Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 1901-2000 න් 6387

13. ආර්‍ය්‍යාවෙනි, කායසංස්කාර කවරේ ය? වාක්සංස්කාර කවරේ ය? චිත්තසංස්කාර කවරේ ය?
ඇවැත විශාඛයෙනි, ආශ්වාසප්‍රශ්වාස කායසංස්කාර යි. විතර්‍කවිචාර වාක්සංස්කාර යි. සංඥා හා වේදනා චිත්තසංස්කාර යි.
14. ආර්‍ය්‍යාවෙනි, කවරහෙයෙකින් ආශ්වාසප්‍රශ්වාස කායසංස්කාර වේද? කවරහෙයෙකින් විතර්‍කවිචාර වාක්සංස්කාර වේද? කවරහෙයෙකින් සංඥා හා වේදනා චිත්තසංස්කාර වේද?
ඇවැත විසාඛයෙනි, ආශ්වාසප්‍රශ්වාසයෝ කායික වෙති. මේ ධර්‍මයෝ කාය ප්‍රතිබද්ධයහ. එයින් ආශ්වාස ප්‍රශ්වාසයෝ කායසංස්කාර වෙති. ඇවැත විසාඛයෙනි, කැලැම විතර්‍ක කොට විචාර කොට පසු ව බස බිඳුනේ ය. එයින් විතර්‍කවිචාරයෝ වාක්සංස්කාර වෙති. සංඥා ද වේදනා ද චෛතසිකයහ. මේ ධර්‍මයෝ චිත්ත ප්‍රතිබද්ධයහ. එයින් සංඥා ද වේදනා ද චිත්තසංස්කාර වෙති.
15. ආර්‍ය්‍යාවෙනි, කෙසෙයින් සංඥාවේදයිත නිරෝධ සමාපත්ති වේද?
ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතට සමවදනා මහණහට මෙවන් සිත් නොවෙයි: “මම සංඥාවේදයිතනිරෝධයට (මතු) සමවදින්නෙම් කියා හෝ, (දැන්) සමවදිමි කියා හෝ, (අන්තේනිරෝධ විසින්) සමවැදිණිමි කියා හෝයි. වැලිදු, යම් භාවිත චිත්තයෙක් ඒ මහණ (අන්තේනිරෝධ විසින් අවිත්තකභාව සඞ්ඛ්‍යාත) තථාත්‍වයට එළවා ද, ඒ මහණහුගේ කාලය පිරිසිඳුනා සිත (නිරෝධසමාපත්තියෙන්) පළමු කොට ම එසෙයින් භාවිත වෙයි.
16. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතට සමවදනා මහණහට කිනම් ධර්‍මකෙනෙක් පළමු ව නිරුද්ධ වෙද් ද, කායසංස්කාර හෝ නිරුද්ධ වේද? වාක්සංස්කාර හෝ නිරුද්ධ වේද? චිත්තසංස්කාර හෝ නිරුද්ධ වේද?
ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධයට සමවදනා මහණහට පළමු ව වාක්සංස්කාර නිරුද්ධ වෙයි. ඉන් පසු කායසංස්කාර නිරුද්ධ වෙයි. ඉන්පසු චිත්තසංස්කාර නිරුද්ධ වෙයි.
17. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගී සිටීම කෙසේ වේද?
ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගෙන මහණහට මෙබඳු සිත් නොවෙයි: “මම සංඥාවේදයිතනිරෝධසමවතින් නැගෙන්නෙමි කියා හෝ, නැගෙමි කියා හෝ, නැගුණෙමි කියා හෝ” යි. ‘වැලිදු, යම් භාවිත චිත්තයෙක් ඒ මහණ (අවිත්තකභාව සඞ්ඛ්‍යාත) තථාත්‍වයට ගෙන යේද, ඒ මහණහුගේ (අද්ධාන පරිච්ඡේද) චිත්තය කැලැම (අද්ධාන පරිච්ඡේදකාලයෙහි ම) එසෙයින් භාවිත වෙයි.
18. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධ සමවතින් නැඟෙන මහණහට කිනම් ධර්‍ම කෙනෙක් පළමු ව උපදනාහු ද, කායසංස්කාර හෝ උපදනේ වේද? වාක්සංස්කාර හෝ උපදනේ වේ ද? චිත්තසංස්කාර හෝ උපදනේ වේ ද?
ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධ සමවතින් නැගෙන මහණහට පළමු ව චිත්තසංස්කාර උපදනේය. ඉන්පසු කායසංස්කාර උපදනේය. ඉන්පසු වාක්සංස්කාර උපදනේය.
19. ආර්‍ය්‍යාවෙනි, කෙතෙක් ස්පර්‍ශයෝ සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණ පැහැස ගනිද්ද?
ඇවැත විසාඛයෙනි, ස්පර්‍ශයෝ තුන් දෙනෙක් සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණ පැහැස ගනිති: සුඤ්ඤත පහස, අනිමිත්ත පහස, අප්පණිහිත පහසයි.
20. ආර්‍ය්‍යාවෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණහුගේ සිත කිමෙක අවනත ව ඇද්ද? කිමෙක ප්‍රවණව (නැමී) ඇද්ද? කිමෙක ප්‍රාග්භාර ව (නැඹුරු) ව ඇද්ද?
ඇවැත විසාඛයෙනි, සංඥාවේදයිතනිරෝධසමවතින් නැගි මහණහුගේ සිත උපධිවිවේකය (නිවන) කෙරෙහි අවනතව ඇත. උපධි විවේකය කෙරෙහි ප්‍රවණ ව සිටියේ වෙයි. උපධිවිවේකය කෙරෙහි (හෙන්නාක් සෙයින්) ප්‍රාග්භාරව සිටියේ වෙයි.
21. ආර්‍ය්‍යාවෙනි, වේදනාවෝ කෙතෙක් ඇද්ද?
ඇවැත විසාඛයෙනි, මේ වේදනාවෝ තුන් දෙනෙකි: සුඛවේදනාය, දුඃඛවෙදනාය, අදුඃඛසුඛවේදනායි.
22. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනා කවර? දුඃඛවේදනා කවර? අදුඃඛාසුඛ වේදනා කවර?
ඇවැත විසාඛයෙනි, (පඤ්චද්වාරික විසින්) කායික වූ (මනෝද්වාරික) විසින් මිහිරි සැහැවි ඇති යම් සුඛවේදනායෙක් ඇද්ද, මේ සුඛ සහගිය වේදනා වෙයි. ඇවැත විසාඛයෙනි, කායික වේවයි, චෛතසික වේවයි, නොමිහිරි සැහැවි ඇති යම් දුකඛවෙදනායෙක් ඇද්ද, මේ දුක්වේදනා වෙයි. ඇවැත විසාඛයෙනි, කායික වේවයි, චෛතසික වේවයි, මධුරත් අමධුරත් නො වූ යම් වේදනායෙක් ඇද්ද, මේ අදුඃඛාසුඛ වේදනායි කියු.
23. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනා කුමක් සුඛ කොට ඇති වේ ද, කුමක් දුක් කොට ඇති වේ ද? දුඃඛවේදනා කුමක් දුක් කොට ඇති වේ ද, කුමක් සුඛ කොට ඇති වේ ද? උපේක්‍ෂාවේදනා කුමක් සුඛ කොට ඇති වේද, කුමක් දුක් කොට ඇති වේ ද?
ඇවැත විසාඛයෙනි, සුඛවේදනා ස්ථිති (අස්තිභාවයෙහි) සුඛ වෙයි. විපරිණාම (නාස්තිභාවයෙහි) දුඃඛ වෙයි. දුඃඛවේදනා ස්ථිති දුඃඛ වෙයි. විපරිණාම සුඛ වෙයි. උපේක්‍ෂාවේදනා ඥාන සුඛ (දන්නාබව සුව කොට ඇති) වෙයි. අඥාන දුඃඛ (නොදන්නාබව දුක්කොට ඇති) වෙයි.
24. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනායෙහි කිනම් අනුශය දහමෙක් (නොපුහුන් බැවින් සතන්හි) හෝනේ වේ ද? දුඃඛ වේදනායෙහි කිනම් අනුශය දහමෙක් (සතන්හි) ලගනේ වේ ද? උපේක්‍ෂාවේදනායෙහි කිනම් අනුශය දහමෙක් ලුහුබැඳ ලැගගන්නේ වේ ද?
ඇවැත විසාඛයෙනි, සුඛවේදනායෙහි රාගානුශය අනුශයන කෙරෙයි. දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය හෝනේ වෙයි. උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය හෝනේ වෙයි.
25. ආර්‍ය්‍යාවෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද? හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද? හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ලුහුබැඳගෙන ලගනේ වේ ද?
ඇවැත විසාඛයෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය නො ලගනේය. හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය නො ලගනේය. හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය නො ලගනේය.
26. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද? දුඃඛ වේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද? උපේක්‍ෂාවේදනායෙහි කිමෙක් ප්‍රහාතව්‍ය වේ ද?
ඇවැත විසාඛයෙනි, සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය වේ. දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය වේ. උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ.
27. ආර්‍ය්‍යාවෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය වේ ද? හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය වේ ද? හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය වේ ද?
ඇවැත විසාඛයෙනි, හැම සුඛවේදනායෙහි රාගානුශය ප්‍රහාතව්‍ය නො වේ. හැම දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ප්‍රහාතව්‍ය නො වේ. හැම උපේක්‍ෂාවේදනායෙහි අවිද්‍යානුශය ප්‍රහාතව්‍ය නො වේ.
ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන් ව සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා ගෙන වාස කෙරෙ. ඒ ප්‍රථමධ්‍යානයෙන් රාගය ප්‍රහීණ කෙරෙ. ඒ ප්‍රථමධ්‍යාන (සුඛවේදනා)යෙහි රාගානුශය ලුහුබැඳ ගෙන හෝනේ නො වෙයි.
ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ මෙසෙයින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙ: “ආර්‍ය්‍යයෝ දැන් යම් රහත්බවක් (ඇටිඇටිසඳ) සමවැද වෙසෙද්ද, මම කිනම් දිනෙක ඒ අර්‍හත්ත්‍වායතනයට සමවැද වෙසෙම් දෝ” කියායි. මෙසේ අනුත්තරවිමෝක්‍ෂයෙහි (අර්‍හත්ත්‍වයෙහි) ප්‍රාර්‍ත්‍ථනා එළවා තබනුවහට තත්ප්‍රාර්‍ත්‍ථනා නො ලැබීම හේතුයෙන් දොම්නස් උපදනේ වෙයි. ඒ දෞර්‍මනස්‍යයෙන් ප්‍රතිඝ දුරුකෙරේ. තද්රූපදෞර්‍මනස්‍ය (දුඃඛවේදනා) යෙහි ප්‍රතිඝානුශය අනුශයන නො කෙරෙ.
ඇවැත විසාඛයෙනි, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නසුන් කලින් ම පහව යෑමෙන් අදුඃඛ වූ, අසුඛ වූ, උපේක්‍ෂාවෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යාන සමවැද වෙසෙයි. ඒ චතුර්‍ත්‍ථධ්‍යානයෙන් අවිද්‍යා පුහුන් කෙරෙ. ඒ ධ්‍යාන (උපේක්‍ෂා වේදනා) යෙහි අවිද්‍යානුශය ලුහුබැඳ ලගනේ නො වෙයි.
28. ආර්‍ය්‍යාවෙනි, සුඛවේදනාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, සුඛවේදනාවට දුඃඛවේදනා විසභාග (විරුද්ධ) ප්‍රතිභාග වෙයි.
29. ආර්‍ය්‍යාවෙනි, දුඃඛවෙදනාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, දුඃඛවෙදනාවට සුඛවේදනා විසභාග (විරුද්ධ) ප්‍රතිභාග වෙයි.
30. ආර්‍ය්‍යාවෙනි, උපේක්‍ෂාවේදනාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, උපේක්‍ෂාවේදනාවට අවිද්‍යා විසභාග (අවිරුද්ධ) ප්‍රතිභාග වෙයි.
31. ආර්‍ය්‍යාවෙනි, අවිද්‍යාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, අවිද්‍යාවට විද්‍යා විසභාගප්‍රතිභාග වෙයි.
32. ආර්‍ය්‍යාවෙනි, විද්‍යාවට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, විද්‍යාවට විමුක්ති සභාගප්‍රතිභාග වෙයි.
33. ආර්‍ය්‍යාවෙනි, විමුක්තියට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, විමුක්තියට නිවන සභාගප්‍රතිභාග වෙයි.
34. ආර්‍ය්‍යාවෙනි, නිවනට ප්‍රතිභාග කිම?
ඇවැත විසාඛයෙනි, පැන පන්වා ගියෙහි නො. ප්‍රශ්නයන්ගේ පර්‍ය්‍යන්තය ගන්නට නොහැකි විහි නො. ඇවැත විසාඛයෙනි, බ්‍රම්සරවස නිවන් බැසගෙන ඇත. නිවන් පරමගති කොට ඇත. නිවන් කෙළවර කොට ඇත. ඇවැත විසාඛයෙනි, තෙපි කැමැතියහු නම් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ තෙල අරුත් විචාරව භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි තොපට විභාග කොට වදාරද්ද, එ අරුත් එපරිදි ගෙන් ධරව.
එක්බිති විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණගේ තෙපුල් අභිනන්‍දන කොට අනුමෝදන් ව හුනස්නෙන් නැගී ධම්මදින්නා මෙහෙණ සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ මැනැවින් වැඳ එකත්පසෙක හින. එකත්පස්ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණ හා සමග යම්තාක් කථා සංලාප වී ද, එහැම භාග්‍යවතුන් වහන්සේට සැළකෙළේය.
මෙසේ සැළකළකල්හි භාග්‍යවතුන් වහන්සේ විසාඛ උපාසකහට තෙල වදාළහ: විසාඛයෙනි, ධම්මදින්නා මෙහෙණ පණ්ඩිතභාව ඇතියක. විසාඛයෙනි, ධම්මදින්නා මෙහෙණ මහපැන ඇතියහ. විසාඛයෙනි, තෙපි මයිත් තෙල පැන පුළුවුස්නහු නම්, යම් පරිදි ධම්මදින්නා මෙහෙණ විසින් පවසන ලද නම්, මම ද එය එපරිදි ම ප්‍රකාශ කරමි. තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ තෙල ම වෙයි. තෙල අරුත් එපරිදි ම ධරව.
භාග්‍යවතුන් වහන්සේ මෙ බස් වදාළ සේක. (ප්‍රීතිසෞමනස්‍යයෙන්) ගත් සිතැති විසාඛ උපාසක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටු වී.
චූළවේදල්ලසුත්‍රය සතරවැනියි.
1. 5. 5.
චූළධම්මසමාදාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ජේතවන නම් වූ, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැයි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, ධර්‍මසමාදානයෝ මොහු සතරදෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ වත්මනු සුව දෙන මතුයෙහි දුක්විවාදෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු දුක්දා වූත්, මතුයෙහි ද දුක් විවාදා වූත් ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්වනු දුක්දා, මතුයෙහි සුවවිවාදා ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු සුවදාවූත්, මතුයෙහිදු සුවවිවාදා වූ ධර්‍මසමාදානයෙක් ඇත.
3. මහණෙනි, ප්‍රත්‍යුත්පන්නසුඛ ඇති, අනාගතවිපාකකාලයෙහි දුඃඛවිපාක ඇති ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
මහණෙනි, වස්තුකාම හා ක්ලේශකාමයෙහි දොසෙක් නැතියි එවංවාදි වූ (මෙසෙයින් බණන සැහැවි ඇති) එවංදෘෂ්ටික වූ (මෙසෙයින් ගත් දෘෂ්ටිගත ඇති) මහණබමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි (ක්ලේශකාමද්වාරයෙන්) පිය යුතු බවට (රිසිසේ වැළඳිය යුතු බවට) පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවත්. ඔහු මෙසේ බෙණෙති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාමප්‍රහාණය කියද්ද, කාමසමතික්‍රමය පනවද්ද? තරුණ, මෘදු, බූ ඇති මේ පරිබ්‍රාජිකාවගේ බාහු පහස සුවදා වෙතියි, (මෙසේ බැණ) ඔහු කාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පීයයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරෑහි තීව්‍ර, කටුක, දුක්වේදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති, කාමසමතික්‍රමය පනවති. මෙ අපි කාමහේතුයෙන් දුඃඛ, තීව්‍ර, කටුක වේදනා විඳුම්හ’යි.
මහණෙනි, යම්පරිදි ග්‍රිෂ්මමාසයන් කෙරෙහි පැසිම් මස (සිපත් බඳු දිගු සටහන් ඇති) මාලුවා ලියපල පැළෙනු වේ ද, මහණෙනි, එක්බිති ඒ මාලුවා ලියබිජු එක්තරා රුක්මුලෙක හෙන්නේ වේ ද, මහණෙනි, එකල එරුක්හි අධිපති ව වාස කරන යම් දෙවියෙක් ඇද්ද, ඒ දෙවි බියපත් ව සංවිග්න ව සංත්‍රාසයට පැමිණෙන්නේ වේ ද, මහණෙනි, එසඳ එරුක්හි අධිවාස කරන දෙවිහුගේ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනැ වූ අරම්වැසිදෙවියන් හා වනවැසි දෙවියෝ ද, රුක්වැසි දෙවියන් හා ඔෂධීතෘණ වනස්පති වෘක්‍ෂයෙහි අධිපති ව වසන දෙවියෝද මුළුදී මෙසෙයින් අස්වැසුම් කෙරෙති:
“භවත් නහමක් බියපත්වා, භවත් නහමක් බියපත්වා. මොණරෙක් හෝ තෙල මාලුවා බිජු ගලන්නේ නම්, මුවෙක් හෝ බුදින්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකම් කරනුවෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම්, මනා මැනු” යි. එතෙකුදු වුව මහණෙනි, මොණරෙක් හෝ ඒ මාලුවා බිජු නොම ගැලැගන්නේය මුවෙක් හෝ නො බුදින්නේ ය. ළැව්ගිනි හෝ නො දවන්නේය. වනකර්‍මයෙහි තියුක්තයෝ හෝ නො උදුරාලන්නාහ. වේයෝ හෝ නොකන්නාහ. (එයින්) බීජයෙක් ම වෙයි. එ බිජු ප්‍රාවෘෂ්‍යමේඝයා (වැසිකල මහමේ) විසින් මොනොවට වස්නා ලදුව මනාකොට ම නැඟෙන්නේය. ඒ මාලුවාලිය (වැඩුණි) තරුණ ව මෘදු ව බූ ඇති ව ඔබමොබ ලෙළෙනු වෙයි. ඒ මාලුවා ලතා එ රුක් පිරිරැඹ සෙවුනී වෙයි.
මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙව්පුත්හට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑ වූ අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණ වනදෙටු රුක්හි නිවැසි දෙවියෝ මාලුවා ලියැ කිනම් අනාබියක් දක්මින් මුළුදී මෙසෙයින් අස්වසාලූහු ද: “භවත් නොබානේ මැනැව, භවත් නො බානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවාබීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වන කැමියෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබිජ හෝ වේනම් මනා මැනු යි. තරුණ, මෘදු, බූ ඇති, ඔබමොබ ලෙළෙන, මේ මාලුවාලතායෙහි පහස සුවදා වෙයි.” (මෙවන් සිත් වෙයි). එ මාලුවාලිය එ රුක් වැළඳ ගනී. එ ලිය එ රුක් වැළඳගෙන මතුයෙහි (ඡත්‍රාකාරයෙන්) වෙළබ කොට ගනී. මතුයෙහි වෙළෙප් කොට ගෙන අවඝන (යට බස්මින් අවට වසාගත් ලතාගුල්ම) උපදවයි. අවඝන උපදවා එ රුක්හි යම් මහත් මහත් කඳ ඇත් ද, ඒ කඳ පළාපියයි. මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙවිහට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑවූ, අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ, රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණවනස්පති වෘක්‍ෂයෙහි නිවැසි දෙවියෝ මාලුවාබීජයෙහි මේ අනාබිය දක්මින් මුළුදී මෙසේ අස්වැසුහු - භවත්, නොබානේ මැනැව, භවත් නොබානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවා බීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකැමියෝ හෝ උදුරාපියන්නාහු නම් වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම් මනා මැනුයි කියායි. මම (දැන්) යම් හෙයෙකින් මාලුවාබීජහේතුයෙන් දුක්, තීව්‍ර, කටුක වේදනා විඳිම් ද, (එසෙයින් එසේ අස්වැසුහුය.)
මහණෙනි, එපරිදි ම ‘වස්තුකාම හා ක්ලේශකාමයෙහි දොසෙක් නැති’යි එවංවාදී වූ, එව දෘෂ්ටික වූ මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවති. ඔහු මෙසේ බෙණෙති:
‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාම ප්‍රහාණය කියද්ද, කාම සමතික්‍රමය පනවද්ද? ‘තරුණ, මෘදු, බූ ඇති, මේ පරිබ්‍රාජිකාවගේ බාහායෙහි පහස සුවදා වෙති’යි (මෙසේ බැණ) ඔහු කාමයෙහි පාතව්‍යතාවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පියයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරෑහි තීව්‍ර, කටුක, දුඃඛවේදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ඒ භවත් මහණබමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති. කාමසමතික්‍රමය පනවති. මේ අපි කාම හේතුයෙන් කාමනිදානයෙන් දුඃඛ, තීව්‍ර, කටුක වේදනා විඳුම්හ යි. මහණෙනි, මෙ මෙවත්මන්හි සුව දෙන, මතු දුක් විපාක දෙන ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.
4. මහණෙනි, මෙවත්මන්හිත් දුඃඛදායක වූ මතුයෙහිත් දුඃඛවිපාක දායක වූ ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සෙලු වෙයි. හළ ආචාර ඇති වෙයි. (අහරකිස නිමි කල) අත ලෝනේ වෙයි. අහර පිණිස ‘එව, වහන්සැ’යි කීකල නො එනු සිල් කොට ඇති වෙයි. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටුනු සිල් කොට ඇති වෙයි. ළඟට එළවූ අහර නො පිළිගනු වෙයි. උදෙසා කළ අහර නො පිළිගනු වෙයි. නිමන්ත්‍රණ නො පිළිගනු වෙයි. හෙ කළමුවින් ගෙන දෙන අහර නො පිළිගනු වෙයි. හෙ සැළමුවින් ගෙන දෙන අහර නො පිළිගනු වෙයි. එළිපත අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. දඬු අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. මොහොල් අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැඟී දෙන අහර නො පිළිගනු වෙයි. ගැබිලිය දෙන අහර නො පිළිගනු වෙයි. කිරිපොවන්නිය දෙන අහර නො පිළිගනු වෙයි. පුරුෂාන්තර ගත ස්ත්‍රිය දෙන අහර නොපිළිගනු වෙයි. සමාදන් කොට පිසූ කල දෙන අහර නො පිළිගනු වෙයි. යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දෙන අහර නො පිළිගනු වෙයි. යම් තැනෙක මැසිමුළු ගළගළ ව හැසිරෙත් නම් එහි දෙන අහර නො පිළිගනු වෙයි. මත්ස්‍ය නො පිළිගනු වෙයි. මාංශ නො පිළිගනු වෙයි. රහ නො බොනු වෙයි. මෙර නො බොනු වෙයි. සෞවීර නො බොනු වෙයි.
හෙ එක් ගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි. දෙගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි. ... සත්ගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලෝපසතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු (එක් බත්තැටියකිනුදු) යැපෙයි දෙ දැත්තෙකිනුදු යැපෙයි ... සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි. දෙදවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි ... සත්දවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරහක්ත භෝජනයෙහි යෙදුණේ වෙසෙයි.
හේ පලා වළඳන්නේ හෝ වෙයි. බඩහමු වළඳන්නේ හෝ වෙයි. හුරුහැල් වළඳන්නේ හෝ වෙයි. සම්කඩ වැහැරි වළඳන්නේ හෝ වෙයි. ලහටු වළඳන්නේ හෝ වෙයි. කුඩු වළඳන්නේ හෝ වෙයි. දමුබත් වළඳන්නේ හෝ වෙයි. පුනකු වළඳන්නේ හෝ වෙයි. තණ වළඳන්නේ හෝ වෙයි. ගොම වළඳන්නේ හෝ වෙයි. තුවටුයෙන් ගිලුණු ඵල වළඳ කරන සුලු වූයේ, වන මූලඵල අහර කොට ඇතියේ ද යැපෙයි.
හෙ හණවැහැරි ද දරයි. මුසුහණවැහැරි ද දරයි. මිනියෙන් මුදාහළ පිළි ද දරයි. පහුල්පිළි ද දරයි. රුක්සුඹුළු ද දරයි. අඳුන්මුවසම් ද දරයි. කුරසහිත අඳුන්මුවසම් ද දරයි. කුසවැහැරි ද දරයි. කෙඳිවැහැරි ද දරයි. ලීපත් වැහැරි ද දරයි. කේසකම්බලය ද දරයි. අස්ලොම්කම්බලය ද දරයි. මහමුහුණුපියාපතුදු දරයි. හිසකේ රවුළු උදුරනුයේ හිසකේ රවුළු උදුරන වතෙහි යෙදුණේ වෙයි. අසුන් පිළිකෙව් කෙළේ, උඩුහුරු ව සිටුනේ වෙයි. උක්කුටුක ව (උලුළුයෙන්) හිඳ තවුස්වැර වැඩීමෙහි යෙදුණේ උලුළුයෙන් හිඳුනේ ද වෙයි. කටු ඇතිරියෙහි වැතිරෙන්නේ ද වෙයි. කටුඇතිරියෙහි ශයන ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් දියට බැසීම් වතෙහි යෙදුණේ වෙසේ.
මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය (තැවීමෙහි හාත්පස තැවී මෙහි) යෙදුණේ වාස කෙරෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ, නිරයට පැමිණෙයි. මහණෙනි, මෙ වනාහි මෙවත්මන්හි දුක් දෙන්නා වූ ද, මතුයෙහි දුක් විපාක දෙන්නා වූ ද කර්‍මසමාදානය යි කියනු ලැබේ.
6. මහණෙනි, මෙ වත්මනු දුඃඛදායක වූත්, මතු අනායෙහි සුඛ විපාකදායක වූත් ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තියුණු රාග ගති ඇති වෙයි. හේ නිතොර (ඇදුරු වත්තෙරුන්ගේ දඬුවම් නිසා) රාගයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු ද්වේෂ ගති ඇති වෙයි. හේ නරතුරු ද්වේෂයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු මෝහගති ඇති වෙයි. හේ නරතුරු මෝහයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. හේ සහගිය දුක් ඇතිව ද, සහගිය දොම්නස් ඇතිව ද, කඳුළුමුසු මුහුණු ඇතිව හඬනුයේ පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පුරයි. හේ කාබුන් මරණින් මතුයෙහි සුගීසගලෝ එළඹෙන්නේ ය. මහණෙනි, මෙ වනාහි මෙවත්මන්හි දුක් දෙන මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.
7. මහණෙනි, මෙවත්මන්හිදු සුව දෙන්නා වූ, මතු අනායෙහිදු සුඛ විපාකදායක වූ ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තියුණු රාග සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු රාගජ දුඃඛදෞර්‍මනස්‍ය නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු ද්වේෂ සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු ද්වේෂයෙන් හටගන්නා දුක්දොම්නස් නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු මෝහ සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු මෝහයෙන් හටගන්නා දුක්දොම්නස් නොවිඳුනේ ය.
හේ කාමයෙන් වෙන් ව ම, අකුසල් දහමින් වෙන් ව සවිතර්‍ක, සවිචාර, විවේකජ, ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සියසතන්හි සම්ප්‍රසාද ඇති, චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්‍ක, අවිචාර, සමාධිජ, ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරෙයි. ප්‍රීති විරාගයෙනුදු උපේක්‍ෂක ව ද ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව වාස කෙරෙයි. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් ගෙන “ඒ උපේක්‍ෂක, ස්මෘතිමත් පුද්ගල සුඛවිහාර ඇතියේ ය”යි බෙණෙද්ද, ඒ තෘතීයධ්‍යාන උපයා වාස කෙරෙයි. සුඛය හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් පළමු ම සොම්නස්දොම්නසුන් පහව යෑමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි සුගීසග බඹලොව කරා එළඹෙයි. මහණෙනි, මෙ මෙවත්මන්හි සුඛදායක වූත්, මතු අනායෙහි සුඛවිපාකදායක වූත් ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.
මහණෙනි, මොහු ධර්‍මසමාදානයෝ සතර දෙන යයි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙසුත් වදාළසේක. හටගත් සොම්නස් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
චුළධම්මසමාදානසූත්‍රය පස් වැනි යි.
1. 5. 6.
මහාධම්මසමාදාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ ආරාමයෙහි වැඩවාස කරන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතුසේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, සත්ත්‍වයෝ “අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහී යෙත්වා - ඉෂ්ට, කාන්ත, මනාප, ධර්‍මයෝ වෙසෙසින් වැඩීයෙත්වා”යි බෙහෙවින් මෙසේ කැමැතියහ. මෙසේ සඳ ඇතියහ. මෙසේ අධිප්‍රාය ඇතියහ. මහණෙනි, මෙසේ කැමැති, මෙසේ සඳ ඇති, මෙසේ අධිප්‍රාය ඇති ඒ සත්ත්‍වයනට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහෙත්. මහණෙනි, එකරුණෙහි තෙපි කිනම් හේතුවක් ප්‍රත්‍යය කොට ගන්ව? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පිළිසරණ ඇතියහ. වහන්ස, අයැද සිටුම්හ: තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරන්නාහ.” එසේ නම් මහණෙනි, අසව, මනාකොට මෙනෙහි කරව. කියම්හ. ‘වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
3. මහණෙනි, මෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු, ආර්‍ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන සෙවියයුතු දහම් නො දන්නේ ය. නොසෙවියයුතු දහම් නො දන්නේ ය. භජන කළයුතු ධර්‍ම නො දන්නේ ය. භජන නො කළයුතු ධර්‍ම නො දන්නේ ය. හේ සෙවියයුතු ධර්‍ම නො දන්මින් නොසෙවියයුතු ධර්‍ම නො දන්මින් භජන කළයුතු ධර්‍ම නො දන්මින් භජන නොකළයුතු ධර්‍ම නො දනිමින්, නොසෙවිය යුතු ධර්‍ම සෙවුනේ ය. සෙවියයුතු ධර්‍ම නොසෙවුනේ ය. භජන නොකළයුතු ධර්‍ම භජන කරන්නේ ය. භජන කළයුතු ධර්‍ම භජන නො කරන්නේ ය. නොසෙවියයුතු දහම් සෙවුනා, සෙවියයුතු දහම් නොසෙවුනා, භජන කළයුතු දහම් භජන නො කරන, භජන නොකළයුතු දහම් භජන කරන ඒ අශ්‍රැතවත් පෘථග්ජනයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, අන්‍ධබාල පෘථග්ජනයාහට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
4. මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු, ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි සුවිනීත, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක සෙවියයුතු දහම් දන්නේ ය. නොසෙවියයුතු දහම් දන්නේ ය. භජන කළයුතු දහම් දන්නේය. භජන නොකළයුතු දහම් දන්නේය. හේ සෙවියයුතු දහම් දනිමින් නො සෙවියයුතු දහම් දන්මින්, භජන කළයුතු දහම් දනිමින් භජන නො කළයුතු දහම් දනිමින්, නොසෙවියයුතු දහම් නොසෙවුනේ ය. සෙවියයුතු දහම් සෙවුනේ ය. භජන නොකළයුතු දහම් භජන නො කරන්නේ ය. භජන කළයුතු දහම් භජන කරන්නේ ය. නොසෙවියයුතු දහම් නො සෙවුනා සෙවියයුතු දහම් සෙවුනා, භජන නො කළයුතු දහම් භජන නොකරන, භජන කළයුතු දහම් භජන කරන ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වැඩීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, ප්‍රශස්ත බුද්ධිඇති පණ්ඩිතයාහට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
5. මහණෙනි, මේ ධර්‍මසමාදානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙවත්මන්හිදු දුක්දෙන මතු අනායෙහි දු දුක්විවා දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු සුව දෙන, මතු අනායෙහි දුඃඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු දුක් දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි මෙවත්මනුයෙහි සුව දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත.
6. මහණෙනි, එ ධර්‍මසමාදානයන් කෙරෙහි මෙවත්මනු දුඃඛදායක මතු අනායෙහි දුඃඛවිපාකදායක වූ යම් ධර්‍මසමාදානයෙක් (ප්‍රාණවධාදි ධර්‍මයන්ගේ ග්‍රහණයෙක්) ඇද්ද, එය අවිද්‍යායෙන් සමන්‍වාගත විද්වත් නො වූ පුද්ගල “මේ ධර්‍මසමාදානය නම් මෙවත්මනු දුක් දෙන්නා වූ ද, මතු අනායෙහි දුඃඛවිපාක දෙන්නා වූ ද එකෙකැයි ඇතිසැටි නො දන්නේ ය. අවිද්‍යාසමන්‍වාගත අවිද්වත් පුද්ගල ඒ ධර්‍මසමාදානය යාථාවයෙන් නො දන්නේ එය සෙවුනේ ය, එය නො හරනේ ය. ඒ ධර්‍මසමාදාන සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි අවිද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
7. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි මෙවත්මන්හි සුඛ වූ මතු අනාගතයෙහි දුඃඛවිපාක වූ යම් ධර්‍ම සමාදානයෙක් ඇද්ද, අවිද්‍යායෙන් සමන්‍වාගත අවිද්වත් පුද්ගල “මේ ධර්‍ම සමාදාන නම්, ප්‍රත්‍යුත්පන්නසුඛ ය, අනාගත දුඃඛවිපාක ය” කියා එය යථාස්වභාවයෙන් නො දන්නේ ය. අවිද්‍යාගත විද්‍යානැති පුද්ගල එය ඇතිසැටි නො දන්නේ එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
8. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි වර්‍තමානයෙහි දුඃඛදායක වූ, අනාගතයෙහි සුඛවිපාක වූ, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, අවිද්‍යාගත අවිද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්න දුඃඛය, අනාගත සුඛවිපාක ය” කියා එය යථාභූත වශයෙන් නොදන්නේ ය. අවිද්‍යාගත අවිද්වත් පුද්ගල එය ඇතිතතු නොදන්නේ එය නො සෙවුනේ ය. එය හරනේය එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
9. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, අනාගතසුඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, අවිද්‍යාසමන්‍වාගත, අවිද්වත් පුද්ගල ‘මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වේ ය” යි එය යථාභූත වශයෙන් නො දන්නේ ය. අවිද්‍යාසමන්‍වාගත, අවිද්වත් පුද්ගල එය යාථාවයෙන් නොදන්නේ, එය නො සෙවුනේ ය. එය හරනේ ය. එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද තෙල එබඳු ම වෙයි.
10. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූත්, අනාගතදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්‍වාගත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි. අනාගත දුඃඛවිපාක ද වේ”යයි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යාගත, විද්වත් පුද්ගල එය යථාභූත වශයෙන් දන්නේ, එය නොසෙවුනේ ය එය හරනේ ය. එය නො සෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.
11. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්නසුඛ වූත්, අනාගතදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් යුක්ත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද, අනාගතදුඃඛවිපාක ද වේ ය”යි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යායෙන් යුක්ත, විද්වත් පුද්ගල එය තත් වූ පරිදි දන්නේ එය නො සෙවුනේ ය. එය හරනේ ය. එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම් බඳු (හේතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.
12. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යාසමන්‍වාගත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදාන නම්, ප්‍රත්‍යුත්පන්න දුඃඛ ය, අනාගතසුඛවිපාක ය” යි එය තතු සේ දන්නේ ය. විද්‍යායෙන් යුක්ත, විද්වත්පුද්ගල එය ඇතිසේ දන්නේ, එය සෙවුනේ ය. එය නො හරනේ ය. එය සෙවුනා, එය නොහරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත් පුද්ගලහට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.
13. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න සුඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්‍වාගත විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදාන නම්, ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වෙයි” යි එය තතුසේ දන්නේ ය. විද්‍යායෙන් යුතු, විද්වත් පුද්ගල එය තතුසේ දන්නේ, එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම්බඳු (හේතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.
14. මහණෙනි, මෙවත්මනු දුක් වූ, මතු අනායෙහි දුක් විපාක වූ ධර්‍මසමාදාන කවරේ ය යත්:
මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පණිවා කරනු වෙයි. ඒ පණිවාහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු අයිනාදන් ගනු වෙයි. ඒ අයිනාදන් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුනු, සහගිය දොම්නසිනුදු කාමයෙහි මිසහසර ඇති වෙයි. ඒ කාමයෙහි මිසහසර හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු මුසවා බණනු වෙයි. ඒ මුසවා හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පිසුනුබස් බණනු වෙයි. ඒ පිසුනු බස් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු සහගිය දොම්නසිනුදු පරොස්බස් බණනු වෙයි. ඒ පරොස්බස් හේතුයෙනුදු, දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පලප් බණනු වෙයි. ඒ පලප් හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු, පරා අයත්හි ලොබ බිහිලි වෙයි. ඒ අභිධ්‍යාහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු ව්‍යාපන්නසිත් ඇති වෙයි. ඒ ව්‍යාපාදහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු මිසිදිටු ඇති වෙයි. ඒ මිසදිටු හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන මෙවත්මනු දුක් ඇතැයි ද, මතු දුක් විපාක ඇතැයි ද කියනු ලැබේ.
15. මහණෙනි, මෙවත්මනු සුව ඇති, මතු දුක් විපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:
මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පණිවා කරනු වෙයි. පණිවාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් අයිනාදන් ගනු වෙයි. අයිනාදන් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් කාමයෙහි මිසහසර ඇති වෙයි. කාමයෙහි මිසහසර හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් මුසවා බණනු වෙයි. මුසවා හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් පෙහෙසුන් බණනු වෙයි. පෙහෙසුන්බස් හේතුයෙනුදු සුව සොම්නස් විඳි. සහගිය සුව ඇති වත්, සහගියසොම්නස් ඇති වත් පරොස්බස් බණනු වෙයි. පරොස්බස් හේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් පලප් බණනු වෙයි. පලප් හේතුයෙනුදු සුව සොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් (පරා අයත්හි) අභිධ්‍යා (වසම්ලොබ) බිහිලි වෙයි. අභිධ්‍යාහේතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇතිවත් ව්‍යාපන්නසිත් ඇති වෙයි. ව්‍යාපාද හේතුයෙනුදු සුව සොම්නස් විඳී. සහගියසුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් මිසදිටු ඇති වෙයි. මිසදිටු හේතුයෙනුදු, සුවසොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය, දුර්‍ගති, විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන ප්‍රත්‍යුත්පන්නසුඛය යි අනාගත දුඃඛවිපාකය යි කියනු ලැබේ.
16. මහණෙනි, මෙවත්මනු දුක් ඇති, මතු සුඛවිපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:
මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පණිවායෙන් දුරු වූයේ වෙයි. පණිවායෙන් දුරුවීමහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් අයිනාදනින් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරුවීමහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරු වීම හේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පරොස්බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවීම හේතුයෙනුදු, දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පලපින් දුරු වූයේ වෙයි. පලපින් දුරුවීම හේතුයෙනුදු දුක් දොම්නස් විඳී.
සහගිය දුක් ඇතිවත්, සහගිය දොම්නස් ඇතිවත් අභිධ්‍යාබහුල නො වෙයි. අනභිධ්‍යාහේතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇතිවත්, සහගිය දොම්නස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාදහේතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගියදුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් සම්දිටු ඇති වෙයි. සම්දිටු හේතුයෙනුදු දුක් දොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි මනාගති වූ ස්වර්‍ගලෝකයට එළඹෙයි. මහණෙනි, මෙවත්මනු දුක් ඇති, මතු සුඛ විපාක ඇති ධර්‍මසමාදාන මේයයි කියනු ලැබේ.