃකර්‍ම මහාසාවද්‍යතර යයි දක්වමි. කායකර්‍ම එසේ නො වෙයි. වාක්කර්‍ම එසේ නො වෙයි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. මෙසේ දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් මේ කථාවස්තුයෙහි තුන් යළ දක්වා පිහිටුවා හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා කරා එළැඹියේ යි.
එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර උපාලි ගෘහපති ප්‍රමුඛ කොට ඇති බාලකලෝණකාර ගම්වැසි මහත් වූ ගිහිපිරිස් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටු දුර දී මැ එන්නහු දිට. දැක දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: ‘තපස්විය, තෙපි දෙවෙන් දහවලැ කොහි සිට එවු දැ?’යි. ‘වහන්ස, මම මහණගොයුම්හු සමීපයෙහි සිට එමි’යි කී. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වි දැ? යි. ‘වහන්ස, ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී යැ’යි. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසි කථාසල්ලාපයෙක් කිසෙයින් වී දැ? යි. ඉක්බිති දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, එහැම නිගණ්ඨනාතපුත්‍රහට සැල කෙළේ යැ. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: මැනැව මැනැව තපස්විය, මොනොවට ශාස්තෘශාසනය දන්නාවූ ශ්‍රැතවත් ශ්‍රාවකයකු යම්සේ ද එසෙයින් දීර්‍ඝතපස්වී නුවටහු විසින් ශ්‍රමණ ගෞතමයනට ප්‍රකාශ කරනලද. කිම මෙසේ මහත් වූ මේ කායදණ්ඩය සඳහා ලාමක වූ මනෝදණ්ඩය හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ යයි.
මෙසේ කී කල්හි උපාලි ගෘහපති නිගණ්ඨනාතපුත්‍රයාහට තෙල කී: වහන්ස, තපස්වීහු, ඉතා මැනැවැ. මොනොවට ශාස්තෘශාසනය දන්නා ශ්‍රැතවත් ශ්‍රාවකයක්හු විසින් යම්සේ ද එසෙයින් භදන්ත තපස්වීන් විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරනලද. මෙසේ මහත් වූ කායදණ්ඩය සඳහා ලාමක වූ මනෝදණ්ඩය කිම හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ. එයෙයින් යමි. වහන්ස, මම මේ කථාවස්තුව යෙහි ලා ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණ කෙරෙමි. ඉදින් ශ්‍රමණ ගෞතමයෝ භදන්ත තපස්වීන් විසින් යම් පරිදි පිහිටුවනලද ද, එ පරිදි මාගේ කථායෙහි පිහිටා සිටිත් නම්, යම්සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොම් ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කරන්නේ ද , එසෙයින් මැ මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරෙමි. යම්සේ බලඇති සුරාකරුවෙක් මහත් වූ පිටිපැදුරු ගැඹුරු දියවළෙකැ බහාතබා දෙකණ ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරේ ද එ පරිදි මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරෙමි. යම්සේ බලඇති සුරාධූර්‍තයෙක් මටලුකස්ස දෙකණ ගෙන කිබිසිනි කොට පිඹපියා ද උඩුහුරු කොට පිඹපියා ද පුනපුනා ගසාපියා ද එ පරිදි මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට අවධූනන නිර්ධූනන නිෂ්ඵොටන කෙරෙමි. යම්සේ සැටහැවිරිදි (රජුගේ) ඇත් ගැඹුරු පොකුණට වැද සණදොවුන්කෙළි නම් කෙළියක් කෙළී ද, එ පරිදි මම මහණ ගොයුම් හා සණදොවුන්කෙළි බඳු වාදකෙළියක් කෙළිමි’යි. වහන්ස, මම යම් මැ යැ, මහණ ගොයුම් හට මේ කථාවස්තුවෙහි වාද නංවමි’යි කී. ගහපතිය, තෙපි යව. මහණ ගොයුම් හට මේ කථාවස්තුයෙහි වාද නංවව. ගහපතිය, මම හෝ මහණ ගොයුම්හට වාද නංවමි. දීර්‍ඝතපස්වී නුවට හෝ නංවයි. තෝ හෝ නංවහි කී.
මෙසේ කී කලැ දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාතපුත්‍රයාහට තෙල කී: ‘වහන්ස, යම් හෙයකින් උපාලි ගහපති මහණ ගොයුම්හට වාදාරෝපණය කෙරෙයි, යන තෙල මට නුරුස්නේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායා ඇත්තාහ. යම් මායාවෙකින් අන්තොටුවන්ගේ සව්වන් ආවර්‍තනය කොට ගනී ද, එබඳු ආවර්‍තනමායාවක් දන්නාහ’යි. තපස්විය, උපාලි ගහපති මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ යන යමෙක් ඇද්ද තෙල වන්නට නො නිසි යැ. එයට අවකාශ ද නැත. ‘මහණ ගොයුම්හු උපාලි ගහපතිහුගේ සවු බවට යන්නේ යැ’යි යන යමෙක් ඇද්ද තෙල වන්නට නිසි යැ. ගහපතිය, තෙපි යව. මහණ ගොයුම්හට තෙල කථාවස්තුයෙහි ලා වාදාරෝපණ කරව. ගහපතිය, මම හෝ මහණ ගොයුම්හට වාදාරෝපණ කෙරෙමි. දීර්‍ඝතපස්වී නුවට හෝ කෙරෙයි. තෙපි හෝ කරව’යි කී.
දෙවනවට ද … දීර්‍ඝතපස්වී නුවට හෝ කෙරෙයි. තෙපි හෝ කරව යි. තුන්වනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාතපුත්‍රයාට තෙල කී: වහන්ස, උපාලි ගහපති මහණ ගොයුම්හට වාදාරෝපණය කෙරෙයි’ යන යමෙක් ඇද්ද තෙල මට නුරුස්නේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායාවීහ. යම් මායායෙකින් අන්තොටුවන්ගේ සව්වන් ආවර්‍තනය කෙරේ ද, එබඳු ආවර්‍තනමායාවක්, දන්නාහ’යි කී. තපස්විය, ‘උපාලි ගහපති මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ’ යන යමෙක් ඇද්ද තෙල වන්නට නො නිසි යැ. එයට අවකාශ ද නැත. ‘ මහණ ගොයුම්හු උපාලි ගහපතිහුගේ සවු බවට යන්නේ යැ’යි යන යමෙක් ඇද්ද, තෙල වන්නට නිසි යැ. ගැහැවිය, තෙපි යව. මහණ ගොයුම්හට මේ කථාවස්තුයෙහි ලා වාදාරෝපණ කරව. ගැහැවිය, මම හෝ මහණ ගොයුම්හට වාදාරෝපණ කරන්නට නිස්සෙමි. දීර්‍ඝතපස්වී නුවට හෝ නිස්ස. තෙපි හෝ නිසිව’යි, (නුවට නතපුත් කී.)
‘වහන්ස, එසේ යැ’යි උපාලි ගහපති නිගණ්ඨනාතපුත්‍රයාහට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා සකසා වැඳ පැදකුණු කොට පාවාරික අඹවනයට ගොස් බුදුන් කරා එළැඹියේ යැ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පස්වැ හින. එකත්පස්වැ හුන් උපාලි ගැහැවි බුදුන්ට තෙල කී: ‘වහන්ස, දීර්‍ඝතපස්වී නුවට මෙහි ආ යැ හෝ? ගහපතිය, දීර්‍ඝතපස්වී නුවට මෙහි ආ යැ. වහන්ස, දීර්‍ඝතපස්වී නුවටහු හා තොප වහන්සේ කිසියම් කථාසල්ලාපයෙක් ඇත හෝ’යි. ගහපතිය, දීර්‍ඝතපස්වී නුවටහු හා මාගේ කිසියම් කථාසල්ලාපයෙක් ඇත. වහන්ස, දීර්‍ඝතපස්වී නුවටහු හා තොප වහන්සේ කිසියම් කථාසල්ලාපය කෙසේ නම් වී ද? එසඳ බුදුහු දීර්‍ඝතපස්වී නුවටහු හා උපන් කථාසල්ලාපය තාක් එ හැම උපාලි ගහපතිට වදාළහ.
මෙසේ වදාළ කල්හි උපාලි ගහපත් බුදුන්ට තෙල කී: වහන්ස, තපස්වී සාධුතර යැ. මොනොවට ශාස්තෘශාසනය අවබෝධ කොට ගත් ශ්‍රැතවත් ශ්‍රාවකයක්හු විසින් යම් පරිදි පිළිතුරු දියයුතු වී නම් එ පරිදි මැ දීර්‍ඝතපස්වී නුවටහු විසින් භගවත්හට ප්‍රකාශ කරනලද. මෙසේ මහත් වූ කායදණ්ඩය සඳහා ලාමක වූ මනෝදණ්ඩය කෙසේ හොබනේ වේ ද? වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග් දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වෙයි කී. ගහපතිය, ඉදින් තෙපි සත්‍යෙයහි පිහිටා මන්ත්‍රණය කරන්නහු වී නම් මෙහි ලා අපගේ කථාසල්ලාපය වෙයි වදාළෝ. වහන්ස, මම සැබැවැ පිහිටා මන්ත්‍රණ කෙරෙමි. මෙහි ලා අපගේ කථාසල්ලාපය වේව්යි.
ගහපතිය, ඒ කෙසේ හඟිහි? මෙලොව සිහිල්දිය පිළිකෙව් කළ උණුදිය වළඳ කරන නුවටෙක් හටගත් ආබාධ ඇත්තේ හටගත් දුක් ඇතියේ දැඩිගිලන් වූයේ වෙයි. හේ සිහිල් දිය නො ලබනුයේ කලුරිය කෙරෙයි. ගහපතිය, මුහුට නිගණ්ඨනාතපුත්‍ර කොතැන ඉපැත්ම පනවන්නේ දැ? යි. වහන්ස, මනඃසත්ත්‍ව නම් දෙවි කෙනෙක් ඇත. එහි හේ උපදනේ යැ. එ කවර හෙයින යත්: වහන්ස, තෙල නුවට මනඃප්‍රතිබද්ධ වැ කලුරිය කෙරෙයි. (එහෙයිනැ’යි කී.) ගැහැවිය, ගැහැවිය, මෙනෙහි කොට කියව, තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද ඝටිත නො වෙයි. ගහපතිය, තා විසින් තෙල බස කියන ලදි: ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරමි. අපගේ කථාසල්ලාපය වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර වෙයි. වාග්දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වෙයි’ කී.
ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙලොව්හි චාතුයාමසංවරයෙන් සංවෘත වූ සියලු සිහිල් දිය පිළිකෙව් කළ සියලු පව් වැළහීමෙහි යෙදුණු සියලු පාපවාරණයෙන් වැළහූ පව් ඇති සියලු පාපවාරණයෙන් පහස්නාලද නිගණ්ඨායක් වන්නේ යැ. හේ ඉදිරියට යනුයේ පෙරළා නවත්නේ බොහෝ කුඩා පණුවන් වධයට පමුණුවයි. ගැහැවිය, මොහුට වැළිත් නිගණ්ඨනාතපුත්‍ර කවර විපාකයක් පනවා දැ? යි. වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර අසංචේතනික කර්‍මය මහාසාවද්‍ය කොට නො පනවා යයි. වැළි ගැහැවිය, ඉදින් සිතා නම් (කෙබඳු වේ දැ? යි.) වහන්ස, මහාසාවද්‍ය වේ යයි. ගැහැවිය, චේතනාව වැළිත් නිගණ්ඨනාතපුත්‍ර
කවර කොටසෙක්හි ලා පනවා දැ? යි. ‘වහන්ස, මනෝදණ්ඩයෙහි ලා පනවා’ යයි. ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියව. තා පළමු කී බස හා පසු වැ කී බස ඝටිත නො වෙයි. පසු වැ කී බස හා පළමු කී බස ඝටිත නො වෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද වෙයි. ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරමි. අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර වෙයි. වචීදණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වේ යයි.
ගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? මේ නාලන්‍දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ මිනිසුන් විසින් ගැවැසිගතැ’යි. එසේ යැ වහන්ස, මේ නාලන්‍දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ ජනයන් ඇති වැ මිනිසුන් විසින් ආකීර්‍ණ වී යයි. ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙහි ඔසවාගත් කඩු ඇති පුරුෂයෙක් එන්නේ යැ, හේ මෙසේ කියන්නේ නම් මේ නාලන්‍දායෙහි යම් තාක් සත්ත්‍වයෝ ඇද්ද, ඔවුන් එකෙණෙහි එක් මෙහොතෙහි එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නෙමි’යි කියා නම් ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? ඒ පුරුෂ මේ නාලන්‍දායෙහි යම්තාක් ප්‍රාණීහු ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට පෙහොනේ වේ දැ? යි. වහන්ස, පුරුෂයෝ දසදෙනෙකුදු විසිදෙනෙකුදු තිස්දෙනෙකුදු සතලිස්දෙනෙකුදු පුරුෂයෝ පනස්දෙනෙකුදු මේ නාලන්‍දායෙහි යම් පමණ සත්ත්‍වයෝ ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට නො පොහෝනාහ. එක් ලාමක පුරුෂයෙක් කිම නිසි වේ දැ? යි.
ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙලොවැ ඍද්ධි ඇති චිත්තවශීභාවයට පැමිණි මහණෙක් හෝ බමුණෙක් හො එන්නේ යැ. හේ මෙසේ කියන්නේ නම්, මම මේ නාලන්‍දාව එක් චිත්තප්‍රදෝෂයෙකින් හළු කරන්නෙමි’යි. ගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? ඍද්ධි ඇති චේතෝවශීප්‍රාප්ත ඒ මහණ හෝ බමුණු හෝ මේ නාලන්‍දාව එක් චිත්තප්‍රදෝෂයෙකින් හළු කරන්නට පොහෝනේ දැ? යි. වහන්ස, නාලන්‍දා දසයකුදු විස්සකුදු තිසකුදු සතලිසකුදු නාලන්‍දා පනසකුදු ඍද්ධිමත් චේතෝවශීප්‍රාප්ත ඒ මහණ හෝ බමුණු හෝ මේ නාලන්‍දාව එක් චිත්තප්‍රදෝෂයෙකින් හළු කරන්නට පොහෝනේ යැ. එක් ලාමක වූ නාලන්‍දාව කිම? ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියහි? තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද නො ගැළපෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද වෙයි. ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වේ යයි.
ගැහැවිය, ඒ කිමැ’යි සිතහි? තොප විසින් දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය නො ගම් වැ වල් වූ පරිදි ඇසූවිරූ දැ? යි. එසේ යැ වහන්ස, දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය නො ගම් වැ වල් වූ පරිදි මා විසින් ඇසූවිරූ යයි. ගැහැවිය, ඒ කිමැ’යි සිතහි? ඒ දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය තොප විසින් කිමෙකින් නො ගම් වැ වල් වී යයි අසනලද ද? වහන්ස, දණ්ඩකාරණ්‍ය,
කාලිඞ්ගාකරණ්‍යය, මේධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය ඍෂීන්ගේ දැහැවිලින් නො ගම් වැ වල් වී යයි පරිදි මා විසින් අසනලදැ’යි. ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියව. තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද ඝටිත නො වෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද: ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි.
වහන්ස, මම පළමු උපමායෙන් මැ භාග්‍යවතුන් වහන්සේගේ (ප්‍රශ්නව්‍යාකරණයෙහි) සතුටුසිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වත් මම භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්නව්‍යාකරණයන් අසනු කැමැති වැ මෙසේ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කියයුතු යයි සිතීමි. වහන්ස, ඉතා මැනැවැ. වහන්ස, ඉතා මැනැවැ. වහන්ස, යම් පරිදි යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේද, පිළිසන්වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද, අඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දකිත්ව යි තෙල්පහනක් දරන්නේ හෝ වේද, එපරිදි මැ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසනලද. වහන්ස, මම් බුදුන් සරණ කොට යමි. ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට ධරණ සේක්ව’ යි.
ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්‍දර වේ යයි. වහන්ස, මම මෙ කරුණෙනුදු භාග්‍යවතුන් වහන්සේට වෙසෙසින් සතුටු වූයෙම් ඇලුණෙම් වෙමි. භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් මට මෙසේ ‘ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්‍දර වේ’ යයි, වදාළසේක් ද එහෙයිනි. වහන්ස, අන්‍යතීර්‍ත්‍ථකයෝ මා ශ්‍රාවක කොට ලැබ ‘උපාලි ගැහැවි අපගේ ශ්‍රාවක බවට පැමිණියේ යැ’යි සියලු නාලන්‍දාව වටා දද නඟා ඇවිදුති. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළහ: ‘ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්‍දර වේ’ යයි. වහන්ස, මම දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරනසේක්ව’ යි.
ගැහැවිය, තොපගේ ගෙය බොහෝ දවස් නුවටනට පැන්පොකුණක් මෙන් සිටියේ යැ. එහෙයින් එළැඹියා වූ ඔවුනට පිණ්ඩපාතය දියයුතු කොට සිතව යි. වහන්ස, මම මෙ කරුණෙනුදු භාග්‍යවතුන් වහන්සේට වෙසෙසින් සතුටු වූයෙම් ඇලුණෙම් වෙමි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ ‘ගැහැවිය, තොපගේ ගෙය බොහෝ දවස් නුවටනට පැන්පොකුණක් මෙන් සිටියේ යැ. එහෙයින් උපගත වූ ඔවුනට පිණ්ඩපාතය දියයුතු කොට සිතව’ යි වදාළසේක් ද එහෙයිනි. වහන්ස, මා විසින් තෙල අසනලද: ‘මහණ ගොයුම්හු මෙසේ කියති: මට මැ දන් දියයුත්තේ යැ. අන්‍යයනට දන් නො දියයුත්තේ යැ, මාගේ සවුවනට මැ දන් දියයුත්තේ යැ, අනුන්ගේ සවුවනට දන් නො දියයුත්තේ යැ, මට මැ දෙනලද්ද මහත්ඵල යැ. අනුනට දෙන ලද්ද මහත්ඵල නො වෙයි, මාගේ සවුවනට මැ දෙනලද්ද මහත්ඵල යැ. අනුන්ගේ සවුවනට දෙනලද්ද මහත්ඵල නො වේ’යයි. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ නුවටුන් කෙරෙහි දු දානයෙහි මා සමාදන් කරවන සේක. තවද වහන්ස, මෙහි ලා අපි මැ කල් දනුම්හ. වහන්ස, මම තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරනසේක්ව’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි ගැහැවිහට පිළිවෙළ කථා වදාළසේක. ඒ මෙසේ යැ: දානකථා යැ, ශීලකථා යැ, ස්වර්‍ගකථා යැ, කාමයන්ගේ ආදීනව යැ, ලමු බව යැ, කෙලෙසිලි බව යැ, නෛෂ්ක්‍රම්‍යෙයහි ආනිසංස යැ යන මේ වදාළසේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ උපාලි ගහපතිහු කල්‍ය සිත් ඇත්තහු මෘදු සිත් ඇත්තහු විනීවරණ සිත් ඇත්තහු උදග්‍ර සිත් ඇත්තහු ප්‍රසන්න සිත් ඇත්තහු දැනගත්සේක ද එකල්හි බුදුවරුන් ගේ යම් සාමුක්කංසික දේශනාවක් ඇද්ද ඒ දුඃඛසත්‍ය සමුදය සත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය වදාළසේක. යම්සේ පහ වූ කිලුටු ඇති ශුද්ධ වස්ත්‍රෙයක් මොනොවට රජන් ගන්නෙ ද එසෙයින් මැ උපාලි ගහපතිහට ඒ අස්නෙහි මැ විගතරජස් ඇති විගතමල ඇති ධර්‍මචක්‍ෂුස පහළ විය: ‘යම්කිසි සමුදයධර්‍මයෙක් ඇද්ද එ හැම නිරුද්ධ වන ස්වභාව ඇතැ’යි. ඉක්බිති උපාලි ගහපති දුටු (සිව්සස්) දහම් ඇතියේ පැමිණි දහම් ඇතියේ දත් දහම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහවූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘වහන්ස, අපි දැන් යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇතියම්හ’යි. ගැහැවි, තෙපි දැන් එයට කල් දනුව’යි.
ඉක්බිති උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සිය නිවෙස්න කරා එළැඹියේ යැ. එළඹ ද්වාරපාලයා කැඳවී යැ. ‘සගය, දෝවාරිකය, අද පටන් කොට නුවට නුවටු දෙපසට දොර වසමි. අප බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර විවෘත වෙයි. ඉදින් යම් මැ නුවටෙක් ආ නම් තුලුන්ට තෙපි මෙසේ කියව. වහන්ස, සිටිනු මැනැවැ, නො පිවිසෙනු මැනැවැ, අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ. නුවට නුවටුනට දොර ඇවිරිණි. බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො ඇවිරිණි. වහන්ස, ඉදින් තොපට පිණ්ඩයෙන් වැඩ වේ නම් මෙහි මැ සිටිනු මැනවැ. තොපට මෙහි ලා මැ ගෙන එති’යි. (කියා ගෙට වන.) වහන්ස, එසේ යයි දොරටු ගොවු උපාලි ගැහැවිහට පිළිවදන් දිනි.
දීර්‍ඝතපස්වී නුවටහු ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට පැමැණියේ යැ’යි ඇසි. එකල්හි දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ, ගොස් නිගණ්ඨනාථපුත්‍රට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ ලැ’යි තෙල මා විසින් අසනලදැ’යි. තපස්විය, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නෙ යැ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. අවකාශ ද නැත. ‘මහණ ගොයුම් උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නිසි යැ යි කී. දෙවනවට ද ... තෙවනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයාහට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට පැමිණියේ ලැ’යි තෙල මා විසින් අසනලදි. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. ‘මහණ ගොයුම් උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල කරුණ ඇතැ’යි කී. වහන්ස, දැන් මම යමි. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ හෝ නොහොත් නො ගියෙ හෝ’යි දනිම් මැ යැ. තපස්විය, තෙපි යව. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ හෝ නොහොත් නොගියෙ හො’යි දන්ව යි.
ඉක්බිති දීර්‍ඝතපස්වී නුවට උපාලි ගැහැවිහුගේ නිවෙස්න කරා ගියෙ, දොරටුගොවු දීර්‍ඝතපස්වී නුවට එන්නහු දුරැ ලා මැ දිට. දැක දීර්‍ඝතපස්වී නුවටහට තෙල කී: ‘වහන්ස, සිටුව. නො වදිනු මැනැවැ. අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ. නුවට නුවටුනට දොර වැසිණ, බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො වැසිණ. වහන්ස, ඉදින් තොපට බතින් අර්‍ත්‍ථ ඇත් නම් මෙහි මැ සිටුව. මෙහි ලා මැ තොපට ගෙන එති’යි කී. ‘ඇවැත, මට බතින් වැඩෙක් නැතැ’යි කියා එයින් පෙරළා නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ, ගොස් නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යනු සැබෑ මැ යි. වහන්ස, මම තොපගේ තෙල සවු වළහනු නො ලත්මි. වහන්ස, ‘උපාලි ගැහැවි මහණගොයුම්හට වාදාරෝපණය කරන්නෙ යැ’ යන යමෙක් ඇද්ද තෙල මට නො රිසුණේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායා ඇත්තාහ. යම් මායායෙකින් අන්තොටු වන්ගේ සවුවන් ආවර්‍තනය කොට ගනිත් ද, එබඳු ආවර්‍තනී මායාවක් දන්නාහ. වහන්ස, තොපගේ උපාලි ගැහැවි මහණ ගොයුම්හු විසින් අවර්‍තනී මායායෙන් ආවර්තිත වැ ඇති’යි. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යන යමෙක් වේ ද තෙල වන්නට නො නිසි යැ. අවකාශ ද නැත. ‘මහණ ගොයුම්හු උපාලි ගැහැවිහුගේ සවු බවට යන්න යැ’ යන යමෙක් වේද තෙල කරුණ ඇතැ’යි. දෙවනවට දු ... තුන්වනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යන යමෙක් වේ ද තෙල සැබෑ මැ යැ. වහන්ස, මම තොපගේ තෙල සවු වළහන්නට නො ලත්මි. වහන්ස, ‘උපාලි ගැහැවි මහණගොයුම්හට වාදාරෝපණය කරන්නෙ යැ’ යන යමෙක් වේ ද තෙල මට නො රිසුණේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායාවීහ. යම් මායායෙකින් අන්තොටුවන්ගේ සවුවන් ආවර්‍තනය කොට ගනිත් ද, එබඳු ආවර්‍තනී මායාවක් දන්නාහ. වහන්ස, තොපගේ උපාලි ගැහැවි මහණ ගොයුම්හු විසින් ආවර්තිත වැ ඇතැ’යි කී. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. ‘මහණ ගොයුම්හු උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නාහ’යන යමෙක් වේද තෙල කරුණ විද්‍යාමාන වෙයි. තපස්විය, එබැවින් මම යමි. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ හෝ නොහොත් නො ගියෙ යැ හො’යි මම් මැ දනිමි’යි.