“පෙර මගධ දනව්හි කෙලෙස් මල සහිත ශාස්තෘවරයන් විසින් සිතන ලද අශුද්ධ ධර්‍මයෙක් පහළ විය. මේ නිවන්දොර විවෘත කරණු මැනැවි. නිර්‍මල වූ මුඹ වහන්සේ විසින් අවබෝධ කළ ධර්‍මය සත්ත්‍වයෝ අසත්වා.
යහපත් ප්‍රඥා ඇති සර්‍වඥයන් වහන්ස, ශෛලමයපර්‍වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජන සමූහයා යම්සේ දකී ද, එබඳු උපමා ඇති ධර්‍මප්‍රසාදයට නැඟ තමන්වහන්සේ පහ වූ ශෝක ඇති සේක් ශෝකයෙන් (ජාති ජරාදියෙන්) මැඩුණු සත්ත්‍ව සමූහයා බලන සේක්වා.
මාරසංග්‍රාමය දිනූ වීරයන් වහන්ස, සාර්‍ත්‍ථවාහකයන් වහන්ස, කාමච්ඡන්‍ද සංඛ්‍යාත ණය නැතියාණන් වහන්ස, නැගිසිටිනු මැනව. ලෝකයෙහි හැසිරෙනු මැනව. භාග්‍යවතුන් වහන්සේ ධර්‍මය දේශනා කරණ සේක්වා. අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.”
28. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මයාගේ ආරාධනාවත් ලැබ, සත්ත්‍වයන් කෙරෙහි කරුණාවත් නිසා බුදුඇසින් (ආසයානුසය ඉන්‍ද්‍රියපරෝපරියත්තඤාණයෙන්) ලොව බලන්නා වූ මම අල්පරජස්ක වූ ද, මහාරජස්ක වූ ද, තීක්‍ෂණ වූ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇත්තා වූ ද, මෘදු ඉන්‍ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් වූ ශ්‍රද්ධාදි ආකාර ඇත්තා වූ ද, අයහපත් ශ්‍රද්ධාදි ආකාර ඇත්තා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය හැක්කා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය නොහැක්කා වූ ද, සත්ත්‍වයන් - පරලොව හා වරද (කෙලෙස්) බිය වසයෙන් දක්නාසුලු ව වසන්නා වූ ඇතැමුන් ද, පරලොව හා කෙලෙස් වරද බිය වසයෙන් නොදක්නාසුලු වූ වසන්නා වූ ඇතැමුන් ද දිටිමි.
මහණෙනි, යම්සේ උපුල්විලෙක හෝ පියුම් විලෙක හෝ හෙළපියුම්විලෙක හෝ දියෙහි හටගන්නා වූ දියෙහි වැඩුණා වූ දියෙන් උඩට නො නැගුණා වූ දියෙහි ගැලී පෝෂණය වන්නා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලය හා සම ව සිටියා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේ ද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලය ඉක්මවා සිටියා වූ ජලයෙන් නො තැවරුණා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේ ද, එසේ ම, මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නා වූ මම කෙලෙස් අඩු, කෙලෙස් වැඩි, තියුණු ඉන්‍ද්‍රියයන් ඇති, මෘදු ඉන්‍ද්‍රියයන් ඇති, යහපත් ආකාර ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් අවබෝධ කරවිය හැකි, පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්ත්‍වයන් ද, පරලොව හා කෙලෙස් බිය වශයෙන් දක්නා සුලු ව වසන ඇතැම් සත්ත්‍වයන් ද, පරලොව හා කෙලෙස් බිය වසයෙන් නො දක්නාසුලු ව වසන්නාවූ ඇතැම් සත්ත්‍වයන් ද දිටිමි. මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවෙන් පිළිවදන් දිනිමි.
“යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ඔහු (දැන්) ශ්‍රද්ධාව මුදත්වා (ඉදිරිපත් කෙරෙත්වා). ඔවුනට නිවන් දොර (ම විසින්) විවෘත කරණ ලදී. බ්‍රහ්මය, ‘වෙහෙසකි’ යන කල්පනා ඇත්තෙම් ප්‍රගුණ වූ උතුම් ධර්‍මය මිනිසුන් කෙරෙහි නො දෙසීමි.”
29. ඉක්බිති, සහම්පතීබ්‍රහ්ම තෙම ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මදේශනාවට කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි’ යි මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
30. මහණෙනි, ඒ මට “මම පළමු කොට කවරකුට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ දහම් වහා අවබෝධ කරන්නේ දැ”යි මේ ධර්‍මවිතර්‍කය විය. මහණෙනි, ඒ මට මේ සිත විය: මේ ආළාරකාලාම තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අල්ප රජස්කස්වභාව (නිකෙලෙස් පියවි) ඇත්තෙක. මම ආළාරකාලාම තවුසාට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනව. හෙතෙම මේ ධර්‍මය වහා ම දැන ගන්නේ ය”යි කියායි. මහණෙනි, අනතුරු ව දෙවියෙක් මා වෙත පැමිණ “වහන්ස, ආළාරකාලාම තෙමේ මින් සත් දවසකට පෙර කලුරිය කළේ ය” යි මෙය කීයේ ය. “ආළාරකාලාම තෙමේ මින් සත් දිනකට පෙර කාලක්‍රියා කෙළේය.” යන ඥානදර්‍ශනය මට ද පහළ විය. මහණෙනි, ඒ මට “ආළාරකාලාම තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක් විය. ඉදින් හෙතෙම මේ ධර්‍මය ඇසුයේ නම්, වහා ම දැනගන්නේ ය (මගපල ලබයි)”යි මේ සිත විය.
31. මහණෙනි, ඒ මට “මම කවරකුට පළමුකොට දහම් දෙසම් ද, කවරෙක් මේ ධර්‍මය වහා ම අවබෝධ කරගන්නේ ද” මේ සිත විය. මේ රාම පුත්‍ර උද්දක තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අල්පරජස්කස්වභාව ඇත්තේ ය. මම රාම පුත්‍ර උද්දකහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනව. හෙතෙම මේ ධර්‍මය වහා ම දැනගන්නේ ය” යන අදහස විය. මහණෙනි, ඉක්බිති දෙවියෙක් මා කරා පැමිණ “වහන්ස, රාමපුත්‍ර උද්දක තෙමේ ඊයේ මධ්‍යමරාත්‍රියෙහි කාලක්‍රියා කෙළේ ය”යි කීයේ ය. “රාමපුත්‍ර උද්දක තෙමේ ඊයේ රෑ කාලක්‍රියා කෙළේ ය”යි මට ද ඥානදර්‍ශනය පහළ විය. මහණෙනි, “රාමපුත්‍ර උද්දකහට වූයේ මහත් පිරිහීමෙක. ඉදින් හෙතෙම මේ ධර්‍මය ඇසුයේ නම්, වහා ම මාර්‍ගඵල අවබෝධ කරන්නේ යයි” මට මේ අදහස වී ය.
32. මහණෙනි, ඒ මට “කවරකුට මම පළමු කොට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ ධර්‍මය වහා ම අවබෝධ කරන්නේ ද?” යන අදහස විය.
මහණෙනි, ඒ මට “යම් පස්වග මහණ කෙනෙක් ප්‍රධන්වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති මට උවටන් කළාහු ද, ඒ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇත්තාහ. මම පස්වග මහණුන්ට පළමු ව දහම් දෙසන්නෙම් නම් මැනව යි” මේ අදහස වී ය. මහණෙනි, ඒ මට “දැන් ඒ පස්වග මහණහු කොහි වෙසෙත් දෝ හෝ”යි මේ සිත වී ය. මහණෙනි, මම මිනිසැස ඉක්ම සිටි පිරිසුදු වූ දිවැසින් පස්වගමහණුන් බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසන්නවුන් දිටිමි.
33. මහණෙනි, ඉක්බිති උරුවෙල්දනව්වෙහි කැමතිතාක් වාසය කොට බරණැස චාරිකාවෙහි ගියෙමි. මහණෙනි, ගයාවටත් බෝධියටත් අතර අදන්මගට පිළිපන් උපක නම් ආජීවකයා මා දුටුයේ ය. දැක මට මෙසේ කී ය: “ඇවැත්නි, මුඹවහන්සේගේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්‍ණය පිරිසුදු ය, ප්‍රභාස්වරය. ඇවැත්නි, මුඹවහන්සේ කවරකු උදෙසා පැවිදි වූ සේක ද? මුඹවහන්සේගේ ශාස්තෘවරයා හෝ කවරේ ද? මුඹවහන්සේ කාගේ ධර්‍මයකට රුචි කරණ සේක් ද?” යනුයි. මහණෙනි, මෙසේ කී කල්හි මම උපකආජීවකයාහට ගාථාවෙන් කීමි:
“මම සියල්ල අබිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්‍මයන්හි නො ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. මෙසේ තමන් ම සියල්ල දැන අන් කවරකු ආචාර්‍ය්‍යවශයෙන් උදෙසනෙම් ද?”
“මට ලෝකෝත්තරධර්‍මයෙහි ගුරුවරයෙක් නැත. මට සමානයෙක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සම පුද්ගලයෙක් නැත.”
“ලෝකයෙහි මම ම රහත් වෙමි. මම ම නිරුත්තර වූ ශාස්තෘ වෙමි. මම එක ම සම්මාසම්බුදු වෙමි. සියලු කෙලෙස්ගිනි නිවීමෙන් සිසිල් වූයෙමි. එහෙයින් ම නිවුනෙම් වෙමි.”
“මම දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්‍ධ වූ ලෝකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”
34. ‘ඇවැත්නි, මුඹ “අනන්තජින” ය යි පිළින කරණ සේය.’ (උපක කීය)
“ආස්‍රවක්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණයට පැමිණියා වූ මා වැනියෝ ඒකාන්තයෙන් ‘ජින’ නම් වෙති. උපකය, මා විසින් පාපධර්‍මයෝ දිනන ලදහ. එහෙයින් මම ‘ජින’ වෙමි.” යි
මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ, “ඇවැත්නි, එසේත් වන්නේ වනැ”යි හිස සලා සරස් මගක් ගෙණ ගියේ ය.
35. මහණෙනි, ඉක්බිති මම පිළිවෙළින් චාරිකා කරන්නෙම් බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වගමහණුන් වෙත එළඹියෙමි. මහණෙනි, පස්වග මහණහු එන මා දුර දී ම දුටහ. දැක ඔවුනොවුන් කතිකා කළහ: “ඇවැත්නි, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පැමිණ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් පිරිහුණු, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පෙරළුණු මේ ශ්‍රමණ ගෞතම තෙමෙ එයි. නො ම වැඳිය යුතුය. පෙර ගමන් නො කළ යුතුය. ඔහුගේ පා සිවුරු නො පිළිගත යුතු ය. වැලි, ඉදින් කැමැත්තේ නම් හිඳින්නේ යයි ආසනයක් තැබිය යුතු”ය කියායි. මහණෙනි, මා ළං ළං වත් ම පස්වග මහණහු තම කතිකායෙහි පිහිටා සිටින්නට නොහැකි වූහ. ඇතැම්හු මට පෙර ගමන් කොට පාසිවුරු ගත්හ. ඇතැම්හු අසුන් පැනවූහ. ඇතැම්හු පාදොවුන්දිය එළවූහ. එසේ වුවත් මට නාමයෙන් හා ‘ආවුසො’ වාදයෙන් ව්‍යවහාර කෙරෙති.
36. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි “මහණෙනි, තථාගතයන්ට නමිනුත් ‘ආවුසො’ වාදයෙනුත් ව්‍යවහාර නො කරවු. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. අමෘතය අවබෝධ කරණ ලදී. මම දහම් දෙසමි. අනුශාසනයට අනුව පිළිපදනාහු - කුලපුත්‍රයෝ යම් නිවනක් සඳහා ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය අවසන් කොට ඇති නිරුත්තර වූ ඒ නිර්‍වාණය ඉහතාත්මයේදී ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ඊට පැමිණ වාසය කරවු” යි.
37. මහණෙනි, මෙසේ කී කල්හි පස්වග මහණහු මට මෙය කීහ: “ඇවත ගෞතමයෙනි, මුඹ වහන්සේ ඒ දුෂ්කර වූ ඉරියව්වෙනුත් දුෂ්කර ප්‍රතිපදායෙනුත් දුෂ්කර ක්‍රියායෙනුත්, මනුෂ්‍යධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය ඇති කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනවිශේෂය නො ලැබූ සේක. මුඹ වහන්සේ දැන් පිරිකර බහුල කොට ඇති සේක්, ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණු සේක්, පිරිකර බහුල කොට ඇතිබවට පෙරළුණුසේක්, දශකුශලධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂය කිසෙයින් ලැබූ සේක් ද?” මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බාහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණේ නො වේ. බාහුලිකත්‍වයට පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. අමෘතය මා විසින් ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම් සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්‍හත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, නිරුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇත්තා වූ ඒ අර්‍හත්‍වය තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහුය.”
38. මහණෙනි, දෙවනු ද පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත්නි, ගෞතමයෙනි, මුබවහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයක් අවබෝධ නො කළ සේක. කීම, මුබවහන්සේ දැන් ප්‍රත්‍ය බහුල කොට ඇතිසේක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍ය බහුල කොට ඇතිබව පිණිස පෙරළුණු සේක් මනුෂ්‍යධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනය අවබෝධ කළසේක් ද?”
39. මහණෙනි, දෙවනු ද මම පස්වග මහණන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන් අවබෝධ කරණ ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්‍හත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, නිරුත්තර වූ බඹසර කෙළවර කොට ඇති ඒ අර්‍හත්‍වය තුමූ ඉහතාත්මයේදී ම අභිඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය.”
40. මහණෙනි, තෙවැනිවටත් පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත් ගෞතමයෙනි, මුබ වහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කරක්‍රියාවෙන් මිනිස් දහමට වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයක් අවබෝධ නො කළ සේක. මුබ වහන්සේ දැන් ප්‍රත්‍ය බහුල කොට ඇතිසේක් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍ය බහුල භාවය පිණිස පෙරළුණු සේක් මිනිස්දහමට වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශනය අවබෝධ කළසේකැ යනු කීම?”
41. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි: මහණෙනි, තෙපි මින් පෙර මාගේ මෙබඳු වූ වාග්භේදයක් (=වචන කීමක් ගැන) දන්නහු ද?” “වහන්ස, එය නො වේ ම ය.” “මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බාහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්‍හත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහි ගෙන් නික්ම අනගාර්‍ය්‍යශාසනයට පැමිණෙද්ද, ඒ නිරුත්තර වූ බඹසර කෙළවර කොට ඇති රහත්බව ඉහතාත්මයේදී ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය.”
42. මහණෙනි, මම මා බුදුවූබව පස්වග මහණුන් අඟවන්නට හැකිවීමි. මහණෙනි, මම භික්‍ෂූන් දෙනමකට අවවාද කරමි. භික්‍ෂූහු තෙනමක් පිඬු පිණිස හැසිරෙත්. භික්‍ෂූහු තිදෙන පිඬුපිණිස හැසිර යමක් ගෙනෙත් ද, එයින් සවග වූ අපි යැපෙමු. මහණෙනි, මම භික්‍ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්‍ෂූහු දෙ නමක් පිඬු පිණිස හැසිරෙත්. භික්‍ෂූහු දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත් ද, එයින් සවග වූ අපි යැපෙමු.
43. මහණෙනි, මෙසේ මා විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන පස්වග මහණහු තුමූ ඉපදීම ස්වභාව කොට ඇත්තාහු ජාතිධර්‍මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම නිවන අවබෝධ කළාහු ය. තුමූ ජරාව ස්වභාව කොට ඇත්තාහු ජරාධර්‍මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාහු ව්‍යාධිස්වභාවයෙහි දොස් දැන ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ මරණය ස්වභාව කොට ඇත්තාහු මරණයෙහි ආදීනව දැන මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ ශෝකය ස්වභාව කොට ඇත්තාහු ශෝකයෙහි ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ කෙලෙසීම් ස්වභාව කොට ඇත්තාහු සංක්ලේශධර්‍මයෙහි ආදීනව දැන නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන සොයන්නාහු නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. ඔවුන්ට ‘අපගේ චිත්තවිමුක්තිය නිශ්චල ය. මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයක් නැත’ යන ඥානදර්‍ශනය ද පහළ විය.
44. මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනකි. කවර පස් දෙනෙක යත්: චක්‍ෂුර්විඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමරාගයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ රූපයෝ ය, ශ්‍රොත්‍රවිඥානයෙන් දත යුතු වූ … ශබ්දයෝ ය, ඝාණවිඥානයෙන් දත යුතු වූ … ගන්‍ධයෝ ය, ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ … රසයෝ ය, කායවිඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කමනීය වූ මන වඩන්නා වූ ප්‍රියස්වරූප වූ කාමරාගයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, යන මොහුයි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය.
45. මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් (මේ පස්කම් ගුණයන්හි) වෙළුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දොස් නොදක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් තොර වූවාහු මේ පස්කම්ගුණයන් පරිභෝග කෙරෙද් ද, ඔහු අනභිවෘද්ධියට පැමිණියාහු ව්‍යවසනයට පැමිණියාහු පවිටු මරහු විසින් කැමති සේ කට යුත්තාහු යි මෙසේ දත යුත්තාහු ය.
46. මහණෙනි, අරණ්‍යකමෘගයෙක් මල පුඬුරැස මත යම්සේ ශයනය කරන්නේ නම්, හෙතෙමේ අනභිවෘද්ධියට පැමිණියේ ව්‍යවසනයට පැමිණියේ වැද්දා විසින් කැමැති සේ කට යුත්තේ ය. වැද්දා එන කල්හි කැමැති මගකින් නො යන්නේ ය යි මෙසේ දතයුතු වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ පස්කම්ගුණයන්හි ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දොස් නො දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් තොර වූවාහු මේ පස්කම්ගුණයන් පරිභෝග කෙරෙත් ද, ඔහු විපතට පැමිණියාහු වැසනට පැමිණියාහු පවිටු මරහු විසින් කැමැති සේ කට යුත්තාහු ය යි මෙසේ දත යුතු වන්නාහු ය.
47. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පස්කම්ගුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු බැස නොගත්තාහු දොස් දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් යුක්ත වූවාහු මේ පස්කම්ගුණයෙන් පරිභෝග කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියාහු ය. ඔහු වැසනට නො පැමිණියාහු ය. පවිටු වූ මරහු විසින් කැමැති සේ කට යුතු නො වන්නාහුය යි මෙසේ දත යුතු වන්නාහු ය.
48. මහණෙනි, යම් සේ වනමුවෙක් නො බැඳුනේ මලපුඬු රැස මත හෝනේ ද, හෙතෙමේ විපතට නො පැමිණියේ ය. වැසනට නො පැමිණියේ ය. වැද්දා විසින් කැමැති සේ කට යුතු නොවන්නේ ය. වැද්දා එන කල්හි කැමැති මගකින් පලායන්නේ ය යි මෙසේ දත යුතු වන්නේ ය. මහණෙනි, මේ පරිද්දෙන් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු හෝ පස්කම්ගුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු බැස නො ගත්තාහු දොස් දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් යුක්ත වූවාහු මේ පස්කම්ගුණයෙන් පරිභෝග කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියෝ ය. වැසනට නො පැමිණියෝ ය. පවිටු මරහු විසින් කැමැති සේ කටයුතු නො වන්නෝ ය යි මෙසේ දත යුතු වන්නාහු ය.
49. මහණෙනි, යම්සේ වනමුවෙක් මහ වහයෙහි හැසිරෙන්නේ බියරහිත වූයේ යේ නම්, බියරහිත වූයේ සිටී නම්, බියරහිත වූයේ හිඳී නම්, බියරහිත වූයේ හොවී නම්, මහණෙනි, ඒ කවරහෙයින යත්: වැද්දාට හමු නො වූ හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි ද, මහණෙනි, මේ භික්‍ෂු තෙමේ මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ යයි ද කියනු ලැබේ.
50. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් සිය සතන්හි පැහැදීම වූ සිතේ එකඟගබව ඇති විතර්‍ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති දෙවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මේ මහණ තෙමේ ‘මාරයා අන්‍ධ කෙළේ යයි ද, පිහිටක් නැති සේ මරඇස නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ යයි ද කියනු ලැබේ.
51. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීති විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ද ස්මෘතිමත් වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ද වාසය කරයි. කයින් සැප ද විඳියි. ආර්‍ය්‍යයෝ ඒ යමක් ‘උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සැප විහරණ ඇත්තේ ය’යි වර්‍ණනා කරත් ද, ඒ තෙවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙම ‘මාරයා අන්‍ධ කෙළේ ය යි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ.
52. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සැපය නැසීමෙන් ද දුක නැසීමෙන් ද පළමු කොට ම සොම්නස් දොම්නස් වැනසීමෙන් දුක් රහිත වූ සැප රහිත වූ උපේක්‍ෂා විසින් කළ ස්මෘතිපරිශුද්ධභාව ඇති සිවුවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ‘මාරයා අන්‍ධ කෙළේ ය යි ද මාරයාගේ ඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ.
53. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානාඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ‘මාරයා අන්‍ධ කෙළේ ය යි ද, මරඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ඕළාරික කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි … මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කෙරෙයි. ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ ක්‍ෂීණ වූවාහු වෙත්. මහණෙනි, මේ තෙම ‘මාරයා අන්‍ධ කෙළේ ය. මරඇස පිහිටක් නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ. ලෝකයෙහි විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෙන් එතෙර වූයේ ය. හෙතෙම නිර්‍භය වූයේ නිර්‍භය ව සිටියි. නිර්‍භය ව හිඳියි. නිර්‍භය ව හොවියි. කවර හෙයින යත්: මහණෙනි, පවිටු මාරයාට හමු නොවූ හෙයිනි.
බුදුරජාණන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
අරියපරියේසන සූත්‍රය සවැනියි.
1. 3. 7.
චූළහත්‍ථිපදෝපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම් සවිසුදු වෙළෙඹුන් යෙදූ රියකින් දෙවෙන්දාවල් සැවැත්නුවර පැදකුණු කරයි.
2. ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙමේ එන්නා වූ පිලෝතිකා පරිව්‍රාජකයා දුර දී ම දැක්කේය. දැක මෙසේ කීයේය:
“භවත් වාත්ස්‍යායන තෙමේ දැන් දෙවෙන්දාවල් කොහි සිට එන්නේ ද”
“පින්වත, මම මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ සමීපයෙහි සිට එමි.”
“භවත් වාත්ස්‍යායන තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව හා වියත්බව කිමැයි හඟනේ ද? පණ්ඩිතයෙකැ යි සිතන්නේ ද”
භවත, මම කවරෙකිම් ද, ශ්‍රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දැනීමෙහි මම කවරෙකිම් වෙම් ද, යමෙක් ශ්‍රමණගෞතමයන්ගේ නුවණ හා වියත්බව දන්නේ නම්, හෙතෙමේත් ඒකාන්තයෙන් එවැනි (බුදුවරයෙක්) වන්නේ ම ය.
“පින්වත් වාත්ස්‍යායන තෙමේ උදාර වූ ප්‍රශංසාවෙන් භවත් ගෞතමයන් පසසයි”
“පින්වත, මම කවරෙකිම් ද, ශ්‍රමණගෞතමයන් පැසසීමෙහි මම කවරෙකිම් වෙම් ද, ඒ භවත් ගෞතම තෙමේ ප්‍රශස්ත ගුණයෙන් ප්‍රශස්තය, නොහොත් ප්‍රශස්තයන් විසින් ප්‍රශස්තය. දෙවි මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ ය.
“පින්වත් වාත්ස්‍යායන තෙමේ කවර කරුණක් දක්නේ ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ වෙසෙසින් පැහැදුණේ ද”
3. “පින්වත, යම් සේ නාගවනවාසී (ඇතුන් වසන වනයෙහි වසන) දක්‍ෂ පුරුෂයෙක් ඇත්වනයට ඇතුළු වේ ද, හෙතෙම නාගවනයෙහි දිගිනුදු දික් වූ සරසිනුදු පුළුල් වූ මහඇත්පියක් දක්නේ ද, හෙතෙමේ ‘පින්වත, මහ ඇතෙකැ’ යි නිශ්චයට පැමිණෙන්නේ ය. පින්වත, එසේ ම මම යම් තැනක පටන් ශ්‍රමණ ගෞතමයන් වෙත ඤාණපද සතරක් දිටිම් ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ ‘සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්නය’යි නිෂ්ඨාවට පැමිණියෙමි.
4. කවර ඤාණපද සතරෙක් ද යත්:
පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳින්නාක් මෙන් හැසිරෙද්ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවාවන් වැනි වූ ඇතැම් ක්‍ෂත්‍රිය පණ්ඩිත කෙනෙකුන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ‘අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේ ය’යි අසත්. ඔහු ප්‍රශ්න අභිසංස්කරණ කරත්: අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරා පැමිණ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, මෙසේ අපි ඔබට වාදාරෝපණය කරන්නෙමු. මෙසේත් අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේ නම්, ඔබට මෙසේත් අපි වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.
ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියේය’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තියුණු කරවති. සතුටු කරවති. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු සතුටු කරවන ලද්දාහු ශ්‍රමණ ගෞතමයන් අතින් ප්‍රශ්න නො විචාරත්ම ය. කොයින් උන්වහන්සේට වාදාරෝපණය කරන්නාහු ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ පළමුවන පදය දිටිම් ද, ඉක්බිති මම භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න” යි නිශ්චයට ගියෙමි. [පළමුවැනි ඥානපදය]
5. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් බමුණුපඬිවරුන් දකිමි. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතම තෙමේ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ පැමිණේය’යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද්දේ මෙසේ විසඳන සේක. අපි මෙසේ උන්වහන්සේට වාදාරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේ විචාරණ ලද උන්වහන්සේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියා යි.
ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණෙත්. ශ්‍රමණ ගෞතම තෙමේ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සතුටු කරවයි.
ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලැබූ, සමාදන් කරවනු ලැබූ, තියුණු කරවනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත් ද? ඒකාන්තයෙන් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, යම් දිනෙක මම ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ දෙවන ඥානපදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහ. ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්නය” යි නිශ්චයට පැමිණියෙමි. [දෙවැනි ඥානපදය]
6. නැවත අනිකක් ද වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් ගෘහපතිපණ්ඩිතයන් දකිමි. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ එත්ල යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: ‘අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් කරා එළඹ විචාරන්නෙමු. මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේ ඔහුට වදරෝපණය කරන්නෙමු. ඉදින් අප විසින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ ප්‍රකාශ කරන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියායි.
ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹෙත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලැබූ, සමාදන් කරවනු ලැබූ, තෙදගන්වනු ලැබූ, සතුටු කරවනු ලැබූ, ඔහු ශ්‍රමණගෞතමයන් ප්‍රශ්න නොවිචාරත් ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත්ද? ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ ම ශ්‍රාවකයෝ වෙත්. පින්වත, මම යම් දිනෙක ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ තුන්වන ඥාන පදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි. [තෙවැනි ඥානපදය]
7. නැවත ද අනිකක් වෙයි. පින්වත, මම මේ ලෝකයෙහි යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳිමින් මෙන් හැසිරෙත් ද, එබඳු වූ සියුම් බුද්ධි ඇති අනුන් හා කළවිරූ වාද ඇති වාලවේධි දුනුවායන් වැනි වූ ඇතැම් ශ්‍රමණ පතිපණ්ඩිතයන් දකිමි. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට හෝ එත්ල යි අසත්. ඔහු ප්‍රශ්න සකස් කරත්: අපි මේ ප්‍රශ්න ශ්‍රමණ ගෞතමයන් වෙත එළඹ විචාරන්නෙමු. ඉදින් මෙසේ අප විසින් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේය. අපි මෙසේ ඔහුට වදරෝපණය කරන්නෙමු. ඉදින් මෙසේත් විචාරණ ලද්දේ මෙසේ විසඳන්නේය. අපි මෙසේත් ඔහුට වාදාරෝපණය කරන්නෙමු’යි කියායි.
8. ඔහු ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අසුවල් ගමට හෝ නියම්ගමට පැමිණියහ’යි අසත්. ඔහු ශ්‍රමණ භවත් ගෞතමයන් කරාපැමිණෙත්. ශ්‍රමණ ගෞතමයෝ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. සතුටු කරවති. ශ්‍රමණ ගෞතමයන් විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද සමාදන් කරවන ලද, තෙද ගන්වන ලද, සතුටු කරවන ලද, ඔහු ශ්‍රමණගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න නොවිචාරත්ම ය. කොයින් ඔබට වාදාරෝපණය කෙරෙත්ද? ඒකාන්තයෙන් ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණීම පිණිස ශ්‍රමණ ගෞතමයන්ගේ අවසර යදිත්. ශ්‍රමණ භවත් ගෞතමයෝ ඔවුන් මහණ කරවති. උපසපන් කරවති. එහි පැවිදි වූ ඔහු එකලා වූවාහු (ගණයා කෙරෙන්) වෙන් වූවාහු සිහියෙන් යුක්ත වූවාහු කෙලෙස් තවන වැර ඇත්තාහු නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වාසය කරන්නාහු නොබෝ කලකින්ම - යම් අර්‍ත්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද - නිරුත්තර වූ මගබඹසර කෙළවර කොට ඇති ඒ අර්‍හත්‍වය ඉහාත්මයේදී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කෙරෙත්. ඔහු මෙසේ කීහ: ‘පින්වත, අපි ඒකාන්තයෙන් මදකින් (නොපැමිනීම් මතුයෙන්) නැසූණම්හ. පින්වත, ලේසයකින් වැනසුණම්හ. අපි පෙර නොමහණව ‘මහණම්හ’යි පිළින කෙළෙමු. නොබමුණු ව ‘බමුණම්හ’ යි පිළින කෙළෙමු. නො රහත්ව ‘රහත්ම්හ’යි පිළින කෙළෙමු. දැන් මහණමෝ වම්හ. දැන් බමුණෝ වම්හ. දැන් රහත්මෝ වම්හ’යි කියායි. පින්වත, යම් කලෙක පටන් ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මේ සිවුවන ඥාන පදය දිටිම් ද, ඉක්බිති මම ‘භාග්‍යවතුන්වහන්සේ සම්‍යක්සම්බුද්ධ යහ. ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි. [සිවුවැනි ඥානපදය]
9. පින්වත, යම් තැනෙක පටන් මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මේ ඥානපද සතර දිටිම් ද, එකල්හි මම ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙමේ සුප්‍රතිපන්න’යි නිශ්චයට පැමිණියෙමි.
10. මෙසේ කී කල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ සව්සුදු වෙළඹ රියෙන් බැස උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දෙස ඇඳිලි බැඳ “ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා”යි තුන් යළක් උදන් ඇනී ය. ‘අපි කිසියම් කලෙක්හි ඒ භවත් ගෞතමයන් වහන්සේ සමග එක් වන්නමෝ නම්, මැනව. කිසියම් කථා සල්ලාපයෙක් වන්නේ නම්, මැනැවැ’යි ද කීය.
ඉක්බිති ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවී ය. සතුටු විය යුතු සිත ඇලවිය යුතු කථාව කොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ පිලෝතිකා පරිව්‍රාජකයා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කළේය.
14. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ජානුස්සෝණී බ්‍රාහ්මණ හට මෙය වදාළ සේක: “බමුණ, මෙපමණකින් හස්තිපදෝපමය විස්තර වශයෙන් සම්පූර්‍ණ වූයේ නො වේ. බමුණ, යම්සේ හස්තිපදෝපමය විස්තර වශයෙන් සම්පූර්‍ණ වේ ද, එය ශ්‍රවණය කරව, මනා කොට මෙනෙහි කරව. කියන්නෙමි”. “පින්වතුන් වහන්ස, එසේ ය” යි කියා ජානුස්සෝණී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
15. බමුණ, යම්සේ ඇත් වනයෙහි වාසය කරන්නෙක් ඇත්වනයට පිවිසෙන්නේ ද, හෙතෙම ඇත් වනයෙහි දිගිනුදු දික්වූ, සරසිනුදු පුළුල් වූ මහත් ඇත්පියක් දක්නේ නම් දක්‍ෂ වූ යම් නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නොපැමිණෙයි. එ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති වාමනිකා නම් (මිටි වූ) ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් ද දකියි. යමෙක් දක්‍ෂ වූ නාගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නොමපැමිණෙයි. ඒ කවර හෙයින යත්: බමුණ, නාගවනයෙහි මහපිය ඇති (උස් පහත් දළ ඇති) උච්චා කාළාරිකා නම් ඇතින්නෝ ද ඇත්තාහුමය. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල සතටරියන් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා දකියි. යමෙක් දක්‍ෂ වූ නගවතිකයෙක් වේ ද, හෙතෙම ‘පින්වත, මහත් වූ ඇතෙකැ’යි එපමණකින් නිෂ්ඨාවට නො යේ ම ය. ඒ කවර හෙයින යත්: බමුණ ඇත්වනයෙහි (යටි වැනි උස් වූ පාද ඇති) උච්චා කණේරුකා නම් මහ පිය ඇති ඇතින්නෝ ඇතියහ. ‘මේ ඔවුන්ගේ පියක් වන්නේ ය’යි (සිතීමෙනි). හෙතෙම එය අනුව යයි. එය අනුව යන්නේ ඇත් වනයෙහි දිගින් දික්වූ, සරසින් පුළුල් වූ මහත් ඇත්පියක් ද (ගස්වල උස් පෙදෙසෙහි) පිට ඉලූ තැන් දළින් සිඳි තැන් හා උස් තැන්හි බුන් අතු හා දකියි. ගසක් මුලට ගියාවූ හෝ අබ්භ්‍යවකාශයට ගිය වූ හෝ ඇවිදිනා වූ හෝ සිටිනා වූ හෝ හුන්නා වූ හෝ වැද හොත්තා වූ හෝ ඒ ඇතු ද දකියි. ‘මේ ඒ මහා ඇතා ම ය’යි හේ නිශ්චයට යෙයි.
16. බමුණ, මේ පරිද්දෙන් ම මේ ලෝකයෙහි අර්‍හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණයෙන් යුක්ත වූ, සුගත වූ, ලෝකය දන්නා වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ, බුද්ධ වූ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ පහළ වෙයි. හෙ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව ද තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හෙ ආදි කල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යාවසානකල්‍යාණ කොට අර්‍ත්‍ථසහිත කොට බ්‍යඤ්ජන සහිත කොට කේවල සම්පූර්‍ණ කොට පිරිසුදු කොට ධර්‍මය වදාරයි, ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.
17. ඒ ධර්‍මය ගැහැවියෙක් හෝ ගැහැවිපිතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. හෙතෙම ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්ත වූයේ මෙසේ සිතයි: “ගෘහවාසය සම්බාධ ය, රාගාදි රජසුන්ට මාර්‍ගයෙකි. පැවිද්ද එලිමහනක් වැන්න, ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ ඒකාන්තයෙන් පිරිසුදු වූ මේ ශඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට ගිහිගෙයි වසන්නහු විසින් පහසු නො වෙයි. මම කෙස්රවුළු බහා කහවත් ඇඳ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ”යි. හෙතෙම පසුකලයෙක ස්වල්පවූ හෝ භෝගරාශිය හැර ස්වල්ප වූ හෝ නෑපිරිවර හැර මහත් වූ හෝ නෑපිරිවර හැර කෙස්රවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙයි.
18. හෙතෙමේ මෙසේ පැවිදි වූයේ භික්‍ෂුන්ගේ ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත සාජීවයට පැමිණියේ සතුන් මැරීම හැර සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ වෙයි. බහා තැබූ ශස්ත්‍ර ඇත්තේ වෙයි. ලජ්ජායෙන් යුක්ත වූයේ දයාවට පැමිණියේ සියලු සත්‍වයන් කෙරෙහි හිතානුකම්පා ඇතිව වාසය කෙරෙයි. නුදුන් දෙය ගැන්ම හැර නුදුන් දෙය ගැන්මෙන් වැළකුණේ වෙයි. දුන් දෙය ගන්නාසුලු වූයේ දුන් දෙය කැමැති වන සුලු වූයේ සොර නොවූ පිරිසුදු වූ සිතින් වාසය කෙරෙයි. අශ්‍රේෂ්ඨචර්‍ය්‍යාව හැර ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ඇත්තේ අයහපත් හැසිරීමෙන් දුරු වූයේ වෙයි. ග්‍රාමධර්‍ම යයි කියන ලද මෛථුනයෙන් වැළකුණේ වෙයි. මුසාවාදය හැර මුසාවාදයෙන් වැළකුණේ වෙයි, සත්‍ය කියනසුලු වූයේ සත්‍යයෙන් සත්‍ය ගළපනුයේ ස්ථිරකථා ඇදහිය යුතු බස් ඇත්තේ ලෝකයා බොරුවෙන් නොරවටන්නේ වෙයි. පිසුනුබස් හැර පිසුනුබසින් තොර වූයේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ භේදය පිණිස එතැන කියන්නේ නොවෙයි. එතැනින් අසා ඔවුන්ගේ භේදය පිණිස මෙතැන කියන්නේ නොවෙයි. මෙසේ බිඳුණවුන් සමගි කරන්නේ සමගි වූවන්ට අනුබල දෙන්නේ සමගියට කැමැත්තේ සමගියෙහි ඇලුණේ සමගි වූවන් දැක සතුටු වනසුලු වූයේ සමගි කරණ වචන කියන්නේ වෙයි. රළුබස් හැර රළුබස් කීමෙන් වැළකුණේ වෙයි. යම් ඒ වචනයක් නිදොස් ද, කනට සුව ද, ප්‍රේමණීය ද, ළ ගන්නාසුලු ද, නාගරික ද, බොහෝ දෙනා කැමැති ද, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද, එබඳු වචන කියන්නේ වෙයි. හිස බස් තෙපලීමෙන් වෙන් වූයේ වෙයි. කල් බලා කියනසුලු වූයේ වූවක් කියනසුලු වූයේ අර්‍ත්‍ථයක්ම කියනසුලු වූයේ ධර්‍මයක් ම කියනසුලු වූයේ විනයක් ම කියනසුලු වූයේ වෙයි. ළෙහි තැන්පත් කර ගත යුතු කරුණු සහිත වූ පිරිසිඳීම් ඇති අර්‍ත්‍ථයෙන් යුත් වචන නිසි කල්හි කියන්නේ වෙයි.
19. හේ බීජසමූහ (පැළවන දෑ) ද, භූතසමූහ (පැළවුන දෑ) ද, සමාරම්භයෙන් (නැසීමෙන්) වෙන් වූයේ වෙයි. එක වේලේ වළඳන්නේ රාත්‍රිභෝජනයෙන් වැළක්කේ විකල් බොජුනෙන් වෙන් වූයේ වෙයි. නටනු ගයනු වයනු විසුලු දස්නෙන් දුරු වූයේ වෙයි. මල් ගඳ විලෙවුන් ඇඟ දැරීම, අඩු තැන් පිරවීම, සැරසීම යන මෙයින් වෙන් වූයේ වෙයි. උස්යහනින් මහයහනින් දුරු වූයේ වෙයි. රන්රිදී මසු කහවණු පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමු ධාන්‍යවර්‍ග පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ස්ත්‍රීන් කුමරියන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. එළු බැටෙළුවන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. කුකුළන් ඌරන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ඇත ගව අස් වෙළඹුන් පිළිගැන්මෙන් දුරු වූයේ වෙයි. ගිහීන්ගේ පණිවුඩ හා ගෙන් ගෙට හසුන් ගෙනයාමෙන් දුරු වූයේ වෙයි. වෙළඳ ගනුදෙනුවෙන් දුරු වූයේ වෙයි. හොර තරාදියෙන් කිරුම, නොරන් බඩු රන් බඩු සේ දක්වා දීම, හොර මිනුම යන මෙයින් දුරු වූයේ වෙයි. අල්ලස් ගැනීම, රැවටීම, සමාන දේ දක්වා කරණ මායාව යන කුටිල (වඞ්ක) ප්‍රයෝගයෙන් වැළකුනේ වෙයි. අත් පා කැපීම, මැරීම, විලංගු ආදිය ලා බැඳීම, මංපැහැරීම, ගම්පැහැරීම, සැහැසිකම යන මෙයින් වැළකුනේ වෙයි.
20. හෙතෙම කය පරිහරණය කිරීමට ප්‍රමාණ වූ සිවුරෙන් ද, කුස පරිහරණය කිරීමට ප්‍රමාණ වූ පිණ්ඩපාතයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙතෙම යම් යම් තැන යේ ද, පාසිවුරු රැගෙන ම යෙයි. යම් සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් දිගෙක පියාඹයි ද, පියාපත් බර සහිත ව ම පියාඹයි. මෙපරිද්දෙන් ම භික්‍ෂු තෙමේ කය පරිහරණය කිරීමට ප්‍රමාණවත් සිවුරෙන්ද කුස පරිහරණය කිරීමට ප්‍රමාණවත් පිණ්ඩපාතයෙන් ද, සතුටු වූයේ වෙයි. හෙ තෙම යම් යම් තැන යේ නම්, පාසිවුරු රැගෙන ම යෙයි. හෙ තෙම මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ ස්වසන්තානයෙහි නිරවද්‍ය වූ සැපය විඳියි.
21. හෙ තෙම ඇසින් රූප දැක ස්ත්‍රී පුරුෂාදී වශයෙන් නිමිති ගන්නේ නො වේ. හස්තපාදාදි අවයවයන් ආකාරය නොගන්නා සුලු වේ. යම් කාරණයකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවරණය නො කොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ අනු බඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය සංවරණය පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරණයට පැමිණේ, කණින් ශබ්ද අසා ... නාසයෙන් ගඳ අසා ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍මාලම්බනය දැන නිමිති නොගන්නා සුලු වේ. අනුව්‍යඤ්ජන නොගන්නා සුලු වේ. යම් කරුණකින් මනින්‍ද්‍රිය සංවරණය නොකොට වාසය කරන ඒ පුද්ගලයා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ අනුබඳනාහු ද, ඒ මනින්‍ද්‍රියාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියෙහි සංවරණයට පැමිණේ. හෙ තෙම මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වූයේ සිය සිත්සතන්හි කෙලෙසුන් වැගුරුණු නො කිලිටි සැපය විඳියි.
22. හෙ තෙම ඉදිරියට යාමෙහි පෙරළා ඊමෙහි සම්පජානකාරී (මැනවින් දැන කරන සුලු) වෙයි. ඉදිරි බැලීමෙහි ආපසු බැලීමෙහි සම්පජානකාරී වෙයි. අත් පා හැකිලීමෙහි දිග හැරීමෙහි සම්පජානකාරී වෙයි. අනුභවයෙහි පානයෙහි කඩා කෑමෙහි රස විඳීමෙහි සම්පජානකාරී වෙයි. මල මූ පහ කිරීමෙහි සම්පජානකාරී වෙයි. යාමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ වීමෙහි සම්පජානකාරී වෙයි.
23. හෙ තෙම මේ ආර්‍ය වූ ශීලස්කන්‍ධයෙන් ද යුක්ත වූයේ මේ ආර්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන්ද යුක්ත වූයේ මේ ආර්‍ය වූ ස්මෘතිසම්ප්‍රඥානයෙන් ද යුක්ත වූයේ ජනයාගෙන් තොර ආරණ්‍ය, වෘක්‍ෂමූලය, පර්‍වතය, කඳුරැලිය, පර්‍වතගුහාව, සොහොන, වනලැහැබ, අබවස, පිදුරුකුටි යන සෙනසුනක් භජනය කරයි.
24. හෙ තෙම පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැක්කේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානාභිමුඛ කොට හිඳියි. හෙ තෙම ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්‍තව වාසය කෙරෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාදයට නො පැමිණ ව්‍යාපාද සඞ්ඛ්‍යාත වූ ප්‍රකර්‍ෂ ද්වේෂය හැර විරුද්ධයට නොපැමිණි සිතැත්තේ වාසය කරයි. සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතවත්ව අනුකම්පා කරණසුලු වූයේ ව්‍යාපාදසඞ්ඛ්‍යාත ප්‍රකර්‍ෂද්වේශය කෙරෙන් සිත පිරිසිදු කරයි. ථිනමිද්ධය හැර පහ වූ ථිනමිද්ධ ඇති ව වාසය කරයි. රාත්‍රියෙහි ද ආලෝක සංඥාව ඇත්තේ සිහි ඇත්තේ යහපත් නුවණ ඇත්තේ ථිනමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උද්ධත නො වූයේ තමා තුල සන්හුන් සිත් ඇත්තේ වාසය කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිත්සාව දුරු කොට පහ වූ විචිකිත්සා ඇත්තේ කුශලධර්‍මයන්හි කෙසේ කෙසේදැ’යි පැවැති සැක නැත්තේ වාසය කෙරෙයි. විචිකිත්සාව කෙරෙන් සිත පිරිසිදු කෙරේ.
25. හෙතෙම මේ චිත්තය පිළිබඳ උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හට ගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බ්‍රාහ්මණය, මෙය ද තථාගතයන් වහන්සේගේ ඤාණපද යයි කියා ද තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති ඉළඇට ඉලූ තැන යයි ද, තථාගතයන් වහන්සේගේ නුවණ නැමැති දළයෙන් සිඳි තැන යයි ද කියනු ලැබේ. ආර්‍ය ශ්‍රාවක තෙමේ එපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
26. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති විතර්‍ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්‍ය ශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණේ ම ය.
27. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ ප්‍රීතිය ද ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වාසය කෙරෙයි. කයින් සුව විඳියි. ආර්‍ය්‍යයෝ ඒ යමක් ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සුඛවිහරණ ය’යි (ගුණවර්‍ණනා වශයෙන්) කියත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතපද යයි කියා ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්‍ය ශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණේ ම ය.
28. බ්‍රාහ්මණය, නැවත අනෙකෙක් ද වෙයි. මහණ තෙමේ සුඛප්‍රහාණයෙන් ද, දුක්ඛප්‍රහාණයෙන් ද, පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති දෙදෙනාගේ පිරිසිදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. බමුණ, මෙය ද තථාගතයන් වහන්සේගේ තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත යයි ද, කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා ව දෙසන ලද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි එපමණෙකින් නිශ්චයට නො පැමිණෙ යි.
29. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ කර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ නොසැලෙනබවට පත්වූ සමාහිත සිත ඇති කල්හි පෙර වුසූ කඳපිළිවෙළ දන්නා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. එනම්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්‍ෂයක් ද, නොයෙක් නස්නා කල්පයන් ද, නොයෙක් හටගන්නා කල්පයන් ද, නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද සිහි කරයි: ‘අසුවල් තැන මෙ නම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙවැනි පැහැ ඇත්තෙම් වීමි. මෙවැනි ආහාර ඇත්තෙම් වීමි. මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි. මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි,
ඒ මම ඉන් චුත ව අසුවල් තැන උපන්නෙමි, එහිදී ද, මෙනම් ඇත්තෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි, මෙවැනි පැහැ ඇත්තෙම් වීමි, මෙවැනි ආහාර ඇත්තෙම් වීමි, මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් වීමි, මෙපමණ ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් චුත ව අසුවල් තැන උපන්නෙමි.” යි මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
30. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ කර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ සමාහිත සිත ඇති කල්හි සත්‍වයන්ගේ චුති උත්පත්ති දන්නා නුවණ පිණිස සිත නැඹුරු කෙරෙ යි. හෙතෙම පිරිසුදු වූ මිනිස් ඇස ඉක්ම සිටියා වූ දිවැසින් චුත වන්නා වු උපදින්නා වූ හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ වූ සුගතිගත වූ දුර්‍ගතිගත වූ සත්ත්‍වයන් දකියි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් බලයි. ‘මේ භවත් සත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යයන්ට උපවාද කළාහුය මිසදුටුවෝ ය. මිසදිටුකම් ගැනුම් ඇත්තෝ ය. ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නරකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු ය. මේ භවත් සත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්ත වූවාහු. වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්දිටු වූ වාහු සම්දිටුකම් ගැනුම් ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ග ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණියාහු’ යයි කම් වූ පරිදි මිය පරලොව ගිය සත්‍වයන් දනියි. මෙසේ පිරිසිදු වූ මිනිස් ඇස ඉක්මවා පැවැති දිවැසින් චුත වන උපදින හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගතිගත දුර්‍ගතිගත සත්‍වයන් දකියි. කම් වූ පරිදි මිය පරලොව යන සත්‍වයන් දැනගනියි. බමුණ, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ එ පමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණේ ම ය.
31. හෙ තෙම මෙසේ පිරිසිදු වූ ප්‍රභාස්වර වූ අඞ්ගණ රහිත වූ පහ වූ කෙලෙස් ඇති මොළොක් වූ භාවනාකර්‍මයට යෝග්‍ය වූ ස්ථිතිප්‍රාප්ත වූ නොසැලෙන බවට පත්වූ සමාහිත සිත ඇති කල්හි ආශ්‍රවක්‍ෂයකර ඥානය පිණිස සිත නැඹුරු කෙරෙ යි.
හෙ තෙම මෙය දුකය යි තත් වූ පරිදි දැනගනියි. මේ දුක්ඛසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ දුඃඛනිරෝධය යි තත් වූ පරිදි දැනගනියි. මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රව යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවසමුදය යයි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවනිරෝධය යි තත් වූ පරිදි දැනගනියි. මේ ආශ්‍රවනිරොධගාමිනී ප්‍රතිපදාව යයි තත් වූ පරිදි දැනගනියි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට නො පැමිණෙයි.
32. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන් ද මිදෙයි. භවාශ්‍රවයෙන් ද සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල්හි මිදිණැයි ඥානය වෙයි. ජාතිය ගෙවී ගියා ය. බඹසර වැස නිමවන ලද කළ යුතු දේ කරන ලද මින්පසු මේ අර්‍හත්‍වය පිණිස කටයුතු අනිකක් නැතැයි දැන ගනියි. බ්‍රාහ්මණ ය, මෙ ද තථාගතපද යයි ද, තථාගතනිසේවිත යයි ද, තථාගතාරඤ්ජිත ය යි කියනු ලැබේ. ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙපමණෙකින් ‘භාග්‍යවතුන් වහන්සේ සම්‍යක්සම්බුද්ධයහ, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වක්ඛාත ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය’යි නිශ්චයට පැමිණියේ වෙයි. බ්‍රාහ්මණ ය, මෙපමණෙකින් වනාහි ඇත්පිය උපමාව පරිපූර්‍ණ වූයේ වේ.
33. මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ තෙම් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටි කුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේද, මං මුළා වූවහුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තා හු රූප දක්නාහු ය යි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එ පරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය දේශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක්වායි.
චූළහත්‍ථිපදෝපම සූත්‍රය සත්වැනි යි.
1. 3. 8.
මහාහත්‍ථිපදෝපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.
2. ඇවැත්නි, යම්සේ පොළොව මතුපිට හැසිරෙන්නා වූ පා සහිත වූ සතුන්ගේ යම්කිසි පාදයෝ වෙත් ද, ඒ සියලු පාදයෝ ඇත්පියෙහි ඇතුළත් වීමට පැමිණෙත්. ඇත්පිය මහත් බැවින් ඒ සියලු පාදයන් අතුරෙහි අග්‍රය යි කියනු ලැබේ. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ කුශලධර්‍ම කෙනෙක් වෙත් ද ඒ සියල්ල චතුරාර්‍ය්‍යසත්‍යධර්‍මයෙහි සංග්‍රහයට යෙත්. කවර සතරෙක්හි ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයෙහි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි ය.
3. ඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍ය කවරේ ද? ජාතිය ද දුක ය, ජරාව ද දුක ය. මරණය ද දුක ය. ශෝකය වැලපීම කායිකදුක මානසික දොම්නස දැඩි ආයාස යන මොහු ද දුක්ය. කැමති වූ යමක් නොලබා නම්, එ ද දුක ය. සංක්‍ෂේපයෙන් උපාදානස්කන්‍ධ පස ම දුක ය.
4. ඇවැත්නි, උපාදානස්කන්‍ධ පස කවරේ ද? එනම්: රූපූපාදානක්ඛන්‍ධ ය, වේදනානුපාදානක්ඛන්‍ධය, සඤ්ඤූපාදානක්ඛන්‍ධ ය, සඞ්ඛාරුපාදානක්ඛන්‍ධ ය, විඤ්ඤාණුපාදානක්ඛන්‍ධ ය යන මොහු ය.
5. ඇවැත්නි, රූපූපදානක්ඛන්‍ධ ය කවරේ ද? සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මේ යි. ඇවැත්නි, සතර මහාභූතයෝ කවරහු ද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායෝධාතුව යන මොහු ය.
6. ඇවැත්නි, පෘථිවිධාතුව කවරේ ද? පෘථිවිධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික පෘථිවිධාතුව කවරේ ද? තමා පිළිබඳ තමා නිසා පවත්නා තද වූ පරුෂ වූ සතර මහාභූතයන්ගෙන් හටගත් යම් ද්‍රව්‍යයක් වේද, එනම් - කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත්, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, මල යන මේ ද, තමා තුළ වූ කර්‍කශ වූ තද වූ මහාභූතයන් නිසා හටගත් අන්‍ය වූ යම් කිසිවකුත් වේ ද, ඇවැත්නි, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුව යයි කියනු ලැබේ.
යම් මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් වේ ද, යම් බාහිර පෘථිවිධාතුවක් වේ ද, ඒ සියල්ල පෘථිවිධාතු ම ය. ‘මේ පෘථිවිධාතුව මගේ නොවෙයි. මම තෙල පෘථිවිධාතුයෙම් නො වෙමි. පෘථිවි ධාතුව මගේ ආත්මය නො වේ’යි මෙසේ මෙය සම්‍යක්ප්‍රඥාවෙන් තත් වූ පරිදි දැක්ක යුතු ය. මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක පෘථිවිධාතුවෙහි උකැටි වෙයි. පෘථිවිධාතුවෙන් සිත බැහැර කෙරෙයි.
7. යම් හෙයකින් බාහිර ආපෝධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එකල්හි බාහිර පඨවිධාතුව අතුරු දහන් වූයේ වෙයි. ඇවැත්නි, බහලත්‍වයෙන් ඒ නිසා (කෙළ සියදහසක් පමණ) මහත් වූ ඒ බාහිර පඨවිධාතුවේ ද අනිත්‍යභාවය පෙනෙයි. ක්‍ෂයස්වභාවය පෙනෙයි. ව්‍යයස්වභාවය පෙනෙයි. වෙන්සවන ස්වභාවය ඇති බව පෙනෙයි. කිම, ඔහුට මේ මඳ කලක් පවත්නා වූ තෘෂ්ණාවෙන් දැඩි ව ගන්නා ලද්දා වූ ආධ්‍යාත්මික ශරීරය පිළිබඳ ව ‘මම ය’ කියා හෝ ‘මාගේ ය’ කියා හෝ ‘මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් වේ ද? තිලකුණු නගා බලන ඒ මහණ හට මෙහි තෘෂ්ණා, දෘෂ්ටි, මාන වශයෙන් ගැනීමෙක් නො වේ ම ය.
8. ඇවැත්නි, ඒ මහණහට අන්‍යයෝ ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: ‘මට මේ ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුඃඛවේදනාව උපන්නී ය. ඕ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිත ව නො උපන්නී ය. කුමක් හේතුකොට ද යත්: ස්පර්‍ශය හේතු කොට ය. හෙතෙමේ ස්පර්‍ශය අනිත්‍ය යයි දකියි. වේදනාව අනිත්‍ය යයි දකියි. සංඥාව අනිත්‍ය යයි දකියි. සංස්කාරයෝ අනිත්‍යහ යි දකියි. විඤ්ඤාණය අනිත්‍ය යයි දකියි. ඔහුගේ සිත ධාතුසංඛ්‍යාත ආලම්බනයට ම බසී. ඒ අරමුණෙහි ම පහදියි. ඒ අරමුණෙහි ම සිටියි. ඒ අරමුණෙහි ම ධාතුවශයෙන් ම නිශ්චයට පැමිණෙයි.
9. ඇවැත්නි, ඉදින් ඒ මහණහට අන්‍යයෝ අනිටු වූ නොකැමති වූ මන නොවඩන්නා වූ අතුල්පහරින් ද, කැටකැබැලිතිපහරින් ද, දඬුපහරින් ද, සැත්පහරින් ද ගසත් නම් හෙතෙමේ මෙසේ දනියි: “යම්බඳු කයක අත් පහර වදී ද, කැට පහර වදී ද, දඬු පහර වදී ද, සැත් පහර වදී ද, මේ කය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපම ඕවාදයෙහි දී මෙය වදාරන ලදි: ‘මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රදූෂ්‍ය කරන්නේ නම් හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ ය’ කියා යි. මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්හිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අතුල්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනාය කරනු ලැබේම ය.