Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 1201-1300 න් 6387

10. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන මහණහට කුශලනිඃශ්‍රිත වූ විදර්‍ශනෝපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිග්න (කම්පිත) වෙයි. සංවේගයට පැමිණෙයි: ‘මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය, ඒකාන්තයෙන් මට ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ’යි කියායි.
11. ඇවැත්නි, යම් සේ ලේළිය මයිලණුවන් දැක සංවිග්න වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිග්න වෙයි. සංවේගයට පැමිණෙ යි: මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභ ය. මට ඒකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ.
12. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකින් ඒ මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද වෙයි.
13. ඇවැත්නි, ආපෝධාතුව කවර? ආපෝධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික ආපෝධාතුව කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ භූතයන් නිසා හටගත් යම් (ආබන්‍ධන ලක්‍ෂණ) ආපයෙක් ආපොගතයෙක්වේ ද - ඒ මෙසේ ය: පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිඳුල, මුත්‍ර, යන මොහු ය. තමා තුළ පිහිටි ආබන්‍ධන ලක්‍ෂණ වූ ආපෝ බවට ගිය මහාභූතයන් නිසා හටගත් යම් අන්කිසිවකුත් වේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික ආපෝධාතුවය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ අජ්ඣත්තික ආපොධාතුවක් වේ ද, යම් මේ බාහිර ආපෝධාතුවකුත් වේ ද, මේ සියල්ල ආපෝධාතු ම ය. ‘මේ මාගේ නොවේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේය’යි මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතුය. මෙසේ එය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක ආපෝධාතුවෙහි කලකිරෙයි. ආපෝධාතුවෙහි සිත නො රඳවයි.
14. ඇවැත්නි, යම් හෙයකින් බාහිර ආපෝධාතුව කිපේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. එය ගම් ද ගලා යයි. නියම්ගම් ද ගලා යයි. නගර ද ගලා යයි. දනවු ද ගලා යයි. දනවු පෙදෙස් ද ගලා යයි. ඇවැත්නි, මහමුහුද යොදුන් සියක් පමණ තැන් ජලය සිඳී යේ ද, යොදුන් දෙසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් තුන්සියකුත් ජලය සිඳී යේ ද, යොදුන් හාරසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් පන්සියකුත් ජලය සිඳී යේ ද, යොදුන් හයසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් සත්සියකුත් ජලය සිඳී යේ ද, එබඳු කාලයෙක් වෙයි.
ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි ජලය සත්තලක් පමණ සිටී ද, සතලක් පමණ සිටී ද, පස්තලක් පමණ සිටී ද සිවුතලක් පමණ සිටී ද, තුන්තලක් පමණ සිටී ද, දෙතලක් පමණ සිටී ද, එක්තලක් පමණ සිටී ද, එවැනි කාලයෙක් වෙයි. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි පුරුෂ ප්‍රමාණ සතක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ සයක්...... පුරුෂ ප්‍රමාණ පසක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ සතරක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ තුනක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ දෙකක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණයක් ජලය සිටී ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි අර්‍ධපුරුෂ ප්‍රමාණයක් ජලය සිටී ද, කටිය පමණ ජලය සිටී ද, දණ පමණ ජලය සිටී ද, ගොප් ඇටය පමණ ජලය සිටී ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි ඇඟිලි පුරුක තෙමෙන පමණ ජලය නො වේ ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර ආපෝධාතුවගේ අනඅත්‍යතා පෙනෙන්නේ ය...{*}
15. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ ධර්‍මය සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශල නිඃශ්‍රිත වූ උපේක්‍ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකිනුත් මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරණ ලද්දේ වෙයි.
16. ඇවැත්නි, තේජෝධාතුව කවර? තේජෝධාතුව අජ්ඣත්තික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, අජ්ඣත්තික තේජෝධාතුව කවර? තමා පිළිබඳ තේජස වූ තේජස් බවට ගියා වූ (මම ය මාගේ යයි) තරව ගන්නා ලද{†} යමක් වේ ද - එනම්: යමෙකින් තැවේ ද, යමෙකින් දිරා ද, යමෙකින් දැවේ ද, අනුභව කරන ලද, පානය කරන ලද කඩා කන ලද රස විඳින ලද දේ යමෙකින් මැනවින් පැසීවීමට යේ ද, එයින් අන්‍ය වූ ද තමා නිසා පවත්නා වූ තේජස වූ තේජස බවට ගියා වූ තරව ගන්නා ලද්දා වූ යම් සිවකුත් වේ ද - ඇවැත්නි, මෙය ආධ්‍යාත්මික තෙජොධාතු යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ ආධ්‍යාත්මික තේජෝධාතුව ක් වේ ද, යම් බාහිර තේජෝධාතුවක් වේ ද, එය තේජෝධාතු ම ය. ‘එය මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. එය මාගේ ආත්මය නො වේ’යි - මේ මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතුය. මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක තේජෝධාතුවෙහි කලකිරෙයි. තේජෝධාතුවෙහි සිත නො අලවයි.
17. ඇවැත්නි, යම් කලෙක බාහිර තේජෝධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද දවයි. නියම්ගම් ද දවයි. නගර ද දවයි. ජනපද ද දවයි. දනවුපෙදෙස් ද දවයි. ඒ තේජෝධාතුව නිල් තෙත් තණ වෙතට හෝ මහමගට හෝ පව්වකට හෝ දියකට හෝ එළිමහන් බිම්පෙදෙසකට හෝ පැමිණ ආහාර රහිත වූයේ නිවෙයි. ඇවැත්නි, යම් කලෙක කුකුළු පියාපතෙකින් ද සම්වැරලියෙන් ද ගිනි සොයත් නම් එබඳු කාලයක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර තේජෝධාතුවෙහි අනිත්‍ය භාවයක් පෙනෙන්නේ ය ...
18. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ ධර්‍මය සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශල නිඃශ්‍රිත වූ උපේක්‍ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකිනුත් භික්‍ෂූහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
19. ඇවැත්නි, වායෝධාතු කවර? ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර ද වායෝ ධාතුවත් ඇත. ඇවැත්නි, අජ්ඣත්තික වායෝධාතුව කවර? තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභායට ගියා වූ මහා භූතයන් නිසා හටගත්තා වූ යමක් වේ ද - එනම්: තැලිනැගීම් හික්කා ආදිය පවත්වන, උඩට නගින වාතයෝ ද, මල මූ ආදිය පවත්වන යට බස්නා වාතයෝ ද, අතුනු පිටත පවත්නා වාතයෝ ද, අතුනු තුළ පවත්නා වාතයෝ ද, අඟ පසඟ හැසිරෙන වාතයෝ ද ආශ්වාසය, ප්‍රශ්වාසය යන වාතයෝ ද මෙයින් අන්‍ය වූ තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභාවයට ගියා වූ භූතයන් නිසා හටගත්තා වූ යම්කිසිවකුත් වේ ද - ඇවැත්නි, මෙය අජ්ඣත්තික වායෝධාතු ය යි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝ ධාතුවක් වේ ද, මේ වායෝධාතු ම ය. ‘මේ මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. මේ මාගේ ආත්මය නො වෙ’යි - මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතු වෙයි. මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක වායෝ ධාතුවෙහි කලකිරෙයි. වායෝ ධාතුවෙහි සිත නො අලවයි.
20. ඇවැත්නි, යම් කලෙක බාහිර වායෝ ධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද නඟාලයි. නියම්ගම් ද නඟාලයි. නගර ද නඟාලයි. ජනපද ද නඟාලයි. ජනපද ප්‍රදේශයන් ද නඟාලයි. ඇවැත්නි, යම් කලෙක ගිම්හානයේ අන්තිම මැසයේ දී තල්වැටිනුත් විජිනිපතිනුත් වාතය සොයත් ද, සෙවෙනිඅගත් තණ නො සැලේ ද, එබඳු වූ කාලයක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ වායෝධාතුවෙහි අනිත්‍යභාවය ප්‍රකට වන්නේ ය. ක්‍ෂය ස්වභාවය ප්‍රකට වන්නේ ය. විනාශස්වභාවය ප්‍රකට වන්නේ ය. විපරිණාම ස්වභාවය ප්‍රකට වන්නේ ය. ස්වල්පකාලයක් පවත්නා වූ තණ්හාවෙන් අල්ලා ගන්නා ලද්දා වූ මේ ශරීරය පිළිබඳව ‘මේ මම ය කියා හෝ, මාගේ ය කියා හෝ මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් කිම, ඕහට වන්නේද? ඒ මහණහට මෙහි තණ්හා මාන දිට්ඨි වසයෙන් ගැනීමෙක් නො වේ ම ය.
21. ඇවැත්නි, ඉදින් අන්‍යයෝ ඒ මහණහට ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: “මට මේ ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුක් වේදනාවක් උපන්නීය ය. මේ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිතව නො උපන්නී ය. කුමක් හේතු කොට ගෙන ද යත්: ස්පර්‍ශය හේතු කොට ගෙන ය.” හෙතෙමේ ස්පර්‍ශ ය අනිත්‍ය ය යි දකි යි. වේදනාව අනිත්‍ය ය යි දකි යි. සංඥාව අනිත්‍ය ය යි දකි යි. සංස්කාර අනිත්‍ය ය යි දකි යි. විඤ්ඤාණය අනිත්‍ය ය යි දකි යි. ඔහුගේ සිත ධාතු සඞ්ඛ්‍යාත ඒ අරමුණෙහි ම බසී. ඒ අරමුණෙහි ම පහදි යි. ඒ අරමුණෙහි ම සිටි යි. ඒ අරමුණෙහි ම ‘ධාතු වසයෙන් මෙසේය’ යි නිශ්චයට පැමිණෙයි.
22. ඇවැත්නි, අන්‍යයෝ ඒ මහණහට අනිටු වූ නොකැමැති වූ මන නොවඩන්නා වූ අත්පහරින් ද කැට කැබිලිතිපහරින් ද දඬුපහරින් ද සැත් පහරින් ද ගසත් නම්, හෙතෙම මෙසේ දනියි: යම්බඳු ශරීරයෙක අත්පහර වදී ද, කැට පහර වදී ද, දඬුපහර වදී ද, සැත් පහර වදී ද, මේ ශරීරය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපමොවාදයෙහි දී මෙය වදාරණ ලදී - “මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රදූෂිත කරන්නේ නම්, හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නේ නො වේ” යි කියා ය. මාගේ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්හිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අත්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනය කරනු ලැබේම ය.
23. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත වූ විදර්‍ශනෝපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙ යි: ‘මෙසේ බුදුන් සිහි කරන දහම් සිහි කරන සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය. මට ඒකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙයි’ කියාය.
24. ඇවැත්නි, යම් සේ ලේළිය මයිලණුවන් දැක බියපත් වේද, සංවේගයට පැමිණේ ද, ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන මෙසේ දහම් සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙ යි: ‘මෙසේ බුදුන් සිහි කරන මෙසේ දහම් සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය. මට ලාභය නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙ’යි කියායි.
25. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඔහුට කුශලනිඃශ්‍රිත වීර්‍ය්‍ය බල භාවනා සිද්ධ ෂඩඞ්ග උපේක්‍ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වූයේ වෙයි. ඇවැත්නි, මෙ පමණෙකින් ද ඒ මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
26. ඇවැත්නි, යම් සේ දැව නිසා ද වැල් නිසා ද තණ නිසා ද මැටි නිසා ද ඇවරී සිටි අහස ‘ගෙය’යි ව්‍යවහාරයට යේ ද, ඇවැත්නි, මෙ පරිදිදෙන් ම ඇට නිසා නහර නිසා මස් නිසා සම් නිසා ඇවරී සිටි අහස ‘රූපය’යි ව්‍යවහාරයට යේ.
ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ ඇස නො බිඳුණේ වේ නම්, බාහිර රූපයෝත් ඇස්හමුවට නො පැමිණෙත් නම්, එයින් උපදනා (ඇසත් රූපයත් නිසා) මනසිකාරය (මෙනෙහි කිරීම) නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥාන භාගයා ගේ පහළවීම නො වෙයි. ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ චක්‍ෂුඃප්‍රසාදය නො බිඳුනේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, (එහෙත්) ඊට අනුරූප වූ මෙනෙහි කිරීම නොවේ නම්, ඒ තාක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානයාගේ පහළවීම නොවේ ම ය. ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මික චක්‍ෂුඃප්‍රසාදය නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් වේ ද, මෙසේ ඊට සුදුසු විඥානභාගයාගේ පහළවීම වෙයි. ඒ චක්‍ෂුර්විඥානය සමග වූවහුගේ (ඒ විඥානවිෂය වූ) යම් රූපයක් වේ ද, එය රූපෝපාදානස්කන්‍ධයෙහි ඇතුළත් බවට යෙයි. ඒ විඥාන සමංගි වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් වේදනාවක් වේ ද, එය වේදනෝපාදානස්කන්‍ධයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදානස්කන්‍ධයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් චේතනා සංස්කාරයෝ වෙද් ද, එය සංස්කාරොපාදානස්කනධයෙහි ඇතුළත් බවට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයක් වේ ද, (ඒ චක්‍ෂුර් විඥානය) විඥානෝපාදානස්කන්‍ධයෙහි ඇතුළත් බවට යෙයි. හෙතෙම මෙසේ දනියි: “මෙසේ මේ පස් වැදෑරුම් වූ උපාදානස්කන්‍ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක් රැස්වීම වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ද වදාරණ ලදි: ‘යමෙක් පටිච්චසමුප්පාදය දකී ද, හෙතෙම (පටිච්චසමුප්පන්නවූ) ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකී ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකි’යි කියා ය. මේ උපාදානස්කන්‍ධයෝ පස්දෙන පටිච්ච සමුප්පන්නයෝ වෙති. මේ උපාදානස්කන්‍ධ පසෙහි යම් ඡන්‍දයෙක් ආලයෙක් සෙනෙහයෙක් ගැලීසිටීමෙක් වේ ද, ඒ දුක්ඛසමුදයයි. මේ උපාදානස්කන්‍ධ පසෙහි යම් ඡන්‍දරාගවිනයෙක් වේ ද, ඡන්‍දරාගප්‍රහාණියෙක් වේ ද, එය දුක්ඛනිරෝධය”යි කියායි. ඇවැත්නි, මෙ පමණෙකිනුත් මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.
27. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ශ්‍රෝත ප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ශබ්දයෝත් ආපාථයට පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික ඝ්‍රාණප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ගන්‍ධයෝත් ආපාථයට නොපැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ජිව්හාප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර රසයෝත් ආපාථයට නො පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ කායප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ස්ප්‍රෂටව්‍යයෝත් ආපාථයට නො පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ මනස නො බිඳුණේ වේ නම්, බාහිර ධර්‍මයෝත් ආපාථයට නො පැමිණෙත් නම්, ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළ වීම නො වේ. ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ ද, බාහිර ධර්‍මයෝත් ආපාථයට පැමිණෙත් ද, එහෙත් ඊට අනුරූප වූ මෙනෙහි කිරීම නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළවීම නො වේ.
ඇවැත්නි, ඉදින් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ නම්, බාහිර ධර්‍මයෝත් අපාථයට එත් නම්, එයින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් වේ නම්, මෙසේ ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළවීම වේ. එබඳු වූවහුගේ යම් රූපයක් වේ ද, එය රූපෝපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් වේදනාවක් වේ ද, එය වේදනෝපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංස්කාරයෝ වෙත් ද, එය සංස්කාරෝපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයෙක් වේ ද, එය විඥානෝපාදානස්කන්‍ධයෙහි සඞ්ග්‍රහයට යේ. හෙතෙම මෙසේ දනියි “මෙසේ වනාහි මෙ පස් වැදෑරුම් වූ උපාදානස්කන්‍ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක්රැස්වීම වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි: ‘යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද, හෙතෙම ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකියි ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකි’ යි කියා ය. මේ උපාදානස්කන්‍ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්නාහු ය. මේ පඤ්චෝපාදානස්කන්‍ධයන්හි යම් කැමැත්තෙක්, ආලයෙක්, ස්නේහයෙක්, ගැලීසිටීමෙක් වේ ද, එය දුක්ඛසමුදය යයි. මේ උපාදානස්කන්‍ධ පසෙහි යම් ඡන්‍දරාගය දුරු කිරීමෙක් වේ ද, එය දුක්ඛනිරෝධ ය” යි කියා යි. ඇවැත්නි, මහණහු විසින් මෙ පමණෙකින් ද බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වේ යයි.
ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු වූ ඒ භික්‍ෂූහු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
මහාහත්‍ථිපදෝපම සූත්‍රය අටවැනියි.
1. 3. 9.
මහාසාරෝපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් සස්නෙන් ගිය නො බෝ කලෙකින් රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් අරභයා භික්‍ෂූන් ඇමතූ සේක:
2. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් කායිකදුඃඛයෙන් දොම්නසින් උපායාසයෙන් මඩනා ලද්දෙම් වෙමි. දුකට බැස ගත්තෙම් වෙමි. දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙ සියලු දුක් රැස කෙළවර කිරීමක් පෙණෙන්නේ නම් යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සස්නට පැමිණියේ වෙයි.
3. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසා කරණ කොට ‘මම ලාභී වෙමි කීර්ති ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාඛ්‍යයෝ ය’යි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දක්වයි. හෙතෙම ඒ ලාභ කීර්තිප්‍රශංසාවෙන් මත්වෙයි. පමාවෙයි. ප්‍රමාදයට පැමිණෙයි. පමා වූයේ දුක සේ වාසය කරයි.
4. මහණෙනි, යම් සේ අරටුව ප්‍රයෝජන කොට ඇති අරටු සොයන්නා වූ අරටු සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටී සිටුනා හර ඇති මහත් වූ රුකෙක හර ඉක්මවා (=හැරදමා) ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම ‘හරය’යි සිතා අතු හා කොළ සිඳ ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂ තෙමේ සාරය නො දන්නේ ය. බොරුදු නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු හා කොළ නො දන්නේ ය. එහෙයින් ම හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ භවත් පුරුෂ තෙමේ නොවැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම ‘හර ය’යි සිතන්නේ අතු කොළ කඩා ගෙන ගියේ වෙයි. මොහු විසින් රුක්හරින් කළ යුතු යම් හර පිළිබඳ කටයුත්තෙක් වේ ද, ඒ ප්‍රයෝජනය නො ලබන්නේය’යි.
5. මහණෙනි, එ පරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන්, පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ සියලු හුදු දුක් රැස කෙළවර කිරීම පැණෙන්නේ නම් මැනවැ”යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ‘මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම් වෙමි මේ අනිත් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාඛ්‍යයෝ’යි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් වෙයි, ප්‍රමත්ත වෙයි, ස්මෘති විප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වෙසෙයි. මහණෙනි, මේ මහණ තෙමේ බඹසරෙහි අතු හා කොළ ගත්තේය යි ද, එයින් අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.
6. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුණෙම් වෙමි. මෙ හුදු දුක්රැස කෙළවර කිරීම පෙනෙන්නේ නම් යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි.
හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ වෙයි. පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාව කරණ කොට තමන් හුවා නො දක්වයි. අනුන් හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ ශීල සම්පත්තිය සිද්ධ කෙරෙ යි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය කරණ කොට ‘මම සිල්වත් වූයෙමි. කළණදහම් ඇත්තේ වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පවිටුදහම් ඇත්තෝ යයි තමන් හුවා දක්ව යි. අනුන් හෙළා දක්ව යි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘති විප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කෙරෙයි.
7. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා හර ඇති මහත් වූ රුකෙක හරය ඉක්මවා ම ඵලය ඉක්මවා ම සිවිය ඉක්මවා ම ‘හරයයි’ සිතා පොත්ත සිඳගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂතෙම ඒකාන්තයෙන් හර නො දන්නේ ය. ඵළය නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු කොළ නො දන්නේ ය. එසේ හෙයින් ම හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ භවත් පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇති මහ රුකෙහි හර ඉක්මවා ම ඵළය ඉක්මවා ම සිවිය ඉක්මවා ම ‘හරය’යි සිතා පොත්ත සිඳ ගෙන යන්නේ ය. මොහු විසින් හරයෙන් කළ යුතු යම් කටයුත්තෙක් වේ ද එය ද නො ලබන්නේ’ය යනුයි.
8. මහණෙනි, එ පරිදිදෙන් මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැසෙහි කෙළවර කිරීමක් පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්ව යි. අනුන් හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ ශීලසම්පදාව සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. ‘මම සිල් ඇත්තෙම් වෙම්. කළණදහම් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පාපස්වභාවය ඇත්තො ය’යි ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා දක්ව යි පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. පමා වූයේ දුකින් වාසය කෙරෙ යි. මහණෙනි, මේ මහණ තෙමේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි පොත්ත ගත්තේය යි ද එයින් ම නිෂ්ඨාවට පැමිණියේ යයි ද කියනු ලැබේ.
9. මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, දුකින්, දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැසේ කෙළවර කිරීම පැනේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙමේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි, පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සම්පාදනය කෙරෙයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. ‘මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු වනාහි අසමාහිතයෝ ය. නානාරම්මණයන්හි විසිරී ගිය සිත් ඇත්තෝ ය’යි තමන් හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් වෙයි. විශේෂයෙන් මත් වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි.
10. මහණෙනි, හර ප්‍රයෝජන කොට ඇති හර සොයන සුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ යම් සේ නො වැටී පවත්නා හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ඵළය ඉක්මවා ම ‘හරය’යි හඟනේ සිවිය සිඳ ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂ තෙමේ හර නො දන්නේ ය. ඵළය නොදන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. කොළ අතු නො දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයන සුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම ඵළය ඉක්මවා ම හරය යි හඟනේ සිවිය සිඳ ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කළ යුතු යම් කටයුත්තෙක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය නො ලබන්නේ ය කියා යි.
11. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් දුකින් පීඩිත වූයෙම් වෙමි. මේ හුදු දුක් රැසේ කෙළවර කිරීම පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් සතුටු නො වූයේ වෙයි.
පරිපූර්‍ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් තමන් උසස් කොට නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සිහියෙන් තොරව විසීමට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙම් මේ අන්‍ය භික්‍ෂූහු වනාහි අසමාහිතයෝ ය. විසිරුණු සිත් ඇත්තෝ ය’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි. මහණෙනි, මේ මහණ තෙමේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි සිවිය ගත්තේ ය යි ද, එයින් ම අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.
12. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැසෙහි කෙළවර කිරීම පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්‍ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥාන සඞ්‍ඛ්‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පිරිපුන්සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දන්නෙම් දක්නෙම් වාසය කරමි. මේ අනික් භික්‍ෂූහු වනාහි නො දනිමින් නො දකිමින් වාසය කරති’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දකි යි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් මත් වෙයි. විශේෂයෙන් මත් වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි.
13. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ‘හර ය’යි හඟනේ එළය කපාගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක ‘ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දන්නේ ය. ඵළය නොදන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු කොළ නො දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙම හර ප්‍රයෝජන කොට ඇත්තේ හර සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ‘හරය’යි හඟනේ එළය කපා ගෙන ගියේ ය. ඔහු විසින් හරයෙන් කට යුතු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජන ය ද නො ලබන්නේ ය’යි මෙසේ කියන්නේ ය.
14. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැස කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සම්පාදනය කරයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපය යි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥානසඞ්ඛ‍්‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දන්නෙම් දක්නෙම් වාසය කරමි. මේ අනිත් භික්‍ෂූහු නො දනිමින් නො දකිමින් වාසය කරති’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි. මහණෙනි, මේ මහණ තෙමේ, බ්‍රහ්මචර්‍ය්‍යගේ ඵළය ගත්තේ යයි ද එයින් ම අවසානයට පැමිණියේ යයි ද කියනු ලැබේ.
15. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකට බටුයෙම් දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැසෙහි කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙයින් නික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සමාධිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥානසඞ්ඛ‍්‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ වෙයි. පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සියලු ක්ලේශයන්ගෙන් ඒකාන්තයෙන් මිදීම වූ නවලෝකොත්තර සද්ධර්‍මය ලබයි. මහණෙනි, ඒ මහණ තෙමේ යම් හෙයකින් ඒ නවලෝකෝත්තරධර්‍මයෙන් පිරිහෙන්නේ ය යන මෙය හේතු රහිත ය. අවකාශ රහිතය.
16. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක ‘හරය’යි දන්නේ හරය ම කපා ගෙන යන්නේ ය. ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක ‘මේ භවත් පුරුෂ තෙමේ ඒකාන්තයෙන් සාරය දන්නේ ය. ඵළය දන්නේ ය. සිවිය දන්නේ ය. පොත්ත දන්නේ ය. කොළ අතු දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙම හර ප්‍රයෝජන කොට ඇත්තේ හර සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හර යයි දන්නේ හරය ම කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කටයුතු වූ යමක් වේ නම්, හරයාගේ ඒ අර්‍ත්‍ථය ද විඳීය’යි මෙසේ කියන්නේ ය.
17. මහණෙනි, එ පරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම්, දුකට බටුයෙම්, දුකින් පෙළුණෙම් වෙමි. මේ හුදු දුක් රැස කෙළවර කිරීම පෙනේ නම් යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ වෙයි. පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නොවෙයි. අප්‍රමත්ත වූයේ ශීලසම්පත්තිය සම්පූර්‍ණ කෙරෙ යි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණේ. අප්‍රමත්ත වූයේ (පඤචාභිඥවන්ට අයත් දිව්‍යචක්‍ෂුර්ඥානසඞ්ඛ‍්‍යාත) ඥානදර්‍ශනය සම්පූර්‍ණ කෙරෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ වෙයි. පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ අසමය විමෝක්‍ෂය (කලින් කල නොව වරක් මිදුනේ මිදුනාම වූ සියලු කෙලෙසුන්ගෙන් මිදීම වූ නවලෝකොත්තර ධර්‍මය) ලබයි. අප්‍රමත්ත වූ ඒ මහණ තෙමේ යම් හෙයකින් ඒ නවලෝකොත්තරධර්‍මයෙන් පිරිහෙන්නේ ය යන මෙය හේතු රහිතය. අවකාශ රහිතය.
18. මහණෙනි, මෙසේ වනාහි මේ බ්‍රහ්මචර්‍ය්‍යය ලාභසත්කාර කීර්තිප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නො වෙයි. ශීලසම්පත්තිය අනුසස්කොට ඇත්තේ නො වෙයි. සමාධිසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නො වෙයි. ඥානදර්‍ශනය අනුසස් කොට ඇත්තේ නො වෙයි. මහණෙනි, යම් මේ අකෝප්‍ය - නිශ්චල චිත්තවිමුක්තියක් වේ ද, මහණෙනි, මේ බ්‍රහ්මචර්‍ය්‍යය ඒ රහත්බව පිණිස වේ. මේ සාර යයි. මේ නිෂ්ඨාව යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටට පැමිණි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
මහාසාරෝපම සූත්‍රය නවවැනි යි.
1. 3. 10.
චූළසාරෝපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති පිඞ්ගලකොච්ඡ නම් බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය:
2. භවත් ගෞතමයන් වහන්ස, පැවැදිසමූහයා ඇති පැවැදිගණයා ඇති ගණාචාර්‍ය වූ ප්‍රසිද්ධ යශස් ඇති තීර්‍ත්‍ථක වූ (=ලබ්ධි උපදවන්නා වූ) බොහෝ දෙනා විසින් සාධුයයි සම්මත කරණ ලද යම් මේ මහණ බමුණු කෙනෙක් වෙත් ද, එනම්: පූරණකස්සප, මක්ඛලී ගෝසාල, අජිතකේසකම්බල, පකුධකච්චායන, සඤ්ජයබෙල්ට්ඨීපුත්ත, නිගණ්ඨනාථපුත්ත, යන මොහු ය. ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි (ස්වසමය නෛර්‍ය්‍යාණික යයි) දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහාත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු දැයි (ඇසීය.)
3. බමුණ, කම් නැත. ‘ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහොත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු ද? යන මෙය තිබියේවා. බමුණ, මම තට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දේශනා කරන්නෙමි. පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ ‘එසේ ය පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
4. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, අරටුව ඇති, මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හරය යි හඟනේ අතු කොළ කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඒ මොහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හරය ඇති, මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා ම සිවිය ඉක්මවා ම, පොත්ත ඉක්මවා ම හර යයි හඟිමින් අතු කොළ කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද (හෙතෙමේ) නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
5. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, හර ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොත්ත කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොතු කපා ගෙන ගෙණ ගිය් ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
6. බමුණ, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙ අරටුව ඉක්මවා, එළය ඉක්මවා, හරය යි හඟිමින් සිවිය සිඳ ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටා පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා හරය යි හඟිමින් සිවිය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
7. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, අරටුව ඇති මහරුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ ඒකාන්තයෙන් අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
8. බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙක හරය යි දනිමින් හරය ම කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තුලුහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය දත්තේ ය. එළය දත්තේ ය. සිවිය දත්තේ ය. පොත්ත දත්තේ ය. කොළ අතු දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙම හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙක හරය යි දන්නේ හරය ම කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.
9. බමුණ, එපරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මැඬුනෙම් වෙමි. දුකෙහි බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ‘මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාක්‍යයෝ ය’යි තමන් හුවා දක්වයි. මෙරමා හෙළා දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය ඇති නො කරයි. වෑයම් නොකරයි. හීනාධ්‍යාශය ඇත්තේ වෙයි. ශාසනය ලිහිල් කොට ගත්තේ වෙයි. බමුණ යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටී පවත්නා වූ, හර ඇති මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හර යයි හඟනේ කොළ අතු කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කළ යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය ද හේ නො ලබන්නේය ය. බමුණ, මම මේ පුද්ගලයා එවැනි උපමා ඇත්තෙකැ යි කියමි.
10. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකෙහි බැසගත්තෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෝ වෙත් නම්, ඒ අන්‍ය ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි.
නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් ‘මම සිල්වත් වෙමි. කළණදහම් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පවිටු ස්වභාව ඇත්තෝය’යි තමා හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. ශීලසම්පත්තියෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ අන්‍යධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය නූපදව යි, වෑයම් නො කරයි. පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ වෙයි. බමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී සිටින්නා වූ හරය ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හර යයි හඟනේ පොත්ත කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය. බමුණ, මම ඒ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
11. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකෙහි බැස ගත්තෙම් දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර, කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නොවෙයි. පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් ‘මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු අසමාහිතයෝ ය. විසිරුණු සිත් ඇත්තෝය’යි තමා හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය නූපදව යි. වෑයම් නො කෙරෙයි. පසුබට පැවතුම් ඇත්තේ ශාසනය ලිහිල් කොට ගත්තේ ද වෙයි.
බමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා එළය ඉක්මවා හරය යි හඟනේ සිවිය කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වේ ද, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබයි. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
12. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම්, දුකට බටුයෙම්, දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ ද උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්‍ශනය (දිව්‍යචක්‍ෂුර් ඥානය) ලබයි. හෙතෙම ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දත්තෙම් දක්නෙම් වාසය කරමි. මේ අන්‍ය භික්‍ෂූහු නො දන්නාහු නො දක්නාහු වෙසෙත්’ යි තමන් හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. ඥානදර්‍ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය නූපදව යි. වෑයම් නො කෙරෙයි. පසු බස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ ද වෙයි. බමුණ, හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහ රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කටයුතු යමක් වී නම් හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය නො ලබන්නේ ය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
13. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකට බටුයෙම් දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ ද නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ඥානදර්‍ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්‍දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි.
14. බමුණ, ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද ධර්‍මයෝ කවරහු ද?
බමුණ, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශලයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කෙරෙ යි. බමුණ, මේ ද ඥානදර්‍ශනයට වඩා (නිරෝධපාදක බැවින) උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
15. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි උපන් පැහැදීමෙන් යුත් සිතේ ඒකෝදිසඞ්ඛ්‍යාත සමාධිය වඩන විතක්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මේද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
16. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂකව සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙසෙයි. සැපය ද කයින් විඳියි. යම් ඒ ධ්‍යානයක් හේතු කොට ගෙන එ පුද්ගලයා ‘උපේක්‍ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය. සැපවිහරණ ඇත්තේ’ යයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
17. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සොම්නස් දොම්නස්හුගේ නැසීමෙන් නිදුක් වූ නො සැප වූ උපෙක්‍ෂකවෙන් කළ ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
18. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් නැසීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘ආකාසය අනන්ත ය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
19. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
20. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්චායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
21. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්චායතනයඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
22. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙන් දැකීම් හේතුවෙන් ඔහුගේ ආශ්‍රවයෝ ක්‍ෂය වූ වාහු වෙත්. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.
බමුණ, මේ ධර්‍මයෝ ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර ද වෙත්.
බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇති මහරුකෙක හර යයි දනිමින් හරයම කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.
23. බමුණ, මෙසේ වනාහි මේ බඹසර ලාභසත්කාර කීර්තිප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නො වේ. ශීලසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. සමාධිසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. ඥානදර්‍ශනය අනුසස් කොට ඇත්තේ නොවේ. බමුණ, යම් මේ අකෝප්‍ය වූ චිත්තවිමුක්තියෙක් වේ ද, බමුණ මේ බඹසර එය ප්‍රයෝජනය කොට සිටියේ ය. ඒ සාරයයි. ඒ කෙළවර යි.
24. මෙසේ වදාළ කල්හි පිඞ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ ද, වැසූ දෙයක් විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහුය යි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේ ද, එපරිදිදෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්‍මය දේශනා කරන ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂූ සංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක් වා.
චූළසාරෝපම සූත්‍රය දසවැනි යි.
තුන්වැනි ඔපමම වර්‍ගය යි.
ඒ වර්‍ගයාගේ උද්දානය:
මොලියඵග්ගුණය අරිට්ඨය යි භික්‍ෂු නාමයෙන් කී කකචූපම - අගලද්දූපම දෙසූත්‍ර ය, ‘අන්‍ධවන’යි ස්ථාන නිර්දිෂ්ට වම්මික සූත්‍රය, දසකථා ඇති පුණු සවු නමින් කී රථවිනීථ සුත්‍රය, නිවාප සූත්‍රය, ‘රාසි’ යී නාමෛකදෙශග්‍රහණයෙන් කී පාසරාසි හෙවත් අරියපරියෙසන සූත්‍රය, කණෙරු - මහාගජ නාමයෙන් කී චූළහත්‍ථිපදොපම - මහාහත්‍ථිපදොපම දෙ සූත්‍රය, මහාසාරොපම සූත්‍රය, යලි පිඞ්ගලකොච්ඡ නම් දුන් චූළසාරොපම සූත්‍රය යි - මෙතෙකින් තැබූ මේ උතුම් තෙවන වග අසමය. අතිශයින් මනොඥ ය.
4. මහා යමක වර්‍ගය
1. 4. 1.
චූළගෝසිඞ්ග සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහසන්සේ නාදික ගම්හි ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ගෝසිඞ්ගසාලවනළැහැබෙහි වාස කරත්. එකල භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතහින් නැගී ගෝසිඞ්ගසාලවනළැහැබ කරා වැඩිසේක.
2. අරණ්‍ය පාලකයා භාග්‍යවතුන් වහන්සේ වඩනවුන් දුර දී ම දිට. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “මහණ තෙල වනයට නො පිවිසෙනු මැනව. මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් ඇත. තමන්ට හිත කැමැති සැහැවි ඇතිව වසත්. ඔවුන්ට නො පහසු නො කරන්නේ මැනව” කියායි.
3. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ හා මන්ත්‍රණ කරන අරණ්‍යපාලකයාගේ කථාව ඇසූහ.. අසා අරණ්‍යපාලකයාට තෙල කී හ: “කියග වනපාලය, භාග්‍යවතුන් වහන්සේ නො වළහව. අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේකැ” යි.
4. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ආයුෂ්මත් නන්‍දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත ගියහ. ගොස් ආයුෂ්මත් නන්‍දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ද තෙල කී ය: “ආයුෂ්මත්නි, වරෙව. ආයුෂ්මත්නි, වරෙව. අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක” කියා යි.
5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ පෙරමගට ගියහ. පෙරගමන් කොට එක් නමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු ගත්තේ ය. එක් නමෙක් අසුනක් පැණවී ය. එක් නමෙක් පා දෝනා දිය එළවී ය. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ.
6. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “අනුරුද්ධයෙනි, කිම්, සිහිය හැකි ද? යැපිය හැකි ද? කිම, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු ද?
7. “භාග්‍යවතුන් වහන්ස, සිහිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. නො කලකුළු වම්හ.”
8. අනුරුද්ධයෙනි, කිම තෙපි සමග ව සතුටු ව විවාද නොකරමින් කිරි හා දිය වැනි ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරවු ද?
9. “වහන්ස අපි ඒකාන්තයෙන් සමගිව සතුටුව විවාද නො කරමින් කිරි හා දිය මෙන් එක්ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරම්හ.”
10. අනුරුද්ධයෙනි, තෙපි, කෙසේ නම්, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් කිරි හා දිය වැනිව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරන්නහුද?
11. “වහන්ස, මෙහි දී මට මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙ වැනි සබ්‍රම්සරුන් සමඟ වාස කරම් ද, ඒ මට ඒකාන්තයෙන් ලාභ ය. ඒකාන්තයෙන් මට යහපත් ලැබීමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත කායකර්‍මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත වාක්කර්‍මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත මනඃකර්‍මය එළඹ සිටියේය. වහන්ස, ඒ මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනව’යි සිත් ඇති වෙයි. වහන්ස, මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත්විසින් වැටෙමි. වහන්ස, අප සිරුර වෙන් වෙයි. සිත එකතු වනැ”යි.
12. ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද … ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:- “වහන්ස, මට ද මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙවැනි සබ්‍රම්සරුන් සමග වෙසෙම් ද, ඒ මට ඒකාන්තයෙන් ලාභය. මට යහපත් ලැබුමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් විෂයෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත කායකර්‍මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත වාක්කර්‍මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත මනඃකර්‍මය එළඹ සිටියේ ය. වහන්ස මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනැවැ’ යි මෙසේ අදහස ඇති වේ. වහන්ස, මම මාගේ සිත බහා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වැටෙමි. ශරීර වෙන් වෙයි. සිත එකකුම වනැ’යි. මෙසේ අපි සමග ව සතුටු වෙමින් විවාද නො කරමින් කිරි හා දිය වැනියමෝ ඔවුනොවුන් පිය ඇසින් බලමින් වාස කරම්හ.
13. අනුරුද්ධයෙනි, සාධු සාධු, අනුරුද්ධයෙනි, කිම් තෙපි අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වාස කරන්නහු ද?
14. “වහන්ස, අපි ඒකාන්තයෙන් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරම්හ.”
15. අනුරුද්ධයෙනි, තෙපි කෙසේ වනාහි අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නහුද?