Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 101-200 න් 6387

9. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කෙතෙකින් විවේකයෙහි නො හික්මෙත් ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නො හික්මෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍මකෙනකුන්ගේ ප්‍රහාණය වදාළසේක් නම්, ඒ ධර්‍ම අත් නො හරිත්. චීවරාදිය බහුල කොට ඇත්තාහු ශාසනය ලිහිල් කොට ගත්තාහු, (අවක්‍රමණසඞ්ක්‍යාත) පඤ්චනීවරණ පූරණයෙහි පෙරදැරි වූවාහු ද, උතුම් විවේකය (නිවන) පිණිස පිළිවෙත් පිරීමෙහි බහා තැබූ වීර්‍ය්‍ය ඇත්තාහු වෙත්. එසේ කල්හි ඇවැත්නි, ශාසනයෙහි ස්ථවිර භික්‍ෂූහු කරුණු තුණකින් ගැරහිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි නො හික්මෙති’ යන මේ පළමුවැනි කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ක්ලේශ ධර්‍ම කෙනකුන්ගේ ප්‍රහාණය වදාළසේක් නම්, ඒ ක්ලේශධර්‍මයන් නො හරිති’ යන මේ දෙවැනි කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘බාහුලික ව සාථලික ව නීවරණපූරණයෙහි පූර්‍වඞ්ගම ව උතුම් විවේකයෙහි බහා තැබූ වීර්‍ය්‍යය ඇති ව වසති’ යන මේ තුන්වැනි කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, ස්ථවිරභික්‍ෂූහු මේ තුන් කාරණයෙන් ගැරහිය යුත්තෝ වෙත්.
10. ඇවැත්නි, එහි මධ්‍යම භික්‍ෂූහු -පෙ- නවක භික්‍ෂූහු කරුණු තුණකින් ගැරහිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන්වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී සව්වෝ උතුම් විවේකයෙහි නො හික්මෙත්’ යන මේ පළමුවැනි කාරණයෙන් නවකභික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ධර්‍ම කෙනෙකුන්ගේ ප්‍රහාණය වදාළසේක නම්, ඒ ධර්‍මයන් නො හරිත්’ යන මේ දෙවැනි කාරණයෙන් නවක භික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘බාහුලික ව සාථලික ව නීවරණ පිරීමෙහි පූර්‍වඞ්ගම ව උතුම් විවෙක යෙහි නිරුත්සාහ ව වසත්’ යන මේ තුන්වැනි කාරණයෙන් නවක භික්‍ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවකභික්‍ෂූහු මේ තුන් කරුණින් ගැරහිය යුත්තෝ වෙත්.
ඇවැත්නි, මෙතෙකින් ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී සව්වෝ ඒ උතුම් විවේකයෙහි නො හික්මෙත්.
11. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කෙතෙකින් විවේකයෙහි හික්මෙත් ද? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේ විවේකී ව වාසය කරද්දී ශ්‍රාවකයෝ විවේකයෙන් හික්මෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්‍ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ධර්‍මයන් අත්හරිත්. චීවරාදිය බහුල කොට නැත්තාහු ශාසනය ලිහිල් කොට නො ගත්තාහු, නීවරණපූරණයෙහි හළ වීර්‍ය්‍යය ඇත්තාහු උතුම් විවේකය පෙරදැරි කොට ඇත්තෝ වෙත්. ඇවැත්නි, එහි ස්ථවිරභික්‍ෂූහු කරුණු තුණකින් පැසසිය යුත්තෝ වෙත්; ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත්’ යන මේ පළමුවන කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘ශාස්තෘන් වහන්සේ යම් ක්ලේශධර්‍ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ක්ලේශධර්‍මයන් අත්හරිත් ය’ යි මේ දෙවැනි කාරණයෙන් ස්ථවිර භික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘චීවරාදිය බහුල කොට නො ගන්නෝ ය, ශාසනය ලිහිල් කොට නො සලකන්නෝ ය, නීවරණ පූරණයෙහි බහා තැබූ වීර්‍ය්‍යය ඇත්තාහ, උතුම් විවේකය පෙරදැරි කොට ඇත්තාහු ය.’ යන මේ තුන්වැනි කාරණයෙන් ස්ථවිරභික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, ස්ථවිරභික්‍ෂූහු මේ තුන් කරුණින් පැසසිය යුත්තෝ වෙත්.
12. ඇවැත්නි, එහි මධ්‍යමභික්‍ෂූහු -පෙ- නවකභික්‍ෂූහු තුන් කරුණ කින් පැසසිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්ත ව වාසය කරද්දී, ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත් ය’යි මේ පළමුවැනි කාරණයෙන් නවක භික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ක්ලේශධර්‍ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ක්ලේශ ධර්‍මයන් අත්හරිත් ය’ යන මේ දෙවැනි කාරණයෙන් නවකභික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘චීවරාදිය බහුල කොට නැත්තෝ ය. ශාසනය ලිහිල් කොට නො ගත්තෝ ය. නීවරණයන් ප්‍රහාණය කිරීමෙහි උත්සාහවත් වූවෝ ය. උතුම් විවේකය පෙරදැරි කොට ඇත්තෝ ය’ යන මේ තුන් වැනි කාරණයෙන් නවක භික්‍ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්‍ෂූහු වනාහි මේ තුන් කරුණින් පැසසිය යුත්තෝ වෙත්.
ඇවැත්නි, මෙතෙකින් ශාස්තෲන් වහන්සේ ප්‍රකර්‍ෂ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවේකයෙහි හික්මෙත්.
13. ඇවැත්නි, එහි ලෝභය ද ලාමක ය, ද්වේෂය ද ලාමක ය. ලෝභය ප්‍රහාණය කිරීම පිණිසත් ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිසත් නුවණැස ඇති කරන, ඤාණය ඇත කරන මධ්‍යම ප්‍රතිපදාව රාගාදීන් සංසිඳීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවති යි. ඇවැත්නි රාගාදීන් සංසිඳීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන ඒ මධ්‍යමප්‍රතිපදාව කවරේද යත්: මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති සම්මාසමාධි යන අට ය. ඇවැත්නි, මේ මධ්‍යමප්‍රතිපදාව වනාහි නුවණැස ඇති කරයි. සත්‍යඥානය ඇති කරයි. රාගාදීන් සංසිඳීම පිණිස පවතියි. සිවුසස් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවණ පිණිස පවතියි.
14. ඇවැත්නි, එහි ක්‍රෝධය ද ලාමක ය, බද්ධවෛරය ද ලාමක ය … ගුණමකු බව ද ලාමක ය ... පලාසය ද ලාමක ය ... ඊර්‍ෂ්‍යාව ද ලාමක ය, මසුරු බව ද ලාමක ය ... මායාව ද ලාමක ය, කපටබව ද ලාමක ය … ථම්භය (වැඩිහිටියන්ට නොනැමෙන බව ද) ලාමක ය, සංරම්භය (අනුන් කළ දෙයට වැඩියක් කරන බව) ද ලාමක ය ... මානය ද ලාමක ය, අධිකමානය ද ලාමකය ... මදය (මත් බව) ද ලාමක ය, ප්‍රමාදය ද ලාමකය. මදය ප්‍රහාණය කිරීම පිණිස ද, ප්‍රමාදය ප්‍රහාණය කිරීම පිණිස ද, නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන මධ්‍යමප්‍රතිපදාව රාගාදීන් සංසිඳීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවතියි. ඇවැත්නි, රාගාදීන් සංසිඳීම පිණිස සිවුසස් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවණ පිණිස පවතින නුවණැස ඇති කරන සත්‍යඥානය ඇති කරන ඒ මධ්‍යමප්‍රතිපදාව කවරේ ද? ඇවැත්නි, මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප,සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන අට යි. ඇවැත්නි, නුවණැස ඇති කරන සත්‍යඥානය ඇති කරන මේ මධ්‍යම ප්‍රතිපදාව රාගාදිය නැති කිරීම පිණිස සිවුසස් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවණ පිණිස පවත්නකි.
15 . ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවවීරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ භාෂිතය මැනැවැයි පිළිගත්තාහු ය.
ධර්‍මදායාද සූත්‍රය තෙවැනියි.
1. 1. 4.
භයභේරව සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල ජාණුස්සෝණීබ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ ම ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
2. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ කුලපුත්‍රයෝ භවත් ගෞතමයන් උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූවාහු ද, ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ පුරොගාමී වන සේක. ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ බොහෝ උපකාරී වන සේක. භවත් ගෞතමයන් වහන්සේ ඔවුන් සමාදන් කරවන සේක. ඒ ජනතාව භවත් ගෞතමයන්ගේ දර්‍ශනානුගතියට (දෘෂ්ටි, ක්‍ෂාන්ති, රුචීන් අනුගමනයට) පැමිණේ.
3. බමුණ, එය එසේ ය. බමුණ, එය එසේ ය. බමුණ, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූවාහු ද, මම ඔවුන්ට පුරෝගාමි වෙමි. මම ඔවුන්ට බොහෝ උපකාර ඇත්තෙම් වෙමි. මම ඔවුන් සමාදන් කරවන්නෙමි. ඒ ජනතාව මාගේ දිට්ඨානුගතියට පැමිණේ.
4. ගෞතමයන් වහන්ස, වනයෙහි දුර පිහිටි වන ලැහැබ් සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම (ඇතුල් ව විසීම) දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවේකය දුෂ්කර ය. එකඟබැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත් පැහැර ගනිති යි හඟිමි.
5. බමුණ, එය එසේ ම ය. බමුණ, එය එසේ ම ය. බමුණ, වනයෙහි දුර පිහිටි සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවේකය දුෂ්කර ය. එකඟ බැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත පැහැර ගනිතියි හඟිමි. බමුණ, බුදුවන්නට පෙර චතුස්සත්‍යය අවබෝධ නො කළා වූ බෝධිසත්ත්‍ව වූ ම මට ද මේ අදහස වි ය. වනයෙහි දුර පිහිටි සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවේකය ලැබීම දුෂ්කර ය. එකඟ බැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත පැහැර ගනිති යි හඟිම්.
6. බමුණ, ඒ මට මේ අදහස වීය: අපිරිසිදු වූ කායකර්‍ම ඇති යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍යයෙහි වානප්‍රස්ථ සෙනසුන් ද ප්‍රාන්තසෙනසුන් ද සේවනය කෙරෙද්ද, අපිරිසිදු වූ කායකර්‍ම නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අපිරිසිදු වූ කායකර්‍ම ඇත්තෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තසෙනසුන් සේවනය නො කරමි. මම පිරිසිදු වූ කායකර්‍ම ඇත්තෙක්මි. යම් ආර්‍ය්‍ය කෙනෙක් පිරිසිදු වූ කායකර්‍ම ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපෝභූමින් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ පිරිසිදු ක්‍රියා ඇතිබව තමා තුළ දක්නෙම් වනවාසය පිණිස බොහෝ සේ පතිතලොම් ඇති (බිය නැති) බවට පැමිණියෙමි.
7. බමුණ, ඒ මට මේ අදහස වී ය: අපිරිසිදු වාක්කර්‍ම ඇති ... අපිරිසිදු මනඃකර්‍ම ඇති ... අපිරිසිදු ආජීවය ඇති යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපෝභූමින් සේවනය කෙරෙත් ද, අපිරිසිදු ආජීවය නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අපිරිසිදු ආජීවය ඇත්තෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපොභූමීන් සේවනය නො කරමි. මම පිරිසිදු ආජීවය ඇත්තෙක්මි. යම් ආර්‍ය කෙනෙක් පිරිසිදු ආජීවය ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපොභූමීන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ පිරිසිදු ආජීවය ඇතිබව දක්නෙම් බොහෝ සෙයින් වනවාසය පිණිස නිර්‍භය භාවයට පැමිණියෙමි.
8. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ විෂම ලෝභය බහුල කොට ඇත්තාහු කාමයන්හි තියුණු රාග ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සේවනය කෙරෙත් ද, විෂමලෝභය හා කාමයන්හි තියුණු රාගය ද යන ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ ඒකාන්තයෙන් සාවද්‍ය වූ තැතිගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි විෂමලෝභය බහුල කොට ඇත්තෙම් කාමයන්හි තියුණු රාග ඇති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සේවනය නො කරමි. මම විෂමලෝභය බහුල කොට ඇත්තෙක් නො වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් විෂමලෝභය බහුල කොට නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ අභිධ්‍යාව බහුල කොට නැති බව දක්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් බිය රහිත බවට පැමිණියෙමි.
9. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ (ප්‍රකෘතිය - ස්වභාවය හැරීමෙන්) වෙනසට පැමිණි සිත් ඇත්තාහු ප්‍රදුෂ්ටචිත්තසංකල්පනා ඇත්තාහු අරණ්‍ය වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙද්ද, වෙනස් වූ සිතය දූෂිත වූ චිත්තසංකල්පනාය යන ස්වකීය දෝෂහේතුයෙන් ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි වෙනසට පැමිණි සිත් ඇති ව ප්‍රදුෂ්ටචිත්තසංකල්පනා ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම මෙත්සිත් ඇත්තෙක්මි. මෙත්සිත් ඇති යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තආශ්‍රමයන් සේවනය කෙරෙද්ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ මෙත්සිත් ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.
10. බමුණ ඒ මට මේ අදහස වී ය. යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ථිනමිද්ධයෙන් මඩනා ලද්දාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, ථිනමිද්ධයෙන් මැඩීම නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් පින්වත් ඒ මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි ථිනමිද්ධයෙන් මඩනා ලදු ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම පහ වූ ථිනමිද්ධ ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් පහ වූ ථිනමිද්ධ ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්ත ආශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ ථිනමිද්ධය නැතිකළබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.
11. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඇවිස්සුණු, සැලෙන, සිත් ඇත්තාහු නො සන්සුන් සිත් ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, ඇවිස්සුණු සැලුනු නො සන්සුන් සිත් ඇති බව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම ඇවිස්සුණු සැලුනු නො සන්සුන් සිත් ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම සන්සුන් සිත් ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් සන්සුන් සිත් ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ පිහිටි ඒ සන්සුන් සිත් ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්‍භය භාවයට පත් වීමි.
12. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සැක ඇත්තාහු විචිකිච්ඡා ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, සැකය හා විචිකිච්ඡාව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒ පින්වත් මහණබමුණෝ ඒකාන්තයෙන් සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි සැක ඇත්තෙම් විචිකිච්ඡා ඇත්තෙම් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම තරණය කළ සැක ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් තරණය කළ සැක ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ වූ තරණය කළ විචිකිච්ඡා ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.
13. බමුණ, මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තමන් හුවා අනුන් හෙළා දක්නාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, තමා උසස් කොට අනුන් පහත් කොට සැලකීම නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි තමා උසස් කොටත් අනුන් පහත් කොටත් සලකමින් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම තමා උසස් කොට අනුන් පහත් කොට සලකන්නෙක් නො වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් තමා උසස් කොට අනුන් පහත් කොට නො සලකන්නාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා උසස් කොට නො සැලකීම හා අනුන් පහත් කොට නො සැලකීම ද තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නො බියබවට පැමිණියෙමි.
14. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ (කය දළදඩු කරන තද) තැති ගැනුම් ඇත්තාහු බිය සුලුබව ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, තද තැති ගැන්ම හා බියසුලුබව ද නමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි තැති ගන්නෙම් බියසුලු ස්වභාවය ඇත්තෙම් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම පහ වූ ලොමුදහ ගැනීම් ඇත්තෙක් වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් පහ වූ ලොමුදහ ගැනීම් ඇත්තෝ අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ පහ වූ ලොමුදහ ගැනීම තමා තුළ පිහිටිබව (තමා කෙරෙහි ලොමුදහ ගැනුම නැති බව) දක්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.
15. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලාභ සත්කාර කීර්ති කැමැති වන්නාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වීම වූ ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම ඉච්ඡා නැත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් ආශා නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ ඉච්ඡාරහිතභාවය තමා තුළ දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නොබිය බවට පැමිණියෙමි.
16. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කුසීත වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, කායිකචෛතසික වීර්‍ය්‍යරහිතබව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි මැලි වූයෙම් වීර්‍ය්‍යය නැත්තෙම් (කායික චෛතසික වීර්‍ය්‍ය රහිත ව) අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කෙරෙමි. මම පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් ඇරඹූ වැර ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ පිහිටි ඒ ඇරඹු වැර ඇතිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.
17. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නට සිහි ඇත්තාහු නුවණ නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, නට සිහිය හා නුවණ නැති බව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත් මම වනාහි නට සිහි ඇති ව නුවණ නැති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම එළඹ සිටි සිහි ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් එළඹ සිටි සිහි ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ තමා තුළ එළඹ සිටි සිහිය ඇතිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්‍භය භාවයට පැමිණියෙමි.
18. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අසමාහිත (එකඟ සිත් නැති) වූවාහු විභ්‍රාන්ත (නොයෙක් අරමුණෙහි දිවු) සිත් ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, අසමාහිත විභ්‍රාන්ත සිත් ඇති බව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අසමාහිත ව විභ්‍රාන්ත සිත් ඇති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම සමාධිසම්පන්නයෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් සමාධිසම්පන්න ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම මේ සමාධිසම්පදාව තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස නො බියබවට පැමිණියෙමි.
19. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නුවණ නැත්තාහු කෙළතොලු වූවාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, නුවණ නැතිබව හා කෙළතොලු බව නැමැති ස්වකීය දෝෂය හේතු කොට ගෙන ඒකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි නුවණ නැති ව කෙළතොලු ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය නො කරමි. මම නුවණැත්තෙක් වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් නුවණැති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සේවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම නුවණැති බව තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්‍භය භවයට පැමිණියෙමි.
සොළසපරියාය යි.
20. බමුණ, ඒ මට මේ අදහස වී ය: ‘පක්‍ෂයෙහි (හඳ නිසා) ප්‍රසිද්ධ වූ (උපෝසථසමාදානාදි වශයෙන්) ලකුණු කළ යුතු වූ තුදුස්වක, පසළොස්වක, අටවක යන යම් ඒ රාත්‍රීහු වෙත් ද, එවැනි රාත්‍රීන්හි බිහිසුණු වූ ලොමුදහ ගන්වන්නා වූ යම් ඒ ආරාමචෛත්‍යයෝ (=චේතිය සම්මත පිදිය යුතු අරම්), වනචෛත්‍යයෝ (=පිදිය යුතු වන), වෘක්‍ෂචෛත්‍යයෝ (පිදිය යුතු රුක්) වෙද්ද, එබඳු සෙනසුන්හි වසන්නෙම් නම් මැනව. ඒ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද දක්නෙම් නම් මැනැවැ’යි කියායි. බමුණ, ඒ මම ඉන් මෑත කල්හි පක්‍ෂයෙහි ප්‍රසිද්ධ වූ ලකුණු කළ යුතු ව තුදුස්වක, පසළොස්වක, අටවක යන යම් ඒ රාත්‍රීහු වෙත් ද, එවැනි රාත්‍රීන්හි බිහිසුණු වූ ලොමුදහ ගන්වන්නා වූ යම් ඒ ආරාමචෛත්‍යයෝ වනචෛත්‍යයෝ වෘක්‍ෂචෛත්‍යයෝ වෙත් ද, එබඳු සෙනසුන්හි වාසය කරමි. බමුණ, එහි වාසය කරන්නා වූ මා වෙතට මුවෙක් (සිවුපාවෙක්) හෝ කුර ගා එයි. මොනරෙක් (පක්‍ෂියෙක්) හෝ දරකඩක් හෙළයි. සුළඟ හෝ පරඬලාවක් සලයි. ඒ මට මෙසේ සිතෙයි: ‘ඒකාන්තයෙන් මේ එන්නේ ඒ භයානක අරමුණ ය’ කියායි.
21. බමුණ, ඒ මට මේ සිත වී ය: ‘කුමක් නිසා මම ඒකාන්තයෙන් භය කැමැත්තෙම් වාසය කෙරෙම් ද? යම් යම් ඉරියව්වකින් යුක්ත වූ මා වෙත ඒ භයජනක අරමුණ ඒ ද, ඒ ඒ ඉරියව්වෙන් යෙදුනෙම් ම ඒ භයජනක අරමුණ දුර ලන්නෙම් නම්, යෙහෙකැයි කියායි. බමුණ, සක්මන් කරන්නා වූ මා වෙතට ඒ භයභේරවය එයි ද, බමුණ මම යම් තාක් සක්මන් කරමින් ම ඒ භයභේරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො සිටිමි. නො හිඳිමි. නො නිදමි. බමුණ, සිටියා වූ ඒ මා වෙතට ඒ භය භේරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් සිටියෙම් ම ඒ භයභේරවය දුරු කෙරෙම් ද, ඒ තාක් සක්මන් නො කරමි. නො හිඳිමි. නො නිදමි. බමුණ, හුන්නා වූ මා වෙතට ඒ භයභේරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් හුන්නෙම් ම ඒ භයභේරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො නිදමි. නො සිටිමි. සක්මන් නො කරමි. බමුණ, හොත්තා වූ මා වෙතට ඒ භයභේරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් නිදන්නෙම් ම ඒ භයභේරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො හිඳිමි. නො සිටිමි. සක්මන් නො කරමි.
22. බමුණ, රාත්‍රිය ම දහවල් ය යි සිතන දහවල ම රාත්‍රිය යි සිතන ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. මේ ඒ මහණබමුණන්ගේ මුළා වූ විසීමකැ යි මම කියමි. බමුණ, මම රැය ම රැය ය යි හඳුනමි. දාවල දාවල ම ය යි හඳුනමි. බමුණ, මනා කොට කියන්නෙක් ‘මුළා නොවන ගති ඇති සත්ත්‍වයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස ලෝකයෙහි උපන්නේ ය’යි යම් කෙනකුන් උදෙසා කියා ද, මනා කොට (සත්‍යය) කියන්නෙක් ‘මුළා නො වන ගති ඇති සත්ත්‍වයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස ලෝකයෙහි උපන්නේ ය’යි ඒ මා උදෙසා ම කියන්නේ ය.
23. බමුණ, මා විසින් වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේ නො සැඟවුණේ ය. සිහිය එළඹ සිටියේ මුළා නො වූයේ ය. (නාමරූප) කය සන්හිඳුණේ දරථ රහිත වී ය. සිත සමාධියෙහි පිහිටියේ එකඟ වී ය. බමුණ, ඒ මම කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ස්වසන්තානයෙහි උපන් සම්ප්‍රසාදන සඞ්ඛ්‍යාත ශ්‍රද්ධාවෙන් යුක්ත වූ සිතේ එකඟබැව් වඩන්නා වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු කිරීමෙන් උපේක්‍ෂක ව ද වාසය කෙළෙමි. සිහි ඇත්තෙම් මනානුවණින් යුක්ත වූයෙම් (නාමරූප) කයින් සැපය ද වින්දෙමි. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් නිසා ‘උපේක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුව සේ වෙසේ’යයි කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. (පූර්‍වයෙහි ම) කායික සුඛයාගේ ද ප්‍රහාණයෙන් කායිකදුක්‍ඛයාගේ ද ප්‍රහාණයෙන්, පූර්‍වයෙහි ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ ද අස්තඞ්ගමයෙන් (=ප්‍රහාණයෙන්) දුක් නො වූ සුඛ නො වූ, උපේක්‍ෂාවෙන් හටගත් සතිපාරිසුද්ධි (=සිහිය පිළිබඳ පිරිසිදුබැව්) ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
24. ඒ මම මෙසේ සමාධිගත වූ සිත - පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, අඞ්ගණ (කෙලෙස්) නැති වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කාර්‍ය්‍යයට සුදුසු වූ කල්හි, (පිරිසිදු බැව් ආදියෙහි) ස්ථිර ව සිටි කල්හි, නො සැලෙන බවට පත් වූ කල්හි, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත විශේෂයෙන් නතු කෙළෙමි. ඒ මම නොයෙක් ආකාර ඇති පුබ්බෙනිවාසය සිහි කරමි. එනම්: එක ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පහක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද; නොයෙක් සංවර්‍ත (=නස්නා) කල්පයන් ද, නොයෙක් විවර්‍ත (=හටගන්නා) කල්පයන් ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද සිහි කරමි: “අසුවල් තැන්හි උපන්මි. මෙවැනි නම් ඇත්තෙක් වීමි. මෙවැනි ගෝත්‍ර ඇත්තෙක් වීමි. මෙවැනි පැහැ ඇත්තෙක් වීමි. මෙවැනි ආහාර ඇත්තෙක් වීමි. මෙවැනි සැපදුක් වින්දෙක් වීමි. මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහි දී ද මෙ වැනි නම් ඇත්තෙක් වීමි. මෙ වැනි ගෝත්‍ර ඇත්තෙක් වීමි. මෙවැනි පැහැ ඇත්තෙක් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙක් වීමි. මෙ වැනි සැපදුක් වින්දෙක් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙම් වෙමි”යි. මෙසේ ආකාර සහිත වූ උදෙසීම සහිත වූ නන් වැදෑරුම් වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරමි. බමුණ, මා විසින් රැයෙහි පෙරයම මේ පළමුවන පූර්වේනිවාස විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නැසින. විද්‍යාව උපන. මොහඳුර නැසුණේ ය. විද්‍යාලෝකය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව මෙහෙයවූ සිත් ඇති ව වසන්නහුට යම් සේ (අවිද්‍යාවිඝාතාදිය වේ) නම් (මට ද) එසේ ම වී ය.
25. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, (විෂ්කම්භණවශයෙන්) අඞ්ගණ නැති වූ කල් හි, උපක්ලේශ නැති වූ කල්හි, මෘදු වූ කල්හි, කාර්‍ය්‍යයට සුදුසු වූ කල්හි, ස්ථිර ව සිටි කල්හි, නො සැලෙනබවට පත් වූ කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නතු කෙළෙමි. ඒ මම අතිශයින් පිරිසිදු වූ මිනිස්ඇස ඉක්මවූ දිවැසින් ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති දුගතියට ගිය සුගතියට ගිය සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි පරලෝ ගිය සත්ත්‍වයන් දත්මි. ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට ගැරහුවාහු මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු ය. ඒ මොහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටෙන නිරයෙහි උපන්නාහු ය. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට නො ගැරහුවාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු ය. ඒමොහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපන්නාහු ය යි - මෙසේ වෙසෙසින් පිරිසිදු වූ මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවැසින් ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දන්මි. බමුණ, මා විසින් රැයෙහි මැදුමයම්හි මේ දෙවැනි (දිබ්බචක්‍ඛු) විද්‍යාව ලබන ලදී. (එහි වූ) අවිද්‍යාව නැසින. විද්‍යාව උපන. මොහඳුර නැසින. විදුඑළිය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව දිවැස් නැණ පිණිස මෙහෙයවූ සිත්ඇති ව වසන්නහුට යම් සේ නම් (මට ද) එසේ ම විය.
26. ඒ මම මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, (විෂ්කම්භණවශයෙන්) කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේශ නැති වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මයට සුදුසු වූ කල්හි, ස්ථිර ව සිටි කල්හි, නො සැලෙන බවට පත් වූ කල්හි ආස්‍රවක්‍ෂයකරඥානය (=කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත වෙසෙසින් නතු කෙළෙමි. ඒ මම මේ (පඤ්චස්කන්‍ධය) දුක ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (තෘෂ්ණාව) දුක් ඉපදීමේ හේතුව ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (තෘෂ්ණාවගේ නිරෝධ්‍ය) දුඃඛනිරෝධ ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (අරිඅටඟිමග) දුක් නැති කිරීමේ ප්‍රතිපත්තිය යි තත් වූ පරිදි දැන ගතිමි. මොහු ආස්‍රවයහ යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවසමුදය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවනිරෝධ ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යි තත් වූ පරිදි දැන ගතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුණේ ය. භවාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදුණේ ය යි ප්‍රත්‍යවේක්‍ෂාඥානය පහළ වී ය. ‘ජාතිය අනුත්පාදවශයෙන් ක්‍ෂීණ වී ය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදී. සිවුමගකිස කරන ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කළ යුතු අනෙක් කිසක් නොහොත් මේ වර්‍තමාන ස්කන්‍ධසන්තානයෙන් අන්‍ය වූ (අනාගත) පඤ්චස්කන්‍ධයක් නැතැ’යි දැන ගතිමි. බමුණ, මා විසින් රැයෙහි පැසුළුයම්හි මේ තුන්වැනි විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. විද්‍යාලෝකය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇති ව වසන්නහුට යම් සේ ද, (මට ද) එසේ ම වි ය.
27. බමුණ, ඔබට කිසිවිටක “ශ්‍රමණ ගෞතම තෙමේ අද දක්වාත් පහ නො වූ රාග ඇත්තේ ය. පහ නො වූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. එහෙයින් අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සේවනය කෙරේ ය”යි මෙවැනි අදහසක් විය හැකි ය. බමුණ, එය එසේ නො දත යුතු ය. බමුණ, මම තමාගේ දිටුදැමියෙහි ඉරියවු සැප විහරණය දැකීම ය, පශ්චිම ජනතාවට අනුකම්පා කිරීම ය යන මේ කරුණු දෙක දක්නෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සේවනය කරමි.
28. අර්‍හත් වූ සම්මා සම්බුදුරජාණන් කෙනකුන් විසින් යම්සේ කටයුතු ද, එසේ භවත් ගෞතමයන් වහන්සේ විසින් මේ පශ්චිම ජනතා තොමෝ අනුකම්පිත ස්වභාව ඇත්තී ය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් කාන්ත ය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් ඉෂ්ට ය. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කළ දැයක් උඩුකුරු කරන්නේ හෝ වැසූ දැයක් විවෘත කරන්නේ හෝ (යා යුතු දෙස) මුළා වූවකුට මග කියන්නේ හෝ ඇස් ඇත්තාහු රූප දක්නාහ යි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම් සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් මට දහම් දෙසන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේත් ධර්‍මයත් සඞ්ඝයාත් සරණ කොට යමි - පිහිටය යි දනිමි. ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු (කැපකරුවෙකු) ලෙස සලකන සේක්වා.
භයභේරවසූත්‍රය සිවුවැනි යි.
1. 1. 5.
අනඞ්ගණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:
2. ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි වෙති. කවර සතර දෙනෙක යත්: ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් අඞ්ගණ - දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනියි.
ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙසි රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ නො දනියි. ඇවැත්නි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙසි නැතැ’යි තතු සේ දනියි. ඇවැත්නි, එහි ලා යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, මේ පුද්ගලයා දැඩි කෙලෙස් සහිත වූ ම පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හීනපුරුෂයා ය යි කියනු ලැබේ. එහි යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රේෂ්ඨපුරුෂයා ය යි කියනු ලැබේ. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ නො දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හීන පුරුෂයා ය යි කියනු ලැබේ. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රේෂ්ඨ පුරුෂයා ය යි කියනු ලැබේ.
3. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට මෙය වදාළ සේක: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් හේතුවකින් දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හින පුද්ගලයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයා ය යි කියනු ලැබේ ද, ඊට හේතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද? ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් යම් හෙයකින් එකෙක් හීන ය යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රේෂ්ඨ ය යි කියනු ලැබේ ද, ඊට හේතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද?
4. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය. වැර නො අරඹන්නේ ය. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටුසිත් ඇති වූයේ කාලක්‍රියා කරන්නේය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද ධූලියෙන් හා මලකඩින් ද බැඳුණු කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග නො කෙරෙත් නම්, පිරිසිදු නො කෙරෙත් නම්, එය ධූලි සහිත තන්හි දමත් නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසුකාලයෙක ඉතා කිලුටු වූවක් මල බැඳුනක් වන්නේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය, වැර නො අරඹන්නේ ය. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුය.
5. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය, වෑයම් කරන්නේ ය, වැර අරඹන්නේ ය. හෙතෙමේ රාග රහිත වූයේ ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ නො කිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද ධුලියෙන් හා මලකඩින් ද බැඳුණු කස්ලෝතලියක් වේ ද, හිමියෝ එය පරිභෝග කරන්නාහු නම්, පිරිසුදු කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි නො බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක ඉතා පිරිසුදු වන්නේ ද? ඉතා ප්‍රභාස්වරත් වන්නේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය, වෑයම් කරන්නේ ය, වැර අරඹන්නේ ය. හෙතෙම රාග රහිත වූයේ ද්වේෂ රහිත වූයේ මෝහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ කිලුටු නො වූ සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳව බලාපොරොත්තු විය යුතු ය.
6. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ නො දනී ද, හෙතෙමේ ශුභ වූ අරමුණක් මෙනෙහි කරන්නේ ය. ඒ ශුභ වූ අරමුණ මෙනෙහි කිරීම නිසා රාගය (ඔහුගේ) සිත මැඩ ගෙන සිටියි. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සිත් ඇති වූයේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද පිරිසිදු ප්‍රභාස්වර කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග නො කරන්නාහු නම්, පිරිසුදු නො කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක කිලුටු වූයේත් මල බැඳුණේත් වේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ නො දනියි ද, හෙතෙමේ ශුභ වූ අරමුණක් මෙනෙහි කරන්නේ ය. ඒ ශුභ වූ අරමුණ මෙනෙහි කිරීම නිසා රාගය සිත මැඩ ගෙන සිටී. හෙතෙම රාග සහිත වූයේ ද්වේෂ සහිත වූයේ මෝහ සහිත වූයේ අඞ්ගණ සහිත වූයේ කිලුටු සිත් ඇති වූයේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි.
7. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් පුද්ගලයෙක් තෙම අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ශුභනිමිත්ත මෙනෙහි නො කරන්නේ ය. ඒ ශුභනිමිත්ත මෙනෙහි නො කිරීමෙන් රාගය (ඔහුගේ) සිත නො මඩින්නේ ය. හෙතෙම රාග නැත්තේ ද්වේෂ නැත්තේ මෝහ නැත්තේ අඞ්ගණ නැත්තේ නො කිලිටු සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද පිරිසිදු වූ හාත්පසින් බබලන කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභෝග කරන්නා හු නම්, පිරිසුදු කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි නො බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක ඉතා පිරිසුදු වූයේත් හාත්පසින් බබළන්නේත් වේ ද? ඇවැත්නි, එය එසේ ය.
ඇවැත්නි, එපරිද්දෙන් ම යම් ඒ පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ දනී ද, හෙතෙමේ ශුභනිමිත්ත මෙනෙහි නො කරන්නේ ය, ඒ ශුභනිමිත්ත මෙනෙහි නො කිරීමෙන් රාගය (ඔහුගේ) සිත නො මඩින්නේ ය, හෙතෙම රාගය නැත්තේ ද්වේෂය නැත්තේ මෝහය නැත්තේ අඞ්ගණ නැත්තේ නො කිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය.
8. ඇවැත්නි මුගලන, යම් හෙයකින් අඞ්ගණ සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හීන පුරුෂයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රේෂ්ඨ පුරුෂයා යි කියනු ලැබේ ද, එයට හේතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි. අඞ්ගණ රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙනුත් එකෙක් හීන පුරුෂයා යි කියනු ලබන්නේත් එකෙක් ශ්‍රේෂ්ඨ පුරුෂයා යි කියනු ලබන්නේත් මේ හේතුවෙනි. මේ ප්‍රත්‍යයෙනි.
9. ඇවැත්නි, ‘අඞ්ගණ ය, අඞ්ගණ ය’යි කියනු ලැබේ. ඇවැත්නි, ‘අඞ්ගණ’ යන මෙය කුමකට නමක් ද? ඇවැත්නි, ‘අඞ්ගණ’ යන මෙය කාමවශයෙන් සිතෙහි හැසිරෙන පාපධර්‍මයන්ට නමෙකි.
10. ඇවැත්නි, මේ කාරණය විද්‍යමාන වෙයි. එනම් යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට මෙබඳු ආශාවක් උපදින්නේ ය: “මම ඇවැතට ඒකාන්තයෙන් පැමිණියෙම් නමුත් ‘මෙතෙමේ ඇවැතට පැමිණියේ ය’යි භික්‍ෂූහු මා නො දන්නාහු නම් මැනැවැ”යි යනුයි. ඇවැත්නි, භික්‍ෂූහු ඒ මහණ ඇවැතට පැමිණියේ ය යි දන්නාහු ය” යන යමක් වේ නම් මේ කාරණය විද්‍යමාන වෙයි. ‘භික්‍ෂූහු (මෙතෙමේ) ඇවැතට පැමිණියේය’යි මා ද නිතැයි මෙසේ හෙතෙමේ කිපියේ නොසතුටු වූයේ වෙයි. ඇවැත්නි, යම් කෝපයෙකුත් වේ ද, යම් නො සතුටුබවෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.
11. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘මම ඒකාන්තයෙන් ඇවැතට පැමිණියෙම් නමුදු ‘භික්‍ෂූහු මට රහසිගත ව චෝදනා කරන්නාහු නම්, සඟමැද චෝදනා නො කරන්නාහු නම්, යෙහෙක’ යන ආශාව උපදනේ ය” යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, භික්‍ෂූහු ඒ මහණහට සඟමැද චෝදනා කරන්නාහු ද, රහසිගත ව චෝදනා නො කරන්නාහු ද යන මේ කරුණ ද විද්‍යමාන වෙයි “භික්‍ෂූහු මග සඟමැද චෝදනා කෙරෙත්. රහසිගත ව චෝදනා නො කෙරෙත්”යි මෙසේ හෙතෙම කිපියේ වෙයි. අසුතුටු වූයේ වෙයි. ඇවැත්නි, (මෙසේ) යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.
12. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘මම ඒකාන්තයෙන් ඇවැතට පැමිණියෙම් නමුත් සමාන පුද්ගලයෙක් මට චෝදනා කෙරේ නම්, අසමාන පුද්ගලයෙක් චෝදනා නො කෙරේ නම්, යෙහෙක යන ආශාව උපදනේ ය’ යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, අසමාන පුද්ගලයෙක් ඒ මහණහට චෝදනා කෙරේ ද, සමාන පුද්ගලයෙක් චෝදනා නො කෙරේ ද යන මේ කාරණය විද්‍යමාන වෙයි. ‘අසමාන පුද්ගලයෙක් මට චෝදනා කෙරෙයි. සමාන පුද්ගලයෙක් චෝදනා නො කෙරේ ය’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි එහි ලා යම් කෝපයකුත් වේ ද, යම් නො සතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.
13. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුට ‘ශාස්තෲන් වහන්සේ මා ම පිළිවිස පිළිවිස භික්‍ෂුන්ට දහම් දෙසන සේක් නම්, ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට දහම් නො දෙසන සේක් නම් යෙහෙක’ යන ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දේශනා කරන සේක් නම්, ශාස්තෲන් වහන්සේ ඒ මහණහු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍මදේශනා නො කරණ සේක් නම්, ‘ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දේශනා කරන සේක. ශාස්තෲන් වහන්සේ මා පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දේශනා නො කරන සේකැ’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි යන යම් කාරණයක් වේ ද, එයත් විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණ යි.
14. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘භික්‍ෂූහු මා ම පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත් නම්, භික්‍ෂූහු අන් මහණකු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙත් නම්, ඉතා මැනව’ යන ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, භික්‍ෂූහු අන් මහණකු පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත් නම්, භික්‍ෂූහු ඒ මහණහු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙත් නම්, ‘භික්‍ෂූහු අන් මහණකු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට පිවිසෙන්නාහු ය, භික්‍ෂූහි මා පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙන්නාහු ය’යි හෙතෙම කිපෙයි. නො සතුටු වෙයි යන යම් කාරණයක් වේ ද, (එය) විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.
15. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය මම ම ලබන්නෙම් නම්, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් නො ලබන්නේ නම් මැනැවැ’යි ආශාව උපදනේ ය, යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වන්නේ යි. ඇවැත්නි, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් ලබන්නේ නම්, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය ඒ මහණ නො ලබන්නේ නම් ‘බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් ලබයි. බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රෝදකය අග්‍රපිණ්ඩය මම නො ලබමි’ යි හෙතෙම කිපෙයි. අසතුටු වෙයි යන යම් කාරණයක් වේ ද, එයත් විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් නො සතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.
16. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘බොජුන්හලෙහි මම ම වළඳා අවසන් කෙළෙම්, අනුමෝදනා කරන්නෙම් නම්, අන් මහණෙක් බොජුන්හලෙහි වළඳා අවසන් කෙළේ අනුමෝදනා නො කරන්නේ නම් යෙහෙකැ’යි කැමැත්ත උපදනේ ය යන යම් මේ කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. අන් මහණෙක් බොජුන්හලෙහි වළඳා අවසන් කෙළේ අනුමෝදනා කරන්නේ ය, බොජුන්හලෙහි ඒ මහණ වළඳා අවසන් කෙළේ අනුමෝදනා නො කරන්නේ ය යන මේ කාරණය ද විද්‍යමාන වෙයි, ‘බොජුන්හලෙහි අන් මහණෙක් වළඳා අවසන් කෙළේ අනුමෝදනා කරන්නේ ය. බොජුන්හලෙහි වැළඳීමෙන් පසු මම අනුමෝදනා නො කරමි’ යි හෙතෙම කිපෙයි, අසතුටු වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.
17. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘ආරාමයට පැමිණි භික්‍ෂූන්ට මම ම ධර්‍මදේශනා කරන්නෙම් නම්, ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදේශනා නො කරන්නේ නම්, ඉතා යෙහෙකැ’යි ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එ ද විද්‍යමාන වෙයි. ඇවැත්නි, ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදේශනා කරන්නේ ය. ඒ මහණ තෙමේ ආරාමයට පැමිණි භික්‍ෂූන්ට ධර්‍මදේශනා නො කරන්නේ ය යන මේ කාරණය ද ඇති වෙයි. ‘ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදේශනා කරයි. ආරාමයට පැමිණි භික්‍ෂූන්ට මම ධර්‍මදේශනා නො කරමි’යි මෙසේ හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.
18. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘ආරාමයට පැමිණි මෙහෙණන්ට මම ම ධර්‍මදේශනා කරන්නෙම් නම් ... උපාසකයන්ට ධර්‍මදේශනා කරන්නෙම් නම් ... උපාසිකාවන්ට ධර්‍මදේශනා කරන්නෙම් නම්, ආරාමයට පැමිණි උපාසිකාවන්ට අන් භික්‍ෂූනමක් ධර්‍මදේශනා නො කරන්නේ නම් ඉතා මැනැවැ’යි ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, ආරාමයට පැමිණි උපාසිකාවන්ට අන් භික්‍ෂුනමක් ධර්‍මදේශනා කරන්නේ ය, ඒ භික්‍ෂු තෙමේ ආරාමයට පැමිණි උපාසිකාවන්ට ධර්‍මදේශනා නො කරන්නේ ය, යන මේ කාරණය ද ඇති වෙයි. ‘ආරාමයට පැමිණි උපාසිකාවන්ට වෙන භික්‍ෂු නමක් ධර්‍මදේශනා කරයි. ආරාමයට පැමිණි උපාසිකාවන්ට මම ධර්‍මදේශනා නො කරමි’යි මෙසේ හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද ඒ දෙක ම අඞ්ගණයි.
19. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘භික්‍ෂූහු මට ම සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පූජා කරන්නාහු නම්, ඉතා මැනැව. භික්‍ෂූහු අන් භික්‍ෂූ නමකට සත්කාර නො කරන්නාහු නම්, ගරු නො කරන්නාහු නම්, බුහුමන් නො කරන්නාහු නම්, පූජා නො කරන්නාහු නම් ඉතා මැනැවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදී නම් මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, භික්‍ෂූහු යම් හෙයකින් අන් භික්‍ෂූ නමකට සත්කාර කරන්නාහුය, ගරු කරන්නාහු ය, බුහුමන් කරන්නාහු ය, පූජා කරන්නාහු ය, භික්‍ෂූහු ඒ භික්‍ෂු නමට සත්කාර නො කරන්නාහු, ගරු නො කරන්නාහු ය, බුහුමන් නො කරන්නාහු ය, පූජා නො කරන්නාහු ය, යන මේ කරුණ ඇති වෙයි යන මේ කාරණයෙක්ද විද්‍යමාන වෙයි. ‘භික්‍ෂූහු අන් භික්‍ෂු නමකට සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්. පුද කරත්. භික්‍ෂූහු මට සත්කාර නො කරත්, ගරු නො කරත්, බුහුමන් නො කරත්, පුද නො කරත් ය’යි හෙතෙමේ කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.
20. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට ‘භික්‍ෂුණීහු ... උපාසකයෝ ... උපාසිකාවෝ මට ම සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුද කරන්නාහු නම්, උපාසිකාවෝ අන් භික්‍ෂුනමකට සත්කාර නො කරන්නාහු නම්, ගරු නො කරන්නාහු නම්, බුහුමන් නො කරන්නාහු නම්, පුද නො කරන්නාහු නම් ඉතා මැනවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදී නම් මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, උපාසිකාවෝ යම්හෙයකින් අන් මහණකුට සත්කාර කරන්නාහු ය, ගරු කරන්නාහු ය, බුහුමන් කරන්නාහු ය, පුද කරන්නාහු ය, උපාසිකාවෝ ඒ භික්‍ෂුනමට සත්කාර නො කරන්නාහු ය, ගරු නො කරන්නාහු ය, බුහුමන් නො කරන්නාහු ය, පුද නො කරන්නාහු ය, යන මේ කරුණ වෙයි. ‘උපාසිකාවෝ අන් භික්‍ෂු නමකට සත්කාර කෙරෙත්. ගරු කෙරෙත්. බුහුමන් කෙරෙත්. පුද කෙරෙත්. උපාසිකාවෝ මට සත්කාර නො කෙරෙත්. ගරු නො කෙරෙත්. බුහුමන් නො කෙරෙත්. පුද නො කෙරෙත්’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි එහි යම් කෝපයකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.
21. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට ‘මම ම අගනා සිවුරු ලබන්නෙම් නම්, අන් මහණෙක් අගනා සිවුරු නො ලබන්නේ නම්, ඉතා මැනැවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදි නම්, මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, අන් භික්‍ෂුනමක් අගනා සිවුරු ලබන්නෙක් වන්නේය ය, ඒ භික්‍ෂු නම අගනා සිවුරු නො ලබන්නේ වන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වේ. ‘අනිත් භික්‍ෂු නමක් අගනා සිවුරු ලබයි. මම අගනා සිවුරු නො ලබමි’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.
22. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට “මම ම ප්‍රණීත පිණ්ඩපාත ... මහැඟි සෙනසුන් ... ප්‍රණීත ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන්නෙම් නම්, අන් මහණෙක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත්පිරිකර නො ලබන්නේ නම්, ඉතා මැනැවැ’යි මෙබඳු ආශාව උපදී නම් මේ කාරණය ද විද්‍යමාන වෙයි. ඇවැත්නි, වෙන භික්‍ෂු නමක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන්නේ නම්, ඒ භික්‍ෂු නම ... ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලබන්නේ නම්, මේ කාරණය ද විද්‍යමාන වෙයි. ‘වෙන භික්‍ෂු නමක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන්නේ ය. මම ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලබමි’යි කියා මෙසේ හෙතෙමේ කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයකුත් වේ ද, නොසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.
23. ඇවැත්නි, අඞ්ගණ යනු ඉච්ඡා (කාම) වසයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයන්ට නමෙකි.
24. ඇවැත්නි, යම්කිසි භික්‍ෂු නමකගේ කාමවශයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝ අප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙමේ ආරණ්‍යක වූයේ ප්‍රාන්තශයනාසන ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේ ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ පංසුකූලික වූයේ රළු සිවුරු දරන්නේ නමුදු සබ්‍රම්සරහු ඔහුට සත්කාර නො කරත්. ගරු නො කරත්. බුහුමන් නො කරත්. පුද නො කරත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මතුන්ගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ ප්‍රහීණ නො වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි. ඇවැත්නි, සල්පිළින් හෝ කඹුරුකුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසිදු වූ හාත්පසින් බබළන්නා වූ කස් තලියක් වේ ද, හිමියෝ ඒ රන්තලියෙහි නයිකුණක් හෝ බලුකුණක් හෝ මිනීකුණක් හෝ බහා අන් කස්තලියකින් වසා සල්පිල් අතර වීථියට ගෙන යන්නාහු ද, ඒ තලිය ජනයා දැක “පින්වත්නි, ඉතා මනවඩන්නක් මෙන් මේ කුමක් ගෙනයනු ලැබේ දැ?” යි මෙසේ කියන්නේ ය. නැගිට ඒ තලිය වසුන් හැර බලන්නේ ය. ඒ කුණප දැකීම සමග ම ඒ ජනයාට අමනාපබව ද නැගී සිටුනේ ය. පිළිකුල්බව ද නැගීසිටුනේ ය. ජුගුප්සාව ද නැගී සිටුනේ ය. කුසගිනි ඇත්තවුන්ට ද කනු කැමැත්ත නො වන්නේ ය. තෘප්ත වූවන්ට කියනු ම කවරේ ද? ඇවැත්නි, එපරිද්දෙන් ම යම්කිසි මහණකුගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝ ප්‍රහීණ නො වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, ඒ මහණ ආරණ්‍යක වූයේ ප්‍රාන්තශයනාසන ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේ ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ පංසුකූලික වූයේ රළු සිවුරු දරන්නේ නමුදු සබ්‍රහ්මචාරීහු ඔහුට සත්කාර නො කෙරෙත්. ගරු නො කෙරෙත්. බුහුමන් නො කෙරෙත්. පුද නො කෙරෙත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මතුන්ගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ අප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි.
25. ඇවැත්නි, යම්කිසි මහණකුගේ ආශාවශයෙන් පවත්නා වූ ලාමක වූ මේ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙම කිසිසේත් ග්‍රාමාන්තශයනාසනයෙහි වාසය කරන්නේ නිමැතුම්බත් පිළිගන්නේ ගැහැවි සිවුරු දරන්නේ නමුදු ඔහුට සබ්‍රහ්මචාරීහු සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්. පුද කරත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මත්හුගේ ආශාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි. ඇවැත්නි, යම් සේ සල්පිළින් හෝ කඹුරුකුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසුදු වූ හාත්පසින් බබළන්නා වූ කස්තලියක් යම් සේ වේ ද, හිමියෝ ඒ මේ කස්තලියට කළු ඇට ඉවත් කළ ඇල්සාලේ බත නොයෙක් ව්‍යඤ්ජනයන් නොයෙක් සුපයන් සහිත කොට බහා අන් කස්තලියකින් වසා සල්පිල් අතර වීථියට ගෙන යන්නාහු ය. ජනයා ඒ තලිය දැක ‘පින්වත්නි, ඉතා මන වඩන්නක් ලෙස මේ කුමක් ගෙන යනු ලැබේ දැ?’ යි කියන්නේ ය. නැගිට ඒ තලිය වසුන් හැර බලන්නේ ය. ඒ දැක්ම හා සමග ම ඔහුට මනාපබව නැගී සිටුනේ ය. නොපිළිකුල් බව ද නැගී සිටුනේ ය. ජුගුප්සාරහිත බව ද නැගී සිටුනේ ය. තෘප්තියට පත් වූවන්ට ද කනු කැමැතිබව ඇති වෙයි. බඩසා ඇත්තවුන් ගැන කියනු ම කවරේ ද? ඇවැත්නි, එපරිද්දෙන් ම යම්කිසි භික්‍ෂූනමකගේ ආශා වශයෙන් පවත්නා වූ ලමු වූ මේ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙම ග්‍රාමාන්තශයනාසනයෙහි වාසය කරන්නේ නිමැතුම්බත් පිළිගන්නේ ගැහැවිසිවුරු දරන්නේ නමුදු ඔහුට සබ්‍රහ්මචාරීහු සත්කාර කෙරෙත්. ගරු කෙරෙත්. බුහුමන් කෙරෙත්. පුද කෙරෙත්. ඒ කවර හෙයින යත්: ඔහුගේ ආශා වශයෙන් පවත්නා වූ ලාමක අකුසලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි.
26. මෙසේ කීකල්හි ආයුෂ්මත් මහමුගලන් ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට ‘ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපමාවක් මට වැටහේ ය’යි වදාළ සේක. ‘ඇවැත්නි, මුගලන, එය ඔබ වහන්සේට වැටහේවා.’
ඇවැත්නි, එක් කලෙක මම ගිරිව්‍රජ නම් වූ රජගහ නුවර වාසය කරමි. ඇවැත්නි, ඉක්බිති මම පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියෙමි. එසමයෙහි සාමීති නම් රියකරුපුත් තෙමේ රථයකට නිම්වළල්ලක් සසියි. ඒ ඔහු වෙත පැරණි රියකරු පුත් වූ පාණ්ඩුපුත්‍ර නම් ආජීවක තෙම එළඹැ සිටියේ වෙයි. ඇවැත්නි, ඉක්බිති, පැරණි රියකරු පුත් වූ පාණ්ඩුපුත්‍ර ආජීවකයාට මෙබඳු අදහසක් ඇති වි ය. ‘මේ සාමීති රියකරුපුත් තෙමේ මේ නිම්වළල්ලෙහි මෙ පසින් වූ ඇදය ද මේ හැම අතින් වූ ඇදය ද මේ එලගැට ආදිය ද සසින්නේ නම් මැනැව. මෙසේ මේ නිම්වළල්ල පහ වූ නැම්ම ඇති ව, පහ වූ ඇද ඇති ව, පහ වූ දොස් ඇති ව පිරිසිදු ව අරටුවෙහි පිහිටියේ වන්නේ ය’ කියායි. ඇවැත්නි, පුරාණයානකාරපුත්‍ර වූ පාණ්ඩුපුත්‍ර ආජීවකයාට යම් යම් පරිද්දකින් අදහස් වෙයි ද, ඒ ඒ පරිද්දෙන් සාමීති යානකාරපුත්‍ර තෙම ඒ නිම්වළල්ලේ ඒ නැම්ම ද ඒ ඇදය ද ඒ දෝෂය ද සසියි.
ඇවැත්නි, එකල පුරාණයානකාරපුත්‍ර වූ පාණ්ඩුපුත්‍ර ආජීවක තෙම සතුටට පත් වූයේ ‘තම හිතින් (මාගේ) හිත දැනගෙන මෙන් සසින්නේ ය’යි සතුටු වූයේ සතොස්බව පහළ කෙළේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම ශ්‍රද්ධාවක් නැත්තා වූ ශ්‍රද්ධාවෙන් නො ව ජීවිකාව පිණිස ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියා වූ කෛරාටික වූ මායාසහිත වූ පුහුණු කළ කෛරාටිකකම් ඇති නොසන්හුන් හිස්මාන නළ ඇති චපල වූ දොඩමලු වූ සංයත නො වූ වචන ඇති ඉඳුරන්හි නො වැසූ දොර ඇති භෝජනයෙහි පමණ නො දන්නා වූ නිදි වැරීමෙහි නො යෙදුණු, මහණකම්හි බලාපොරොත්තු නැති ශික්‍ෂාවන්හි දැඩි ගෞරව නැති පිරිකර ආදිය බහුල කොට ඇති සස්න ලිහිල් කොට ගත් නීවරණයෙහි පෙරදැරි වූ උතුම් විවේකයෙහි හළ වැර ඇත්තා වූ කුසීත වූ වැර නැත්තා වූ මුළා වූ සිහි ඇත්තා වූ, මනා නුවණ නැත්තා වූ එකඟ නො වූ සිත් ඇත්තා වූ ඒ ඒ අරමුණු කරා දිවූ සිත් ඇත්තා වූ නුවණ නැත්තා වූ කෙළතොලු වූ යම් ඒ පුද්ගල කෙනෙක් වෙත් ද, ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මේ ධර්‍මමාර්‍ගයෙන් ඔවුන්ගේ සිත දැන සසින්නාක් මෙනි.
27. ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියාහු කෛරාටික නො වූ මායා රහිත වූ පුහුණු වූ කෛරාටික කම් නැති සන්හුන් වූ හිස් මානනළ නැති චපල නො වූ දොඩමලු නො වූ සංයත වූ වචන ඇති ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇති භෝජනයෙහි පමණ දත් නිදි වැරීමෙහි යෙදුණු මහණකම්හි බලාපොරොත්තු ඇති ශික්‍ෂාවන්හි දැඩි ගෞරව ඇති චීවරාදිප්‍රත්‍යය බහුල කොට නො ගන්නා වූ සස්න ලිහිල් කොට නො ගන්නා වූ නීවරණයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති උතුම් විවේකයෙහි පූර්‍වඞ්ගම වූ ඇරඹු වැර ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති එළඹ සිටි සිහි ඇති සමාධි සහගත වූ එකඟ සිත් ඇති ප්‍රඥාවත් වූ කෙළතොලු නො වූ යම් ඒ කුලපුත්‍ර කෙනෙක් වෙත් ද, ඔවුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ගේ මේ ධර්‍මමාර්‍ගය අසා වචනයෙනුත් හිතිනුත් බොතියි හඟිම්. කතියි හඟිම්. පින්වත, ඉතා මැනවි: සබ්‍රම්සරුන් අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුව යි.
28. ඇවැත්නි, යම් සේ සැරසෙන සුලු තරුණ වූ යොවුන්වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස පටන් ස්නානය කෙළේ උපුල්මල්දමක් හෝ දැසමන්මල්දමක් හෝ යොහොඹුමල්දමක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුමඟ හිසෙහි පැලඳ ගනී ද,
ඇවැත්නි, එපරිද්දෙන් ම යම් ඒ කුලපුත්‍ර කෙනෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියාහු කෛරාටික නො වූවාහු අසඨ වූවාහු මායා රහිත වූවාහු පුරුදු නො කළ කෛරාටිකකම් ඇත්තාහු සන්හුන් වූවාහු හිස් මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු සංයත වූ වචන ඇත්තාහු ඉන්‍ද්‍රියයන් වැසූ දොර ඇත්තාහු භෝජනයෙහි පමණ දන්නාහු නිදි වැරීමෙහි යෙදුණාහු පැවිද්දෙහි බලාපොරොත්තු ඇත්තාහු ශික්‍ෂාවන්හි දැඩි ගෞරව ඇත්තාහු චීවරාදිප්‍රත්‍යය බහුල කොට නො ගත්තාහු සස්න ලිහිල් කොට නො ගත්තාහු නීවරණ පෙරදැරි කොට නැත්තාහු උතුම් විවේකයෙහි උත්සාහ ඇත්තාහු පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු මනා නුවණ ඇත්තාහු සමාහිත වූවාහු එකඟසිත් ඇත්තාහු නුවණැත්තාහු කෙළතොලු නො වූවාහු වෙත් ද, ඔවුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ගේ මේ ධර්‍ම දේශනාව අසා වචනයෙනුත් සිතිනුත් බොතියි හඟිම්. කතියි හඟිම්. පින්වතුන් වහන්ස, ඉතා මැනැවි: සබ්‍රම්සරුන් අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුවන සේක.
මෙසේ මේ මහානාගයෝ (කෙලෙස් නැති උත්තමයෝ) දෙදෙන ඔවුනොවුන්ගේ සුබැසි සතුටින් අනුමෝදන් වූහු.
අනඞ්ගණසූත්‍රය පස්වැනියි.
1. 1. 6.
ආකඞ්ඛෙය්‍ය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්‍ෂූන් අමතා වදාළ සේක. ඒ භික්‍ෂූහු “වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක:
මහණෙනි, පිරිපුන් සිල් ඇත්තාහු ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් යුක්ත ව වසවු. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූවාහු ආචාරයෙන් හා ගෝචරයෙන් සමෘද්ධ ව වසවු. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු ව මොනොවට ගෙන ශික්‍ෂාපදයන්හි හික්මෙවු.
2. මහණෙනි, මහණෙක් තෙමේ “සබ්‍රම්සරුන්ට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක්, ගරු කළ යුත්තෙක්, සම්භාවනීයයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ස්වකීය චිත්තසමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් (ශුන්‍යාගාරයන්ට පිවිස ශමථ විදර්‍ශනා භාවනා කරන්නෙක්) වන්නේ ය.
3. මහණෙනි, මහණෙක් තෙමේ “චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භේසජ්ජපරික්‍ඛාරයන් ලබන්නෙම් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නෙක් වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේය.
4. මහණෙනි, මහණෙක් තෙමේ “යම් කෙනෙකුන්ගේ චීවර පිණ්ඩපාත ගිලානපච්චය භේසජ්ජපරික්‍ඛාරයන් වළඳම් ද, ඔවුන්ගේ ඒ ප්‍රත්‍යයදානයෝ මහත්ඵල මහත් ආනිසංස ඇත්තාහු වෙත්වා”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
5. මහණෙනි, මහණෙක් තෙමේ “පරලොව ගියා වූ කලුරිය කළා වූ නෑ සහලේ නෑ කෙනෙක් පහන් සිත් ඇත්තාහු මා සිහි කරත් ද, ඔවුන්ගේ ඒ සිහි කිරීම මහත්ඵල මහත් ආනිසංස ඇත්තක් වේවා”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
6. මහණෙනි, මහණෙක් තෙමේ “ධ්‍යානාදි අධිකුශල ධර්‍මයන්හි නො ඇලීම හා කම්සැපෙහි ඇලීම ද මැඩ පවත්වන්නෙම් වන්නෙමි. අරතිය මා නො මඩීවා. උපන් අරතිය මඩිමින් වාසය කරනේනමියි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
7. මහණෙනි, මහණෙක් තෙමේ “තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මඩින්නෙම් වන්නෙමි. තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මා නො මඩීවා. උපන් තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මඩිමින් වසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
8. මහණෙනි, මහණෙක් තෙමේ “අධිචිත්තයෙහි උපන් දිටුදැමියෙහි සැප විහරණය ඇති සිවුදැහැන් කැමැති සේ ලබන්නෙම්, නිදුකින් ලබන්නෙම්, මහත් (වුට්ඨානවසිතාවෙන් යුක්ත) සේ ධ්‍යාන ලබන්නෙම් වන්නෙමි”යි කැමැති වන්නේ නම් ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
9. මහණෙනි, මහණෙක් තෙමේ “රූපාවචරධ්‍යානයන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ඒ ශාන්තවිමෝක්‍ෂයෝ වෙත් ද, ඒ විමෝක්‍ෂයන් නාම කායයෙන් ස්පර්‍ශකොට වාසය කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
10. මහණෙනි, මහණෙක් තෙමේ “මම සංයෝජන තුණක් ක්‍ෂය කිරීමෙන් දුගතියක නො වැටෙන ස්වභාවය ඇති නියත වූ උපරිම මාර්‍ගඥානයන් පිහිට කොට ඇති (-සකෘදාගාමි ආදි මාර්‍ග තුනට අවශ්‍යයෙන් පැමිණෙන) සෝතාපන්නයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
11. මහණෙනි, මහණෙක් තෙමේ “සංයෝජන තුනක් ක්‍ෂය කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වන්නෙමි. වරක් මේ මිනිස් ලොවට උත්පත්තිවශයෙන් පැමිණ දුක් කෙළවර කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
12. මහණෙනි, මහණෙක් තෙමේ “මම ඕරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ඕපපාතික (-වසයෙන් බඹලොව උපදින්නෙම්) වන්නෙමි. ඒ බඹලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තෙම් එහි පිරිනිවෙන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
13. මහණෙනි, මහණෙක් තෙමේ “නන් වැදෑරුම් ඍද්ධිකොට්ඨාසයන්ට පැමිණෙන්නෙමි: එකෙක් ම වී බොහෝ ආකාර වෙමි. විවිධාකාර ද වී එකෙක් වන්නෙමි. ප්‍රකට බවට, අප්‍රකට බවට, බිත්තියෙන් පිටත, පවුරෙන් පිටත, පව්වෙන් පිටත අහසෙහිමෙන් නො ගැටෙමින් යන්නෙමි. දියෙහි මෙන් පොළොවෙහි ද මතු වීම් ගැලීම් කරන්නෙමි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි යන්නෙමි. පියාපත් ඇති පක්‍ෂියකු සේ අහසෙහි ද පලගින් යුක්ත ව (පලක් බැඳ) හැසිරෙමි. මෙබඳු මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අත්ලෙන් ස්පර්‍ශ කොට පිරිමදින්නෙමි. බඹලොවතෙක් කයින් තමා වශයෙහි පවත්වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
14. මහණෙනි, මහණෙක් තෙමේ “මම පිරිසිදු වූ මිනිස්කණ ඉක්මවා සිටි දිවකණින් දුර සිටියා වූත් සමීපයෙහි සිටියා වූත් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් ශබ්ද අසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
15. මහණෙනි, මහණෙක් තෙමේ “මම රාගසහිත වූ හෝ සිත රාග සහිත සිත ය යි දැනගන්නෙමි, පහ වූ රාගය ඇත්තා වූ හෝ සිත පහ වූ රාගය ඇත්තා වූ සිත ය යි දැන ගන්නෙමි, සද්වේෂ වූ හෝ සිත සද්වේෂ සිත ය යි දැන ගන්නෙමි. වීතද්වේෂ වූ හෝ සිත වීතද්වේෂ සිත ය යි දැනගන්නෙමි, මෝහ සහිත හෝ සිත මෝහ සහිත සිත ය යි දැනගන්නෙමි, වීතමෝහ වූ හෝ සිත ය යි විතමෝහසිත දැනගන්නෙමි,
ථිනමිද්ධයෙන් හැකුළුණා වූ හෝ සිත හැකුළුණු සිත ය යි දැනගන්නෙමි. (උද්ධච්චයෙන්) විසුරුණා වූ හෝ සිත විසුරුණු සිත ය යි දැනගන්නෙමි. මහද්ගත (රූපාරූපාවචර) වූ හෝ සිත මහද්ගත සිත ය යි දැනගන්නෙමි. අමහද්ගත (කාමාවචර) වූ හෝ සිත අමහද්ගත සිත ය යි දැනගන්නෙමි. ත්‍රෛභූමක වූ හෝ සිත ත්‍රෛභූමක සිත ය යි දැනගන්නෙමි. සඋත්තර (කාමාවචර) වූ හෝ සිත සඋත්තර සිතය යි දැනගන්නෙමි. අනුත්තර (රූපාරූපාවචර) වූ හෝ සිත අනුත්තර සිත ය යි දැනගන්නෙමි. සමාහිත වූ හෝ සිත සමාහිත සිත ය යි දැනගන්නෙමි. අසමාහිත වූ හෝ සිත අසමාහිත සිත ය යි දැනගන්නෙමි. විමුක්ත වූ හෝ සිත විමුක්ත සිත ය යි දැනගන්නෙමි. අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිත ය යි දැනගන්නෙමි. සෙසු සත්ත්‍වයන්ගේ සෙසු පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැන ගන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
16. මහණෙනි, මහණෙක් තෙමේ “නන් වැදෑරුම් වූ පූර්වේනිවාසය සිහි කරන්නෙමි - එනම්: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුණක් ද ජාති හතරක් ද ජාති පහක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති ලක්‍ෂයක් ද: නස්නා නොයෙක් කල්පයන් ද හට ගන්නා නොයෙක් කල්පයන් ද නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද ‘අසුවල් තැන මෙනම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් විමි. මෙබඳු අහර ඇත්තෙම් වීමි. මෙබඳු සැපදුක් වින්දෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම්. අසුවල් තැන උපනිමි. එහිදු මෙබඳු නම් ඇත්තෙම් වීමි. මෙබඳු ගොත් ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් වීම. මෙබඳු අහර ඇත්තෙම් වීම. මෙබඳු සැපදුක් වින්දෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්නෙමි.’ මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පූර්වේ නිවාසය සිහි කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
17. මහණෙනි, මහණෙක් තෙමේ “පිරිසිදු වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන උපදින හීන වූ ප්‍රණීත වූ මනා පැහැති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකින්නෙමි. කර්‍ම වූ පරිදි මිය පරලොව ගිය සත්ත්‍වයන් දැනගන්නෙමි. ඒකාන්තයෙන් මේ සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිසදිටු ගත්තාහු මිසදිටු වශයෙන් සමාදන් වූ නන්වැදෑරුම් කර්‍ම ඇත්තාහු ය. ඒ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයට ප්‍රතිසන්‍ධි වශයෙන් පැමිණියාහු ය. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්දිටු ගත්තාහු සම්දිටු වසයෙන් සමාදන් වූ නන් වැදෑරුම් කර්‍ම ඇත්තාහු ය -