Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 1601-1700 න් 6387

14. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි යථාභූතය විවසුන් නුවණින් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යයනිරෝධයෙන් නිරෝධස්වභාව ඇතියි යථාභූතය විවසුන් නුවණින් දුටුයේ වේ ද? වහන්ස, එසේය.
15. මහණෙනි, ඉදින් තෙපි මෙසෙයින් (ස්වභාවදර්‍ශනයෙන්) පරිශුද්ධ, මෙසෙයින් (ප්‍රත්‍යයදර්‍ශනයෙන්) පර්‍ය්‍යවදාත, මේ සම්‍යග්දෘෂ්ටිය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇලීගෙන වසවු නම්, කෙළිකොට ගනිවු නම්, ධනය මෙන් කොට ගනිවු නම්, මමත්‍වය කරවු නම්, මහණෙනි, “නිස්තරණය (සසරින් එතෙරවීම) පිණිස වත් මුත් ග්‍රහණය පිණිස නොවෙති”යි පසුරක් බඳු කොට මවිසින් දහම් දෙසුවා තෙපි පිළිගනිවු ද? වහන්ස, තෙල නොවේ ම ය. මහණෙනි, ඉඳින් තෙපි මෙසෙයින් පරිශුද්ධ, මෙසෙයින් පර්‍ය්‍යවදාත, මේ සම්දිටු ඇලීගෙන නොවසවු නම්, කෙළිකොට නොගනිවු නම්, ධන වැනි කොට නොගනිවු නම්, මහණෙනි, තෙපි “නිස්තරණය පිණිස වත් මුත් (නිකාන්ති විසින්) ගන්නා සඳහා නොවෙති”යි පසුරක් බඳු කොට දහම් දෙසුවා පිළිගන්නහු ද? වහන්ස, එසේය.
16. මහණෙනි, හටගත් සත්ත්‍වයනට ස්ථිති පිණිස හටගන්නා සත්ත්‍වයනට අනුග්‍රහ පිණිස මේ ආහාරයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: කබලිඞ්කාර (පිඩුකොට කෑ යුතු ඖදාරික වූ හෝ සූක්‍ෂ්ම වූ හෝ ආහාරය, දෙවන ඵස්සාහාර ය, තෙවන මනෝසඤ්චේතනාහාර ය, සතරවන විඤ්ඤාණාහාර යි.
17. මහණෙනි, මේ ආහාරයෝ සතරදෙන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? මේ ආහාරයෝ සතරදෙන තෘෂ්ණානිදාන කොට තෘෂ්ණාසමුදය කොට තෘෂ්ණාජාතික කොට තෘෂ්ණාප්‍රභව කොට ඇතියහ.
18. මහණෙනි, මේ තෘෂ්ණා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? තෘෂ්ණා වේදනානිදාන කොට වෙදනාසමුදය කොට වේදනා ජාතික කොට වේදනා ප්‍රභව කොට ඇතිය.
19. මහණෙනි, මේ වේදනා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? වේදනා ස්පර්‍ශනිදාන කොට ස්පර්‍ශසමුදය කොට ස්පර්‍ශජාතික කොට ස්පර්‍ශප්‍රභව කොට ඇති ය.
20. මහණෙනි, මේ ස්පර්‍ශ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ස්පර්‍ශ ෂඩායතනනිදාන කොට ෂඩායතනසමුදය කොට ෂඩායතනජාතික කොට ෂඩායතනප්‍රභව කොට ඇති ය.
21. මහණෙනි, මේ ෂඩායතන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ෂඩායතන නාමරූපනිදාන කොට නාමරූපසමුදය කොට නාමරූපජාතික කොට නාමරූපප්‍රභව කොට ඇතිය.
22. මහණෙනි, මේ නාමරූප කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? නාම රූප විඥානනිදාන කොට විඥානසමුදය කොට විඥානජාතික කොට විඥාන ප්‍රභව කොට ඇතිය.
23. මහණෙනි, මේ විඥාන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? විඥාන සංස්කාර නිදාන කොට සංස්කාරසමුදය කොට සංස්කාරජාතික කොට සංස්කාරප්‍රභව කොට ඇතිය.
24. මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? සංස්කාරයෝ අවිද්‍යානිදාන කොට අවිද්‍යාසමුදය කොට අවිද්‍යාජාතික කොට අවිද්‍යාප්‍රභව කොට ඇතියහ.
25. මහණෙනි, මෙසෙයින් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය, විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාය, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාය, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය, භවප්‍රත්‍යයෙන් ජාතිය, ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසෙයින් (සත්ත්‍ව පුද්ගල විරහිත) ශුද්ධ දුඃඛපුඤ්ජයාගේ උත්පාදය වෙයි.
26. ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ’ය කියා යි.
27. ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ’ය කියායි.
28. ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ’ය කියා යි.
29. ‘තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ’ය කියායි.
30. ‘වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වේ’ය කියායි.
31. ‘ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ’ය කියායි.
32. ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ වේ’ය කියා යි.
33. ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ’ය කියා යි.
34. ‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානප්‍රත්‍යයයෙන් නාම රූප වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද, වහන්ස, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ’ය කියා යි.
35. ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ’ය කියා යි.
36. ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ’ය කියා යි.
37. මැනව මහණෙනි, මෙසේ මහණෙනි, තෙපිදු මෙසෙයින් කියන්නාව. මම ද මෙසෙයින් වදාරමි: “මෙ දහම් ඇති වත් ම මෙ දහම් වෙයි, මෙ දහම් පහළ වන්නා හා ම මෙ දහම් පහළ වෙයි - කෙසේය යත්: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ ය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන ය, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප ය, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන ය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ ය, ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනා ය, වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා ය, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන ය, උපාදාන ප්‍රත්‍යයයෙන් භව ය, භව ප්‍රත්‍යයයෙන් ජාති ය, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසේ හුදු දුඃඛ රාශිහුගේ සම්භවය වේ”ය කියා යි.
38. අවිද්‍යාවගේ ම විරාග සංඛ්‍යාත මාර්‍ගයෙන් වන අශේෂ නිරෝධ හේතුයෙන් සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධ වෙයි. සංස්කාරයන්ගේ අනුත්පාදයෙන් විඥානයාගේ අනුත්පාදය වෙයි. විඥානයාගේ අනුත්පාදයෙන් නාමරූපයන්ගේ අනුත්පාදය වෙයි. නාමරූපයන්ගේ අනුත්පාදයෙන් ෂඩායතනයන්ගේ අනුත්පාදය වෙයි. ෂඩායතනයන්ගේ අනුත්පාදයෙන් ස්පර්‍ශයාගේ අනුත්පාදය වෙයි. ස්පර්‍ශයාගේ අනුත්පාදයෙන් වේදනාවගේ අනුත්පාදය වෙයි. වේදනාවගේ අනුත්පාදයෙන් තෘෂ්ණාවගේ අනුත්පාදය වෙයි. තෘෂ්ණාවගේ අනුත්පාදයෙන් උපාදානයාගේ අනුත්පාදය වෙයි. උපාදානයාගේ අනුත්පාදයෙන් භවයාගේ අනුත්පාදය වෙයි. භවයාගේ අනුත්පාදයෙන් ජාතියගේ අනුත්පාදය වෙයි. ජාතියගේ අනුත්පාදයෙන් ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරෝධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල දුඃඛ පුඤ්ජයාගේ අනුත්පාද වෙයි.
39. ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදි. මහණෙනි, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති නිරෝධයෙන් ජරාමරණ නිරෝධය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධ වේ’ ය කියා යි.
40. ‘භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භව නිරෝධයෙන් ජාති නිරෝධ වේ ද, නොහොත් නො වෙ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භව නිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවනිරෝධයෙන් ජාතිනිරෝධ වේ’ ය කියා යි.
41. ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වේ’ ය කියා යි.
42. ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වේ’ය කියායි.
43. ‘වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වේ’ය කියාය.
44. ‘ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වේ’ ය කියායි.
45. ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධ වේ’ ය කියායි.
46. ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, නාමරූප නිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ’ ය කියායි.
47. ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේයයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ’ය කියායි.
48. ‘සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය. ‘සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධ වේ’ ය කියායි.
49. ‘අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධ වේ’ ය කියායි.
50. මැනැව මහණෙනි, මෙසෙයින් මහණෙනි, තෙපිදු මෙසේ කියන්නාව. මම ද මෙසේ වදාරමි: මේ දහම් නැතිවත් ම මේ දහම් නො වෙයි. මේ හේතු ධර්‍මයාගේ අනුත්පාදයෙන් මේ ඵලධර්‍ම අනුත්පන්න වෙයි - කෙසේය යත්: අවිද්‍යාවගේ අනුත්පාදනිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වෙයි. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වෙයි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වෙයි. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරෝධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල කේවල දුඃඛ පුඤ්ජයාගේ නිරෝධ වේය යයි.
51. මහණෙනි, කිම, තෙපි මෙසේ (ප්‍රත්‍යය නිසාමය) දන්නාහු මෙසේ දක්නාහු (අතීතස්කන්‍ධාදි) පුර්‍වාන්තයට හෝ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) වටාලා දුවන්නාව? “අපි අතීතයෙහි වූමෝ ද, අතීතයෙහි නො වූමෝ ද, අතීතයෙහි (ජාත්‍යාදීන්) කෙබඳු වූමෝ ද, අතීතයෙහි (සටහන් විසින්) කෙබඳු අයුරු ඇති වූමෝ ද, අපි අතීතයෙහි කෙබඳුව සිට කෙබඳු අයුරු ඇති වූමෝ ද, කියායි. වහන්ස, තෙල නොවන්නේය.
52. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු, අපරාන්තයට හෝ ඉදිරි බලා යන්නාව? “අපි අනාගතයෙහි වන්නමෝ ද, අනාගතයෙහි නො වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු අයුරු ඇති වන්නමෝ ද, අපි අනාගතයෙහි කෙබඳු ව කෙබඳු අයුරු ඇති වන්නමෝ ද” කියායි. වහන්ස, තෙල නොවන්නේය.
53. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු දැන් ප්‍රත්‍යුපන්නකාලයෙහි හෝ තමා කෙරෙහි සැක ඇතියාව? “මම වෙම් දෝ, නො වෙම් දෝ, කෙබඳු වෙම් දෝ, කෙබඳු අයුරු වෙම් දෝ, මේ සත්ත්‍ව කොයින් ආයේ වේ දෝ හෝ, හේ කොහි යන්නේ වේ දෝ” කියායි වහන්ස, තෙල නොවන්නේය.
54. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපට ගුරුවන (නොකැමැති වුව ද අනුවර්තිත වියයුතු වන) ශාස්තෘවරයෝ ය, එයින් ශාස්තෘගෞරවයෙන් අපි මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.
55. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපගේ බුද්ධශ්‍රමණයන් වහන්සේ මෙසේ වදාරති. අපි ඒ ශ්‍රමණවචනයෙනුදු මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.
56. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු අන් බහ්‍යශාස්තෘකෙනෙකු උදෙසන්නාව? තෙල නොවන්නේ ය.
57. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු බොහෝ තීර්‍ත්‍ථකශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන්ගේ යම් ව්‍රතසමාදාන, දිටුකුහුල්, දෘෂ්ටාදිමඞ්ගල ඇත් ද, ඒ සාර විසින් පිළිගන්නාව? වහන්ස, තෙල නො වන්නේය.
58. මහණෙනි, යම් ම දැයෙක් තොප විසින් තමන් නුවණින් දන්නා ලද ද, තමන් පැනැසින් දක්නා ලද ද, තමන් පාළ කොට ගන්නා ලද ද, එය ම තෙපි කියන්නාහු නොවේ ද? වහන්ස, එසේය.
59. මැනැව මහණෙනි. මා විසින් - ඵල දෙනුවට කලතුරක් නැත්තා වූ එව, බලව යන විධිය නිසිවූ, තමා සිතින් එළඹීමට සුදුසු වූ, විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ, තමා විසින් ම දැක්ක යුතු මේ සාන්දෘෂ්ටික ධර්‍මයෙන් තෙපි නිවන් කරා පමුණුවන ලද්දහුය. මහණෙනි, “මේ ධර්‍මය සාන්‍දෘෂ්ටිකය, අකාලිකය, එව, බලව යන විධියට නිසිය, උපනයනාහීය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා” මෙසේ යම් බසෙක් වදාරන ලද ද, තෙල බස (තොපගේ) මේ ස්වයංඥාතාදි භාවය පිණිස කියන ලදී.
60. මහණෙනි, තුන්දෙනෙකුන්ගේ සමවධානයෙන් ගර්‍භාවක්‍රාන්ති (ගබ්ගැනීම) වෙයි. මේ සත්ත්‍වලෝකයෙහි දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, (එතෙකුදු වුව) මව ඔසප් නො වූ ද, ගඳඹෙක් (එහි උපදනා සතෙක්) නො එළඹියේ වේ ද, එතෙක් ගර්‍භාවක්‍රාන්ති නො වන්නේ ය. මෙලොව දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, (එතෙකුදු වුව) ගඳඹෙක් නො එළඹියේ වේද, එතෙකිනුදු ගර්‍භාවක්‍රාන්ති නො ම වෙයි. මහණෙනි, යම් අවස්ථාවෙක දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, ගඳඹෙක් එළඹියේත් වේ ද, මෙසේ තුන් දෙනෙකුන්ගේ සන්නිපාතයෙන් ගර්‍භාවක්‍රාන්ති වෙයි.
61. මහණෙනි, මව ගුරුභාරයක් වන තෙල ගබ නවමසක් හෝ දසමසක් හෝ මහත් (දිටි) සැකෙන් කුසින් උසුලයි. මහණෙනි, මව ගරුබරක් වන තෙල දරු නවමසක්හුගේ හෝ දසමසක්හුගේ ඇවෑමෙන් මහත්සැකෙන් වදයි. උපන් තෙල දරු සිය මවු ලෙහෙයෙන් පුස්නේ වේ. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි දී තෙල ලෙහෙය මවගේ තනකිරි නම් වෙයි.
62. මහණෙනි, ඒ කුමර ඉඳුරන් පිනවන්නට නිසි වැඩිවියට පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකය ලදින් කුමරුන් කෙළෙනා යම් යම් කෙළිබඩු ඇත් ද, එයින් කෙළියි. ඒ කෙළි කෙසේය යත්: කුඩානගුල, දඬුකඩ, (කල්ලි ගැසුම), පිරිවැටුම, බුමුසක, පත්මුවානැළි, කුඩාරිය, කුඩාදුනු යන මේයි.
63. මහණෙනි, ඒ කුමර (ඉඳුරන් පිනවන්නට නිසි) වියපැමිණ මුහුකරාගිය ඉඳුරන් ඇති බවට පැමිණ පස්කම්ගුණෙන් සමර්පිත ව සිය ඉඳුරන් පිනවයි. (කෙසේය?) ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රියරූප, කාමෝපසංහිත, රජනීය, චක්‍ෂුර්විඥේය රූපයෙන් පිනවයි. ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෙන් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙන් ... ජිහ්වාවිඥේය රසයෙන් ... ඉටු වූ කලණවූ මනවඩන පියසැහැවි ඇති, කම්සුව ඇසිරිකළ, සිත්අලවන්නට නිසි කායවිඥේය පහසින් පිනවයි.
64. හේ ඇසින් රූ දැක පියරූප වූ රූපයෙහි සංරාග කෙරෙයි. අප්‍රිය රූප වූ රූපයෙහි ව්‍යාපාද උපදවයි. අකුසල් සිතැති ව නො එළඹ සිටි කාගියාසී ඇති ව ද වාස කෙරෙයි. යම් පල සමවතෙකැ ඒ ලාමක වූ අකුසල්දහම්හු නිරවශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද තත්වූ පරිදි නොදනී. හේ මෙසෙයින් රාගද්වේෂ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි, යම් කිසි වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනා (තෘෂ්ණාවෙන්) අභිනන්‍දනා කෙරෙයි. (අහෝ සුවයෙකියි) බෙණේ. ගැලැගෙන සිටි. ඔහුට ඒ වේදනායෙන් තුස්නාහට, බණනුවාහට, ගැලැගෙන සිටුනාහට තෘෂ්ණා උපදි. වේදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ උපාදාන වෙයි. ඔහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණශෝකපරිදේවදුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ පහළ වෙති. මෙසෙයින් තෙල කේවල දුඃඛපුඤ්ජයාගේ උදාවීම වෙයි. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස විඳ ... මෙනෙන් දහම් දැන ප්‍රිය වූ දහම් අරමුණෙහි ඇලේ. අප්‍රිය ධර්‍මාලම්බනයෙහි විරෝධ කෙරේ. අකුසල් සිතැතිව නො එළඹි කාගියාසී ඇතිව වාස කෙරේ. යම් පලසමවතෙකැ ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තත්වූ පරිදි නො දනී. හේ මෙසෙයින් අනුරොධ විරෝධ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, උපේක්‍ෂා වේවයි, යම්කිසි වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනා අභිනන්‍දන කෙරේ, බෙණේ, ගැලැගෙන සිටී. ඒ වේදනා අභිනන්‍දනා කරන බණන, ගැලැගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. වේදනායෙහි යම් තෘෂ්ණායෙක් ඇත් ද, වේදිතව්‍යයයි. ඒ උපාදාන වෙයි. ඔහුට උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ පහළ වෙත්. මෙසේ තෙල කේවල දුඃඛ පූඤ්ජයාගේ උදාවීම වන්නේ ය.
65. මහණෙනි, මෙලොව අර්‍හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිද් වූ, අනුත්තරපුරුෂදම්‍යසාරථි වූ, දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබෝධ කළා වූ, භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වනසේක. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට දන්වනසේක. උන්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසන සේක. කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට බඹසර පවසන සේක. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා නීචකුලයෙක උපනුවෙක් හෝ ඒ දහම් අසයි. හේ එදහම් අසා තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ ලබයි. ඒ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ මෙනෙහි කෙරේ: “ගෘහවාස සම්බාධය, (රාගාදි විසින්) රජෝමාර්‍ගය, ප්‍රව්‍රජ්‍යා අභ්‍යවකාශය. ගිහිගෙහි වසනුවහු විසින් ඒකාන්තපරිපූර්‍ණ, එකාන්තපරිශුද්ධ, ධෞතශඞ්ඛසදෘශ මේ බඹසර සරන්නට සුකර නො වේ. මම කෙහෙරවුළු බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙම් නම් මනා මැනු යි” කියායි. හේ පසු කලෙක අල්පවූ හෝ භෝගස්කන්‍ධය පියා, මහත් වූ හෝ භෝගස්කන්‍ධය පියා, අල්ප වූ හෝ ඥාතිපරිවර්‍තය පියා, මහත් වූ හෝ ඥාතිපරිවර්‍තය පියා, කෙහෙමස් අපහරණ කොට කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට වදනේය.
66. හේ මෙසේ පැවිදිවූයේ, (අධිශීලසඞ්ඛ්‍යාත) ශික්‍ෂාවට ද (ප්‍රඥප්තශික්‍ෂාපදසඞ්ඛ්‍යත) සාජීවයට ද පැමිණියේ, පණිවා පියා පණිවායෙන් දුරුවූයේ වෙයි. බහාතැබූ දඬු ඇතියේ බහාලූ සැත් ඇතියේ, ලජ්ජිවූයේ, දයාවට පැමිණියේ, සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව වාස කෙරේ. අයිනාදන් පියා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන්දෑ ගන්නේ, දුන්දෑ කැමැතිවනුයේ, නොසොර පිවිතුරු ආත්මයෙන් වෙසේ. අබ්‍රහ්මචර්‍ය්‍යය පියා බඹසර ඇතියේ වෙයි. (මෙවුන් දමින්) දුරුහැසිරිම් ඇතියේ, ගැමිදහම් වන මෛථුනයෙන් විරත වෙයි. මුසවා පියා මුසවායෙක් වැළකියේ වෙයි. සත්‍යවාදී වූයේ, සත්‍යසන්‍ධාන ඇතියේ, ස්ථිරවචන ඇතියේ, ඇදැහිය යුතු බස් ඇතියේ, ලෝකයා විසංවාද නොකරනුයේ වෙයි. පිසුණු බස් පියා පිසුණු බසින් වැළැකියේ වෙයි: මුන් බිඳිනු සඳහා මෙහිදී අසා එහි නොකියනු වෙයි. එතැන අසා උන්බිඳිනු සඳහා මුනට නො කියනු වෙයි. මෙසෙයින් බුන් අය ගළපනු හෝ සමගි වූවනට සන්‍ධාන දෙනු හෝ වෙයි. සමගරම් ව සමගරත ව සමගියෙහි අභිනන්‍දනා ඇති ව සමගකරණබස් බණනු වෙයි. පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි: නිදොස් (ඛ්‍යඤ්ජන විසින්) කණට සුවදෙන, පෙමට නිසි, ළගන්නා, (ගුණපරිපූර්‍ණතායෙන්) පුරවැසි, බොහෝ දෙනට ප්‍රිය, බොහෝ දෙනගේ මනවඩන යම් බස් ඇත් ද, එබඳු බස් බණනු වෙයි. සම්ඵප්පලාප පියා පලපින් වැළකියේ වෙයි: බුණුවමනා කල්බලා බණන, දහම් බණන (මෙලෝපරලෝ) අරුත් ඇසිරි කොට බණන, නවලොව්තුරු දහම් ඇසිරි කොට බණන, (සංවර - ප්‍රහාණ) විනය ඇසිරි කොට බණන, අයුතුකල්හි සකාරණ, පරිච්ඡේද ඇති, අර්‍ත්‍ථසංහිත, ළෙහි ලා ගතයුතු බස් බණනු වෙයි.
67. හේ (මූලබීජාදි) බීජග්‍රාම හා (නීලතෘණාදි) භූතග්‍රාම (ඡේදනපවනාදි) විකොපතායෙන් වැළකියේ වෙයි. රාත්‍රි භොජනයෙන් වැළැකියේ වෙයි. විකල්බොජුනෙන් වැළැකියේ ඓකභක්තික වෙයි. නටනුගනු වයනු විසුළු දස්නෙන් වැළැකියේ වෙයි. මල්ගඳවිලෙවුන් ධැරීමය මණ්ඩනය විභූෂණය යන් මින් වැළැකියේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළකියේ වෙයි. රන්රිදී පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (පුරුෂාන්තර ගත) ස්ත්‍රීන් හා (තදන්‍ය) ස්ත්‍රීන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (කැපකරු ඇරැමි වසයෙන් වත් මුත්) දැසිදස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කුකුළුහූරු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ඇත් ගෙරි අස් වෙළඹ පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කෙත්වත් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. දූතකම් පිණිස තැන තැන යෑමෙන්, තෙපුල්ගෙන ගෙන් ගෙට යන කුදුගමනින් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රය දෙකින් වැළකියේ වෙයි. තුලාකූට - කංසකූට - මානකූට විසින් වඤ්චා (නුළු) කිරීමෙන් වැළැකියේ වෙයි. ලස්ගැන්ම - නුළුකිරීම - මායා - සාචියෝගයෙන් (කුටිලප්‍රයෝගයෙන්) වැළැකියේ වෙයි. (අත්සිඳීම් ඈ) ඡේදනය, වධය, (රජ්ජුබන්‍ධනාදි) බන්‍ධනය, විපරාමොෂය (සැඟවී සිට මංපැහැරීම), ගම්වොලොගැන්ම, සාහසිකක්‍රියා යන මෙයින් වැළැකියේ වෙයි.
68. හේ කායපරිහරණමාත්‍ර චිවරයෙන් සන්තුෂ්ට වෙයි. කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අෂ්ටපරිෂ්කාරමාත්‍රය) ගෙන ම යෙයි. යම්සේ පියා ඇති ළිහිණියෙක් යම් යම් ම දිගෙක්හි පියා පැහැර යේ ද, පත්‍රභාර සහිත ව ම අහස නැඟගන්නේ වේ ද, එපරිද්දෙන් ම මහණ කායපරිහරණමාත්‍ර චීවරයෙනුදු කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අටපිරිකර) ගෙන ම යෙයි.
හේ මේ අරීසිල් කඳින් සමන්‍වාගත වූයේ තමා තුළ අනවද්‍යසුඛය විඳුනේය.
69. හේ ඇසින් රූ අරමුණු දැක නිමිති ගන්නාසුලු නො වේ. අනුවියඳුන් ගන්නාසුලු නො වේ. යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අකුසල්දහම් වන අභිධ්‍යාදෞමනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට වදනේය. කණින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස පැහැස ... සිතින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජන ග්‍රාහී නො වේ. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අසල්දහම් වන අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. මනින්‍ද්‍රිය රක්නේය. මනින්‍ද්‍රියෙහි සංවරයට වදනේය. හේ මෙකී ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ සියසතන්හි අව්‍යාසේක (කෙලෙස්මුසු නැති) සුඛය විඳුනේය.
70. හේ ඉදිරිගමනෙහි දු වටාලා ඊමෙහි දු සම්‍යක්ප්‍රඥාවෙන් දැන එය කරන්නේ වේ. ඉදිරි බැලීමෙහි ඔබමොබ බැලීමෙහි සම්පජානකාරී වේ. (අත්පා) හැකිළීම් දිගුකිරීම්හි සම්පජානකාරී වේ. සඟළ හා පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වේ. භෝජ්‍යයෙහි පෙයයෙහි ඛාද්‍යායෙහි ලෙයයෙහි සම්පජානකාරී වේ. මලමූකිසෙහි සම්පජානකාරී වේ. යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ බැව්හි සම්පජානකාරී වේ.
71. හේ මෙකී ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකී ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකී ස්මෘතිසම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වූයේ ජනශුන්‍ය සෙනසුන් සෙවුනේය: (දුනුපන්සියෙන් දුරෙහි වූ) අරන, (ගනසා) රුක්මුල, සෙල, කඳුර, දෙපවුඅතුර, සොහොන, ගැඹුරුවන, නොසන්අබවස, පිදුරුකිළි යි හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ උඩුකය ඉදිකොට තබා, කමටහන් අභිමුඛ කොට සිහි එළවා, පලක් බැඳ හිඳුනේය.
72. හේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි රාගය (විෂ්කම්භන විසින්) පියා, පැහු අභිධ්‍යා ඇතිසිතින් වාස කෙරේ. අභිධ්‍යායෙන් සිත මුදවයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය (ක්‍රෝධය) පියා සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව ව්‍යාපාදයට නො පත් සිතැති ව වාස කෙරේ. ක්‍රෝධයෙන් සිත්සතන මුදවයි. ස්ත්‍යානමිද්ධය පියා පැහු ස්ත්‍යානමිද්ධ ඇතියේ, ආලෝක සංඥා ඇතියේ. සිහි ඇතියේ, නුවණැතියේ වාස කෙරේ. ස්ත්‍යාන මිද්ධයෙන් සිත මුදවයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය පියා අනුද්ධෘත ව සියසතන සන්හුන් සිතැති ව වාස කෙරේ. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත මුදවයි. විචිකිත්සා පියා තුණුවිසිකිස් ඇති ව අනවද්‍යධර්‍මයෙහි කථංකථඞ්කාර නැති ව වාස කෙරේ විචිකිත්සායෙන් සිත මුදවයි.
73. හේ චිත්තෝපක්ලේශ වන, ප්‍රඥාව දුර්‍වලකරණ මේ පඤ්චනීවරණයන් පියා කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව ම සවිතර්‍ක, සවිචාර, විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරේ. තව ද මහණෙනි, මහණ මතුයෙහි විතර්‍කවිචාර සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම් කරන, උතුම් චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරේ. ප්‍රීතියාගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ... තෘතීයධ්‍යාන උපයා වාස කෙරේ ... සුඛදුඃඛප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරේ.
74. හේ ඇසින් රූ දැක ප්‍රියරූප රූපයෙහි රාග නො කෙරේ. අප්‍රියරූප රූපයෙහි ව්‍යාපාදයට නො පැමිණේ. එළඹ සිටි කාගියාසී ඇතියේ, මාර්‍ගචිත්තසමන්‍විත වූයේ. යම් ඵලසමාපත්තියෙක ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති තත්වූ පරිදි දනි. හේ මෙසෙයින් රාගදෝෂ විප්‍රහීණ ව සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් ම වේදනාවෙක් විඳුනේ වේද, හේ ඒ වේදනාව (තෘෂ්ණා) විසින් අභිනන්‍දනා නො කෙරෙයි. (අහෝ සුඛයෙකි යී) නො බෙණේ ගැලැගෙන නොසිටි. ඒ වේදනා අභිනන්‍දනා නො කරන, තුති විසින් නොබණන, ගැලැගෙන නො සිටුනා ඔහට වේදනායෙහි යම් නන්‍දියෙක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහුට නන්‍දිනිරෝධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධ වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍යයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කේවලදුඃඛ පුඤ්ජයාගේ නිරෝධය වෙයි.
75. කණින් ශබ්ද අසා ප්‍රියරූපශබ්දයෙහි ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කොට ප්‍රිය රූපගන්‍ධයෙහි ... දිවින් රස ආස්වාද කොට ප්‍රියරූප රසයෙහි ... කයින් ස්පර්‍ශ පැහැස ප්‍රියරූපස්පර්‍ශයෙහි ... මනසින් දහම් දැන ප්‍රියරූප ධර්‍මාලම්බනයෙහි රාග නො කෙරේ. අප්‍රියරූපධර්‍මාලම්බනයෙහි ව්‍යාපාද නො කෙරේ. එළඹසිටි කාගියාසී ඇතිව මාර්‍ගචිත්තසමන්‍විත ව වාස කෙරේ. යම් පලසමවතෙක දී ඒ ලමු අකුසල් දහම්හු නිඃශේෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චේතෝවිමුක්ති ද ප්‍රඥාවිමුක්ති ද තත් වූ පරිදි දනී. හේ මෙසෙයින් අනුරෝධවිරෝධවිප්‍රහීණ වූයේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් වේදනාවක් විඳුනේ වේද, හේ ඒ වේදනා අභිනන්‍දනා නො කෙරේ, නො බෙණේ, ගැලගෙන නොසිටි. ඒ වෙයින අභිනන්‍දනා නොකරන, නොබණන, ගැලැගෙන නොසිටුනා ඔහට වේදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහට නන්‍දිනිරෝධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරෝධයෙන් භවනිරෝධ වෙයි. භවනිරෝධයෙන් ජාතිනිරෝධ වෙයි. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කේවලදුඃඛපුඤ්ජයාගේ නිරෝධය වෙයි.
76. මහණෙනි, තෙපි සැකෙවින් දෙසූ මාගේ මේ තණ්හාසඞ්ඛයවිමුත්තිය (විමුත්තිපටිලාභහේතු වූ දෙසනාව) ධරව. කෙවුළුපුත් සාතිමහණ මහා තෘෂ්ණ දැලෙහි - මහා තෘෂ්ණා සඞ්ඝාටයෙහි (බන්‍ධනයෙහි) පිළිමුතුවකු (පිවිසියකු) කොට ධරවයි වදාළහ.
භාග්‍යවතුන් වහන්සේ මේ මහාතණ්හාසඞ්ඛය සූත්‍රය වදාළසේක. සියමන (තුටුසිත්) ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.
මහාතණ්හාසඞ්ඛය සූත්‍රය අටවැනියි.
1. 4. 9.
මහාඅස්සපුර සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඞ්ග ජනපදයෙහි අඟුරටවැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සේ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
2. මහණෙනි, මහදෙනේ තොප ‘ශ්‍රමණයහ, ශ්‍රමණයහ’යි හඳුනන්නේය. තෙපිදු ‘තෙපි කවරහු’යි පුළුවුස්නා ලදුව ‘ශ්‍රමණයම්හ’යි පිළින කරව. මහණෙනි, මෙබඳු නම් ඇති, මෙබඳු පිළින දෙන ඒ තොප විසිනුදු “ශ්‍රමණ කරණ (පව් සමණ කරණ) බ්‍රාහ්මණකරණ (පව් බහන) යම් ධර්‍ම ඇත් ද, ඒ ධර්‍මසමාදාන විසින් ගෙන වැටෙම්හ. මෙසේ වත්ම, අපගේ මේ ශ්‍රමණ සංඥාව සත්‍ය වෙයි. ප්‍රතිඥා ද යථාර්‍ත්‍ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරමෝ ද, උන් අප කෙරෙහි කරන ඒ උපකාරයෝ මහත්ඵල මහානෘශංස වෙති. අපගේ ද මේ පැවිද්ද අවන්‍ධ්‍ය වෙයි, සඵල වෙයි, සවෘද්ධික වෙයි” කියා මෙසෙයින් මහණෙනි, තොප හික්මෙන්නේ මැනැව.
3. මහණෙනි, ශ්‍රමණකරණ - බ්‍රාහ්මණකරණ ධර්‍මයෝ කවරහ යත්:
4. “හිරි ඔතප් දෙකින් සමන්‍වාගත වම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
5. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරි ඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි. එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
6. මහණෙනි, තොප බෙණෙමි. මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබිය දී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය (මාර්‍ග හා ඵල) නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) කායසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ, මෙරමා නොගරම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
7. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාරපිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එතෙකින් මහණුම් කරන ලදි. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
8. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ වාක්සමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නොවෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) වාක්සමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙසින් තොප හික්මෙන්නේ මැනැව.
9. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එමතුයෙන් මහණුවම්කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
10. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ මනඃසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලේඛ) මනඃසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
11. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃ සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. මතුයෙහි අපට කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
12. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහී යේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ ආජීව පිරිසිදු වෙයි, නො මුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධාජීවතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නො ගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
13. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
14. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථි ව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ‘ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර ඇතියමෝ වම්හ: ඇසින් රූඅරමුණු දැක නිමිති නොගන්නා සුල්ලමෝ අනුව්‍යඤ්ජන නො ගන්නා සුල්ලමෝ වම්හ. යමක් හේතුකොට ගෙන චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල්දහම්හු ලුහුබැඳ ගැලැ ගනිත් ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරණ පිණිස පිළිපදුම්හ, චක්‍ෂුරින්‍ද්‍රිය රකුම්හ, චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙම්හ. කණින් සද අරමුණු අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බන ආඝ්‍රාණ කොට ... දිවින් රසඅරමුණු ආස්වාද කොට ... කයින් ස්පර්‍ශාලම්බන ස්පර්‍ශ කොට ... මනසින් ධර්‍මාලම්බන දැන නිමිති ගන්නාසුල්ලමෝ, අනුව්‍යඤ්ජන ගන්නාසුල්ලමෝ නොවම්හ. යමක් හේතු කොට ගෙන මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගැලැ ගනිත් ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරණ පිණිස පිළිපදුම්හ, මනින්‍ද්‍රිය රකුම්හ, මනින්‍ද්‍රියෙහි සංවරයට පැමිණෙම්හ’යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
15. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය. “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි. වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් මතු තුස්නට පැමිණෙන්නාව.
16. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ‘භෝජනයෙහි මාත්‍රඥ වම්හ. නුවණින් පස්විකා අහර වළඳම්හ. (කෙසේය යත්:) දවය පිණිස නො ම වෙයි, මදය පිණිස නො ව වෙයි, මණ්ඩනය පිණිස නො ම වෙයි, විභූෂණය පිණිස නො ම වෙයි. මේ කායයාගේ ස්ථිති පිණිස යැපීම පිණිස විහිංසා සාන්හිඳුවනු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස වත් මුත් අන් අර්‍ත්‍ථයක් පිණිස නො වෙයි. ‘මෙසෙයින් (නොවැළඳීමෙන් වූ) පැරැණි වේදනා නසමි. නව්‍ය වේදනාත් නො උපදවමි. මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අනවද්‍යතා හා පහසුවිහරණ වෙති’ යි කියායි. මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
17. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදි අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් මතු තුස්නට පැමිණෙන්නාව.
18. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: නිදිවැරීමෙහි යුක්තප්‍රයුක්තයමෝ වම්හ: දවස සක්මනින් හිඳුමින් නීවරණදහමින් සිත පරිශෝධන කරම්හ, රැය පළමුයම සක්මනින් හිඳුමින් නීවරණදහමින් සිත පරිශෝධන කරම්හ, රැය මැදුම්යම ස්මෘතිසම්පන්නයමෝ සම්ප්‍රඥාන ඇතියමෝ උත්‍ථානසංඥා (අසෝ වේලෙහි නැගී සිටුම්හයි) මෙනෙහි කොට දකුණුඇළයෙන් දකුණු පාමත වම්පය මඳක් හයා තබාගෙන සිංහශය්‍යා කරම්හ, රැය පැසුළුයම නැඟීසිට සක්මනින් හිඳුමින් නීවරණ දහමින් සිත පරිශෝධන කරම්හ යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
19. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ, නිදිවැරීමෙහි යුක්තප්‍රයුක්තයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් තුස්නට පැමිණෙන්නාව.
20. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත වම්හ: ඉදිරි බලා යෑමෙහි දු වටාලා ඊමෙහි දු සම්පජානකාරී වම්හ. අලෝකතවිලෝකන දෙක්හි සම්පජානකාරී වම්හ, සමිඤ්ජනප්‍රසාරණ දෙක්හි සම්පජානකාරී වම්හ, සහළ පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වම්හ, අසන - පාන - ඛාදන - ආස්වාදනයෙහි (චතුර්විධ අහර වළඳන වේලෙහි) සම්පජානකාරී වම්හ, මලමූ කිසෙහි සම්පජානකාරී වම්හ, ගමන - ස්ථාන - නිෂද්‍යා - ස්වප්න - ජාගර්‍ය්‍යා - භාෂණ තූෂ්ණීම්භාව යන ක්‍රියායෙහි සම්පජානකාරී වම්හ යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.
21. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප්දෙකීන් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භෝජනයෙහි මාත්‍රඥයම්හ, නිදි වැරීමෙහි ප්‍රයුක්තයම්හ, ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදි. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.
22. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී ශ්‍රාමණ්‍යාර්ත්‍ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: මහණෙනි, මෙසස්නෙහි, මහණ නිහඬ සෙනසුන් සෙවුනේය. එනම් - අරන, රුක්මුල, පවි, කඳුරු, ගිරිගුහා, සොහොන, වනපෙත, අභ්‍යවකාශ, පිදුරුකිළි යන මේය. හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ, උඩුකය ඍජු කොට තබා ගෙන කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවාගෙන, පලක් බැඳගෙන හිඳුනේය. හේ (පඤ්චෝපාදානස්කන්‍ධ) ලෝකයෙහි අභිධ්‍යාසඞ්ඛ්‍යාත කාමච්ඡන්‍දය (විෂ්කම්භණ විසින්) පහා, විගතාභිධ්‍ය වූ සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත මුදා ගනී. ව්‍යාපාදසඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය (ක්‍රෝධය) පහා අව්‍යාපන්නචිත්ත ව සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව වාස කෙරේ. ක්‍රෝධයෙන් සිත මුදාගනී. ස්ත්‍යානමිද්ධය පහා අපගතසත්‍යානමිද්ධ ඇති ව ආලෝකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණැති ව වාස කෙරේ. ස්ත්‍යානමිද්ධයෙන් සිත මුදාගනී. උද්ධච්චය හා කුක්කුච්චය පහා සියසතන්හි සන්හුන්සිත් ඇති ව නිවිගියා ව වාස කෙරේ. නොනිවිබැවිනුදු කුකුසිනුදු සිත මුදාගනී. විසිකිස් පහා තුණුවිසිකිස් ඇතිව කුසල්දහම්හි කථඞ්කථඞ්කාරරහිත ව වාස කෙරේ. විචිකිත්සායෙන් සිත මුදාගනී.
23. මහණෙනි, යම්පරිදි පුරුෂ ණයක් ගෙන කර්‍මාන්ත නිමිති කොට යොදන්නේ වේනම්, උහුගේ ඒ කමත්හු සමෘද්ධ වෙත් නම්, යම් පැරැණි ඍණමූල ඇත් ද, එද ඉවර කරන්නේ වේ නම්, ඔහුට මතුයෙහි අඹුවන් පුස්නට ඉතිරි දැයෙකුදු වේ නම්, ඔහුට මෙසේ සිත් පහළවෙයි: “මම පෙර ණය ගෙන කමත්හි යෙදිමි. මාගේ කර්‍මාන්තයෝ සමෘද්ධ වූහ. ඒ මම යම් පැරැණි ඍණමූල වී ද, එහැම ඉවර කෙළෙමි. මට මතුයෙහි අඹුවන් පුස්නට අවශිෂ්ට දැයත් ඇතැ”යි කියායි. හේ ණය නැතිසේ නිදාන කොට කොට ගෙන ප්‍රමෝදය ලබන්නේය. සොම්නස් විඳුනේය. -
24. මහණෙනි, යම්පරිදි පුරුෂ ආබාධ ඇතියේ, දුක ඇතියේ, අධිමාත්‍ර ගිලන්ගත් ඇතියෙක් වේ නම්, ඔහුට බත ද නුරුස්නේ නම්, ඔහුට කායබලත් නැත් නම්, පසුකලෙක ඒ ආබාධයෙන් මිදේ නම්, ඔහුට බතුදු රුස්නේ නම්, ඔහුට කායබලත් ඇත් නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර හටගත් අබාධ ඇතියෙම්, දුක් ඇති දැඩිගිලන් වූයෙකිම් වීමි. මට බතුදු නොරිසිවී. මට කාය බලත් නොවී. ඒ මම දැන් ඒ ආබාධයෙන් මිදී සිටිමි. මට බතුදු රිසි වෙයි. මාගේ කායබලත් ඇති”යි කියායි. හේ ඒ හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය. -
25. මහණෙනි, යම්පරිදි පුරුෂ දඟගෙහි බැඳුණේ වේ නම්, හේ පසුකලෙක භෝගව්‍යයෙන් වෙන් ව සුවසේ ඒ දඟගෙයින් මිදී යන්නේ නම්, ඔහුගේ කිසිදු භොගව්‍යයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර බන්‍ධනාගාරයෙහි බැඳුණෙම් වීමි. එ මම දැන් භෝගව්‍යයෙන් වෙන්ව සුවසේ ඒ බන්‍ධනයෙන් මිදිණිම් වීමි. මට කිසිදු භොගව්‍යයෙක් නොවී”ය කියායි. හේ බන්‍ධමෝක්‍ෂ හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය. -
26. මහණෙනි, යම්පරිදි පුරුෂ ආත්මාධීන නො වු, (එයින්ම) පරාධීන වූ, කැමැති දිගු නොයාහෙන, දාසයෙක් වේනම්, හේ පසු කලෙක ආත්මාධිපති වූ, (එයින්ම) පරායත්ත නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙන, නිර්දාසයෙක්ව, ඒ දාසභාවයෙන් මිදීයන්නේ වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම පෙර ආත්මාධීන නො වූ, පරාධීන වූ, කැමැතිසේ ඒ ඒ දිග නොයාහෙන, දස් වීමි. ඒ මම දැන් ආත්මාධිපති වූ, පරාධීන නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙන, නිර්දාසයෙක් ව ඒ දාසභාවයෙන් මිදිණිම් වීමි”යි කියායි. හේ ඒ නිර්දාසභාවහේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය.
27. මහණෙනි, යම්පරිදි පුරුෂ සධන ව සභෝග ව කතරදිග්මගට වදනේ වේ නම්, හේ පසු කලෙක භෝගව්‍යය නො කොට ම සුවසේ ඒ කතරින් නිස්තීර්‍ණ වන්නේ නම්, ඔහුගේ කිසිදු භෝගව්‍යයයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වන්නේය: “මම පෙර සධන ව සභෝග ව කතරදිග්මගට වැදිණිමි. ඒ මම දැන් භෝගව්‍යය නො කොට ම සුවසේ නිස්තීර්‍ණයෙමි. මාගේ කිසිදු භෝගහානියෙක් නැති”යි කියාය. හේ ඒ ක්‍ෂේමභූමියට පැමිණීම් හේතුවින් ප්‍රමෝද ලබන්නේය. සොම්නස් ලබන්නේය.
28. මහණෙනි, එපරිදි ම මහණ සියසතන්හි අප්‍රහීණ ව සිටුනා මේ පඤ්චනීවරණයන් ණයක් දක්නා සෙයින්, රොගයක් දක්නා සෙයින්, බන්‍ධනාගාරයක් දක්නා සෙයින්, දාසභාවයක් දක්නා සෙයින්, කතරමඟක් දක්නා සෙයින් මොනොවට දක්නේය. මහණෙනි, යම්සේ අනෘණභාවය දක්නේ වේද, යම්සේ ආරෝග්‍යය දක්නේ වේ ද, යම්සේ බන්‍ධනමෝක්‍ෂය දක්නේ වේ ද, යම්සේ නිර්දාසභාවය දක්නේ වේ ද, යම්පරිදි ක්‍ෂේමාන්තභූමිය දක්නේ වේ ද, එපරිදි ම මහණ සියසතන්හි ප්‍රහීණ ව ගිය මේ පඤ්චනීවරණයන් දක්නේය.
29. ඒ මහණ චිත්තෝපක්ලේශ වූ, ප්‍රඥාදෞර්බල්‍යයට කාරණ වූ, මේ පඤ්චනීවරණයන් හැරැපියා කාමයෙන් වෙන් ව අකුසල්දහමින් වෙන් ව සවිතර්‍ක, සවිචාර, විවේකජ, ප්‍රීතිසුඛ ඇති, ප්‍රථමධ්‍යාන උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජ කය ම විවේකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි (හැමතැන පැවැති ප්‍රීතිසුඛ ඇතියා කෙරෙයි), හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම අඟින් යුත් කරජකය පිළිබඳව විවේකජප්‍රීතිසුඛයා විසින් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්සේ ප්‍රතිබලසම්පන්න නහවනු වෙක් වේවයි, නහවනු - අතැවැසියෙක් වේවයි, කස්තලියෙක නහනුසුණු බහා දියෙන් පුනපුනා ඉස, පිඬු කරන්නේ වේද, ඒ නහනුපිඬු උදකස්නේහයෙන් අනුගත ව දියසනායෙන් මඩනා ලදු ව සහතුරුබැහැර දියෙන් පහරනලදු ව නොවගුළු ව සිටුනේ වේ ද, මහණෙනි, එපරිදිම මහණ මේ කරජකය ම විවේකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම අඟින් යුත් කරජකය පිළිබඳ ව විවේකජ ප්‍රීතිසුඛය විසින් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි.
30. තවද මහණෙනි, මහණ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම් කරන, සිත පිළිබඳ උතුම් ව උදාවන එකඟබව ඇති, විතර්‍කරහිත විචාරරහිත, සමාධිජ ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජකය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රීතිසුඛයෙන් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්පරිදි ඌල්නැගි දිය විලෙක් වේ ද, එයට පෙරදිග්හි දිය වැහෙන මං නැත් ද, පැසිම් දිග්හිදු දිය වැහෙන මං නැත් ද, උතුරුදිග්හිදු දිය වැහෙන මං නැත් ද, දකුණු දිග්හිදු දිය වැහෙන මං නැත්ද, මේඝ ද කලින්කල සම්‍යග්ධාරා වර්‍ෂණ නොකෙරේ ද, වැලි ද එ ම දියවිලින් සිහිල් දියදහර පැනනැගී එම දියවිල් සිහිල් දියෙන් තෙමා ද, හාත්පස තෙමා ද, හාත්පස පුරා ද, හාත්පසින් ස්පර්‍ශ කෙරේ ද, තෙල සියලු දියවිලැ සිහිල් දිය දහරින් නොපහළ කිසිදු දැයෙක් නො වේ ද, මහණෙනි, එපරිදි ම මහණ මෙ ම කරජකය සමාධිජප්‍රීතිසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රීතිසුඛයෙන් නොපහළ කිසිදු තැනෙක් නැත.
31. තවද මහණෙනි, මහණ ප්‍රීතියගේ විරාගයෙන් උපේක්‍ෂක ව ද වෙසේ. සිහිඇත්තෙ ද නුවණ ඇත්තේ ද කයින් සුඛය ද විඳුනේය. යම් ධ්‍යානයක් ගෙන ‘තෘතීය ධ්‍යාන ඇති පුඟුලා උපේක්‍ෂකය, ස්මෘතිමත්ය, සුඛවිහරණවත් යැ’යි ආර්‍ය්‍යයෝ බෙණෙත් ද, ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කය ම නිෂ්ප්‍රීතිසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කය නිෂ්ප්‍රීතිසුඛයෙන් නොපහළ තැනෙක් නැත. මහණෙනි, යම්සේ උපුල්විලෙක වේවයි, හෙළපියුම් විලෙක වේවයි, රත් පියුම් විලෙක වේවයි, ඇතැම් උපුල් හෝ, හෙළ පියුම් හෝ, රත්පියුම් හෝ, දියෙහි සඤ්ජාත ව දියෙහි සංවර්ධිත ව, දියෙන් නොනැඟ සිට, දියතුළ ගැලැසිට වැඩේද, ඒ උපුල් හා පියුම් අග දක්වාත් මුල දක්වාත් සිහිල් දියෙන් මොනවට තෙත් ව හාත්පස තෙත් ව පරිපූරිත ව හාත්පසින් දියපහස ලදු ව ඇත් ද, එ හැම උත්පලයන්ගේ වේවයි, හැම පද්මයන්ගේ වේවයි, හැම පුණ්ඩරීකයන්ගේ වේවයි, කිසිදු තැනෙක් සිහිල් පහස නොලද්දේ නො වේද, මහණෙනි, එපරිදි ම මහණ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි. හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහළේ නො වෙයි.
32. තවද මහණෙනි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නස් කැලැ ම අස්තඞ්ගම වීමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධභාව ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා ගෙන වාස කෙරේ. හේ මෙ ම කය පර්‍ය්‍යවදාත පරිශුද්ධ සිතින් ඵරණය කොට හුන්නේ වෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් පර්‍ය්‍යවදාත පරිශුද්ධ සිතින් නො පහළේ නො වෙයි.