Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 901-1000 න් 6387

19. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ලතු වණවැටි හෝ කහ වණවැටි හෝ නිල් වණවැටි හෝ මදටි වණවැටි හෝ ගෙන එන්නේ ය. හේ ‘මම මේ ආකාශයෙහි රූප ලියන්නෙමි. රූප පහළ කරන්නෙමි’යි මෙසේ කියන්නේ ය. මහණෙනි, ඒ කුමැයි හඟනහු ද, ඒ පුරුෂ මේ අහසෙහි රූප ලියන්නේ ද, රූප පහළ කරන්නේ ද? ‘වහන්ස, මේ නො වේ මය.’ ඒ කවර හෙයින? ‘වහන්ස, මේ අහස අරූපී ය. ඇසට නොහමු වන්නේ ය. එහි රූප ඇඳීම නො කට හැක්කේ ය. රූප පහළ කරන්නට සුකර නො වේ. හුදෙක් ඒ පුරුෂ තෙමේ ක්ලාන්තයට වෙහෙසට හිමියෙක් වන්නේ ය.’ මහණෙනි, එපරිද්දෙන් ම යම් වචනපථයන්ගෙන් තොපට කියන්නා වූ අන්‍යයෝ කියන්නාහු නම්, එහි මේ වචනපථයෝ පස්දෙනෙක් වෙත්: කල්හි හෝ නොකල්හි හෝ ... ඒ මෛත්‍රීචිත්තයට අරමුණු වූ සියල්ල ඇති ලෝකය ආකාශය හා සම වූ මහත් වූ මහත්බවට ගියාවූ අප්‍රමාණ වූ වෛර නැති සිතින් පතුරුවා වසන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
20. මහණෙනි, යම්සේ පුරුෂයෙක් ඇවිළගත් තණසුලක් ගෙන එන්නේ ද, හේ මෙසේ කියන්නේ ය. ‘මම මේ ඇවිළගත් තණසුළින් ගඞ්ගා නදිය තවන්නෙමි. හාත්පසින් තවන්නෙමි’යි කියා යි. මහණෙනි, ඒ කුමැයි හඟනහු ද, ඒ පුරුෂ ඇවිළගත් තණසුලින් ගඞ්ගා නදිය තවන්නේ ද, හාත්පසින් තවන්නේ ද? ‘වහන්ස, එය නො වන්නේ ම ය’ ඒ කවර හෙයින? ‘වහන්ස, ගඞ්ගා නදිය ගැඹුරු ය. පමණ නො කට හැකි ය. ඇවිළ ගත් තණසුලකින් උණු කරන්නට නො හැක්කේ ය. හාත්පසින් තවන්නට නො හැක්කේ ය. හුදෙක් ඒ පුරුෂ තෙමේ වෙහෙසට දුකට හිමි වන්නේ ය.’ මහණෙනි, එපරිද්දෙන් ම තොපට යම් වචනපථයන්ගෙන් කියන්නා වූ අන්‍යයෝ කියන්නාහු නම්, මේ වාඝ්මාර්‍ග පස්දෙනෙක් වෙත්. කල්හි හෝ නො කල්හි හෝ ... ඒ මෙත් සිතට අරමුණු වූ සියල්ල ඇති ලෝකය ගඞ්ගා නදිය හා සම වූ මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති සිතින් පතුරුවා වසන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
21. මහණෙනි, මඩිනලද මැනවින් මඩිනලද මොළොක් වුවු හිඹුල් පුළුන් වැනි වූ ‘සර, සර’ යන ශබ්ද නැති, ‘බර, බර’ යන හඬ නැති බළල්සමින් කළ පසුම්බියක් යම් සේ වේ ද, ඉක්බිති දණ්ඩක් හෝ ගල්කැටයක් හෝ ගෙන පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ මෙසේ කියන්නේ ය. මම මේ මඩිනලද මැනවින් මඩිනලද, මොළොක් වූ හිඹුල් පුළුන් වැනි වූ ‘සර, සර’ යන හඬ නැති, ‘බර, බර’ යන හඬ නැති බළල්සමින් කළ පසුම්බිය කාෂ්ටයෙන් හෝ ගල්කැටයෙන් ‘සර, සර’ යන හඬ ඇත්තක් කරන්නෙමි. ‘බර, බර’ යන හඬ ඇත්තක් කරන්නෙ මි’ යි කියා යි.
22. මහණෙනි, ඒ කිමැ යි හඟනහු ද? ඒ පුරුෂ තෙමේ මඩින ලද හාත්පසින් මඩින ලද මොළොක් වූ හිඹුල් පුළුන් වැනි, ‘සර, සර’ යන හඬ නැති, ‘බර, බර’ යන හඬ නැති බළල්සමින් කළ ඒ පසුම්බිය කෘෂ්ටයෙන් හෝ ගල්කැටයෙන් හෝ ‘සර, සර’ යන හඬ ‘බර බර’ යන හඬ ඇත්තක් කරන්නේ ද? වහන්ස, එය නො වේමය. ඒ කවර හෙයින: වහන්ස, විඩාලහස්ත්‍රාව මර්දිත ය. සුමර්දිත ය. සුපරිමර්දිත ය මෘදුක ය, තුලිනී ය. ඡින්නස්සසර ය. ඡින්නභර්‍භර ය. ඒ හස්ත්‍රාව කෘෂ්ටයකින් හෝ ගල් කැටයකින් හෝ ‘සර, සර’ යන හඬ ඇත්තක්, ‘බර, බර’ යන හඬ ඇත්තක් කරන්නට පහසු නො වන්නී ය. හුදෙක් ඒ පුරුෂ තෙමේ වෙහෙසට දුකට හිමියෙක් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම යම් වචනපථයන්ගෙන් තොපට කියන්නා වූ අන්‍යයෝ කාලයෙහි හෝ අකාලයෙහි හෝ, විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ හෝ, මොළොක් වූ හෝ රළු වූ හෝ, අර්‍ත්‍ථ සහිත වූ අර්‍ත්‍ථ රහිත වූ හෝ, මෙත්සිත් ඇත්තාහු හෝ දොස් සිත් ඇත්තාහු හෝ කියන්නාහු නම්, මේ ඒ වාඞ්මාර්‍ගයෝ පස්දෙනෙක් වෙති. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ වචනයෙන් කියන්නා හු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ අර්‍ත්‍ථයෙන් යුක්ත වූ හෝ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත්සිත් ඇත්තාහු හෝ දොස්සිත් ඇත්තාහු හෝ කියන්නාහු ය. මහණෙනි, එහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: “අපගේ සිත වෙනසකට පත් නො වන්නේ ය. ලාමකවචන නො කියන්නෙමු. හිතානුකම්පා ඇති ව මෙත්සිත් ඇති ව දොස්සිත් නැතිව වසන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු. මෙත් සිතට අරමුණු වූ සියල්ල ඇති ලෝකය විපුල වූ මහත්බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති, බළල්සම් පසුම්බිය වැනි සිතින් පතුරුවා වසන්නෙමු”යි කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
23. මහණෙනි, ඉදින් පහත් හැසුරුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීරාවයව කපන්නාහු ද, එහි ද යමෙක් සිත දූෂිත කරන්නේ නම් එයින් හෙතෙමේ මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ. මහණෙනි, එහි දී ද තොප විසින් මෙසේ හික්මිය යුතුයි: “අපේ සිත වෙනස් වූවක් නො වන්නේ ය. ලාමක වචන නො කියන්නෙමු. හිතානුකම්පී ව මෙත්සිත් ඇති ව දොස් සිත් නැතිව වසන්නෙමු. ඒ පුද්ගලයා මෛත්‍රි සහගත සිතින් පතුරුවා වසන්නෙමු. ඒ මෙත් සිතට අරමුණු වූ සියල්ල ඇති ලොව විපුල වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති බළල්සම් පසුම්බිය වැනි (මෘදු) සිතින් පතුරු වා වසන්නෙමු” කියා යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු ම ය.
24. මහණෙනි, තෙපි මේ කකචූපම අවවාදය නිතර මෙනෙහි කරන්නාහු නම්, මහණෙනි, තෙපි යම් වචනපථයක් නො ඉවසන්නහු ද එබඳු අල්පසාවද්‍ය වූ හෝ මහාසාවද්‍ය වූ හෝ වචනපථයක් දක්නහු ද? ‘වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, එහෙයින් මෙහි මේ කකචූපම අවවාදය නිතර මෙනෙහි කරවු. මහණෙනි, එය තොපට බොහෝ කාලයක් හිත පිණිස ද සුව පිණිස ද වන්නේ ය.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැයි පිළිගත්තාහු ය.
කකචූපම සූත්‍රය පළමුවැනි යි.
1. 3. 2.
අලගද්දූපම සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ගද්‍ධබාධිපුබ්‍බ (ගිජුලිහිණියන් නසන කුලයෙහි උපන්) අරිට්‍ඨ නම් මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන: “භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් අන්තරායකරධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) අන්‍තරායකරයහ යි යම් සේ වදාරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සේවනය කරන්නාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ (අන්තරායකර නොවෙති) යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි යි” කියා යි. බොහෝ භික්‍ෂූහු “ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහට - ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්තරායකරධර්‍ම කෙනෙක් ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට අන්තරායකරයහයි යම්සේ වදාරන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙති යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි මෙබඳු පාපදෘෂ්ටියක් උපන්නේල’ යි ඇසූහ.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහු කරා එළඹියාහු ය එළඹ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහට තෙල කීහ: “ඇවැත් අරිට්‍ඨයෙනි, තට - ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) බාධකයහ’යි යම්සේ වදාරන ලද්දාහු ද, සෙවුනා හට ඒ ධර්‍මයෝ අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ’යි මෙසේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි යන පවිටු දෘෂ්ටියෙක් උපන්නේ සැබෑ දැ”යි කියා යි.
3. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිද්දකින් යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් (ස්‍වර්‍ගමෝක්‍ෂ දෙකට) අන්‍තරායකරයහ යි වදාරන ලද්දාහු ද, සෙවුනාහට ඒ ධර්‍මයෝ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථයහ යි එවැනි සේ මම තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දිනිමි”යි කී ය.
4. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්‍ඨ මහණහු ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරනු කැමැත්තාහු ප්‍රශ්න කරති. ලබ්ධිය පිහිටුවත් . කරුණු විචාරමින් බෙණෙත්: “ඇවැත් අරිට්‍ඨයෙනි, මෙසේ නො කියව. ඇවැත් අරිට්‍ඨයෙනි, මෙසේ නො කියව භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො ම වදාරන සේක් ම ය. ඇවැත අරිට්‍ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරයහ යි වදාරන ලදහ. ඒ ධර්‍මයෝ සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් ම ය.
5. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාද ඇත්තාහු ය යි ද, බොහෝ දුක් ඇත්තාහු ය යි ද, බොහෝ දැඩි වෙහෙස ඇත්තාහු ය යි ද, මෙහි අදීනව බොහෝ ය යි ද, වදාරන ලද්දාහ. “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා අත්තාහ ... කාමයෝ මාංශපේශියකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ ගිනිඅඟුරුවලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ පිරිළුවකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ රුක්පලයට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ අසිපත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ අඩයටි හුලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ සප්හිසකට බඳු උපමා ඇත්තාහ ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ බොහෝ දුක් ඇත්තාහ, බොහෝ උපායාස ඇත්තාහ, මෙහි අදීනව බොහෝ ය’යි වදාරන ලදහ” යනු යි.
6. මෙසේ ද, ඒ භික්‍ෂූන් විසින් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ ප්‍රශ්න කරනු ලබනුයේ ලබ්ධිය පිහිටුවනු ලබනුයේ කරුණු විචාරනු ලබනුයේ ඒ පවිටු දෘෂ්ටිය ම දෘෂ්ටිබලයෙන් පරාමර්‍ෂ කොට ගෙන් එයට බැසගෙන මෙසේ කියයි: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් (සගමොක් දෙකට) අන්‍තරායකරයහ යි වදාරන ලද්දාහු නම්, ඒ ධර්‍මයෝ සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස නොවෙත් ද, ඇවැත්නි, එවැනි ලෙසින් ම මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දනිමි’යි කීයේ ය.
7. යම් හෙයකින් ඒ භික්‍ෂූහු ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහට ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරන්නට නො හැකි වූවාහු ද, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළාහු ය:
8. වහන්ස, ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහට ‘යම් මේ අන්‍තරායකරධර්‍මකෙනෙක් අන්‍තරායකරයහ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථ වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය දැනගෙන සිටිමි’යි මෙබඳු ලාමක දෘෂ්ටියක් උපන. වහන්ස, අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ නම් මහණහුට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ අන්‍තරායික ධර්‍මයහ යි වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට යම් සේ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථ වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍මය දැනගෙන සිටිමි’ යන මෙබඳු පවිටු දෘෂ්ටියෙක් උපන්නේ ල’යි ඇසුම්හ.
9. වහන්ස, ඉක්බිති අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු කරා එළඹියහ. එළඹ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහුට තෙල කීම්හ: “ඇවැත අරිට්ඨය, යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් අන්‍තරායකරයහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නම්, ‘ඒ ධර්‍මයෝ සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස අසමර්‍ත්‍ථ ද, මම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය එසේම දනිමි’යි කියා පවිටු දෘෂ්ටියක් උපන්නේ ල යනු සැබෑ ද? යනුයි.
10. වහන්ස, මෙසේ කීකල්හි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ අපට තෙල කී ය: ‘යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් අන්‍තරායිකහ යි වදාරන ලද්දාහු ද, ‘ඔහු සෙවුනාහට අන්තරාය පිණිස යම් සේ අසමර්‍ත්‍ථ ද භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය එසේම දනිමි’යි කියා යි.
11. වහන්ස, ඉක්බිති අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරනු කැමැත්තමෝ ප්‍රශ්න කළම්හ. ලබ්ධිය පිහිටුවම්හ. කරුණු විචාළම්හ: “ඇවැත් අරිට්ඨය, මෙසේ නොකියව. ඇවැත් අරිට්ඨය, මෙසේ නොකියව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවැත අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් අන්‍තරායිකධර්‍මයෝ අන්‍තරායික ධර්‍මයහ යි වදාරන ලදහ. ඔහු සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ ම වෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ අල්‍පාස්‍වාදයහ. බොහෝ දුක් ඇත්තාහ බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි අදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ ... කාමයෝ සප්හිසකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දැඩි ආයාස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ” කියායි.
12. වහන්ස, මෙලෙසිනුත් අප විසින් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ භික්‍ෂූ තෙමේ ප්‍රශ්න කරනු ලබනුයේ ලබ්ධිය පිහිටුවනු ලබනුයේ කරුණු විචාරන ලබනුයේ ඒ පවිටු දෘෂ්ටිය ම දැඩි ලෙසින් ගෙන එයට වැද ව්‍යවහාර කරයි: ‘යම් මේ අන්‍තරායකරධර්‍ම කෙනෙක් අන්‍තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථයහ යි මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය එවැනි සේ ම දනිමි’ කියා යි. වහන්ස, යම් හෙයකින් අපි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු ඒ පවිටු දෘෂ්ටියෙන් තොර කරන්නට අසමර්‍ත්‍ථ වූවමෝ ද, ඇපි මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ.
13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමැතූසේක: ‘මහණ තෝ මෙහි එව, මාගේ බසින් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු අමතව: ඇවැත අරිට්ඨය, ශාස්තෲන් වහන්සේ තා අමතන සේකැ’යි කියා ය. එසේ ය, වහන්සැ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු වෙත එළඹියේ ය. එළැඹ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහුට ‘ඇවැත අරිට්ඨය, ශාස්තෲන් වහන්සේ තා අමතන සේකැ’යි කී ය. ඇවැත්නි, එසේ ය යි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
14. යම් මේ අන්‍තරායකර ධර්‍මකෙනෙක් අන්‍තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු ද, ඔහු සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස නො වෙත් ද, එසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූධර්‍මය දැනගෙන සිටිමි”යි. අරිට්ඨය, තට මෙබඳු පවිටු දෘෂ්ටියෙක් උපන්නේ ල යනු සැබෑ ද?
15. “වහන්ස, යම් මේ අන්‍තරායික ධර්‍ම කෙනෙක් අන්‍තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු නම්, ඔහු සෙවුනාහට යම්සේ අන්‍තරාය පිණිස නො වෙත් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ඒ ධර්‍මය මම එවැනි සේ ම දනිමි.”
16. මෝඝ පුරුෂය, කවරකුහට මා විසින් මෙසේ දෙසූ ධර්‍මයක් තෝ දැන සිටිනෙහි ද? මෝඝ පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් අන්‍තරායකර ධර්‍මයෝ අන්‍තරායකරහ යි වදාරන ලද්දාහු නො වෙත් ද? සෙවුනාහට ඒ ධර්‍මයෝ අන්‍තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙත් ද? මා විසින් ‘කාමයෝ අල්පාස්වාදයහ. බොහෝ දුක් ඇත්තාහ බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි අදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලද නො වේ ද? මා විසින් ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා අත්තාහ’... ‘කාමයෝ මස්වැදැල්ලකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ ගිනිඅඟුරුවලකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ සිහිනයකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ පිරුළුවකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ රුක්පල බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ අසිපත හා මස්ලොඹුවකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ අඩයටි හුලකට බඳු උපමා ඇත්තාහ’ ... ‘කාමයෝ සප්හිසකට බඳු උපමා ඇත්තාහ’, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දැඩි ආයාස ඇත්තාහ. මෙහි ආදීනව ඉතා බොහෝය’යි වදාරන ලද්දාහ. වැලිදු, මෝඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දෘෂ්ටියෙන් අපට අභ්‍යාඛ්‍යානය කෙරෙහි. තෝ තමන් ගුණ කණිහි. බොහෝ අකුසල් ද රැස් කෙරෙහි. හිස් පුරුෂය, එය තට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතියි.
17. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? මේ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ තෙමේ මේ ශාසනයෙහි ඥාන නමැති උෂ්‍ණයෙන් උණුසුම් කරන ලද්දේ ද? “වහන්ස, ඒ කෙසේ වන්නේ ද, හංස, මේ නො වේ ම ය.” මෙසේ කීකල්හි ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ නිශ්ශබ්ද ව මකු ව නැමූ ගෙල ඇති ව යටිකුරු කළ මුව ඇති වැ කල්පනා කරමින් වැටහුම් රහිත වැ සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ මකු වූ නැමූ ගෙල ඇති යටිකුරු කළ මුහුණු ඇති කල්පනා කරමින් වැටහීම් රහිත ව හුන් ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහු දැන වදාරා ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණහුට “හිස් පුරුෂය, මේ ස්වකීය වූ ලාමක මිථ්‍යාදෘෂ්ටියෙන් තෝ ප්‍රකට වන්නෙහි ය. මෙහි ලා මම භික්‍ෂූන් විචාරන්නෙමි”යි වදාළසේක.
18. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: “මහණෙනි, මේ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ යම් සේ වරදවා ගත් මිථ්‍යාදෘෂ්ටියෙන් අපටත් අභ්‍යාඛ්‍යානය කෙරේ ද, තමන් ගුණ කණී ද, බොහෝ අකුසලුත් රැස් කෙරේ ද, මා විසින් දේසනා කළ ධර්‍මය එලෙසින් තෙපි දු දනිවු ද? “වහන්ස, මෙය නො වේ ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නොයෙක් ලෙසින් අන්තරායිකධර්‍ම අන්තරායිකධර්‍ම යයි වදාරන ලදහ. ඔහු සෙවුනාහට අන්තරාය පිණිස ද සමර්‍ත්‍ථයහ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ අල්ප ආස්වාද ඇත්තාහ. බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි වෙහෙස ඇත්තාහ. මෙහි අදීනව ඉතා බොහෝ ය’යි නොයෙක් ලෙසින් අපට වදාරන ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමයෝ ඇටසැකිල්ලක් වැනියහ ... කාමයෝ සර්‍පහිසක් වැනියහ, බොහෝ දුක් ඇත්තාහ. බොහෝ දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ.”
19. මහණෙනි, මැනවි. මා විසින් දෙසූ ධර්‍මය තෙපි දන්නහු ය. එය මැනවි. මහණෙනි, මා විසින් තොපට නොයෙක් ලෙසින් අන්තරායික ධර්‍මයෝ අන්තරායිකධර්‍ම යහ යි දෙසන ලදහ. ඔහු සෙවුනාහට අන්තරාය පිණිස පවතිත්. මා විසින් ‘කාමයෝ අල්පවූ ආස්වාද ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි වදාරන ලදහ. මා විසින් ‘කාමයෝ ඇටසැකිල්ලක් වැනියහ’ ... කාමයෝ සර්‍පහිසක් වැනියහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ දැඩි වෙහෙස ඇත්තාහ, මෙහි ආදීනව ඉතා බොහෝ ය’යි දෙසන ලදහ. එතෙකුදු වුවත් මේ ගද්‍ධබාධිපුබ්‍බ අරිට්ඨ මහණ තෙමේ තමා වරදවා ගත් මිථ්‍යාදෘෂ්ටියෙන් අපට ද අභ්‍යාඛ්‍යානය කරයි. තමන් ගුණ ද කණියි. බොහෝ අකුසල් ද රැස් කරයි. එය ඒ හිස් පුරුෂයාට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ය. මහණෙනි, හෙතෙමේ ඒකාන්තයෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන් ව කාමසංඥාවන්ගෙන් වෙන් ව ම කාමවිතර්‍කයන්ගෙන් වෙන්ව ම කාමයන් සේවනය කරන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ.
20. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම උගනිත්. ඔහු ඒ ධර්‍ම ඉගෙන ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය ප්‍රඥාවෙන් පරීක්‍ෂා නො කරත්. නුවණින් අදහස මෙනෙහි නො කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ මැනැවින් නො වැටහෙත්. ඔහු පරවාදයන්හි දොස් නැඟීම අනුසස් (ප්‍රයෝජන) කොට ඇත්තාහු, ‘මෙසේ වාදයෙන් මිදෙමු’ යි යන්න අනුසස් කොට ඇත්තාහු ධර්‍මය උගනිත්. යමක් සඳහා ධර්‍මය හදාරත් නම්, ඒ ප්‍රයෝජන ද නො ලබත්. ඔවුන්ට වරදවා ගත් ඒ ධර්‍මයෝ බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. එය කවරහෙයින යත්: මහණෙනි, දහම් වරදවා ගත් හෙයිනි.
21. මහණෙනි, සර්‍පයන්ගෙන් ප්‍රයෝජන ඇත්තා වූ සර්‍පයන් සොයන්නා වූ සර්‍පයන් සෙවීමෙහි යෙදුණා වූ පුරුෂයෙක් යම්සේ වෙයි ද - හෙතෙම මහත් සර්‍පයකු දන්නේ ය. ඒ සර්‍පයා ශරීරයෙහි හෝ නගුටෙහි හෝ අල්ලා ගන්නේ ය. ඒ සර්‍පයා ආපසු හැරී ඔහුගේ අත හෝ බාහුව හෝ අන් අඟපසඟක් හෝ දෂ්ට කරන්නේ ය. හෙතෙමේ ඒ හේතු කොට ගෙන මරණයට හෝ මරණ පමණ වූ දුකට හෝ පැමිණෙයි. ඒ කවරහෙයින යත්: මහණෙනි, සර්‍පයා වැරදි ලෙසින් අල්ලා ගත් හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම හදාරත්. ඔහු ඒ ධර්‍ම ප්‍රගුණ කොට ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නුවණින් පරීක්‍ෂා නො කරත්. නුවණින් අර්‍ත්‍ථය පරීක්‍ෂා නො කරන ඔවුන්ට ධර්‍මයෝ මැනවින් නො වැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැගීම අනුසස් කොට ඇත්තාහු ද ‘මෙසේ වාදයෙන් මිදෙමු’යි යන්න ප්‍රයෝජන කොට ඇත්තාහු ද ධර්‍මය උගනිත්. යමක් සඳහා ධර්‍මය උගනිත් නම්, ඒ අර්‍ත්‍ථය ද නො ලබත්. වරදවා ගත් ඒ ධර්‍මයෝ ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. ඒ කවරහෙයින යත්: මහණෙනි, ධර්‍මය වරදවා උගත් බැවිනි.
22. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍ර කෙනෙක් සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම හදාරත්. ඔහු ඒ ධර්‍ම ඉගෙන ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නුවණින් පරීක්‍ෂා කරත්, නුවණින් අර්‍ත්‍ථ පරීක්‍ෂා කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ වැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැංවීම අනුසස් කොට ඇත්තාහු ද ධර්‍මය නො උගනිත් . ‘මෙසේ වාදයෙන් මිදෙමු’යි යන්න අනුසස් කොට ඇත්තාහු ද ධර්‍මය නො උගනිත්. යමක් සඳහා උගනිත් නම් ඒ ධර්‍මයාගේ ඒ ඵලය ද ලබත්. ඔවුන් විසින් මැනවින් උගත් ඒ ධර්‍මයෝ ඔවුන්ට දිගුකලක් හිත පිණිස සුව පිණිස පවතිත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, ධර්‍මයන් මැනවින් උගත් බැවිනි.
23. මහණෙනි, සර්‍පයන්ගෙන් ප්‍රයෝජන කැමැත්තාවූ සර්‍පයන් සොයන්නා වූ සර්‍පයන් සෙවීමෙහි හැසිරෙන්නාවූ පුරුෂයෙක් යම්සේ වේ ද හෙතෙමේ මහත් සර්‍පයකු දකියි. ඒ මේ සර්‍පයා එළුකුරයක් වන දණ්ඩකින් මැනවින් දැඩිව අල්ලා ගන්නේ ය. එළුකුරදණ්ඩෙන් මැනවින් දැඩි ව අල්ලා ගෙන මැනවින් ගෙල අල්ලා ගන්නේ ය. ඒ සර්‍පයා ඒ පුරුෂයාගේ අත හෝ බාහුව හෝ එක්තරා අඟපසඟක් හෝ දරණයෙන් වෙළා ගන්නේ ය. එසේ වුවත් ඒ හේතු කොට ගෙන් හෙතෙම මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ නො පැමිණෙන්නේය. ඒ කවරහෙයින යත්: මහණෙනි, සර්‍පයා මැනවින් අල්ලා ගත් බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෝ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍මයන් හදාරත්. ඔහු ඒ ධර්‍ම හදාරා ඒ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය නුවණින් පිරික්සත්. නුවණින් පරීක්‍ෂා කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ වැටහෙත්. ඔහු පරවාදයෙහි දොස් නැගීම අනුසස් කොට ඇත්තාහු ධර්‍මය නො උගනිත් . ‘මෙසේ වාදයෙන් මිදෙමු’යි යන්න අනුසස් කොට ඇත්තාහු ඒ ධර්‍මය නො උගනිත්. යමක් පිණිස ධර්‍මය උගනිත් නම් ඒ ප්‍රයෝජන ද ලබත්. ඔවුන් විසින් මැනවින් උගත් ඒ ධර්‍මයෝ ඔවුන්ට දිගුකලක් හිත පිණිස පවතිත්. ඒ කවරහෙයින යත්: මහණෙනි, දහම් මැනවින් උගත් බැවිනි. මහණෙනි, එහෙයින් මෙහි මා විසින් දේශනා කළ යම් ධර්‍මයක්හුගේ අර්‍ත්‍ථය දන්නහු නම්, එය එසේ දරවු. මා දේශනා කළ යම් ධර්‍මයක්හුගේ අර්‍ත්‍ථය නො දන්නහු නම්, එහි දී මම හෝ පිළිවිසිය යුත්තෙමි. යම් ව්‍යක්ත භික්‍ෂූහු වෙත් ද, ඔහු හෝ පිළිවිසිය යුත්තාහු ය.
24. මහණෙනි, තොපට මම පසුර උපමා කොට ඇති දහම් දෙසන්නෙමි. එය එතෙර වීම පිණිස ය. ගැනීම පිණිස නො වේ. එය අසවු. මැනැවින් මෙනෙහි කරවූ. දෙසන්නෙමි යි වදාළසේක. ‘භාග්‍යවතුන් වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
25. මහණෙනි, අදන්මගට පිළිපන් පුරිස්තෙමේ යම් සේ වේ ද, හෙතෙමේ සැක සහිත වූ බිය සහිතවූ මෙතෙර ඇති, සැක රහිත බිය රහිත එතෙර ඇති, මහත් වූ ජලසකන්‍ධයක් දක්නේ ය. ඔහුට මෙතෙරින් එතෙර යාමට තරණ නැවක් හෝ මත්තෙහි බැඳි හෙයක් හෝ නො වන්නේ ය. ඔහුට මෙවැනි අදහසෙක් වන්නේ ය: “මේ මහාජලසකන්‍ධයෙකි. මෙගොඩ සැක සහිත ය. බිය සහිත ය. පරතෙර උවදුරු රහිත ය. ප්‍රතිභය රහිත ය. මෙතෙරින් එතෙර යාම සඳහා තරණ නැවක් හෝ මත්තෙහි බැඳි හෙයක් හෝ නැත. මම තණ, ලීදඬු, අතුකොළ කඩා එකතු කොට පසුරක් බැඳ ඒ පසුර නිසා අතින් හා පයින් උත්සාහ කරමින් සුව සේ එතෙර වන්නෙම් නම් මැනැව” කියා යි.
26. ඉක්බිති මහණෙනි, ඒ පුරුෂ තෙම තණ, දඬු, අතුකොළ කඩා රැස් කොට පසුරක් බැඳ ඒ පසුර නිසා අතින් හා පයින් වෑයම් කරමින් සුවසේ එතෙර යන්නේ ය. එතෙර වූ පරතෙරට ගිය ඒ පුරුෂයාට - ‘මට මේ පසුර බොහෝ උපකාරී වී ය. මම මේ පසුර හිස තබා ගෙන හෝ කර තබා ගෙන හෝ කැමැති මගකින් යන්නෙම් නම් මැනැවැ’යි මෙබඳු අදහසෙක් වන්නේ නම්, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, මෙසේ කරන්නා වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළයුතු දෑ කරන්නෙක් වන්නේ ද? ‘වහන්ස, මේ නො වේ ම ය’.
27. මහණෙනි, කෙසේ කරනසුලු ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළ යුතු දෑ කරන්නෙක් වන්නේ ද? මහණෙනි, මෙහි එතෙර වූ පරතෙරට පැමිණි ඒ පුරුෂයාහට මෙවැනි අදහසෙක් වන්නේ ය: ‘මට මේ පසුර බොහෝ උපකාර ඇත්තේ විය. මම මේ පැසුර නිසා අතින් ද පයින් ද වෑයම් කරමින් සුවසේ එතෙර වූයෙමි. මම මේ පසුර ගොඩට පමුණුවා හෝ දියෙහි පා කොට යවා හෝ කැමැති මගකින් යන්නෙම් නම්, මැනැවැ’යි. මහණෙනි, මෙසේ කරන සුලු වූ ඒ පුරුෂ තෙමේ ඒ පසුරෙහි කළ යුතු දෑ කරන්නෙක් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් මැ මා විසින් පසුර උපමා කොට ඇති ධර්‍මය දේශනා කරන ලදී. එය සසරින් එතෙර වීම පිණිස ය. ගැනුම පිණිස නො වේ. මහණෙනි, පසුර උපමා කොට තොපට දෙසන ලද ධර්‍මය දන්නා වූ තොප විසින් (ශමථවිදර්‍ශනා) ධර්‍ම යෝ ද හළ යුත්තාහ. අධර්‍මයෝ කැලමැ යි.
28. මහණෙනි, මේ දෘෂ්ටිස්ථාන (දෘෂ්ටි අරමුණු) සයෙකි. කවර සයෙක යත්: මහණෙනි, මේ ලෝකයෙහි ආර්‍ය්‍යන් නො දක්නාවූ ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණා වූ, සත්පුරුෂයන් නො දක්නා වූ සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණා වූ නූගත් පෘථග්ජන තෙමේ -
‘මේ මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි රූපය තණ්හා මාන දිට්‍ඨි වසයෙන් දකී. ‘මේ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි වේදනාව තෘෂ්ණා මාන දෘෂ්ටිවශයෙන් දකී. ‘මේ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි සංඥාව තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් දකියි. ‘මෙ මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි සංස්කාරයන් තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් දකියි. යම් මේ රූපායතනයක් වේ ද, ශබ්දායතනයකුත් වේ ද, මුත වූ ගන්‍ධ රස ඵොට්‍ඨබ්බායතනයෝත් වෙත් ද, විඤ්ඤාත වූ සෙසු සප්තායතනයෝත් වෙත් ද, පැමිණෙන ලද සොයන ලද සිතින් අනුගමනය කරන ලද (විඤ්ඤාණාරමමණයෙහි වූ) තණ්හා මාන දිට්ඨිහු වෙත් ද, එය ද ‘මෙය මාගේ ය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්ම ය’යි සලකයි. ‘ලෝකය ඒ ය, ආත්මය ඒ ය, ඒ මම පරලොව ගොස් එහි නිත්‍ය, ධ්‍රැව, ශාශ්වත, අවිපරිණාම ස්වභාව ඇත්තෙම් වන්නෙමි. ශාශ්වත ය (මහාමේරු ආදිය) සේ ම සිටින්නෙමි’යි යම් මේ දෘෂ්ටිස්ථානයකුත් වේ ද, එයත් ‘මෙය මාගේ ය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්ම ය’යි දකියි.
29. මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු වූ, ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි හික්මුණා වූ, සත්පුරුෂයන් දක්නාසුලු වූ, සත්පුරුෂ ධර්‍මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි හික්මුණා වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ -
‘මෙය මාගේ නො වේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්ම නො වේ ය’යි රූපය දකියි. ‘මෙය මාගේ නො වේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්ම නො වේ ය’යි වේදනාව දකියි. ‘මෙය මාගේ නො වේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්ම නො වේ ය’යි සංඥාව දකියි ‘මෙය මාගේ නො වේ. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්ම නො වේ ය’යි සංස්කාරයන් දකියි. යම් මේ රූපායතනයක් වේ ද, ශබ්දායතනයකුත් වේ ද, මුත වූ ගන්‍ධ රස ඵොට්‍ඨබ්බායතනයෝත් වෙත් ද, සෙසු සප්තායතනයෝත් වෙත් ද, සිතින් පැමිණෙන ලද සොයන ලද අනුගමනය කරන ලද තෘෂ්ණාමාන දෘෂ්ටිහු වෙත් ද, එය ද ‘මාගේ නො වේ. එය මම නො වෙමි. එය මාගේ ආත්ම නො වේ ය’යි දකියි. ලෝකය ඒ ය, ආත්මය ඒ ය, ඒ මම පරලොව ගොස් එහි නිත්‍ය, ධ්‍රැව, ශාශ්වත, අවිපරිණාම (නො පෙරළෙන) ස්වභාව ඇත්තෙම් වන්නෙමි. ශාශ්වතයක් සෙයින්ම සිටින්නෙමි’යි යම් මේ දෘෂ්ටිස්ථානයකුත් වේ ද, ඒ දෘෂ්ටියත් ‘මෙය මාගේ නොවෙයි මේ මම නොවෙමි මෙය මාගේ ආත්ම නො වේය’යි දකියි. හෙතෙමේ මෙසේ නුවණින් දක්නේ (පරමාර්‍ත්‍ථ වශයෙන්) රූපාදිය නැති (අවිද්‍යාමාන ය යි පෙනෙන) කල්හි තැති නො ගණි යි.
30. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, බැහැරි දේ නැති කල්හි තැති ගැන්මක් වේ ද?” ‘මහණ, වන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක “මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුන්ට ‘මට ධනලාභයක් වීය. දැන් එය මට නැත. මට (ලැබියයුතු) (යම් ධනයක්) වන්නේ නම්, එය මම නො ලබමි යි මෙබඳු අදහසෙක් වෙයි. හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි වැලපෙයි. ළය අත්පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. මහණ, මෙසේ බැහැරි දෙ නැති කල්හි තැති ගැන්ම වේ ය”යි වදාළ සේක.
31. “වහන්ස, බැහැරි දේ නැති කල්හි තැති ගැන්මක් නො වන්නේ ද?” ‘මහණ, වන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක: “මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුන්ට ‘මට (රන් රුවන් ආදී ධනයක්) වීය. එය මට නැත. මට (ලැබියයුතු ධනයක්) වන්නේ නම්, එය මම නො ලබමි යි මෙබඳු අදහසෙක් නො වේ. හෙතෙම ශෝක නො කෙරෙයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි. ළය අත් පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණ, මෙසේ බැහැරි දේ නැති කල්හි තැති ගැන්ම නො වේ ය”යි වදාළ සේක.
32. “වහන්ස, තමා පිළිබඳ දේ නැති කල්හි තැති ගැන්මක් වන්නේ ද?” ‘මහණ, වන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක:
“මහණ, මේ ලෝකයෙහි ඇතැම් එකකුට ‘ලෝකය ඒ ය, ආත්මය ඒ ය, ඒ මම පරලොව ගොස් නිත්‍ය වන්නෙමි. ස්ථිර වන්නෙමි. සදාකාලික වන්නෙමි. නො පෙරළෙන ස්වභාව ඇත්තෙම් වන්නෙමි. ශාශ්වතයක් මෙන් එසේම සිටින්නෙමි’යි මෙබඳු දෘෂ්ටිය වේ ද, හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටන තැන්, දෘෂ්ටි නැගී සිටීම්, දෘෂ්ටීන්ට බැස ගැනීම්, දෘෂ්ටින් සිතෙහි ලැග පැවැතුම් යන මොවුන් මුල් සුන් කිරීමට ද, සියලු සංස්කාරයන් සංසිඳවීම පිණිස ද, සියලු උපධීන් බැහැර කිරීම පිණිස ද, තෘෂ්ණා ක්‍ෂය කිරීම පිණිස ද, නො ඇලීම පිණිස ද, නිරෝධය පිණිස ද, නිර්‍වාණය පිණිස ද, දහම් දෙසන තථාගතයන් වහන්සේ ගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ දේශනාව අසයි. ඔහුට මෙවැනි අදහසෙක් වෙයි: ‘අනුත්පත්ති වශයෙන් සිඳී යන්නෙම් ල. වැනසී යන්නෙම් ල. උත්පත්ති වශයෙන් නො වන්නෙම් ලයි’ හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළය ඇත පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. මහණ, මෙසේ තමා පිළිබඳ වූවක් නැති කල්හි තැති ගැන්ම වෙයි”
33. “වහන්ස, අධ්‍යාත්මික ස්කන්‍ධ නැති කල්හි නො තැති ගැන්ම වන්නේ ද? ‘මහණ, වන්නේ ය’යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. මහණ මේ ලෝකයෙහි ඇතැම් එකකුට මෙවැනි දෘෂ්ටියෙක් නො වෙයි: ලෝකය ඒ ය. ආත්මය ඒ ය. ඒ මම පරලොව ගොස් නිත්‍ය වන්නෙමි. ස්ථිර වන්නෙමි. සදාකාලික වන්නෙමි. නොපෙරළෙන ස්වභාව ඇත්තෙම් වන්නෙමි. හැමදා පවතින දෙයක් මෙන් සිටින්නෙමි’යි මෙබඳු දෘෂ්ටිය නො වේ ද, හෙතෙම සියලු දෘෂ්ටි, දෘෂ්ටි හේතු, දෘෂ්ටි පිහිටන තැන්, දෘෂ්ටි නැගීම්, දෘෂ්ටින්ට බැස ගැනීම්, දෘෂ්ටිය සිතෙහි ලැග ගැනීම් යන් මොවුන් මුලුසුන් කිරීම පිණිස ද, සියලු සංස්කාරයන් සංසිඳවීම් පිණිස ද සියලු උපධීන් බැහැර කිරීම පිණිස ද, තෘෂ්ණාක්‍ෂය කිරීම් පිණිස ද, නො ඇලීම පිණිස ද, නිරෝධය පිණිස ද, නිර්‍වාණය පිණිස ද,දහම් දෙසන තථාගතයන් වහන්සේගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ දේශනාව අසයි. ඔහුට මෙ වැනි අදහසෙක් නො වේ: ‘අනුත්පත්ති වශයෙන් සිඳී යන්නෙම් ල. වැනසී යන්නෙම් ල. උත්පත්ති වශයෙන් නො වන්නෙම් ල කියා යි. හෙතෙම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි. ළය ඇත පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි. මහණ, මෙසේ ආධ්‍යාත්මික ස්කන්‍ධය නැති කල්හි නො තැති ගැන්ම වේ.
34. “මහණෙනි, නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම වූ පරිග්‍රහයක් (තමා අයත් යම් බැහැරි පිරිකරක්) වන්නේ ද, ශාශ්වත වස්තූන් සම ව එසේ ම (එය) සිටින්නේ නම්, ඒ බැහැරි දෙය පිළිගනිවු. මහණෙනි, තෙපි නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමධර්‍ම වූ තමා අයත් යම් බැහැරි දෙයක් ශාශ්වත වස්තූන් සම ව එසේ ම එය සිටින්නේ නම්, ඒ බැහැරි දෙය මහණෙනි, තෙපි දක්නහු ද? ‘වහන්ස, එය නො වේ ම ය.’ මහණෙනි, මැනවි. මහණෙනි, යම් පරිග්‍රහයෙක් නිත්‍ය ද ධ්‍රැව ද සදාකාලික ද අවිපරිණාමධර්‍ම ද ශාශ්වත දෙයක් මෙන් එසේ ම සිටින්නේ ද එබඳු පරිග්‍රහයක් මම ද නො දකිමි.
35. මහණෙනි, යම් ආත්මවාදෝපාදානයක් උපාදාන කරන්නා වූ (දැඩි කොට ගන්නා වූ) ඔහුට ශෝකය, වැලපීම, කායිකචෛතසික දුක, දැඩි වෙහෙස යන මොහු නූපදින්නාහු නම්, ඒ ආත්මවාදෝපාදානය උපාදාන කරවු. මහණෙනි, තෙපි යම් ආත්මවාදෝපාදානයක් උපාදාන කරන්නා වූ ඔහුට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසයෝ නූපදින්නාහු නම් ‘එබඳු ආත්මවාදෝපාදානයක් දනිවු ද? ‘වහන්ස, එය නො වේ ම ය. මහණෙනි, මැනවි, මහණෙනි, යම් ආත්මවාදෝපාදානයක් උපාදාන කරන්නා වූ ඔහුට ශෝකය වැලපීම දුක දොම්නස දැඩි වෙහෙස යන මොහු නූපදින්නාහු නම්, මහණෙනි, එබඳු ආත්මවාදෝපාදානයක් මම ද නො දකිමි.
36. මහණෙනි, යම් දෘෂ්ටිනිඃශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට ශෝකය වැලපීම දුක දොම්නස දැඩි වෙහෙස යන මොහු නූපදින්නාහු නම්, එබඳු දෘෂ්ටිනිඃශ්‍රයයක් ඇසුරු කරවූ. මහණෙනි, යම් දෘෂ්ටිනිඃශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසයෝ නූපදින්නාහු නම්, එබඳු දෘෂ්ටිනිඃශ්‍රයයක් දකිවු ද? ‘වහන්ස, එය නො වේ ම ය.’ මහණෙනි, මැනවි, මහණෙනි, යම් දෘෂ්ටිනිඃශ්‍රයයක් ඇසුරු කරන්නා වූ ඔහුට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසයෝ නූපදින්නාහු නම්, මමත් එබඳු දෘෂ්ටිනිඃශ්‍රයයක් නො දකිමි.
37. මහණෙනි, ආත්මය (මම) ඇතිකල්හි අත්තනිය (මට අයත් දෙය) මාගේ ය’යි යන අදහස වන්නේ ද? ‘වහන්ස, එසේ ය.’ මහණෙනි, අත්තනිය ඇතිකල්හි ‘ආත්මය මාගේ’යි යන අදහස වන්නේ ද? ‘වහන්ස, එසේ ය.’ මහණෙනි, ආත්මය ද ආත්මය පිළිබඳ දෙයක් ද සත්‍යවශයෙන් සථිරවශයෙන් නො ලැබෙන කල්හි ‘ඒ ලෝකය, ඒ ආත්මය ය යි. ඒ මම පරලොව ගොස් නිච්ච ධුව සස්‍සත අවිපරිණාම ධම්ම වන්නෙමි. ශාශ්වත වස්තූන් වැනි ව එසේ මැ සිටින්නෙමි’යි යම් ඒ දෘෂ්ටිකාරණයෙක් වේ ද, මහණෙනි, මෙය හුදු පිරිපුන් බාල(අඥ) ධර්‍මයක් නො වේ ද? ‘වහන්ස, කිම නො වන්නේ ද, හුදු පිරිපුන් බාලධර්‍මයක් වේ මය’.
38. මහණෙනි, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය ද, එය දුක් හෝ සැප හෝ වේ ද? ‘වහන්ස, දුක ය.’ යමක් අනිත්‍ය ද, දුක් ද, පෙරළෙන ස්වභාව අත්තේ ද, ‘මෙය මගේ ය. මෙය මම වෙමි. මේ මාගේ ආත්ම ය’යි දැක්මට සුදුසු ද? ‘වහන්ස, එය සුදුසු නො වේ ම ය.’
39. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ යමක් අනිත්‍ය නම්, එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වනසුලු නම්, ‘මේ මාගේ ය. මෙය මම වෙමි. මේ මාගේ ආත්ම ය’යි එය එසේ දක්නට සුදුසු ද? ‘වහන්ස, ඒ නො වේ ම ය.’
40. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, සංඥාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය යි.’ යමක් අනිත්‍ය නම්, එය දුක් ද සැප ද? ‘වහන්ස, එය දුක් ය.’ යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වනසුලු නම්, ‘එය මාගේ ය. එය මම වෙමි. එය මාගේ ආත්ම ය’යි එය එසේ දක්නට සුදුසු ද? ‘වහන්ස, ඒ නො වේ ම ය.’
41. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, සංස්කාරයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය යි.’ යමක් අනිත්‍ය නම්, එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස් වනසුලු නම්, ‘එය මාගේ ය. ඒ මම වෙමි. එය මාගේ ආත්ම ය’යි එය එසේ දක්නට සුදුසු ද? ‘වහන්ස, ඒ නො වේ ම ය.’
42. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, විඤ්ඤාණය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය යි.’ යමක් අනිත්‍ය නම්, එය දුක් ද සැප ද? ‘වහන්ස, දුක් ය.’ යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වනසුලු නම්, ‘එය මාගේ ය. ඒ මම වෙමි. එය මාගේ ආත්ම ය’යි එය එසේ දක්නට සුදුසු ද? ‘වහන්ස, ඒ නො වේ ම ය.’
43. මහණෙනි, එහෙයින් මෙහි අතීත වූ ද වර්‍තමාන වූ ද, ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද, ඖදාරික වූ ද සූක්‍ෂම වූ ද, හීන වූ ද ප්‍රණීත වූ ද, යම් කිසි රූපයක් වේ ද, දුර වූ ද සමීප වූ ද යම් රූපයකුත් වේ ද, ඒ සියලු රූපය ‘මෙය මාගේ නො වෙයි. මෙය මම නො වෙමි. මෙය මාගේ ආත්මය නො වෙයි’ මෙසේ එය තත් වූ පරිදි මනා නුවණින් දතයුතු ය. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාරයෝ ... අතීත වූත් අනාගත වූත් වර්‍තමාන වූත් ආධ්‍යාත්මික වූත් බාහිර වූත් සූක්‍ෂම වූත් හීන වූත් ප්‍රණීත වූත් යම් කිසි විඥානයක් වේ ද, දුර වූත් ළඟ වූත් යම් විඥානයකුත් වේ ද, ඒ සියලු විඥානය ‘මේ මාගේ නො වෙයි. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේ ය’යි මෙසේ එය තත් වූ පරිදි මනා නුවණින් දැක්ක යුතු ය.
44. මහණෙනි, මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපයෙහි කලකිරෙයි ... විඤ්ඤාණයෙහි කලකිරෙයි. කළකිරුනේ නො ඇලෙයි. නො ඇලීමෙන් කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ ය යන දැනීම වෙයි. ‘ජාතිය ක්‍ෂීණ වූයේ වෙයි. බඹසර වැස නිමවන ලදි. සිවුමගින් කළ යුත්ත කරන ලදි. අර්‍හත්ත්‍වය සඳහා අනෙකක් නැතැ’යි දැන ගනි යි. මහණෙනි, මේ මහණ තෙමේ ඉගුළූ අවිද්‍යා නැමැති හිදි අගුළු ඇත්තෙකැ යි ද, විසුරුවන ලද කර්‍මාභිසංස්කාර නමැති පරිඛා ඇත්තෙකැ යි ද, උපුළ තෘෂ්ණා නැමැති ඉන්‍ද්‍රකීලය ඇත්තෙකැ යි ද, බිඳලූ ඕරම්භාගිය සංයෝජන නමැති අගුල් ඇත්තෙකැ යි ද, ආර්‍ය්‍යයෙකැ යි ද, හෙළූ මානධ්වජ ඇත්තෙකැ යි ද, බහා තැබූ සකන්‍ධභාරාදිය ඇත්තෙකැ යි ද, කෙලෙසුන්ගෙන් වෙන් වූවෙකැ යි ද කියනු ලැබේ.
45. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් උක්ඛිත්තපළිඝ (උපුළ හිදි අගුළු ඇත්තේ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වූවා ද, සුන් වූ මුල් ඇත්තී ද, මුදුන් සුං තලක් මෙන් කරන ලද ද, නො වැඩීමට පමුණුවන ලද්දී ද, මත්තෙහි නූපදින ස්වභාව ඇත්තී ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ උක්ඛිත්තපළිඝ වේ.
46. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සංකිණ්ණපරිඛ (විසුරුවන ලද දිය අගල ඇත්තේ) වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ පුනර්‍භවය දෙන්නා වූ ජාති සංසාරය ප්‍රහීණ වූයේ ද, සුන් කළ මුල් ඇත්තේ ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දේ ද, නොවැඩීමට පමුණුවන ලද්දේ ද, මතු නූපදින ස්වභාව ඇත්තේ ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ සංකිණ්ණපරිඛ වේ.
47. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් අබ්බුළෙහසික (උපුළ ඉන්‍ද්‍රකීලය ඇත්තේ) වේ ද, මහණෙනි, මෙහි මහණහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වූවා ද, සිඳුණු මුල් ඇත්තී ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දී ද, නැවත නොවැඩීම කරන ලද්දී ද, මත්තෙහි නූපදින ස්වභාවය ඇත්තී ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ අබ්බුළෙහසික වේ.
48. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ නිරග්ගල (බුන් දොරගුළු ඇත්තේ) වේ ද? මහණෙනි, මෙහි මහණහුගේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු වෙත් ද, සිඳුණු මුල් ඇත්තාහු හිස් සුන් තලක් මෙන් කරන ලද්දාහු ද, නො වැඩීමට පමුණුවන ලද්දාහු ද, මතු නූපදින ස්වභාව ඇත්තාහු ද, මහණෙනි, මහණ තෙමේ මෙසේ නිරග්ගළ වේ.
49. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් හෙළූ මානධ්වජ ඇති බහා තැබූ ස්කන්‍ධභාර ඇති කෙලෙසුන්ගෙන් වෙන් වූ ආර්‍ය්‍යයෙක් වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ වේ ද, සිඳුනු මුල් ඇත්තේ වේ ද, හිස් සුන් තලක් මෙන් කරන ලද්දේ ද, නොවැඩීමට පමුණුවන ලද්දේ ද, නූපදින ස්වභාවය ඇත්තේ ද, මහණෙනි, මහණ තෙමේ මෙසේ පතිත වූ මානධ්වජ ඇති බහා තැබූ ස්කන්‍ධභාර ඇති කෙලෙසුන්ගෙන් වෙන් වූ ආර්‍ය්‍යයෙක් වෙයි.
50. මහණෙනි, මෙසේ මිදුණු සිත් ඇති මහණහු ශක්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපතී සහිත දෙවියෝ සොයන්නාහු නමුත් ‘තථාගතයාගේ නොහොත් රහතුන් වහන්සේගේ විඥානය මේ අරමුණ ඇසුරු කොට පවතී ය’යි දැන නො ගනිත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, මම මේ ආත්මයේ දී ම (ධරමාන) තථාගතයා (ක්‍ෂීණාස්‍රවයා) (සත්ත්‍ව ප්‍රඥප්තීන්) අනනුවේද යැ යි - අසංවිද්‍යාමාන යයි (නොහොත් ඔහුගේ අප්‍රතිසන්‍ධික විඥානය නො ලැබිය හැකි යැ යි - දත හැකි නොවේ යයි) කියමි.
51. මහණෙනි, මෙබඳු වාද ඇති මෙසේ කියනසුලු මට “ශ්‍රමණ ගෞතම තෙමේ සත්ත්‍ව විනාශය කරන්නෙකි. ඇත්තාවූ සත්ත්‍වයාගේ සිඳීම වැනැසීමැ හට නො ගැන්ම පනවන්නේ යැ”යි ඇතැම් මහණ බමුණෝ අසත්‍ය වූ හිස් වූ බොරුවෙන්, නො වූයෙන් දොස් කියත්. මහණෙනි, මම යම්සේ විනාශකයෙකිම් නො වෙම් ද, මම යම් පරිද්දෙකින් හෝ සත්ත්‍වවිනාශයක් නොපණවම් ද, එසේ වූ මට ඒ භවත් මහණ බමුණෝ “ශ්‍රමණ ගෞතම තෙමේ සත්ත්‍ව විනාශය කරන්නෙකි. ඇත්තාවූ සත්ත්‍වයාගේ සිඳීම වැනැසීම හට නො ගැන්ම පනවා”යි අසත්‍යයෙන්, හිස් දෙයින්, බොරුවෙන්, අභූතයෙන් දෝෂාරෝපණය කෙරෙත්.
52. මහණෙනි, මම පෙර (බෝමැඩදී) ද දැනුදු (සිව්සස් පැවැසීමෙහි ද) දුකත් දුක්ඛනිරෝධයත් පනවමි. මහණෙනි, මෙහිලා අන්‍යයෝ තථාගතයනට නින්‍දා කරත් ද, රොස් බස් කියත් ද, වෙහෙසත් ද, ගටා බෙණෙත් ද, මහණෙනි, එහි තථාගතයන්ගේ වෛරයක් නැත. නො සතුටෙක් නැත. සිතේ දොම්නසෙක් නැත. මහණෙනි, එහි ලා අන්‍යයෝ තථාගතයනට සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පුදත් ද, මහණෙනි, එහි තථාගතයන්ට සතුටෙක් නො වෙයි. සොම්නසෙක් නො වෙයි. සිතෙහි ඉල්පෙන ප්‍රීතියෙක් නො වෙයි. මහණෙනි, එහි අන්‍යයෝ තථාගතයන්ට සත්කාර කෙරෙත් ද, ගරු කෙරෙත් ද, බුහුමන් කෙරෙත් ද, පුදත් ද, මහණෙනි, එහි ලා තථාගතයන්ට “යම් මේ පඤ්චස්කන්‍ධයක් බෝමැඩදී පිරිසිඳ දැන ගන්නා ලද්දේ ද, ඒ පඤ්චස්කන්‍ධයට මෙබඳු වූ සත්කාරයෝ කරනු ලැබෙත් යැ”යි මෙපමණක් ම අදහස් වෙයි.
53. මහණෙනි, එහෙයින් මෙහි අන්‍යයෝ තොපට ද ආක්‍රෝශ කරන්නාහු නම්, පරිභව කරන්නාහු නම්, රොස් උපදවන්නාහු නම්, වෙහෙසන්නාහු නම්, හටගන්නාහු නම්, ඒ කාරණයෙහි තොප විසින් කෝප නො කළ යුතු ය. දොම්නස් නො කළ යුතු ය. සිතෙහි අසතුටක් ඇති කර නො ගත යුතු ය. මහණෙනි, එහෙයින් මෙහි තොපට අන්‍යයෝ සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, මහණෙනි, ඒ කරුණෙහි තොප විසිනුත් සතුටක් නො කට යුතු යි. සොම්නසක් නො කට යුතු යි. සිතෙහි උපුල්වන ප්‍රීතියෙක් නො කට යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි තොපට ද අන්‍යයෝ සත්කාර කෙරෙත් නම්, ගරු කෙරෙත් නම්, බුහුමන් කෙරෙත් නම්, පුදත් නම්, මහණෙනි, එ කරුණෙහි ලා “යම් මේ පඤ්චස්කන්‍ධයක් පෙර පිරිසිඳ දන්නා ලද්දේ ද, ඒ පඤ්චස්කන්‍ධයට මෙවැනි සත්කාරයෝ කරනු ලැබෙත් යැ”යි තොපට ද මේ අදහස වන්නේ ය.
54. මහණෙනි, එහෙයින් මෙහි යමක් තොපගේ නො වේ නම් එය බැහැර කරවු. එය ප්‍රහීණ කරණ ලද්දේ තොපට බොහෝ කාලයක් හිත පිණිස වන්නේය. සුව පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද? මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එහි ඇල් ම දුරු කරවු. එය දුරු කරන ලද්දේ, තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය මහණෙනි, වේදනාව තොපගේ නො වෙයි. එහි ඇල්ම දුරු කරවූ එය දුරු කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, සංඥාව තොපගේ නො වෙයි. එහි ඇල්ම දුරු කරවූ එය දුරු කරන ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නො වෙත්. ඔවුන් කෙරෙහි ඇල්ම දුරු කරවූ.
ඔහු දුරු කරන ලද්දෝ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නාහු ය. මහණෙනි, විඥානය තොපගේ නො වෙයි. එහි ඇල්ම දුරු කරවූ එහි ඇල්ම දුරු කරණ ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.
55. මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? මේ ජේතවනයෙහි යම් තෘණ කාෂ්ට ශාඛා පලාශ වේ ද, එය ජන තෙමේ ගෙන යන්නේ හෝ දවන්නේ හෝ කැමැති සේ හෝ කරන්නේ නම්, “ජනතෙමේ අප හැර ගෙන යන්නේ වෙයි. අප දවන්නේ හෝ වෙයි. තමන් කැමැති සේ කරන්නේ හෝ වේ”යි තොපට මෙබඳු අදහසක් වන්නේ ද? “වහන්ස, එය නො වන්නේ ය.” එයට හේතු කිම? “වහන්ස, මේ (තෘණාදිය) අපගේ ආත්මය හෝ තමාට අයත් දෙ නො වෙයි.” මහණෙනි, එ පරිද්දෙන් ම යමක් තොපගේ නොවේ නම් එය දුරු කරවූ. එය ප්‍රහීණ කරණ ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද? මහණෙනි, රූපය තොපගේ නො වෙයි. එය දුරු කරවු. එය ප්‍රහීණ කරණ ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස පවත්නේ ය. මහණෙනි වේදනාව ... මහණෙනි, සංඥාව ... මහණෙනි, සංස්කාරයෝ ... මහණෙනි, විඥානය තොපගේ නො වෙයි. එය ප්‍රහීණ කරවු. එය ප්‍රහීණ කරණ ලද්දේ තොපට දිගු කලක් හිත පිණිස සැප පිණිස වන්නේ ය.
56. මහණෙනි, මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී. විවෘත කරණ ලදී. පවසන ලදී. සිඳහළ (කිලිටි නමැති) මහළුපිළී ඇති (නොහොත් අලුත් සළු හැඳියකු වැනි) කරණ ලදී. මහණෙනි, මා විසින් මෙසේ මොනවට දෙසූ ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, සිඳ හළ කසළ ඇති, මේ ධර්‍මයෙහි රහත් වූ ක්‍ෂීණ වූ ආස්‍රව ඇති, වැස නිමැ වූ බඹසර ඇති, සිවුමගින් කළ කිස ඇති, බහා තැබූ කෙලෙස්බර ඇති, පැමිණ ස්වාර්‍ත්‍ථ (රහත්බව) ඇති, සර්‍වප්‍රකාරයෙන් ක්‍ෂීණ කළ භවසංයෝජන ඇති, මොනවට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුණු යම් මහණ කෙනෙක් වෙත් ද, ඔවුනට ඇතැ යි දක්වන්නට සසරවටෙක් නැත.
57. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. පැහැදිලි කරණ ලදී. විවෘත කරණ ලදී. පවසන ලදී. සිඳ හළ කසළ නමැති මහළුපිළී ඇත්‍තක් කරණ ලදී. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දෙසූ, ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, සිඳ හළ කඩමාලු ඇති, ධර්‍මයෙහි (සස්නෙහි) යම් මහණ කෙනකුන්ගේ ඕරම්භාගිය සංයෝජන පස ප්‍රහීණ ද, ඒ සියල්ලෝ මරණින් මතු ඕපපාතික වූවෝ, ඒ ශුද්ධාවාස බඹලොව්හි දී පිරිනිවෙන්නාහු එයින් පෙරළා මෙහි නොඑන ස්වභාවය ඇත්තෝ වෙත්.
58. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. පැහැදිලි කරණ ලදී. විවෘත කරණ ලදී. පවසන ලදී. සිඳ හළ කිලිටි කඩමාලු ඇති කරණ ලදී. මහණෙනි, මෙසේ මා විසින් මොනොවට දෙසූ ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, පිරිසිදු කළ දහම්හි (සස්නෙහි) යම් මහණ කෙනකුන්ගේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ ද, රාග, ද්වේෂ, මෝහයෝ තුනී වූහු ද, ඒ සියල්ලෝ සකෘදාගාමීහු වෙත. එක් වරක් ම උත්පත්ති වශයෙන් මේ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ.
59. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී. විවෘත කරණ ලදී. හෙළි කරණ ලදී. සිඳහළ කඩමහලු ඇති කරණ ලදී. මහණෙනි, මා විසින් මෙසේ ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, සිඳ හළ කඩමාලු ඇති කළ, මොනොවට දෙසූ, ධර්‍මයෙහි යම් මහණ කෙනකුන්ගේ තුන් සංයෝජනයෝ ප්‍රහීණ ද, ඒ සියල්ලෝ සිවු අවා දුකට නොවැටෙන සුලු, රහත්බවට නියතවූ, සම්බෝධිය (රහත්පල නුවණ) ප්‍රතිෂ්ඨා කොට ඇති සෝවාන්හු වෙත්.
60. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මොනොවට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී විවෘත කරණ ලදී. පැහැදිලි කරණ ලදී. සිඳහළ කඩමාලු ඇති කරණ ලදී. මහණෙනි, මෙසේ මා විසින් දෙසූ ප්‍රකට කළ, විවෘත කළ, පැහැදිලි කළ, සිඳ හළ කඩමාලු ඇති කළ, ධර්‍මයෙහි යම් මහණ කෙනෙක් ධර්‍මානුසාරීත්, ශ්‍රද්ධානුසාරීත් වෙත් ද, ඔහු සියල්ලෝ සම්බෝධිය (රහත්පල නුවණ) ප්‍රතිෂ්ඨා කොට ඇත්තෝ වෙත්.
61. මහණෙනි, මෙසේ මා විසින් ධර්‍මය මනාකොට දෙසන ලදී. ප්‍රකට කරණ ලදී. විවෘත කරණ ලදී. හෙළි කරණ ලදී. සිඳහළ කඩමාලු ඇති කරණලදී. මහණෙනි, මෙසේ මොනොවට දෙසූ, ප්‍රකට කළ, විවෘත කළ, හෙළි කළ, සිඳ හළ කඩමාලු ඇති කරණ ලද, ධර්‍මයෙහි යම් මහණ කෙනකුන්ගේ ශ්‍රද්ධාමාත්‍රාවක් ප්‍රේමමාත්‍රාවක් ඇත් නම් ඔහු සියල්ලෝ ස්වර්‍ගපරායණ (මරණින් මතු ස්වර්‍ගය ප්‍රතිෂ්ඨාස්ථාන) කොට ඇතියෝ වෙති.
62. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතැති ඒ මහණ හු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
අලගද්දූපමසුත්‍රය දෙවැනි යි.
1. 3. 3.
වම්මික සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ ජේතවනාරාම යෙහි වැඩවාසය කරණ සේක. එසමයෙහි ආයුෂ්මත් කුමාරකාශ්‍යප තෙරණුවෝ අන්‍ධවනයෙහි වාසය කරති. එකල එක්තරා දෙවියෙක් මධ්‍යමරාත්‍රියෙහි විශිෂ්ට වර්‍ණ ඇත්තේ අන්‍ධවනය හාත්පස එකාලොක කොට ආයුෂ්මත් කුමාරකාශ්‍යප තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ එකත්පස්ව සිටියේ ය. එකත්පස්ව සිටි ඒ දෙවියා ආයුෂ්මත් කුමාරකාශ්‍යප තෙරණුවන්ට මෙය සැළ කෙළේය:
2. “මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දී දුමයි. දාවල දිලෙයි බමුණෙක් මෙසේ කියයි: ‘සුමේධය (මනානුවණැත්ත) ශස්ත්‍රය ගෙණ සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ හිදිඅගුලක් දුටුවේය. ‘වහන්ස, හිදිඅගුලෙකි’ යි (හේ කීය). බමුණා මෙසේ කියයි: හිදිඅගුල ඔසොවාලව. ශස්ත්‍රය ගෙණ තව සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ මැඩියකු දුටුවේය. ‘වහන්ස, මැඩියෙකැ’යි. බමුණා මෙසේ කියයි: ‘මැඩියා ඔසොවා ලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’ යි. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ දෙමංහන්‍දියක් දුටුවේය. ‘වහන්ස, දෙමංහන්‍දියෙකි’යි. බමුණා, මෙසේ කියයි: ‘දෙමං හන්දිය ඔසොවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’ යි. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ කරපෙරහනක් (අළුපද්දක්) දුටුවේය. ‘වහන්ස, කරපෙරහනකි’යි. බමුණා මෙසේ කියයි: ‘කරපෙරහන ඔසොවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ ඉදිබුවකු දුටුවේය. ‘වහන්ස, ඉදිබුවෙකි’යි. බමුණා, මෙසේ කියයි: ‘ඉදිබුවා ඔසොවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ සිපතක් (මස් කපන කැත්තක්) හා මස්ළොඹුවක් දුටුවේ ය. ‘වහන්ස, සිපතක් හා මස්ළොඹුවකි’යි. බමුණා මෙසේ කියයි: ‘සිපත හා මස්ළොඹුව ඔසොවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ මස් වැදැල්ලක් දුටුවේය. ‘වහන්ස, මස් වැදැල්ලකි’යි. බමුණා මෙසේ කියයි: ‘මස්වැදැල්ල ඔසොවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ තවත් සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ නාගයකු දිටී ය. ‘වහන්ස, නාගයෙකි’. බමුණා මෙසේ කියයි: ‘නාගයා සිටීවා. නාගයා නො ගටව නාගයාට නමස්කාර කරව’.”
3. “මහණ, තෝ මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ අසව. භාග්‍යවතුන් වහන්සේ යම් ලෙසකින් තට ප්‍රකාශ කරණ සේක් ද, එය එසේ දරව. මහණ, ‘භාග්‍යවතුන් වහන්සේ හැර, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයකු හැර, මෙතැනින් හෙවත් මෙසස්නෙන් අසා කියන්නෙකු හැර, මේ ප්‍රශ්න විසඳීමෙන් යමෙක් සිත සතුටු කෙරේ ද, එවැනි පුද්ගලයෙකු දෙවියන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි, මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ සත්ත්‍වප්‍රජාවෙහි නො දක්මි’යි කීයේය. ඒ දෙවි තෙමේ මෙය කීය. මෙය කියා එහිම නො පෙණී ගියේය.
4. ඉක්බිති ආයුෂ්මත් කුමරකසුප් තෙරණුවෝ ඒ රාත්‍රිය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් කුමරකසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, මේ රෑ එක්තරා දෙවියෙක් රාත්‍රිය ඉක්මගිය කල්හි විශිෂ්ටවර්‍ණ ඇත්තේ අන්‍ධවනය හාත්පස එකාලොක කොට මා කරා එළඹියේය. එළඹ එකත්පස්ව සිටියේය. වහන්ස, එකත්පසෙක සිටියා වූ ඒ දෙවි තෙමේ මට මෙය කීය:
“මහණ, මහණ, මේ තුඹස රාත්‍රියෙහි දී දූමයි, දවල් දිලෙයි. බමුණෙක් මෙසේ කියයි: ‘සුමේධය ශස්ත්‍රයක් ගෙණ සාරාලව’යි. සුමේධ තෙමේ ශස්ත්‍රයක් ගෙණ සාරන්නේ හිදිඅගුලක් දුටුවේය. ‘වහන්ස, හිදිඅගුලකි’ යි (හේ කීය). බමුණා මෙසේ කියයි: හිදිඅගුල ඔසොවා ලව. ශස්ත්‍රය ගෙණ සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ මැඩියකු දුටුවේය. ‘වහන්ස, මැඩියෙකැ’යි (හේ කීය). බමුණු මෙසේ කියයි: ‘මැඩියා ඔසොවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යි. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ දෙමංසන්‍ධියක් දුටුවේය. දෙමංසන්‍ධියෙකි යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘දෙමංහන්‍දිය ඔසොවාලව’. සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ කරපෙරහනක් දුටුවේ ය. ‘වහන්ස, කරපෙරහනකි’යි (හේ කීය). බමුණු මෙසේ කියයි: ‘කරපෙරහන ඔසවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ ඉදිබුවකු දුටුවේය. ‘වහන්ස, ඉදිබුවෙකි’යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘සුමේධය, ඉදිබුවා ඔසොවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ සිපතක් හා මස්ළොඹුවක් දුටුවේය. ‘වහන්ස, සිපතක් හා මස්ළොඹුවෙකි’යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘සිපත හා මස්ළොඹුව ඔසොවා ලව. ‘සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’යි. සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ මස්වැදැල්ලක් දුටුවේය. ‘වහන්ස, මස්වැදැල්ලෙකි’යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘සුමේධය, මස් වැදැල්ල ඔසොවාලව. සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ (හේ කීය). සුමේධ තෙමේ ශස්ත්‍රය ගෙණ සාරන්නේ නාගයකු දිටී ය. ‘වහන්ස, නාගයෙකි’යි (හේ කීය). බමුණා මෙසේ කියයි: ‘නාගයා සිටීවා. නාගයා නොගටව, නාගයාට නමස්කාර කරව’යි.
.“මහණ, තෝ මේ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් ලෙසකින් තට ප්‍රකාශ කරණ සේක් ද, එය එසේ දරව”. “මහණ, භාග්‍යවතුන් වහන්සේ හැර ... නො දක්මි’යි. වහන්ස, ඒ දෙවිතෙමේ මෙය කී ය. මෙය කියා එහි ම අතුරුදහන් වී ය.
5. වහන්ස, තුඹස කුමක් ද? රෑ දුමාලීම කුමක් ද? බමුණා කවරෙක් ද? සුමෙධයා කවරෙක් ද? ශස්ත්‍රය කුමක් ද? සෑරීම කුමක් ද? හිදිඅගුල කුමක් ද? මැඩියා කවරෙක් ද? දෙමංසන්‍ධිය කුමක් ද? කරපෙරහන කුමක් ද? ඉදිබුවා කවරෙක් ද? මස්කැත්ත හා මස්ළොඹුව කුමක් ද? මස්වැදැල්ල කුමක් ද? නාගයා කවරෙක් ද?
6. “මහණ, තුඹස යනු දෙමවුපියන් නිසා හටගත්, බතින් හා කොමුයෙන් වැඩුණු, අනිත්‍ය වූ, ඉළීම් පිරිමැදීම් බිඳීම් වැනසීම ස්වභාව කොට ඇති, සතර මහාභූතයන්ගෙන් හටගත් ශරීරයට මේ නමෙකි”.
මහණ, ‘දවාලෙහි කළ යුතු කර්‍මාන්තයන් අරභයා රෑ කල්පනා කරයි. විමසා බලයි’ යන යමක් ඇද්ද, මෙය රෑ දුමාලීම යි.
මහණ, ‘රාත්‍රියෙහි නැවත නැවත කල්පනා කොට, නැවත නැවත සිත හසුරුවා, දාවල්හි කයින් වචනයෙන් සිතින් කර්‍මාන්තයන් යොදයි’ යන යමක් ඇද්ද, මේ දවල් දිලීම යි.
මහණ, ‘බමුණා’ යනු අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට මේ නමෙකි.
මහණ, ‘සුමේධ’ යනු ශෛක්‍ෂ වූ මහණහට මේ නමෙකි.
මහණ, ‘ශස්ත්‍රය’ යනු ආර්‍ය්‍යප්‍රඥාවට මේ නමෙකි.
මහණ, ‘සෑරීම’ යනු වීර්‍ය්‍යාරම්භයට මේ නමෙකි.
මහණ, ‘හිදිඅගුල’ යනු අවිද්‍යාවට මේ නමෙකි. හිදිඅගුල උදුරා ලව යනු ‘අවිද්‍යාව දුරු කරව’ යනුයි. ‘සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි.
මහණ, ‘මැඩි’ යනු බලවත් ක්‍රෝධයට මේ නමෙකි. ‘මැඩියා ඔසවාලව’ යනු ‘බලවත් ක්‍රෝධය දුරලව’ යනුයි. ‘සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි.
මහණ, ‘දෙමංසන්‍ධිය’ යනු විචිකිච්ඡාවට මේ නමෙකි. ‘දෙමංසන්‍ධිය ඔසවාලව’ යනු ‘විචිකිච්ඡාව දුරලව’ යනුයි. ‘සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි.
මහණ, ‘කරපෙරහන’ යනු කාමච්ඡන්‍දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධනීවරණය, උද්ධච්චකුක්කුච්චනීවරණය, විචිකිච්ඡානීවරණය යන පඤ්‍චනීවරණයන්ට මේ නමෙකි. ‘කරපෙරහන ඔසවාලව’ යනු ‘පඤ්‍චනීවරණ යන් දුරු කරව’ යනුයි. ‘සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි. (හික්මෙන මහණ ආර්‍ය්‍යප්‍රඥාව ගෙණ, වීර්‍ය්‍යාරම්භ කරව’ යනු යි.)
මහණ, ‘ඉදිබුවා’ යනු රූපෝපාදානස්කන්‍ධය, වේදනෝපාදානස්කන්‍ධය, සංඥොපාදානස්කන්‍ධය, සංස්කාරෝපාදානස්කන්‍ධය, විඥානෝපාදානස්කන්‍ධය යන උපාදානස්කන්‍ධ පසට මේ නමෙකි. ‘ඉදිබුවා ඔසවාලව’ යනු ‘පඤ්‍ච උපාදානස්කන්‍ධයන් දුරලව’ යනුයි. ‘සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි. (හික්මෙන මහණ ආර්‍ය්‍යප්‍රඥාව ගෙණ, වීර්‍ය්‍යාරම්භ කරව’ යනු යි.)
මහණ, ‘මස් කැත්ත හා මස්ළොඹුව’ යනු ඇසින් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ කාමනිඃශ්‍රිත වූ ඇලීමට කරුණු වූ රූපය ... කණින් ඇසිය යුතු ශබ්දය ... නැහැයෙන් දත යුතු ගඳය ... දිවෙන් දතයුතු රසය ... කයින් ස්පර්‍ශ කළ යුතු යහපත්, කමනීය, මනවඩන, ප්‍රියස්වරූප වූ කාමය උපදවන සිත් අලවන ස්‍පර්‍ශය යන පඤ්‍චකාම ගුණයන්ට මෙ නමෙකි. ‘මස් කැත්ත හා මස්ළොඹුව ඔසවාලව’ යනු පඤ්‍චකාමගුණයන් දුරු කරව, යනුයි. මෙය ‘සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි. (‘හික්මෙන මහණ ආර්‍ය්‍යප්‍රඥාව ගෙණ, වීර්‍ය්‍යාරම්භ කරව’ යනු යි.)
මහණ, ‘මස්වැදැල්ල’ යනු නන්‍දිරාගයට මේ නමෙකි. ‘මස්වැදැල්ල ඔසවාලව’ යනු ‘නන්‍දිරාගය දුරු කරව’ යනුයි. ‘සුමේධය, ශස්ත්‍රය ගෙණ සාරව’ යනු මේ භාෂිතයාගේ අර්‍ත්‍ථයි. (හික්මෙන මහණ ආර්‍ය්‍යප්‍රඥාව ගෙණ, වීර්‍ය්‍යාරම්භ කරව’ යනුයි.)