ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. මේ දහමුන් (අරමුණු ඈ විසින්) වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (මාර්‍ගප්‍රඥාව) යම් චතුස්සත්‍යධර්‍මයක් (ප්‍රඥානකෘත්‍ය විසින්) දනී ද, (මාර්‍ග විඥානය ද) ඒ දහම (විඥාන කෘත්‍ය විසින්) දන්නේ ය. (මාර්‍ග විඥානය) යම් චතුස්සත්‍යධර්‍මයක් (විඥාන කෘත්‍ය විසින්) දනී ද, (මාර්‍ග ප්‍රඥාව ද) ඒ දහම (ප්‍රඥානකෘත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
6. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන්ගේ වෙනස කිම?”
ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන් අතුරින් (මාර්‍ග) ප්‍රඥාව භැවිය යුතුය. (විදර්‍ශනා) විඥානය පරිඥේය (පිරිසිඳ දත යුතු) වෙයි. මෙ උන් දෙදෙනාගේ වෙනස යි.
7.“ඇවැත්නි, ‘වේදනාය වේදනාය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් වේදනා’යයි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘විඳුනේය විඳුනේ’ය යන යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘වේදනා’යයි කියනු ලැබේ. කුමක් විඳුනේය යත්: සුව අරමුණ ද විඳුනේය. දුක් අරමුණද විඳුනේය. නොදුක් නොසුව අරමුණද විඳුනේය. ඇවැත්නි, මෙසේ, ‘විඳුනේය විඳුනේ’යයි යම් හේතුයෙක් වේද, එහෙයින් ‘වේදනා’ යයි කියනු ලැබේ.
8. “ඇවැත්නි, ‘සංඥා, සංඥා’යයි කියනු ලැබේ ඇවැත්නි, කිපමණෙකින් ‘සංඥා’ යයි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘හඳුනා ගනී, හඳුනා ගනී’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් සංඥා ය යි කියනු ලැබේ. කුමක් හඳුනා ගන්නේය යත්: නිල්වන ද, හඳුනාගනී, කසාවත ද හඳුනාගනී ලෙහෙවන ද හඳුනාගනී, සුදුවන ද හඳුනාගනී. ඇවැත්නි මෙසේ ‘හඳුනා ගනී, හඳුනාගනී’, යන යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘සංඥා’යි කියනු ලැබේ.
9. “ඇවැත්නි, යම් වේදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද: යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨ වෙද්ද? නොහොත් අසංසට්ඨ වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”
ඇවැත්නි, යම් වේදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (වේදනාව) යම් අරමුණක් විඳී ද, (සංඥාව) ඒ අරමුණ හඳුනයි. (සංඥාව) යම් අරමුණක් හඳුනා ද, (විඥානය ද) ඒ අරමුණ (විඥානකෘත්‍ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. නොසසට නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
10. “ඇවැත්නි, පඤ්චේන්‍ද්‍රියයන් විසින් පරිත්‍යක්ත, පරිශුද්ධ, මනෝවිඥානයෙන් (රූපාවචරචතුර්‍ත්‍ථධ්‍යානචිත්තයෙන්) කුමක් දතයුතුද?”
ඇවැත්නි, පසිඳුරන් විසින් නිඃසෘත, පරිශුද්ධ, මනෝවිඥානයෙන් ‘ආකාශය අනන්ත’යයි ආකාශානන්ත්‍යායතනය දත යුතුය. ‘විඥානය අනන්ත’ය යි විඥානන්ත්‍යායතනය දත යුතුය ‘කිසිදු නැති’යි ආකිඤ්චඤ්ඤායතනය දත යුතුය.
11. “ඇවැත්නි, ඥේය ධර්‍මය වනාහි කිමෙකින් දන්නේ ද?”
ඇවැත්නි, ඥේය වූ ධර්‍මය ප්‍රඥාචක්‍ෂුසින් දන්නේය.
12. “ඇවැත්නි, ප්‍රඥා වනාහි කිනම් අර්‍ත්‍ථ ඇත් ද?”
ඇවැත්නි, ප්‍රඥාව (අභිඥෙය ධර්‍ම දනීනුයි) අභිඥා අර්‍ත්‍ථ කෙ ට ඇත. (පරිඥෙයධර්‍ම දනීනුයි) පරිඥා අර්‍ත්‍ථ කොට ඇත (ප්‍රහාතව්‍ය ධර්‍ම පහා නුයි) ප්‍රහාණ අර්‍ත්‍ථ කොට ඇත.
13. “ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි උත්පාදය පිණිස කෙතෙක් ප්‍රත්‍යයයෝ ඇද්ද?”
ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි උත්පාදය පිණිස ප්‍රත්‍යයෝ දෙදෙනෙක් ඇත: පරතෝඝෝෂය (සත්ප්‍රාය ධර්‍ම ශ්‍රවණය) හා යෝනිසෝමනසිකාරය (තමන්ගේ උපාය මනසිකාරය) හා දෙකයි. ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටිඋත්පාදය පිණිස මොහු දෙදෙන ප්‍රත්‍ය වෙති.
14. “ඇවැත්නි, කෙතෙක් අඞ්ගයෙන් වහල ලැබූ සම්‍යග්දෘෂ්ටිය චේතෝවිමුක්තිය ඵල කොට ඇද්ද? චේතෝ විමුක්තිඵලය අනුසස් කොට ඇද්ද? ප්‍රඥාවිමුක්තිය ඵලකොට ඇද්ද? ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇද්ද?”
ඇවැත්නි, අඞ්ගපසෙකින් අනුගෘහීත සම්‍යග්දෘෂ්ටිය චේතෝවිමුක්තිය ඵල කොට ඇත. චේතෝවිමුක්ති පලය අනුසස් කොට ද ඇත. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත. ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ද ඇත. ඇවැත්නි, මෙහි සම්‍යග්දෘෂ්ටිය ශීලානුගෘහීත ද වෙයි. ශ්‍රැතානුගෘහීත ද වෙයි. සඞ්කථානුගෘහීත ද වෙයි. සමථානුගෘහීත ද වෙයි. විදර්‍ශනාගෘහීත ද වෙයි. ඇවැත්නි, මේ පසඟින් වහල ලත් සම්දිටු චේතෝවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. චේතෝවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තේ ද වෙයි.
15. “ඇවැත්නි, භවයෝ කෙතෙක් වෙද්ද?”
ඇවැත්නි, මේ භවයෝ තුන් දෙනෙකි: කාමභවය, රූපභවය, අරූපභවයි.
16. “ඇවැත්නි, මතු අනායෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම කෙසේ වේ ද?”
ඇවැත්නි, අවිද්‍යානීවරණ ඇති, තෘෂ්ණා සංයෝජන ඇති සත්ත්‍වයන්ගේ ඒ ඒ තන්හි රූපාදිඅභිනන්‍දනයෙන් මෙසේ මතුයෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම වෙයි.
17. “ඇවැත්නි, අනායෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම කෙසේ නොවේ ද?”
ඇවැත්නි, අවිද්‍යාක්‍ෂය විරාගහේතුයෙන් වන අර්‍හත් මාර්‍ග විද්‍යොත්පාදයෙන් තෘෂ්ණා ක්‍ෂය නිරෝධයෙන් මෙසේ මතුයෙහි පුනර්‍භවයෙහි ඉපැද්ම නො වෙයි.
18. “ඇවැත්නි, ප්‍රථමධ්‍යාන කවරේ ද?”
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන්ව ම සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා ගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මේ ප්‍රථමධ්‍යාන යයි කියනු ලැබේ.
19. “ඇවැත්නි, ප්‍රථමධ්‍යාන කෙතෙක් අඞ්ග ඇද්ද?”
ඇවැත්නි, ප්‍රථම ධ්‍යානය පඤ්චාඞ්ගික වෙයි. ඇවැත්නි, මෙසස්නෙහි පළමු දැහැන් සමවත් මහණහට විතර්‍කය ද, විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තෛකාග්‍රතා ද පවතිත්. ඇවැත්නි, මෙසේ පළමු දැහැන් පඤ්චාඞ්ගික වෙයි.
20. “ඇවැත්නි, පළමු දැහැන් අඞ්ග කෙතෙකින් විප්‍රහීණ වේ ද? අඞ්ග කෙතෙකින් සමන්‍වාගත වේ ද?”
ඇවැත්නි, පළමු දැහැන් පඤ්චාඞ්ග විප්‍රහීණ වෙයි. පඤ්චාඞ්ග සමන්‍වාගත වෙයි. ඇවැත්නි, මෙසස්නෙහි පළමු දැහැන් සමවත් මහණ හට කාමච්ඡන්‍ද ප්‍රහීණ වෙයි. ව්‍යාපාද ප්‍රහීණ වෙයි. ථිනමිද්ධ ප්‍රහීණ වෙයි. උද්ධච්චකුකුච්ච ප්‍රහීණ වෙයි. විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. විතර්‍කය ද විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තෛකාග්‍රතා ද පවතිත්. ඇවැත්නි, මෙසේ පළමු දැහැන් පඤ්චාඞ්ග විප්‍රහීණ වෙයි. පඤ්චාඞ්ගසමන්‍වාගත වෙයි.
21. “ඇවැත්නි, මේ පඤ්චේන්‍ද්‍රියයෝ නානාවිෂය ඇත්තෝ වෙති. නානාගෝචර ඇත්තෝ වෙති. උනුන්ගේ ගෝචරවිෂය වළඳ නො කෙරෙති. ඒ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රියය, කායේන්‍ද්‍රියයි. ඇවැත්නි, විෂය විසින් පෘථග්භූත, ගෝචර විසින් පෘථග්භූත, උනුන්ගේ ගෝචර විෂය වළඳ නොකරන මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ පිළිසරණ කිම? කවරෙක් උන්ගේ ගෝචරවිෂය වළඳ කෙරේ ද?”
ඇවැත්නි, නානාවිෂය වූ, නානාගෝචර වූ, උනුන්ගේ ගෝචරවිෂය වළඳ නොකරන මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි. ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රියය, කායේන්‍ද්‍රියයි. ඇවැත්නි, විෂය විසින් වෙන් ව සිටි, ගෝචර විසින් වෙන් ව සිටි, උනුන්ගේ ගෝචර විෂය වළඳ නොකරන මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ පිළිසරණ ජවන මනස වෙයි. (මනෝද්වාරික හෝ පඤ්චද්වාරික හෝ) ජවනමනස උන්ගේ ගෝචරවිෂය වළඳ කෙරෙයි.
22. “ඇවැත්නි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි. ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය යි. ඇවැත්නි, මෙ පඤ්චේන්‍ද්‍රියයෝ කුමක් නිසා සිටිත් ද?”
ඇවැත්නි, මේ ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙකි ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය යි. ඇවැත්නි, මේ පසිඳුරෝ ආයු නිසා සිටුති.
23. “ඇවැත්නි, ආයු කුමක් නිසා සිටුනේ වේද?”
ආයු උසුම නිසි සිටුනේ වෙයි.
24. “ඇවැත්නි, උස්ම කුමක් නිසා සිටුනේ වේද?”
උස්ම ආයු නිසා සිටුනේ ය.
25. “ඇවැත්නි, අපි දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස් මෙසේ වටහා ගනුම්හ: ‘ආයු උස්ම නිසා සිටුනේය’ යනුයි. ඇවැත්නි තවද අපි දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස මෙසේ වටහා ගනුම්හ: ‘උස්ම ආයු නිසා සිටුනේය’ යනු යි. ඇවැත්නි, කෙබඳු සෙයෙකින් මේ භාෂිතයාගේ අරුත් දත මනා වේ ද?”
ඇවැත්නි, එකරුණින් තොපට උපමාවක් කරමි. උපමායෙනුදු මෙලොව විඥ පුරුෂ කෙනෙක් භාෂිතයාගේ අර්‍ත්‍ථ වටහා ගනිති. ඇවැත්නි, යම් පරිදි දලන තෙල්පහන සිළු නිසා අලූ පැනේ ද, අලූ නිසා සිළු පැනේ ද, ඇවැත්නි, එපරිදි ම ආයු උස්ම නිසා සිටුනේ ය. උස්ම ආයු නිසා සිටුනේ ය.
26. “ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාර වෙද්ද? ඔහු ම වෙදනාධර්‍ම වෙද්ද? නොහොත් අන්හු ආයුසංස්කාර වෙද්ද? අන්හු වෙදනාධර්‍ම වෙද්ද?”
ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාරයෝත්, ඔහු ම වේදනාධර්‍මයෝත් නොවෙති. ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාරයෝත්, ඔහු ම වේදනාධර්‍මයෝත් වූහු නම්, සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන් මහණහුගේ (සමවතින්) නැගීසිටුම නො පැනෙන්නේ ය. ඇවැත්නි, යම්හෙයෙකින් අන්හු ආයුසංස්කාරයෝ වෙද්ද, අන්හු වේදනාධර්‍මයෝ වෙද්ද, එහෙයින්, සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන් මහණහුගේ (සමවතින්) නැගීම පැනේය.
27. “ඇවැත්නි, යම් දිනෙක කෙතෙක් දහම්හු මේ කය හැරැපියද්ද, එසඳ මේ කය හරනාලදු ව බැහැර නෙරනා ලදු ව අචේතන වූ කාෂ්ඨයක් සෙයින් හෝනේ වෙ ද?”
ඇවැත්නි, යම් කලෙක ආයුෂය, උස්මය, විඥානය යන දහම්හු තුන් දෙන මේ කය හැරැපියද්ද, එකල මේ කය හරනාලදු ව බැහැර නෙරනා ලදු ව හෝනේ වෙයි. අචේතන කාෂ්ඨයක් සෙයින.
28. “ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නේ වේ ද, මොවුන්ගේ වෙනස කවරේ ද?”
ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, උහුගේ ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධයහ, නැවතීයහ. විතර්‍කවිචාරයෝ නටහ, නැවැත්හ. සංඥාවේදනාවෝ බුන්හ, නැවැත්හ. ආයු ක්‍ෂීණ විය. උසුම සන්හින. ඉඳුරහු නටහ. යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නේ වේ ද, උහුගේත් කායසංස්කාරයෝ නිරුද්ධයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ. වාක්සංස්කාරයෝත් නිරුද්ධයහ, ප්‍රතිප්‍රශබ්ධයහ. චිත්තසංස්කාරයෝත් නිරුද්ධයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ. ආයු අපරික්‍ෂීණ වෙයි. උස්ම අව්‍යුපශාන්ත වෙයි. ඉන්‍ද්‍රියයෝ විප්‍රසන්න වෙති. ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලුරිය කෙළේ වේ ද, යම් මේ මහණෙක් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නේ වේ ද, මේ උන්ගේ වෙනස යි.
29. “ඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
ඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ සතර දෙනෙක් ඇත: ඇවැත්නි, මේ සස්නෙහි මහණ සුඛය හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් කැලැ ම සොම්නස් දොම්නසුන් හස්ත්‍යට යෑමෙන් අදුඃඛ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති, චතුර්‍ත්‍ථධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, උපේක්‍ෂාචේතෝවිමුක්තියට සමවදනු පිණිස මේ (විගත) ප්‍රත්‍යයෝ සතරදෙනෙක් ඇත.
30. “ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: (රූපාදි) හැම නිමිති නොමෙනෙහි කිරීමය, අනිමිත්තධාතු සඞ්ඛ්‍යාත නිර්‍වාණය මෙනෙහි කිරීමයි. ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තියට සමවදනට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් වෙති.
31. “ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තයගේ ස්ථිතිය පිණිස ප්‍රත්‍යයයෝ කෙතෙන් ඇද්ද?”
ඇවැත්නි, අනිමිත්තචේතෝවිමුක්තයගේ ස්ථිතිය පිණිස ප්‍රත්‍යයයෝ තුන් දෙනෙක් ඇත: (රූපාදි) සර්‍වනිමිත්තයන් නොමෙනෙහි කිරීම ය, නිර්‍වාණධාතු මෙනෙහි කිරීම ය, කැලැ ම අභිසංස්කාරයි. (කාලපරිච්ඡේද කිරීමයි). ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තිස්ථිතිය පිණිස මේ ප්‍රත්‍යයයෝ තුන් දෙනෙක් වෙත්.
32. “ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ (භවාඞ්ග) ව්‍යුත්‍ථානය පිණිස ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ ව්‍යුත්‍ථානය පිණිස ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: හැම නිමිති මෙනෙහි කිරීමය, අනිමිත්තධාතු මෙනෙහි නොකිරීමයි. ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ ව්‍යුත්‍ථානය පිණිස මෙ ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් වෙති.
33. “ඇවැත්නි, යම් මේ අප්‍රමාණා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ශුන්‍යතා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් අනිමිත්තා චේතෝවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් වෙද්ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වෙද්ද? ව්‍යඤ්ජනමාත්‍රය ම වෙනස් වේ ද?”
ඇවැත්නි, යම් මේ අප්‍රමාණා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් ශුන්‍යතා චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් අනිමිත්තා චේතෝවිමුක්තියෙක් ඇද්ද, ඇවැත්නි, යම් නියරක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථත් වෙති, නානාව්‍යඤ්ජනත් වෙති”යි කියහෙද්ද, එබඳු කරුණෙක් ඇත. ඇවැත්නි, සම් කරුණක් ලැබ “මේ දහමහු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසැ”යි කියහෙත් ද, එබඳු කරුණෙක් ද ඇත.
34. ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානා ව්‍යඤ්ජන ද වෙති”යි කියහෙත් ද, ඒ කරුණ කවරේය යත්:
ඇවැත්නි, මෙසස්නෙහි මහණ මෙත්සහගිය සිතින් එක් දිගක් පැහැස (අරමුණු කොට) ගෙන වාස කෙරෙයි. එසෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මසවතායෙන් සර්‍වසත්ත්‍වයන් ඇති ලෝකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, මෛත්‍රීසහගත සිතින් ස්ඵරණ කොට වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොටගෙන වාස කෙරෙයි. එසෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මසමතායෙන් සර්‍වසත්ත්‍වයන් ඇති ලෝකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, උපේක්‍ෂාසහගත සිතින් අරමුණු කොටගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ අප්‍රමාණා චේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
ඇවැත්නි, ආකිඤ්චන්‍යා චේතෝවිමුක්ති කවර යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඥානානන්ත්‍යායතනය ඉක්ම ‘කිසිත් නැති’යි ගෙන ආකිඤ්චන්‍යායතනය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ ආකිඤ්චන්‍යායතනචේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
ඇවැත්නි, ශුන්‍යතා චේතෝවිමුක්ති කවර යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අරණ්‍යගත වූයේ හෝ වෘක්‍ෂමූලගත වූයේ හෝ ශුන්‍යාගාරගත වූයේ හෝ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “ආත්ම ආත්මීය විසින් මේ ශුන්‍ය වේය”යි කියායි. ඇවැත්නි, මෝ ශුන්‍යතා චේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
ඇවැත්නි, අනිමිත්තාචේතෝවිමුක්ති කවර යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ රාගාදි හැමනිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්තචේතෝසමාධිය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ අනිමිත්තාචේතෝවිමුක්ති නමුයි කියනු ලැබේ.
ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානාව්‍යඤ්ජන ද වෙති”යි කියහෙද්ද, මේ ඒ කරුණ වෙයි.
35. ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසි”යි කියහෙද්ද, ඒ කරුණ කවරේ ද?
ඇවැත්නි, රාගය ප්‍රමාණකරණ වෙයි. ද්වේෂය ප්‍රමාණකරණ වෙයි. මෝහය ප්‍රමාණකරණ වෙයි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණ වෙති. උසුන්මුල් වෙති. මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇති වෙති. කළ අභාව ඇති වෙති. මතුයෙහි නූපදනා සැහැවි ඇති වෙති. ඇවැත්නි, යම් පමණ අප්පමාණා චේතෝවිමුත්තීහු ඇද්ද, උන් අතුරින් අකෝප්‍ය (අර්‍හත්ඵල) චේතෝවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසින් ශුන්‍ය වෙයි.
ඇවැත්නි, රාගය කිඤ්චනයෙකි. ද්වේෂය කිඤ්චනයෙකි. මොහොය කිඤ්චනයෙකි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණයහ. උසුන්මුල්හ. තානාවාස්තුකෘතයහ. අභාවකෘතයහ. මතු අනුත්පාදධර්‍මයහ. ඇවැත්නි, යම් පමණ ආකිඤ්චන්‍යා චේතෝවිමුක්තීහු ඇද්ද, ඔවුනතුරින් අකෝප්‍යචේතෝවිමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසිනු ශුන්‍ය වෙයි.
ඇවැත්නි, රාගය නිමිත්තකරණයෙකි. ද්වේෂය නිමිත්තකරණයෙකි. මෝහය නිමිත්තකරණයෙකි. ඔහු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රහීණයහ. උසුන්මුල්හ. තාලාවාස්තුකෘතයහ. අභාවකෘතයහ. මතු අනුත්පාදධර්‍මයහ. ඇවැත්නි, යම් පමණ අනිමිත්තාචේතෝවිමුක්තිහු ඇද්ද, ඔවුනතුරින් අකොප්‍යචෙතොවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකෝප්‍යචේතෝවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වේෂ විසින් ශුන්‍ය වෙයි. මෝහ විසින් ශුන්‍ය වෙයි.
ඇවැත්නි, යම් නියරක් ගෙන “මේ දහම්හු ඒකාර්‍ත්‍ථ වෙති, ව්‍යඤ්ජනමාත්‍ර ම වෙනසි”යි කියහෙද්ද, මේ ඒ නියර වෙයි.
ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවෝ මෙය දෙසූහු. (සොම්නසින්) ගත් සිත් ඇති ආයුෂ්මත් මහාකොට්ඨිත මහතෙරහු ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දන කළහ.
මහාවේදල්ලසූත්‍රය තුන්වැනීයි.
1. 5. 4.
චූළවේදල්ල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර (ලෙහෙනුනට නිම දුනුයෙන්) කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි විසාඛ උවසු ධම්මදින්නා මෙහෙණ කරා එළඹිණ. එළඹ ධම්මදින්නා මෙහෙණ ඇදුරු කොට වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් විසාඛ උපාසක ධම්මදින්නා මෙහෙණට (සක්කායෝ - ආදි) තෙලබස් කී:
1. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය, සත්කාය’ යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ විසින් කවර දහමෙක් ‘සත්කාය’ යි වදාරන ලද්දේ ද?
ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයනට ප්‍රත්‍යය වූ ස්කන්‍ධ පස ‘සත්කාය’යි වදාරන ලද්දේය. හෙ කෙසේය යත්: රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධයි. ඇවැත විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පඤ්චෝපාදානස්කන්‍ධ ‘සත්කාය’ යි වදාරන ලදී.
2. විසාඛ උපාසක ‘ආර්‍ය්‍යාවෙනි, බුණුසේ මැනැව’යි ධම්මදින්නා මෙහෙණගේ බසට තුටු ව, අනුමෝදන් ව, ධම්මදින්නා මෙහෙණ මතුයෙහි (ආපුච්ඡා විසින්) පැන පිළිවිත්: ආර්‍ය්‍යාවෙනි, ‘සත්කාය සමුදය, සත්කාය සමුදය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය සමුදය’යි වදාරන ලද්දේ ද?
ඇවැත විශාඛයෙනි, පුනර්‍භවය පිණිස වැටෙන, නන්‍දිරාගසහගත, ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් මේ තෘෂ්ණා ඇද්ද, ඕ කවර යත්: කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය, විභවතෘෂ්ණායි. ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තෘෂ්ණා ‘සත්කාය සමුදය’ විසින් වදාරන ලදු.
3. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරෝධය, සත්කායනිරෝධය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් දහමෙක් ‘සත්කාය නිරෝධය’යි වදාරන ලද්දේ ද?
ඇවැත, විශාඛයෙනි, එම තෘෂ්ණාවගේ යම් අශේෂවිරාගනිරෝධයෙක් ත්‍යාගයෙක් ප්‍රතිනිස්සර්‍ගයෙක් විමුක්තියෙක් අනාලයෙක් ඇද්ද, ඇවැත විශාඛයෙනි, තෘෂ්ණාවගේ මේ අශේෂවිරාගනිරෝධය ‘සත්කාය නිරෝධය’ යි භාග්‍යවතුන්වහන්සේ විසින් වදාරන ලදී.
4. ආර්‍ය්‍යාවෙනි, ‘සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාය, සත්කායනිරෝධගාමිනී ප්‍රතිපදාය’ යි කියනු ලැබේ. ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කිනම් ප්‍රතිපදා ‘සත්කාය නිරොධගාමිනීප්‍රතිපදාය’යි වදාරන ලදු ද?
ඇවැත විශාඛයෙනි, භාග්‍යවතුන්වහන්සේ විසින් මේ අරීඅටඟිමඟ ම ‘සත්කාය නිරෝධගාමිනීප්‍රතිපදා’ යයි වදාරනලදු. හෙ කෙසේය යත්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වාචාය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධියි.
5. ආර්‍ය්‍යාවෙනි, ඒ උපාදාන හා ඒ පඤ්චෝපාදානස්කන්‍ධ හා එක් ම වේ ද? නොහොත් පඤ්චෝපාදානස්කන්‍ධ පියා උපාදාන අනෙකෙක් වේ ද?
ඇවැත විශාඛයෙනි, ඒ උපාදාන හා ඒ පඤ්චෝපාදානස්කන්‍ධ එකෙක් ම නොවේ. පඤ්චෝපාදානස්කන්‍ධ පියා උපාදාන නො ද අනෙකෙක් වෙයි. පඤ්චෝපාදානස්කන්‍ධ කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන නම් වෙයි.
6. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති වේ ද?
ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් නොදක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව අකෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදි) සත්පුරුෂයන් නොදක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ අකෝවිද, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන ශුද්ධරූපය ආත්මවශයෙන් (අද්වය කොට) දක්නේ ය. අරූප ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා රූපයා කෙරෙහි එළවා හෝ (දෘෂ්ටිදර්‍ශනයෙන්) දක්නේය. වේදනා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා වේදනා කෙරෙහි එළවා හෝ දක්නේය. සංඥා ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංඥා කෙරෙහි එළවා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා සංස්කාර කෙරෙහි එළවා හෝ දක්නේය. විඥාන ආත්ම වශයෙන් දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥාන ආත්මයා කෙරෙහි එළවා හෝ, ආත්මයා විඥාන කෙරෙහි එළවා හෝ දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි ඇති වෙතියි කියු.
7. ආර්‍ය්‍යාවෙනි, කෙසේ නම් සත්කායදෘෂ්ටි ඇති නොවේ ද?
ඇවැත විශාඛයෙනි, මෙ ලොව ආර්‍ය්‍යයන් දක්නා සුලු, ආර්‍ය්‍යධර්‍මය පිළිබඳව කෝවිද, ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මය පිළිබඳ ව කෝවිද, සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපය ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා රූපවත් කොට හෝ, රූපය ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය රූපයෙහි පිහිටියේය යි හෝ, නො දක්නේ ය. වේදනා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා වේදනාවත් කොට හෝ වේදනා ආත්මයෙහි පිහිටියේය යි හෝ, ආත්මය වේදනායෙහි පිහිටියේය යි හෝ නොදක්නේය. සංඥා ආත්ම වශයෙන් නො දක්නේ ය. ආත්මයා සංඥාවත් කොට හෝ, සංඥා ආත්මයෙහි පිහිටියායි හෝ, ආත්මය සංඥායෙහි පිහිටියේය යි හෝ, නො දක්නේය. සංස්කාර ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ, සංස්කාර ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මය සංස්කාරයෙහි පිහිටියේ ය යි හෝ, නො දක්නේය. විඥාන ආත්මවශයෙන් නො දක්නේ ය. ආත්මයා විඥානවත් කොට හෝ, විඥානය ආත්මයෙහි පිහිටියේ ය යි හෝ, ආත්මයා විඥානයෙහි පිහිටියේ ය යි හෝ නො දක්නේය. ඇවැත විශාඛයෙනි,මෙසෙයින් සත්කාය දෘෂ්ටි නොවෙතියි කියු.
8. ආර්‍ය්‍යාවෙනි, අරීඅටඟිමඟ කවරේ ද?
ඇවැත විශාඛයෙනි, මේ ම අරීඅටඟිමඟ වෙයි. හෙ කෙසේය යත්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සඞ්කල්පය, සම්‍යග්වාචාය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධියි.
9. ආර්‍ය්‍යාවෙනි, අරීඅටඟිමඟ කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වේ ද?
ඇවැත විශාඛයෙනි, අරීඅටඟිමඟ කිසි ප්‍රත්‍යයෙකින් කරන ලද වෙයි.
10. ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය විසින් ත්‍රිවිධස්කන්‍ධයෝ සංග්‍රහ කොට ගන්නා ලද්දාහු ද? නොහොත් ත්‍රිවිධස්කන්‍ධයෝ විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය සංග්‍රහ කොට ගන්නා ලද්දේ ද?
ඇවැත විශාඛයෙනි, ආර්‍ය්‍යාඅෂ්ටාඞ්ගිකමාර්‍ගය විසින් ත්‍රිවිධස්කන්‍ධයෝ සඞ්ගෘහීත නො වෙති. ඇවැත විශාඛයෙනි, ත්‍රිවිධස්කන්‍ධ විසින් ආර්‍ය්‍යාඅෂ්ටාඞ්ගිකමාර්‍ගය සඞ්ගෘහීත වෙයි. ඇවැත විශාඛයෙනි, යම් සම්‍යග්වාචයෙක් ඇද්ද, යම් සම්‍යක් කර්‍මාන්තයෙක් ඇද්ද, යම් සම්‍යගාජීවයෙක් ඇද්ද, මේ දහම්හු ශීලස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙයි. යම් සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද, යම් සම්‍යක් ස්මෘතියෙක් ඇද්ද, යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද, මේ දහම්හු සමාධිස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙති. යම් සම්‍යග්දෘෂ්ටියෙක් ඇද්ද, යම් සම්‍යක්සඞ්කලපයෙක් ඇද්ද, මේ දහම්හු ප්‍රඥාස්කන්‍ධය විසින් සඞ්ගෘහීත වෙතියි කියු.
11. ආර්‍ය්‍යාවෙනි, සමාධි කවරේ ය? සමාධිනිමිතතයෝ කවරහු ය? සමාධිපරිෂ්කාරයෝ කවරහු ය? සමාධිභාවනා කවර?
ඇවැත විශාඛයෙනි, යම් චිත‍්තෛකාග්‍රතායෙක් ඇද්ද, මේ ය සමාධිනම්. සතරසීවටන්හු සමාධිනිමිති වෙති. සතර සම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යයෝ සමාධිපරිෂ්කාර වෙති. එම දහමුන් පිළිබඳ යම් ආසේවනායෙක් භාවනායෙක් බිහිලිකමෙක් ඇද්ද, මේය එහි සමාධි භාවනා නම්.
12. ආර්‍ය්‍යාවෙනි, සංස්කාරයෝ කෙතෙක් ඇද්ද?
ඇවැත විශාඛයෙනි, සංස්කාරයෝ මොහු තුන් දෙනෙකි. කායසංස්කාරය, වාක්සංස්කාරය, චිත්තසංස්කාරයි.