Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 701-800 න් 2295

එයින් වදාළහ බුදුහු:
“තෙ වාදකාමා -පෙ- කුසලාවදානා” යී
පිරිස් මැද වාදකථායෙහි උත්සුක වූයේ (තමහට) පැසැසුම් කැමැති වෙමින් (පළමු මැ) සැක ඇතියේ වෙයි. යළි (වීමංසකයන් විසින් ඔහු ගේ වාදය) බැහැර කරනු ලැබූ කල්හි මකු වෙයි. සිදුරු සොයන්නාවූ හෙතෙම නින්‍දාවෙන් කෝපයට පැමිණේ.
යුත්තො කථායං පරිසාය මජ්ඣෙ - ක්‍ෂත්‍රියපර්‍ෂද් හෝ බ්‍රාහ්මණපර්‍ෂද් හෝ ගෘහපතිපර්‍ෂද් හෝ ශ්‍රමණපර්‍ෂද් හෝ මැද තමාගේ වාදකථායෙහි කියන්නට උත්සුක වූයේ ප්‍රයුක්ත වූයේ ආයුක්ත වූයේ සංයුක්ත වූයේ සම්ප්‍රයුක්ත වූයේ නුයි ‘යුත්තො කථායං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
පසංසමිච්ඡං විනිඝාති හොති - ‘පසංසමිච්ඡං’ යනු: පැසැසුම් තෙමුම් කීර්‍තතිය යසස්වැඩීම කැමැති වෙමින් ඉවසමින් පතමින් බලාපොරොත්තු වෙමින් ගුණ කියමින්; විනිඝාති හොති - වාදකථාවෙන් පළමු මැ සැක ඇතියේ ගැටෙනුයේ වෙයි: ‘මට ජය වෙයි දෝ හෝ, මට පරාජය වෙයි දෝ හෝ, කිසෙයින් නිග්‍රහ කෙරෙම් ද කෙසේ පිළියම් කෙරෙම් ද කිසෙයින් විශේෂ (=අතිරේක) කෙරෙම් ද කිසෙයින් පුන පුනා විශේෂ කෙරෙම් ද කිසෙයින් වෙළුම් කෙරෙම් ද කිසෙයින් (මාගේ) වෙළුම් හරිම් ද කෙසේ (වාදය) සිඳිම් ද කෙසේ මඬුලු කෙරෙම් දැ’යි මෙසේ වාදකථාවෙන් පෙර මැ සැක ඇතියේ ගැටෙනුයේ වේ නුයි ‘පසංසමිච්ඡං විනිඝාති හොති’ යනු වේ.
අපාසදස්මිං පන මඞ්කු හොති - පිරිස්වැසි වූ පිරිවර වූ කාරුණික වූ යම් ප්‍රශ්න වීමංසකයෝ වෙත් ද ඔවුහු බැහැර කෙරෙති: ‘අර්‍ත්‍ථයෙන් බැහැර ව කියන ලදැ’යි අර්‍ත්‍ථයෙන් බැහැර කෙරෙති. ‘ඛ්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි ඛ්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්‍ථව්‍යඤ්ජන රහිතව කියන ලදැ’යි අර්‍ථව්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘තා විසින් අර්‍ත්‍ථය වරදවා එළවන ලද. තා විසින් ඛ්‍යඤ්ජනය වරදවා තබන ලද. තා විසින් අර්ත්‍ථව්‍යඤ්ජනය වරදවා එළවන ලද. තබන ලද. තා විසින් නිග්‍රහය නො කරන ලද. තා විසින් පිළියම් (ලබ්ධිය පිහිටුවීම) වරදවා කරන ලද. විශේෂය තා විසින් නො කරන ලද. ප්‍රතිවිශෙෂය තා විසින් වරදවා කරන ලද. වෙළුම තා විසින් නො කරන ලද. වෙළුම් හැරීම තා විසින් වරදවා කරන ලද. වාද සිඳුම තා විසින් නො කරන ලද. මණ්ඩලය තා විසින් වරදවා කරන ලද. විෂම ව කියන ලද, වරදවා කියන ලද, වරදවා බණන ලද, වරදවා විසඳන ලද, වරදවා උසුරුවන ලද, විරූපව කියන ලදැ’යි බැහැර කෙරෙත්. අපාසදස්මිං පන මඞ්කු හොති - බැහැර කළ කල්හි මකු වෙයි. පෙළුණේ ගැටුණේ ව්‍යාධිත වූයේ දොම්නස් වූයේ වේ නුයි ‘අපාසදස්මිං පන මඞ්කු හොති’ යනු වේ.
නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසි - නින්‍දායෙන් ගර්‍හායෙන් අපකිර්‍තතියෙන් අගුණ වැඩීමෙන් කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, (කෝපයෙන්) තද බවට පැමිණෙයි. කොපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ නුයි ‘නින්‍දාය සො කුප්පති’ යනු වේ. රන්‍ධමෙසී - රන්‍ධ්‍රය (=අතර) සොයනුයේ සිදුරු සොයනුයේ දෝෂය සොයනුයේ පැකුළුම සොයනුයේ ගිලිහුම සොයනුයේ ගැටුම සොයනුයේ විවරය සොයනුයේ නුයි ‘නින්‍දාය සො කුප්පති රන්‍ධමෙසී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යුත්තො කථායං -පෙ- කුප්පති රන්‍ධමෙසී” යි.
යම් හෙයකින් ඔහුගේ වාදය ප්‍රශ්නවීමංසකයෝ හීන වූයේ බැහැර කරන ලදැයි කියත් ද, (එහෙයින්) පිරිහුණු වාද ඇති හෙතෙම ‘වාදයෙන් මා ඉක්මැ ගියේ යැ’යි වැලැපෙයි ශෝක කෙරෙයි තතනන්නේ යි.
යමස්ස වාදං පරිහීනමාහු - යම් හෙයකින් ඔහුගේ වාදය හීන යැ නිහීන යැ පරිහීන යැ පිරිහෙළන ලද නො පුරන ලදැයි මෙසේ පවසති මෙසේ කියති මෙසේ බෙණෙති, මෙසේ දක්වති මෙසේ වහරත් නුයි ‘යමස්ස වාදං පරිහීනමාහු’ යනු වේ.
අපාසදං පඤහවීමංසකා සෙ - පිරිස් වැසි වූ පිරිවර වූ කාරුණික වූ යම් ප්‍රශ්නවීමංසකයෝ වෙත් ද, ඔවුහු බැහැර කෙරෙති: ‘අර්ත්‍ථ රහිත ව කියන ලදැ’යි අර්‍ත්‍ථයෙන් බැහැර කෙරෙති. ‘බ්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි බ්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්ත්‍ථව්‍යඤ්ජන රහිත ව කියන ලදැ’යි අර්ත්‍ථව්‍යඤ්ජනයෙන් බැහැර කෙරෙති. ‘අර්‍ත්‍ථය තා විසින් වරදවා එළවන ලද, බ්‍යඤ්ජනය තා විසින් වරදවා තබන ලද, අර්ත්‍ථව්‍යඤ්ජනය තා විසින් වරදවා කියන ලද තබන ලද, නිග්‍රහය තා විසින් නො කරන ලද, ප්‍රතිකර්‍මය තා විසින් වරදවා කරන ලද, විශේෂය තා විසින් නො කරන ලද, ප්‍රතිවිශෙෂය තා විසින් වරදවා කරන ලද, වෙළුම තා විසින් නො කරන ලද, වෙළුම් හැරීම තා විසින් වරදවා කරන ලද, වාදච්ඡෙදය තා විසින් නො කරන ලද, වාදමණ්ඩලය තා විසින් වරදවා කරන ලද, විෂම ව කියන ලද, වරදවා කියන ලද, වරදවා බණන ලද, වරදවා විසඳන ලද, වරදවා උසුරුවන ලද, විරූප කොට කියන ලදැ’යි බැහැර කෙරෙත් නුයි ‘අපාසදං පඤ්මවීමංසකා සෙ’ යනු වේ.
පරිදෙවති සොචති හීනවාදො - ‘පරිදෙවති’ යනු: ‘අන් කරුණක් මා විසින් (සිතට) නතු කරන ලද, අනෙකක් සිතන ලද, අනෙකක් විමසන ලද, අනෙකක් හික්මෙන ලද, අනෙකක් සලකන ලද. හේ මහාපක්‍ෂ ඇතියේ යැ, මහපිරිස් ඇතියේ යැ, මහපිරිවර ඇතියේ යැ. මෝ පිරිස වර්‍ග වූ යැ. සමගි නො වේ. සමගි පිරිස හේතු කොට කථාසංලාපය වෙයි. නැවත බිඳින්නෙමී’ මෙබඳු වූ යම් වචනය ප්‍රලාපය විප්‍රලාපය පුන පුනා ලපනය ලපනාකාරය ලපනය කළ බව නුයි ‘පරිදෙවති’ යනු වේ. ‘සොචති’ - ‘ඔහුට ජය යැ’යි ශෝක කෙරෙයි, ‘මට පරාජය යැ’යි ශෝක කෙරෙයි, ‘ඔහුට ලාභ යැ’යි සොවී, ‘මට අලාභ යැ’යි සොවී, ‘ඔහුට කීර්‍තතිය යැ’යි සොවී, ‘මට අපකීර්‍තතිය යැ’යි සොවී, ‘ඔහුට ප්‍රශංසාව යැ’යි සොවී, ‘මට නින්‍දාව යැ’යි සොවී, ‘ඔහුට සැප යැ’යි සොවී, ‘මට දුකැ’යි සොවී. ‘හෙතෙම සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද සලකන ලද චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත් පිරිකර ලබන සුලු යැ, මම් අසත්කෘතයෙමි අගරුකෘතයෙමි අමානිතයෙමි අපූජිතයෙමි අනපචිතයෙමි චීවරපිණ්ඩපාතසෙනාසන ගිලන්පසබෙහෙත් පිරිකර නො ලැබෙමී’ ශෝක කෙරෙයි, වෙහෙසෙයි වැලැපෙයි ළෙහි පැහැර හඬයි මුළාවට පැමිණේ නුයි ‘පරිදෙවති සොචති’ යනු වේ. හීනවාදො - හීනවාද ඇතියේ නිහීනව ද ඇතියේ පරිහීණවාද ඇතියේ පිරිහෙළු වාද ඇතියේ නො පිරුණු වාද ඇතියේ නුයි ‘පරිදෙවති සොචති හීනවාදො’ යනු වේ.
උපච්චගා මන්ති අනුත්‍ථුතාති - ‘හෙතෙම මා වාදයෙන් වාදය ඉක්මැ ගියේ යැ අතිශයින් ඉක්මැ ගියේයැ ඉක්මැවූයේ යැ අතිශයින් ඉක්මැවූයේ යැ පසු කෙළේ යැ’යි මෙසේත් ‘උපච්චගා මං’යී; නොහොත් ‘මා වාදයෙන් වාදය යට කොට වතුරුවා අල්වාගෙන මැඩැගෙන හැසිරෙයි වෙසෙයි ඉරියවු පවත්වයි වැටෙයි පාලන යපන යාපනය කෙරේ නුයි මෙසේත් ‘උපච්චගා මං’ යී. අනුත්‍ථුතාති - බෙණෙයි, (මෙබඳු වූ) වචනය ප්‍රලාපය විප්‍රලාපය ලපනය ලපනාකාරය ලපනය කළ බව නුයි ‘උපච්චගා මන්ති අනුත්‍ථුතාති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යමස්ස වාදං -පෙ- උපච්චගා මන්ති අනුත්‍ථුතාති” යි.
තෙල දෘෂ්ටිවිවාදයෝ බාහ්‍ය පරිව්‍රාජකයන් කෙරෙහි උපන්නාහුය. තෙල වාදවිෂයෙහි (ජය-පරාජයාදි වශයෙන්) අනුග්‍රහ නිග්‍රහ ද වෙයි. මේ ආදීනවය ද දැක කලහය දුරු කරන්නේය. ප්‍රශංසා ලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් මෙහි නැති හෙයිනි.
එතෙ විවාදා සමණෙසු ජාතා - ‘සමණ’ යනු මේ ශාසනයෙන් බැහැර පිරිවැජි බවට එළැඹි, පිරිවැජි බවට පැමිණි යම් කිසි කෙනෙකි. තෙල දෘෂ්ටිකලහයෝ දෘෂ්ටිභණ්ඩනයෝ දෘෂ්ටිවිග්‍රහයෝ දෘෂ්ටිවිවාදයෝ දෘෂ්ටිමෙධගයෝ පරිව්‍රාජකශ්‍රමණයන් කෙරෙහි උපන්නාහු මොනවට උපන්නාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු පහළ වූවාහු නුයි ‘එතෙ විවාදා සමණෙසු ජාතා’ යනු වේ.
එතෙසු උග්ඝාති නිඝාති හොති - ජය පරාජය වෙයි, ලාභඅලාභ-යශස් අයශස් - නින්‍දා ප්‍රශංසා - සුඛ දුඃඛ - සොම්නස් දොම්නස් - ඉෂ්ට අනිෂ්ට - ස්නෙහ කෝප - අනුග්‍රහ නිග්‍රහ - අනුනය කෝප වෙයි. ජය හේතු කොට සිත අනුගෘහීත වෙයි, පරාජය හේතු කොට සිත නිගෘහීත වෙයි. ලාභයෙන් සිත අනුගෘහීත වෙයි. අලාභයෙන් නිගෘහීත වෙයි. යශසින් සිත අනුගෘහීත වෙයි. අයශසින් නිගෘහීත වෙයි. ප්‍රශංසාවෙන් සිත අනුගෘහීත වෙයි. නින්‍දාවෙන් නිගෘහීත වෙයි. සැපයෙන් සිත අනුගෘහීත වෙයි, දුකින් නිගෘහීත වෙයි. සොම්නසින් සිත අනුගෘහීත වෙයි. දොම්නසින් නිගෘහීත වෙයි. උන්නතියෙන් සිත අනුගෘහීත වෙයි, අවනතියෙන් සිත නිගෘහීත වේ නුයි ‘එතෙසු උග්ඝාති නිඝාති හොති’ යනු වේ.
එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං - ‘එතම්පි’ යනු: දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්‍රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට නුයි- ‘එතම්පි දිස්වා’ යනු වේ. විරමෙ කථොජ්ජං- ‘කථොජ්ජ’ යී කලහය ඩබරය විග්‍රහය විවාදය මෙධගය කියනු ලැබෙයි. නොහොත් කථොජ්ජං යනු: තෙද රහිත වූ මේ කථාව යැ. ඒ නිස්තෙජ වූ කථාව නො කරන්නේ යැ කලහය නො කරන්නේ යැ ඩබරය නො කරන්නේ යැ විග්‍රහය නො කරන්නේ යැ විවාදය නො කරන්නේ යැ මෙධගය නො කරන්නේ යැ කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගය දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරු වන්නේ යැ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ විප්‍රයුක්ත වූයේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා විරමෙ කථොජ්ජං’ යනු වේ.
න හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා - ප්‍රශංසාලාභයෙන් අන්‍ය වූ අර්‍ත්‍ථයෙක් නැති: ආත්මාර්ත්‍ථයෙක් හෝ පරාර්ත්‍ථයෙක් හෝ උභයාර්ත්‍ථයෙක් හෝ දෘෂ්ටධාර්මිකාර්ත්‍ථයෙක් හෝ සාම්පරායිකාර්ත්‍ථයෙක් හෝ නො ගැඹුරු අර්‍ත්‍ථයෙක් හෝ ගැඹුරු අර්‍ත්‍ථයෙක් හෝ සැඟැවුණු අර්‍ත්‍ථයෙක් හෝ අප්‍රකට අර්‍ත්‍ථයෙක් හෝ නෙය්‍යාර්ත්‍ථයෙක් හෝ නීතාර්ත්‍ථයෙක් හෝ අනවද්‍යාර්ත්‍ථයෙක් හෝ නික්ලෙශාර්ත්‍ථයෙක් හෝ පරිශුද්ධාර්ත්‍ථයෙක් හෝ පරමාර්‍ත්‍ථයෙක් හෝ නැති, නො වෙති, විද්‍යමාන නො වෙති, නො ලැබෙත් නුයි ‘න හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතෙ විවාදා -පෙ- න හඤ්ඤදත්‍ථ’ත්‍ථි පසංසලාභා” යී.
තවද (යමෙක්) ඒ ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ හෝ වේ ද, හෙතෙම පිරිස් මැද ඒ දෘෂ්ටිවාදය ප්‍රකාශ කොට ඒ ජයාර්ත්‍ථයට පැමිණ සිත් සේ වූ හෙයින් ඒ ජයහෙතුයෙන් (දත් විදහා) සිනා සෙයි. යළි උඩඟු වේ.
පසංසිතො වා පන තත්‍ථ හොති - ‘තත්‍ථ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි කැමැත්තෙහි රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි පසස්නා ලදුයේ ස්තුති කරන ලදුයේ කීර්‍තතනය කරන ලදුයේ වර්‍ණනා කරන ලදුයේ වේ නුයි ‘පසංසිතො වා පන තත්‍ථ හොති’ යනු වේ.
අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ - කැත්පිරිස් හෝ බමුණුපිරිස් හෝ ගැහැවිපිරිස් හෝ මහණපිරිස් හෝ මැද තමාගේ වාදය කියා ප්‍රකාශ කොට අනුවාදය කියා ප්‍රකාශ කොට පුරා වඩා දක්වා බබුළුවා ව්‍යවහාර කොට පරිග්‍රහණය කොට නුයි ‘අක්ඛාය වාදං පරිසාය මජ්ඣෙ’ යනු වේ.
සො තං හසති උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්‍ථයෙන් තුටු වූයේ හටු වූයේ පහටු වූයේ සතුටුසිත් ඇතියේ පිරිපුන් අදහස් ඇතියේ නොහොත් දත් විදහා සෙමින් හේ සිනා සෙයි. උන්නමතිච්ච තෙන - හෙතෙම ඒ ජයාර්ත්‍ථයෙන් උඩඟු වෙයි, නැගුණේ ධ්වජයක් මෙන් වූයේ ඔසවාගත් සිතැතියේ චිත්තයාගේ කෙතුකම්‍යතාව නුයි ‘සො තං හසති උන්නමතිච්ච තෙන’ යනු වේ.
පපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු - ඒ ජයාර්ත්‍ථයට පැමිණ සපැමිණ අධිගමය කොට ලැබ ප්‍රතිලාභ කොට; යථාමනො අහු - සිත් සේ විය, යථාචිත්ත විය, යථාසංකල්ප විය යථාවිඥාන වූයේ නුයි ‘පපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පසංසිතො වා පන -පෙ- පපපුය්‍ය තමත්‍ථං යථාමනො අහු” යී.
යම් උන්නතිය (-උඩඟුබව) ක් වේ ද එය ඔහුට උපද්‍රව භූමි වෙයි. යළි හෙතෙම මානය ද අතිමානය ද පවසයි. තෙල ආදීනවය ද දැක විවාද නො කරන්නේ යැ. ස්කන්‍ධාදියෙහි නිපුණයෝ ඒ දෘෂ්ටිවාදයෙන් ශුද්ධිය නො මැ කියත්.
යා උන්නති සාස්ස විඝාතභූමී - ‘යා’ යනු: යම් බඳු උන්නාමය ධ්වජය නඟා ගැනීම චිත්තයාගේ කෙතුකම්‍යතාව නුයි - යා උන්නති, යනු වේ. සාස්ස විඝාතභූමී - ඒ (උඬගුව) ඔහුට විඝාතභූමි යැ උපඝාතභූමි යැ පෙළෙන බිම යැ ගැටෙන බිම යැ උපද්‍රවභූමි යැ උපස්සර්‍ගභූමි නුයි ‘යා උන්නති සාස්ස විඝාතභූමී’ යනු වේ.
මානාතිමානං වදතෙ පනෙසො - ඒ පුද්ගල තෙම මානය ද පවසයි අතිමානය ද පවසා නුයි ‘මානාතිමානං වදතෙ පනෙසො’ යනු වේ.
එතම්පි දිස්වා න විවාදියෙථ - දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩන - දෘෂ්ටිවිග්‍රහ - දෘෂ්ටිවිවාද - දෘෂ්ටිමෙධගයන්හි තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විමසා විභූත කොට නුයි ‘එතම්පි දිස්වා’ යනු වේ. න විවාදියෙථ - කලහ නො කරන්නේ යැ, ඩබරය - විග්‍රහය - විවාදය මෙධගය නො කරන්නේ යැ, කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගය හරණේ යැ දුරු කරන්නේ යැ සන්හිඳුවන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යැ. කලහභණ්ඩනවිග්‍රහවිවාදමෙධගයෙන් දුරුවන්නේ යැ වෙන් වූයේ හාත්පසින් වෙන් වූයේ නික්මුණේ නික්මැ ගියේ නො යෙදුණේ නො බැඳුණේ නො හිම් කළ සිතින් වෙසේ නුයි ‘එතම්පි දිස්වා න විවාදියෙථ’ යනු වේ.
න හි තෙන සුද්ධිං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: යම් ස්කන්‍ධයන්හි නිපුණයෝ වෙත් ද, ධාතු - ආයතන - ප්‍රතීත්‍යසමුත්පාද සතිපට්ඨාන - සම්‍යක්ප්‍රධාන - ඍද්ධිපාද - ඉන්‍ද්‍රිය - බල - බෝධ්‍යඞ්ග - මාර්‍ග - ඵල - නිර්‍වාණයෙහි නිපුණයෝ වෙත් ද ඒ නිපුණයෝ දෘෂ්ටිකලහයෙන් දෘෂ්ටිභණ්ඩනයෙන් දෘෂ්ටිවිග්‍රහයෙන් දෘෂ්ටිවිවාදයෙන් දෘෂ්ටිමෙධගයෙන් ශුද්ධිය විශුද්ධිය - පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො පවසති නො කියති නො බෙණෙති නො දක්වති ව්‍යවහාර නො කෙරෙත්නුයි ‘න හි තෙන සුද්ධිං කුසලා වදන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යා උන්නති -පෙ- න හි තෙන සුද්ධිං කුසලා වදන්ති” යී.
යම්සේ රාජභෝජනයෙන් වැඩුණු ශූරයෙක් ප්‍රතිමල්ලයා පතනුයේ ගර්‍ජනා කෙරෙමින් ඒ ද, ශූරය, ඒ (තාගේ) ප්‍රතිශූර තෙමේ යම් තැනෙක්හි ද (තෝ) එහි මැ පලායව. කලහ සඳහා යම් කෙලෙස් කෙනෙක් වෙත් නම් ඔහු පළමු මැ (බෝමුල්හි දී නැසූ හෙයින් මට) නැත.
සූරො යථා රාජඛාදාය ඵුට්ඨො - ‘සූරො’ යනු සුරු වූයේ විරු වූයේ විකුම් ඇතියේ බියසුලු නො වූයේ නො තැතිගන්නේ උත්‍රාස රහිත වූයේ නො පැනයන සුලු වූයේ; රාජඛාදාය ඵුට්ඨො - රාජඛාද්‍යයෙන් රාජභොජ්‍යයෙන් පුෂ්ට පොෂණය කළ පාලනය කළ වඩන ලදුයේ නුයි ‘සූරො යථා රාජඛාදාය ඵුට්ඨො’ යනු වේ.
අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං - හෙතෙම ගර්‍ජන කෙරෙමින් උත්කට ගර්‍ජන කෙරෙමින් සිංහනාද කෙරෙමින් එයි පැමිණෙයි එළැඹෙයි, ප්‍රතිශූරයකු විරුද්ධ පුරුෂයකු විරුද්ධ ව සිටි සතුරකු ප්‍රතිමල්ලයකු ඉස්නේ ඉවසනුයේ පතනුයේ කැමැතිවනුයේ අභිගර්‍ජන කරනුයේ නුයි ‘අභිගජ්ජමෙති පටිසූරමිච්ඡං’ යනු වේ.
යෙනෙව සො තෙන පලෙහි සූර - ඒ දෘෂ්ටිගතික තෙමේ යම් තැනෙක්හි මැ වේ ද, එහි පලායව, එහි වදුව, එහි යව, එහි නික්මෙව, හේ තට ප්‍රතිශූර යැ ප්‍රතිපුරුෂ යැ ප්‍රතිශත්‍රැ යැ ප්‍රතිමල්ල වූයේ නුයි ‘යෙනෙව සො තෙන පලෙහි සූර’ යනු වේ.
පුබ්බේව නත්‍ථි යදිදං යුධාය - පෙර මැ බෝමුල්හි දී ප්‍රතිපක්‍ෂකර වූ හානිකර වූ ප්‍රතිකණ්ටකර වූ ප්‍රතිවිරුද්ධකර වූ යම් ක්ලේශ කෙනෙක් වෙත් ද ඔවුහු නැත නො වෙති විද්‍යමාන නො වෙති නො ලැබෙත්; ප්‍රහීණ වූවාහු මුලුසුන් වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දැවුණාහුය; යදිදං යුධාය - යුද්ධ සඳහා කලහ සඳහා ඩබර සඳහා විග්‍රහ සඳහා විවාද සඳහා මෙධග සඳහා නුයි ‘පුබ්බේව නත්‍ථි යදිදං යුධාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සූරො යථා -පෙ- යදිදං යුධාය” යී.
යම් කෙනෙක් (දෙසැට දිටු අතුරෙන්) එක්තරා දෘෂ්ටියක් දැඩිව ගෙන විවාද කෙරෙත් ද, යළි මෙය මැ සැබවැයි කියත් ද, තෝ ඔවුනට කිය, වාදයක් උපන් කල්හි විරුද්ධකාරක වූ ඔහු මේ සස්නෙහි නැති හෙයිනි.
යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති - යම් කෙනෙක් දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටියක් ගෙන ග්‍රහණය කොට දැඩිව ගෙන පරාමර්‍ෂණය කොට අභිනිවේශය කොට විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, මෙධග කෙරෙති: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්නෙහි ය, මම් මේ ධර්‍මවිනය දනිමි, කිමැ තෝ මේ ධර්‍මවිනය දනී ද? තෝ වරදවා පිළිපන්නෙහි ය, මම් සම්‍යක්ප්‍රතිපන්නයෙමි, මාගේ වචනය අර්ත්‍ථසහිත ය, තාගේ වචනය අනර්ත්‍ථසංහිතය, පළමු කියැයුත්ත පසුව කිවුය, පසුව කියැයුත්ත පළමු කිවුය. තා විසින් ආචීර්‍ණ වූ දෙය (මාගේ වාදයට පැමිණ) නැවැතිණ, තට (මා විසින්) දෝෂාරෝපණය කරන ලද. නිග්‍රහ කරන ලදුයෙහි දොසින් මිදෙනු සඳහා පිළිතුරු සොයා යව. පොහොසත්හි නම් (මා නැගූ දොසින්) මිදෙව’යි ‘යෙ දිට්ඨිමුග්ගයහ විවාදයන්ති’ යනු වේ.
ඉදමෙව සච්චන්ති ච වාදයන්ති - ‘ලෝකය ශාශ්වත යැ මෙය මැ සැබව, අන්‍යය සිස් යැ’යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්; ‘ලෝකය අශාශ්වත යැ... සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’යි පවසති, කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉදමෙව සච්චන්ති ච වාදයන්ති’ යනු වේ.
තෙ ත්‍වං වදස්සු න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා - තෙපි ඒ දෘෂ්ටිගතිකයන්ට වාදයෙන් විවාද විග්‍රහයෙන් විග්‍රහය ප්‍රතිකර්‍මයෙන් ප්‍රතිකර්‍මය විශේෂයෙන් විශේෂය ප්‍රතිවිශෙෂයෙන් ප්‍රතිවිශෙෂය වෙළුමෙන් වෙළුම මිදුමෙන් මිදුම සිඳුමෙන් සිඳුම මණ්ඩලයෙන් මණ්ඩලය කියවු, ඔවුහු තට ප්‍රතිශූර ප්‍රතිපුරුෂ ප්‍රතිශත්‍රැ ප්‍රතිමල්ලයෝ වෙත් නුයි ‘තෙ ත්‍වං වදස්සු’ යනු වේ. න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා - වාදය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළවූ කල්හි මැ විරුද්ධ කාරක තෙම ප්‍රතිලොමකර්‍තෘ තෙම ප්‍රතිභණ්ඩකාරක තෙම ප්‍රතිපක්‍ෂ කාරක තෙම කලහ කරන්නේ යැ, ඩබර කරන්නේ යැ, විග්‍රහ කරන්නේ යැ, විවාද කරන්නේ යැ, මෙධග කරන්නේ යි; ඒ (ප්‍රතිපක්‍ෂකර) ක්ලේශයෝ නැත, නො වෙති අවිද්‍යමාන වෙති නො ලැබෙත්; (ඔහු) ප්‍රහීණයෝ යැ සමුච්ඡින්නයෝ යැ සන්හිඳුණාහුය, දුරලන ලද්දාහු යැ උපතට නුසුදුසු වූවාහු යැ නුවණගින්නෙන් දැවුණාහු නුයි - ‘තෙ ත්‍වං වදස්සු න හි තෙධ අත්‍ථි වාදම්හි ජාතෙ පටිසෙනිකත්තා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යෙ දිට්ඨිමුග්ගයහ -පෙ- පටිසෙනිකත්තා” යී.
තවද යම් කෙනෙක් (කෙලෙස්මාරසෙනඟ) වනසා දෙසැට දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වෙමින් වෙසෙත් ද, මේ සස්නෙහි යම් කෙනකුන්ට මේ පරම යයි දැඩිව ගන්නා ලද්දක් නැත්තේ ද, පසූරය, තෝ ඒ රහතුන් කෙරෙහි කවර ප්‍රතිමල්ලයකු ලබන්නෙහි ද?
විසේනි කත්‍වා පන යෙ චරන්ති - මරසෙනඟ ‘සේනා’ යයි කියනු ලැබෙයි, කායදුශ්චරිතය මාරසෙනා යැ, වාග්දුශ්චරිතය මාරසෙනා යැ, මනෝදුශ්චරිතය මාරසෙනා යැ, ලෝභය මාරසෙනා යැ, ද්වේෂය මාරසෙනා යැ, මෝහය මාරසෙනා යැ, ක්‍රෝධය මාරසෙනා යැ, උපනාහය මාරසෙනා යැ, මකුබව මාරසෙනා යැ, යුගග්‍රාහය මාරසෙනා යැ, ඊර්‍ෂ්‍යාව මාත්සර්‍ය්‍යය මායාව ශඨබව තදබව කරණුත්තරියකරණය මානය අතිමානය මදය සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ සියලු අකුශලාභිසංස්කාරයෝ මාරසෙනා යි. මේ වදාරන ලද මැය භාග්‍යවත්හු විසින්:
1. “කාමයෝ තාගේ පළමුවැනි සේනාව ය, දෙවැන්නී අරතිය යි කියනු ලැබෙයි” (4. 6. සූත්‍රනිර්දේශය)
යම් හෙයකින් සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සියලු මාරසෙනාවෝ ද සියලු ප්‍රතිපක්‍ෂකර ක්ලේශයෝ ද ජයගන්නා ලද්දාහු පරදවන ලද්දාහු බිඳින ලද්දාහු නසන ලද්දාහු පරාඞ්මුඛ කරන ලද්දාහු වෙත් ද, එහෙයින් ‘විසේනි කත්‍වා’ යී කියනු ලැබේ. යෙ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ යැ; චරන්ති - හැසිරෙති, වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘විසේනි කත්‍වා පන යෙ චරන්ති’ යනු වේ.
දිට්ඨිහි දිට්ඨිං අවිරුජ්ඣමානා - යම් කෙනකුන් විසින් දෙසැට දෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු සිඳින ලද්දාහු සන්හිඳුවන ලද්දාහු දුරලන ලද්දාහු උපතට අභව්‍ය කරන ලද්දාහු ඥානාග්නියෙන් දවන ලද්දාහු ද ඔහු (දෙසැට) දෘෂ්ටියෙන් දෘෂ්ටියකට අවිරුද්ධ වන්නාහු දැඩිව නො ගන්නාහු නො ගැටෙන්නාහු අප්‍රතිහත වන්නාහු නුයි ‘දිට්ඨිහි දිට්ඨිං අවිරුජ්ඣමානා’ යනු වේ.
තෙසු ත්‍වං කිං ලභෙථො පසූර - ඒ අර්‍හත් ක්‍ෂීණාස්‍රවයන් කෙරෙහි ප්‍රතිශූරයකු ප්‍රතිපුරුෂයකු විරුද්ධ සතුරකු ප්‍රතිමල්ලයකු කිම ලබන්නෙහි දැ යි ‘තෙසු ත්‍වං කිං ලභෙථො පසූර’ යනු වේ.
යෙසී’ධ නත්‍ථි පරමුග්ගහීතං - යම් අර්‍හත් ක්‍ෂීණාස්‍රව කෙනකුන්ට මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි ගන්නා ලද පරාමර්‍ශනය කළ අභිනිවේශ කළ අධ්‍යවසිත අධිමුක්ත වූවක් නැත් ද නො වෙත් ද අවිද්‍යමාන වෙත් ද නො ලැබෙත් ද ප්‍රහීණ කරන ලද සමුච්ඡින්න කරන ලද සන්හිඳුවන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික කරන ලද ඥානාග්නීන් දවන ලද නුයි ‘යෙසීධ නත්‍ථි පරමුග්ගහීතං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විසේනි කත්‍වා පන -පෙ- පරමුග්ගහීතං” යී.
තවද තෝ සිතින් දෘෂ්ටිගතයන් සිතමින් (මට ජය වේ දෝ හෝයි ආදිය) විතර්‍ක කෙරෙමින් ආයෙහි. ධුතක්ලෙශ වූ බුදුන් සමග යුගග්‍රාහයට ආයෙහි. එතෙකුදුවත් තෝ සමීපයට පැමිණෙන්නට නො හැකි වන්නෙහි.
අථ ත්‍වං පවිතක්කමාගමො - ‘අථ’ යනු: පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා නමැ තෙල ‘අථ’ යනු. පවිතක්කමාගමො - තර්‍ක කෙරෙමින් සලකමින් ‘මට ජය වන්නේ දෝ හෝ මට පරාජය වන්නේ දෝ හෝ කෙසේ නිග්‍රහ කෙරෙම් ද, කෙසේ පිළියම් (-ලබ්ධිශුද්ධිය) කෙරෙම් ද, කෙසේ විශේෂ කෙරෙම් ද, කෙසේ ප්‍රතිවිශෙෂ කෙරෙම් ද, කෙසේ ආවෙෂ්ටන කෙරෙම් ද, කෙසේ නිර්‍වෙෂ්ටන කෙරෙම් ද, කෙසේ වාදච්ඡෙද කෙරෙම් ද, කෙසේ වාදමණ්ඩල කෙරෙම් දැ’යි මෙසේ තර්‍කණ විතර්‍කණ සංකල්පන කෙරෙමින් ආයෙහි පැමිණියෙහි සපැමිණියෙහි මා සමග එක්වූයෙහි නුයි ‘අථ ත්‍වං පවිතක්කමාගමො’ යනු වේ.
මනසා දිට්ඨිගතානි චින්තයන්තො - ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩර (-භවාඞ්ග) සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්න්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, ඒ සිතින් ‘ලෝකය ශාශ්වතැ’යි, හෝ ලෝකය අශාශ්වතැ’යි හෝ ... සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි හෝ’යි දෘෂ්ටිය සිතනුයේ වෙසෙසින් සිතනුයේ නුයි ‘මනසා දිට්ඨිගතානි චින්තයන්තො’ යනු වේ.
ධොනෙන යුගං සමාගමො නහි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ - ‘ධොනා’ යී ප්‍රඥාව කියනු ලැබෙයි, යම් ප්‍රඥාවක් දැනීමෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එයයි. කුමක් හෙයින් ප්‍රඥාව ‘ධොනා’ යී කියනු ලැබෙයි යත්? ඒ ප්‍රඥාවෙන් කායදුශ්චරිතය කම්පා කරන ලද ද දොවුණා ලද ද මැනවින් දොවුණා ලද ද වෙසෙසින් දොවුණා ලද ද වෙයි, වාග්දුශ්චරිතය... සියලු අකුශලාභිසංස්කාරයෝ ධුත - ධෞත - සංධෞත ද වෙත්; නොහොත් සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය, සම්‍යක් සංකල්පයෙන් මිත්‍ථ්‍යාසංකල්පය... සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධුත - ධෞත - සංධෞත - නිර්ධෞත ද වෙයි, නොහොත් අර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයෝ සියලු දුශ්චරිතයෝ සියලු දරථයෝ සියලු පරිදාහයෝ සියලු සන්තාපයෝ අකුශලාභිසංස්කාරයෝ ධුත - ධෞත - සංධෞත - නිර්ධෞත ද වෙත්. බුදුහු මේ ධෞනෙයධර්‍මයන්ගෙන් උපෙතයහ සමුපෙතයහ සමුපාගතයහ අවියුක්තයහ පරිපූර්‍ණයහ සමන්‍විතයහ, එහෙයින් බුදුහු ධොනයෝ යැ; ඒ භාග්‍යවත්හු ධුතරාගයහ ධුතපාපයහ ධුතක්ලෙශයහ ධුතපරිදාහයෝ නුයි ‘ධොන’ නම් වෙත්.
ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ - පසූර පරිව්‍රාජක තෙම ධොන වූ භාග්‍යවත් බුදුන් සමග එක්විට සමාගමයට පැමිණ යුගග්‍රාහය ගෙන සාකච්ඡා කරන්නට සල්ලාප කරන්නට සාකච්ඡාවට පැමිණෙන්නට සමර්‍ත්‍ථ නො වෙයි, ඒ කවර හෙයින යත්? පසූරපරිව්‍රාජක හීන යැ නිහීන යැ අධම යැ ලාමක යැ අහේතුක යැ අල්ප යි. ඒ බුදුහු වූ කලි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද විශිෂ්ට ද උත්තම ද ප්‍රවර ද වෙත්. යම් සේ සාවෙක් මතැතක්හු සමග එක් පැහැර පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ සිවලෙක් සිංහමෘගරාජයකු සමග යුග සමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ කිරි බොන වසුපැටෙක් සැලෙන මොල්ලිය ඇති වෘෂභයකු සමග යුගසමාගමයට (කරට කර) පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ කවුඩෙක් ගුරුළුරජකු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ සැඩොලෙක් සක්විතිරජක්හු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, යම් සේ පාංශුපිශාචයෙක් (කසළපිස්සෙක්) සක්දෙව්රජහු සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහ ගන්නට අසමර්ත්‍ථ වේ ද, එසෙයින් මැ පසූර පිරිවැජි තෙම කෙලෙස් දෙවු භගවත් බුදුන් සමග යුගසමාගමයට පැමිණ යුගග්‍රාහය ගෙන කථා කරන්නට සල්ලාප කරන්නට සාකච්ඡාවට පැමිණෙන්නට අසමර්ත්‍ථ වෙයි. ඊට හේතු කිම? යත්: පසූර පිරිවැජි තෙම හීනප්‍රඥා ඇත්තේ යැ නිහීනප්‍රඥා ඇත්තේ යැ අධමප්‍රඥා ඇත්තේ යැ ලාමකප්‍රඥා ඇත්තේ යැ අහෙතුකප්‍රඥා ඇත්තේ යැ අල්පප්‍රඥා ඇත්තේ යි. ඒ බුදුහු වූ කලි මහාප්‍රඥා ඇතියහ ශීඝ්‍රප්‍රඥා ඇතියහ දිවෙන ප්‍රඥා ඇතියහ තියුණු ප්‍රඥා ඇතියහ නිර්වේධික ප්‍රඥා ඇතියහ. ප්‍රඥාප්‍රභෙදයෙහි නිපුණයහ ප්‍රභේදගත ඥාන ඇත්තාහ අධිගම කළ ප්‍රතිසංවිද් ඇත්තාහ. චතුර්වෛශාරද්‍යයට පැමිණියහ දශබලධාරීහ පුරුෂශ්‍රේෂ්ඨයහ පුරුෂසිංහයහ පුරුෂනාගයහ පුරුෂාජානෙයහ පුරුෂධෞරෙයහ අනන්තඥානයහ අනන්තතේජස් ඇත්තාහ අනන්තයශස් ඇත්තාහ (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ මහාධන ඇත්තාහ ධනවත්හ. (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ (විනයන කරන හෙයින්) විනේතෘ වූහ අනුනෙතෘ වූහ (සැක සිඳ අර්‍ත්‍ථය) පනවනුවහ නිශ්චය කරවනුවහ (පිළිවෙත්) දක්වනුවහ (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ.
තවද ඒ බුදුහු නූපන් මාර්‍ගය ස්වසන්තානයෙහි උපදවනුවහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණ වශයෙන්) ප්‍රකාශ කරනුවහ, (ප්‍රත්‍යවෙක්‍ෂාවශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. ඒ බුදුන් විසින් හෙළි කළ මාර්‍ගය හේතු කොට මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයේ (ශීලාදිගුණයෙන්) පසුපස යමින් වෙසෙත්.
තවද ඒ බුදුහු දතයුතු (ඥේයධර්‍මය) දනිති, දැක්ක යුත්ත (නුවණැසින්) දකිති; ඇසක් මෙන් වූවහ, ඥානමය වූවහ, ධර්‍මමය වූවහ, වකතෘයහ, ප්‍රවෘකතෘයහ, නිනෙත්තෘයහ, ශ්‍රේෂ්ඨ වූවහ; (දහම් දෙසන හෙයින්) වක්තෘයහ (ඥේය දක්වනුයෙන්) නින්නෙතෘයහ, අමෘතය දෙනුවහ, ධර්‍මස්වාමීහ, තථාගතයහ. ඒ බුදුන් විසින් (මගනැණින්) නො දන්නා ලද්දෙක් (සව්නේ දත් නැණින්) නො දක්නා ලද්දෙක් අවිදිත වූයෙක් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලද්දෙක් ප්‍රඥාවෙන් ස්පර්‍ශ නො කරන ලද්දෙක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ ද, අතීතානාගතප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සියලු ධර්‍මයෝ සර්‍වාකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද දෘෂ්ටධාර්මිකාර්ත්‍ථය ද සාම්පරායිකාර්ත්‍ථය ද උත්තානාර්ත්‍ථය ද ගම්භීරාර්ත්‍ථය ද ගූඪාර්ත්‍ථය ද ප්‍රතිච්ඡන්නාර්ත්‍ථය ද නීතාර්ත්‍ථය ද අනවද්‍යාර්ත්‍ථය ද නික්ලෙශාර්ත්‍ථය ද පරිශුද්ධාර්ත්‍ථය ද පරමාර්ත්‍ථාර්ත්‍ථය (-නිර්‍වාණය) ද යන ඒ සියල්ල බුද්ධඥානය තුළ පවතී, භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී, සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී, සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී.
අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (-නිරාවරණ) යැ අනාගතයෙහි ඥානය අප්‍රතිහත යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අප්‍රතිහත යැ, දතයුත්ත යම් පමණ ද ඥානය එපමණ යැ, ඥානය යම් පමණ ද ඥෙයය එපමණ යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැත, ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නා සුල්ලහ; යම් සේ මනාකොට පැහැසු සුමුගුපටල (=තහඩු) දෙකෙකින් යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද, උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්මැ සිටී ද, ඔහු ඔවුනොවුන් ගේ කෙළවර සිටුනා සුලු වෙත් ද; එසෙයින් මැ භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ; යම්තාක් ඥේයය ද ඒතාක් ඥානය යැ, යම්තාක් ඥානය ද ඒතාක් ඥේය යැ ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානය නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති; ඒ දහම්හු අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.
සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, සියලු දහම්හු භාග්‍යවත් බුදුන් ගේ මනෝද්වාරාවර්‍ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාදප්‍රතිබද්ධයහ; සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, බුදුහු සියලු සත්ත්‍වයන්ගේ ආශය දනිති, අනුශය දනිති, චරිතය දනිති, අධිමුක්තිය දනිති, අල්ප වූ කෙලෙස්රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර ආකාර ඇති ගර්හිතාකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දනිති, මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝ වැසි තෙම මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව බුද්ධඥානය තුළ පවතී, යම්සේ තිමි තිමිඞ්ගල පටන් කොට යම් මස්කැසුබු කෙනෙක් වෙත් නම් ඔහු මහමුහුද තුළ හැසිරෙත් ද එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව බුද්ධඥානය තුළ පවතී;
යම්සේ වෛනතෙය ගුරුළුරජහු පටන් කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම් ඔහු අහසැ පෙදෙසෙක හැසිරෙත් ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සමවූවාහු නම් ඔවුහු ද බුද්ධඥානයාගේ පෙදෙසෙක පවත්නාහුය. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙනැ සිටී මැය. නිපුණ වූ කළ පරවාද ඇති වල් විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය - බ්‍රාහ්මණ - ගෘහපති - ශ්‍රමණපණ්ඩිත කෙනෙක් ප්‍රඥාවෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න සකස් කොට ගෙන බුදුන් කරා පැමිණ විචාරති. ඒ ප්‍රශ්නයෝ බුදුන් විසින් සකාරණ ව කියන ලද්දාහු විසඳන ලද්දාහු ද වෙති. තවද ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූවාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥාවෙන් අතිශයින් බබළත් නුයි ‘ධොනෙන යුගං සමාගමො න හි ත්‍වං සක්ඛසි සම්පයාතවෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අථ ත්‍වං -පෙ- සක්ඛසි සම්පයාතවෙ” යි.
අටවැනි ‘පසූර’ සූත්‍ර නිර්‍දෙශය යි.
මාගණ්‌දියසූත්‍රනිර්දේශය
ඉක්බිති මාගන්‍දිය සූත්‍රනිර්දේශය කියනු ලැබේ.
තෘෂ්ණා යැ අරති යැ රගා යැ යන (මාරදුහිතෲන්) තිදෙනා දැක මෙවුන්දම්හි ඡන්‍දයෙක් හෝ නො වී යැ. මලමූයෙන් පිරුණු මේ සිරුර දැක කවර කරුණෙකින් (ඡන්‍දයෙක් වේ ද නො වේ මැයි.) ඒ සිරුර පයිනු දු ස්පර්‍ශ කරන්නට නො රිස්සෙමි.
දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං - තෘෂ්ණා ද අරති ද රගා ද යන මාරදුහිතෲන් දැක පවා, මෙවුන්දම්හි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ප්‍රේමයෙක් හෝ නො වී නුයි ‘දිස්වාන තණ්හං අරතිං රගඤ්ච නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං’ යනු වේ.
කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ මූයෙන් පිරුණු මලයෙන් පිරුණු සෙමින් පිරුණු ලෙයින් පිරුණු ඇටසඟුළු වූ නහරවැලින් බැඳුණු, ලේමසින් ආලේප කළ සමින් එතුණු සිවියෙන් වැසුණු නොයෙක් සිදුරු ඇති (ඇස් ආදියෙන්) ඉතිරෙන (අධෝභාගයෙන්) වැගිරෙන පණුකැලන් ගැවැසෙන නොයෙක් අසුචිමලයෙන් හාත්පසින් පිරුණු මේ සිරුර කියනු මැ කිම. (එය) පයින් ඇක්මෙන්නට (පවා) නො රිස්සෙමි. වැලි කවර කරුණෙකින් සංවාසයෙක් හෝ සමාගමයෙක් හෝ වේ දැ’යි ‘කිමෙවිදං මුත්තකරීසපුණ්ණං පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ, යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිස්වාන තණ්හං -පෙ- පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡෙ” යී.
බොහෝ රජුන් විසින් පතන ලද දිව්‍යස්ත්‍රිරත්නයක් වැනි වූ මෙබඳු ස්ත්‍රියක ඉදින් නො කැමැත්තවු නම්, (එකල්හි) තොපගේ දෘෂ්ටිය ද ශීලව්‍රතය ද ජීවිතය ද භවෝත්පත්තිය ද, කෙබඳු දැ’යි කියනු මැනවැ’යි.
යම් හෙයකින් මිනිසෙක් දිව්‍යකාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් මානුෂිකකාමයන් නො කැමැති වන්නේ නම්, මානුෂිකකාමයන් හෝ ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමින් දිව්‍යකාමයන් නො කැමැති වන්නේ නම්, තෙල ආශ්චර්‍ය්‍යයෙක් නො වෙයි. යම් හෙයකින් තෙපි දෙක මැ නො රිසියවු ද නො ඉවසවු ද, නො පතවු ද, නො කැමැති වවු ද, නො සිතවු ද, (එහෙයින්) තොප ගේ දර්‍ශනය කිම? තෙපි කවර ලබ්ධියකින් සමන්විතයවු දැ’යි විචාරයි:
“එතාදිසං චෙ -පෙ- වදෙසි කීදිසං” යී.
(බුදුහු මාගන්‍දිය, යී මෙසේ වදාරති:) දෙසැටදිටුදහම්හි, නිශ්චය කොට මෙය මැ (සැබැවැයි මෙසේ) කියමී දැඩි ව ගන්නා ලද්දෙක් මට නො වෙයි, යළි දෙසැට දෘෂ්ටීන්හි (ආදීනවය) දක්නෙම් (කිසි දෘෂ්ටියක්) දැඩි ව නො ගෙන (සිවුසස්) සොයනුයෙම් අධ්‍යාත්මශාන්ති යයි කියන ලද නිවන දිටිමි.
ඉදං වදාමීති න තස්ස හොති - ‘ඉදං වදාමි’ යනු: මේ කියමි, තෙල කියමි, මෙතෙක් කියමි, මෙතෙකින් කියමි, මේ දෘෂ්ටිගතය කියමි: ‘ලෝකය ශාශ්වතැ’යි හෝ...සත්ත්‍ව තෙම මරණින් මතුයෙහි නො මැ වෙයි, නො වන්නේ නො වේය යි; න තස්ස හොති - මට නොවෙයි, මෙතෙකින් කියමී, ඒ මට නො වේ නුයි ‘ඉදං වදාමීති න තස්ස හොති’ යනු වේ. ‘මාගන්‍දිය’යී බුදුහු ඒ බමුණු නමින් අමතන සේක...’භගවා’ යනු: ගෞරවාධිවචන යැ...මේ ‘භගවා’ යනු (සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘මාගන්දියාති භගවා’ යනු වේ.
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දෘෂ්ටිගත යන්හි; නිච්ඡෙය්‍ය - නිශ්චය කොට විනිශ්චය කොට විමසා වෙසෙසින් විමසා තුලනය කොට තීරණය කොට සලකා ප්‍රකට කොට, අවධි කොට ගැනීම කොටස් වශයෙන් ගැනීම උතුම් කොට ගැනීම කොටස් කොට ගැනීම රාශිවශයෙන් ගැනීම විශෙෂරාශිවශයෙන් ගැනීම, මේ සැබව අවිපරීත යැ භූත යැ යාථාවත් යැ අවිපරීත යැයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේශ කළ ඇතුළත් වැ සිටි බැසගන්නා ලද්දක් නැත, විද්‍යාමාන නො වෙයි, නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ සන්හිඳුවන ලද දුරලන ලද අභව්‍යොත්පත්තික කරන ලද නුවණගින්නෙන් දවන ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය - දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නො සිටිමි; නොහොත් නො ගතයුත්තාහුය නො දැහැගතයුත්තාහුය, නො පිවිසැ සිටිය යුත්තාහුය යි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය මෝඝය’ යන තෙල දෘෂ්ටිගතය දෘෂ්ටිගහනය දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටි නමැති හුල දෘෂ්ටිචලනය දෘෂ්ටිසංයොජනය (කායික) දුක් සහිත යැ (චෛතසික) පීඩා සහිත යැ දැඩි ආයාස සහිත යැ පරිදාහ සහිත යැ සංසාර (වට්ටයෙහි) නිර්වේදය පිණිස නොවෙයි, විරාගය පිණිස උපශමය පිණිස අභිජානනය පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස නො පවත්නේ නුයි දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නො සිටිමි; නොහොත් නො ගත යුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ නො පිවිසැ සිටිය යුත්තාහු නුයි මෙසේත් “පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය” යනු වේ. නොහොත් ‘ලෝකය අශාශ්වත යැ, ලෝකය අන්තවත් යැ, ලෝකය අනන්තවත් යැ, ජීවය ත් ශරීරයත් ඒ මැය, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකි, මරණින් මතු සත්ත්‍ව තෙම වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙම නො වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙමේ වන්නේ ද නො ද වන්නේ ද වෙයි, මරණින් මතු සත්ත්‍ව තෙමේ නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මෙය මැ සැබව, අන්‍යය මෝඝ යැ යන තෙල දෘෂ්ටිගතය දෘෂ්ටිගහනය දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටිශූලය දෘෂ්ටිවිෂ්පන්දනය දෘෂ්ටිසංයොජනය දුක් සහිත යැ පීඩා සහිත යැ දැඩි ආයාස සහිත යැ පරිදාහ සහිත යැ නිර්වේදය පිණිස නො පවතී, විරාගය පිණිස - නිරෝධය පිණිස - උපශමය පිණිස අභිඥාව පිණිස - සම්බෝධය පිණිස - නිර්‍වාණය පිණිස නො පවතී නුයි දෘෂ්ටීන් කෙරෙහි ආදීනව දක්නෙම් දෘෂ්ටීන් නො ගන්මි, පරාමර්‍ශ නො කරමි, පිවිසැ නොසිටිමි; නොහොත් නො ගතයුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ නො පිවිසි යැ යුත්තාහු යැ’යි මෙසේ ත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටිහු මෙසේ ගන්නා ලද්දාහු මෙසේ පරාමර්‍ශ කරන ලද්දාහු මෙබඳු ගති ඇත්තාහු මෙබඳු පරලොව ඇත්තාහු වෙති’ දෘෂ්ටීන්හි ආදීනව දක්නෙම් දෘෂ්ටි නො ගන්මි, පරාමර්‍ශ නො කරමි; නොහොත් නො ගතයුත්තාහු ය, නො දැහියයුත්තාහු යැ, නො පිවිසි යැ යුත්තාහු නුයි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටීහු නිරයෙහි ඉපදීම පිණිස පවත්නාහු යැ තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නාහු යැ ප්‍රේතවිෂයයෙහි ඉපදීම පිණිස පවත්නාහු යැ’යි දෘෂ්ටීන්හි ආදීනව දක්මින් දෘෂ්ටි නො ගන්මි, නො දහමි, නො පිවිසැ සිටිමි; නොහොත් නො ගතයුත්තාහු යැ නො දැහියයුත්තාහුය, නො පිවිසියැ යුත්තාහු නුයි මෙසේත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ. නොහොත් ‘මේ දෘෂ්ටීහු අනිත්‍යයහ ප්‍රත්‍යයන් විසින් කරන ලද්දාහු ය, ප්‍රතීත්‍යසමුත්පන්නයහ, ක්‍ෂයවන සුල්ලහ, නැසෙන සුල්ලහ, නො රැඳෙන සුල්ලහ, නිරුද්ධවන සුල්ලහ’යි දෘෂ්ටීන්හි ආදීනව දක්නෙම් දෘෂ්ටි නො ගන්මි, නො දහමි නො පිවිසෙමි; නොහොත් නො ගතයුත්තාහු යැ පරාමර්‍ශ නො කළ යුත්තාහු යැ අභිනිවේශ නො කළයුත්තාහුනුයි මෙසේ ත් ‘පස්සඤ්ච දිට්ඨීසු අනුග්ගහාය’ යනු වේ.
අජ්ඣත්තසන්තිං පචිතං අදස්සං - ‘අජ්ඣත්තසන්තිං’ යනු: අධ්‍යාත්මයෙහි රාගයාගේ සන්හිඳීම ද්වේෂයාගේ - මෝහයාගේ සන්හිඳීම ක්‍රෝධයාගේ - උපනාහ - මකුබව - පළාස - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍ය - මායා - සාඨෙය්‍ය - ස්තම්භ - සාරම්භ - මාන - අතිමාන - මද - ප්‍රමාදයාගේ - සියලු කෙලෙසුන්ගේ සියලු දුශ්චරිතයන්ගේ - සියලු දරථයන්ගේ - සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ - සියලු අකුශලාභිසංස්කාරයන්ගේ ශාන්තිය ව්‍යුපශාන්තිය නිර්‍වෘතිය ප්‍රතිප්‍රශ්‍රබ්ධිය; පචිනං - (සිව්සස්) වඩමින් වෙසෙසින් වඩමින් ප්‍රකර්‍ෂයෙන් වඩමින් තුලනය කෙරෙමින් තීරණය කෙරෙමින් සලකමින් ප්‍රකට කෙරෙමින්; ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි... ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි... ‘සියලු ධර්‍මයෝ අනාත්මයෝ යැ’යි ‘යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නැසෙන සුලු යැ යි’ වඩමින් වෙසෙසින් වඩමින් ප්‍රකර්‍ෂයෙන් වඩමින් තුලනය කෙරෙමින් තීරණය කෙරෙමින් විභාවනය කෙරෙමින් විභූත කෙරෙමින්; අදස්සං දැක්කෙමි දිටිමි බැලුවෙමි (නුවණින්) ප්‍රතිවේධ කෙළෙම් නුයි ‘අජ්ඣත්ත සන්තිං පචිනං අදස්සං’ යනු’ වේ.