Mahāniddesa

Great Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2295 segments

පෙන්වන කොටස් 2101-2200 න් 2295

කිසෙයින් තත්‍රාසය (-එහි වෙසෙත්) නුයි පරිශ්‍රය වූහ යත්: එ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදිත්: යම්සේ බිලාශ්‍රය ප්‍රාණීහු බිලයෙහි වෙසෙත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුකෙහි හොවිත් ද, එපරිද්දෙන් ම ඒ ආත්මභාවයෙහි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසුරු කොට උපදනාහු වෙත් නුයි මෙසේත් තත්‍රාසය නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.
මේ වදාරන ලද මැ යැ භාග්‍යවත්හු විසින්:
“මහණෙනි, සාන්තේවාසික වූ ( -අතැවැසි කෙලෙසුන් සමඟ වසන) මහණ තෙමේ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කිසෙයින් සාන්තේවාසික වූ සාවාර්‍ය්‍යක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි යත්:
මහණෙනි, මෙහි මහණක් හට ඇසින් රූපයක් දැක (නොයෙක් අරමුණෙහි හැසිරීම් වශයෙන් උපන්) සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති, ඔහුගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඒ පුද්ගලයා හසුරුවති, ඔහු කෙරෙහි පවතිත් නුයි එහෙයින් ‘සාචරියක’ යි කියනු ලැබේ. නැවත ද මහණෙනි, මහණ හට කනින් ශබ්දයක් අසා නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන අරමුණෙහි හැසිරීමෙන් උපන් සඞ්කල්පනා ඇති සංයෝජනයන්ට හිත වූ ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම්, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු ගේ සිත තුළ වෙසෙති, ඔහු ගේ සන්තානය අනුව ගොස් වෙසෙත් නුයි එහෙයින් ‘සාන්තේවාසික’ යී කියනු ලැබෙයි. ඒ ලාමක අකුශලධර්‍මයෝ ඒ පුද්ගලයා හසුරුවති, ඔහු කෙරෙහි පවතිත් නුයි එහෙයින් ‘සාචරියක’ යී කියනු ලැබේ. මහණෙනි, මෙ පරිද්දෙන් මහණ තෙමේ සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ නො සුවසේ වෙසේ” යයි. මෙසේත් තත්‍රාසය නුයි ‘පරිශ්‍රය’ නම් වෙත්.
මේ වදාරන ලද මැයැ බුදුන් විසින්:
“මහණෙනි, මේ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති: කවර තිදෙනෙක යත්? මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි, මහණෙනි, ද්වේෂය … මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, මොහු තිදෙනා ඇතුළත මලයෝ යැ, ඇතුළත අමිත්‍රයෝ යැ, ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ” යි.
1. ලෝභය අනර්‍තථජනක යැ, ලෝභය කුසල්සිත වළහන්නේ යැ, ඇතුළත උපන් භයෙකැ, බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරෙයි.
2. ලෝභී තෙමේ (ලොවි - ලොවුතුරු) අර්‍ත්‍ථය නො දනී. ලෝභී තෙමෙ දහම් නො දකී. යම් හෙයකින් ලෝභය තෙමෙ මිනිසා මැඩගනී ද එකල්හි බහල වූ අන්‍ධකාරය වේ.
3. ද්වේෂය අනර්‍තථජනක යැ. ද්වේෂය කුසල්සිත වළහන්නේ යැ. ඇතුළත උපන් භයෙකැ. බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරෙයි.
4. කිපියේ අර්‍ත්‍ථය නො දැනගනී. කිපියේ දහම් නො දකී. යම් කලෙක ක්‍රෝධය මිනිසා අභිභවා ද, එකල්හි බහලාන්‍ධකාරය වේ.
5. මෝහය අනර්‍තථ උපදවන්නේ යැ. මෝහය කුසල්සිත වළහන්නේ යැ. සිත තුළ උපන් භයෙකැ. බාලජන තෙමෙ එය අවබෝධ නො කෙරේ.
6. මූඪ වූයේ ලොවි - ලොවුතුරු අර්‍ත්‍ථය නො දනී. මූඪ තෙමෙ දහම් (- අනර්‍තථහෙතුව) නො දකී. යම් කලෙක මෝහය තෙමෙ මිනිසා අභිභවා ද එකල්හි බහල වූ මෝහාන්‍ධකාරය වේ යයි.
මෙසේ ත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්.
මේ වදාරන ලද මැය බුදුන් විසින්:
“මහරජ, මේ ධර්‍මයෝ තිදෙනෙක් පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස නො සුවසේ වාසය පිණිස උපදිත්. කවර තිදෙනෙක් ද යත්: මහරජ, ලෝභය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී, මහරජ, ද්වේෂය … මහරජ, මෝහය පුරුෂයාගේ සිත තුළ උපදනේ අහිතට දුකට අඵාසුවිහරණයට උපදී. මහරජ, මේ ධර්‍මයෝ තිදෙන පුරුෂයාගේ සිත තුළ උපදනාහු අහිතයට දුකට අඵාසුවිහරණයට උපදනාහුය” යි.
7. ලෝභය ද ද්වේෂය ද මෝහය ද තම සිත තුළ උපන්නාහු ස්වකීය ඵලය හුණගස සෙයින් පව්සිත් ඇති මිනිසා වනසත්’ යයි.
මෙසේත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්.
තෙල බුදුන් විසින් වදාරන ලද මැය:
8. රාගය ත් ද්වේෂය ත් මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහු ය. අරතිය රතිය හා රොමහර්‍ෂයෝ මේ අත්බවින් උපන්නාහ. පාපවිතර්‍කයෝ මේ අත්බවින් ඉපද කුමරහු හුයින් පය බැඳි කවුඩක්හු සෙයින් හැරපියත්.
මෙසේ ත් තත්‍රාසය නුයි ‘පරිස්සය’ නම් වෙත්. ලෝකේ යනු: මිනිස්ලොවැ ආයතනලෝකයෙහි නුයි ‘කති පරිස්සයා ලෝක’ යනු වේ.
ගච්ඡතො අගතං දිසං - අමාමහ නිවන ‘අගතදිසා’ යී කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, ඒ දිග (සිහිනෙන් පවා) නො ගියවිරූ යැ. මේ දීර්‍ඝකාලයෙහි ඒ දිශාව ගියවිරූ නො වෙයි.
9. “මුවවිට ගසා පිරුණු තෙල් පාත්‍රයක් නො වැගිරෙනු කොට ගෙන යන්නාක් මෙන් නො ගිය විරූ නිවන්දෙස පතනුයේ ස්වකීය චිත්තය රක්නේයැ” යි.
අගතපූර්‍ව වූ නිර්‍වාණදිශාවට යනුවහුට ගමන් කරනුවහුට අභිමුඛයට යනුවහුට නුයි ‘ගච්ඡතො අගතං දිසං’ යනු වේ.
යෙ භික්ඛු අභිසම්භවෙ - ‘යෙ’ යනු: යම් පරිශ්‍රය කෙනකුන් මැඩපවත්වන්නේ නම්, අභිභවනය කරන්නේ නම්, වතුරුවන්නේ නම්’ හාත්පසින් ගන්නේ නම්, මඩින්නේ නම් යී ‘යෙ භික්ඛු අභිසම්භවෙ’ යනු වේ.
පන්තම්හි සයනාසනෙ - අන්තයෙහි ප්‍රාන්තයෙහි පර්‍ය්‍යන්තයෙහි පර්‍වතයන්ගේ අන්තයෙහි හෝ වනාන්තයෙහි හෝ නදීඅන්තයෙහි හෝ උදකාන්තයෙහි හෝ යම් තැනෙක නො සානු ලැබේ ද, නො වපුරනු ලැබේ ද, (එබඳු) වනාන්තය ඉක්මවා සිටි, මිනිසුන්ගේ හැසිරීම් රහිත වූ සෙනස්නෙහි නුයි ‘පන්තම්හි සයනාසනෙ’ යනු වේ.
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“කති පරිස්සයා ලෝකේ -පෙ- පන්තම්හි සයනාසනෙ” යී.
ආරබ්ධවීර්‍ය්‍ය ඇති ඒ මහණ හට කෙබඳු වචනයෝ වන්නාහු ද? මෙහි ඔහුට කෙබඳු ගෝචරයෝ වන්නාහු ද? ඔහුට කීදෘශ වූ ශීලව්‍රත කෙනෙක් වන්නාහු ද?
ක්‍යාස්ස බ්‍යාප්පථයො අස්සු - කෙබඳු වූ කෙසේ සිටි කවර ප්‍රකාර ඇති කවර ආකාර ඇති චවනයෙන් සමන්‍විත වූයේ වන්නේ දැ’ යි වාක් පාරිශුද්ධිය විචාරයි. වාක්පාරිශුද්ධිය කවර යත්: මෙහි මහණ තෙමේ මෘෂාවාදය හාරැපියා මුසවායෙන් වැළැකුණේ සැබෑ බස කියනුයේ සැබවින් සැබව ගළපනුයේ තිර වූයේ හැදැහිය යුතු බස් ඇතියේ ලොව නො රවටනුයේ වෙයි, පිසුනු බස් හැරැපියා පිසුනු බසින් වැළැකුණේ වෙයි: මෙතැනින් අසා මුන් ගේ බිඳුමට අතැන නො කියනුයේ, අතැනින් හෝ අසා අරුන් ගේ බිඳුමට මුන්ට නො කියනුයේ වෙයි. මෙසේ භින්න වූවන් හෝ සමඟ කරනුයේ සමඟ වූවන් හෝ දැඩි කරනුයේ සමඟියෙහි ඇලුම් ඇතියේ සමඟ වූවන් කෙරෙහි ඇලුණේ සමඟ වූවනට සතුටු වූයේ සමඟ කරන බස් කියනුයේ වෙයි, රළුබස් හැරැපියා රළුබසින් වැළැකුණේ වෙයි. යම් වචනයක් නිදොස් නම් කනට සුව නම් පෙම් උපදවා නම් සිතට වදී නම්, පුරෙහි වූවා නම් බොහෝ දෙනාට කැමැති නම් බොහෝ දෙනාගේ මන වඩා නම් එබඳු වචන කියන්නේ වෙයි.
නිසරු (- ප්‍රලාප) බස් හැරපියා නිසරු බසින් වැළැකුණේ වෙයි. කල් බලා කියනුයේ සැබවක් ම කියනුයේ වැඩදායක තෙපුල් කියනුයේ ධර්‍මවාදී වූයේ විනයවාදී වූයේ සුදුසු කල කරුණු සහිත වූ පිරිසිඳුම් ඇති වැඩ සහිත වූ ළෙහි ලා දැරිය යුතු වූ තෙපුලක් මැ කියන්නේ වෙයි. චතුර්විධ වාක්සුචරිතයෙන් යුක්ත වූයේ සතර දොසින් වෙන් වූ තෙපුලක් මැ කියයි. දෙතිස් තිරිසන් කථාවෙන් දුරු වූයේ වන්නේ යැ, වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ නික්මුණේ බැහැර වූයේ වෙසෙසින් මිදුණේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්ත වැ වෙසෙයි. දශ කථාවස්තූන් කියයි. ඒ මෙසේ යැ: අල්පෙච්ඡකථාව කියයි, ඉතරෙතරප්‍රත්‍යයසන්තොෂ කථාව - විවේකනිඃශ්‍රිත කථාව - අසංසර්‍ගකථාව - වීර්‍ය්‍යාරම්භකථාව - ශීලකථාව - සමාධිකථාව - ප්‍රඥාකථාව - විමුක්තිකථාව - විමුක්තිඥානදර්‍ශනකථාව - සතිපට්ඨානකථාව - සම්‍යක්ප්‍රධානකථාව - ඍද්ධිපාදකථාව - ඉන්ද්‍රියකථාව - බලකථාව - බොධ්‍යඞ්ගකථාව - මාර්‍ගකථාව - ඵලකථාව - නිර්‍වාණකථාව කියයි. වචනයෙන් සංයම වූයේ දැමුණේ වෙසෙසින් දැමුණේ ගෝපනය වූයේ ගෝපිත වූයේ රැකුණේ සංවර වූයේ වේ. මෝ තොමෝ වචීපාරිසුද්ධිය යි. මෙබඳු වාක්පාරිශුද්ධියෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ක්‍යාස්ස බ්‍යාප්පථයො අස්සු’ යනු වේ.
ක්‍යාස්සස්සු ඉධ ගෝචරා - කෙබඳු වූ කවර පැවැතුම් ඇති, කවර ප්‍රකාර වූ කවර ආකාර ඇති, ගෝචරයෙන් සමන්‍විත වූයේ වන්නේදැ’ යි ගෝචරය විචාරයි. ගෝචරයෙක් ඇත, අගොචරයෙක් ඇත.
අගෝචරය කවරැ යත්: මෙහි එකෙක් වේශ්‍යාවන් ගෝචර (-යායුතු තැන්) කොට ඇත්තේ හෝ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, නපුංසකයන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, මෙහෙණන් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, සුරාගෙය ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, රජුන් හා ද රජමහඇමැතියන් හා ද තීර්‍තථකයන් හා ද තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා ද අනනුලෝමික වූ සංසර්‍ගයෙන් සංසෘෂ්ට වැ (- හැනී) වෙසේ ද, යළි යම් කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහිලි නැත්තාහු ද (එහෙයින් මැ) නො පහන් වූවාහු ද ඔපාන (-සතරමංසල කැණි ළිඳක්) මෙන් නො වූවාහු ද මහණුන්ට මෙහෙණන්ට උවසුවන්ට උවැසියන්ට අක්‍රොශ හා පරිභව කරන්නාහු ද අනර්‍තථ කැමැති වෙත් ද අහිත කැමැති වෙත් ද, නො සුව කැමති වෙත් ද අයොගක්ෂෙමය (භය) කැමැත්තාහු වෙත් ද, එබඳු වූ කුලයන් සේවනය කෙරේ ද එළැඹේ ද නැවත නැවත එළැඹේ ද, මේ ‘අගෝචරය’ යි කියනු ලැබේ.
නොහොත් ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ අසංවර වැ යේ ද, ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ගැහැනුන් බලමින් පිරිමින් බලමින් කුමරියන් බලමින් කුමරුන් බලමින් ඇතුළුසල්පිල් බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දසනුදස බලමින් යේ ද, මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ.
නොහොත් ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් ගන්නා සුලු වූයේ (හත්‍ථපාදාදි) අනුව්‍යඤ්ජන වශයෙන් ගන්නා සුලු වූයේ වෙයි. යම් හෙයකින් මොහු … මනෙන්ද්‍රියය අසංවෘත වැ වාසය කරන්නහු අභිධ්‍යා - දෞර්‍මනස්‍යසඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඒ මනෙන්ද්‍රියයාගේ අසංවරයට පිළිපදී ද, මනෙන්ද්‍රියය නො රකී ද, මනෙන්ද්‍රියයෙහි අසංවරයට පැමිණේ ද, මෙ ද ‘අගෝචරය’ යි කියනු ලැබේ.
තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දුන් බොජුන් වළඳා ඔහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති; ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතරාමායණාදිය කියන තැන කස්තාලම් කුළුතාලම් (හෝ මන්ත්‍රයෙන් මළ සිරුර නැගුටුවීම) කළ පිඹීම ප්‍රතිභානචිත්‍රය සැඬලුන්ගේ සණදොවුන් කෙළි වස්කුලල් ඇටදෙවීම ඇත්පොර අස්පොර මියුපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ලපොර යුදපෙරමුණ බලසෙන් ගණන තැන කඳවුර බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේ මෙබඳු විසුළු දැකීමෙහි යෙදුණේ වෙයි. මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ. පස්කම් ගුණයෝ ද අගොචරයෝ යැ.
තෙල වදාරන ලද මැය බුදුන් විසින්:
මහණෙනි, අගෝචරයෙහි (- නො හැසිරියැ යුතු තැන) සතුරන් විෂයෙහි නහමක් හැසිරෙවු. මහණෙනි, අගෝචරයෙහි පරවිෂයෙහි හැසිරෙනුවන්ට (ක්ලේශ) මාර තෙමේ අවකාශ (සිදුරු) ලබන්නේ යැ. මාර තෙමෙ අරමුණු ලබන්නේ ය. මහණෙනි, මහණහට අගෝචරය පරවිෂය කවරේ ද? යම් පස්කම්ගුණ කෙනෙක් වෙත් ද, (ඔහු යැ.) කවර පසෙක් ද යත්: ඉෂ්ට වූ කමනීය වූ මනවඩන්නාවු ප්‍රියස්වභාව ඇති කාමය හා යෙදුණු රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්කයුතු රූපයෝ යැ, ශ්‍රොත්‍රවිඥානයෙන් ඇසියයුතු ශබ්දයෝ යැ - ඝ්‍රාණවිඥානයෙන් ඇගි යැ යුතු ගන්‍ධයෝ යැ - ජිහ්වාවිඥානයෙන් වින්දයුතු රසයෝ යැ - කායවිඥානයෙන් ස්පර්‍ශ කළ යුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමූපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මේ මහණහට ‘අගොචර යැ පරවිෂය’ යි කියනු ලැබේ. මෙ ද ‘අගොචර’ යයි කියනු ලැබේ.
ගෝචරය කවරැ යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ චෙශ්‍යාවන් ගෝචර (- යායුතු තැන්) කොට නැත්තේ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට නැත්තේ වේ ද, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට නැත්තේ වේ ද, නපුංසකයන් ගෝචර කොට නැත්තේ වේ ද, භික්‍ෂුණීන් ගෝචර කොට නැත්තේ වේ ද, සුරාගාරය ගෝචර කොට නැත්තේ වේ ද, රජුන් හා රජමහමැතියන් හා තිර්‍තථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් අසංසෘෂ්ට වැ වෙසේ ද, යළි යම් ඒ කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහිලි ඇත්තාහු ද ප්‍රසන්න වූවාහු ද (සතර මංසල කැණි) ළිඳක් වැනි වෙත් ද, (මහණ මෙහෙණන් හන් පෙරැවි) කහවත්හි ප්‍රභායෙන් එකාලොක වෙද්ද, ගෙට වදන නික්මෙන මහණ මෙහෙණ සඞ්ඛ්‍යාත ඍෂීන් ගේ චීවරවාතයෙන් පරිවාත වෙද්ද, මහණ මෙහෙණ උවසු උවැසියනට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු සුව කැමැත්තාහු නිර්‍භය කැමැත්තාහු වෙද්ද, එබඳු කුලයන් සෙවන භජන පර්‍ය්‍යුපාසන කෙරේ ද මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ.
නොහොත් මහණ තෙමේ ඇතුළුගමට පිවිසියේ වීදියට පිළිපන්නේ සංවර වැ යේ ද: ඇතුන් නො බලමින්, අසුන් නො බලමින්, පාබලසෙන් නො බලමින් … දසනුදස නො බලමින් යේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. නොහොත් මහණ තෙමේ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ වේ ද … මනෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. තවද යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා ඔහු මෙබඳු වූ විසුළු දස්නෙහි යෙදී වාසය කෙරෙද්ද, එ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් … බලඇණි දැකීම ආදිය හෝ යැ; මෙසේ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැකුණේ වේ ද; මෙ ද ‘ගෝචර’ යයි කියනු ලැබේ. සතර සීවටන්හු ද ‘ගොචරයැ’.
තෙල වදාරන ලද මැය, භාග්‍යවත්හු විසින්:
මහණෙනි, ගෝචර (- හැසිරීමට යුක්තස්ථාන) වූ ස්වකීය පෛතෘක (- පියාගෙන් පැමිණි) විෂයෙහි හැසිරෙවු, මහණෙනි, ගෝචර වූ තමා සතු පියාගෙන් පැමිණි විෂයෙහි හැසිරෙනුවන්ට මාර තෙමේ සිදුරු නො ලබන්නේ යැ. මාර තෙමේ අරමුණු නො ලබන්නේ යැ. මහණෙනි, ගෝචර වූ ස්වකීය පෛතෘකවිෂය කවරෙ යත්: යම් මේ සතර සීවටන් කෙනෙක් වෙත් ද, කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ රූපකයෙහි කය නැවත නැවත බලමින් වෙසෙයි, වේදනාවන්හි … චිත්තයෙහි … ස්කන්‍ධාදි ධර්‍මයන්හි ධර්‍මයන් නැවත නැවත බලමින් කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යක්ප්‍රඥා ඇති වැ ස්මෘතිමත් වූයේ ස්කන්‍ධාදි ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට වාසය කෙරෙයි. මහණෙනි, මෙ මහණහට ගෝචර වූ තමා සතු වූ පියා කෙරෙන් පැමිණි විෂය යයි කියනු ලැබේ. මෙ ද ගෝචරය යි කියනු ලැබේ. මෙබඳු වූ ගෝචරයෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ක්‍යාස්සස්සු ඉධ ගෝචරා’ යනු වේ.
කානි සීලබ්බතානස්සු - කෙබඳු වූ කවර පැවැතුම් ඇති කවර ප්‍රකාර වූ කවර ආකාර ඇති ශීලව්‍රතයෙකින් යුක්ත වූයේ වන්නේ දැ’ යි ශීලව්‍රතපාරිශුද්ධිය විචාරයි. ශීලව්‍රතපාරිශුද්ධිය කවරැ යත්: ශීලය මැ වූ ව්‍රතයකුත් ඇත, ශීල නො වූ ව්‍රතයකුත් ඇත; ශීලය මැ වූ ව්‍රතය කවරැ යත්: මේ සස්නෙහි මහණ තෙමේ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් සම්නවිත වූයේ මඳ පමණ දොසෙයි දු බිය දක්නාසුලු වූයේ වාසය කෙරේ ද, ශික්‍ෂාකොට්ඨාසයන්හි සමාදන් වැ හික්මේ ද, එහි ය සංයමයෙක් සංවරයෙක් නො ඉක්මැවීමෙක් වේ නම්, මේ ශීල යැ; යම් සමාදානයෙක් වී නම්, එය ව්‍රත යැ. සංවරාර්‍තථයෙන් ශීල යැ,සමාදානාර්‍තථයෙන් ව්‍රත යි. මේ ශීලය ද ව්‍රතය දැ’ යි කියනු ලැබේ. ශීල නො වූ ව්‍රතය කවරැ යත්: අෂ්ට ධුතාඞ්ගයෝ යැ: ආරණ්‍යකාඞ්ග යැ පිණ්ඩපාතිකාඞ්ග යැ පංසුකූලිකාඞ්ග යැ තෙචීවරිකාඞ්ග යැ සපදානචාරිකාඞ්ග යැ ඛලුපච්ඡාභත්තිකාඞ්ග යැ නෙසජ්ජිකාඞ්ග යැ යථාසන්ථතිකාඞ්ගය යි. මේ ශීල නො වූ ව්‍රත යැ යි කියනු ලැබේ. වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රත යැයි කියනු ලැබේ: ‘ඒකාන්තයෙන් සමත් නහරත් ඇටත් ඉතිරිවන්නේ නමුදු සිරුරෙහි මස් ලේ වියැළෙන්නේ නමුදු පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණියැ යුතු ඒ උත්තමාර්‍තථයට නො පැමිණැ වීර්‍ය්‍යයා ගේ ලිහිල්බවෙක් නො වන්නේ යැ’ යි සිත උත්සාහ ගන්වයි, පිහිටුව යි; මෙබඳු වූ වීර්‍ය්‍යසමාදානය ද ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ.
1. “තෘෂ්ණාශල්‍යය උපුටා නො ලූ කල්හි (මේ ඛාද්‍යාදිය) නො කමි, (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, (ඇඳපුටු ආදියෙහි) ඇලය නො තබමි”.
සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙබඳු වීර්‍ය්‍යසමාදානය ද ‘ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ. ‘යම් තාක් මාගේ සිත උපාදාන රහිත වැ (කාමාදි) ආස්‍රවයන් කෙරෙන් සමුච්ඡෙදවිමුක්තියෙන් නො මිදේ නම්, ඒ තාක් මේ පලඟ නො බිඳින්නෙමී’ සිත දැඩි වැ ගනී ද, පිහිටුවා ද; මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නො වූ ව්‍රතයයි කියනු ලැබේ. (සිත කෙලෙසුන් කෙරෙන් මිදෙන) තාක් මම මේ ආසනයෙන් නො නැගීසිටින්නෙමි, ‘ඒ තාක් මම මේ සක්මනින් නො බස්නෙමි - විහාරයෙන් නො නික්මෙමි - අඞ්ඪයොග (ගුරුළුවක් ගෙයින්) නො නික්මෙමි - පහයෙන් නො නික්මෙමි - සඳලුගෙයින් - ගුහායෙන් - උද්දණ්ඩයෙන් - උවටැන්හලින් - මණ්ඩපයෙන් - යම්තාක් මාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් නො මිදෙන්නේ නම්, ඒ තාක් මේ රුක්මුලින් නො නික්මෙමී’ සිතට වැරගන්වා නම් සිත පිහිටුවා නම්, මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ශීල නොවූ ව්‍රතයැ’ යි කියනු ලැබේ. ‘මේ පෙරවරුයෙහි මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි, මොනවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි’ යි සිතට වැර ගන්වා ද, පිහිටුවා ද, මෙබඳු වීර්‍ය්‍යසමාදානය ත් ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ. මේ මැදිදහවල්හි මැ - පස්වරුයෙහි - පෙරබත්හි - පසුබත්හි - පෙරයමැ - මැදියමැ - අලුයමැ - අවපසැ - පුරපසැ - වැසිකලැ - හිමත්කලැ - ගිම්කලැ - ප්‍රථමවයස්හි - මධ්‍යමවයස්හි - පශ්චිමවයස්හි ආර්‍ය්‍යධර්‍මය එළවමි, මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කරන්නෙමී’ සිත දැඩිව ගනී ද, පිහිටුවා ද, මෙබඳු වීර්‍ය්‍යසමාදානයත් ‘ශීල නො වූ ව්‍රතය’ යි කියනු ලැබේ.
මෝ තොමෝ ශීලව්‍රතපාරිශුද්ධිය යි. මෙබඳුවූ ශීලව්‍රතපාරිශුද්ධියෙන් සමන්‍විත වූයේ වන්නේ නුයි ‘කානි සීලබ්බතාන’ස්සු’ යනු වේ.
පහිතත්තස්ස භික්ඛුනෝ - ‘පහිතත්තස්ස’ යනු: රුකුළු වැර ඇත්තහුට කුසල්දහම්හි ශක්තිය ඇත්තහුට දැඩි පරාක්‍රම ඇත්තහුට තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇත්තහුට නො තැබූ වීර්‍ය්‍යධුර ඇත්තහුට; නොහොත් මෙහෙයු සිත් ඇත්තහුට, යම් රහත් බවක් සඳහා ආත්මභාවය පරිත්‍යාග කරන ලද ද, අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත ආත්මාර්‍තථයෙහි ද න්‍යාය (ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග) යෙහි ද අනිත්‍යාදි ලක්‍ෂණප්‍රතිවෙධයෙහි ද හේතුයෙහි ද ස්ථානාස්ථානයෙහි ද (- කාරණයෙහි ද අකාරණයෙහි ද;) ‘සියලු සංස්කාරයෝ අනිත්‍ය වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘සියලු ධර්‍මයෝ අනාත්ම වූහ’ යි මෙහෙයු සිත් ඇත්තහුට, ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’ මෙහෙයු සිත් ඇත්තහුට, … ‘ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වේ’ යි මෙහෙයු සිත් ඇත්තහුට; අවිද්‍යාවගේ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ යයි මෙහෙයු සිතැත්තහුට, … ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ යයි මෙහෙයු සිතැත්තහුට; ‘මේ දුඃඛසත්‍ය යැ’යි මෙහෙයු සිතැත්තහුට, … ‘මෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්තිය’යි මෙහෙයු සිතැත්තහුට; ‘මොහු ආස්‍රවයෝ ය’යි මෙහෙයු සිතැත්තහුට; … ‘මෝ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තිය යි මෙහෙයු සිතැත්තහුට, ‘මේ ධර්‍මයෝ දතයුත්තාහ’යි මෙහෙයු සිතැත්තහුට… ’මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළයුත්තාහ’යි මෙහෙයු සිතැත්තහුට; සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළවීමට ද නැසීමට ද ආස්වාදයට ද ආදීනවයට ද නිසස්රණයට ද මෙහෙයු සිතැත්තහුට,
පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ - සතර මහාභූතයන්ගේ සමුදයට ද අස්තඞ්ගමයට ද ආස්වාදයට ද ආදීනවයට ද නිස්සරණයට ද මෙහෙයු සිතැත්තහු, ‘යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙන පියවි ඇතැ’යි මෙහෙයු සිතැත්තහුට. භික්ඛුනෝ යනු: පෘථග්ජනකල්‍යාණක භික්‍ෂුහුගේ හෝ, ශෛක්‍ෂභික්‍ෂුහුගේ හෝ නුයි ‘පහිතත්තස්ස භික්ඛුනෝ’ යනු වේ.
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“ක්‍යාස්ස බ්‍යප්පථයො අස්සු -පෙ- පහිතත්තස්ස භික්ඛුනෝ” යී.
ඒ මහණ තෙමේ එකඟ වූ සිත් ඇතියේ (පාරිහාරියප්‍රඥාවෙන්) ප්‍රඥාවත් වූයේ ස්මෘතිමත් වූයේ කවර ශික්‍ෂාවක් සමාදන් වැ, කඹුරු තෙමේ ජාතරූපයාගේ මලය මෙන් තමාගේ කෙලෙස් මලය පිඹැ හරනේ ද?
කං සො සික්ඛං සමාදාය - ඒ මහණ තෙමේ කවර ශික්‍ෂාවක් ගෙන සමාදන් වැ ආදානය කොට සමාදානය කොට ග්‍රහණය කොට පරාමර්‍ශ කොට අභිනිවේශ කොට නුයි ‘කං සො සික්ඛං සමාදාය’ යනු වේ.
ඒකෝදි නිපකො සතෝ - ‘ඒකෝදි’ යනු: එකඟ වූ සිත් ඇතියේ නො විසුරුණු සිත් ඇතියේ, උඩඟු නො වූ සිත් ඇතියේ, ශමථය සමාධීන්‍ද්‍රිය සමාධිබලය … සම්‍යක්සමාධිය ඇතියේ; නිපකො යනු: නිපක වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ තීරණප්‍රඥා ඇතියේ ධාරණප්‍රඥා ඇතියේ; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ රූපකායයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - පඤ්චස්කන්‍ධාදි ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ; හෙ තෙමෙ සිහි ඇතියේ යයි කියනු ලැබේ නුයි ‘සතෝ’ යනු වේ.
කං සො සික්ඛං සමාදාය යී - අධිශීලශික්‍ෂාව විචාරයි. නිපකො යී අධිප්‍රඥාශික්‍ෂාව විචාරයි, සතොයී පාරිශුද්ධිය විචාරා නුයි ‘කං සො සික්ඛං සමාදාය ඒකෝදි නිපකො සතෝ’ යනු වේ.
කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො - රන්කරු තෙමෙ ‘කම්මාර’ යී කියනු ලැබෙයි. ජාතරූපය ‘රජත’ යී කියනු ලැබේ. යම්සේ රන්කරුවෙක් ජාතරූපයාගේ ඖදාරික වූ මලය බැහැර කෙරේ ද, මැනැවින් බැහැර කෙරේ ද, නිරවශේෂයෙන් බැහැර කෙරේ ද; මධ්‍යම වූ මලයත් ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරේ ද, සියුම් වූ මලයත් බැහැර කෙරේ ද, මැනැවින් බැහැර කෙරේ ද, නිරවශේෂයෙන් බැහැර කෙරේ ද, එසෙයින් ම මහණ තෙමේ තමාගේ ඖදාරික වූ ක්ලේශයන් ද බැහැර කෙරෙයි, මැනැවින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි; දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි.
මධ්‍යම වූ ක්ලේශයන් ද - සියුම් වූ ක්ලේශයන් ද ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් මහණ තෙමේ තමාගේ ප්‍රඥාලෝකය නසන ප්‍රඥාචක්‍ෂුස නො කරන නො දැනීම කරන පැනැස නසන පීඩාකොටසෙහි වූ අමාමහනිවන පිණිස නො පවත්නා වූ රාගමලය ද්වෙෂමලය මොහමලය මානමලය දෘෂ්ටිමලය ක්ලෙශමලය දුශ්චරිතමලය බැහැර කෙරෙයි, වෙසෙසින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් (විදර්‍ශනා සහිත මාර්‍ගසම්ප්‍රයුක්ත) සම්‍යග්දෘෂ්ටියෙන් මිත්‍ථ්‍යාදෘෂ්ටිය ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. සම්‍යක්සංකල්පයෙන් මිත්‍ථ්‍යාසඞ්කල්පය - සම්‍යග්වචනයෙන් මිත්‍ථ්‍යාවචනය - සම්‍යක්කර්‍මාන්තයෙන් මිත්‍ථ්‍යාකර්‍මාන්තය - සම්‍යගාජීවයෙන් මිත්‍ථ්‍යාජීවය - සම්‍යග්ව්‍යායාමයෙන් මිත්‍ථ්‍යාව්‍යායාමය - සම්‍යක්ස්මෘතියෙන් මිත්‍ථ්‍යාස්මෘතිය - සම්‍යක්සමාධියෙන් මිත්‍ථ්‍යාසමාධිය - සම්‍යග්ඥානයෙන් මිත්‍ථ්‍යාඥානය - සම්‍යග්විමුක්තියෙන් මිත්‍ථ්‍යාවිමුක්තිය ධමනය සන්‍ධමනය නිද්ධමනය කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවයි. නොහොත් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයෙන් සියලු ක්ලේශයන් සියලු දුශ්චරිතයන් සියලු දරථයන් සියලු පරිදාහයන් සියලු සන්තාපයන් සියලු අකුශලාභිසංස්කාරයන් බැහැර කෙරෙයි, වෙසෙසින් බැහැර කෙරෙයි, නිරවශේෂයෙන් බැහැර කෙරෙයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අනභාවයට පමුණුවා නුයි ‘කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො’ යනු වේ.
එයින් වදාළහ ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ:
“කං සො සික්ඛං සමාදාය -පෙ- නිද්ධමෙ මලමත්තනො” යී.
(ශාරීපුත්‍රය යී බුදුහු මෙසේ වදාළහ) ජාත්‍යාදියෙන් පිළිකුල් කරන්නා වූ ඒකාන්තයෙන් විවික්තාසනය ශයනය සෙවුණා වූ (සතර මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කැමැත්තා වූ මහණ හට යම් ඒ ඵාසුවිහරණයෙක් වේ ද, යම් අනුධර්‍මයකුත් වේ ද, එය තොපට (ප්‍රත්‍යක්‍ෂ කොට) දතුවකු සෙයින් ප්‍රකාශ කරන්නෙමි.
විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු - ‘විජිගුච්ඡමානස්ස’ යනු: ජාතියෙන් ජුගුප්සා කරන්නහුට, ජරාවෙන් - ව්‍යාධියෙන් - මරණයෙන් - ශෝකයෙන් - පරිදේවයෙන් - දුකින් - දොම්නසින් - උපායාසයෙන් … දෘෂ්ටිව්‍යසනයෙන් වූ දුකින් ජුගුප්සා කරන්නහුට දුක් වන්නහුට ලජ්ජා වන්නහුට නුයි ‘විජිගුච්ඡමානස්ස’ යනුවේ. යදිදං ඵාසු යනු: යම් ඵාසුවිහරණයෙක් වේ නම්, එය කියන්නෙමි. ඵාසුවිහරණය කවරැ යත්: සම්‍යක්ප්‍රතිපත්ති යැ අනුලොමප්‍රතිපත්ති යැ අවිරුද්ධප්‍රතිපත්ති යැ අන්වර්‍තථප්‍රතිපත්ති යැ ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යැ ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූර්‍ණකාරී බව යැ ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බව යැ භෝජනයෙහි පමණ දන්නා බව යැ නිදි දුරු කිරීමෙහි යෙදීම යැ ස්මෘතිසම්ප්‍රඥානය යැ සතර සතිපට්ඨානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්ච බලයෝ යැ සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත්තිය ද යන මේ ඵාසුවිහරණය නුයි ‘විජිගුච්ඡමානස්ස යදිදං ඵාසු’ යනු වේ.
සාරිපුත්ත - යනු: බුදුහු ඒ තෙරුන් නමින් අමතන සේක. භගවා යනු: ගෞරවාධිවචන යැ; තවද, බුන් රාග ඇත් නුයි භගවත් යැ, බුන් ද්වේෂ ඇත් නුයි භගවත් යැ, බුන් මෝහ ඇත් නුයි භගවත් යැ, බුන් මාන ඇත් නුයි භගවත් යැ, බුන් දෘෂ්ටි ඇත් නුයි භගවත් යැ, බුන් කෙලෙස් කටු ඇත් නුයි භගවත් යැ, බුන් කෙලෙස් ඇත් නුයි භගවත් යැ, දහම්රුවන් භාග - විභාග - ප්‍රවිභාග කළාහු නුයි භගවත් යැ, භවයන් කෙළවර කළාහු නුයි භගවත් යැ, භාවිත ( - වඩන ලද) කය ඇත් නුයි, භාවිත ශීල - භාවිතචිත්ත - භාවිතප්‍රඥා ඇත්තාහු නුයි භගවත් යැ; නොහොත් බුදුහු අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස් කරුණුවලට තැන් වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුර සෙනසුන් ඉතා දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු චීවර පිණ්ඩපාතසෙනාසන ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයනට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු අර්‍තථරසයට ධර්‍මරසයට විමුක්තිරසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු අෂ්ට විමෝක්‍ෂයන්ට සතර අභිභායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු දශ සංඥාභාවනාවන්ට දශ කෘත්ස්නසමාපත්තීන්ට අනාපානස්මෘතිසමාධියට අශුභ සමාපත්තියට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු සතර සතිපට්ඨානයන්ට සතරසම්‍යක්ප්‍රධානයන්ට සතර ඍද්ධිපාදයන්ට පඤ්ච බලයන්ට සප්ත බොධ්‍යඞ්ගයන්ට ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට හිමි වූවාහු නුයි භගවත් යැ, නොහොත් බුදුහු දශ තථාගතබලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද්ධර්‍මයන්ට ෂඩභිඥාවන්ට ෂඩ්බුද්ධධර්‍මයන්ට හිමි වූවාහු නුයි භගවත් නම් වූහ. ‘භගවත්’ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑයන් විසින් නො කරන ලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද, යම් මේ ‘භගවත්’ යන නාමයෙක් වී නම්, තෙල භාග්‍යවත් වූ බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්‍වඥතාඥානය ලැබීම සමඟ රහත්ඵලය (හෝ සර්‍වධර්‍මයන්) ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් වී නුයි ‘සාරිපුත්තාති භගවා’ යනු වේ.
රිත්තාසනං සයනං සෙවතො චෙ - යම් තැනෙක හිඳී නම්, එය ‘ආසන’ යී කියනු ලැබෙයි: ඇඳ පුටු බිසි තට්ටිකා සම්කඩ තණඇතිරිය පන්ඇතිරිය පිදුරුඇතිරිය යි, සේනාසනය ‘සයන’ යී කියනු ලැබෙයි: විහාර යැ ගුරුළුවක් ගෙයැ ප්‍රාසාදය යැ හර්‍ම්‍ය යැ ගුහා යි; ඒ ශයනාසනය අසත්ප්‍රායරූපදර්‍ශනයෙන් රික්ත යැ විවික්ත යැ ප්‍රවිවික්ත යි; අසත්ප්‍රාය ශබ්දශ්‍රවණයෙන් … අසත්ප්‍රාය වූ පඤ්චකාමගුණයන් ගෙන් සිස් යැ විවෙක යැ අතිශයින් විවෙක යි. විවෙක වූ ශයනාසනය සෙවුණාහට නිති සෙවුණාහට මැනැවින් සෙවුණාහට වෙසෙසින් සෙවුණාහට නුයි ‘රිත්තාසනං සයනං සෙවතො වෙ’ යනු වේ.
සම්බොධිකාමස්ස යථානුධම්මං - සතර මාර්‍ගඥානය ප්‍රඥාව ප්‍රඥෙන්ද්‍රියය ප්‍රඥාබලය … ධර්‍මවිචයසමෙබාධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘සම්බෝධි’ යී කියනු ලැබෙයි. ඒ සම්බෝධිය අවබෝධ කරනු කැමැත්තහුට අනුරූපප්‍රතිපත්තියෙන් අවබෝධ කරනු කැමැත්තහුට ප්‍රතිවේධ කරනු කැමැත්තහුට මැනැවින් අවබෝධ කරනු කැමැත්තහුට අධිගමය කරනු කැමැත්තහුට ස්පර්‍ශ කරනු කැමැත්තහුට ප්‍රත්‍යක්‍ෂ කරනු කැමැත්තහුට නුයි ‘සම්බොධිකාමස්ස’ යනු වේ. යථානුධම්මං යන (මෙහි) බෝධියට අනුධර්‍මයෝ කවරහ යත්: සම්‍යක්ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අප්‍රත්‍යනීකප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි සම්පූර්‍ණ කරන සුලු බව ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව යන මොහු මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත බෝධියට අනුධර්‍මයෝ යයි කියනු ලැබෙත්; නොහොත් සතර ආර්‍ය්‍යමාර්‍ගයන්ගේ පූර්‍වභාගයෙහි උපන් විදර්‍ශනාව යි. මොහු මාර්‍ගඥාන බෝධියට අනුධර්‍මයෝ යයි කියනු ලැබෙත් නුයි ‘සම්බොධිකාමස්ස යථානුධම්මං’ යනු වේ.
තං තෙ පවක්ඛාමි යථා පජානං - ‘තං’ යනු: බෝධියට අනුධර්‍මය; පවක්ඛාමි යනු: කියන්නෙමි දක්වන්නෙමි දෙසන්නෙමි පනවන්නෙමි පිහිටුවන්නෙමි විවෘත කරන්නෙමි විභාග කරන්නෙමි ප්‍රකට කරන්නෙමි ප්‍රකාශ කරන්නෙමි. යථා පජානං දතුවකු සෙයින් දැනගත්තකු හාත්පසින් දැනගත්තකු වෙසෙසින් දැනගත්තකු සර්‍වප්‍රකාරයෙන් දැනගත්තකු ප්‍රතිවේධ කළ එකක්හු යම්සේ එපරිද්දෙන්, මෙසේ මෙසේ වී ලැ’ යි නො වැ, තෙල මෙසේ ලැ’ යි නො වැ, පරම්පරාකථාවෙන් නො වැ පිටකසම්ප්‍රදාය හා සම වේ ලැ’ යි නො වැ, තර්‍කහෙතුවෙන් නො වැ, නයග්‍රාහ හේතුයෙන් නො වැ, (මේ සොඳුරු යැයි) කරුණු සැලැකීමෙන් නො වැ, අපට රුචි වූ දෘෂ්ටිය හා සම වේ යැයි නො වැ, තෙමේ මැ තමා විසින් නුවණින් අවබෝධ කළ තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ඒ ධර්‍මය කියන්නෙම් නුයි ‘තං තෙ පවක්ඛාමි යථා පජානං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විජිගුච්ඡමානස්ස -පෙ- තං තෙ පවක්ඛාමි යථා පජානං” යී.
ධීර වූ ස්මෘතිමත් වූ (ශීලාදි සතර) පර්‍ය්‍යන්තයෙහි හැසිරෙනසුලු ඒ මහණ තෙමෙ (මතු දක්වන) පඤ්ච භීතීන්ට නො බියවන්නේ යැ: ඇට මැස්සන් හා සෙසු මැස්සන්ට ද, දීර්ඝජාතීන්ට ද, චෞරාදි මනුෂ්‍යස්පර්‍ශයන්ට ද, සිංහාදි සිවුපාවුන්ට ද -
පඤ්චන්ත ධීරො භයානං න භායෙ - ‘ධීරො’ යනු ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ තීරණප්‍රඥා ඇතියේ ධාරණප්‍රඥා ඇතියේ වීර වූයේ පඤ්ච භීතීන්ට නො බිය වන්නේ යැ, නො තැති ගන්නේ යැ, සන්ත්‍රස්ත නො වන්නේ යැ, උත්‍රස්ත නො වන්නේ යැ, හාත්පසින් නො තැති ගන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ, නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නාසුලු නො පලායනසුලු වන්නේ යැ, ප්‍රහීණ වූ බිය අරමුණු ඇතියේ පහවූ ලොමුදහ ඇතියේ වෙසෙන්නේ නුයි ‘පඤ්චන්ත ධීරො භයානං න භායෙ’ යනු වේ.
භික්ඛු සතෝ සප්පරියන්තචාරී - ‘භික්ඛු’ යනු: පෘථග්ජනකල්‍යාණක මහණ හෝ ශෛක්‍ෂ මහණ හෝ යැ; සතෝ යනු: කරුණු සතරෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි - චිත්තයෙහි - ධර්‍මයන්හි ධම්මානුපස්සනාසතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ, හෙ තෙම සිහි ඇතියේ යයි කියනු ලැබේ. සප්පරියන්තචාරී පර්‍ය්‍යන්තයෝ සතර දෙනෙකි: ශීලසංවරපර්‍ය්‍යන්ත යැ, ඉන්ද්‍රියසංවරපර්‍ය්‍යන්ත යැ, භෝජනයෙහි මාත්‍රඥතාපර්‍ය්‍යන්ත යැ, ජාගර්‍ය්‍යානුයොගපර්‍ය්‍යන්ත යැයි. ශීලසංවරපර්‍ය්‍යන්තය කවරැ යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වැ වෙසෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් සම්පූර්‍ණ වූයේ මදපමණ වරදෙහි බිය දක්නාසුලු වූයේ සමාදන් වැ ශික්‍ෂාපදයන්හි හික්මෙයි, අභ්‍යන්තරයෙහි පූතිභාවය (-සිල් රහිත බව) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින්, ශීලසංවරපරිච්ඡෙදයාගේ ඇතුළත හැසිරෙයි; ශීලමර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ ශීලසංවරපර්‍ය්‍යන්තය යි. ඉන්ද්‍රියසංවරපර්‍ය්‍යන්තය කවරැ යත්? මේ සස්නෙහි මහණ තෙමෙ ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති නො ගන්නේ වෙයි. (හස්තපාදාදී ආකාර සඞ්ඛ්‍යාත) අනුව්‍යඤ්ජන නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් මොහු ... චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි, කනින් ශබ්දයක් අසා - නැහැයෙන් ගඳක් අගා - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස - මනසින් දහමක් දැන නිමිති නො ගන්නේ වෙයි, අනුව්‍යඤ්ජන නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් මනෙන්ද්‍රියය අසංවෘත වැ වාසය කරන මොහු අභිධ්‍යා දොම්නස් සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම්, ඒ මනෙන්ද්‍රියයා ගේ සංවරය පිණිස පිළිපදී, මනෙන්ද්‍රියය රකී, මනෙන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. ආදීප්තපර්‍ය්‍යාය දේශනාව ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ඉන්ද්‍රියසංවරපරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි, ඉන්ද්‍රියසංවරමර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ ඉන්ද්‍රියසංවරපර්‍ය්‍යන්තය යි භෝජනයෙහි මාත්‍රඥතාපර්‍ය්‍යන්තය කවරැ යත්? මෙ ශාසනයෙහි මහණ තෙමෙ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳයි, කෙළි පිණිස නො වළඳයි, මද පිණිස - අලඞ්කාර පිණිස - සැරැසුම් පිණිස නො වළඳයි, යම්තාක් මේ කයෙහි පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි, මෙසේ ‘පැරණි බඩගිනි වේදනාව නසමි, අලුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේය, නිවරද බව ද සුඛවිහරණය ද වන්නේ ය’ යි අක්‍ෂාභ්‍යඞ්ගොපමාව ද ව්‍රණප්‍රතිච්ඡාදනොපමාව ද පුත්‍රමාංසොපමාව ද ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් භෝජනයෙහි මාත්‍රඥතාපරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි, මර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ භෝජනයෙහි මාත්‍රඥතාපර්‍ය්‍යන්තය යි.
ජාගර්‍ය්‍යානුයොගපර්‍ය්‍යන්තය කවරැ යත්: මේ ශාසනයෙනි මහණ තෙමෙ දහවල සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන් කෙරෙන් (හෝ සියලු අකුශලධර්‍මයන්ගෙන්) සිත පිරිසුදු කරන්නේ යැ. රෑ පෙරයම සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසුදු කරන්නේ යැ. රෑ මැදියම දකුණු පයෙහි වම්පය මඳක් ඇදතබා සිහි නුවණින් ‘නැඟීසිටිමි’ යන සංඥාව මෙනෙහි කොට දකුණුපසින් සිංහශය්‍යාව කෙරෙයි. රෑ අලුයම නැඟීසිට සක්මනින් හා හිඳීමෙන් නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසුදු කෙරෙයි. භද්‍රෛකරාත්‍රවිහරණය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ජාගර්‍ය්‍යානුයෝග පරිච්ඡෙදය අභ්‍යන්තරයෙහි හැසිරෙයි. මර්‍ය්‍යාදාව නො බිඳී. මේ තෙමෙ ජාගර්‍ය්‍යානුයොගපර්‍ය්‍යන්තය වේ යයි ‘භික්ඛු සතෝ සප්පරියන්තචාරී’ යනු වේ.
ඩංසාධිපාතාන සිරිංසපානං - පිඞ්ගල මැස්සෝ ‘ඩංස’ යී කියනු ලැබෙත්: සියලු මැ මැස්සෝ ‘අධිපාතක’ යී කියනු ලැබෙත්. කවර කරුණෙකින් සියලු මැ මැස්සෝ ‘අධිපාතකයෝ’ යැයි කියනු ලැබෙත් ද යත්: ඔහු නැඟී නැඟී කති. එ කරුණෙන් සියලු මැ මැස්සෝ ‘අධිපාතකයෝ’ යැයි කියනු ලැබෙත්. සර්‍පයෝ ‘සිරිංසප’ යී කියනු ලැබෙත් නුයි ‘ඩංසාධිපාතාන සිරිංසපානං’ යනු වේ.
මනුස්සඵස්සාන චතුප්පදානං - කළ සොරකම් ඇති හෝ නො කළ සොරකම් ඇති හෝ සොරු හෝ සැහැසි මනුෂ්‍යයෝ වන්නාහුය. (ඔහු) ‘මනුස්සඵස්ස’ යී කියනු ලැබෙත්. ඔහු මහණහු පැන හෝ පුළුවුස්නාහු ය, වාදාරෝපණය හෝ කරන්නාහු ය, ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව කරන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. මිනිසුන් කෙරෙන් යම් කිසි උපඝාතයෙක් වේ නම් එය ‘මනුස්සඵස්ස’ නමි. ‘චතුපපදානං’ යනු සිංහයෝ යැ ව්‍යාඝ්‍රයෝ යැ දිවියෝ යැ වලස්සු යැ තරස්හු යැ වෘකයෝ යැ මිහිවෝ යැ හස්තීහු යි. ඔහු භික්‍ෂුහු මඩනාහු ය, කන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. සිවුපාවුන් කෙරෙන් උපඝාතයෙක් යම් කිසි සිවුපාබියෙක් නුයි ‘මනුස්සඵස්සාන චතුප්පදානං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පඤ්චන්ත ධීරො භයානං -පෙ- මනුස්සඵස්සාන චතුප්පදානං” යී.
නො සහදැමියන්ට ද නො බිය වන්නේ යැ. ඔවුන්ගේ බොහෝ බිය උපදවන අරමුණු දැක ද නො තැතිගන්නේ යැ. තවද කුසල් දහම් සොයනුයේ අන් උවදුරු ද මැඩපවත්වන්නේ යි.
පරධම්මිකානම්පි න සන්තසෙය්‍ය දිස්වාපි තෙසං බහුභෙරවානි - සත් සහදැමියන් තබා බුදුන් දහම් සඟුන් කෙරෙහි නො පහන් වූ යම් කිසි කෙනෙක් ‘පරධම්මිකයෝ’ යැයි කියනු ලැබෙත්. ඔහු භික්‍ෂුහුගෙන් පැන හෝ පුළුවුස්නාහු ය, වාදාරෝපණය හෝ කරන්නාහු ය, ආක්‍රෝශ කරන්නාහු ය, පරිභව බණන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, විහිංසා කරන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙහෙසන්නාහු ය, උපඝාත හෝ කරන්නාහු ය. ඔවුන්ගේ බොහෝ වූ බිය උපදවන අරමුණු දැක හෝ අසා හෝ නො සැලෙන්නේ යැ, වෙසෙසින් නො සැලෙන්නේ යැ, හාත්පසින් නො සැලෙන්නේ යැ, නො තැතිගන්නේ යැ, සන්ත්‍රස්ත - උත්‍රස්ත - පරිත්‍රස්ත නො වන්නේ යැ, නො බියවන්නේ යැ, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ යැ; නො බියසුලු නො සැලෙනසුලු නො තැතිගන්නා සුලු නො පලායනසුලු වන්නේ යැ, ප්‍රහීණ වූ බියඅරමුණු ඇතියේ පහවූ ලොමුදහ ඇතිව වාසය කරන්නේ නුයි ‘පරධම්මිකානම්පි න සන්තසෙය්‍ය දිස්වා පි තෙසං බහුභෙරවානි’ යනු වේ.
අථාපරානි අභිසම්භවෙය්‍ය පරිස්සයානි කුසලානුඵසි - තවද අන්‍ය වූ ත් මැඩියැ යුතු අභිභවනය කළ යුතු යටපත් කළයුතු හාත්පසින් ගත යුතු මර්දනය කළ යුත්තාහු ඇති. පරිස්සය නම්: ප්‍රකට පරිශ්‍රයෝ ද ප්‍රතිච්ඡන්න පරිශ්‍රයෝ දැයි පරිශ්‍රය (-උපද්‍රව) දෙකෙකි … මෙසේත් ‘තත්‍රාසය’ නුයි පරිශ්‍රය නම් වෙත්. කුසලානුඵසී යනු: සම්‍යක් ප්‍රතිපත්තිය අනුලොමප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය … ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමිනීප්‍රතිපත්තිය ද සොයන්නහු විසින් ගවේෂණය කරන්නහු විසින් පර්‍ය්‍යෙෂණය කරන්නහු විසින් උපද්‍රවයෝ මැඩිය යුත්තාහු ය, අභිභවනය කළ යුත්තාහු ය, යටපත් කළ යුත්තාහු ය, හාත්පසින් ගත යුත්තාහු ය, මර්දනය කළ යුත්තාහු නුයි ‘අථාපරානි අභිසම්භවෙය්‍ය පරිස්සයානි කුසලානුඵසි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පරධම්මිකානම්පි -පෙ- පරිස්සයානි කුසලානුඵසි” යී.
රෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ස්පර්‍ශ කරන ලදුයේ ශීතය ද යළි උෂ්ණය ද ඉවසන්නේ ය. හෙ තෙමෙ ඒ රොගස්පර්‍ශාදියෙන් බොහෝ සෙයින් පහස්නා ලදුයේ අභිසංස්කාර සහගතවිඥානයට හෝ දුශ්චරිතයට අවකාශ නො කරනුයේ චෛතසික වීර්‍ය්‍යාරම්භය දැඩි ව කරන්නේ යි.
ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො - රොගස්පර්‍ශය ‘ආතඞ්කඵස්ස’ යී කියනු ලැබෙයි. රෝගස්පර්‍ශයෙන් පහස්නා ලදුයේ මඩනා ලදුයේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය; චක්‍ෂුරෝගයෙන් පහස්නා ලදුයේ පෙළුණේ බැසගන්නා ලදුයේ සමන්‍විත වූයේ වන්නේ ය, ශ්‍රොත්‍රරොගයෙන් - ඝ්‍රාණරොගයෙන් - ජිහ්වාරොගයෙන් - කායරොගයෙන් … මැසි - මදුරු - වා - අව් - දිග්දෑපහසින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ ය. සාදුක ‘ඛුදා’යී කියනු ලැබේ. සාදුකින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘ආතඞ්කඵස්සෙන ඛුදාය ඵුට්ඨො’ යනු වේ.
සිතං අථුණ්හං අධිවාසයෙය්‍ය - ‘සීතං’ යනු: දෙකරුණෙකින් ශීතය වෙයි: අභ්‍යන්තරධාතුකොපවශයෙන් හෝ ශීතය වේ. බාහිර ඍතුවශයෙන් හෝ ශීතය වේ. උණ්හං යනු: දෙකරුණෙකින් උෂ්ණය වෙයි: අභ්‍යන්තරධාතුකොපවශයෙන් හෝ උෂ්ණය වෙයි. බාහිර ඍතුවශයෙන් හෝ උෂ්ණය වේ නුයි ‘සීතං අථුණ්හං’ යනු වේ. අධිවාසයෙය්‍ය යනු: ශීත උෂ්ණ සා පවස් මැසිමදුරුවාඅව්දිග්දෑපහස් ඉවසනුයේ වන්නේ ය, නපුරු කොට කියන ලද දුක් උපදවන අයුරින් පැමිණි වචනයන් ද දුක් වූ ත්‍රීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ දිවි පැහැරගන්නා වූ උපන් ශාරීරික වේදනාවන් ඉවසන ස්වභාව ඇත්තේ වන්නේ නුයි ‘සීතං අථුණ්හං අධිවාසයෙය්‍ය’ යනු වේ.
සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො - ‘සො තෙහි’ යනු: රෝගස්පර්‍ශයෙන් ද ක්‍ෂුධායෙන් ද ශීතයෙන් ද උෂ්ණයෙන් ද පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘සො තෙහි ඵුට්ඨො’ යනු වේ. බහුධා යනු: නන්වැදෑරුම් අයුරින් පහස්නා ලදුයේ මඩනා ලදුයේ යුක්ත වූයේ සමන්‍විත වූයේ වන්නේ නුයි ‘සො තෙහි ඵුට්ඨො බහුධා’ යනු වේ. අනොකො යනු: කුශලාකුශල චෙතනාසම්ප්‍රයුක්ත විඥානයට අවකාශ නො කෙරේ නුයි ද ‘අනෝක’ යැ. නොහොත් කායදුශ්චරිතයට වාග්දුශ්චරිතයට මනොදුශ්චරිතයට අවකාශ නො කෙරේ නුයි ද ‘අනෝක’ නුයි ‘සො තෙහි ඵුට්ඨො බහුධා අනොකො’ යනු වේ.
විරියපරක්කමං දළ්හං කරෙය්‍ය - යම් චෛතසිකවීර්‍ය්‍යාරම්භයෙක් කෞසීද්‍යයෙන් නික්මැ යෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධික උත්සාහයෙක් නො පසුබස්නා බවෙක් ස්ථිර බවෙක් කුශලසන්තානය ධරා සිටීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් වීර්‍ය්‍යධුරය දැඩිව ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, එය ‘විරියපරක්කම’ යී කියනු ලැබේ. විරියපරක්කමං දළ්හං කරෙය්‍ය - චෛතසිකවීර්‍ය්‍යාරම්භය දැඩි කරන්නේ ය, ස්ථිර කරන්නේ ය, දෘඪසමාදාන ඇත්තේ බැසගන්නා ලද සමාදාන ඇත්තේ වන්නේ නුයි ‘විරියපරක්කමං දළ්හං කරෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආතඞ්කඵස්සෙන -පෙ- විරියපරක්කමං දළ්හං කරෙය්‍ය” යී.
සොරකම් නො කරන්නේ යැ. මුසවා නො කියන්නේ යැ. තෘෂ්ණා සහිත වූ ද ස්ථාවර වූ ද (-පෘථග්ජන ක්‍ෂීණාස්‍රව) පුද්ගලයන් මෙත්සිතින් පතුරුවන්නේ යැ. යම් චිත්තයාගේ කැලැඹුණු බවක් දන්නේ නම්, එය මාරයාගේ පක්‍ෂයෙහි වනැයි දුරු කරන්නේ යි.
ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය - ‘ථෙය්‍යං න කරෙය්‍ය’ යනු මෙහි මහණ තෙමෙ අයිනාදන් හැරැපියා අයිනාදනින් වෙන් වූයේ වන්නේ ය, දුන් දැය ගන්නේ දුන් දෙය කැමැති වනුයේ සොර නො වූ පිවිතුරු වූ සිතින් යුතු වැ වාසය කරන්නේ නුයි ‘ථෙය්‍යං න කරෙය්‍ය’ යනු වේ. න මුසා භණෙය්‍ය යනු: මෙහි මහණ තෙමෙ මුසවා හැරැපියා මුසවායෙන් වෙන් වූයේ වන්නේ ය, සබවස කියනුයේ සැබැවින් සැබැව ගළපනුයේ තිර වූයේ හැදැහියැ යුතු බස් ඇතියේ ලොව නො රවටනුයේ වන්නේ නුයි ‘ථෙය්‍යං න කරෙය්‍ය න මුසා භණෙය්‍ය’ යනු වේ.
මෙත්තාය ඵස්සෙ තසථාවරානි - ‘මෙත්තා’ නම්: සත්ත්‍වයන් කෙරෙහි යම් මෛත්‍රියෙක් මෛත්‍රී ආකාරයෙක් මෛත්‍රීසහගත සිත් ඇති බවෙක් අනුද්දයාවක් අනුද්දයාකාරයෙක් අනුද්දයා ඇති බවෙක් හිතෛෂී බවෙක් අනුකම්පාවක් අව්‍යාපාදයෙක් අව්‍යාපාද බවෙක් අද්වෙෂකුශලමූලයෙක් වේ ද එය යි. තස නම්: යම් කෙනකුන්ගේ තසිනාව තෘෂ්ණාව අප්‍රහීණ වූවා ද, තවද යම් කෙනකුන්ගේ බිය හා බියඅරමුණු අප්‍රහීණ වූවාහු ද, (ඔහු යැ.) කවර කරුණෙකින් ‘තසයෝ’ යැයි කියනු ලැබෙත් ද? ඔහු ත්‍රස්ත වෙති, උත්‍රස්ත වෙති, පරිත්‍රස්ත වෙති, බිය වෙති, සන්ත්‍රාසයට පැමිණෙත්; එකරුණෙන් ‘තස’ යී කියනු ලැබත්. ථාවරා යනු: යම් කෙනකුන්ගේ තසිනාව තෘෂ්ණාව ප්‍රහීණ වූවා ද, තවද යම් කෙනකුන්ගේ බිය හා බියඅරමුණු ප්‍රහීණ වූවාහු ද, (ඔහු යැ.) කවර කරුණෙකින් ‘ථාවරයෝ’ යැයි කියනු ලැබත් ද? ඔහු ත්‍රස්ත නො වෙති, උත්‍රස්ත නො වෙති, පරිත්‍රස්ත නො වෙති, බිය නො වෙති, සන්ත්‍රාසයට නො පැමිණෙත්; එ කරුණෙන් ‘ථාවරයෝ’ යැයි කියනු ලැබෙත්. මෙත්තාය ඵස්සෙ තසථාවරානි - ත්‍රස්තයන් ද ස්ථාවරයන් ද මෙත්සිතින් ස්පර්‍ශ කරන්නේ ය, පතුරුවන්නේ ය, විපුල වූ මහද්ගත වු අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාපාද රහිත වූ මෛත්‍රීසහගත සිතින් පතුරුවා වාසය කරන්නේ නුයි ‘මෙත්තාය ඵස්සෙ තසථාවරානි’ යනු වේ.
යදාවිලත්තං මනසො විජඤ්ඤා - ‘යදා’ යනු: යම් ; මනසො යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගසිතෙක් මනසෙක් මනසඞ්ඛ්‍යාත ආයතනයෙක් මනෙන්ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, එය යි. කායදුශ්චරිතයෙන් සිත කැලැඹුණේ ක්‍ෂෝභ වූයේ කම්පිත වූයේ ගැටුණේ සැලුණේ භ්‍රාන්ත වූයේ නො සන්හිඳුනේ වෙයි; වාග්දුශ්චරිතයෙන් - මනෝදුශ්චරිතයෙන් - රාගයෙන් - ද්වේෂයෙන් - මෝහයෙන් - ක්‍රෝධයෙන් - උපනාහයෙන් - මකුබැවින් - පලාසයෙන් - ඊර්‍ෂ්‍යායෙන් - මාත්සර්‍ය්‍යයෙන් - මායායෙන් - ශාඨ්‍යයෙන් - ස්තම්භයෙන් - සාරම්භයෙන් - මානයෙන් - අතිමානයෙන් - මදයෙන් - ප්‍රමාදයෙන් - සියලු ක්ලේශයන් ගෙන් - සියලු දුශ්චරිතයන් ගෙන් සියලු දරථයන් ගෙන් - සියලු පරිදාහයන් ගෙන් - සියලු සන්තාපයන් ගෙන් සියලු අකුශලාභිසංස්කාරයන් ගෙන් සිත ආවිල වූයේ ලුලිත වූයේ කම්පිත වූයේ ඝට්ටිත වූයේ චලිත වූයේ භ්‍රාන්ත වූයේ අව්‍යුපශාන්ත වූයේ වෙයි; යදාවිලත්තං මනසො විජඤ්ඤා - චිත්තයාගේ කැලැඹුණු බව දන්නේ නම් හාත්පසින් දන්නේ නම්, වෙසෙසින් දන්නේ නම්, සර්‍වප්‍රකාරයෙන් දන්නේ නම්, ප්‍රතිවේධ කරන්නේ නම් යී ‘යදාවිලත්තං මනසො විජඤ්ඤා’ යනු වේ.
කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය - ‘කණ්හ’ නම්: යම් ඒ මාරයෙක් කෘෂ්ණයෙක් අධිපතියෙක් අන්ත (-මරණ) යට පමුණුවන්නෙක් නමුචි (-අකුශල් නො හරිනු) යෙක් ප්‍රමත්තබන්‍ධුයෙක් වේ ද, හේ යැ . කණ්හස්ස පක්ඛො - මාරපාක්‍ෂයෙක මාරපාශයෙක මාරබලිශයෙක මාරයාගේ ආමිෂයෙක් මාරවිෂයෙක මාර නිවාපයෙක මාරයාගේ ගෝචරයෙක මාරබන්‍ධනයෙකැ’ යි හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි මෙසේත් ‘කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය’ යනු වේ. නොහොත් කණ්හස්ස පක්ඛො - මාර - පක්‍ෂයෙහි වූයේ යැ, අකුශලපක්‍ෂයෙහි වූයේ යැ, දුක් උපදවන්නේ යැ, දුඃඛවිපාක යැ, නිරයෙහි ඉපදීම පිණිස පවත්නේ යැ, තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නේ යැ, ප්‍රේතවිෂයෙහි ඉපදීම පිණිස පවත්නේ යැයි හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනභාවයට පමුණුවන්නේ නුයි මෙසේත් ‘කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ථෙය්‍යං න කරෙය්‍ය -පෙ- කණ්හස්ස පක්ඛොති විනොදෙයෙය්‍ය” යී.