Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 1001-1100 න් 6387

මහණ, ‘නාගයා’ යනු ක්‍ෂීණාස්‍රව මහණහුට මේ නමෙකි. ‘ක්‍ෂීණාස්‍රව තෙමේ සිටීවා. ක්‍ෂිණාස්‍රවතථාගතයන් නො ගටව, ක්‍ෂීණාස්‍රව තථාගතයන් වහන්සේට නමස්කාර කරව’ යනු නාගයා සිටීවා. ‘නාගයා නොගටව. නාගයාට නමස්කාර කරව’ යන මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් කුමාර කාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු විය.
වම්මිකසූත්‍රය තුන්වැනි යි.
1. 3. 4.
රථවිනීත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල බොහෝ ජාතිභූමක භික්‍ෂූහු ජාතිභූමියෙහි වස්වැස පැවරුවාහු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
2. මහණෙනි, ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රකර්‍ෂවිවේකයෙන් යුක්ත වූයේ විවෙකකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් (පංචවිධ-) සංසර්‍ගය නැති වූයේ අසංසර්‍ගකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ වීර්‍ය්‍යාරම්භකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්ති (ආර්‍ය්‍යඵල) සම්පන්න වූයේ විමුක්ති සම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥාන දර්‍ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පදාකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්‍රම්සරුන්ට දශකථාවස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, ඒ පිළිබඳ කරණු දක්වන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය කරවීම් වශයෙන් තියුණු කරවන්නේ යයි ද, මෙසේ ජාතිභූමියෙහි ජාතිභූමක වූ සබ්‍රහ්මචාරීභික්‍ෂූන් විසින් කවරෙක් තෙමේ සම්භාවනා කරණ ලද්දේ ද?’
3. “වහන්ස, මන්තාණි බැමිණියගේ පුත්‍ර වූ පූර්‍ණ නම් ආයුෂ්මත් තෙමේ ජාතිභූමියෙහි ජාතිභූමක සබ්‍රහ්මචාරී භික්‍ෂූන් විසින් ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රකර්‍ෂ විවේකයෙන් යුක්ත වූයේ ප්‍රකර්‍ෂවිවේකය පිළිබඳ කථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් අසංසෘෂ්ට වූයේ අසංසර්‍ගකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ වීර්‍ය්‍යාරම්භකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පදාකථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පදා කථාව භික්‍ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පදාකථාව භික්‍ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්‍රම්සරුන්ට දශකථා වස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය තියුණු කරවන්නේ යයි ද, එහි සතුටු කරවන්නේ වේ’ යයි ද මෙසේ සම්භාවනා කරණ ලද්දේ ය.”
4. එ සමහයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි හුන්නාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: “නුවණ ඇත්තා වූ සබ්‍රහ්මචාරීහු ශාස්තෲන් වහන්සේගේ හමුවෙහි දශකථාවස්තූන්ට පිවිසෙමින් යම් කෙනකුන්ගේ ගුණ කියත් ද, ඒ ගුණකථාව ද ශාස්තෲන් වහන්සේ මනා කොට අනුමෝදන් වනසේක් ද, ඒ මන්ත්‍රාණිපුත්‍ර වූ පූර්‍ණ ආයුෂ්මතුන් වහන්සේට ලාභයෙකි. මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ ස්ථවිරයන්ට සුලබලාභයකි. අපි කිසියම් කලෙක මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙරණුවන් හා එක් වන්නමෝ නම් මැනව. කිසියම් කථාසල්ලාපයකුත් වන්නේ නම් මැනව” කියායි.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහනුවර වැඩවාසය කොට පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙණසේක් සැවැත්නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වාසය කරණසේක් ලැ”යි මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ ස්ථවිරයන් වහන්සේ ඇසූහ.
6. ඉක්බිති මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙරණුවෝ සෙනසුන් තැන්පත්කොට තබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නාහු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. එහි සමාදන් කරවූහ. එහි උත්සාහ කරවූහ. එහි සතුටු කරවූහ. ඉක්බිති මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු ව අනුමෝදන්ව අස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්‍ධවනයට වැඩියහ.
7. ඉක්බිති එක්තරා භික්‍ෂු නමක් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ යම් මන්ත්‍රාණි පුත්‍ර ආයුෂ්මත් පූර්‍ණ තෙර කෙනකුන් ගැණ නිතර කියමින් විසූ සේක් ද, ඒ පූර්‍ණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු ව අනුමෝදන් ව අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්‍ධවනය කරා ගියේ ය” යි කියා යි.
8. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙළෙවිසැහැවී ඇතියාහු හිඳිනාකඩ ගෙණ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවන් හිස්කෙළිය බලනසුලුව පසු පසින් ලුහුබැන්දෝ ය. අනතුරු ව මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවෝ අන්‍ධවනයට වැද එක්තරා ගසක් මුල දිවාවිහරණයට හුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ද, අන්‍ධවනයට පැමිණ එක්තරා ගසක්මුල දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කාලයෙහි පලසමවතින් නැගී සිටියාහු මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ තෙරණුවන්ට මෙය කීහ:
9. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, එසේය’. කිමෙක් ද, ඇවැත්නි, ශීලවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, චිත්තවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, දෘෂ්ටිවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, කඞ්කාවිතරණවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’ කිමෙක් ද, ඇවැත්නි, මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’ කිමෙක් ද, ඇවැත්නි, පටිපදාඤාණදස්සනවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’
10. “කිම, ඇවැත්නි, ශීලවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. “කිම ඇවැත්නි, චිත්තවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. “කිම ඇවැත්නි, දිට්ඨිවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත ... කිම ඇවැත්නි, ඤාණදස්සනවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, එසේ වී නම්, කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, (මේ තෙමේ) අනුපාදා පරිනිර්‍වාණය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසේ.’
11. ඇවැත්නි, කිම, ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මෙය නො වේ’. ඇවැත්නි, කිම, චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මෙය නො වේ’. ඇවැත්නි, කිම, දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, කඞ්කාවිතරණවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, පටිපදාඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, මේ ධර්‍මයන් හැර අනුපාදාපරිනිර්‍වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’.
12. “ඇවැත්නි, කිම, ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි … ඇවැත්නි, කිම, ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ’ දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, මේ ධර්‍මයන් හැර අනුපාදාපරිනිර්‍වාණය වේ දැ යි. මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’ යි කියහු.” ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය කෙසේ දත යුතු දැ යි ඇසූහ.
[පුණ්ණතෙරණුවෝ:]
13. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි, පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ යයි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘කඞ්කාවිතරණවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘පටිපදාඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්‍වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් මේ ධර්‍මයන් හැර (අනිකක්) අනුපාදාපරිනිර්‍වාණය වන්නේ නම්, පෘථග්ජන තෙමේ පිරිනිවෙන්නේය. ඇවැත්නි, පෘථග්ජන තෙමේ මේ ධර්‍මයන්ගෙන් වෙන් වූයේ වෙයි.
14. ඇවැත්නි, එසේ නම් ඔබට උපමාවක් කරන්නෙමි. මේ ලෝකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද අර්‍ත්‍ථය දැන ගණිත්. ඇවැත්නි, යම්සේ සැවැත්නුවර වසන පසේනදි කොසොල් රජහට සාකේත නුවර කිසියම් ඉක්මන් කටයුත්තක් උපදනේ ය. ඔහුට සැවැතටත් සාකේතයටත් අතර හික්මුණු අසුන් යෙදූ රිය හතක් එළවා තබන්නාහු ය. ඇවැත්නි, ඉක්බිති පසේනදි කොසොල් රජ සැවැත් නුවරින් නික්ම ඇතුළු පුරදොරින් පළමුවැනි විනීතරථයට ගනින්නේ ය. පළමු වැනි විනීතරථයෙන් දෙවැනි විනීතරථයට පැමිණෙන්නේ ය. පළමුවැනි විනීතරථය අත්හරින්නේ ය. දෙවැනි විනීතරථයට නගින්නේය. දෙවැනි විනීතරථයෙන් තුන්වැනි විනීතරථයට පැමිණෙන්නේ ය. දෙවැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයට නගින්නේය. තුන්වැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයෙන් සතරවැනි විනීතරථයට පැමිණෙන්නේ ය. තුන්වැනි විනීතරථය අත්හරින්නේ ය.
සතරවන විනීතරථයට නගින්නේ ය. සතරවන විනීතරථයෙන් පස්වන විනීතරථයට පැමිණෙන්නේ ය. සතරවන විනීතරථය අත්හරින්නේ ය. පස්වන විනීතරථයට නගින්නේ ය. පස්වන විනීතරථයෙන් සවන විනීතරථයට පැමිණෙන්නේ ය. පස්වන විනීතරථය අත්හරින්නේ ය. සවන විනීතරථයට නගින්නේ ය. සවන විනීතරථයෙන් සත්වන විනීතරථයට පැමිනෙනේ ය. සවන විනීතරථය අත්හරින්නේ ය. සත්වන විනීතරථයෙන් සාකේතයෙහි ඇතුළුනුවර දොරටුව කරා පැමිණෙන්නේ ය.
15. ඇතුළුපුර දොරටුවට පැමිණි ඔහුගෙන් මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේ නෑයෝ මෙසේ අසන්නාහු ය: ‘මහරජ, මුබවහන්සේ මේ විනීත රථයෙන් සැවැත්නුවරින් නික්ම සාකේතයෙහි ඇතුළුනුවර දොරටුවට පැමිණියාහු ද?’ කියා යි. ඇවැත්නි, පසේනදි කොසොල් රජ කෙසේ ප්‍රකාශ කරන්නේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ද? ඇවැත්නි, පසේනදි කොසොල්රජ මෙසේ ප්‍රකාශ කරන්නේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ය. (කෙසේ ද) “මේ සැවැත්නුවර වසන මට සාකේතයෙහි ඉක්මන් කටයුත්තක් උපන. ඒ මට සැවැතටත් සාකේතයටත් අතර විනීත අසුන් යෙදූ රිය සතක් එළවා තැබූහ. ඉක්බිති මම සැවැත්නුවරින් නික්ම ඇතුළුදොරටුවෙන් පළමුවන විනීතරථයට නැංගෙමි. පළමුවන විනීතරථයෙන් දෙවන විනීතරථයට පැමිණියෙමි. පළමුවන විනීතරථය හළෙමි. දෙවන විනීතරථයට නැංගෙමි. දෙවන විනීතරථයෙන් තුන්වන විනීතරථයට පැමිණියෙමි. දෙවන විනීතරථය හළෙමි. තුන්වන විනීතරථයට නැංගෙමි. තුන්වන විනීතරථයෙන් සතරවන විනීතරථයට පැමිණියෙමි. තුන්වන විනීතරථය හළෙමි. සතරවන විනීතරථයට නැංගෙමි. සතරවන විනීතරථයෙන් පස්වන විනීතරථයට පැමිණියෙමි. සතරවන විනීතරථය හළෙමි. පස්වන විනීතරථයට නැංගෙමි. පස්වන විනීතරථයෙන් සවන විනීතරථයට පැමිණියෙමි. පස්වන විනීතරථය හළෙමි. සවන විනීතරථයට නැංගෙමි. සවන විනීතරථයෙන් සත්වන විනීතරථයට පැමිණියෙමි. සවන විනීතරථය හළෙමි. සත්වන විනීතරථයට නැංගෙමි. සත්වන විනීතරථයෙන් ම සාකේතයෙහි ඇතුළු නුවර දොරටුවට පැමිණියෙමි” කියායි. ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ පසේනදි කොසොල් රජතෙමේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ය.
16. ඇවැත්නි, මෙපරිද්දෙන් ම ශීලවිසුද්ධිය චිත්තවිසුද්ධිසඞ්ඛ්‍යාත අර්‍ත්‍ථය දක්වා ම වෙයි. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය දක්වා ම වෙයි. දිට්ඨිවිසුද්ධිය කඞ්ඛාවිතරණවිසුද්ධිය දක්වා ම වෙයි. කඞ්ඛාවිතරණවිසුද්ධිය මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය පටිපදාඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. පටිපදාඤාණදස්සනවිසුද්ධිය ඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. ඤාණදස්සනවිසුද්ධිය අනුපාදාපරිනිර්‍වාණය දක්වා ම වෙයි. ඇවැත්නි, අනුපාදාපරිනිර්‍වාණය (ප්‍රත්‍යයෙන් නූපන් අසඞ්ඛත ධාතු) සංඛ්‍යාත අර්‍ත්‍ථය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසෙයි.
17. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේ ද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිත් ද?” කියා යි. ඇවැත්නි, මගේ නම ‘පුණ්ණ ය.’ සබ්‍රහ්මචාරීහු මා ‘මන්ත්‍රාණිපුත්‍රය’යි ද දනිති.
18. “ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යි, ඇවැත්නි, අද්භූත යි. මනා කොට ශාස්තෘ ශාසනය දන්නා වූ ශ්‍රාවකයකු විසින් යම්සේ නම්, එපරිද්දෙන් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණ ආයුෂ්මතුන් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ දශකථාවස්තූන්ට පිවිසෙමින් ප්‍රකාශ කරණ ලද්දා හ, යම් කෙනෙක් ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍රපූර්‍ණයන් දැක්මට ලබත් ද, සේවනයට ලබත් ද, ඒ සබ්‍රම්සරුන්ට ලාභය. ඒ සබ්‍රම්සරුන්ට මනා සේ ලැබුණු ලාභය. සබ්‍රම්සරහු දුහුල් සුඹුළුවකින් ද ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණයන් මුදුනෙහි පරිහරණය කරමින් දැක්මට ලබන්නාහු නම්, සේවනයට ලබන්නාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්බඳු අපි ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්‍ණයන් දක්නට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභය. අපට ද මනා ලැබුමකි.”
19. මෙසේ කී කල්හි ආයුෂ්මත් මන්ත්‍රාණි පුත්‍ර පූර්‍ණ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේ ද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිත් ද?” යනුයි. ඇවැත්නි, මගේ නම ‘උපතිස්ස’ ය. සබ්‍රම්සරහු මා ‘ශාරීපුත්‍ර’ ය යි දනිත්.
20. “බෙහෙවින් බුදුරදුන් වැනි වූ ශ්‍රාවකයකු සමග සාකච්ඡා කරන්නාවූ අපි ‘මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ’ යයි නො දතුම්හ. ඉදින් අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ය යි දන්නෙමු නම්, මේ පමණකුත් (මේ උපමාවත්) අපට නො වැටහෙන්නේ ය. ඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය. මැනැවින් ශාස්තෘශාසනය දන්නා වූ ශ්‍රාවකයකු යම් සේ ද, එපරිද්දෙන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දශකථාවස්තූන්ට වදිමින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ විචාරණ ලදහ. යම් කෙනෙක් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් දර්‍ශනයට ලබත් නම්, සේවනයට ලබත් නම්, ඒ සබ්‍රම්සරුන්ට ලාභ ය. ඒ සබ්‍රම්සරුන්ට මනා සේ ලැබුණු ලාභ ය. සබ්‍රම්සරහු දුහුල්සුඹුළුවකින් ද ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් මුදුනෙන් පරිහරණය කරන්නාහු, දැකීමට ලබන්නාහු නම්, සේවනයට ලබන්නාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්බඳු අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් දැක්මට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභ ය. අපටත් මනා ලැබුමකි.”
මෙසේ ඒ මහා(නාග)ශ්‍රේෂ්ඨයෝ දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූහ.
රථවිනීත සූත්‍රය සතරවැනි යි.
1. 3. 5.
නිවාප සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
2. මහණෙනි, නිමවැද්දෙක් (තෘණාදි ගොදුරු කරණ වැද්දෙක්) “මා විසින් වපුළ මේ ගොදුරු අනුභව කරන්නා වූ මුව සමූහයෝ දිගා ඇත්තෝ පැහැපත් වූවෝ බොහෝ කලක් යැපෙත්වා”යි (සිතා) මුව සමූහයකට තණ (ඇට) නො වපුරයි. මහණෙනි, නේවාපික තෙමේ මුවන් සඳහා “මා විසින් වපුළ මේ කෙතට මුවසමූහයෝ වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කෙරෙත්. වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කරන්නෝ මදයට පැමිණෙන්නාහු ය. මත් වූවෝ ප්‍රමාදයට පැමිණෙන්නාහු ය. ප්‍රමත්ත වූවෝ මේ නිවාපයෙහි කැමැති සේ කට යුත්තෝ වන්නාහු ය”යි මෙසේ (සිතා) ම තණ වපුරයි.
3. මහණෙනි, ඒ මුවසමූහයන් අතර පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවෝ ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවෝ සිහි නැති වීමට පත් වූහ. සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍදධිඅනුභාවයෙන් (වසඟයෙන්) නො මිදුණාහු ය.
4. මහණෙනි, එහි දී දෙවන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවාහු ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවෙහිදී කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාට වසඟ වීමෙන් නො මිදුණාහු ය. අපි සර්‍වප්‍රකාරයෙන් නිවාපභෝජනයෙන් වැළකෙන්නෙමු නම්, භය සහිත තණ කෑමෙන් වැළකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ” යි කියායි. ඔහු සර්‍වප්‍රකාරයෙන් ම නිවාපභෝජනයෙන් වැළකුණාහ. බිය සහිත වූ පරිභෝගයෙන් වැලකුණෝ වනළැහැබට වැද වාසය කළහ. ගිම්හානයේ පශ්චිමමාසයෙහි තණ හා ජලය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. ඉතා කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේ ය. ශක්තිය පිරිහුණු කල්හි නේවාපිකයාගේ වපුළ ඒ තණ කොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු නේවාපිකයාගේ මේ තණ කොටුවේදී කැමැති සේ කටයුතු බවට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ ඒ දෙවැනි මුවරැළ ද නිවාපිකයාගේ වසඟයෙන් නො මිදුණාහ.
5. මහණෙනි, එහි තුන්වන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා වපුළ ඒ තණකොටුවට වැද මුසපත් වූවාහු ගොදුරු කෑවෝ ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණ කොටුවේදී නේවාපිකයා විසින් කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාගේ ඍධ්‍යානුභාවයෙන් නො මිදුණාහු ය. -
“යම් ඒ දෙවන මුවසමූහ කෙනෙක් මෙසේ සිතූහු ද - ‘යම් ඒ පළමුවන මුවසමූහ කෙනෙක් නේවාපිකයාගේ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහුය. සිහි නැති වූවාහු නේවාපිකයාගේ මේ තණකොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහු ය. අපි තෘණභෝජනයෙන් සර්‍වප්‍රකාරයෙන් වැළකෙන්නමු නම්, භය සහිත තණ කෑමෙන් වැලකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ’ යි. ඔහු සම්පූර්‍ණයෙන් තෘණභෝජනයෙන් වෙන් වූහ. භයජනක කෑමෙන් වැළකුණාහු වනයට වැද වාසය කළහ. ගිම්හානයේ අන්තිම මාසයේ තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ඒ නේවාපිකයාගේ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාබවට පැමිණියාහුය. සිහි මුළා වූවාහු මේ තණකොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ ද නේවාපිකයාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහ.
“එහෙයින් අපි නේවාපිකයාගේ වපුළ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් පිළියෙළ කර ගනිමු නම් යෙහෙකැයි එහි ලගින තැනක් කොට නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කමු. වැද මුසපත් නො වී තණ කමින් වධයට නො පැමිණෙන්නෙමු. මත් නො වූවමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නෙමු, සිහි මුළා බවට නො පැමිණියමෝ, නේවාපිකයාගේ මේ තණකොටුවේ දී කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමුයි”. ඔහු නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුව ඇසුරු කොට එහි ලගින තැනක් කොට විසූහ. නේවාපිකයාගේ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් කොට වැස ඊට නො වැද නො මුසපත්ව තණ කෑහ. ඔහු එහි නො වැද මුසපත් නොවී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි මුළා බවට නො පැමිණියහ. සිහිමුළා නො වූවාහු මේ තණ කොටුවෙහි නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ.
6. මහණෙනි, එහි දී නේවාපිකයාටත් නේවාපිකයාගේ පිරිසටත් මෙවැනි අදහසෙක් විය: මේ තුන්වන මුවසමූහයෝ නම් කපටියෝය. පුහුණු වූ කෛරාටික කම් ඇත්තෝය. ඍද්ධි ඇත්තා වූ මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු වපුළ තණ ද කත් ඔවුන්ගේ ඊමත් යාමත් නො ද දනිමු. -
අපි වපුළ මේ තණකොටුව මහත් වූ දඬු වරදැලින් මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම්, මැනව, යම් තැනෙක ඔහු ග්‍රාහයට (අල්ලා ගැනීමට) පැමිණෙන්නාහු ද, තුන්වන මෘගසමූහයන්ගේ ඒ ආශයස්ථානය යම් තැනෙක දක්නෙමු නම් යෙහෙකැයි කියා යි. ඔහු වපුළ ඒ තණකොටුව මහත් දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කළාහුය. මහණෙනි, මුවවැද්දාත් ඔහුගේ පිරිසත් ඒ තුන්වන මුවරැළ යම් තැනක ග්‍රාහයට පැමිණියාහු ද, ඒ තුන්වන මුවසමූහයාගේ ආශයස්ථානය දුටුවාහු ය. මහණෙනි, මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ මුවවැද්දාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහුය.
7. මහණෙනි, එහි දී සතරවන මුවසමූහයෝ මෙසේ කල්පනා කළාහුය: “යම් ඒ පළමුවන මුවසමූහයෝ මුවවැද්දා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කෑවාහුද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහිමුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු ඒ තණකොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ මුවවැද්දාගේ ඍද්ධ්‍යානුභාවයෙන් නොමිදුණාහු ය.-
“යම් ඒ දෙවන මුවසමූහයෝ මෙසේ සිතුවාහු ද ‘යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු නම් ඔහු එහි වැද මුසපත් ව තණ කෑවාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූහ. සිහි නැති වූවාහු මේ තණ කොටුවෙහි වැද්දා විසින් කැමැති සේ කටයුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ මුවවැද්දාගේ ඍද්ධ්‍යානුභාවයෙන් නොමිදුණාහුය. යම් ඒ දෙවන මුව සමූහයෝ ... ‘අපි මේ තණ කෑමෙන් සම්පූර්‍ණයෙන් වලකින්නෙමු නම්, භයජනක තෘණපරිභෝජනයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරමු නම්, යෙහෙකැ’යි සිතූහ. ඔහු නිවාපභෝජනයෙන් සම්පුර්‍ණයෙන් වැළකුණාහු ය. භය ජනක තෘණපරිභෝගයෙන් වැළකුණාහු වනයට වැදී විසූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහිණු කල්හි ඒ මුවවැද්දාගේ තණකොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔවු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළා බවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණකොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුව සමූහයෝ ද නේවාපිකයාගේ ඍදධ්‍යානුනුභාවයෙන් නොමිදුණාහ. –
“යම් ඒ තෙවන මුවසමූහයෝ වූවාහු ද, ඔහු මෙසේ සිතූහ: යම් ඒ පළමුවන මුවසමූහයෝ නේවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත්ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවාහු සිහි මුළා වූවාහු මේ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කටයුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නේවාපිකයාගේ වශයට යාමෙන් නො මිදුණාහ. යම් ඒ දෙවන මුවසමූහයෝ ... අපි මේ තණ කෑමෙන් සම්පුර්‍ණයෙන් වැළකෙන් නෙමු නම්, භයජනක තෘණපරිභෝගයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරන්නෙමු නම්, යෙහෙකැයි ඔහු තණ කෑමෙන් සම්පුර්‍ණයෙන් වැළකුණාහ. භයජනක තෘණ පරිභෝගයෙන් වැළකුණාහු වනයට වැද විසූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණියේය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත්ව තණ කන්නාහු මදයට පැමිණියාහුය. මත් වූවාහු සිහිමුළාබවට පැමිණියාහුය. සිහිමුළාවූවාහු මේ තණකොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. - අපි නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුව ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, යෙහෙකැ යි එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවට නො වැද මුසපත් නො වූවාහු තණ කන්නෙමු. නො වැද නො මුසපත් ව තණ කන්නමෝ මදයට නො පැමිණෙන්නෙමු. මදයට නො පැමිණියමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නෙමු. එහි මුළාබවට නො පැමිණියමෝ ඒ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු” කියා යි. ඔහු නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුව ඇසුරු කොට ආශයස්ථානයක් කළහ. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහිමුළාබවට නො පැමිණියහ. සිහි මුළා බවට නො පැමිණියාහු මේ තණ කොටුවෙහි දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ. එහිදී නේවාපිකයාටත් ඔහුගේ පිරිසටත් මේ අදහස වී ය: ‘මේ තුන්වැනි මුව සමූහයෝ කපටියෝය. හික්මුණු කෛරාටිකයෝය. ඍද්ධිමතුන් වැනි මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු මේ වපුළ තණකොටුව කත්. ඔවුන්ගේ ඊමක් හෝ යෑමක් නො දනිමු. අපි වපුළ මේ කොටුව මහත් දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම් ඉතා යෙහෙක. ඒ තුන්වන මුවසමූහයෝ යම් තැනක අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, ඒ තුන්වන මෘගසමූහයන්ගේ ආශයස්ථානය දකින්නෙමු නම් යෙහෙකැ’යි කියා යි. ඔහු වපුළ ඒ තණබිම හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට මහත් වූ දඬු වරදැලින් වට කළාහු ය. නේවාපිකයා ද නේවාපික පිරිස ද තුන්වන ඒ මුවසමූහයෝ යම් තැනකදී හසු කර ගැනීමට පැමිණියාහු ද, ඒ තුන්වන මුවසමුහයන්ගේ ආශයස්ථානය දුටහ. මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ.
“යම් තැනෙක්හි නේවාපිකයාගේ ද නේවාපිකපිරිසගේ ද ගමන් නො වේ ද, අපි එහි ආශයස්ථානයක් කරන්නෙමු. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තැන කන්නෙමු. නො වැද මුසපත් නොවී තණ කන්නමෝ මදයට පත් නො වන්නෙමු. මත් නො වූවමෝ සිහිමුළාබවට නො පැමිණෙන්නෙමු. සිහි මුළා නො වූවාහු මේ තණ කොටුවේ දී නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ”යි සිතා යම් තැනෙක නෙවාපිකයාගේත් නේවාපිකපිරිසේත් ගමන් නොවේ ද, ඔහු එහි ආශයස්ථානයක් කළාහුය. එහි ආශයස්ථානයක් කොට නේවාපිකයා වපුළ මේ කොටුවට නො වැද නො මුසපත් ව ගොදුරු කන්නාහු මදයට පත් නොවූහ. මත් නො වූවාහු සිහි මුළා බවට පත් නොවූහ. නො මුළා වූවාහු මේ නිවාපයෙහි නේවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නොවූහ.
8. “මහණෙනි, එහි දී නේවාපිකයාටත් නේවාපික පිරිසටත් මේ අදහස විය: “මේ සතර වැනි මුවසමූහයෝ කපටියෝ ය. හික්මුණු කෛරාටිකයෝ ය. මේ සතර වැනි මුවසමූහයෝ ඍද්ධිමතුන් වැනි යක්කුය. වපුළ මේ තණකොටුව කත්. ඔවුන්ගේ ඊම හෝ යාම නො ද දනිමු. අපි වපුළ මේ තණකොටුව මහත් වූ දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වටකරන්නෙමු නම් යෙහෙක. යම් තැනෙක්හි ඒ මෘගසමූහයෝ අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, මේ සතර වන මුව සමුහයන්ගේ ඒ ආශයස්ථානය දක්නෙමු නම් ඉතා මැනැව” කියා යි. ඔහු ඒ වපුළ තණකොටුව මහත් වූ දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කළහ. මහණෙනි, ඒ නේවාපිකයාත් නේවාපික පිරිසත් යම් තැනක ඒ මුවසමූහයෝ ග්‍රාහයට පැමිණෙන්නාහු නම්, සතර වැනි මෘගසමූහයන්ගේ ඒ ආශයස්ථානය නො ම දුටහ.
මහණෙනි, එහි නේවාපිකයාට ද නේවාපික පිරිසට ද මේ අදහස විය: “ඉදින් වනාහි අපි සතර වන මුවසමුහයන් ගටන්නෙමු නම්, ගටන ලද ඔහු ද අන්‍යයන් ගටන්නාහ. එසේ ඇති කල්හි මුවසමූහයෝ වපුළා වූ මේ තණකොටුව හිස් කෙරෙත්. අපි සතර වන මුවසමූහයන් කෙරෙහි මැදහත් වෙමු නම් යෙහෙක” යනු යි. මහණෙනි, නේවාපිකයාත් නේවාපිකපිරිසත් සතර වන මුවසමූහයන් කෙරෙහි මධ්‍යස්ථ වූවාහුය. මහණෙනි, මෙසේ වනාහි සතරවැනි මුවසමූහයෝ නේවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් මිදුණාහුය.
9. මහණෙනි, අර්‍ත්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරණ ලදු. මේ මෙහි අර්‍ත්‍ථ යි: මහණෙනි, ‘නිවාප’ යනු පස්කම්ගුණයන්ට මේ නමෙකි. මහණෙනි, ‘නේවාපික’ යනු පවිටු මාරයාට මේ නමෙකි. මහණෙනි, ‘නෙවාපිකපිරිස’ යනු මාරපිරිසට මේ නමෙකි. මහණෙනි, ‘මුව සමූහය’ යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ නමෙකි.
මහණෙනි, පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුළ ඒ තණකොටුව වූ පඤ්චකාමයන්ට වැදී මුසපත් වූවාහු කාමගුණ නමැති බොජුන් අනුභව කළහ. ඔහු එහි පිවිස මුසපත්ව පස්කම් බොජුන් අනුභවකළාහු මත් වූහ.
මත් වූවාහු සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණ කෙතෙහි මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති පරිදි කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, පළමුවන මුව සමූහයෝ යම්සේ ද, මේ පළමුවන මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි කියමි.
10. මහණෙනි, එහි දී දෙවන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මහණ බමුණු කෙනෙක් මාරයා විසින් වපුළ මේ පඤ්චකාම ගුණ නමැති නිවාපයට වැද මුසපත් වූවාහු පස්කම් බොජුන් වැළඳුවාහු නම් ඔහු එහි වැද මුසපත් වූවාහු පස්කම්බොජුන් වළඳන්නාහු මදයට පැමිණියහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ තණකොටුව වූ මේ පඤ්චකාමයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තෝ වුහ. මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. අපි මේ පස්කම් ගුණ නමැති ලෝකාමිස නිවාපභෝජනයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු නම්, භයජනක පඤ්චකාමභෝගයෙන් වෙන් වූවමෝ වනයන්ට වැද වාසය කරන්නෙමු නම් මැනව” කියා යි. ඔහු නිවාපභෝජනය වූ ලෝකාමිසයෙන් හැමලෙසින් වෙන් වූවාහු භයජනක පඤ්චකාමපරිභෝගයෙන් වෙන් වූවාහු වනයන්ට වැද විසූහ. ඔහු එහි දී පලා කන්නෝ ද වූහ. අමු බුදින්නෝ ද වූහ. හුරුහැල් අනුභව කරන්නෝ ද වූහ. සම්කසට අනුභව කරන්නෝ ද වූහ. ලාටු අනුභව කරන්නෝ ද වූහ. කුඩු අනුභව කරන්නෝ ද වූහ. දඹුබත් කන්නෝ ද වූහ. පුනක්කු අනුභව කරන්නෝ ද වූහ. තණ අනුභව කරන්නෝ ද වූහ. ගොම අනුභව කරන්නෝ ද වූහ. වනමුල්පල ආහාර කොට ඇත්තාහු ස්වයංපතිතඵල අනුභව කරන්නෝ කය පැවැත්වූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළු මසෙහි තණ දිය නැති වූ කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණියේ වේ. ඉතා වෑරුණු බවට පැමිණි කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙසෙමු’ යි උපන් අදහස පිරිහුණේය. චිත්තවිමුක්තිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුළ තණකොටුව වැනි ඒ පඤ්චකාමගුණයන්ට පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම්බොජුන් අනුභව කරන්නාහු මදයට පැමිණියාහු ය. මදයට පැමිණියාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණකොටුව වූ පඤ්චකාමගුණික නිවාපයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ වනාහි ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. මහණෙනි, දෙවන මුවසමූහයෝ යම් සේ ද, මේ දෙවන මහණබමුණන් එබඳු උපමා ඇත්තවුනැයි කියමි.
11. මහණෙනි, එහි දී තුන් වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුළා වූ මේ තණ කොටුව වූ මේ ලෝකාමිසයන්ට ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූහු ද, ඔහු මෙසේ සිතූහ: -
“යම් මේ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ ඒ නිවාපය වූ පඤ්චකාමගුණයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. අපි හැම අතින් ම ලෝකාමිසනිවාප භෝජනයෙන් වෙන් වන්නෙමු නම්, භයජනක පඤ්චකාම පරිභෝගයෙන් වෙන් වී වනයට වැදවාසය කරන්නෙමු නම් යෙහෙක කියා යි. ඔහු ලෝකාමිස නිවාපභෝජනයෙන් වෙන් වූහ. භයජනක පඤ්චකාම පරිභෝගයෙන් වෙන් වූවාහු වනයට වැදී වාසය කළහ. ඔහු එහි දී පලා කන්නෝත් වූහ. අමු බුදින්නෝත් වූහ. හුරුහැල් අනුභව කරන්නෝත් වූහ. සම්කසට අනුභව කරන්නෝත් වූහ. ලහටු අනුභව කරන්නෝත් වූහ. කුඩු අනුභව කරන්නෝත් වූහ. දඹුබත් කන්නෝත් වූහ. මුරුවට අනුභව කරන්නෝත් වූහ. තණ අනුභව කරන්නෝත් වූහ. ගොම අනුභව කරන්නෝත් වූහ. වනමුල් පල ආහාර කොට ඇත්තාහු ස්වයංපතිතඵල අනුභව කරණසුලුව කය පැවැත්වූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ දිය සිඳුණු කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෘශ බවට පැමිණියේ වේ. ඉතා කෘශ බවට පැමිණි කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙසෙමු’ යි යන අදහස පිරිහුණේය. චිත්තවිමුක්තිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුළ තණකොටුව වූ ඒ ලෝකාමිස නිවාපයට පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව ලෝකාමිසය අනුභව කරන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ ලෝකාමිසනිවාපයෙහි කැමැති සේ කළ යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. ‘අපි මේ මාරයා වපුළ මේ නිවාපය වූ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, එහි ආශයස්ථානයක් කොට වැස මාරයා විසින් වපුළ නිවාපය වූ ඒ ලෝකාමිසයන් ට නො වැද නො මුසපත් ව ලෝකාමිසභෝජනය අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පස්කම් බොජුන් වළඳන්නමෝ මත් නොවන්නෙමු නම්, නො මත්වුවමෝ ප්‍රමාදයට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නමෝ නම් යෙහෙකැ’යි කියා යි. ඔහු මාරයා වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කළාහුය. එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ නිවාප වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නො වූවාහු පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි නො වැද මුසපත් නො වී පස්කම්ගුණ බොජුන් බුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. නො පමා වූවාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එතෙකුදු වුවත් ‘ලෝකය ශාශ්වතය කියා ද, ලෝකය අශාශ්වත ය යි කියා ද, ලෝකය කෙළවරක් ඇත්තේ ය කියා ද, ලෝකය කෙළවරක් නැත්තේ ය කියා ද, ඒ ජීවය, ඒ ශරීරය යි කියා ද, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි කියා ද, සත්ත්‍වයා මරණින් මතු වන්නේ ය කියා ද, සත්ත්‍වයා මරණින් මතු වන්නේත් වේ, නො වන්නේත් වේ කියා ද, සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙවැනි දෘෂ්ටි ඇත්තෝ වූහ.
මහණෙනි, මෙසේ ඒ තුන්වැනි මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, ඒ තුන්වන මුවසමූහයෝ යම්සේ ද, මේ තුන්වන මහණබමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි කියමි.
12. මහණෙනි, එහි දී සතර වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් මේ පළමුවන මහණ බමුණෝ වූ ද, ඔහු මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් මේ දෙවන මහණබමුණෝ මෙසේ සිතුවාහු ද, “යම් මේ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. ‘අපි සම්පුර්‍ණයෙන් ලෝකාමිස නිවාපභෝජනය වූ පඤ්චකාමගුණයෙන් වෙන් වන්නෙමු නම් යෙහෙකි’ ... මෙසේ වනාහි මේ දෙවන මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් මේ තුන්වන මහණබමුණෝ වූ ද, ඔහු මෙසේ සිතුවාහු ය: “යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූ ද ඔහු මෙසේ සිතුවාහු ය: යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට වැද ... මෙසේ වනාහි ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. ‘අපි නිවාප භෝජන වූ ලෝකාමිසයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු නම් යෙහෙකැ’යි … මෙසේ ඒ දෙවන මහණබමුණෝත් මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. යම් මේ තෙවන මහණබමුණෝ ‘අපි මේ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නොවී පඤ්චකාම භෝජන අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පඤ්චකාම භෝජන අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වූවමෝ සිහි නැති නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මේ මාරයාගේ නිවාපය වූ මේ පඤ්චකාම ගුණයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ’යි මෙසේ සිතුවාහු ද, ඔහු මාරයා වපුළ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කළහ. එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ පඤ්චකාමයන්ට නො වැද මුසපත් නො වූවාහු පඤ්චකාමභෝජන අනුභව කළහ. ඔහු එහි නො වැද නො මුසපත් ව පඤ්චකාමභෝජනයන් බුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියහ. සිහි නැති බවට නොපැමිණියාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එසේ වුවත් ලෝකය ශාශ්වතය කියා ද, ... සත්‍වයා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. මෙසේ ඒ තුන්වැනි මහණබමුණෝත් මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ.
යම් තැනක අපි මාරයාගේත් මාරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයස්ථානයක් කරන්නෙමු නම් ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ පඤ්චකාමගුණයන්ට නො වැද නො මුසපත් ව පස්කම්බොජුන් බුදින්නෙමු නම්, නො වැද නො මුසපත් ව පස්කම්බොජුන් අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වූවමෝ සිහි නැතිබවට නො පැමිණෙන්නමෝ නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ නො වන්නෙමු නම් යෙහෙකැ යි කියා ය. ඔහු යම් තැනක මාරයාගේත් මරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයස්ථානක් කළහ. එහි ආශයස්ථානක් කොට මාරයා වපුළ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට නො වැද නො මුසපත් ව පඤ්චකාම භෝජන අනුභව කළහ. ඔහු තුමූ එහි නො වැද නො මුසපත් ව පඤ්චකාම භෝජනයන් අනුභව කරන්නාහු මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. සිහි නැති බවට නො පැමිණියාහු මාරයාගේ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමති සේ කළ යුත්තෝ නො වූහ. මෙසේ වනාහි ඒ සතරවන මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් මිදුණහ. මහණෙනි, ඒ සතර වැනි මුවසමූහයෝ යම්බඳු ද, මේ සතර වැනි මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි මම කියමි.
13. මහණෙනි, මාරයාගේත් මාරපිරිසේත් අගතිය (විෂය නැති තැන) කෙසේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් වැ අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අන්‍ධ කෙළේ ය යි ද, මරු ඇස අපද කොට (පිහිට නැති සේ නසා) පවිටු මාරයාගේ නොදැක්මට ගියේ ය යි ද” කියනු ලැබේ.
14. මහණෙනි, නැවත අනෙකක් වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම වූ සිතේ එකඟබව ඇති විතර්‍ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරු ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි ද කියනු ලැබේ.
15. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියෙන් ද වෙන් වීමෙන් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ මනා නුවණින් යුක්ත වූයේ වාසය කරයි. කයින් සැපය ද විඳී. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උදෙසා ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේ ය’යි ගුණ වර්‍ණනා වශයෙන් කියත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, පිහිටක් නැති සේ මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි ද කියනු ලැබේ.
16. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ සැපත් පහවීමෙන් දුකත් පහවීමෙන් පළමු ව සොම්නස් දොම්නස් දුරු වීමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂාව හා සිහිය පිළිබඳ පිරිසුදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේය යි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි කියනු ලැබේ.
17. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් අපවත් කිරීමෙන් නානාත්‍වසංඥා මෙනෙහි නො කිරීමෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
18. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’ යි විඤ්ඤාණඤ‍්‍චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
19. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම විඤ්ඤාණඤ‍්‍චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්‍චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
20. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකිඤ්‍චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.
21. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ඔහු විසින් මාර්‍ගප්‍රඥාවෙන් (චතුරාර්‍ය්‍ය සත්‍යයන්) දැක ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”ය යි ද ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙළේ” යයි ද කියනු ලැබේ.
22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළි ගත්හ.
නිවාප සූත්‍රය පස්වැනි යි.
1. 3. 6.
අරියපරියේසන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කීහ: “ඇවැත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අප භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ධර්‍ම කථාව ඇසුවිරූ බොහෝකල් වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, අපි භාග්‍යවතුන් සම්බුඛයෙහි ධර්‍ම කථාවක් අසන්ට ලබන්නමෝ නම් මැනැවි” යනුයි. ඇවැත්නි, එසේ නම් රම්මක බමුණාගේ අසපුව කරා එළඹෙව. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දැහැමි කථාවක් අසවු නම් මනා මය. ඒ භික්‍ෂූහු ‘එසේය ඇවැත්නි’ යි ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිතුරු දුන්හ.
2. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතෙන් පසු පිණ්ඩපාතයෙන් නැවතුනු සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, දිවාවිහාරය සඳහා පුබ්බාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදය කරා යම්හ”. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග දිවාවිහාරය සඳහා මෘගාරිමාතෘ ප්‍රාසාදය කරා වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල වදාළසේක. “ආනන්‍දය, ගාත්‍රපරිෂේකය සඳහා නැගෙනහිර නාන කොටුවට යම්හ.” “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග නැගෙනහිර නානකොටුවට වැඩියහ. සිරුරුඅවයව සනහා ගැන්ම සඳහාය. නැගෙනහිර නානකොටුවෙන් සිරුරුඅවයව සනහා ගෙන ගොඩනැගී එක් (අඳනා) සිවුරු ඇතිව සිරුරුඅවයව පූර්‍ව අවස්ථාවට පමුණුවමින් (=වියළවමින්) සිටිසේක.
4. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. ‘වහන්ස, රම්මකබමුණාගේ මේ අසපුව රමණීය ය. රම්මකබමුණාගේ අසපුව සිත්කලු ය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ, අනුකම්පා උපදවා රම්මකබමුණාගේ අසපුව කරා පැමිණෙනසේක් නම් මැනවි’. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතායෙන් ඉවසූ සේක.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුව කරා පැමිණි සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු රම්මකබමුණාගේ අසපුවෙහි දැහැමි කථාවෙන් යුතුව රැස්ව හුන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා අවසානය බලනුවෝ බිහිදොරටුයෙහි වැඩ සිටි සේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ කථාව අවසන්සේ දැන කැස දොර කවුළුව පහළහ. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර විවර කළහ.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුවට පිවිස පනවනලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ආමන්ත්‍රණය කළසේක: “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්ත ව හුන්හු ද? තොපගේ කවර අතුරුකතාවක් අඩාළ කරණ ලද ද?” “වහන්ස, අප විසින් භාග්‍යවතුන් වහන්සේ ම අරභයාවූ දැහැමි කථාව අඩාළ කරණ ලදී. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි සැළ කළහ. “මහණෙනි, මැනවි. මහණෙනි, යම් ලෙසකින් තෙපි දැහැමි කථාවෙන් යුක්ත ව හුන්හුද, එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන්වන් කුලපුත්‍ර වූ තොපට නිසිය. මහණෙනි, රැස්වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය (ද්විතීයධ්‍යානය හෝ මූලකර්‍මස්ථානය මෙනෙහි කිරීම) යන දෙක කළ යුතුය.”
7. මහණෙනි, ආර්‍ය්‍යපර්‍ය්‍යෙෂණය ය, අනාර්‍ය්‍යපර්‍ය්‍යෙෂණයයි මේ සෙවීම් දෙකෙකි.
මහණෙනි, අනාර්‍ය්‍යපර්‍ය්‍යෙෂණය කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුඟුලෙක් තෙමේ ජාතිය ස්වභාවය කොට ඇත්තේ ජාතිධර්‍මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්‍මයක් (ජරාව ස්වභාව) කොට ඇත්තක් ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්‍මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධර්‍මයක් (මරණය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තේ ශෝක ධර්‍මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.
8. මහණෙනි, කුමක් ජාතිධර්‍ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්‍මයෝයි. දැසි දස්හු ජාතිධර්‍මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්‍මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්‍මයෝ ය. රන් රිදී ජාතිධර්‍මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්‍මයෝ ය. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්‍මයක් ම සොයයි.
9. මහණෙනි, කුමක් ජරාධර්‍මයයි කියන්නේ ද? පුත්‍රභාර්‍ය්‍යාවෝ ජරාධර්‍මයෝ ය. දැසිදස්හු ජරාධර්‍මයෝ ය එළු බැටළුවෝ ජරාධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ ජරාධර්‍මයෝය. ඇත් ගව අස් වෙළඹහු ජරාධර්‍මයෝය. රන්රිදී ජරාධර්‍මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධර්‍ම වෙති. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධර්‍මයක් ම සොයයි.
10. මහණෙනි, කුමක් ව්‍යාධිධර්‍මයයි කියන්නේ ද? පුත්‍ර භාර්‍ය්‍යාවෝ ව්‍යාධිධර්‍මයෝ ය. දැසිදස්හු ව්‍යාධිධර්‍මයෝ ය. එළු බැටළුවෝ ව්‍යාධිධර්‍මයෝය. කුකුළන් හා ඌරෝ ව්‍යාධිධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ව්‍යාධිධර්‍මයෝ ය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ව්‍යාධිධර්‍මයෝ ය. මේ ලෝවැසි තෙම මෙහි ගැටගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්‍මයක් ම සොයයි.
11. මහණෙනි, කුමක් මරණධර්‍මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්‍ය්‍යාවෝ මරණධර්‍මයෝ ය. දැසිදස්හු මරණධර්‍මයෝ ය. එළුබැටළුවෝ මරණධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ මරණධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු මරණධර්‍මයෝ ය. මහණෙනි, මේ උපධීහු මරණධර්‍මයෝ ය. මේ ලෝ වැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණධර්‍මයක් ම සොයයි.
12. මහණෙනි, කුමක් ශෝකධර්‍මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්‍ය්‍යාවෝ ශෝකධර්‍මයෝ ය. දැසිදස්හු ශෝකධර්‍මයෝ ය. එළුබැටළුවෝ ශෝකධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ ශෝකධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ශෝකධර්‍මයෝ ය. මහණෙනි, මේ උපධීහුය. මේ ලෝ වැසි තෙමේ මෙහි වෙළුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තේ ශෝකධර්‍මයක් ම සොයයි.
13. මහණෙනි, කුමක් සංක්ලේශධර්‍මයයි කියන්නේද? අඹුදරුවෝ සංක්ලේශධර්‍මයෝ ය. දැසිදස්හු සංක්ලේශධර්‍මයෝ ය. එළුබැටළුවෝ සංක්ලේශධර්‍මයෝ ය. කුකුළන් හා ඌරෝ සංක්ලේශධර්‍මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු සංක්ලේශධර්‍මයෝ ය. රන්රිදී සංක්ලේශධර්‍මයෝ ය. මහණෙනි, මේ උපධීහු සංක්ලේශධර්‍ම වෙත්. මේ ලෝවැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ සංක්ලේශධර්‍ම වූයේ සංක්ලේශධර්‍මයක් ම සොයයි. මහණෙනි, මේ අනාර්‍ය්‍යපර්‍ය්‍යෙෂණයි.
14. මහණෙනි, ආර්‍ය්‍යවූ සෙවීම කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිධර්‍ම වූයේ ජාතිධර්‍මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තරවූ යෝගක්‍ෂේම සංඛ්‍යාත නිර්‍වාණය සොයයි. තෙමේ ජරාධර්‍ම වූයේ ජරාධර්‍මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තරවූ යෝගක්‍ෂේම වූ නිවන සොයයි. තෙමේ ව්‍යාධිධර්‍ම වූයේ ව්‍යාධිධර්‍මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන සොයයි. තෙමේ මරණධර්‍ම වූයේ මරණධර්‍මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන සොයයි. තෙමේ ශෝකධර්‍ම වූයේ ශෝකධර්‍මයෙහි ආදීනව දැන ශොකයක් නැති නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන සොයයි. තෙමේ සංක්ලේශධර්‍ම වූයේ සංක්ලේශධර්‍මයෙහි ආදීනව දැන කෙලෙසීමක් නැති නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන සොයයි. මහණෙනි, මේ ආර්‍ය්‍යපර්‍ය්‍යෙෂණයි.
15. මහණෙනි, මම බුදු වීමට පෙර බෝසත් වූයෙම් ම තෙමේ ජාතිධර්‍ම වූයෙම් ජාතිධර්‍මයක් ම සෙවීමි. තෙමේ ජරාධර්‍ම වූයෙම් ජරාධර්‍මයක් ම සෙවීමි. තෙමේ ව්‍යාධිධර්‍ම වූයෙම් ව්‍යාධිධර්‍මයක් ම සෙවීමි. තෙමේ මරණධර්‍ම වූයෙම් මරණධර්‍මයක් ම සෙවීමි. තෙමේ ශෝකධර්‍ම වූයෙම් ශෝකධර්‍මයක් ම සෙවීමි. තෙමේ සංක්ලේශධර්‍ම වූයෙම් සංක්ලේශධර්‍මයක් ම සෙවීමි.
16. මහණෙනි, ඒ මට මේ අදහස විය: “කුමක් නිසා මම තෙමේ ජාතිධර්‍ම වූයෙම් ජාතිධර්‍මයක් ම සොයම් ද, තෙමේ ජරාධර්‍ම වූයෙම් ජරාධර්‍මයක් ම සොයම් ද, තෙමේ ව්‍යාධිධර්‍ම වූයෙම් ව්‍යාධිධර්‍මයක් ම සොයම් ද, තෙමේ මරණධර්‍ම වූයෙම් මරණධර්‍මයක් ම සොයම් ද, තෙමේ ශෝකධර්‍ම වූයෙම් ශෝකධර්‍මයක් ම සොයම් ද, තෙමේ සංක්ලේශධර්‍ම වූයෙම් සංක්ලේශධර්‍මයක් ම සොයම් ද? මම ජාතිධර්‍ම වූයෙම් ජාතිධර්‍මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. ජරාධර්‍ම වූයෙම් ජරාධර්‍මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ව්‍යාධිධර්‍ම වූයෙම් ව්‍යාධිධර්‍මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ මරණධර්‍ම වූයෙම් මරණධර්‍මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ශෝකධර්‍ම වූයෙම් ශෝකධර්‍මයෙහි ආදීනව දැන ශෝකයක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ සංක්ලේශධර්‍ම වූයෙම් සංක්ලේශධර්‍මයෙහි ආදීනව දැන සංක්ලිෂ්ට නො වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව” යි කියායි.
17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’
18. මහණෙනි, මෙසේ කී කල්හි ආළාර කාලාම මට මෙසේ කීය: “ආයුෂ්මත් තෙමේ බඹසර වෙසෙවා. යම් තැනක නුවණැති පුරුෂයෙක් නොබෝකලකින් ම ස්වකීය ආචාර්‍ය්‍යවරයන්ගේ ධර්‍මය තෙමේ දැන ප්‍රත්‍යක්‍ෂ කොට වෙසේ ද, මේ ධර්‍මය එ බඳු ය”. මහණෙනි, ඒ මම නොබෝදිනකින් ම ඒ ධර්‍මය ප්‍රගුණ කෙළෙමි. (ඒ මම උන් කී දැය පිලිගනුමට) තොල් පහළ පමණින් ම, උන් කියූ දැය නැවත කීම් පමණෙකින්ම ‘දනිමි’යි ද, ‘දකිමි’යි ද මම පිළින කෙළෙමි. අන්‍යයෝ ද මා ගැන එසේ කීහ. මහණෙනි, ඒ මට මේ අදහස වී ය:
“ආළාරකාලාම තෙමේ මේ ධර්‍මය හුදෙක් ඇදහීම් පමණෙකින් තමන් ‘විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරමි’ යි ප්‍රකාශ නොකරයි. ඒකාන්තයෙන් ආළාරකාලාම මේ ධර්‍මය දන්නේ, දක්නේ වාසය කෙරේය”යි කියායි. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාමහට මෙය කීමි. “ඇවැත් කාලාමය, කොපමණෙකින් මේ ධර්‍මය තමන් ප්‍රත්‍යක්‍ෂ කොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහි ද?” මහණෙනි, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙමේ ආකිඤ්චඤ්ඤායතනය ප්‍රකාශ කළේය. ඒ මට මේ අදහස විය: “ශ්‍රද්ධාව ඇත්තේ ආළාරකාලාමහට පමණක් නො වේ. මට ද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් ම වීර්‍ය්‍ය ඇත්තේ නො වේ. මට ද වීර්‍ය්‍ය ඇත. ආළාරකාලාමහට පමණක් ම සිහිය ඇත්තේ නො වේ. මට ද සිහිය ඇත. ආළාරකාලාමහට පමණක් ම සමාධිය ඇත්තේ නො වේ. මට ද සමාධිය ඇත. ආළාරකාලාමහට පමණක් ම ප්‍රඥාව ඇත්තේ නො වේ. මට ද ප්‍රඥාව ඇත. ආළාරකාලාම තෙමේ ‘යම් ධර්‍මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙමි’යි කියා නම්, මම ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සාහ කෙරෙම් නම් මැනැවැ” යි කියා යි. මහණෙනි, ඒ මම නොබෝ කලෙකින් ම වහා ම ඒ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි.
19. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාමහට “ඇවැත් කාලාමය, මෙ පමණෙකින් ම මේ ධර්‍මය තමන් වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහිදැ”යි මෙය කීමි. “ඇවත, මම මෙපමණෙකින් ම මේ ධර්‍මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙමි” යි කී ය. “ඇවත, මම ද මෙපමණෙකින් මේ ධර්‍මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි”යි කීම්. “ඇවත, යම්බඳු වූ අපි තොප වැනි සබ්‍රහ්මචාරී අයුෂ්මතකු දක්නමෝ ද, ඒ අපට ලාභය, අපට මනා ලැබුමෙකි. මෙසේ මම යම් ධර්‍මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙම් ද, තෙපි ඒ ධර්‍මය තමන් ප්‍රත්‍යක්‍ෂ කොට වෙසෙසින් දැන ඊට පැමිණ වාසය කරව. තෙපි යම් ධර්‍මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහු නම්, මම ඒ ධර්‍ම තමන් ම වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි. මෙසේ යම් ධර්‍මයක් මම දනිම් ද, ඒ ධර්‍මය තෙපි දනුව. යම් ධර්‍මයක් තෙපි දනීහු නම් ඒ ධර්‍මය මම දනිමි. මෙසේ මම යම්බඳුයෙම් නම්, තෙපි ද එබඳු ව. තෙපි යම්බඳුහු නම්, මම ද එබඳුයෙමි. ඇවැත, දැන් එව. දෙදෙන ම එකතු ව මේ පිරිස පරිහරණය කරමු”යි කියායි. මහණෙනි, මෙසේ ආළාරකාලාම තෙමේ මට ආචාර්‍ය්‍ය වූයේ ම අතැවැසි වූ මා තමාට සමතැන තැබී ය. උසස් පූජාවෙනුදු මා පිදී ය. මහණෙනි, ඒ මට මේ අදහස විය: “මේ ධර්‍මය සසර කළකිරීම සඳහා නො වේ. නො ඇලීම සඳහා නො වේ. නිවන සඳහා නො වේ. කෙලෙස් සන්හිඳුවීම සඳහා නො වේ. විශේෂ දැනීම සඳහා නො වේ. සම්බෝධිය සඳහා නො වේ. නිවන් සඳහා නො පවතියි. මේ ධර්‍මය ආකිඤ්චඤ්ඤායතනයෙහි ඉපදීමට ම වෙයි.” මහණෙනි, ඒ මම ඒ ධර්‍මය (ශාන්තපදයට) ප්‍රමාණ නො කොට (මෙයින් කම් නැතැයි සිතා එයින් තෘප්ත නොවී) ඒ ධර්‍මයෙන් කළකිරී වෙන්ව ගියෙමි.
20. මහණෙනි, ඒ මම ‘කිංකුසලගවේසී’ වූයෙම් අනුත්තර වූ උතුම් ශාන්තිපදය සොයන්නෙම් උද්දක රාමපුත්‍රයා කරා පැමිණියෙමි. පැමිණ උද්දක රාමපුත්‍රහට මෙය කීමි: “ඇවැත්නි, මම මේ ශාසනයෙහි බඹසර සරන්නට කැමැත්තෙමි”. මහණෙනි, මෙසේ කි කල්හි උද්දක රාමපුත්‍ර තෙමේ “ආයුෂ්මත් තෙමේ වෙසේවා. යම් ශාසනයෙක්හි නුවණැති පුරුෂයෙක් නොබෝකලෙකින් ම ස්වකීය ආචාර්‍ය්‍යවරයාගේ ධර්‍මය තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, මේ ධර්‍මය එබඳු ය” යි මෙය මට කී ය. මහණෙනි, ඒ මම නොබෝකලෙකින් ම ඒ ධර්‍මය වහා ම ප්‍රගුණ කෙළෙමි. එපමණින් ම (පිළිගැණුමට) තොල් පහළ පමණින් ම, කියන ලද්ද නැවත කීම් පමණෙකින් ම ‘දනිමි’යි යන කථාව හා ‘එහි ස්ථීර වෙමි’ යන කථාව ද කියමි. ‘දනිමි’යි, ‘දකිමි’යි ද මමත් ප්‍රතිඥා කරමි. අන්‍යයෝ ද මා ගැන එසේ කියති.
21. මහණෙනි, ඒ මට මේ අදහස ඇති විය: “රාම තෙමේ මේ ධර්‍මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරමි යි ප්‍රකාශ නො කෙළේ ය. රාම තෙමේ මේ ධර්‍මය ඒකාන්තයෙන් දනිමින් දක්මින් වාසය කෙළේය”යි කියායි. මහණෙනි, ඉක්බිති මම උද්දක රාමපුත්‍රයා වෙත පැමිණියෙමි. පැමිණ රාමපුත්‍ර උද්දකහට මෙය කීමි. “ඇවැත, (ඔබගේ පිතෘ වූ) රාම තෙමේ කොපමණෙකින් මේ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළඹ ප්‍රකාශ කෙළේදැ?”යි. මහණෙනි, මෙසේ කී කල්හි රාමපුත්‍ර උද්දක තෙමේ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ ය. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය: “ශ්‍රද්ධාව රාමයාට පමණක් නො වී ය. මට ද ශ්‍රද්ධාව ඇත. වීර්‍ය්‍ය රාමයාට පමණක් නො වී ය. මට ද වීර්‍ය්‍ය ඇත. සිහිය රාමයාට පමණක් නො වී ය. මට ද සිහිය ඇත. සමාධිය රාමයාට පමණක් නො වී ය. මට ද සමාධිය ඇත. ප්‍රඥාව රාමයාට පමණක් නො වී ය. මට ද ප්‍රඥාව ඇත. යම් ධර්‍මයක් රාම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි යි කීයේ ද, මම ද ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීමට උත්සාහ කෙරෙම් නම්, යෙහෙකැ”යි කියායි. මහණෙනි, ඒ මම නොබෝකලෙකින් ම වහා ම ඒ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ විසීම්.
22. මහණෙනි, ඉක්බිති මම රාමපුත්‍ර උද්දක වෙත එළඹියෙමි. එළඹ උද්දක රාමපුත්‍රහට මෙය කීයෙමි. “ඇවැත්නි, (ඔබ පියාවූ) රාම තෙමේ මේ ධර්‍මය මෙපමණෙකින් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද? ඇවැත්නි (මාගේ පිය වූ) රාම තෙමේ මෙ මතුයෙකින් මේ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේය”යි (උද්දක තෙමේ කීය). “ඇවැත්නි, මම ද මෙපමණෙකින් මේ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙමි” යි කීමි.
“ඇවැත්නි, යම් බඳු වූ අපි තොප වැනි සබ්‍රහ්මචාරී අයුෂ්මතකු දක්නමෝ ද ඒ අපට ලාභය. අපට මනා ලැබීමෙකි. මෙසේ රාම යම් ධර්‍මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද, තෙපිත් ඒ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරව. තෙම යම් ධර්‍මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරවු ද, (මාගේ පිය වූ) රාම තෙමේත් ඒ ධර්‍මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කළේ ය. මෙසේ යම් ධර්‍මයක් (මාගේ පිතෘවූ) රාම තෙමේ දැනගත්තේ ද, ඒ ධර්‍මය තෙපි දන්නහුය. යම් ධර්‍මයක් තෙපි දන්නහු ද, ඒ ධර්‍මය රාම තෙමේ දත්තේ ය. මෙසේ රාම යම්බඳු වූයේ ද, තෙපි එබඳු වැ. තෙපි යම්බඳු ද, රාම තෙමේ එබඳු වී ය. ඇවැත්නි, මෙහි එව. දැන් තෙපි මේ පිරිස පරිහරණය කරව.” මෙසේ රාම පුත්‍ර උද්දක තෙමේ මාගේ සබ්‍රහ්මචාරී වූයේ ම මා ඇදුරු තනතුරෙහි තැබී ය. මහත් පූජායෙකින් මා පිදීය. මහණෙනි, ඒ මට “මේ ධර්‍මය සසර කළකිරීම පිණිස නො වෙයි. විරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. ක්ලේශව්‍යුපශමය පිණිස නො වෙයි. අභිඥාව පිණිස නො වෙයි. සම්බෝධිය පිණිස නො වෙයි. නිවන පිණිස නො පවතී. එය හුදෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පමණක් ම වෙයි” යන මේ අදහස වී ය. මහණෙනි, ඒ මම ඒ ධර්‍මය (ශාන්තපදයට) ප්‍රමාණ නො වන්නක් කොට මෙයින් කම් නැතැයි සිතා ඒ ධර්‍මයෙන් කළකිරී බැහැරගියෙමි.
23. මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැ’යි සොයනසුලු වූයෙම් අනුත්තර උතුම් නිර්‍වාණපදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙළින් සැරිසරන්නෙම් උරුවේලායෙහි සේනානිගමය කරා පැමිණියෙමි. එහි සිත්කලු භූමි භාගය ද, පහදවන වනළැහැබ ද, වැලිතලා ඇති මනා තොටු ඇති සිත්කලු ගලාබස්නා නදිය ද, හාත්පස ගොදුරුගම ද, දිටිමි. මහණෙනි, ඒ මට මේ අදහස වී ය: “භූමිභාගය රමණීය ය. වන ළැහැබ ප්‍රසාද ජනක ය. සුදුවැලි තලා ඇති මනා තොටු ඇති සිත්කලු නදිය ද ගලා බස්නී ය. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කරනු කැමැති කුලපුත්‍රයකුට ප්‍රධන්වීර්‍ය්‍ය සඳහා මෙය සුදුසු ම ය.” මහණෙනි, ඒ මම ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස “මෙය සුදුසු ම ය” යි සිතා එහි ම (බෝමැඩ) හුන්නෙමි.
24. මහණෙනි, ඒ මම ජාතිධර්‍ම වූයෙම් ජාති ධර්‍මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයමින් අජාත වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය අවබෝධ කෙළෙමි. ජරාධර්‍ම වූයෙම් ජරාධර්‍මයෙහි ආදීනව දැන දිරීමක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් අජර වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන අවබෝධ කෙළෙමි. ව්‍යාධිධර්‍ම වූයෙම් ව්‍යාධිධර්‍මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය අවබෝධ කෙළෙමි. මරණධර්‍ම වූයෙම් මරණධර්‍මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවණට පැමිණියෙමි.
ශෝකධර්‍ම වූයෙම් ශෝකධර්‍මයෙහි ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් ශෝක රහිත නිරුත්තර යෝගක්‍ෂේම වූ නිවන අවබෝධ කෙළෙමි. තෙමේ සංක්ලේශධර්‍ම වූයෙම් සංක්ලේශධර්‍මයෙහි ආදීනව දැන නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිවන සොයන්නෙම් අසංක්ලිෂ්ට වූ නිරුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය අවබෝධ කෙළෙමි. මාගේ අර්‍හත් ඵලවිමුක්තිය අකෝප්‍ය (ස්ථීර) විය. ‘මේ මාගේ අන්තිම උත්පත්තියයි. දැන් පුනර්‍භවයක් නැතැයි’ මට ඥානදර්‍ශනය (සියලු දෙය දන්නා වූ සර්‍වඥතාඥානය) පහළ විය.
25. මහණෙනි, ඒ මට මේ අදහස විය: “මා අවබෝධ කළ මේ ධර්‍මය ගැඹුරු ය. දැක්මට අවබෝධයට නොපහසු ය. ශාන්තය. ප්‍රණීත ය. තර්‍කයෙන් බැසගත නො හෙන්නේ ය. නිපුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ ප්‍රජාතොමෝ පඤ්චකාමගුණ සංඛ්‍යාත ආලයන්හි රමණය කරන්නීය. ආලයන්හි ඇලුණීය පඤ්චකාමගුණයෙහි සතුටු වන්නී ය. පඤ්චකාමගුණ ආලයන්හි රමණය කරණ ආලයන්හි ඇලුණු ආලයන්හි සතුටු ප්‍රජාව විසින්, යම් මේ ඉදප්පච්චයතා (සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ අවිද්‍යාදි) පටිච්චසමුප්පාදයක් වේ ද, මේ කාරණය දක්නට නොපහසුය. සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම් වූ සියලු උපධීන්ගේ දූර ලීම වූ ආශාව නැති කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවනක් වේ ද, මේ කාරණය ද දැක්මට නොහැකිය. මම දහම් දෙසන්නෙම් නම් අන්‍යයෝ එය දැන නොගන්නාහු නම්, එය මට ක්ලාන්තියකි. එය මට වෙහෙසකි.” කියායි. මහණෙනි, තවද මට නො ඇසූ විරූ අත්‍යාශ්චර්‍ය්‍ය වූ මේ ගාථාවෝ වැටහුණාහ:
“මා විසින් දුක සේ අවබෝධ කරණ ලද මේ ධර්‍මය දැන් ප්‍රකාශ කිරීම කම් නැත. රාග ද්වේශයන්ගෙන් මැඩුනවුන් විසින් මේ ධර්‍මය අවබෝධ කිරීම පහසු නො වේ. උඩුහොය (චතුස්සත්‍යධර්‍මය) කරා යන සුලු මෘදු වූ ගැඹුරු වූ අවබෝධයට අපහසු වූ සියුම් වූ මේ ධර්‍මය රාගයෙන් රත් වූ මෝහරාශියෙන් වෙළුණු මේ සත්ත්‍වයෝ නො දක්නාහ.”
26. මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ මාගේ සිත මන්‍දෝත්සාහ භාවයට නැමේ. දහම් දෙසීමට නො නැමේ. මහණෙනි, ඉක්බිති සහම්පතී මහාබ්‍රහ්මයාට සිය සිතින් මා සිත්හි වූ විතර්‍කය දැනීමෙන් මේ අදහස විය: “යම් ලෝකයෙක්හි තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත අල්පොත්සාහභාවයට නැමේ ද, දහම් දෙසීමට නො නැමේ ද, පින්වත්නි, ඒ ලෝකය නැසේ. ඒකාන්තයෙන් වැනැසේ.” මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම් සේ ශක්තිමත් පුරුෂයෙක් හැකුළු ඇත දිගු කෙරේ ද, දිගු කළ අත හකුළු වන්නේ ද, එසේ ම බඹලොවින් අතුරුදහන් වූයේ (ක්‍ෂණයෙන්) මා ඉදිරියෙහි පහළ විය.
27. මහණෙනි, ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්ම තෙමේ උතුරුසළුව ඒකංස කොට මා වෙත ඇඳිලි බැඳ මට මෙය කීයේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්ව. මඳකෙලෙස්රජස් සහිත ස්වභාව ඇති සත්ත්‍වයෝ ඇත. ධර්‍මය නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. ධර්‍මය අවබෝධ කරන්නෝ ඇතැ”යි. මහණෙනි, සහම්පතීබ්‍රහ්ම තෙමේ මෙය කීය. මෙය කියා යලිත් මේ ගාථා කීය: