17. මහණෙනි, මෙවත්මනු සුඛ ඇති, මතුයෙහි සුඛවිපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:
මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පණිවායෙන් දුරුවූයේ වෙයි. පණිවායෙන් දුරුවීම හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුඛ ඇතිවත්, සහගියසොම්නස් ඇතිවත් අයිනාදනින් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවීම හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවීම්හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. පිසුනු බසින් දුරුවීම්හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පරොස්බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පලපින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවීම් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් අභිධ්‍යාබහුල නොවෙයි. අනභිධ්‍යාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාද හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් සම්දිටු ඇති වෙයි. සම්දිටු හේතුයෙනුදු සුවසොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන ප්‍රත්‍යුත්පන්නසුඛ යයි ද, ආයතිසුඛවිපාක යයි ද කියනු ලැබේ.
මහණෙනි, මොහු සතර ධර්‍මසමාදාන වෙති.
18. මහණෙනි, යම්සේ (හලාහල) විස මුසු තිත්ලබු ඵලයෙක් වේ ද, එවිට, ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුවකැමැති, දුකෙහි පිළිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහට මෙසේ කියත් ද: “එම්බා පුරුෂය, මේ තිත්ලබුපල විස සහිත වෙයි. කැමැතියෙහි නම් එය බොනු. බොන්නාවූ තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු නො රුස්නේ ය.
පානය කොට මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නෙහි.” හේ එබස් නොසලකා බොන්නේ වේද, නො හරනේ වේද, එය බොන ඔහට වර්‍ණයෙනුදු ගන්‍ධයෙනුදු රසයෙනුදු නො රුස්නේ වේද, පානය කොට ද මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්නදුඃඛ වූත්, ආයතිදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි (1)
19. මහණෙනි, යම්සේ වර්‍ණසම්පන්න, ගන්‍ධසම්පන්න, රසසම්පන්න, අපානීය (පියයුතු මිහිරිපැනකින් පිරුණු) කස්තලියෙක් වේ ද, එද විස මුසු වේ ද, එසඳ, ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුවකැමැති, දුකෙහි පිළිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, තෙල පුරුෂයාහට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ අවන් කස්තලිය වර්‍ණසම්පන්න ය, ගන්‍ධසම්පන්න ය, රසසම්පන්න ය. එද විසෙන් හැනිණ. කැමැතියෙහි නම් බෝ බොන තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ ය. එහෙත් පානය කොට මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නෙහි”යි හේ එබස් නොසලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ වේ ද, පානය කොට ද මරණයට හෝ මරණමාත්‍ර දුඃඛයට හෝ යන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, ආයතිදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි. (2)
20. මහණෙනි, යම්සේ (අරළු ඇඹුලූ ඇ) නන්බෙහෙදින් මුසු ගොමුත්‍රයක් වේද, එසද පාණ්ඩුරෝග ඇති පුරුෂයෙක් එන්නේ වේද, තෙල පුරුෂයාහට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ ගොමුත්‍ර නානාභෛෂජ්‍යයෙන් හනන ලද්දේය. කැමැතියෙහි නම් බෝ. බොන තොපට වර්‍ණයෙනුදු ගන්‍ධයෙනුදු රසයෙනුදු නො රුස්නේය. එහෙත් පානය කොට සුඛිත වෙහි” යි. හේ එබස් සලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු නොරුස්නේ වේ ද, එහෙත් පානය කොට සුවපත් වන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූ ද, ආයතිසුඛවිපාක වූ ද යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි. (3)
21. මහණෙනි, යම්සේ දිහි මී ගිතෙල් හා පැණි එකතු කොට ඇලළුණේ වේ ද, එසඳ (පිත්තසංසට්ඨ) ලෝහිතපක්ඛන්‍දිකාබාධ ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහුට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ දිහි මී ගිතෙල් හා පැණි එකතු කොට ඇලළිණ. කැමතියෙහි නම් බෝ. පානය කරන තට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ ය. පානය කොට ද සුඛිත වෙහි”යි හේ එය සලකා පානය කරන්නේ වේ ද. නොහරන්නේ වේද, එය පානය කරන ඕහට වර්‍ණයෙනුදු, ගන්‍ධයෙනුදු, රසයෙනුදු රුස්නේ වේද, පානය කොට සුවපත් වන්නේ වේද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්නසුඛ වූත්, ආයතිසුඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි (4)
22. මහණෙනි, යම්සේ වර්‍ෂා ඍතුවෙහි පැසිම්මස සරා කල්හි අහස බිඳීගිය (එහෙයින්ම) දුරු ව සිටි වලා ඇතිවත් ම, හිරු අහස්කුස් නගිමින් අහස සිටුනා හැම අඳුරු මැඩ බිඳ පියා බබළන්නේ වේ ද, නවත්නේ වේ ද, දිලෙන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම මම ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, ආයතිසුඛවිපාකවූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, එය අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ප්‍රවාදයන් ඔබාබිඳ බබළනු ද වෙයි. තවනු ද වෙයි. දිලෙනු ද වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මේ මහාධම්මසමාදාන සූත්‍රය වදාළහ. (ප්‍රීතිසෞමනස්‍ය විසින්) ගත් සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටු වූහු.
මහාධම්මසමාදානසූත්‍රය සවැනියි.
1. 5. 7.
විමංසක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යී භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
2. මහණෙනි, මෙරමාගේ සිත්නියර (සරාගාදි විභාග විසින් පවත්නා ආකාර පරිච්ඡේදය) නොදන්නා වීමංසක (විමසන) මහණ විසින් ‘සම්‍යක් සම්බුද්ධ වේ ද හෝ නො වේ ද හෝ’ යි දනු සඳහා තථාගතයන් කෙරෙහි සමන්‍වෙෂන (පිරියෙස්ලි) කළයුතු වෙයි.
“වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විනේතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බැස සිටුනාහ. වහන්ස තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂුහු ධරන්නාහ”යි.
මහණෙනි, එකරුණින් අසව. මනාකොට මෙනෙහි කරව. කියමියි. ‘වහන්ස එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
3. මහණෙනි, මෙරමාගේ සිත්හසර නොදන්නා වීමංසක මහණ විසින් දෙදහමෙක්හි ලා තථාගතයන් වහන්සේ පර්‍ය්‍යෙෂණ කළයුතු වෙති: චක්‍ෂුර්විඥේය (කායසමාචාර), ශ්‍රෝත්‍ර විඥේය (වාක්සමාචාර) ධර්‍මද්වයෙහිය.
චක්‍ෂුර්විඥේය වූ ශ්‍රෝත විඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙත් ද හෝ නො වෙත් ද හෝයි. තෙල තථාගතයන් වහන්සේ පර්‍ය්‍යෙෂණ කරන වීමංසක මහණ මෙසෙයින් දන්නේය: “චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට (නැති හෙයින් ම) නැත” කියායි (1)
“චක්‍ෂුඃ ශ්‍රෝත්‍රවිඥේය වූ ක්ලේශසම්ප්‍රයුක්ත යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි යම් අවධියෙක ඔබ පර්‍ය්‍යෙෂණ කරනුයේ මෙසේ දන්නේ වේ ද, ඔබ ඉන් මතුදු සමන්‍වෙෂණ කෙරෙයි. කෙසේ ය: (කලෙක කෘෂ්ණයහ, කලෙක ශුක්ලයහ යි මෙසේ) ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃ ශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ යි ඔබ සොයනුයේ මෙසේ දන්නේ ය: ව්‍යතිමිශ්‍රවූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැත කියා යි. (2)
යම් අවස්ථාවක ඔබ සොයනුයේ “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රෝත්‍ර විඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතුදු ඔබ සොයන්නේ ය. කෙසේ ය: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද’ ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ කියා යි. ඔබ සොයාබලනුයේ පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැයි මෙසේ දන්නේ ය. (3)
යම් අවස්ථායෙක ඔබ සොයනුයේ “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍ර විඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැ” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතු දු ඔබ සොයන්නේය. කෙසේ ය: “මේ ආයුෂ්මත් (තථාගත තෙම) දීර්‍ඝරාත්‍රයෙහි (බොහෝ කලෙක) සිට මේ කුසලදහමට (ආජිවාෂ්ටමක ශීලයට) සමවන්නේ වේ ද නොහොත් ස්වල්ප කලෙක (ඊයේ පෙරදා) සිට සමවන්නේ වේ ද කියා යි. ඔබ සොයනුයේ “මේ ආයුෂ්මත් දීර්‍ඝ රාත්‍රයෙහි සිට මේ කුසල් දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය” යි මෙසේ දන්නේ ය. (4)
යම් අවස්ථායෙක ඔබ ගවේෂණ කරනුයේ “මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රයෙහි සිට මේ කුසල්දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය”යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතුදු ඔබ ගවේෂණ කෙරෙයි. කෙසේය: “මේ ආයුෂ්මත් භික්‍ෂු (තථාගත) තෙම ප්‍රකටභාවයට පැමිණියේ, පිරිවරසැපත් ලදුයේ වේ ද, (ඒහේතුවින්) ඔහට මෙහි (මානාතිමානාදී) කිසි ආදීනව ඇද්ද,” කියා යි.
“මහණෙනි, යම්තාක් ප්‍රකටභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ නො වේ ද, ඒතාක් මහණහට මෙහි (මානාතිමානාදි) ඇතැම් ආදීනවයෝ නො වෙති. මහණෙනි, යම් අවධියෙක සිට මහණ අභිඥාතභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ වේ ද, එක්බිති ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ ඇති වෙති.”
ඔබ (මේ කරුණෙහි ලා) ගවේෂණ කරනුයේ “මේ ආයුෂ්මත් භික්‍ෂු ප්‍ර__නී__ත භාවයට පැමිණියේ, පිරිවරසැපත් ඇතියේ වෙයි. ඔහට මෙහි කිසිදු ආදීනව නැතැ”යි මෙසේ දන්නේ ය. (5)
යම් අවධියෙක ඔබ ගවේෂණ කරනුයේ, “මේ ආයුෂ්මත් භික්‍ෂූ වනාහි ප්‍රසිද්ධියට පැමිණියේ, පරිවාරසම්පත් ඇතියේය (ඒ හේතුයෙන්) ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතු ද ඔබ ගවේෂණ කෙරෙයි. කෙසේ ය: “මේ ආයුෂ්මත් අභයප්‍රාප්ත ව කාමයෙන් වැළැක්කේ වී ද, මේ ආයුෂ්මත් භයප්‍රාප්ත ව වැළැක්කේ නො වී ද, රාගක්‍ෂයහේතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේ වේ ද, කියායි. ඔබ (මෙසේ) සොයනුයේ “මේ ආයුෂ්මත් අභයෝපරත වේ. මේ ආයුෂ්මත් භයොපරත නො වේ. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හේතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේය”යි මෙසේ දන්නේ ය. (6)
මහණෙනි, “මේ ආයුෂ්මත් අභයෝපරත වෙයි. මේ ආයුෂ්මත් භයොපරත නො වෙයි. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හේතුයෙන් කාමයන් නොසෙවුනේ ය” යි භවත් යම්හෙයකින් මෙසේ බෙණේ ද, ඒ ආයුෂ්මත්හුගේ තදාකාරයෝ කවරහ, ඒ අනුබුද්ධීහු (ප්‍රමාණ) කවරහ”? යි සෙස්සෝ ඒ විචාරක මහණ අතින් මෙසේ පැන පිළිවිසිත් නම්, මහණෙනි, මනාකොට පිළිතුරු දෙන මහණ මෙසේ පසතුරු දෙන්නේය: එසේ මැය. මේ ආයුෂ්මත් සඟුන් මැද වාස කරන්නේ වේවයි, එකලාව වාස කරන්නේ වේවයි, එහි සුපිළිපන් යම් කෙනෙක් ඇද්ද, එහි දුපිළිපන් යම් කෙනෙක් ඇද්ද, එහි යම් කෙනෙක් (ගණබන්‍ධන බද්ධ ව) ගණානුශාසනා කෙරෙද්ද, මෙසස්නෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙහි පැනීයෙද්ද, මෙසස්නෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙන් අනුපලිප්ත වෙද්ද, මේ ආයුෂ්මත් ශාස්තෘ තෙමේ එබඳු මහණ ඒ ඒ කරුණින් හෙළා නො දක්නේ ය. “මම අභයෝපරත යෙමි, මම භයොපරත නො වෙමි රාගක්‍ෂය හේතුයෙන් වීතරාග වන බැවින් කාමයන් නො සෙවුනෙමි”යි තෙල කරුණ මා විසින් බුදුන් හමියෙහි අසන ලදී, හමියෙහි පිළිගන්නා ලදැ”යි කියා යි.
4. මහණෙනි, ග්‍රන්‍ථිවීමංසකය (සාධන විමසන්නා), මූලවීමංසකය (ශාස්තෘවරයාගෙන් ම අසා විමසන්නා) යන වීමංසකයන් අතුරෙහි මූලවීමංසකයා විසින් තථාගතයන් වහන්සේ ම මතුයෙහි පිළිවිසියයුතු වෙති:
“ක්ලේශසම්ප්‍රයුක්ත වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ”යි කියායි. මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “ක්ලේශ සම්ප්‍රයුක්ත වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට නැත” කියායි. (1)
“ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හො” යි (මූලවීමංසකයා විසින් තථාගතයන් වහන්සේ පිළිවිසියයුතු වෙති.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට නැත” කියා යි. (2)
පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ”යි (පිළිවියයුතු වෙති.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රෝත්‍රවිඥේය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇත. මම තෙල (පරිශුද්ධ ආජිවාෂ්ටමක ශීල ධර්‍මය) පථය කොට (විමසනුවන්ට ජානත මාර්‍ග කොට) ඇතියෙමි. තෙල ගොදුරු කොට (මා කෙරෙහි විෂය කොට) ඇතියෙමි. ඒ පරිශුද්ධ ශීලය නිසා තෘෂ්ණා සහිතයෙම් ද නො වෙමි.” (3)
5. මහණෙනි, ශ්‍රාවක තෙම එවංවාදී (මෙසේ බණන) ශාස්තෲන් වහන්සේ කරා ධර්‍මශ්‍රවණය සඳහා එළඹෙන්නට නිසි වෙයි. ශාස්තෲන් වහන්සේ ඔහට මතුමතුයෙහි (අර්‍ත්‍ථවිශේෂය වැඩිවැඩියෙන් පැහැදිලි වනසේ) ප්‍රණීත ප්‍රණීත කොට, පාපපුණ්‍යයන් ඔවුනොවුන් විපක්‍ෂ විපාක ඇති බැව් ද දක්වමින් දහම් දෙසත්. මහණෙනි, ශාස්තෲන් වහන්සේ මහණ හට යම් යම් පරිද්දෙකින් මතුමතුයෙහි ප්‍රණීතතර කොට කෘෂ්ණ ශුක්ල ධර්‍ම සප්‍රතිභාග කොට දක්වමින් දහම් දෙසන සේක් ද, ඒ මහණ ඒ ඒ පරිදි දෙසූ ඒ දහමෙහි කිසි ධර්‍මයක් ප්‍රතිවේධ වශයෙන් දැන (අභිඥාත වූ ඒ ප්‍රතිවේධ ධර්‍මයන්) දේශනාධර්‍මයෙහි (සත්‍යය පිළිබඳ) නිෂ්ඨාවට යෙයි: “භාග්‍යවත්හු සම්‍යක්සම්බුද්ධයහ”යි ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදී. “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සඞ්ඝයා සුපිළිපන්හ”යි පහදී.
6. මහණෙනි, “භගවත්හු සම්‍යක්සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සඞ්ඝයා සුපිළිපන්හ යි යම් හෙයෙකින් ආයුෂ්මත් මෙසේ බෙණේ ද, ආයුෂ්මත්හුගේ එයට සාධනයෝ කවරයහ, එයට අනුබුද්ධීහු (ප්‍රමාණ) කවරහ?”යි පරහු ඒ මහණ මෙසේ පුළුවුසිත් නම්, මහණෙනි, මොනොවට ප්‍රකාශ කරන මහණ මෙසේ පවසන්නේය: “ඇවැත්නි, මම ධර්‍මශ්‍රවණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට ශුක්ල කෘෂ්ණ ධර්‍ම සප්‍රතිභාග කොට දහම් දෙසති. ඇවැත්නි, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට පව්පින් ප්‍රකිපක්‍ෂ විපාක ඇතියවුන් කොට දහම් දෙසත් ද එපරිදි මම ඒ දහම්හි කිසි දහමක් ප්‍රතිවේධ විසින් දැන දේශනා ධර්‍මයෙහි නිෂ්ඨාවට ගියෙමි: භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහයි ඔබ කෙරෙහි පැහැදිණිමි. භාග්‍යවතුන් විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, (භාග්‍යවත්හුගේ ශ්‍රාවක) සඞ්ඝයා සුපිළිපන්හයි පැහැදිණිමි.
7. මහණෙනි, යම්කිසිවක්හට මෙ අයුරින් මේ පෙදෙන් මේ ව්‍යාඤ්ජනයෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ පිහිටියේ වේ ද, (ශ්‍රෝතාපත්ති මාර්‍ගයෙන් හටගත්මුල් ඇති වේ ද,) මහණෙනි, මේ සකාරණ (ප්‍රතිවේධ සහිත) ශ්‍රද්ධාව දර්‍ශන (ශ්‍රෝතාපත්තිමාර්‍ග) මූලිකය, දෘඪය. මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව අන් කිසිවකු විසින් වේවයි, හැරැලිය නො හෙයි.
මහණෙනි, මෙසේ තථාගතයන් කෙරෙහි ධම්මසමන්නේසනා (ස්වභාව සමන්‍වෙෂණ) වෙයි. මෙසේ තථාගතයන් වහන්සේ ධර්‍මතායෙන් (ඇතිසැටියෙන්) සමන්නෙසනා කරනලද වෙති.
භාග්‍යවතුන් වහන්සේ මේ (බුද්ධසීහනාද නම් වන) සූත්‍රාන්තය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මැනැවින් පිළිගත්හ.
වීමංසකසූත්‍රය සත්වැනියි.
1. 5. 8.
කෝසම්බිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භගවත්හු කොසැඹෑ නුවර ගොසසිටුහු කළ ඝෝසිතාරාමයෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි කොසැඹෑයෙහි භික්‍ෂූහු හටගත් කලහපූර්‍වභාග සටන් ඇතියෝ, හටගත් (හස්තපරාමර්‍ෂ-පාත්‍රචීවරනීහරණාදි) කලහ ඇතියෝ, පැමිණි විරුද්ධවාද ඇතියෝ, උනුන් තෙපුල් සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු (අර්‍ත්‍ථ හා කාරණ හා දක්වා) උනුන් නො ම හඟවත්. (ඉදින් හඟවන්නට නිසි වුව ද) සංඥප්තියට (හඟනට) නො එළඹෙති. (දන්නට නො කැමැති වෙති.) උනුන් නො ම සිතවත්. සිතීමට නො එළඹෙති.
2. එක්බිති අන්‍යතර (නොපාළ) මහණෙක් භගවත්හු කරා එළඹිණ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් ඒ මහණ භගවත් හට තෙල සැළකෙළේ: “වහන්ස, කොසැඹෑ නුවර නිවැසි භික්‍ෂූහු උපන් ඩබර ඇත්තාහු, (හස්තපරාමර්‍ෂාදි විසින්) උපන් මුදුන්පත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට ගියාහු, උනුන් මුව සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු උනුන් නො ම හඟවත්. සංඥප්තියට නො වැටෙති. උනුන් නොම සිතවති. සිතීමට නො වැටෙති” කියායි.
3. එසඳ භගවත්හු එක්තරා මහණකු ඇමැතුසේක. “මහණ, තො එව ‘ශාස්තෲන් වහන්සේ ආවතුන් අමතන සේකැ’යි මා බසින් ඒ භික්‍ෂූන් අමතුව” යි වදාළෝ. ‘වහන්ස, එසේයැ’ යි එ මහණ භගවත්හට පිළිවදන් දී එ මහණුන් කරා එළඹියේය. එළඹ එ මහණුන්හට තෙල කී: “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ” යි. ‘ඇවත එසේ යැ’ යි එ මහණහු එ මහණහට පිළිවදන් දී භගවත්හු කරා එළඹියහ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් එ මහණුන්ට භගවත්හු තෙල බස් වදාළසේක: “සැබැව? මහණෙනි’ තෙපි උපන් ඩබර ඇති ව උපන් මුදුන්පත් කලහ ඇති ව විවාදාපන්න ව අන්‍යෝන්‍යයන් මුවඅඩයටියෙන් විදුනහු වාස කරව? තෙපි උනුන් නොම හඟවනු ව? ගඟනට නොයන්නාව? උනුන් නොම සිතවන්නාව? සිතන්නට නො යන්නාව?”යි. ‘වහන්ස, එසේ ය’යි සැළ කළෝ.
4. මහණෙනි, එ කිසේ හඟනාව? තෙපි යම් දවසෙක උපන් කලහාරම්භ ඇති ව උපන් කලහ ඇතිව අවන් විරුද්ධවාද ඇති ව උනුන් මුවතෙබින් විදුනහු වාස කරහු නම්, එදවස් තොප තුළ සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය කායකර්‍ම එළවිණි ද, සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නො හමුවෙහිත් මෙත් සහගිය වාක්‍කර්‍ම එළවිණි ද, සබ්‍රම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය මනඃකර්‍ම එළවිණි දැයි පුළුවුත්සේක. “වහන්ස, තෙල නො වේ මයැ” යි පිළිවදන් දුන්හු.
“මහණෙනි, මෙසෙයින් තෙපි යම් දිනෙක හණඩනජාත ව කලහ ජාත ව විවාදපනනව අන්‍යෝන්‍යයන් මුවසැතින් විදුමින් වාස කරවු නම්, එදින තොප තුළ සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය කායකර්‍ම නො ම එළවිණ. සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය වාක්‍කර්‍ම නො එළවිණ. සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෛත්‍රීමය මනඃකර්‍ම නො එළවිණ. කිමෙක, මෝඝ පුරුෂයෙනි, එබැවින් තෙපි කුමක් දන්මින් කුමක් දක්මින් භණ්ඩන ජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරන්නාව? තෙපි උනුන් නො ම හඟවන්නාව? හඟනට නො එන්නාව? උනුන් නො ම සිතවන්නාව? සිතන්නට නො එන්නාව? මෝඝපුරුෂයෙනි, එකරුණ තොපට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ යයි වදාළෝ.
5. එක්බිති භගවත්හු මහණුන් ඇමැතුසේක. මහණෙනි, සිහිකට යුතු, (සබ්‍රම්සරුන්ට) ප්‍රිය කරන, ගරු කරන මේ දහම්හු සදෙනෙක් සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙති. කවර සදෙනෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු කායකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (1)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු වාක්කර්‍ම එළඹ සිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (2)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු මනඃකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (3)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් යටතින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වේවයි, දැහැමි වූ දැහැමින් ලත් යම් ලාභ කෙනෙක් ඇද්ද, එවන් ලාභයන් (ආමිෂ විසින් වේවයි, පුද්ගල විසින් වේවයි) ප්‍රතිවිභක්ත නො කොට (මෙ පමණක් දෙමි, මෙ පමණක් නො දෙමි, අසුවල් තැනට දෙමි, අසුවල් තැනට නො දෙමි යි මෙසේ සිතින් නොබෙදා) වළඳ කරනසුලු වේ ද, සිල්වතුන් හා සබ්‍රම්සරුන් හා සාධාරණ කොට වළඳ කරනසුලු වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (4)
තවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් අඛණ්ඩ අච්ඡිද්‍ර, අශබල, අකල්මාෂ, භූජිෂ්‍ය, විද්වතුන් විසින් ප්‍රශස්ත, තෘෂ්ණා දෘෂ්ටි විසින් අපරාමෘෂ‍්ට, සමාධිසංවර්‍තනික යම් සිල් ඇද්ද, එබඳු සීලයෙහි ලා සබ්‍රම්සරුන් හා හමුයෙහිදු නොහමුයෙහිදු ශීලයෙන් සමාන භාවයට ගියේ වාස කෙරේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (5)
තවද මහණෙනි, ඉන් මතුදු, නිර්දෝෂ වූ නෛර්‍ය්‍යාණික වූ එය පිළිපදනහු මොනොවට දුඃඛක්‍ෂය පිණිස පමුණුවන යම් (මාර්‍ගසම්ප්‍රයුක්ත) සම්‍යක් දෘෂ්ටියෙක් ඇද්ද, එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා හමුයෙහිදු නොහමුයෙහිදු සමානදෘෂ්ටිභාවයට ගියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙන්නේ ය. (6)
මහණෙනි, ප්‍රිය කරන ගරු කරන මේ සාරාණීය ධර්‍මයෝ සදෙන සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස ඒකීභාව පිණිස වැටෙත්.
මහණෙනි, මේ සාරාණීය ධර්‍මයන් සදෙනා අතුරෙහි නිර්දෝෂ වූ නෛර්‍ය්‍යාණික වූ එය කරනහු මනාකොට දුඃඛක්‍ෂය පිණිස ගෙන යන යම් දෘෂ්ටියෙක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සඞ්ග්‍රාහික වෙයි. තෙල හැම ගළපනු වෙයි. මහණෙනි, යම් පරිදි කූටගාරයාගේ කූටයෙක් (කැණිමඬලෙක්) ඇද්ද, තෙල කූටය අග්‍ර වේ ද, තෙල සඞ්ග්‍රාහික වේ ද, තෙල හැම ගොනැස් ගළපනු වේ ද, මහණෙනි, එපරිදි ම මේ සවැදෑරුම් සාරාණීය ධර්‍මයන් අතුරෙහි නිර්දෝෂ, නෛර්‍ය්‍යාණික, එය කරනහු මැනැවින් දුඃඛක්‍ෂය පිණිස පමුණුවන යම් දෘෂ්ටියෙක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සඞ්ග්‍රාහික වෙයි. තෙල හැම මුළුලු කරනු වෙයි.
6. මහණෙනි, නිර්දෝෂ වූ නෛර්‍ය්‍යාණික වූ, පිළිපදිනහු මොනොවට දුඃඛක්‍ෂයට එළවන යම් ශ්‍රෝතාපත්තිමාර්‍ග දෘෂ්ටියෙක් ඇද්ද, ඒ දෘෂ්ටිය කෙසේ ඔහු දුඃඛක්‍ෂය කරා ගෙන යේ ද?
මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වූයේ වේවයි, වෘක්‍ෂමූලගත වූයේ වේවයි, ශුන්‍යාගාරගත වූයේ වේවයි මෙසෙයින් සලකන්නේ ය: මම යම් පර්‍ය්‍යුත්‍ථානයෙකින් (කෙලෙසුන්ගේ නැගී සිටීමකින්) මැඩුණු සිතැති ව යථාභූතය නො දන්නෙම් නම්, නො දක්නෙම් නම්, මා සතන්හි නො පුහුන් ඒ පර්‍ය්‍යුත්‍ථාන ඇද්ද හෝ කියායි.
“මහණෙනි, ඉදින් මහණ කාමරාගයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ව්‍යාපාදයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ථිනමිද්ධයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ උද්ධච්චකුක්කුච්චයා විසින් මඩනා ලද්දේ වේද, එයින් මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ විචිකිච්ඡා විසින් මඩනා ලද්දේ වේද, එයින්ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ඉධලෝකචින්තායෙහි යුතුපතු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් පරලොකචින්තායෙහි යුතුපතු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ හණ‍්ඩනජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරනුයේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ.”
ඒ මහණ මෙසෙයින් දන්නේය: “මම සියසතන්හි අප්‍රහීණ වූ යම් පර්‍ය්‍යුත්‍ථානයෙකින් මැඩුණු සිතැති ව සත්‍යය නොදන්නෙම් වේ ද, නොදක්නෙම් වේ ද, පර්‍ය්‍යුත්‍ථානය මට නැත. සත්‍යාවබෝධය පිණිස මා විසින් සිත මැනැවින් තැබිණ” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍යයන් කෙරෙහි වූ, ලෝකෝත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ප්‍රථම (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය අධිගත (ලබන ලද්දේ) වෙයි. (1)
7. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම මේ මාර්‍ග දෘෂ්ටිය සෙවුනෙම්, වඩන්නෙම්, බහුල කරන්නෙම් තමා තුළ ඒකාග්‍රතා ලබම් දෝ හෝ, තමා තුළ ක්ලේශව්‍යපශම ලබම් දෝ හෝ” කියායි. ඒ මහණ මෙසේ දන්නේ ය: “මම මේ දෘෂ්ටිය සෙවුනෙම්, වඩන්නෙම්, බහුල කරන්නෙම් තමා තුළ ඒකාග්‍රතා ලබමි. තමා තුළ නිර්‍වෘතිය (නිවීම) ලබමි” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තරවූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ද්විතීය ඥානය අධිගත වෙයි. (2)
8. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම යම්බඳු ශ්‍රොතාපත්තිමාර්‍ගදෘෂ‍්ටියෙකින් සමන්‍වාගතයෙම් ද,මෙසස්නෙන් බැහැර එබඳු දෘෂ‍්ටීන් සමන්‍වාගත අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඇද්ද?” කියායි. ඒ මහණ මෙසේ දන්නේ ය: “මම යම් බඳු දෘෂ‍්ටීන් සමන්‍වාගතයෙම් ද, මෙසස්නෙන් බැහැර එබඳු දෘෂ‍්ටීන් සමන්‍වාගත අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නැත කියායි.” ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තර වූ, පෘථග්ජනයන් හා අසාධාරණ වූ මේ තෘතීය ඥානය අධිගත වෙයි. (3)
9. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේ ය: දෘෂ‍්ටිසම්පන්නපුද්ගල යම්බඳු ස්වභාවයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු ස්වභාවයෙකින් සමන්‍වාගතයෙම් වේ දෝ හෝ කියායි.
“මහණෙනි, කෙබඳු ධර්‍මතායෙකින් දෘෂ‍්ටිසම්පන්න පුද්ගල සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි: යම් බඳු ආපත්තියෙකින් (සඞ‍්ඝකර්‍ම විසින් වේවයි, දේශනා විසින් වේවයි) ව්‍යුත්‍ථානය (ඇවැතින් නැගී සිටීම) පැනේ ද, එබඳු ඇවැතක් අවන් නමුදු, වහාම ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥසබ්‍රම්සරුන් කෙරෙහි වේවයි දෙසන්නේය. විවර කරන්නේය, හෙළි කරන්නේය. දෙසා, විවර කොට, හෙළි කොට ආයතිසංවරයට පැමිණෙන්නේය යනු දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි. මහණෙනි, යම්සේ මන්‍ද වූ, උඩුහුරුව හෝනා, ලදරු කුමරෙක් අතින් වේවයි, පයින් වේවයි, ගිනි අඟුරක් ඇක්මෙන්නා හාම අත හකුළාගන්නේ වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතායෙක් ඇත: යම්බඳු ආපත්තියෙකින් ව්‍යුත්‍ථානය පැනේ ද, එබඳු ඇවත් අවන් නමුදු, වහාම ඒ ඇවැත ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥසබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, දෙසන්නේය, විවර කරන්නේය, හෙළි කරන්නේය. දෙසා විවර කොට, හෙළි කොට, ආයතිසංවරයට පැමිණෙන්නේය.”
ඒ මහණ මෙසේ දන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද, මම ද එබඳු ධර්‍මතායෙන් සමන්‍වාගත යෙමි” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තර වූ, පෘථග්ජනයන් හා අසාධාරණ වූ මේ චතුර්‍ත්‍ථඥානය අධිගත වෙයි. (4)
10. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේය: දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද, මම ද එබඳු ධර්‍මතායෙන් සමන්‍වාගත යෙම් ද හෝ කියායි.
“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද යත්: සබ්‍රම්සරුන්ගේ යම් ඒ උච්චඅවච (උස්පහත්) කිංකර්‍තව්‍යයෝ (කුමැයි විමසා කටයුතු) ඇද්ද, එහි උත්සුක වේ. වැලිත් ඔහු තුළ අධිශීලශික්‍ෂායෙහි අධිචිත්තශික්‍ෂායෙහි අධිප්‍රඥාශික්‍ෂායෙහි තීව්‍රප්‍රාර්‍ත්‍ථනා ඇති වේ’ යනු දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි. මහණෙනි, යම්සේ තුරුණුවසු ඇති එළදෙන තණ ද බිඳ කන්නී වසුත් බලා ද, මහණෙනි, එපරිදිම දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා ඇත: සබ්‍රම්සරුන්ගේ යම්යම් උච්චනීච කිංකර්‍තව්‍යයෝ ඇද්ද, එහි සෝත්සුක වේ. වැලිත් අධිශීලශීක්‍ෂායෙහි අධිචිත්තශික්‍ෂායෙහි අධිප්‍රඥාශික්‍ෂායෙහි තීව්‍රප්‍රාර්‍ත්‍ථනා ඇති වේ” යනුයි.
ඒ මහණ මෙසේ දන්නේය: දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු ධර්‍මතායෙකින් සමන්‍වාගතයෙමි කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ පඤ්‍චමඥානය අධිගත වෙයි. (5)
11. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගයෙම් ද හෝ” කියායි.
“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, තථාගතප්‍රවිදිත ධර්‍මවිනය දෙසන කල අර්ත්‍ථී කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා ගෙන පිහිටුකන් ඇතිව දහම් අසා යන යමෙක් ඇද්ද, මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”
ඒ මහණ මෙසේ දන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගතයෙමි” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍යවූ, ලෝකෝත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ෂෂ්‍ඨඥානය අධිගත වෙයි. (6)
12. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍ය ශ්‍රාවක මෙසේ සලකන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගත යෙම් ද හෝ” කියායි.
“මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දෙසන කල අර්‍ත්‍ථවේදය හා ධර්‍ම වේදය හා ධර්‍මය හා මිශ්‍රව ගිය ප්‍රමෝදය ලබා යන යමෙක් ඇද්ද, මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”
ඒ මහණ මෙසේ දන්නේය: ‘දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගතයෙමි’ කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලෝකෝත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ සප්තම ඥානය අධිගත වෙයි. (7)
මහණෙනි, මෙසේ සප්තාඞ‍්ගසමන්‍වාගත ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් ශ්‍රෝතාපත්තිඵලය සාක්‍ෂාත් කළ ඥානයෙන් ස්‍වභාවධර්‍මය මැනවින් සමන්‍වෙෂිත වෙයි. මහණෙනි, මෙසේ සප්තාඞ‍්ග (සප්තවිධ ප්‍රත්‍යවේක්‍ෂා ඥානයෙන්) සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රෝතාපත්තිඵල සමන්‍වාගත වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභිනන්‍දන කොට පිළිගත්හු.
කෝසම්බිය සූත්‍රය අටවැනියි.
1. 5. 9.
බ්‍රහ්මනිමන්තනික සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භගවත්හු සැවැත් නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එ සමයෙහි භගවත්හු ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භගවත්හට පිළිවදන් දුන්හ. භගවත්හු තෙල වදාළහ:
2. මහණෙනි, මම එක් සමයෙක උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සාලරාජ මූලයෙහි වාස කෙරෙමි. මහණෙනි, ඒ සමයෙහි බක නම් බඹහට මෙබඳු පවිටු ශාශ්වත දෘෂ්ටියෙක් උපන: මේ බ්‍රහ්මස්ථානය (බඹලොව) නිත්‍යය, මේ ධ්‍රැවය (ස්ථිරය), මේ ශාශ්වතය (සදාවිද්‍යාමානය), මේ කේවලය (අඛණ්ඩය), මේ අවවන (ව්‍යය නොවන) ස්වභාවය. මේ බඹලොව (කිසිවෙක්) උපදනුයේ වේවයි, දිරනුයේ වේ වයි, මියනුයේ වේව යි, ච්‍යුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මේ බඹලොව හැර අනෙක් නිස්සරණයෙක් (දුකින් නික්මීමෙක්) ඇත්තේ ද නොවෙ’යි කියා යි. මහණෙනි, එසඳ මම සිය සිතින් බක බඹහු අදහස් දැන බලවත් පුරුෂයකු වක්කළ අත් දික් කරනු සෙයින්, දික්කළ අත් වක් කරනු සෙයින් උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජ මූලයෙහි අතුරුදහන් වූයෙම් එ බඹලොව පහළ වීමි.
3. මහණෙනි, බකබ්‍රාහ්මමා එනුවා දුරදීම දිට. දැක මට තෙලබස් කී: “නිදුකාණෙනි, මොබ එව. නිදුකාණෙනි, ස්වාගත ය. (මෙහි ඊම යෙහෙකි.) නිදුකාණෙනි, මෙහි එනු පිණිස දිගු කලෙකින් මේ අයුරුකෙළෙහි. නිදුකාණෙනි, මේ බ්‍රහ්මස්ථානය නිත්‍යය, මේ ධ්‍රැවය, මේ ශාශ්වතය, මේ කේවලය, මේ අවවන ස්වභාවය. මේ බඹලොව උපදනුයේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේව යි, චුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිඃසරණයෙක් ඇත්තේ ද නොවෙ”යි කී.
4. මහණෙනි, මෙසේ කී කළ මම බක බ්‍රහ්ම හට තෙල බස කීමි: මේ බඹ අනිත්‍ය වූවක් ම නිත්‍ය ය යි කියා ද, අධ්‍රැව වූවක් ම ධ්‍රැවයයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වතයයි කියා ද, අකේවල වූවක් ම කේවල යයි කියා ද, වවන ස්වභාව ඇතියක් ම අවවන ස්වභාවයයි කියා ද, යම බඹලොවෙක දෙනුයෙත් දිරනුයේත් මියනුයේත් ච්‍යුතවනුයේත් පහළ වනුයේත් වේ ද, මෙහි නොදෙනුයේත් නොදිරනුයේත් නොමියනුයේත් නොපහළ වනුයේත් වේ ය යි. ඒ බඹලොව ගෙන එසේ කියා ද, මින් මතු (මෙය හැර) අන් නිස්සරණ ඇති ද මින්මතු අන් නිස්සරණ නැතියි කියා ද, භවත්නි, එහෙයින් මේ බක බඹ අවිද්‍යාගතයෙක් ම ය. භවත්නි, මේ බක බඹ අඥානයෙක් ම ය කියා යි.
5. මහණෙනි, එකල පවිටු මර එක්තරා බ්‍රහ්මපාරිෂද්‍ය බඹකු සිරුරෙහි ආවිෂ්ට ව මට තෙල බස් කී: “මහණ, මහණ, තෙල බඹහට නින්‍දා නො කර, තෙල බඹහට නින්‍දා නො කර. මහණ, තෙල බඹ මහබඹය. හැම බඹුන් අභිභවයි (මැඩලයි). තෙමේ අනභිභුතය. ඒකාන්තයෙන් සියල්ල දකිනේ ය. (හැම දෙනා) තම වසඟයෙහි පවත්වයි. ඊශ්වරය, (ලෝකයෙහි) කතෘය, නිර්‍මාතෘය, (ලෝකයට) උත්තමය. (තෝ ක්‍ෂිත්‍රිය වෙව, තෝ බ්‍රාහ්මණ වෙව යනාදීන්) ප්‍රජාව සකස් කරන්නේ ය. වශීය, උපන් සත්‍වයන්ගේ ද උපදනා සත්‍වයන්ගේ ද පිතෘය.”
මහණ, තට පූර්‍වයෙහි ද ලෝකයෙහි පෘථිවිය (අනිත්‍යය ආදීන්) ගරහන පෘථිවිය පිළිකුල් කරන, ආපය ගරහන ආපය පිළිකුල් කරන, තේජස් ගරහන, තේජස් පිළිකුල් කරන, වායු ගරහන වායු පිළිකුල් කරන, සත්ත්‍වයන් ගරහන, සත්ත්‍වයන් පිළිකුල් කරන, දෙවියන් ගරහන දෙවියන් පිළිකුල් කරන, මරහු ගරහන මරහු පිළිකුල් කරන, බඹුන් ගරහන බඹුන් පිල්කුල් කරන මහණ බමුණෝ වූහ. ඔහු කය බිඳීමෙන් ප්‍රාණෝපච්ඡේදයෙන් හීනකාය සඞ්ඛ්‍යාත අපායෙහි උපන්හ. මහණ තට පෙරත් ලෝකයෙහි පෘථිවිය පසස්නා පෘථිවිය (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අභිනන්‍දන කරන, ආපය පසස්නා ආපය අභිනන්‍දන කරන, තේජස් පසස්නා, තේජස් අභිනන්‍දන කරන, වායු පසස්නා වායු අභිනන්‍දන කරන, සතුන් පසස්නා, සතුන් අභිනන්‍දන කරන, දෙවියන් පසස්නා දෙවියන් අභිනන්‍දන කරන, මරහු පසස්නා මරහු අභිනන්‍දන කරන, බඹුන් පසස්නා බඹුන් අභිනන්‍දන කරන මහණ බමුණෝ වූහ. ඔහු කායභේදයෙන් ප්‍රාණෝපච්ඡේදයෙන් ප්‍රණීතකාය සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයෙහි උපන්හ.
මහණ, එබැවින් මම තට මෙසේ කියමි: නිදුකාණෙනි, මහාබඹ තට යමක් කියා නම්, තා එ කීවා කරන්නේය. තා බඹහු කීවා නො ඉක්මවන්නේය. මහණ, ඉදින් තෝ බඹබස් ඉක්මෙහි නම් පුරුෂයෙකු සිරිකත ගෙට වදුත් දණ්ඩෙන් (සිවුරියන් මුගුරින්) පලවා පියන්නාක් වැන්න. තවද මහණ, නිරැහෙබෙක හෙන පුරුෂයකු අතිනුදු පයිනුදු ගත මනා පිහිටනු මනා අධාරස්ථාන වළහාලන්නාක් වැන්න. මහණ තට ද මේ කරුණ මෙබඳුම වන්නේය. නිදුකාණෙනි, එබැවින් තා බඹ තට යම් ම දැයක් කියා නම්, ඒ කීවාම කරන්නේය, තා බඹ කීවා නො ඉක්මවන්නේය. මහණ, තො මෙහි රැස්ව හුන් (සිරියෙන් බබලන) බඹපිරිස් නො දකින්නෙහිදැයි. මහණෙනි, මෙසේ පවිටු මර මා බඹපිරිසට එළවාලීය. (තො ද බ්‍රහ්මගරුක නම් බඹඉසුරු ලබනේ යයි කියූ සේය.)
6. මහණෙනි, මෙසේ කීකල මම අයස උදාකරන පාපී වූ මරුහට තෙල බස් කීමි: “මාරය, මම තා දන්මි. මා තා නොහඳුනති යි තෝ නහමක් සිත. පවිට, තෝ මාරයෙහි. පවිට, මෙහි යම් බඹෙක් ඇද්ද, යම් බඹ පිරිසෙක් ඇද්ද, යම්ම බඹපිරිසැවූවෝ ඇද්ද, ඔහු හැම තා හස්තගතයහ. ඔහු හැම තා වසංගතයහ. ‘මෙ තෙමේ ද මා හස්තගතය, මෙ තෙමේ ද මා වසඟය’ යනුදු තට මෙසේ සිතෙයි. පවිට, මම තා හස්තගතයෙම් නො ම වෙමි. තා වසඟයෙම් නො ම වෙමි” කියායි.
7. මහණෙනි, මෙසේ කීකල බක බ්‍රහ්ම මට තෙල බස් කී: “නිදුක, මම නිත්‍යය ම නිත්‍යයයි කියමි. ධ්‍රැවය ම ධ්‍රැවයයි කියමි. ශාශ්වතය ම ශාශ්වතයයි කියමි. කේවලය ම කේවලයයි කියමි. අවවන ධර්‍මය ම අවවන ධර්‍මයයි කියමි. යම් බඹලොවෙක නො උපදනේ වේ ද, නො දිරන්නේ වේ ද, නොමියන්නේ වේ ද, නො ච්‍යුතවන්නේ වේ ද, නො පහළ වන්නේ වේ ද, මම එය ම කියමි: මෙ බඹලොව උපදනේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේවයි, ච්‍යුතවනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් නැත්තේ ම මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් නැතියි කියමි. මහණ, තට පෙරාතුව ම ලෝකයෙහි මහණ බමුණෝ වූහ. තාගේ මුළුආයුකාලය යම්තාක් වේද, ඒ තාක් කල් උන්ගේ තපඃකර්‍ම වී උග්‍ර තපස් ඇතියෝ වූහ. ඔහු මතුයෙහි (මෙ බ්‍රහ්මස්ථානයට වැඩිතරම් වූ) අන් නිසරුණෙක් ඇත්නම් මතු අන් නිසරුණෙක් ඇතැ”යි මෙසේ දන්නාහුය. අන් මතු නිසරුණෙක් නැත්තේ ම අන් මතු නිසරුණෙක් නැතැ’යි මෙසේ දත්හ. මහණ, එහෙයින් මම තට මෙසේ කියමි: ‘තොයිදු මෙයින් මතු අන් නිසරුණෙක් නොදක්නෙහි. එයින්ම් (එය සෙවීමෙන්) තෝ හුදෙක් කිලමථයට වෙහෙසට හිමි වේමය. මහණ ඉදින් තෝ පෘථිවිය (තෘෂ්ණා මාන දෘෂ්ටින්) ගැලැගන්හි නම් මා වෙත ඖපශායික (හෝනේ) වෙහි. මගේ වස්තුයෙහි (විෂයෙහි මා අරක්ගෙන) හෝනේ වෙහි. මා කැමැති සේ කළයුත්තෙක්, (ලිහිලිකොළගසටත් වඩා) නීච කළයුත්තෙක් වෙහි. ඉදින් අප් ... තේජස් ... වායු ... භූතයන් ... දෙවියන් ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගන්හි නම්, මා උපනිඃශ්‍රය කොට ලගිනෙහි. මා සිටුනාතන්හි සිටුනෙහි. මා කැමැතිසේ කළයුත්තෙක්, හෙළා ලිය යුත්තෙක් වෙහි”යි බඹ අවමන් විසින් කී.
8. බ්‍රහ්මය, මම ද තෙල දන්මි: ඉදින් පොළොව තහවුරු කොට ගනිම් නම්, තාගේ ඖපශායික වෙමි. වාස්තුශායික වෙමි. යථාකාමකරණීය වෙමි. පාතනාර්‍හ වෙමි. ඉදින් අප් ... තේජස් ... වායු ... භූත ... දේව ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගන්නෙම් නම්, තා වෙත හෝනේ වෙමි. තා සිටුනා තැන අරක්ගෙන සිටුමි. තා කැමැත්තක් කරනු ලබමි. හෙළා ලියහෙනු ලබමි. එතෙකුදු වුව බ්‍රහ්මය, මම තාගේ ගති (නිෂ්පත්තිය) ද ජුති (අනුභාවය) ද දන්මි: බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහ ඇත. බකබ්‍රහ්ම මෙසේ මහ අනුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇත, යනු දන්මියි බඹමන් නිගන්මින් බුදුහු වදාළහ.
9. නිදුකාණනි, කෙසේ නම් තොපි ‘බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහු ඇත. බක බ්‍රහ්ම මහානුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇතැ’යි මාගේ ගතිදු ජුතිදු දන්ව?
10. හිරසඳ දෙදෙනා දසදිසා බබුළුවමින් යම්තාක් තැන් ඇවිදිත් ද, ඒ තාක් තැන් මේ සක්වළත් සමග සහස්‍රලෝකධාතුයෙක. මේ දහසක් සක්වළැ (පමණක්) තාගේ වාසය වැටෙයි. (සක්වළ දහසෙහි) හීනප්‍රණීතසත්ත්‍වයන් දන්හි. තවද, රාගවිරාගජනයා ද දන්හි. මෙසක්වළ ද (එකුන් දහස්) පරසක්වළ ද දන්හි. සතුන්ගේ (පිලිසඳ විසින් ආගතිදු (ච්‍යුතිවිසින්) ගතිදු දන්හි.
බ්‍රහ්මය, මෙසෙයින් මම “බකබ්‍රහ්ම මෙසේ මහඉදුහ ඇත, බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇතැ”යි තාගේ ගතිදු ජුතිදු (පමණ විසින්) දන්මි.
11. බ්‍රහ්මය, අන්‍ය වූ ද භූමීහු තුන්දෙනෙක් ඇත. තෝ ඒ නො දන්හි, නොදක්හි. මම ඒ ධ්‍යානභුමි දන්මි, දක්මි. බ්‍රහ්මය, තෝ යම් බඹළොවෙකින් සැව මෙහි උපන්හිද ඒ ආභස්සර නම් බඹලොවෙක් ඇත. ඉතා බොහෝ කල්පසු වූ හේතුවින් තට ඒ සිහි මුළා වෙයි. එයින් තෝ එය නොදන්හි, නො දක්හි මම එය දන්මි, දක්මි බ්‍රහ්මය, මෙසෙයිනුදු මම තට දැනීමෙන් (නුවණින්) සමසමයෙම් නොවෙමි. පහත්බවෙක් කිසෙයින් වේ ද, වැළිදු මම ම තට වැඩිසිට්යෙම් වෙමි. බ්‍රහ්මය, සුභකිණ්ණ නම් ධ්‍යාන භුමියෙක් ඇත ... වෙහප්ඵල නම් ධ්‍යානභුමියෙක් ඇත. තෝ එය නොදන්හි නොදක්හි. මම එය දන්මි, දක්මි. බ්‍රහ්මය, මෙසෙයිනුදු මම තට නුවණින් සමසමයෙම් නොම වෙමි. පහත්සේ කොයින් වේද, වැළිදු මම් ම තට වැඩිසිටියෙමි.
බ්‍රහ්මය, මම පෘථිවිය පෘථිවි භාවයෙන් දැන පෘථිවි පිළිබඳ පෘථිවි ස්වභාවයෙන් අනනුභූත (පෘථිවි භාවයට නොපත් යම්) නිර්‍වාණයෙක් ඇද්ද, ඒ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට පෘථිවිය (තෘෂ්ණාදීන්) නොගත්මි. පෘථිවියෙහි ලා නො ගත්මි. පෘථිවිභාවයෙන් නොගත්මි. “පෘථිවිය මා අයත් යැයි නොගත්මි. (මෙසේ) පෘථිවිය ආස්වාද විසින් නොගත්මි. බ්‍රහ්මය,මෙසෙයිනුදු දැනීමෙන් මම තට සමසමයෙම් නො වෙමි. පහත්සේ කොයින් වේද, වැළිදු මම තට වැඩිසිටියෙමි. බ්‍රහ්මය, මම අප් ... තේජස් ... වායු ... භූත ... දෙවි ... මර ... බඹ ... ආභස්සර ... සුභකිණ්ණක ... වෙහප්ඵල ... අභිභූ ... නොගත්මි. බ්‍රහ්මය, මම සර්‍වය (සත්කාය ධර්‍ම) සර්‍වවශයෙන් දැන සර්‍වයාගේ සර්‍වස්වභාවයෙන් අනනුභුත යම් නිවනෙක් ඇද්ද, ඒ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට සර්‍වය නොගත්මි. සර්‍වයෙහි ලා නොගත්මි. සර්‍වභාවයෙන් නොගත්මි. ‘සර්‍වය මට අයත් යැයි නොගත්මි. සර්‍වය ආස්වාද විසින් නොගත්මි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම තට සම්සමයෙම් නොවෙමි. පහත් සේ කොයින් වේ ද, වැළිදු මම් ම තට වැඩිසිටියෙමි.
12. “නිදුකාණෙනි, ඉදින් සර්‍වයාගේ සර්‍වභාවයෙන් අනනුභූතයෙක් වේ ද, එයින් තොපගේ බස් නො සිස් වේවා. මෘෂා නොවේවා”. (බඹහු යනු ‘සබ්බං’ යනු සර්‍ව - සර්‍ව යැයි ගෙණ සර්‍වය සර්වතායෙන් අනුභූත - ප්‍රත්‍යක්‍ෂ නොවේ නම් එහි ඔබ විසින් අනනුභුතයක් ඇතැයි මෙසේ බුදුන් මුසාවාදයෙන් නිගනිති.)
13. එකල බුදුහු “විඥානය (විඥාතව්‍ය නිර්‍වාණය චක්‍ෂුර්විඥානයට අරමුණු නොවන බැවින්) අනිදර්‍ශන වෙයි. (උත්පාද ව්‍යයසඞ්ඛ්‍යාත අන්තරහිත හෙයින්) අනන්ත වෙයි. සියල්ලට වඩා ප්‍රභාසම්පන්න වෙයි. ඒ විඥානය (නිර්‍වාණය) පෘථිවිස්වභාවයෙන් අනුභූත (විෂය) නො වෙයි. අප්හුගේ අප්ස්වභාවයෙන් අනුභූත නො වෙයි. තේජස්හුගේ තේජස් ස්වභාවයෙන් අනුභූත නො වෙයි. වායුහුගේ වායුස්වභාවයෙන් අනුභූත නො වෙයි. භූතයන්ගේ භූතස්වභාවයෙන් අනුභූත නො වෙයි. දේවයන්ගේ දේවස්වභාවයෙන් අනුභූත නො වෙයි. මාරයාගේ මාරස්වභාවයෙන් අනුභූත නො වෙයි. බ්‍රහ්මයාගේ බ්‍රහ්මස්වභාවයෙන් අනුභූත නො වෙයි. ආභාස්වරයන්ගේ ආභාස්වරස්වභාවයෙන් අනුභූත නො වෙයි. ශුභකෘත්ස්තයන්ගේ ශුභකෘත්ස්තස්වභාවයෙන් අනුභූත නො වෙයි. වෘහත්ඵලයන්ගේ වෘහත්ඵලස්වභාවයෙන් අනුභූත නො වෙයි. අභිභූදෙවියන්ගේ අභිභූස්වභාවයෙන් අනුභූත නො වෙයි. සර්‍වයාගේ සර්‍වස්වභාවයෙන් අනුභූත නො වේ” යයි වදාළහ.
14. “නිදුකාණෙනි, දැන් තොප කෙරෙන් අතුරුදන් වෙමි”යි (බඹ වාදයෙන් පිහිටක් නො ලබා සැඟවෙනු කැමැතිව) කී බ්‍රහ්මය, ඉදින් තෝ පොහොසත් විහි නම් දැන් මා කෙරෙන් අතුරුදන් වා (බුදුහු වදාළහ.) එසඳ මහණෙනි, බකබ්‍රහ්ම “මහණගොයුම් කෙරෙන් අතුරුදන් වෙමි, මහණගොයුම් කෙරෙන් අතුරුදන් වෙමි”යි යෙමින් මා හමුයෙහි අතුරුදන් වන්නට නො හැකි වී.
15. මහණෙනි, මෙසේ කීකල්හි මම බකබ්‍රහ්මහට තෙල කීමි: “බ්‍රහ්මය, මම දැන් තා කෙරෙන් අතුරුදන් වෙමි”යි. “නිදුකාණෙනි, ඉදින් පොහොසත් වුව දැන් මා හමුයෙහි තෙපි අතුරුදන් ව”යි (බඹ කී.) එසඳ මහණෙනි, මම “මෙතෙකින් බඹ ද බඹපිරිස් ද බඹපිරිස් වැසියෝ ද මා බස් අසත්වා. මා නො දකිත්වා”යි එබඳු ඉදුහයක් පිළියෙල කෙළෙමි. අතුරුදන් වැ සිට මේ ගාථා වදාළෙමි:
මම භවයෙහි (සංසාරයෙහි ජාතිජරාදි භේද) භය දැක ම, විභව සඞ්ඛ්‍යාත නිර්‍වාණය සොයන්නාවූ (කාමභවාදි ත්‍රිවිධ සත්ත්‍ව) භවය - (සත්ත්‍ව සමූහය) ද භවයෙහි ම දැක, හෙවත් නිවන් සොයන්නවුන්ගේ භවයෙහි ම උප්පත්තිය දැක, කිසි උත්පත්ති භාවයක් (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන්) ග්‍රහණය නො කෙළෙමි. නන්‍දි සඞ්ඛ්‍යාත භව තෘෂ්ණාව (කර්‍මභවය) ද නොගතිමි.
16. මහණෙනි, එසඳ බඹ ද බඹපිරිස් ද බඹපිරිස්වැසියෝද උපන් අසිරිඅබුතුසිතැතිවුහ: “භවත්නි, මහණගොයුම්හුගේ මහත් ඍද්‍ධි ඇති සේ මහත් අනුභාව ඇති සේ ආශ්චර්‍ය්‍ය ම ය, අද්භූත ම යා. සැහැකුලෙන් පැවිදිපත් සැහැපුත් මේ මහණ ගොයුම් බඳු, මෙසේ මහත් ඍද්‍ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මින් පෙර නොදුටුවිරූ ම ය. නො ඇසුවිරූම ය. භවයෙහි ඇලුණු, භවරති ඇති භවයෙහි ප්‍රමුදිත වූ ප්‍රජායෙහි සිට සමූලභවය උපුටා හළෙ යැ කියායි.
17. මහණෙනි, එසඳ පවිටු මර එක්තරා බඹපිරිස් වැසියකුට ආවිෂ්ට ව සිට මට තෙල බස් කී: “නිදුකාණෙනි, ඉදින් තෙපි මෙසේ (සිවුසස්) දනුහු නම්, මෙසේ අනුබද්ධ නම් තොප ඒ දහම සව්වන් කරා නො එළවව. පැවිද්දන් කරා නො එළවව. සව්වනට දහම් නො දෙසව. පැවිද්දනට දහම් නො දෙසව. සව්වන් කෙරෙහි ගේධ නො කරව. පැවිද්දන් කෙරෙහි ගේධ නො කරව. මහණ, තට පූර්‍වයෙහිත් ලෝකයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ යම්හයි පිළින කරන මහණ බමුණු කෙනෙක් වූහු ම ය. ඔහු (ඔවුන්ගේ) දහම සව්වන් කරා පැවිද්දන් කරා එළවූහ. සව්වනට පැවිද්දනට දහම් දෙසූහ.
සව්වන් කරා පැවිද්දන් කෙරෙහි ගේධ කළහ. ඔහු සව්වන් කරා පැවිද්දන් කරා දහම් එළවා සව්වනට පැවිද්දනට දහම් දෙසා, සව්වන් කෙරෙහි පැවිද්දන් කෙරෙහි ගේධසිත් ඇති කොට, කාබුන් මරණින් සිවුඅවාහි උපන්හ. මහණ, තට පෙරත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ යම්හයි පිළින කරන මහණ බමුණු කෙනෙක් ලෝකයෙහි වූහු ම ය. ඔහු සව්වන් කරා දහම් නො එළවූහ. පැවිද්දන් කරා නො එළවූහ. සව්වනට දහම් නො දෙසූහ. පැවිද්දනට නො දෙසූහ. සව්වන් කෙරෙහි ගේධ නො කළහ, පැවිද්දන් කෙරෙහි ගේධ නො කළහ. ඔහු සව්වන් කරා දහම් නො එළවා, පැවිද්දන් කරා නො එළවා, සව්වනට දහම් නො දෙසා, පැවිද්දනට නො දෙසා, සව්වන් කෙරෙහි කළ ගේධසිත් නැති ව, පැවිද්දන් කෙරෙහි කළ ගේධසිත් නැති ව, කාබුන් මරණයෙන් බඹලොව උපන්හ. මහණ, ඒහේතුවින් මම තට මෙසේ කියමි: “භවත, තෙපි අල්පොත්සුකව දෘශ්ටධර්‍මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වාස කරව: මෙරමාහට නො දෙසීම කුසල් ය. මෙරමාහට ඕවා නො දෙව” කියයි.
18. මහණෙනි, මෙසේ කීකල මම පවිටු මරහට තෙල කීමි: “පවිට, මම තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට තෝ මාරයෙහි. පවිට, තෝ හිතානුකම්පී ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තෝ අහිතානුකම්පී ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: ‘මහණ ගොයුම් යම් කෙනෙකුන්ට දහම් දෙසා නම්, ඔහු මා විෂය ඉක්ම යෙති’යි. පවිට, ඒ මහණබමුණෝ සම්‍යක්සම්බුද්ධ නො වූවාහු ම ‘සම්‍යක්සම්බුද්ධයම්හ’යි පිළින කළහ. පවිට මම සම්‍යක්සම්බුද්ධ වූයෙම් ම සම්‍යක්සම්බුද්ධයෙමි යි පිළින කෙරෙමි. පවිට, තථාගත සව්වනට දෙසනුයේ ද තාදෘශ ම වෙයි. පවිට තථාගත සව්වනට දහම් නො දෙසනුයේ ද තාදෘශ ම වෙයි. පවිට, තථාගත සව්වන් කරා දහම් එළවනුයේ ද තාදෘශ ම වෙයි. පවිට, තථාගත සව්වන් කරා දහම් නො එළවනුයේ ද තාදෘශ ම වෙයි. ඒ කවර හෙයින යත්: පවිට, කෙලෙසනසැහැවි ඇති, පුනර්‍භවය උදාකරන, දරථ සහිත, දුඃඛවිපාක දෙන, මතු ජාතිජරාමරණයට හිත, යම් ආස්‍රවයෝ ඇද්ද, තථාගතහට ඔහු ප්‍රහීණයහ. උසුන්මුල්හ. තාලාවාස්තුකෘතයහ. පිළිවෙළින් කළ අභාව ඇතියහ. මතුයෙහි අනුත්පාද ස්වභාවයහ. පවිට, යම්පිරිදි මුදුන්සුන් තල නැවත විරූඪිය පිණිස අභව්‍ය වේ ද, පවිට, එපිරිදි ම කෙලෙසන සැහැවි ඇති, පුනර්‍භවයපිණිස පවත්නා, කායචිත්තදරථ සහිත, දුක් විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණ කරන, යම් ආස්‍රාවයෝ ඇද්ද, ඔහු තථාගතහට ප්‍රහීණයහ, මුලසුන්හ, මුදුන් බුන් තලක් සෙයින් අවාස්තුභාව ඇතියහ. පිළිවෙළින් කළ අභාව ඇතියහ. මතු නූපදනා සැහැවීයහ.