Majjhima Nikāya

Middle-Length Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 6387 segments

පෙන්වන කොටස් 1-100 න් 6387

සූත්‍රාන්තපිටකයෙහි
මැඳුම්සඟිය
මූලපණ්ණාසකය
1. මූලපරියාය වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
මූලපරියාය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි වනදෙටුමහරුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි’යි” භික්‍ෂූන් ඇමතූසේක. ඒ භික්‍ෂුහු “ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක.
2. මහණෙනි, තොපට සියලු සත්කායධර්‍මයනට මූලකාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි. “එසේය, ස්වාමීනි’යි” ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
3. මහණෙනි, මේ ලෝකයෙහි (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණාවූ (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගමරහිත වූ) පෘථග්ජන තෙමේ පෘථිවිය පෘථිවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. පෘථිවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම පෘථිවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පෘථිවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පෘථිවිය මගේ” යි හඟියි. පෘථිවිය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහුගේ පෘථිවිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
4. ආපය ආපය වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසයෙන්) හඳුනයි. ආපය ආපය වශයෙන් හැඳින ආපය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම ආපයෙහි පිහිටියෙමි” යි හඟියි. “ආපයෙන් බැහැර වෙමි” යි හඟියි. “ආපය මාගේ” යි හඟියි. ආපය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආපය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
5. තේජස තේජෝවශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. තේජස තේජෝවශයෙන් හැඳින තේජස (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම තේජසෙහි පිහිටියෙමි” යි හඟියි. “තේජසින් බැහැර වෙමි” යි හඟියි. “තේජස මාගේ” යි හඟියි. තේජස අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: තේජස (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
6. වායුව වායුවශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. වායුව වායුවශයෙන් හැඳින වායුව (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම වායුවෙහි පිහිටියෙමි” යි හඟියි. “වායුවෙන් බැහැර වෙමි” යි හඟියි. “වායුව මාගේ” යි හඟියි. වායුව අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වායුව (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
7. භූතයන් (චාතුර්මහාරාජිකයෙන් යට සත්‍වයන්) භූතයන් වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. භූතයන් භූතවශයෙන් හැඳින භූතයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. භූතයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි මඤ්ඤනා කෙරෙයි. භූතයන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “භූතයන් මාගේ” යි හඟියි. භූතයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: භූතයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
8. දෙවියන් දෙවියන් වශයෙන් (සංඥාවිපර්‍ය්‍යාසවශයෙන්) හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හැඳින දෙවියන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. දෙවියන් කෙරෙහි තණ්හාදීන් මඤ්ඤනා කෙරෙයි. දෙවියන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “දෙවියන් මගේ” යි හඟියි. දෙවියන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: දෙවියන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
9. ප්‍රජාපතීහු (මාරයා) ප්‍රජාපතීහු වශයෙන් හඳුනයි. ප්‍රජාපතීහු ප්‍රජාපතීහු වශයෙන් හැඳින ප්‍රජාපතීහු (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ප්‍රජාපතීහු කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. ප්‍රජාපතීහු කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “ප්‍රජාපතියා මගේ” යි හඟියි. ප්‍රජාපතීහු අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ප්‍රජාපතීහු (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
10. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හැඳින බ්‍රහ්මයා (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. බ්‍රහ්මයා කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. බ්‍රහ්මයා කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “බ්‍රහ්මයා මගේ” යි හඟියි. බ්‍රහ්මයා අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: බ්‍රහ්මයා (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
11. ආභස්සර (බ්‍රහ්ම)යන් ආභස්සරයන් වශයෙන් හඳුනයි. ආභස්සරයන් වශයෙන් හැඳින ආභස්සරයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ආභස්සරයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආභස්සරයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආභස්සරයන් මගේ” යි හඟියි. ආභස්සරයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආභස්සරයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
12. සුභකින්නයන් සුභකින්නයන් වශයෙන් හඳුනයි. සුභකින්නයන් සුභකින්නයන් වශයෙන් හැඳින සුභකින්නයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සුභකින්නයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. සුභකින්නයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “සුභකින්නයන් මගේ” යි හඟියි. සුභකින්නයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සුභකින්නයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
13. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශයෙන් හඳුනයි. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශයෙන් හැඳින වෙහප්ඵලයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. වෙහප්ඵලයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. වෙහප්ඵලයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “වෙහප්ඵලයන් මගේ” යි හඟියි. වෙහප්ඵලයන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වෙහප්ඵලයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
14. අභිභූන් අභිභූන් වශයෙන් හඳුනයි. අභිභූන් අභිභූන් වශයෙන් හැඳින අභිභූන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අභිභූන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභිභූන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අභිභූන් මගේ” යි හඟියි. අභිභූන් අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අභිභූන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
15. අකාසානඤ්චායතනය (තද්භූමක වූ කුශල - විපාක - ක්‍රියා වශයෙන් පවත්නා චතුර්විධ නාම ස්කන්‍ධ) අකාසානඤ්චායතනය වශයෙන් හඳුනයි. අකාසානඤ්චායතනය අකාසානඤ්චායතනය වශයෙන් හැඳින අකාසානඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අකාසානඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අකාසානඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අකාසානඤ්චායතනය මගේ” යි හඟියි. අකාසානඤ්චායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අකාසානඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
16. විඤ්ඤාණඤ්චායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්‍ධ) විඤ්ඤාණඤ්චායතනය වශයෙන් හඳුනයි. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය වශයෙන් හැඳින විඤ්ඤාණඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “විඤ්ඤාණඤ්චායතනය මගේ” යි හඟියි. විඤ්ඤාණඤ්චායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාණඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
17. ආකිඤ්චඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්‍ධ) ආකිඤ්චඤ්ඤායතනය වශයෙන් හඳුනයි. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය වශයෙන් හැඳින ආකිඤ්චඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආකිඤ්චඤ්ඤායතනය මගේ” යි හඟියි. ආකිඤ්චඤ්ඤායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආකිඤ්චඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
18. නේවසඤ්ඤානාසඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්‍ධ) නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් හඳුනයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙන් හැඳින නේවසඤ්ඤානාසඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “නේවසඤ්ඤානාසඤ්ඤායතනය මගේ” යි හඟියි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
19. දක්නාලද්ද (රූපායතනය) රූපායතන වශයෙන් හඳුනයි. රූපායතනය රූපායතනය වශයෙන් හැඳින රූපායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. රූපායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. රූපායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “රූපායතනය මාගේය” යි හඟියි. රූපායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රූපායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
20. අසනලද්ද (ශබ්දායතනය) ශබ්දායතනය වශයෙන් හඳුනයි. ශබ්දායතනය ශබ්දායතනය වශයෙන් හැඳින ශබ්දායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ශබ්දායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ශබ්දායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ශබ්දායතනය මාගේය” යි හඟියි. ශබ්දායතනය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ශබ්දායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
21. මුතය (ස්පර්‍ශයෙන් = හැපීමෙන් ගත් ගන්‍ධරසඵොට්ඨබ්බායතන) මුත වශයෙන් හඳුනයි. මුතය මුත වශයෙන් හැඳින මුතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. මුතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. මුතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “මුතය මාගේය” යි හඟියි. මුතය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මුතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
22. විඤ්ඤාතය (මනසින් දත් සෙසු ආයතන සත හෝ ධම්මාරම්මණය) විඤ්ඤාත වශයෙන් හඳුනයි. විඤ්ඤාතය විඤ්ඤාත වශයෙන් හැඳින විඤ්ඤාතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. විඤ්ඤාතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “විඤ්ඤාතය මාගේය” යි හඟියි. විඤ්ඤාතය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
23. ඒකත්‍වය (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන සතර ස්කන්‍ධ) ඒකත්‍ව වශයෙන් හඳුනයි. ඒකත්‍වය ඒකත්‍ව වශයෙන් හැඳින ඒකත්‍වය ආත්මය යි හඟියි. ඒකත්‍වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ඒකත්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ඒකත්‍වය මාගේය” යි හඟියි. ඒකත්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඒකත්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
24. නානාත්‍වය (පඤ්චස්කන්‍ධය) නානාත්‍ව වශයෙන් හඳුනයි. නානාත්‍වය නානාත්‍ව වශයෙන් හැඳින නානාත්‍වය ආත්මය යි හඟියි. නානාත්‍වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. නානාත්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “නානාත්‍වය මාගේය” යි හඟියි. නානාත්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නානාත්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
25. සර්‍වය (සියලු සත්කායධර්‍ම) සර්‍ව වශයෙන් හඳුනයි. සර්‍වය සර්‍ව වශයෙන් හැඳින සර්‍වය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සර්‍වයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. සර්‍වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “සර්‍වය මාගේය” යි හඟියි. සර්‍වය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සර්‍වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
26. නිර්‍වාණය (පරමදිට්ඨධම්මනිබ්බානය) නිර්‍වාණ වශයෙන් හඳුනයි. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් හැඳින නිර්‍වාණය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නිර්‍වාණයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. නිර්‍වාණයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. “නිර්‍වාණය මාගේය” යි හඟියි. නිර්‍වාණය අභිනන්‍දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නිර්‍වාණය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.
(අශ්‍රැතවත් පෘථග්ජනයාගේ වශයෙන් දෙසූ ප්‍රථම භූමි පරිච්ඡේදය යි)
27. මහණෙනි, ශෛක්‍ෂ වූ නොපැමිණි අර්‍හත්ත්‍වය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්‍ෂේමසංඛ්‍යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්‍දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්‍දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.
28. ආපෝධාතුව… තේජෝධාතුව… වායෝධාතුව… භූතයන්… දෙවියන්… පජාපතීහු… බ්‍රහ්මයා… ආභස්සරයන්… සුභකිණ්ණයන්… වෙහප්ඵලයන්… අභිභූන්… අකාසානඤ්චායතනය… විඤ්ඤාණඤ්චායතනය… ආකිඤ්චඤ්ඤායතනය… නේවසඤ්ඤානාසඤ්ඤායතනය… රූපායතනය… ශබ්දායතනය… ගන්‍ධරසඵොට්ඨබ්බායතනය… විඤ්ඤාතය… ඒකත්තය… නානත්තය… සබ්බය… දිට්ඨධම්මනිබ්බානය… නිබ්බාන වශයෙන් වෙසෙසින් දනී. (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් වෙසෙසින් දැන නිර්‍වාණය ආත්ම ය යි (දිට්ඨි වශයෙන් මඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “නිර්‍වාණය මාගේ ය” යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්‍වාණය (දිට්ඨිමඤ්ඤනායෙන් අභිනන්‍දනය නො කරන්නේ නමුදු තණ්හාමානමඤ්ඤනායෙන්) අභිනන්‍දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් දාෂ්ටධර්‍මනිර්‍වාණය පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.
(ශෛක්‍ෂයා පිළිබඳ විවට්ට වශයෙන් දේශිත ද්විතීයභූමි පරිච්ඡේදය යි)
29. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ බඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි ස්වාර්‍ත්‍ථ (රහත්පල) ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි (තෘෂ්ණාදි වශයෙන්) නො හඟියි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි නො හඟියි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.
30. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්‍වාණය නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය (තණ්හාදිමඤ්ඤනායෙන්) නො හඟියි. නිර්‍වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. නිර්‍වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්‍වාණය මාගේ ය”යි නො හඟියි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.
(ක්‍ෂීණාශ්‍රව වශයෙන් ප්‍රථමනයයෙහි තෘතියභූමි පරිච්ඡේදය යි)
31. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවුණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හා ආදීන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්‍ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.
32. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්‍වාණය නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්‍වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්‍ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.
(ක්‍ෂීණාශ්‍රව වශයෙන් ද්විතීයනයයෙහි සතරවැනිභූමි පරිච්ඡේදය යි)
33. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ගෙවුණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේෂය ක්‍ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.
34. අබ්ධාතුව… තේජස… (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය (දාෂ්ටධර්‍ම) නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්‍වාණය නිර්‍වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්‍වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේෂය ක්‍ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.
(ක්‍ෂීණාශ්‍රව වශයෙන් තෘතීයනයයෙහි පස්වැනිභූමි පරිච්ඡේදය යි)
35. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වූයේ ක්‍ෂීණ වූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්‍ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මෝහය ක්‍ෂීණ වීමෙන් වීතමෝහ වූ හෙයිනි.
36. අප්… තේජස්… (පරමදාෂ්ටධර්‍මනිර්‍වාණය) නිර්‍වාණ වශයෙන් දනියි. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මෝහය ක්‍ෂීණ වීමෙන් වීතමෝහ වූ හෙයිනි.
(ක්‍ෂීණාශ්‍රව වශයෙන් චතුර්‍ත්‍ථනයයෙහි ෂෂ්ඨභූමි පරිච්ඡේදය යි)
37. අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි අභිනන්‍දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.
38. අප්… තේජස්… පරමදාෂ්ටධර්‍මනිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් නිරවශේෂයෙන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.
(ශාස්තෘ වශයෙන් ප්‍රථමනයෙහි සප්තභූමි පරිච්ඡේදය යි)
39. මහණෙනි, අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිය අභිනන්‍දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්‍දිසඞ්ඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.
40. අප්… තේජස්… (පරමදාෂ්ටධර්‍ම)නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්‍වාණය නිර්‍වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්‍වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්‍වාණය අභිනන්‍දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්‍දිසඞ්ඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.
(ශාස්තෘ වශයෙන් ද්විතීයනයෙහි අෂ්ටමභූමි පරිච්ඡේදය යි)
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් නො වූහු. (එහි අර්‍ත්‍ථය නොදත් බැවින් තුටු නො වුහ යි යු සේයි)
පළමුවන මූලපරියාය සූත්‍රය යි.
1. 1. 2.
සබ්බාසව සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවාසය කරන සේක. භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක.
2. මහණෙනි, තොපට සියලු ආශ්‍රවයන්ගේ සංවරකාරණය (අනුප්පාද හේතුව) දේශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දෙසමි යි වදාළ සේක. “එසේ ය වහන්සැ” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක:
3. මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්‍ෂය වේ ද? යෝනිසෝමනසිකාරය ද අයෝනිසෝමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්‍ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නා වූ ද ආස්‍රවයෝ නූපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.
4. මහණෙනි, සෝවන්මගනුවණින් පහ කළ යුතු ආස්‍රව ඇත. ස්මෘතිසඞ්ඛ්‍යාත සංවරයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ඥානසංවරසඞ්ඛ්‍යාත ප්‍රත්‍යවේක්‍ෂාප්‍රතිසේවනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ක්‍ෂාන්තිසංවරසඞ්ඛ්‍යාත අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. ශීලසංවරසඞ්ඛ්‍යාත පරිවර්‍ජනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. වීර්‍ය්‍යසංවරසඞ්ඛ්‍යාත විනෝදනයෙන් පහ කළ යුතු ආස්‍රව ඇත. උපරිමාර්‍ගත්‍රය හා සම්ප්‍රයුක්ත බෝධ්‍යඞ්ගයන්ගේ භාවනාවෙන් පහ කළ යුතු ආස්‍රව ඇත.
5. මහණෙනි, සෝවාන්මග නුවණින් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලෝකයෙහි බුද්ධාදී ආර්‍ය්‍යයන් නො දක්නා වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණාවූ, බුද්ධාදී සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ මෙනෙහි කළ යුතු ධර්‍මයන් නො දනී. මෙනෙහි නො කළ යුතු ධර්‍මයන් නො දනී. මෙනෙහි කළ යුතු ධර්‍මයන් නො දන්නා නො මෙනෙහි කළ යුතු ධර්‍මයන් නො දන්නා හෙ තෙමේ යම් ධර්‍ම කෙනෙක් නො මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්‍මයන් මෙනෙහි කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් මෙනෙහි කළ යුත්තාහු නම්, ඒ ධර්‍මයන් මෙනෙහි නො කෙරෙයි.
6. මහණෙනි, යම් ධර්‍ම කෙනෙකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු ඒ ධර්‍මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්‍මකෙනෙකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ උපදී ද, උපන් කාමාස්‍රවය හෝ වැඩේ ද, නූපන් භවාස්‍රවය හෝ උපදී ද, උපන් භවාස්‍රවය හෝ වැඩේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ උපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ වැඩේ ද, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මොහු ඒ මෙනෙහි නො කළ යුතු ධර්‍මයෝ යි.
7. මහණෙනි, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කළ යුතු ඒ ධර්‍මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි කරන්නහුට නූපන් කාමාස්‍රවය හෝ නූපදී ද, උපන් කාමාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් භවාස්‍රවය හෝ නූපදී ද, උපන් භවාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, නූපන් අවිද්‍යාස්‍රවය හෝ නූපදී ද, උපන් අවිද්‍යාස්‍රවය හෝ ප්‍රහීණ වේ ද, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මොහු ඒ මෙනෙහි කළ යුතු ධර්‍මයෝ යි.
8. මෙනෙහි නො කළ යුතු ධර්‍මයන් මෙනෙහි කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්‍මයන් නො මෙනෙහි කිරීමෙන් ඔහුට නූපන්නා වූ ද, ආස්‍රවයෝ උපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ වැඩෙති.
9. හෙ තෙමේ මෙසේ නුනුවණින් මෙනෙහි කරයි: මම අතීත කාලයෙහි වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි නුවූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (ජාත්‍යාදි විසින්) කවරෙක් වූයෙම් දෝ හෝ, අතීත කාලයෙහි (සටහන් විසින්) කෙසේ වූයෙම් දෝ හෝ, මම අතීත කාලයෙහි කවරෙක් ව සිට කවරෙක් වූයෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි නො වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කවරෙක් වෙම් දෝ හෝ, අනාගත කාලයෙහි කෙසේ වෙම් දෝ හෝ, මම අනාගත කාලයෙහි කවරෙක් වැ සිට කවරෙක් වෙම් දෝ හෝයි. දැන් වර්‍තමානයෙහි ද තම කෙරෙහි සැක ඇත්තේ වෙයි: මම වෙම් දෝ හෝ, මම නො වෙම් දෝ හෝ, කවරෙක් වෙම් දෝ හෝ, කෙසේ වෙම් දෝ හෝ, මේ සත්ත්‍වතෙම කොයින් ආයේ දෝ හෝ, හේ කොයි යන්නේ දෝ හෝ යි.
10. මෙසේ නුනුවණින් මෙනෙහි කරණ ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරෙන් එක්තරා දෘෂ්ටියෙක් උපදී: මාගේ ආත්මය ඇතැයි සත්‍යවශයෙන් ස්ථීරවශයෙන් ඔහුට (ශාශ්වත) දෘෂ්ටිය උපදී. මාගේ ආත්මය නැතැයි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට (උච්ඡේද) දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්‍ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්‍ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. (සංඥාස්කන්‍ධසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්‍ධසඞක්‍යාත) අනාත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. අනාත්ම වූ (සංඥාසඞක්‍යාත) මම් ම (තදන්‍යස්කන්‍ධසඞක්‍යාත) ආත්මය හැඳින ගනිම්යි සත්‍යවශයෙන් ස්තීරවශයෙන් ඔහුට දෘෂ්ටිය උපදී. යලි දු ඔහුට මෙබඳු දෘෂ්ටියක් වෙයි: මාගේ යම් මේ ආත්මයක් බණනුයේ (වාක්කර්‍ම කරන්නේ) සුවදුක් විඳ ගනුයේ ඒ ඒ තැන කුශලාකුශලකර්‍මවිපාකය විඳී ද, මා සතු ඒ මේ ආත්මය වනාහි නිත්‍ය ය. තහවුරු ය. සාර්‍වකාලිකය. නො පෙරෙළන ස්වභාව ඇත්තේ ය. ශාශ්වතිකයන් මෙන් නො වෙනස් ව සිටින්නේ ය යි කියා යි. මහණෙනි, මෙය දෘෂ්ටිගත යයි ද, දෘෂ්ටිගහන ය යි ද, දෘෂ්ටිකාන්තාර ය යි ද, (සම්දිටු විනිවිදිනා හෙයින්) දෘෂ්ටිවිශුක ය යි ද, දෘෂ්ටිසංයෝජන ය යි ද කියනු ලැබේ. මහණෙනි, දෘෂ්ටිසංයෝජනයෙන් සංයුක්ත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, කායිකදුකින්, මානසිකදුකින්, දැඩි ආයාසයෙන් නො මිදේ. සියලු සසර දුකින් නො මිදේ ය යි කියමි.
11. මහණෙනි, ආර්‍ය්‍යයන් දක්නාසුලු, ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ, ආර්‍ය්‍යධර්‍මයෙහි මොනවට හික්මුණු, සත්පුරුෂයන් දක්නා සුලු, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි මොනවට හික්මුණු ශ්‍රැතවත් (ආගමාධිගමසම්පන්න) ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්‍ම දනී. මෙනෙහි නො කළ යුතු ධර්‍ම දනී. හෙ තෙමේ මෙනෙහි කළ යුතු ධර්‍ම දන්නේ මෙනෙහි නො කළ යුතු ධර්‍ම දන්නේ යම් ධර්‍ම මෙනෙහි නො කළ යුතු නම්, ඒ ධර්‍ම මෙනෙහි නො කරයි. යම් ධර්‍ම මෙනෙහි කළ යුතු නම්, ඒ ධර්‍ම මෙනෙහි කරයි.
12. මහණෙනි, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්‍මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් භවාස්‍රවය උපදී ද, උපන්නා වූත් භවාස්‍රවය වැඩේ ද, නූපන්නාවුත් අවිද්‍යාස්‍රවය උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය වැඩේ ද, මොහු වනාහි, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි නො කළ යුතු වූ ඒ ධර්‍මයෝ යි.
13. මහණෙනි, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි කෙරේ නම්, මෙනෙහි කළ යුතු වූ ඒ ධර්‍මයෝ කවරහ? යත්: මහණෙනි, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි කරන ඔහුට නූපන්නා වූත් කාමාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් කාමාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් භවාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් භවාස්‍රවය ප්‍රහීණ වේ ද, නූපන්නා වූත් අවිද්‍යාස්‍රවය නො උපදී ද, උපන්නා වූත් අවිද්‍යාස්‍රවය ප්‍රහීණ වේ ද, මොහු වනාහි, යම් ධර්‍ම කෙනකුන් මෙනෙහි කෙරේ නම් මෙනෙහි කළ යුතු ඒ ධර්‍මයෝ යි.
14. ඔහුට මෙනෙහි නො කළ යුතු ධර්‍මයන් මෙනෙහි නො කිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්‍මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආස්‍රවයෝත් නූපදිත්, උපන් ආස්‍රවයෝත් ප්‍රහීණ වෙත්. හේ මේ දුකැයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛසමුදය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරෝධය යි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදාය යි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන තුන් සංයෝජනයෝ ප්‍රහීණ වෙත. මහණෙනි, මොහු දර්‍ශනයෙන් (සෝවන් මඟින්) ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.
15. මහණෙනි, සංවරයෙන් ප්‍රහීණ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ නුවණින් සලකා චක්‍ෂුන්‍ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, චක්‍ෂුන්‍ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩා කර වූ යම් (ක්ලේශ විපාක) පරිදාහ කෙනෙක් උපදිත් නම්, චක්‍ෂුන්‍ද්‍රිය සංවර සංවෘත ව වසන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. නුවණින් සලකා ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… නුවණින් සලකා ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද… ජිව්හේන්‍ද්‍රියසංවරයෙන්… කායේන්‍ද්‍රිය සංවරයෙන්… මනින්‍ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසේ ද, මහණෙනි, මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත නො වී වසන්නහුට පීඩාකර වූ යම් පරිදාහ කෙනෙක් උපදිත් නම්, මනින්‍ද්‍රියසංවරයෙන් සංවෘත ව වෙසෙන ඔහුට මෙසේ ඒ පීඩාකර පරිදාහයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයක් නැතිව වාසය කරන්නා වූ ඔහුට වෙහෙස හෝ දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, සංවරයෙන් යුක්ත ව වාසය කරන්නා වූ ඔහුට මෙසේ ඒ වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ සතිසංවරයෙන් පහ කළ යුත්තෝ ය යි කියනු ලැබෙත්.
16. මහණෙනි, ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණ නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්‍ශ නැති කිරීම පිණිස, ලජ්ජාස්ථාන වසා ගැන්ම පිණිස පමණක් සිවුරු පරිභෝග කෙරෙ යි. නුවණින් සලකා පිණ්ඩපාතය වළඳයි. (එය) ක්‍රීඩා පිණිස නො වේ ම ය. පුරුෂ මදය වැඩීම පිණිස නො වේ ම ය. සැරසීම පිණිස නො වේ ම ය. අලංකාර පිණිස නො වේ ම ය. හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස ම ය. යැපීම පිණිස ම ය. බඩගිනි වැළැක්වීම පිණිස ම ය. බ්‍රහ්මචර්‍ය්‍යාව රැකීමට අනුබලයක් සඳහා ම ය. මෙසේ පැරණි බඩගිනි වේදනාවන් නැති කරන්නෙමි. අලුත් වේදනා ද නූපදවන්නෙමි. එයින් මාගේ ජීවිතය පැවැත්ම ද වන්නේ ය. නිවැරදි බව ද වන්නේ ය. සැප විහරණය ද වන්නේ යි (සලකා පිණ්ඩපාතය වළඳයි). හුදෙක් ශීත නැති කිරීම පිණිස, උෂ්ණය නැති කිරීම පිණිස, මැසි මදුරු සුළං අවු සපුන්ගේ ස්පර්‍ශ නැති කිරීම පිණිස, ඍතුපීඩා නැති කිරීම පිණිස විවේකයෙහි ඇලීම් පිණිස පමණක් ය යි නුවණින් සලකා සෙනසුන සේවනය කරයි. හුදෙක් උපන්නා වූ නොයෙක් ආබාධයන්ගේ වේදනා නැති කිරීම පිණිස, රෝග දුක් නැති ව සිටීම පිණිස පමණක් සේවනය කරමි යි නුවණින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය සේවනය කරයි. මහණෙනි, යම් හෙයෙකින් ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට මෙසේ ඒ දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ ප්‍රත්‍යවේක්‍ෂාවෙන් පහ කළ යුත්තෝය යි කියනු ලැබෙත්.
17. මහණෙනි, අධිවාසනායෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා ශීත ඉවසන සුල්ලෙක් වෙයි. උණුසුම ද, බඩගින්න ද, පවස ද, මැසි, මදුරු, සුළං, අවු, සපුන්ගේ ස්පර්‍ශ ද, නපුරු කොට කියූ, නපුරු ලෙස පැමිණි වචන ද ඉවසන සුල්ලෙක් වෙයි. උපන් ශාරීරික වූ, තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ දිවි පැහැර ගන්නා වූ වේදනා ඉවසන සුල්ලෙක් වෙයි. යම් හෙයෙකින් නො ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ ඉවසන්නා වූ ඔහුට වෙහෙසකර දැවිලි සහිත ආස්‍රවයෝ නූපදිත්. මහණෙනි, මේ අධිවාසනායෙන් පහ කළ යුතු ආස්‍රවයෝ යි කියනු ලැබෙත්.
18. මහණෙනි, දුරු කිරීමෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා නපුරු ඇතු දුරු කෙරෙ යි. නපුරු අසු දුරු කෙරෙ යි. නපුරු ගොනු දුරු කෙරෙ යි. නපුරු බලු දුරු කෙරෙයි. සපු, කණු, කටුලැහැබ, හෙබ, පවයින්, ගවරවළ, මොළඟ දුරු කෙරෙයි. යම් බඳු නුසුදුසු අස්නෙහි හුන්නහු, යම්බඳු නුසුදුසු තන්හි හැසිරෙන්නහු, යම්බඳු පවිටු මිත්‍රයන් සේවනය කරන්නහු නුවණැත්තා වූ සබ්‍රම්සරහු ලාමක තන්හි ලා සලකන්නාහු ද, ඒ තෙමේ ඒ නො අසුන ද ඒ අගෝචරය ද ඒ පාපමිත්‍රයන් ද නුවණින් සලකා දුරු කෙරෙ යි. මහණෙනි, යම් හෙයෙකින් එබඳු දේ දුරු නො කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
19. මහණෙනි, විනෝදනයෙන් (දෝෂ සැලකීම් සහිත වීර්‍ය්‍යයෙන්) පහ කළ යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙමේ නුවණින් සලකා උපන් කාමවිතර්‍කය සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි. නැවත නො ඉපදීමට පමුණුව යි. උපන්නා වූ ව්‍යාපාදවිතර්‍ක සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. උපන්නා වූ විහිංසා විතර්‍කය ... උපනුපන් ලාමක අකුශල ධර්‍මයන් සිත තබා නො ගනියි, දුරු කරයි, බැහැර කරයි, විනාශ කරයි, නැවත නො ඉපදීමට පමුණුවයි. මහණෙනි, යම් හෙයකින් එබඳු දේ දුරු නො කරන්නා වූ ඔහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මෙසේ එබඳු දේ දුරු කරන්නහුට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ විනෝදනයෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
20. මහණෙනි, භාවනාවෙන් පැහිය යුතු ආස්‍රවයෝ කවරහ? යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි… නුවණින් සලකා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩයි… විරියසම්බොජ්ඣඞ්ගය වඩයි… පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි… පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩයි… සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවණට නැඹුරු උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, යම් හෙයෙකින් බොජ්ඣඞ්ග නො වඩන්නාට වෙහෙස හා දැවිලි සහිත ආස්‍රවයෝ උපදිත් ද, මහණෙනි, මෙසේ ඒ බොජ්ඣඞ්ග වඩන්නා වූ ඔහුට ඒ වෙහෙස දැවිලි සහිත ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මේ ආස්‍රවයෝ භාවනාවෙන් පැහිය යුත්තෝ ය යි කියනු ලැබෙත්.
21. මහණෙනි, යම් කලෙක භික්‍ෂුහුගේ යම් ආස්‍රව කෙනෙක් සෝවන් මගින් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ සෝවන් මගින් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් පැහිය යුත්තාහු ද, ඔහු සංවරයෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් ප්‍රත්‍යවේක්‍ෂාවෙන් පැහිය යුත්තාහු ද, ඔහු ප්‍රත්‍යවේක්‍ෂාවෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් සිත තබා නො ගැනීමෙන් පැහිය යුත්තාහු ද, ඔහු සිත තබා නො ගැනීමෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් දුරු කිරීමෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ දුරු කිරීමෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් විනෝදනයෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ විනෝදනයෙන් පැහුණාහු වෙත්. යම් ආස්‍රව කෙනෙක් භාවනාවෙන් පැහිය යුත්තාහු ද, ඒ ආස්‍රවයෝ භාවනාවෙන් පැහුණාහු වෙත්. මහණෙනි, මේ මහණ තෙමේ සියලු ආස්‍රවයන්ගෙන් සංවෘතව වෙසේ ය යි ද, තෘෂ්ණාව සින්දේ යයි ද, සංයෝජනය උපුටා හළේ යයි ද, මානප්‍රහාණයෙන් දුක් කෙළවර කළේ යයි ද කියනු ලැබේ.
22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
සබ්බාසව සූත්‍රය දෙවැනි යි.
1. 1. 3.
ධම්මදායාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මහණෙනි යි ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට වහන්සැයි පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
2. මහණෙනි, මාගේ ධර්‍මයට දායාද (ධර්‍ම නමැති දෑවැද්ද ගන්නාහු) වවු. ආමිසයට (සිවුපසයට) දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්‍මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තෙපි ආමිසදායාද ව ධර්‍මදායාද නො වන්නහු නම්, එයින් ‘ශාස්තෲන්වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිසදායාද ව වසත්. ධර්‍මදායාද ව නො වසත් ය’යි තෙපි ද ගැරහිය යුත්තෝ වන්නහු ය. මම ද එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ආමිසදායාද ව වසත්, ධර්‍මදායාද ව නොවසත් ය’යි ගැරහිය යුත්තෙම් වෙමි. මහණෙනි, තෙපිත් මාගේ ධර්‍මයට දායාද ව ආමිසයට දායාද නො වන්නහු නම්, එයින් තෙපිත් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්‍මදායාද ව වසත්, ආමිසදායයාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෝ නො වන්නාහුය. මමත් එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්‍මදායාද ව වසත්, ආමිසදායාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෙම් නො වෙමි. මහණෙනි, එහෙයින් මාගේ ධර්‍මයට දායාද වවු. ආමිසදායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්‍මදායාද වන්නාහු ද, ආමිස දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.
3. මහණෙනි, මම වැළඳූයෙම් වුවමනා පමණ වළඳා අවසන් කෙළෙම්, භොජනයෙන් සම්පූර්‍ණ වූයෙම් වළඳා අවසන් කෙළෙමි, බඩගිනි නැති වීමෙන් තෘප්ත වූයෙම්, කැමති තාක් අහර ගත්තෙම් වෙමි. ඉතිරි ව ඉවත දැමිය යුතු පිණ්ඩපාතයෙක් ද වේ. එකල බඩසයින් හා දුබලබැවින් ද පෙළුණු භික්‍ෂූහු දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට “මම වැළඳූයෙමි. පැවරූයෙමි පිඬු පිළිකෙව් කළෙමි. සම්පූර්‍ණ වූයෙමි. බොජුන් කිස අවසන් කළෙමි. තෘප්ත වූයෙමි. කැමති තාක් වැළඳුයෙමි. ඉතිරි වූ බැහැර ලිය යුතු මාගේ මේ පිණ්ඩපාතයෙක් ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳවු. ඉදින් තෙපි නො වළඳන්නහු නම්, දැන් මම නිල්තණ නැති බිමක හෝ බහන්නෙමි. පණුවන් නැති ජලයක හෝ පා කොට හරින්නෙමි”යි කියන්නෙමි.
4. ඔවුන් අතුරෙන් එක භික්‍ෂු නමකට “භාග්‍යවතුන් වහන්සේ වැළඳු සේක. පැවරූ සේක. සම්පූර්‍ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳු සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ බැහැර දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමෝ නම් දැන් භාග්‍යවතුන් වහන්සේ නිල් තණ නැති බිමක හෝ බහාලන සේක. පණුවන් නැති ජලයෙහි හෝ පාකර හරින සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මාගේ ධර්‍මයට දායාද වවු. ආමිසදායාද නො වවු ය’යි මෙය වදාරණ ලදී. යම් මේ පිණ්ඩපාතයෙක් වෙයි නම්, එය ද ආමිස අතරින් එකකි. මම මේ පිණ්ඩාහාරය නො වළඳා මේ බඩසාදුකින් ම යුක්ත ව මේ රෑදාවල් දෙක ඉක්මවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසක් වෙයි.
5. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය නො වළඳා ඒ බඩසාදුකින් ම මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. යලි දෙවැනි භික්‍ෂූන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ වැළඳූ සේක. පවාරණය කල සේක. සම්පූර්‍ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ඉවත දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමු නම්, දැන් භාග්‍යවතුන් වහන්සේ නිල්තණ නැති බිමෙක හෝ බහාලන සේක. පණුවන් නැති දියෙහි හෝ පා කොට හරින සේක. මම මේ පිණ්ඩපාතය වළඳා බඩසා නැති ව මේ රෑදාවල ගෙවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසෙක් වෙයි. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. මහණෙනි, ඒ මහණ කිසිසේත් ඒ පිණ්ඩාහාරය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. එසේ ඇති කල මා විසින් තෙල පළමු මහණ ම වඩා පිදිය යුතු ද පැසසිය යුතු ද වෙයි. එය කවර හෙයින යත්: මහණෙනි, එය ඒ මහණහුට බොහෝ කලක් අපිස් බව පිණිස ද සතොස් බව පිණිස ද මනා සේ කෙලෙසුන් සිඳහැරීම පිණිස ද සුපෝෂභාවය පිණිස ද වැර ඇරඹුම් පිණිස ද වන්නේ ය. මහණෙනි, ඒ නිසා මාගේ ධර්‍මයට දායාද වවු. ආමිසයට දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්‍මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාවා ඇත.
6. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩි සේක.
7. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වෙලාවකින් ‘ඇවැත්නි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’යි ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ;
8. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි නො හික්මෙත් ද? ශාස්තෲන්වහන්සේ විවේකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවේකයෙහි හික්මෙත් ද? ඇවත, අපි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙතින් මේ භාෂිතයේ අදහස දැනගැනීමට (යොදුන් ගණන්) දුර සිට වුවත් එමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ම මේ භාෂිතයේ අදහස වැටහේවා. ඒ මැනවි. භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් ම අසා දරන්නාහුය. “එසේ නම් ඇවැත්නි, අසවු. මැනවින් මෙනෙහි කරවු. දෙසන්නෙමි.” ඒ භික්‍ෂූහු ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ: