Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 1701-1800 න් 6387

මහණෙනි, යම්සේ පුරුෂයෙක් සුදුවස්ත්‍රයෙකින් හිසවසා පෙරෙව හුන්නේ වේ ද, ඔහුගේ හැමකය කිසිදු තැනෙක් හෙළවතින් නොපහළේ නො වේ ද, මහණෙනි, එපරිදිම මහණ මෙම කය පර්‍ය්‍යවදාත පරිශුද්ධ චිත්තයෙන් එරණය කොට හුන්නේ වෙයි. තෙල මහණහුගේ හැමකය කිසිදු තැනෙක් පර්‍ය්‍යවදාත පරිශුද්ධ චිත්තයා විසින් නො පහළේ නො වෙයි.
33. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිශුද්ධ ව, (ප්‍රභාස්වර විසින්) පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභුත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චලප්‍රාප්ත ව පිහිටත් ම, පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. ඒ කෙසේය යත්: ජාති එකකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පසකුදු, ජාති දසයකුදු, ජාති විස්සකුදු, ජාති තිසකුදු, ජාති සතළිසකුදු, ජාති පනසකුදු, ජාති සියකුදු, ජාති දහසකුදු, ජාති සියක්දහසකුදු, නොඑක් සංවර්‍තකල්පයනුදු, නො එක් විවර්‍තකල්පයනුදු, නොඑක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු - “අසෝ තැනැ මෙබඳුනම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු වර්‍ණ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිදු මෙබඳු නම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු වර්‍ණ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව මෙහි උපනිමි” කියායි. මෙසේ සාකාර, සොද්දෙස, අනේකප්‍රකාර, පූර්වේනිවාසය සිහි කෙරෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂ සියගමින් අන්ගමකට යන්නේ වේ ද, එගමිනුදු අන්ගමකට යන්නේ වේ ද, හේ එගමින් සියගමට ම වටාලා එන්නේ වේ ද, ඔහුට මෙබඳු සිත් වන්නේය: “මම වනාහි සියගමින් අසෝ ගමට ගියෙමි. එහි දී මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගතිමි, මෙලෙස බිණිමි, මෙලෙස නිහඬ වීමි. මම එගමිනුදු අසෝගමට ගියෙමි. එහිදීත් මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගතිමි, මෙලෙස නිහඬවීමි. මම එගමින් සියගමටව වටාලා ආයෙමි” යි. මහණෙනි, එපරිදි මහණ අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙයි: ඒ කෙසේය යත්: ජාති එකකුදු, ජාතිදෙකකුදු ... මෙසේ සාකාර, සොද්දෙස, අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙයි.
34. ඒ මහණ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ ව, පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභූත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චලප්‍රාප්ත ව පිහිටත් ම, සත්ත්‍වයන්ගේ ච්‍යුති - උපපාතඥානය පිණිස සිත නතු කෙරෙයි හේ පිරිසිදු, මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් මියන උපදනා හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සතුන් දක්නේය. සුගත, දුර්‍ගත, සතුන් දක්නේය. යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේය.
“මේ භවත් සත්ත්‍වයෝ එකැතින් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ. (බුද්ධාදි) ආර්‍ය්‍යයනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටිකයහ, මිථ්‍යාදෘෂ්ටිකකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපෙන් පහ ව සිටි, දුර්‍ගතික වූ, විනිපාත වූ, නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනඃසුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද නොකරනුවහ, සම්‍යග්දෘෂ්ටිකයහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි කියායි. මෙසෙයින් විශුද්ධ වූ, මිනිසැස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හීන, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සතුන් දක්නේය. යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේය. මහණෙනි, යම්සේ සහදොර දෙගෙකෙක් ඇත් ද, එහි ඇස් ඇතී පුරුෂයෙක් ගෙමැද සිටියේ, ගෙට වදනාවූත්, බැසයන්නාවූත්, ඔබමොබ සක්මන් කරන්නාවූත්, ගෙන් ගෙට වදනාවූත් මිනිසුන් දක්නේ වේ ද, මහණෙනි, එ සෙයින් ම මහණ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හින, ප්‍රණීත, සුවර්‍ණ, දුර්වර්‍ණ, සුගත, දුර්‍ගත, සත්ත්‍වයන් දක්නේය. යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේය. ...
35. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිශුද්ධ ව, පර්‍ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතෝපක්ලේශ ව, මෘදුභූත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චල ප්‍රාප්ත ව පවතුත් ම, ආස්‍රව ක්‍ෂයඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුකයි’ යථාභූතය දන්නේ ය. ‘මේ දුඃඛසමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපති’යි යථාභූතය දන්නේය. ‘මුහු ආස්‍රවයහ’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධය’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. මෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්ත කල්හි ‘විමුක්තයෙමි’ යි ඥාන වෙයි. ජාති ක්‍ෂීණය සසුන්බ්‍රම්සරවස් හා මඟබ්‍රම්සරවස් වසන ලදී. (සතර මගින් කළ යුතු සොළසවිධ) කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමියි දන්නේය. මහණෙනි, යම්සේ පර්‍වතමුදුනෙක විමල්, වෙසෙසින් පහන්, නොකැලැත් දියවිලෙක් වේ ද, එවිල්තෙර සිටි ඇස් ඇති පුරුෂයෙක් ඇවිදුනා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනුදු මස්ගළදු, සිටුනා කැට හා කැබිලිති දු දක්නේ වේ ද, ඔහුට මෙබඳු සිතෙක් වෙසි: ‘මේ දියවිල නිර්‍මල වෙයි, විප්‍රසන්නවෙයි, කදිම රහිත වෙයි. මේ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලෝ ද, මස්රැළහු ද හැසිරෙන්නාහුදු සිටුනාහුදු වෙති. කැට හා කැබිලිත්තෝ ද සිටුනාහු වෙති’යි කියායි. ‘මහණෙනි, එසෙයින්ම මහණ ‘මේ දුකැ’ යි යථාභූතය දන්නේය. ‘මේ දුඃඛසමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ දුඃඛනිරෝධය’යි යථාභූතය දන්නේය, මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ ආස්‍රවනිරෝධය’යි යථාභූතය දන්නේය, ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද්ය’යි යථාභූතය දන්නේය.
මෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්තවත් ම ‘විමුක්තයෙමි’ යි ඥාන වෙයි. ‘ජාතිය ක්‍ෂීණය. බ්‍රම්සරවස් වැස නිමවන ලදී. කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමී’ දන්නේය.
36. මහණෙනි, මේ මහණ (සන්හුන් ඇති බැවින්) ශ්‍රමණයහයි ද) (බැහැර ලූ පාප ඇති බැවින්) බ්‍රාහ්මණයහයි ද, (ධෞතක්ලේශ ඇති බැවින් නහාතකය හයිද, (චතුර්මාර්‍ගඥානවේදයෙන් ලමුදම් දත් වන බැවින්) වේදගූ හයිද, (පැහූකෙලෙස් ඇති බැවින්) සොත්තියහයි ද, (කෙලෙසුන් දුරුකළ බැවින්) අරියහයි ද, රහත්හයි ද කියනු ලැබේ.
37. මහණෙනි, කෙසේ මහණ ‘සමණ’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන ලමු අකුසල් දහම්හු සමිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘සමණ’ නම් වෙයි.
38. මහණෙනි, කෙසේ මහණ ‘බ්‍රාහ්මණ’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු බාහිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘බ්‍රාහ්මණ’ නම් වෙයි.
39. මහණෙනි, කෙසේ මහණ ‘නහාතක’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමුඅකුසල් දහම්හු දෝනාලදහු වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘නහාතක’ නම් වෙයි.
40. මහණෙනි, කෙසේ මහණ වේදගූ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල්හු විදිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘වේදගූ’ නම් වෙයි.
41. මහණෙනි, කෙසේ මහණ ‘සොත්තිය’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු නිඃසෘත (හරණලද) වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘සොත්තිය’ නම් වෙයි.
42. මහණෙනි, කෙසේ මහණ ‘අරිය’ නම් වේ ද යත්: මොහු පිළිබඳ සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දූරිභූත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘අරිය’ නම් වෙයි.
43. මහණෙනි, කෙසේ මහණ ‘අරහන්ත’ නම් වේ ද යත්: මොහු පිළිබඳ සිත කෙලෙසන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාරමණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දුරීභූත වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘අරහන්ත’ නම් වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙ මහාඅස්සපුරසූත්‍රය දෙසූහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අභිනන්‍දන කළෝ.
මහාඅස්සපුර සූත්‍රය නවවැනියි.
1. 4. 10.
චූළඅස්සපුර සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්හි අඟුරට වැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණුන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, මහදෙනේ ‘ශ්‍රමණයහ, ශ්‍රමණයහ’යි තොප හඳුනාගනී. තෙපිදු ‘තෙපි කවරව’යි පුළුවුස්නා ලදුව ‘ශ්‍රමණයම්හ’යි පිළින කරන්නාව. මහණෙනි, මෙබඳු ශ්‍රමණසංඥා ලත්, මෙබඳු ශ්‍රමණ ප්‍රතිඥා කරන, ඒ තොප විසින් “යම් මහණුනට නිසි අනුලොම් පිළිවෙත් ඇද්ද, එ පිළිවෙත් පිළිපදුම්හ. මෙසේ පිළිපදුත් ම, අපගේ මේ ශ්‍රමණසංඥාත් සත්‍ය වෙයි, ප්‍රතිඥාත් යථාර්‍ත්‍ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳකරමෝ නම්, අප කෙරෙහි කරන උන්ගේ ඒ සත්කාරයෝ මහත්ඵල මහානෘශංස වෙතී. අපගේ ද මේ පැවිද්ද අවන්‍ධ්‍ය වෙයි, සඵල වෙයි, වෘද්ධි සහිත වේ”ය යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේය.
3. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත නො පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලෝභබහුල යම්කිසි මහණකුට ඒ දළලෝබ නොපුහුන් වේ ද, ව්‍යාපන්න සිතැති මහණකුට ඒ ව්‍යාපාද නොපුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්‍රෝධ නොපුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බද්ධවෛර නොපුහුන් වේ ද, මකුගුණ ඇති මහණකුට ඒ මකුසැහැවි නොපුහුන් වේ ද, (යුගග්‍රාහ ලක්‍ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස ප්‍රහීණ නො වේ ද, ඊර්‍ෂ්‍යා ඇති මහණකුට ඒ ඊර්‍ෂ්‍යා ප්‍රහීණ නො වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරු බව ප්‍රහීණ නො වේ ද, ශඨ වූ මහණකුට ඒ සට බව ප්‍රහීණ නො වේ ද, මායා ඇති මහණකුට ඒ මායා ප්‍රහීණ නො වේ ද, පාපඉච්ඡා ඇති මහණකුට ඒ පාපේච්ඡා ප්‍රහීණ නො වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු ප්‍රහීණ නො වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවා දුකට කරුණු වන, මේ මහණමල, මහණදොස්, මහණකසළ ප්‍රහීණ නො කිරීමෙන් සමණසාමිචිපටිපදා නො පිළිපන්හ’යි මම කියමි. මහණෙනි, යම්සේ දෙපස මුවාත් ඇති, දියපී, නහස්නා පහණ (උරගල) ගා තියුණුකළ මටජ නම් ආයුධ ජාතයෙක් වේද, එද සඟළින් පොරෝනා ලදුයේ, (කොපුවෙහි බහන ලදුයේ) මැනැවින් වෙළෙනා ලදුයේ වේ ද, මහණෙනි, මම මේ මහණහුගේ පැවිද්ද එබඳු කොට කියමි.
4. මහණෙනි, මම සඞ්ඝාටිධාරණය සිල්කොට ඇතියහුගේ සඞ්ඝාටිධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අචේලකයාගේ බහාලුපිළී ඇතිමතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම රජෝජල්ල ධාරණය සිල් කොට ඇතියහුගේ රජස්දැලි ධැරීම් මාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම දවස තුන්යලක් උදකාවගාහය (දියෙහි බැසීම) සිල් කොට ඇතියහුගේ උදකාවගාහමාත්‍රයෙන් මඟඵල නො වදාරමි. මහණෙනි, මම වෘක්‍ෂමූලවාසය සිල් කොට ඇතියහුගේ වෘක්‍ෂමූලවාසමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අභ්‍යවකාශවාසය සිල්කොට ඇතියහුගේ අභ්‍යවකාශවාසිකමාත්‍රයෙන් මඟඵල නොකියමි. මහණෙනි, මම උඩුකුරුව සිටිනු සිල් කොට ඇතියහුගේ උඩුකුරුව සිටීම්මතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම (මාසයෙකින් වේවයි, අඩමසෙකින් වේවයි වාරවශයෙන් බුදින) පර්‍ය්‍යායභක්තභෝජනය සිල් කොට ඇතියහුගේ පර්‍ය්‍යායභක්ත භෝජනශීලමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම වෙදමන්ත්‍රහදාරන්නහුගේ මතුරුහදාරනු මතුයෙන් මඟ ඵල නොවදාරමි. මහණෙනි, මම ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
5. මහණෙනි, ඉදින් සඞ්ඝාටි ධරණ අභිධ්‍යාබහුලයාගේ අභිධ්‍යාව සඞ්ඝාටිධාරණමාත්‍රයෙන් පහ ව යේ නම්, ව්‍යාපන්න චිත්ත පුද්ගලයාගේ ව්‍යාපාදය පහ ව යේ නම්, කෝධශීලීහුගේ ක්‍රෝධය පහ ව යේ නම්, උපනාහී පුද්ගලයාගේ උපනාහය පහ ව යේ නම්, ම්‍රක්‍ෂීපුද්ගලයාගේ මුක්‍ෂය පහ ව යේ නම්, පළාසිපුද්ගලයාගේ පළාසය පහ ව යේ නම්, ඉස්සුකී පුද්ගලයාගේ ඊර්‍ෂ්‍යාව පහ ව යේ නම්, මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, සඨපුද්ගලාගේ සඨබව පහ ව යේ නම්, මායා ඇතියහුගේ මායාව පහ ව යේ නම්, පාපේච්ඡයාගේ පාපේච්ඡා පහ ව යේ නම්, මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිථ්‍යාදෘෂ්ටි පහ ව යේ නම්, මිත්‍රාමාත්‍යයෝ ද නෑසහලේනෑයෝ ද ජාතමාත්‍ර වූ ම (උපන්දා උපන්වන ම සිටි) තුලුන් සඞ්ඝාටික කරන්නාහ’ සාඞ්ඝාටිකත්‍වය ම සමාදන්කරවන්නාහ. කෙසේය යත්: “භද්‍රමුඛය, තො එ. සාඞ්ඝාටික ව. සඞ්ඝාටික වූ අභිධ්‍යා බහුල තාගේ සඞ්ඝාටිධාරණ මාත්‍රයෙන් අභිධ්‍යා පහව යෙයි. ව්‍යාපන්නචිත්ත වූ තාගේ ව්‍යාපාද පහව යෙයි. ක්‍රෝධඇති තාගේ ක්‍රෝධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්‍රක්‍ෂි වූ තාගේ මුක්‍ෂය පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්‍ෂ්‍යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්‍ය්‍ය පහ ව යෙයි. සඨ වූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහ ව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපේච්ඡා පහව යෙයි. මිච්ඡාදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි’ කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව සඞ්ඝාටික වූත් කිසිවකු අභිධ්‍යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්‍යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් සඞ්ඝාටිකයාගේ සඞ්ඝාටිධාරණ මාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
6. මහණෙනි, ඉදින් අචේලක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් රජෝජල්ලික අභිධ්‍යා බහුලයාගේ ... මහණෙනි, ඉදින් උදකාවගාහක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් රුක්ඛමූලික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් අබ්භෝකාසික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් උබ්භට්ඨක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් පරියායභත්තික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් මන්තජ්ඣායක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් ජටිලක අභිධ්‍යාබහුලයාගේ ජටාධාරණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යේ නම්, (ජටිලකවූ) ව්‍යාපන්න සිත් ඇතියහුගේ ව්‍යාපාද පහ ව යේ නම්, (ජටිලක වූ) ක්‍රෝධ ඇතියහුගේ ක්‍රෝධය පහ ව යේ නම්, (ජටිලක වූ) බද්ධවෛර ඇතියහුගේ බද්ධවෛරය පහ ව යේ නම්, (ජටිලක වූ) ම්‍රක්‍ෂ ඇතියහුගේ ම්‍රක්‍ෂය පහ ව යේ නම්, (ජටිලක වූ) යුගග්‍රාහ ලක්‍ෂණපළාස ඇතියහුගේ පළාසය පහ ව යේ නම්, (ජටිලක වූ) ඊර්‍ෂ්‍යා ඇතියහුගේ ඊර්‍ෂ්‍යා පහ ව යේ නම්, (ජටිලක වූ) මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, (ජටිලක වූ) සඨයාගේ සඨබව පහ ව යේ නම්, (ජටිලක වූ) මායාවීහුගේ මායා පහ ව යේ නම්, (ජටිලක වූ) පාපේච්ඡයාගේ පාපේච්ඡා පහ ව යේ නම්, (ජටිලක වූ) මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිසදිටු පහ ව යේ නම්, මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑයෝ ජාතමාත්‍ර වූ ම තුලුන් ජටිලක කරන්නාහ. ජටිලක බව ම සමාදන් කරවන්නාහ. කෙසේ ය යත්: “භද්‍ර මුඛය, තෝ එව ජටිලක ව ජටිලක වූ අභිධ්‍යාබහුල තාගේ ජටාධාරණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යෙයි. ව්‍යාපන්නචිත්ත වූ තාගේ ව්‍යාපාද පහ ව යෙයි. ක්‍රොධන වූ තාගේ ක්‍රෝධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්‍රක්‍ෂි වූ තාගේ ම්‍රක්‍ෂ පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්‍ෂ්‍යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්‍ය්‍ය පහව යෙයි. සඨවූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපේච්ඡා පහ ව යෙයි. මිච්ඡාදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි” කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව ජටිලකවූත් කිසිවකු අභිධ්‍යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්‍යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි.
7. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලොබබිහිලි යම්කිසි මහණකුට ඒ දළලෝබ, පුහුන් වේ ද, ව්‍යාපන්න සිතැති මහණකුට ඒ ව්‍යාපාද පුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්‍රෝධ පුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බදවෙර පුහුන් වේ ද, මකු මහණකුට ඒ මකුසැහැවි පුහුන් වේ ද, (යුගග්‍රාහලක්‍ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස පුහුන් වේ ද, ඊර්‍ෂ්‍යා ඇති මහණකුට ඒ ඊර්‍ෂ්‍යා පුහුන් වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරුබව පුහුන් වේ ද, ශඨ මහණකුට ඒ සළසෙ පුහුන් වේ ද, මායා ඇති මහණකුට ඒ මායා පුහුන් වේ ද, ලමුරිසි ඇති මහණකුට ඒ ලමුරිසි පුහුන් වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු පුහුන් වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවාදුකට කරුණු වන, මේ මහණමල, මහණ දොස්, මහණ කසළ පුහුන් කිරීමෙන් සමණසාමීචිපටිපදා පිළිපන්හයි මම කියමි.
8. හේ ‘මෙ හැම ලමු අකුසල් දහමින් තමා විශුද්ධයහ’යි දක්නේය. ‘මෙ හැම ලමු අකුසල් දහමින් තමා විශුද්ධයහ’යි දක්නා ඔහුට ප්‍රමෝද උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීති උපදී. ප්‍රීතිසම්ප්‍රයුක්ත පුද්ගලයාගේ නාමකාය සන්හිඳුනේ වේ. සන්හුන්කය ඇතියේ සුඛ විඳුනේ ය. සුඛිතයාගේ සිත සමාධිගත වෙයි.
9. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැතිරැ ගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවනදිග, එසෙයින් සියුවනදිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන සර්‍වාත්මතායෙන් (සියලු සතුන් කෙරෙහි ආත්මසමතායෙන්) සර්‍වසත්ත්‍වවත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, දොම්නස් රහිත වූ මෙත් සහගිය සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කුළුණු සහගිය සිතින් එක්දිගක් පැතිරැගෙන වාස කෙරෙයි එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන ... කුළුණු සහගිය සිතින් පැතිර ගෙන වාස කෙරෙයි. මුදිතාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සර්‍ව සත්ත්‍ව සහිත ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ අවෛර, ව්‍යාබාධරහිත මුදිතාසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. උපේක්‍ෂාසහගත සිතින් එක් දිගත් පැතිරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන සර්‍වාත්මතායෙන් සර්‍ව සත්ත්‍ව සහිත ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, ව්‍යාබාධ රහිත උපේක්‍ෂාසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි.
10. මහණෙනි, යම්සේ පහන්දිය ඇති, මිහිරිදිය ඇති, සිහිල් දිය ඇති, මඩනැති, මනාතොට ඇති, රමණී පොකුණෙක් වේද, පෙරදිගිනුදු ඝර්‍මයෙන් තැවුලිපත්, ඝර්‍මයෙන් පෙළුණ, කලකුළු, තෘෂිත, දියපියැටි පුරුෂයෙක් එන්නේ වේ ද, හෙ එපොකුණ වෙත එළඹ දියපවස දුරුකර ගන්නේ වේ ද, ඝර්‍මපරිදාහ දුරුකරගන්නේ වේ ද, පැසුළුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... උතුරුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... දකුණු දිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... යම් ම දිගෙකිනුදු ඝර්‍මයෙන් තැවුලිපත්, ඝර්‍මයෙන් පෙළුණ, කලකුළු, තෘෂිත, දියපියැටි පුරුෂයෙක් එ පොකුණ කරා එන්නේ වේ ද, හෙ එ පොකුණ කරා අවුදු දියපවස දුරුකරගන්නේ වේ ද, ඝර්‍මපරිදාහ දුරුකරගන්නේ වේ ද -
11. මහණෙනි, එපරිදි ම කැත්කුලිනුදු ගිහිගෙන් නික්ම ඉදින් සස්නට පැමිණියේ වේ නම්, හෙ ද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයට අවුදු මෙසෙයින් මෛත්‍රී කරුණා මුදුතා උපේක්‍ෂා වඩාගෙන සියසතන්හි ව්‍යුපශම ලබයි. සියසතන්හි ව්‍යුපශමයෙන් සමණසාමීචි - ප්‍රතිපදාවට පිළිපන්නේයයි කියමි. ඉදින් බ්‍රාහ්මණකුලයෙනුදු ... ඉදින් වෛශ්‍යකුලයෙනුදු ... ඉදින් ශුද්‍රකුලයෙනුදු ... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, හෙ ද බුදුන් වදහළ දහම්විනයට අවුදු මෙසේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා භවාගෙන සියසතන්හි සන්හිඳුම ලබයි. සියසතන්හි සන්හිඳුමින් සමණසාමීචි - ප්‍රතිපදාවට පිළිපන්නේයයි කියමි.
12. ඉදින් ක්‍ෂත්‍රියකුලයෙනූදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ නම්, හෙ ද ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙයි. ආස්‍රවක්‍ෂයහේතුයෙන් ශ්‍රමණ වෙයි. ඉදින් බ්‍රාහ්මණකුලයෙනුදු ... ඉදින් වෛශ්‍යකුලයෙනුදු ... ඉදින් ශුද්‍රකුලයෙනුදු ... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ නම්, හෙද ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙයි. ආස්‍රවක්‍ෂයහේතුයෙන් ශ්‍රමණ වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභිනන්‍දන කළහ.
චූළඅස්සපුර සූත්‍රය දසවැනියි.
මහායමක වග සතරවැනියි.
ඒ වර්‍ගයාගේ උද්දානය:
(‘එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථ’ යනාදීන් ආරබ්ධ) චූළගොසිඞ්ග සූත්‍රය හා (එකං සමයං භගවා ගොසිඞ්ගසාලවනදායෙ විහරති’ යනාදීන් ආරබ්ධ) මහා ගොසිඞ්හ සූත්‍රය යන සූත්‍ර දෙක ය, (අභබ්බො ගොගණං පරිහරිතුං, යනාදීන් වදාළ) මහාගොපාලක සූත්‍රය, (ඡින්නං පාපිමතො සෙනං’යි ‘පාපිමතො’ යනු සඳහන් ලත්) චූළගොපාලක සූත්‍රය ය, නැවත චූළසච්චක සූත්‍රය හා (අනද තෙරණුවන් විසින් ‘සාධු භන්තෙ භගවා මුහුත්තං නිසීදතු’යි භගවත්හුගේ ගමනනිෂෙධය කළ සෙ සඳහන් වන) මහාසච්චක සූත්‍රය, (පහයෙහි වැනුම් හා මුගලන් තෙරණුවන් විසින් කළ ඉදුහයෙන් එහි සැලුම් ආදිය ද, ‘සක්ක දෙවානමින්‍දං සංවිග්ගං ලොමහට්ඨජාතං’යි ත්‍රස්ත ඉන්‍දයා ද සඳහන් ලත්) චුළතණ්හාසඞ්ඛය සූත්‍රය, (‘සාතිස්ස නාම භික්ඛුනො කෙවට්ටපුත්තස්ස’ යනාදීන් දෘෂ්ටිගතය සඳහන් ලත්) මහාතණ්හාසඞ්ඛය සූත්‍රය ය, මහා අස්සපුර සූත්‍රය ය, (‘තස්මා න ජටිලකස්ස ජටාධාරණ මත්තෙන සාමඤ්ඤං වදාමි’යි ‘ජටිලක’යා පර්‍ය්‍යවසාන කොටතබා මහණුවම් නඟනඟා වදාළ සෙ සඳහන් ලත්) චූළඅස්සපුර සූත්‍රයෙනැ යි මෙසේ මහායමකවර්‍ගය’ නිමියේ යි.
5. චූල යමක වර්‍ගය
1. 5. 1.
සාලෙය්‍යක සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහබික්සඟන හා සමඟ කොසොල් දනවියෙහි (අතුරිතචාරිකා විසින්) සැරිසරනසේක් කොසොල්රැටියන්ගේ සාලා නම් බමුණු ගමට වැඩිසේක.
2. සාලා බමුණුගැමි බමුණු ගැහැවියෝ “භවත්නි, සැහැපුත්, සැහැකුලෙන් පැවිදිපත්, මහණගොයුම්හු මහබික්සඟන හා සමඟ කොසොල් දනව්හි සැරිසරනසේක් සාලාගමට වැඩිසේක්ල. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙබඳු කලණ යසගී පැනැනැඟිණ: ඒ භගවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ. ඒ භගවත්හු දෙවියන් සහිත මරුන් සහිත මෙලොව හා, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමා විසින් දැන පසක් කොට දන්වත් ඒ භගවත්හු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසත්. කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බඹසර පවසත්. එවන් රහතුන් දස්නෙක් වේ නම් මනා මැ නු”යි ඇසූහු මැයි.
3. එසඳ සාලාගම බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු වූහු තුස්නට නිසි සිහිකරන්නට නිසි කථා කොට නිමවා එකත්පස් ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි නම්ගොත් අස්වා එකත්පස් ව හුන්හු. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් සාලාගම බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
4. භවත් ගොයුම් ගොතුව, යම් හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් පහ ව ගිය, නපුරුගති ඇති, විනිවාප වූ, නිරැ වැදැ ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? භවත් ගොයුම්ගොතුව, යම් හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට වැද ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?යි පුළුවුත් හු.
5. ගැහැවියෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි, නපුරුගති ඇති, විනිපාත වූ නිරැ වැදගනිති. ගැහැවියෙනි, ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්‍ගලෝකයට වැද ගනිතියි වදාළහ.
6. “විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ, භවත් ගොයුම්ගොතුවන්ගේ තෙල බස පිළිබඳ ව විස්තර වශයෙන් අර්‍ත්‍ථමාර්‍ගය අපි නො දනුම්හ. භවත් ගොයුමන් විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස ගෙන යම් සැටියෙකින් අපි විස්තර විසින් අර්‍ත්‍ථ දැනැගනුමෝ නම්, භවත් ගෞතමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දහම් දෙසනසේක් නම් මනා මැනු”යි සැළකළහ. “ගැහැවියෙනි, එසේ නම් අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හ”යි වදාළහ. භවත්නි, එසේ යැ යි සල්ගැමි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
7. ගැහැවියෙනි, කායද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි. වාග්ද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා චතුර්විධ වෙයි. මනෝද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
8. ගැහැවියෙනි, කෙසේ කායද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා කරනු වෙයි, කැකුළු වෙයි. ලෙයින් වැකි අත් ඇති වෙයි. මෙරමා කෙටීමෙහි දු මැරීමෙහි දු නිවිෂ්ට වෙයි. ප්‍රාණීන් කෙරෙහි නිදැලි වෙයි. අයිනාදන් කරනුවෙයි. පරා අයත්, එයින්ම පරාසතු පරා තුටු කරන පිරිකරබඩු ගම්හි තැබුවා වේවායි, අරන්හි තැබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැන ස්තෙයසඞ්ඛ්‍යාතයෙන් (සොරසිතින්) ගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර ඇතිවෙයි: මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සස්සාමිකා ය, සපරිදණ්ඩා යයි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මාලාදාමයෙන් විවාහපිණිස පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරි භාවයට පැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කාදොරින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
9. ගැහැවියෙනි, කෙසේ වාග්ද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා චතුර්විධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේව යි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි, “එම්බා පුරුෂය, යමක් දන්හි ද, එ කියා” යි පුළුවුස්නා සඳහා අභිමුඛයට කැඳවනුලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව හේ නොදන්මින් හෝ දන්මි කියයි. දන්මින් හෝ නොදන්මී කියයි, නොදක්මින් හෝ දක්මී කියයි, දක්මින් හෝ නොදක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස්හේතුයෙන් වේවයි, දැන දැන මුසවා බණනු වෙයි. පිසුනුබස් ඇති වෙයි: මෙහි දී අසා මුන් බිඳුනා සඳහා එතැන කියනු වෙයි, එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට කියනු වෙයි. මෙසේ සමඟි දෙයහළු බිඳුනේ හෝ වෙයි, බිඳුණු දෙයහළුවන් වියෝවනු සඳහා අනුබල දෙනු හෝ වෙයි. වර්‍ග ව සිටිනු දක්නා කැමැතියේ, වර්‍ගයෙහි ඇලුම් ඇතියේ, වර්‍ගව සිටුනා දැක තුස්නේ (සමග වූවනුදු බිඳී යනසේ) වර්‍ග කරන බස් බණනු වෙයි. පරුස් බස් ඇති වෙයි: (ගරහනු අවමනු ඈ වදනින්) අඬු ඇති, කැකුළු, පරහට කුළු වූ, (චිත්ත දූෂණ උදාකරන) මෙරමා ඝටන, කෝපයට අසල්ව සිටුනා, සමාධියට හානිකර යම් ම බස් ඇද්ද, එබඳු බස් බණනු වෙයි. ප්‍රලාප ඇති වෙයි: (යුතුකල් පියා) අයතුකල කියනු වෙයි, නොවූ දැය කියනු වෙයි, අර්‍ත්‍ථරහිත දැය කියනු වෙයි, අස්වභාව කියනු වෙයි, සංවරවිනය නොකියනු වෙයි, (හෘදයම ඤ්ජුෂායෙහි) නිදහනට නොනිසි බස් බණනු වෙයි, අකාලයෙහි සූත්‍රාපදේශරහිත කොට පර්‍ය්‍යන්තරහිත කොට අනර්‍ත්‍ථසංහිත කොට බෙණේ. ගැහැවියෙනි, මෙසේ විසිදොරින් අධර්‍මචර්‍ය්‍යාවිෂමචර්‍ය්‍යා චතුර්විධ වෙයි.
10. ගැහැවියෙනි, කෙසේ මනෝද්වාරයෙන් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වේ ය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල වෙයි. පරා අයත් යම් පිරිකර බඩු ඇද්ද, එබඩු (තමනට වුව මැනැව යන) ලොබ සිතින් බලනු වෙයි. “අහෝ, පරාසතු යම් දැයෙක් වේ ද, ඒ මා සතු වේවයි” පතනුයේ වෙයි. විපන්සිත් ඇති වෙයි, ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති වෙයි: “මෙසත්හු ඝාතන ලබත්වයි හෝ, සිඳුනා ලබත්වයි හෝ නසනුලබත්වයි හෝ, නොහොත් නහමක් වෙත්වයි හෝ” කියායි. විපර්‍ය්‍යාසදර්‍ශන ඇති මිසදිටුයෙක් (අකුසලදර්‍ශන ඇතියෙක්) හෝ වෙයි: “දුන් දැය විපාක නැත. යාගවිපාක නැත. අමුතුවනට යුතු කළ දන විපාක නැත. කුශලාකුශල කර්‍මයන්ගේ ඵලවිපාක නැත. (පරලොව සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන ඵල නැතියෙන්) මවු නැත. පියා නැත. (සැව උපදනා සතුන් නැතියෙන්) ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග් ගත, සම්‍යක් ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව නැත” කියායි. ගැහැවියෙනි, මෙසේ මනදොරින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
11. ගැහැවියෙනි, මෙසේ අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් කිසි සත්ත්‍ව කෙනෙක් මෙසෙයින් කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ ව සිටි, නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට වැද ගනිති.
12. ගැහැවියෙනි, කායද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි. වාග්ද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වෙයි. මනෝද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
13. ගැහැවියෙනි, කෙසේ කාදොරින් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා හැරැ පියා පණිවායෙන් දුරුවූයේ වෙයි: බහා ලූ දඬු ඇති ව, බහා ලූ සත් ඇති ව, (පාපජුගුප්සා ලක්‍ෂණ) ලජ්ජා ඇති ව, දයාපන්න ව, සර්‍වසත්ත්‍ව හිතානුකම්පී ව වාස කෙරෙයි. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළකියේ වෙයි: පරා අයත්, එයින් ම පරාසතු, තුටු උපදවන, පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැය ස්තෙයසඞ්ඛ්‍යාත සොරසිතින් නොගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර හැර පියා කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි: මතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරිදණ්ඩා ය යි යම්ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරිත්‍වයට නොපැමිණෙනු වෙයි. ගැහැවියෙනි මෙසේ කායද්වාරයෙන් ධර්‍මාචාර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
14. ගැහැවියෙනි, කෙසේ වාග්ද්වාරයෙන් ධර්‍මාචාර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වේය යත්: ගැවියෙනි, මෙලොව එකෙක් මුසවා හැරැපියා මුසවායෙන් වැළකියේ වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සේනාසමූහයන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි, “එම්බා පුරුෂය, යමක් දන්හි ද, එ කියා”යි පුළුවුස්නා සඳහා අභිමුඛයට කැඳවනලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ නො දන්මි කියයි. දන්මින් හෝ දන්මි කියයි. නොදක්මින් හෝ නොදක්මී කියයි. දක්මින් හෝ දක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස්හේතුයෙන් වේවයි, දැන දැන මුසවා නො බණනු වෙයි. පිසුනු බස් පියා පිසුනු බසින් වැළකියේ වෙයි. මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන නොකියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට නොකියනු වෙයි. මෙසේ බිඳුණු දෙයහළුවන් සන්‍ධාන කරනු හෝ වෙයි. සමගි දෙයහළුවන් සන්‍ධාන සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමග ව සිටිනු දක්නා කැමතියේ, සමගියෙහි ඇලුම් ඇතියේ, සමග ව සිටුනා දැක තුස්නේ, සමග කරන බස් බණනු වෙයි.
පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි. නිදොස්, කනට සුවදා, පෙම් දනවන, ළගන්නා, පුරවැසියනට නිසි, බොහෝදෙනාට පිය වූ, බොහෝදෙනා මනවඩන යම් බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. ප්‍රලාප පියා පලපින් වැළකියේ වෙයි. බුණුව මනා කල් බලා බණනු වෙයි. ඇතිසැටි බණනු වෙයි. අරුතු බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය දහම් බණනු වෙයි. යුතුකල කරුණු සහිත, පිරිසිඳුම් ඇති, අරුත් ඇසිරි කළ ළෙහි නිදහන් කළයුතු බස් බණනු වෙයි. ගැහැවියෙනි, මෙසේ වාග්ද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා චතුර්විධ වෙයි.
15. ගැහැවියෙනි, කෙසේ මනෝද්වාරයෙන් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල නොවෙයි. පරාඅයත් එයින් ම පරාසතු තුටු දනවන, යම් පිරිකර බඩු ඇද්ද, ඒ ලොබසිතින් නොබලනු වෙයි: “පරාසතු යම් දැයෙක් වේද, ඒ මා සතු වේවයි පතනුයේ නොවෙයි. විපන් සිත් ඇති නොවෙයි ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති නොවෙයි”. “මෙ සත්හු අවෛර ව, අව්‍යාබාධ ව, අනීඝ ව, සුඛිතව ආත්ම පරිහරණ කෙරෙත්වා” කියාය. අවිපරීත දර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි: “දුන් දැය විපාක ඇත. යාග විපාක ඇත. අමුතුවනට සකස් කළ දන විපාක ඇත. කුශලාකුශලකර්‍මයන්ගේ ඵලවිපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවු ඇත. පියා ඇත. ඕපපාතික සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් පසක් කොටගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත, සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව ඇත” කියාය. ගැහැවියෙනි, මෙසේ මනදොරින් ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ත්‍රිවිධ වෙයි.
16. ගැහැවියෙනි, මෙසේ ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙලොව මෙසේ කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට වැදගනිති.
17. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම් කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම් “හේ කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල් කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවරහෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල්කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණෙම් නම්, මනා මැනු” යි ... ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු” යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින.
18. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම් “හේ කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි. ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ ... යාම වැසි දෙවියන්ගේ ... තුසී පුර වැසි දෙවියන්ගේ ... නිම්මානරති වැසි දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති වැසි දෙවියන්ගේ ... සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි. කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි පරනිම්මිත වසවත්ති දෙවියන් ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි, එහෙයින.
19. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම්, මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායිකදෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි ආභ දෙවියන්ගේ ... පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... සුභ දෙවියන්ගේ … පරිත්තසුභ දෙවියන්ගේ … අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්නක දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සී දෙවියන්ගේ ... අකනිට්ඨක දෙවියන්ගේ ... ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ ... විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ ... ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය, ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින.
20. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති - ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ” යන තෙල කරුණ සිදුවන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
21. මෙසේ වදාළ කල්හි සල්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ සළහ: භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනවි, භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනවි, භවත් ගොයුම්ගොතුවෙනි, යම් පරිදි යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ වේ ද, මග මුළාපත් යමකුට මග හෝ කියාපානේ වේද, ‘ඇස් ඇතියාහු රූ දක්නාහ’ යි අඳුරුයෙහි තෙල් පහන් ධරන්නේ හෝ වේ ද, එපරිදි ම භවත් ගොයුම් ගොතුවන් විසින් නන්නියරින් දහම් පැවසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ, ධර්‍මය හා බික්සඟන ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද ආදිකොට අප දිවිහිමියෙන් සරණගත උපාසකයන් සේ රුස්නාසේක්වයි සැළ කළහ.
සාලෙය්‍යක සූත්‍රය පළමු වැනියි
1. 5. 2.
වේරඤ්ජක සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරජේතවන’ නම් වූ, අනේ වඩු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල වේරඤ්ජාවැසි බමුණු ගැහැවිහු කිසියම් කරුණින් සැවැත්හි වාස කෙරෙති.
2. වේරඤ්ජාවැසි බමුණුගැහැවිහු “භවත්නි, සැහැපුත්, සැහැකුලෙන් පැවිදිපත්, මහණගොයුම්හු සැවැත් නුවර ‘ජේතවන’ නම් වූ, අනේවඩු මහසිටාණන් අරමෙහි වැඩ වසනසේක්ල. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් ව නැගිණ: ඒ භගවත්හු මෙකරුණිනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ. ඒ භගවත්හු දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත මෙලොව හා, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමාවිසින් දැන, පසක් කොට දන්වති. ඒ භගවත්හු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසති. කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසති එබඳු රහතුන්ගේ දර්‍ශනයෙක් වේ නම් මනා මැනු” යි ඇසූහු මැයි.
3. එක්බිති වේරඤ්ජාවැසි බමුණුගැහැවිහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සම්මෝදනා කළහ. සම්මෝදනයට නිසි, සිහිකරන්නට නිසි කථා කොට නිමවා එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත්පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි නම්ගොත් අස්වා එකත්පස් ව හුන්හු. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් වේරඤ්ජාවැසි බමුණු ගැහැවිහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
4. භවත් ගොයුම්ගොතුව, යම්හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් පහව සිටි, නපුරු ගති ඇති, විනිපාත වූ නිරෑ වැද ගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? භවත් ගොයුම්ගොතුව, යම්හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති, ස්වර්‍ගලෝකයට වැදගනිද්ද, එයට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?යි පුළුවුත්හු.
5. ගැහැවියෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි නපුරුගති ඇති, විනිපාත වූ, නිරයට වැදගනිති. ගැහැවියෙනි, ධර්‍ම චර්‍ය්‍යා සමචර්‍ය්‍යාහේතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති, ස්වර්‍ගලෝකයට වැදැගනිතියි වදාළහ.
6. “භවත් ගොයුම්ගොතුවන් විසින් විස්තර විසින් අර්‍ත්‍ථ විභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස පිළිබඳ විස්තරාර්‍ත්‍ථමාර්‍ගය අපි නො දනුම්හ. භවත් ගොයුමන් විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ තෙල බස ගෙන යම් සැටියෙකින් අපි විස්තර විසින් අර්‍ත්‍ථ දැන ගනුමෝ නම්, භවත් ගෞතමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දහම් දෙසන සේක් නම් මනා මැනු”යි ඔහු සැළකළහ.
7. ගැහැවියෙනි, එකරුණින් අසව, මනා කොට මෙනෙහි කරව, කියම්හ”යි වදාළහ. ‘භවත්නි, එසේ යැ’යි වේරඤ්ජායෙහි වාස කරන බමුණු ගැහැවිහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ.
8. ගැහැවියෙනි, කාදොරින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි. විසිදොරින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වෙයි. මනදොරින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
9. ගැහැවියෙනි, කෙසේ කාදොරින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා කරනු වෙයි: දරුණු වෙයි, ලෙයින් වැකි අතැති වෙයි, මෙරමා කෙටීමෙහිදු මැරීමෙහිදු නිවිෂ්ට වෙයි, ප්‍රාණීන් කෙරෙහි දයාරහිත වෙයි. අයිනාදන් ගනු වෙයි, පරා අයත්, පරාසතු තුටු දනවන පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැන ස්තෙයසඞ්ඛ්‍යාතයෙන් (සොර සිතින්) ගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර ඇති වෙයි: මාතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරිදණ්ඩාය යි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරිත්‍වයට පැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කයින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
10. ගැහැවියෙනි, කෙසේ වචනයෙන් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වේය යත්: ගැහැවියෙනි මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි ‘එම්බා පුරුෂය, යමක් දන්හි ද, ඒ කියා”යි පුළුවුස්නා සඳහා ඉදිරියට කැඳවනුලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ දන්මි කියයි, දන්මින් හෝ නොදන්මී කියයි, නො දක්මින් හෝ දක්මී කියයි, දක්මින් හෝ නොදක්මී කියයි. මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස් හේතුයෙන් වේවයි, දැන දැන මුසවා බණනු වෙයි. පිසුනු බස් ඇති වෙයි: මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන කියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට කියනු වෙයි. මෙසේ සමඟි දෙයහළු බිඳිනු හෝ වෙයි. බිඳුනු දෙයහළුවන් අසන්‍ධාන සඳහා අනුබල දෙනු හෝ වෙයි. වර්‍ග ව සිටිනු දක්නා කැමැතියේ, වර්‍ගයෙහි ඇලුම් ඇතිවේ, වර්‍ග ව සිටුනා දැක තුස්නේ, (සමග වූවනුදු බිඳීයන සේ) වග කරන බස් බණනු වෙයි. පරුස් බස් ඇති වෙයි: (ගරහනු අවමනු ඈ වදනින්) අඬු ඇති, කැකුළු, පරාහට කුළු වූ, (චිත්ත දූෂණ උදා කරන) මෙරමා ඝටන කෝපයට අසල් ව සිටුනා, සමාධියට හානිකර යම් ම බස් ඇද්ද, එබඳු බස් බණනු වෙයි. පල්ප ඇති වෙයි: (යුතුකල් පියා) අයුතු කල කියනු වෙයි. නො වූ දැය කියනු වෙයි. අර්‍ත්‍ථරහිත දැය කියනු වෙයි. අස්වභාව කියනු වෙයි. සංවර විනය නොකියනු වෙයි. (ළෙහි) නිදහනට නොනිසිබස් බණනු වෙයි. අකාලයෙහි සූත්‍රාපදේශ රහිත කොට පර්‍ය්‍යන්ත රහිත කොට අනර්‍ත්‍ථසංහිත කොට බෙණේ. ගැහැවියෙනි, මෙසේ වචනයෙන් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල චතුර්විධ වෙයි.
11. ගැහැවියෙනි, කෙසේ මනසින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යා බහුල වෙයි පරා අයත්, යම් ම තුටු කරන පිරිකර බඩු ඇද්ද, එබඩු (තමනට වුව මැනව යන) ලොබ සිතින් බලනු වෙයි: “යගහ, පරාසතු යම් දැයෙක් වේ ද ඒ මා සතු වෙවා” කියාය.
විපන් සිත් ඇත්තේ ද්වේෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති වෙයි: “මෙ සත්හු ඝාතන ලබත්වයි හෝ, වධ ලබත්වයි හෝ, සිඳුනා ලබත්වයි හෝ, නස්නා ලබත්වයි හෝ, නොහොත් නහමක් වෙත්වයි හෝ”යි කියායි. විපර්‍ය්‍යාස දර්‍ශන ඇති මිසදුටුයෙක් හෝ වෙයි: “දුන් දැන විපාක නැත. යාග විපාක නැත. අමුතුවනට යුතුකළ දන විපාක නැත. කුශලාකුශලකර්‍මයන් ගේ ඵලවිපාක නැත. (පරලොව සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන ඵල නැතියෙන්) මවු නැත, පියා නැත. (සැව උපදනා සතුන් නැතියෙන්) ඕපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පර ලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත්, සම්‍යක් ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව නැත” කියායි. ගැහැවියෙනි, මෙසේ මනසින් අධර්‍මචාරී විෂමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
12. ගැහැවියෙනි, මෙසේ අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් මෙසෙයින් කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ ව සිටි. නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට වැදගනිති.
13. ගැහැවියෙනි, කයින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි. වචනයෙන් ධර්‍මචාරී සමචාරී පුද්ගල චතුර්විධ වෙයි. මනසින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
14. ගැහැවියෙනි, කෙසේ කයින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා හැරපියා පණිවායෙන් දුරුවූයේ වෙයි. බහාතැබූ දඬු ඇති ව, බහා තැබූ සත් ඇති ව, ලජ්ජා ඇති ව, දයාපන්න ව, සර්‍වසත්ත්‍වහිතානු කම්පී ව වාස කෙරෙයි. අයිනාදන් හැරැපියා අයිනාදනින් වැළකියේ වෙයි: පරා අයත්, එයින් ම පරා සතු තුටුදා පිරිකරබඩු ගම්හි තුබුවා වේවයි. අරන්හි තුබුවා වේවයි, ඇද්ද, ඒ නුදුන් දැය ස්තෙය සඞ්ඛ්‍යාතයෙන් නොගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි: මාතුරක්‍ඛිතාය, පිතුරක්‍ඛිතාය, මාතාපිතුරක්‍ඛිතාය, භාතුරක්‍ඛිතාය, භගිනිරක්‍ඛිතාය, ඤාතිරක්‍ඛිතාය, ගොත්තරක්‍ඛිතාය, ධම්මරක්‍ඛිතාය, සස්සාමිකාය, සපරි දණ්ඩායයි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එවන් මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරිත්‍වයට නොපැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කයින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
15. ගැහැවියෙනි, කෙසේ වචනයෙන් ධර්‍මචාරී සමචාරී පුද්ගල චතුර්විධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් මුසවා හැරපියා මුසවායෙන් වැළැකියේ වෙයි: සෙබෙහි සිටියේ වේවයි. ගම්පිරිස්හි සිටියේ වේවායි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි “එම්බා පුරුෂය, යමක් දන්හි ද, ඒ කියා”යි පුළුවුස්නා සඳහා නෙත්තියට කැඳවන ලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ නොදන්මී කියයි. දන්මින් හෝ දන්මි කියයි. නොදක්මින් හෝ නොදක්මී කියයි, දක්මින් හෝ දක්මී කියයි.
මෙසේ ආත්මහේතුයෙන් වේවයි, පරහේතුයෙන් වේවයි, ඇලුප් පමණ අත්ලස් හේතුයෙන් වේවයි, දැන දැන මුසවා නො බණනු වෙයි. පිසුනු බස් පියා පිසුනු බසින් වැළැකියේ වෙයි: මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන නොකියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට නොකියනු වෙයි. මෙසේ බිඳුණු දෙයහළුවන් සන්‍ධාන කරනු හෝ වෙයි. සමඟි දෙයහළුවන් ගළපනු සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමග ව සිටිනු දක්නා කැමැතියේ, සමගියෙහි ඇලුම් ඇතියේ, සමග ව සිටුනා දැක තුස්නේ, සමග කරන බස් බණනු වෙයි. පරුස බස් පියා පරුස් බසින් වැළැකියේ වෙයි: නිදොස්, කනට සුවදා, පෙම් දනවන, ළගන්නා, පුරට නිසි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනා මනවඩන, යම්බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. පලප් පියා පලපින් වැළැකියේ වෙයි: කල් බලා බණනු වෙයි. ඇති දැය බණනු වෙයි. අරුත් බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය බණනු වෙයි. යුතුකල කරුණු සහිත, පිරිසිඳුම් ඇති, අරුත් ඇසිරි කළ, ළෙහි නිදහන් කළ යුතු, බස් බණනු වෙයි. ගැහැවියෙනි, මෙසේ වචනයෙන් ධර්‍මචාරී සමචාරී පුද්ගල චතුරුවිධ වෙයි.
16. ගැහැවියෙනි, කෙසේ මනසින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල නොවෙයි. පරා අයත්, යම් පරාසතු තුටුදා පිරිකරබඩු ඇද්ද, ඒ ලොබසිතින් නොබලනු වෙයි: “අහෝ පරා සතු යම් දැයෙක් වේද, ඒ මාසතු වේවා” කියායි. විපන් සිත් නැත්තේ ද්වේෂයෙන් දුෂ්ට චිත්ත සඞ්කල්ප ඇත්තේ නොවෙයි: ‘මෙසත්හු අවෛර ව, අව්‍යාබාධ ව, අනීඝ ව, සුඛිත ව, ආත්ම පරිහරණ කෙරෙත්වා” කියායි. අවිපරීත දර්‍ශන ඇති සම්‍යක් දෘෂ්ටික වෙයි: “දුන් දැය විපාක ඇත, යාගවිපාක ඇත, අමුතුවනට සකස් කළ දන විපාක ඇත, කුශලාකුශලකර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත, පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඕපපාතික සත්ත්‍වයෝ ඇත, යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත, සම්‍යක් ප්‍රතිපන්න, මහණබමුණෝ ලොව ඇත” කියායි ගැහැවියෙනි, මෙසේ මනසින් ධර්‍මචාරී සමචාරී පුද්ගල ත්‍රිවිධ වෙයි.
17. ගැහැවියෙනි, මෙසේ ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා හේතුයෙන් මෙලොව මෙසෙයින් කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට වැදගනිති.
18. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු” යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල් කුලන්ගේ වේව යි, සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල්කුලන්ගේ වේව යි, සහභාවයට පැමිණෙම් නම් මනා මැනු යි ... ගැහැවිමහසල්කුලන්ගේ වේව යි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
19. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි තවුතිසා වැසි දෙවියන්ගේ ... යාම වැසි දෙවියන්ගේ ... තුසීපුර වැසිදෙවියන්ගේ ... නිම්මානරති වැසි දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති වැසි දෙවියන්ගේ ... බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවරහෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
20. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි ආභදෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ආභදෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... සුභ දෙවියන්ගේ ... පරිත්තසුභ දෙවියන්ගේ ... අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්ණක දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සි දෙවියන්ගේ ... අකනිට්ඨක දෙවියන්ගේ ... ආකාසාඤ්චායතනූපග දෙවියන්ගේ ... විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ ... ආකිඤ්චකඤ්ඤායතනූපග දෙවියන්ගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවරහෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
21. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙම් නම්, මනා මැනු”යි කැමැති වේ නම්, “හේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ” යන තෙල කරුණ සිදු වන්නේය ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.
22. මෙසේ වදාළ කල්හි වේරඤ්ජා වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනැවි. භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනැවි භවත් ගොයුම්ගොතුවෙනි, යම්පරිදි යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ වේද, මඟ මුළාපත් යමකුට මඟ කියා පානේ හෝ වේ ද, එපරිදි ම භවත් ගොයුම්ගොතුවන් විසින් නන්නියරින් දහම් පැවැසිණ තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ. ධර්‍මය හා බික්සඟන ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද ආදි කොට දිවිහිමියෙන් සරණ ගත උපාසකයන් සේ අප රුස්නා සේක්වයි සැළකළහ.
වේරඤ්ජක සූත්‍රය දෙවැනියි.
1. 5. 3.
මහාවේදල්ල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරජේතවන’ නම් වන, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්වරුයෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමඟ සතුටු වූහ. තුස්නට නිසි සිහිකරනුවට නිසි බස් බැණ නිමවා එකත්පස්හි හුන්හු. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණූන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ.
2. “ඇවැත්නි, දුෂ්ප්‍රාඥය, දුෂ්ප්‍රාඥයයි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් දුෂ්ප්‍රාඥය යි කියනු ලැබේ ද?”
‘නොදනියි නොදනියි යනු යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ. කුමක් නොදන්නේය යත්: ‘දුක මේ’ යයි නොදන්නේය. ‘දුඃඛසමුදය මේ’යයි නොදන්නේය, ‘දුඃඛනිරෝධ මේ’යයි නොදන්නේය. ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි නොදන්නේය. ඇවැත්නි, මෙසේ ‘නොදනියි නොදනියි’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ.
3. ඇවැත්නි, මැනැවැ”යි කියා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස අභිනන්‍දන කොට අනුමෝ ව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් මතුයෙහි පැන පුළුවුත්හ:
“ඇවැත්නි, ‘පැනැතිය පැනැතිය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් පැනැතිය’යි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘දනී දනී’ යන යම්හෙතුයෙක් වේද, එහෙයින් පැනැතියහ’යි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘දුක මේ’ යයි දන්නේය, දුඃඛසමුදය මේ’යයි දන්නේය ‘දුඃඛනිරෝධ මේ’යයි දන්නේය, ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දනී දනී’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘පැනැතියහ’යි කියනු ලැබේ.
4. “ඇවැත්නි ‘විඥානය විඥානය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් ‘විඥාන’යයි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘දන්නේය, දන්නේය’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘සුඛවේදනා ය’යි ද දන්නේය. ‘දුඃඛ වේදනා ය’යිද දන්නේය. ‘අදුඃඛාසුඛවේදනා ය’යි ද දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දන්නේය, දන්නේ ය’යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘විඥාන’ය යි කියනු ලැබේ.
5. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු (ඒකෝත්පදාදි ලකුණින්) සංසට්ඨ (මිශ්‍ර) වෙද්ද?. නොහොත් විසංසට්ඨ (අමිශ්‍ර) වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”