Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 2101-2200 න් 6387

19. මෙසේ මාරයාගේ අනුල්ලපනභාව (තථාගතයන් බඹපිරිස්හි එළවා බිණිමේ) හේතුයෙනුදු, බ්‍රහ්මයාගේ අභිනිමන්ත්‍රණ (“ඉදං හි මාරිස, නිච්චං”) ආදීන් තථාගතයන් බ්‍රහ්මස්ථානය කෙරෙහි නිමන්ත්‍රණය කිරීමේ (පොළඹ වීමේ) හේතුවිනුදු මේ වෙය්‍යාකරණයට බ්‍රහ්මනිමන්තනික කියා ම අධිවචන විය.
බ්‍රහ්මනිමන්තනික සූත්‍රය නවවැනියි.
1. 5. 10.
මාරතජ්ජනිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලද: එක්කෙලෙක මහමුගලන් මහතෙරහු භගුරට සුංසුමාරගිරි නුවර මුවළැව්වන මිහිඟගස් ඇති උයන්හි වාස කෙරෙති.
2. එකල මහමුගලන් මහතෙරණුවෝ අභ්‍යාවකාශයෙහි සක්මන් කෙරෙති. එවිට පවිටු මාරයා මහමුගලන් මහතෙරණුවන්ගේ කුක්‍ෂිගත ව පක්‍වාශයට පිවිසියේය. එසඳ මහමුගලන් මහතෙරණුවනට තෙල සිත්වී: “කිම මා කුස් අතිහාරයක් වැනිය. මෑබත් වළඳ කළහුගේ කුස වැනිය. නො හොත් මෑ ඇට පිරූ පහියක් (පසුම්බියක්) වනැ”යි. ඉක්බිති මහමුගලන් මහතෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ මහමුගලන් මහතෙරණුවෝ තමා කෙරෙහි නුවණින් මෙනෙහි කළහ.
3. මහමුගලන් මහතෙරහු පවිටුමරහු කුසට වැද පක්‍වාශයට පිවිසියහු දුටහ. දැක පවිටුමරහට තෙල බස් කීහ: “පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගතශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා” කියායි.
4. එසඳ පවිටු මරහට තෙල සිත්වී: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගත ශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.
5. ඉක්බිති මහමුගලන් මහතෙරහු පවිටු මරහට තෙල බස් කීහ: “පවිට, මම මෙතන්හි ලා තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’ නොසිත, තෝ මරෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නො පෙළා, තථාගතශ්‍රාවක නො පෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.
6. එසඳ පවිටු මරුහට තෙල සිත්වී: “මේ මහණ මා දන්මින් ම දක්මින් ම මෙසේ කියයි: පවිට, නික්මයා, පවිට නික්මයා. තථාගතයන් නො පෙළා. තථාගතශ්‍රාවක නොපෙළා. තට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා”යි. එසඳ පවිටු මර මහ මුගලන් මහතෙරුන්ගේ මුවින් නැගී (පන්සලෙන් බැහැර) කවුළුදොර ළඟ සිටගත.
7. මහමුගලන් මහතෙරහු පවිටු මර කවුළුදොරෙහි සිටියහු දුටහ. දැක පවිටු මරහට තෙල කීහ: “පවිට, මෙහිදු මම තා දක්මි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට, තෙල තෝ කවුළුදොර සිටියෙහි නො.”
8. පවිට, පෙර වූවිරී දැයක් කියමි: මම දුසී නම් මර වීමි. මාගේ බින් කාළී නම. තෝ ඇයගේ පුත් වූයෙහි. තෝ (එකල) මාගේ බෑනෙහි. පවිට, එකල අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ තථාගතයන් වහන්සේ ලොව පහළ වූහ. පවිට, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ තථාගතයන් වහන්සේට අග්‍ර භද්‍රයූග වූ විධුර-සඤ්ජීව නම් ශ්‍රාවකයුග්මයෙක් වී. පවිට, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේට යම් පමණ ශ්‍රාවකයෝ වූහු ද, ධර්‍මදේශනායෙහි ලා ආයුෂ්මත් විධුර මහතෙරණුවන් හා සමසම ව සිටුනා කිසිදු සව්වෙක් නොවී. පවිට, මේ හේතුවින් ආයුෂ්මත් විධුරතෙරණුවනට විධුර ය, විධුර යැ යි (-විගතධුර ය, අන්‍යයන් හා අසම ය යන) අන්‍වර්‍ත්‍ථසංඥා උපන.
පවිට, ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ අරණ්‍යගත වුව ද, වෘක්‍ෂමූලගත වුව ද, ශුන්‍යාගාර ගත වුව ද, නිදුකින් ම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිති. පවිට, පෙර වූවක් කියමි: ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ එක්තරා ගසක් මුල සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන් ව හුන්හ. පවිට, ගෙරි රක්නෝද, එළුබටෙළු රක්නාහු ද, සීසානාහු ද මගබැසයන්නාහු සඤ්ජීවතෙරණුවන් එක්තරා ගසක්මුල සඤ්ඤාවේදයිතනිරෝධයට සමවැද හුන්නවුන් දුටහ. දැක ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ආශ්‍චර්‍ය්‍යය, භවත්නි, අද්භූතය, මේ මහණ හුන්වන ම කලුරිය කෙළේය. එයින් උන් දවම්හ” කියායි. පවිට, ඉක්බිති ගෝපාලයෝ ද පශුපාලයෝ ද කර්‍ෂකයෝ ද යන ඒ මගියෝ තණ දර හා ගොම එක්රැස් කොට සඤ්ජීව තෙරණුවන්ගේ කය වටා සෑයක් බැඳ ගිනි ලා ගියහ. පවිට, එසඳ සඤ්ජීව තෙරණුවෝ එරැය ඇවෑමෙන් ඒ සමවතින් නැගී සිවුරු පොළාපියා පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, ගොපල්ලො ද පසුපල්ලෝ ද සීසානුවෝ ද යන ඒ මගීහු සඤ්ජීව තෙරණුවන් පිඬු පිණිස වදනවුන් දුටහ. දැකීමෙන් ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ඒකාන්තයෙන් අසිරි ය, භවත්නි, ඒකාන්තයෙන් අද්භූත ය මේ මහණ හුන්වන ම මළේ ය. හේ නැවත මැනැවින් දිවි ලද” කියායි. පවිට, මේ හේතුවින් සඤ්ජීව තෙරණුවනට සඤ්ජීව ය, සඤ්ජීව යැයි අන්‍වර්‍ත්‍ථසංඥා පහළ විය.
9. පවිට, ඉක්බිති දූසීමරහට තෙල සිත් වී: “මම සිල්සපන් කලණ දහම් ඇති මේ මහණුන්ගේ ආගතිදු ගතිදු නොම දන්මි. ‘බමුණුගැහැවියෙනි, එව. සිල්වත් කළණදහම් ඇති මහණුන් (දස අකෙස්ලියෙන්) ආක්‍රෝශ කරව, තෙපුලින් පරිභාෂණ කරව, ඝටව, වෙහෙස කරව. තොප විසින් ආක්‍රෝශ කරනු ලබන, තෙපුලින් නින්‍දා කරනු ලබන, ඝටනු ලබන, වෙහෙසනු ලබන ඒ මහණුනට දුසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් (ක්ලේෂොත්පත්තියට ප්‍රත්‍යයෙක්) වේ නම් මනාම යයි, ඉදින් මම බමුණු ගැහැවියනට ආවිෂ්ට වෙම් නම් යෙහෙක” යන සිතයි. පවිට, ඉක්බිති දූසිමර බමුණු ගැහැවියනට ආවිෂ්ට වී: “තෙපි එව, සිල්වත් කල්‍යාණධර්‍ම ඇති, මහණුනට ආක්‍රෝශ කරව, පරිභාෂණ කරව, ඝටව, වෙහෙස කරව. තොප විසින් ආක්‍රෝශ කරනු ලබන, පරිභාෂණ කරනු ලබන, ඝටනු ලබන, වෙහෙස කරනු ලබන ඒ මහණුනට දූසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනාමයැ”යි කියායි.
10. පවිට, ඉක්බිති ඒ බමුණු ගැහැවියෝ දූසීමරහු විසින් ආවිෂ්ට වූවාහු සිල්වත් කලණ දහම් ඇති මහණුනට ආක්‍රෝශ කෙරෙති. නින්‍දා කෙරෙති. ඝටති. වෙහෙස කෙරෙති. (කෙසේ යත්:) “නින්‍දිත මුණ්ඩයන් වන, නින්‍දිත ශ්‍රමණයන් වන, ගෘහපතිකයන් වන, කෘෂ්ණයන් වන, බන්‍ධුපාදාපත්‍යයන් (බ්‍රහ්මයාගේ පිටිපතුලෙන් උපනුවන්) වන මොහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී බැහුකඳ ඇතිව යටිහුරු මුව ඇතිව උපන් අලස බව ඇතිව ධ්‍යාන කෙරෙති. සිතති, ප්‍රකර්‍ෂයෙන් සිතති, නිගන්නට සිතති. පැහැර ගන්නට සිතති. යම් පරිදි මහමුහුනු වෘක්‍ෂශාඛායෙහි හිඳැ මුෂිකයකු පිරියෙස්මින් ... සිතමින් හිඳුනේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බඹහුගේ පාමිලිදරු වන මේ මුණ්ඩක ශ්‍රමණකයෝ, අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යි බහාගත කඳ ඇතිව අධෝමුඛ ව හටගත් අලසසැහැවි ඇති ව ... සිතති. යම් පරිදි සිවලු නදීතීරයෙහි හිඳ මසුන් පිරියෙස් මින් … සිතනුයේ වේ ද, එපරිදි ම ගැහැවිගති ඇති, කළුවන් ගුණ ඇති, බඹහුගේ පිටිපයිනුපන් දරු වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව යටිකුරු කළ මුව ඇතිව උපන් අලසගති ඇති ව … සිතති. යම් පරිදි බලලු ගෘහසන්‍ධි හා මලබස්නා ඇලිදොර හා කසළ ගොඩෙහි මිහියකු පිරියෙස්මින් ... සිතනුයේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බන්‍ධුපාදාපත්‍ය වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව අධෝමුඛව ජාතාලස්‍ය වැ ... සිතති. යම් පරිදි ගද්‍රභ වහච්ඡිනන ව (-කතර තැරෑ බඩුබර ඉසිලීමෙන් තොරව) සන්‍ධිසමලසඞ‍්කටීරස්ථානයන්හි ලැගගෙන ... සිතනුයේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ්ණ, බ්‍රහ්මපාදයෙන් උපන් දරු වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව යටිහුරුමුව ඇති ව ජාතාලස්‍ය ව ... සිතතියි නිග්‍රහ කළහ.
පවිට, එකල යම් මිනිස් කෙනෙක් කලුරිය කෙරෙද්ද, ඔහු (මාරාවේශ රහිතව ද, මාරු විසින් මවා පෑ මහණුන්ගේ විකාර දැක පියවි මහණුන්ට නිග්‍රහ කළෝ) බෙහෙවින් කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයෙහි උපදිති.
11. පවිට, එසඳ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ භික්‍ෂූන් ඇමැතුසේක: මහණෙනි, දූසි මරහු විසින් බමුණන් හා ගැහැවියෝ ආවීෂ්ටයහ: “තෙපි එව, සිල්සපන් කලණදහම් ඇති මහණුන් ආක්‍රෝශ කරව, නින්‍දා කරව, ඝටව, වෙහෙසව තොප විසින් අක්‍රොශ කරනු ලබන නින්‍දා කරනු ලබන, ඝටනු ලබන, වෙහෙස කරනු ලබන මහණුනට දුසී මර සිදුරු ලැබියහෙන සේ චිත්ත වික්‍ෂේපයෙක් වේ නම්, මැනැව” කියායි. මහණෙනි, තෙපි එව මෙත් සහගිය සිතින් එක්දිගක් ඵරණ කොට වාස කරව. එසෙයින් දෙවන දිග ද, එසෙයින් තෙවන දිග ද, එසෙයින් සිවු වන දිග දැයි මෙසේ උඩයට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැම සතුන් ඇති ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කරව. කරුණා සහගත සිතින් එක්දිගක් අරමුණු කොට වාස කරව ... මුදිතාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැමසත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, අව්‍යාබාධ වූ, උපේක්‍ෂාසහගත සිතින් අරමුණු කොටගෙන වාස කරවයි වදාළහ.
12. පවිට, එක්බිති ඒ භික්‍ෂූහු අර්‍හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ තථාගතයන් වහන්සේ විසින් මෙසෙයින් අවවාද කරනු ලබන්නාහු, මෙසෙයින් අනුශාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්‍ෂමූලගත ව ද, ශුන්‍යාගාරගත ව ද මෙත් සහගිය සිතින් එක් දිගක් ස්‍පර්‍ශ කොට ගෙන වාස කළහ. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැමසත් ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර අව්‍යාබාධ, මෛත්‍රීසහගත චිත්තයෙන් ස්‍පර්‍ශ කොටගෙන වාස කළහ ... කරුණාසහගතචිත්තයෙන් එක් දිගක් ඵරණ කොට ගෙන වාස කළහ ... මුදිතාසහගත චිත්තයෙන් එක් දිගක් ඵරණ කොට ගෙන වාස කළහ ... උපේක්‍ෂාසහගත චිත්තයෙන් එක් දිගක් ස්පර්‍ශ කොටගෙන වාස කළහ. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්‍මතායෙන් හැමසත්ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, උපේක්‍ෂාසහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට ගෙන වාස කළහ.
13. පවිට, ඉක්බිති දූසී මරහට තෙල සිත් වි: “මම මෙසේ ද කරනුයෙම් වුව ද, සිල්සපන් කලණදහම් ඇති මේ මහණුන්ගේ ආගතිදු ගතිදු නොදන්මි. මම බමුණු ගැහැවියනට ආවිෂ්ට වන්නෙම් නම් යෙහෙක: තෙපි එව, සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. මානනා පූජනා කරව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරනු ලබන, මානනා පූජනා කරනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය” කියායි.
14. පවිට, ඉක්බිති දූසීමර ඒ බමුණන් හා ගැහැවියනට ආවිෂ්ට වී: “තෙපි එව, සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. බුහුමන් කරව පුදව. තොප විසින් සත්කාර කරනු ලබන ගරුකාර කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙන සේ චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය” කියායි. පවිට, ඉක්බිති දුසීමර විසින් ඒ බමුණන් හා ගැහැ වියෝ ආවිෂ්ට වූවාහු සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කෙරෙති. ගරුකාර කෙරෙති. බුහුමන් කෙරෙති. පුදති.
පවිට, එසමයෙහි යම් මිනිස් කෙනෙක් කලුරිය කෙරෙද්ද, ඔහු කාබුන් මරණින් මතුයෙහි බෙහෙවින් සුගති වූ ස්වර්‍ගලෝකයෙහි උපදිත්.
15. පවිට, ඉක්බිති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ, කකුසඳ තථාගතයන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, දුසී මරහු විසින් බමුණන් හා ගැහැවියෝ ආවිෂටයහ. ‘තෙපි එව. සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. බුහුමන් කරව. පුදව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරන ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙනසේ චිත්තවික්‍ෂේපයෙක් වේ නම් මනා ම ය’කියායි. මහණෙනි, තෙපි එව. කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති ව, සර්‍ව ලෝකයෙහි අනභිරතසංඥා ඇති ව, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කරව.”
16. පවිට, ඉක්බිති ඒ මහණහු අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්‍ෂමූලගත ව ද, ශූන්‍යගාරගත ව ද, කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති ව, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා ඇති ව, සර්‍ව සංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කළහ.
17. පවිට, ඉක්බිති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ආයුෂ්මත් විධුර තෙරණුවන් කැටුව යනුවන් හා ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, එසඳ දුසී මර එක්තරා කුමාරක්හට අවිෂ්ට ව කැටක් ගෙන ආයුෂ්මත් විධුර තෙරණුවන් හිසෙහි පහර දින. හිස බිඳුනේ ය. පවිට, එසඳ ආයුෂ්මත් විධුර තෙරණුවෝ බුන් හිසින් ගළන ලෙහෙයෙන් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ පසුපස ලුහුබැඳ ගියහ. පවිට, එසඳ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කකුසඳ තථාගතයන් වහන්සේ නාගාපලෝකනය කොට (ඇතකු සෙයින් මුළුකය පෙරළා බැලුම්ලා) බැලූසේක: “මේ දුසීමර පමණ නො දත්හයි (-ප්‍රමාණය පන්වා ගියහයි)” කියායි. පවිට, එසේ බලන්නා හා ම දුසීමර ඒ දෙව්බැවින් ච්‍යුත විය. මහනිරයෙහි ද උපන.
18. පවිට, ඒ මහානිරයට නාමයෝ තුන්දෙනෙකි: ඡඵස‍්සායතනිකය (සවැදෑරුම් සපර්‍ශායතනයෙහි ලා වෙන ම වෙන ම උදා දෙන වේදනාවට හේතු වන නිරය) කියා ද, සඞකුසමාහත (යහුලින් හෘදයෙහි කොටා ලන නරාපලුන් ඇති නිරය) කියා ද, පච්චත්තවේදනිය (තෙමේ ම වේදනා උපදවන නිරය) කියා දැයි නම් තුනෙකි. පවිට, එහි නිරයපාලයෝ මා කරා පැමිණ තෙල බස් කීහු: “සබඳ, යම් දිනෙක තා ළමැඩියෙහි හුලින් හුල එකට හැපී යයි ද, එකල ‘නිරයෙහි පැසෙන මට වර්‍ෂසහස්‍රයෙක් ඉක්මිණැ’යි එය දනගනැ” යි කියා යි. පවිට, මම බොහෝ වර්‍ෂයන්, බොහෝ වර්‍ෂශතයන්, බොහෝ වර්‍ෂසහස්‍රයන් ඒ මහානිරයෙහි පැසිණිමි. ‘වුට‍්ඨානිම’ (විපාකවේදනායෙන් නැගී සිටුනා වේදනා) නම් වේදනා විඳුමින් ඒ මහානරකයට අයත් ‘උස්සද’ නිරයෙහි දශවර්‍ෂසහස්‍රයක් කල් පැසිණිමි. පවිට, මට මිනිසකු කය බඳු කය විය. මසකු හිස බඳු හිස විය. –
1. විධුර මහසව්වන් හා කකුසඳ බුදුනුදු ගැටීමෙන් දූසී මර යම් නිරයෙක පැසිණි ද, ඒ නිරය කෙබඳු වී ද යත්:
2. යහුල් සියෙක් වී. එ හැම තුමූ ම වෙන වෙන වේදනා දනවන සුලු ය. විධුර මහසව්වන් හා කකුසඳ බුදුනුදු ඝටා දුසී මර යම් නිරයක පැසිණි ද, එ නිරය මෙබඳු වී.
3. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල නිරැපවත් දන්නේ වේ ද, පවිට, එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
4. මහමුහුද මැද කල‍්පස‍්ථායී විමානයෝ ඇත. වෛඩූර්‍ය්‍යවර්‍ණ ඇතියහ, රුචිරයහ, (දිලෙන ගිනිකඳුමෙන්) සිළුමත්හ, ප්‍රභාස්වරයහ. නානාත‍්මවර්‍ණ ඇති බොහෝ දෙවඟනෝ ඒ විමන්හි නටති.
5. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල විමානප්‍රවෘත්ති දන්නේ වේ ද, පවිට, එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
6. බුදුන් විසින් මෙහයුම් ලද යම් මහණෙක් බික්සඟන බලාසිටිය දී මුවරමාපහය පාදාඞ්ගුෂ‍්ඨයෙන් සැලී ද,
7. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
8. ඍද්ධිබලයෙන් වහල ලද යම් මහණෙක් පාදාඞ්ගුෂ්ඨයෙන් වෛජයන්තප්‍රසාදය සැලී ද, දෙවියන් සංවිග්නත් කළේ ද,
9. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
10. යම් ඒ මහණෙක් විජයත්පහයෙහි දී “ඇවැත්නි, තෘෂ්ණාක්‍ෂය විමුක්ති දන්හි දැ?”යි ශක්‍රයා අතින් පිළිවිසී ද, ප්‍රශ්න පුළුවුස්නාලද ශක්‍රයා ද තථ්‍ය සේ ඒ මහණහට විසඳුන් කෙළේ යයි ද,
11. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
12-14. යම් මහණෙක් ‘සුධර්‍මා’ නම් බ්‍රහ්මසභාසමීපයෙහි දී “ඇවැත්නි, පෙර තට යම් මිසදුටුයෙක් වී ද, තට ඒ දිටු අදත් ඇද්ද, මෙ බඹලොව බඹ ගණ මඩනා බුදුන් ආලොකය දක්හි දැ”යි බඹහු අතින් පිළිවිසී ද, ඒ මහණහට බ්‍රහ්මයා ද “සබඳ, මට යම් මිසදිටුයෙක් පෙර වී ද, ඒ මිස දිටු දැන් නැත. මෙ බඹලොව බඹගණ මැඩගෙන සිටුනා බුදුන් ඕභාස දක්මි. ‘මම නිත්‍යයෙමි, මම ශාශ්වතයෙමි’ යි මම දැන් කෙසේ කියම් දැ”යි පිළිවෙළ ගෙන තථ්‍ය සේ ප්‍රකාශ කෙළේ ද,
15. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
16. යම් මහණෙක් මහානේරුපර්‍වතරාජයාගේ කූටය ධ්‍යානවිමෝක්‍ෂ අභිඥ්ඥානයෙන් ස්පර්‍ශ කෙළේ ද, දඹදිව හා පූර්‍වවිදේහයන්ගේ දිවයින ද, ගෘහපරිග්‍රහයෙන් භුමිසායි මනුෂ්‍ය කෙනෙක් වෙත් නම්, උන්ගේ දිවයින් ද (උත්තරකුරු - අපරගොයාන ද දිවයින් ද) ධ්‍යානවිමෝක්‍ෂභිඥානයෙන් ස්පර්‍ශ කෙළේ ද,
17. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.
18. ගින්න වනාහි “මම බාලයා දවාලමි”යි ඒකාන්තයෙන් නො වෙළා ගන්නේ ය. ඒ බාලයාම දිලියෙන ගිනි වැදගෙන දැවෙන්නේ ය.
19. මාරය, එපරිදි ම තෝ තථාගතයන් වහන්සේ ඝටා තමා දවාගන්නෙහි. ගින්න ස්පර්‍ශ කරන බාලයකු තමා දවා ගන්නාක් සෙයිනි.
20. කකුසඳ තථාගතයන් වහන්සේ ඝටා දූසී මාරයා පව් ලැබී ය. පවිට, කීම තෝ “මා පිළිබඳ පව් නො පැසේය”යි සිතහි ද?
21. කරනුවාහට පව් රැස්වෙයි. චිරරාත්‍රයෙහි (හේ) වැලපෙයි. පවිට, බුදුන් කෙරෙන් පහව යා. භික්‍ෂූන් කෙරෙහි (ඝටනු පිණිස) ආශා නො කර.
22. මෙසේ භේසකලා වනයෙහිදී මුගලන්මහතෙරණුවෝ මරහු තැති ගැන්වූහ. එයින් ඒ මරදෙවි දුක්පත් සිතැති ව එහි ම අතුරුදන් විය.
මාරතජ්ජනිය සූත්‍රය දසවැනියි.
චූළයමකවර්‍ගය පස්වැනියි.
ඒ වර්‍ගයේ උද්දානය:
සාලෙය්‍යක සූත්‍රය හා වේරඤ්ජක සූත්‍රය, මහාවේදල්ල චූළවේදල්ල සූත්‍ර දෙක, චූළධම්මසමාදාන සූත්‍රය, මහා ධම්මසමාදාන සූත්‍රය, වීමංසක සූත්‍රය හා කෝසම්බිය සූත්‍රය, යළි බ්‍රහ්මනිමන්තනික සූත්‍රය, දූසීමාර සඳහන් ලත් මාරතජ්ජනීය සූත්‍රය ද ඇත. මේ පස්වැනි චූළකමකවර්‍ගයයි.
මූලපණ්ණාසකය නිමියේ ය.
සූත්‍රාන්තපිටකයෙහි
මැඳුම් සඟිය
මධ්‍යම පණ්ණාසකය
1. ගහපති වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
2. 1. 1.
කන්‍දරක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා සමග චම්පා නුවර ගග්ගරා නම පොකුණුතෙර සමීපයෙහි වැඩවාසය කරන සේක. එකල්හි පෙස්ස නම් ඇතරුපුත් ද කන්‍දරක පිරිවැජි ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ පෙස්ස අතරුපුත් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. කන්‍දරක පිරිවැජි වැළිත් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත් පස් වැ සිටි කන්‍දරක පරිව්‍රාජක හාත්පස නො බැණැ වැඩහුන් සඟුන් බලා භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින් භික්‍ෂුසඞ්ඝයා මැනැවින් යම් පමණ ප්‍රතිපාදනා කරනලද ද, භවත් ගෞතමයෙනි, අතීතකාලයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහු ද, ඒ භගවත්හුදු තෙල පරම කොට මැනැවින් භික්‍ෂුසඞ්ඝයා ප්‍රතිපාදනා කළාහ. භවත් ගෞතමයන් විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා ප්‍රතිපාදනා කරනලද ද එමෙනි. භවත් ගෞතමයෙනි, අනාගත කාලයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් පහළවන්නාහු ද ඒ භගවත්හුදු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන්නාහ. භවත් ගෞතමයන් විසින් මෙකල යම් පරිදි භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරනලද ද එමෙනි’යි.
කන්‍දරකය, තෙල එසේ මැ ය, කන්‍දරකය තෙල එසේ මැ ය. කන්‍දරකය, අතීතයෙහි යම් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් වූවාහු ද, ඒ භගවත්හු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කළාහ. මා විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන ලද ද එමෙනි. කන්‍දරකය, අනායෙහි යම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් පහළවන්නාහු ද ඒ භගවත්හුදු තෙල පරම කොට මැ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරන්නාහ. මා විසින් මෙකල යම්සේ භික්‍ෂුසඞ්ඝයා මැනැවින් ප්‍රතිපාදනා කරනලද ද එමෙනි.
කන්‍දරකය, මේ බික්සඟුන් කෙරෙහි ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිමවූ මඟබඹසර ඇති සියුමඟින් කළ කරණී ඇති බහාතැබූ ස්කන්‍ධභාර ඇති පැමිණි සදර්‍ත්‍ථ ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු රහත්හු ඇත් මැ ය. යළිදු කන්‍දරකය, මේ බික්සඟුන් කෙරෙහි නිරතුරු සිල් ඇති නිරතුරු සීලයෙහි සිට දිවිවටන ප්‍රඥා ඇති ප්‍රඥායෙහි සිට දිවිවටන ශෛක්‍ෂ භික්‍ෂූහු ඇත. ඔහු සියුසීවටන්හි මැනැවින් තැබූ සිත් ඇති ව වෙසෙත්. කවර සතරෙක යත්: කන්‍දරකය, මෙසස්නෙහි මහණ කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට රූපකායයෙහි කය අනුව බලමින් වෙසෙයි. සුඛදුඃඛාදි වේදනායෙහි වේදනානුදර්ශී වැ වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනායෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය දුරු කොට රූපකායයෙහි කය අනුව බලමින් වෙසෙයි. සුඛදුඃඛාදි වේදනායෙහි වේදනානුදර්ශී වැ වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරෙයි. සරාගාදි චිත්තයෙහි චිත්තානුදර්ශීවැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව ස්මෘතිමත්‍ව චිත්තලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය සන්හිඳුවා වාස කෙරෙයි. ස්කන්‍ධාදි ධර්‍මයෙහි ධර්‍මානුදර්ශී වැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව ස්මෘතිමත්‍ව ධර්‍මලොකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය සන්හිඳුවා වාස කෙරේ යයි.
මෙසේ වදාළ කල්හි පෙස්ස ඇතරුපිත් භාග්‍යවතුන් වහන්සේට තෙල කී: වහන්ස, ආශ්චර්‍ය්‍යය යැ, වහන්ස අද්භූත යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සතරසීවටන්හු සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝක-පරිදේවයන් ඉක්මවාලීම පිණිස දුක්දොම්නසුන් නැසීම පිණිස න්‍යායසඞ්ඛ්‍යාත මාර්‍ගය අධිගමය පිණිස නිවන් පසක්කිරීම පිණිස මැනැවින් වදාරනලද්දාහු මැ ය. වහන්ස, එසේ මැ ය: හෙළ පිළි හඳනා ගිහිගේවැසි වූ ඇපිදු කලින් කල මේ සතර සීවටන්හි මැනැවින් තැබූ සිත් ඇති ව වසම්හ. වහන්ස, මෙහි ඇපි රූපසමූහ සඞ්ඛ්‍යාත කයෙහි කෙලෙසුන් තවන වැර ඇති ව සම්ප්‍රජන්‍යයෙන් යුක්ත ව කය සිහිකරන සිහි ඇති ව (නැසෙන වැනැසෙන හෙයින්) ලෝක නම් වූ රූප රාශියෙහි දැඩි ලෝභය හා දොම්නස දුරු කොට අනිත්‍යාදි විසින් කය පුනපුනා බලමින් වාසය කරම්හ. සුවදුක් ආදි වේදනායෙහි කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇත්තමෝ වේදනා ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වේදනාවන් පුනපුනා බලමින් වාසය කරම්හ. සරාගාදි චිත්තයෙහි කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇත්තමෝ චිත්තලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට සිත විදසුන් නැණින් පුනපුනා බලමින් වාසය කරම්හ. ස්කන්‍ධාදි ධර්‍මයෙහි කෙලෙසුන් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව ධර්‍මසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මානුදර්ශී ව වාසය කරම්හ.
වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි භාග්‍යවතුන් වහන්සේ යම් පමණෙකින් සත්ත්‍වයන්ගේ හිතාහිත පිළිවෙත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල ගහන (මුවහ) මැ ය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද, තෙල නො මුවහ මැ ය. එසේ මැ ය; වහන්ස, මම දම්‍ය වූ ඇතකු මෙහෙයන්නට පොහොසත්මි, යම් ඇසිල්ලෙකින් චම්පානගරද්වාරයට ගමනාගමනය කරන්නේ ද, (ඒ ඇසිල්ලෙහි) ඒ හැම ශඨබව කුළුබව වක්බව ඇදබව පහළකරන්නේ ය. වහන්ස, එතෙකුදුවතඅපගේ දාසයෝ වේවයි ප්‍රෙෂ්‍යයෝ වේවයි කම්කරුවෝ වේවයි ඔහු කයින් අන්පරිදි ක්‍රියාකෙරෙති, බසින් අන්පරිදි බෙණෙති. ඔවුන්ගේ සිත වූකලි අන්පරිදි වේ. වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ මිනිසුන්ගේ අධ්‍යාශයගහනය මෙසේ මිනිසුන්ගේ කෙලෙස් කසට ඇතිබව මෙසේ මිනිසුන්ගේ ශඨබව පවත්නා කල්හි සත්ත්‍වයන්ට හිතාහිත ප්‍රතිපත් දන්නාසේක් ද එහෙයිනි. වහන්ස, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල (අදහස් විසින්) පිළිසන් මැ ය. වහන්ස, යම් සියුපා කෙනෙක් ඇද්ද තෙල නො පිළිසන් මැ යි.
පෙස්සය, තෙල (කරුණ) එසේ මැ ය. පෙස්සය, තෙල එසේ මැ ය, පෙස්සය, යම් මිනිස් කෙනෙක් ඇද්ද, තෙල ගහන මැ ය, පෙස්සය, යම් සියුපා කෙනෙක් ඇද්ද, තෙල උත්තාන මැ යි. පෙස්සය, ලොවැ මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමාන වූවාහු වෙති, කවර සතරදෙනෙක යත්: පෙස්සය, මේ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්ම තාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වෙයි. තවද පෙස්සය, මේ ලොවැ ඇතැම් පුද්ගලයෙක් පරපරිතාපනයොගයෙහි යෙදුණේ මෙරමා තවනුයේ වෙයි. පෙස්සය, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත් වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වෙයි. තවද පෙස්සය, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මතාපනයොගයෙහි නො යෙදුණේ තමා නො මැ තවනුයේ වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ වෙයි. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ කෙලෙස් පිරිනිවන් නිවුණේ (ඇතුළත තවන කෙලෙස් නැතිබැවින්) සිහිල් වූයේ (ධ්‍යාන මාර්‍ග ඵල නිර්‍වාණසුවයෙන්) සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත ව වෙසෙයි. පෙස්සය, මෙ සතර පුද්ගලයන් අතුරෙන් කවර පුද්ගලයෙක් තොපගේ සිත පහදවා දැ’යි.
වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වේ ද මේ පුඟුල් මාගේ සිත නො පහදවයි. වහන්ස, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ, මෙරමා තවන යම් පුඟුලෙකුත් වේ ද, මේ පුඟුල් ද මාගේ සිත නො පහදවයි. යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වේ ද, මේ පුඟුල් ද මාගේ සිත නො පහදවයි. තවද වහන්ස යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ තමා නො තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේත් වේ ද. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ (කෙලෙස් පිරිනිවින්) නිවියේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වෙසේ ද, මේ පුඟුල් මා ගේ සිත පහදවා යයි.
තවද පෙස්සය, කුමක් හෙයින් මේ තුන් පුඟුලෝ තොපගේ සිත නො පහදවත් දැයි.
වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේ වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති තමා පරිතාපන කෙරෙයි, මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනු වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති මෙරමා ආතාපන පරිතාපන කෙරෙයි, මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණේ තමා තවනුයේත්, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණේ මෙරමා තවනුයේත් වේ ද, හේ සුව කැමැති දුකට නො කැමැති තමාත් මෙරමාත් පරිතාපන කෙරෙයි. මෙ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත නො පහදවයි. වහන්ස, යම් පුඟුලෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ ආත්මන්තප නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණේ පරන්තප නො වේ ද. හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ (කෙලෙස් ගිනි නිවූ හෙයින්) නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත ව වාස කෙරෙයි. මේ කරුණෙන් මේ පුද්ගල මාගේ සිත පහදවයි. සොඳය! වහන්ස, දැන් ඇපි යම්හ. ඇපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’යි.
පෙස්සය, දැන් තෙපි ගමනට කල් දන්නාව’යි. ඉක්බිති පෙස්ස ඇතරුපිත් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙස්ස ඇතරුපිත් නික්මැ ගිය නොබොහෝ වේලෙහි භික්‍ෂූන් ඇමතූ සේක. ‘මහණෙනි, පෙස්ස, ඇතරුපිත් පණ්ඩිත යැ, මහණෙනි, පෙස්ස, ඇතරුපිත් මහාප්‍රාඥ යැ, ඉදින් මහණෙනි, පෙස්ස ඇතරුපිත් යම්තාක් ඔහුට මම මේ සතර පුද්ගලයන් විස්තර විසින් විභාග කෙරෙම් ද, එතෙක් මොහොතක් කල් හුන්නේ නම්, (සෝතාපත්තිඵල සඞ්ඛ්‍යාත) මහත් අර්‍ත්‍ථයෙන්යුක්ත ව ගියේ වන්නේ ය. තවද මහණෙනි පෙස්ස ඇතරුපිත් මෙතෙකිනුදු මහත් අර්‍ත්‍ථයෙන් යුක්ත වූයේ ය’යි.
භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කලැ, සුගතයන් වහන්ස, මේ ඊට කලැ, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මේ සතර පුද්ගලයන් විස්තර විසින් විභාග කරනසේක් නම්, භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් අසා ධරන්නාහ’යි. එහෙයින් මහණෙනි, අසවු, මනා කොට මෙනෙහි කරවු, කියන්නෙමි’යි. එසේ යැ වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. බුදුහු තෙල වදාළ සේක.
මහණෙනි, ආත්මන්තප වූ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු පුද්ගල කවරේ ද: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුඟුලෙක් හළ ආචාර ඇතියේ අජෙලූ වෙයි, අහරකිස නිමවා අත ලෝනේ වෙයි, (භික්‍ෂාව සඳහා) එව වහන්සැයි කියන ලදුයේ නො එනු වෙයි, සිට වහන්සැයි කියන ලදුයේ නොසිටිනු වෙයි, පළමු ගෙනඑනලද උදෙසා කරනලද පවරනලද භික්‍ෂාව නො ඉවසයි, හේ කළමුවින් නඟා දුන් දැය නො පිළිගනී, සැළමුවින් නඟා දුන් දැය නො පිළිගනී, එළිපත අතර කොට දුන් දැය නොගනී, දඬුකඩ අතර කොට දුන් දැය නොගනී, මොහොල් අතර කොට දුන් දැය නොගනී, වළඳන දෙදෙනකුගෙන් එකකු නැඟී දුන් භික්‍ෂාව නොගනී, ගැබිනිය විසින් දෙනලද්ද නොගනී, කිරි පොවන්නිය විසින් දෙනලද්ද නොගනී, පුරුෂයන් අතරට ගිය තෙනැත්තිය දුන් දැය නොගනී, සංකීර්තනය කොට දුන් කල්හි නොගනී, ශුනකයකු එළඹ සිටි තැන ඔහුට නොදී දුන් දැය නොගනී, මැස්සන් ගොමු ගොමු වැ සිටි තැන දුන් දැය නොගනී, (ගොඩ-දිය) මස් නො වළඳයි, රහ-මෙර-සෝවීරක පානය නො කෙරෙයි,
හේ එක් මැ ගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ එක් ආලෝපයකින් යැපෙනුයේ වෙයි, දෙගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ ආලෝප දෙකකින් යැපෙනුයේ වෙයි ... සත්ගෙයක භික්‍ෂාව ලැබ නවත්නේ හෝ සත් ආලෝපයෙකින් යැපෙනුයේ වෙයි. එක් කුඩා බත්තලියකිනුදු යැපෙයි, බත්තලි දෙකකිනුදු යැපෙයි ... බත්තලි සතකිනුදු යැපෙයි, දවසකට වරකුදු ආහාර ගනී, දෙදවසකට වරකුදු ආහාර ගනී ... සත් දවසකට වරකුදු ආහාර ගනී, මෙසේ මෙබඳු වූ අඩමසකට වරකුදු පරියායභක්තය වැළඳීමෙහි යෙදුණේ වෙයි. හේ අමුපලා වළඳනුයේ හෝ වෙයි, බොඩහමු වළඳනුයේ හෝ වෙයි, හුරුහැල් වළඳනුයේ හෝ වෙයි, සම්කසට බුදිනුයේ හෝ වෙයි, ලහටු බුදිනුයේ හෝ වෙයි, කුඩු බුදිනුයේ හෝ වෙයි, දඹුබත් බුදිනුයේ හෝ වෙයි, මුරුවට බුදිනුයේ යෝ වෙයි, තණ බුදිනුයේ හෝ වෙයි, ගොම බුදිනුයේ හෝ වෙයිම්, වනමුල්පල අහර කොට ඇති වැ යැපෙයි, වැටුණු පල බුදිනුයේ වෙයි.
හේ සණවැහැරිදු දරයි, මුසු රෙදිකඩ ද දරයි, මළසිරුරින් බැහැරකළ වස්ත්‍ර ද දරයි, පාංශකූල ද දරයි, තිහිරිපිළි ද දරයි, අඳුන්දිවිසමුදු දරයි, කුරසහිත අඳුන්දිවි සුමුදු දරයි, කුසවැහැරිදු දරයි, නියඳවැහැරිදු දරයි, පුවරුවැහැරිදු දරයි, කේශකම්බල දු දරයි, අස්ලොම් ආදියෙන් කළ කම්බල දු දරයි, මහමුහුණු පියාපත් ගොතා කළ වස්ත්‍ර ද දරයි, කේසමස්සුලෝචනානුයෝගයෙහි යෙදුණේ කෙහෙ රවුළු උදුරනුයේ ද වෙයි, අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරු ව සිටුනේ ද වෙයි, උත්කුටික ව හිඳ කරන වීර්‍ය්‍යයෙහි යෙදුණේ උලුළුයෙන් හිඳුනේ ද වෙයි, කටුපුවරුයෙහි හිඳීම් ආදිය කරනුයේ ද වෙයි, කටුපුවරුයෙහි ශයනය කෙරෙයි, සවස තුන්වනු කොට දියෙහි ගැලීමෙහි යෙදුණේ ද වෙයි. මෙසේ මෙබඳු අනේකවිධ වූ ශරීරයාගේ අතාපන පරිතාපනානුයෝගයෙහි යෙදුණේ වාස කෙරෙයි. මහණෙනි, මේ තෙමේ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප පුද්ගල යයි කියනුලැබේ.
මහණෙනි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල කවරේ ද යත්: මහණෙනි, මේ ලොවැ ඇතැම් පුඟුලෙක් එළුවන් නසනුයේ වෙයි, හූරන් නසනුයේ ළිහිණිවැදි වූයේ මුවවැදි වූයේ වෙයි, රෞද්‍ර වූයේ මසුන් බඳනා කෙවුළු වෙයි, සොරකම් කරනුයේ චෝරඝාතක වූයේ බන්‍ධනාගාරයෙහි යෙදුණේ වෙයි. අන්‍ය වූත් යම් කුරිරුකම් ඇද්ද ඒ කරනුයේ වෙයි. මහණෙනි, මේ පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල යයි කියනුලැබේ.
මහණෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප වූ ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුනු පරන්තප වූ ද පුද්ගල කවරේ ද යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් මූර්‍ධාභිෂේක කළ ක්‍ෂත්‍රිය රජෙක් හෝ වෙයි, මහාසාරකුලයෙහි උපන් බමුණෙක් හෝ වෙයි, හේ නුවරින් පෙරදිග නව යාගශාලාවක් කරවා කෙහෙ රවුලු බහා සරාජික පිරිස් වාස කරවා ගිතෙල් තලතෙලින් කය අභ්‍යඞ්ගකොට මුවහඟින් පිට කසමින් මෙහෙසිය හා පෙරෙවි බමුණු සමග යාගශාලාවට පිවිසෙයි. හේ එහි අමුගොම තවරගත් නො අතුළ බිමැ හෝනේ වෙයි, සමානරූප වස්සකු ඇති එක දෙනකගේ එක තනයෙක යම් කිරෙක් වේ ද, එයින් රජ යැපෙයි. දෙවැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් මෙහෙසිය යැපෙයි, තෙවෙනි තනයෙහි යම් කිරෙක් වේ ද එයින් පෙරෙවි බමුණු යැපෙයි. සිව්වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් ගිනි පුදති. සෙසු තනයෙහි කිරෙන් වසු යැපෙයි. හේ මෙසේ කියයි: ‘යාග සඳහා මෙතෙක් වෘෂභයෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් වත්සතරයෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් වත්සතරීහු නසනු ලැබෙත්වා, යාග සඳහා මෙතෙක් බැටළුවෝ නසනුලැබෙත්වා, යාග සඳහා මෙතෙක් එළුවෝ නසනුලැබෙත්වා, යාගස්තම්භ සඳහා මෙතෙක් වෘක්‍ෂයෝ සිඳිනුලැබෙත්වා. පරික්‍ෂේප-ආස්තරණ සඳහා මෙතෙක් කුසතණ කපනුලැබෙත්වා’යි. ඔහුගේ යම් දාස කෙනෙක් හෝ ප්‍රෙෂ්‍ය කෙනෙක් හෝ කම්කරු කෙනෙක් හෝ වෙත ද, ඔහුදු දඬුවමින් තැතිගත්තාහු භයින් තැතිගත්තාහු කඳුළුමුසු මුහුණු ඇත්තාහු හඬමින් පරිකර්‍ම කෙරෙත්. මහණෙනි, මෙ ආත්මපරිතාපානුයෝගයෙහි යෙදුණු ආත්මන්තප වූ ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප වූ ද පුද්ගල යයි කියනුලැබේ.
මහණෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ආත්මන්තප නො වූ පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු පරන්තප නො වූ පුද්ගල කවරේ ද යත්: හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මේ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වාස කෙරෙයි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිදූ අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ මෙ ලෝකයෙහි පහළවන සේක. ඒ තථාගතයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති මේ ලෝකය තුමුහු නුවණින් දැන පසක් කොට දන්නාසේක. ඒ තථාගතයෝ ආදි මධ්‍ය පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූ ධර්‍මය දේශනා කෙරෙති, කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති.
ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ අන්‍යතර කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ ධර්‍මය අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි, හේ ඒ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් යුක්ත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ගෘහවාසය සම්බාධ යැ, කෙලෙස් උපදනා තැනෙක, පැවිද්ද අභ්‍යවකාශ යැ, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තපරිපූර්‍ණ වූ එකාන්තපරිශුද්ධ වූ ලිඛිත ශඞ්ඛයක් බඳු මේ සසුන්බඹසර වසන්නට පහසු නො වෙයි. මම් කෙසේ රවුලු බහා කහවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වෙම් නම් යෙහෙකැ’යි. හේ පසු කෙලෙක අල්ප වූ භෝගස්කන්‍ධය හෝ හැරැපියා මහත් වූ භෝගස්කන්‍ධය හෝ හැරපියා ස්වල්ප වූ නෑපිරිස් හෝ හැරපියා මහත්වූ නෑ පිරිස් හෝ හැරැපියා කෙස්මස්බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වෙයි.
හේ මෙසේ පැවිදි වූයේ භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ ප්‍රාණවධ හැරපියා ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි, තැබූ දඬු ඇති ව තැබූ අවි ඇති ව (අකුශලයෙහි) ලජ්ජා ඇතියේ සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී ව වාසකෙරෙයි. අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකුණේ වෙයි, දුන් දැය ගන්නේ දුන් දැය කැමැතිවනුයේ නො සොර වූ පවිත්‍ර වූ සිතින් යුක්ත ව වෙසෙයි. අබ්‍රම්සර හැරපියා බඹසර ඇතියේ අබ්‍රහම්සරින් දුරුව මෛථුන සඞ්ඛ්‍යාත ග්‍රාමධර්‍මයෙන් වෙන් වූයේ වෙයි. මුසවා හැරපියා මුසවායෙන් වැළකුණේ වෙයි, සත්‍යවාදී ව සත්‍යසන්‍ධාන ඇතියේ තිර කථා ඇතියේ හැදැහියයුතු වූයේ ලෝකයා නො රවටනුයේ වෙයි, පිසුනුබස් හැරපියා පිසුනුබසින් වැළැකුණේ වෙයි. මෙතැනින් අසා මුන්ගේ භේදයට තුලුන් කෙරෙහි නො කියනුයේ නොහොත් එතැනින් අසා තුලුන්ගේ භේදයට මොවුන්ට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් සමගි කරනුයේ සමග වූවනට අනුබල දෙනුයේ සමගියෙහි ඇලුම් ඇතියේ සමඟි වූවන් කෙරෙහි ඇලුණේ සමගි වූවන් දැක සතුටු වනුයේ සමඟි කරන බස් කියනුයේ වෙයි. පරොස්බස් හැරපියා පරොස් බසින් වැළැකුණේ වෙයි. නිදොස් වූ කනට සුව වූ පෙම් වඩන නියරි වූ බොහෝ දෙනහට මනාප වූ යම් බසක් ඇද්ද, එබඳු බස් කියන්නේ වෙයි. සම්ඵප්‍රලාපය හැර පියා සම්ඵප්‍රලාපයෙන් වැළැකුණේ වෙයි, කාලවාදී භූතවාදී අර්‍ත්‍ථවාදී ධර්‍මවාදී විනයවාදී වූයේ නිසි කාලයෙහි සකාරණ වූ පර්‍ය්‍යන්ත ඇති අර්‍ත්‍ථසම්පන්න වූ සිත්හි ලා ධැරියයුතු බසක් කියන්නේ වෙයි.
හේ බීජග්‍රාම භූතග්‍රාමයන්ගේ සිඳීම් ආදී (විකෝපන)යෙන් වෙන්වූයේ වෙයි. රාත්‍රි භෝජනයෙන් වැළැකුණේ විකල්බොජුනෙන් වෙන්වූයේ එක්වේලේ වළඳනු වෙයි. නටනු ගයනු වයනු විසුලුදස්නෙන් වැළැකුණේ වෙයි. මල්ගඳවිලෙවුන් ධැරීම් සඞ්ඛ්‍යාත මණ්ඩන විභූෂණකාරණයෙන් වැළැකුණේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළැකුණේ වෙයි. රන් රිදී පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. අමු ධාන්‍ය පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. අමු මස් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. ස්ත්‍රීන් කුමරීන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. දැසිදසුන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි, කුකුළන් හූරන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. ඇතුන් ගවයන් අසුන් වෙළඹුන් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. කෙත්වත් පිළිගැනුමෙන් වැළැකුණේ වෙයි. දූතගමන් හා පණිවිඩ ගමන්හි යෙදීමෙන් වැළැකුණේ වෙයි. ක්‍රයවික්‍රයයෙන් වැළැකුණේ වෙයි. තුලාකූට කංසකූට මානකූටයෙන් වැළැකුණේ වෙයි. අත්ලස් වංචා රැවටීම් යන කුටිලප්‍රයෝගයෙන් වැළැකුණේ වෙයි. අත්පාආදිය සිඳීම් වධ බන්‍ධන මංපැහැරීම් ගම්පැහැරීම් සාහසක්‍රියා යන මෙයින් වැළැකුණේ වෙයි.
හේ කායපරිහරණයට ප්‍රමාණ වූ චීවරයෙන් කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හි මැ යේ ද පාසිවුරු ගෙන මැ යෙයි. යම්සේ පක්‍ෂි ශකුනයෙක් යම් දිගෙක පියාඹායේ ද, පියාපත්බර සහිත ව මැ පියාඹායෙයි. එසෙයින් මැ මහණ කායපරිහරණයට ප්‍රමාණ වූ චීවරයෙන් කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වෙයි. යම් යම් තැනෙක්හි මැ යේ ද පාසිවුරු ගෙන මැ යෙයි. හෙතෙම මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍ය සුඛය විඳී.
හේ ඇසින් රූ දැක නිමිත්ත විසින් නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාසය කරනුවහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ, කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට .... දිවින් රස විඳ .... කයින් පහස් පැහැස ... මනසින් දහම්අරමුණු දැන නිමිති විසින් නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනඉන්‍ද්‍රිය අසංවෘත කොට වාසය කරනුවහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, මනඉන්‍ද්‍රියය රකී, මනඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. හේ ආර්‍ය්‍ය වූ මේ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්‍යාසේකසුඛය විඳී.
හේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරනුයේ (සම්පජානකාරී) වෙයි, අභිමුඛ ව බැලීමෙහි අවට බැලීමෙහි සම්පජානකාරී වෙයි, (අත්පා) හැකිළීමෙහි දිගුකිරීමෙහි සම්පජානකාරී වෙයි, සඟළ-පා-සිවුරු ධැරීමෙහි සම්පජානකාරී වෙයි, අසිත පීත ඛායිත සායිතයෙහි සම්පජානකාරී වෙයි, උච්චාර ප්‍රස්‍රාවකර්‍මයෙහි සම්පජානකාරී වෙයි. යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි සම්පජානකාරී වේ.
හේ මේ ආර්‍ය්‍යවූ ශීලස්කන්‍ධයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍වාගත වූයේ මේ ආර්‍ය්‍ය වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් ද සමන්‍වාගත වූයේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ සුසාන යැ වනප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන ජන ශුන්‍ය වූ සෙනසුනක් ඇසුරුකෙරෙයි.
හේ පසුබත පිණ්ඩපාතයෙන් නැවැතුණේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොට එළවා හිඳී. හේ ස්කන්‍ධලෝකයෙහි දැඩි ලෝභය දුරුකොට විගත අභිධ්‍යා ඇති සිතින් යුක්ත ව වාස කෙරෙයි, අභිධ්‍යායෙන් සිත පිරිසුදු කෙරෙයි, ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දුරුකොට ව්‍යාපාදයට නො පැමිණි සිත් ඇති ව සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වැ වෙසෙයි, ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය දුර කොට විගත වූ ථීනමිද්ධ ඇති වැ වෙසෙයි, ආලෝකසංඥා ඇති ව සිහි ඇති ව සම්ප්‍රඥාන ඇති ව ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්ච ය දුරුකොට අනුද්ධත වැ වෙසෙයි, අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇතියේ උද්ධච්චකුක්කුච්චයෙන් සිත් පිරිසුදු කෙරෙයි. විචිකිච්ඡාව දුරුකොට තුරු සැක ඇති වැ වෙසෙයි, කුශලධර්‍මවිෂයෙහි කථංකථා (සැක) රහිත වූයේ විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි.
හේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් දුරුකොට කාමච්ඡන්‍ද නීවරණයෙන් වෙන් වැ (ශේෂ නීවරණ) අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ විතර්‍කසහිත විචාරසහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්‍ක-විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදනය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය උපයා වෙසෙයි. ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇතියේ සිහි ඇතියේ සම්ප්‍රඥාන ඇති වැ වෙසෙයි. කයින් සුවය විඳී, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් (ගෙන) උපේක්‍ෂා ඇත, ස්මෘතිමත් යැ, සුඛවිහාර ඇතැ’යි පවසත් ද, ඒ තෘතීය ධ්‍යානය උපයා වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස් දොම්නසුන් නැතිකිරීමෙන් නො දුක් වූ නො සුව වූ උපේක්‍ෂාස්මෘතීන්ගේ පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි.
හේ මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානසමාපත්තියෙන් සමාහිත කල්හි සමාහිත හෙයින් පරිශුද්ධ කල්හි පරිශුද්ධ හෙයින් ම පර්‍ය්‍යවදාත කල්හි එහෙයින් අනඞ්ගණ කල්හි අනඞ්ගණ හෙයින් විගතෝපක්ලේශ කල්හි එහෙයින් මෘදු වූ කල්හි කර්‍මක්‍ෂම කල්හි ස්ථිත කල්හි අචලප්‍රාප්ත කල්හි පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත එළවයි, හේ අනේකප්‍රකාර වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරයි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සංවර්‍ත (නැසෙන) කල්පයනුදු නොයෙක් විවර්‍ත (හටගන්නා) කල්පයනුදු නොයෙක් සංවර්‍ත විවර්‍තකල්පයනුදු අසුවල් තැනැ මෙනම් ඇතියෙම් මෙගොත් ඇතියෙම් මෙ වන් පැහැ ඇතියෙම් මෙ වන් අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳිනු වූයෙමි, මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇති වීමි. එ මම් ඉන් සැවැ අසුවල් තැනැ උපන්මි, එහි දු මෙනම් ඇතියෙම් මෙගොත් ඇතියෙම් මෙවන් පැහැ ඇතියෙම් මේ බඳු අහර ඇතියෙම් වීමි. මෙසේ සුවදුක් විඳිනු වූයෙමි. මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම් ඉන් සැව මෙහි උපන්මි’යි. මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ වූ පූර්‍වනිවාස සිහිකරයි.
හේ මෙසේ සිත සමාහිත කල්හි සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මෘදුභූත කර්‍මණ්‍ය කල්හි ස්ථිත කල්හි අනිඤ්ජනභාවයට පත් කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති-උපප්‍රාප්ති ඥානය පිණිස සිත එළවයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ව්‍යවමාන උපපද්‍යමාන වූ සත්ත්‍වයන් බලයි. හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගති ඇති දුර්‍ගති ඇති යථාකර්මෝපග සත්ත්‍වයන් දැනගනී: මේ භවත් සත්ත්‍වයෝ මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාක්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නරකයට පැමිණියාහු වෙත්. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග් දෘෂ්ටි ඇත්තාහු සම්‍යග් දෘෂ්ටිකර්‍ම සමාදානය කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයට පැමිණියාහ’යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවඇසින් ව්‍යවමාන උපපද්‍යමාන වූ සත්ත්‍වයන් බලයි. හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගතිගත වූ දුර්‍ගතිගත වූ යථාකර්‍මොපගත සත්ත්‍වයන් දැනැගනී.
හේ මෙසේ සිත සමාහිත කල්හි සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මෘදුභූත කල්හි කර්‍මක්‍ෂම ස්ථිත කල්හි අනිඤ්ජනභාවප්‍රාප්ත කල්හි ආශ්‍රවක්‍ෂයඥානය පිණිස සිත එළවයි. හේ මේ දුක යැයි තත්වූ පරිදි දැන ගනී, මේ දුක්ඛසමුදය යි යථාභූත වැ දැනගනී, මේ දුක්ඛනිරෝධයැ යි යථාභූත වැ දැනගනී, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි යථාභූත වැ දැනගනී. මොහු ආස්‍රවයෝ යැයි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවසමුදය යි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවනිරෝධයැ යි යථාභූත වැ දැනගනී, මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදායැයි යථාභූත වැ දැනගනී, මෙසේ දන්නා ඔහුගේ මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, සිත භවාස්‍රවයෙනුදු මිදෙයි, සිත අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි, විමුක්ත කල්හි විමුක්ත යැයි ප්‍රත්‍යවේක්‍ෂා ඥානය වෙයි, ජාති ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවන ලද, කරණී කරනලද, මේ අර්‍හත්ත්‍වය සඳහා කටයුතු අනෙකක් නැතැයි දැනගනී.
මහණෙනි, මේ ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අනාත්මන්තප වූ පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අපරන්තප වූ පුද්ගල යැයි කියනු ලැබේ. හේ අනාත්මන්තප වූයේ අපරන්තප වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ ධ්‍යාන මගපල නිවන්සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මභාවයෙන් යුක්ත ව වෙසේ යයි.
භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක, සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළාහ’යි.
කන්‍දරක සූත්‍රය පළමුවැනියි.
2. 1. 2.
අට්ඨකනාගර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බේලුවගාමයෙහි වැඩ වාස කෙරෙති. එකල අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරුණෙකින් පැළලුප් නුවරට පැමිණියේ වෙයි. අට්ඨකනගර වැසි දසම ගැහැවි කුක්කුටාරාමයෙහි එක්තරා මහණක්හු කරා එළැඹියේ යැ. එළැඹැ ඒ මහණහු සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ඒ මහණහට තෙල කී: ‘වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දැන් කොහි වෙසෙත් ද? අපි ඒ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දක්නා කැමැත්තම්හ’යි. ‘ගැහැවිය, තෙල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බේලුවගාමයෙහි වැඩ වාස කෙරෙති’යි. එසඳ අට්ඨකනගර වැසි දසම ගැහැවි පැළලුප් නුවර ඒ කරණී නිමවා විශාලා මහනුවර බේලුවගාමයෙහි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කී:
‘වහන්ස, ආනන්‍දයෙනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක ලා නො මිදුණු හෝ සිත් මිදේ ද, ක්‍ෂය නො වූ හෝ ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූ හෝ අනුත්තර යෝගක්‍ෂේමය නුවණින් ලබා ද, එබඳු එක් ධර්‍මයෙක් වදාරන ලද්දේ වේ ද? ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා නො මිදුණා වූ ද සිත මිදේ ද, ක්‍ෂය නො වූ ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූ අනුත්තර යෝගක්‍ෂේමයත් නුවණින් ලබා ද එබඳු එක් ධර්‍මයෙක් වදාරන ලද්දේ වෙයි. වහන්ස, ආනන්‍දයෙනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හු ගේ යම් අරමුණෙක ලා නො මිදුණා වූත් සිත මිදේ ද, ක්‍ෂය නො වූත් ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූත් අනුත්තර යෝගක්‍ෂේමය නුවණින් ලබා ද, එබඳුවූ වදාරන ලද එක් ධර්‍මය කවරේ යැ.
ගැහැවිය, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල දහමින් වෙන් වැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති පළමු වන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ සිතයි: ‘මේ ප්‍රථමධ්‍යානය ද උපදවන ලද්දෙකි. සිතින් නිපදවන ලද්දෙකි. යම් කිසිවක් කරන ලද නම් සිතින් නිපදවන ලද නම් ඒ අනිත්‍ය යැ. නිරුද්ධ වන සැහැවි ඇති’යි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්‍ශනාමය ධර්‍මරාගයෙන් පඤ්චඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ, එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන මහණක්හුගේ අවිමුක්ත චිත්තය විමුක්ත වේ ද, අපරික්‍ෂීණ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් ද නො පැමිණි අනුත්තර යෝගක්‍ෂේමය ලබා ද මෙ එබඳුවූ එක් ධර්‍මයෙක් ද වදාරන ලද්දේ වෙයි.
තවද, ගැහැවිය, මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් සිය සතන්හි සම්ප්‍රසාද ඇති කරන දෙවන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ දෙවන දැහැන ද උත්පාදිත යැ ප්‍රකල්පිත යැ. යම් කිසිවක් උත්පාදිත වේ නම් ප්‍රකල්පිත වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇත්තේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්‍ශනා ඡන්‍දරාගයෙන් මැ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වැ යෑමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ පිරිනිවන් පානේ යැ. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා අවිමුක්ත වූත් සිත විමුක්ත වේ ද අපරික්‍ෂීණ වූත් ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් ද අප්‍රාප්ත වූත් අනුත්තර යෝගක්‍ෂේමය ලබා ද මෙ එබඳු වූ එක් ධර්‍මයෙක් ද වදාරන ලද්දේ වෙයි.
තවද, ගැහැවිය, මහණ … ප්‍රීතිවිරාගයෙනුදු තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ තුන්වන දැහැන ද සිතින් නිපදවන ලද්දෙකි. සිතින් කරන ලද්දෙකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
තවද, ගැහැවිය, මහණ සුඛප්‍රහාණයෙනුදු … සියුවන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ සියුවන දැහැන ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
තවද, ගැහැවිය, මහණ මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වාස කෙරෙයි. එ සෙයින් මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතර වන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත සිතින් පැහැස වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ මෙත්තාචේතෝවිමුක්තිය ද කරන ලද්දක. සිතින් නිපදවන ලද්දකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.
තවද, ගැහැවිය, මහණ කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපෙක්ඛා සහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. ඒසේ මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතරවන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ උපේක්‍ෂා චේතෝවිමුක්තිය ද සිතින් කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.