Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 1501-1600 න් 6387

ගිනිවෙස්න සම්හෙයෙකින් ඔහු මුලැ කී දුෂ්කරක්‍රියා හැරැ පියා පැසුළු ඉපිණි ඛාද්‍යාදීන් සතපත් ද, මෙසෙයින් මේ කය පිළිබඳ (කලින් කල වන) වෘද්ධිපරිහාණිමාත්‍රයෙක් ම ඇත. (කායභාවනායෙක් නම් නැත.)
5. ගිනිවෙස්න, කෙසේ නම් තා විසින් චිත්තභාවනා අසනලද දැ? යි (භගවත්හු අනුයෝග කළසේක) භගවත්හු විසින් සච්චක නුවටදරු චිත්තභාවනායෙන් පුළුවුස්නා ලදුයේ පිළිතුරු සපයා බණන්නට අශක්ත වී.
6. එකල භාග්‍යවතුන් වහන්සේ සච්චක නුවටදරුහට තෙල වදාළහ: ගිනිවෙස්න, තා විසින් යම් තෙල පළමු කායභාවනායෙක් කියන ලද ද, එ ද අරීවිනයෙහි දැහැමි කායභාවනායෙක් නො වේ. ගිනිවෙස්න, තො කායභාවනා මතු දු නො දනිහි, තෝ කොයින් චිත්ත භාවනා දනිහි? තවද ගිනිවෙස්න, යම්පරිදි අභාවිතකාය අභාවිතචිත්ත හා භාවිතකාය හා භාවිතචිත්ත හා වේ ද, ඒ අසව, මනාකොට මෙනෙහි කරව, කියමියි වදාළහ. ‘එසේ යැ භවතැ’යි සච්චක නුවටදරු භගවත්හට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
7. ගිනිවෙස්න, කෙසේ නම් අභාවිතකාය හා අභාවිතචිත්ත හා වේද යත්:
ගිනිවෙස්න, මෙ ලොව අශ්‍රැතවත් පෘථග්ජනයාහට සුඛවේදනා උපදි. හේ සුඛවේදනා විසින් ස්පර්‍ශ කරන ලදුයේ සුඛසංරාග ඇති වෙයි. සුඛ සංරාගසමන්‍වාගත සෙයට ද පැමිණේ. උහුගේ ඒ සුඛවේදනා නිරුද්ධ වෙයි. සුඛවේදනානිරෝධයෙන් කයෙහි දුඃඛ වේදනා උපදී. හේ දුඃඛ වේදනා විසින් ස්පර්‍ශකරන ලදුයේ ම සොස්නේ වෙයි, කලකුළුවෙයි, වලප්නේ වෙයි, ළමැඩියෙහි අතින් පැහැර හඬනේ වෙයි, සිහිමුළාවට වදනේ වෙයි. ගිනිවෙස්න, උහුට තෙල උපන් සුඛවේදනා ද සිත ගෙවා ගෙන සිටුනීය, කය අභාවිත (නොවැඩූ) වන බැවින. උපන් දුඃඛවේදනා ද සිත ගෙන සිටුනීය, සිත අභාවිත වන බැවින. ගිනිවෙස්න, යම්කිසිවක්හට කය අභාවිත වන බැවින් මෙසේ (සුඛය එක්පසෙකැ, දුඃඛය එක්පසෙකැයි) උභයතඃපක්‍ෂව උපන් සුඛවේදනා ද සිත ගෙවා ගෙන සිටුනී ද, චිත්ත අභාවිත වන බැවින් උපන් දුඃඛවේදනා ද සිත ගෙවා ගෙන සිටුනී ද, ගිනිවෙස්න, මෙසේ අභාවිතකාය ද අභාවිතචිත්ත ද වෙයි.
8. ගිනිවෙස්න, කෙසේ නම් භාවිතකාය හා භාවිතචිත්ත හා වේද යත්:
ගිනිවෙස්න, මෙලොව ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විසින් ස්පර්‍ශ කරන ලදුයේ ම සුඛසංරාගයෙන් සමන්‍වාගත ද නො වෙයි. සුඛසංරාගයෙන් සමන්‍වාගත සෙයට ද නො පැමිණෙයි. උහුගේ ඒ සුඛවේදනා නිරුද්ධ වෙයි. සුඛවේදනානිරෝධයෙන් මතුයෙහි දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විසින් පහස්නා ලදුයේ ම නොසොස්නේය, කලකුළු නොවන්නේ ය, නොවලප්නේ ය, ළෙහි අත් පැහැර නොහඬන්නේ ය, සිහි මුළාවට නොවදනේය. ගිනිවෙස්න, උහුගේ තෙල උපන් සුඛවේදනාත් සිත ගෙවා ගෙන නොසිටුනේ ය, කය භාවිත වන බැවින. උපන් දුඃඛවේදනාත් සිත ගෙවා ගෙන නොසිටුනේ ය, සිත භාවිත වන බැවින. ගිනිවෙස්න, යම් කිසිවක්හට මෙසෙයින් උභයතඃපක්‍ෂව උපන් සුඛවේදනාත් කය භාවිත වන බැවින් සිත ගෙවා ගෙන නොසිටුනේ වේද, උපන් දුඃඛවේදනාත් සිත භාවිත වන බැවින් සිතගෙවා ගෙන නොසිටුනේ වේද, ගිනිවෙස්න, මෙසෙයින් භාවිතකාය වෙයි. භාවිතචිත්ත ද වෙයි.
9. “භවත් ගෞතමයන් වහන්සේ භාවිතකාය වෙති. භාවිතචිත්ත ද වෙති” යි මම භවත් ගොයුම්ගොතුවනට මෙසේ පහන්මි” යි කී. ගිනිවෙස්න, තා විසින් ගුණ ඝටාගෙන ද එළවාගෙන ද මෙබස් කියනලද මැයි. එතෙකුදු වුව තට මම කියමි: ගිනිවෙස්න, යම් දවසෙක මම කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙව ගෙන් නික්ම පැවිද්දට වැදුනෙම් වේ ද, උපන් සුඛවේදනා වේවයි ඒ මා සිත ගෙවා ගෙන සිටුනේ යැ හෝ, උපන් දුඃඛ වේදනා වේවයි ඒ මා සිත ගෙවාගෙන සිටුනේ යැ හෝ යි තෙල කරුණ නොවේ මැ යැයි (වදාළහ). “යම් උපන් සුඛවේදනායෙක් භවත්හුගේ සිත ගෙවා ගෙන සිටුනේ වේ ද, එවන් සුඛවේදනායෙක් භවත් ගොයුම්ගොතුවනට නොඋපද්දි හෝ, යම් උපන් දුඃඛවේදනායෙක් භවත්හුගේ සිත ගෙවා ගෙන සිටුනේ වේද, එවන් දුඃඛවේදනායෙක් භවත් ගොයුම්ගොතුවනට නො උපද්දි හෝ යි” (නුවට කී). ‘කුමැයි නොවේ ද? (උපන) ගිනිවෙස්නැ’යි වදාළහ.
10. ගිනිවෙස්න, සම්‍යක්සම්බෝධියෙන් පළමු ව අනභිසම්බුද්ධ බෝසතක් ව සිටියදී ම මට තෙල සිත් විය: “ගෘහවාස සම්බාධ ය. ක්ලේශධූලි මාර්‍ගයෙක. ප්‍රව්‍රජ්‍යා නම් අභ්‍යවකාශස්ථානයෙක. ගිහිගෙහි වසනුවහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ, ඒකාන්ත පරිශුද්ධ, ලිඛිත (ධෞත) ශඞ්ඛසදෘශ මේ බ්‍රහ්මචර්‍ය්‍යය සරන්නට නොහැකිය. මම් කෙහෙරවුළු බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම පසු කලෙක භද්‍රවූ යොව්නින් යුත්, ප්‍රථම වයසින් සමන්‍වාගත, කළු කෙහෙ ඇති තරුණයෙක්ව සිටියෙම් ම, වගුළ කඳුළින් තෙත් මුව ඇති නොකැමැති දෙමාපියන් හඬනවුනට අනදර කොට කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට වැදිණිමි.
11. මම මෙසේ පැවිදි වූයෙම් කුසල කිමැයි සොයනුයෙම්, උතුම් ශාන්තිසඞ්ඛ්‍යාතති වන පිරියෙස්නෙම්, ආළාර කාලාම තවුසන් කරා එළඹියෙමි. එළඹ ආළාරකාලාමයනට තෙල කීමි: “ඇවත කාලාම, මම මේ ධර්‍මවිනයෙහි බඹසර සරන්නට කැමතියෙමි”යි. ගිනිවෙස්න, මෙසේ කියත්ම කලම්ගොතු ආළාරතවුස් මට තෙල බස් කී: “ආයුෂ්මත් විහරණ කරන්නේ මැනැව. යම් ධර්‍මයෙක පණ්ඩිත පුරුෂයෙක් මඳකලෙකින් සිය ඇදුරුසමය තමා විසින් දැනැ පසක් කොට සපයා වෙසේ ද, මේ දහම එබඳු ය”යි. ගිනි වෙස්න, මම (උන්ගේ) ඒ ධර්‍මය මඳ කලෙකින් ම වහා ප්‍රගුණ කෙළෙමි. ගිනි වෙස්න, මම තොල ගැටීම් මතුයෙන්, උන් කීවා කීම් මතුයෙන් “මම් දන්මි, දක්මී” යන ඥානවාදය ද, “මෙහි මම ස්ථිර යෙමි” යන ස්ථිරවාදය ද කියමි. මම් මතු නොවෙමි. සෙස්සෝ ද කියති.
12. ගිනිවෙස්න, මට මේ සිත් වී: “ආළාර කාලාම මේ දහම හුදු සැදැහැ මතුයෙන් තමා විසින් දැනැ පසක් කොට සපයා වෙසෙමි යි පහළ නොකෙරෙයි. ඒකාන්තයෙන් ආළාර කාලාම මේ දහම දන්නේ, දක්නේ, විහරණ කෙරෙති”යි කියායි. ගිනිවෙස්න, එක්බිති මම ආළාර කාලාමයන් කරා එළඹියෙමි එළඹ ආළාරකාලාමයන්හට තෙල බස් කීමි. “කියග කාලාම, කිපමණෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පහළ කෙරෙහිදැ?”යි. ගිනිවෙස්න, මෙසේ කී කල ආළාර කාලාම ආකිඤ්ඤඤ්ඤායතනය (තෙක් සත්සමවත්) මා දන්වාලීය.
13. ගිනිවෙස්න, මට තෙල සිත්වී: “ආළාරකාලාම තවුස්හට ම සැදැහැ ඇතියේ නොවෙයි, මට ද සැදැහැ ඇත. ආළාරකාලාම තවුස්හට ම වැර ඇතියේ නොවෙයි, මට ද වැර ඇත. ආළාරකාලාම තවුස්හට ම සිහි ඇතියේ නොවෙයි, මට ද සිහි ඇත. ආළාරකාලාම තවුස්හට ම සමාධි ඇතියේ නොවෙයි. මට ද සමාධි ඇත. ආළාරකාලාම තවුස්හට ම පැන ඇතියේ නොවෙ යි, මට ද පැන ඇත. ආළාරකාලාම තවුස් යම් දහමක් තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙමි යි පහළ කෙරේ ද, ඒ දහම පසක් කරනු පිණිස පියෝ කෙරෙම් නම් මනා මැනු”යි කියායි. ගිනිවෙස්න, මම මඳකලෙකින් ම වහාම ඒ දහම තමන් විසින් දැනැ පසක් කොට සපයා විසීමි.
14. ගිනිවෙස්න, එක්බිති මම ආළාරකාලාම තවුස් කරා එළඹියෙමි. එළඹ ආළාරකාලාම තවුසාට තෙල බස් කීමි: “කියග කාලාම, මෙතෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා දන්වහි?”යි. “ඇවැත්නි, මෙතෙකින් මම මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පවසමි”යි හේ කීය. “මම ද ඇවැත්නි, මෙතෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වෙසෙමි”යි කීමි.
15. “ඇවැත්නි, අපට ලාභයෙකි. ඇවැත්නි, අපට මනා ලැබීමෙකි. ඒ අපි එවන් සබ්‍රම්සර ආයුෂ්මතුන් දක්නමෝ ද - මෙසේ මම් යම් දහමක් තමා විසින් දැනැ පසක් කොට සපයා පහළ කෙරෙම් නම්, තො යිදු ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙහි. තෝ යම් දහමක් තමා විසින් දැනැ පසක් කොට සපයා වෙසෙහි නම්, මමත් ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පවසමි. මෙසෙයින් මම යම් සමවත් දහමක් දනිම් නම්, තො යිදු එ දහම දන්හි. තෝ යම් දහමක් දන්හි නම් මම ඒ දහම දන්මි. මෙසෙයින් මම යම් බඳුයෙම් වෙම් ද, තෝ එබඳුයෙහි. තෝ යම් බඳුයෙහි ද, මම එබඳුයෙමි. ඇවැත්නි, එව, දැන් අපි දෙදෙනමෝ ම මේ ශිෂ්‍ය ගණයා පරිහරණ කරම්හ”යි කීය.
16. ගිනිවෙස්න, මෙසෙයින් ආළාර කාලාම තවුස් මට ඇදුරු වූයේ, මා අතැවැසියහු තමහට සමසම කොට තැබී ය. උතුම් පූජායෙදුනු මා පිදී ය. ගිනිවෙස්න, මට තෙල සිත්වී: මේ දහම් සසර කළකිරීම පිණිස නො වැටෙයි, නො ඇලීම් පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස, උපශම පිණිස, අභිඥෙය ධර්‍මයන් අභිජානනය පිණිස, චතුමාර්‍ගසම්බෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස නො වැටෙයි. (සැටදහස් කප් ආයු ඇති) ආකිඤ්ඤඤ්ඤායතන භවයෙහි උප්පත්ති මතුවක් පිණිස වැටෙයි. ගිනිවෙස්න, මම ඒ දහම් පමණ නො කොට (මෙයින් කම් නැතැයි) ඒ දහමින් නිබිඳ (උකටලීව) නික්මිණිමි.
17. ගිනිවෙස්න, මම කුසල කිමැයි සොයනුයෙම්, උතුම් ශාන්ති පදය පිරියෙස්නෙම්, උද්දක රාමපුත්‍රයන් කරා එළඹියෙමි. එළඹ රාමපුත්‍ර උද්දක තවුස්හට තෙල බස් කීමි: “ඇවැත්නි, මම මේ ධර්‍මවිනයෙහි බඹසර සරන්නට කැමැතියෙමි”යි. ගිනිවෙස්න, මෙසේ කී කල රාමපුත්‍ර උද්දක තවුස් මට තෙල බස් කී: “ආයුෂ්මත් විහරණ කරන්නේ මැනැව. යම් ධර්‍මයෙක නුවණැති පුරුෂයෙක් මඳ කලෙකින් සිය ඇදුරු සමය තමා විසින් දැන පසක් කොට සපයා වෙසේ ද, මේ දහම එබඳු ය”යි. ගිනිවෙස්න, මම (උන්ගේ) ඒ ධර්‍මය මඳකලෙකින් ම වහාම පුහුණු කෙළෙමි. ගිනිවෙස්න, මම තොලගැටුම් මතුයෙකින්, උන්කීවා වටාලා කිම් මතුයෙකින් ‘දනිමි, දකිමි’ යන ඥානවාදය ද, ‘මෙහි මම ස්ථිරයෙමි’ යන ස්ථිරවාදය ද පිළින කරමි. මම් මතු නොවෙමි. සෙස්සෝ ද පිළින කෙරෙති.
18. ගිනිවෙස්න, මට මෙසිත් වී: “(උද්දකපිතෘ) රම්තවුස් මේ සමවත් දහම හුදු සැදැහැමතුයෙන් තමා විසින් දැනැ පසක් කොට වෙසෙමි යි පහළ නො කෙළේය. ඒකාන්තයෙන් රම්තවුස් මේ දහම දන්නේ, දක්නේ වාස කෙළේය” කියා යි. ගිනිවෙස්න, එක්බිති මම උදරම් පුතු කරා එළඹියෙමි. එළඹ උදරම්පුත්හට තෙල බස් කීමි: “කියග උද්දකය, කිපමණෙකින් රාම තෙමේ මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙමියි පහළ කෙළේ දැ?”යි. ගිනිවෙස්න, මෙසේ කීකල උදරම්පුත් නේවසඤ්ඤානාසඤ්ඤායතනය (තෙක් අටසමවත්) දන්වාලීය.
19. ගිනිවෙස්න, මට මෙසිත් වී: “සැදැහැ රාමයාහට මතු (පමණක්) නොවී, මට ද සැදැහැ ඇත. රාමයාහට මතු වැර නොවී, මට ද වැර ඇත. රාමයාහට මතු සිහිය නොවී, මට ද සිහිය ඇත. රාමයාහට මතු සමාධි නොවී, මට ද සමාධි ඇත. රාමයාහට මතු ප්‍රඥා නොවූ, මට ද ප්‍රඥා ඇත. රාම තෙමේ යම් දහමක් තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙමියි කෙළේ නම්, මම ද ඒ දහම පසක් කරනු පිණිස ප්‍රධන්වැර කෙරෙම් නම් මනා මැනු”යි කියා යි. ගිනිවෙස්න, මම මද කලෙකින් ම වහාම ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙළෙමි.
20. ගිනිවෙස්න, එක්බිති මම උදරම්පුතු කරා එළඹියෙමි. එළඹ උදාරම්පුත්හට තෙල බස් කීමි: “කියග උද්දකය, මෙපමණෙකින් රාම තෙමේ මේ දහම තමා විසින් දැන පසක් කොට සපයා පහළ කෙළේදැ?”යි. “ඇවැත්නි, රාම මෙපමණෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පහළ කෙළේය”යි කීය. ඇවැත්නි, මම ද මෙපමණෙකින් මේ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙමි කීමි.
21. “ඇවැත්නි, අපට ලාභයෙක ඇවැත්නි, අපට මනා ලැබුමෙක. ඒ අපි එබඳු සබ්‍රම්සර අයුෂ්මතුන් දක්නමෝ ද - මෙසේ රාමතෙමේ යම් දහමක් තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙළේද, තොයි ද ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා වාස කෙරෙහි. තෝ යම් දහමක් තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙහි ද, රාම තෙමේ ද ඒ දහම තමා විසින් දැනැ පසක් කොට සපයා පවසා ලීය. මෙසේ රාම තෙමේ යම් දහමක් දතු නම්, තොයිදු ඒ දහම දන්හි. තෝ යම් දහමක් දන්හි නම්, රාම තෙමේ ඒ දහම දන්නේය. මෙසේ රාම යම්බඳු වී ද, තෝ එබඳුයෙහි ය. තෝ යම්බන්දෙහි නම්, රාම එබඳු වී. ඇවැත්නි, එව, දැන් තෝ මේ ගණය පරිහරණය කරව” යි කීය. ගිනිවෙස්න, මෙසෙයින් උදරම්පුත් මට සබ්‍රම්සර වූයේ මා ඇදුරුතන්හිදු තැබීය. උතුම් පූජායෙනුදු මා පිදී. ගිනිවෙස්න, මට තෙල සිත් පහළවී: මේ අට සමවත් දහම කළකිරීම පිණිස නො වැටෙයි. නො ඇලීම් පිණිස, රාගාදීන්ගේ නිරෝධය පිණිස, උපශම පිණිස, අභිඥෙය ධර්‍මයන් අභිජානනය පිණිස, චතුර්මාර්‍ගසම්බෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස නො වැටෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උප්පත්ති මතුවක් පිණිස වැටෙයි. ගිනිවෙස්න, මම ඒ අටසමවත් දහම ‘මෙයින් කම් නැතැ’යි පුන පුනා පිළිකෙව් කොට ඒ දහමින් නිබිද නික්මිණිමි.
22. ගිනිවෙස්න, මම කුසල කිමැයි සොයනුයෙම්, උත්තමශාන්ති සඞ්ඛ්‍යාත නිවන පිරියෙස්නෙම් මගධ රටෙහි පිළිවෙළින් සැරි සරනුයෙම්, උරුවෙල් දනව්යෙහි සේනානිගම නම් නියම්ගමට පැමිණියෙමි. එහි රමණී බිම් කොටස හා ප්‍රසාදකර වන ළැහැබ හා, කස වූ මඬ ඇති (පිරිසිදු) මනාව පිහිටි ප්‍රතීර්‍ත්‍ථ (පිළිවෙළින් ගැඹුරු තොට) ඇති, රමණී, ගලන හොය හා හාත්පස සිසාළ ගොදුරුගම හා දිටිමි. ගිනිවෙස්න, මට තෙල සිත් වී: භූමිභාගය ඒකාන්තයෙන් රමණීය වෙයි. වන ළැහැබ ප්‍රසාදකර වෙයි. සුදු සුතොට ඇති රමණී හොය ද ගලා බසී. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කටැටි කුල දරුවක්හට ප්‍රධන්හි යෝග කරනු පිණිස මෙ තැන ඒකාන්තයෙන් හඹනු වෙයි (සමත් වෙයි) කියායි. ගිනිවෙස්න මම “ප්‍රධන්හි යෝග කරන්නට මෙතැන යෝග්‍ය වෙති”යි එහිම (ප්‍රධන් කරනු සඳහා) හිඳ ගතිමි.
23. තවද ගිනිවෙස්න, පෙර නො ඇසූවිරූ ආශ්චර්‍ය්‍ය එළවන උපමාවෝ තුන් දෙනෙක් මට වැටහුණ හ. ඒ කෙසේ ය යත්:
ගිනිවෙස්න, දියෙහි බැහු ස්නෙහ සහිත තෙත් කැටෙක් (උදුම්බරකාෂ්ඨයෙක්) ඇති ද, එසඳ ‘ගිනි දල්වා නිපදවමී, තේජස් පහළ කරමී’ යි පුරුෂයෙක් උතුරුඅරිණි (මතුයෙහි සිටුනා ගිනිගානා දඬෙක්) ගෙන එන්නේ වේ ද, ගිනිවෙස්න, එ කිසේ හඟිහි? ඒ පුරිස දියෙහි බැහු සහසනා තෙල තෙත් කට උතුරඅරිණී ගෙන මඬනේ ගිනි නිපදවන්නේ වෙද? තෙද පහළ කරන්නේ වේදැ?යි. “භවත් ගොයුම්ගොතුව, නොවන්නේ මැ ය” ඒ කවර හෙයින? “භවත් ගොයුම්ගොතුව, තෙල තෙත් කට සහසනා වෙයි. එ ද දියෙහි බැහුනේ වෙයි ඒ පුරුෂ කලකුළුවට (ක්ලාන්තයට) පැළදුකට (පීඩ දුඃඛයට) හිමි වනු ම වෙයි.”
ගිනිවෙස්න, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, කයිනුදු කාමයෙන් දුරු නො වූවාහු වාස කෙරෙත්ද, කම්සපුයෙහි උන්ගේ යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාම මූර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇත් ද, එ ද සියසතන්හි නො පැහුණේ වේ ද, නො සන්හිඳුණේ වේ ද, ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමිකවූ ද (උපක්‍රමයෙන් හටගත්) තීව්‍ර කටුක දුඃඛ වේදනා විඳිති. ඔහු ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස අභව්‍ය ම වෙති. ඒ භවත් මහණ බමුණෝ උවකමින් නිපන් තීව්‍ර කටුක දුක් වේදනා නො විඳුනාහු නමුදු, ඔහු ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස අභව්‍යම වෙති. ගිනිවෙස්න, පෙර නො ඇසුවිරූ මතු මතු විස්මය උපදවන මේ පළමුවන උවමාව මට වැටහිණි.
24. ගිනිවෙස්න, පෙර නො ඇසූ විරූ විස්මජනක දෙවන උපමායෙක් ද මට වැටහිණ. කෙසේය යත්: ගිනිවෙස්න, දියෙන් දුරුව ගිය ගොඩබිමෙහි නගාලු, සක්‍ෂීර, සස්නේහ, (උදුම්බර) කාෂ්ඨයෙක් ඇත්ද, එක්බිති පුරුෂයෙක් ‘ගිනි මොළොවා ලමි. තෙද නගා ගන්මි’යි උතුරුඅරණී ගෙන එන්නේ වේ ද, ඒ පුරුෂ දියෙන් දුරු ව ගිය, ගොඩබිම නහාලු, කිරිසහිත හෙයින් තෙත් වූ, එහෙයින් ම සස්නේහ වූ, තෙල දිඹුල්දඬු උතුරුඅරණී ගෙන මඬනේ ගිනි මොළොවන්නේ වේ ද, තෙද නඟා ගන්නේ වේදැයි. “භවත් ගොයුම්ගොතුව, නොවන්නේ මැ ය.” ඒ කවර හෙයින: “භවත් ගොයුම්ගොතුව, දියෙන් දුරු ව සිටිය ද, ගොඩ නගාලුව ද, තෙල කාෂ්ඨය තෙත් වෙයි. ස්නෙහ සහිත වෙයි ඒ පුරුෂ ක්ලමථුවට විඝාතයට හිමි වනු ම වෙයි” කීය. ගිනිවෙස්න, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, කයින් කම්සපුවෙන් මෙසෙයින් දුරුවූවාහු වාස කෙරෙත් ද, උන්ගේ කම්සපුයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇත් ද, එද සියසතන නො පැහුණේ වේද, මොනොවට නො සන්හිඳුණේ වේ ද, ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමිකවූත් තීව්‍ර කටුක දුඃඛ වේදනා විඳිති. ඔහු ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස අභව්‍ය වෙත් මැ ය. ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමික තීව්‍ර කටුක දුඃඛවේදනා නොවිඳුතු දු ඔහු ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස අභව්‍ය වෙත් මය. ගිනිවෙස්න, ඇඟිලි පොළන්නට නිසි පෙර නො ඇසූවිරූ මේ දෙවන උපමාව මට වැටහිණ.
25. ගිනිවෙස්න, පෙර නො ඇසූ විරු මතු මතු ආශ්චර්‍ය්‍ය උපදවන අන් තුන්වන උපමා ද මට වැටහිණ. ඒ කෙසේය යත්: ගිනිවෙස්න, දියෙන් බැහැර වැ ගිය ගොඩබිම නඟාලු ස්නෙහ රහිත වියැළි පවනින් හඬනා (කොළපු) උදුම්බර කාෂ්ඨයෙක් ඇත් ද, එක්බිති පුරුෂයෙක් ‘ගිනි මොළොවමි, තේජෝ ධාතු පහළ කොට ගන්මී’ උතුරුඅරණි ගෙන එන්නේ වේද, ගිනිවෙස්න, ඒ කිමැයි හඟිහි? ඒ පුරුෂ දියෙන් වෙන් ව ගිය, ගොඩබිම නගාලු, නොතෙත්, පවනින් හඬන, තෙල කාෂ්ඨය උතුරුඅරණි ගෙන මඬනේ ගිනි මොළොවන්නේ වේ ද? තේජෝ ධාතු පහළ කරන්නේ වේදැ?යි. “භවත් ගොයුම්ගොතුව, එය වන්නේ මැය.” ඒ කවර හෙයින? “භවත් ගොයුම්ගොතුව, තෙල කාෂ්ඨය, ශුෂ්කය, කොළාපය, එ ද දියෙන් වෙන් වන, ගොඩබිම නගාලන ලදැ”යි.
ගිනිවෙස්න, එසෙයින් ම යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, කයිනුදු කම්සපුයෙන් වෙසෙසින් දුරු වූ වාහු වාස කෙරෙත්ද, කම්සපුයෙහි උන්ගේ යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇත් ද, එ ද සියසතන මොනොවට ප්‍රහීණ වෙයි. මොනොවට සන්හිඳුණේ වෙයි. ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමිකවූත් තීව්‍ර, කටුක, දුඃඛ වේදනා විඳුතුදු ඥානදර්‍ශන - අනුත්තර සම්බොධ-සඞ්ඛ්‍යාත ලෝකෝත්තර මාර්‍ගඥානය පිණිස භව්‍ය වෙත් මැ ය. ඉදින් ඒ භවත් මහණ බමුණෝ ඖපක්‍රමික, තීව්‍ර, කටුක, දුඃඛවේදනා නොවිඳුතු දු ලෝකෝත්තරමාර්‍ග ඥානය පිණිස භව්‍ය වෙත් මැ ය. ගිනිවෙස්න, පුන පුනා ආශ්චර්‍ය්‍යයට කරුණු වූ පෙර නො ඇසූ විරු මේ තුන්වන උපමා මට වැටහිණ.
ගිනිවෙස්න, පෙර නො ඇසූ විරු අන්‍වාශ්චර්‍ය්‍ය වූ මේ ත්‍රිවිධ උපමාවෝ මට වැටහුණාහ.
26. ගිනිවෙස්න, මට මෙසේ සිතෙක් වී, “මම යටිම්ණිය දතෙහි උඩිම්ණිය දත තබා (යටි දතෙහි උඩු දත තබා), දිවින් තලු මැඬගෙන, කුසල් සිතින් අකුසල් සිත නිගන්නෙම් නම්, පෙළන්නෙම් නම්, (කෙලෙස් තවන වැරින්) තවන්නෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම යටදතෙහි උඩුදත තබා දිවින් තලු මැඬගෙන, කුසල් සිතින් අකුසල් සිත නිගන්මි, පෙළමි, තවමි. ගිනිවෙස්න, යටි දතෙහි උඩු දත තබා දිවින් තලු මැඩගෙන කුසල්සිතින් අකුසල් සිත නිගන්නා, පෙළන, තවන මාගේ කැසින් (කිසිල්ලෙන්) ස්වේදයෝ සිලියෙති. ගිනිවෙස්න යම්සේ බලවත් පුරුෂයෙක් දුර්‍වලතර පුරුෂයකු හිසැ හෝ ගෙන භූජශිරසැ හෝ ගෙන නිගන්නේ, පෙළන්නේ තවන්නේ වේ ද, ගිනිවෙස්න, එසෙයින් ම යටදතෙහි උඩුදත තබා දිවින් තලු මැඩගෙන, කුසල් සිතින් අකුසල් සිත නිගන්නා, පෙළන, තවන මාගේ කැසින් ස්වේදයෝ සිලියෙති. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රුකළේ වෙයි. (එහෙයින් ම) අසංලීන (නො සැඟවුනේ) වෙයි. සිහි එළැඹියේ අසම්මුෂිත වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන් වැර කිරීමෙන් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑ මගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනාත් සිත් නො ගෙවා ගෙන සිටී.
27. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: මම අප්‍රාණක (නිරාශ්වාස) ධ්‍යාන කරන්නෙම් නම් මනා මැනුයි. ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැරිමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු අසස් පසස් වැළහු කල, දෙකන් සිලින් නික්මෙන වාතයන්ගේ අධිමාත්‍ර ශබ්දයෙක් මට ඇත. පුඹුනා කඹුරු භස්ත්‍රායෙක යම්බඳු අධිමාත්‍ර ශබ්දයෙක් ඇත් ද, ගිනිවෙස්න, එ පරිදි ම මුවිනුදු නැහැයිනුදු අසස් පසස් වැළහු කල, දෙකන් සිලින් නික්මෙන වාතයන්ගේ අධිමාත්‍ර ශබ්දයෙක් වෙයි. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රුකළේ වෙයි. (එ හෙයින්) අංසලීන වෙයි. සිහි එළඹියේ වෙයි. සම්මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන් වීර්‍ය්‍යයෙන් වීත්කෑ මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනාත් සිත් නො ගෙවා ගෙන සිටී.
28. ගිනිවෙස්න, මට මෙ සිත්වී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැරීමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළහු කල අධිමාත්‍ර වාතයෝ මා හිස මැඩගෙන පෙළත්. ගිනිවෙස්න, බලවත් පුරුෂයෙක් තියුණු තුඩෙකින් යම්සේ හිස මඩනේ වේ ද, ගිනිවෙස්න, එපරිදිම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල අධිමාත්‍ර වාතයෝ මා හිස පෙළා ගනිත්. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර ඇරැඹුනේ අසංලීන (නො සැඟවුනේ) වෙයි. (මට) සිහි එළඹියේ සම්මුෂිත (නටුයේ) නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් ප්‍රධනින් විත් කෑ මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනා ද සිත් නො ගෙන සිටී.
29. ගිනිවෙස්න, මට මෙ සිත්වී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැරීමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල මාගේ හිසෙහි අධිමාත්‍ර ශිරො වේදනාවෝ වෙති. ගිනිවෙස්න, යම් සේ බල ඇති පුරුෂයෙක් දළවරබහතින් හිසැ හිස් වෙළුම් දෙන්නේ වේද, ගිනිවෙස්න, එසෙයින් ම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල මා හිසැ අධිමාත්‍ර ශිරඃශුලවේදනාවෝ වෙති. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රුකුළේ අසංලීන වෙයි. සිහි එළැඹියේ සම්මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් ප්‍රධනින් විත් කෑ මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනා ද සිත් නො ගෙන සිටී.
30. ගිනිවෙස්න, මට මෙ සිත් වී: මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙම් නම් මනා මැනු”යි ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැරීමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිඳිත්. ගිනිවෙස්න, දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතකයකුගේ අතැවැස්සෙක් හෝ තියුණු ගෙරිකපන කැත්තෙන් යම් පරිදි කුස කපන්නේ වේ ද, ගිනිවෙස්න, එ පරිදි ම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල අධිමාත්‍ර වාතයෝ මා කුස කපති. ගිනිවෙස්න, මා විසින් කෙලෙස් තවන වැර රුකුළේ අසංලීන වෙයි. සිහි එළැඹියේ සම්මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් විදුනු මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛවේදනා ද සිත් නොගෙන සිටී.
31. ගිනිවෙස්න, මට මෙ සිත්වී: “මම අප්‍රාණක වූ ම ධ්‍යානය කරන්නෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැරීමි. ගිනිවෙස්න, මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල මා කයෙහි අධිමාත්‍ර දාහ වෙයි. ගිනිවෙස්න, බල ඇති දෙපුරිස් කෙනෙක් දුර්‍වලතර පුරුෂයකු වෙන වෙන අත්හි ලාගෙන අඟුරු වළෙක ලා යම්පරිදි තවන්නාහු වෙත් ද, වෙසෙසින් තවන්නාහු වෙත් ද, ගිනිවෙස්න, එ පරිදි ම මුවිනුදු නැහැයිනුදු කනිනුදු අසස් පසස් වැළැහු කල මාගේ කයෙහි අධිමාත්‍ර දාහ වෙයි. ගිනිවෙස්න, මා විසින් වැර අරඹන ලද්දේ අසංලීන වෙයි. සිහි එළඹියේ සම්මුෂිත නොවෙයි. ඒ දුක් සහගිය ප්‍රධන්වැරකරණින් ප්‍රධනින් විත් කෑ මාගේ කය දරථ සහිත වෙයි. නො සන්හුන් වෙයි. ගිනිවෙස්න, මට උපන් මෙවන් දුඃඛ වේදනාත් සිත් නොගෙන සිටී. තවද ගිනිවෙස්න, දෙවිකෙනෙක් මා දැක මෙසේ කීහ: “මහණ ගොයුම් කලුරිය කළහ”යි. කිසි දෙවිකෙනෙක් මෙසේ කීහ: “මහණ ගොයුම් කලුරිය නො කෙළේ. එතෙකුදු වුව, (මඳෙකින්) කලුරිය කළ හෙති”යි. කිසි දෙවි කෙනෙක් මෙසේ කීහ: “මහණ ගොයුම් කලුරිය නො කෙළේ ය. (මඳෙකින්) නොද කලුරිය කෙරෙයි. මහණ ගොයුම් රහතෙක. රහත්හුගේ තෙල විහාරය මෙබඳු ම (මළා මෙන්) වෙති” යි.
32. ගිනිවෙස්න, මට මෙ සිත්වී: මම හැම ලෙසින් අහර නො වළඳනු පිණිස පිළිපදනෙම් නම් මනා මැනු”යි. ඉක්බිති ගිනිවෙස්න, දෙවියෝ මා කරා අවුත් තෙල බස් කීහු: “නිදුකාණෙනි, තොප හැමසෙ ආහාරෝපච්ඡේදය පිණිස නොපිළිපදනේ මැනැව. නිදුකාණෙනි, ඉදින් තෙපි හැමසෙ අහර වළහන්නට පිළිපදනහු නම් අපි තොපට දිව්‍යඕජස් ලෝමකූපයෙන් කවම්හ, එයින් තෙපි යැපෙව” යි. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී “මම වනාහි හැම ලෙසින් අභෝජනය ප්‍රතිඥා කෙරෙම් නම්, මේ දෙවියෝ ද මට ලෝමකූපයෙන් දිව්‍ය ඔජා බහත් නම්, එයිනුදු මම යපෙම් නම්, ඒ මාගේ මුසාවා වෙයි.” ගිනිවෙස්න, මම ඒ දෙවියන් වළහමි. මෙයින් කම් නැති යයි කියමි.
33. ගිනිවෙස්න, මට මෙසිත් වී: “මම මුං යුස හෝ ය, කොල්ලු යුස හෝ ය, මහ මැහැ (කඩල) යුස හෝ ය, කුඩා මැහැ යුස හෝ ය යි පත පත බැගින් මඳ මඳ අහර වළඳ කෙරෙම් නම් මනා මැනු”යි. ගිනිවෙස්න, මම, මුංයුස හෝ ය, කොල්ලුයුස හෝ ය, මහමෑයුස හෝ ය කුඩාමෑයුස හෝ ය යි පත පත කොට මඳ මඳ අහර වළඳ කෙළෙමි. ගිනිවෙස්න, මුංයුස හෝ ය, කොල්ලුයුස හෝ ය, මහමෑයුස හෝ ය, සුළුමෑයුස හෝ යයි පත පත කොට මඳ මඳ අරහ වළඳ කරන මාගේ කය වැඩියක්ම වැහැළි බවට ගියේ වෙයි. ‘ආසීතික’ වැල්පුරුක් හෝ කළුවැල් පුරුක් හෝ යම්බඳු වේ ද, එම අල්පාහාරතායෙන් මාගේ (හස්තාදි) අඟ හා (අඞ්ගුල්‍යාදි) පසඟ හා එබඳු වෙයි. ඔටුපිය යම්බඳු වේ ද, එම අල්පාහාරතායෙන් මාගේ හිද්ම එබඳු වෙයි. වටන්වැළ යම්බඳු වේ ද, එම අල්පාහාරතායෙන් මාගේ වසටවැළ උන්නතාවනත (හිවිඑබිපියෙවි) වෙයි. දිරුහලෙක ගවනැස්හු යම්පරිදි ඔබ මොබ බිඳහැළුණුහු වෙත් ද, එ පරිදි එම අල්පාහාරතායෙන් මාගේ ඇළ ඇට ඔලුග්ගවිලුග්ග (තැන තැන නතු මතු) වෙයි.
යම්පරිදි ගැඹුරු ළිඳෙහි දියතරු ගැඹුරට ගියාහු, යට ගැලුණුහු පැනෙත් ද, එපරිදි ම එම අල්පාහාරතායෙන් මාගේ අක්‍ෂිකූපයෙහි ඇස්තරු (කතීනිකාවෝ) ගැඹුරට ගියාහු, යට ගැලුණුහු පැනෙතී. යම් පරිදි අමුව තිලමින් සිටිය දී සුන් තිතුලබු අවුසුළඟින් හැකුළුණේ මිලියේ වේ ද, එපරිදි එම අල්පාහාරතායෙන් මාගේ හිස සිවිය හැගුළුණේ, මැලැවුණේ වෙයි.
34. ගිනිවෙස්න, මම බඩසිවිය පිරිමදිමී යි බඩසිවිසහගිය වසට ම අත්ලා ගතිමි. වසට පිරිමදිමි යි වසටසහගිය බඩසිවිය ම අත්ලා ගතිමි. ගිනිවෙස්න, මාගේ දුෂ්කරක්‍රියාව කොතරම් වීද යත්: එම අල්පාහාරතායෙන් මාගේ උදරච්ඡවිය පිටිකටුව පැහැර ඇලී සිටියා වෙයි. ගිනිවෙස්න, මම එම අල්පාහාරතායෙන් මල මු හෝ කරම් ද එතැන ම යටිහුරු ව ඇද වැටෙමි. ගිනිවෙස්න, මම මේ (පශ්චිමභවික) කය ම අස්වසනුයෙම් අතින් ගාත්‍රයන් පිරිමදිමි. ගිනිවෙස්න, එම අල්පාහාරතායෙන් අතින් ගාත්‍ර පිරිමදනා මාගේ කයින් (මස් ලේ නැතියෙන්) දුගඳ මුලසුන් ලෝමයෝ ගිලිහී වැටෙති. තවද ගිනිවෙස්න, මිනිස්හු මා දැක මෙසේ කීහ: “මහණ ගොයුම් කළුවන් වෙති”යි ඇතැම් මිනිසුහු මෙසේ කීහ: “මහණ ගොයුම් කළුවන් නොවෙයි. මහණ ගොයුම් රන්වන් වෙති”යි. ඇතැම් මිනිස්සු මෙසේ කීහ: “මහණ ගොයුම් කළුවන් නො වෙයි. නො ද රන්වන් වෙයි. මහණ ගොයුම් මඟුරුමසුපැහැ බඳු පැහැ ඇතියෙකැ”යි. ගිනිවෙස්න, එතරම් පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මාගේ ඡවිවර්‍ණය එම අල්පාහාරතායෙන් මෙපමණට නටුයේ වෙයි.
35. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: “යටගිය දවස මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම්කිසි කෙනෙක් ඖපක්‍රමික වූ තීව්‍ර, කටුක, දුඃඛ වේදනා වින්දාහු ද, (ඒ වේදනාවනට ද මා වින්ද) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩි වූයේ නො වෙයි. මතු අනායෙහි මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම්කිසි කෙනෙක් ඖපක්‍රමික වූ තීව්‍ර, කටුක, දුඃඛවේදනා විඳිත් ද, (ඒ වේදනාවනට) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩි වන්නේ නො වෙයි. මෙ දවස මහණ කෙනෙක් වෙත්වයි, බමුණු කෙනෙක් වෙත්වයි, යම් ම කෙනෙක් ඖපක්‍රමික වූ තීව්‍ර, කටුක, දුඃඛවේදනා විඳිත් ද, (ඒ වේදනාවනට ද) තෙල දුක් ම පරම වෙයි. මෙයින් වැඩියෙක් නොවෙයි. මම මේ කුළු දුෂ්කරක්‍රියායෙන් මිනිස් දහමින් උතුම් අරීබව කරන්නට සමත් ලොවුතුරා මඟ නැණවෙසෙසක් නො පිළිවිදුමි. සම්බෝධය පිණිස අන් මඟෙක් විය හේ නු”යි.
36. ගිනිවෙස්න, මට මෙසේ සිත්වී: “පියසැහැ මහරජාණන් කමතෙහි සිහිල් දඹරුක් සෙවනෙහි (පලඟ බැඳ) හුන්නේ, කාමයෙන් වෙන් ව ම අකුසල් දහමින් වෙන් ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකජප්‍රීති සුඛ ඇති, ප්‍රථමධ්‍යානය සපයාගෙන වාස කෙළෙම් මම දනිම්ම ය. සම්බෝධය පිණිස මේ මාර්‍ග විය හෙති දෝ”යි. ගිනිවෙස්න, සම්බෝධය පිණිස තෙල (ආනාජන්සී ධ්‍යානය) ම මාර්‍ගය වේ”ය කියා මට සතානුසාරිවිඤ්ඤාණය (‘මේ ම මාර්‍ගය වේ ය’යි වරක් දෙවරක් උපන් ස්මෘතියට අනතුරුව උපදනා) විඥානය ඇති වී
ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: “කාමයන් හැරැපියා සිටි, අකුසල් දහම් හැරැපියා සිටි, යම් ඒ (ආනාපානස්මෘතියෙන් ලත් ප්‍රථමධ්‍යාන) සුඛයෙක් වේද, කිම, මම ඒ සුඛයට බියපත් වෙම් දෝ හෝ”යි.
37. ගිනිවෙස්න, මට මෙසේ සිත් වී: “කාමයන් හැරැපියා සිටි, අකුශල ධර්‍ම හැරැපියා සිටි, යම් ඒ සුවයෙක් ඇත් ද, මම ඒ සුවයට බියපත් නොවෙමි”යි. ගිනිවෙස්න, මට මෙසේ සිත්වී: “මෙසේ අතිශයෙන් වැහැළි පත් කයින් ඒ සුවය ලැබගන්නට සුකර නොවේ. මම දළ බත්කොමූ අහර වළඳ කෙරෙම් නම් මනා මැනු”යි කියායි. ගිනිවෙස්න, මම දළ බත්කොමු අහර වළඳ කෙළෙමි. ගිනිවෙස්න, එ දවස “මහණ ගොයුම් යම් දහමක් අධිගම කෙරේ ද, එ දහම අපට කියති”යි භික්‍ෂූහු පස්දෙනෙක් මා උවටනෙහි යෙදුනාහු වෙති. ගිනිවෙස්න, මම දළ බත්කොමු අහර වළඳ කෙළෙම් ද, එ හෙයින් ඒ පස් මහණහු “මහණ ගොයුම්හු ප්‍රත්‍යයබාහුලිකයහ. ප්‍රධනින් ගිලිහුණ හ. බාහුල්‍යයට (ප්‍රණීත භෝජනාදියට) නැවත වැටුණාහ”යි උකැටි ව මා පියා ගිය හ.
38. ගිනිවෙස්න, මම ඖදාරික ආහාර වැළඳුයෙම් කායබල ලැබ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන් ව විතර්‍ක සහිත, විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති, ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙළෙමි. ගිනිවෙස්න මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
39. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි සම්ප්‍රසාදන ඇති, සිත්හුගේ ඒකෝදි (උතුම් ව උපදනා) සමාධිය වඩනා, විතර්‍කරහිත, විචාරරහිත, (ප්‍රථම ධ්‍යාන) සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළඹ වාස කෙළෙමි. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනා මා සිත් ගෙන නො සිටී.
40. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂක ද වූයෙම්, ස්මෘතිමත් ද වූයෙම්, සම්‍යග්ඥාන ඇත්තෙම් වාස කෙළෙමි. සුඛය ද නාමකයින් වළඳ කෙළෙමි. යම් ධ්‍යානයක් සඳහා “හේ උපේක්‍ෂකය, ස්මෘතිමත් ය, සුඛවිහරණ ඇතියෙකැ”යි ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෘතීය ධ්‍යානය උපයා වාස කෙළෙමි. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
41. සුඛප්‍රහාණයෙනුදු, දුඃඛප්‍රහාණයෙනුදු, පළමු ම සොම්නස් දොම්නස්හුගේ ප්‍රහාණයෙන් දුක් නැති, සුඛ නැති, උපේක්‍ෂායෙන් උපන් පිරිසිදු සිහි ඇති, චතුර්‍ත්‍ථධ්‍යානය ලැබ ගෙන වාස කෙළෙමි. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
42. මම මෙසෙයින් මොනොවට එකඟ වූ සිත පිරිසිදු ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදුභුත ව කර්‍මණ්‍ය ව ස්ථිත ව නිශ්චලප්‍රාප්ත ව සිටි කල ඒ සිත පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස නතු කෙළෙමි. මම නන්වැදෑරුම් පූ පූර්වේනිවාසය සිහිකරමි. එ කෙසේය යත්:-
එක්දැයකුදු, දෙදැයකුදු, තුන්දැයකුදු, සිවුදැයකුදු, දසදැයකුදු, විසිදැයකුදු, තිස්දැයකුදු, සාළිස්දැයකුදු, පනස්දැයකුදු, සියක්දැයකුදු, දහස්දැයකුදු, සුවහස්දැයකුදු - අනෛකසංවර්‍තකල්පයනුදු, අනෛකවිවර්‍තකල්පයනුදු, අනෛකසංවර්‍ත විවර්‍තකල්ප යනුදු, සිහි කෙරෙමි: “අසෝ තන්හි උපන්මි. මෙබඳු නම් ඇතියෙම්, මෙබඳු ගෝත්‍ර ඇති යෙම්, මෙබඳු වර්‍ණ ඇතියෙම්, මෙබඳු ආහාර ඇතියෙම්, මෙබඳු සුවදුක් විඳියෙම්, මෙබඳු ආයුකාල අවසන් කෙළෙම් වීමි. මම එයින් ච්‍යුත ව අසෝ තැන (තුෂිතභවනයෙහි) පහළවීමි. එහි (තුෂිතභවනයෙහි)දු මෙ බඳු (සේතකේතු නම්) නම් ඇති වීමි. මෙබඳු ගෝත්‍ර (දෙවියන් හා ඒකගෝත්‍ර) ඇති වීමි. මෙබඳු (සුවර්‍ණ) වර්‍ණ ඇතිවීමි. මෙබඳු (සුධාභෝජන) ආහාර ඇති වීමි. මෙබඳු දෙවසැප හා සකරදුක් විඳියෙම් වීමි. මෙබඳු (සත්පනස්කෙළසැටසුවහස්වා) ආයුකාල කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව මෙහි (මහාමායාවන් කුස) උපන්මි”යි. මෙසෙයින් (වර්‍ණාදිවිසින්) ආකාර සහිත (නාමගෝත්‍රාදිවිසින්) උද්දෙශසහිත බහුප්‍රකාර පූර්වේනිවාසය සිහිකරමි. ගිනිවෙස්න, මා විසින් රැය පළමු යම්හි මේ (පූර්වේනිවාසය දත් හෙයින්) ප්‍රථම වූ විද්‍යාව අධිගත වූය. මට (එම පූර්වේනිවාසය අවිදිත කරමින් සිටි) අවිද්‍යාව විනෂ්ට වූ ය. විද්‍යාව උපන. (යම් හෙයෙකින් විද්‍යාව උපන් ද, එ හෙයින්) මෝහතමස විගත වී. විද්‍යාලෝකය උපන. (ස්මෘතිඅවිප්‍රවාසයෙන්) අප්‍රමත්තව (වීර්‍ය්‍යාතාපයෙන්) ආතාප ඇතිව (කායජීවිත දෙක්හි අනපේක්‍ෂතායෙන්) ප්‍රහිතාත්ම ව වාස කරන්නක්හට (විද්‍යාව උපදනා) සෙයින. ගිනිවෙස්න, මෙ බඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
43. මම මෙසේ සමාහිත වූ සිත පරිශුද්ධ ව පර්‍ය්‍යාවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදුභූත ව කර්‍මණ්‍ය ව ස්ථිත ව නිශ්චලභාවප්‍රාප්ත ව සිටි කල ඒ සිත සත්ත්‍වයන්ගේ චුතුපපාතඤාණය (රූපාරම්මණ අලු කරන දිවසක් නැණ) පිණිස නතු කෙළෙමි. ඒ මම මිනිස් ඇස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් මැරෙන උපදනා සතුන් දකිමි. හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත වූ කම් වූ පරිදි ගිය සතුන් දන්මි: “මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහ, මිථ්‍යාදෘෂ්ටිකයහ, මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතුයෙහි සුවෙන් පහ ව සිටි, නපුරුගති ඇති, විවස ව හෙන නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්‍වයෝ ද කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනඃසුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කරන්නාහ, සම්‍යග්දෘෂ්ටිකයහ, සම්‍යග්දෘෂ්ටි කර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතුයෙහි ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි. මෙසේ මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් මැරෙන උපදනා සතුන් දක්මි. හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සත්ත්‍වයන් දන්මි: ... ගිනිවෙස්න, රැය මැදිම් යම්හි මා විසින් මේ දෙවන විද්‍යාව (දිවසක්නැණ) අධිගත වූය. අවිද්‍යා විනෂ්ට වූය. විද්‍යා උපන. තමස විනෂ්ට විය. ආලොකය උපන. නොපමා ව වැර ඇතිව අරමුණ කරා ගිය සිත් ඇති ව විහාර කරනුවක්හට (විද්‍යා උපදනාක්) සෙයින. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනා මා සිත් ගෙන නො සිටි.
44. මම මෙසේ සමාහිත වූ සිත (චතුර්‍ත්‍ථධ්‍යාන පාදක විදර්‍ශනා සිත) පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදුභූත ව කර්‍මණ්‍ය ව සිථිත ව නිශ්චලභාවප්‍රාප්ත ව සිටිකල ඒ විවසුන්සිත රහත් මඟනැණ පිණිස නතු කෙළෙමි. මම ‘දුක මේයැ’යි ඇතිසැටි පිළිවිදිමි. ‘දුඃඛසමුදය මේ යැ’යි ඇතිසැටි පිළිවිදිමි. ‘දුඃඛනිරෝධය මේයැ’යි (දුඃඛ දුඃඛ සමුදය දෙදෙනාගේ අප්‍රවෘත්ති සඞ්ඛ්‍යාත නිර්‍වාණය) ඇති සැටි පිලිවිදිමි. ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපද් මෝයැ’යි (නිවන් කරා යන අරිමඟ) ඇති සැටි පිළිවිදිමි. ‘ආස්‍රවයෝ මූ යැ’යි යථාභූතය දත්මි. ‘ආස්‍රව සමුදය මේ යැ’යි යථාභූතය දත්මි. ‘ආස්‍රවනිරෝධය මේ ය’ යි යථාභූතය දත්මි. ‘ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් මෝ යැ’යි යථාභූතය දත්මි. මෙසේ දන්නා මෙසේ දක්නා මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණ. භවාස්‍රවයෙනුදු සිත මිදිණ. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදිණ. විමුක්ත වත් ම විමුක්ත යැ යි (පස්විකුන්) නැණ පහළ වී: ‘ජාතිය ක්‍ෂීණ විය. මගබ්‍රම්සරවස් වසන ලදී. (සතර මගින් කටයුතු ෂෝඩශවිධ) කරණී කරන ලදී. ඉත්‍ථම්භාවය (මෙසේ ෂොඪශාකාරයෙන් සත්‍යවබෝධ) පිණිස අන්‍ය (මාර්‍ගභාවනා) කෘත්‍යයෙක් නැති යි දත්මි. ගිනිවෙස්න, රැය පැසිම්යම්හි මේ තුන්වන (අර්‍හත්ත්‍වමාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව මා විසින් අධිගත වූ ය. අවිද්‍යා විහත ය. විද්‍යා උපන. මෝහය විගත විය. ආලොකය උපන අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව විහාර කරනුවක්හට (විද්‍යාව උපදනාක්) සෙයින. ගිනිවෙස්න, මෙබඳු වූත් උපන් සුඛවේදනාව මා සිත් ගෙන නො සිටී.
45. ගිනිවෙස්න, මම නොයෙක් සිය ගණන් පිරිස්හි දහම් දෙසුවෙම් දනිම් ම ය. එහිදු එකෙක් එකෙක් මා මෙසේ හඟනේ ය: “මහණගොයුම් මා ම ඇරැඹ දහම් දෙසති”යි. ගිනිවෙස්න, තෙල මෙසේ නො දත යුතු ය. තථාගත පරාහට (දතහෙන හැමට ම) විඥාපනය පිණිස දහම් දෙසයි. ගිනිවෙස්න, මම ඒ කථාවසානයෙහි (කථා සන්‍ධියක් පාසා) ම යම් ඵලසමාධියෙකින් නිතිකල් වෙසෙම් නම්, එම පුරිමසමාධිනිමිත්තයෙහි (එකාග්‍රතායෙන් යෙදී) සියසතන්හි ම සිත තබමි, හිඳුවමි, එකඟ කරමි, නංවාලමි.
46. “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන්ගේ චිත්තෛකාග්‍රතා සෙයින් භවත් ගොයුම්ගොතුවන්ගේ තෙල ඒකාග්‍රතා ඇදහිය යුතු වෙයි. භවත් ගෞතමයන් වහන්සේ දවහල නිදිගත්සේක් ද?” ගිනිවෙස්න, ගිමන් පැසිම්මස පසුබත පිඬුවායෙන් වැළකුණෙම් සිවුර සිවුගුණ කොට පෙන්වා දකුණු ඇළයෙන් සිහි ඇතියෙම්, නුවණින් දන්නෙම්, නිද්‍රාවට (කෙලෙස් රහිත කායචිත්තදරථයට) බැස ගත්තෙම් දන්මි. ‘භවත් ගොයුම්ගොතුව, ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල නින්ද සම්මෝහවිහාරය (සිහිමුළාව විසීම)’යි කියත් මැනු’යි ගිනිවෙස්න, මෙතෙකින් සම්මූඪ වෙති යි හෝ අසම්මුඪවෙති යි හෝ නො කියමි. වැලිදු ගිනිවෙස්න, යම් පරිදි සිහි නටුයේත් වේ ද, සිහි නොනටුයේත් වේ ද ඒ අසව, මනාකොට මෙනෙහි කරව, වදාරමි යි. එසේය, භවත් ගොයුම්ගොතුව යි සච්චක නුවට දරු භගවත්හට පිළිවදන් දින භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:-
47. ගිනිවෙස්න, යම්කිසිවක්හට සිත කිලුටු කරන, පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථ සහිත, දුඃඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණයට හිත, යම් ආස්‍රව කෙනෙක් අප්‍රහීණ ව ඇත් ද, මම ඔහු සම්මූඪ ය යි කියමි. ගිනිවෙස්න, ආස්‍රවයන්ගේ අප්‍රහාණියෙන් සම්මූඪ වෙයි. ගිනිවෙස්න, යම් කිසිවක් හට සිත කිලිටි කරන, පුනර්‍භවය පිණිස වැටෙන, කාය චිත්ත දරථ සහිත, දුඃඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණයට හිත, යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණව ඇත්ද, මම ඔහු අසම්මූඪ යයි කියමි. ගිනිවෙස්න, ආස්‍රව ධර්‍මයන්ගේ ප්‍රහාණියෙන් අසම්මූඪ වෙයි. ගිනිවෙස්න, තථාගතයන්හට සිත කිලිටි කරන පුනර්‍භවය පිණිස වැටෙන, කායචිත්තදරථ සහිත, දුංඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට හිත, යම් ආස්‍රව කෙනෙක් වෙත් නම් ඔහු පුහුන් හ. උසුන් මුල්හ. මුදුන් සුන් තලක් සෙයින් අවාස්තුකෘතයහ. යලි නො හට ගන්නා සෙයින් කළ අභාව ඇතිය හ. මතු නූපදනා සැහැවි ඇතිය හ. ගිනිවෙස්න, යම්සේ මුදුන් සුන් තලෙක් යලි වඩනට අභව්‍ය වේ ද, ගිනිවෙස්න, එසෙයින් ම යම් ආස්‍රව කෙනෙක් සිත කිලිටි කෙරෙත් ද, පුනර්‍භවය පිණිස වැටෙත් ද, දරථ සහිත වෙත් ද, දුඃඛ විපාක ඇත් ද, මතු ජාති ජරා මරණයට හිතකර වෙත් ද, තථාගතයන් හට ඔහු ප්‍රහීණය හ. උසුන් මුල්හ. මුදුන්සුන් තලක් සෙයින් අවාස්තුකෘතයහ. නැවත නො හටගන්නා සේ විනශ්වරයහ. මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ යි.
48. මෙසේ වදාළ කල්හි සච්චක නුවට දරු භගවත් හට තෙල කී: භවත් ගොයුම්ගොතුව, අසිරිය. භවත් ගොයුම්ගොතුව, අද්භූත ය. මෙසේ ඝට ඝටා කියනු ලබන එළව එළවා කී වචනයෙන් බණනු ලබන භවත් ගෞතමයන්ගේ ඡවිවර්‍ණය බබලන්නේ ම ය. මුඛ වර්‍ණය වෙසෙසින් පහදනේ ම ය. එය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙයින.
49. භවත් ගොයුම්ගොතුව, මම පූරණ කාශ්‍යපයන්ට වාදයෙන් වාදාරෝපණ කෙළෙම් දනිමි. හෙද මා විසින් වාදයෙන් වාදාරෝපණ කරන ලද්දේ අනෙකෙකින් අනෙකක් කීයේ ය. (එකෙක නො පිහිටියේ ය.) කථාව බැහැර කෙළේ ය. කෝපය ද ද්වේෂය ද නො සතුට ද පහළ කෙළේ ය. මෙසේ ඝට ඝටා කියනු ලබන එළව එළවා කී වචනයෙනු බණනු ලබන භවත් ගෞතමයන්ගේ ඡවිවර්‍ණය ඔප් ඇතී වෙයි. මුඛ වර්‍ණය ද පහන් වෙයි. එය අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙයින.
50. භවත් ගොයුම්ගොතුව, මම මක්ඛලි ගෝසාලයන්ට ... අජිත කෙසකම්බලයන්ට ... පකුධ කච්චායනයන්ට ... සඤ්ජය බෙලට්ඨිපුත්තහට ... නිගණ්ඨ නාතපුත්ත හට වාදයෙන් වාද සමාරම්භ කෙළෙම් දන්මි. හෙද මා විසින් වාදයෙන් වාදාරෝපණ කරන ලද්දේ අනෙකෙකින් අනෙකක් කීයේ ය. කථාව බැහැර කෙළේ ය. කෝපය ද ද්වේෂය ද නොසතුට ද පහළ කෙළේ ය. මෙසේ ඝට ඝටා කියනු ලබන, එළව එළවා කි වචනයෙන් බණනු ලබන භවත් ගෞතමයන්ගේ ඡවිවර්‍ණය ඔප් ඇති වෙයි. මුඛ වර්‍ණය ද පහන් වෙයි. එය සම්‍යක් සම්බුද්ධ කෙනෙකුන්ගේ සෙයින.
51. ‘භවත් ගොයුම්ගොතුව, අපි බොහෝ කෘත්‍ය ඇතියම් හ. බොහෝ කටයුතු ඇතියම් හ. එබැවින් දැන් අපි යම්හ’යි.
“තෝ එයට දැන් කල් දනු, ගිනිවෙස්නැ”යි වදාළහ.
එක්බිති සච්චක නුවටදරු භගවත්හුගේ භාෂිතය සතුටින් පිළිගෙන (සිතින් නොව වචනයෙන්) අනුමෝදන් ව හුනස්නෙන් නැගී නික්ම ගියේ ය.
මහාසච්චක සූත්‍රය සවැනියි.
1. 4. 7.
චූළතණ්හාසඞ්ඛය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම්මහවෙහෙර මුවරමාපහයෙහි වැඩ වෙසෙති. එක්බිති සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේ. එකත්පස් ව සිටි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ:
2. “වහන්ස, කිපමණෙකින් මහණ තෙමේ සැකෙවින් තණ්හාසඞ්ඛය විමුත්ත (තෘෂ්ණා නිරෝධ නම් වූ නිවන් අරමුණ කොට රහත්) වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍ය බ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ දැ”යි (රහත්හුගේ පූර්‍වභාගප්‍රතිපද් සැකෙවින් වදාළ මැනැවැයි සැළකෙළේය).
3. දේවේන්‍ද්‍රය, මෙසස්නෙහි මහණහු විසින් (ස්කන්‍ධායතනධාතුසඞ්ඛ්‍යාත) හැම දහම්හු අභිනිවේශය (තෘෂ්ණාදීන් බැසගැණීම) පිණිස නො යෙදෙතියි අසන ලද වෙයි. දේවේන්‍ද්‍රය, මහණහු විසින් ‘සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නො වෙති’යි එකරුණ මෙසෙයින් අසන ලද වේද, හේ ස්කන්‍ධාදිසර්‍වධර්‍ම (ඥාතපරිඥායෙන් අනිත්‍යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තිරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේ ය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විදුනේ වේ ද, හේ ඒ වේදනාවන්හි අනිත්‍ය විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණින් යුක්ත ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් කෙලෙස් හැරලන නිවන් වදනා මගනැණින් යුක්ත ව වෙසෙයි. හේ ඒ වේදනාවන්හි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ, පඤ්චස්කන්‍ධලෝකයෙහි කිසිදු සංස්කාරයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේය. නො ගන්මින් තෘෂිත (තෘෂ්ණාන්‍විත) නො වෙයි. (තණ්හා පරිතස්සන විසින්) පිපාසික නො වන්නේ සිය සතන්හි ම (කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය. බඹසරවස් වසන ලදී. (සොළොස්) කරණී කරන ලදී. නැවත මෙබවට නො එමී’ දනී. දේවේන්‍ද්‍රය, මෙතෙකින් මහණ සංක්‍ෂිප්ත විසින් නිවන් අරමුණ කොට රහත් වූයේ. ඒකාන්තනිෂ්ඨා ඇතියේ, තින්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යි. (මේ රහත්හුගේ පූර්‍වභාග ප්‍රතිපද් සැකෙවින් වදාළ නියා යි.)
එක්බිති සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කොට අනුමෝ ව භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ.
4. එකල ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ නුදුරැ හුන්හ. එසඳ මහමුගලන් මහතෙරහට තෙල සිත් වී: “කිම ඒ යක් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද, නොහොත් නොදැන අනුමෝදන් වීදැයි. ‘භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද නොහොත් නොදැන අනුමෝදන් වීදැ’යි මම ඒ යක් පිළිවිස දනිම් නම් මැනැවැ”යි. එක්බිති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේත්, දික් කළ අතක් හෝ වක් කරන්නේත් යම් සේ ද, එසේ පුවරම් මහවෙහෙරැ මුවරමාපායෙහි අතුරුදන් වූවෝ තවුතිසා වැසි දෙවියන් කෙරෙහි පෙනුණාහු.
5. එසඳ සක්දෙව්රජ ඒකපුණ්ඩරීක නම් උයන්හි (තමා පිරිවරා වයන) පන්සියක් දෙව්පසඟතුරු රැවින් සමර්පිත ව සමන්‍විතව ඉඳුරන් පිණවා වාස කෙරෙයි. සක්දෙව්රජ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු වඩනවුන් දුරින් ම දිට. දැක (වයමින් සිටි) පන්සියක් දිවපසඟතුරු බැහැර කරවා මහමුගලන් මහතෙරුන් කරා එළඹියේ ය. එළඹ මුගලන් මහතෙර හට තෙල සැළ කෙළේ: “නිදුක, මුගලන් තෙරණුවනි, වඩනේ මැනැව. නිදුක මුගලන් තෙරණුවනි, තොපට ස්වාගත කරමි. නිදුක, මුගලන් තෙරණුවනි, මෙහි අපකරා වඩනට බොහෝ කලෙකින් මේ වාරය කළදැ යයි (බොහෝ කලෙකින් වැඩිදෑ ය යි ප්‍රියකථා බැණ) නිදුක, මුගලන් තෙරණුවනි, මේ අසුන් පැනවිණ, වැඩහිඳුනේ යැ”යි කී. මුගලන් මහතෙරහු පැන්වූ අස්නෙහි හුන්හ. සක්දෙව්රජ ද මිටි අස්නක් ගෙන එකත්පස් ව හින. එකත්පස් ව හුන් සක්දෙවිරජහට ආයුෂ්මත් මුගලන් මහතෙරහු තෙල බස් කීහ: “දෙව්රජිනි, අප බුදුහු තොපට සැකෙවින් තණ්හා සඞ්ඛය විමුත්තිය (නිවන අරමුණ කොට මිදීම) කිසෙයින් නම් වදාළ සේක් ද? අයදුම්හ, අපිදු තෙල සූත්‍රදේශනා කථා අසනුවට භාගී වම්හයි.
6. “නිදුක, මුගලන, අපි බොහෝ කටයුතු ඇතියම්හ. අපගේ ම කාර්‍ය්‍ය මඳ වෙයි. වැලිදු තව්තිසාවැසි දෙවියන්ගේ කාර්‍ය්‍ය බෙහෙව. තව ද, නිදුක, මුගලන, අප මනා කොට ඇසූ, මනා කොට උගත්, මොනොවට මෙනෙහි කළ, මොනොවට ධැරූ යම් දැයෙකුදු වීනම්, එය වහා ම අතුරුදන් වෙයි. නිදුක, මුගලන, වූවිරිදැයක් කියමි: දේවාසුරසඞ්ග්‍රාමයෙක් රාශිභූත වී. මුගලන් තෙරණුවනි, ඒ සඞ්ග්‍රාමයෙහි දී දේවයෝ දුනුහු. අසුරයෝ පැරැදුනුහු. නිදුක, මුගලන් තෙරණුවනි, මම ඒ සඞ්ග්‍රාමය දිනා දුනු සඞ්ග්‍රාම ඇති ව එයින් නැවති වෛජයන්ත නම් පහය මැවීමි. නිදුක, මුගලන් තෙරණුවනි, විජයන් පහය සියක් නිර්යූහ (මුදුන්තල) ඇත. එකෙකි නිර්යූහයෙහි සත්සිය සත්සිය කූටාගාරය. එකෙකි කූටාගාරයෙහි සත් සත් අප්සරාවෝ ය. එකෙකි අප්සරාවට සත් සත් (උවටන් කරන) පරිචාරිකා දෙව්දූහ. මාරිෂ, මෞද්ගල්‍යායනයෙනි, තෙපි කැමැතියා ව විජයත්පහය රමණී සේ දක්නට යැ යි (දෙව්රජ කී.) මුගලන් මහතෙරහු නොබැණ ඉවසූහ.
7. එකල්හි සක්දෙව්රජ ද වෙසවුණු රජ ද ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පෙරට කොට ගෙන විජයත්පහයට ගියහ. එසඳ සක්දෙව්රජහුගේ පරිචාරිකාවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වඩනුවන් දුරින් ම දුටහ. දැක බිය ඇති ව විළි ඇති ව තමන් තමන්ගේ ඔවරකයට පිවිසියහ. යම් පරිදි ණියක් (ලේළි) සුහුරකු දැක විළිබිය ගන්නී වේ ද, එපරිදි ම දෙව්රජහුගේ පරිචාරිකාවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් දැක විළිබිය ඇති ව තමන් තමන් ඔවරකයට ගියෝ. එක්බිති, සක්දෙව්රජ හා වෙසවුණුමහරජ හා දෙදෙන ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් විජයත් පහය ඔබ මොබ ඇවිදුවත්: “ආර්‍ය්‍යය, මුගලන් තෙරණුවනි, විජයත් පහය මේද රමණී සේ බලව. වහන්ස, මුගලන් තෙරණුවනි, මේද වෛජයන්ත ප්‍රාසාදයාගේ රමණී සේ බලව”යි කීහු. “පෙර පින් කළ පරිදි ආයුෂ්මත් ශක්‍රදේවේන්‍ද්‍රයනට මේ පහා හොබනේ ම ය. මිනිස්හුදු කිසියම් රමණී දැයක් දැක මෙසේ කියති: “භවත්නි, තෙල දැය තව්තිසා වැසි දෙවියනට හොබනේ මය” කියායි. පෙරපින් කළ කෙනෙකුන්ට හොබනාක් සෙයින් ආයුෂ්මත් දේවේන්‍ද්‍රයනට මේ පහා හොබනේ මැ ය.
8. එසඳ ආයුෂ්මත් මහ මුගලන් මහතෙරණුවන්ට මෙ සිත්වී: “මෙ යක් (තමා පහයෙහි නළුවන් හා සම්පත් යශසින්) ඉතා මත් ව දවස් යවයි. මම මෙ යක් සංවිග්න (බියපත්) කෙරෙම් නම් මනා මැනු” යි. ඉක්බිති ආයුෂ්මත් මුගලන් මහතෙරහු යම්සේ විප්යත් පහය පාදාඞ්ගුෂ්ඨයෙන් පහළේ බමා ද, සැලේ ද, නොසිටී ද, එසේ (අප්කිසිණු සමවත් සම වැද) ඍද්ධියක් කළහ. එසඳ සක්දෙවු රජ ද වෙසවුණු මහරජ ද තව්තිසා වැසි දෙවියෝ ද විස්මයප්‍රාප්ත සිතැති වූහු: ‘යම්හෙයෙකින් දිව්‍යභවනය පාදාඞ්ගුෂ්ඨයෙන් බැමී ද, සැලී ද, නොසිටුවී ද, එහෙයින් මහණහුගේ මහ ඉදුහ ඇති බව මහානුභාව ඇති සේ බලව. භවත්නි, ඒකාන්තයෙන් අසිරිය, අද්භූතය’යි (ගිගිරි කොළෝ.)
9. එකල්හි ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු සක්දෙව් රජු සංවිග්න වූවහු පිපිලොමින් ගැවැසි සිරුරු ඇතියහු දැක සක්දෙව් රජහට තෙල බස් කීහ: “දේවේන්‍ද්‍රය, අප බුදුහු තොපට තණ්හාසඞ්ඛය විමුත්ති කෙසේ වදාළ සේක් ද? යදිමු, අපිදු තෙල දෙශනාකථා එසේ අසනු පිණිස සහභාගී වම්හ” යි.
10. “වහන්ස, මුගලන් තෙරණුවනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව සිටියෙමි. භවත් මුගලන, එකත්පස් ව සිටි මම භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළකෙළෙමි. “වහන්ස, කිපමණෙකින් (කවර ප්‍රතිපදාවකින්) මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ, දෙවි මිනිස්නට උතුම් වූයේ වේදැ” යි සැකෙවින් (ඒ පූර්‍වභාග ප්‍රතිපදාව) වදාළ මැනැවැ යි සැළ කෙළෙමි. වහන්ස, මුගලන් තෙරණුවනි, මෙසේ සැළ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට තෙල බණ වදාළහ:
‘දේවේන්‍ද්‍රය, මෙ සස්නෙහි මහණහු විසින් ‘හැම දහම්හු අභිනිවේශය පිණිස නො යෙදෙති’ යි අසන ලද වෙයි. දේවේන්‍ද්‍රය, මහණහු විසින් “සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නොවෙති” යි තෙල කරුණ මෙසෙයින් අසන ලද වේද, හේ ස්කන්‍ධාදි සර්‍වධර්‍ම (ඥාතපරිඥායෙන්) වෙසෙසින් දන්නේය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තීරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විඳුනේ වේද, හේ ඒ වේදනායෙහි අනිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. නිරෝධ විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. පටිනිස්සග්ග විසින් දක්නා නුවණ ඇති ව වසයි. හේ ඒ වේදනායෙහි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) නොගන්නේය. නොගන්මින් තෘෂ්ණාන්‍විත නොවෙයි. (තණ්හාපරිතස්සනා විසින්) පිරිතැසි නොකරනුයේ ස්වසන්තානයෙහි ම (කෙලෙස් පිරිනිවියෙන්) පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය, බ්‍රම්සරවස් වසන ලදී, කරණී කරන ලදී. නැවත මෙ බවට එනු පිණිස කිසිත් නැතැ’යි දනී. දේවේන්‍ද්‍රය, මෙතෙකින් සැකෙවින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යැ’යි මෙසේ මට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූවහු පිළිබඳ පූර්‍වභාග ප්‍රතිපද් වදාළහ යි සැළකෙළේ ය.
11. එසඳ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු සක්දෙවි රජහුගේ තෙපුල් අභිනන්‍දනයෙන් පිළිගෙන අනුමෝදන් ව යම්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අත් හෝ දික් කරන්නේත්, දික් කළ අත් හෝ වක් කරන්නේත් වේ ද, එ සේ තව්තිසැ දෙවියන් කෙරෙහි අතුරුදන් ව පූර්‍වාරාම මහවෙහෙර මුවරමා පහයෙහි පහළවූහු.
12. ඉක්බිති සක්දෙව්රජහුගේ පිරිවර සුරවමියෝ ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වඩනා හා ම සක්දෙව්රජහට තෙල බස් කීහු. “වහන්ස, මුහු තොපගේ ඒ භගවත් ශාස්තෲහු වෙත්දැ?”යි. ‘ප්‍රියාවෙනි, මුහු මාගේ ශාස්තෲහු නොවෙති. මාගේ සබඳ සබ්‍රම්සර කෙනෙක. මුහු ආයුෂ්මත් මහමුගලන්හ”යි. වහන්ස, තොපගේ සබඳ සඟ කෙනෙක් මෙබඳු මහඉදුහ ඇතියහ, මෙබඳු මහානුභාව ඇතියහ. වහන්ස, තොපට ලාභයෙක. අහෝ, තොපගේ ඒ භගවත් ශාස්තෲහු කිසේ වෙති හො යි. (සුරවමියො කීහු.)
13. එක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත් පස් ව හුන් ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: -
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ප්‍රසිද්ධ එක්තරා මහේශාඛ්‍ය දෙවියකුට තෘෂ්ණානිරෝධ සඞ්ඛ්‍යාත නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම සැකෙවින් වදාළ දැ දන්නා සේක්දෝ”යි.
14. “මුගලන, මම දනිමි: සක්දෙව්රජ මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස් ව සිටගත. මුගලන, එකත්පස් ව සිටි සක්දෙව්රජ මට තෙල සැළකෙළේ: වහන්ස, කිපමණෙකින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍යබ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට උතුම් වූයේ වේදැ යි සැකෙවින් (ඔහුගේ පූර්‍වභාග ප්‍රතිපද්) වදාළ මැනවැයි. මුගලන මෙසේ සැළකළ කල මම සක් දෙව්රජුට තෙල කීමි: දේවේන්‍ද්‍රය, මෙසස්නෙහි මහණහු විසින් ‘හැමදහම්හු අභිනිවේශය පිණිස නො යෙදෙති’ යි අසන ලද වෙයි. දේවේන්‍ද්‍රය, මහණහු විසින් ‘සර්‍වධර්‍මයෝ අභිනිවේශය පිණිස යුතු නොවෙති’ යි තෙල කරුණ මෙසෙයින් අසන ලද වේ ද, හේ ස්කන්‍ධාදි සර්‍වධර්‍ම ඥාතපරිඥායෙන් (අනිත්‍යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තීරණ පරිඥායෙන්) පිරිසිඳ දන්නේය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනායෙහි අනිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණ ඇති ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් දක්නා නුවණින් නුවණැති ව වාස කෙරෙයි. හේ ඒ වේදනායෙහි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරෝධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ පඤ්චස්කන්‍ධ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේ ය. නො ගන්මින් (තණ්හාපරිතස්සනා විසින්) තෘෂ්ණාන්‍විත නො වන්නේ තමා විසින් ම පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය. බ්‍රම්සරවස් වසන ලද. කරණී කරන ලද. මෙ බව පිණිස අන් කිසිවක් නැතැ’යි දනී. දේවේන්‍ද්‍රය, මෙතෙකින් මහණ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂේම ඇතියේ, නිත්‍ය බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේයයි වදාළෙමි. මුගලන, මම සක්දෙව්රජුට තණ්හාසඞ්ඛය විමුත්තිය (නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ ප්‍රතිපද්) මෙසේ සැකෙවින් වදාළෙම් දනිම්”යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍ය විසින් ගත් සිතැති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.
වූළතණ්හාසඞ්ඛය සූත්‍රය සත්වැනි යි.
1. 4. 8.
මහාතණ්හාසඞ්ඛය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහු කළ ජේතවන මහවෙහෙරෙහි වැඩවසන සේක. එසමයෙහි කේවට්ටපුත්ත සාති නම් මහණහට මෙබඳු ලාමක දර්‍ශනයෙක් උපන: “එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සැරිසරයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි.
2. “කෙවුළුපුතු සාති නම් මහණහට මෙබඳු පවිටු දිටු උපන: ‘එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති’යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි යනු බොහෝ (දනවුවැසි) මහණහු ඇසූහ. එසඳ ඒ මහණහු කෙවුළුපුතු සාති මහණ කරා ගියහ. ගොස් කෙවුළුපුතු සාති මහණහට තෙල කීහු: ඇවැත, සාතියෙනි, “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැනසිටිමි” යි තොපට මෙබඳු දිටු උපන යනු සැබෑ වේ ද? කියායි. ඇවැත්නි, “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති”යි මම දැන සිටිම්.
3. ඉක්බිති ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් මුදවනු කැමැත්තාහු ලබ්ධි පුළුවුසිත්, ලබ්ධියෙහි පිහිටුවත්, කරුණු විචාරත්: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන (අභිභවා කීම) නො කරව. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවත සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නන් නියරින් විඥාන ප්‍රත්‍යයෝත්පන්න යයි වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැතියි කීහු. මෙසෙයිනුදු කෙවුළුපුතු සාතිමහණ ඒ මහණන් විසින් පැන පුළුවුස්නා ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එම පවිටු දිටු වැරයෙන් පරාමර්‍ශ කොට එහි පිහිටා බෙණෙයි: “එ ම විඥාන දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. යම්හෙයෙකින් ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරන්නට නොහැකි වූහු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්නාහ. එකත්පස් ව හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:
4. වහන්ස, කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කියායි. වහන්ස, අපි “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන යනු ඇසුම්හ. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණහු කරා ගියම්හ. ගොස් කෙවුළුපුතු සාතිමහණහට තෙල කියුම්හ: “ඇවැත් සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි” යනු සැබෑදැ” යි. වහන්ස, අප මෙසේ කියන්නා හා ම, කෙවුළුපුතු සාතිමහණ අපට තෙල බස් කී: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවනු කැමැත්තමෝ ලබ්ධි පුළුවුසුම්හ, ලබ්ධි ගැන්වූම්හ, කරණු විචාළම්හ: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන නො මැනව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරනසේක. ඇවැත, සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයෝත්පන්න’ යයි නන් අයුරින් වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානයාගේ සම්භවයෙක් නැති යි වදාරන ලදි.” වහන්ස කෙවුළුපුත් සාතිමහණ අප විසින් මෙසෙයිනුදු ප්‍රශ්න නගනු ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එ පවිටු දිටු බලයෙන් පරාමර්‍ශ කොට ගෙන පිවිසගෙන බෙණෙයි: “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අනෙකක් නො වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි කියයි. වහන්ස යම් හෙයකින් අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවන්නට නොහැකි වූමෝ ද, එහෙයින් අපි තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ යි.
5. එසඳ බුදුහු එක්තරා මහණකු ඇමතූසේක: මහණ තෝ එව, මා බසින් කෙවුළුපුතු සාතිමහණ අමත: ‘ඇවත, සාතියෙනි, බුදුහු තා කැඳවනසේකැ”යි. ඒ මහණ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කෙවුළුපුතු සාතිමහණහු කරා එළඹියේය. එළඹ කෙවුළුපුතු සාති මහණහට තෙල බස් කී: ‘ඇවැත සාතියෙනි, ශාස්තෲන්වහන්සේ තොප කැඳවනසේකැ’යි. ‘ඇවැත, එසේයැ’යි කෙවුළුපුතු සාතිමහණ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කෙවුළුපුතු සාතිමහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: “සැබැව, සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි. “වහන්ස, ‘එ විඥානයම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ’යි යම් පරිදි දෙසූසේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි.
6. සාතියෙනි, ඒ විඥාන කිම?
“වහන්ස, ඒ යමෙක් වචන කියන්නේ (කථා කරන්නේ), වේදනා විඳින්නේ, ඒ ඒ (භව යෝනි ගති ආදි) තන්හි කුශලාකුශල කර්‍මයන්ගේ විපාක විඳින්නේ වේ ද, මෙ විඥානය”යි සැළකෙළේ ය.
මෝඝපුරුෂය, තෝ කවරක්හට නම් මා මෙසේ දහම් දෙසුවා දන්හි? මෝඝපුරුෂය, මා විසින් නන්අයුරින් විඥානය ප්‍රත්‍යයසමුත්පන්න ය යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි වදාරන ලද්දේ නො වේ ද? ඒ මතු ද, මෝඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දැයින් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙහි. තමා ද (ගුණ සාරාලීමෙනි) කණිහි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙහි. මෝඝපුරුෂය, ඒ පවිටු දිටු තට දීර්‍ඝ රාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටෙයී වදාළහ.
7. එක්බිති බුදුහු භික්‍ෂූන් ඇමැතූසේක: මහණෙනි, ඒ කිම හඟිවු ද, කෙවුළුපුතු මේ සාති මහණ මෙ සස්නෙහි උසුම් කෙළේ (මගපල පිණිස උනුසුමකුදු ඇත්තේ) වේ ද? “වහන්ස, කෙසේ නම් වන්නේය. වහන්ස, තෙල නොවන්නේ ම ය.” මෙසේ කී කල්හි කෙවුළුපුතු සාති මහණ නිහඬව, නිතෙදව, බැහු කඳට ඇති ව, අධෝමුඛ ව, සිතිවිලි සිතනු ව, වටහනු නැති ව හින. එසඳ බුදුහු කෙවුළුපුතු සාතිමහණහු තූෂ්ණීම්භූත වූවහු, නිස්තේජස්ක වූවහු, නැමූ කඳට ඇතියහු, අධෝමුඛ වූවහු, සිතිවිලි සිතනුවහු, නොවැටහෙනහු දැන කෙවුළුපුතු සාතිමහණහට තෙල බස් වදාළහ: “මෝඝපුරුෂය, තො ම තෙල ලාමක දෘෂ්ටියෙන් පැණෙහි. මම මෙහි (මුළුදුන්) මහණගණ පුළුවුස්මි”යි.
8. එක්බිති බුදුහු මහණුන් ඇමතූසේක: “මහණෙනි, යම්සේ මේ කෙවුළුපුතු සාති මහණ තමා වරදවා ගත් දිටුවෙන් අපට ද අභිභවා බෙණේ ද, තමනුදු (ගුණබණනයෙන්) කැණැගන්නේ වේද, බොහෝ අකුසලුදු රැස්කොට ගන්නේ වේ ද, තෙපිදු එසේ මා දහම් දෙසුවා දන්හුදැ”යි වදාළහ. “වහන්ස, තෙල නෙ වේ ම ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් අපට නන්අයුරින් විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැයි, ප්‍රත්‍යයයෙන් තොරව විඥානසම්භවයෙක් නැති”යි වදාරන ලදි. මැනැව, මහණෙනි. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසුවා පිළිගනුව, මනාමය. මහණෙනි, මා විසින් තොපට විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැ යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි නන්නියරින් වදාරන ලදි. එතෙකුදු වුව, කෙවුළු පුතු මේ සාති මහණ තමන් වරදවා ගත් දිටුයෙන් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙයි. තමා ද කණියි. බොහෝ පව් ද රැස් කෙරෙයි. එය ම ඒ මෝඝපුරුෂහට දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ යැ යි වදාළෝ.
(සාති කාණ්ඩය.)
9. මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා විඥානය පහළ වේ ද, එයිනෙයින් ම (ඒ විඥාන) ගණනට (ඇඳිනීමට) යෙයි. ඇස ද රූපයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) චක්ඛුවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) සෝතවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) ඝානවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. දිව ද රසයන්ද නිසා විඥානයෙක් පහළ වේ (එය) ජිව්හාවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) කායවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි මනස ද ධර්‍මයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) මනෝවිඤ්ඤාණ ය යි ම ගණනට යෙයි.
මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා ගිනි දිලේ ද, (ඒ ගිනි) ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම යම්සේ ගණනට යේ ද - කාෂ්ඨය ද නිසා අග්නි දිලෙයි, කාෂ්ඨාග්නි ම ය යි ගණනට යෙයි. සකලිකා (කටපොතු - ලී කැබලි) ද නිසා අග්නි දිලෙයි, සකලිකාග්නිම ය යි ගණනට යෙයි. තෘණ ද නිසා ගිනි දිලෙයි, තෘණාග්නි ම ය යි ගණනට යෙයි. ගොම ද නිසා ගිනි දිලෙයි, ගොමයාග්නි ම ය යි ගණනට යෙ යි. තුෂ (දහසිවි නිසා) ද ගිනි දිලෙයි, තුෂාග්නිම ය යි ගණනට යෙයි. සඞ්කාර (කසළ) ද නිසා ගිනි දිලෙයි, සඞ්කාරාග්නි ම ය යි ගණනට යෙයි. මහණෙනි, එපරිදි ම යම් යම් ම ප්‍රත්‍යයයක් නිසා විඥාන උපදනේ වේද, ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම ගණනට යෙයි. ඇස ද රූපයන්ද නිසා විඥාන පහළ වේ. චක්‍ඛුවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥාන පහළ වේ. සෝතවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන්‍ද නිසා විඥාන පහළ වේ. ඝානවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. දිව ද රසයනුදු නිසා විඥාන පහළ වෙයි. ජිව්හාවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥාන පහළ වේ. කායවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. සිත ද ධර්‍මයන් ද නිසා විඥාන පහළ වේ. මනෝවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි.
10. මහණෙනි, මේ පඤ්චස්කන්‍ධය භූත යයි (වූ දැයෙකියි) දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පඤ්චස්කන්‍ධය ආහාරසම්භව (ප්‍රත්‍යය ඇතිකල උපදනේ)ය යි දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය ඒ ප්‍රත්‍යයනිරෝධහේතුයෙන් නිරෝධ සැහැවි ඇතැයි දක්නාහු ද? වහන්ස එසේය.
11. මහණෙනි, මේ පස්කඳ භූත වේ දෝ නොවේ දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ දෝ නොවේදෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යනිරොධහෙතුයෙන් නිරෝධ සැහැවි ඇද්දෝ නැද්දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස එසේය.
12. මහණෙනි, මේ පස්කඳ භූත යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විසිකිස් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරෝධහේතුයෙන් නිරෝධ සැහැවි ඇති යි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය.
13. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරෝධයෙන් නිරෝධ සැහැවි ඇතියි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය.