ක්‍රෝධයාගේ හා අතිමානයාගේ වශයට නො යන්නේ යැ. ඒ ක්‍රෝධාතිමානයන්ගේ අවිද්‍යාදි මූලය ද උදුරාපියා සිටිනේ යැ. තවද (සත්ත්‍වසංස්කාර සඞ්ඛ්‍යාත) ප්‍රියවස්තුව ද යළි අප්‍රිය වස්තුව මඩිනුයේ ඒකාන්තයෙන් අභිභවනය කරන්නේ යි.
කොධාතිමානස්ස වසං න ගච්ඡෙ - ‘කෝධ’ නම්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් - සැඬබවෙක් නො පිරුණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද එය යි. අතිමාන නම්: මෙහි එකෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් හෝ මෙරමා ඉක්මවා සිතයි. කොධාතිමානස්ස වසං න ගච්ඡෙ - ක්‍රෝධයාගේ ද අතිමානයාගේ ද වශයට නො යන්නේ යැ; ක්‍රෝධය ද අතිමානය ද හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි ‘කොධාතිමානස්ස වසං න ගච්ඡෙ’ යනු වේ.
මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ - ක්‍රෝධයාගේ මූලය කවරැ යත්: අවිද්‍යාව මුල යැ, අයෝනිසෝ මනසිකාරය මුල යැ, අස්මිමානය මුල යැ, අහිරිකය මුල යැ, අනොත්තප්පය මුල යැ, ඖද්ධත්‍යය මුල යි. මේ ක්‍රෝධයාගේ මූලය යි. අතිමානයාගේ මූලය කවරැ යත්: අවිද්‍යාව මුල යැ, අයෝනිසෝ මනසිකාරය මුල යැ, ‘මම් වෙමියි’ යන මානය මුල යැ, අහිරිකය මුල යැ, අනොත්තප්පය මුල යැ, ඖද්ධත්‍යය මුල යි. මේ අතිමානයාගේ මූලය යි. මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ - ක්‍රෝධයාගේ ද අතිමානයාගේ ද මුල සාරා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැරැපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා සිටින්නේ යැ, මොනොවට සිටින්නේ නුයි ‘මූලම්පි තෙසං පලිඛඤ්ඤ තිට්ඨෙ’ යනු වේ.
අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය - ‘අථ’ යනු : පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරයන්ගේ සමවාය යැ ව්‍යඤ්ජනයන්ගේ සිලුටුබව යැ පදානුපූර්‍වතා යැ, තෙල ‘අථ’ යනු. පියා යනු: ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. ප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්: මෙහි යම් සත්ත්‍ව කෙනෙක් ඔහුට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු නිර්‍භය කැමැත්තාහු වෙත් ද, මව හෝ පියා හෝ බෑයා හෝ බූන හෝ පුතා හෝ දුව හෝ යහළුවෝ හෝ සගයෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ යන මේ සත්ත්‍වයෝ ප්‍රියයෝ යි. ප්‍රියසංස්කාරයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ මන වඩන ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි; මේ සංස්කාරයෝ ප්‍රියයෝ යි. අප්පියා යනු: අප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යැ. අප්‍රිය සත්ත්‍වයෝ කවරහ යත්: මෙහි යම් සත්ත්‍ව කෙනෙක් ඔහුට අවැඩ කැමැත්තාහු අහිත කැමැත්තාහු නො සුව කැමැත්තාහු අයොගක්‍ෂෙමය කැමැත්තාහු දිවි තොර කරනු කැමැත්තාහු වෙද් ද, මේ සත්ත්‍වයෝ අප්‍රියයෝ යි. අප්‍රිය සංස්කාරයෝ කවරහ යත්: අමනාප වූ රූපයෝ යැ අමනාප වූ ශබ්දයෝ යැ ගන්‍ධයෝ යැ රසයෝ යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මේ සංස්කාරයෝ අප්‍රියයෝ යි. අද්ධා යනු: ඒකාන්ත වචන යැ නිස්සංශය වචන යැ නිසැක වචන යැ අද්වෛත වචන යැ නිස්සන්දෙහවචන යැ නියෝග වචන යැ අවිරුද්ධ වචන යැ සන්නිට්ඨාපන (-නිමවන) වචනයෙකි, තෙල ‘අද්ධා’ යනු. අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය - ප්‍රියාප්‍රියය මධුරාමධුරය සූඛදුඃඛය සොම්නස්දොම්නස ඉෂ්ටානිෂ්ටය මොනොවට මඩමින් හෝ අභිභවනය කරන්නේ යැ, අතිශයින් මඩමින් හෝ අභිභවනය කරන්නේ නුයි ‘අථප්පියං වා පන අප්පියං වා අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කොධාතිමානස්ස -පෙ- අද්ධා භවන්තො අභිසම්භවෙය්‍ය” යී.
16. 15.
(බුද්ධානුස්මෘති ආදීන් ගේ වශයෙන්) කල්‍යාණප්‍රීතියෙන් යුක්ත වූයේ ප්‍රඥාව පෙරටු කොට ඒ (ප්‍රකට - ප්‍රතිච්ඡන්න) උපද්‍රවයන් යටපත් කරන්නේ යැ, ප්‍රාන්තසෙනාසනයෙහි අරතිය (- නො ඇලීම) මැඩපවත්වන්නේ යැ. චතුර්විධ පරිදෙවධර්‍මයන් අභිභවනය කරන්නේ යි.
පඤ්ඤං පුරක්ඛත්‍වා කල්‍යාණපීති - ‘පඤ්ඤා’ යනු: යම් ප්‍රඥාවක් ප්‍රකර්‍ෂයෙන් දැනීමෙක් විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් දහම් විමසීමෙක් … අමෝහයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. පඤ්ඤං පුරක්ඛත්‍වා - මෙහි කිසිවෙක් ප්‍රඥාව පෙරටු කොට හැසිරෙයි, ප්‍රඥාව ධ්වජ කොට ඇත්තේ ප්‍රඥාව කෙහෙලි කොට ඇත්තේ ප්‍රඥාව අධිපති කොට ඇත්තේ විමසීම බහුල කොට ඇත්තේ වෙසෙසින් විමසීම බහුල කොට ඇත්තේ නුවණින් දැකීම බහුල කොට ඇත්තේ සෙවීම බහුල කොට ඇතියේ ප්‍රකට වූ විහරණ ඇතියේ ඒ ප්‍රඥාව චරිතය කොට ඇතියේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ ඊට නැමුණේ ඊට නතු වූයේ ඊට බරවූයේ එහි ඇලුණේ එය අධිපති කොට ඇත්තේ නුයි මෙසේ ද ‘පඤ්ඤං පුරක්ඛත්‍වා’ යනු වේ.
නොහොත් ඉදිරියට යෙමින් හෝ ‘ඉදිරියට යෙමී’ දැනගනී, සිටියේ හෝ ‘සිටියෙම් වෙමී’ දැනගනී, හුන්නේ හෝ ‘හුන්නෙම් වෙමී’ දැනගනී, හෝනේ හෝ ‘හෝනෙම් වෙමී’ දැනගනී, යළි යම් යම් පරිද්දෙකින් හෝ ඔහුගේ කය පිහිටියේ වී නම්, ඒ ඒ පරිද්දෙන් එය දැනගනී නුයි මෙසේත් ‘පඤ්ඤං පුරක්ඛත්‍වා’ යනු වේ. නොහොත් ඉදිරියට යෑමෙහි ද නැවැත්මෙහි ද නුවණින් දැන කරන්නේ වෙයි, ඉදිරිය බැලීමෙහි හා අවට බැලීමෙහි ද සම්පජානකාරී වෙයි, අතපය දිගුකිරීමෙහි ද හැකිළීමෙහි ද සම්පජානකාරී වෙයි, සඟළ - පා - සිවුරු දැරීමෙහි සම්පජානකාරී වෙයි, වැළැඳීමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි සම්පජානකාරී වෙයි, උච්චාර - ප්‍රස්‍රාවකර්‍මයෙහි සම්පජානකාරී වෙයි, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් දැන කරන්නේ වේ නුයි මෙසේත් ‘පඤ්ඤං පුරක්ඛත්‍වා’ යනු වේ. කළ්‍යාණපීති යනු: බුද්ධානුස්මෘතිවශයෙන් ප්‍රීතිපාමොද්‍යය, කල්‍යාණප්‍රීතිය උපදී. ධර්‍මානුස්මෘතිවශයෙන් - සඞ්ඝානුස්මෘති - ශීලානුස්මෘති - ත්‍යාගානුස්මෘති - දේවතානුස්මෘති - වෙදනානුස්මෘති - ආනාපානස්මෘති - මරණානුස්මෘති - කායගතස්මෘති උපශමානුස්මෘති වශයෙන් ප්‍රීතිප්‍රාමෝද්‍යය කල්‍යාණප්‍රීතිය උපදී නුයි ‘පඤ්ඤං පුරක්ඛත්‍වා කල්‍යාණපීති’ යනු වේ.
වික්ඛම්භයෙ තානි පරිස්සයානි - ‘පරිස්සය’ නම්: ප්‍රකට පරිශ්‍රයයෝ ද, ප්‍රතිච්ඡන්නපරිශ්‍රයයෝ දැ’යි පරිශ්‍රයයෝ දෙදෙනෙකි … මොහු ප්‍රතිච්ඡන්න පරිශ්‍රයයෝ යැයි කියනු ලැබෙත් … මෙසේත් ‘තත්‍රාසය’ නුයි - පරිශ්‍රය නම් වෙත්. වික්ඛම්භයෙ තානි පරිස්සයානි - ඒ උපද්‍රවයන් විෂ්කම්භණය කරන්නේ යැ, මැඩ පවත්වන්නේ යැ, යටපත් කරන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘වික්ඛම්භයෙ තානි පරිස්සයානි’ යනු වේ.
අරතිං සහෙථ සයනම්හි පන්තෙ - ‘අරති’ යනු: යම් අරතිය (-නො ඇලීමෙ) ක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරතාකාරයෙක් උකටලි බවෙක් තැවෙන අයුරෙක් වේ ද එය යි. සයනම්හි පන්තෙ වනකෙළවර සෙනසුන්හි හෝ අන්‍යතරාන්‍යතර කුශලධර්‍මයන්හි නො ඇලීම නසන්නේ ය, අභිභවනය කරන්නේය, යටපත් කරන්නේ ය, හාත්පසින් ගන්නේ ය. මඩින්නේ නුයි ‘අරතිං සහෙථ සයනම්හි පන්තෙ’ යනු වේ.
චතුරො සහෙථ පරිදෙවධම්මෙ - චතුර්විධ පරිදෙවනීයධර්‍මයන් සහනය කරන්නේ යැ, හාත්පසින් සහනය කරන්නේ යැ මැඩපවත්වන්නේ යැ, යටපත් කරන්නේ යැ, හාත්පසින් ගන්නේ යැ, මර්දනය කරන්නේ නුයි ‘චතුරො සහෙථ පරිදෙවධම්මෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පඤ්ඤං පුරක්ඛත්‍වා -පෙ- චතුරො සහෙථ පරිදෙවධම්මෙ” යී.
16. 16.
කුමක් වළඳම් ද, කොහි හෝ වළඳම් ද, මේ රෑ ඒකාන්තයෙන් දුකසේ ශයනය කෙළෙම්, අද රෑ කොහි හොවිම් ද, යන වැලැපියයුතු වූ මේ සතර විතර්‍කයන් අපරිබොධ වැ හැසිරෙනසුලු ශෛක්‍ෂ තෙමේ දුරුකරන්නේ යි.
කිං සු අසිස්සං කුවං වා අසිස්සං - ‘කිං සු අසිස්සං’ යනු: කුමක් වළඳම් ද, බත් හෝ කොමු හෝ හත්වට හෝ මාළු හෝ මස් හෝ යැයි ‘කිං සු අසිස්සං’ යනු වේ. කුවං වා අසිස්සං යනු: කොහි වළඳම් ද ක්‍ෂත්‍රියකුලයෙහි හෝ බ්‍රාහ්මණකුලයෙහි හෝ වෛශ්‍යකුලයෙහි හෝ ශුද්‍රකුලයෙහි හෝ යැයි ‘කිං සු අසිස්සං කුවං වා අසිස්සං’ යනු වේ.
දුක්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස්සං - මේ රෑ දුකසේ ශයනය කෙළෙමි, පුවරුයෙහි හෝ තට්ටිකාවෙහි හෝ සම්කඩෙහි හෝ තණඇතිරියෙහි හෝ පන්ඇතිරියෙහි හෝ පිදුරුඇතිරියෙහි හෝ යැ; අද පැමිණෙන රෑ කොහි සුවසේ හොවිම් ද; ඇඳෙක හෝ පුටුවෙක හෝ බිස්සෙක හෝ බිම්බොහනයෙක හෝ විහාරෙයක හෝ ගුරුළුවක්ගෙයෙක හෝ පහයෙක හෝ සඳලුගෙයෙක හෝ ගුහාවෙක හෝ යැයි ‘දුක්ඛං වත සෙත්‍ථ කුවජ්ජ සෙස්සං’ යනු වේ.
එතෙ විතක්කෙ පරිදෙවතෙය්‍යෙ - ‘එතෙ විතක්කෙ’ යනු: පිණ්ඩපාත ප්‍රතිසංයුක්ත වූ විතර්‍ක දෙක යැ, සෙනාසනප්‍රතිසංයුක්ත වූ විතර්‍ක දෙක යි. පරිදෙවනෙය්‍යෙ යනු: වැලැපියයුතු හාත්පසින් වැලැපියයුත්තේ නුයි ‘එතෙ විතක්කෙ පරිදෙවතෙය්‍යෙ’ යනු වේ.
විනයෙථ සේඛො අනිකෙතචාරී - ‘සේඛො’ යනු: කවර කරුණෙකින් ‘සේඛ’ යී කියනු ලැබේ ද යත්: හික්මේ නුයි ‘සේඛ’ යැ. කුමක් හික්මෙයි යත් : අධිශීලයෙහි ද හික්මෙයි, අධිචිත්තයෙහි ද හික්මෙයි, අධිප්‍රඥාවෙහි ද හික්මෙයි. අධිශීලශික්‍ෂා කවර යත් … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙයි, දැනගනිමින් - නුවණින් දකිමින් - ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් - සිත්හි පිහිටුවමින් හික්මෙයි,සැදැහැයෙන් නිෂ්ඨාවට පැමිණෙමින් හික්මයි, වීර්‍ය්‍යය දැඩි ව ගනිමින් - සිහි එළවමින් - සිත පිහිටුවමින් - ප්‍රඥාවෙන් දැනගනිමින් හික්මෙයි, ස්වභාවලක්‍ෂණවශයෙන් වෙසෙසින් දතයුත්ත දැනගනිමින් හික්මෙයි, සාමාන්‍යලක්‍ෂණවශයෙන් ව්‍යාප්ත කොට දතයුත්ත හාත්පසින් දැනගනිමින් - ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ කෙරෙමින් - වැඩියැ යුත්ත වඩමින් - ප්‍රත්‍යක්‍ෂ කළ යුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙයි, හැසිරෙයි මොනොවට හැසිරෙයි සමාදන් වැ හික්මෙයි. එකරුණෙන් ‘සේඛ’ යී කියනු ලැබේ. ශෛක්‍ෂ තෙමෙ (කෙලෙසුන්ගේ) විනය පිණිස දුරුකිරීම පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳීම පිණිස දුරැලීම පිණිස පරිත්‍යාගය පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ, අධිචිත්තයෙහි ද හික්මෙන්නේ ය, අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ ය; මේ ත්‍රිවිධශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් … ප්‍රත්‍යක්‍ෂ කළයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ, මොනොවට හැසිරෙන්නේ යැ, සමාදන් වැ පවත්නේ නුයි ‘විනයෙථ සේඛො’ යනු වේ. අනිකෙතචාරී යනු: කිසෙයින් නිකෙතචාරී වේ ද යත්: මෙහි කිසිවෙක් කුලපළිබොධයෙන් යුක්ත වූයේ වේ ද; ගණපළිබොධයෙන් - ආවාසපළිබොධයෙන් චීවරපළිබොධයෙන් - පිණ්ඩපාතපළිබොධයෙන් - සෙනාසනපළිබොධයෙන් - ගිලානපච්වයභෙසජ්ජපරික්ඛාර පළිබොධයෙන් යුක්ත වූයේ වේ ද, මෙ පරිද්දෙන් ‘නිකෙතචාරී’ වේ. කිසෙයින් ‘අනිකෙතචාරී’ වේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙමේ කුලපළිබොධයෙන් යුක්ත වූයේ නො වේ ද, ගණ - ආවාස - චීවර - පිණ්ඩපාත - සේනාසන - ගිලන්පස බෙහෙසත්පිරිකර පිළිබඳ පළිබොධයෙන් යුක්ත වූයේ නො වේ ද, මෙසේ ‘අනිකෙතචාරී’ වේ.
1. (ඒ භික්‍ෂූහු) කිසිකෙනෙක් මගධරටට ගියාහු ය, කොසොල්රටට ගියාහු ය. යළි කිසි කෙනෙක් වැදෑරටට අභිමුඛ ව ගියාහු ය. කිසිකෙනෙක් යම් මැ තැනෙකැ නො ඇලී හැසිරෙන මුවන් මෙන් ගෘහපරිරොධ රහිත වැ වෙසෙත්.
2. අල්පෙච්ඡතාදි චරිතය මැනැව. සුචරිතය මැනැව. සියලු කල්හි පඤ්චකාමගුණනිකෙත රහිත වූ විහරණය මැනැව. අර්‍ත්‍ථ විචාරීම ද අවවාදය ආදර කොට ගැනීම ද මැනව. තෙල කිඤ්චන රහිත වූවහුගේ ශ්‍රමණ බව වේ.
‘විනයෙථ සේඛො අනිකෙතචාරී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කිං සු අසිස්සං -පෙ- විනයෙථ සේඛො අනිකෙතචාරී” යී.
16. 17.
මේ ශාසනයෙහි ඒ මහණ තෙමෙ (සිඟායන) කාලයෙහි පිණ්ඩපාත සඞ්ඛ්‍යාත ආහාරය ද චීවර සඞ්ඛ්‍යාත වස්ත්‍රය ද ලැබ ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂය සඳහා (පටිග්ගහනපරිභොගයෙහි) පමණ දන්නේ යැ. හෙ තෙමෙ ඒ ප්‍රත්‍යයන්හි සංවර වූයේ ගම්හි සංවර වැ හැසිරෙනුයේ මෙරමා විසින් ගටන ලදුයේ නමුදු පරුෂවචන නො කියන්නේ යි.
අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ - ‘අන්නං’ යනු: බත් කොමුපිඬු හත්වට මාළු මස් යන මේ යි. වසනං යනු: ෂට් චීවරයෝ යැ: කොමුපිළී කපුපිළී තිහිරිපිළී කම්බලපිළී සණපිළී මුසුපිළී යැ. අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ - සිවුරු ලැබ පිණ්ඩපාතය ලැබ, විස්මය කරවීමෙන් නො වැ උසස් කොට බිණීමෙන් නො වැ නිමිති කරන බැවින් නො වැ මෙරමා ගුණ නසන බැවින් නො වැ ලාභයෙන් ලාභ සොයන බැවින් නො වැ දැව දීමෙන් නො වැ හුණදඬු දීමෙන් නො වැ (තල් ආදි) පත්‍රදානයෙන් නො වැ පුෂ්පදානයෙන් නො වැ ඵලදානයෙන් නො වැ නහනු දීමෙන් නො වැ සුණු දීමෙන් නො වැ මැටි දීමෙන් නො වැ දැහැටිදඬු දීමෙන් නො වැ මුව දෝනා දිය දීමෙන් නො වැ චාටුබස් කියන බැවින් නො වැ මුද්ගසූපයක් වැනි වීමෙන් නො වැ (දරුවන් වැඩීමාදි) පරිහටභාවයෙන් නො වැ මෙරමා පිටුමස් කනබැවින් නො වැ වාස්තවිද්‍යාවෙන් නො වැ තිරශ්චීනවිද්‍යාවෙන් නො වැ අඞ්ගවිද්‍යාවෙන් නො වැ නක්‍ෂත්‍රවිද්‍යාවෙන් නො වැ දූතමෙහෙවරින් නො වැ පණිවුඩ ගෙනයෑමෙන් නො වැ පාමෙහෙවරින් නො වැ වෙදකමින් නො වැ පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් නො වැ දානානුප්‍රදානයෙන් නො වැ දැහැමින් සෙමෙන් ලැබ, ලබා, පැමිණ. විඳ, ප්‍රතිලාභ කොට නුයි ‘අන්නඤ්ච ලද්ධා වසනඤ්ච කාලෙ’ යනු වේ.
මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්‍ථං - ‘මත්තං ස ජඤ්ඤා’ යනු: දෙ කරුණෙකින් පමණ දන්නේ යැ: ප්‍රතිග්‍රහණ හෙයින් හෝ පරිභෝග හෙයින් හෝ යැ. කිසෙයින් ප්‍රතිග්‍රහණ හෙයින් මාත්‍රඥ වේ ද යත්: මඳක් නමුදු දෙනු ලබන කල්හි කුලයන්ට කරුණා සඳහා කුලයන් රක්නා සඳහා කුලයන්ට අනුකම්පා සඳහා පිළිගනී ද, බොහෝවකුදු දෙනු ලබන කල්හි කයට යෙහෙන පමණ සිවුරු පිළිගනී ද, කුසට යැපෙන පමණ පිණ්ඩපාතය පිළිගනී ද, මෙසේ ප්‍රතිග්‍රහණ හෙයින් මාත්‍රඥ වේ.
කිසෙයින් පරිභෝග හෙයින් මාත්‍රඥ වේ ද යත්: නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සිවුරු පරිභෝග කෙරෙයි: ශීත නසනු පිණිස උෂ්ණ නසනු පිණිස මැසි මදුරු වා අව් දිග්දෑපහස් නසනු පිණිස මැ යැ, ලජ්ජාකොපනය මුවහ කරනු පිණිස මැ යි. නුවණින් විමසා පිණ්ඩපාතය වළඳයි: කෙළි පිණිස නො වළඳයි, මද පිණිස නො වළඳයි, අලඞ්කාර පිණිස නො වළඳයි, සැරැසුම් පිණිස නො වළඳයි, මේ සිරුර පවත්නා සඳහා යැපීම පිණිස බඩගිනිවෙදනා නසනු පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මැ යැ. මෙසේ පැරණි බඩගිනි වේදනා ත් නසමි, අලුත් වේදනා ත් නූපදවමි, මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍යභාව ද ඵාසුවිහරණය ද වන්නේ යයි. නුවණින් විමසා සෙනසුන් සෙවන කෙරෙයි: ශීත නසනු පිණිස උෂ්ණ නසනු පිණිස මැසි මදුරු වා අව් දිග්දෑපහස් නසනු පිණිස මැ යැ, ඍතුපීඩා නසනු පිණිස හා විවෙකසුව පිණිස මැයි. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කරයි: රොගපීඩාවෙන් උපන් වේදනාවන් නසනු පිණිස නිදුක් පරමබව පිණිස මැයි. මෙසේ පරිභෝග හෙයින් මාත්‍රඥ වේ. මත්තං ස ජඤ්ඤා - මේ දෙ කරුණෙන් පමණ දන්නේ යැ, හාත්පසින් දන්නේ යැ වෙසෙසින් දන්නේ යැ අවබෝධ කරන්නේ නුයි ‘මත්තං ස ජඤ්ඤා’ යනු වේ.
ඉධ තොසනත්‍ථං යනු: මෙහි මහණ තෙමේ ඉතරෙතර චීවරයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර චීවරසන්තොෂයාගේ ගුණ කියන සුලු වූයේත් වේ, චීවරහේතුයෙන් අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි, සිවුරු නො ලැබ ද පීඩාවට නො පැමිණෙයි, සිවුරු දැහැමින් සෙමෙන් ලැබ ද (ලෝභයෙන්) නො ගෙතුණේ නො මුසපත් වූයේ තෘෂ්ණායෙන් නො වැතුරුණේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි. තවද ඒ ඉතරෙතරචීවරසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. තවද යම් මහණෙක් ඒ චීවරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ සම්‍යක්ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පැරණි වූ ද අග්‍ර යයි දතයුතු වූ ද ආර්‍ය්‍යවංශයෙහි සිටියේ වේ. නැවැත ද මහණ තෙමෙ ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර පිණ්ඩපාතසන්තෝෂයෙහි ගුණ කියන සුලු වූයේ ත් වෙයි, පිණ්ඩපාතය නිසා අයුතු වූ අනෙසනයට නොද පැමිණෙයි, පිණ්ඩපාතය නො ලැබ ද නො තැවෙයි, පිණ්ඩපාතය ලැබ ද නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නා සුලු වූයේ නිස්සරණප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි. තවද ඒ ඉතරෙතරපිණ්ඩපාතසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. තවද යමෙක් ඒ පිණ්ඩපාතසන්තෝෂයෙහි දක්‍ෂ වූයේ අලස නො වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍රගණ්‍ය වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ. නැවැත ද මහණ තෙමෙ ඉතරෙතර සේනාසනයෙන් සතුටු වූයේ වෙයි, ඉතරෙතර සෙනාසනසන්තොෂයෙහි ගුණ කියන සුලු වූයේත් වෙයි, සේනාසනය නිසා අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි, සෙනසුන් නො ලැබ ද නො තැවෙයි, යළි සෙනසුන් ලබා නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණ ප්‍රඥාවෙන් යුක්ත වැ පරිභෝග කෙරෙයි, තවද ඒ ඉතරෙතර සෙනාසනසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ.
යමෙක් එ මැ සෙනාසනසන්තොෂයෙහි දක්‍ෂ වූයේ නො ලස් වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍රගණ්‍ය වූ ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ. නැවැත ද මහණ තෙමේ ඉතරෙතර ගිලානපච්චයභෙසජජපරික්ඛාරයෙන් සතුටු වූයේ වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යසන්තොෂයෙහි ගුණ කියනසුලු වූයේත් වෙයි, ගිලන්පස බෙහෙසත් පිරිකරහෙතුයෙන් අයුතු වූ අනෙසනයට නො ද පැමිණෙයි. ගිලන්පස බෙහෙසත්පිරිකර නො ලැබ ද නො තැවෙයි. ගිලන්පස බෙහෙසත් පිරිකර ලැබ ද නො ගෙතුණේ නො මුසපත් වූයේ නො මඩනා ලදුයේ ආදීනව දක්නාසුලු වූයේ නිස්සරණප්‍රඥා ඇති ව වළඳයි. තවද ඒ ඉතරෙතරග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරසන්තොෂය හේතු කොටගෙන නො මැ ආත්මොත්කර්‍ෂණය කෙරෙයි, පරවම්භනය නො කෙරේ. යමෙක් එමැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරසන්තොෂයෙහි දක්‍ෂ වූයේ අනලස් වූයේ නුවණැතියේ සිහි ඇතියේ වේ ද, මේ මහණ තෙමෙ පෞරාණික වූ අග්‍ර යයි දන්නා ලද ආර්‍ය්‍යවංශයෙහි සිටියේ යයි කියනු ලැබේ නුයි ‘මත්තං ස ජඤ්ඤා ඉධ තොසනත්‍ථං’ යනු වේ.
සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ - ‘සො තෙසු ගුත්තො’ යනු: සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරෙහි පිහිත වූයේ ගෝපිත වූයේ රැකුණේ සංවර වූයේ නුයි මෙසේත් ‘සො තෙසු ගුත්තො’ යනු වේ. නොහොත් ආයතනයන්හි පිහිත වූයේ ගෝපිත වූයේ රක්‍ෂිත වූයේ සංවර වූයේ නුයි මෙසේත් ‘සො තෙසු ගුත්තො’ යනු වේ. යතචාරි ගාමෙ යනු: ගම්හි සංයත වූයේ සංයත වූ සිත් ඇතියේ අතිශයින් සංයත වූ සිත් ඇතියේ පිහිත වූයේ ගෝපිත වූයේ රක්‍ෂිත වූයේ සංවර වූයේ නුයි ‘සො තෙසු ගුත්තො යතචාරි ගාමෙ’ යනු වේ.
රුසිතො පි වාචං ඵරුසං න වජ්ජා - කෝප කරන ලදුයේ ආක්‍රෝශ කරන ලදුයේ අවමන් කරන ලදුයේ ගටන ලදුයේ ගරහන ලදුයේ නුගුණ කියන ලදුයේ පරුෂ වූ කර්‍කශ වූ වචනයෙන් පෙරළා නො කියන්නේ යැ, පෙරළා නො බණන්නේ යැ, ආක්‍රෝශ කරන්නහුට ප්‍රත්‍යාක්‍රොශ නො කරන්නේ යැ, කෝප කරන්නහුට ප්‍රතිකොප නො කරන්නේ යැ, ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරන්නේ යැ, කලහ නො කරන්නේ යැ, ඩබර නො කරන්නේ යැ, විග්‍රහ නො කරන්නේ යැ, විවාද නො කරන්නේ යැ, හිංසා නො කරන්නේ යැ, කලහ භණ්ඩන විග්‍රහ විවාද මෙධගය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ. කලහ - භණ්ඩන - විග්‍රහ - විවාද - මෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේ යැ, විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘රුසිතො පි වාචං ඵරුසං න වජ්ජා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අන්නඤ්ච ලද්ධා -පෙ- රුසිතො පි වාචං ඵරුසං න වජ්ජා” යී.
16. 18.
යට බලා හෙළු ඇස් ඇතියේ නො ද පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ ධ්‍යානයෙහි යෙදුණේ බොහෝ කොට නිදිවැරීමෙන් යුක්ත වූයේ වන්නේ යැ. චතුර්‍තථධ්‍යානොපෙක්‍ෂාව උපදවා එකඟ වූ සිත් ඇතියේ කාමාදි විතර්‍කය හා විතර්‍කාශ්‍රය ද කෞකෘත්‍යය ද සිඳින්නේ යි.
ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො - කිසෙයින් ‘ඛිත්තචක්ඛු’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල් වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් සමන්‍විත වූයේ වෙයි. ‘නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටුදෙය ඉක්මැවියැයුතු යැ’යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමින් නිගමට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි රූපදර්‍ශනය සඳහා යෙදුණේ වෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වේ. නොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ගෑනුන් බලමින් පිරිමින් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් අවුණුතුළ බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දිශානුදිශා බලමින් යෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වෙයි. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් අසංවරයක් හේතු කොට අසංවර වූ චක්‍ෂුරින්‍ද්‍රිය ඇති වැ වාසය කරන තෙල පුද්ගලයා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරයට නො පැමිණෙයි, චක්‍ෂුරින්‍ද්‍රිය නො රක්නේ යැ, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ වේ. තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දස්නෙහි යෙදී වාසය කරන්නාහු ද, ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල කුළුතාලම් කළ පිඹීම ප්‍රතිභානචිත්‍ර සැඬොලුන්ගේ සණදොවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම ඇත්පොර අස්පොර මිහිපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුදපෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නම් වේ.
කිසෙයින් ‘ඛිත්තචක්ඛු’ නො වේ ද යත්: මේ සස්නෙහි ඇතැම් මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්‍ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි. ‘නුදුටු දෙය දැක්ක යුතු යැ, දුටු දෙය ඉක්මැවිය යුතු ය’ යි අරමින් අරමට නො යෙයි, උයනින් උයනට - ගමින් ගමට - නිගමයෙන් නිගමයට - නුවරින් නුවරට - රටින් රටට - දනව්වෙන් දනව්වට රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වේ. නොහොත් මහණ තෙමේ ගොදුරුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් … දිශානුදිශා නො බලමින් යෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වේ. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිත්තග්‍රාහී නො වූයේ වෙයි … චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වූයේ වෙයි.
තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දුන් බොජුන් වළඳා … බලඇණි දැකීම යනාදිය හෝ යි. මෙ බඳු වූ විසුළු දස්නෙහි යෙදීමෙන් වැළැකුණේ වේ. මෙසේත් ‘ඛිත්තචක්ඛු’ නො වේ නුයි ‘ඔක්ඛිත්තචක්ඛු’ යනු වේ.
න ච පාදලොලො - යනු: කිසෙයින් ‘පාදලොල’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි: අරමින් අරමට … රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකාවෙහි නො නිමි චාරිකාවෙහි යෙදුණේ වෙයි. මෙසේත් ‘පාදලොල’ වේ. නොහොත් මහණ තෙමේ ඇතුළු සඟරම්හි ද පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි: ප්‍රයෝජන නැති වැ, කාරණ නැති වැ, උඩඟු වූයේ නො සන්හුන් සිත් ඇතියේ පිරිවෙනින් පිරිවෙනට යෙයි, වෙහෙරින් වෙහෙරට … වෘද්ධි හානි පිළිබැඳි කථා යැ යනාදිය හෝ යි. මෙසේත් ‘පාදලොල’ වූයේ වෙයි. න ච පාදලොලො යනු: පාදලෞල්‍යය හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරනේ යැ, අනභාවයට පමුණුවන්නේ යැ, පාදලෞල්‍යයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ වන්නේ යැ, විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වාසය කරන්නේ යැ, විවේකයෙහි ඇලුම් ඇතියේ විවේකයෙහි නිරත වූයේ ස්වකීය චිත්තසමාධියෙහි යෙදුණේ බැහැර නො කළ ධ්‍යාන ඇතියේ (සප්තවිධ) අනුපස්සනායෙන් යුක්ත වූයේ ශූන්‍යාගාරභාවනාව වඩන්නේ වන්නේ යැ, ධ්‍යාන කරනසුලු වූයේ ධ්‍යානයෙහි ඇලුණේ එකීභාවයෙහි යෙදුණේ උත්තමාර්‍ත්‍ථ ( - හෝ ස්වාර්‍තථ) ගරුක වූයේ වන්නේ නුයි ‘ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො’ යනු වේ.
ඣානානුයුත්තො බහුජාගරස්ස - ‘ඣානානුයුත්තො’ යනු: දෙ කරුණෙකින් ධ්‍යානයෙහි යෙදුණේ වෙයි: නූපන් ප්‍රථමධ්‍යානයාගේ ඉපදීම පිණිස යෙදුණේ වෙසෙසින් යෙදුණේ හාත්පසින් යෙදුණේ මොනොවට යෙදුණේ වෙයි; නූපන් ද්විතීයධ්‍යානයාගේ-තෘතියධ්‍යානයාගේ - චතුර්‍තථධ්‍යානයාගේ ඉපදීම පිණිස යුක්ත - ප්‍රයුක්ත - ආයුක්ත - සමායුක්ත වූයේ වේ නුයි මෙසේත් ‘ඣානානුයුත්තො’ යනු වේ. නොහොත් උපන් ප්‍රථමධ්‍යානය හෝ ඇසුරු කෙරෙයි වඩයි බහුල කෙරෙයි, උපන් ද්විතීයධ්‍යානය හෝ … තෘතීයධ්‍යානය හෝ … චතුර්‍ත්‍ථධ්‍යානය හෝ ආසෙවනය කෙරෙයි වඩයි බහුල කෙරේ නුයි මෙසේත් ‘ඣානානුයුත්තො’ යනු වේ. බහුජාගරස්ස යනු: මෙ සස්නෙහි මහණ තෙමෙ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි, රෑ පෙරයම සක්මනින් හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි, රෑ මැදියම දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා සිහි ඇතියේ නුවණැතියේ උත්‍ථානසංඥාව මෙනෙහි කොට දකුණැළයෙන් ශයන කෙරෙයි; රෑ අලුයම නැගීසිට සක්මන් කිරීමෙන් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසුදු කෙරේ නුයි ‘ඣානානුයුත්තො බහුජාගරස්ස’ යනු වේ.
උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො - ‘උපෙක්ඛා’ යනු: චතුර්‍තථධ්‍යානයෙහි යම් උපේක්‍ෂාවක් උපෙක්‍ෂාකාරයෙක් අධික වූ උපෙක්‍ෂාකාරයෙක් චිත්තයාගේ සම බවෙක් චිත්තයාගේ සැහැල්ලු බවෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් වේ ද එය යි.
සමාහිතත්තො යනු: චිත්තයාගේ යම් ස්ථිතියක් සංස්ථිතියක් අවස්ථිතියක් නො කැලැඹීමෙක් නො විසිරීමෙක් නො කැලැඹුණු සිත් ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක්සමාධියෙක් වේ ද එය යි. උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො - චතුර්‍තථධයානයෙහි තත්‍රමධ්‍යස්ථොපෙක්‍ෂාව නිසා එකඟ වූ සිත් ඇතියේ නො විසුරුණු සිත් ඇතියේ නො කැලැඹුණු සිත් ඇතියේ නුයි ‘උපෙක්ඛමාරබ්භ සමාහිතත්තො’ යනු වේ.
තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ - ‘තක්ක’ නම්: නව විතර්‍කයෝ යැ: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසාවිතර්‍ක යැ ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතාප්‍රතිරූප වූ ගෘහනිඃශ්‍රිතප්‍රෙමයෙන් ප්‍රතිසංයුක්ත විතර්‍ක යැ ලාභසත්කාරකීර්‍තතිප්‍රතිසංයුක්ත වූ විතර්‍ක යැ අනවඥතාප්‍රතිසංයුක්ත විතර්‍ක යැ යන මොහු නව විතර්‍කයෝ යයි කියනු ලැබෙත්. කාමවිතර්‍කයන්ට කාමසංඥාව ආශය (- වාසස්ථාන) වෙයි. ව්‍යාපාදවිතර්‍කයන්ට ව්‍යාපාදසංඥාව ආශය යැ, විහිංසාවිතර්‍කයන්ට විහිංසාසංඥාව ආශය යැ, නොහොත් තර්‍කයන්ට විතර්‍කයන්ට සංකල්පයන්ට අවිද්‍යාව ආශය යැ. අයෝනිසෝමනසිකාරය ආශය යැ, අස්මිමානය ආශය යැ, අනපත්‍රපාව ආශය යැ, ඖද්ධත්‍යය ආශය - වාසස්ථාන යි. කුක්කුච්චං යනු: අත්කුකුස ද කුකුසැ, පාකුකුස ද කුකුසැ, අත්පාකුකුස ද කුකුසැ, අකප්‍යයෙහි කප්‍යසංඥා ඇති බව යැ, කප්‍යයෙහි අකප්‍යසංඥා ඇති බව යැ, අවද්‍යායෙහි වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යයෙහි අවද්‍යසංඥා ඇති බව යැ යන මෙබඳු වූ යම් කුකුසෙක් කුකුස්අයුරෙක් කුකුස් කරන බවෙක් සිතෙහි විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යයි කියනු ලැබේ.
තවද දෙ කරුණෙකින් කෞකෘත්‍ය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. කළ බැවින් හා නො කළ බැවිනි. කිසෙයින් කළ බැවින් හා නො කළ බැවින් කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී ද යත්: “මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නො කරන ලදැ’ යි කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී, මා විසින් වාග්දුශ්චරිතය කරන ලද - මා විසින් මනෝදුශ්චරිතය කරන ලද - මා විසින් ප්‍රාණවධ කරන ලද, මා විසින් ප්‍රාණඝාතවිරමණය නො කරන ලදැ” යි කුකුස චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. “මා විසින් අදත්තාදානය කරන ලද - මා විසින් කාමමිත්‍ථ්‍යාචාරය කරන ලද - මා විසින් මුසවා කියන ලද, මා විසින් පිසුනුබස් කියන ලද - මා විසින් පරුෂවාක් කියන ලද - මා විසින් ප්‍රලාප කියන ලද - මා විසින් අභිධ්‍යාව කරන ලද - මා විසින් ව්‍යාපාදය කරන ලද - මා විසින් මිත්‍ථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, - සම්‍යග්දෘෂ්ටි නො ගන්නා ලදැ”යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. මෙසේ කළ බැවින් ද නො කළ බැවින් ද කුකුස සිතෙහි විපිළිසර මනෝවිලේඛය උපදී.
නොහොත් ‘ශීලයෙහි පරිපූරකාරී නො වූයෙමි’ කුකුස චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ඉන්‍ද්‍රියයන්හි අපිහිතද්වාර වූයෙමි - භෝජනයෙහි අමාත්‍රඥ වූයෙමි - ජාගර්‍ය්‍යාවෙහි නො යෙදුණෙමි - ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍විත නො වූයෙමි - මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩනා ලදහ’ යි - සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩනා ලදහ’ යි - සතර ඍද්ධිපාදයෝ නො වඩනා ලදහ’ යි - පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩනා ලදහ’ යි - පඤ්ච බලයෝ නො වඩනා ලදහ’ යි - සප්ත බෝධ්‍යඞ්ගයෝ නො වඩනා ලදහ’ යි - මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩනා ලදැ’ යි - මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ’ යි - මා විසින් දුඃඛසමුදය අප්‍රහීණ යැ’යි - මා විසින් මාර්‍ගය නො වඩනා ලදැ’ යි - මා විසින් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැ’ යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ - විතර්‍කය ද විතර්‍කයන්ගේ ආශය ද කෞකෘත්‍යය ද පසිඳිනේ යැ සිඳිනේ යැ වෙසෙසින් සිඳිනේ යැ මොනොවට සිඳින්නේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ නුයි ‘තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඔක්ඛිත්තචක්ඛු -පෙ- තක්කාසයං කුක්කුච්චඤ්චුපච්ඡින්දෙ” යී.
16. 19.
උපාධ්‍යායාදීන් විසින් වචනයෙන් චෝදනා කරන ලදුයේ ස්මෘතිමත් වැ සතුටු වන්නේ යැ. සබ්‍රම්සරුන් කෙරෙහි ගැටුණු සිත් ඇති බව බිඳපියන්නේ යැ. නුවණින් උපදවන ලද තෙපුල් බණන්නේ යැ. කාලවේලා ශීලවේලා ඉක්මැ නො බණන්නේ යැ. ජනයාගේ උපවාදකථාවෙහි සිතිවිලි නූපදවන්නේ යි.
චුදිතො වචීහි සතිමාහිනන්දෙ - ‘චුදිතො’ යනු: උපධ්‍යායයෝ හෝ ආචාර්‍ය්‍යයෝ හෝ සමානොපාධ්‍යායයෝ හෝ සමානාචාර්‍ය්‍යයෝ හෝ මිත්‍රයෝ හෝ සංදෘෂ්ටයෝ හෝ සම්භක්තයෝ හෝ සහායයෝ හෝ ‘ඇවැත්නි, මේ තට අයුතු යැ, මේ තට නො පැමිණියේ යැ, මේ තට නො සරුප් යැ, තාගේ මෙය ශීලයෙහි නො සිටියේ වනැ’ යි චෝදනා කෙරෙත් නම්, සිහි එළවා ඒ චෝදනාවට සතුටු වන්නේ යැ, වෙසෙසින් සතුටු වන්නේ යැ, හටුවන්නේ යැ පහටුවන්නේ යැ කැමැති වන්නේ යැ ඉවසන්නේ යැ පතන්නේ යැ රුචි කරන්නේ යැ අභිජල්පනය කරන්නේ යැ. යම්සේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණ වූයේ සැරැසෙන පියවි ඇතියේ ස්නානය කොට සිටියේ උපුල්මාලයක් හෝ දෑසමන්මාලයක් හෝ යොහොඹුමාලයක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුමඟ හිසෙහි පිහිටුවා තුටුවන්නේ ද සතුටුවන්නේ ද හටුවන්නේ ද පහටුවන්නේ ද රිසිවන්නේ ද ඉවසන්නේ ද පතන්නේ ද කැමැතිවන්නේ ද අභිජල්පනය කරන්නේ ද එපරිද්දෙන් ම සිහි එළවා ඒ චෝදනාවට තුටුවන්නේ ය සතුටුවන්නේ ය හටුවන්නේ ය පහටුවන්නේ ය රිසිවන්නේ ය ඉවසන්නේ ය පතන්නේ ය කැමැතිවන්නේ ය අභිජල්පනය කරන්නේ යැ.
1. “වරද දක්නාසුලු වූ නිග්‍රහ කොට බණන්නා වූ ප්‍රාඥ වූ යම් කල්‍යාණ මිත්‍රයකු නිදන්සැළ තුබූ තැන් දක්වන්නක්හු වැනි කොට දක්නේ වේ ද, එබඳු ප්‍රාඥයා සෙවුණේ යැ. එබඳු නුවණැත්තහු සෙවුණාහට ශ්‍රෙයස් (- වැඩෙක්) ම වන්නේ ය. අවැඩෙක් නො වන්නේ” යි.
2. “(කල්‍යාණමිත්‍ර වූ යමෙක් අතැවැසි ආදි කිසිවක් හට) අවවාද කරන්නේ ද, අනුශාසනා කරන්නේ ද, අකුශලයෙන් වළහන්නේ ද, ඒ එබඳු පුද්ගල තෙමෙ බුද්ධාදි සත්පුරුෂයන්ට මැ ප්‍රිය වෙයි. අසත්පුරුෂයන්ට අප්‍රිය වේ.”
එයින් ‘චුදිතො වචීහි සතිමාභිනන්දෙ’ යනු වේ.
සබ්‍රහ්මචාරීසු ඛීලං පහින්දෙ - ‘සබ්‍රහ්මචාරී’ යනු: ඒකකර්‍ම එකොද්දෙශ්‍ය සමානශික්‍ෂා ඇත්තාහු යැ. සබ්‍රහ්මචාරීසු ඛිලං පහින්දෙ - සබ්‍රම්සරුන් කෙරෙහි ගැටුණු සිත් ඇති බව, හටගත් හුල් ඇති බව (- තද බව) බිඳපියන්නේ ය, පඤ්ච චේතෝඛිලයන් ද සිඳිනේ ය, ත්‍රිවිධ චේතෝඛිලයන් ද සිඳිනේ ය, රාගකීලය ද්වෙෂකීලය මොහකීලය බිඳිනේ ය, වෙසෙසින් බිඳිනේ ය, මොනොවට බිඳිනේ නුයි ‘සබ්‍රහ්මචාරීසු ඛිලං පහින්දෙ’ යනු වේ.
වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං - ඥානසම්ප්‍රයුක්ත සිතින් උපදවන ලද වචනය නිකුත් කරන්නේ ය, අර්‍ත්‍ථයෙන් යුක්ත වූ ධර්‍මයෙන් යුක්ත වූ කරුණු සහිත වූ පර්‍ය්‍යන්තවත් වූ වචනය සුදුසු කාලයෙහි නිකුත් කරන්නේ ය, වෙසෙසින් නිකුත් කරන්නේ නුයි ‘වාචං පමුඤ්චෙ කුසලං’ යනු වේ. නාතිවෙලං යනු: කාලවෙලාව ද සීලවෙලාව දැයි ‘වෙලා’ දෙකෙකි. කාලවේලා කවරැ යත්: කල් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ හිම් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ, කල්හිම් ඉක්මැගිය වචනය නො කියන්නේ යැ, කල් නො පැමිණි වචනය නො කියන්නේ යැ, හිම් නො පැමිණි වචනය නො කියන්නේ යැ, කල්හිම් නො පත් වචනය නො කියන්නේ ය.
3. “යමෙක් නියමයෙන් තමහට බණන කාලය නො පැමිණි කල්හි හිම් ඉක්මවා බෙහෙවින් බෙණේ ද, මෙසේ හෙතෙම (කැවිඩියගේ කැදැල්ලෙහි වැඩුණු) කෙවිලියගේ පැටියා සෙයින් නසන ලදුයේ හෝනේ” යි.
මෝ තොමෝ කාලවේලා යැ.
සීලවෙලා කවරැ යත්: රාගයෙන් රත් වූයේ තෙපුල් නො බණන්නේ යැ ද්වේෂයෙන් දුෂ්ට වූයේ වචන නො බණන්නේ යැ, මෝහයෙන් මූඪ වූයේ වචන නො බණන්නේ යැ, මුසවා නො බණනේනේ යැ, පිසුනු බස් නො බණන්නේ යැ, රළුබස් නො බණන්නේ යැ, ප්‍රලාප නො බණන්නේ යැ, නො කියන්නේ යැ, නො පවසන්නේ යැ නො දක්වන්නේ යැ ව්‍යවහාර නො කරන්නේ යි. මෝ තොමෝ සීලවෙලා වූ යැයි ‘වාචං පමුඤ්චෙ කුසලං නාතිවෙලං’ යනු වේ.
ජනවාදධම්මාය න චෙතයෙය්‍ය - ‘ජන’ නම්: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දේවයෝ ද මනුෂ්‍යයෝ ද වෙත්. ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටි විපත්තියෙන් හෝ ආජීවවිපත්තියෙන් හෝ ජනයාගේ වචනයට උපවාදයට නින්‍දාවට ගර්‍හාවට අකීර්‍තතියට නුගුණ එළැවීමට නො සිතන්නේ යැ සිතිවිලි නූපදවන්නේ යැ සිත් නූපදවන්නේ යැ කල්පනා නූපදවන්නේ යැ මෙනෙහි කිරීම නූපදවන්නේ නුයි ‘ජනවාදධම්මාය න චෙතයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“චුදිතො වචීහි -පෙ- ජනවාදධම්මාය න චෙතයෙය්‍ය” යී.
16. 20.
නැවත මෙයින් අනෙකක් ද කියමි: ස්මෘතිමත් වූයේ රූපරාගාදි යම් කෙනකුන්ගේ ප්‍රහාණවිනය පිණිස හික්මෙන්නේ නම්, ලොවැ එබඳු වූ පඤ්ච රජස් කෙනෙක් වෙති. රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද යළි රසාලම්බනයෙහි ද ගන්‍ධාලම්බනයෙහි ද ස්පර්‍ශාලම්බනයෙහි ද ඡන්‍දරාගය මඩනේ යි.
අථාපරං පඤ්ච රජානි ලෝකේ - ‘අථ’ යනු: පදසන්‍ධි යැ පදසංසර්‍ග යැ පදපාරිපූරි යැ අක්‍ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා යි. තෙල ‘අථ’ යනු. පඤ්ච රජානි යනු: රූපාලම්බනය නිසා උපන් රාගාදි රජස් යැ ශබ්දරජස් යැ ගන්‍ධරජස් යැ රසරජස් යැ ස්ප්‍රෂ්ටව්‍යරජසි.
1. රාගය රජස් යැ. රෙණු වැලිත් රජස් යී නො ද කියනු ලැබෙයි. තෙල ‘රජස්’ යනු රාගයට නමෙකි. ඒ පණ්ඩිත වූ භික්‍ෂූහු තෙල රාග නමැති රජස් වෙසෙසින් දුරු කොට විගත වූ රාගරජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.
2. ද්වේෂය රජස් යැ …
3. මෝහය රජසෙකි. රෙණු වැලිත් රජස් යයි නො ද කියනු ලැබෙයි. තෙල ‘රජස්’ යනු මෝහයට නමෙකි. ඒ පණ්ඩිත වූ භික්‍ෂූහු තෙල මෝහ නමැති රජස වෙසෙසින් දුරු කොට විගත වූ මොහරජස් ඇති බුදුන්ගේ ශාසනයෙහි වාසය කෙරෙත්.
ලෝකේ - යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි නුයි ‘අථාපරං පඤ්ච රජානි ලෝකේ’ යනු වේ.
යෙසං සතිමා විනයාය සික්ඛෙ - ‘යෙසං’ යනු: රූපරාගයාගේ ශබ්දරාගයාගේ ගන්‍ධරාගයාගේ රසරාගයාගේ ස්ප්‍රෂ්ටව්‍යරාගයාගේ; සතිමා: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් සිහියක් සිහි කරන බවෙක් දරන බවෙක් සිහි කරවනබවෙක් නො මුළා වන බවෙක් ස්මෘතියක් ස්මෘතීන්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද මෝ තොමෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ සිද්ධියට පැමිණියේ සමෘද්ධ වූයේ සමන්‍වාගත වූයේ හෙතෙම ‘සතිමා’ යයි කියනු ලැබේ. සික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්‍ෂා යැ අධිප්‍රඥා ශික්‍ෂා යැයි. අධිශීලශික්‍ෂා කවරැ … මෝ අධිප්‍රඥාශික්‍ෂා යි. යෙසං සතිමා විනයාය සික්ඛෙ ස්මෘතිමත් පුද්ගල තෙමේ යම් රාග කෙනකුන්ගේ රූපරාගයාගේ ශබ්දරාගයාගේ ගන්‍ධරාගයාගේ රසරාගයාගේ ස්ප්‍රෂ්ටව්‍යරාගයාගේ විනය පිණිස දුරලීම පිණිස ප්‍රහාණය පිණිස සන්හිඳුවීම පිණිස බැහැරලීම පිණිස විගතභාවය පිණිස අධිශීලයෙහි ද හික්මෙන්නේ යැ අධිචිත්තයෙහි ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාවෙහි ද හික්මෙන්නේ යැ. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ, දැනගනිමින් හික්මෙන්නේ යැ … ප්‍රත්‍යක්‍ෂ කළයුතු නිවන ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ, හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ නුයි ‘යෙසං සතිමා විනයාය සික්ඛෙ’ යනු වේ.
රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං - රූපයන්හි ශබ්දයන්හි ගන්‍ධයන්හි රසයන්හි ස්ප්‍රෂ්ටව්‍යවයන්හි රාගය මඩනේ යැ හාත්පසින් මඩනේ යැ අභිභවනය කරන්නේ යැ වතුරුවන්නේ යැ හාත්පසින් ගන්නේ යැ මර්දනය කරන්නේ නුයි ‘රූපෙසු සද්දෙසු අථො රසෙසු ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අථාපරං පඤ්ච රජානි ලෝකේ -පෙ- ගන්‍ධෙසු ඵස්සෙසු සහෙථ රාගං” යී.
16. 21.
එළැඹ සිටි සිහි ඇති කෙලෙසුන් කෙරෙන් මොනොවට මිදුණු සිත් ඇති මහණ තෙමේ තෙල රූපාදි ධර්‍මයන් කෙරෙහි කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ. හෙතෙම සුදුසු කාලයෙහි සියලු සංස්කාරධර්‍මය මනා කොට අනිත්‍යාදිවශයෙන් විමසනුයේ එකඟ වූ සිත් ඇතියේ සියලු මෝහාදි අන්‍ධකාරය නසන්නේ යි. (බුදුහු මෙසේ වදාළ සේකි.)
එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං - ‘එතෙසු’ යනු: රූපයන්හි ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂටව්‍යයන්හි; ඡන්‍ද නම්: කාමවස්තූන් විෂයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණාවෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමාධ්‍යවසානයෙක් කාමෞඝයෙක් කාමයෝගයෙක් කාමූපාදානයෙක් … කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද එය යි. එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං - තෙල රූපාදි ධර්‍මයන්හි කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ වෙසෙසින් දුරු කරන්නේ යැ හැරැපියන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනභාවයට පමුණුවන්නේ නුයි ‘එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං’ යනු වේ.
භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො - ‘භික්ඛු’ යනු: පෘථග්ජනකල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ යැ. සතිමා යනු: යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක්ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායනමාර්‍ගයෙක් වේ ද, මෝ ‘සති’ යයි කියනු ලබයි. මේ සතියෙන් උපේත වූයේ සමුපේත වූයේ … හෙතෙම ‘සතිමා’ යයි කියනු ලැබේ. භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො - ප්‍රථමධ්‍යානයට සමාපන්නයාගේ සිත නීවරණයන් ගෙන් මිදුණේ යැ, වෙසෙසින් මිදුණේ යැ, මොනොවට මිදුණේ යැ; දෙවැනි දැහැනට සමවන්හුගේ සිත විතර්‍කවිචාරයන්ගෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි; තුන්වැනි දැහැනට සමවන්හුගේ සිත ප්‍රීතියෙන් ද මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි; චතුර්‍තථ ධ්‍යානයට සමවන්හුගේ සිත සුඛදුඃඛයන්ගෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. ආකාසානඤ්චායතන සමාපත්තියට සමවන්හුගේ සිත රූපසංඥාවෙන් ද ප්‍රතිඝසංඥාවෙන් නානාත්‍වසංඥාවෙන් ද මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ සිත ආකාසානඤ්චායතන සංඥාවෙන් … ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ සිත විඤ්ඤාණඤ්චායතන සංඥාවෙන් … නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥාවෙන් මුක්ත යැ විමුක්ත යැ සුවිමුක්ත යි. ස්‍රොතාපන්නයාගේ සිත සත්කායදෘෂ්ටියෙන් විචිකිත්සායෙන් ශීලව්‍රතපරාමර්‍ශයෙන් දෘෂ්ට්‍යානුශයෙන් විචිකිත්සානුශයෙන් හා තදෙකස්ථක්ලෙශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත යි. සකෘදාගාමීහුගේ සිත ඖදාරික කාමාරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් හා තදෙකස්ථක්ලෙශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත වෙයි. අනාගාමීහුගේ සිත අණුසහගත වූ කාමරාගසංයෝජනයෙන් ප්‍රතිඝසංයෝජනයෙන් අණුසහගත වූ කාමරාගානුශයෙන් ප්‍රතිඝානුශයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද මුක්ත විමුක්ත සුවිමුක්ත වෙයි. රහත්හුගේ සිත රූපරාගයෙන් අරූපරාගයෙන් මානයෙන් ඖද්ධත්‍යයෙන් අවිද්‍යාවෙන් මානානුශයෙන් භවරාගානුශයෙන් අවිද්‍යානුශයෙන් හා තදේකස්ථ වූ ක්ලේශයන්ගෙන් ද බාහ්‍ය වූ සියලු ක්ලෙශනිමිත්තයන්ගෙන් ද මුක්ත වූයේ විමුක්ත වූයේ සුවිමුක්ත වූයේ වේ නුයි ‘භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො’ යනු වේ.
කාලෙන සො ධම්මං පරිවීමංසමානො - ‘කාලෙන’ යනු: සිත උද්ධත වූ කල්හි සමාධියට කාල යැ. සිත සමාහිත වූ කල්හි විදර්‍ශනාවට කාලය යි.
1. අතිශිථිලවීර්‍ය්‍යතාදියෙන් ලීන සිත ඇති කල්හි ධර්‍මවිචය වීර්‍ය්‍ය ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග ඉපදවීමෙන් සිතට අනුග්‍රහ කෙරෙයි. යළි අත්‍යාරබ්ධවීර්‍ය්‍යතාදියෙන් උද්ධත සිත ඇති කල්හි ප්‍රශ්‍රබ්ධි සමාධි උපෙක්‍ෂාසම්බොධ්‍යඞ්ගයන් ඉපදවීමෙන් සිතට නිග්‍රහ කෙරෙයි. සිත නිරාස්වාද වූ කල්හි අෂ්ට සංවෙගවස්තු ප්‍රත්‍යවේක්‍ෂාවෙන් සංවේග කෙරෙයි. ශ්‍රද්ධාප්‍රඥාවන් හා සමාධිවීර්‍ය්‍යයන් සම ව ඇති කල්හි සිත අර්පණාවට පමුණුවන්නේ ය. සිත සමාධිවීථියට පිළිපන් කල්හි මධ්‍යස්ථ වෙයි. මෙබඳු වූ ඒ යොගී තෙමෙ කාලඥ වූයේ වේ.
2. කවර කලෙක චිත්තයාගේ ප්‍රග්‍රාහය වේ ද, කවර කලෙක නිග්‍රහය වේ ද, කවර කලෙක ප්‍රහර්‍ෂණය වේ ද, යළි ශමථකාලය කෙබඳු වූයේ ද, යෝගීහුගේ සිත පිළිබඳ උපෙක්‍ෂාකාලය කෙසේ දක්වා ද යත්:
3. අතිශිථිල වීර්‍ය්‍යතාදියෙන් සිත ලීන වූ (-හැකුළුණු) කල්හි අනුග්‍රහය වෙයි. අත්‍යාරබ්ධවීර්‍ය්‍යතාදියෙන් සිත වික්‍ෂිප්ත වූ කල්හි නිග්‍රහය වෙයි. යම් විටෙක සිත (ප්‍රඥාප්‍රයොගය මඳ බැවින් හෝ උපශමසුඛය නැතිවීමෙන් හෝ) නිරාස්වාදයට පැමිණියේ ද එ කෙණෙහි සංවෙගවස්තු සිහි කිරීමෙන් සංප්‍රහර්‍ෂණය කරන්නේ ය.
4. යම් කලෙක සිත සංවෙගවස්තු ප්‍රත්‍යවේක්‍ෂාවෙන් හෝ රත්නත්‍රයගුණානුස්මරණයෙන් හෝ සම්ප්‍රහර්‍ෂිත වේ ද, වීර්‍ය්‍යය හා යෙදුණු හෙයින් අලීන වේ ද, සමාධිය හා යෙදුණු හෙයින් අනුද්ධත වේ ද, ශමථයට හා ශමථනිමිත්තට ඒ කල් වෙයි. (එකල්හි ධ්‍යානසම්ප්‍රයුක්ත වූ) සිත කසිණාදි ගෝචරාධ්‍යාත්මයෙහි අභිරමණය කරවන්නේ ය.
5. මේ යට කියන ලද උපායෙන් ම යම් කලෙක සිත උපචාර අර්‍පණාවන්ගෙන් සමාහිත වේ ද, එකල්හි සිත සමාහිත වී යයි දැන එකෙණෙහි අධ්‍යුපේක්‍ෂණය කරන්නේ ය.
6. මෙසේ කාලය දන්නා වූ කාලඥ වූ කාලයෙහි ඡේක වූ ප්‍රාඥ තෙමේ කලින් කල සමාධිසම්ප්‍රයුක්ත වූ චිත්තයාගේ නිමිත්ත (අරමුණ) සලකන්නේ යි.
කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො - සියලු සප්‍රත්‍යය ධර්‍ම සඞ්ඛ්‍යාත ත්‍රෛභූමක සංස්කාරයෝ ඇති වැ නැති වන හෙයින් අනිත්‍ය වූවාහු යයි මනා කොට සියලු සංස්කෘතධර්‍මය නුවණින් විමසනුයේ, භවත්‍රයපර්‍ය්‍යාපන්න සියලු සංස්කාර යෝ ප්‍රතිපීඩනාර්‍තථයෙන් දුක් වූවාහුය යි මනා කොට සියලු ප්‍රත්‍යයොත්පන්නධර්‍මය නුවණින් විමසනුයේ, සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්‍මයෝ අවශයෙහි පවත්නා හෙයින් අනාත්ම වූවාහු යයි මනා කොට සියලු ධර්‍මය නුවණින් විමසනුයේ … යම් කිසිවෙක් සමුදයධර්‍ම වූයේ නම් ඒ සියල්ල නිරුද්ධ වන ( -නැසෙන) ස්වභාව ඇත්තේ යයි මනා කොට දහම් නුවණින් විමසනුයේ නුයි ‘කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො’ යනු වේ.
එකොදිභූතො විහනෙ තමං සො’ති භගවා - ‘ඒකෝදි’ යනු: එකඟ වූ (එක අරමුණෙහි පැවැති) සිත් ඇතියේ, ඖද්ධත්‍යවිරහිත හෙයින් නො විසිරුණු සිත් ඇතියේ,(ඖද්ධත්‍යවිචිකිත්සා වශයෙන්) නො කැලැඹුණු සිත් ඇතියේ ශමථය සමාධින්‍ද්‍රිය සමාධිබලය සම්‍යක්සමාධිය ඇත් නුයි ‘එකොදිභූතො’ යනු වේ. විහනෙ තමං සො යනු: ප්‍රඥාලෝකය වළහන හෙයින් අන්‍ධ කරන ප්‍රඥාචක්‍ෂුස නො කරන අඥානයෙන් නො දැනීම කරන, ප්‍රඥා නමැති ඇස නිරුද්ධ කරන, පීඩා කොට්ඨාසයෙහි වූ, අප්‍රත්‍යය අමෘතමහානිර්‍වාණය පිණිස නො පවත්නා වූ රාග නමැති තමස (- අන්‍ධකාරය) ද්වේෂ නමැති තමස මෝහ නමැති තමස දෘෂ්ටි නමැති තමස මාන නමැති තමස ක්ලේශ නැමති තමස දුශ්චරිත නමැති තමස නසන්නේ යැ වෙසෙසින් නසන්නේ යැ ස්වකීය සන්තානයෙන් දුරු කරන්නේ යැ නසාපියන්නේ යැ විගතාන්ත වූවක් කරන්නේ යැ අනුඅභාවයට පමුණුවන්නේ යි.
භගවා යනු: ගුණවිශිෂ්ට වූ සත්ත්‍වොත්තමයා කෙරෙහි ගරුභාවවාචක වූ වචනයෙකි. තවද භග්න කළ ( -බිඳින ලද) රාග ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ ද්වේෂ ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ මෝහ ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ නවවිධ මානය ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ දෘෂ්ටි ඇත්තේ නුයි භගවත් යැ, භග්න කළ (විනිවිද අර්‍ත්‍ථයෙන්) කෙලෙස් නමැති කණ්ටක ඇත්තේනුයි භගවත් යැ, භග්න කළ (රාගාදි) කෙලෙස් ඇත්තේ නුයි භගවත් යැ. චිත්තීකෘතාදි අර්‍ත්‍ථයෙන් රතන සඞ්ඛ්‍යාත ධර්‍මය උද්දෙශවශයෙන් භාග කෙළේ යැ, නිර්දේශ වශයෙන් විවිධ වැ විභාග කෙළේ යැ, ප්‍රතිනිර්‍දෙශවශයෙන් ප්‍රවිභාග කෙළේ නුයි භගවත් යැ. (නොහොත් ධර්‍මරත්නය උද්ඝටිතඥයන්ගේ වශයෙන් භාග කෙළේ යැ, විපඤ්චිතඥයන්ගේ වශයෙන් විභාග කෙළේ යැ. නෙයපුද්ගලයන්ගේ වශයෙන් ප්‍රවිභාග කෙළේ නුයි භගවත් යැ.) කාමභවාදි නවවිධ භවයන්ගේ පරිච්ඡෙදය (අන්තය) කෙළේ නුයි භගවත් යැ. භාවිත වූ (- වඩනා ලද) කය ඇත්තේ නුයි භගවත් යැ, වඩනා ලද (සංවරාදි ප්‍රභේද වූ) ශීල ඇත්තේ නුයි භගවත් යැ. වඩනා ලද ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ඇත්තේ නුයි භගවත් යැ, බුදුහු වනයෙහි (වාක් ශබ්දයෙන්) අල්පශබ්ද වූ (ග්‍රාම නගරයන් පිළිබඳ නිර්ඝොෂාදි ශබ්දයෙන්) අල්පනිර්‍ඝොෂ වූ (ඇතුළත හැසිරෙන ජනයාගේ ශරීරවාතයෙන්) ජනවාත විරහිත වූ මිනිසුන්ගේ රහස්‍යකාරණයන්ට ස්ථාන වූ විවේකයට අනුරූප වූ මනුෂ්‍යොපචාරය ඉක්මවා සිටි වානප්‍රස්ත (-වනයෙහි දුරු) සෙනාසනයන් ද මිනිසුන්ගේ කෘෂි වපනාදිය රහිත වූ වනපර්‍ය්‍යන්ත ( -වනයෙහි ඉතා දුර) සෙනාසනයන් ද සේවනය කළාහු නුයි ‘භගවත්’ යැ. නොහොත් බුදුහු චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර සඞ්ඛ්‍යාත සිවුපසයට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. නොහොත් බුදුහු හෙතුඵලසම්පත්ති සඞ්ඛ්‍යාත අර්‍තථරසයඩ හෙතුසම්පත්ති සඞ්ඛ්‍යාත ධර්‍මරසයට අර්‍හත් ඵලසඞ්ඛ්‍යාත විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු (ප්‍රථමධ්‍යානාදි) චතුර්විධ ධ්‍යානයන්ට (මෛත්‍ර්‍යාදි සඵරණප්‍රමාණ විරහිත වූ) සතර බ්‍රහ්මවිහාරයන්ට (ආකාසානඤ්චායතනාදි) චතුර්විධ අරූපධ්‍යානයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. නොහොත් බුදුහු (‘රූපී රූපානි පස්සති’ යනාදීන් වදාළ ආලම්බන විමුක්ත වූ) අෂ්ට විමෝක්‍ෂයට (අභිභවනය කළ කසිණාරම්මණ ඇති) අෂ්ට අභිභායතනයට (අනුපරිපාටියෙන් සමවැදියැ යුතු) නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි ‘භගවත්’ යැ. බුදුහු (අනිත්‍යසංඥාදි) දශ සංඥාභාවනාවන්ට දශ කෘත්සනසමාපත්තීන්ට ආනාපානස්මෘති සම්ප්‍රයුක්ත සමාධියට අශුභධ්‍යානසමාපත්තියට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු සතර සතිපට්ඨානයන්ට සතර සම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්චේන්‍ද්‍රියයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ යැ. බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ.
‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑණන් විසින් නො කරන ලද, බූණන් විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑසහලේනෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද. මේ ‘භගවත්’ යන යම් නාමයෙක් වී නම්, තෙල භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බොධිමණ්ඩයෙහි දී සර්‍වඥතාඥාන ප්‍රතිලාභය සමඟ අර්‍හත්ඵලය (හෝ සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘ඒකෝදි භූතො විහනෙ තමං සො’ති භගවා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එතෙසු ධම්මේසු විනෙය්‍ය ඡන්‍දං භික්ඛු සතිමා සුවිමුත්තචිත්තො, කාලෙන සො සම්මා ධම්මං පරිවීමංසමානො එකොදිභූතො විහනෙ තමං සො (ඉති භගවා” ති.)
සොළොස් වැනි වූ සාරිපුත්ත සූත්‍රනිර්දේශය සමාප්ත යි.
මහනිදෙස්පෙළ නිමි.